වෙබ් ලිපිනය:

Friday, May 19, 2017

කලවම් නැති, ඉතා පිරිසිදු සිංහ ලේ


 "බැහැ බුදු පුතේ දැන්නම් මට ඉවසන්න
හැකිනම් මරණයෙන් මා බේරාගන්න
මේ වගෙ දුක් සුසුම් මවකගෙ සනසන්න
ආදර පුතෙකු ලෙස ඇවිදින් ලේ දෙන්න

ලේ හිඟ නිසා අද ඔත්පල වී ඉන්න
අසරණ ලෙඩුන් ගැන සිත යොමු කරලන්න
දන් දී ලේ බිඳක් ඒ අය ගොඩගන්න
ආදර පුතෙකු ලෙස ඇවිදින් ලේ දෙන්න"

මේ කවි දෙක සහිත පෝස්ටරයක් (සහ තවත් පෝස්ටරයක්) මා පළමු හෝ දෙවන ශ්‍රේණි වල උගත් කාලයේ මගේ  පියාගේ කාර්යාලයේ දැන්වීම් පුවරුවක ගසා අලවා තිබුණු බව මට තවමත් හොඳින් මතකය. කළු පැහැති අකුරෙන් මුද්‍රණය කර තිබුණු කවි දෙකේ ලේ යන වචනය පමණක් (උඩින් ඇති ආකාරයේ සිංහ ලේ ස්ටිකර් වල මෙන්) රතු පැහැයෙන් මුද්‍රණය කර තිබුණේය. එහි පැත්තක කාන්තාවකට ලේ දෙන චිත්‍රයක්ද ඇඳ තිබුණේය. එයද කළු රේඛා වලින් ඇඳ තිබුණු අතර ලේ බෝතලය සහ එහි සිට අත දක්වා ගලා එන ලේ ධාරාව රතු පාටින් මුද්‍රණය කර තිබුණේය. ඒ වයසේදී මේ "ලේ තැවරුණු" පෝස්ටරය දැකීම මට ප්‍රිය උපදවන කරුණක් නොවීය.

ඉහත පෝස්ටරය මුද්‍රණය කර තිබුණේ ලේ දන් දීමේ වැඩ සටහන් සඳහා ප්‍රචාරණයක් ලබා දීමටය. ලේ දන් දීමට හැකි ස්ථානය දිනය හා වෙලාව පෑනකින් ලකුණු කිරීම සඳහා එහි ඉඩක් වෙන් කර තිබුණත් පියාගේ කාර්යාලයේ වූ පෝස්ටරයේ ඒ තැන් හිස්ව තිබුණේය. තවත් මෙවැනි 'හිස්' පෝස්ටර් මිටියක් රාක්කයක තබා තිබුණු අතර ලේ දන්දීම් වැඩ සටහන් සංවිධානය කරන අයට ඒවායින් යම් ප්‍රමාණයක් රැගෙන ගොස් අදාළ ස්ථානය, දිනය හා වෙලාව ලියා ප්‍රචාරණය සඳහා භාවිතා කළ හැකිව තිබුණේය.

මේ කියන කාලය දැනට දශක හතරකට නොඅඩු කාලයකි. ඒ කාලයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වූ ලේ වලින් වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ ස්වේච්ඡාවෙන් ලේ දන් දෙන පුද්ගලයන්ගෙනි. ඒ තත්ත්වය මේ වන විටද වෙනස් වී නැත.

පළමු වරට සාර්ථක ලෙස රුධිර පාරවිලනය සිදු කර ඇත්තේ 1907දී වුවත් ලේ දන්දීම ප්‍රචලිත වී ඇත්තේ 1940දී පමණය. එයින් දශකයකට පමණ පසුව ලංකාවේද ලේ දන්දීමට අවශ්‍ය පහසුකම් ඇති වී ඇතත් ලංකාවේ බොහෝ දෙනෙකු මේ ගැන දැනගෙන ඇත්තේ බණ්ඩාරනායක මහතාට වෙඩි තබනු ලැබූ අවස්ථාවෙන් පසුවය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ මගේ මවගේ පියාද ලේ දන්දීමේ හා ඇස් දන්දීමේ වැඩ සටහන් වල ක්‍රියාශීලීව සිට ඇතත් මට මතක තිබෙන්නේ හැත්තෑව දශකයේ ඔහුගේ මරණයට පෙර කාලය පිළිබඳව පමණි.


