වෙබ් ලිපිනය:

Tuesday, December 21, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (පළමු කොටස)


ලංකාවේ සමාජවාදී, සුබසාධනවාදී ආර්ථික ආකෘතිය ඉතා වේගයෙන් එහි තාර්කික අවසානය කරා ඇදී යමින් තිබෙනවා. ආර්ථිකය කඩා වැටෙන දවසක් පිළිබඳව අපට නිශ්චිත අනාවැකි කියන්න බැහැ, කිසිවකුට එසේ කළ හැකියැයි අප සිතන්නේද නැහැ. කොහෙන් හෝ ඩොලර් ටිකක් හොයා ගත්තොත් එයින් මාස ගණනක් ඇදගන්න පුළුවන්. එහෙත්, මේ වැඩේ තව වැඩි කාලයක් දිගින් දිගටම කරන්න බැහැ. 

රට මේ තත්ත්වයට වැටුණේ මේ ආණ්ඩුවේ වරදින් නෙමෙයි. කෝව්ඩ් නිසාත් නෙමෙයි. එහෙත්, මේ ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති වගේම වසංගතය විසින්ද පරිහානිය ඉක්මන් කළා. පාලකයින්ගේ වරදින් මේ තත්ත්වය ඇති වූ බව කියන්න පහසුයි. එහෙත්, අහම්බයන්ද සිදු වුවත්, පාලකයින් බිහිවන්නේද පවතින ඓතිහාසික තත්ත්වයන් තුළයි.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූයේත්, ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය වූයේත්, ජනතාවගේ ඇසින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වීම තුළයි. ජනතාවගේ ඇසින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වූයේ පෙර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිව තිබූ අසමතුලිතතාවන් සමතුලිත කරන්නට යාම තුළයි. පෙර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිද අහම්බයන් නෙමෙයි. රාජපක්ෂ ආණ්ඩුව විදේශ ණය පිරමිඩයක් බිහි කළේ එවකට පැවති තත්ත්වයන් තුළ උපාය මාර්ගයක් ලෙසයි. මේ ආකාරයෙන් පසුපසට ගියොත් අපට නිදහසට පෙර කාලය දක්වාම හා හැකියි.

වත්මන් ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය නිවැරදිව තේරුම් නොගෙන අර්බුදයට පිළියම් කළ නොහැකියි. සැලසුමක ඉලක්කය විය යුත්තේ ඉතිහාසයේ නිශ්චිත තැනකට ආපසු ගොස් නැවත මුල සිට පටන් ගැනීමයි. මේ තැන කොතැන විය යුතුද?

ලංකාවේ ධනවාදය යුරෝපයේ මෙන් ඓන්ද්‍රීය ලෙස වර්ධනය වූවක් නෙමෙයි. එය ඉංග්‍රීසින් විසින් ආනයනය කර පැල කරනු ලැබූවක්. දහනවවන සියවස වන තුරුද ලංකාවේ තිබුණේ වැඩවසම් ආකෘතියක ක්‍රියාත්මක වූ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකයක්. එහි ගනුදෙනු තිබුණත් එම ගනුදෙනු සඳහා මුදල් භාවිතා වුනේ ඉතා අඩුවෙන්. යුරෝපයේ වුවද මේ තත්ත්වය වෙනස් වී ඒ වන වැඩි කාලයක් ගත වී තිබුණේ නැහැ.

යුරෝපීයයන් ලංකාවට පැමිණෙන කාලය දක්වාත්, ඉන් පසුව කාලයක් යන තුරුත්, රටේ ඉඩම් ඇතුළු ස්වභාවික සම්පත් වල අයිතිය තිබුණේ රජු සතුවයි. එහෙත්, මේ ස්වභාවික සම්පත් භුක්ති විඳීමට රටවැසියන්ට විශාල බාධාවන් තිබුණේ නැහැ. ඔවුන්ගේ එදිනෙදා ජීවිත වලට, එදිනෙදා ආර්ථිකයට රජයේ හෝ රජුගේ බලපෑමක් නොතිබුණු තරම්. 

ඉතිහාසය පුරාම ලංකාව ලෝකය සමඟ ගනුදෙනු කළත් ඒ ගනුදෙනු වලට සාමාන්‍ය පුද්ගලයින් සම්බන්ධ වූයේ නැහැ. ඒ වගේම අපනයනය කළානම් කළේ කිසියම් ස්වභාවික සම්පතක්. අලි ඇතුන් අපනයනය කර අශ්වයින් ආනයනය කළා. මුතු හා මැණික් අපනයනය කර රන් රිදී ආනයනය කළා. කුරුඳු අපනයනය කළත් වාණිජ බෝගයක් සේ කුරුඳු වගා කිරීම සිදු වුනේ පසුකාලීනවයි. මුලදී එයද ස්වභාවික සම්පතක්. 

ලංකාවේ පැරණි ගැමි ආර්ථිකය පදනම්ව තිබුණේ කම්මැලි ජීවන රටාවක් මතයි. වී වගා කිරීමෙන් පසු වී පැහෙන තුරු කරන්න ලොකු වැඩක් තිබුණේ නැහැ. අනෙකුත් බෝග ගණනාවක්ම පිළිවෙලකට වගා කිරීමක් සිදු වුනේ නැහැ. මිනිස්සු පුරුදු වී හැටියේ හැදෙන හෝ ලැබෙන දෙයක් කා පාඩුවේ ඉන්නයි. ඉංග්‍රීසින් විසින් කළේ ලංකාවේ කාලයක් තිස්සේ පැවති සම්ප්‍රදායික ආර්ථිකය එලෙසම තිබියදී එයින් බාහිරව වාණිජ බෝග මත පදනම් වූ සමාන්තර ආර්ථිකයක් ඇති කිරීමයි.

ලංකාවට ධනවාදය පැමිණියේ මේ සමාන්තර ආර්ථිකය හරහායි. ලාංකිකයන්ගේ පැත්තෙන් මුඩුබිම් පණත ආදිය අසාධාරණ ක්‍රියාවන් සේ සැලකිය හැකි වුවත්, ඉංග්‍රීසින්ගේ පැත්තෙන් බැලූ විට ඔවුන් කළේ ඒ වන විට ප්‍රයෝජනයට නොගැනුණු සම්පත් නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගැනීමක්. රජයේ අයිතියට යටත් කෙරුණු මේ ඉඩම් යුරෝපයේ සිට පැමිණි පෞද්ගලික ව්‍යවසායකයින් විසින් රජයෙන් මිල දී ගත්තා. ඉංග්‍රීසි ආණ්ඩුව කෙසේ වෙතත්, මේ ව්‍යවසායකයින් ඉඩම් බලහත්කාරයෙන් අයිතිකරගත්තේ නැහැ. 

අවදානමක් ගෙන තමන්ගේ මුදල් ලංකාවේ ආයෝජනය කළ මේ ව්‍යවසායකයින්ට නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ්‍රමය රට තුළින් මිල දී ගත හැකි වූයේ නැහැ. ලාංකිකයින් තුළ සම්ප්‍රදායික ආර්ථිකයෙන් මිදෙන්න කැමැත්තක් නොතිබීම ඊට හේතුවයි. ඔවුන් ලැබෙන හෝ හැදෙන දෙයක් කා සතුටින් හිටියා. බැහැරින් ලංකාවට ප්‍රාග්ධනය ගෙන ආ ඔවුන්ට බැහැරින් ශ්‍රමයද ගෙන එන්නට සිදු වුනා. 

ලංකාවේ වාණිජ බෝග ව්‍යාප්ත වෙද්දී බැහැරින් ගෙන ආ ශ්‍රමය නිසා ආහාර ප්‍රශ්නයක් ඇති වුනා. ලංකාවේ පැවති සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකය තුළ හුවමාරු කළ හැකි අතිරික්තයක් තිබුණේ නැහැ. ඒ නිසා, සමාන්තර ආර්ථිකයට අවශ්‍ය හාල් ඇතුළු ආහාර ආනයනය කරන්න සිදු වුනා. ඒ සඳහා අවශ්‍ය වූ විදේශ විණිමය එම ආර්ථිකය තුළින්ම උපයා ගත හැකි වූ නිසා මෙය ප්‍රශ්නයක් වූයේ නැහැ. එයින් බාහිරව සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකය එලෙසම පැවතුනා. මේ ආර්ථිකයේ නෂ්ඨාවශේෂ අනූව දශකයේ  මුල් කාලය පමණ දක්වා දැකිය හැකිව තිබුණා.

ලංකාවේ වත්මන් රජයේ පූර්වගාමියා වූ ඉංග්‍රීසි ආණ්ඩුවේ ආදායම් වලින් වැඩි කොටසක් එකතු වූයේ ආනයන හා අපනයන බදු ලෙසයි. සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකයෙන් රජය නඩත්තු කිරීමට එතරම් දායකත්වයක් ලැබුණේ නැහැ. එම ආර්ථිකයට රජයෙන් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබුණේත් නැහැ. මාර්ග සංවර්ධනය වැනි අංශ වලදී ඔවුන්ට ලැබුණු බැහැර කළ නොහැකි වාසි වෙනුවෙන් යම් බද්දක් රජයට ගෙවන්න සිදු වුනා. එහෙත්, මේ සම්ප්‍රදායික ආර්ථිකය බොහෝ දුරට වාණිජ ආර්ථිකයට සමාන්තරව නිදහසේ ක්‍රියාත්මක වූ වෙනම ආර්ථිකයක්. 

ගනුදෙනු අඩු, ශ්‍රම විභජනය අඩු, ලංකාවේ සම්ප්‍රදායික ආර්ථිකයට සාපේක්ෂව වාණිජ ආර්ථිකය වඩා කාර්යක්ෂම වූ නිසා සම්ප්‍රදායික ආර්ථිකය එක තැන පල් වෙද්දී වාණිජ ආර්ථිකය දිනෙන් දින දියුණු වුනා. මේ හරහා දේශීය ධනවතුන්ද ගොඩ නැගුනා. ලාංකිකයන්ද තමන්ගේ ශ්‍රමය විකිණීමට පටන් ගත්තා. වාණිජ ආර්ථිකය විසින් ටිකෙන් ටික සම්ප්‍රදායික ආර්ථිකය ගිල ගත්තා. එහෙත්, මේ කටයුත්ත සම්පූර්ණ වී ලංකාවේ සම්ප්‍රදායික ආර්ථිකය මුළුමනින්ම දිය වී ගියේ නිදහස ලබා දශක හතරක් පහක් ගියාට පසුවයි. 

වාණිජ ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී, ධනවාදය දියුණු වන විට සාමාන්‍යයෙන් සිදු වන පරිදි, ආදායම් විෂමතා ඉහළ ගියා. ආදායම් හිනිපෙතේ ඉහළින්ම සිටියේ ඉංග්‍රීසීන්. ඒ ඔවුන් ලාංකිකයින් සතු ශ්‍රමය සූරා කෑ නිසා නොවූවත් කවර හෝ නොදන්නා හේතුවක් නිසා ඉංග්‍රීසින් තමන්ට වඩා හොඳින් ජීවත් වන බව ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට පෙනුනා. ඉංග්‍රීසින්ගේ පසුව මේ ධුරාවලියේ උඩින්ම සිටියේ වඩාත් හොඳින්ම ඉංග්‍රීසීන්ව අනුකරණය කිරීමට සමත් වූ "කළු සුද්දන්". සිංහලයන්ගේ වචන වලින් ඔවුන් ඉංග්‍රීසින්ට කත් ඇදපු අය. 

ඉංග්‍රීසීන්ට කත් ඇදීම කියන්නේ රටේ ජීවත් වූ ස්වදේශිකයන් හා යුරෝපීයයන් නොවූ විදේශිකයින් රට තුළ සමාන්තරව ගොඩ නැගෙමින් තිබුණු ධනවාදී ආර්ථිකය තුළට මුලින්ම අන්තර්ග්‍රහණය වූ ආකාරයයි. ඔවුන් දේශීය නිෂ්පාදන එකතු කරගෙන කරත්ත (කත්) වලින් ඇද සුද්දන්ට විකිණුවා. කරත්ත පාරවල් හැදී නොතිබුණු තැන් වල කදවල් උරිස්සේ තබාගෙන අදින්නත් ඇති. මේ සැපයුම් වෙනුවෙන් ඔවුන්ට සෘජුව මුදල් ලැබුණා. මෙය සම්ප්‍රදායික ආර්ථිකය තුළ සිදු වූ සෘජු භාණ්ඩ හා සේවා හුවමාරුවෙන් වෙනස් වූ අලුත් තත්ත්වයක්.

සමාජයේ යම් ස්ථරයක් වඩා හොඳින් ජීවත් වන විට ඔවුන් භුක්ති විඳින සම්පත් වලට වෙනත් අයට ආශාවක් ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ පිරිස රටට පිටින් පැමිණි, තමන්ට වඩා බාහිර පෙනුමෙන් වෙනස්, විදේශිකයින් පිරිසක් වූ විට ඔවුන් සැප විඳින්නේ තමන් සතු දෙයක් ලබා ගනිමින් යන හැඟීමද ඇති වෙනවා. 

සමාජවාදී අදහස් ලංකාවේ ජනප්‍රිය වීමට මේ තත්ත්වය බලපෑවා. අධිරාජ්‍ය විරෝධය හා මාක්ස්වාදීන්ගේ සූරාකෑම පිළිබඳ අදහස එකිනෙක හා හොඳින් පෑහුනා පමණක් නොව මහ පොළොවේ දැකිය හැකි වූ තත්ත්වයන් සමඟද පහසුවෙන් ගලපා ගත හැකි වුනා. එහෙත් ඇත්තටම ඉංග්‍රීසින් විසින් භුක්ති වින්දේ ඔවුන් විසින් ජනනය කරගත්, ඔවුන් විසින් නිර්මාණය කරගත් සම්පත් මිසක් වෙනත් අයෙකුගෙන් පැහැරගත් සම්පත් නෙමෙයි. ඒ නිසා, සුද්දා එළවීමෙන් පසුව ඔවුන් අතින් සිදු වූ සම්පත් ජනනයද නැවතුනා.

මිනිස්සු බලාපොරොත්තු වී සිටියේ එවැන්නක් නෙමෙයි. ඔවුන් බලා සිටියේ තමන්ගේ කම්මැලි ජීවන රටාව එලෙසම පවත්වා ගන්නා අතර සුද්දා එළවා සුද්දා භුක්ති විඳින සම්පත් බෙදා ගන්නයි. එය කළ හැකි බව සමාජවාදීන් විසින් මිනිස්සුන්ට ඒත්තු ගැන්වුවා. සමාජවාදී අදහස් ලංකාවේ ජනප්‍රිය වුනා.

කෙසේ වුවත්, නිදහසින් පසු ලංකාවේ පාලන බලය ලැබුණේ සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි පක්ෂ වලට නෙමෙයි. එජාපය වැනි පක්ෂ වලටයි. එයට හේතු වූයේ එජාපය විසින් සාර්ථක ලෙස සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය (internalize) කර ගැනීමයි. සුද්දා එළවීමෙන් පසු සුද්දා නිෂ්පාදනයට එකතු කළ දෙයද අහිමි වන බව එජාපය තේරුම් ගත්තා. නිදහස ලබාගත් පමණින් සමාජයේ පහළ ස්ථර වලට වඩා හොඳ ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට උදවු කිරීම පිණිස නිදහසේ සල්ලි බෙදන්න පුළුවන්කමක් ස්වදේශිකයන්ගේ රජයකට තිබුණේ නැහැ. 

සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි පක්ෂ වලට වැඩි බලයක් ලැබුණු අවස්ථා වල යම්තාක් දුරකට ඔවුන් කළේ දේශීය ධනවතුන් සතු දේ රජය සතු කර ගෙන සහනාධාර සේ බෙදා දීමයි. මෙය සෘජුව හෝ වක්‍රව සිදු වුනා. මෙයින් සමාජයේ ඉහළ ස්ථර අසතුටු වුවත්, පහළ ස්ථර සතුටු කළ හැකි වුනා. එජාපයට සමාජයේ ඉහළ ස්ථරද සතුටු කරන්න අවශ්‍ය වුවත්, සර්වජන ඡන්ද ක්‍රමය යටතේ පහළ ස්ථර වල සහයෝගය නොමැතිව ඔවුන්ට බලය ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එජාපය මේ කණ්ඩායම් දෙකම සතුටු කළ හැකි ක්‍රමයක් හොයා ගත්තා. ඒ ඉහළ ස්ථර පීඩාවට පත් නොකර, පහළ ස්ථරද සතුටු කළ හැකි ක්‍රමයක්. ණය මත දුවන සුබසාධන ආර්ථිකය මේ ක්‍රමයයි.

දළ ප්‍රකාශයක් ලෙස වත්මන් ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ කේන්සියානු මතවාද කෙරෙහි විශ්වාසය තැබූ ජේආර් ජයවර්ධනයි. එහෙත් මේ ක්‍රමය ඔහු ලංකාවට හඳුන්වා දුන්නේ හැත්තෑ හතේදී නෙමෙයි. හතලිස් හතේදී මුදල් ඇමති වූ වහාම ජේආර් වැඩ පටන් ගත්තා. රාජපක්ෂලා ජේආර්ගේ ක්‍රමයේ මෑතකාලීන ප්‍රකාශකයෝ.

මෙයින් අදහස් වන්නේ ජේආර් නොවන්නට ලංකාවේ විකල්ප ආර්ථික ඉතිහාසයක් නිර්මාණය විය හැකිව තිබුණා කියන එක නෙමෙයි. ඒ ජේආර් කියන්නේත් ඓතිහාසිකව සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මිස අහම්බයක් නොවන නිසයි. ජේආර්ගේ ක්‍රමය ලංකාවේ සමාජ-ආර්ථික පරිණාමය තුළ ඉතිරි වූ, පැවති බාහිර තත්ත්වයන් හමුවේ වඩාත්ම සාර්ථක විය හැකි වූ ක්‍රමයයි. එයට ප්‍රතිපක්ෂව පැවති ජාතික සමාජවාදයටද යම් සාපේක්ෂ වාසියක් තිබුණා. එහෙත්, වැඩි වාසි තිබුනේ කේන්සියානු ආකෘතියටයි.

සුබසාධනයට මුල් තැන දුන් ජාතික සමාජවාදී ආර්ථික ආකෘතිය වගේම කේන්සියානු ආකෘතියද බොහෝ ලාංකිකයින්ගේ අවිඥානික මනෝභාවය සමඟ හොඳින් පෑහුනා. වාණිජ බෝග වගාව සඳහා ලංකාවට ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වන්න සිදු වුනේ හැමදාම මහන්සි වී වැඩ කරන්න සිදුවන එවැනි රැකියාවකට සිංහලයින් කැමති නොවූ නිසා. වී ගොවිතැන් හේන් ගොවිතැන් කරද්දී ලොකු නිවාඩු කාල ලැබෙනවා. වාණිජ බෝග වගාවේදී එවැනි ඉන්ටවල් ලැබෙන්නේ නැහැ. නිදහස ලැබෙන කාලයේදීත්, ඉන් පසුවත් බොහෝ ලාංකිකයන්ට අවශ්‍ය වූයේ සම්ප්‍රදායික වී ගොවිතැන කරද්දී මෙන් ටික කාලයක් වැඩ කර වැඩි කාලයක් විවේක ගන්නා අතරම සුද්දන් මෙන් ඉහළ පරිභෝජන මට්ටමක්ද පවත්වා ගන්නයි. මෙය සිදු විය හැකිව තිබුණේ රජය විසින් සහනාධාර ලබා දෙන්නේනම් පමණයි.

