වෙබ් ලිපිනය:

Friday, November 5, 2021

කෘෂිකර්මයේ කාබනික අදියර


කිසියම් රටක වෙළඳපොළ කොයි තරම් දියුණුද, නිෂ්පාදන ක්‍රියාවලිය කොයි තරම් කාර්යක්ෂමද, ඒ රට කොයි තරම් ධනවාදීද ආදී කරුණු අදාළ රටේ ජාතික ආදායමෙන් හා ශ්‍රම බලකායෙන් කෘෂිකර්මයේ පංගුව දෙස බලා නිර්නය කළ හැකියි. ආර්ථික අර්ථයකින් රටක් ප්‍රගතියේ දිශාව කරා ගමන් කරන තරමට ජාතික ආදායමෙහි හා ශ්‍රම බලකායෙහි කෘෂිකාර්මික කොටස කුඩා වෙනවා.

මෙය මෙසේ විය යුත්තේ ඇයි?

ආහාර කියා කියන්නේ මිනිහෙකුගේ මූලිකම අවශ්‍යතාවය. කන්න තියෙනවානම්, නිදාගන්න අගු පිලක්වත් නැත්නම්, අඩු ගානේ ගලක් උඩ හෝ ගහක් යට වුවත් නිදා ගෙන ජීවත් වෙන්න පුළුවන්.  කන්න තියෙනවානම්, රෙදි නැතුව ජීවත් වෙන්න පුළුවන්. කන්න තියෙන නිසා, කෑම  හොයාගෙන රෙදි නැතුව කඩේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි කෑම නැතිව වැඩි දවසක් ජීවත් වෙන්න බැහැ. බඩගිණි දැනෙන කොට කොහෙන් හෝ ලෙමන් පෆ් එකක් හරි හොයා ගන්න වෙනවා.

මිනිසෙකුගේ මූලිකම අවශ්‍යතාවය ආහාර නිසා ඕනෑම මිනිහෙකුගේ පළමු ප්‍රමුඛතාවය වන්නේ තමන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කර ගැනීම. වෙළඳපොළක් නැත්නම්, හුවමාරුවක් සිදු නොවේනම් මිනිහෙකුට තමන්ගේ ආහාර තමන් විසින්ම නිපදවා ගන්න සිදු වෙනවා. මිනිහෙක් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කරන්නේ කවර හෝ ආකාරයකින් තමන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වී ඇත්නම් පමණයි.

හැමෝම තම තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගන්නවා කියා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රාථමිකම අවස්ථාව. මේ වගේ පසුබිමක, හැමෝටම තමන්ගේ බඩ ගැන හිතනවා හැර වඩා සංකීර්ණ නිෂ්පාදනයක් ගැන හිතන්න ඉඩ සැලසෙන්නේ නැහැ. එහෙත්, තමන්ට අවශ්‍ය ආහාර වෙනත් අයෙකු විසින් නිපදවනු ඇති බවට සහතිකයක් ඇති විට මිනිස්සු වඩා සංකීර්ණ නිෂ්පාදන වෙනුවෙන් තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කරනවා. ඒ හරහා, සමාජයක් ප්‍රගතියේ දිශාව කරා ගමන් කරනවා.

මේ ආකාරයෙන් කෘෂිකර්මයෙන් විතැන් වන සමාජයක කිසියම් පිරිසක් විසින් ලබා දෙන දායකත්වය නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ යනවා. කෘෂිකර්මයෙහි නිරත එක් අයෙකුට පිරවිය හැකි බඩවල් ගණන ඉහළ යනවා. ආහාර සුරක්ෂිතතාව ගැන වද නොවී, වෙනත් දේවල් කිරීම සඳහා වැඩි පිරිසක් නිදහස් වෙනවා. 

ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි. මේ පිරිස රටේ ඉතිරි 99.3%ටම අවශ්‍ය ආහාර හදනවා පමණක් නොව, ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන අතර විශාල ලෙස නාස්ති කර දැමීමටත් ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් හදනවා. 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් බිලියන 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්). ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.