ලෝකයේ සිටින මිලියන 112.5ක් වන ලේ දන් දෙන්නන්ගෙන් අඩක් පමණම ඉහළ ආදායම් ලබන රටවල ජීවත් වන අයයි. එහෙත්, මේ රටවල ජනගහණය ලෝක ජනගහණයෙන් 19%ක් පමණි. ඉහළ ආදායම් ලබන රටවල සෑම දහසකින්ම 33.1ක් ලේ දන් දෙන්නන් වන අතර, මැදි ආදායම් රටවල මේ ගණන 11.7කි. පහළ ආදායම් රටවල ජනගහණයෙන් දහසකට ලේ දන් දෙන්නන් සිටින්නේ 4.6ක් පමණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට සංඛ්‍යාලේඛණ ලබා දී ඇති රටවල් 146කින් රටවල් 74කම ලේ අවශ්‍යතාවයෙන් 90%ක්ම සපුරාගෙන ඇත්තේ ස්වේච්ඡා ලේ දන් දෙන්නන්ගෙනි. ඉතිරි රටවල් 72හි ලේ ඉල්ලුමෙන් අඩු වශයෙන් 50%ක් ලබාගෙන ඇත්තේ මුදල් ගෙවා හෝ පවුලේ අයෙකුගේ ලේ වල හිලවුවටය.

ජාතික රුධිර පාරවිලන සේවාවට අනුව ලංකාවේ ලේ දන් දෙන්නන් 100%ක්ම එය මුදල් නොලබා ස්වේච්ඡාවෙන් කරන අයයි. එහෙත්, මා දන්නා පරිදි හිලවුවට ලේ ලබා දීම ලංකාවේද බොහෝ විට සිදු වන දෙයකි. එමෙන්ම, මුදලට ලේ විකුණන පුද්ගලයින් මෙන්ම ඔවුන්ව සම්බන්ධ කරන තැරැවුකරුවන්ද ලංකාවේදී
මට හමු වී තිබේ. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හෝ සම්බන්ධව සිට ඇති මෙය කියවන අයට මේ හා අදාළ මට නැති අත්දැකීම් ඕනෑ තරම් තිබෙන්නට පුළුවන.

මිනිස් ලේ කෘතිමව නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තවමත් නැත. ඒ නිසා මිනිස් ලේ අවශ්‍යතාවය මුළුමනින්ම සපුරා ගත යුත්තේ ස්වේච්ඡාවෙන් හෝ මුදලට ලේ ලබා දෙන අයගෙනි. ලේ වලට ඇති ඉල්ලුම හා සැපයුම තුලනය වීමේදී ලේ වල මිල විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ ස්වේච්ඡාවෙන්, නොමිලේ ලේ දෙන්නන් විශාල පිරිසක් ලෝකයේ සිටින බැවිනි. මේ බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් ලබා ගන්නා වාසිය වෙනත් අයෙකුට යහපතක් වනු දැකීමෙන් ලබන සතුටයි. එසේ වුවද, කිසියම් ආකාරයකින් මිනිස් ලේ කෘතීම ලෙස නිෂ්පාදනය කළ හැකිනම් එය සැලකිය යුතු තරමේ ලාභයක් ලැබිය හැකි ව්‍යාපාරයකි.

