වෙබ් ලිපිනය:

Thursday, May 25, 2017

රවී මේසයෙන් මාරුවීම, මංගලගේ මාරුව හා ලංකාවේ අනාගතය


සිංහල අවුරුද්ද දවසේ රවි ග්‍රහයා හෙවත් ඉර මීන රාශියෙන් මේෂ රාශියට මාරු වේ. ආසන්න වශයෙන් තවත් දින 30කට පසු රවි ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු වේ. මේ අනුව, පසුගිය මැයි 14 වෙනිදා රවි ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු වූ අතර සූර්ය වර්ෂ ක්‍රමය අනුව නව වසරේ දෙවන මාසය වන වෘෂභරවි මාසය ආරම්භ වුණේය. චන්ද්‍ර මාස ක්‍රමය අනුව තවමත් ගෙවෙන්නේ වෙසක් මාසයයි. 


සිංහල අවුරුදු දවසේ රවි මේෂයට පැමිණෙන්නට පැය ගණනකට පෙර මේෂයේ සිටි මංගල හෙවත් අඟහරු ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු විය. රවි මංගල සිටි තැනට පැමිණීම නිසා මේ දවස්වල රවි හා මංගල දෙදෙනාම වෘෂභ රාශියේ සිටියත් තව දින තුනකින් මංගල වෘෂභ රාශියෙන් පිටවී මිථුන රාශියට යාමට නියමිතය.


රවි මේෂයෙන් මංගල සිටි වෘෂභ රාශියට මාරු වී සතියක් යද්දී රවී කරුණානායකගේ මේසයද මාරු විය. ඔහු සිටි මුදල් ඇමති මේසයට මංගල සමරවීර පැමිණෙද්දී, රවීට මංගල සිටි විදේශ ඇමති මේසයට යන්නට සිදුවිය. ඇමති මේස මාරුවට හේතුව කවරක් වුවත් එය ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ අතර බලතුලනය පිළිබඳ ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබේ.

රවී කරුණානායකට මුදල් ඇමති ලෙස කටයුතු කරන්නට සිදුවුණේ දෙවසරකට මඳක් වැඩි කාලයක් පමණි. ඒ කාලය අතරතුර ඔහුට රජයේ අයවැය දෙකක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේය. මේ කාලය අතරතුර 'දී බෑන්කර්' සඟරාව විසින් රවී කරුණානායකව 2016 වසරේ ආසියා-ශාන්තිකර කලාපයේ හොඳම මුදල් ඇමති ලෙසද නම් කර තිබුණේය.

අඩුපාඩු තිබුණත්, ඉකොනොමැට්ටාගේ අදහස වනුයේ රවී කරුණානායක විසින් පසුගිය දෙවසර තුළ මුදල් ඇමති ලෙස කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සමස්තයක් ලෙස සෑහීමකට පත් විය හැකි බවයි.

දේශපාලනයට පැමිණීමට පෙර රවී කරුණානායක වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළේය. ආණ්ඩු මාරුවට පෙර හිටපු මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල්ද වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි.

ගණකාධිකාරීවරයෙකු හා අර්ථශාස්ත්‍රඥයෙකු සිතන ආකාරයේ මූලික වෙනස්කම් තිබේ. එය අදාළ වෘත්තීයවේදීන් විසින් ලබා ඇති අධ්‍යාපනයට හා පුහුණුවට සම්බන්ධය. ආර්ථික විද්‍යාවට සාපේක්ෂව ගිණුම්කරණය යනු තාක්ෂනික විෂයයකි. එහි විෂය පථය මූලික වශයෙන්ම ඉලක්කම් හරඹයකි.

ගණකාධිකාරීවරයෙකුට "සංඛ්‍යාලේඛණ විජ්ජා" කිරීමට හැකිවීම කුසලතාවයක් මිස වැරැද්දක් නොවේ. ගණකාධිකාරීවරයෙකුගේ අරමුණු බොහෝ විට කෙටිකාලීනය. එහෙත්, අර්ථශාස්ත්‍රඥයෙකුගේ කාර්ය භාරය එයින් වෙනස්, දිගුකාලීන වෙනස්කම් අරමුණු කරගත් එකකි.

