වෙබ් ලිපිනය:

Wednesday, November 24, 2021

අපි දැන් මොකද කරන්නේ?


ලංකාව විශාල ආර්ථික අර්බුදයක සිර වී සිටින බව මේ වෙද්දී බොහෝ දෙනෙක් පිළිගන්නවා. මෙතෙක් ආ ක්‍රමයට හෝ ක්‍රම වලට තව දුරටත් ඉදිරියට යා නොහැකිය යන අදහසත් මේ වෙද්දී ප්‍රධාන ධාරාවේ අදහසක් වෙලා. එය හොඳ තත්ත්වයක්. ප්‍රශ්නයකට විසඳුම් හෙවීම සාර්ථක වීම සඳහා මූලික කොන්දේසිය ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීමයි.

ප්‍රශ්නය යම් තරමකින් හෝ පැහැදිලි වුවත් ප්‍රශ්නයට පැහැදිලි විසඳුම් කා ළඟවත් පෙනෙන්න නැහැ. "අපේ ප්‍රශ්න අපි විසඳාගන්නම්. ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න!" කියා කියපු ඇතැම් අයද ඇතුළුව බොහෝ දෙනෙක් "කළ යුත්තේ කුමක්ද?" කියා අපෙනුත් අහනවා. 

පැටලිලා තිබෙන නූල් බෝලයක පැටලුම් අරින එක ලේසි නැහැ. එක කොණකින් පටන් ගෙන සීරුමාරුවට වැඩේ කරගෙන යා යුතුයි. පැටළුම් අරින්න දරන උත්සාහය නිසාම නූල තව තවත් පැටලෙන්න පුළුවන්. 

ඉතා මෑතක් වන තුරුම ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකට ආර්ථික අර්බුදයක් පෙනුණේ තමන් බලයේ නොසිටි වකවානු වලදී පමණයි. මේ පක්ෂ දෙකෙන් එකක් හෝ බලයේ සිටිද්දී බලයේ සිටි පක්ෂයට සාපේක්ෂව ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වුනා. එම පක්ෂ දෙකටම අනුව, ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්න ආණ්ඩුව මෙහෙයවූ අයගේ ප්‍රශ්න මිසක් නිදන්ගත, ආකෘතිමය ප්‍රශ්න වූයේ නැහැ. බලයට පත් වූ ආණ්ඩුව හැම විටම කළේ කලින් ආණ්ඩුවේ "වැරදි හදන" එකයි. 

මම මෙයින් අදහස් කළේ මේ පක්ෂ වල ලොක්කන් ඇත්තටම මේ විදිහට හිතුවා කියන එක නෙමෙයි. ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය ගැන යම් හෝ අවබෝධයක් තිබුණේ නැහැ කියා හිතන්න බැහැනේ. එහෙත්, දිගින් දිගටම ඔවුන් රටට කිවුවේ ඔය කලින් කී කතාව. 

මෙයින් වෙනස්ව ජනතා විමුක්ති පෙරමුණ විසින් දිගින් දිගටම ප්‍රශ්න දැක්කා. ඒවා ගැන කතා කළා. හැබැයි බොහෝ විට ඒ දැක්කේත් ආණ්ඩු බලය තිබුණු කවර හෝ පක්ෂයේ වැරදි මිසක් නිදන්ගත, ආකෘතිමය ප්‍රශ්න නෙමෙයි. එහෙම නැත්නම් වෙළඳපොල (ධනවාදී) ක්‍රමයේ ප්‍රශ්න. මේ වන විටනම් ජවිපෙ විසින් වෙළඳපොළ විවේචනය කරන්නේ ඉතා අඩුවෙන් හා පරිස්සමෙන්.

මේ ඉතිහාසය එක්ක බැළුවහම දැන් තත්ත්වය හොඳ තත්ත්වයක්. හැමෝම නැතත් ආණ්ඩු බලය හොබවන පක්ෂයේ බොහෝ දෙනෙක් මේ වෙද්දී රටේ දරුණු ආර්ථික අර්බුදයක් තිබෙන බව පිළිගන්නවා. ඒ අනුව, මුල් වරට, රටේ ජන බලයක් තිබෙන පක්ෂ සියල්ලම අතර යම් කිසි ආකාරයක පොදු එකඟතාවයක් ඇති වී තිබෙනවා. පවතින ආණ්ඩුවට කඩේ යමින් රටේ විසඳිය යුතු ප්‍රශ්නයක් නැහැ කියා කියන සීමිත පිරිසගේ කටවල් මේ වෙද්දී වැහිලා තිබෙනවා. ඇත්තටම කියනවානම් ආණ්ඩු බලය තිබෙන පක්ෂයට වුවත් ප්‍රතික්ෂේප කළ නොහැකි තරමට අර්බුදය ඔඩු දුවා තිබෙනවා. 

රටේ විසඳුම් අවශ්‍ය ප්‍රශ්නයක් ඇති බව බොහෝ දෙනෙකුගේ පොදු පිළිගැනීම වීම ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය පළමු කොන්දේසියයි. දැන් ඒ කොන්දේසිය සැපිරිලා. දෙවන කොන්දේසිය වන්නේ ප්‍රශ්නය හෝ ප්‍රශ්න නිවැරදිව හඳුනා ගැනීමයි. හරි ප්‍රශ්නය තෝරා නොගත්තොත් හරි පිළිතුරක් හොයා ගන්න බැහැ. 

දෙවන කාරණය හා අදාළවද යම් පොදු එකඟතාවන් ඇති වී තිබුණත් මෙහිදී පළමු කාරණය හා අදාළව දැකිය හැකි තරමේ පුළුල් එකඟතාවයක් තවමත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මේ මොහොත වෙද්දීත් වැරදි විසඳුම් හොයාගෙන තවත් වටයකින් අමාරුවේ වැටෙන්න සිදු වීමේ අවදානම තිබෙනවා.

ගම්මන්පිල විසින් සංක්ෂිප්තව කියා ඇති "රටට ඩොලර් නැහැ රජයට රුපියල් නැහැ" කියන එක පවතින ප්‍රශ්නය පිළිබඳ සරල පැහැදිලි කිරීමක්. මේ පිළිබඳවත් දැන් බොහෝ දෙනෙකුට පුළුල් අවබෝධයක් තිබෙනවා. මේ වගේ තැනකට රට වැටුණේ කොහොමද?

ලංකාව නිදහස ලබද්දී රටට ඩොලර් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රජයට රුපියල් ප්‍රශ්නයක් තිබුණේත් නැහැ. මේ ප්‍රශ්න දෙකම නිදහසින් පසු හදාගත් ප්‍රශ්න. මේ ප්‍රශ්න ඇති වීමට හේතු වූ "වැරදි" ප්‍රතිපත්ති මොනවාද?

නිදහසින් පසු ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධව පැවති හා පවතින දේශපාලන ප්‍රවේශයන් කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකියි.

1. සංවෘත, රාජ්‍යමූලික, මධ්‍යගත සැලසුම් ක්‍රමය (සම්ප්‍රදායික සමාජවාදය)

2. විවෘත, රාජ්‍යමූලික, මධ්‍යගත සැලසුම් ක්‍රමය (සමාජවාදී වෙළඳපොළ ආර්ථිකය)

3. විවෘත, ජාත්‍යන්තරවාදී, නිදහස් වෙළඳපොළ මූලික ක්‍රමය (නිදහස් වෙළඳපොළ ආර්ථිකය)

මේ ක්‍රම අතරින් පළමු ක්‍රමය 1970-77 කාලයේදී ලංකාව තුළ එහි උච්ඡස්ථානයට පැමිණ තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව තව දුරටත් එම ක්‍රමයට වලංගු භාවයක් නැහැ. 1990 පමණ වෙද්දී ලෝක මට්ටමෙන්ද මේ ක්‍රමය ප්‍රතික්ෂේප වුනා. 1993 පමණ වන තුරු මේ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රීලනිපය ඉන් පසුව දෙවන ක්‍රමයට මාරු වුනා. එතැන් සිට දිගටම මේ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ මේ වෙද්දී මේ ක්‍රමයෙන් විතැන් වීමට උත්සාහ කරමින්, පළමු හා දෙවන ක්‍රම අතර සංක්‍රමණික අවදියක සිටින බව පේනවා. දැනට මෙවැනි ක්‍රමයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නේ ජවිපෙන් කැඩී ගිය පෙසපෙ පමණක් විය යුතුයි. 

පළමු ක්‍රමයේ වැරදි හා අඩුපාඩු පෙන්වීම ඉතා පහසුයි. නමුත්, ඒ වැරදි හා අඩුපාඩු පෙන්වීමට අප මහන්සි නොවන්නේ ඒ වැරදි හා අඩුපාඩු පිළිබඳව ලංකාවේ බොහෝ දෙනෙකුට සැකයක් නැති නිසයි. කාට හෝ සැකයක් ඇත්නම් පැහැදිලි කළ හැකියි. කෙසේ වුවත්, මෙයින් අදහස් වන්නේ මේ ක්‍රමයේ සාධනීය ලක්ෂණ කිසිවක්ම නැති බව නෙමෙයි. 

ඉහත තෙවන ක්‍රමය ආසන්න වශයෙන් 1950දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවන තුරුම අවම වශයෙන් වසර 130ක් පමණ ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ක්‍රමයයි. එම කාලය තුළ ලංකාවට ඩොලර් (පවුම්) ප්‍රශ්නයක් හෝ රුපියල් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ පැවති හෝ දැන් තිබෙන ආකාරයේ ප්‍රශ්න තිබුණේත් නැහැ. 1950 දක්වා විධිමත් ලෙස සකස් කළ ආර්ථික වර්ධන ඇස්තමේන්තු නැතත්, පසුකාලීනව පර්යේෂකයින් විසින් වරින් වර සකස් කර තිබෙන ඇස්තමේන්තු හා ඓතිහාසික සාක්ෂි මත පදනම් වූ නිගමන අනුව නිදහසට පෙර ලංකාවේ ආර්ථිකය නිදහසින් පසු වර්ධනය වූ වේගයෙන්ම හෝ වැඩි වේගයකින් වර්ධනය වී තිබෙනවා.

නිදහසින් පසු ලංකාව විසින් තෙවන ක්‍රමය අතහැර තෝරාගත් දෙවන ක්‍රමය මේ වන තුරුද ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රමයයි. දැන් අර්බුදයට ගොස් තිබෙන්නේ මේ ක්‍රමයයි. 1947දී ජේආර් ජයවර්ධන මුදල් ඇමති වීමෙන් පසුව තෙවන ක්‍රමයේ සිට දෙවන ක්‍රමය දක්වා ලංකාව මාරු වුනා. ඇතැම් විට එසේ කිරීමෙන් පළමු ක්‍රමය දක්වා මාරු වීමෙන් සිදු විය හැකිව තිබුණු විනාශය වැළකුණා වෙන්න පුළුවන්. 1993 පමණ දක්වාම පළමු ක්‍රමයට ලංකාව තුළ සැලකිය යුතු ඉල්ලුමක් තිබුණා. දැන් වුවත් 3%කට නොවැඩි පිරිසක් මේ ක්‍රමයට කැමතියි.

අසාර්ථක සමගි පෙරමුණු පරීක්ෂණය හරහා ලංකාව තුළ පළමු ක්‍රමය තීරණාත්මක ලෙස පරාජය වන තුරු දෙවන ක්‍රමය වුවත් හරියකට ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ලැබුණේ හැත්තෑ හතේදී. මුලින් ශ්‍රීලනිප ක්‍රමයට ප්‍රතිවිරුද්ධ එජාප ක්‍රමයක් වූ මේ ක්‍රමය පසුකාලීනව ඉදිරියට ගෙන ගියේ රාජපක්ෂලා විසින්. දැන් මේ ආණ්ඩුව පෙනී සිටින්නේත් අඩු වැඩි වශයෙන් මේ ක්‍රමය වෙනුවෙන්. ඉගිලෙන්න ඉඩ ලැබෙන තුරු කොකාගේ සුද හරියට පෙනෙන්නේ නැහැ. දැන්නම් කොකාගේ සුද හොඳින් පේනවා.

නිදහසින් පසුව විශාල කාලයක් යන තුරු තෙවන ක්‍රමයට ලංකාව තුළ පිළිගැනීමක් තිබුණේ නැහැ. එයට හේතුව එම ක්‍රමයට විරුද්ධ වීම බොහෝ දෙනෙකු විසින් අධිරාජ්‍ය විරෝධයක් ලෙස දැකීම විය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුදැන වදාරන ක්‍රමයද මේ ක්‍රමයයි. නිදහසින් පසුව ලංකාව තුළ මේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2002-2003 හා 2015-2019 කාල වකවානු වල පමණයි. එහෙත්, ඒ අවස්ථා දෙකෙන් එකකදීවත් එම ක්‍රමයේ සාර්ථකත්වය දිගුකාලීනව පරීක්ෂා කිරීමේ අවස්ථාව ලංකාවට ලැබුණේ නැහැ. මේ ක්‍රමය ලංකාවේ දැනටත් බහුතර පිළිගැනීමක් තිබෙන ක්‍රමයක් නෙමෙයි. කවර අඩුපාඩු මධ්‍යයේ වුවත් තවමත් ලංකාවේ බොහෝ දෙනෙක් කැමති දෙවන ක්‍රමයටයි.

දෙවන ක්‍රමය මේ වෙද්දී අර්බුදයට ගොස් ඇති බව ඉතා පැහැදිලියි. එම අර්බුදය හමුවේ එජාපය විසින් යෝජනා කරන්නේ තෙවන ක්‍රමය හෝ ඒ පැත්තට විතැන් වූ ක්‍රමයක්. ජවිපෙ විසින් පළමු ක්‍රමය පැත්තට විතැන් වූ ක්‍රමයක් යෝජනා කරනවා. සජබෙ තුළ විවිධ පාර්ශ්ව දැකිය හැකියි. ඇතැම් අයගේ ප්‍රවේශය එජාප ප්‍රවේශයට සමානයි. චම්පික හා සජිත් වැනි අය ආණ්ඩුවේ ප්‍රවේශය දැඩි ලෙස විවේචනය කරන නමුත් ඔවුන් සතු විකල්ප ප්‍රවේශයක් ගැන පැහැදිලිව නොකියන්නට ප්‍රවේශම් වන බව පේනවා. බොහෝ විට ඔවුන් පෙනී සිටින්නේ පවතින ආණ්ඩුව මෙන්ම, දෙවන ක්‍රමය පිළිසකර කර දිගටම පවත්වා ගෙන යාම වෙනුවෙන් විය හැකියි. ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩුවේම කොටස් වුවද සිටින්නේ මෙවැනි තැනක කියා හිතන්න පුළුවන්.

දැන් ප්‍රශ්නය දෙවන ක්‍රමය පිළිසකර කර තවත් ඇදගෙන යා හැකිද කියන එකයි. මහ බැංකු අධිපති කබ්රාල් වැනි අය එසේ කළ හැකිය යන විශ්වාසයේ සිටිනවා. ආණ්ඩුවේම ඇතැම් කොටස් වලට ඒ විශ්වාසය නැහැ. මේ ක්‍රමය මුළුමනින්ම අත හැර දැමිය යුතු, කිසිදු ගත යුත්තක් නැති ක්‍රමයක් නෙමෙයි. නිදහසෙන් පසුව මේ ක්‍රමය හරහා ලංකාව විසින් ලඟා කරගත් බොහෝ දේ තිබෙනවා. ඉදිරියට යා නොහැක්කේ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී යොදා ගත් ඇතැම් ප්‍රවේශයන් සමඟයි. 