රටේ මිනිස්සුන්ට ඇති තරමට කන්න, නාස්ති කරන්න වගේම පිටට විකුණන්නත් ප්‍රමාණවත් තරම් ආහාර රටේ ජනගහණයෙන් 0.7%ක් විසින් හදනවා කියන එකෙන් පැහැදිලි වන්නේ ඇමරිකාව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුව විසඳීමෙන් පසුවත් සෑහෙන දුරක් ගමන් කර තිබෙන බවයි. මෙය මේ කරුණ තුළින් පමණක්ම ගම්‍ය නොවේනම් තවත් කරුණු ගණනක් ඉදිරිපත් කර පැහැදිලි කළ හැකියි.

ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක මූලික අදියරේදී කෘෂිකර්මයෙන් විතැන් වන ශ්‍රමිකයන් හමුවේ තිබෙන අභියෝගය වන්නේ කෘෂිකාර්මික ශ්‍රමිකයන් සමඟ හුවමාරු කළ හැකි ඔවුන්ට වටිනා දෙයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකයි. යම් සීමිත පිරිසක් විසින් මේ වැඩේ සාර්ථකව කරනවා. මේ සීමිත පිරිසට ගැනුම්කරුවන් (කෘෂිකාර්මික ශ්‍රමිකයන්) විශාල පිරිසක් සම්මුඛ වෙනවා. උදාහරණයක් විදිහට උදළු තලයක් හදන කම්මල්කරුවෙක් ගනිමු. දැන් මේ කම්මල්කරුවාට තමන් හැදූ උදළු තලය හුවමාරු කර ගැනීමට සූදානම් ගොවි-ගැනුම්කරුවන් විශාල පිරිසක් සම්මුඛ වෙනවා.

හුවමාරුව සිදු වන්නේ වී සමඟ කියා හිතමු. දැන් මේ කම්මල්කරුවා උදළු තලය හුවමාරු කරන්නේ වැඩිම වී ප්‍රමාණයක් තමන්ට දෙන ගොවි-ගැනුම්කරුවා සමඟ. මෙහිදී උදළු තලයක් ලබා ගන්න අවශ්‍ය අනෙක් ගොවි-ගැනුම්කරුවන්ට කෙසේ හෝ තමන්ගේ වී නිෂ්පාදනය වැඩි කර ගන්න වෙනවා. මොකද හුවමාරුවක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය සැපිරුනු පසුව පමණයි.

කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරු භාණ්ඩයක් වූ වහාම. ගොවීන් අතර තරඟය වැඩි වී ඒ තුළින් සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියත් ඒ හේතුව නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල පහළ යනවා. උදළු තලයේ හුවමාරු වටිනාකම ඉහළ යනවා. ඒ එක්කම අර ගොවි-ගැනුම්කරුවන්ට උදළු තලයක් මිල මිල අධික භාණ්ඩයක් වෙනවා. උදළු තල හදන තැනැත්තෙකුගේ ආහාර සුරක්ෂිතතාවය ගොවියෙකුගේ ආහාර සුරක්ෂිතතාවයටත් වඩා ඉහළ යනවා. 

ඉහත ආකාරයෙන් යමෙකුට තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම සඳහා තිබෙන වඩා හොඳ විකල්පය තමන්ම කෘෂිකර්මයෙහි නියැලීම නොව කෘෂිකර්මයෙන් ඉවත් වීම වූ විට එවැන්නන් කෘෂිකර්මයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එහිදී සමාජ ප්‍රගමනයට හේතු වන දේවල් දෙකක් සිදු වෙනවා. එක පැත්තකින් එසේ කෘෂිකර්මයෙන් ඉවත් වන අය එතෙක් බොහෝ දෙනෙකුගේ පරිභෝජන පැසෙහි නොතිබුණු දේවල් අලුතෙන් නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ දේවල් ගොවි-ගැනුම්කරුවන් සමඟ හුවමාරු කිරීම හරහා, අඩු මහන්සියකින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සපුරා සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා. අනෙක් පැත්තෙන් මේ විදිහට අලුතෙන් හදන හෝ හොයා ගන්නා ඇතැම් දේවල් වලින් කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ යනවා. ඒ නිසා, සෘජුව කෘෂිකර්මයෙහි යෙදෙන අයටත් අඩු මහන්සියකින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා.