අර්ථශාස්ත්‍රඥයෙකු ගන්නා බොහෝ තීරණ වල ප්‍රතිඵල ක්ෂණිකව දකින්නට නොලැබෙන අතර, දිගුකාලීනව හොඳ ප්‍රතිඵල ලබාදෙන තීරණ ගැනීම සඳහා අර්ථශාස්ත්‍රඥයෙකුට තමන් ඉගෙනගෙන ඇති න්‍යාය පිළිබඳව විශ්වාසය තබන්නට සිදුවේ. මේ විශ්වාසය ගොඩනැඟෙන්නේ පළපුරුද්ද සමඟය. මෙය වෛද්‍යවරයෙකු වැනි වෙනත් වෘත්තිකයෙකු තුළ පළපුරුද්ද සමඟ ගොඩනැගෙන විශ්වාසයට සමානය.

සාමාන්‍යයෙන් අර්ථශාස්ත්‍රඥයෙකු විසින් දරන මහ බැංකු අධිපති ධුරයට ගණකාධිකාරීවරයෙකු වූ අජිත් නිවාර්ඩ් කබ්රාල්ව පත් කිරීමෙන් පසුව ලංකාවේ ආර්ථික ප්‍රවණතා නිරීක්ෂණය කළ විට මේ වෙනස පැහැදිලිව පෙනේ. ඔහු තමන් ධුරය දැරූ කාලය තුළ රටේ ආර්ථිකය හා අදාළ කෙටිකාලීන හා මැදිකාලීන ඉලක්ක ගණනාවක් නියම කර ඒවා ලඟා කරගත්තේය. එහෙත්, එසේ හඹා ගිය කෙටිකාලීන හා මැදිකාලීන ඉලක්ක බොහොමයක් ලංකාවේ ආර්ථිකයේ දිගුකාලීන ශුභ සිද්ධිය පිණිස හේතු වී නැත. මහ බැංකු අධිපති ධුරය වැනි තනතුරකට පත් විය යුත්තේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් මෙන්ම දිගුකාලීන පළපුරුද්දක්ද ඇති පරිණත පුද්ගලයෙක් මිස "පොල්කට්ටෙන් පිට හිතන" හෝ "රැඩිකල් තීරණ ගන්නා" පුද්ගලයෙකු නොවේ.

එහෙත්, මුදල් අමාත්‍ය ධුරයේ වගකීම් මහ බැංකු අධිපති ධුරයේ වගකීම් වලට සමාන නැත. මුදල් අමාත්‍යංශයේ කාර්ය භාරය කෙටිකාලීන හෝ වැඩිම වුනොත් මැදිකාලීන එකකි. මුදල් ඇමති වරයා විසින් බොහෝවිට කළ යුත්තේ රජයේ ආදායම් හා වියදම් පිළිබඳ වාර්ෂික සැලසුමක් හදා එය ක්‍රියාත්මක කිරීමයි. මෙය සෑහෙන දුරකට තාක්ෂණික කටයුත්තකි. අරමුදල් කළමනාකරණය හා ගිණුම්කරණය යනු වෙනස් විෂයයන් දෙකක් වුවත් ආර්ථික විද්‍යාවේ විෂය පථය හා සැසඳූ විට මේ විෂය දෙකේ විෂය පථයන් තරමක් දුරට සමපාත වේ. මුදල් අමාත්‍ය ධුරය සඳහා කළමනාකරණ ගිණුම්කරණයෙහි ප්‍රවීණතාවයක් ඇති අයෙකු පත් කිරීම එතරම් නරක තීරණයක් නොවේ.