නේචර් සඟරාවේ ඉදිරියේ කලාපයක පළ වීමට නියමිත, පෙරේදා (මැයි 17) අන්තර්ජාලයේ පළ කර ඇති කර ඇති පර්යේෂණ පත්‍රිකා දෙකකට අනුව පෙනෙන්නේ කඩෙන් කෘතීම ලේ මිල දී ගන්නට හැකි වන දිනය වැඩි ඈතක නොවිය හැකි බවයි. හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ රියෝහිචි සුගිමුරා ඇතුළු ඇතුළු පළමු පර්යේෂක කණ්ඩායම විසින් සෛද්ධාන්තිකව පුද්ගලයෙකුගේ හමේ කොටසකින් ලබා ගත හැකි බහුශක්‍ය මූල සෛල (pluripotent stem cell) නියැදියකින් පටන් ගනිමින් පළමු වරට විද්‍යාගාරයක් තුළ සාර්ථක ලෙස මිනිස් මූල රුධිර සෛල (blood stem cells) නිෂ්පාදනය කර තිබේ. මේ සෛල වලට සිරුරේ රතු රුධිරානු, සුදු රුධිරානු හා රුධිර පට්ටිකා ජනනය කිරීමේ හැකියාව තිබේ. මේ සොයා ගැනීමේ වැදගත්කම වන්නේ කිසියම් පුද්ගලයෙකුගේ රුධිරය ඒ ආකාරයටම නිපදවිය හැකි නිසා රුධිරය නොගැලපීමේ ප්‍රශ්න මතු නොවීමයි. වීල් කොර්නෙල් වෛද්‍ය විද්‍යාලයේ රපායෙල් ලිස් ඇතුළු දෙවන පර්යේෂක කණ්ඩායම විසින්ද මීයන් යොදා ගනිමින් මේ දෙයම කර තිබේ.

පිළිකා ඇති වීමේ අවදානම බැහැර කළ නොහැකි නිසා මේ මූල සෛල මිනිසුන්ට ඒ අයුරින්ම ලබා දීමේ හැකියාව ගැන සැක පහළ කරන මේ පර්යේෂකයෝ මෙසේ හදාගන්නා මූල සෛල යොදාගනිමින් න්‍යෂ්ඨි රහිත නිසා බෙදී නොයන රුධිරානු හා පට්ටිකා සෛල හදා ඒවා මිනිසුන්ට ලබා දුන් විට ඒ අවදානමද නැති වන බව පවසන අතර ඉදිරි දෙවසරක පමණ කාලය තුළ එය කළ හැකි බවට විශ්වාසය පළ කරති.

මේ අනුව, වැඩිකල් නොයා කෘතීම ලේ වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය වන්නට ඉඩ ඇති අතර "සිංහ ලේ" වැනි වෙළඳ නාම යටතේ ඒවා වෙළඳපොළට එන්නටත් "කලවම් නැති, ඉතා පිරිසිදු සිංහ ලේ" ආදී දැන්වීම් දැක ගන්නටත් නුදුරු දිනක අපට ඉඩ ලැබෙන්නට පුළුවන. ඒ සමඟම, ලේ වලිනුත් ලාබ ලබන බටහිර සමාගම් ගැන කතා කරන අයද අපට බ්ලොග් වලම වුවත් හමු වන්නට පුළුවන.


ඒ කෙසේ වුවත්, තවමත් කෘතීම ලේ ප්‍රායෝගිකව භාවිතා කළ හැකි අයුරින් නිපදවා නැති නිසා ලේ දන්දීම යමෙකුට කළ හැකි යහපත් කටයුත්තකි. ජූනි 14 දිනට යෙදෙන ලෝක ලේ දන්දීමේ දිනයට හෝ ජූනි 8 වෙනි දිනට යෙදෙන පොසොන් පෝය දිනයට ලේ දන්දීමේ වැඩ සටහනක් සංවිධානය කරන්නට කැමති කෙනෙකුට ඒ ගැන හිතන්නට තවමත් කල් තිබේ.


(Image: Aluth.com)

38 comments:

  1. බොහොම වටිනා ලිපියක්.. දනට පිනට කැමති ලංකාවට වඩා බටහිර රටවල ලේ දැන් දීම වැඩිවීමට හේතු මොනවද?

    ReplyDelete
    Replies
    1. ලේ දීම පමණක් නොවෙයි නේද?

      Delete
    2. එක එක අය මොන විදිහට කිවුවත් මිනිසුන්ගේ මූලික ප්‍රශ්න විසඳෙන තරමට මිනිසුන් වෙනත් අය ගැන හිතන්න පෙලැඹීම වැඩියි.

      Delete
    3. මෙයට වසර ගණනාවකට පෙර පෙරමුණේ රාල නමැති බ්ලොග්කරු කල සමීක්ෂණයකට අනුව ජාතිකත්වය අනුව ශ්‍රී ලාංකිකයන් ලේ 'දන්දෙන' හා 'ලබාගන්නා' අකාරය දත්ත විලේෂණය කරනු ලැබුවා. එහිදී මුස්ලිම් ජාතිකයන් ඉතාම අඩුවශයෙන් ලේ දන්දෙන අතර වයසින් අඩු මව්වරුන් හා වැඩි දරු උපත් සංක්‍යාව නිසා වැඩියෙන්ම ලේ ලබාගන්නා බව පෙන්නුම් කෙරුවා.

