වෙබ් ලිපිනය:

Thursday, November 4, 2021

කාබනික ආහාර උන්මාදය

ලංකාවේ කාබනික ගොවිතැන ගැන මේ වෙද්දී ගොඩක් අය කතා කරලා තියෙනවා. කෝච්චිය අද්දලා ටිකක් වෙලා වුනත් තවම අපිටත් ගාඩ් පෙට්ටියේ හරි එල්ලෙන්න පුළුවන්නේ! අනිත් එක කාබනික ගොවිතැන ගැන කතා නොකළත්, අපිත් පොදුවේ කෘෂිකර්මය ගැන වගේම, ලංකාවේ කෘෂිකර්මය ගැනත් මොනවා හරි කතා කරලා තියෙනවනේ!

ලෝකයේ ලොකුම කාබනික ආහාර වෙළඳපොළ ඇමරිකා එක්සත් ජනපදයයි. 2019 වසරේදී යුරෝ බිලියන 106.4ක් වූ සිල්ලර කාබනික ආහාර වෙළඳාමෙන් 42%ක, එනම් යුරෝ බිලියන 44.7ක සිල්ලර වෙළඳාමක් සිදු වුනේ ඇමරිකා එක්සත් ජනපදය තුළයි. ඇමරිකාවෙන් පසුව ලෝකයේ ලොකුම කාබනික ආහාර වෙළඳපොළවල් වන්නේ පිළිවෙලින් ජර්මනිය (යුරෝ බිලියන 12.0ක්) හා ප්‍රංශයයි (යුරෝ බිලියන 11.3ක්). සමස්තයක් ලෙස යුරෝපීය සංගමය තුළ සිදු වන කාබනික ආහාර සිල්ලර වෙළඳාම ඇමරිකාවේ එම වෙළඳ පරිමාවට ආසන්නයි (යුරෝ බිලියන 41.4%ක් හෙවත් 39%ක්).

ඒක පුද්ගල පදනම මත බැලුවොත් කාබනික ආහාර වෙනුවෙන් වැඩිම වියදමක් දරන අය සිටින්නේ පිළිවෙලින් ඩෙන්මාර්කය (යුරෝ 344ක්), ස්විට්සර්ලන්තය (යුරෝ 338ක්) හා ලක්සම්බර්ග් (යුරෝ 265ක්) යන රටවලයි. මේ රටවල් ඒක පුද්ගල ආදායම අතින් ඉහළින්ම සිටින රටවල් බව පැහැදිලිව නිරීක්ෂණය වන කරුණක්.

කාබනික ආහාර වෙළඳපොළ ඉතා වේගයෙන් වර්ධනය වන වෙළඳපොළක්. 2000 වසරේදී යුරෝ බිලියන 15.1ක සීමා වූ මෙම වෙළඳපොළ 2019 වෙද්දී එමෙන් හත් ගුණයක් දක්වා විශාලනය වීමෙන් මේ බව පැහැදිලිව පේනවා. කෙසේ වුවත් කාබනික කෘෂිකර්මය වෙනුවෙන් තවමත් යොදා ගැනෙන්නේ ලෝකයේ ගොවිබිම් වලින් 1.5%ක් පමණයි.

ලෝකය පුරා විසිරී තිබෙන, කාබනික ගොවිතැන සඳහා යොදා ගන්නා වගාබිම් හෙක්ටයාර මිලියන 72.3කින් අඩක් පමණම, එනම් හෙක්ටයාර මිලියන 35.7ක්ම පිහිටා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එරට වගාබිම් ප්‍රමාණයෙන් 26.1ක්. රටේ වගාබිම් වලින් ඊට වඩා වැඩි කොටසක් කාබනික ගොවිතැන වෙනුවෙන් වෙන් කර තිබෙන එකම රට ලෝකයේ කුඩාම සහ පොහොසත්ම රටක් වන ලික්ටන්ස්ටයින් රට පමණයි. 