පවතින ක්‍රමය එලෙසම ඉදිරියට ගියොත් එය කෙටි කලක් තුළ සිදුවන විශාල විනාශයකින් කෙළවර විය හැකියි. එය වලක්වා ගත හැකි ක්‍රමය යම් කාලයක් දක්වා හෝ පළමු හෝ තෙවන ක්‍රමය වෙත විතැන් වීමයි. දැනට ආණ්ඩුව මේ ප්‍රවේශ දෙක අතර දෝලනය වෙමින් සිටිනවා. පළමු ක්‍රමය වෙත විතැන් වීම දිගුකාලීනව හානිකර ප්‍රවේශයක්. තෙවන ක්‍රමයෙන් දිගුකාලීනව යහපතක් මිස අයහපතක් සැලසෙන්නේ නැහැ. හැබැයි ඔය දෙකෙන් කොයි එක කළත් ලංකාවේ කේතුමතියක් පහළ වෙන්නේ නැහැ. කෙටිකාලීනව ගෙවිය යුතු මිල කොහොමටත් ගෙවන්නම වෙනවා.

Sunday, November 21, 2021

ශ්‍රමික ප්‍රේෂණ උල්පතත් හිඳෙන්නද යන්නේ?


වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා දැඩි විදේශ විණිමය අර්බුදයකට මුහුණ දී සිටින ලංකාව මේ තරමින් හෝ ඔළුව උස්සාගෙන ඉන්නේ දිගින් දිගටම ලැබෙන විදේශ ශ්‍රමික ප්‍රේෂණ නිසයි. විශාල විදේශ විණිමය අර්බුදයක සිර වී සිටි පසුගිය වසරේදීද ලංකාවට ඩොලර් මිලියන 7,103.9ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණා. මෙය සාමාන්‍ය වශයෙන් මසකට ඩොලර් මිලියන 592ක්. අඩු වශයෙන් පසුගිය වසර හතක පමණ කාලය තුළ ලංකාවට සාමාන්‍ය වශයෙන් මාසිකව මීට ආසන්න ඩොලර් ප්‍රමාණයක් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණා.

කෙසේ වුවද, පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 352.2ක් පමණයි. මෙම ප්‍රමාණය පසුගිය වසර 11ක කාලය තුළ ලංකාවට මසක් තුළ ලැබී ඇති අවම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වන අතර පෙර වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 702.7න් බාගයක පමණ ප්‍රමාණයක්. 

මහ බැංකුවේ විදේශ විණිමය උපයා ගැනීමේ උපාය මාර්ග අතරද ශ්‍රමික ප්‍රේෂණ වලට විශාල බරක් තබා තිබෙනවා පමණක් නොව අනාගතයේදී ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ ඇපයට තබා ණය ගැනීමේ සැලසුමක් පිළිබඳවද මහ බැංකුව මෑතකදී ප්‍රකාශයක් නිකුත් කළා. එහෙත්, මෙය කරන්න යන්නේ විණිමය අනුපාතය හිර කරගෙන තබා ගෙනයි. 

විණිමය අනුපාතය හිර කරගෙන ශ්‍රමික ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම, අපනයන වැඩි කිරීම, ආනයන ඉල්ලුම සීමා කිරීම ආදී කිසිවක් කළ නොහැකියි. සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් මෙය අධෝමුඛය මසා විරේක බේත් දෙනවා වගේ වැඩක්.

ශ්‍රමික ප්‍රේෂණ මේ තරම්ම අඩු වෙන්න පිළිගත හැකි බාහිර හේතුවක් නැහැ. මෙයින් පෙනෙන්නේ ලංකාවට සාමාන්‍යයෙන් ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් විශාල ප්‍රමාණයක් බැංකු පද්ධතිය මඟ හැර වෙනත් මාර්ග හරහා රටට පැමිණෙන බවයි. අනෙක් පැත්තෙන් එයින් අදහස් වන්නේ ඩොලර් අවශ්‍ය, එහෙත් විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමේ අවස්ථාව අහිමි කරනු ලැබ ඇති, ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් මොන විදිහකින් හෝ තමන්ට අවශ්‍ය ඩොලර් හොයා ගන්නා බවයි. කවර බාධා ක්‍රියාත්මක වුවත් ඉල්ලුම හා සැපයුම සමතුලිත වීම නොවැලැක්විය හැකියි.

මෙතෙක් ඉදිරිපත් කළ "මහදැනමුතු විසඳුම්" බොහොමයක්ම මේ වන විට රිවස් කර තිබෙන මේ ආණ්ඩුවට විදේශ විණිමය ප්‍රතිපත්තියද වැඩි කලක් නොයා රිවස් කරන්නට සිදු වනු නොඅනුමානයි. දැනටමත් එළුවාගේ බෙල්ල කපා අවසන් කර ඇති ආණ්ඩුව කොයි වෙලාවේ හෝ මුට්ටිය බිඳීමෙන් පසුව ඩොලරයේ මිල එකවර සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමද නොවැලැක්විය හැකියි. එවිට සිදු වනු ඇත්තේ දැනට විරේක බෙහෙත් බීමේ අපහසුතාවයෙන් පෙලෙන ජනතාවට අධෝමුඛය ඉරී යාමේ වේදනාවටද මුහුණ දෙන්නට සිදු වීමයි.

Saturday, November 13, 2021

අයවැය අභියෝගය


තවත් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. තවත් අයවැයක් කියා කිවුවත් මෙය තවත් අයවැයක්ම නෙමෙයි. ලංකාව තීරණාත්මක මංසන්ධියකට එළැඹ සිටින අවස්ථාවක ඉදිරිපත් කෙරෙන අයවැයක්. ලෝකය පුරා විසිරී සිටින, ලංකාව ගැන කවර ආකාරයක හෝ උනන්දුවක් තිබෙන බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටි අයවැයක්.

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් පිළිබඳ ලියවිල්ලක් මිසක් එය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන පුද්ගලයාගේ ලොකු තාත්තා, තාත්තා හා අයියා ඇතුළු පරම්පරාව ගැන පුරාජේරු ගහන්න හදන ලියවිල්ලක් නොවන නිසා අපි කෙළින්ම අවශ්‍ය තැනට යමු. 

ඉදිරි වසර සඳහා යෝජිත රජයේ ආදායම් හා වියදම් මෙහෙමයි.

මුළු ආදායම - රුපියල් බිලියන 2,284යි.

මුළු වියදම - රුපියල් බිලියන 3,912යි.

අයවැය හිඟය - රුපියල් බිලියන 1,628යි.

රුපියල් බිලියන 1,628ක අයවැය හිඟයක් පවත්වා ගන්න සැලසුම් කරනවා කියන්නේ ඒ අඩුව ණය වලින් පුරවා ගත යුතුයි කියන එකයි. ඊට අමතරව, ඉදිරි වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ගෙවීමටත් ණය ගන්න වෙනවා. නමුත්, දැන් ලංකාව ඉන්නේ ලේසියකට විදේශ ණය ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ඒ නිසා, අයවැය හිඟය පියවන්න වෙන්නේ දේශීය ණය වලින්.

රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 508ක විදේශ ණය ලබා ගන්න සැලසුම් කර තිබෙනවා. එහෙත්, වසර තුළ ආපසු ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 687ක්. ඒ නිසා, අයවැය හිඟය වන රුපියල් බිලියන 1,628ට අමතරව විදේශ ණය වලින් කොටසක් පියවීම සඳහාද රුපියල් බිලියන 179ක දේශීය ණය ලබා ගන්න අවශ්‍ය වෙනවා.

මේ අනුව, දේශීය ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 1,807ක්. එයින් රුපියල් බිලියන 501ක් බැංකු අංශයෙන්ද ඉතිරිය බැංකු නොවන අංශ වලින්ද ලබා ගැනීම සැලසුමයි.

රුපියල් බිලියන 508ක විදේශ ණය කියා කියන්නේ ඩොලරය රුපියල් 200 ගණනේ ගණන් හැදුවොත් ඩොලර් බිලියන 2.54ක්. මේ ප්‍රමාණයෙන් රුපියල් බිලියන 150ක් (ඉහත විණිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 750ක්) වාණිජ ණය ලෙසත්, ඉතිරි මුදල ව්‍යාපෘති ණය ලෙසත් ලබා ගන්නට යන බවයි සඳහන්ව තිබෙන්නේ.

ව්‍යාපෘති ණය සාමාන්‍යයෙන් හදිසියේ ලබා ගන්න බැහැ. මේ ඇස්තමේන්තුව පදනම් වෙනවා ඇත්තේ දැනට යෝජනා ඉදිරිපත් කර ණය ලබා ගැනීම සඳහා වැඩ කටයුතු සිදු වෙමින් තිබෙන (pipeline එකේ තිබෙන) ව්‍යාපෘති මත පදනම්ව විය යුතුයි. එසේ වුවත්, එවැනි ව්‍යාපෘති ණය අපේක්ෂා කළ පරිදිම ලැබෙන බවට සියයට සියයක සහතිකයක් නැහැ. මිලියන 750ක් කියා කියන්නේ ලංකාව අරගෙන තිබෙන ණය වල හැටියට ලොකු ණයක් නොවුණත්, මේ වෙලාවේ එවැනි මුදලක් වුවත් වාණිජ ණය ලෙස ලබා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්.

මේ ණය සියල්ල ගත්තත් ලබන වසරේ ගෙවිය යුතු විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් ඩොලර් මිලියන 900ක් පමණ දේශීය වෙළඳපොළෙන් මිල දී ගන්න සිදු වෙනවා. පසුගිය වසර ගණනාවක් තුළ ලංකාවේ දේශීය වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ ඩොලර් බිලියන දෙකක හෝ තුනක ණය වෙළඳපොළට සැපයීමෙන් පසුවයි. ඒ වැඩේ කරන්න බැරි වීමෙන් පසුව සංචිත ක්ෂය වෙන්න පටන් ගත්තා. ඉන් පසුව, ආනයන පාලනය කරන්න සිදුවුණා.

දැන් සංචිත ඩොලර් මිලියන 2,268 දක්වා පහත වැටිලා. ඒ, විශාල ලෙස ආනයන පාලනය කරන පසුබිමක. මේ වගේ තත්ත්වයක් තුළ රටට එන ඩොලර් වලින් ඩොලර් මිලියන 900ක් ණය ගෙවන්න ගන්නවා කියන්නේ එම අඩුව හා ගැලපෙන පරිදි තව දුරටත් ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. එසේ නැත්නම්, සංචිත තවත් අඩු වෙනවා කියන එකයි.

මේ විදිහට ඩොලර් මිලියන 900ක් දේශීය වෙළඳපොළෙන් හොයා ගෙන ගොඩ දාගන්න පුළුවන් වෙන්නේත් අපේක්ෂිත පරිදි ඩොලර් බිලියන 2.54ක් ණය ගන්න පුළුවන් වුනොත්. වාණිජ ණය ලෙස ඩොලර් මිලියන 750ක් ලබා ගැනීම බොහෝ විට සිදු නොවෙන්න පුළුවන්. ව්‍යාපෘති ණය වුවත්, ඇස්තමේන්තුවේ තිබෙන තරමටම නොලැබෙන්න වැඩි ඉඩක් තිබෙනවා. බොහෝ විට සිදු විය හැකි පරිදි, විදේශ ණය ගෙවීම සඳහා මිල දී ගත යුතු ඩොලර් අවශ්‍යතාවය ඩොලර් මිලියන 900ක් නොවී ඩොලර් බිලියන 2ක් පමණ වුවහොත්, එය ඉතාම දරුණු තත්ත්වයක්.

සංචාරක කර්මාන්තය යම් තරමකින් හිස ඉසෙවුවොත් එයින් සහනයක් ලැබෙයි. එහෙත්, ඉදිරි වසරේදී එසේ සංචාරක කර්මාන්තය හිස එසෙවුවත්, වසංගතයට පෙර පැවති මට්ටමට නැවත යාමේ ඉඩක් පෙනෙන්නේ නැහැ. අනෙක් අතට සංචාරකයෝ රටට ගෙන්නන එකත්, ආනයන සීමා දිගටම පවත්වා ගැනීමත් දෙකම එකට කිරීම අසීරු වැඩක්.

එක දෙයක් පැහැදිලියි. ඒ, ඉදිරි වසර තුළද දැඩි ආනයන සීමා පවත්වා ගන්න සිදු වෙනවා කියන එක. එහි අහිතකර ප්‍රතිඵල ගණනාවක් තිබෙනවා. රට තුළ භාණ්ඩ හිඟය, ආර්ථික වර්ධනය අඩාල වීම හා මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ලෙස මිල ගණන් ඉහළ යාම එයින් ප්‍රධාන දේවල්. 

මේ වගේ තත්ත්වයක් යටතේ අපේක්ෂිත පරිදි බදු ආදායම් වැඩි කර ගත හැකි වෙයිද? 

භාණ්ඩ හා සේවා බදු ආදායම වසර තුළ 58.6%කින්ද, ආදායම් බදු ආදායම 68.1%කින්ද, ආනයන බදු ආදායම 21.1%කින්ද, බදු නොවන ආදායම්  32.9කින්ද වැඩි කර ගැනීම සැලසුමයි. වැඩිම මුදලක් උපයා ගන්න සැලසුම් කර තිබෙන්නේ භාණ්ඩ හා සේවා බදු වලින්. මේ බදු  නිසා සෘජු ලෙසම භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. ආනයන බදු නිසා වෙන්නේත් බඩු මිල ඉහළ යාමයි. සමාගම් වල ආදායම් මත අය කරන බදු වලින් විශාල කොටසක්ද එම සමාගම් විසින් පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනෙන නිසා එයින්ද බඩු මිල ඉහළ යනවා.

පසුගිය ආණ්ඩුව විසින් බදු වැඩි කිරීම දේශපාලන සටන් පාඨයක් කර ගනිමින් බලයට පත් වූ මේ ආණ්ඩුවටද අවසන් වශයෙන් ඒ දේම කරන්නට සිදු වීමෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුවටද ඊට වඩා වෙනස් විකල්පයක් නැති බවයි. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි මිලද සෘජුව හෝ වක්‍රව අය කර ගන්නම වෙනවා.

ලංකාවේ ආණ්ඩු විසින් කාලයක් තිස්සේ රාජ්‍ය අයවැය හරහා ජනතාවට විවිධ සහන ලබා දෙමින් එහි බර ඉදිරි ආණ්ඩුවකට තල්ලු කළා. දැන් එය තව දුරටත් කළ නොහැකියි. මේ යථාර්තයට මුලින්ම මුහුණ දෙන්න සිදු වුනේ යහපාලන ආණ්ඩුවටයි. එම ආණ්ඩුව 2015දී මැතිවරණය ඉලක්ක කර විවිධ සහන දුන්නා. එහෙත්, ඔවුන්ට එවැනි සහන නඩත්තු කරමින් වසර හතරක් ඇද ගන්න පුළුවන්කමක් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අන්තිමට දුන්නාටත් වැඩියෙන් ආපසු ගන්න සිදු වුනා. මෙය කරන්න යාමේදී ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම ගිලිහුණා.