රවී කරුණානායක විසින් භාරගත්තේ විශාල ලෙස අර්බුදයට ලක්ව තිබුණු, කොයි වෙලාවේ හෝ කඩා වැටෙන්නට ඉඩතිබුණු ආර්ථිකයක්ය යන්න බොරුවක් නොවේ. මේ අවදානම තවමත් කිසිසේත්ම ඉවත්වී නැතත් මේ වන විට ආර්ථිකය කඩා වැටීමට ඇති ඉඩකඩ සෑහෙන දුරට පසුපසට තල්ලු වී තිබේ. එයට හේතුව පසුගිය දෙවසර තුළ සිදුවී ඇති රජයේ මූල්‍ය කළමනාකරණයේ සාපේක්ෂව යහපත් වර්ධනයන්ය.

මේ කටයුත්තේදී රවී කරුණානායකගේ පෞද්ගලික මැදිහත්වීම කෙතරම් වීදැයි මා දන්නේ නැත. පසුගිය ආණ්ඩුව කාලයේනම් මුදල් අමාත්‍යංශයේ කටයුතු වලට අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාත් ලොකු මැදිහත් වීමක් කළේ නැත. ඒ නිසා, ඒ කාලයේ ආර්ථිකයේ යම් යහපත් වර්ධනයක් වීනම් එහි ගෞරවයද, වැරැද්දක් වීනම් එහි වගකීමද බොහෝ දුරට හිමිවිය යුත්තේ ඒ කාලයේ මුදල් අමාත්‍යාංශය පාලනය කළ ඉහළ මට්ටමේ නිලධාරීන්ට මිස දේශපාලන අධිකාරියට නොවේ. පසුගිය දෙවසර තුළ මේ තත්ත්වය කෙසේ වෙනස් වීදැයි මා දන්නේ නැත.

රවී කරුණානායක විසින් පළමු අයවැය පිළියෙළ කරන අවස්ථාවේදී රටේ ආර්ථිකයට පසුගිය කාලයේ ආර්ථිකය හා අදාළව ගත් තීරණ වල පීඩනය දැනෙමින් තිබුණු අතර, ඒ මතට මේ ආණ්ඩුව බලයට පත්වීම සඳහා ලබාදුන් මැතිවරණ පොරොන්දු වල බරද එකතු විය. ඒ වෙලාවේ විශාල වෙනස්කම් කිරීමට අවකාශයක් නොතිබුණේය. ඉකොනොමැට්ටා විසින් ඒ කාලයේ පෙන්වාදුන් පරිදි මේ පළමු අයවැයට රවී කරුණානායකගේ සංඛ්‍යාලේඛණ විජ්ජාවන්ද එකතු වී තිබුණේය. එහෙත්, දෙවන අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔහු ඒ වරද නිවැරදි කර තිබුණේය.

පසුගිය දශක දෙක තුන තුළම ලංකාවේ රාජ්‍ය අයවැය යෝජනා බොහොමයක් වසර තුළදී ඒ අයුරින්ම ක්‍රියාත්මක වුණේ නැත. බොහෝ වසර වල සිදුවූ සාමාන්‍ය දෙය වූයේ අපේක්ෂිත ආදායම් එකතු නොවීම හා වියදම් වැඩිවීමයි. ඒ නිසා, අයවැය හිඟය බොහෝ විට වසර මුලදී ඇස්තමේන්තු කරනවාට වඩා ඉහළ ගියේය. එමෙන්ම, පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර අයවැයට පිටින් වියදම් කිරීම සාමාන්‍ය දෙයක් වී තිබුණේය.

ඉහත තත්ත්වය දැනටත් සම්පූර්ණයෙන් වෙනස් වී නැතත් මේ වන විට සෑහෙන තරමකින් පාලනය වී තිබේ. පසුගිය දෙවසර තුළ රජයේ ආදායම් ඉහළ නංවාගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනා බොහොමයක් පසුව අකුලා ගන්නට සිදුවුවත් එසේ සිදුවුණේ රටතුළ පීඩක කණ්ඩායම් තුළින් මතු වූ විරෝධය හේතුවෙන් මිස ආණ්ඩුවේ වරදකින් නොවේ. එමෙන්ම, ආදායම් වැඩි කරගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ ඇතැම් යෝජනා 'බැක්ෆයර්' විය. එහෙත්, වසර ගණනාවකට පසු සමස්තයක් ලෙස ආදායම් එකතු කර ගැනීමේ අංශයේ ප්‍රගතියක් පෙන්වීමට රජය සමත් විය.