ඉහත සඳහන් කාබනික වගාබිම් වලින් තුනෙන් දෙකක් පමණම (හෙක්ටයාර මිලියන 49ක් පමණ) තණබිම්. ඒ කියන්නේ තණබිම් ඉවත් කළ විට කාබනික කෘෂිකර්මය වෙනුවෙන් තවමත් යොදා ගැනෙන්නේ ලෝකයේ ගොවිබිම් වලින් 0.5%ක් පමණයි. 2019 වසරේදී ලංකාවේ වගාබිම් හෙක්ටයාර 70,432ක කාබනික ගොවිතැන් සිදු වී තිබෙනවා. 2018 වසරේදී ලාංකිකයින් හෝ ලාංකික සමාගම් 318ක් විසින් කාබනික ආහාර අපනයනය කර තිබෙනවා. 2015 වසරේදී ලංකාව කාබනික ආහාර අපනයනය කිරීමෙන් යුරෝ මිලියන 259ක ආදායමක් උපයා තිබෙනවා.

ඇමරිකාවේ විකිණෙන ආහාර වලින් 5.8ක් පමණම මේ වෙද්දී කාබනික ආහාර. කාබනික ආහාර භාවිතය වැඩි වශයෙන්ම ඉහළ ආදායම් ලබන්නන්ගේ කටයුත්තක් වුවත්, ඇමරිකානුවන්ගෙන් හතරෙන් තුනක් පමණම යම් තරමකට හෝ කාබනික ආහාර මිල දී ගන්නවා. 

ඇමරිකාවේදී කාබනික ආහාර හොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. බොහෝ තැන් වල කාබනික ආහාර විකුණන්න තිබෙනවා. බැලූ බැල්මට කාබනික ආහාර හා අනෙකුත් ආහාර අතර හඳුනාගත හැකි කිසිම වෙනසක් නැහැ. උදාහරණයක් විදිහට, කාබනික ඇපල් ගෙඩියක් හා එම වර්ගයේම සාමාන්‍ය ඇපල් ගෙඩියක් ලඟින් තැබුවොත් කාබනික ඇපල් ගෙඩිය වෙන් කර හඳුනා ගන්න බැහැ. එහෙත්, කාබනික ඇපල් ගෙඩියක මිල සාමාන්‍ය ඇපල් ගෙඩියක මිලට වඩා වැඩියි. 

කාබනික ආහාර වල මිල සාමාන්‍ය වශයෙන් එම වර්ගයේම සාමාන්‍ය ආහාර මිල මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙම "කාබනික අධිභාරය" 50% පමණ සිට 300% පමණ දක්වා වෙනස් වෙනවා. කාබනික ආහාර වල යම් සෞඛ්‍යමය ප්‍රතිලාභ ඇති බව තහවුරු වී තිබුණත්, එම ප්‍රතිලාභ ඉහත මට්ටමේ විශාල අධිභාරයක් ගෙවීමට තරම් විශාල ප්‍රතිලාභ නෙමෙයි. 

කාබනික ආහාර වෙනුවෙන් මෙවැනි විශාල අධිභාරයක් ගෙවන බොහෝ දෙනෙක් එයින් සෘජුව තමන්ට ලැබෙන සීමිත සෞඛ්‍යමය ප්‍රතිලාභ වලට අමතරව පසෙහි හා ජලයෙහි ගුණාත්මකභාවය පවත්වා ගැනීම, පරිසර දූෂණය අඩු කිරීම, ආහාර පිණිස ඇති කරන සතුන්ට ස්වභාවික පරිසරයක ජීවත් වීමට ඉඩ සැලසීම වැනි වෙනත් බොහෝ දේවල් අපේක්ෂා කරනවා. වැඩිපුර සල්ලි ගෙවන්නේ ඒ දේවල් වලටත් එක්ක. හරියට ඇමරිකානුවෙක් ලංකාවේ මහන ඇඳුමක් මිල දී ගනිද්දී එම ඇඳුම් මහන ශ්‍රමිකයන් වැඩ කරන වාතාවරණය හොඳ මට්ටමක නඩත්තු කිරීම වෙනුවෙන්ද මුදලක් ගෙවනවා වගේ.