මේ ආණ්ඩුවද බලයට පත් වූ වහාම, මැතිවරණ ඉලක්ක කර, ඊටත් වඩා විශාල සහන දුන්නා. එහෙත්, මේ ආණ්ඩුවට එවැනි සහන නඩත්තු කරමින් ඊළඟ මැතිවරණය දක්වා රාජ්‍යමූල කළමනාකරණය කළ නොහැකියි. මේ ආණ්ඩුවටත් දැන් යථාර්තයට මුහුණ දෙන්න සිදු වෙලා. වෙනත් අයෙකු බලයට පැමිණියා කියලාත් මේ යථාර්තය වෙනස් වෙන්නේ නැහැ. මැතිවරණ පොරොන්දු, අයවැය සහන ගැන බලාපොරොත්තු තැබිය හැකි වූ යුගය දැන් ඉවරයි. අලුතින් බලයට පත්වන කවර හෝ ආණ්ඩුවක් එවැනි පොරොන්දු දී එම පොරොන්දු ඉටු කළහොත්, ඊළඟ වසරේ සිටම එසේ ලබා දුන් සහන සියල්ල පොලියත් සමඟ ආපහු ගන්නම වෙනවා.

යහපාලන ආණ්ඩුව දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත්තේ රාජපක්ෂලාගේ "හොරකම්". බැඳුම්කර "හොරකම" එක්ක ඔවුන්ගේ සටන් පාඨය ඔවුන්ටම පාරාවළල්ලක් වුනා. යහපාලන බදු දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත් මේ ආණ්ඩුවටද ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ එවැනිම අභියෝගයකටයි. 

බදු නිසා බඩු මිල ඉහළ යනු ඇතත් ඒ එක්කම ඉල්ලුම පහළ යන නිසා ඇස්තමේන්තු වල තිබෙන තරමට ආදායම් ලැබේයයි සිතිය නොහැකියි. එසේ වුවහොත්, වියදම්ද සීමා කරන්න වෙනවා. අයවැය ඇස්තමේන්තු වල තිබෙන ප්‍රාග්ධන වියදම් වලින් වැඩි කොටසක් කපා හැරෙනු ඇති බවනම් සහතික කර කිව හැකියි. පුනරාවර්තන වියදම් අඩු කිරීම ප්‍රයෝගිකව ඉතාම අසීරු කටයුත්තක්.

දේශීය වෙළඳපොළෙන් රුපියල් බිලියන 1,807ක් ණය ලබා ගැනීමද පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා පොලී අනුපාතික වැඩි කරන්න සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී රජයේ වියදම්ද ඉහළ යනවා. ඒ නිසා, බැංකු අංශයෙන් ණය ගැනීම් අයවැය ඇස්තමේන්තු වල තිබෙන ගණන් ඉක්මවයි කියන එක කියන්න මහ ලොකු විශ්ලේෂණයක් කළ යුතු නැහැ. බොහෝ විට සිදු විය හැකි පරිදි, ඇස්තමේන්තු වල ඇති තරමට විදේශ ණය නොලැබුණොත් ඒ අඩුව පුරවන්න වෙන්නෙත් දේශීය ණය වලින්. ඒ කියන්නේ තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා කියන එකයි.

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයේ මිල ස්ථාවරව තියා ගෙන ඉන්න එක කරන්න පුළුවන් වෙයිද?

එක දෙයක්නම් පැහැදිලියි. ඒ බඩු මිල විශාල ලෙස ඉහළ යාමට නියමිත බවයි. ගිය වසරේ අයවැය ඇස්තමේන්තු වල ආදායම් අයිතමයන් සැබෑ ආදායම් හා සැසඳූ විට හැම අයිතමයකම වගේ දැකිය හැක්කේ සැබෑ ආදායම ඇස්තමේන්තුවට වඩා අඩු බවයි. හැබැයි ඇස්තමේන්තුව ඉක්මවා අදායම් ලැබී ඇති අයිතමයක්ද තිබෙනවා. ඒ පාස්පෝට් ගාස්තු ආදායම!


Thursday, November 11, 2021

ඇමරිකාවේ උද්ධමනයත් ඉහළට!


පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 6.2% මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර තිහක කාලය තුළ ඇමරිකාවෙන් වාර්තා වූ ඉහළම උද්ධමන අගයයි. මීට පෙර ඇමරිකාවේ උද්ධමනය මෙවැනි ඉහළ මට්ටමක තිබුණේ 1990 වසරේදී.  

උද්ධමනය මෙතරම් ඉහළ යාමට ප්‍රධානම හේතුව වසංගත කාලය තුළ විශාල ලෙස පහත වැටුණු ඉන්ධන මිල 49.5%කින් නැවත ඉහළ යාමයි. ඇමරිකාවේ උද්ධමනය මනින භාණ්ඩ හා සේවා පැසෙහි ඉන්ධන වලට 4.08%ක බරක් තිබෙන නිසා ඉන්ධන වලින් පමණක් උද්ධමනය 2.0%කින් ඉහළ යාමට දායකත්වයක් සැපයී තිබෙනවා. 28.1%කින් ඉහළ ගොස් තිබෙන ගෑස් මිලෙහි බලපෑමද එකතු කළ විට මෙම දායකත්වය 2.2%ක්.

ඉන්ධන මිලට අමතරව ඇමරිකාවේ වාහන මිලද පසුගිය කාලය තුළ විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. එයින්ද වැඩිපුරම ඉහළ ගොස් තිබෙන්නේ පරණ (පාවිච්චි කළ) වාහන වල මිලයි. අළුත් වාහන වල මිල පසුගිය වසර තුළ 9.8%කින් ඉහළ යද්දී, පරණ වාහන වල මිල 26.4%කින් ඉහළ ගොස් තිබෙනවා. උද්ධමන පැසෙහි 7.787%ක බරක් තිබෙන වාහන හා වාහන අමතර කොටස් සමස්තයක් ලෙස 16.5%කින් ඉහළ යාම නිසා ඇමරිකාවේ උද්ධමනයට තවත් 1.3%ක දායකත්වයක් ලැබී තිබෙනවා. මීට අමතරව වාහන කුලියට ගැනීමේ වියදම්ද 39.1%කින් ඉහළ ගොස් තිබෙනවා.

විශාල ලෙස මිල වැඩි වී තිබෙන තවත් අයිතමයක් වන්නේ හෝටල් හා නවාතැන්පොළ ගාස්තුයි. එම අංශයේ 25.5%ක වැඩිවීමෙන් පිළිබිඹු වන්නේද වසංගත කාලය තුළ විශාල ලෙස පහත වැටුණු මෙම සේවා ගාස්තු නැවත පෙර මට්ටමට පැමිණීමයි. 

ඉන්ධන, වාහන, නවාතැන්පොළ ගාස්තු ආදියේ වැඩිවීම නොවන්නට ඇමරිකාවේ උද්ධමනය 2.5% ආසන්න මට්ටමක තිබිය හැකි වූ බැවින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් තවමත් ඇමරිකාවේ උද්ධමනය ඉහළ යාම කණස්සල්ලට කාරණයක් සේ සලකා නැහැ. ඔවුන්ගේ අදහස වන්නේ උද්ධමනය මෙසේ ඉහළ යාම තාවකාලික තත්ත්වයක් පමණක් බවයි. එහෙත්, ඉහත පරිදි විශාල ලෙස මිල ඉහළ ගොස් ඇති අයිතමයන්ට අමතරව අනෙකුත් බොහෝ අයිතමයන්ගේ මිල ගණන්ද සාමාන්‍ය තරමට වඩා වැඩි වී තිබෙනවා.

පසුගිය වසරක කාලය තුළ සමස්තයක් ලෙස ආහාර මිල 5.3%කින්ද, ඉන්ධන, විදුලි බලය ඇතුළු බලශක්ති ප්‍රභව වල මිල 30.0%කින්ද, අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් 4.6%කින්ද ඉහළ ගොස් තිබෙනවා. ආහාර කාණ්ඩයේ හරක්මස් හා මුවමස් මිල 20.1%කින්ද, ඌරුමස් හා ඌරුමස් ආශ්‍රිත නිෂ්පාදන (හැම් හා බේකන්) මිල 14.1%කින්ද, කුකුළුමස් මිල 8.8%කින්ද, අළුත් මාළු මිල 11.0%කින්ද, බිත්තර මිල 11.6%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

කෝවිඩ් වසංගතය හා ඒ හේතුවෙන් ආර්ථිකය සංකෝචනය වීම හමුවේ ඇමරිකන් ෆෙඩරල් රජය හා ඇමරිකාවේ මහ බැංකුව රටේ මුදල් සංසරණය විශාල ලෙස වැඩි කළා. මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන බව පැහැදිලි කරුණක්. 

රටේ ආර්ථිකය ප්‍රසාරණය කරන්නට අවශ්‍ය වූ විට මුදල් සැපයුම වැඩි කිරීමත්, ඒ හේතුවෙන් උද්ධමන අවදානම් මතු වෙද්දී නැවත එම මුදල් ආපසු ඇද ගැනීමත් මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සාමාන්‍ය ක්‍රමයයි. පසුගිය 2008 ආර්ථික අවපාතයෙන් පසුවද ඇමරිකාවේ රජය හා මහ බැංකුව එකතු වී විශාල මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු කළත් ඒ හේතුව නිසා ඇමරිකාවට උද්ධමන තර්ජනයකට මුහුණ දීමට සිදු වූයේ නැහැ. එම නිරීක්ෂණය මත පදනම්ව ඇතැම් අය සල්ලි අච්චු ගැහීම කියන තරම්ම හානිකර නොවේය යන වැරදි නිගමනයට පැමිණීමට හදිස්සි වුනා.

පසුගිය ආර්ථික අවපාතයේදී අච්චු ගැසූ සල්ලි වලින් විශාල ප්‍රමාණයක් ගියේ විශාල බැංකු හා සමාගම් බේරා ගන්නයි. එයින් වෙනස්ව, මෙවර සාපේක්ෂව අඩු ආදායම් ලබන පවුල් වලට සල්ලි බෙදා දෙනු ලැබුවා.

ලොකු ධනවතෙකුට එකවර විශාල මුදලක් ලැබුණා කියා කන ප්‍රමාණය හෝ අඳින ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. සමස්තයක් ලෙස මෙසේ ලැබුණු මුදල් ආයෝජනය කරනවා මිස පරිභෝජනය සඳහා වැය කරන්නේ නැහැ. ඒ නිසා, කොටස් වෙළඳපොළ මිල ගණන් ආදිය ඉහළ යනවා මිස පාරිභෝගික භාණ්ඩ හා සේවා මිල ඉහළ යන්නේ නැහැ. ආයෝජන වැඩි වෙද්දී, රටේ නිෂ්පාදනය ඉහළ යන අතර රැකියා නියුක්තිය වැඩි වී සමාජයේ පහළ ස්ථර වෙතද ප්‍රතිලාභ ගලා එන නමුත් ඒ සඳහා යම් කාලයක් යනවා. මෙහිදී පාරිභෝගික භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යන විට අනෙක් පැත්තෙන් නිෂ්පාදනයද ඉහළ ගොස් අවසන් නිසා මිල ඉහළ යාමක් සිදු වන්නේ නැහැ.

අඩු ආදායම්ලාභීන් අතට සෘජුව මුදල් ලබා දුන් විට සිදු වන්නේ මේ දෙයම නෙමෙයි. ඔවුන් එක පැත්තකින් එම මුදල් විශාල ලෙස භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා වැය කරන අතර අනෙක් පැත්තෙන් අතේ සල්ලි තිබෙන නිසා රැකියාවක් කරන්නට තිබෙන උනන්දුව අඩු වෙනවා. මෙහි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් පාරිභෝගික භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යද්දී අනෙක් පැත්තෙන් සැපයුම සීමා වීමයි. අවසන් ප්‍රතිඵලය උද්ධමනයයි.

සල්ලි අච්චු ගසා ලොකු සමාගම් බේරා ගැනීම නරක දෙයක් බවත්, එහෙත් සල්ලි අච්චු ගසා දුප්පතුන්ට බෙදීම හොඳ දෙයක් බවත්, කෙනෙකුට තර්ක කළ හැකියි. එහෙත්, අච්චු ගහන සල්ලි දුප්පතුන් අතට යාමෙන් ඔවුන්ට ලැබෙන ක්ෂණික සහනය උද්ධමනය ඉහළ ගිය වහාම අහෝසි වෙනවා. දුප්පතුන්ට දැනෙන උද්ධමන පීඩනය පොහොසතුන්ට දැනෙන්නේ නැහැ. උද්ධමනය ඉහළ යද්දී ඔවුන්ගේ වත්කම් වල මිල වැඩි වී ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනවා. එම වාසිය පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහළ යාමේ අවාසියට වඩා වැඩියි. 

සල්ලි අච්චු ගසා රටක දුප්පතුන් සුබසාධනය කිරීමේදී ඇත්තටම සිදු වන්නේ ඔවුන්ව රැවටීමක් පමණයි. එක සාක්කුවකට වැටෙන සල්ලි අනෙක් සාක්කුවෙන් නැවත ආපසු යනවා. සැබෑ සුබසාධනයක් කරන්නනම් කාගෙන් හෝ බදු ලෙස එම වියදම පියවා ගන්නම සිදු වෙනවා.

Saturday, November 6, 2021

සංචිත තවත් පහළට!


ඔක්තෝබර් අවසානය වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,267.5 දක්වා තව දුරටත් පහත බැස තිබෙනවා. මෙම ප්‍රමාණයට රන් සංචිත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති සංචිතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෑතකදී ලැබුණු ඩොලර් මිලියන 787ක් පමණ වටිනා එස්ඩීආර් ප්‍රදානයෙන් නොවිකුණා ඉතිරිව ඇති එස්ඩීආර් ප්‍රමාණයද ඇතුළත්. 

පසුගිය සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,704.2ක් වූ අතර, අගෝස්තු අවසානය වෙද්දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 3,543.5ක්ව පැවතුනා. මේ අනුව, පසුගිය දෙමසක කාලය තුළ පමණක් ඩොලර් මිලියන 1,276කින් සංචිත පහළ බැස ඇති බව පැහැදිලියි. සැප්තැම්බර් මැදදී සිදු වූ අධිපති මාරුවෙන් පසුව විදේශ අංශයෙහි කිසිදු යහපත් වර්ධනයක් සිදුව ඇති බවක් තවමත් පෙනෙන්නට නැහැ. 

ඉහත සංචිත ප්‍රමාණය වුවද මහ බැංකුවේම විදේශ වගකීම් පියවීමටත් ප්‍රමාණවත් නැහැ. අගෝස්තු මාසය අවසාන වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය ඩොලර් මිලියන 400ක් පමණ වූ අතර, සැප්තැම්බර් අවසානය වෙද්දී එම හිඟය ඩොලර් මිලියන 794ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඔක්තෝබර් මාසයේදී නිල සංචිත පහළ ගොස් ඇති ප්‍රමාණය සැලකිල්ලට ගත් විට, මේ වෙද්දී මෙම හිඟය ඩොලර් බිලියනය ඉක්මවා ඇතැයි සිතිය හැකියි. 