මානව ඉතිහාසය කියා කියන්නේ මිනිස්සු බඩගින්න සමඟ සටන් කළ ඉතිහාසයක්. ඉතාම මෑතක් වන තුරු සමස්තයක් ලෙස මිනිස්සු හිටියේ බඩගින්නේ. දැනටත් ලෝකයේ බඩගින්නේ සිටින මිනිස්සු ඉන්නවා. එහෙත්, අඩු වශයෙන් මේ වෙද්දී ඇමරිකාවේ හෝ ධනවාදී සංවර්ධනයේ සමාන අදියරක සිටින වෙනත් රටවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුවක් නැහැ. මේ තත්ත්වය අත් කර ගැනීමට රසායනික පොහොර, කෘෂිරසායන ආදියෙන් ලැබී තිබෙන දායකත්වය ඉතා විශාලයි.

බඩගින්නේ සිටින අයෙක් මුලින්ම බලන්නේ බඩගින්න නිවාගත හැකි මොනවා හෝ දෙයක්. එහෙත්, ආහාර සුරක්ෂිතතාවය තවදුරටත් කණස්සල්ලට කාරණයක් නොවූ පසු මිනිස්සු තමන්ගේ ආහාර වල ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා. ප්‍රධාන ඉලක්කය ආහාර සුරක්ෂිතතාවය වූ විට ගොවි-සැපයුම්කරුවන් එකිනෙකා සමඟ තරඟ කරන්නේ අස්වැන්න වැඩි කරගෙන, අඩු මිලකට කෘෂි නිෂ්පාදන සැපයීම මගින් වුවත් මේ අදියරට පැමිණි පසු ඔවුන්ට තමන් විකුණන ආහාර වල ගුණාත්මක භාවය වෙනුවෙන් අධිභාරයක් අය කරන්න ඉඩ ලැබෙනවා.

ඔය ආකාරයෙන් ධනවාදී ක්‍රමයක් තුළ ගොවි-සැපයුම්කරුවන් අතර තරඟය මුලදී අඩු මිලට කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමේ තරඟයක් වුවත්, මේ තරඟය තුළින් රටේ හැමෝගෙම වගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වුනාට පසුව මිල සාධකයේ වැදගත්කම අඩු වෙලා යනවා. ඉන් පසුව, ගොවි-සැපයුම්කරුවෙකුට ලාබ ලැබිය හැක්කේ අනෙක් තරඟකරුවන්ට වඩා ගුණාත්මක භාවයෙන් වැඩි නිෂ්පාදිත වෙළඳපොළට දැමීමෙන්. 

හැබැයි එක් අයෙක් මේ දේ කළාට පස්සේ අනෙක් අයත් ගුණාත්මක භාවය ඉහළ දමනවා. එසේ නොකර වෙළඳපොළ තුළ පැවැත්මක් නැහැ. අවසානයේදී වෙන්නේ සමස්තයක් ලෙස ගුණාත්මක භාවය ඉහළ යාම. 

මෙය ලංකාවෙන් වුවත් නිදර්ශන අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. අපි පොඩි කාලේ හාල් ගරනවා කියන එක බත් ඉවීමේ අනිවාර්ය අංගයක්. හරියට හාල් ටික ගැරුවේ නැත්නම් දත් සෙට් එක ඉවරයි!

ගල් වැලි නැති සම්බා සහල් කිලෝ පහේ කවර වෙළඳපොළට ආවේ ඔය වගේ පසුබිමක. මුලදී මේ හාල් විකිණුනේ සැලකිය යුතු අධිභාරයක් එක්ක. මිල සංවේදී අය ඔය ගල් වැලි නැති හාල් පස්සේ ගියේ නැහැ. අඩුවට තිබෙන හාලක් ගෙනත් ගරලා ලිපේ තියා ගත්තා. එහෙත් කාලයක් යද්දී ගල් වැලි සහිත හාල් වලට වෙළඳපොළක් නැතිව ගියා. 