      Delete
    4. ඇනෝ, හොයා ගන්න පුළුවන් වුනොත් තරහ නැතුව ලින්ක් එකක් දානවද? පහළ බ්ලොග් එක හම්බ වුනත් එහි එවැනි ලිපියක් දැන් හොයාගන්න නැහැ.

      https://peramunerala.wordpress.com/

      Delete
  2. ලංකාවේ සිංහල බ්ලොග්කරුවන් සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහනක් සෑම වසරකම අප්‍රියෙල් මස පැවැත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ ගැන දැන සිටියේ නැහැ. හොඳ වැඩක්!

      Delete
    2. හිටපු ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වූ නැසීගිය ඔබා මාමා සිහිකර තමා මේ ලේ දන් දීම පැවැත් වෙන්නේ. වසර තුනක් මාත් මේ අවස්ථාවට එක්ව තිබෙනවා. එත් මේ වසරේ නම් මට මිස් වුණා මේ අවස්ථාව.

      Delete
  3. ලේ වල වටිනාකම වැඩි වෙන්නේ කලවම් වූ තරමට මිසක් කලවම් නැති වූ විට නෙමේ.

    මගෙ යාලුවෙක් ඉන්නවා මිනිහා දැන් හැට පාරක්වත් ලේ දීලා ඇති.

    සමහර අන්තවාදී ආගමික කල්ලි වල ඉන්න අය ලේ ගනු දෙනු කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ලේ ලබා ගන්න විටනම් විවිධ විෂබීජ වලින් ආසාදනය වී නැති පිලිසිදු ලේ ලබා ගැනීම වැදගත්.

      Delete
  4. ලේ ගැනීමත් පාපයක්, ලේ දීමත් පාපයක්.
    1914දී ස්වර්ගයේ යුද්ධයක් ඇතිවුනා. එයින් පරාජයවුන සාතන් පොලවට හෙලනු ලැබුවා.
    මේ වනවිට සාතන් අප අතර. ලේ දීම ජනප්‍රිය වුනේ ඉන්පසුවයි.
    නමුත් දෙවිට විශ්වාසවන්ත පිරිසක් ලෙයින් වැලකී සිටින බව ඔබ දන්නවාද?
    මේ ගැන සහ තවත් දේ ගැන වැඩිවිස්තර දැනගන්න අවශ්‍ය නම් මට ඔබේ
    ලිපිනය දැනුම්දී නිවසට පැමිණ කරන බයිබල් පාඩමක් ලබාගන්න

    ReplyDelete
    Replies
    1. කොහොමද පාපයක් වෙන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරනව ද?

      Delete
    2. මාංශයට ජීවය ලබා දෙන්නේ රුධිරය විසින්.
      යම් අයෙක් තම සිරුරට වූ මිනිස් රුධිරය ඇතුල්කරගන්නේ නම් ඔහු කරනුයේ මිනීමස් කෑම හා සමාන පාපයක්.

      Delete
    3. විකාරයක්නෙ !! මාංශයට ජීවය ලබා දෙන්න රුධිරයට පුලුවන්නම්, මැරෙන මිනිස්සු හැම එකෙක්ටම ලේ දීලා පණ ගන්න පුලුවන්නෙ.

      හැබැයි මැරෙන්න යන මිනිස්සුන්ටනම් රුධිර පාරවිලණය හින්දා ජීවීය හම්බෙනවා. ඒක සහතිකයි. පාපයක් වෙන්නේ එහෙව් ජීවිත මැරෙන්න ඇරියනම්.

      මිනී මස් කන එකට වැඩිය බරපතල පාපයක් තමා මිත්‍යා ද්‍රෘෂ්ඨිය පතුරවලා මිනිස්සු මුලා කිරීම.

      Delete
    4. ආගමෙන් අන්ධ වුනාම පිස්සු තද වෙනවා කියන්නේ මේකට තමයි.