ඉදිරි මාස දෙක තුළ ආනයන වියදම් පියවා ගැනීමට අමතරව ශ්‍රී ලංකාව විසින් ජනවාරි 18 දින ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කරයක්ද පියවිය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් ද්‍රවශීල විදේශ සංචිත මහ බැංකුව සතුව ඇතත්, ජනවාරි මාසයේදී මෙම වාරිකය ගෙවීමෙන් පසුව ලංකාවේ විදේශ අංශයේ තත්ත්වය තවත් නරක අතට හැරීම නොවැලැක්විය හැකියි. 

ලංකාවේ විදේශ අංශය මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට පත් වීමේ මූලාරම්භය 2010 ආසන්න කාලය ලෙස සැලකිය හැකියි. එම කාලයේදී ඩොලරයේ මිල කෘතිමව පහළින් තබා ගැනීම හරහා රටේ පුද්ගලයින් හා ආයතන ලෝකයට ණය වී ඩොලර් ලබාගෙන එම ණය රුපියල් කර රජයට ණය ලබා දීම ප්‍රවර්ධනය කරමින් විදේශ ණය පිරමිඩයක් ගොඩ නගනු ලැබුවා. කෝවිඩ් හමුවේ කඩා වැටීමේ අවදානමට ලක්වුනේ කොහොමටත් කොයි වෙලාවක හෝ කඩා වැටෙන්නට නියමිතව තිබුණු මෙම විදේශ ණය පිරමිඩයයි. 

මහ බැංකුවේ වත්මන් විදේශ විණිමය ප්‍රතිපත්තිය වී තිබෙන්නේ නැවත කෙසේ හෝ මේ ණය පිරමිඩයට මුක්කු ගසා තවත් කාලයක් පවත්වා ගෙන යාමයි. ඒ සඳහා, ඩොලරයක මිල නාමිකව හෝ රුපියල් 200 මට්ටමේ පවත්වා ගැනීමේ කාර්යයෙහි මහ බැංකුව නිරතව සිටිනවා. එහෙත්, මේ වෙද්දී ලංකාවේ සැබෑ තත්ත්වය ලෝකයට සඟවා තවතවත් ණය ගැනීම ඉතාම අසීරුයි.

Friday, November 5, 2021

කෘෂිකර්මයේ කාබනික අදියර


කිසියම් රටක වෙළඳපොළ කොයි තරම් දියුණුද, නිෂ්පාදන ක්‍රියාවලිය කොයි තරම් කාර්යක්ෂමද, ඒ රට කොයි තරම් ධනවාදීද ආදී කරුණු අදාළ රටේ ජාතික ආදායමෙන් හා ශ්‍රම බලකායෙන් කෘෂිකර්මයේ පංගුව දෙස බලා නිර්නය කළ හැකියි. ආර්ථික අර්ථයකින් රටක් ප්‍රගතියේ දිශාව කරා ගමන් කරන තරමට ජාතික ආදායමෙහි හා ශ්‍රම බලකායෙහි කෘෂිකාර්මික කොටස කුඩා වෙනවා.

මෙය මෙසේ විය යුත්තේ ඇයි?

ආහාර කියා කියන්නේ මිනිහෙකුගේ මූලිකම අවශ්‍යතාවය. කන්න තියෙනවානම්, නිදාගන්න අගු පිලක්වත් නැත්නම්, අඩු ගානේ ගලක් උඩ හෝ ගහක් යට වුවත් නිදා ගෙන ජීවත් වෙන්න පුළුවන්.  කන්න තියෙනවානම්, රෙදි නැතුව ජීවත් වෙන්න පුළුවන්. කන්න තියෙන නිසා, කෑම  හොයාගෙන රෙදි නැතුව කඩේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි කෑම නැතිව වැඩි දවසක් ජීවත් වෙන්න බැහැ. බඩගිණි දැනෙන කොට කොහෙන් හෝ ලෙමන් පෆ් එකක් හරි හොයා ගන්න වෙනවා.

මිනිසෙකුගේ මූලිකම අවශ්‍යතාවය ආහාර නිසා ඕනෑම මිනිහෙකුගේ පළමු ප්‍රමුඛතාවය වන්නේ තමන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කර ගැනීම. වෙළඳපොළක් නැත්නම්, හුවමාරුවක් සිදු නොවේනම් මිනිහෙකුට තමන්ගේ ආහාර තමන් විසින්ම නිපදවා ගන්න සිදු වෙනවා. මිනිහෙක් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කරන්නේ කවර හෝ ආකාරයකින් තමන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වී ඇත්නම් පමණයි.

හැමෝම තම තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගන්නවා කියා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රාථමිකම අවස්ථාව. මේ වගේ පසුබිමක, හැමෝටම තමන්ගේ බඩ ගැන හිතනවා හැර වඩා සංකීර්ණ නිෂ්පාදනයක් ගැන හිතන්න ඉඩ සැලසෙන්නේ නැහැ. එහෙත්, තමන්ට අවශ්‍ය ආහාර වෙනත් අයෙකු විසින් නිපදවනු ඇති බවට සහතිකයක් ඇති විට මිනිස්සු වඩා සංකීර්ණ නිෂ්පාදන වෙනුවෙන් තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කරනවා. ඒ හරහා, සමාජයක් ප්‍රගතියේ දිශාව කරා ගමන් කරනවා.

මේ ආකාරයෙන් කෘෂිකර්මයෙන් විතැන් වන සමාජයක කිසියම් පිරිසක් විසින් ලබා දෙන දායකත්වය නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ යනවා. කෘෂිකර්මයෙහි නිරත එක් අයෙකුට පිරවිය හැකි බඩවල් ගණන ඉහළ යනවා. ආහාර සුරක්ෂිතතාව ගැන වද නොවී, වෙනත් දේවල් කිරීම සඳහා වැඩි පිරිසක් නිදහස් වෙනවා. 

ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි. මේ පිරිස රටේ ඉතිරි 99.3%ටම අවශ්‍ය ආහාර හදනවා පමණක් නොව, ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන අතර විශාල ලෙස නාස්ති කර දැමීමටත් ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් හදනවා. 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් බිලියන 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්). ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.

රටේ මිනිස්සුන්ට ඇති තරමට කන්න, නාස්ති කරන්න වගේම පිටට විකුණන්නත් ප්‍රමාණවත් තරම් ආහාර රටේ ජනගහණයෙන් 0.7%ක් විසින් හදනවා කියන එකෙන් පැහැදිලි වන්නේ ඇමරිකාව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුව විසඳීමෙන් පසුවත් සෑහෙන දුරක් ගමන් කර තිබෙන බවයි. මෙය මේ කරුණ තුළින් පමණක්ම ගම්‍ය නොවේනම් තවත් කරුණු ගණනක් ඉදිරිපත් කර පැහැදිලි කළ හැකියි.

ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක මූලික අදියරේදී කෘෂිකර්මයෙන් විතැන් වන ශ්‍රමිකයන් හමුවේ තිබෙන අභියෝගය වන්නේ කෘෂිකාර්මික ශ්‍රමිකයන් සමඟ හුවමාරු කළ හැකි ඔවුන්ට වටිනා දෙයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකයි. යම් සීමිත පිරිසක් විසින් මේ වැඩේ සාර්ථකව කරනවා. මේ සීමිත පිරිසට ගැනුම්කරුවන් (කෘෂිකාර්මික ශ්‍රමිකයන්) විශාල පිරිසක් සම්මුඛ වෙනවා. උදාහරණයක් විදිහට උදළු තලයක් හදන කම්මල්කරුවෙක් ගනිමු. දැන් මේ කම්මල්කරුවාට තමන් හැදූ උදළු තලය හුවමාරු කර ගැනීමට සූදානම් ගොවි-ගැනුම්කරුවන් විශාල පිරිසක් සම්මුඛ වෙනවා.

හුවමාරුව සිදු වන්නේ වී සමඟ කියා හිතමු. දැන් මේ කම්මල්කරුවා උදළු තලය හුවමාරු කරන්නේ වැඩිම වී ප්‍රමාණයක් තමන්ට දෙන ගොවි-ගැනුම්කරුවා සමඟ. මෙහිදී උදළු තලයක් ලබා ගන්න අවශ්‍ය අනෙක් ගොවි-ගැනුම්කරුවන්ට කෙසේ හෝ තමන්ගේ වී නිෂ්පාදනය වැඩි කර ගන්න වෙනවා. මොකද හුවමාරුවක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය සැපිරුනු පසුව පමණයි.

කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරු භාණ්ඩයක් වූ වහාම. ගොවීන් අතර තරඟය වැඩි වී ඒ තුළින් සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියත් ඒ හේතුව නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල පහළ යනවා. උදළු තලයේ හුවමාරු වටිනාකම ඉහළ යනවා. ඒ එක්කම අර ගොවි-ගැනුම්කරුවන්ට උදළු තලයක් මිල මිල අධික භාණ්ඩයක් වෙනවා. උදළු තල හදන තැනැත්තෙකුගේ ආහාර සුරක්ෂිතතාවය ගොවියෙකුගේ ආහාර සුරක්ෂිතතාවයටත් වඩා ඉහළ යනවා. 

ඉහත ආකාරයෙන් යමෙකුට තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම සඳහා තිබෙන වඩා හොඳ විකල්පය තමන්ම කෘෂිකර්මයෙහි නියැලීම නොව කෘෂිකර්මයෙන් ඉවත් වීම වූ විට එවැන්නන් කෘෂිකර්මයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එහිදී සමාජ ප්‍රගමනයට හේතු වන දේවල් දෙකක් සිදු වෙනවා. එක පැත්තකින් එසේ කෘෂිකර්මයෙන් ඉවත් වන අය එතෙක් බොහෝ දෙනෙකුගේ පරිභෝජන පැසෙහි නොතිබුණු දේවල් අලුතෙන් නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ දේවල් ගොවි-ගැනුම්කරුවන් සමඟ හුවමාරු කිරීම හරහා, අඩු මහන්සියකින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සපුරා සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා. අනෙක් පැත්තෙන් මේ විදිහට අලුතෙන් හදන හෝ හොයා ගන්නා ඇතැම් දේවල් වලින් කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ යනවා. ඒ නිසා, සෘජුව කෘෂිකර්මයෙහි යෙදෙන අයටත් අඩු මහන්සියකින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා.

මානව ඉතිහාසය කියා කියන්නේ මිනිස්සු බඩගින්න සමඟ සටන් කළ ඉතිහාසයක්. ඉතාම මෑතක් වන තුරු සමස්තයක් ලෙස මිනිස්සු හිටියේ බඩගින්නේ. දැනටත් ලෝකයේ බඩගින්නේ සිටින මිනිස්සු ඉන්නවා. එහෙත්, අඩු වශයෙන් මේ වෙද්දී ඇමරිකාවේ හෝ ධනවාදී සංවර්ධනයේ සමාන අදියරක සිටින වෙනත් රටවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුවක් නැහැ. මේ තත්ත්වය අත් කර ගැනීමට රසායනික පොහොර, කෘෂිරසායන ආදියෙන් ලැබී තිබෙන දායකත්වය ඉතා විශාලයි.

බඩගින්නේ සිටින අයෙක් මුලින්ම බලන්නේ බඩගින්න නිවාගත හැකි මොනවා හෝ දෙයක්. එහෙත්, ආහාර සුරක්ෂිතතාවය තවදුරටත් කණස්සල්ලට කාරණයක් නොවූ පසු මිනිස්සු තමන්ගේ ආහාර වල ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා. ප්‍රධාන ඉලක්කය ආහාර සුරක්ෂිතතාවය වූ විට ගොවි-සැපයුම්කරුවන් එකිනෙකා සමඟ තරඟ කරන්නේ අස්වැන්න වැඩි කරගෙන, අඩු මිලකට කෘෂි නිෂ්පාදන සැපයීම මගින් වුවත් මේ අදියරට පැමිණි පසු ඔවුන්ට තමන් විකුණන ආහාර වල ගුණාත්මක භාවය වෙනුවෙන් අධිභාරයක් අය කරන්න ඉඩ ලැබෙනවා.

ඔය ආකාරයෙන් ධනවාදී ක්‍රමයක් තුළ ගොවි-සැපයුම්කරුවන් අතර තරඟය මුලදී අඩු මිලට කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමේ තරඟයක් වුවත්, මේ තරඟය තුළින් රටේ හැමෝගෙම වගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වුනාට පසුව මිල සාධකයේ වැදගත්කම අඩු වෙලා යනවා. ඉන් පසුව, ගොවි-සැපයුම්කරුවෙකුට ලාබ ලැබිය හැක්කේ අනෙක් තරඟකරුවන්ට වඩා ගුණාත්මක භාවයෙන් වැඩි නිෂ්පාදිත වෙළඳපොළට දැමීමෙන්. 

හැබැයි එක් අයෙක් මේ දේ කළාට පස්සේ අනෙක් අයත් ගුණාත්මක භාවය ඉහළ දමනවා. එසේ නොකර වෙළඳපොළ තුළ පැවැත්මක් නැහැ. අවසානයේදී වෙන්නේ සමස්තයක් ලෙස ගුණාත්මක භාවය ඉහළ යාම. 

මෙය ලංකාවෙන් වුවත් නිදර්ශන අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. අපි පොඩි කාලේ හාල් ගරනවා කියන එක බත් ඉවීමේ අනිවාර්ය අංගයක්. හරියට හාල් ටික ගැරුවේ නැත්නම් දත් සෙට් එක ඉවරයි!

ගල් වැලි නැති සම්බා සහල් කිලෝ පහේ කවර වෙළඳපොළට ආවේ ඔය වගේ පසුබිමක. මුලදී මේ හාල් විකිණුනේ සැලකිය යුතු අධිභාරයක් එක්ක. මිල සංවේදී අය ඔය ගල් වැලි නැති හාල් පස්සේ ගියේ නැහැ. අඩුවට තිබෙන හාලක් ගෙනත් ගරලා ලිපේ තියා ගත්තා. එහෙත් කාලයක් යද්දී ගල් වැලි සහිත හාල් වලට වෙළඳපොළක් නැතිව ගියා. 

රටක මිනිස්සුන්ගේ බඩවල් පුරවන්න ප්‍රමාණවත් තරමට ආහාර ඒ රටේ හැදෙන්න පටන් ගත්තට පස්සේ තව දුරටත් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒ තරම් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද නිෂ්පාදනය වැඩි කළා කියලා ඉල්ලුම තවත් වැඩි වෙන්නේ නැහැ. තව බෙදාගන්න අවශ්‍ය නැති තරමට කාගේත් බඩවල් පිරිලා. 

රටක ආහාර නිෂ්පාදනය ආහාර අවශ්‍යතාවය ඉක්මවූ පමණින් රටේ හැමෝගෙම ආහාර සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නැහැ. පහළ ආදායම් ස්ථර වලට තව දුරටත් බඩගින්න දැනෙන්න පුළුවන්. එහෙත්, ඇමරිකාව වැනි රටවල ක්‍රියාත්මක සුබසාධන වැඩ සටහන් නිසා මේ ප්‍රශ්නය ඇති වන්නේත් නැහැ. ඒ නිසා, ඇමරිකාව වැනි රටවල කෘෂිකාර්මික අංශයේ කාර්යක්ෂමතාවය වැඩි වීම කාලයක සිටම සිදු වන්නේ ගුණාත්මක භාවය වැඩි වීම හරහා.