රටක මිනිස්සුන්ගේ බඩවල් පුරවන්න ප්‍රමාණවත් තරමට ආහාර ඒ රටේ හැදෙන්න පටන් ගත්තට පස්සේ තව දුරටත් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒ තරම් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද නිෂ්පාදනය වැඩි කළා කියලා ඉල්ලුම තවත් වැඩි වෙන්නේ නැහැ. තව බෙදාගන්න අවශ්‍ය නැති තරමට කාගේත් බඩවල් පිරිලා. 

රටක ආහාර නිෂ්පාදනය ආහාර අවශ්‍යතාවය ඉක්මවූ පමණින් රටේ හැමෝගෙම ආහාර සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නැහැ. පහළ ආදායම් ස්ථර වලට තව දුරටත් බඩගින්න දැනෙන්න පුළුවන්. එහෙත්, ඇමරිකාව වැනි රටවල ක්‍රියාත්මක සුබසාධන වැඩ සටහන් නිසා මේ ප්‍රශ්නය ඇති වන්නේත් නැහැ. ඒ නිසා, ඇමරිකාව වැනි රටවල කෘෂිකාර්මික අංශයේ කාර්යක්ෂමතාවය වැඩි වීම කාලයක සිටම සිදු වන්නේ ගුණාත්මක භාවය වැඩි වීම හරහා.

මේ ආකාරයෙන් ගුණාත්මක භාවය වැඩි වීමත් මේ වෙද්දී යම් සංතෘප්ත මට්ටමකට ඇවිත්. අඩුම මිලකට මිල දී ගන්නා අවම ගුණාත්මක භාවය තිබෙන ආහාරයක ගුණාත්මක භාවය වුනත් මේ වෙද්දී ගොඩක් ඉහළයි. ඒ කියන්නේ, ඇමරිකාව වැනි රටක අඩුම ආදායම් ලබන පහළම සමාජ ස්ථර වල සිටින අයට පවා මේ වෙද්දී ආහාර සුරක්ෂිතතාවය ගැටළුවක් නොවනවාක් මෙන්ම ඔවුන්ට ලබා ගත හැකි ආහාර වල ගුණාත්මක භාවයද ගොඩක් වැඩියි. 

කෘෂිකාර්මික නිෂ්පාදිත මේ වගේ මට්ටමක් දක්වා දියුණු වුනාට පස්සේ ගුණාත්මක භාවය ඉහළ දමලා ලාබ ලබා ගැනීමේ හැකියාවත් අහෝසි වී යනවා. එහෙත්, ධනවාදී තරඟය තුළ දිගින් දිගටම කිසියම් ආකාරයක අගය එකතු කිරීමක් සිදු විය යුතුයි. කාබනික කෘෂිකර්මය තුළ සිදු වන්නේ මේ වැඩේ. 

කාබනික ආහාරයක් වෙනුවෙන් අධිභාරයක් ගෙවන අයෙක් එසේ කරන්නේ ගල් වැලි නැති හාල් මිල දී ගනිද්දී මෙන් එයින් තමන්ට සෘජුව ලැබෙන දෙයක් දිහා බලාගෙන නෙමෙයි. මෙහිදී කාබනික ආහාරය වෙනුවෙන් ගෙවන මිලට පරිසරය රැක ගැනීම වැනි වෙනත් අරමුණු වෙනුවෙන් ගෙවන මිලක්ද එකතු වෙනවා. 

