වෙබ් ලිපිනය:

Friday, October 22, 2021

ධනවාදයේ හා සුබසාධනවාදයේ දරුවා


පසුගිය ලිපි ගණනාවකම අවධානය යොමු කෙරුණේ ලංකාවේ ආර්ථිකය වෙතයි. ලංකාව ගැන එක දිගට කතා කරන්න යාම නිසා කතා කරමින් සිටි ඇතැම් මාතෘකා තරමක් දුරට මග හැරුණා. මෙම වියුණුවෙහි ලිපි ගණනාවකින් අප ධනවාදය ගැන කතා කළා. ධනවාදයෙහි කාර්යක්ෂමතාවය සමඟ තරඟ කළ හැකි වෙනත් විකල්පයක් නැති බව පැහැදිලි කළා. ධනවාදය තුළ නිෂ්පාදනය සඳහා දායක වන හැම දෙනෙකුටම තමන්ගේ ආන්තික ඵලදායීතාව ලැබෙන ආකාරය විස්තර කළා. 

එසේ වුවත්, ලෝකයේ කිසිම රටක පූර්ණ ධනවාදයක් නැහැ. හැම රටකම වගේ රජය විසින් යම් තරමකින් වෙළඳපොලට මැදිහත් වීමක් කරනවා. එහිදී කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කරන්න සිදු වෙනවා. මෙය කරන්නේ ධනවාදය තුළ ළඟා කර ගත නොහැකි ඉලක්කයක් වන ආදායම් විෂමතා අවම කරන්නයි. ධනවාදය යටතේ හැම කෙනෙකුටම නිෂ්පාදනය සඳහා තමන්ගේ දායකත්වයට සරිලන ප්‍රතිලාභ ලැබෙන නමුත් එසේ ලැබෙන ප්‍රමාණයෙන් හැම කෙනෙකුගේම ජීවිත "අවශ්‍ය පමණ" සුඛිත මුදිත වන්නේ නැහැ. එවැන්නන් ගැන බලා ගන්න යම් ආකාරයක විකල්ප ක්‍රමයක් අවශ්‍ය වෙනවා.

මිනිස්සුන්ට ස්වභාවිකවම තමන්ගේ යහපත තකා කටයුතු කරන්න පෙළඹීමක් තිබෙනවා. ඊට අමතරව තමන්ගේ "වර්ගයාගේ" යහපත වෙනුවෙන් කටයුතු කිරීමේ පෙළඹීමක්ද තිබෙනවා. මේ දෙකේම පරිණාමීය වාසි තිබෙනවා. තමන්ගේ යහපත ගැන නොසිතීමේ චර්යාවකට පරිණාමීය පැවැත්මක් නැතුවාක් මෙන්ම, අනුන් ගැන කිසිසේත්ම නොහිතා තමන්ගේ යහපත ගැන පමණක් සිතීමද පරිණාමීය ලෙස වාසිදායක චර්යාවක් නෙමෙයි. ඔය දෙක අතර මනා සමතුලනයක් තිබිය යුතුයි.

ධනවාදී රටවල ජීවත් වන මිනිස්සුන්ටත් මේ ස්වභාවික මිනිස් ලක්ෂණය තිබෙනවා. තමන්ගේ ආන්තික ඵලදායීතාවය ලෙස අනෙක් අයට වඩා වැඩි ප්‍රතිලාභ ලබන බොහෝ දෙනෙක් එම ප්‍රතිලාභ වලින් කොටසක් වෙනත් අය සමඟ බෙදා ගන්න පැකිලෙන්නේ නැහැ. හැබැයි එහෙම වුනා කියලා හැම දෙනෙක්ම සතුටු වන්නේ නැහැ. තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු, එහෙත් අපේක්ෂාවන් ඊට වඩා වැඩි මිනිස්සු විශාල පිරිසක් ඕනෑම සමාජයක ඉන්නවා. සමහර වෙලාවට ඒ මිනිස්සු ඇති හැකි අය කැමැත්තෙන් තමන්ට දෙන දෙයකට වඩා දෙයක් ඔවුන්ගෙන් ලබා ගැනීම සඳහා සටන් කරනවා. 

මේ ආකාරයේ ඉල්ලීම් වරින් වර මතු වෙන එක නරක දෙයක් නෙමෙයි. හැම කෙනෙකුගේම ජීවිත "අවශ්‍ය පමණ" සුඛිත මුදිත නැති බව සමාජයේ වරප්‍රසාදිත කණ්ඩායම් වලට ඒත්තු යන්න ඉඳහිට හෝ මේ වගේ දේවල් වෙන්නත් ඕනෑ. ඒ වගේ ඉල්ලීමක් සාධාරණ බව කිසියම් සමාජයක බොහෝ දෙනෙකුට ඒත්තු ගිය විට එවැනි සමාජයක බහුතර කැමැත්තෙන් කාර්යක්ෂමතාවය අඩු වෙන යම් ක්‍රියාමාර්ග කරා යොමු වීමක් දැකිය හැකියි. මේ විදිහට කාර්යක්ෂමතාවය කැප කිරීමක් සිදු වෙන්නේ සමාජයක බහුතරය විසින් විශ්වාස කරන යම් ආකාරයක සමාජ සාධාරණත්වයක් වෙනුවෙන්. 

පූර්ණ ධනවාදයකට වඩා ආසන්න හැම රටකම වගේ හොඳ සුබසාධන යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙනවා. මේ හරහා කෙරෙන්නේ ධනවාදී තරඟය තුළ අසමත් වන කොටස් ගැන බලා ගන්න එකයි. එවැනි විකල්ප යාන්ත්‍රණයක් නැත්නම් ධනවාදී තරඟය තුළ පැරදෙන පිරිස් ක්‍රම විරෝධීන් බවට පත් වෙනවා. හැබැයි මේ ආකාරයේ සුබසාධන යාන්ත්‍රණයක් අදාළ සමාජයට දරාගත හැකි විය යුතුයි. එහි බරපැන දරන්න ප්‍රමාණවත් පිරිසක් නැතිව ගියොත් අවසාන වශයෙන් යහපතක් වෙනුවට සිදු වන්නේ අයහපතක්. ඒ නිසා, විෂමතා අවම කිරීම හා කාර්යක්ෂමතාවය නඩත්තු කිරීම අතර මනා සමතුලනයක් පවත්වා ගන්න වෙනවා. බටහිර රටවල ස්ථාපනය වී තිබෙන ද්වි පක්ෂ ක්‍රමය හරහා වෙන්නේ මේ වැඩේ.

අප කරගෙන ආ සාකච්ඡාව නැවැත්තුවේ මේ කරුණ ගැන විස්තර කරලා. සාකච්ඡාව නැවතුනේ පහත ලිපි වලින්.

ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය

ද්විපක්ෂ ක්‍රමය

ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය හා අතර සිදු වන මේ දෝලනය අස්සේ ජාතිකවාදයේ භූමිකාව මොන වගේ එකක්ද? ඊළඟට අපට කතා කරන්න තිබෙන්නේ මේ කරුණයි. මේ මාතෘකාව සඳහා පහත ලිපියෙන් ප්‍රවේශයක් ගත්තා. 

ජාතිකවාදී විකල්පය

මෙහිදී මම ජාතිකවාදය කියන එකෙන් මූලික වශයෙන්ම අදහස් කළේ ආර්ථික ජාතිකවාදයයි. ලංකාවේ ජාතිකවාදයේද ආර්ථික ජාතිකවාදී සංරචකයක් තිබුණත් එය ආර්ථික ජාතිකවාදය මත පාදක වූවක් නෙමෙයි. මම කතා කරන්න යන්නේ ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩනැගුනු බටහිර සමාජ වල ජාතිකවාදය පැන නැගුනේ කොහොමද කියන කාරණයයි. එයට වුවද විවිධ සාධක හේතු වන නමුත් මම අවධානය යොමු කරන්නේ ආර්ථික සාධක වෙතයි. 

මම දකින විදිහට මේ ආකාරයෙන් ආර්ථික ජාතිකවාදයක් ඉස්මතු වීම ධනවාදය සමඟ සුබසාධන ආර්ථිකයක් ක්‍රියාත්මක වෙද්දී අනිවාර්යයෙන්ම සිදු විය යුතු පරිණාමීය ප්‍රතිඵලයක්. ඒ ඇයි?

එහිම සෛද්ධාන්තික මූලික ස්වරූපය ගත්තොත් ධනවාදය දේශ සීමා කියා දෙයක් සලකන්නේ නැහැ. ඒ කියන්නේ ධනවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදීයි. දේශ සීමා කියා දෙයක් පවතිනවා කියා කියන්නේම වෙළඳපොළ කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියන එකයි. ඒ කියන්නේ වෙළඳපොළ දියුණු වීම හරහා අකාර්යක්ෂමතාවයන් අඩු වෙද්දී දේශ සීමා ඉරි මැකී යා යුතුයි.