කාබනික ආහාර වෙනුවෙන් වැඩි මිලක් ගෙවන බොහෝ පාරිභෝගිකයින් විසින් එසේ කරන්නේ යම් සමාජයීය අරමුණක්ද පෙරදැරිව නිසා අදාල අරමුණ ඉටු කර ගත හැකි යාන්ත්‍රණයක්ද අවශ්‍ය වෙනවා. කාබනික ආහාර කියා සාමාන්‍ය ආහාර අලෙවි කළොත් අවශ්‍ය වැඩේ වෙන්නේ නැහැ. එක පැත්තකින් මෙය අප මීට පෙර කතා කර ඇති හලාල් ආහාර සම්බන්ධ තත්ත්වයටද සමානයි.

පාරිභෝගිකයෙකුට කාබනික ආහාර වෙන් කර හඳුනා ගැනීම සඳහා කිසියම් නිර්ණායකයක් අවශ්‍ය වෙනවා. මෙහිදී හලාල් ආහාර සහතික කරනවාක් මෙන් කාබනික ආහාරද නිපදවන ක්‍රමය පරීක්ෂා කර සහතික කිරීමක් කළ යුතු වෙනවා. මෙවැනි සහතිකයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා ලැයිස්තුවක් තිබෙනවා. 

කාබනික වගාවේදී කෘතීම පොහොර, නාගරික අපද්‍රව්‍ය හෝ නාගරික අපද්‍රව්‍ය අඩංගු ජලය, කෘතීම කෘමිනාශක (කලාතුරකින් හැර), ආහාර කල් තබා ගැනීම සඳහා යොදන රසායන, වර්ධක හෝමෝන හා ප්‍රතිජීවක ආදිය යොදාගත නොහැකි අතර, රෝග වලින් හෝ  කෘමීන්ගෙන් ආරක්ෂා විය හැකි පරිදි හෝ අස්වැන්න වැඩි කරගැනීම සඳහා ජාන තාක්ෂනය යොදා ගත නොහැකියි. ඒ වෙනුවට, බෝග කොටස්, කොම්පෝස්ට් පොහොර, ආවරණ ශාක, පරිවාරක ශාක කොටස් (mulch), ස්වභාවික කෘමිනාශක, කාබනික වගාව සඳහා අනුමත සීමිත කෘතිම කෘමිනාශක (අවසාන විකල්පයක් ලෙස කලාතුරකින්), සශ්‍ය මාරුව හා ජෛව පාලනය වැනි ක්‍රම යොදා ගැනෙනවා.

ඇමරිකාවේ සිල්ලර වෙළඳපොළේ විකිණෙන කාබනික ආහාර කාණ්ඩ කිහිපයකට බෙදිය හැකියි.


100%ක් කාබනික- මෙම සහතිකය යෙදිය හැක්කේ ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය සියල්ල කාබනික ක්‍රමයට හදා තිබෙන ආහාර සඳහා පමණයි.


කාබනික- ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 95%ක් කාබනික ක්‍රමයට හදා තිබිය යුතු අතර ඉතිරි 5% තුළ වෙනත් අනුමත ආහාර ද්‍රව්‍ය අඩංගු විය හැකියි.

කාබනික ආහාර වලින් සදා ඇති (Made with organic)- ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 70%ක් කාබනික ක්‍රමයට හදා තිබිය යුතු අතර එම අමුද්‍රව්‍ය මොනවාදැයි පැහැදිලිව සඳහන් කළ යුතුයි.

අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 70%ක් කාබනික ක්‍රමයට හදා නැත්නම් එවැනි ආහාර වල අමුද්‍රව්‍ය ලැයිස්තුවෙහි ඒ බැව් සඳහන් කරනු මිස කාබනික ආහාර සේ හැඳින්විය නොහැකියි.

ඇමරිකාව, යුරෝපය ඇතුළු බටහිර ලෝකයේ කාබනික ආහාර සඳහා වන ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන්නේ ඇයි? මේ ගැන අපි දෙවන කොටසකින් කතා කරමු.


15 comments:

  1. COP26 Summit එකේදි, ටමිල්නාඩු වලින් ආපු solar powered ironing cart නව නිපැයුම කරපු අවුරුදු පහලොවක් වයස විනිශාගෙ කතාව සහ ලංකාවෙ කෘෂිකර්ම ඇමතිතුමා කරපු කතාව කොයිතරම අහසට පොලොව වගේද. ඇය කියනවා 'We will lead, even if you don't, we will build the future even if you are stuck in the past' කියලා (පෝස්ට් එකට ලොකු සම්බන්ධයක් නැතිවුනත් කියවද්දි ඔලුවට ආවෙ ඒක).