රජයේ වැය ශීර්ෂයන් තුළද මූල්‍ය විනය වර්ධනය වීම පැහැදිලිව පෙනෙන්නට තිබේ. රජයේ පුනරාවර්තන වියදම් අඩුවී නැතත්, එහි වරද මුදල් ඇමතිවරයා පිට පැටවිය නොහැකිය. රටේ දේශපාලන ව්‍යුහය මෙන්ම බලතුලනයද සකස් වී ඇති ආකාරය අනුව ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා පොදු මුදල් නාස්ති කරමින්, තනතුරු මවමින් තවදුරටත් අකාර්යක්ෂමතාවයන් වැඩි කරන්නට සිදු වී තිබේ. රටේ ඉල්ලුම තිබෙන්නේද රාජ්‍යය පුළුල් කිරීමට මිස සීමා කිරීමට නොවේ. මේ තත්ත්වය හමුවේ පුනරාවර්තන  වියදම් අඩුවී නැත. එහෙත්, යම් තරමකින් හෝ ඵලදායී ප්‍රාග්ධන වියදම් තවදුරටත් කපා හැරීම මඟින් කෙසේ හෝ  අයවැය තුලනය කර ගැනීමට පසුගිය දෙවසර තුළ මුදල් ඇමති වරයා සමත්ව සිටී.

දැන් මුදල් ඇමති ලෙස පත්වී සිටින්නේ මංගල සමරවීරයි. ඔහු හොඳ පරිපාලකයෙකු හා තීරණ ගැනීමට බය නැති පුද්ගලයෙකු බව පෙන්වා ඇතත් ආර්ථික විද්‍යාව හෝ  මූල්‍යකරණය වැනි විෂයයක විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති අයෙකු නොවේ. පවත්නා තත්වයන් හමුවේ රවී කරුණානායක විසින් නොකළ දෙයක් මංගල සමරවීර විසින් කිරීමට ලොකු ඉඩක් ඇති බවක් නොපෙනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ තීරණ වලට ඕනෑවට වඩා මැදිහත් නොවී පරිපාලකයෙකු ලෙස පමණක් කටයුතු කිරීමෙන් අඩුම වශයෙන් පවත්නා තත්ත්වය තවත් නරක් නොකර තබා ගැනීම හා වලගැට්ටෙන් යාන්තමින් ඈත්වී ඇති ආර්ථිකය ලොකු පිමි පන්නවන්නට උත්සාහ කරමින් අවදානමක් ගැනීම යන මාර්ග දෙක මංගල සමරවීර ඉදිරියේ විවෘතව තිබේ.

කවර ආකාරයෙන් බැලුවත් මංගල සමරවීර විසින් භාරගෙන තිබෙන්නේ විශාල අභියෝගයකි.


(Image: http://mirrorcitizen.dailymirror.lk/2017/05/22/cabinet-reshuffle-mangala-ravi-to-swap-portfolios/)

15 comments:

  1. හොඳම මුදල් ඇමතිව මාරු කරපු එක හරි පුදුමයක්නේ !

    ReplyDelete
    Replies
    1. ඔය වගේ නම්කිරීම්නම් ලොකු බරක් තැබිය යුතු දේවල් නෙමෙයි.