මෙයින් වෙනස්ව සමාජවාදී ක්‍රමයකට පැවතිය හැක්කේම ජාතික රාජ්‍ය සීමාවන් ඇතුළේ. සමාජවාදයකට නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදී වෙන්න බැහැ. එවැන්නක් සෛද්ධාන්තිකව හෝ තිබිය හැක්කේ වෙළඳපොළ දියුණු වී ඒ හරහා ජාතික රාජ්‍ය වල වලංගු භාවය අහෝසි වී යාමෙන් පසුව ඇති විය හැකි දේශ සීමා නැති, පරිකල්පනීය ලෝකයක පමණයි. ඒ අතින් බැලුවොත් කවදා හරි එකපාරම ලෝක කම්කරු විප්ලවයක් කරන්න බලා ගෙන හිටපු (දැන් වුනත් අන්වීක්ෂයකින් බැලුවොත් අමාරුවෙන් හොයා ගත හැකි) ට්‍රොට්ස්කිවාදීන් හිතපු විදිහ හරි. (මෙයින් අදහස් කළේ ට්‍රොට්ස්කිවාදයේ පාදමේ තිබෙන මාක්ස්වාදයේ මූලික උපකල්පන නිවැරදියි කියන එක නෙමෙයි. එසේ නොවන බව ලිපි මාලාව තුළ කලින්ම පැහැදිලි කළානේ!)

සමාජවාදී ක්‍රමයක් නඩත්තු කරන්න අනෙක් මිනිස්සු වෙනුවෙන් හොඳ දේ තීරණය කළ හැකි "සාමාන්‍යයන් අතර අසාමාන්‍යයන්ගේ" කල්ලියක් අවශ්‍යයි. ජාතික රාජ්‍යයක් ඇතුළේ මේ භූමිකාව කරන්නේ රජය විසින්. රජය නඩත්තු වෙන්නේ අදාළ ජාතික රාජ්‍ය සීමාවේ සිටින මිනිසුන්ගේ ආන්තික ඵලදායීතාවයෙන් කොටසක් බලය යොදා උදුරා ගැනීම හරහා. සුබසාධනය කියා කියන්නේ ඒ උදුරා ගැනීම සාධාරණීකරණය කරන මෙවලමයි. මේ හරහා සමාජවාදී සමාජයක මිනිසුන් අතර සම්පත් බෙදී යාමේ විෂමතා අඩු කෙරෙනවා. සෛද්ධාන්තික ධනවාදයක ඒ වැඩේ වෙන්නේ නැහැ.

හැබැයි මෙවැනි රජයකට බලය යොදා උදුරා ගත හැක්කේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව තුළ සිටින මිනිසුන්ගේ  ආන්තික ඵලදායීතාවයෙන් කොටසක් පමණයි. එතැනින් එහා සිටින මිනිසුන්ගේ සම්පත් උදුරා ගැනීමේ හැකියාවක් සමාජවාදී රාජ්‍යයකට නැහැ. මේ හේතුව නිසා සමාජවාදී ජාතික රාජ්‍යයක් කොයි තරම් ජාත්‍යන්තරවාදී වෙන්න උත්සාහ කළත් වැඩි දුරක් යන්න කලින්ම ක්‍රමය තුළම පවතින නෛසර්ගික උගුලක හිර වෙනවා.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි ජාත්‍යන්තරවාදී සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටි සෝවියට් දේශය ගනිමු. ඔය වගේ ක්‍රමයක් ඇතුළේ සෛද්ධාන්තිකව ගත්තොත් ක්‍රියාත්මක වෙන්නේ යම් ආකාරයක රොබින් හුඩ් ක්‍රමයක්නේ. එය මතුපිටින් එලෙස පෙනීම හෝ නොපෙනීම වැදගත් කරුණක් නෙමෙයි. දැන් මේ ක්‍රමය ඇතුළේ දේශ සීමාව ඇතුළේ සිටින වඩා ඵලදායී මිනිසුන්ගේ වියදමින් අඩු ඵලදායීත්වයක් තිබෙන මිනිසුන්ව සුබසාධනය කෙරෙනවා. එය රටේ බහුතර මිනිසුන්ගේ කැමැත්ත සමඟ සමපාත වන තුරු මේ වැඩේ අවුලක් නැහැ.

දැන් මේ සමාජවාදය ජාත්‍යන්තරවාදී කරන්න ගියාම වෙන්නේ කුමක්ද? අපි හිතමු සෝවියට් රජය හිතන විදිහට සෝවියට් දේශයේ කම්කරුවෙකුට ලැබෙන වරප්‍රසාදම ලංකාවේ කම්කරුවෙකුටත් ලැබිය යුතුයි කියලා. එහෙම හිතනවානම්, සෝවියට් රජයට සෝවියට් කම්කරුවාව වගේම ලංකාවේ කම්කරුවාවත් සුබසාධනය කරන්න වෙනවා. හැබැයි මේ විදිහට සෝවියට් දේශයෙන් පිටත ඉන්න කම්කරුවෙකුව සුබසාධනය කිරීමේ පිරිවැය දරන්න වෙන්නේ සෝවියට් රාජ්‍ය සීමාව ඇතුළේම ඉන්න පිරිසකටයි. ලංකාවේ කාගෙන්වත් එහි වියදම අය කර ගැනීමේ හැකියාවක් සෝවියට් දේශයට නැහැ. ඒ කියන්නේ මෙවැනි ක්‍රමයක් ස්ථායී ක්‍රමයක් නෙමෙයි.

ඔය ක්‍රමය පවතින්නනම් සමාජවාදී රාජ්‍යයකට එකින් එක අනෙක් රටවල් ඈඳා ගන්නම වෙනවා. එසේ නැත්නම් නිල නොවන ලෙස එම සමාජවාදී රාජ්‍යයේම කොටසක් සේ පවතින පරිවාර රාජ්‍යයන් සේ පවත්වා ගන්න වෙනවා.සෝවියට් දේශය යම් දුරකට ඔය වැඩේ කළා. එහෙම කළත්, සමාජවාදී ක්‍රමයක පවතින නෛසර්ගික අකාර්යක්ෂමතාවය නිසා යා හැකි සීමාවක් තිබෙනවා. ඒ සීමාවට ආවට පස්සේ සෝවියට් ක්‍රමයේ සමාජවාදයකට පවතින්න බැහැ. 

ජාතික රාජ්‍ය සීමා තුළ සමාජවාදය ක්‍රියාත්මක කළ චීනය වගේ රටවල් වලට මේ ප්‍රශ්නයට මේ විදිහටම මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. ලෝකයේම සම්පත් බෙදී යාමේ විෂමතා අවම කිරීම ප්‍රායෝගිකව අසීරු වුවත් තමන්ගේ දේශ සීමාව තුළ ඒ වැඩේ කරන එක සාපේක්ෂව ඊට වඩා පහසු දෙයක්. මේ ක්‍රමය ඇතුළේත් සමාජවාදී ක්‍රමයක පවතින නෛසර්ගික අකාර්යක්ෂමතාවය තිබෙනවා. පසුකාලීනව චීනය විසින්නම් ඒ ප්‍රශ්නයටත් විසඳුම් හොයා ගත්තා.

සමාජවාදය තුළ තිබෙන මේ නෛසර්ගික ප්‍රශ්නය ධනවාදය තුළ නැතත්, ධනවාදය තුළ පවා සිදු වෙමින් තිබෙන්නේ ජාතික රාජ්‍යයන් වඩ වඩා ශක්තිමත් වීමක් බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කරුණක්. ඒ ඇයි?

ධනවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදීයි කියා මම කිවුවනේ. ඇත්තටම එය ඕනෑවට වඩා සරල ප්‍රකාශයක්. සෛද්ධාන්තිකව ධනවාදය කියන්නේ එකක් වුනත්, ධනවාදයකට ක්‍රියාත්මක විය හැක්කේ කිසියම් පොදු එකඟතා රාමුවක් තුළයි. නමුත්, ලෝකයේ හැම මිනිහෙකුටම අවිවාදිතව එකඟ විය හැකි මෙවැනි පොදු එකඟතා රාමුවක් නැහැ. ඒ නිසා, ධනවාදයක් ක්‍රියාත්මක වන නීතිද හැම විටම, හැම තැනම සමාන නැහැ. උදාහරණයක් විදිහට නිදහස් මිනිසෙක් කියන්නේ කවුද? හුවමාරු කළ හැකි භාණ්ඩයක් කියා කියන්නේ කුමක්ද? මේ වගේ දේවල් සම්බන්ධව නිරපේක්ෂ එකඟතාවන් තිබෙන්න අමාරුයි. මේ ප්‍රශ්නය පහත ලිපියේත් තරමක් දුරට සාකච්ඡා කර තිබෙනවා.

අපට නිදහස් කැමැත්තක් තිබේද?

සෛද්ධාන්තික ධනවාදයක් තුළ තිබිය යුතු වෙළඳපොළ කාර්යක්ෂමතාවය එලෙසම දැක ගන්න හැකි වෙන්නේ අදාළ ගනුදෙනු සිදු වන පද්ධතිය තුළ පොදු එකඟතාවයන් පවතින තරමටයි. ගනුදෙනුවක් කරද්දී තමන් මිල දී ගන්නා භාණ්ඩය කුමක්ද කියන එක ගැන මිල දී ගන්නා තැනැත්තාට නිසි අවබෝධයක් නැත්නම් කාර්යක්ෂමතාවය අඩු වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මේ සඳහා ගනුදෙනුවේ අනෙක් පාර්ශ්වය පිළිබඳ යම් විශ්වාසයක් තිබිය යුතුයි. ආගම්, සංස්කෘතිය, සදාචාර රාමු වගේ දේවල් වලින්ද මෙවැනි එකඟතාවන් බොහෝ දුරට ඇති කරන නමුත් නූතන ලෝකය තුළ ධනවාදයට ක්‍රියාත්මක විය හැකි පොදු එකඟතාවන් ඇති කිරීම බොහෝ දුරට සිදු වන්නේ නීති හරහා. මේ නීති ක්‍රියාත්මක වෙන්නේ ජාතික රාජ්‍ය සීමා තුළයි. 