    ReplyDelete
  2. කාබනික වගාවට හෙන ගැහුවත් නැතත් පොහොර සහනාධාරෙට නම් හෙන ගහල ඉවරයි!

    ReplyDelete
    Replies
    1. ඔය $කේ සහනාධාර ලබ්බවල් නිසා තමා හෙණගැහිල ගිහිං තියෙන්නෙ කියල හිතෙන්නැද්ද ඇනො තුමාට.

      Delete
    2. සහනාධාර දෙන්නේ ඩොලර් වලින් නෙවෙයි රුපියල් වලින්, රසායනික පොහොර මිටියක් (කිලෝ 50 ක මල්ලක්) රුපියල් 3,500 න් උඩ සාමාන්‍යයෙන් යනවා, මේ දවස්වල ගිනි ගණන්. රජය විසින් පොහොර සහනාධාරය සමග මේ එක මිටියක් ගොවීන්ට රුපියල් 350.00 කට දී ඉතුරු 3150 රජය විසින් පොහොර සමාගම් වලට ගෙවීම මගින් ලේසියෙන්ම වී මිල සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් හාල් මිල රුපියල් 80 දක්වා අඩු කිරීමට ලේසියෙන්ම කරන්න පුළුවන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා මැනවින් පැහැදිලි කරා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතදීත් කීප සැරයක්ම. නමුත් ගොන් මෝඩ මීහරක් වහන්සේ කෙනෙක් වෙන තොල්බරි සේල්ස් රෙප් කම්බා හොරා සහ ආණ්ඩුවේ බූරු රංචුව කියන්නේ වෙන බයිලා, රජයට සල්ලි නැතිලු ඩොලර් හිඟලු, කාබනික පොහොර ගෙදර හදා ගන්න ලු වැල් බයිලා, එහෙම නම් මොකටද රටකට ආණ්ඩුවක්. සජිත් මහතා පැහැදිලිව කිව්වා මම දේශපාලනඥයෙක්, සල්ලි හොයා ගන්න විදිය මම දන්නවා සජබ රජයක් යටතේ අනිවාර්යයෙන්ම පොහොර හැමෝටම ඇති වෙන්න ලබා දෙන බවත් තව රජයෙන් හැමෝටම රුපියල් 20,000 ක දීමනාවක් ලබා දී මට හැකි බව. ඉතින් ඔහුට පුළුවන් නම් මේ මීහරක් හැත්තට බැරි ඇයි? ඇත්ත කතාව මුන් බිලියන ගණනක් හොරා කන නිසා තමයි පෝර ගේන්න සල්ලි නැතිලු ඩොලර් හිඟලු බයිලා සේරම. හොරකම් නවත්වල ඒ හොරා කාපු සල්ලි හොයා ගත්තා නම් ඕව වැඩ නෙවෙයි. රංජන් රාමනායක වගේ කෙලින්ම හොරකමට එරෙහිව සටන් කරන කෙනෙක්ගේ වටිනාකම තේරෙන්නේ මේ දවස් වල තමයි වැඩියෙන්ම...

      Delete
  3. මම අහගෙන මහින්දානන්ද ගොයිය කියනව රසායනික පොහොර සහ රසායනික කෘමි/වල් නාශක නැතිව කරල පාඩු වෙනව කියල දන්නව ඒ පාඩු වෙනවට සහනාධාර යක් දෙනව නරත්තං වන්දියක් දෙනව කියල.
    කාවද මේ රවට්ටන්නෙ. 😒😒😒

    අපි බුසල් ගණං කුඹුරු කරනව. ඒ අස්සෙ රස්සාවත් කරනව. නැත්තං කන්න බොන්න තිබුණත් අවශේෂ වැඩ වලට ආර්ථිකය දුරුවල වෙනවනෙ. නමුත් මේ උන්දල කියන විදිහට අපි ගොවිතැනේම ඒකට එල්ලිලම ඉන්න ඕන. ඒම එල්ලිලම නැතත් ඒ මට්ටමටම හිටපු මනුස්සයො තමා හුඟක්ම මැහි තෙල් බීල මැරෙන්නෙ කියල කල්පනා කරන්නැ. නැත්තං ඒව පෙනුනත් නොපෙනුනා වගේ ඉන්නව.