ජාතික සමාජවාදී ආර්ථික ආකෘතිය තුළ මේ සහනාධාර තිබුණා. එහෙත්, ආර්ථික වර්ධනය තිබුණේ නැහැ. සහනාධාරද සමඟ ආර්ථිකයේ සමතුලිතතාවය පවත්වා ගන්න යාමේදී ආර්ථික වර්ධනය අඩාල වෙනවා. පොදුවේ සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රටවල සිදු වුනේ මෙයයි. කේන්සියානු විකල්පය ක්‍රියාත්මක කළ අයටද මේ සහනාධාර කප්පාදු කරන්න හැකි වූයේ නැහැ. එසේ කරන්න උත්සාහ කළ අවස්ථා වලදී ඔවුන්ට දේශපාලන බලය අහිමි වී එම බලය ජාතික සමාජවාදීන් අතට ගියා. ඒ නිසා, ඔවුන්ට ජාතික සමාජවාදීන් සමඟ තරඟ කරමින් දේශපාලන බලය නඩත්තු කළ හැකි වූයේ සහනාධාරද දිගටම නඩත්තු කරන අතරම ආර්ථික වර්ධනයද පවත්වා ගන්නා විකල්පයක් තුළින් පමණයි. එහෙත් ප්‍රශ්නය මේ ඉලක්ක දෙකම එකවර ලඟා කරගන්නා අතර ආර්ථිකයේ සමතුලිතතාවයද නඩත්තු කළ නොහැකි වීමයි. 

සුබසාධනය මෙන්ම ආර්ථික වර්ධනයද පවත්වා ගන්නා අතර කම්මැලි ජීවන රටාවටද බාධා නොවන ක්‍රමයක් කාට වුනත් ආකර්ශනීයයි. එහෙත්, රජයකට සම්පත් නිර්මාණය කරන්න බැහැ. රජයකට බෙදා දිය හැක්කේ කාගෙන් හෝ ගන්නා දෙයක්  පමණයි. ලංකාවේ ආණ්ඩු මේ නැති සම්පත් ලබා ගත්තේ අනාගත පරපුරේ වියදමින්. ඉදිරියේදී නිවැරදි වීමට නියමිතව ඇත්තේ මෙය දිගින් දිගට සිදු වීමේදී ගොඩ නැගුනු අසමතුලිතතාවයයි.

මේ සමතුලිතතාවය දිගටම පවත්වා ගත නොහැකි බව දැන් කාට කාටත් පැහැදිලි වී තිබෙනවා. එහෙත් විසඳුම ජාතික සමාජවාදය නෙමෙයි. එය අත්හදා බලා අසාර්ථක වූ ක්‍රමයක්. ජාතික සමාජවාදය හරහා අසමතුලිතතා අඩු කර ගන්න පුළුවන්. එහෙත් ඒ එක්කම මෙතෙක් පවත්වාගත් ආර්ථික වර්ධනයද අහිමි වෙනවා. අසමතුලිතතා තිබුනත් කේන්සියානු ක්‍රමය තුළ ආර්ථිකය වර්ධනය වූ බව බැහැර කළ නොහැකියි. අවශ්‍ය වන්නේ මේ ආර්ථික වර්ධනය අහිමි කර නොගනිමින් අසමතුලිතතා බැහැර කළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක්.

මතු සම්බන්ධයි.

Monday, December 20, 2021

ගෑස් සමාගම් වලට එරෙහි නාගානන්දගේ සටන


පෙර ලිපියේ අවසානයේ සඳහන් කළ පරිදි, විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. නඩුව තවදුරටත් අභියාචනාධිකරණයේ විභාග වන නමුත් රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් විසින් දැනටමත් අතරමැදි තීන්දු කිහිපයක් ලබා දී තිබෙනවා.

දැනටමත් ලබා දී ඇති අතරමැදි තීන්දු අනුව වගඋත්තරකරුවන් වන ලාෆ්ස් හා ලිට්‍රෝ ගෑස් සමාගම් වලට මින් පසුව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කළ හැක්කේ ප්‍රමිති කාර්යාංශයේ උපදෙස් අනුගමනය කරමින් ගෑස් සංයුතිය සිලින්ඩර වල ප්‍රදර්ශනය කිරීමෙන්, එම කාර්යාංශයේ උපදෙස් පරිදි අවශ්‍ය ප්‍රමාණයට එතිල් මර්කැප්ටන් එකතු කිරීමෙන් හා පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කරන වර්ණ සහිත ඇසුරුමක් යෙදීමෙන් පසුවයි. එමෙන්ම දැනට විකුණා තිබෙන විවෘත නොකළ ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දිය යුතුයි. විවෘත කර ඇති ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දීම සඳහා වැඩ පිළිවෙලක් පාරිභෝගික අධිකාරිය විසින් ඉතා ඉක්මණින් සකස් කළ යුතුයි.

උසාවි නිවාඩු කාලයෙන් පසු, ජනවාරි 26 දින නඩුව නැවත විභාගයට ගන්නවා. එහිදී සලකා බලන්නට නියමිත නාගානන්දගේ අනෙකුත් ඉල්ලීම් අතර ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම නිසා ජීවිත හා දේපොළ හානි සිදු වූ පාරිභෝගිකයින්ට අදාළ ගෑස් සමාගම් විසින් වන්දි ලබා දීමට නියෝග කිරීම, බරපතල අපරාධ වරදක් කර ඇති එම ගෑස් සමාගම් වලට දඬුවම් පැමිණවීම, විශ්වාසය කඩකිරීම හා නොසැලකිල්ල පිළිබඳව ප්‍රමිති කාර්යාංශයේ සභාපති සිද්ධිකා සේනාරත්න, පාරිභෝගික අධිකාරියේ සභාපති ඩීඑම්එස් දිසානායක, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන හා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කර නඩු පවරන මෙන් පොලිස්පතිට නියෝග කිරීම, රජයේ තක්සේරුකරු විසින් ඉහත වගඋත්තරකරුවන්ගේ වරදින් සිදු වී ඇති ජීවිත හා දේපොළ හානි පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කර උසාවියට විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නියෝග කිරීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු පසුගිය ජනාධිපතිවරණයට තරඟ කරන බව බොහෝ කලින් දැනුම් දුන්නා. එහෙත් එය සිදු වුනේ නැහැ. පෙනෙන හැටියට කිසියම් පිරිසක් ඔහුව රැවටීමකට ලක් කළා. නාගානන්ද ඔවුන්ට රැවටුනා.

නාගානන්ද නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිනවා. බටහිර ධනවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පාලනය වන්නේ නීතියේ ආධිපත්‍යය යටතේ. එහෙත්, ලංකාවේ නීතියේ ආධිපත්‍යය හොඳින් ස්ථාපනය වී නැහැ. මේ පිළිබඳව බොහෝ ලාංකිකයින්ට පැහැදිලි අවබෝධයක්ද නැහැ. ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය වගේම නීතියේ ආධිපත්‍යයද ලංකාවේ ඓන්ද්‍රීය ලෙස වර්ධනය නොවූ, ඉංග්‍රීසීන් විසින් පැල කරනු ලැබූ සංකල්ප වීම ඊට හේතුව විය හැකියි. 

නීතියේ ආධිපත්‍යය තුළින් පමණක් ලංකාව ගොඩ දමන්න බැහැ. එහෙත්, නීතියේ ආධිපත්‍යය නැතිව ලංකාව ගොඩ දමන්නත් බැහැ. එය අනිවාර්ය, එහෙත් ප්‍රමාණවත් නැති, අවශ්‍යතාවයක්. ලංකාව ගොඩ දමන්න ධනවාදය මත පදනම් වූ, පුළුල් ආර්ථික දැක්මක් හා වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපනය කිරීමද අවශ්‍යයි. 

නාගානන්ද කොඩිතුවක්කු ආර්ථිකය ගැන කතා කරන තැනක් මගේ අවධානයට යොමු වී නැහැ. ඔහු හැම දෙයක් ගැනම කතා කරන්න අවශ්‍යත් නැහැ. නීතියේ ආධිපත්‍යය පිළිබඳව ඔහු ජනගත කරන මතය පිළිබඳව මට කිසිදු ගැටළුවක් නැහැ. 

ලංකාවේ සන්දර්භයේ නාගානන්ද සුවිශේෂී පුද්ගලයෙක්. එහෙත් ඇමරිකාවේ නාගානන්ද වැනි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මහජන නියෝජිතයින් සේ සමාජය තුළින් මතු වන්නේ එවැනි අයයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළේ ප්‍රශ්නය ගැන මම පෙර ලිපියේ තරමක් විස්තරාත්මක ලෙස කතා කළා. මේ වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නෙමෙයි. කර්මාන්තය තරඟකාරී නොවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජය මේ ව්‍යාපාරය තුළ සිටීමයි. දෙවන හේතුව රජය විසින් මිල නියාමනය කිරීමයි. කෙසේ වුවද, එම සාධක දෙක ඉවත් වුවද මේ කර්මාන්තයේ පූර්ණ තරඟකාරිත්වයක් ඇති වන එකක් නැහැ. එයට හේතු ගණනාවක් තිබෙනවා.

ධනවාදය තුළ හැම නිදහස් වෙළඳපොළකම පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ නැහැ. එවැන්නක් බලෙන් ඇති කිරීමෙන් කාර්යක්ෂමතාවය අඩු වනවා මිස යහපතක් වෙන්නේත් නැහැ. කිසියම් කර්මාන්තයක පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ ඕනෑම කෙනෙකුට ඉතා කෙටි කලකින් එම කර්මාන්තයට ඇතුළු විය හැකිනම් පමණයි. එමෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍ය වූ විට කර්මාන්තය හැර යන්නත් හැකි විය යුතුයි. මේ සඳහා අදාළ තාක්ෂනය සරල එකක් විය යුතුයි. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා අඩු විය යුතුයි. බොහෝ කර්මාන්ත හා අදාළව මේ අවශ්‍යතා වලින් එකක් හෝ කිහිපයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා, ධනවාදී රටක වුවත් කතිපයාධිකාර හැදෙනවා.

ලංකාවේ ගැස් කර්මාන්තයෙන් රජය ඉවත් වී මිල නියාමනය කිරීමෙන්ද ඉවත් වුනොත් කර්මාන්තය මීට වඩා තරඟකාරී වෙයි. එහෙත්, එය පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන එකක්නම් නැහැ. කතිපයාධිකාරී වෙළඳපොළක් ඇති විට සැපයුම්කරුවන්ට කාටලයක් සේ ක්‍රියා කර සුපිරි ලාබ ඉපැයීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා, මෙවැනි වෙළඳපොළක් රජයේ යම් නියාමනයකට ලක් වීමේ වැරැද්දක් නැහැ. ඊට අමතරව ගෑස් කර්මාන්තය රජය විසින් නියාමනය කිරීම සාධාරණීකරනය කෙරෙන තවත් හේතු තිබෙනවා. හැබැයි මේ නියාමනය කියන එකෙන් අදහස් කරන්නේ මිල නියාමනය නෙමෙයි.

ලංකාවේ ගෑස් පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් මහ ලොකු පෝසත්තු නෙමෙයි. ගොඩක් ගෙවල් වල තියෙන්නේ එක ගෑස් සිලින්ඩරයක් පමණයි. මේ සිලින්ඩරය වෙනුවෙන් මුලදීම ඔවුන් මුදල් ගෙවනවා. ගිවිසුම අනුව නීතියෙන් එය තැන්පතුවක් වෙන්න පුළුවන්. ඉන් පසුව, මේ පාරිභෝගිකයින් විසින් දිගින් දිගටම කරන්නේ තමන් දැනටමත් මිල දී ගෙන තිබෙන හිස් සිලින්ඩරයට ගෑස් පුරවා ගන්න එකයි. එහිදී සිලින්ඩරය මාරු වීම වැදගත් කරුණක් නෙමෙයි.

මේ පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් දන්නේ සිලින්ඩරයේ "ගෑස්" තිබෙන බව පමණයි. ඒ ගෑස් ප්‍රොපේන්ද, බියුටේන්ද, නැත්නම් ඔය දෙකේ මිශ්‍රණයක්ද කියන එක ඒ අය දන්නේ නැහැ. ගෑස් එක ලිපට සම්බන්ධ කළාම පත්තු වෙනවානම් එච්චරයි. 

මේ විදිහට සල්ලි දීලා ගෙදර අරගෙන යන සිලින්ඩරේ පුපුරලා මැරෙන්න පුළුවන් කියලා දන්නවානම් ඔය ගොඩක් අය ගෑස් සිලින්ඩරේ මිල දී ගන්නේ නැහැ. මෙතෙක් කාලයක් එසේ වී නැති බව මේ ගොඩක් අය අත්දැකීමෙන් දන්නවා. අලුතෙන් ගෑස් සිලින්ඩරයක් ගන්නේ ඒ විශ්වාසය මත පදනම්ව. සල්ලි ගෙවන්නේ ගෑස් වලට විතරක්ම නෙමෙයි. ගෑස් සිලින්ඩරේ පුපුරලා විනාශයක් සිදු නොවන බවට වන සහතිකයද වෙනුවෙන්. එය ලිඛිත ගිවිසුමක කොටසක් වීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. 

මෙවැනි තත්ත්වයක් යටතේ ගෑස් සමාගම් විසින් හිටිවනම ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කිරීම සාපරාධී වගකීම් කඩකිරීමක්. තමන් විකුණන භාණ්ඩය කලින් එකම නොවේනම්, එය පාරිභෝගිකයන්ට නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද නැත්නම්, ඒ බව ඔවුන්ට දැනුම් නොදීම පැහැදිලි වංචාවක්. ඒ වංචාව නිසා ජීවිත හා දේපොළ හානි සිදු වීමට ඉඩ ඇති නිසා මෙය වංචාවකට අමතරව අපරාධයක්ද වෙනවා.

අපි හිතමු අදාළ සමාගම් විසින් එහි සංයුතිය ප්‍රදර්ශනය කළාම කියලා. මෙයද ප්‍රමාණවත් නැහැ. අසූවයි විස්ස පණහයි පණහ කළා කිවුවා කියලා බොහෝ දෙනෙක්ට එහි අතුරු ප්‍රතිඵල ගැන තේරුම් ගන්න අමාරුයි. අනෙක් අතට ඔය කියන සංයුතිය ඒ විදිහටම තියෙනවද කියලා ගෙදර ගිහින් පරීක්ෂා කරන්න විදිහකුත් නැහැ. 

මේ වගේ අවස්ථාවක යම් නියාමනයක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. එයින් නිදහස් ගනුදෙනුවක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි වෙනවා මිසක් නිදහස් ගනුදෙනුවකට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. රජය විසින් අහඹු නියැදි පරීක්ෂාවක් කරලා ගෑස් සංයුතිය කියන මට්ටමේම තිබෙන බව තහවුරු කළොත් එයින් වෙන්නේ භාණ්ඩය ගැන පාරිභෝගිකයා සතු දැනුම ඉහළ යන එක පමණයි. ඊට අමතරව, ගෑස් සිලින්ඩරයක් පිපිරීමේ හෝ ලීක් වීමේ අවදානම (සම්භාවිතාව) ආදිය පිළිබඳවද සැපයුම්කරු විසින් නිශ්චිත ලෙස පාරිභෝගිකයාව දැනුවත් කළ යුතුයි. එය සිදු නොවේනම් නියාමකයා විසින් එය සිදු වන බවට වග බලාගත යුතුයි. අවශ්‍ය ප්‍රමිතිය පවත්වා නොගැනීම නිසා පාරිභෝගිකයාට හානියක් සිදු වුවහොත් සැපයුම්කරු විසින් හානි පූරණය කළ යුතුයි.

රජයට නියාමකයෙකු ලෙස කළ හැකි හා කළ යුතු කාර්ය භාරයක් තිබෙනවා. මේ කාර්යය නිදහස් ගනුදෙනු වලට තිබෙන ස්වභාවික බාධාවන් ඉවත් කර නිදහස් ගනුදෙනු වලට ඉඩ සැලසීම මිසක් නිදහස් ගනුදෙනු වලට බාධා කිරීම නෙමෙයි.

Saturday, December 18, 2021

ගෑස් බෝම්බ, මධ්‍යගත සැලසුම් හා නියාමනය

ලංකාවේ ගෑස් සිලින්ඩර වල ප්‍රමිතිය හිටි හැටියේ වෙනස් කිරීම නිසා ඇති වූ ප්‍රශ්නය ගැන නැවත ලියන්න අවශ්‍ය නැහැනේ. ප්‍රශ්නය කවුරුත් දන්නවා. මිනිස්සු කඩේ ගිහින් ගෑස් සිලින්ඩර මිල දී ගන්නවා. ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. ඒ තමන්ගේ කැමැත්තෙන්. මේ විදිහට කාගෙවත් බලපෑමක් නැතිව, තමන්ගේ කැමැත්තෙන් ගනුදෙනුවක් කරලා ගෙදර අරගෙන යන ගෑස් සිලින්ඩරේ පිපිරිලා ජීවිත හානියක් හෝ වෙනත් හානියක් සිදු වුනොත් එහි වැරැද්ද තියෙන්නේ කොහේද? මේ වගේ අවස්ථාවක රජය මැදිහත් විය යුතුද? එසේනම් ඒ මැදිහත්වීම කවර ආකාරයේ මැදිහත්වීමක් විය යුතුද?

ගොඩක් වෙලාවට අපට දැකිය හැක්කේ මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලට රජය මැදිහත් වීම නිසාම ඇති වන ප්‍රශ්න. ලංකාව වගේ අඩුවෙන් ධනවාදී වැඩියෙන් සමාජවාදී රටවල මේ තත්ත්වය බොහෝ විට දැකිය හැකියි. හොඳම මෑතකාලීන උදාහරණය රසායනික පොහොර තහනම. රසායනික පොහොර තහනම නිසා ඇති වූ ප්‍රශ්න මේ වෙද්දී එම ප්‍රශ්න ඇති කළ පාර්ශ්ව විසින්ම තේරුම් ගෙන තිබෙන නිසා අපි ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

මේ තරම් අවුලක් වුනේ මිනිස්සු ගොවිතැන් කිරීමේදී තමන්ගේ වගාවන්ට යෙදිය යුතු පෝර මොනවාද කියන එක පමණක් රජය විසින් තීරණය කරන්න යාම තුළයි. ඒ වැඩෙන් පමණක් ඔය තරම්ම අවුලක් වුනානම්, මිනිස්සු තමන්ගේ ඉඩම් වල වගා කළ යුත්තේ මොනවාද, එක් එක් භෝගය වැවිය යුතු ඉඩම් ප්‍රමාණය කොපමණද ආදී කුදු මහත් හැම දෙයක්ම රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ තීරණය වන තත්ත්වයක් යටතේ සිදු විය හැකි විනාශය කාටවත් හිතාගන්නවත් පුළුවන්ද? හැබැයි වැඩේ කියන්නේ තමන් බලයට පැමිණ එවැනි මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන අය තමයි රසායනික පොහොර තහනමට විරුද්ධව වැඩිපුර කතා කළේ සහ කරන්නේ.

මධ්‍යගත සැලසුම් ක්‍රමයකට කවදාවත් වෙළඳපොළ තරම් කාර්යක්ෂම වෙන්න බැහැ. අපි හිතමු රටේ එක් එක් ගොවියා සතු ඉඩමේ වැවිය යුතු බෝග හා එම බෝග වර්ග වෙනුවෙන් ඉඩම වෙන් කළ යුතු ආකාරය රජය විසින් තීරණය කරනවා කියලා. මේක විහිළුවක් නෙමෙයි. බලයට පත් වෙන්න අපේක්ෂා කරන ලංකාවේ දේශපාලන පක්ෂයක නිල කෘෂිකාර්මික ප්‍රතිපත්තිය. 