ධනවාදය ක්‍රියාත්මක වන එකඟතාවන් හැම එකක්ම විශ්වීය එකඟතාවන් නොවන නිසා විවිධ ජාතික රාජ්‍ය සීමා ඇතුළේ පවතින මේ එකඟතා රාමුද එකිනෙකින් වෙනස්. ඒ වගේම, කිසියම් නිශ්චිත ජාතික රාජ්‍යයක් ඇතුළේ ක්‍රියාත්මක වන මෙවැනි එකඟතා රාමුවක් අදාළ ජාතික රාජ්‍ය සීමාව ඇතුළේ ජීවත් වන මිනිසුන්ගේ ආගමික විශ්වාස, සංස්කෘතිය, සදාචාර රාමු වැනි දේවල් මත පරායත්තයි. ඒ හේතුව නිසාම ආගමික විශ්වාස, සංස්කෘතිය, සදාචාර රාමු වැනි දේවල් අතින් වඩා සමාන ජාතික රාජ්‍ය අතර ධනවාදය ක්‍රියාත්මක වන එකඟතාවන්ද වඩා සමානයි. එවැනි රටවල් අතර සිදුවන වෙළඳපොළ ගනුදෙනුද වඩා කාර්යක්ෂමයි.

ධනවාදය විසින් නෛසර්ගිකවම ලාබය මිසක් ගනුදෙනුකරුවා කවුද කියන එක සලකන්නේ නැහැ. එහෙත්, ඇතැම් විට ධනවාදය ක්‍රියාත්මක වන නීති රාමුව තුළ එවැනි වෙනසක් තිබෙනවා. මෙයට හේතුව මිනිස්සු ස්වභාවිකවම උන්නතිකාමී හා පරාර්ථකාමී මිනිසුන් වනවාට අමතරව යම් තරමකින් ගෝත්‍රවාදීද වීම විය හැකියි. ගෝත්‍රවාදී වීමේද පරිණාමික වාසි තිබෙනවා. අඩු වශයෙන් යම් සන්දර්භ වල.

මිනිස් ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් එය යම් ආකාරයක සංක්‍රමණිකයන්ගේ ඉතිහාසයක්. තමන්ට වැඩියෙන් කාර්යක්ෂම විය හැකි, වැඩියෙන් ඵලදායී විය හැකි, තැන් හොයා ගෙන ඉතිහාසය පුරාම මිනිස්සු සංචරණය වුනා. මේ වැඩේ මිනිස්සු වගේම අනෙක් සත්තුත් කරන දෙයක්. හැබැයි එයින් අදහස් වෙන්නේ මේ වැඩේ ප්‍රතිරෝධයක් නැතිව සිදු වුනා කියන එක නෙමෙයි. වැට පැනලා වෙනත් පිරිසකගේ ගෝත්‍රික සීමාවට ඇතුළු වූ වහාම ගැටුමක් ඇති වෙන එක බොහෝ විට නොවැලැක්විය හැකියි. නූතන ලෝකයේ ජාතික රාජ්‍යයන් විසින් කරන්නේ මේ ගෝත්‍රික සීමා වඩාත් පැහැදිලි ලෙස සලකුණු කිරීමේ කාර්යය භාරයයි. ඒ අනුව, කලාතුරකින් හැර, මිනිහෙක් ඉපදෙන්නේම කිසියම් ජාතික රාජ්‍යයක පුරවැසියෙක් ලෙසයි.

නූතන ලෝකයේ එක්  ජාතික රාජ්‍යයක පුරවැසියෙකුට, කලාතුරකින් හැර, තමන්ට කැමති වෙලාවක වෙනත් ජාතික රාජ්‍යයක පුරවැසියෙක් වෙන්න බැහැ. බොහෝ වෙලාවට අඩු ගානේ වෙනත් ජාතික රාජ්‍යයක සීමාව ඇතුළට අඩිය තියන්නත් බැහැ. ධනවාදී පරමාදර්ශ අනුව බැලුවොත් මෙය කිසිසේත්ම පැවතිය හැකි හොඳම තත්ත්වය නෙමෙයි. එහෙමනම්, වෙළඳපොළ විසින් මේ ක්‍රමය වෙනස් නොකරන්නේ ඇයි?

ජාතික රාජ්‍යයක පුරවැසියන්ට වඩා ඵලදායී ලෙස නිෂ්පාදන කාර්යයට දායක විය හැකි වෙනත් රටක පුරවැසියෙකුගෙන් එම රටේ පුරවැසියෙකු විස්ථාපනය කරන එක කාර්යක්ෂම වුනත්, මේ වැඩෙන් රටේ පුරවැසියෙකුට රස්සාව නැති වී නිකම්ම නිකමෙකු වෙන්න පුළුවන්. අපි නිකම් හිතමු ලංකාව වගේ රටක ශ්‍රම මූලික රැකියා කරන, අඩු ආදායම්ලාභීන් පිරිසකට නිදහසේ ඇමරිකාවට එන්න අවස්ථාව තිබුණා කියලා. මේ පිරිසට ඇමරිකාවට ආපු ගමන් එක පාරටම ලංකාවේ හිටියාට වඩා ගොඩක් ඵලදායී වෙන්න ඉඩ ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආන්තික ඵලදායීතාව ලෙස වැඩි ආදායමක් උපයන්න ලැබෙනවා. ඔය වැඩේ මහා පරිමාණයෙන් වුනොත් සාපේක්ෂව අකාර්යක්ෂම ඇමරිකානු ශ්‍රමිකයන් පිරිසකට රස්සා නැති වෙනවා.

ඔය ආකාරයෙන් අකාර්යක්ෂමතාවයට දඬුවම් ලැබීම ධනවාදය තුළ ප්‍රශ්නයක් සේ සැලකෙන්නේ නැහැ. එය ධනවාදී යාන්ත්‍රනයේම කොටසක්. හැබැයි මේ වැඩෙන් යම් පිරිසක් පෞද්ගලිකව ලොකු අමාරුවක වැටෙනවා. ඒ මිනිස්සුන්ට, ජීවත්වීම පිණිස "රට හැර යන්න" වෙනවා. 

ඇමරිකාව වැනි රටක මේ වැඩේ දිනපතාම වාගේ සිදු වෙනවා. හැබැයි මෙහිදී රට හැර යාම යන්නෙන් ඇමරිකාවේ ජාතික රාජ්‍ය සීමාවෙන් එළියට යාමක් අදහස් වෙන්නේ නැහැ. වඩා හොඳ රැකියා අවස්ථාවන් හොයා ගෙන තමන් උපන් පෙදෙසේ සිට සැතපුම් දහස් ගණන් දුර පෙදෙස් වෙත සිදුවන අභ්‍යන්තර සංක්‍රමණයනුයි බොහෝ විට සිදු වෙන්නේ. වැඩි වශයෙන් සිදු වෙන්නේ ගමෙන් නගරයට යාමක් වුවත්, එහි අනෙක් පැත්තත් දුලබම නැහැ.

ඔය විදිහට රට ඇතුළේම වෙන ප්‍රාන්තයකට හෝ නගරයකට සංක්‍රමණය වෙලා ජීවිතේ ගැට ගහගන්න පුළුවන් වෙන්නෙත් රට ඇතුළේ කොහේ හරි රැකියා අවස්ථාවන් තිබුණොත්නේ. එහෙමත් නැති වුනොත් මොකද වෙන්නේ? බාහිර සංක්‍රමණිකයන්ට සීමාවකින් තොරව රටට එන්න ඉඩ දුන්නොත් කොහොමත් ඔය වැඩේ සිදු විය යුතුයිනේ. 

අඩු ආදායම් රටක ශ්‍රමිකයෙකුට මේ වගේ වෙලාවක, අවස්ථාව ලැබෙනවනම්, ඉහළ ආදායම් රටකට සංක්‍රමණය විය හැකි වුවත්, වැඩි ආදායම් රටක ධනවාදී තරඟයෙන් පරාජය වන ශ්‍රමිකයෙකුට අඩු ආදායම් රටකට සංක්‍රමණය වී ඒ විදිහටම ජාම බේර ගන්න බැහැ. ඒ නිසා, ධනවාදී තරඟය තුළ පරාජය වන අය ගැන සමාජය විසින් බලා නොගත්තොත් විශාල මානුෂීය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ ඉලක්කය වෙනුවෙන් ධනවාදයේ කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කිරීම බොහෝ දෙනෙකුට එකඟ විය හැකි දේශපාලන ඉලක්කයක්. 

අනෙක් පැත්තෙන් සමාජයේ පහළ ස්ථර අනෙක් අයගේ වියදමින් සුබසාධනය කරද්දී ඒ හේතුව නිසාම යම් පිරිසක් නිෂ්පාදනය සඳහා තමන්ට ලබා දිය හැකි දායකත්වයත් නොදී පැත්තකට වෙනවා. නිකම් ලැබෙද්දී මහන්සි වෙලා වැඩ කරන්නේ මොන ලබ්බකටද?

සමහර වෙලාවට ඔය හේතුව නිසාම ශ්‍රම හිඟයක් ඇති වෙලා ඒ අඩුව පුරවන්න පිටින් සංක්‍රමණිකයන් ගේන්න වෙනවා. එසේ එන සංක්‍රමණිකයින් ප්‍රමාණය වැඩි වීමට සමානුපාතිකව ධනවාදී තරඟයෙන් පරාජය වන ප්‍රමාණයද ඉහළ ගිහින් සුබසාධන වියදම් ඉහළ යනවා. එහි බර දරන්න වෙන්නේ වැඩ කරන පිරිසටයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට, ධනවාදී තරඟය තුළ පරාජය වන අය වැඩි වැඩියෙන් සුබසාධනය කරන තරමට සංක්‍රමණික විරෝධයද ඉහළ යනවා. පහළ ස්ථර සෘජුවම තමන්ගේ රැකියා අවස්ථා අහිමි වීම මත පදනම්ව. ඉහළ ස්ථර ඔවුන්ට විසින් දැරිය යුතු සුබසාධන වියදම් වල බර ඉහළ යාමේ හේතුවෙන්.