      Delete
    5. //මේ වනවිට සාතන් අප අතර. ලේ දීම ජනප්‍රිය වුනේ ඉන්පසුවයි.//
      සාතන් වැටිල තියෙන්නේ බටහිර රටකට විය යුතුයි. අඩු ආදායම් රටකට වෙන්නේ බැහැ,

      Delete
    6. මේ සංකල්පයම එක්තරා ආගමික කල්ලියක මතකයක් විතරයි. මට මතක හැටියට මේ ආගම අදහන්නෝ ලෙඩ දුකකටත් බෙහෙත් පවා නොගන්නා අය.

      Delete
    7. ඔයා කියන්නේ අර යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියාගෙන ඉන්න අය වෙන්ටැ... බොරු මතවාද ප්‍රචාරය කරන අය... ක්‍රිස්තියානි පල්ලි වලිනුත් මෙයාලව ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ... මොන ලෙඩේ හැදුනත් මේ අය ලේ ගන්නෑ... ඕලෙවල් කරපු ගෑනු ලමයෙක් මැරුණා මෑතකදි ලේ ගන්න බෑ කියලා ලෙඩ උන වෙලාවෙ... මෑතකදි පොත් උස්සන් මේ පැත්තේ ඔය කට්ටිය ආවෙ නෑ... ආවනන් පස් හය දෙනෙක්ගේ කර මතින් යන තත්වයක් තමා උදාවෙන්නේ...

      Delete
  5. මා වැනි බිලින්දා
    මරුවා යයිද කැන්දා
    අනේ ඒ හින්දා
    දෙන්න ලේ බිදු
    මාමා නැන්දා

    ඔක තමා අපේ කවිය

    ReplyDelete
    Replies
    1. ඔය කවියත් උඩ කවි දෙක වගේම බොහෝ කලක සිට ප්‍රතිචක්‍රීකරණය වන එකක්.

      Delete
  6. හෙපටයිටිස් සෙංගමාලය (කහඋණ) වැනි රෝග වැලදුන අයට ලේ දෙන්නවත් ඔවුන්ගෙන් ලේ ගන්නවත් හොද නෑ කියලා මම අහලා තියෙනවා. එසේ හොද නැත්නම් මේ රෝග වැලදී තිබුන කොපමණ පිරිසක් නොදැනුවත්ව තවත් අයට ලේ දන් දෙනවා ඇත්ද?

    ReplyDelete
    Replies
    1. හෙපටයිටීස්, ඒඩ්ස් ඇතුලු තවත් බරපතල රෝග කිහිපයකටම පරික්ෂා කරනවා..

      Delete
    2. එහෙම ඕනේ කෙනෙකුට ලේ දෙන්න බැහැ ... ලේ ගන්න කලින් ප්‍රශ්න ගොඩක් අහනවා. ගත්තට පස්සෙත් ලේ ටෙස්ට් කරලයි ලෙඩෙක්ට දෙන්නේ. හෙම්බිරිස්සාවක් වත් තියෙනවා නම් ලේ දෙන්න බෑ! සනීප වෙලා එන්න කියල හරවල එවනවා. ඒවගේම නියමිත බර, රතු රුධිරාණු නියමිත ගාණටත් තියෙන්න ඕනේ.
      ලේ දෙන කෙනාගෙත්, ලේ අරගන්න කෙනාගෙත් දෙන්නගෙම සෞඛ්‍ය ගැන සළකා බලනවා.

      Delete
    3. නිරෝ සහ සෙන්නා ලියා තිබෙනවා වගේ විවිධ හේතූන් නිසා ඇමරිකාවේ ජනගහණයෙන් 38%ක් පමණයි ලේ දීමට සුදුසු තත්ත්වයක සිටින අය ලෙස සැලකෙන්නේ. ලංකාවෙත් ආසන්න ලෙස එවැනි ප්‍රතිශතයක් විය හැකියි.

      Delete
    4. ලේ දෙන කෙනාගෙන් ප්‍රශ්න අහනවා... වෙනමම කොලයක් දෙනවා අපිට පුරවන්න ලෙඩ ගැන අහලා... ඩොක්ටත් ආයෙ අපෙන් අහනවා...