දැන් මේ වගේ වැඩක් සාර්ථක වෙන්නනම් එක් එක් ඉඩමේ විවිධ කොටස් වල හොඳින්ම වැවෙන බෝගය පිළිබඳව ඉඩම් හිමියා සතු දැනුමට නොඅඩු දැනුමක් රජය සතුව තිබිය යුතුයි. ඒ දැනුම රජයට ලබා ගත හැක්කේ විශාල පිරිසක් යොදවා විශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කිරීමෙන්. ඒ වගේම, මේ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කරන්නත් වෙනවා. හැබැයි එහෙම කරලත් ඉඩමක ජීවත් වෙන ගොවියෙකු ක්ෂණිකව දැන ගන්නා දෙයක් රජයට ඊට කලින් දැන ගන්න අමාරුයි. පොඩි හෝ කාල පමාවක් සිදු වෙනවා. ඒ නිසා, මධ්‍යගත සැලසුමක් කිසි විටෙකත් ප්‍රසස්ථ සැලසුමක් වෙන්නේ නැහැ.

මධ්‍යගත සැලසුමක් කිසි විටෙකත් ප්‍රසස්ථ සැලසුමක් නොවන නිසා එවැනි සැලසුමක් හා අනුගත නොවීම තමන්ට වාසිදායක බව ඉතා ඉක්මණින් ගොවීන්ට තේරෙන්න පටන් ගන්නවා. එවිට ඔවුන් සැලසුමෙන් පිට පැන තමන්ගේ හිතු මනාපයට වැඩ කරන්න උත්සාහ කරනවා. එසේ නැතත්, මධ්‍යගත සැලසුම ඇත්තටම හොඳ එකක් වුවත්, හැම ගොවියෙක්ම තමන්ගේ කැමැත්තෙන් එයට අනුගත වන්නේ නැහැ. තමන්ට හොඳයි කියා හිතෙන විදිහට කටයුතු කරමින් රජය විසින් බලහත්කාරයෙන් තමන් මත පටවන සැලසුමෙන් පිට පනින්න උත්සාහ කිරීම මිනිස් ස්වභාවය අනුව සිදු වන දෙයක්. 

කෘෂිකර්මයෙන් පිටතට ගියොත් මේ සඳහා හොඳම මෑතකාලීන නිදර්ශනය කෝවිඩ් එන්නත්කරණය. වඩා ධනවාදී රටවල පවා මේ කාරණයේදී මධ්‍යගත සැලසුමක් යටතේ රාජ්‍ය බලහත්කාරය ක්‍රියාත්මක වෙනවා. වැඩි පිරිසක් එන්නත්කරණය කිරීම කෝවිඩ් සඳහා හොඳම විසඳුම වෙන්න පුළුවන්. නමුත් ඔය කතාව හැමෝම පිළි ගත යුතුද? තමන්ට එන්නත  අනවශ්‍යයයි සිතන කෙනෙක් එන්නත විද ගත යුතුද?

මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී මතුවන දෙවන හා ප්‍රධාන ප්‍රශ්නය ඕකයි. සැලසුම ඇත්තටම හොඳ එකක් වුනත්, රටක ජීවත් වන බොහෝ දෙනෙක් එවැනි සැලසුමකට අනුගත වෙන්න කැමති නැහැ. මෙවැනි සැලසුම් වල බොහෝ විට පැහැදිලි අඩුපාඩු තිබෙන නිසා එම පිරිස තවත් වැඩි වෙනවා. එහිදී රජයට තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න බලහත්කාරය යොදන්න වෙනවා. සැලසුමෙන් පිට පනින අය හොයන්න වෙනවා. ඒ අයට දඬුවම් දෙන්න වෙනවා. මේ හැම දෙයකටම විශාල පිරිස් බලයක් අවශ්‍යයි. විශාල රජයක් අවශ්‍යයි.

කෘෂිකර්මය වෙත ගියොත් එක පැත්තකින් රටේ ඉඩම් ගැන, ගොවීන් ගැන, කාලගුණය ගැන, වෙළඳපොළ ඉල්ලුම ගැන විස්තරාත්මක හා අලුත්ම තොරතුරු දිගින් දිගටම හොයා වාර්තා කරන්න විශාල පිරිසක් අවශ්‍යයි. ඉන් පසුව, මේ තොරතුරු හා දත්ත විශ්ලේෂණය කර මධ්‍යගත සැලසුම නිරන්තරයෙන් සුසර කරන්න පිරිසක් අවශ්‍යයි. එම සැලසුම මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට, සැලසුම ගැන රටේ සියල්ලන්ම දැනුවත් කිරීමට, සැලසුමෙන් පිට පනින අය ගැන හොයා බලා සැලසුම ඇතුළට ගැනීමට, එසේ සැලසුම ඇතුළට ගත නොහැකි අයට දඬුවම් කිරීමට විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි.

මේවා හිතළු නෙමෙයි. මේ වගේ මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කරන්න ගත් උත්සාහයන් පිළිබඳ නිදර්ශන අපට ලෝකයෙන් වගේම ලංකාවෙනුත් අඩු නැතුව හොයා ගන්න පුළුවන්. මධ්‍යගත සැලසුම් යටතේ සිදු වන දෙය නැවත නැවත පරීක්ෂා කළ යුතු දෙයක් නෙමෙයි.

මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේදී පළමුවම සිදු වන දෙය එම මධ්‍යගත සැලසුම් යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශාල රාජ්‍ය යාන්ත්‍රනයේ බර එම රාජ්‍ය යාන්ත්‍රනයට පිටින් සිටින මිනිසුන් මත පතිත වීමයි. මේ කරුණ හේතුවෙන් පමණක්ම වුවද නිෂ්පාදන කාර්යක්ෂමතාවය විශාල ලෙස පහත වැටෙනවා. ඒ වගේම, රාජ්‍ය යාන්ත්‍රනය විශාල වන තරමට එහි එක් එක් දැති රෝදය සමස්ත යාන්ත්‍රනය සමඟ සුසරව කැරකෙන බව තහවුරු කර ගැනීම අසීරු වෙනවා. තේරෙන බාසාවෙන් කිවුවොත් රජයෙන් වැටුපක් ලබා වගාබිම් පිළිබඳ දත්ත එකතු කරන්න යන රාජ්‍ය සේවකයෙක් හැමවිටම තමන්ගේ රාජකාරිය හරියටම කරයිද? ගෙදර ඉඳලා බොරුවට කොළ පුරවා එවුවොත් මොකද වෙන්නේ?

මධ්‍යගත සැලසුමෙන් පිට පනින එක තමන්ට වාසිදායක වගේ පෙනුනහම මිනිස්සු එසේ කරන්න උත්සාහ කරනවා. නමුත් එහිදී ඔවුන්ට දඬුවමට ලක් වෙන්න සිදු වෙනවා. මෙවැනි දඬුවම් වලින් බේරෙන්න පුළුවන් පහසු ක්‍රමයක් වන්නේ තමන් ගැන හොයා බලන්න එන රාජ්‍ය සේවකයාට සන්තෝෂමක් දෙන එකයි. මේක දෙන්නාටම වාසියි. 

මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයින්ම මේ විදිහට සැලසුමෙන් පිට කටයුතු කළ හැකි නිසා එයට විසඳුමක්ද එවැනි මධ්‍යගත සැලසුමක් තුළ සාමාන්‍යයෙන් තිබෙනවා. එක් අයෙක් සැලසුමෙන් පිට පනිනවාද බලා සිටින්න තවත් අයෙක් අවශ්‍යයි. දෙවැන්නා ගැන බලන්න තුන් වැන්නෙක් අවශ්‍යයි. 

රාජ්‍ය සේවය තුළ සිදු විය හැකි හොරකම්, දූෂණ, නාස්ති කියා කියන්නේ ක්‍රමයේ වැරැද්දක් මිසක් අදාළ පුද්ගලයින්ගේ වැරැද්දකින් සිදු වන දෙයක් නෙමෙයි. විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කරන තුරු, රාජ්‍ය ව්‍යුහයේ ඉහළම තට්ටුව මාරු කිරීමෙන් පමණක් මේ හොරකම්, දූෂණ, නාස්ති නැති කරන්න බැහැ. ඒ නිසා, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින අතර හොරකම්, දූෂණ, නාස්ති වලට එරෙහි වීම කියා කියන්නේ එක පැත්තකින් ප්‍රශ්නයක් ඇති කරමින් අනෙක් පැත්තෙන් එසේ ඇති කළ ප්‍රශ්නයට විසඳුම් හෙවීමක්. හෝද හෝදා මඩේ දමමින් මඩ වතුරෙන් රෙදි හේදීමක්!

හොරකම්, දූෂණ, නාස්ති අවම කළ හැකි ස්ථිරසාර ක්‍රමය රජය කුඩා කිරීමයි. හැබැයි අප රජය කුඩා කිරීමක් ගැන මිසක් රජය අහෝසි කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. එය තවත් ආන්තීය අදහසක් පමණයි. ප්‍රායෝගිකව රජයකට පමණක් කළ හැකි නිශ්චිත කාර්යයන් ගණනාවක් තිබෙනවා. වෙළඳපොළ සැලකුවත්, රජය වෙළඳපොළට කිසිදු ආකාරයක මැදිහත් වීමක් කළ යුතු නැතැයි අප හිතන්නේ නැහැ.

ගෑස් ප්‍රශ්නයට නැවත එමු. සල්ලි දී ගෙදර ගෙන යන ගෑස් සිලින්ඩර හිටිවනම පුපුරනවා. මෙය සිදු වන්නේ එක් සැපයුම්කරුවෙකු විසින් පළමුව ගෑස් වල ප්‍රමිතිය වෙනස් කිරීම නිසා කියා අපි හිතමු. මේ වෙළඳපොළ තරඟකාරී නිදහස් වෙළඳපොළක් වුනානම්, රජයේ නියාමනයක් නැතිවම මේ ප්‍රශ්නය වෙළඳපොළ විසින්ම විසඳනවා. ඒ කොහොමද?

ගෑස් පිපිරීම් දෙක තුනක් සිදු වන විට මේ ගැන රටම දැනුවත් වෙනවා. බොහෝ විට වෙනත් ගෑස් සැපයුම්කරුවෙකු විසින් හේතුව උපකල්පනය කර අදාළ සමාගමේ ගෑස් සිලින්ඩරයක සංයුතිය පරික්ෂා කිරීමෙන් එම හේතුව තහවුරු කර ගන්නවා. ඉන් පසුව, මේ බව ප්‍රචාරණය කරමින් අදාළ ගෑස් සමාගමේ පාරිභෝගිකයින් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට පටන් ගන්නවා. සංයුතිය වෙනස් කළ ගෑස් සමාගම බංකොලොත් වෙනවා. අනෙකුත් ගෑස් සමාගම් විසින් අනාගතයේදී මෙවැනි "අත් වැරැද්දක්" කරන එකද නවතිනවා.

මේ වගේ දෙයක් වෙන්නේ ලංකාවේ ගෑස් වෙළඳපොළ තරඟකාරී නිදහස් වෙළඳපොළක්ව පැවතුණානම් පමණයි. එහෙත් එම වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නොවෙයි.

වෙළඳපොළක් තරඟකාරී වන්නේ විශාල සැපයුම්කරුවන් පිරිසක් සිටින විටයි. ලංකාවේ ගෑස් වෙළඳපොළ එවැන්නක් නෙමෙයි.  මේ වෙළඳපොළේ සැපයුම්කරුවන් සිටින්නේ දෙදෙනෙකු පමණයි. එයින්ද ප්‍රධානම සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් නෙමෙයි. එය රජයේම කොටසක්. එහෙත්, අනෙකුත් සැපයුම්කරු වන ලාෆ්ස් ගෑස් සමාගම තිබෙන්නේ පෞද්ගලික අයිතිය යටතේ.

පෞද්ගලික සමාගමකට මෙන් නොව රජය සතු සමාගමකට පැවතීම සඳහා ලාබ අවශ්‍ය නැහැ. ලාබ නැතත් බදු මුදලින් නඩත්තු වෙමින් අකාර්යක්ෂමතාවය නඩත්තු කළ හැකියි. ලිට්‍රෝ ගෑස් සමාගම ඇතැම් විට පාඩු ලබමින්, පිරිවැය හෝ නොඉක්මවමින්, ගෑස් විකුණනවා. ඔවුන් ගෑස් විකුණන මිල තීරණය වන්නේ ආර්ථික සාධක මත නෙමෙයි. දේශපාලන සාධක මතයි.

ලාෆ්ස් ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් වුවත් ඔවුන්ටද තමන්ගේ ගෑස් මිල තීරණය කළ නොහැකියි. එය තීරණය කරන්නේද රජය විසින්. බොහෝ විට රජය විසින් තීරණය කරන්නේ ගෑස් වල උපරිම මිල නිසා ඔවුන්ට අවශ්‍යනම් අඩු මිලකට ගෑස් විකුණන්න බැරිකමක් නැහැ.

මෙසේ නියම කරන උපරිම මිල ගොඩක් ඉහළ මිලක්නම් ලාෆ්ස් ගෑස් සමාගමට ලිට්‍රෝ ගෑස් සමාගමට වඩා අඩුවෙන් ගෑස් විකුණා ඔවුන්ගේ පාරිභෝගිකයින් අල්ලා ගන්න පුළුවන්. එහෙත්, බොහෝ විට රජය විසින් පනවන උපරිම මිල එතරම් ඉහළ මිලක් නෙමෙයි. ඇතැම් විට ඒ මිලට ගෑස් විකුණන්න වෙන්නේ පාඩුවට වෙන්නත් පුළුවන්. 

රජයේම කොටසක් වන ලිට්‍රෝ ගෑස් සමාගමනම් හිතාමතාම පාඩුවට ගෑස් විකුණනවා. එසේ කරන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යන වකවානු වලදී. නිෂ්පාදන පිරිවැය පහළ යන වකවානු වලදී ඔවුන් ඒ පාඩුව හෝ එයින් කොටසක් අල්ලා ගන්නවා. මේ වෙළඳපොළේ දැවැන්තයා ලිට්‍රෝ ගෑස් සමාගම නිසා ලාෆ්ස් ගෑස් සමාගමට ඔවුන් කරන දෙයම කරනු හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා, ඔවුන් කරන්නේද, අඩුවට විකිණිය හැකි අවස්ථා වලදී පවා, උපරිම මිලටම හෝ ආසන්න මිලකට ගෑස් විකුණා ලාබ එකතු කර ගන්න එකයි. ඇතැම් වකවානු වල තමන්ගේ ගෑස් පාඩුවට විකුණන්න සිදු වෙන නිසා එසේ නොකර ඔවුන්ට දිගුකාලීනව මේ වෙළදපොළේ රැඳී ඉන්න බැහැ. 

ලංකාවේ ගෑස් වෙළඳපොලේ ලොකුම සැපයුම්කරුවා මෙන්ම මෙම වෙළඳපොළේ නියාමකයාද එකම අයෙක් නිසා පිළිසිඳියා ගැටුමක් නැතිව, කාටත් සාධාරණව, මේ වෙළඳපොළ නියාමනය වීමක් අපේක්ෂා කරන්න බැහැ. මෙවැනි සන්දර්භයක පෞද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගමටද රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු හැර තරඟකරුවෙකු වීමේ විකල්පයක් නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව සමාගම් දෙකක් අතර තරඟයෙන් වුවත් තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න පුළුවන් වුනත්, මෙහිදී සිදු විය හැක්කේත්, සිදු වී තිබෙන්නේත්, පූර්ණ ඒකාධිකාරයකට ආසන්න තත්ත්වයක් ඇති වීමයි. පෞද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගමද මේ ඒකාධිකාරයේ එක් කොටස්කරුවෙකු පමණයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළ නියාමකයා විසින්ම වෙළඳපොළට ගෑස් සැපයුම කරන සන්දර්භයක මේ වෙළඳපොළට යම් හෙයකින් අලුතෙන් පැමිණෙන සමාගමකට වුවත් දැනට වෙළඳපොළෙහි සිටින සමාගම් වලට සැබෑ තරඟකරුවෙකු වීමේ හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් ඇති වීමටනම්, අවම වශයෙන්, රජය මේ වෙළඳපොළෙන් ඉවත් විය යුතුයි.

ලිට්‍රෝ ගෑස් සමාගමද රජයට සම්බන්ධයක් නැති, පෞද්ගලික සමාගමක්ව තිබුනා කියා අපි හිතමු. එවැනි තත්ත්වයක් යටතේ ලිට්‍රෝ හා ලාෆ්ස් සමාගම් අතර ඇති විය හැකි තරඟයකින් පාරිභෝගිකයන්ට යහපතක් සිදු විය හැකියි. අනෙක් අතට, ඇමරිකාවේ මෙන් නීතිමය බාධාවක් නැති නිසා, මේ සමාගම් දෙකට තව දුරටත් කාටලයක් සේ කටයුතු කරමින් ඒකාධිකාරයක් පවත්වා ගන්නත් පුළුවන්. ඒ වගේම, එවැනි තත්ත්වයක් යටතේ නියාමකයා වන රජයට පිළිසිඳියා ගැටුමක් නැති නිසා මේ සමාගම් දෙකෙන් එකකට හෝ පාරිභෝගිකයන්ට එරෙහිව මේ සමාගම් දෙකටම වාසියක් සැලසීමට සෛද්ධාන්තික අවශ්‍යතාවයක් නැතත් ප්‍රායෝගිකව එය එසේම නොවන්නට පුළුවන්. රජය බලවත් වන තරමට වංචා, දූෂණ, හොරකම් වලට ඉඩ වැඩියි.

කෙසේ වුවත්, වෙළඳපොළේ සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවානම් නියාමකයාට ඒ එක් අයෙකුට විශේෂ වාසියක් කරන්න අමාරුයි. ඒ වගේම, ඒ සියලු දෙනාම එකතු වී කාටලයක් සේ ක්‍රියා කිරීමත් සිදු වන්නේ නැහැ.

ලංකාවේ ගෑස් වෙළඳපොළ තරඟකාරී නැති බවත්, ඒ සඳහා අවම කොන්දේසියක් වන්නේ රජය මේ ව්‍යාපාරයෙන් ඉවත් වීම බවත් පැහැදිලියි. තරඟකාරී නැති මේ වෙළඳපොළ නිදහස් වෙළඳපොළක්ද?

ගෑස් පාරිභෝගිකයකු විසින් මුලින්ම ගෑස් සිලින්ඩරයක් මිල දී ගන්නේත්, එයට නැවත නැවත ගෑස් පුරවන්නේත් ස්ව-කැමැත්තෙන්. සැපයුම්කරු ගෑස් විකුණන්නේනම් කොහොමටත් කැමැත්තෙන්. එපමණකින් මෙය නිදහස් ගනුදෙනුවක් වෙනවාද?

තමන් විසින් මුදල් ගෙවා මිල දී ගන්නා භාණ්ඩය ගැන එය මිල දී ගන්නා පාරිභෝගිකයා දන්නේ මොනවාද? ගෑස් විකුණන සැපයුම්කරු ඒ ගැන දන්නා හැම දෙයක්ම ගෑස් මිල දී ගන්නා අවස්ථාවේදී මේ පාරිභෝගිකයාත් දන්නවාද? එසේ නොවී, මේ දෙදෙනා අතර තොරතුරු අසමමිතියක් ඇත්නම්, පාරිභෝගිකයා විසින් ඇත්තටම මිලදී ගන්නේ ඔහුට මුදල් ගෙවා මිල දී ගන්න අවශ්‍ය වූ දෙයමද? එය එසේ නොවේනම්, මෙය නිදහස් ගනුදෙනුවක්ද?

විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව ගැනත් (CA/Writs/609/2021), රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් ඊයේ ලබා දුන් තීන්දුව පිළිබඳවත් කතා කළ යුත්තේ මේ සන්දර්භය තුළයි. ලිපිය දිග වැඩි නිසා එය අපි පසුවට තබමු.


Thursday, December 16, 2021

ආර්ථිකය කඩා වැටිය හැක්කේ කොතැනකටද?


ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන එක හෝ නොවැටෙන එක, බංකොලොත් වීම හෝ නොවීම, කඩා වැටෙනවානම් එය සිදු වන දවස, බංකොලොත් වෙනවානම් එය සිදු වන දවස ආදිය ගැන ඇතැම් අය අනාවැකි කියනවා. තවත් අයට මේ ගැන දැන ගන්න උනන්දුවක් තිබෙනවා. ඊට සාපේක්ෂව අඩුවෙන් කතා වෙන දෙයක් වන්නේ ආර්ථිකය කඩා වැටෙන්නේ කොතැනටද කියන එකයි. කඩා වැටෙන තැනක් ගැන කතා නොකරමින් ආර්ථිකය කඩා වැටෙන එක ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. 

ආර්ථිකය කඩා වැටෙනවා කියා කතාවට කිවුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක එතරම්ම පැහැදිලි දෙයක් නෙමෙයි. ආර්ථිකය හෝ රට බංකොලොත් වෙනවා කියන එක ඊට සාපේක්ෂව තරමක් හෝ පැහැදිලියි. බොහෝ දෙනෙක් රට බංකොලොත් වීම ලෙස හඳුන්වන්නේ රටේ විදේශ ණය ගෙවා ගන්න බැරි තැනකට රට වැටෙන එකටයි. රටේ විදේශ ණය කියා කිවුවත්, මෙහිදී වැඩි අවධානයක් යොමු වී තියෙන්නේ රජයේ විදේශ ණය වලටයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ බංකොලොත් වීම කියන වචනය භාවිතා වෙන්නේ කාගේ හෝ පුද්ගලයෙකුගේ, සමාගමක හෝ වෙනත් කිසියම් නෛතික ව්‍යුහයක වත්කම් වලට වඩා බැරකම් වැඩි වී ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිය විටයි. එහෙත්, ශුද්ධ වත්කම් සෘණ පැත්තට නොගියත්, ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් නැති අවස්ථාවක පුද්ගලයෙකුට හෝ වෙනත් නෛතික ව්‍යුහයකට තමන් අරගෙන තිබෙන ණය ආපසු ගෙවන්න බැරි වෙන්න පුළුවන්. 

රටක වත්කම් මූර්ත වත්කම් හා මූල්‍ය වත්කම් ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ දෙකෙන් මූර්ත වත්කම් කොටසට ගත්තොත් එය සාමාන්‍යයෙන් සෘණ පැත්තට නොයන්නක්. එහෙත්, මූල්‍ය වත්කම් කොටස සෘණ පැත්තට යන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ලංකාව ඇතුළු ලෝකයේ රටවල් වලින් බාගයක වගේ ශුද්ධ මූල්‍ය වත්කම් තියෙන්නේ සෘණ පැත්තේ. 

ශුද්ධ මූල්‍ය වත්කම් සෘණ වූ පමණින් රටක් බංකොලොත් වෙන්නේ හෝ ණය පැහැර හරින තැනකට වැටෙන්නේ නැහැ. බැරකම් දිගුකාලීන ඒවානම් සහ වත්කම් ද්‍රවශීල වත්කම්නම් රෝලක් ගහගෙන යන්න පුළුවන්. එහෙත්, රටක මූල්‍ය වත්කම් සංචිතය කෙටිකාලීන මූල්‍ය බැරකම් පියවන්න ප්‍රමාණවත් නොවන මට්ටමකට වැටුණු විට රටකට ණය පැහැර හරින්න වෙනවා.

ලංකාව තවම ණය පැහැර හැරලා නැහැ. එය සිදුවීමේ අවදානම ගොඩක් වැඩි වී තිබෙනවා පමණයි. 

ආර්ථිකය කඩා වැටෙනවා කියන එක රටක් බංකොලොත් වීම වගේ එක නිශ්චිත මොහොතක සිදු වෙන දෙයක් නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් සිදු වන දෙයක්. ලංකාව තවමත් බංකොලොත් වී නැතත්, ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීමනම් මේ වෙන කොටත් පටන් ගෙනයි තියෙන්නේ. ඒ කඩා වැටීම කවදා කොතැනින් නවතීද කියන එක තමයි සාකච්ඡා කළ යුතු ගැටළුව.

රටක ආර්ථිකය කියන්නේ සංකීර්ණ පද්ධතියක්. ආර්ථිකයක කඩා වැටීම මේ පද්ධතියේ හැම කොටසකටම එක පරිදි දැනෙන්නේ නැහැ. සමහර කොටස් වලට ඒ බලපෑම වැඩියි. සමහර කොටස් වලට අඩුයි. ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයටත් මේ කරුණ අදාළයි.

ලංකාවේ ආර්ථික අර්බුදය දරුණුවටම දැනෙන්නේ විදේශ අංශයට බව අපි දැනටමත් දන්නවා. රජයට ආනයන භාණ්ඩ සීමා කරන්න සිදු වී තිබීමෙන් පමණක්ම වුවත් පැහැදිලි වන්නේ රටේ ආර්ථිකය මේ වන විටත් කඩා වැටී ඇති බවයි. මේ කඩාවැටීමේ අනාගතය කුමක්ද?

ඉන්දීය සහන පැකේජය හා තවත් එවැනි විදේශ විණිමය ලැබීම් වල උදවුවෙන් මාස ගණනක් අල්ලාගෙන හිටියත්, ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ තියා ගන්න එක දිගටම කරන්න බැහැ. මේ විදිහට ගියොත් යම් මොහොතක ඩොලරයක මිල අනිවාර්යයෙන්ම එකවර විශාල ලෙස ඉහළ යනවා. ඊට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් මේ විදිහට එකවර කඩා වැටෙන්න කලින් ටිකෙන් ටික රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න කියා ලංකාවට යෝජනා කරයි. ඔය දෙකෙන් කොයි එක වුනත්, අවසාන වශයෙන් ඩොලරයක මිල සැලකිය යුතු තරම් ඉහළ යයි.

විණිමය අනුපාතය කඩා වැටුනොත් ඩොලරයක මිල කීයක් වෙලා නවතියිද? 

සරල හා කෙටි පිළිතුර ඩොලරයක මිල ඕනෑම ගණනක් විය හැකි බවයි. මොකද කිසිදු පාලනයකින් තොරව ඩොලරයක රුපියල් මිල කඩා වැටෙන තත්ත්වයක් යටතේ එය නැවතිය යුතු තැන තීරණය වෙන්නේ සමපේක්ෂනය මත මිසක් සාමාන්‍ය ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නෙමෙයි. හැබැයි මේ සමපේක්ෂකයින් විසින් ආර්ථික විද්‍යා මූලධර්ම නොසලකා හරින්නේ නැහැ. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නැවතිය යුතු තැනට වඩා පහළින් ඩොලරය නවතින්නේ නැහැ.

ඩොලරයක නියම මිල ගැන මීට පෙර කතා කර ඇති අවස්ථා වලදී මම ඒ සඳහා යොදාගත් ප්‍රධාන මූලධර්මයක් වුනේ ක්‍රය ශක්ති සාම්‍යය පිළිබඳ අදහසයි. පහත වගුවේ පෙන්වා තිබෙන්නේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව ලංකාවේ අපනයනකරුවෙකුට අඩු වශයෙන් 2001 වසරේදී පැවති මට්ටමේ අපනයන තරඟකාරිත්වයක් පවත්වාගන්නනම් ඩොලරයක මිල කීයක් විය යුතුද කියන එකයි. ඒ වගේම ලංකාවේ ජීවත් වන විදෙස් ශ්‍රමිකයෙකුගේ පවුලක සාමාජිකයින්ට 2001 තරමට පරිභෝජන මට්ටම පවත්වා ගැනීම සඳහා ඩොලරයක් වෙනුවෙන් කීයක් ලැබිය යුතුද කියන එකයි.

Year SL-CPI US-CPI Ratio PPP-Rate Actual Real Rate
2001 100.00 100.00 1.00 89.36 89.36 1.00
2002 109.55 101.58 1.08 96.37 95.66 1.01
2003 116.47 103.90 1.12         100.18 96.52 1.04
2004 125.29 106.66 1.17         104.97 101.19 1.04
2005 139.87 110.28 1.27         113.34 100.50 1.13
2006 159.03 113.83 1.40 124.84 103.96 1.20
2007 186.59 117.05 1.59         142.45 110.62 1.29
2008 228.69 121.57 1.88 168.10 108.33 1.55
2009 236.59 121.14 1.95         174.52 114.94 1.52
2010 250.66 123.13 2.04 181.92 113.06 1.61
2011 259.13 127.01 2.04 182.31 110.57 1.65
2012 278.62 129.64 2.15         192.05 127.60 1.51
2013 297.95 131.54 2.27 202.41 129.11 1.57
2014 307.70 133.67 2.30 205.70 130.56 1.58
2015 310.44 133.83 2.32 207.28 135.94 1.52
2016 322.07 135.52 2.38 212.37 145.60 1.46
2017 343.12 138.41 2.48 221.53 152.46 1.45
2018 357.82 141.79 2.52 225.51 162.54 1.39
2019 373.39 144.36 2.59 231.14 178.78 1.29
2020 390.40 146.14 2.67 238.72 185.52 1.29
Nov-21 426.33 155.94 2.73 244.30 202.05 1.21

ඉහත පදනම අනුව බැලුවොත් 2011 පමණ වෙද්දී ඩොලරයක් විකිණුනේ එහි ක්‍රය ශක්ති සාම්‍ය මිලෙන් 40%ක් පමණ දක්වා වන වට්ටමක් සමඟයි. ඒ කියන්නේ ආනයන භාණ්ඩ විකිණුනේ දේශීය ආදේශක වලට වඩා 40%ක් අඩුවෙන් කියන එකයි. රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉන්දියාවේ හා චීනයේ නිෂ්පාදකයින්ට ලබා දුන් ඔය විශාල වට්ටම නිසා ලංකාවේ එම ආනයන වේගයෙන් ප්‍රචලිත වුනා. වෙළඳ හිඟය විශාල ලෙස වැඩි වුනා. දේශීය කර්මාන්ත ගොඩනැගෙන එක වැළකුණා. අපනයන අධෛර්යමත් වුනා.

මේ වෙද්දී ඩොලරයක මිල ඒ කාලයට සාපේක්ෂව යම් තරමකින් නිවැරදි වී ඇතත් 2001 මට්ටමට යන්නනම් ඩොලරයක මිල රුපියල් 245ක් පමණවත් විය යුතුයි. මොකද ලංකාවේ සාමාන්‍ය මිල මට්ටම 4.26 ගුණයකින් ඉහළ යද්දී ඇමරිකාවේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගිහින් තියෙන්නේ 1.56 ගුණයකින් පමණයි. ඒ අනුව ඩොලරයක මිල 2.73 ගුණයකින් ඉහළ යා යුතු වුවත්, ඇත්තටම ඉහළ ගිහින් තියෙන්නේ 2.26 ගුණයකින් පමණයි. 

මේ මට්ටමට ඩොලරය ඉහළ ගියා කියලා ලංකාවේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැහැ. අඩු වශයෙන් වෙළඳ හිඟය නැති වෙන්නේ හෝ නැහැ. නමුත්, බොහෝ විට තාවකාලිකව හෝ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මා මේ සඳහා 2001 වසර යොදා ගත්තේ එම වසර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය පා කරනු ලැබ ඩොලරයක මිල වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වූ වසරක් නිසයි. එහෙත්, එම වසර හා පෙර වසරවල්ද ලංකාව විදේශ ණය ලබා නොගෙන සිටි වසරවල් නොවූ බවද අමතක නොකළ යුතුයි.     

ඒ කියන්නේ දැන් මහ බැංකුව විසින් ඩොලරය පාලනය කිරීම නැවැත්තුවොත් ඩොලරයක මිල රුපියල් 245ක් වී එම මට්ටමේ ස්ථාවර වෙයිද?

එහෙම වෙන්නේ නැහැ. අපි ඉහත ක්‍රය ශක්ති සාම්‍ය ගැලපීම කළේ ලංකාවේ මිල මට්ටම නිවැරදි මිල මට්ටම සේ සලකා. එහෙත්, පසුගිය කාලයේ ලංකාවේ පැවති මිල මට්ටම ඒ මට්ටමේ තියා ගත්තේත් ඩොලරයක මිල පාලනය කිරීමේ උදවුවෙන් කියන එක අප‍ට අමතක කරන්න බැහැ. උදාහරණයක් විදිහට 2011දී රුපියල් 110 මට්ටමේ තියාගත් ඩොලරය එහි ක්‍රය ශක්ති සාම්‍ය අගය වූ 182ට ගොස් තිබුණා කියා අපි හිතමු. එසේ වුනානම්, ඉන්ධන, අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු බොහෝ දේවල් වල මිල 65%කින් පමණ ඉහළ යනවා. ඒ අනුව, රටේ සාමාන්‍ය මිල මට්ටම ඔය තිබුණාට වඩා ගොඩක් ඉහළ යනවා. හරියටම කොපමණකින්ද කියන එක තීරණය වන්නේ පාරිභෝගික මිල දර්ශකයේ තිබෙන ආනයනික භාණ්ඩ හා සේවා ප්‍රතිශතයේත්, දේශීය භාණ්ඩ හා සේවා වල ආනයනික යෙදවුම් ප්‍රතිශතයේත් එකතුව කොපමණද කියන එක මතයි.

අපි මෙම ප්‍රතිශතය 40%ක් ලෙස සලකමු. ඒ කියන්නේ ඩොලරය රුපියලකින් වැඩි වෙද්දී රටේ බඩු මිල සමස්තයක් ලෙස ශත 40කින් වැඩි වෙනවා කියන එකයි. මේ ප්‍රතිශතය මම හරියටම දන්නේ නැහැ. කෙසේ වුවත්, එය 40% ලෙස සැලකුවොත් ඩොලරය 65%කින් වැඩි වෙද්දී බඩු මිල 26%කින් වැඩි වෙනවා. ඒ අනුව, ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිලද තවත් 26%කින් වැඩි වෙනවා. 

එතැනින් නවතිනවද? නැහැ. ඩොලරයක මිල ක්‍රය ශක්ති සාම්‍ය මිල හා ගැලපෙමින් තවත් 26%කින් ඉහළ යද්දී බඩු මිල නැවතත් 10.4%කින් ඉහළ යනවා. ඩොලරයක මිල හා ලංකාවේ සාමාන්‍ය මිල මට්ටම අතර චක්‍රීය සම්බන්ධයේ ස්වභාවය අනුව මේ වැඩේ දිගින් දිගටම සිදු වෙනවා. හැබැයි යම් අගයකදී ඩොලරයක මිල ස්ථාවර වෙනවා. එතරම් සංකීර්ණ නැති ගණිතය යොදා ගෙන අපට මේ මට්ටම හොයා ගන්න පුළුවන්. 

පාරිභෝගික මිල දර්ශකයේ ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය x ලෙස සැලකුවොත් ඩොලරය කෙටිකාලීනව රුපියකින් වැඩි වීම හේතුවෙන් දිගුකාලීනව රටේ මිල මට්ටම x/(1-x) ගුණයකිනුත්, ඩොලරයේ මිල දිගුකාලීනව 1/(1-x) ගුණයකිනුත් වැඩි වෙනවා. අපි x=0.33 සේ සලකමු. ඒ කියන්නේ ඩොලරයක මිල 1%කින් ඉහළ ගිය විට මිල මට්ටම 0.5%කින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඩොලරයේ මිල 1.33%කින්ම ඉහළ යනවා. හරියටම ගණන දන්නේ නැති නිසා x=0.4 සේ සැලකුවොත් ඩොලරයක මිල 1%කින් ඉහළ ගිය විට මිල මට්ටම 0.6%කින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඩොලරයේ මිල 1.67%කින් ඉහළ යනවා. හැබැයි යම් මට්ටමක ස්ථාවර වෙනවා. පළමු වටය ඉන්ධන මිල වැඩි වීම වගේ. දෙවන වටය බස් ගාස්තු වැඩිවීම වගේ.

මේ චක්‍රය කැඩිය හැකි හෝ ආපසු හැරවිය හැකි ස්ථිරසාර ක්‍රමය සල්ලි අච්චු ගැහීම සීමා කරන එකයි. ඒ සඳහා, අයවැය හිඟය අඩු කළ යුතුයි. රාජපක්ෂ ක්‍රමය වුනේ ඒ වෙනුවට කෙටි මාර්ගයක් සොයා ගැනීම. මේ අනුව, සල්ලි අච්චු ගැසීම අඩු නොකර විදේශ ණය අරගෙන විණිමය අනුපාතය පාලනය කළා. විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කළා. දැන් විණිමය අනුපාතය කඩා වැටුනොත් එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටමද ඉහළ යනවා. ඉන් පසු, නැවත වටයකින් විණිමය අනුපාතය අවප්‍රමාණය වෙනවා. ඔය වැඩේ දිගින් දිගටම වෙනවා. හැබැයි යම් තැනක නවතිනවා.

පවතින විණිමය අනුපාතය දැන් මිල මට්ටම අනුව රුපියල් 245 දක්වා 21%කින් අවප්‍රමාණය විය යුතුයි. එහෙත් ඒ එක් බඩු මිල ඉහළ යන නිසා නැවත වටයකින් විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ අරින්න වෙනවා. කලින් කී පාරිභෝගික මිල දර්ශකයේ ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය 40% සේ සැලකුවොත් අවසාන වශයෙන් ඩොලරයක මිල 35%කින් පමණ අවප්‍රමාණය විය යුතුයි. ඒ කියන්නේ රුපියල් 272ක් පමණ මට්ටමකට යා යුතුයි. ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය මීට වඩා වැඩිනම් මෙය මීටත් ඉහළ අගයක් විය හැකියි.

ඉහත උපකල්පන අනුව ඩොලරයක මිල නිවැරදි වෙන්න ඇරියොත් එය ක්ෂණිකව රුපියල් 245 පමණ මට්ට්මකටත් ඉන් පසුව රුපියල් 270-275 පමණ මට්ටමකටත් යා හැකියි. එම කාලය තුළ සමස්තයක් ලෙස බඩු මිල 15%කින් පමණ ඉහළ යා හැකියි. මේ සල්ලි අච්චු ගැසීම නිසා කොහොමටත් සිදුවන බඩු මිල ඉහළ යාමට අමතරව.

සල්ලි අච්චු ගැසීමේ බලපෑම ඉහත "කඩා වැටීමට" එකතු කරමු. පසුගිය දෙවසර තුළ සල්ලි අච්චු ගැසීම ඉතා ඉහළින්ම කෙරුණා තමයි. ඇතැම් අය විවිධ කතා කිවුවත්, මේ සල්ලි අච්චු ගැහීම තවමත් සිම්බාබ්වේ වැනි මට්ටමකට හෝ "පෙර නොවූ විරූ" මට්ටමකට ගිහින් නැහැ. පසුගිය දෙවසර තුළ පුළුල් මුදල් සැපයුම ඉහළ ගොස් තියෙන්නේ 40%කින් පමණ. මුදල් සැපයුමේ සිදුවන වසරකට 10-15%ක ඉහළ යෑමක් ලංකාවට සාමාන්‍ය දෙයක්. සල්ලි අච්චු ගැසීම නිසා වැඩිම වුනොත් මිල මට්ටම තව 10-15%කින් ඉහළ යයි. මම මේ කියන්නේ අනාගතයේ සිදු විය හැකි සල්ලි අච්චු ගැසීම් ගැන නෙමෙයි. දැන් තත්ත්වය ගැන. 

ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමේ බලපෑම එකතු කළ විට මිල මට්ටම 25-30%කින් පමණ ඉහළ යා හැකියි. ඩොලරය රුපියල් 300 පමණ දක්වා යා හැකියි. හැබැයි මේ දේවල් මේ විදිහට විය හැක්කේ ආණ්ඩුව කිසිවක් නොකර හිටියොත් බව අමතක කරන්න එපා. ආණ්ඩුව උත්සාහ කරන්නේ කොහෙන් හෝ ණයක් අරගෙන ඔය තත්ත්වය පාලනය කර ගන්න. මම මේ විග්‍රහය කරන්නේ "ආර්ථිකය කඩා වැටුනොත් අපට මොකද වෙන්නේ?" කියන බය ගොඩක් අයට තිබෙන නිසා. 

ඔය විදිහට ඩොලරය රුපියල් 300 වී බඩු මිල 25-30%කින් ඉහළ ගියා කියා අපි හිතමු. ඕක ලෝක විනාසය නෙමෙයිනේ. ඒ වගේම, තනි පුද්ගලයෝ ලෙස ගත්තොත් ඇතැම් අයට මෙහි බලපෑම වඩා හොඳ එකක් වෙන්න වුනත් පුළුවන්.

තනි පුද්ගලයෙකුගේ පැත්තෙන් බැලුවොත් මෙතැන තිබෙන ලොකුම ප්‍රශ්නය වියදම ඉහළ යාම. එය වැඩිපුරම දැනෙනු ඇත්තේ විශ්‍රාමිකයන් වැනි නිශ්චිත ආදායමක් ලබන අයට. රජයේ සේවකයින් ඇතුළු අනෙකුත් මාස් පඩි කාරයින්ටත් මෙය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ගොඩක් අයට යම් තරමකින් පටි තද කරගන්න වෙයි. නමුත්, ආහාර, ඖෂධ වගේ අත්‍යාවශ්‍ය වියදම් කපන්න බැහැනේ. ඒ නිසා, මේ වැඩෙන් වෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම අඩු වෙන එකයි.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ නිපදවන අයට මේ කඩා වැටීමෙන් ලොකු බලපෑමක් වෙන එකක් නැහැ. ඒ වගේම, අපනයන කෘෂිකර්මයේ හෝ වෙනත් අපනයන කර්මාන්ත වල නියැලී ඉන්න අයට කොහොමටත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අයටත් වැඩේ හොඳයි.

අත්‍යවශ්‍ය නොවන සේවා ආශ්‍රිත කර්මාන්ත වල නියැලී ඉන්න අයටනම් අවුලක් වෙනවා. උදාහරණයක් විදිහට පෙදරේරුවෝ වගේ අයට. කන්න බොන්න අඩු වෙද්දී ගෙවල් හදන එක ගැන හිතන්නේ කවුද? සමස්තයක් ලෙස ඉදිකිරීම් කර්මාන්තයට ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම, වෛද්‍යවරුන්, ටියුෂන් ගුරුවරුන් වගේ අයගේත් ආදායම අඩු වෙන්න පුළුවන්. මිනිස්සු වැඩි වැඩියෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට යයි. සදාකාලිකව නෙමෙයි. ආර්ථිකය නැවත පහළ මට්ටමක ස්ථාවර වෙන්න යන කාලය ඇතුළත. ආනයන වෙළඳාමේ නියැලී ඉන්න අයට, සිල්ලර වෙළඳසැල් වලට, භෝජන ශාලා පවත්වාගෙන යන අයට බිස්නස් අඩු වෙයි. ටිකක් විතර කෝවිඩ් නිසා ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක්. පුරුදු නැති තත්ත්වයක් නෙමෙයිනේ.

ඔය හැම දෙයක්ම නිසා දළ දේශීය නිෂ්පාදිතය හැකිලෙයි. හැබැයි එහෙම වුනා කියලා රට හතලිස් අටේදී හිටපු තැනට හෝ හැත්තෑ හතේදී හිටපු තැනට වැටෙන්නේ නැහැ. අවුරුදු කීපයකින් පස්සට යයි. ඊට පස්සේ නැවතත් ඉස්සරහට යන්න පුළුවන්. මතක තියා ගන්න නමසිය පණහේදී ලාංකිකයෙකුගේ ඒක පුද්ගල ආදායම රුපියල් 610යි. ඩොලර් වලින්නම් 124යි. 

දැන් ඇති වී තිබෙන අර්බුදය නිදහස ලබපු දවසේ පටන් රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඇති කළ අර්බුදයක් තමයි. හැබැයි එයින් අදහස් කරන්නේ ඒ අය මුකුත්ම කළේ නෑ කියන එක නෙමෙයි. දෙදාස් විස්සේ ලංකාව හතළිස් අටේ ලංකාවට වඩා බොහෝ දුර ගිය රටක්. දැන් තිබෙන අස්ථාවරත්වය ප්‍රශ්නයක් වුවත් එවැනි අස්ථාවරත්වයකට පාර කපමින් වුවද ලංකාව ලබාගෙන තිබෙන ජයග්‍රහණ ඉතා විශාලයි. ආර්ථිකය කඩා වැටුනා කියලා ඒ සියල්ල එක රැයින් නැති වෙන්නේ නැහැ. රැයවල් ගණනාවකින් පසුව නැති වෙන්නේත් නැහැ. විදේශ අංශයේ හා මිල මට්ටමේ යම් නිවැරදි වීමක් වෙනවා පමණයි. රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2500 පමණ මට්ටමකට වැටුණත්, එය නිදහස ලබන කොට තිබුණු මට්ටම වගේ 20 ගුණයක්!

විදේශ අංශයෙන් පටන් අරගෙන, උද්ධමනය ගැනත්, මූර්ත අංශය ගැනත් අපි කතා කළා. මේ සියල්ල වෙද්දී රාජ්‍ය අංශයට වෙන්නේ මොකක්ද?

ලොකුම ප්‍රශ්නය වෙන්නේ රජයටයි. ලොකුවට නැතත් යම් තරමකින් හෝ ආර්ථිකය හැකිලීමත්, විරැකියා අනුපාතය ඉහළ යාමත් නිසා රජයට බදු ආදායම් ඉහළ දමා ගන්න වඩාත් අසීරු වෙනවා. ඒ අතර, විදේශ ණය වල රුපියල් අගය ඉහළ ගිහින් ණය පොලී හා වාරික වල වියදම ඉහළ යනවා. මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කරන්න පොලී අනුපාතික ඉහළ දැමීමත්, රටේ දේශීය ණය සැපයුම අඩු වීමත් නිසා දේශීය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම්ද ඉහළ යනවා. මේ අතර රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලා පාරට බහින්න ඉඩ තිබෙනවා. 

දීර්ඝකාලීනව ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඔය වගේ තත්වයක් යටතේ රජය මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගහන්න යොමු වුනොත්. එහෙම කළොත්නම්, බේරෙන්න බැරි දිය සුළියකට අහු වෙනවා. වසර ගණනකින් පසුව සිම්බාබ්වේ මට්ටමට වුනත් යන්න පුළුවන්!

මේ තත්ත්වය වලක්වාගන්න තවත් කාලයක් යන තුරු යම් තරමකට හෝ තවත් විදේශ ණය ගන්නම වෙනවා. එසේ ණය අරගෙන තාවකාලිකව තත්ත්වය පාලනය කර ගන්නා අතරම විනිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරීම, මිල මට්ටම යම් තරමකින් ඉහළ යන්න ඉඩ ඇරීම හා දැඩි රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණ හරහා අයවැය හිඟය පාලනය කිරීමත් කරන්නම වෙනවා.

Tuesday, December 14, 2021

ඉන්දියානු සහන පැකේජය ප්‍රශ්නයට විසඳුමක්ද?


ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත දැඩි අන්තරායකාරී මට්ටමකට පහත වැටී තිබේ. එසේ වුවද, පෙර ලිපියෙන් විස්තර කළ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේදී පියවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළ කූපන් පොලී මුදල ගෙවීම සඳහා දැනට මහ බැංකුවේ තිබෙන සංචිත ප්‍රමාණවත් බැවින් ජනවාරි අවසානය දක්වා ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානමක් නැත. එහෙත්, ජූලි මාසයේදී පියවිය යුතු ඇමරිකන් ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළ කූපන් පොලී මුදල ගෙවීම සඳහා දැනට තිබෙන සංචිත ප්‍රමාණවත් නොවන බැවින්, කිසියම් ආකාරයකින් සැලකිය යුතු විදේශ ණය මුදලක් ලබා නොගතහොත්, ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වනු ඇත.

මාධ්‍ය වාර්තා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට මේ වන තුරුද ආණ්ඩුව තීරණයක් ගෙන නැති අතර, ශ්‍රී ලංකා රජය ණය පැහැර හැරීමේ අවදානමෙන් බේරා ගැනීමට ඉන්දීය රජය සූදානම්ව සිටී. මේ ඉන්දීය සහන පැකේජය හරහා සිදු වනු ඇත්තේ කුමක්ද? 

ආහාර හා ඖෂධ අර්බුදයට සහනයක් කියා කියන විටම මතක් වන්නේ පූමාලයි මෙහෙයුම වුවත්, සිවිල් යුද්ධයෙන් පසු බොහෝ දුරට අමතක කරනු ලැබ ඇති ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය හා යෝජිත ඉන්දියානු විසඳුම් නැවත කාඩ් කුට්ටමේ උඩට පැමිණීම ඇතුළු ආර්ථික නොවන කරුණු අපි දැනට නොසලකා හරිමු. ඉන්දියාවෙන් ලැබෙන ඊනියා සහන වලින් කොටසක්, මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදිම කටයුතු සිදු වුවහොත්, ආයෝජන ලෙස ලැබෙනු ඇත. ඉතිරි කොටස වාණිජ ණය ලෙසත්, මුදල් හුවමාරු ගිවිසුම් යටතේත් ලැබෙනු ඇත. 

ඉන්දීය ආයෝජන වලින් ලංකාවේ ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් ලැබෙනු ඇති නමුත් මේ ආයෝජන ක්ෂණිකව හෝ දිගුකාලීනව ලංකාවේ ගෙවුම් ශේෂ හිඟයට පිළියමක් නොවනු ඇත. එමෙන්ම, මෙකී ආයෝජන වහාම සිදු වේයැයි සිතිය නොහැකිය. ගෙවුම් ශේෂ ප්‍රශ්නයට ක්ෂණික පිළියමක් විය හැක්කේ අදාළ ආයෝජන සිදු කිරීමේ ආරම්භක පියවරක් ලෙස ශ්‍රී ලංකා රජය සතු කවර හෝ භෞතික සම්පතක් ඉන්දීය සමාගමකට විකිණීමෙන් ක්ෂණිකව ලැබෙන මුදලක් පමණි. එවැනි විකිණීම් කොපමණ සිදු වනු ඇත්ද, ඒ හරහා කොපමණ මුදලක් ලැබේද යන්න ඉදිරි මාස කිහිපය හෝ වසර තුළ දැන ගන්නට ලැබෙනු ඇත. ඒ හැර, ආයෝජන සේ පැමිණෙන වෙනත් මුදලක් වේනම්, ඒ මුදල් නැවත ඉන්දියාවටම යනු ඇත. ලංකාවට පැමිණෙනු ඇත්තේ එම මුදල් වල වටිනාකමට සරිලන ආයෝජන භාණ්ඩයි.

වාණිජ ණය හේතුවෙන්ද ලංකාවට සෘජුව විදේශ විණිමය ගලා නොඑනු ඇත. මේ ණය මුදල් වලින් කළ හැක්කේ ඉන්දියාවෙන් ආහාර, ඖෂධ හා ඉන්ධන ආනයනය කිරීමයි. වෙනත් අයුරකින් කිවහොත්, ඉන්දියාව කරන්නේ පසුව මුදල් අය කර ගැනීමේ පදනම මත ආහාර, ඖෂධ හා ඉන්ධන සැපයීමයි. පාලනය කර තිබෙන විනිමය අනුපාතය යටතේ මෙසේ ඉන්දියාවෙන් ලැබෙන ආහාර, ඖෂධ හා ඉන්ධන ලාංකිකයින් විසින් සතුටින් පරිභෝජනය කරනු ඇති අතර ඒ වෙනුවෙන් පොලියද සමඟ මුදල් ගෙවීම අනාගතයට ඉතිරි වනු ඇත. බොහෝ විට මේ අනාගතය එතරම් දුරු අනාගතයක් විය නොහැකි අතර වැඩිම වුනොත් වසර කිහිපයක් වනු ඇත.

මුදල් හුවමාරු ගිවිසුම් හරහා ලැබෙන්නේ ඉන්දියානු රුපියල්ද එසේ නැත්නම් ඩොලර්ද යන්න නිශ්චිතව සඳහන් වී නැත. බොහෝ විට මෙසේ ලැබෙන්නේ ඉන්දියානු රුපියල් විය හැකිය. ඒ අනුව, එම මුදල් යොදා ගත හැකි වනු ඇත්තේද ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට හා ඉන්දියාවට ගෙවිය යුතු ණය ගෙවීමට පමණි. අවසාන වශයෙන් මේ ඉන්දීය සහන පැකේජය හරහා ලැබෙන එක් සතයක් හෝ මුදල් ලෙස ලංකාවට නොලැබීමට ඉඩ තිබේ. 

චීනය විසින් මීට කලින්ම මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලංකාවට ඩොලර් බිලියන 1.5කට පමණ සමාන යුවාන් ප්‍රමාණයක් ලබා දී ඇතත්, ඒ මුදල්ද මුදල් ලෙස ලංකාවට නොලැබෙන ණය පහසුකමක් පමණි. අදාළ මුදල් ප්‍රයෝජනයට ගත හැක්කේ චීනයෙන් භාණ්ඩ ආනයනය කිරීමට හා චීන ණය ගෙවීමට පමණි. දැන් ඉන්දියාව විසින් ලබා දී තිබෙන්නේද එවැනිම විකල්පයකි.

කෙසේ වුවද, මෙයින් අදහස් වන්නේ මේ සහන පැකේජ වලින් ලංකාවට ප්‍රයෝජනයක් නැති බව නොවේ. 

සංක්ෂිප්ත කිවහොත්, ලංකාවට වෙළඳ ගිණුම හරහා ඩොලර් ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් හා යුරෝපයෙනි. ඉන්දියාව හා චීනය විසින් පසුගිය කාලය තුළම කළේ අපනයන හරහා එසේ ලංකාවට බටහිර රටවලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය එකතු කර ගැනීමයි. චීන මුදල් හුවමාරු ගිවිසුම හා යෝජිත ඉන්දීය සහන පැකේජය නිසා තාවකාලිකව ඉන්දියාව හා චීනය විසින් ලංකාවට බටහිරින් ලැබෙන ඩොලර් එකතු කර ගැනීම නවතිනු ඇත. එහිදී බටහිර රටවලින් හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස මැද පෙරදිගින් ලැබෙන ඩොලර් වලින් යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයේ ණය ආපසු ගෙවීම සඳහා රට තුළ ඉතිරි වනු ඇත. මෙය ප්‍රශ්නයට තාවකාලික විසඳුමකි. 

සියල්ල මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදි සිදු වුවහොත්, මේ හරහා ජූලි මාසයේ ස්වෛරිත්ව බැඳුම්කරය පියවීමේ ප්‍රශ්නය විසඳෙනු ඇති අතර, ඇතැම් විට ලබන වසර අවසානය දක්වාම ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය කර ගන්නට ඉඩ ලැබෙනු ඇත. එහෙත්, එපමණකින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

ආකෘතිමය ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් පවතින තාක් එම ශේෂය විදේශ ණය වලින් පියවන්නට සිදු වන නිසා මේ අයුරින් වරකට ලැබෙන සහන පැකේජයකින් සිදු වන්නේ තාවකාලිකව ප්‍රශ්නය කල් දමාගෙන හුස්මක් ගන්නට ඉඩක් ලැබීම පමණි. යම් ආකාරයකින් ඉදිරි වසර කළමණාකරනය කර ගත්තද, එතැනින් ඔබ්බට ඉදිරියට යන්නටනම් කොහෙන් හෝ දිගින් දිගටම මේ ආකාරයේ සහන පැකේජ ලැබිය යුතුය. එහෙත්, එවැන්නක් සිදු වීමේ ඉඩක් නැතුවාක් මෙන්ම ඉතා ඉක්මණින් මෙසේ අලුතෙන් ලබා ගන්නා ණයද ගෙවා දමන්නට සිදු වනු ඇත. එතරම් ඉක්මණින් මැතිවරණයක් නොපැමිණෙන බැවින් ප්‍රශ්නය තවදුරටත් මේ ආණ්ඩුවේම ප්‍රශ්නයක්ව පවතිනු ඇත.

ඉහත සන්දර්භය තුළ, ඉන්දීය සහන පැකේජය ලැබුණේ වුවද, එයින් පවතින තත්ත්වය බරපතල ලෙස වෙනස් නොවනු ඇත. මේ අලුත් තත්ත්වය යටතේ වුවද, මේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට සිදුවීම ආසන්න අනිවාර්යතාවයකි.

Monday, December 13, 2021

ආණ්ඩුව අයිඑම්එෆ් යයිද?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද නැද්ද කියා තීරණය කරන්න කැබිනට් මණ්ඩලය අද රැස් වන බව කියනවා. එය එසේනම් මේ වෙද්දී මේ සාකච්ඡාව සිදු වී තියෙන්න පුළුවන්. ලිපිය පළ වන විට තීරණය අරගෙන තියෙන්න පුළුවන්. මා මේ ලිපිය ලියන්නේ එවැනි තීරණයක් ගැන නොදැන.

ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන බව මේ වෙද්දී හැමෝම වගේ එකඟ වන, ඇහැට පෙනෙන්න තියෙන දෙයක්. ලංකාවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පාන්න වෙනවා කියන එක තව දුරටත් අනාවැකියක් නෙමෙයි. මෙතැනින් එහාට ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වනු ඇත්තේ කොයි ආකාරයකටද?

වහා විසඳිය යුතු, කෙටිකාලීන ප්‍රශ්නය ඩොලර් හිඟයයි. ඒ ප්‍රශ්නය පසුපස දිගුකාලීන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න නිදහස ලැබූ දා සිට හා යම් තරමකට ඊටත් පෙර සිට, ඇතැම් විට සර්වජන ඡන්දබලය ලැබූ කාලයේ සිට, ලංකාවේ ක්‍රියාත්මක වූ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්‍රශ්න. එහෙත්, වත්මන් ඩොලර් හිඟයට මුල් වී ඇති ප්‍රශ්නය උතුරේ සිවිල් යුද්ධය අවසන් වූ පසු ඇති වූ ප්‍රශ්නයක්. ප්‍රශ්නයේ මුල් පිළිබඳව විස්තරාත්මක තොරතුරු තවදුරටත් ලියන්න පුළුවන්. එය පසුවට තබමු.

ප්‍රශ්නයක මුල් ගැන කතා කළ යුත්තේ ප්‍රශ්නය විසඳීම සඳහා මුලින්ම ප්‍රශ්නය නිසියාකාරව හඳුනා ගෙන ප්‍රශ්නයේ මුල් ගලවා දැමිය යුතු නිසා මිසක් කාවවත් විවේචනය කරන්න නෙමෙයි. කෙටිකාලීන ප්‍රශ්නය විසඳීම සඳහා අප යෝජනා කිසිවක් ඉදිරිපත් කරන්නේ නැහැ. එයට පළමු හේතුව ඒ සඳහා වෙනත් අය යෝජනා කර නැති අළුත් යෝජනා කිසිවක් අපට නැති වීමයි. දෙවන හේතුව මේ කෙටිකාලීන ප්‍රශ්නය ඉදිරි වසර තුළ කවර ආකාරයෙන් හෝ විසඳෙන ප්‍රශ්නයක් වීමයි. වෙළඳපොළ බලවේග විසින් එය සිදු කරනු ලැබීම තවදුරටත් වැළැක්විය හැකි දෙයක් නෙමෙයි.