මෙයට පිළියමක් ලෙස සුබසාධන වියදම් කප්පාදු කළ විට ඉහළ ස්ථර මුහුණ දෙන ප්‍රශ්නය විසඳෙනවා. එහෙත් පහළ ස්ථර වල ප්‍රශ්න උග්‍ර වෙනවා. පහළ ස්ථර වල ප්‍රශ්න විසඳීම සඳහා සුබසාධන වියදම් වැඩි කළොත් ඉහළ ස්ථර මුහුණ දෙන ප්‍රශ්න වැඩි වෙනවා. ඇතැම් විට සංක්‍රමණික ශ්‍රමය වඩා කාර්යක්ෂම නිසා ඉහළ යන සුබසාධන පිරිවැයෙන් කොටසක් ආවරණය විය හැකි නමුත් යම් සීමාවකින් පසුව දෙපාර්ශ්වයටම සංක්‍රමණිකයන් බරක් සේ පෙනෙන්න පුළුවන්.

ද්වි පක්ෂ ක්‍රමය ඇතුළේ බොහෝ විට පහළ ස්ථර සුබසාධනය කිරීම වෙනුවෙන් වැඩිපුර පෙනී සිටින දේශපාලන ව්‍යාපාර වලට සංක්‍රමණිකයන් සම්බන්ධව තිබෙන්නේ ලිහිල් ප්‍රතිපත්තියක්. මොකද සුබසාධනය සඳහා පාදක කර ගන්නා අදහස හැම මිනිහෙක්ම සමානයි කියන අදහසට කිට්ටු අදහසක්. ඒ එක්කම හැම මිනිහෙක්ම සමානනම් රටේ මිනිස්සු හා විදේශිකයෝ වෙනස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් නිතැතින්ම මතු වෙනවා. ඒ නිසා, දේශපාලනිකව ගොඩක් වෙලාවට සුබසාධනය හා සංක්‍රමණිකයන්ට වැඩි අවස්ථා සැලසීම එකම පැකේජ් එකක කොටස් බවට පත් වෙනවා.

ඔය පැකේජ් එක කාලයක් තිස්සේ බටහිර රටවල ජනප්‍රියම දේශපාලන පැකේජ් එක වී තිබුණා. පැකේජ් එකේ සුබසාධන කොටසෙන් හැම විටම වගේ වෙන්නේ ධනවාදයේ කාර්යක්ෂමතාවය අඩු කරන එක. සංක්‍රමනික පිළිවෙතින්, එය පමණක් තනිව ගත්තොත්, ධනවාදයේ කාර්යක්ෂමතාවය ඉහළ යන නමුත් ඒ හරහා රැකියා අහිමි වන පිරිස් සුබසාධනය කළ යුතු නිසා එක් සීමාවකින් පසුව මේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පටන් ගන්නවා.

සංක්‍රමණික ප්‍රතිපත්ති පැත්තකින් තිබ්බොත්, ධනවාදය කොහොමටත් නිරන්තරයෙන් ලාබ වැඩි කර ගත හැකි ක්‍රම හොයනවා. එහිදී රැකියා අහිමි වෙනවා. ඇමරිකාව ගත්තොත් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය ඉහළ යනවා කියා කියන්නේ ජනගහණයේ ඉතා සුළු පිරිසක් විසින් රටේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදන ඉල්ලුම සපුරනවා කියන එකයි. එය සිදු වෙද්දී කෘෂිකාර්මික අංශයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසකගේ රැකියා අහිමි වීම නොවැලැක්විය හැකියි. එහෙත්, මෙයට සමාන්තරව කාර්මික අංශයේ රැකියා හැදුනා. ඒ නිසා, ඇමරිකානුවන්ට රැකියා ප්‍රශ්නයක් වුනේ නැහැ. ඇමරිකාව ගැන මේ කියන දේවල් අනෙක් බොහෝ බටහිර රටවලටද අදාළයි.

කොහොම වුනත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය වැඩි වූ නිසා මිසක් සංක්‍රමනිකයන්ගේ ලාබ ශ්‍රමය නිසා එම අංශයේ රැකියා වල නිරත වූ ඇමරිකානුවන්ට රැකියා අහිමි වුනේ නැහැ. යම් හෙයකින් ඇමරිකාවේ සංක්‍රමනික නීති මීට වඩා ලිහිල්ව පැවතුනානම් කෘෂිකාර්මික ශ්‍රමිකයන් සේ නිරන්තරයෙන් රටට එන සංක්‍රමනිකයන් හේතුවෙන් එම අංශයේ ලාබ අඩු වෙන්න නොදී පවත්වා ගත හැකි වන නිසා වේගවත් ස්වයංකරනයක් සිදු වී මේ තරම් ඉක්මණින් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාව ඉහළ යන්නේ නැහැ. ශ්‍රමිකයන්ට නිදහසේ ඇමරිකාවට එන්න පුළුවන්කමක් නොතිබුණු නිසාත්, වගා බිම් ශ්‍රමිකයන් සිටින රටවලට උස්සාගෙන යා නොහැකි නිසාත් අවසාන වශයෙන් කෘෂිකාර්මික අංශය වේගයෙන් යාන්ත්‍රීකරණය හා ස්වයංකරනය වුනා. එහි ප්‍රතිඵලය ලෙස සිදු වුනේද ඇමරිකානුවන්ගේ රැකියා නැති වීමම වුවත් එසේ රැකියා නැති වූ අයට කාර්මික හා නිෂ්පාදන අංශ වල රැකියා ලැබුණා. 

කාර්මික හා නිෂ්පාදන අංශ වල සේවය කිරීමට වුවද සංක්‍රමණිකයන්ට නිදහසේ ඇමරිකාවට එන්න පුළුවන්කම තිබුණේ නැහැ. එසේ වුවත්, වගා බිම් වලින් වෙනස්ව කම්හල් ලාබ ශ්‍රමිකයන් සිටින තැන් වලට ගෙන යා හැකි වූ නිසා මේ අංශ වල රැකියාද වැඩි කලක් සුරක්ෂිතව තිබුණේ නැහැ. අවසාන වශයෙන් ඇමරිකානුවන්ගේ (හා තවත් බොහෝ බටහිර රටවල) රැකියා අවස්ථා සැපයීමේ කාර්ය භාරය ඉටු කරන්න වුනේ සේවා අංශයටයි.

හැබැයි ධනවාදයේ ප්‍රගමනය නවතින එකක් නෙමෙයි. වඩා වඩා කාර්යක්ෂම වන ක්‍රම හොයන එක සේවා අංශය ඇතුළේද නිරන්තයෙන් සිදු වෙනවා. සේවා අංශය තව දුරටත් ස්වයංකරණය වෙද්දී මිනිස් ශ්‍රමය තව දුරටත් අනවශ්‍ය දෙයක් බවට (redundant) පත් වෙමින් තිබෙනවා. සේවා අංශය තුළ නැති වෙන රැකියා විස්ථාපනය වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. 

සංක්‍රමණ විරෝධයත් එක්ක මේ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් ලැබෙනවා. හැබැයි එය තාවකාලික විසඳුමක්ම පමණයි. සංක්‍රමණිකයන් පාලනය කළ විට ශ්‍රම වෙළඳපොළේ ඇතිවන අසමතුලිතතාවය තුළ රටවැසියන්ට යම් රැකියා ප්‍රමාණයක් ලැබෙන නමුත් ඒ හේතුව නිසාම ස්වයංකරණය සඳහා වන උත්සාහයන් වඩාත් වේගවත් වෙනවා. සංක්‍රමණික ශ්‍රමයට ඉල්ලුමක් තියෙන්නේම රටවැසියන්ගේ ශ්‍රමය සාපේක්ෂව අකාර්යක්ෂම නිසා. සංක්‍රමණික ශ්‍රමය පැමිණෙන එක වැළැක්වූ පමණින් රටවැසියන්ගේ ශ්‍රමය කාර්යක්ෂම වෙන්නේ නැහැ. එහි අකාර්යක්ෂමතාවය එලෙසම තිබෙනවා. කලින් තිබුණු විසඳුමත් දැන් නැහැ. ඒ නිසා, අලුත් විසඳුමක් ලෙස ස්වයංකරණය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ස්වයංකරණය සමඟ රැකියා අහිමි වීමේ ප්‍රශ්නය නැවත වටයකින් මතු වීම නොවැලැක්විය හැකියි.

රැකියා අහිමි වීමේ ප්‍රශ්නය ආකෘතිමය ලෙසම උග්‍ර වෙනවා කියා කියන්නේ ක්‍රමයේ ස්ථාවරත්වය සඳහා සුබසාධනයද හොඳ මට්ටමක පවත්වා ගත යුතු බවයි. එක පැත්තකින් ශ්‍රම හිඟයක් නැති වීමත්, අනෙක් පැත්තෙන් සුබසාධන වියදම් ඉහළ යාමත් විසින් සංක්‍රමණිකයන්ට අවස්ථා සැලසීම වඩාත් "වියදම් අධික" කටයුත්තක් බවට පත් වෙනවා. මම මෙහිදී අදහස් කරන්නේ කුසලතා සහිත තෝරා ගත් සංක්‍රමනිකයින් ගැන නෙමෙයි. එවැනි අයගෙන්නම් ලාබයක් මිසක් පාඩුවක් නැහැ.