මේ ආකාරයෙන් ගුණාත්මක භාවය වැඩි වීමත් මේ වෙද්දී යම් සංතෘප්ත මට්ටමකට ඇවිත්. අඩුම මිලකට මිල දී ගන්නා අවම ගුණාත්මක භාවය තිබෙන ආහාරයක ගුණාත්මක භාවය වුනත් මේ වෙද්දී ගොඩක් ඉහළයි. ඒ කියන්නේ, ඇමරිකාව වැනි රටක අඩුම ආදායම් ලබන පහළම සමාජ ස්ථර වල සිටින අයට පවා මේ වෙද්දී ආහාර සුරක්ෂිතතාවය ගැටළුවක් නොවනවාක් මෙන්ම ඔවුන්ට ලබා ගත හැකි ආහාර වල ගුණාත්මක භාවයද ගොඩක් වැඩියි. 

කෘෂිකාර්මික නිෂ්පාදිත මේ වගේ මට්ටමක් දක්වා දියුණු වුනාට පස්සේ ගුණාත්මක භාවය ඉහළ දමලා ලාබ ලබා ගැනීමේ හැකියාවත් අහෝසි වී යනවා. එහෙත්, ධනවාදී තරඟය තුළ දිගින් දිගටම කිසියම් ආකාරයක අගය එකතු කිරීමක් සිදු විය යුතුයි. කාබනික කෘෂිකර්මය තුළ සිදු වන්නේ මේ වැඩේ. 

කාබනික ආහාරයක් වෙනුවෙන් අධිභාරයක් ගෙවන අයෙක් එසේ කරන්නේ ගල් වැලි නැති හාල් මිල දී ගනිද්දී මෙන් එයින් තමන්ට සෘජුව ලැබෙන දෙයක් දිහා බලාගෙන නෙමෙයි. මෙහිදී කාබනික ආහාරය වෙනුවෙන් ගෙවන මිලට පරිසරය රැක ගැනීම වැනි වෙනත් අරමුණු වෙනුවෙන් ගෙවන මිලක්ද එකතු වෙනවා. 

මේ වගේ තත්ත්වයකට එන්න රටක කෘෂිකර්මාන්තය මා පෙර සඳහන් කළ අදියර දෙකම පසු කළ යුතුයි. පළමු අදියරේදී මොන ක්‍රමයෙන් හෝ නිෂ්පාදනය ඉහළ දැමීමෙන් රටේ සමස්ත ආහාර ඉල්ලුම සම්පූර්ණ කෙරෙනවා. දෙවන අදියරේදී එම ආහාර වල ගුණාත්මක භාවය ඕනෑම කෙනෙකුට සෑහීමට පත් විය හැකි මට්ටමකට ඉහළ යනවා. මෙතැනින් එහාට කෘෂිකාර්මික නිෂ්පාදිතයකට තව දුරටත් අගය එකතු කිරීමක් කරන්න අවශ්‍යනම් එය කරන්න වෙන්නේ එම නිෂ්පාදනයට සෘජුව සම්බන්ධයක් නැති දෙයක් සමඟ සම්බන්ධ කිරීමෙන් පමණයි.

කාබනික කෘෂිකර්මයේදී නිෂ්පාදිතයට අගය එකතු කරන ක්‍රමය නිසාම නිෂ්පාදිතය සීමා වෙනවා. ඒ නිසා, මිල අඩු වන්නේ නැහැ. කාබනික අධිභාරය දිගටම පවත්වා ගත හැකියි. තමන් මිල දී ගන්නා භාණ්ඩය තුළ සෘජුව දැකිය නොහැකි දෙයක් වෙනුවෙන් මේ අධිභාරය ගෙවන්න කැමැති අය කාබනික ආහාර මිල දී ගන්නවා. 

මේ වෙළඳපොළට පැවතිය හැක්කේම මිල සංවේදී පාරිභෝගිකයන් වෙනුවෙන් සමාන්තර ලෙස කාබනික නොවන වෙළඳපොළක්ද තිබෙන නිසා. මොකද බහුතර පාරිභෝගිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවය හා එම ආහාර වල ගුණාත්මකභාවය තහවුරු නොවන තාක් කෘෂිකර්මාන්තයේ අගය එකතු කිරීම් වැඩි වන යාන්ත්‍රනයක් තිබෙනවා. කාබනික කෘෂිකර්මාන්තයට අවස්ථාව සැලසෙන්නේ එම වෙළඳපොළ සංතෘප්ත වීමෙන් පසුවයි.

Thursday, November 4, 2021

කාබනික ආහාර උන්මාදය

ලංකාවේ කාබනික ගොවිතැන ගැන මේ වෙද්දී ගොඩක් අය කතා කරලා තියෙනවා. කෝච්චිය අද්දලා ටිකක් වෙලා වුනත් තවම අපිටත් ගාඩ් පෙට්ටියේ හරි එල්ලෙන්න පුළුවන්නේ! අනිත් එක කාබනික ගොවිතැන ගැන කතා නොකළත්, අපිත් පොදුවේ කෘෂිකර්මය ගැන වගේම, ලංකාවේ කෘෂිකර්මය ගැනත් මොනවා හරි කතා කරලා තියෙනවනේ!

ලෝකයේ ලොකුම කාබනික ආහාර වෙළඳපොළ ඇමරිකා එක්සත් ජනපදයයි. 2019 වසරේදී යුරෝ බිලියන 106.4ක් වූ සිල්ලර කාබනික ආහාර වෙළඳාමෙන් 42%ක, එනම් යුරෝ බිලියන 44.7ක සිල්ලර වෙළඳාමක් සිදු වුනේ ඇමරිකා එක්සත් ජනපදය තුළයි. ඇමරිකාවෙන් පසුව ලෝකයේ ලොකුම කාබනික ආහාර වෙළඳපොළවල් වන්නේ පිළිවෙලින් ජර්මනිය (යුරෝ බිලියන 12.0ක්) හා ප්‍රංශයයි (යුරෝ බිලියන 11.3ක්). සමස්තයක් ලෙස යුරෝපීය සංගමය තුළ සිදු වන කාබනික ආහාර සිල්ලර වෙළඳාම ඇමරිකාවේ එම වෙළඳ පරිමාවට ආසන්නයි (යුරෝ බිලියන 41.4%ක් හෙවත් 39%ක්).

ඒක පුද්ගල පදනම මත බැලුවොත් කාබනික ආහාර වෙනුවෙන් වැඩිම වියදමක් දරන අය සිටින්නේ පිළිවෙලින් ඩෙන්මාර්කය (යුරෝ 344ක්), ස්විට්සර්ලන්තය (යුරෝ 338ක්) හා ලක්සම්බර්ග් (යුරෝ 265ක්) යන රටවලයි. මේ රටවල් ඒක පුද්ගල ආදායම අතින් ඉහළින්ම සිටින රටවල් බව පැහැදිලිව නිරීක්ෂණය වන කරුණක්.

කාබනික ආහාර වෙළඳපොළ ඉතා වේගයෙන් වර්ධනය වන වෙළඳපොළක්. 2000 වසරේදී යුරෝ බිලියන 15.1ක සීමා වූ මෙම වෙළඳපොළ 2019 වෙද්දී එමෙන් හත් ගුණයක් දක්වා විශාලනය වීමෙන් මේ බව පැහැදිලිව පේනවා. කෙසේ වුවත් කාබනික කෘෂිකර්මය වෙනුවෙන් තවමත් යොදා ගැනෙන්නේ ලෝකයේ ගොවිබිම් වලින් 1.5%ක් පමණයි.

ලෝකය පුරා විසිරී තිබෙන, කාබනික ගොවිතැන සඳහා යොදා ගන්නා වගාබිම් හෙක්ටයාර මිලියන 72.3කින් අඩක් පමණම, එනම් හෙක්ටයාර මිලියන 35.7ක්ම පිහිටා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එරට වගාබිම් ප්‍රමාණයෙන් 26.1ක්. රටේ වගාබිම් වලින් ඊට වඩා වැඩි කොටසක් කාබනික ගොවිතැන වෙනුවෙන් වෙන් කර තිබෙන එකම රට ලෝකයේ කුඩාම සහ පොහොසත්ම රටක් වන ලික්ටන්ස්ටයින් රට පමණයි. 

ඉහත සඳහන් කාබනික වගාබිම් වලින් තුනෙන් දෙකක් පමණම (හෙක්ටයාර මිලියන 49ක් පමණ) තණබිම්. ඒ කියන්නේ තණබිම් ඉවත් කළ විට කාබනික කෘෂිකර්මය වෙනුවෙන් තවමත් යොදා ගැනෙන්නේ ලෝකයේ ගොවිබිම් වලින් 0.5%ක් පමණයි. 2019 වසරේදී ලංකාවේ වගාබිම් හෙක්ටයාර 70,432ක කාබනික ගොවිතැන් සිදු වී තිබෙනවා. 2018 වසරේදී ලාංකිකයින් හෝ ලාංකික සමාගම් 318ක් විසින් කාබනික ආහාර අපනයනය කර තිබෙනවා. 2015 වසරේදී ලංකාව කාබනික ආහාර අපනයනය කිරීමෙන් යුරෝ මිලියන 259ක ආදායමක් උපයා තිබෙනවා.

ඇමරිකාවේ විකිණෙන ආහාර වලින් 5.8ක් පමණම මේ වෙද්දී කාබනික ආහාර. කාබනික ආහාර භාවිතය වැඩි වශයෙන්ම ඉහළ ආදායම් ලබන්නන්ගේ කටයුත්තක් වුවත්, ඇමරිකානුවන්ගෙන් හතරෙන් තුනක් පමණම යම් තරමකට හෝ කාබනික ආහාර මිල දී ගන්නවා. 

ඇමරිකාවේදී කාබනික ආහාර හොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. බොහෝ තැන් වල කාබනික ආහාර විකුණන්න තිබෙනවා. බැලූ බැල්මට කාබනික ආහාර හා අනෙකුත් ආහාර අතර හඳුනාගත හැකි කිසිම වෙනසක් නැහැ. උදාහරණයක් විදිහට, කාබනික ඇපල් ගෙඩියක් හා එම වර්ගයේම සාමාන්‍ය ඇපල් ගෙඩියක් ලඟින් තැබුවොත් කාබනික ඇපල් ගෙඩිය වෙන් කර හඳුනා ගන්න බැහැ. එහෙත්, කාබනික ඇපල් ගෙඩියක මිල සාමාන්‍ය ඇපල් ගෙඩියක මිලට වඩා වැඩියි. 

කාබනික ආහාර වල මිල සාමාන්‍ය වශයෙන් එම වර්ගයේම සාමාන්‍ය ආහාර මිල මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙම "කාබනික අධිභාරය" 50% පමණ සිට 300% පමණ දක්වා වෙනස් වෙනවා. කාබනික ආහාර වල යම් සෞඛ්‍යමය ප්‍රතිලාභ ඇති බව තහවුරු වී තිබුණත්, එම ප්‍රතිලාභ ඉහත මට්ටමේ විශාල අධිභාරයක් ගෙවීමට තරම් විශාල ප්‍රතිලාභ නෙමෙයි. 

කාබනික ආහාර වෙනුවෙන් මෙවැනි විශාල අධිභාරයක් ගෙවන බොහෝ දෙනෙක් එයින් සෘජුව තමන්ට ලැබෙන සීමිත සෞඛ්‍යමය ප්‍රතිලාභ වලට අමතරව පසෙහි හා ජලයෙහි ගුණාත්මකභාවය පවත්වා ගැනීම, පරිසර දූෂණය අඩු කිරීම, ආහාර පිණිස ඇති කරන සතුන්ට ස්වභාවික පරිසරයක ජීවත් වීමට ඉඩ සැලසීම වැනි වෙනත් බොහෝ දේවල් අපේක්ෂා කරනවා. වැඩිපුර සල්ලි ගෙවන්නේ ඒ දේවල් වලටත් එක්ක. හරියට ඇමරිකානුවෙක් ලංකාවේ මහන ඇඳුමක් මිල දී ගනිද්දී එම ඇඳුම් මහන ශ්‍රමිකයන් වැඩ කරන වාතාවරණය හොඳ මට්ටමක නඩත්තු කිරීම වෙනුවෙන්ද මුදලක් ගෙවනවා වගේ.

කාබනික ආහාර වෙනුවෙන් වැඩි මිලක් ගෙවන බොහෝ පාරිභෝගිකයින් විසින් එසේ කරන්නේ යම් සමාජයීය අරමුණක්ද පෙරදැරිව නිසා අදාල අරමුණ ඉටු කර ගත හැකි යාන්ත්‍රණයක්ද අවශ්‍ය වෙනවා. කාබනික ආහාර කියා සාමාන්‍ය ආහාර අලෙවි කළොත් අවශ්‍ය වැඩේ වෙන්නේ නැහැ. එක පැත්තකින් මෙය අප මීට පෙර කතා කර ඇති හලාල් ආහාර සම්බන්ධ තත්ත්වයටද සමානයි.

පාරිභෝගිකයෙකුට කාබනික ආහාර වෙන් කර හඳුනා ගැනීම සඳහා කිසියම් නිර්ණායකයක් අවශ්‍ය වෙනවා. මෙහිදී හලාල් ආහාර සහතික කරනවාක් මෙන් කාබනික ආහාරද නිපදවන ක්‍රමය පරීක්ෂා කර සහතික කිරීමක් කළ යුතු වෙනවා. මෙවැනි සහතිකයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා ලැයිස්තුවක් තිබෙනවා. 

කාබනික වගාවේදී කෘතීම පොහොර, නාගරික අපද්‍රව්‍ය හෝ නාගරික අපද්‍රව්‍ය අඩංගු ජලය, කෘතීම කෘමිනාශක (කලාතුරකින් හැර), ආහාර කල් තබා ගැනීම සඳහා යොදන රසායන, වර්ධක හෝමෝන හා ප්‍රතිජීවක ආදිය යොදාගත නොහැකි අතර, රෝග වලින් හෝ  කෘමීන්ගෙන් ආරක්ෂා විය හැකි පරිදි හෝ අස්වැන්න වැඩි කරගැනීම සඳහා ජාන තාක්ෂනය යොදා ගත නොහැකියි. ඒ වෙනුවට, බෝග කොටස්, කොම්පෝස්ට් පොහොර, ආවරණ ශාක, පරිවාරක ශාක කොටස් (mulch), ස්වභාවික කෘමිනාශක, කාබනික වගාව සඳහා අනුමත සීමිත කෘතිම කෘමිනාශක (අවසාන විකල්පයක් ලෙස කලාතුරකින්), සශ්‍ය මාරුව හා ජෛව පාලනය වැනි ක්‍රම යොදා ගැනෙනවා.

ඇමරිකාවේ සිල්ලර වෙළඳපොළේ විකිණෙන කාබනික ආහාර කාණ්ඩ කිහිපයකට බෙදිය හැකියි.


100%ක් කාබනික- මෙම සහතිකය යෙදිය හැක්කේ ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය සියල්ල කාබනික ක්‍රමයට හදා තිබෙන ආහාර සඳහා පමණයි.


කාබනික- ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 95%ක් කාබනික ක්‍රමයට හදා තිබිය යුතු අතර ඉතිරි 5% තුළ වෙනත් අනුමත ආහාර ද්‍රව්‍ය අඩංගු විය හැකියි.