මේ වගේ තත්ත්වයකට එන්න රටක කෘෂිකර්මාන්තය මා පෙර සඳහන් කළ අදියර දෙකම පසු කළ යුතුයි. පළමු අදියරේදී මොන ක්‍රමයෙන් හෝ නිෂ්පාදනය ඉහළ දැමීමෙන් රටේ සමස්ත ආහාර ඉල්ලුම සම්පූර්ණ කෙරෙනවා. දෙවන අදියරේදී එම ආහාර වල ගුණාත්මක භාවය ඕනෑම කෙනෙකුට සෑහීමට පත් විය හැකි මට්ටමකට ඉහළ යනවා. මෙතැනින් එහාට කෘෂිකාර්මික නිෂ්පාදිතයකට තව දුරටත් අගය එකතු කිරීමක් කරන්න අවශ්‍යනම් එය කරන්න වෙන්නේ එම නිෂ්පාදනයට සෘජුව සම්බන්ධයක් නැති දෙයක් සමඟ සම්බන්ධ කිරීමෙන් පමණයි.

කාබනික කෘෂිකර්මයේදී නිෂ්පාදිතයට අගය එකතු කරන ක්‍රමය නිසාම නිෂ්පාදිතය සීමා වෙනවා. ඒ නිසා, මිල අඩු වන්නේ නැහැ. කාබනික අධිභාරය දිගටම පවත්වා ගත හැකියි. තමන් මිල දී ගන්නා භාණ්ඩය තුළ සෘජුව දැකිය නොහැකි දෙයක් වෙනුවෙන් මේ අධිභාරය ගෙවන්න කැමැති අය කාබනික ආහාර මිල දී ගන්නවා. 

මේ වෙළඳපොළට පැවතිය හැක්කේම මිල සංවේදී පාරිභෝගිකයන් වෙනුවෙන් සමාන්තර ලෙස කාබනික නොවන වෙළඳපොළක්ද තිබෙන නිසා. මොකද බහුතර පාරිභෝගිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවය හා එම ආහාර වල ගුණාත්මකභාවය තහවුරු නොවන තාක් කෘෂිකර්මාන්තයේ අගය එකතු කිරීම් වැඩි වන යාන්ත්‍රනයක් තිබෙනවා. කාබනික කෘෂිකර්මාන්තයට අවස්ථාව සැලසෙන්නේ එම වෙළඳපොළ සංතෘප්ත වීමෙන් පසුවයි.

5 comments:

  1. ඉකොනොමැට්ටා,

    ඇමරිකානු එක්සත් ජනපදයේ වාර්ෂික සමස්ත කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක් කියන්නේ ගොඩක්ම මදි නේද? මොකද ඇමරිකන් එක්සත් ජනපදය කියන්නේ වර්ග කිලෝමීටර් මිලියන 9.834 ක් තියෙන රටක්. නමුත් ව.කි.මී. 65,610 වගේ සාපේක්ෂව ලොව කුඩාම රාජ්‍යක් වන ලංකාව වගේ නොදියුණු අකාර්යක්ෂම අසංවිධිත කුඩා ගොවීන් හා සුළු වතු හිමියන් බහුතරයක් සිටින රටක් වෙලාත් ලංකාව අපනයන භෝහ ආදායම වසරකට ඇමරිකන් ඩොලර් බිලියන තුනක් විතර. තේ වලින් ඩොලර් බිලියන එක හමාරක්, පොල් වලින් තවත් බිලියන් එකක් විතර සහ වෙනත් කුළු බඩු සහ එලවලු ඇතුලු දේවල් වලින් ලංකාවේ අපනයන ආදායම සමන්විතයි.

    සමස්තයක් වශයෙන් ගත් විට ඇමරිකන් එක්සත් ජනපදය ලංකාව මෙන් 150 ස් ගුණයක් විතර විශාල රටක් ලෙස ඔවුන් යටත් පිරිසෙයින් ලංකාව තරම කාර්යක්ෂම නම් අවමට වත් වශයෙන් ලංකාවට සාපේක්ෂව ඩොලර් බිලියන 500 ක වත් අපනයන ආදායමක් ලබා ගත යුතුයි.

    අනෙක ඇමරිකන් එක්සත් ජනපදයේ සෞම්‍ය කාලගුණය සහිත දැවැන්ත ජල සම්පාදන ව්‍යාපෘති අධික ප්‍රාග්ධනය, නවීනතම තාක්ෂණය කියන් හැමදේම තියෙනවා.