ධනවාදයට විකල්පයක් පෙනෙන මානයක නැහැ. ධනවාදී තරඟය තුළ පරාජය වන පිරිස් සුබසාධනය නොකරමින් ධනවාදය පවත්වා ගන්න පුළුවන් බවකුත් පෙනෙන්නේ නැහැ. මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ ජාතික රාජ්‍ය වඩ වඩා ශක්තිමත් වීම සහ ජාතිකවාදය පුළුල් සම්මතයක් බවට පත් වීමයි. එයින් රටවල් තුළ ආදායම් විෂමතාවන්හි හානි අඩු වෙනවා. එහෙත් රටවල් අතර ආදායම් විෂමතා ඉහළ යනවා. 

31 comments:

  1. පට්ටයි ලිපිය ඉකොනෝ ඔබ ලියා ඇතී
    දැනුවත් කෙරෙන කරුණෙන් එය පිරී ඇතී
    හැම 'වාදෙකම' ගනුදෙනු හැංගිලා ඇතී
    විත්තිය 'දුහුනො' වටහා ගත්තොතින් ඇතී!

    ReplyDelete
  2. හ්ම්...හොඳ පැහැදිලි කිරීමක්.👌🤔

    https://chandimagomes.blogspot.com/2021/10/blog-post_21.html🤔🤷‍♂️

    ReplyDelete
    Replies
    1. චන්දිම ගෝමස්ලාට දේශපාලනය හෝ අවම වශයෙන් රටක් පාලනය කළ යුතු ආකාරය, ජනරජයක් (Republic) ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගත යුතු ආකාරය, ලංකාවේ කේන්ද්‍රීය ප්‍රධානතම අර්බුද, එනම් විශාල අකාර්යක්ෂමතාවය රජයන රජයක් නඩත්තු කිරීම, එම රජයේ ආදායම් වියදම් අතර උග්‍ර හිඟය, විදේශ විනිමය අර්බුදය හා ගෙවුම් ශේෂ හිඟය, දැඩි ලෙස ආත්මාර්ථකාමී වෘත්තීය සමිති හා වෙළඳ ප්‍රජාව කළමනාකරණය පිළිබද මූලික අවබෝධයක් නොමැති බව අපේ නිරීක්ෂණයයි, නැත්නම් නාගානන්ද වගේ අතාර්කික බොළඳ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද? රොහාන් පල්ලෙවත්ත එක දවසින් ජපන් ණය අරන් ලංකාවේ ණය ගෙවනවා වගේ එක රැයින් ව්‍යවස්ථා වෙනස් කර දූෂණ වංචා සියල්ල නැති වී සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා කියන්නේ පිස්සු කතාවක් බව ඉතාමත් පැහැදිලියි නේද? මේ එහිම දිගුවක් බව පේනවා.

      කෙසේ වෙතත් අපි මේ පසුකරමින් සිටින කාලපරිච්ඡේදය ඉතාමත් තීරණාත්මකයි, මෙම කාල පරිච්ඡේදය තුළ තමයි අපි සුදුසු තීරණ ගැනීමට අත්‍යවශ්‍යම කාලය. ඇතැම් විට ඔය වගේ 'සුදුසු' යැයි සිතමින් නුසුදුසු තීරණ ගැනීමටත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපට යම්කිසි සංවාදයක්, අපේ මාවත පිළිබඳ එකිනෙකා අතර ගැඹුරු හැදෑරීමක් උවමනා වන්නේ. එහෙම වුණොත් පමණයි අපි සොයාගන්නා උත්තරය ‘කබලෙන් ලිපට නොවැටෙන උත්තරයක්’ වන්නේ.

      උදාහරණයක් විදියට ඇමෙරිකා එක්සත් ජනපදයට පුළුවන් වුණා ලිබියානු සමාජයේ පැවති උග්‍ර සමාජ දේශපාලනික පීඩනයන් පාවිච්චි කරලා වත්මන් ලිබියාව නොවෙයි නූතන ලිබියාව නිර්මාණය කළ මුවම්මර් ගඩාෆි පාරෙදි මැරයෙකුට අත්වන ඉරණමට සමාන ඉරණමකට ලක් වන විදියට මරා දමන්න. එතැනදී අවසානයේ සිදුවුණේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ලිබියානු සමාජය පැවැති තැනින් තවත් පහළට ඇද වැටීම. අද ලිබියාව කියා රාජ්‍යයක් නැහැ, ඇත්තේ ලිබියාව කියා රටක් පමණයි. අද ලිබියානුවන් ලොව පුරා යුරෝපය ඇතුළු බොහෝ රටවල හිඳිමින් හිඟාකනවා.

      ඒ විතරක් නෙවෙයි ඉරාකය වැනි රටක් සම්බන්ධයෙන් ගත්තත් පෙනෙන්නේ තිබෙන නරක වෙනස් කිරීමට නුසුදුසු උත්තර සොයා ගත්තොත් ඉන්න තත්ත්වයටත් වඩා නරක තත්වයකට ඇද වැටීමට තිබෙන ඉඩකඩ වැඩි බවයි.

      ඒ වගේම මේක ලංකාවේ බහුතර සමාජය, තමන් විසින්ම නිවැරදි යැයි විශ්වාස කරපු උත්තර, ‘සැබෑ උත්තරයක් වෙලා නැහැ නේද?’ කියා හිතන වෙලාවක්. ලැබුණු උත්තරේ සැබෑ උත්තරයක් නොවෙයි කියා හිතන වෙලාවක ඊට වඩා වැරදි උත්තරයක් තමන්ගේ තෝරා ගැනීම බවට පත්විය හැකියි. මේ වගේ වෙලාවල ලෝකයේ බොහෝ රටවල එහෙම වෙලා තිබෙනවා. (සරලවම උදාහරණයක් ලෙස ප්‍රංශ විප්ලවයෙන් පසු එළැඹි අවිචාර සමය මතක් කර ගන්න.)

      ඒ නිසා ලැබුණු උත්තරය ගැන සෑහීමකට පත් නොවන ජන සමාජයක් ඔවුන් සෑහීමකට පත්වන ආකාරයේ උත්තරයක් කරා රැගෙන යාමට අපට සාමූහික වගකීමක් තිබෙනවා. ඒ සඳහා පුළුල් සංවාදයක් ගොඩ නගන්න අවශ්‍යයි.

      Delete
    2. ඔබ කියන දේ ඇත්ත. විශේෂයෙන්ම පහත කොටස.

      //ලැබුණු උත්තරේ සැබෑ උත්තරයක් නොවෙයි කියා හිතන වෙලාවක ඊට වඩා වැරදි උත්තරයක් තමන්ගේ තෝරා ගැනීම බවට පත්විය හැකියි. මේ වගේ වෙලාවල ලෝකයේ බොහෝ රටවල එහෙම වෙලා තිබෙනවා.//

      වැරදි උත්තරයක් හොයා ගත්තොත් නවතින්නේ ගොඩ එන්න බැරි අගාධයක.

      Delete
    3. බොහොම ස්තූතියි ඉකොන්. මේ නිසා තමයි ඉකොනොමැට්ටා වැනි අය පැහැදිලි සාක්ෂි සහ සාධක සහිතව මෙහි සාකච්ඡා කරන ලංකාවේ සැබෑ අර්බුදය ප්‍රධාන ධාරාවේ පොදු ජනයා අතර ඉතා ගැඹුරු සාකච්ඡාවක් දක්වා විහිදිය යුතු වන්නේ, සාමාන්‍ය ජනයාට සරලව තේරෙන බසින් සහ වඩාත් දැන උගත් අයට වඩා ගැඹුරු ලෙසින් ගෝලීය සමාජ ආර්ථික ප්‍රවණතා අනුව ලංකාවේ රෝග නිධානය තේරුම් ගෙන එයට සාමූහිකව බහුතර මහජන සහාය ඇතිව විසඳුම් සොයා ගත යුතුයි.

      මේ වගේ හිසරදයට කොට්ට මාරු කරන විසඳුම් වලින් වෙන්නේ රෝගය උත්සන්න වී ලෙඩා මියයාම පමණයි.

      දැනට මම සිතන විසඳුම වන්නේ පවතින රජය පියවරක් පසුපසට ගෙන විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ, හර්ශ ද සිල්වා, චම්පික වැනි දැක්මක් ඇති යමක් කමක් තේරෙන අයගේද සහය ඇතුව වෙනත් තෙවන බලවේගවලද සහාය හැකි තරමින් ලබාගෙන සාමූහිකව විසි වසරක දිගු කාලීන සැලැස්මක් (අවම දස වසරක් වත්) සහිතව වෙනස් නොවන ස්ථිරසාර සැලසුමක් ක්‍රියාත්මක කිරීමයි, ආණ්ඩු වෙනස් වුණත් වෙනස් නොවන සේ මේ වැඩපිළිවෙන අවශ්‍යනම් නීතියෙන්ද බලාත්මක (ලීගලි එන්ෆෝස්) කරගත හැකි වේවි.

      විපක්ෂ සහාය ඇතුව ජාතික වැඩපිළිවෙලක් ලෙස අයි.එම්.එෆ්. සහ අයි.බී.ආර්.ඩී. සහාය ඇතුව ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්, නැතුව පැහැදිලි සැලැස්මක් නොමැතිව මාධ්‍ය හරහා කයිවාරු ගසන පුද්ගලයන් යොදාගෙන ඔලුගෙඩි මාරු කරන එකෙන් වන්නේ මහත් ව්‍යසනයක් පමණයි.