කාබනික ආහාර වලින් සදා ඇති (Made with organic)- ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 70%ක් කාබනික ක්‍රමයට හදා තිබිය යුතු අතර එම අමුද්‍රව්‍ය මොනවාදැයි පැහැදිලිව සඳහන් කළ යුතුයි.

අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 70%ක් කාබනික ක්‍රමයට හදා නැත්නම් එවැනි ආහාර වල අමුද්‍රව්‍ය ලැයිස්තුවෙහි ඒ බැව් සඳහන් කරනු මිස කාබනික ආහාර සේ හැඳින්විය නොහැකියි.

ඇමරිකාව, යුරෝපය ඇතුළු බටහිර ලෝකයේ කාබනික ආහාර සඳහා වන ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන්නේ ඇයි? මේ ගැන අපි දෙවන කොටසකින් කතා කරමු.


Thursday, October 28, 2021

මූඩීස් ලංකාව තවත් පහළට දමයි!


මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ ණය අවදානම Caa1 ශ්‍රේණියේ සිට Caa2 ශ්‍රේණිය දක්වා තවත් කට්ටයකින් පහළට දමා තිබෙනවා. මේ අනුව පෙනෙන්නේ මහ බැංකුවේ නව අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කෙටිකාලීන මාර්ග සිතියම මූඩීස් ආයතනය විසින් සාධනීය ලෙස දැක නැතුවාට අමතරව, තවත් නිශේධනීය ලෙස දැක ඇති බවයි. 

විදේශ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටී තිබියදී, ඉදිරි කාලයේදී ගෙවිය යුතු ණය ආපසු ගෙවීම සඳහා මුදල් සොයා ගත හැකි ක්‍රමයක් පැහැදිලිව පෙනෙන්නට නැති පසුබිමක, මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ තක්සේරුව අනුව ලංකාවේ ණය පැහැර හැරීමේ අවදානම තව දුරටත් ඉහළ යාම මෙම තීරණයට හේතු වූ බව එම ආයතනය විසින් පවසනවා. ඒ වගේම, ඉතා කෙටි කාලයක් තුළ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වීමේ දැවැන්ත අවදානම අඩු කර ගැනීම සඳහා රටේ ආයතන විසින් තීරණාත්මක පියවර ගෙන නැති බව මේ නිගමනය තුළින් පිළිබිඹු වන බවද ඔවුන් පවසනවා.

ද්‍රවශීල විදේශ වත්කම් නැති වීමේ අවදානම විශාල ලෙස ඉහළ යාම, මෑතකාලීනව ණය නොවන විදේශ මුදල් යම් ප්‍රමාණයක් හොයා ගෙන තිබුණත් එදාවේල ක්‍රමයට ද්විපාර්ශ්වික ණය හා විණිමය හුවමාරු ගිවිසුම් හරහා මුදල් හොයා ගැනීම කෙරෙහි රජය විශ්වාසය තැබීම, දිගින් දිගටම විශාල අයවැය හිඟයක් නඩත්තු කිරීම හා රජයේ ආදායම් විශාල ලෙස පහත වැටී තිබීම හමුවේ අලුතින් ණය ලබා ගැනීම වඩා වඩා අසීරු වෙමින් තිබෙන බවද මූඩීස් ආයතනය සඳහන් කරනවා.

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අයවැය ඔන්න මෙන්න කියා තියෙද්දී, මූඩීස් ආයතනය විසින් මෙසේ ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය තව දුරටත් පහත දැමීම පිළිගත නොහැකි බවයි.

Friday, October 22, 2021

ධනවාදයේ හා සුබසාධනවාදයේ දරුවා


පසුගිය ලිපි ගණනාවකම අවධානය යොමු කෙරුණේ ලංකාවේ ආර්ථිකය වෙතයි. ලංකාව ගැන එක දිගට කතා කරන්න යාම නිසා කතා කරමින් සිටි ඇතැම් මාතෘකා තරමක් දුරට මග හැරුණා. මෙම වියුණුවෙහි ලිපි ගණනාවකින් අප ධනවාදය ගැන කතා කළා. ධනවාදයෙහි කාර්යක්ෂමතාවය සමඟ තරඟ කළ හැකි වෙනත් විකල්පයක් නැති බව පැහැදිලි කළා. ධනවාදය තුළ නිෂ්පාදනය සඳහා දායක වන හැම දෙනෙකුටම තමන්ගේ ආන්තික ඵලදායීතාව ලැබෙන ආකාරය විස්තර කළා. 

එසේ වුවත්, ලෝකයේ කිසිම රටක පූර්ණ ධනවාදයක් නැහැ. හැම රටකම වගේ රජය විසින් යම් තරමකින් වෙළඳපොලට මැදිහත් වීමක් කරනවා. එහිදී කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කරන්න සිදු වෙනවා. මෙය කරන්නේ ධනවාදය තුළ ළඟා කර ගත නොහැකි ඉලක්කයක් වන ආදායම් විෂමතා අවම කරන්නයි. ධනවාදය යටතේ හැම කෙනෙකුටම නිෂ්පාදනය සඳහා තමන්ගේ දායකත්වයට සරිලන ප්‍රතිලාභ ලැබෙන නමුත් එසේ ලැබෙන ප්‍රමාණයෙන් හැම කෙනෙකුගේම ජීවිත "අවශ්‍ය පමණ" සුඛිත මුදිත වන්නේ නැහැ. එවැන්නන් ගැන බලා ගන්න යම් ආකාරයක විකල්ප ක්‍රමයක් අවශ්‍ය වෙනවා.

මිනිස්සුන්ට ස්වභාවිකවම තමන්ගේ යහපත තකා කටයුතු කරන්න පෙළඹීමක් තිබෙනවා. ඊට අමතරව තමන්ගේ "වර්ගයාගේ" යහපත වෙනුවෙන් කටයුතු කිරීමේ පෙළඹීමක්ද තිබෙනවා. මේ දෙකේම පරිණාමීය වාසි තිබෙනවා. තමන්ගේ යහපත ගැන නොසිතීමේ චර්යාවකට පරිණාමීය පැවැත්මක් නැතුවාක් මෙන්ම, අනුන් ගැන කිසිසේත්ම නොහිතා තමන්ගේ යහපත ගැන පමණක් සිතීමද පරිණාමීය ලෙස වාසිදායක චර්යාවක් නෙමෙයි. ඔය දෙක අතර මනා සමතුලනයක් තිබිය යුතුයි.

ධනවාදී රටවල ජීවත් වන මිනිස්සුන්ටත් මේ ස්වභාවික මිනිස් ලක්ෂණය තිබෙනවා. තමන්ගේ ආන්තික ඵලදායීතාවය ලෙස අනෙක් අයට වඩා වැඩි ප්‍රතිලාභ ලබන බොහෝ දෙනෙක් එම ප්‍රතිලාභ වලින් කොටසක් වෙනත් අය සමඟ බෙදා ගන්න පැකිලෙන්නේ නැහැ. හැබැයි එහෙම වුනා කියලා හැම දෙනෙක්ම සතුටු වන්නේ නැහැ. තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු, එහෙත් අපේක්ෂාවන් ඊට වඩා වැඩි මිනිස්සු විශාල පිරිසක් ඕනෑම සමාජයක ඉන්නවා. සමහර වෙලාවට ඒ මිනිස්සු ඇති හැකි අය කැමැත්තෙන් තමන්ට දෙන දෙයකට වඩා දෙයක් ඔවුන්ගෙන් ලබා ගැනීම සඳහා සටන් කරනවා. 

මේ ආකාරයේ ඉල්ලීම් වරින් වර මතු වෙන එක නරක දෙයක් නෙමෙයි. හැම කෙනෙකුගේම ජීවිත "අවශ්‍ය පමණ" සුඛිත මුදිත නැති බව සමාජයේ වරප්‍රසාදිත කණ්ඩායම් වලට ඒත්තු යන්න ඉඳහිට හෝ මේ වගේ දේවල් වෙන්නත් ඕනෑ. ඒ වගේ ඉල්ලීමක් සාධාරණ බව කිසියම් සමාජයක බොහෝ දෙනෙකුට ඒත්තු ගිය විට එවැනි සමාජයක බහුතර කැමැත්තෙන් කාර්යක්ෂමතාවය අඩු වෙන යම් ක්‍රියාමාර්ග කරා යොමු වීමක් දැකිය හැකියි. මේ විදිහට කාර්යක්ෂමතාවය කැප කිරීමක් සිදු වෙන්නේ සමාජයක බහුතරය විසින් විශ්වාස කරන යම් ආකාරයක සමාජ සාධාරණත්වයක් වෙනුවෙන්. 

පූර්ණ ධනවාදයකට වඩා ආසන්න හැම රටකම වගේ හොඳ සුබසාධන යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙනවා. මේ හරහා කෙරෙන්නේ ධනවාදී තරඟය තුළ අසමත් වන කොටස් ගැන බලා ගන්න එකයි. එවැනි විකල්ප යාන්ත්‍රණයක් නැත්නම් ධනවාදී තරඟය තුළ පැරදෙන පිරිස් ක්‍රම විරෝධීන් බවට පත් වෙනවා. හැබැයි මේ ආකාරයේ සුබසාධන යාන්ත්‍රණයක් අදාළ සමාජයට දරාගත හැකි විය යුතුයි. එහි බරපැන දරන්න ප්‍රමාණවත් පිරිසක් නැතිව ගියොත් අවසාන වශයෙන් යහපතක් වෙනුවට සිදු වන්නේ අයහපතක්. ඒ නිසා, විෂමතා අවම කිරීම හා කාර්යක්ෂමතාවය නඩත්තු කිරීම අතර මනා සමතුලනයක් පවත්වා ගන්න වෙනවා. බටහිර රටවල ස්ථාපනය වී තිබෙන ද්වි පක්ෂ ක්‍රමය හරහා වෙන්නේ මේ වැඩේ.

අප කරගෙන ආ සාකච්ඡාව නැවැත්තුවේ මේ කරුණ ගැන විස්තර කරලා. සාකච්ඡාව නැවතුනේ පහත ලිපි වලින්.

ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය

ද්විපක්ෂ ක්‍රමය

ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය හා අතර සිදු වන මේ දෝලනය අස්සේ ජාතිකවාදයේ භූමිකාව මොන වගේ එකක්ද? ඊළඟට අපට කතා කරන්න තිබෙන්නේ මේ කරුණයි. මේ මාතෘකාව සඳහා පහත ලිපියෙන් ප්‍රවේශයක් ගත්තා. 

ජාතිකවාදී විකල්පය

මෙහිදී මම ජාතිකවාදය කියන එකෙන් මූලික වශයෙන්ම අදහස් කළේ ආර්ථික ජාතිකවාදයයි. ලංකාවේ ජාතිකවාදයේද ආර්ථික ජාතිකවාදී සංරචකයක් තිබුණත් එය ආර්ථික ජාතිකවාදය මත පාදක වූවක් නෙමෙයි. මම කතා කරන්න යන්නේ ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩනැගුනු බටහිර සමාජ වල ජාතිකවාදය පැන නැගුනේ කොහොමද කියන කාරණයයි. එයට වුවද විවිධ සාධක හේතු වන නමුත් මම අවධානය යොමු කරන්නේ ආර්ථික සාධක වෙතයි. 

මම දකින විදිහට මේ ආකාරයෙන් ආර්ථික ජාතිකවාදයක් ඉස්මතු වීම ධනවාදය සමඟ සුබසාධන ආර්ථිකයක් ක්‍රියාත්මක වෙද්දී අනිවාර්යයෙන්ම සිදු විය යුතු පරිණාමීය ප්‍රතිඵලයක්. ඒ ඇයි?

එහිම සෛද්ධාන්තික මූලික ස්වරූපය ගත්තොත් ධනවාදය දේශ සීමා කියා දෙයක් සලකන්නේ නැහැ. ඒ කියන්නේ ධනවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදීයි. දේශ සීමා කියා දෙයක් පවතිනවා කියා කියන්නේම වෙළඳපොළ කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියන එකයි. ඒ කියන්නේ වෙළඳපොළ දියුණු වීම හරහා අකාර්යක්ෂමතාවයන් අඩු වෙද්දී දේශ සීමා ඉරි මැකී යා යුතුයි.

මෙයින් වෙනස්ව සමාජවාදී ක්‍රමයකට පැවතිය හැක්කේම ජාතික රාජ්‍ය සීමාවන් ඇතුළේ. සමාජවාදයකට නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදී වෙන්න බැහැ. එවැන්නක් සෛද්ධාන්තිකව හෝ තිබිය හැක්කේ වෙළඳපොළ දියුණු වී ඒ හරහා ජාතික රාජ්‍ය වල වලංගු භාවය අහෝසි වී යාමෙන් පසුව ඇති විය හැකි දේශ සීමා නැති, පරිකල්පනීය ලෝකයක පමණයි. ඒ අතින් බැලුවොත් කවදා හරි එකපාරම ලෝක කම්කරු විප්ලවයක් කරන්න බලා ගෙන හිටපු (දැන් වුනත් අන්වීක්ෂයකින් බැලුවොත් අමාරුවෙන් හොයා ගත හැකි) ට්‍රොට්ස්කිවාදීන් හිතපු විදිහ හරි. (මෙයින් අදහස් කළේ ට්‍රොට්ස්කිවාදයේ පාදමේ තිබෙන මාක්ස්වාදයේ මූලික උපකල්පන නිවැරදියි කියන එක නෙමෙයි. එසේ නොවන බව ලිපි මාලාව තුළ කලින්ම පැහැදිලි කළානේ!)

සමාජවාදී ක්‍රමයක් නඩත්තු කරන්න අනෙක් මිනිස්සු වෙනුවෙන් හොඳ දේ තීරණය කළ හැකි "සාමාන්‍යයන් අතර අසාමාන්‍යයන්ගේ" කල්ලියක් අවශ්‍යයි. ජාතික රාජ්‍යයක් ඇතුළේ මේ භූමිකාව කරන්නේ රජය විසින්. රජය නඩත්තු වෙන්නේ අදාළ ජාතික රාජ්‍ය සීමාවේ සිටින මිනිසුන්ගේ ආන්තික ඵලදායීතාවයෙන් කොටසක් බලය යොදා උදුරා ගැනීම හරහා. සුබසාධනය කියා කියන්නේ ඒ උදුරා ගැනීම සාධාරණීකරණය කරන මෙවලමයි. මේ හරහා සමාජවාදී සමාජයක මිනිසුන් අතර සම්පත් බෙදී යාමේ විෂමතා අඩු කෙරෙනවා. සෛද්ධාන්තික ධනවාදයක ඒ වැඩේ වෙන්නේ නැහැ.