      Delete
    2. චතුර සේනාරත්නගේ ඉල්ලීමක් අනුවයි මේ වෙනස කරල තියෙන්නේ. තව දෙන්නෙක්ව අයින් කරනවලු.
      https://soundcloud.com/nethfmradio/unlimited-chathura-senarathna-2017-05-24

      Delete
  2. ""මුදල් ඇමතිකම නැති වුණේ ඊර්ෂ්‍යාකාරයන් නිසා විය හැකියි"
    2017 මැයි 23

    දුවන නැවක් පෙරළන්න එක්කෙනෙක් ඇති - නව විදේශ ඇමති
    තමන් මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑමක් එල්ල වූයේ නම් ඒ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කීප දෙනෙකුගෙන් විය හැකි බව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසයි.
    ඇමතිවරයා ඒ බව කියා සිටියේ ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑමක් එල්ල වූයේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
    "මම හිතන්නේ නැහැ එවැනි බලපෑමක් තිබුණා කියලා. නමුත් බලපෑමක් තිබුණා නම්, හැම දේශපාලන පක්ෂයකම ඊර්ෂ්‍යාවෙන් පෙළන අය ඉන්නවනේ. ඉතින් ඒ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හිටියහම හොඳටම ඇති හොඳට දුවන නැවක් අනෙක් පැත්ත හරවන්න" යනුවෙන් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළේය.
    එමෙන්ම තමන් මුදල් ඇමතිවරයා වශයෙන් සිදු කළ කාර්ය භාරය පිළිබඳ සෑහීමකට පත් වන බව කී ඇමතිවරයා සිය ධුර කාලය තුළ 10% ව තිබූ දළ දේශීය නිෂ්පාදනය 15.5% දක්වා වර්ධනය කිරීමට හැකි වූ බව පැවසීය.

    ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මුදල් ඇමතිවරයා වශයෙන් තමන් දූෂණය සහ නාස්තිය අවම කොට මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීමට සැලැස්වූ බවය.
    "මම හිතන්නේ එතන දක්ෂතා පෙන්වූ නිසා වෙනත් තැනකත් ඒ දක්ෂතාව පෙන්වන්න තමයි අවස්ථාව දී තිබෙන්නේ" යනුවෙන් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේය.
    එක්සත් ජනතා නිදහස් සන්ධානය

    කැබිනට් වෙනස: "මේක රටේ අවශ්‍යතාවක්"
    කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ අමාත්‍යාංශ නවයක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු සඳුදා (මැයි 22) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ.
    මුදල් ඇමති ධුරයේ වෙනසක් සිදු විය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉල්ලා සිටියා නොවේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එවැනි වෙනසක් සිදු විය යුතු බවට රටේ ඉල්ලීමක් පැවති බවය."

    ඉතාම කනගාටුයි! ඉකොනොමට්ටා සාපේක්ෂව හොදයි කියන්නේ මෙන්න මේ වගේ තේරුමක් නැති ප්‍රකාශ කරන පුද්ගලයෙකුයි!

    ඔබ වර්ණනා කරමේ මේ පුද්ගලයාගේ මේ ප්‍රකාශය පැහැදිලි කල හැකිද?

    "එමෙන්ම තමන් මුදල් ඇමතිවරයා වශයෙන් සිදු කළ කාර්ය භාරය පිළිබඳ සෑහීමකට පත් වන බව කී ඇමතිවරයා සිය ධුර කාලය තුළ 10% ව තිබූ දළ දේශීය නිෂ්පාදනය 15.5% දක්වා වර්ධනය කිරීමට හැකි වූ බව පැවසීය."