    ලංකාවේ බොහෝ වගාවට නුසුදුසු බිම් පවා වෙන කරන්න දෙයක් නැති කමින් මහ හෙල් වල පවා වගා කරනවා, නමුත් ඇමරිකන් එක්සත් ජනපදයේ සුදුසුම ඉඩම් තෝරා වගා කරන්න ඕනෑ තරම් ඉඩම් තියෙනවා, ගොඩක් ඇමරික ගොවීන් අක්කර 5000/ 3000 වගේ විශාල මහා පරිමානා ඉකොනොමි ඔෆ් ස්කේල් වලින්ද සන්නද්ධයි, නමුත් ලංකාවේ නූගත් දුප්පත් කුඩා අක්කර කාල බාගේ වවන දිළිඳු ගොවීන් ඇමරිකන් ගොවීන් පරද්හන්නේ කොහොමද?

    අනෙක ඇමරිකන් ගොවීන් මෙහෙම හරි අපනයනය කරන්නේ ඇමරිකනාධිපත්‍යය නිසා, විශේශයෙන්ම බලහත්කාරයෙන් ට්‍රම්ප් අත්සන් කල ගිවිසුම අනුව චීනය අනිවාර්යයෙන් ඩොලර් බිලියන 300 ක් ද කීයක්ද ගානක බඩු ඇමරිකාවෙන් ගත යුතු නිසා ඔවුන් අකමැත්තෙන් ඇමරිකන් සෝයා බොංචි විශාල වශයෙන් මිලදී ගන්නවා වගේ, තව තිරිඟු ඇතුළු බොහෝ දේ මෙහෙම ලෝක ආධිපත්‍ය නිසා ලැබෙන වෙළඳ පොලවල්, නමුත් ලංකාවේ දුප්පත් අපනයනකරුවන් තරඟකාරීත්වයෙන් අමරුවෙන් අපනයනය කරන්නේ එහෙම නේද? 2010 - 16 කාලේ ලංකාවට යුරෝපීය ගී එස් පී සහනය තිබ්බෙත් නෑ දැන් ඔන්න ආයෙත් ඒක අයින් කරන්න යනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    ඇමරිකන් වගා බිම් සහ ලංකාවේ වගා බිම් ප්‍රමාන සැසදීමත් අසාර්ථකයි මොකදැ ඇමරිකන් එක්සත් ජනපදය වගේ ලොව වැඩිම ස්වඹ්හාවික සම්පත් ඇති රටක වගේ නෙවෙයි ලංකාවේ සම්පත් නැති නිසා මුඩු ඉඩම් වල පවා තේ පොල් රබර් වගේ ඒවා අමාරුවෙන් වවන නිසා, ඇත්තටම මේකට හේතුව මොකක්ද?

    මීට අමතරව ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 500 ක් හෙවත් රු. ට්‍රිලියන භාගයක සීමාව 2021 නොවැම්බර් 05 වෙනිදා ඉක්මවා යමින් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිං ආන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 78.40 සීමාව ඉක්මවා යාමත් සමඟම එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය මේ අනුව රු. බිලියන 500 සීමාව අභිබවා ගොස් ඇත. මේ නිසා ලංකාවේ කොටස් වෙලඳ පොළේ ඉදිරියේ කඩාවැටීමක් විය හැකියිද?

    ReplyDelete
    Replies
    1. කරුණාකර "කෘෂිකර්මය" ලේබලය සහිත පැරණි ලිපි කියවන්න.