      Delete
    4. අඩු වැඩි වශයෙන් එකඟයි. මේ ආණ්ඩුව දිගටම ආණ්ඩු කළත්, ආණ්ඩුව මාරු වුනත්, මුහුණ දෙන්න වන ලංකාවේ ආර්ථිකය පිළිබඳ දරුණු ආකෘතිමය ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න නොවිසඳා දිගුකාලීනව ලංකාවට කෙසේවත් ගොඩ යා නොහැකියි. මේ ප්‍රශ්න ඔලු ගෙඩි මාරු කරලා හෝ නාස්තිය දූෂණය අඩු කරලා විසඳිය හැකි සරල ප්‍රශ්න නෙමෙයි. (වෙනත් විදිහකින් කිවුවොත් නාස්තිය දූෂණය අඩු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වුවත් කිසිසේත්ම ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි) එදා වේල විසඳුම් වලින් මේ මොහොතේ ප්‍රශ්නය ගොඩ දා ගන්නවා කියන්නේ වසර කිහිපයකට පසුව වඩා දරුණු කඩා වැටීමක අභියෝගයට මුහුණ දෙන්න වෙනවා කියන එකයි. මේ ප්‍රශ්න වලට කෙටිකාලීන විසඳුම් නැහැ. එහෙත් හරි මාර්ගයේ ගියොත් වසර 20ක පමණ කාලයකින් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. එම කාලය අතරතුර බහුතරයට පිළිගත හැකි ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලක් වෙනස් නොකර එක දිගට ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. දේශපාලන ස්ථාවරත්වය යන්නෙන් අදහස් කළේ ආණ්ඩු මාරු නොවී, එකම පක්ෂයක් බලයේ සිටිය යුතු බව නෙමෙයි. ආණ්ඩු වෙනස් වෙද්දී වෙනස් නොවන ස්ථිර වැඩ පිලිවෙලක් අවශ්‍ය බවයි. ආණ්ඩු වෙනස් කිරීමේ නිර්ණායකය විය යුත්තේ අදාළ වැඩ පිළිවෙළ හරියට ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එකයි. විපක්ෂය විසින් පවතින කවර හෝ ආණ්ඩුව විවේචනය කළ යුත්තේත් එම පදනමේ සිටයි. මෙවැන්නක් සිදු විය හැකි එකම ක්‍රමය එවැනි පොදු වැඩ පිලිවෙලක් සම්බන්ධව රටේ බහුතර ජනතාවට බලාපොරොත්තුවක්, විශ්වාසයක් හා අවබෝධයක් ඇති වීමයි. මේ කාරණය ඉටු කර ගැනීම සඳහා එවැනි වැඩ පිළිවෙලක් සම්බන්ධව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හා යම් ජන පදනමක් ඇති තෙවන පක්ෂ අතර පුළුල් එකඟතාවක් ඇති විය යුතුයි. රටට ලොකු මිලක් ගෙවන්න වන තුරු මෙවැනි එකඟතාවක් ඇති වෙයිද කියන එක සැක සහිතයි. . (වැඩේ පටන් ගන්න කවුරු හෝ කණ්ඩායමක් මුල් වී එවැනි පුළුල් වැඩ පිළිවෙලක් හදා එය සංවාදයට බඳුන් කළ යුතුයි.) කොහොම වුනත් අයි.එම්.එෆ්. සහ අයි.බී.ආර්.ඩී. සහාය ගත් පමණින් ලංකාවට දිගුකාලීනව ගොඩ යා හැකි වනු ඇතැයි මම විශ්වාස කරන්නේ නැහැ. එවැන්නක් මූලික වැඩ පිළිවෙලකට උදවුවක් විය හැකි නමුත් අවශ්‍ය වන්නේ තාවකාලික ස්ථාවරත්වය ඉක්මවා යන දිගුකාලීන ජාතික උපාය මාර්ගයක්.

      Delete
    5. අනිත් එක ලංකාවේ සන්දර්භයේ නීතියෙන් බලාත්මක කිරීම කියන එක විහිළුවක්. ආණ්ඩුව මාරු වූ ගමන් නීති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතා කෙටි කලකින් සංශෝධනය විය හැකියි. ඒ නිසා, බහුතර ජනතාව තුළ පහසුවෙන් කඩා නොවැටෙන බලාපොරොත්තුවක් හා අචල විශ්වාසයක් ඇති නොවන තාක් දිගුකාලීන ජාතික වැඩ පිළිවෙලක් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වන්නේ නැහැ. එවැන්නක් ඇති කළ හැක්කේ කරුණු හා සාක්ෂි මත පදනම් වූ, ඕනෑම විවේචනයකට පිළිතුරු තිබෙන වැඩ පිළිවෙලකට පමණයි. එවැනි වැඩ පිළිවෙළක් හදා ගැනීමේ ප්‍රවේශය විය යුත්තේම හැකි තාක් විවේචන වලට විවෘත වීමෙන් හා විවේචන නිවැරදි බව පෙනෙන තැන් වලදී වැඩ පිළිවෙළ සංශෝධනය කර ගැනීමට අවංක වීමෙන්. මුලදීම ඔය වැඩේ නොකළොත් කල් පසුවී වැඩ පිළිවෙළේ අඩුපාඩු පේන්න පටන් ගැනීම හා ඒ හේතුවෙන් ඒ පිළිබඳ විශ්වාසය පළුදු වීම නොවැලැක්විය හැකියි.

      Delete
    6. බොහොම හොඳ සාකච්චාවක්. ඇනෝ, ඉකනො දෙන්නාටම ස්තූතියි.🙏👌

      Delete
    7. //රටට ලොකු මිලක් ගෙවන්න වන තුරු මෙවැනි එකඟතාවක් ඇති වෙයිද කියන එක සැක සහිතයි//
      මේ අවස්ථාවේ ඒ මිල ගෙවන්න සිදු වීමට සෑහෙන ඉඩක් තියනවා නේද?

      Delete
    8. විය හැකියි. එහෙත් ස්ථිරව කියන්න තවමත් කල් වැඩියි. කොහෙන් හෝ ඩොලර් බිලියන තුනක් පමණ හොයා ගත්තොත් මාස හය හතක් ඇද ගන්න පුළුවන්.

      Delete
  3. ඉකොනොමැට්ටා, ලංකාවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ලබන 2022 ජනවාරි මාසය වෙද්දී ලංකාවට වර්තමාන ලෙබනනය මෙන් දැඩි බලශක්ති අර්බුදයට මුහුණදීමට අනිවාර්යයෙන්ම සිදුවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කළා, ඒක ඇත්ත නේද?

    ඒ වගේම ලංකාවේ රජය මේ සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කළ යුතු බවද ලංකාවේ දැනට උග්‍ර අතට හැරී ඇති ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් ඊටත් වඩා භයානක බලශක්ති අර්බුදයක් බවට පත් වෙමින් තිබෙන බවත් තමයි ඔහු පෙන්වා දුන්නේ.

    මෙසේම ලංකාවේ තෙල් සංස්ථාව විසින් බොරතෙල් ගැනීමට විවෘත කරන ලද ටෙන්ඩර් පහක් සඳහා කිසිම අයදුම්කරුවෙකු ඉදිරිපත් නොවී ඇතැයි ද පැවසූ ඔහු එනිසා ඉදිරියේදී තෙල් පිරිපහදුව අනිවාර්යයෙන්ම වසා දැමීමට සිදුවන බව තහවුරු කළා, මෙම තත්ත්වය මත 2021 නොවැම්බර් මාසයේ සිට ඉන්ධන නොමැතිව රට පුරා ව්‍යාප්ත ඉන්ධන පෝලිම් සහ මහා තෙල් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවන බවද තෙල් පිරිපහදුවේ අපතෙල් වලින් විදුලිය ජනනය කරන නිසා එම විදුලි ප‍්‍රමාණයද අහිමිවීමෙන් දිනපතා රාත්‍රී කාලයේ පැය කීපයක් වත් විදුලි කප්පාදුවක්ද සිදුවන බවත් පවසන්නේ මේ කියන කතාව ඇත්තක් විය හැකියි නේද ලංකාවේ පවතින තත්ත්වය අනුව?

    ReplyDelete
    Replies
    1. ලොකු ඩොලර් කුට්ටියක් කොහෙන් හෝ හොයා ගන්න ආණ්ඩුව සෑහෙන ගේමක් ගහනවා. සමහර විට එකක් පත්තු වෙයි. නැත්නම් ඔය කියා තිබෙන විදිහට කළුවරේ ඉන්න වෙන්න වුනත් ඉඩ තියෙනවා.

      Delete
  4. කොහොම වුනත්, ඉකොනොමැට්ටා මොකද හිතන්නේ මේක ගැන?

    The Governor of the Central Bank of Qatar and the CBSL Governor recently discussed collaborations that can be entered into to strengthen Sri Lanka – Qatar economic ties.

    This was discussed when the Central Bank Governor, Ajith Nivard Cabraal recently met with the Governor of the Qatar Central Bank, His Excellency Sheikh Abdulla Bin Saoud Al-Thani recently.

    The two Governors also discussed measures to mitigate the impact of COVID-19 pandemic on the two economies as well.

    His Excellency Sheikh Abdulla Bin Saoud Al-Thani was appointed Governor of Qatar Central Bank in May 2006, having started his career in the Bank in 1981.

    He was Deputy Governor from 1990 to 2001 and subsequently left to serve as Chairman of the State Audit Bureau from 2001 to 2006, before assuming his current position.