    ReplyDelete
    Replies
    1. //සිය ධුර කාලය තුළ 10% ව තිබූ දළ දේශීය නිෂ්පාදනය 15.5% දක්වා වර්ධනය කිරීමට හැකි වූ බව පැවසීය//
      දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස් වීම මිස දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස මනින්නේ නැත. එමෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස් වීම කිසි දිනක මෙවැනි විශාල ප්‍රතිශතයන් ලෙස තිබී නැත. රවී කරුණානායක මේ කතා කරන්නේ රජයේ බදු ආදායම ගැන විය හැකිය. කාලයක් තිස්සේ ක්‍රමයෙන් පහත වැටී 2014 වන විට දළ ජාතික නිෂ්පාදිතයෙන් 10.1% මට්ටමට පහත වැටී තිබුණු රජයේ බදු ආදායම 2015 වන විට 12.4% මට්ටමට වැඩි විය. මහ බැංකු වාර්තාවේ ඇති තාවකාලික ඇස්තමේන්තු අනුව 2016 අවසානයේදීද මේ අගය 12.4% මට්ටමේම විය. නියම ගණන ඊට වඩා තරමක් වැඩි විය හැකි වුවත්, එය 15.5% මට්ටමට ඉහළ ගොස් ඇතැයි මා විශ්වාස කරන්නේ නැත. එහෙත්, එය එසේ වන්නට බැරි කමක්ම නැත. පසුගිය වසර දෙක තුල ආණ්ඩුව ලඟා කරගත් ලොකුම ඉලක්කයක් ලෙස මේ ආදායම් වැඩිවීම දැක්විය හැකිය. මෙහිදී රවී කරුණානායක කතා කරන්නේ තමන් ඇමති ධුරය දැරූ කාලය තුළ රජය ලඟා කරගත් මේ ඉලක්කය ගැන විය යුතුය. එහෙත්, එය පවා හරියට ප්‍රකාශ කර ගැනීමට බැරි වීමෙන් ඔහු පෙන්වන්නේ රජයේ මූල්‍ය කටයුතු හා රටේ ආර්ථිකය ගැන ඔහුගේ දැනුමේ සීමාවයි. මෙය ඉතා කණගාටුදායකය. පසුගිය මුදල් ඇමතිවරුන් මෙන්ම ඔහුද කතා කරන්නේ කාගෙන් හෝ "කුප්පියක් දමාගෙන" බව මෙයින් පැහැදිලි වේ. කෙසේ වුවත්, රටක් වශයෙන් වඩා වැදගත් වන්නේ ඔහු මුදල් ඇමතිව සිටි කාලයේ කවුරු හෝ අතින් සිදුවුනේ කුමක්ද යන්නයි. පසුගිය දෙවසර තුළ රාජ්‍ය මූල්‍ය අංශයේ සමස්තයක් ලෙස සිදුවී ඇත්තේ ප්‍රගතියකි. රවි කරුණානායක විසින් වැඩිපුර ඇඟිලි නොගසා මුදල් අමාත්‍යංශයේ සේවය කරන වෘත්තිකයින්ට නිදහසේ තීරණ ගන්නට ඉඩ හැරියේනම් එයද අගය කළ යුතු දෙයකි. මුදල් ඇමතිව වෙනස් කිරීමෙන් පසුව රටේ ආර්ථිකයේ හෝ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ වඩා යහපත් වෙනසක් සිදුවනු ඇතැයි මා විශ්වාස කරන්නේ නැත. ඇතැම් විට අළුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට යාම නිසා එහි අනිත් පැත්ත සිදුවන්නට පුළුවන. ඉදිරි කාලයේ මුදල් අමාත්‍යාංශයේ කටයුතු සිදුවන ආකාරය අනුව රවී කරුණානායකගේ කාර්ය භාරය වඩා හොඳින් සසඳන්නට හැකි වනු ඇත.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. //ගණකාධිකාරීවරයෙකු හා අර්ථශාස්ත්‍රඥයෙකු සිතන ආකාරයේ මූලික වෙනස්කම් තිබේ.//

    ගණකාධිකාරීවරයෙකු වුවත් අර්ථශාස්ත්‍රඥයෙකු වුවත් ඔහු දේශපාලඥයකු නම් සිතන්නේ තවත් වෙනස් ආකාරයකින් විය යුතුයි.ඒ නිසා තමයි රවීට දිගටම බැනුම් අහන්න සිද්ද වුනේ.කොහොම උනත් මංගල නැව පදවන විදිය අවුලක් නැතිව කර ගනීවි කියලා මම හිතනවා.මංගල මිට කලින් දරපු ඇමති වගකීම් එක්ක.මොකද මංගල අභියෝගයක්ව තිබ්බ විදේශ අමත්‍යංශයේ කටයුතුත් හොඳින් කර තිබෙන නිසා ඔහු ගැන විශවාසයක් තැබිය හැකියයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ වෘත්තිකයින් දේශපාලඥයින් වූ පසු සිදුවන්නේ වෘත්තිකයා යටපත් වී දේශපාලඥයා මතුවීමයි.