      Delete
  2. ඉකොනොමැට්ටා,

    ලංකාවේ වගේම ලෝකේ හැම රටකම වගේ දේශපාලනය ගැන ඉතාමත් කෙටියෙන් පැහැදිලි කිරීමක් මේ කෙටි වීඩියෝ එකේ තියෙන බව පේනවා නේද? මේ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද මෙහි සඳහන් කාරණා ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් සඳහා අඩු වැඩි වශයෙන් අදාලයි නේද?

    https://www.facebook.com/slvlog/videos/262012272385198/

    ��

    ReplyDelete
    Replies
    1. යම් තරමකින් එකඟ විය හැකියි. මුළුමනින්ම නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ දේශපාලනය කිරීම කියා කියන්නේ තමන්ගේ මතවාදය වැඩි පිරිසකට ඒත්තු ගැන්වීම. කොයි තරම් නිවැරදි අදහසක් වුවත් වැඩි දෙනෙකුට ඒත්තු ගැන්විය නොහැකිනම් ඒ අදහස වැඩි දුරක් යන්නේ නැහැ. ඇතැම් තත්ත්වයන් යටතේ බොරුවක් වැඩි දෙනෙකුට ඒත්තු ගැන්වීම වඩා පහසු වෙන්න පුළුවන්. එහෙත් ඒ හේතුව නිසාම දේශපාලනය සඳහා අනිවාර්යයෙන්ම බොරු කිව යුතුයි කියන එක ගම්‍ය වන්නේ නැහැ.

      Delete
  3. සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ වහාම ලංකාව පුරාම සියලුම ආකාරයේ වගාවන් සඳහා ගොවියාට ඇති තරම් රසායනික පොහොර ලබාදෙන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අදත් මාධ්‍ය වලින් සඳහන් කරා.

    එමෙන්ම මේ රජය බලයේ සිටින කාලය පුරාම වගා හානි වූ ගොවීන්ට ඇති තරම් වගා වන්දි මීළඟ 2024 මැතිවරණය සමගි ජන බලවේගයේ නායකත්වය සමග සාකච්ඡා කර ඇති පරිදි ජයගත් වහාම ක්‍රියාත්මක වී අවශ්‍ය තරමට රසායනික පොහොර ලබාදෙන බවද ඔහු සහතික කොට රටේ බහුතර ගොවීන්ට ප්‍රතිඥා දුන්නා.

    ඒ වගේම වත්මන් රජය බලයට පැමිණියේ සුරංගනා ලෝකයක් පෙන්වා වුවද අද ඒ පොරොන්දු කිසිවක් ඉටු කර නැතැයිද ෆොන්සේකා මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නා.

    අද ලංකාවේ බහුතරයක් ජනතාව හාමතේ පෙළෙන බවත් රට හදන්න පුළුවන් එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බවත් පීඩාවට පත්ව සිටින ජනතාවට සේවය කිරීම සඳහා දිවා රෑ නොබලා පැය 24ම පාහේ කැප කිරීම් කරමින් වෙහෙසෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේ, හැබැයි මේ කියන විදියට රසායනික පොහොර සහ වෙනත් පළිබෝධ නාශක ආදිය ගෙන්වීමට අවශ්‍ය ඩොලර් මිලියන 300 - 500 ක් විතර මුදල් සොයා ගැනීමට අවශ්‍ය ක්‍රමය ගැන ඔහු පැහැදිලි කළේ නෑ. ඇත්තටම සමගි ජන බලවේගයේ රජයක් 2024 ලංකාවේ බලයට පැමිණුන විට මුදල් සොයා ගැනීමට කෙබඳු ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබේ ද? දැනට ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එජාපයේ රනිල් වික්‍රමසිංහ වැනි අය පවසන්නේ වහාම IMF වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, නමුත් ඔවුන් නම් සහනාධාර කප්පාදු කරන ආකාරයේ දේවල් පැවසුවේ. IMF වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන මොහොතක පොහොර සහනාධාර වැනි දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද? මට නම් ඒ ගැන සැකයක් තියෙනවා. නමුත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලට වැඩි මිලකට ආනයනය කිරීමට ඉඩ දී රජය ඉන් ඉවත් වී රට තුල දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් වලට අවශ්‍ය පහසුකම් සහ අඩු පොළියට ණය ආධාර වැනි දේවල් ලබා දීම වඩාත් සුදුසු බව මගේ හැඟීමයි මේ ගැන ඔබ යෝජනා කරන්නේ කුමන වැඩ පිළිවෙළක් ද?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...