    දැනටත් ලංකාවෙ නිෂ්පාදනය වෙන සහල් පාරිභෝජන යට මදි. මේ කාබනික මගුලෙන් වෙන්නෙ තවත් විදේශ විනිමය පිටට ඇදිල යන එක නෙවීද.

    කාබනික ගොව්තැනට කිසි සේත්ම එරෙහි නෑ. ඒකට කැමති අයට ඒ ආහාර වලට ඒ අවස්ථා තියෙන්න ඕන. නමුත් මේක බලාත්කාරයෙන් මිනිස්සු මත පටවන එක අන්තිම නින්දිතයි. ඒ ගැන කවුරුවත් කතා කරන්නැත්තෙ ඇයි.

    ReplyDelete
  4. කාබනික වගාව සහ කාබනික රසායන විද්‍යාව දෙකේම එන්නෙ එකම කාබනිකයද?
    කාබන් නැතිනම් ඒක කාබනික පොහොරක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. නැහැ. තනිකරම දෙකක්. ඇත්තටම මේ ලිපියේදී "කාබනික ආහාර" යන වචනය භාවිතා කිරීමම වැරදියි. නමුත්, මට වෙනත් සුදුසු වචනයක් පිළිබඳව මතක් වුනේ නැහැ.

      ලිපියේ ලියා ඇති පරිදි, කාබනික කෘෂිකර්මයේදී, කෘතීම පොහොර, නාගරික අපද්‍රව්‍ය හෝ නාගරික අපද්‍රව්‍ය අඩංගු ජලය, කෘතීම කෘමිනාශක (කලාතුරකින් හැර), ආහාර කල් තබා ගැනීම සඳහා යොදන රසායන, වර්ධක හෝමෝන හා ප්‍රතිජීවක ආදිය යොදාගත නොහැකි අතර, රෝග වලින් හෝ කෘමීන්ගෙන් ආරක්ෂා විය හැකි පරිදි හෝ අස්වැන්න වැඩි කරගැනීම සඳහා ජාන තාක්ෂනය යොදා ගත නොහැකියි. ඒ වෙනුවට, බෝග කොටස්, කොම්පෝස්ට් පොහොර, ආවරණ ශාක, පරිවාරක ශාක කොටස් (mulch), ස්වභාවික කෘමිනාශක, කාබනික වගාව සඳහා අනුමත සීමිත කෘතිම කෘමිනාශක (අවසාන විකල්පයක් ලෙස කලාතුරකින්), සශ්‍ය මාරුව හා ජෛව පාලනය වැනි ක්‍රම යොදා ගැනෙනවා. කාබනික කෘෂිමර්මය සඳහා අනුමත ලැයිස්තුවේ රසායන විද්‍යාවේදී අකාබනික ලෙස සැලකෙන දේවල් ගණනාවක් තිබෙනවා. ඒ වගේම, රසායන විද්‍යාවේදී කාබනික සේ සැලකෙන ඇතැම් දේවල් කාබනික කෘෂිමර්මයේදී යොදා ගත නොහැකියි. මේ වචනයේ තිබෙන්නේ තරමක් දුරට "සම්ප්‍රදායික" වැනි අර්ථයක්.

      Delete
    2. මෙහි තිබෙන අනුමත හා තහනම් රසායන ලැයිස්තුව බලන්න.

      https://www.ecfr.gov/current/title-7/part-205/subpart-g

      Delete
    3. මමත් හිතන්නෙ ඉකොනො කියන දේම තමයි. නමුත් පහුගිය දිනවල මහින්දානන්ද එප්පාවල පොස්පේට් වලින් කාබනික පොහොර හදල දෙනව කිව්වම ඒ මනුස්සයට ලන්කාවෙ කශ්ටිය රසායන විද්‍යාව උගන්නන්න පටන් ගත්ත නිසා ඇහුවෙ.