හැබැයි මෙවැනි රජයකට බලය යොදා උදුරා ගත හැක්කේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව තුළ සිටින මිනිසුන්ගේ  ආන්තික ඵලදායීතාවයෙන් කොටසක් පමණයි. එතැනින් එහා සිටින මිනිසුන්ගේ සම්පත් උදුරා ගැනීමේ හැකියාවක් සමාජවාදී රාජ්‍යයකට නැහැ. මේ හේතුව නිසා සමාජවාදී ජාතික රාජ්‍යයක් කොයි තරම් ජාත්‍යන්තරවාදී වෙන්න උත්සාහ කළත් වැඩි දුරක් යන්න කලින්ම ක්‍රමය තුළම පවතින නෛසර්ගික උගුලක හිර වෙනවා.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි ජාත්‍යන්තරවාදී සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටි සෝවියට් දේශය ගනිමු. ඔය වගේ ක්‍රමයක් ඇතුළේ සෛද්ධාන්තිකව ගත්තොත් ක්‍රියාත්මක වෙන්නේ යම් ආකාරයක රොබින් හුඩ් ක්‍රමයක්නේ. එය මතුපිටින් එලෙස පෙනීම හෝ නොපෙනීම වැදගත් කරුණක් නෙමෙයි. දැන් මේ ක්‍රමය ඇතුළේ දේශ සීමාව ඇතුළේ සිටින වඩා ඵලදායී මිනිසුන්ගේ වියදමින් අඩු ඵලදායීත්වයක් තිබෙන මිනිසුන්ව සුබසාධනය කෙරෙනවා. එය රටේ බහුතර මිනිසුන්ගේ කැමැත්ත සමඟ සමපාත වන තුරු මේ වැඩේ අවුලක් නැහැ.

දැන් මේ සමාජවාදය ජාත්‍යන්තරවාදී කරන්න ගියාම වෙන්නේ කුමක්ද? අපි හිතමු සෝවියට් රජය හිතන විදිහට සෝවියට් දේශයේ කම්කරුවෙකුට ලැබෙන වරප්‍රසාදම ලංකාවේ කම්කරුවෙකුටත් ලැබිය යුතුයි කියලා. එහෙම හිතනවානම්, සෝවියට් රජයට සෝවියට් කම්කරුවාව වගේම ලංකාවේ කම්කරුවාවත් සුබසාධනය කරන්න වෙනවා. හැබැයි මේ විදිහට සෝවියට් දේශයෙන් පිටත ඉන්න කම්කරුවෙකුව සුබසාධනය කිරීමේ පිරිවැය දරන්න වෙන්නේ සෝවියට් රාජ්‍ය සීමාව ඇතුළේම ඉන්න පිරිසකටයි. ලංකාවේ කාගෙන්වත් එහි වියදම අය කර ගැනීමේ හැකියාවක් සෝවියට් දේශයට නැහැ. ඒ කියන්නේ මෙවැනි ක්‍රමයක් ස්ථායී ක්‍රමයක් නෙමෙයි.

ඔය ක්‍රමය පවතින්නනම් සමාජවාදී රාජ්‍යයකට එකින් එක අනෙක් රටවල් ඈඳා ගන්නම වෙනවා. එසේ නැත්නම් නිල නොවන ලෙස එම සමාජවාදී රාජ්‍යයේම කොටසක් සේ පවතින පරිවාර රාජ්‍යයන් සේ පවත්වා ගන්න වෙනවා.සෝවියට් දේශය යම් දුරකට ඔය වැඩේ කළා. එහෙම කළත්, සමාජවාදී ක්‍රමයක පවතින නෛසර්ගික අකාර්යක්ෂමතාවය නිසා යා හැකි සීමාවක් තිබෙනවා. ඒ සීමාවට ආවට පස්සේ සෝවියට් ක්‍රමයේ සමාජවාදයකට පවතින්න බැහැ. 

ජාතික රාජ්‍ය සීමා තුළ සමාජවාදය ක්‍රියාත්මක කළ චීනය වගේ රටවල් වලට මේ ප්‍රශ්නයට මේ විදිහටම මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. ලෝකයේම සම්පත් බෙදී යාමේ විෂමතා අවම කිරීම ප්‍රායෝගිකව අසීරු වුවත් තමන්ගේ දේශ සීමාව තුළ ඒ වැඩේ කරන එක සාපේක්ෂව ඊට වඩා පහසු දෙයක්. මේ ක්‍රමය ඇතුළේත් සමාජවාදී ක්‍රමයක පවතින නෛසර්ගික අකාර්යක්ෂමතාවය තිබෙනවා. පසුකාලීනව චීනය විසින්නම් ඒ ප්‍රශ්නයටත් විසඳුම් හොයා ගත්තා.

සමාජවාදය තුළ තිබෙන මේ නෛසර්ගික ප්‍රශ්නය ධනවාදය තුළ නැතත්, ධනවාදය තුළ පවා සිදු වෙමින් තිබෙන්නේ ජාතික රාජ්‍යයන් වඩ වඩා ශක්තිමත් වීමක් බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කරුණක්. ඒ ඇයි?

ධනවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදීයි කියා මම කිවුවනේ. ඇත්තටම එය ඕනෑවට වඩා සරල ප්‍රකාශයක්. සෛද්ධාන්තිකව ධනවාදය කියන්නේ එකක් වුනත්, ධනවාදයකට ක්‍රියාත්මක විය හැක්කේ කිසියම් පොදු එකඟතා රාමුවක් තුළයි. නමුත්, ලෝකයේ හැම මිනිහෙකුටම අවිවාදිතව එකඟ විය හැකි මෙවැනි පොදු එකඟතා රාමුවක් නැහැ. ඒ නිසා, ධනවාදයක් ක්‍රියාත්මක වන නීතිද හැම විටම, හැම තැනම සමාන නැහැ. උදාහරණයක් විදිහට නිදහස් මිනිසෙක් කියන්නේ කවුද? හුවමාරු කළ හැකි භාණ්ඩයක් කියා කියන්නේ කුමක්ද? මේ වගේ දේවල් සම්බන්ධව නිරපේක්ෂ එකඟතාවන් තිබෙන්න අමාරුයි. මේ ප්‍රශ්නය පහත ලිපියේත් තරමක් දුරට සාකච්ඡා කර තිබෙනවා.

අපට නිදහස් කැමැත්තක් තිබේද?

සෛද්ධාන්තික ධනවාදයක් තුළ තිබිය යුතු වෙළඳපොළ කාර්යක්ෂමතාවය එලෙසම දැක ගන්න හැකි වෙන්නේ අදාළ ගනුදෙනු සිදු වන පද්ධතිය තුළ පොදු එකඟතාවයන් පවතින තරමටයි. ගනුදෙනුවක් කරද්දී තමන් මිල දී ගන්නා භාණ්ඩය කුමක්ද කියන එක ගැන මිල දී ගන්නා තැනැත්තාට නිසි අවබෝධයක් නැත්නම් කාර්යක්ෂමතාවය අඩු වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මේ සඳහා ගනුදෙනුවේ අනෙක් පාර්ශ්වය පිළිබඳ යම් විශ්වාසයක් තිබිය යුතුයි. ආගම්, සංස්කෘතිය, සදාචාර රාමු වගේ දේවල් වලින්ද මෙවැනි එකඟතාවන් බොහෝ දුරට ඇති කරන නමුත් නූතන ලෝකය තුළ ධනවාදයට ක්‍රියාත්මක විය හැකි පොදු එකඟතාවන් ඇති කිරීම බොහෝ දුරට සිදු වන්නේ නීති හරහා. මේ නීති ක්‍රියාත්මක වෙන්නේ ජාතික රාජ්‍ය සීමා තුළයි. 

ධනවාදය ක්‍රියාත්මක වන එකඟතාවන් හැම එකක්ම විශ්වීය එකඟතාවන් නොවන නිසා විවිධ ජාතික රාජ්‍ය සීමා ඇතුළේ පවතින මේ එකඟතා රාමුද එකිනෙකින් වෙනස්. ඒ වගේම, කිසියම් නිශ්චිත ජාතික රාජ්‍යයක් ඇතුළේ ක්‍රියාත්මක වන මෙවැනි එකඟතා රාමුවක් අදාළ ජාතික රාජ්‍ය සීමාව ඇතුළේ ජීවත් වන මිනිසුන්ගේ ආගමික විශ්වාස, සංස්කෘතිය, සදාචාර රාමු වැනි දේවල් මත පරායත්තයි. ඒ හේතුව නිසාම ආගමික විශ්වාස, සංස්කෘතිය, සදාචාර රාමු වැනි දේවල් අතින් වඩා සමාන ජාතික රාජ්‍ය අතර ධනවාදය ක්‍රියාත්මක වන එකඟතාවන්ද වඩා සමානයි. එවැනි රටවල් අතර සිදුවන වෙළඳපොළ ගනුදෙනුද වඩා කාර්යක්ෂමයි.

ධනවාදය විසින් නෛසර්ගිකවම ලාබය මිසක් ගනුදෙනුකරුවා කවුද කියන එක සලකන්නේ නැහැ. එහෙත්, ඇතැම් විට ධනවාදය ක්‍රියාත්මක වන නීති රාමුව තුළ එවැනි වෙනසක් තිබෙනවා. මෙයට හේතුව මිනිස්සු ස්වභාවිකවම උන්නතිකාමී හා පරාර්ථකාමී මිනිසුන් වනවාට අමතරව යම් තරමකින් ගෝත්‍රවාදීද වීම විය හැකියි. ගෝත්‍රවාදී වීමේද පරිණාමික වාසි තිබෙනවා. අඩු වශයෙන් යම් සන්දර්භ වල.

මිනිස් ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් එය යම් ආකාරයක සංක්‍රමණිකයන්ගේ ඉතිහාසයක්. තමන්ට වැඩියෙන් කාර්යක්ෂම විය හැකි, වැඩියෙන් ඵලදායී විය හැකි, තැන් හොයා ගෙන ඉතිහාසය පුරාම මිනිස්සු සංචරණය වුනා. මේ වැඩේ මිනිස්සු වගේම අනෙක් සත්තුත් කරන දෙයක්. හැබැයි එයින් අදහස් වෙන්නේ මේ වැඩේ ප්‍රතිරෝධයක් නැතිව සිදු වුනා කියන එක නෙමෙයි. වැට පැනලා වෙනත් පිරිසකගේ ගෝත්‍රික සීමාවට ඇතුළු වූ වහාම ගැටුමක් ඇති වෙන එක බොහෝ විට නොවැලැක්විය හැකියි. නූතන ලෝකයේ ජාතික රාජ්‍යයන් විසින් කරන්නේ මේ ගෝත්‍රික සීමා වඩාත් පැහැදිලි ලෙස සලකුණු කිරීමේ කාර්යය භාරයයි. ඒ අනුව, කලාතුරකින් හැර, මිනිහෙක් ඉපදෙන්නේම කිසියම් ජාතික රාජ්‍යයක පුරවැසියෙක් ලෙසයි.

නූතන ලෝකයේ එක්  ජාතික රාජ්‍යයක පුරවැසියෙකුට, කලාතුරකින් හැර, තමන්ට කැමති වෙලාවක වෙනත් ජාතික රාජ්‍යයක පුරවැසියෙක් වෙන්න බැහැ. බොහෝ වෙලාවට අඩු ගානේ වෙනත් ජාතික රාජ්‍යයක සීමාව ඇතුළට අඩිය තියන්නත් බැහැ. ධනවාදී පරමාදර්ශ අනුව බැලුවොත් මෙය කිසිසේත්ම පැවතිය හැකි හොඳම තත්ත්වය නෙමෙයි. එහෙමනම්, වෙළඳපොළ විසින් මේ ක්‍රමය වෙනස් නොකරන්නේ ඇයි?

ජාතික රාජ්‍යයක පුරවැසියන්ට වඩා ඵලදායී ලෙස නිෂ්පාදන කාර්යයට දායක විය හැකි වෙනත් රටක පුරවැසියෙකුගෙන් එම රටේ පුරවැසියෙකු විස්ථාපනය කරන එක කාර්යක්ෂම වුනත්, මේ වැඩෙන් රටේ පුරවැසියෙකුට රස්සාව නැති වී නිකම්ම නිකමෙකු වෙන්න පුළුවන්. අපි නිකම් හිතමු ලංකාව වගේ රටක ශ්‍රම මූලික රැකියා කරන, අඩු ආදායම්ලාභීන් පිරිසකට නිදහසේ ඇමරිකාවට එන්න අවස්ථාව තිබුණා කියලා. මේ පිරිසට ඇමරිකාවට ආපු ගමන් එක පාරටම ලංකාවේ හිටියාට වඩා ගොඩක් ඵලදායී වෙන්න ඉඩ ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආන්තික ඵලදායීතාව ලෙස වැඩි ආදායමක් උපයන්න ලැබෙනවා. ඔය වැඩේ මහා පරිමාණයෙන් වුනොත් සාපේක්ෂව අකාර්යක්ෂම ඇමරිකානු ශ්‍රමිකයන් පිරිසකට රස්සා නැති වෙනවා.

ඔය ආකාරයෙන් අකාර්යක්ෂමතාවයට දඬුවම් ලැබීම ධනවාදය තුළ ප්‍රශ්නයක් සේ සැලකෙන්නේ නැහැ. එය ධනවාදී යාන්ත්‍රනයේම කොටසක්. හැබැයි මේ වැඩෙන් යම් පිරිසක් පෞද්ගලිකව ලොකු අමාරුවක වැටෙනවා. ඒ මිනිස්සුන්ට, ජීවත්වීම පිණිස "රට හැර යන්න" වෙනවා. 

ඇමරිකාව වැනි රටක මේ වැඩේ දිනපතාම වාගේ සිදු වෙනවා. හැබැයි මෙහිදී රට හැර යාම යන්නෙන් ඇමරිකාවේ ජාතික රාජ්‍ය සීමාවෙන් එළියට යාමක් අදහස් වෙන්නේ නැහැ. වඩා හොඳ රැකියා අවස්ථාවන් හොයා ගෙන තමන් උපන් පෙදෙසේ සිට සැතපුම් දහස් ගණන් දුර පෙදෙස් වෙත සිදුවන අභ්‍යන්තර සංක්‍රමණයනුයි බොහෝ විට සිදු වෙන්නේ. වැඩි වශයෙන් සිදු වෙන්නේ ගමෙන් නගරයට යාමක් වුවත්, එහි අනෙක් පැත්තත් දුලබම නැහැ.

ඔය විදිහට රට ඇතුළේම වෙන ප්‍රාන්තයකට හෝ නගරයකට සංක්‍රමණය වෙලා ජීවිතේ ගැට ගහගන්න පුළුවන් වෙන්නෙත් රට ඇතුළේ කොහේ හරි රැකියා අවස්ථාවන් තිබුණොත්නේ. එහෙමත් නැති වුනොත් මොකද වෙන්නේ? බාහිර සංක්‍රමණිකයන්ට සීමාවකින් තොරව රටට එන්න ඉඩ දුන්නොත් කොහොමත් ඔය වැඩේ සිදු විය යුතුයිනේ. 

අඩු ආදායම් රටක ශ්‍රමිකයෙකුට මේ වගේ වෙලාවක, අවස්ථාව ලැබෙනවනම්, ඉහළ ආදායම් රටකට සංක්‍රමණය විය හැකි වුවත්, වැඩි ආදායම් රටක ධනවාදී තරඟයෙන් පරාජය වන ශ්‍රමිකයෙකුට අඩු ආදායම් රටකට සංක්‍රමණය වී ඒ විදිහටම ජාම බේර ගන්න බැහැ. ඒ නිසා, ධනවාදී තරඟය තුළ පරාජය වන අය ගැන සමාජය විසින් බලා නොගත්තොත් විශාල මානුෂීය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ ඉලක්කය වෙනුවෙන් ධනවාදයේ කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කිරීම බොහෝ දෙනෙකුට එකඟ විය හැකි දේශපාලන ඉලක්කයක්. 