කෙටිකාලීන ප්‍රශ්නය මොන විදිහකින් විසඳුනත් දිගුකාලීන ප්‍රශ්න ඉතිරි වෙනවා. දිගුකාලීන ප්‍රශ්න ඉතිරිව තිබෙන තුරු, දැනට මොන විදිහකින් හෝ විසඳා ගත්තත්, කෙටිකාලීන ප්‍රශ්නය නැවතත් වසර කිහිපයකින් මතු වීම වැළැක්විය නොහැකියි. කෙටිකාලීන ප්‍රශ්නය විසඳාගන්න මේ වෙද්දී රටේ හැමෝටම වගේ උවමනාවක් තිබුණත්, දිගුකාලීන ප්‍රශ්න විසඳාගන්න එවැනි උනන්දුවක් තවමත් නැහැ. දිගුකාලීන ප්‍රශ්න පිළිබඳව තවමත් බොහෝ දෙනෙකුට අවබෝධයක්ද නැහැ. මේ අවබෝධය බොහෝ දෙනෙකුට ලැබෙනු ඇත්තේ මීට වඩා විශාල විනාශයකින් පසු වෙන්න පුළුවන්.

කෙටිකාලීන ප්‍රශ්න වලට විසඳුම් ගැන කතා කරන එකේ තේරුමක් නැතත්, දිගුකාලීන ප්‍රශ්න වලට තිබෙන විසඳුම් ගැන කතා කරන්න පටන් ගන්න මේ හොඳම අවස්ථාව කියා අප සිතනවා. ඒ වැඩේ අපි ඉදිරි වසර තුන තුළ කරමු. එසේ කර, දැනට පෙනෙන තෙක් මානයකවත් නැති ලංකාවට අවශ්‍ය දේශපාලන විකල්පය අනාගතයේදීවත් හැදෙයිද කියා බලා සිටිමු. 

හැබැයි ඊට කලින් ලංකාවට ක්ෂණිකව විසඳාගත යුතු කෙටිකාලීන ප්‍රශ්නයක් තිබෙනවා. මෙයට දැනට ඉදිරිපත්ව තිබෙන්නේ විසඳුම් දෙකක් පමණයි. පළමුවැන්න, හැකි ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මුල සිටම මේ අදහස වෙනුවෙන් පෙනී සිටියා. සජබයේ හර්ෂ ද සිල්වා වැනි අය දකින විසඳුමත් මෙයයි. සජබ නිල ස්ථාවරයද මෙවැන්නක් විය හැකියි. දේශපාලන පක්ෂයකට සෘජු සම්බන්ධයක් නැති ආර්ථික විද්‍යාඥයින් ගණනාවක්ද මේ අදහස දරනවා. දිගුකාලීනව ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම පිළිබඳ ජවිපෙ හා එජාප උපාය මාර්ගයන් අහසට පොළොව මෙන් දුරස්ථ වුවත්, කෙටිකාලීනව පවතින ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීම පිණිස ජවිපෙ දකින විසඳුමද එජාප විසඳුමෙන් වෙනස් බවක් පෙනෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන්ද මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම තිබෙන එකම විසඳුම බව පිළිගන්නා තැනකට තල්ලු වී තිබෙනවා. ආණ්ඩු බලය එජාප හෝ සජබ සතුව තිබුණානම් මීට බොහෝ කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා හැකිව තිබුණා. එසේ වුනානම් අද තිබෙන ඩොලර් ප්‍රශ්නය මේ තරම් දරුණු මට්ටමකට ඔඩු දුවන්නේ නැහැ.

කෙටිකාලීන ප්‍රශ්නයට අප සතුව වෙනත් විසඳුමක් නැති බව අප කලින්ම කිවුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට විකල්පව ඉදිරිපත්ව තිබුණු දෙවන යෝජනාව ආණ්ඩුවේ දේශීය (homegrown) විසඳුමයි. මේ විකල්පය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියේත්, ඒ අනුව ලංකාවේ ආර්ථිකය මෙහෙයවමින් ඉන්නේත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්. ඔහුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම සඳහා හේතු ගණනාවක් තිබෙනවා. පළමු හේතුව ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්නය දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගත යුතු නැති, කොත්තමල්ලි බී සනීප කරගත හැකි, පොඩි හෙම්බිරිස්සාවක් පමණක් වීමයි. දෙවන හේතු වන්නේ දොස්තර බෙහෙත් වල අතුරු ආබාධයි.

තමන්ගේ කොත්තමල්ලි විසඳුම පසුගිය ඔක්තෝබර් මාසය ආරම්භයේදී අධිපති කබ්රාල් විසින් රටට හා ලෝකයට ඉදිරිපත් කළා. වැඩි දෙනෙකු එතරම් බරපතල සේ නොසැලකූ මේ සැලසුමේ තිබුණු දේවල් මා පෙර ලිපියකින් විස්තර කළා.

"කබ්රාල්ගේ මාස හයේ මාර්ග සිතියම කුමක්ද? 

ඉතා කෙටියෙන් කිවුවොත්, කබ්රාල් විසින් කරන්න යන්නේ ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඩොලර් කෙසේ හෝ හොයා ගැනීමයි. වැල් වටාරම් ඉවත් කර මාර්ග සිතියමේ අදාළ කරුණු පමණක් ගත්තොත්, විණිමය අනුපාතය මේ මට්ටමේ පවත්වා ගැනීම සඳහා ඩොලර් හොයා ගන්න යන්නේ කොහොමද? 

- රජයක් විසින් රජයකට දෙන (G2G) ණය ලෙස කෙටිකාලීනව ඩොලර් බිලියනයක් (ඉදිරි මාස තුන ඇතුළත මිලියන 500ක්) ලබා ගැනීම.

- රාජ්‍ය දේපොළ විකිණීමෙන් ඩොලර් බිලියනයක් ලබා ගැනීම. 

- බදු සමා පනතේ උදවුවෙන් ඩොලර් මිලියන 100ක් හොයා ගැනීම.

- කෙටිකාලීන විණිමය හුවමාරු ගිවිසුම් හරහා ඩොලර් බිලියන 1.5ක් ලබා ගැනීම 

- රට තුළට රැගෙන විත් නැති අපනයන ආදායම් ඩොලර් බිලියන 1.8ක් (මාසයකට ඩොලර් මිලියන 300 බැගින්) රටට ගෙන්වා ගැනීම.

- ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම.

- ඩොලර් මිලියන 300ක පමණ සංවර්ධන බැඳුම්කර විදේශිකයන්ට විකිණීම. 

- බැංකු/ මූල්‍ය ආයතන විසින් ඩොලර් බිලියන 1.5ක විදේශ ණය ලබා ගැනීම.

දැන් මේ ටික එකතු කළොත් සාරාංශයක් ලෙස ඩොලර් හොයා ගන්න යන්නේ ඩොලර් බිලියන 4.3ක ණය ලබා ගැනීම, ඩොලර් බිලියන 1.1ක විදේශ ආයෝජන ගෙන්වා ගැනීම හා ආපසු නොයන ඩොලර් බිලියන 2.8ක් රට තුළට ගෙන්වා ගැනීම ලෙසයි. එකතුව ඩොලර් බිලියන 8.2ක් පමණ වෙනවා. 

ඉදිරි මාස හයක කාලය තුළ ඔය විදිහට ඩොලර් බිලියන 8.2ක් හොයා ගන්න පුලුවන්නම් එම කාලය තුළ ගෙවිය යුතු ණය ගෙවා, අපනයන වෙනුවෙන්ද අවශ්‍ය පමණ ඩොලර් වැය කර, සංචිතද නැවත ඉහළ නංවා ගන්න පුළුවන්. එවැනි ඩොලර් ප්‍රමාණයක් ලැබේනම් ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න බැරිකමක් නැහැ.

මේ ඇස්තමේන්තු කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. එහෙත් ඉලක්ක සේ සැලකුවොත් නරක නැහැ. දැන් අපට තියෙන්නේ ඉදිරි මාස හය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය දෙස බලා ඉන්නයි."

දැන් මේ සැලසුම ඉදිරිපත් කරලා මාස දෙකහමාරක් ගත වෙලා. එම කාලය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය කොහොමද? 

රටට විශාල හානියක් කරමින් ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගැනීමට විශාල උත්සාහයක් දැරුවත් මේ වෙද්දී එය කර ගන්න බැරුව ඩොලරය රුපියල් 210 බැගින් මාරු කරන්න ඉඩ දෙන්න වෙලා. නමුත් ඒ ගාණට වුනත් ඩොලර් මාරු කරන්න කවුරුවත් කැමති නැහැ. කොත්තමල්ලි විසඳුමේ විදිහට බිලියන ගාණක් ඩොලර් හොයා ගන්න එක කොහොම වෙතත්, තමන්ට අවශ්‍ය මට්ටමේ විණිමය අනුපාතය නඩත්තු කරන්න මේ වෙද්දී තිබුණු සොච්චම් සංචිත වලිනුත් සෑහෙන කොටසක් විකුණලා. 

කොත්තමල්ලි විසඳුම කියා කිවුවේ කබ්රාල් මේ වචනය යොදාගත් නිසා මිසක් කොත්තමල්ලි බොන අයට කරන අපහාසයක් විදිහට නෙමෙයි. කොත්තමල්ලි කියන්නේ කෝකටත් තෛලයක් නොවන බව කොත්තමල්ලි බොන දන්නවා. ලංකාවට හැදිලා තියෙන ලෙඩේ කොත්තමල්ලි බීලා සනීප කළ හැකි පොඩි හෙම්බිරිස්සාවක් නෙමෙයි.

කබ්රාල් අධිපති ධුරය භාර ගත්තේ සැප්තැම්බර් මැද. සැප්තැම්බර් මාසය පටන් ගනිද්දීත් මහ බැංකුවේ ඩොලර් මිලියන 3,550ක සංචිත ප්‍රමාණයක් තිබුණා. නොවැම්බර් අවසාන වෙද්දී මේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 දක්වා පහත වැටිලා. කබ්රාල්ගේ කොත්තමල්ලි විසඳුමේ සාර්ථකත්වය මේ ගණන් දිහා බැලූ විටම පැහැදිලි වෙනවා.

කෙසේ වුවත්, ඔහුගේ පැත්තෙනුත් ප්‍රශ්නය දිහා බලමු. කබ්රාල් ඉදිරිපත් කළේ සයමාසික වැඩපිළිවෙලක්. ඒ වගේම, වැඩපිළිවෙළ ආරම්භයේදී යම් තරමකින් සංචිත අඩු වෙන බවත් ඔහු කිවුවා. ඒ නිසා තවත් මාස තුනකින් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හත අටක් වෙයි කියලා අපිට හිතන්න බැරිද? කබ්රාල් ඉදිරි මාස තුනේදී වැඩ පෙන්නයිද?

පළමුව, මේ වැඩපිළිවෙළ ප්‍රායෝගික නැති වැඩ පිළිවෙලක් බව මුලදීම බොහෝ දෙනෙකුට පැහැදිලිව පෙනෙන්න තිබුණා. ඒ හැමෝටම වැරදිලා කබ්රාල්ගේ ඇස්තමේන්තු නිවැරදි වෙන්නනම්, එහෙම වෙන බව මුල සිටම පෙනී යා යුතුයි. නමුත් පේන්නේ අනෙක් බොහෝ දෙනෙක් දුටු දෙය මිසක් කබ්රාල් දුටු දෙය නෙමෙයි. ඉතිරි මාස තුනේ මෙතෙක් සිදු නොවුණු අමුතු මැජික් එකක් වෙයි කියා හිතන්න බැහැ. කබ්රාල් මේ ඇස්තමේන්තු හා සැලසුම ඉදිරිපත් කළේ තනි පුද්ගලයෙක් ලෙස නොවන නිසා ආර්ථිකය වල පල්ලට දැමීමේ අපකීර්තිය සමස්ත මහ බැංකුවටම බාර ගන්න වෙනවා.

කබ්රාල් ඇතුළු ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තරම් අසාත්මික වුනේ ඇයි? 

බන්දුල ගුණවර්ධන විසින් කියා ඇති පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් ආණ්ඩුවට අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීමට හා ඒ වෙනුවෙන් සේවක වැටුප් මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම පවා සීමා කිරීමටත්, ගෑස් මිල ඉහළ දැමීමටත් සිදු වෙනවා. ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු වෙනවා. කබ්රාල් විසින්ද මෙවැනි ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණා.

කලින් විස්තර කර ඇති පරිදි, ණය ලබා දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කොන්දේසි පනවන්නේ නැහැ. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමුපකාර සංගමයක් වැනි තැනක්. ඔවුන් සාමාජික රාජ්‍යයන්ට ණය ලෙස ලබා දෙන්නේ ලංකාව ඇතුළු සාමාජික රාජ්‍යයයන්ගේම මුදල්. එම මුදල් ආපසු ලැබෙන බවට ඔවුන් වග බලාගත යුතු වෙනවා. ඒ නිසා, ණය ලබා ගන්නා රටට තමන් රටේ තත්ත්වය යහපත් කරගෙන ණය ආපසු ගෙවන ආකාරය අරමුදලට කියන්න වෙනවා.

ඉහත ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ රටේ ආර්ථික තත්ත්වය ණය ආපසු ගෙවිය හැකි මට්ටමකට වැඩි දියුණු කර ගැනීම සඳහා අයවැය පරතරය අඩු කර ගැනීම හා ඩොලරය පාවෙන්නට ඉඩ දීම වැනි දේ කරන්නම වෙන බව බන්ධුල ගුණවර්ධන, කබ්රාල් වැනි අයද විශ්වාස කරන බවයි. වෙනත් විසඳුමක් ඇත්නම් ඔවුන්ට ඒ විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට හැකි විය යුතුයි. අනෙක් අතින් එයින් අදහස් වන්නේ කබ්රාල්ගේ කොත්තමල්ලි විසඳුම යම් හෙයකින් විසඳුනත්, එය තවත් ණය ගන්නා සැලසුමක් මිසක් එසේ ගත් ණය ආපසු ගෙවිය හැකි ආකාරයේ සැලසුමක් නොවන බවයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම මෙයින් වෙනස් වන්නේ එයද තවත් ණය ගන්නා සැලසුමක් වුවත් එසේ ගත් ණය ආපසු ගෙවිය හැකි ආකාරයේ සැලසුමක්ද එයට අඩංගු වීම යන කරුණ මතයි. එහෙත්, එවැනි සැලසුමකින් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අලුතෙන් ගන්නා ණය ආපසු ගෙවන ආකාරය මිස ලංකාව කාලයක් තිස්සේ ගොඩ ගසා ගෙන සිටින දැවැන්ත ණය කන්දෙන් නිදහස් වීමේ සැලසුමක් අඩංගු නොවන නිසා නැවතත් වසර කිහිපයකින් පසුව ප්‍රශ්නයේ මුලට එන එක වලක්වන්න බැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ගැන ආණ්ඩුව මේ වෙද්දී සලකා බලමින් ඉන්නේ ඇයි?

මෙයට ආසන්න හේතුව මේ වන විට ලංකාවේ නිල සංචිත, රත්රන් ආදියද ඇතුළුව, ඩොලර් බිලියන 1.5 පමණ දක්වා පහත වැටී තිබීමයි. මේ තත්ත්වය යටතේ වුවද ජනවාරි මාසයේ පියවිය යුතු ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කරය පියවිය හැකි වුවත්, ජූනි මාසයේ පියවිය යුතු ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය පියවීමේ හැකියාවක් නැහැ. කබ්රාල්ගේ කොත්තමල්ලි වැඩසටහන වැඩ නොකරන බවත් ඉතා පැහැදිලියි. මේ තත්ත්වය යටතේ, දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියත්, අදාල කටයුතු අවසන් වීමට මාස හයකට වඩා වැඩි කාලයක් යා හැකි නිසා, වසර මැද ගෙවිය යුතු ඩොලර් බිලියන ගෙවිය නොහැකි වීමට ඉඩ තිබෙනවා.

ආණ්ඩුව අද ගන්නා තීරණය කුමක් වෙයිද?

මෙය තීරණය වන්නේ ආණ්ඩුවේ තක්සේරුව අනුව ජූලි මාසයේදී ඩොලර් බිලියනයක් ගෙවීමට රජයට තිබෙන හැකියාව මතයි. යම් හෙයකින් තව දුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා සිටීමේ මතය තුළම ආණ්ඩුව රැඳී සිටියහොත් එයින් අදහස් වන්නේ වසර මැදදී මෙම බැඳුම්කරය පියවීම සඳහා ඩොලර් හොයා ගත හැකි වනු ඇති බවට ආණ්ඩුවට දැඩි විශ්වාසයක් ඇති බවයි. එසේ නොවී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ආණ්ඩුව අද තීරණය කළහොත් එයින් අදහස් වන්නේ ආණ්ඩුවේ බහුතර මතය අනුවම ණය පැහැර හරින්නට සිදුවන තැනට ලංකාවේ රජය වැටී තිබෙන බවයි.

තව දුරටත් කොත්තමල්ලි විසඳුම තුළම රැඳී සිටින්නට ආණ්ඩුව තීරණය කළා කියා අපි හිතමු. එම විසඳුම තුළ වුවද, කීයටවත් ණය පැහැර හරින තැනකට වැටෙන්නට ආණ්ඩුවට අවශ්‍ය නැහැ. එවැනි තත්ත්වයක් ඇත්නම් ආණ්ඩුව අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යනවා. දැන් තිබෙන තත්ත්වය අනුව ජනවාරියේදී ස්වෛරීත්වය බැඳුම්කරය පියවීමට අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 500ක් යන නිසා නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයක් දක්වා පහත වැටෙනවා. ද්‍රවශීල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 600ක් පමණ දක්වා පහත වැටෙනවා. ඊට අමතරව, විණිමය අනුපාතය පවතින මට්ටමේ නඩත්තු කරමින් අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා දෙසැම්බර් හා ජනවාරි දෙමස තුළ තවත් ඩොලර් මිලියන 500-600 පමණ ප්‍රමාණයක් වැය විය හැකි නිසා වසර මැද දක්වා ඇද ගන්න එක කළ නොහැකි තරම් අසීරු දෙයක්.

ඉන්දියාවෙන් ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබුනා කියා හිතමු. කොහොමටත් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙනුත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය ගෙවන්නත් මේ මුදල් යොදා ගන්න පුළුවන්. චීනයෙන් දැනටමත් ලැබී තිබෙන ණය මුදල චීන ආනයන හා චීන ණය වෙනුවෙන් තව දුරටත් වැය කළ හැකියි. එසේ කළත් වසර මැද ඩොලර් බිලියනයක් ආපසු ගෙවන එක අසීරු ඉලක්කයක්. ඒ නිසා, මහ බැංකුවට ඊට පෙර අනිවාර්යයෙන්ම විනිමය අනුපාතය අවප්‍රමාණය කරන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියා කියා මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ.

ආණ්ඩුවේ වියදම් සීමා කර අයවැය හිඟය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය ගැන ආණ්ඩුව දැනටමත් කියා අවසන්. ඒ වගේම, ලබන වසරේ රාජ්‍ය සේවකයින් අලුතෙන් බඳවා නොගන්නා බවත් කියා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියත්, එම අරමුදල විසින් දමන කොන්දේසි සේ ආණ්ඩුවට සම්බන්ධ අය විසින් හඳුන්වන ක්‍රියාකාරකම් කරන්න මේ ආණ්ඩුවට කොහොමටත් සිදු වෙනවා.

විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම ගැන පමණක් අපි බලමු. මෙහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. උද්ධමනය වැඩි වෙනවා. රජයේ විදේශ ණය වල රුපියල් වටිනාකම වැඩි වී අයවැය හිඟය ඉහළ යනවා. එය පියවීමට එක්කෝ තවතවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. නැත්නම් පොලී අනුපාතික විශාල ලෙස වැඩි වෙන්න ඉඩ දෙන්න වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස වැඩි වන විට ඒ හේතුවෙන්ද ආණ්ඩුවේ වියදම් වැඩි වී අයවැය හිඟය ඉහළ යනවා. සහන කපා බදු වැඩි කරන්න වෙනවා. ආණ්ඩුවේ කිසියම් ජනප්‍රියත්වයක් තවදුරටත් ඇත්නම් එයද පහළ වැටෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියා කියා මේ දේවල් වලක්වා ගන්න බැහැ.

විපක්ෂයේ පක්ෂ බලා ඉන්නේ මේ ටික වෙන තුරුයි. ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වෙද්දී විපක්ෂයට බලය ලැබෙනු ඇතැයි සජබ සිතනවා. ජවිපෙටද එවැනි යම් බලාපොරොත්තුවක් තිබෙනවා. යම් හෙයකින් ආණ්ඩුව මේ මොහොතේ වැටී විපක්ෂයේ පක්ෂයක් බලයට ආවොත් ඔවුන්ට තිබෙන එකම විකල්ප විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හා එම අරමුදල වෙත යාමේ උදවුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. ඔවුන් සතු වෙනත් විකල්පයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම තුළ ඉහත අහිතකර තත්ත්වයන් වැළකෙන්නේ නැහැ. ඒ නිසා, ප්‍රශ්නය කවර ආකාරයකින් හෝ විසඳෙන තුරු ආණ්ඩු බලය ගන්න විපක්ෂයට ඇත්තටම අවශ්‍ය නැහැ.

කෙසේ වුවත්, මේ දේවල් වෙන්නේ ආණ්ඩුව මාරු වුනොත් පමණයි. ඒ වගේම, ආණ්ඩු මාරුවක් වීම පරිකල්පනීය අදහසක් පමණයි. අරමුදල් විකල්පය හෝ කොත්තමල්ලි විකල්පය යන දෙකෙන් කොයි එක තෝරා ගත්තත් ඇති වන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ මේ ආණ්ඩුවටයි.

මට පෙනෙන විදිහට ආණ්ඩුව විසින් කරන්නේ සියුම් දේශපාලන ක්‍රීඩාවක්. ආණ්ඩුව විසින් හිතාමතාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ප්‍රතික්ෂේප කරමින් එහි අහිතකර විපාක ගැන ජනතාව දැනුවත් කරමින් සිටිනවා. විපක්ෂය, විශේෂයෙන්ම එජාප සහ සජබ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන මෙන් ආණ්ඩුවට බල කරමින් සිටිනවා. මේ තත්ත්වය තුළ කොයි වෙලාවක හෝ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමෙන් පසු විපක්ෂයට තව දුරටත් ආණ්ඩුවට චෝදනා කරන්න ඉඩක් ඉතිරි වන්නේ නැහැ. ඉන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට තබා ආණ්ඩුවට අර "නරක දේවල්" සියල්ල පහසුවෙන් කළ හැකියි. කෝවිඩ් පාලනයේ සිට රසායනික පොහොර තහනම දක්වා බොහෝ අවස්ථා වලදී ආණ්ඩුව අනුගමනය කළේ මේ එකම උපක්‍රමයයි.

Friday, December 10, 2021

රෙගියුලේටර ප්‍රශ්නය


ලංකාවේ ගෑස් සිලින්ඩර වලට සම්බන්ධ කර තිබෙන උපාංග පිපිරෙන්න පටන් ගැනීම නිසා ඇති වූ ප්‍රශ්නය මේ වෙද්දී විසඳිලා වගේ. ගෑස් සිලින්ඩර වල පීඩනය වැඩි කිරීම මේ ප්‍රශ්නයට හේතුව බවයි කියැවුනේ. සමහර විට පීඩනය වැඩි කළත් පුපුරන්නේ නැති තරමට ප්‍රමිතියක් ගෑස් සිලින්ඩර වල තියෙන්න ඇති. එහෙත්, ගෘහස්ථ පාරිභෝගිකයෙක් සැලකුවාම ගෑස් සිලින්ඩරය, ගෑස් උදුන හා ඒ දෙක සම්බන්ධ කෙරෙන උපාංග සියල්ලම එකම පද්ධතියක කොටස්. මේ වගේ පද්ධතියක එක තැනක් බිඳ වැටෙනවා කියා කියන්නේ පද්ධතියම බිඳ වැටීමක්. 

කවර හෝ පද්ධතියක් බිඳ වැටෙද්දී බොහෝ විට මුලින්ම බිඳ වැටෙන්නේ එහි දුර්වලම තැනින්. පහත් තැනින් යයි ගලා ජලේ!

ගණන් හිලවු පැත්තකින් තියලා කතා කළොත්, ගෑස් සිලින්ඩරයක ගෑස් අසුරා තිබෙන්නේ විශාල පීඩනයක් යටතේ. ඒ වගේ පීඩනයක් යටතේ තියෙන දෙයක් එකවර නිදහස් වුනොත් කෙළවර වෙන්නේ විශාල විනාශයකින්. සිලින්ඩරයේ ගෑස් පාවිච්චියට ගැනීමේදී වෙන්නේත් මේ විදිහට විශාල පීඩනයක් යටතේ ගබඩා කර තිබෙන ගෑස් නිදහස් වෙන එක. හැබැයි ඒ වැඩේ වෙන්නේ පාලනයක් යටතේ. 

මේ විදිහට පාලනයක් යටතේ නිදහස් කර ගන්නා ගෑස් දහනය කරලා අපිට විවිධ දේවල් කර ගන්න පුළුවන්. ලංකාවේ වැඩිපුරම වෙන්නේ කෑම උයන එක. කෑම ඉවිල්ල ගින්දර පාලනය කරමින් කරන කලාවක්. ගෑස් වලින් උයද්දී ගින්දර පාලනය කරන්නේ ගෑස් සැපයුම පාලනය කරලා. ගෑස් හරියට පාලනය කරගන්න බැරි වුනොත් ගින්දරත් හරියට පාලනය කර ගන්න බැහැ. රෙගියුලේටරයෙන් කරන්නේ සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් සැපයුම පාලනය කරන එක.

ඇමරිකාවේනම් ගෙවල් වල පාවිච්චියට කඩෙන් ගෑස් ගේන්න අවශ්‍ය නැහැ. ගෑස් සැපයුම් නල ගෙවල් වලට සම්බන්ධ කරලයි තියෙන්නේ. ප්‍රධාන ගෑස් නලයක් දිගේ එන ගෑස් රෙගියුලේටරයක් මගින් පීඩනය අඩු කරලා ගෙවල් වලට සපයනවා. ඒ නිසා, ගෙදර ගෑස් ඉවර වෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ එවැනි යටිතල පහසුකම් නැති නිසා සිලින්ඩරේ ගෑස් ඉවර වෙද්දී කඩෙන් අළුත් ගෑස් සිලින්ඩරයක් ගේන්න වෙනවා. සමහර වෙලාවට ගෑස් ඉවර වෙලා කියලා දැන ගන්න ලැබෙන්නේ හොද්දක් බතක් බාගෙට ඉදී තියෙද්දී ලිප නිවුනාමයි. 

ලංකාවේ පාවිච්චි කරන ආකාරයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක ගෑස් ටිකෙන් ටික ප්‍රයෝජනයට ගනිද්දී සිලින්ඩරයේ පීඩනයත් ටික ටික අඩු වෙනවා මිසක් පීඩනය වැඩි වෙන්නේ නැහැ. මොකද සිලින්ඩරයෙන් ඒකේ තියෙන ගෑස් ඉවත් වෙනවා මිසක් ඇමරිකාවේ වගේ සිලින්ඩරේට ගෑස් එන මාර්ගයක් නැහැනේ. සර්වත්‍ර වායු නියමය අනුව ගෑස් සිලින්ඩරේ පරිමාව වෙනස් වෙන්නෙත් නැත්නම්, උෂ්ණත්වය වෙනස් වෙන්නෙත් නැත්නම්, සිලින්ඩරයේ තිබෙන ගෑස් අණු ගණන අඩු වෙද්දී පීඩනය අඩු විය යුතුයි. 

හැබැයි උෂ්ණත්වය වැඩි වෙද්දී ගේ ලුසැක්ගේ නියමය අනුව පීඩනය වැඩි වෙනවා. ඒ නිසා, සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් නිසා එතුළ පීඩනය අඩු වුනත්, ඒ ගෑස් සිලින්ඩරය ආසන්නයේ දහනය කරද්දී යම් හෙයකින් සිලින්ඩරය ඇතුළේ ගෑස් වල උෂ්ණත්වය විශාල ලෙස ඉහළ ගිහින් ඒ හේතුව නිසා පීඩනය ඉහළ යාමේ බලපෑම වඩා වැඩිනම් සිලින්ඩරයෙන් ගෑස් මුදා හරිද්දී වුවත් ඇතුළේ පීඩනය ඉහළ යන්න පුළුවන්. පීඩනය ඔරොත්තු නොදෙන මට්ටමකට ආවොත් සිලින්ඩරේ පුපුරන්න වුනත් පුළුවන්.

ගෑස් සිලින්ඩර් ගැනත්, ඔය කියපු නියම ගැනත් මම වැඩිපුර දන්නේ නැහැ. ඒ නිසා, ඕවා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවානම් ජනාධිපති නියමය වගේ එකක් කියලා හිතන්නකෝ. ඒකනම් කවුරුත් වගේ දන්නවනේ. "සෑම ගැසට්ටුවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ගැසට්ටුවක් ඇත!".

ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නෙත් ටිකක් විතර ඔය ගෑස් සිලින්ඩරේ වගේ. ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති වුනාම සිලින්ඩරේ ඇතුළේ පීඩනයක් ඇති වෙනවා. නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය කියන්නේ ඒ පීඩනය වැඩි වෙන්න නොදී මුදා හරින ස්වභාවික යාන්ත්‍රනය. සිලින්ඩරේ ඇතුළේ ලොකු පීඩනයක් හැදෙන්නේ නැත්නම් රෙගියුලේටරයක් අවශ්‍ය වන්නේ නැහැ. සිලින්ඩරේ විශාල වන තරමට යම් නිශ්චිත ගෑස් ප්‍රමාණයක් එහි ගබඩා කර ගැනීමේදී අඩු පීඩනයක් පවත්වා ගත හැකියි. බොයිල්ගේ නියමය!

ලංකාවේ ගෑස් සිලින්ඩර වලට පුරවා තියෙන්නේ ප්‍රොපේන් හා බියුටේන් මිශ්‍රණයක්නේ. මුලින් තිබී ඇත්තේ බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක මිශ්‍රණයක්. උපාංග පුපුරන්න පටන් අරන් තියෙන්නේ ඔය අනුපාතය 50:50 ලෙස වෙනස් කළාට පස්සේ. දැන් නැවතත් 70:30 අනුපාතයට යා යුතුයි කියලා රජය නියෝග කර තිබෙනවා. 

ප්‍රොපේන් හා බියුටේන් දෙවර්ගයම හයිඩ්‍රෝකාබන්. ඒ කියන්නේ මේවා හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් වලින්. ප්‍රොපේන් අණුවක කාබන් පරමාණු 3ක් හා හයිඩ්‍රජන් පරමාණු 8ක් තිබෙනවා. බියුටේන් අණුවක කාබන් පරමාණු 4ක් හා හයිඩ්‍රජන් පරමාණු 10ක් තිබෙනවා. ඒ කියන්නේ බියුටේන් අණුවක් ප්‍රොපේන් අණුවකට වඩා බරයි. ඒ නිසා, බරෙන් සමාන ප්‍රොපේන් හා බියුටේන් ප්‍රමාණ ගත්තොත් ප්‍රොපේන් වල අණු ගණන වැඩියි. සර්වත්‍ර වායු නියමය අනුව, පරිමාව හා උෂ්ණත්වය සමානනම් පීඩනය තීරණය වන්නේ අණු ගණන මත කියලා කලින් කිවුවනේ. ඒ නිසා, වායු මිශ්‍රණයක බියුටේන් අඩු කරලා ප්‍රොපේන් වැඩි කරද්දී පීඩනය වැඩි වෙනවා. උපාංග පිපිරිලා තියන්නේ ඔය හේතුව නිසා.

අයවැය පරතරය නිසා ඇති වෙන පීඩනයත් ඔය ගෑස් සිලින්ඩරයක් ඇතුළේ හැදෙන පීඩනය වගේ තමයි. හැබැයි මේ සිලින්ඩරේට ඇමරිකාවේදී වගේ කෙළින්ම ගෑස් එනවා. කඩේ ගිහින් ගෑස් පුරවන්න අවශ්‍ය නැහැ. ගෑස් එන්නේ ගෑස් පාවිච්චියට ගන්න තරමටනම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය නියතව තියෙනවා මිස අඩු වැඩි වෙන්නේ නැහැ. නමුත් ගෑස් සිලින්ඩරේට එන වේගයෙන්ම පිට වෙන්නේ නැත්නම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම ඉහළ යනවා. ඒකේ අනෙක් පැත්ත වුනොත් පීඩනය අඩු වෙනවා. 

ඔය විදිහටම රාජ්‍ය වියදම් වැඩි වෙද්දී අයවැය මත පීඩනය වැඩි වෙනවා. ආදායම් ඉහළ යද්දී පීඩනය අඩු වෙනවා. අයවැය හිඟය ඉහළ යන තරමට "සිලින්ඩරේ ඇතුළේ" පීඩනය වැඩි වෙනවා. පීඩනය හැදෙන්නේ වායු වර්ග දෙකක් නිසා. "දේශීය ණය" සහ "විදේශීය ණය". ඔය දෙකෙන් දේශීය ණය බියුටේන් වගේ. විදේශීය ණය ප්‍රොපේන් වගේ. විදේශීය ණය නිසා ඇති වන පීඩනය වඩා වැඩියි. හැබැයි ඔය දෙකෙන් කොයි එකෙන් වුනත් පීඩනය වැඩි වෙනවා.

වියදම් තරමට ආදායම් ඉහළ නොයද්දී අයවැය මත ඇති වන පීඩනය අඩු කර ගන්න කරන එක දෙයක් වන්නේ සල්ලි අච්චු ගැසීමයි. සල්ලි අච්චු ගහලා තාවකාලිකව අයවැය මත වන පීඩනය අඩු කර ගන්න පුළුවන්. සිලින්ඩරේ ගෑස් වේගයෙන් එළියට යද්දී ලිප වඩා හොඳින් දැල්වෙනවා. කෑම හොඳින් ඉදෙනවා. මේක තමයි ආර්ථික වර්ධනය.

හැබැයි මේ විදිහට සල්ලි අච්චු ගහලා අයවැය පීඩනය අඩු කරගෙන ආර්ථිකය වර්ධනය කළ හැක්කේ එක සීමාවක් දක්වා පමණයි. ගෑස් සිලින්ඩරයේ පීඩනය අඩු කරන්න වැඩියෙන් ලිපට ගෑස් එවලා ලිපේ ගින්දර වැඩි වුනොත් බත රොස් වෙනවා. කාමරයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒක තමයි උද්ධමනය කියන්නේ.

සිලින්ඩරයේ ගෑස් අඩු වෙද්දී ඒ තුළ පීඩනය අඩු වෙන්නේ කාමරයේ උෂ්ණත්වය නියතව තිබුණොත්නේ. හැබැයි ලිපේ දැල්ලේ සැර වැඩි වෙලා කාමරයේ උෂ්ණත්වය ඉහළ ගිහින් සිලින්ඩරයේ ගෑස් වල උෂ්ණත්වයත් ඉහළ ගියොත් සිලින්ඩරයේ ගෑස් පරිමාව අඩු වෙද්දී වුනත් පීඩනය ඉහළ යන්න පුළුවන්. එතකොට ගෑස් සිලින්ඩරය පුපුරන එක වලක්වා ගන්න තව තවත් වැඩි වැඩියෙන් ගෑස් නිදහස් කරන්න වෙනවා. ඒ ගෑස් ලිපේ දැවෙද්දී උෂ්ණත්වය තව තවත් ඉහළ යාම නිසා පීඩනය වැඩි වීමේ විෂම චක්‍රයක් හැදුනොත් මොකද වෙන්නේ? 

ඔය වගේ වෙලාවක මුලින්ම කළ යුත්තේ සිලින්ඩරයට ගෑස් එන සැපයුම සීමා කරන එකයි. ඒ කියන්නේ අයවැය හිඟය. සිලින්ඩරේට ගෑස් එන එක සීමා නොකර සිලින්ඩරෙන් පිට වෙන ගෑස් සැපයුම සීමා කළාම මොකද වෙන්නේ? 

කාමරේ රත් වෙන එක අඩු වෙන නිසා පීඩනය පොඩ්ඩක් අඩු වුනත් පිටවෙන තරමට වඩා වැඩියෙන් දිගින් දිගටම සිලින්ඩරයට ගෑස් එන නිසා සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම වැඩි වෙන එකයි වෙන්නේ. ඔය පීඩනය නිදහස් වෙන්නේ කොයි වෙලාවක හෝ ගෑස් සිලින්ඩරේ පිපිරුවාමයි. දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරමින් මිල පාලනය හා විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කරන්න ගියාම ඇති වෙන්නේ ඔය වගේ තත්ත්වයක්.

සිලින්ඩරය පුපුරන එක වලක්වන්නනම් කොයි වෙලාවක හරි වෑල් ඇරලා ගෑස් නිදහස් කරන්නම වෙනවා. එහෙම කරන්න වෙන වෙලාවට කාමරයේ උෂ්ණත්වය ලොකුවටම වැඩි වෙනවා. කාට කාටත් උෂ්ණත්වය දැනෙන්න ගන්නවා. හැබැයි ඔය වැඩේ පරක්කු කිරීමෙන් වෙන්නේ  වෑල් ඇරලා ගෑස් නිදහස් කිරීමෙන් පස්සෙත් සිලින්ඩරය ඇතුළේ පීඩනය අඩු වෙනවා වෙනුවට වැඩි වෙන තත්වයක් දක්වා තත්ත්වය ඔඩු දුවන එක. මිල පාලනය හා විණිමය පාලනය නිසා දැන් ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඔය වගේ!

ඩොලරයක මිලෙන් නොවැසෙන ආර්ථිකයේ හෙළුව


ඇමරිකාවේ ශීත සෘතුව හා වසරාන්ත නිවාඩු කාලය එළැඹෙමින් තිබෙනවා. මේ නිවාඩු සමයේ දන්නා කියන කීප දෙනෙක්ම ලංකාවට යන්න සූදානමින් ඉන්නවා. වසංගත තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට පෙර දෙවසර තුළ ලංකාවට යන්න ලැබුණේ නැහැ. ඔමික්‍රෝන් නිසා අනාගතය පිළිබඳව තිබෙන්නේද අවිනිශ්චිත තත්ත්වයක්. ග්‍රීක හෝඩියේ අකුරු ඉවර වෙනකම් කෝවිඩ් ප්‍රභේද අලුතෙන් එන එක ඉවර වෙන එකක් නැහැ. 