      Delete
    4. ඉස්සර කියල තියෙන්නේ "ඓන්ද්‍රීය ද්‍රව්‍ය" කියලා, මෑතක ඉදන් තමයි කාබනික කියන්නේ

      Delete
    5. හැබැයි ඓන්ඩ්‍ද්‍රීය ද්‍රව්‍ය කියන එකත් වැරදි මහිතෙ.

      Delete
  5. මේ තියෙන්නේ ලංකාවේ රජයේ මුදල් නාස්ති කරන ආකාරය පිළිබඳව හොඳින් තේරුම් ගන්න පුළුවන් කෙටි වීඩියෝවක්;

    https://www.facebook.com/jvpsrilanka/videos/601323177499871/

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න දෙකක් ඇත.

      01. අදාල ඇමතිවරුන්ට මහජන මුදල් (සාමාන්‍යයෙන් රුපියල් මිලියන 14 ක් විතර) වැය කොට මිලියන 20ක පමණ එස් යූ වී රථ වෙනුවට ඩබල් කැබ් මිලදී ගත්තේ එම ලේකම්වරයාට කරදර නිසා බව පවසා ඇත. ලේකම්ලාට පරිපාලන කටයුතු කිරීමට අමාත්‍යවරුන්ට මෙන්ම වැටුපක්, වාහන පර්මිට් සහ වෙනත් විවිධාකාර විශාල ප්‍රමාණයක් වරප්‍රසාද ආදිය ලැබේ. එම වැටුප් ලබාගන්නා ගමන් තමන්ට කරදර නිසා මෙවැනි තීරණ කොපමණ මොවුන් අරන් ඇතිද? මේවාට වග කියන්නේ කවුද?

      02. අනෙක් ප්‍රශ්නය, දුප්පත් ජනතාව දුක් විඳින එක ගැන ඉතාමත්ම සංවේදී එම ඇමතිවරු වෙනුවෙන් මෙම ලේකම් වරයා ඒ සඳහා රුපියල් මිලියන 20 ක් විතර වන SUV රථ මිල ගණන් වැඩි බව සහ නඩත්තු වියදම් අඩු කර ගැනීම සඳහා යැයි පවසමින් සාමාන්‍ය ජනයා රවටමින්, සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් මිලියන 13.5 - 14 ක් පමණ වටිනා සහ එම ඉහත කී SUV රථ වල චැසිය මතම යම් තරමකින් වෙනස් බොඩි එකක් සවිකර ඇති, එක හා සමාන එන්ජින් සහ සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් සමාන නඩත්තු කටයුතු වියදම් කරන්න ඕන වන ඔය බ්‍රෑන්ඩ් නිව් පිකප් ට්‍රක්/ ඩබල් කැබ්ම අවශ්‍යවූයේ ඇයි?

      ඒ වෙනුවට ඇමතිවරු දෙදෙනාම මීට වඩා විශාල වශයෙන් ලාභදායී සහ නඩත්තු කටයුතු වියදම් ඉතාමත් කුඩා අගයක් සහිත බජාජ් ත්‍රීරෝද රථ සහ/ හෝ ඇල්ටෝ 800 වගේ මෝටර් රථයක් තෝරා නොගත්තේ ඇයි? ඒ හරහා මීට වඩා විශාල ලෙස මුදල් ඉතුරු කිරිමේ හැකියාව අමතක කර ඉතා කුඩා මුදලක් (මිලියන හතක අටක පමණ) ඉතුරු කරපු එක ගැන මෙතරම් පම්පෝරි ගහන්නේ ඇයි?

      ඇත්තටම මේ වෙනුවට ඇමතිවරු තම performance (කාර්යසාධනය) හරහා අදාළ අමාත්‍යාංශයෙන් රටේ සමස්ත ආර්ථිකය දියුණුවට කළ දේ මගින් ඇතිකළ වර්ධනය නිසිලෙස ඇස්තමේන්තු කර පැවසීය හැකිද? එම අගය අවම වශයෙන් වසරකට රුපියල් මිලියන පන්සියයක් වත් විය යුතුයි, මොකද රජයේ සමස්ත වියදම බිලියන 2500 ක් විතර වෙනවා නම් බිලියන 0.007 ක් විතරක් ඉතුරු කරලා කරන්න පුළුවන් දේවල් මොනවද?