    His Excellency was appointed as Chairman of the Board of Directors of the QFC Regulatory Authority in March 2012 and subsequently as Chairman of Qatar Financial Markets Authority later in 2012.

    His Excellency is also Chairman of Qatar’s Financial Stability & Risk Control Committee.

    He was appointed as the Chairman of the Islamic Financial Services Board (2013) as well as Chairman of the International Islamic Liquidity Management Corporation until December 2013 and is currently a member of both institutions.

    He also serves as the Chairman of the Board of Directors of Qatar Development Bank and is a member of the Board of Directors of the Supreme Council for Economic Affairs & Investment.

    He served as the Chairman of the Board of Directors of the Gulf Monetary Council for 2014. He is a Board member at Qatar Investment Authority and the Chairman of the Governors of GCC Monetary Agencies and Central Banks Committee.

    // https://cutt.ly/fRQD0yV //

    ReplyDelete
    Replies
    1. ගෘහ සේවිකාවන් මැද පෙරදිග යාමෙන් ඇරඹුණු ප්‍රවණතාව මහ බැංකුවේ අධිපතිවරයාට මැදපෙරදිග යාමට සිදු වීම දක්වා දුර දිග ගොස් තිබෙනවා. මේ ගමන සිදුවන්නේද ගෘහ සේවිකාවන්ට මැද පෙරදිග යාමට සිදුවන සන්දර්භය තුළම වීම මෙහි ඇති ඛේදයයි.

      Delete
  5. https://youtu.be/SrwtdZPtwDY

    what do you think about this Mr. ????

    ReplyDelete
    Replies
    1. ජවිපෙ විසින් සාමාන්‍යයෙන් කරන ආකාරයේ තවත් කතාවක්. පිළිතුරු දෙන්න මහන්සි වෙන එකේ තේරුමක් නැහැ. කෙසේ නමුත් මේ ගැන සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් මේක ඉන්දීය රජයේ මැදිහත්වීමකට අනුව ඉන්දියාවේ රාජ්‍ය සමාගමකින් මේ පොහොර ආනයනය කරන ප්‍රමාණයෙන් 90% දෙන්නෙ ණයට. මාසෙකින් ලංකාවේ ආණ්ඩුව මුදල් ගෙවන්නේ. ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් ගෙවන්නෙත් නැති නමුත් පළවෙනි කොන්ටිටි එක එවන්න ඒගොල්ලන්ට පොඩි ඇඩ්වාන්ස් මුදලක් ගෙවන්න වෙනවා. එම මුදල ගෙවන්න යනකොට මුලින්ම ශ්‍රි ලංකන් එයා කාගෝ සමාගම කියල තියෙනවා මෙට්‍රික් ටොන් 55,000 ක් ප්ලේන් එකේ ගෙන්න පුළුවන් කියලා. නමුත් එල් සී අරින්න බැංකුවට ගියාට පස්සේ කියල තියෙනවා ඉඩ තියෙන්නේ මෙට්‍රික් ටොන් 25,000 යි කියලා. ඒ නිසා ක්ෂණිකව පොහොර ගෙන්වීමට එයාර් ෆ්‍රයිට් කරන්න පුළුවන් කියලා ඒ අනුව එහෙම දුන්න මුදල් ගානෙන් ප්‍රමාණයක් ඒ සමාගමේ ඉතුරු වෙලා තියනවා. නමුත් ඒ මුදල් ලංකාව ඇතුලේ ලොජස්ටික් සහ ඒ සියලු දේ සඳහා ලංකාවේ ආනයනය කරන සමාගමේ අය ගේන්න ඕන. (ඒත් පොහොර එහෙන් එවන එකට ඉන්දියානු රජයේ සමාගමකට තමයි ගෙවිය යුතු.)

      මෙතන ප්‍රශ්නේ ආණ්ඩුව නිසි පරිදි කළමනාකරණය නොකර කාලය නාස්ති කරපු නිසා අන්තිමට වැඩේ පත්තු වුනාම හදිස්සියේ සියලු දේ කරන්න ගිහින් වැඩේ අල කර ගත්ත එක. ජවිපෙ එහෙන් මෙහෙන් දැන ගත්ත අහුල ගත්ත කරුණු වලින් දමල ගහල තියෙනව වගේ පේන්නේ.

      Delete
  6. මේ අවුරුද්ද අවසානයේ අපිට upper middle income ආර්ථිකයක් බවට පත්වෙන්න පුලුවන් වෙයිද
    අපිට‍ newly industrialized රටක් වෙන්න පුලුවන් වෙයිද 2024 ට කලින්

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්ද අවසන් වෙද්දී නැවත upper middle income තත්ත්වයට යාමේ හැකියාවක් නැහැ. ඩොලරය 200 මට්ටමේ තියා ගත්තත් ඩොලර් වලින් 2021 ඒක පුද්ගල ආදායම 2020 මට්ටමටත් වඩා අඩු වෙනවා. NIC ලෙස නම් කරන ක්‍රමවේදය ගැන මම හරියටම දන්නේ නැහැ.

      Delete
    2. ඒ කියන්නේ ගිය අවුරුද්දේ gdp per capita එක වෙච්ච 3682 ටත් වඩා මේ අවුරුද්දේ අඩු වෙනවා කියන එකද?

      Delete
    3. //ඩොලරය 200 මට්ටමේ තියා ගත්තත් ඩොලර් වලින් 2021 ඒක පුද්ගල ආදායම 2020 මට්ටමටත් වඩා අඩු වෙනවා.//
      නැවත ඇස්තමේන්තු කර බැලූ විට, 3%ක පමණ වැඩි වීමක් විය හැකියි. එහෙත්, උද්ධමනය සැලකිය යුතු ලෙස වැඩි නොවුනොත් upper middle income තත්ත්වයට යන්න අසීරුයි.

      Delete
  7. සුබසාධනය ගැන කියනකොට මතක්වුනේ මේ ලඟදි දන්න කෙනෙකුට කතා කලා යම් රැකියා අවස්තාවක් ගැන තොරතුරක් දෙන්න. ඔහු කියනවා 'මට ආන්ඩුවෙන් ඕනෙවටත් වඩා සල්ලි හම්බවෙනවා, මේ වෙලාව රස්සාවක් කරන්න අවශ්‍ය නැහැ' කියලා. ඒකෙ තියෙන අවාසනාවන්ත (කියලා මට හිතෙන) දෙය තමයි ඒ තැනැත්තා සම්මත අධ්‍යාපන ක්‍රමය තුල කෙනෙකුට ලබාගන්න පුලුවන් ඉහලම සුදුසුකම ලබා තිබීම. සෑහෙන කාලයක් රැකියාවක් නොකර සුබසාධනය මත යැපුනොත් ඔහුගෙ දක්ශතා (skills) නැතිවෙන්න පුලුවන් වගේම ඒවගේ සුදුසුකමක් ලබාගන්න ඔහු කල emotional and physical investment එකට සාධාරනයක් නොවෙන්නත් පුලුවන්. ඒ වගේම ඒ තැනැත්තාගෙ ආත්මාභිමානයට වෙන හානිය. නමුත් ඒ හැමදේම පෞද්ගලික තේරීම්.

    ඉකෝන් කතා කරන්නෙ ආර්ථික සාධක ගැන විතරයි කියලා පැහැදිලිව සඳහන් කරලා තිබුනත් මට හිතුනා ඒක සුබසාධනයේ non-monetary (at least in the short term) බලපැමක් හා උදාහරණයක් කියලා 'ඒ හරහා රැකියා අහිමි වන පිරිස් සුබසාධනය කළ යුතු නිසා එක් සීමාවකින් පසුව මේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පටන් ගන්නවා' කොටසට.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නය මේ දවස් වල ඇමරිකාවෙත් තියෙනවා. කෝවිඩ් නිසා රජයෙන් සල්ලි බෙදුවනේ. දැන් බොහෝ පුරප්පාඩු තිබුණත් ශ්‍රමිකයන් නැහැ. මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්නවා. (තවත් හේතුත් තිබෙනවා).

      Delete
  8. සබ්බ පාපස්‌ස අකරණං
    කුසලස්‌ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    ඒතං බුද්ධානසාසනං

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete
  9. Econo
    I have an issue on the statement "පූර්ණ ධනවාදයකට වඩා ආසන්න හැම රටකම වගේ හොඳ සුබසාධන යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙනවා. මේ හරහා කෙරෙන්නේ ධනවාදී තරඟය තුළ අසමත් වන කොටස් ගැන බලා ගන්න එකයි".
    Despite, I agree with the Capitalist concept I have seen some part of economists within the capitalist system such as Joseph Stiglitz and Jeffry Sachs are against many phenomena associated with capitalism such as equitable distribution of opportunities, income distribution and bailing out of the financial institutions that are too large to fail. I see their view goes far beyond usual economic principles of Democrats. Any views on that pls.

    ReplyDelete
    Replies
    1. Can you express your own views on the three listed issues, equitable distribution of opportunities, income distribution and bailing out of the financial institutions, please? What you say is not very clear to me.

      Delete
    2. Econo, I have written the above comment based on a book written by Joseph Stiglitz some time back. Its name is "Great Divide". I assume the name it self suggest his criticism on US system. Its difficult to explain all, but the chapters such as "The anatomy of a murder: who killed American economy?" focusing on global financial crisis, chapter titled "of the one percent, by the one percent , for the one per cent" describing the income distribution, chapter titled "equal opportunity, our national myth", chapter titled "inequality and the American child" and "America's socialism for the rich" etc. he describes the failures in the US system. I understand that these needs to evaluate in detail for providing comprehensive answers.
      However, my issue is how an economist, a Nobel laurate such as Stiglitz be so deviant from the basic concepts of capitalism.