      Delete
  5. මේ ආණ්ඩුවෙ ඉන්න ඔලුවක් තියෙන මිනිහෙක්ය කියල මංගල ගැන මගෙ සෑහෙන දුරට විශ්වාසයක් තියනව. ඒ නිසා නාගන්නෙ නැතුව හොඳ දෙයක් කරයි මනුස්සය....:)

    ReplyDelete
    Replies
    1. වෙනත් අයට සාපේක්ෂව මංගල නාගන්නේ නැතුව ඉන්න වැඩි ඉඩක් තියෙනවා කියන එකේ ඇත්තක් තිබෙනවා. රටේ ආර්ථිකය හා අදාළව ගත් විට ආණ්ඩුවට මේ වෙලාවේ කළ හැකි හොඳම දේ වැඩිපුර මැදිහත් වීම නොකර සිටීමයි.

      Delete
  6. //රවී කරුණානායක විසින් භාරගත්තේ විශාල ලෙස අර්බුදයට ලක්ව තිබුණු, කොයි වෙලාවේ හෝ කඩා වැටෙන්නට ඉඩතිබුණු ආර්ථිකයක්ය යන්න බොරුවක් නොවේ. මේ අවදානම තවමත් කිසිසේත්ම ඉවත්වී නැතත් මේ වන විට ආර්ථිකය කඩා වැටීමට ඇති ඉඩකඩ සෑහෙන දුරට පසුපසට තල්ලු වී තිබේ. එයට හේතුව පසුගිය දෙවසර තුළ සිදුවී ඇති රජයේ මූල්‍ය කළමනාකරණයේ සාපේක්ෂව යහපත් වර්ධනයන්ය.///

    නොට් එච්රිවන් අග්‍රීස් විත් අබව් දෝ - රීඩ් දිස්
    http://www.economynext.com/Sri_Lanka_s_Weimar_Republic_factor_is_inviting_dollar_sovereign_default__Bellwether-3-8004-2.html#.WSfC4Kj_H5k.facebook


    ReplyDelete
    Replies
    1. ඒ ලිපියේ සඳහන් කරුණු නිවැරදියි. රජය විශාල ලෙස දේශීය ණය ගැනීමට යොමු වී තිබෙනවා. මෙයින් කොටසක් අළුතින් මුද්‍රණය කළ මුදල්. නමුත්, එය එසේ සිදුවන්නේ පසුගිය වසර දෙක තුළ සිදුවුණු අයහපත් මූල්‍ය කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස නෙමෙයි. කාලයක් තිස්සේ විශාල රජයක් නඩත්තු කිරීමේ අවසන් ප්‍රතිඵලයක් ලෙසයි. මම කියා තියෙන්නේ "මේ අවදානම තවමත් කිසිසේත්ම ඉවත්වී නැතත් මේ වන විට ආර්ථිකය කඩා වැටීමට ඇති ඉඩකඩ සෑහෙන දුරට පසුපසට තල්ලු වී තිබේ." කියලයි. අවදානම තවම තිබෙනවා. එය නැති කර ගැනීමටනම් රජය තවත් සැලකිය යුතු ලෙස කුඩා කළ යුතුයි. නමුත්, ආණ්ඩුව එය මීට වඩා වේගයෙන් කරන්න ගියොත් ආණ්ඩුව ඉක්මණින්ම කඩා වැටෙනවා. රජය කුඩා කරන්න ගත් උත්සාහයන් නිසා දැනටත් ආණ්ඩුව දේශපාලනිකව අර්බුදයට ගිහිනුයි ඉන්නේ. මෙහි ඇති ප්‍රශ්නය ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිකර ගැනීම සඳහා රජය විශාල වන ක්‍රියාමාර්ග වලට නැවත ගියොත් ආර්ථිකයේ ප්‍රශ්න තවත් උග්‍ර වීමට ඇති හැකියාවයි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...