      මේ ගැන ඉකොනොමැට්ටාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
  6. ඉකොනො දන්නවා ඇතිනේද බ්‍රිතාන්‍යයේ ඔක්සිෆර්ඩ් සරසවිය යටත් ක්‍රියාත්මක Linacre College අධ්‍යයන ආයතනය ඉදිරියේදී එහි නම Thao College ලෙස වෙනස් කිරීමට සූදානමින් සිටින බවත් ඊට හේතුව වියට්නාමයේ ධනවත්ම කාන්තාවක් ලෙස සැලකෙන න්ගුයෙන් ති ෆුඔන්ග් තාඕ විසින් එම ආයතනයට සිදුකර ඇති පවුම් මිලියන 155ක ප්‍රදානයකින් පසුව මෙම තීරණය ගත් බව? ඇත්තටම පවුම් මිලියන 155 කියන්නෙ ඩොලර් මිලියන 205 ක් විතර. ලංකාවේ කොරවලපිටියෙ විදුලි බලාගාරයෙන් බාගයකුයි ගෑස් අධිකාරිය සම්පූර්ණයෙන්මයි ඇමරිකාවට (ඇමරිකන් සමාගමකට- (c) බූරුවංස) විකුණුවේ ඩොලර් මිලියන 250 ට. ඒ නිසා "වැහි නැති හෙනයන් පාත්වෙන්න ඕනැ ඕක කරපු යැංකි ඩිකීලා දෙන්නාට" කියලා ලංකාවේ විපක්ෂයේ සහ බහුතර වාමාංශික සහ ඇමරිකානු විරෝධී පිරිස් දිගින් දිගටම සාප කරගෙන යන අයුරු ඔබ දකින්නට ඇතිනේ. ඒ වගේම කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පරිසරවේදීන් ඇතුළු කණ්ඩායම් පවුම් මිලියන 155කට මෙලෙස නම් වෙනස් කිරීමේ තීරණයට දැඩි ලෙස විරෝධතාව දක්වා තිබේ. වියට්නාමයේ සුප්‍රසිද්ධ Sovico සමූහයේ ප්‍රධානියා වන තාඕ මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදුවන්නේ 1962 වසරේදී පිහිටවුණු මෙම Linacre විද්‍යාලය, පුනරුද සමයේ සිටි මානවවාදියෙකු, විද්‍යාඥයෙකු සහ සම්භාව්‍ය ලේඛකයෙකු වූ Thomas Linacre වෙනුවෙන් තම් කර ඇති නාමය වෙනස් කොට මෙම තාඕගෙන් හිමිවන මිලියන ගණනක් වූ මුදලින් ඉදිරියේදී නව උපාධි මධ්‍යස්ථානයක් මෙම ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ආයතනය සැලසුම් කිරීමයි.

    මේ ගැන වැඩි විස්තර මේකෙන් ඔබටත් දැන ගැනීමට පුළුවන් වේවි;

    https://www.theguardian.com/education/2021/nov/03/oxford-college-to-change-its-name-after-155m-donation

    https://www.dailymail.co.uk/news/article-10163057/A-Vietnamese-airline-tycoon-paid-155m-rename-Oxford-college.html

    ඒත් ඉකොනොමැට්ටා මම හිතන්නේ මෙයා ලංකාවට ඔය පවුම් මිලියන 155 දුන්න නම් ලංකාවෙ නම වෙනස් කරල දේවි තාඕ හරි එහෙම බැරි නම් තා ඕ ලංකාව කෑවෝ ඒ වගේ වෙන මගුලක් හරි කියල මොකෝ නැද්ද? මේ ගැන ශ්‍රාස්ත්‍රාලීය පර්යේෂකයකු සහ ඇකඩමික ඉන්ටලෙක්චුවල් කෙනෙක් ලෙස ඔබේ එක්ස්පර්ට් නිරීක්ෂණ සහ අදහස් මොනවද කියලා විස්තර කරලා ලියන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
  7. දැම්මත් ලනුවක් නාහෙට
    ගොන්නු යන්නෙ අඩමානෙට
    උන් තෝරන රට්ටුන්හට
    බෙහෙතක් කොහෙදෝ පොවන්ට

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...