      Delete
  7. සත් සිතක් ඇති සිතුම් ගළපා තවත් මිනිසුන් ගැන සිතා
    පුත් අපේ නිති රුධිර දන්දෙයි හැමෝගෙම කය සුව පතා
    රත් තරන් මෙන් මෙවන් මනුදම් වටීවී හැමකල් ඉතා
    සිත් නිවෙයි ඒ ලේ බිඳෙන් තව ජීවයක් සැනසෙයි සිතා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙත් සිතින් නිබඳ දන් දෙන සිය රුහිරු
      පුත් රුවන් ඇතොත් තුටු නොම වෙද කවුරු
      ලත් එවන් ගුණැති පුත් රුවනක් මහරු
      සිත් පසන් පියෙක් ගැන ඇසුමත් මියුරු

      ස්තුතියි!

      Delete
  8. මා දන්න හිතවතෙක් ඉන්නවා රාජකාරිය පොලිස් රාලහාමි කෙනෙක්. ඔහුට තියෙන්නේ අතිශය දුර්ලභ ලේවර්ගයක්. මට ඒ කාණ්ඩය හරියටම මතක නැතත් ab නෙගටිව් වගේ තමා මතකය. ඔහු දැනටත් ඒ දුර්ළභ ලේ හිමියන්ගේ ලේඛනයේ ලියාපදිංචි අයෙක්. හිටි ගමන් අත්‍යවශ්‍යම මොහොතක ඔහු කැඳවනවා ලේ හෝ පට්ටිකා අරගන්න. ඔහුත් බොහොම කැමැත්තෙන් ඒ ලේ දන් දීම කරනවා. ඒ වගේම ඔහුගේ පවුලේ කෙනකුට ලේ අවශ්‍ය තාවක් ඇතිවුණු වෙලාවට ඒ අදාළ ආයතනයෙන්ම ලේ ලබා දීමත් කරනවා. මා දන්නා විදියට ඔහු දැනට බොහෝ වාර ගණනක් සිය ලේ දන් දි තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. AB නෙගටිව් තමයි දුර්ලභම ලේ වර්ගය. ඒ ලේ වර්ගය ඇති කෙනෙක් හමුවන්නේ ජනගහණයෙන් 167කට කෙනෙක් පමණ.

      Delete
    2. ඉකොනො, දුර්ලබම ලේ වර්ගය ඇවිල්ලා "බොම්බෙ බ්ලඩ්" කියලා වර්ගයක්. ලංකාවෙම විසි ගානක්ද කොහෙද ඒ කාණඩයේ අය ඉන්නෙ..

      Delete
    3. බොහොම ස්තුතියි, සෙන්නා. මේ රුධිර කාණ්ඩය ඉතාම දුර්ලභ බවයි පෙනෙන්නේ.

      https://www.ncbi.nlm.nih.gov/books/NBK2268/

      "H antigen deficiency is known as the "Bombay phenotype" (h/h, also known as Oh) and is found in 1 of 10,000 individuals in India and 1 in a million people in Europe. There is no ill effect with being H deficient, but if a blood transfusion is ever needed, people with this blood type can receive blood only from other donors who are also H deficient."

      Delete
  9. I'm having AB+ & it might also among the most rarest blood groups isn't it Econ? Can I get transfusions from other blood groups? My god I'm in a terrible situation

    ReplyDelete
    Replies
    1. AB+ can receive red blood cells from any other type but plasma (or whole blood, for that reason) only from the AB type, as far as I know.

      Delete
    2. Thanks a lot econ. I had a misunderstanding & need to study further about this. Cheers.

      Delete
  10. මමත් එක වතාවක් පමණක් "ලේ" ලබාදීලා තියෙනවා.සමහරු කියනවා ලෝකයේ "ලේ" දන්දෙන වැඩිම පිරිස ඉන්නේ ශ්‍රී ලංකාවේ කියලා.සත්‍යක්ද ඒය,නැතිනම් ඔය නිකම් කියනවාට කියන කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. මෙය බොරුවක්. ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස හෝ මුදල් නොගෙන ලේ දෙන්නන් ප්‍රතිශතය බැලුවත් ලංකාවට වඩා උඩින් රටවල් ගණනාවක් ඉන්නවා. අදාළ සංඛ්‍යාලේඛණ කමෙන්ට් පිළිතුරක් ලෙස දමන්න බැහැ. පසුව කෙටි පෝස්ට් එකක් ලෙස දමන්නම්.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...