අනෙක් පැත්තෙන් සමාජයේ පහළ ස්ථර අනෙක් අයගේ වියදමින් සුබසාධනය කරද්දී ඒ හේතුව නිසාම යම් පිරිසක් නිෂ්පාදනය සඳහා තමන්ට ලබා දිය හැකි දායකත්වයත් නොදී පැත්තකට වෙනවා. නිකම් ලැබෙද්දී මහන්සි වෙලා වැඩ කරන්නේ මොන ලබ්බකටද?

සමහර වෙලාවට ඔය හේතුව නිසාම ශ්‍රම හිඟයක් ඇති වෙලා ඒ අඩුව පුරවන්න පිටින් සංක්‍රමණිකයන් ගේන්න වෙනවා. එසේ එන සංක්‍රමණිකයින් ප්‍රමාණය වැඩි වීමට සමානුපාතිකව ධනවාදී තරඟයෙන් පරාජය වන ප්‍රමාණයද ඉහළ ගිහින් සුබසාධන වියදම් ඉහළ යනවා. එහි බර දරන්න වෙන්නේ වැඩ කරන පිරිසටයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට, ධනවාදී තරඟය තුළ පරාජය වන අය වැඩි වැඩියෙන් සුබසාධනය කරන තරමට සංක්‍රමණික විරෝධයද ඉහළ යනවා. පහළ ස්ථර සෘජුවම තමන්ගේ රැකියා අවස්ථා අහිමි වීම මත පදනම්ව. ඉහළ ස්ථර ඔවුන්ට විසින් දැරිය යුතු සුබසාධන වියදම් වල බර ඉහළ යාමේ හේතුවෙන්.

මෙයට පිළියමක් ලෙස සුබසාධන වියදම් කප්පාදු කළ විට ඉහළ ස්ථර මුහුණ දෙන ප්‍රශ්නය විසඳෙනවා. එහෙත් පහළ ස්ථර වල ප්‍රශ්න උග්‍ර වෙනවා. පහළ ස්ථර වල ප්‍රශ්න විසඳීම සඳහා සුබසාධන වියදම් වැඩි කළොත් ඉහළ ස්ථර මුහුණ දෙන ප්‍රශ්න වැඩි වෙනවා. ඇතැම් විට සංක්‍රමණික ශ්‍රමය වඩා කාර්යක්ෂම නිසා ඉහළ යන සුබසාධන පිරිවැයෙන් කොටසක් ආවරණය විය හැකි නමුත් යම් සීමාවකින් පසුව දෙපාර්ශ්වයටම සංක්‍රමණිකයන් බරක් සේ පෙනෙන්න පුළුවන්.

ද්වි පක්ෂ ක්‍රමය ඇතුළේ බොහෝ විට පහළ ස්ථර සුබසාධනය කිරීම වෙනුවෙන් වැඩිපුර පෙනී සිටින දේශපාලන ව්‍යාපාර වලට සංක්‍රමණිකයන් සම්බන්ධව තිබෙන්නේ ලිහිල් ප්‍රතිපත්තියක්. මොකද සුබසාධනය සඳහා පාදක කර ගන්නා අදහස හැම මිනිහෙක්ම සමානයි කියන අදහසට කිට්ටු අදහසක්. ඒ එක්කම හැම මිනිහෙක්ම සමානනම් රටේ මිනිස්සු හා විදේශිකයෝ වෙනස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් නිතැතින්ම මතු වෙනවා. ඒ නිසා, දේශපාලනිකව ගොඩක් වෙලාවට සුබසාධනය හා සංක්‍රමණිකයන්ට වැඩි අවස්ථා සැලසීම එකම පැකේජ් එකක කොටස් බවට පත් වෙනවා.

ඔය පැකේජ් එක කාලයක් තිස්සේ බටහිර රටවල ජනප්‍රියම දේශපාලන පැකේජ් එක වී තිබුණා. පැකේජ් එකේ සුබසාධන කොටසෙන් හැම විටම වගේ වෙන්නේ ධනවාදයේ කාර්යක්ෂමතාවය අඩු කරන එක. සංක්‍රමනික පිළිවෙතින්, එය පමණක් තනිව ගත්තොත්, ධනවාදයේ කාර්යක්ෂමතාවය ඉහළ යන නමුත් ඒ හරහා රැකියා අහිමි වන පිරිස් සුබසාධනය කළ යුතු නිසා එක් සීමාවකින් පසුව මේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පටන් ගන්නවා.

සංක්‍රමණික ප්‍රතිපත්ති පැත්තකින් තිබ්බොත්, ධනවාදය කොහොමටත් නිරන්තරයෙන් ලාබ වැඩි කර ගත හැකි ක්‍රම හොයනවා. එහිදී රැකියා අහිමි වෙනවා. ඇමරිකාව ගත්තොත් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය ඉහළ යනවා කියා කියන්නේ ජනගහණයේ ඉතා සුළු පිරිසක් විසින් රටේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදන ඉල්ලුම සපුරනවා කියන එකයි. එය සිදු වෙද්දී කෘෂිකාර්මික අංශයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසකගේ රැකියා අහිමි වීම නොවැලැක්විය හැකියි. එහෙත්, මෙයට සමාන්තරව කාර්මික අංශයේ රැකියා හැදුනා. ඒ නිසා, ඇමරිකානුවන්ට රැකියා ප්‍රශ්නයක් වුනේ නැහැ. ඇමරිකාව ගැන මේ කියන දේවල් අනෙක් බොහෝ බටහිර රටවලටද අදාළයි.

කොහොම වුනත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය වැඩි වූ නිසා මිසක් සංක්‍රමනිකයන්ගේ ලාබ ශ්‍රමය නිසා එම අංශයේ රැකියා වල නිරත වූ ඇමරිකානුවන්ට රැකියා අහිමි වුනේ නැහැ. යම් හෙයකින් ඇමරිකාවේ සංක්‍රමනික නීති මීට වඩා ලිහිල්ව පැවතුනානම් කෘෂිකාර්මික ශ්‍රමිකයන් සේ නිරන්තරයෙන් රටට එන සංක්‍රමනිකයන් හේතුවෙන් එම අංශයේ ලාබ අඩු වෙන්න නොදී පවත්වා ගත හැකි වන නිසා වේගවත් ස්වයංකරනයක් සිදු වී මේ තරම් ඉක්මණින් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාව ඉහළ යන්නේ නැහැ. ශ්‍රමිකයන්ට නිදහසේ ඇමරිකාවට එන්න පුළුවන්කමක් නොතිබුණු නිසාත්, වගා බිම් ශ්‍රමිකයන් සිටින රටවලට උස්සාගෙන යා නොහැකි නිසාත් අවසාන වශයෙන් කෘෂිකාර්මික අංශය වේගයෙන් යාන්ත්‍රීකරණය හා ස්වයංකරනය වුනා. එහි ප්‍රතිඵලය ලෙස සිදු වුනේද ඇමරිකානුවන්ගේ රැකියා නැති වීමම වුවත් එසේ රැකියා නැති වූ අයට කාර්මික හා නිෂ්පාදන අංශ වල රැකියා ලැබුණා. 

කාර්මික හා නිෂ්පාදන අංශ වල සේවය කිරීමට වුවද සංක්‍රමණිකයන්ට නිදහසේ ඇමරිකාවට එන්න පුළුවන්කම තිබුණේ නැහැ. එසේ වුවත්, වගා බිම් වලින් වෙනස්ව කම්හල් ලාබ ශ්‍රමිකයන් සිටින තැන් වලට ගෙන යා හැකි වූ නිසා මේ අංශ වල රැකියාද වැඩි කලක් සුරක්ෂිතව තිබුණේ නැහැ. අවසාන වශයෙන් ඇමරිකානුවන්ගේ (හා තවත් බොහෝ බටහිර රටවල) රැකියා අවස්ථා සැපයීමේ කාර්ය භාරය ඉටු කරන්න වුනේ සේවා අංශයටයි.

හැබැයි ධනවාදයේ ප්‍රගමනය නවතින එකක් නෙමෙයි. වඩා වඩා කාර්යක්ෂම වන ක්‍රම හොයන එක සේවා අංශය ඇතුළේද නිරන්තයෙන් සිදු වෙනවා. සේවා අංශය තව දුරටත් ස්වයංකරණය වෙද්දී මිනිස් ශ්‍රමය තව දුරටත් අනවශ්‍ය දෙයක් බවට (redundant) පත් වෙමින් තිබෙනවා. සේවා අංශය තුළ නැති වෙන රැකියා විස්ථාපනය වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. 

සංක්‍රමණ විරෝධයත් එක්ක මේ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් ලැබෙනවා. හැබැයි එය තාවකාලික විසඳුමක්ම පමණයි. සංක්‍රමණිකයන් පාලනය කළ විට ශ්‍රම වෙළඳපොළේ ඇතිවන අසමතුලිතතාවය තුළ රටවැසියන්ට යම් රැකියා ප්‍රමාණයක් ලැබෙන නමුත් ඒ හේතුව නිසාම ස්වයංකරණය සඳහා වන උත්සාහයන් වඩාත් වේගවත් වෙනවා. සංක්‍රමණික ශ්‍රමයට ඉල්ලුමක් තියෙන්නේම රටවැසියන්ගේ ශ්‍රමය සාපේක්ෂව අකාර්යක්ෂම නිසා. සංක්‍රමණික ශ්‍රමය පැමිණෙන එක වැළැක්වූ පමණින් රටවැසියන්ගේ ශ්‍රමය කාර්යක්ෂම වෙන්නේ නැහැ. එහි අකාර්යක්ෂමතාවය එලෙසම තිබෙනවා. කලින් තිබුණු විසඳුමත් දැන් නැහැ. ඒ නිසා, අලුත් විසඳුමක් ලෙස ස්වයංකරණය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ස්වයංකරණය සමඟ රැකියා අහිමි වීමේ ප්‍රශ්නය නැවත වටයකින් මතු වීම නොවැලැක්විය හැකියි.

රැකියා අහිමි වීමේ ප්‍රශ්නය ආකෘතිමය ලෙසම උග්‍ර වෙනවා කියා කියන්නේ ක්‍රමයේ ස්ථාවරත්වය සඳහා සුබසාධනයද හොඳ මට්ටමක පවත්වා ගත යුතු බවයි. එක පැත්තකින් ශ්‍රම හිඟයක් නැති වීමත්, අනෙක් පැත්තෙන් සුබසාධන වියදම් ඉහළ යාමත් විසින් සංක්‍රමණිකයන්ට අවස්ථා සැලසීම වඩාත් "වියදම් අධික" කටයුත්තක් බවට පත් වෙනවා. මම මෙහිදී අදහස් කරන්නේ කුසලතා සහිත තෝරා ගත් සංක්‍රමනිකයින් ගැන නෙමෙයි. එවැනි අයගෙන්නම් ලාබයක් මිසක් පාඩුවක් නැහැ.

ධනවාදයට විකල්පයක් පෙනෙන මානයක නැහැ. ධනවාදී තරඟය තුළ පරාජය වන පිරිස් සුබසාධනය නොකරමින් ධනවාදය පවත්වා ගන්න පුළුවන් බවකුත් පෙනෙන්නේ නැහැ. මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ ජාතික රාජ්‍ය වඩ වඩා ශක්තිමත් වීම සහ ජාතිකවාදය පුළුල් සම්මතයක් බවට පත් වීමයි. එයින් රටවල් තුළ ආදායම් විෂමතාවන්හි හානි අඩු වෙනවා. එහෙත් රටවල් අතර ආදායම් විෂමතා ඉහළ යනවා. 

Sunday, October 17, 2021

ලංකාව ගැන අයිඑම්එෆ් එක හිතන දේ


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරි කාලය පිළිබඳ ඔවුන්ගේ පුරෝකථන ඇතුළත් අර්ධ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තාව පදනම් වන්නේ 2021 සැප්තැම්බර් 27 දින දක්වා ඔවුන් වෙත වාර්තා වී තිබුණු සංඛ්‍යාලේඛණ මතයි.

අදාළ වාර්තාව අනුව 2020 වසරේදී 3.1%කින් හැකිළුණු ලෝක ආර්ථිකය මේ වසරේදී 5.9%කින්ද, 2023 වසරේදී 4.9%කින්ද වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබෙනවා. 2020 වසරේදී 3.4%කින් හැකිළුණු ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය මේ වසරේදී 6.0%කින්ද, 2023 වසරේදී 5.2%කින්ද වර්ධනය වීමට නියමිතයි. 2020දී 6.3%කින් හැකිළුණු යුරෝ කලාපය මේ වසරේදී 5.0%කින් හා ඉදිරි වසරේදී 4.3%කින්ද,  9.9%කින් හැකිළුණු එක්සත් රාජධානිය මේ වසරේදී 6.8%කින් හා ඉදිරි වසරේදී 5.0%කින්ද ප්‍රසාරණය වීමට නියමිතයි. 

සංකෝචනය නොවුනත්, 2020 වසරේදී 2.3% දක්වා පහත වැටුණු චීනයේ ආර්ථිකය 2021 හා 2021 වසර වලදී 8.0% හා 5.6% අනුපාත වලින් ඉහළ යද්දී, 7.3%කින් හැකිළුණු ඉන්දියාවේ ආර්ථිකය 9.5% හා 8.5% අනුපාත වලින් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කරනවා. 

ලංකාවේ ආර්ථිකය 2020 වසරේදී 3.6%කින් හැකිළුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මේ වසරේදී ආර්ථිකය 3.6%කින් වර්ධනය වී නැවත ලංකාව 2019 සිටි තැනට පැමිණෙනවා. ඉන් පසු 2022 වසරේදී 3.3%කින් ප්‍රසාරණය වෙනවා. මේ අනුව, 2020-2022 තෙවසර තුළ අපේක්ෂිත සාමාන්‍ය වර්ධන වේගය 1.1%ක්. ඉතා අඩු වර්ධන වේගයක් වුවත්, කලාපයේ අනෙකුත් රටවල් පිළිබඳ පුරෝකථන සමඟ සැසඳූ විට මෙය අසාමාන්‍ය නරක තත්ත්වයක් නෙමෙයි.

පසුගිය වසරේ, මේ වසරේ හා ඉදිරි වසරේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය චීනයේ 5.3%ක්, ඉන්දියාවේ 3.6%ක් හා බංගලි දේශයේ 4.9%ක් වුවත්, නේපාලයේ 1.4%ක්, මැලේසියාවේ 1.3%ක්, තායිලන්තයේ -0.2%ක් හා මාල දිවයිනේ 0.0%ක් පමණයි. මියන්මාරයේ එය -4.9%ක්.

ආර්ථික වර්ධනය අඩාල වුවත් ඉදිරි තෙවසර තුළ ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර නැහැ. අදාළ පුරෝකථන අනුව 2021 හා 2022 වසර වල ලංකාවේ උද්ධමනය 6.0 හා 6.5 මට්ටම් වල පැවතීමට නියමිතයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන හැම විටම නිවැරදි නැහැ. එහෙත්, මේ පුරෝකථන තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය පිළිබඳව සිතන ආකාරය පිළිබිඹු වෙනවා. ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගැනීම පිණිස, ආර්ථික වර්ධන ඉලක්ක පසෙක ලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලංකාවේ රජය හා මහ බැංකුව යොමු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන බවක් මේ පුරෝකථන තුළින් ගම්‍ය වෙනවා.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...