ඇමරිකාවේ ඉන්න ගොඩක් අය ලංකාවට යන්න මේ කාලය තෝරා ගැනීම තේරුම් ගත හැකියි. ගුවන් ගමන්පත් මිල වුවත් සාමාන්‍ය වසරකදී තරම් වැඩි නැහැ. එහෙත්, සංචාරය කරන්නෙකු විසින් අනුගමනය කළ යුතු නියාමන රෙගුලාසි ගණනාවක් තිබෙනවා. පෞද්ගලිකව සංචාරයට කොයි තරම් ලැදි කෙනෙක් වුවත්, සංචාරය කිරීමේදී සැපිරිය යුතු විවිධ කොන්දේසි එක්ක රටින් එළියට යන එක ගැන මටනම් තවමත් හිතන්න අමාරුයි. රට ඇතුළේ වුවත් ගුවනින් යන ගමනකින් සතුටක් ලැබිය හැකි තත්ත්වයක් තවමත් නැහැ.

ඇමරිකාවේ සිට ලංකාවට යන අයට කොහොමටත් ලංකාවෙන් විවිධ ඉල්ලීම් එනවා. ගොඩක් වෙලාවට මේ වගේ ඉල්ලීම් එන්නේ සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට සංචාරය නොකරන, බොහෝ විට රටින් එළියට ගිහින්ම නැති, නෑදෑයන් වගේ අයගෙන්. පෙනෙන විදිහට දැන් මේ තත්ත්වයේ වෙනසක් වෙලා. ලංකාවට යන ගොඩක් අයට මෙවර විවිධ ඉල්ලීම් කර තිබෙන බව පෙනෙන්නේ සාමාන්‍යයෙන් නිතර රටින් පිට සංචාරයෙහි යෙදෙන ඉහළ මධ්‍යම පාංතික යහළු යෙහෙළියන් විසින්. ගොඩක් අයට අවශ්‍ය මිල අධික සුඛෝපභෝගී භාණ්ඩ. විශේෂයෙන්ම විවිධ සන්නාම වල සුවඳ විලවුන්, චර්මාලේප වගේ දේවල් හා පරිගණක උපාංග, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය. 

ගොඩක් අය කියන්නේ "සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔය බ්‍රෑන්ඩ් එකම ගේන්න. ලංකාවට ආවහම සල්ලි දෙන්නම්" කියලා ලංකාවේ යාලුවෝ කියනවා කියලයි. ටික දවසකට ලංකාවට යන මේ ගොඩක් අයට දැන් තිබෙන ප්‍රශ්නය ලංකාවේදී ලැබෙන රුපියල් වලට කරන්නේ මොකක්ද කියන එකයි. සාමාන්‍යයෙන් ලංකාවට යන අය සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ලංකාවේදී රුපියල් වලට මාරු කරන නමුත් මෙවර මේ ගොඩක් අය එහෙම කරන එකක් නැහැ. ඉලෙක්ට්‍රොනික බඩු, රූපලාවන්‍යය සඳහා අවශ්‍ය දේ පමණක් නෙමෙයි. ඉස්සර ලංකාවෙන් ඇමරිකාවට එද්දී කහ කුඩු අරගෙන ආපු අය දැන් ලංකාවට කහ අරගෙන යනවා. මම හිතන්නේ කොළඹ අවට ඉන්න දෙමළ අයට එහෙම කහ නැතුවම බැරි දෙයක්. 

මේ යන අයට ඒ අයගේ ලංකාවේ යාලුවෝ රුපියල් දෙද්දී ඩොලර් එකකට කීය ගානේ රුපියල් දෙයිද? හොඳ ප්‍රශ්නයක් වුනත් පෞද්ගලික කරුණක් නිසා ආපසු ආවට පස්සේ ඔය වගේ දේවල් හාරා අවුස්සා අහන්න බැහැ. සමහර විට නිල අනුපාතය වන රුපියල් 200 බැගින් හෝ පොඩ්ඩක් වැඩියෙන් දෙයි. 

ලංකාවේ ඩොලර් සංචිත පිළිබඳ අලුත්ම තත්ත්වය ගැන කිහිප දෙනෙක් විසින්ම දැනුවත් කිරීම් කර තිබුණා. නොවැම්බර් අවසානය වෙද්දී නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 දක්වා පහත වැටිලා. මේ ගණනට රන් සංචිත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති වත්කම් ආදියත් ඇතුළත්. නොවැම්බර් මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ඩොලරයේ මිල තිබෙන මට්ටමේ තියා ගැනීම සඳහා ඩොලර් මිලියන 311ක් විකුණා තිබෙනවා. 

ඔක්තෝබර් මාසය අවසාන වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ඩොලර් මිලියන 1,260ක් පමණ දක්වා ඉහළ ගිහින්. බැංකු පද්ධතියම ගත්තොත් ඩොලර් බිලියන 4,180ක පමණ හිඟයක් තිබෙනවා. නොවැම්බර් මාසය තුළ මේ තත්ත්වය තවත් දරුණු වී තිබිය යුතු බව පැහැදිලියි.

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර්ද විශාල ලෙස පහළ යමින් තිබෙනවා. මහ බැංකුව හදන්නේ මුදල් හුවමාරු කරන්නන් බය කර ඩොලරයේ කළු කඩ මිල පාලනය කරන්නයි. එයින් සිදු විය හැක්කේ කළුකඩය හරහා එන ඩොලර් වලින් කොටසක් අඩුවන එක පමණයි. ඩොලර් ඇති අය ඩොලර් රුපියල් නොකරන්නේ මිල සාධාරණ නැති නිසා. කළුකඩ විකල්පය නැති වුනා කියා මේ සල්ලි බැංකු පද්ධතියට එන්නේ නැහැ. යම් ප්‍රමාණයක් පමණක් එයි. බොහෝ විට එහි වාසියට වඩා ශුද්ධ ලෙස රටට ඩොලර් නොපැමිණීමේ පාඩුව වැඩියි. 

සංඛ්‍යාලේඛණ පිරික්සා නැතත් ලංකාවට එන සංචාරකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය. විදේශයක පුරවැසිභාවය ලබාගත් අයෙක් සංචාරක වීසා මත රටට පැමිණෙන විට සංඛ්‍යාලේඛණ වල ඔවුන් පෙනෙන්නේ අදාළ රටෙන් පැමිණි සංචාරකයන් ලෙසයි. ඔවුන් වගේම ද්විත්ව පුරවැසියන්ද ලංකාවේ සංචාරය කරද්දී ඩොලර්, පවුම්, යුරෝ ආදිය අරගෙන ඇවිත් මාරු කරනවා. සංචාරක ඉපැයීම් වල මෙවැනි ලැබීම්ද සැලකිය යුතු කොටසක් තිබෙනවා. මා ලිපිය මුලින්ම විස්තර කළ තත්ත්වයන් යටතේ වෙන්නේ මෙවැනි ලැබීම් අහිමිව යාමයි. 

ඩොලරයේ මිල ස්ථිරව තියා ගන්න යාම නිසා ලංකාව විශාල වන්දියක් ගෙවා තිබෙනවා. වත්මන් අර්බුදයට පාදක හේතුව රජයේ අයවැය හිඟය වුවත් ආසන්නම හේතුව විදේශ ණය යොදවා ඩොලරයේ මිල පාලනය කිරීමයි. අයවැය හිඟය 1947 සිට පවතින ප්‍රශ්නයක් වුවත්, වත්මන් ඩොලර් හිඟයට හේතු වී තිබෙන අවුලේ ලංකාව පැටලුනේ 2010 වසරේදී. ඩොලරය 200 මට්ටමේ තියා ගන්නා තුරු සිදුවන්නේ විනාශය තවතවත් දරුණු වීම හා ඉක්මන් වීම පමණයි.

දැන්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ගොඩ දාගන්නවත් කාලයක් නැහැ. ලංකාවට ඉතා ඉක්මණින් ඉන්දියාවෙන්, චීනයෙන් හෝ බටහිර රටකින් ලොකු ඩොලර් ණයක් ගන්නම වෙනවා. ඉතිරිව තිබෙන සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් ආර්ථිකයේ හෙළුව වහගෙන ඉන්න කොයි තරම් හැදුවත්, ඔය සොච්චම් ඩොලර් ටික පොඩ්ඩක් එහාමෙහා වූ විට කාලයක් තිස්සේ වහගෙන ඉන්න අවලස්සන දේවල් ඔක්කොම එළියේ!

(Image: https://cartoonmovement.com/cartoon/fistful-dollars-0)

Sunday, December 5, 2021

පල්ලියේ පන්සල


ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ බ්‍රයන් නගරය ඉතාම කුඩා නගරයක්. ජනගහණය 8,729ක් පමණයි. එයින් 95%ක් පමණම සුදු ජාතිකයින්. මා දන්නා තරමින් ශ්‍රී ලාංකික සම්භවය ඇති කිසිවකු එම නගරයේ නැහැ. එහෙත් ඔහායෝ ප්‍රාන්තයේ වඩා විශාල නගර වල හා යාබද ප්‍රාන්ත වල තැනින් තැන ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් විසිරී සිටිනවා. 

ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික මෙතෝදිස්ත පල්ලියක් එහි වත්මන් හිමිකරු විසින් සඟසතු කර පූජා කිරීමෙන් පසුව මේ වන විට එය බෞද්ධ පන්සලක් හා භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබෙනවා. පන්සලේ විහාරාධිපති ධුරය දරන තලංගම දේවානන්ද හිමියන් එහි අතීත උරුමය පිළිබිඹු වන පරිදි Father John's Loving Kindness Meditation Society යනුවෙන් මෙම ස්ථානය නම් කර තිබෙන අතර එහි අතීත ගෘහ නිර්මාණ සැලසුම හා චිත්‍ර ආදිය එලෙසම නඩත්තු කරමින් ආරක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම ස්ථානය ඕනෑම ආගමිකයෙකුට විවෘතයි. 

දේවානන්ද හිමි කැලිෆෝර්නියා හා ඉන්දියානා ප්‍රාන්ත වල පිහිටි තවත් පන්සල් දෙකක ද විහාරාධිපති ධුරය දරනවා. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක් වීම අපූරු අත්දැකීමක්. 


ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. ඒ වගේ දේවල් තීරණය වන්නේ කිසියම් ප්‍රදේශයක බහුතරයකගේ කැමැත්ත මතයි. එහෙත්, ඇමරිකාවේ බෞද්ධයින් ඇත්තේම නැති නගරයක වුවත් පල්ලියක් පන්සලක් කරන්න බැරි කමක් නැහැ.

ඡායාරූපය දේවානන්ද හිමිගේ වත්පොත් පිටුවෙන්.

ප්‍රියන්ත කුමාර දියවඩන


පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ආදි විද්‍යාර්ථී ප්‍රියන්ත කුමාර දියවඩනව ඉස්ලාම් අන්තවාදීන් විසින් ඉතා සාහසික ලෙස මරා දමන ආකාරය දැඩි කම්පාවක් ඇති කරන සිදු වීමක්. ඔහුගේ සිරුරට ගිණි තියන්නේ මිය යාමෙන් පසුවද, පණ පිටින්මද යන්නත් සැක සහිතයි. ප්‍රියන්තට විඳින්නට සිදු වී ඇති වද වේදනා අනුව ඔය දෙකෙන් කොයි එක සිදු වී තිබුණත් වැඩි වෙනසක් නැහැ. එක් පාදයක අස්ථි හැර ඔහුගේ සිරුරේ හැම ඇටයක්ම බිඳී ඇති බවත්, කොඳු ඇට පේලිය තුන් පොළකින් කැඩී ඇති බවත්, සිරුරේ හැම වැදගත් අවයවයකටම හානි වී ඇති බවත්, සිරුරෙන් 99%ක්ම පිළිස්සී ඇති බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්. එහෙත් මරණයට හේතුව සේ සඳහන්ව ඇත්තේ හිස්කබලට සිදුව ඇති හානි. 

ප්‍රියන්ත පකිස්ථානයේ වසර ගණනාවක් ජීවත්ව ඇති, විශාල පකිස්ථානුවන් පිරිසක් සේවය කරන සමාගම් වල ඉහළ මට්ටමේ කළමණාකරුවෙකු ලෙස සේවය කර ඇති අයෙක්. ඔහුට පකිස්ථානුවන් හිතන, ක්‍රියා කරන ආකාරය ගැන සැලකිය යුතු අවබෝධයක් නොතිබුණා විය නොහැකියි. වාර්තා අනුව ඔහු කර තිබෙන "වරද" ඉස්ලාම් ආගමික පාඨ අඩංගු වූ පෝස්ටරයක් ඉරා කුණු බක්කියට දැමීමයි. මෙවැන්නක් ඇත්තටම සිදු වුනා හෝ එවැනි කටකතාවක් පැතිරුණා විය හැකියි. 

ප්‍රියන්තව මරා දමන්නේ ඔහුගේ ආයතනයේම සේවකයින් විසින්. සේවකයින්ට ලොක්කා සමඟ තිබෙන තරහක් හෝ ලොක්කා විදේශිකයෙක් වීම නිසා තිබෙන තරහක් ආගමික අපහාසයක් එක්ක පැටලෙන එක පහසුවෙන් සිදු විය හැකි දෙයක්. මේ වැඩේට විශාල පිරිසක් හවුල් වෙනවා. ඒ අතරින් ප්‍රියන්තව බේරා ගන්න ඉදිරිපත් වන්නේ කිහිප දෙනෙක් පමණයි. එහෙත්, ගුටි කෑමේ අවදානම ගන්නා එවැනි අයද කිහිප දෙනෙක් හෝ ඉන්නවා. මේ වගේ පිරිසක් අතර රැල්ලට පිටින් යන බොහෝ දෙනෙක් සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.

මේ වගේ අවස්ථා වල මිනිස්සු ක්‍රියා කරන්නේ සාමාන්‍ය බුද්ධියෙන් නෙමෙයි. ඇතැම් විට හැඟීම් අනුව වුවත් බොහෝ විට දැකිය හැක්කේ හැඟීම් වලින්ද තොරව රොබෝ වරුන් සේ ක්‍රියා කිරීමක්. මේ ආකාරයේ සිදුවීම් වෙන්නේ ඉස්ලාම් ආගමික පසුබිමක පමණක් නෙමෙයි. හැම ආගමකම වගේ ආගමික අන්තවාදීන් ඉන්නවා. ආගමික නොවන අන්තවාදීන්ද ඉන්නවා. එහෙත්, වත්මන් ලෝකයේ අනෙක් හැම ප්‍රධාන ආගමකටම සාපේක්ෂව ඉස්ලාම් ආගමික සන්දර්භයන් තුළ ආගමික අන්තවාදීන් පෝෂණය වීම වැඩියෙන් දැකිය හැකි දෙයක්. 

මේ ක්‍රියාව ඉස්ලාම් ආගම සමඟ එකඟ නැති, ඉස්ලාම් ඉගැන්වීම් වලට විරුද්ධ දෙයක් බව බොහෝ දෙනෙක් කියයි. එසේ කියන අයට සාපේක්ෂව මේ කරුණ ඇත්තක් විය හැකියි. එහෙත් ප්‍රශ්නය ආගම් මෙන්ම ආගමික ඉගැන්වීම්ද පුද්ගලයාට සාපේක්ෂ වීමයි. මෙවැන්නක් ඉස්ලාම් ආගමට එකඟ බව සිතන අයද සිටිනවා. ඒ පිරිස, ලෝකයේ හෝ පකිස්ථානයේ ඉස්ලාම් ආගම අදහන අයගෙන් බහුතරය නොවිය හැකි වුවත් සැලකිය යුතු පිරිසක්. 

ලෝකයේ බොහෝ ආගම් ව්‍යාප්ත වී තිබෙන්නේ යම් සාහසිකත්වයක් සමඟයි. හින්දු ආගම ඓතිහාසිකව අද තිබෙන ආකාරයේ අවිහිංසාවාදී ආගමක් නෙමෙයි. යුදෙවු ආගමික ඉගැන්වීම් මත පදනම්ව අද දැකිය හැකි යුදෙවු සංස්කෘතියට වඩා බොහෝ පසුගාමී යුදෙවු සංස්කෘතියක් නඩත්තු විය හැකිව තිබුණා. බොහෝ දෙනෙකු අදහන ජේසුස් සහ ඓතිහාසිකව ජීවත් වූ ජේසුස් එක් අයෙක් නෙමෙයි. මේ සියලුම ආගම් අද තිබෙන තැනට පරිණාමය වී තිබෙන්නේ කාලයත් සමඟ ප්‍රතිසංශෝධනය වීමෙන්. මෙය දිගින් දිගටම සිදු වෙනවා. ඉස්ලාම් ආගම හා අදාළවද මෙය සිදු වුනත්, ඒ අනෙක් ආගම් වලට සාපේක්ෂව අඩුවෙන්. 

කිසියම් සංස්කෘතියක් ඉදිරියට යන්නේ එම සංස්කෘතියෙහි පසුගාමී චර්යාවන් විවේචනය වන තරමටයි. විවේචනයට ඉඩ නැති සංස්කෘතියක් එක තැන පල් වෙනු මිස ඉදිරියට යන්නේ නැහැ. ආගමක් හා අදාළව කරන විවේචනයක් හා ආගමික අපහාසයක් අතර ඉරක් අඳින එක ඉතාම අපහසු වැඩක්. ඒ නිසා, ආගමක් හෝ ආගමකට සම්බන්ධ චර්යාවක් විවේචනය කරන අයෙකුට ආගමික අපහාස චෝදනා එල්ල වීමේ අවදානම තිබෙනවා. මෙයින් වැඩිපුරම පීඩා විඳින්න වෙන්නේ අදාළ සංස්කෘතිය තුළම ජීවත් වන අයටයි.

ප්‍රියන්ත දියවඩන ඝාතනය සිදු වන්නේ පකිස්ථානයේ නීති රාමුවෙන් පිටයි. එහෙත්, පකිස්ථානයේ නීති රාමුව තුළම, ඉස්ලාම් ආගමට අපහාස කිරීම මරණ දණ්ඩනය ලැබෙන වරදක්. ආගමික අපහාස චෝදනා එල්ල වූ අයෙකු වෙනුවෙන් කතා කරන්න නීතිඥයෙකු සොයා ගන්න එකත් පහසු වැඩක් නෙමෙයි. බොහෝ විට එසේ ඉදිරිපත් වල නීතිඥයින්ටත් මරණය තෝරා ගන්න සිදු වෙනවා. ඒ වගේම, චෝදනාවට අදාළ පාඨය ගැන නැවත උපුටා දක්වමින් කතා කිරීමේ හැකියාවක්ද නැහැ. එසේ කළොත් එය ආගමික අපහාසයක් වෙනවා. නීති රාමුව තුළම වුවත් ආගමික අපහාස එල්ල වූ අයෙකුට බේරෙන්න තිබෙන්නේ ඉතාම සීමිත ඉඩක්.

මේ හා අදාළ පකිස්ථානයේ තත්ත්වය තේරුම් ගන්න මා කලින් ලිපි කිහිපයකින් විස්තර කර තිබෙන ජුනයිඩ් හෆීස් සිදු වීම ඉවහල් වේයැයි මා සිතනවා. මුස්ලිම් බහුතර රටක සේවයට හෝ සංචාරයට යන අයෙකු ඒ රටවල් වල ආගමික අපහාස සේ සැලකෙන දේවල් කොයි තරම් භයානක ප්‍රතික්‍රියාවන්ට හේතු වේදැයි හොඳින් අවබෝධ කරගෙන එවැනි රටකට ඇතුළු විය යුතුයි.

ජුනයිඩ් හෆීස්

අනෙකාගේ නහය කොන හඳුනාගැනීම (පළමු කොටස)

අනෙකාගේ නහය කොන හඳුනාගැනීම (දෙවන කොටස)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...