      Delete
    3. ලංකාවේ සැබෑ ප්‍රශ්නය මීට වඩා ගොඩාක් බරපතළ දෙයක් ඉකොනොමැට්ටා, ලංකාවේ ආණ්ඩුවේ විපක්ෂ කණ්ඩායම් වල සහ අනෙකුත් හැම දේශපාලනික පක්ෂ වල අයට මේ ගැන හරි හමන් අදහසක් හෝ අවබෝධයක් නැහැ වගේ මට නම් පේන්නෙ. ඉකොනොමැට්ටා මෙතන සාමාන්‍යයෙන් සාකච්ඡා කරන වඩාත්ම බරපතල වන ආර්ථික ප්‍රශ්න වලට අමතරව ලංකාවේ සමාජ දේශපාලනික අර්බුදකාරී වටපිටාව ගැන සරල උදාහරණයක් කියන්නම්, හැබැයි මෙය තවත් සමාජ විද්‍යාත්මකව පර්යේෂණ කළ යුතු අදහසක්.

      ලංකාවේ පොදු සමාජය නිරික්සද්දී මට පෙනෙන්නේ දැන් ලංකාවේ පරම්පරා දෙකක් අතර උග්‍ර සංස්කෘතික ඝට්ටනයක් සිදු වෙමින් තිබෙන බවයි. එක් පරම්පරාවක් යුද්ධය අත්දුටු පරම්පරාවයි. අප වැනි වසර 2,000 ට පෙර උපන් පිරිස ලෙස දළ වශයෙන් ඔවුන් හඳුනාගත හැකිය. “පූර්ව-සහස්‍ර පරම්පරාව” (pre-millennium generation) ලෙස මා ඔවුන් පොදුවේ හඳුන්වනවා. එම පරම්පරාව සතුව සාම්ප්‍රදායික සිංහල/දෙමළ/මුස්ලිම්... සංස්කෘතික ලක්ෂණ සෑහෙන දුරකට ඉතිරිව පවතින අතර අධ්‍යාපනය, මාපිය දූදරු සම්බන්ධය, විවාහය, දරුවන්, රැකියාව, ආගම, ජාතිය වැනි කාරණා පිළිබඳව අනන්‍ය ලක්ෂණ එම පරම්පරාවේ දැක ගත හැකියි. එමෙන්ම ලංකාවේ තිස් වසරක යුද්ධය වෙනුවෙන් පරම්පරාවක් විසින් කළ කැප කිරීම් ඔවුන්ගේ මනසේ දැඩි ලෙස කාවැදී තියෙනවා.

      ඊළඟට අනෙක් පරම්පරාව යුද්ධය අත් නොදුටු පරම්පරාවයි. එනම් වසර 2,000 න් මෙහා උපන් පිරිස ලෙස දල වශයෙන් හඳුනාගත හැකි “පශ්චාත්-සහස්‍ර පරම්පරාව” (post-millennium generation) ලෙස මා ඔවුන් හඳුන්වනවා. ඔවුන් ඉහත පරම්පරාවේ සංස්කෘතියෙන් බොහෝ සේ වෙනස් ලක්ෂණ ඇති සම්පූර්ණයෙන්ම වෙනස් පරම්පරාවක් බව මට නිරීක්ෂණය වේ. (මා වැරදි විය හැකිය). ඒ වෙනස්කම් මොනවාද යන්න දැනට මට සවිස්තරව කිව නොහැකි වුවත් ඒවා ඉහත පරම්පරාවේ සංස්කෘතික ලක්ෂණවලින් බරපතළ ලෙස වෙනස් බව පමණක් දැනට කිව හැකිය. මේ ගැන සමාජ විද්‍යාත්මකව ගැඹුරින් පර්යේෂණ මගින් තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව මගේ හැඟීමයි. කෙසේ වෙතත් මේ තත්ත්වය සමාන වෙන්නේ දෙවන ලෝක යුද්ධයට මුහුණ දුන් බ්‍රිතාන්‍ය පරම්පරාව සහ ඉන් පසු එහි පරම්පරාව අතර 1960 ගණන් වල සිට ඇති වුණු සංස්කෘතික ඝට්ටනයට යැයි මට සිතේ. ඒ වගේම ගෝලීය පරම්පරා බෙදන (සෝ කෝල්ඩ් Baby Boomer, Gen X, Gen Y, Gen Z...) ක්‍රමය ලංකාවට එතරම් අදාළ නොවන බව මගේ අවබෝධයයි. මෙමගින් අද සමාජයේ නිරීක්ෂණ බොහෝමයක් පැහැදිලි කළ හැකි යැයි මට සිතේ.

      මීට සරල උදාහරණයක් ලෙස සැලකිය යුතු හේතු පැහැදිලි හේතුවක් නොමැතිව ලංකාව ප්‍රතික්ෂේප කරමින් සිටින සහ බොහෝ විට කෙසේ හෝ රට හැර යා යුතු යැයි සිතන පිරිස වැඩිපුරම අයත් වන්නේ පශ්චාත්-සහස්‍ර පරම්පරාවට යැයි මට පෙනේ. එම චර්යාව මෙම සංස්කෘතික වෙනස්කමෙන් පැහැදිලි කළ හැකිය. සරලව කිවහොත් ඔවුන්ට ලංකාවේ ප්‍රමුඛ ජාතික සංස්කෘතිය (Dominant National Culture) ගැලපෙන්නේ නැත. ඔවුන්ගේ සංස්කෘතික විතැන් වීමට යුද්ධයෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කිරීමට උත්සාහ කළ සෝ කෝල්ඩ් "බටහිර" පන්නයේ ඇඟට දැනෙන සංවර්ධනය උත්තේජනයක් වී ඇති බවක්ද පෙනේ. එම ව්‍යාපෘතිය අසාර්ථක වීමම මේ නව පරම්පරාවේ අපේක්ෂා භංගත්වයට හේතුවක් වී තිබීම සිත් ගන්නා සුලුය. මෙම සංස්කෘතික ඝට්ටනය ඊළඟ වසර දහය විස්ස තුළ කෙසේ සකස් වේවිද කියා පරිස්සමින් නිරීක්ෂණය කර බැලිය යුතුය. මේ ඝට්ටනයේ උච්චස්ථානය තවම එළැඹි නැතැයි මට සිතේ. පුද්ගලිකව මම නම් පුද්ගලිකව මේ පශ්චාත්-සහස්‍ර පරම්පරාවේ සැලකිය යුතු මට්ටමකින් විශාල පිරිසක් හෝ නැවත නොඑන්නම රටින් පිට වෙනවාට කැමතියි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට ස්වාධීන බාහිර නිරීක්ෂකයකු ලෙසින්?

      Delete
    4. Gasgemba October 28, 2021 at 3:02 AM

      That is the exact problem I discuss in this article and in the previous articles referenced here. Most people to not like the idea of allowing markets to determine all outcomes for various reasons. That's why no country is purely capitalistic. The exact reason to deviate from pure capitalism is a matter of debate. Reviewing a book, full of ideas, is a complex thing and too much effort for a blog post. But if you or someone can express an opinion in support for or against any single argument of Stiglitz (at a time) I can express my view.

      Delete
    5. AnonymousOctober 28, 2021 at 3:17 AM

      //ලංකාවේ සැබෑ ප්‍රශ්නය මීට වඩා ගොඩාක් බරපතළ දෙයක් ඉකොනොමැට්ටා//

      මම මේ ලිපියෙහි ලංකාව හා අදාළ කිසි දෙයක් කතා කළේ නැහැ. ලංකාව ඉලක්ක කර ව්‍යංගයෙන් කතා කළේත් නැහැ. මෙහි මම පැහැදිලි කළේ වඩා නිදහස් වෙළඳපොළක් වෙනුවෙන් පෙනී සිටින යම් තරමකින් සම්ප්‍රදායවාදී (දක්ෂිණාංශික) පක්ෂයක් හා එයට සාපේක්ෂව ආදායම් විෂමතා අඩු කිරීම (සුබසාධනවාදය) වෙනුවෙන් පෙනී සිටින (බටහිර සම්මත අනුව වාමාංශික) පක්ෂයක් අතර කාලයක් තිස්සේ සිදු වන ආවර්තීය බල හුවමාරුවෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ජාතිකවාදය මතු වීම නොවැලැක්විය හැකි බවයි. මොකද සෘජුව හෝ වක්‍රව කණ්ඩායම දෙක අතින්ම සිදු වන්නේ ජාතිකවාදයට දැල්වෙන්නට තෙල් සපයන එකයි. මේ කරුණ අදාළ වන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලටයි.

      ලංකාව සම්බන්ධව ඔබ සඳහන් කරන බොහෝ දේ සම්බන්ධව එකඟ විය හැකියි.

      //ඒ වගේම ගෝලීය පරම්පරා බෙදන (සෝ කෝල්ඩ් Baby Boomer, Gen X, Gen Y, Gen Z...) ක්‍රමය ලංකාවට එතරම් අදාළ නොවන බව මගේ අවබෝධයයි.//

      එය එලෙසම ලංකාවට යෙදිය නොහැකි බව ඇත්ත. මේ බෙදීම අදාළ වන්නේ බටහිර රටවලට. හැබැයි මේ බෙදීමෙහි නිර්ණායක වල සමහර කරුණු ලංකාවටද අදාළයි. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා ලෝකයට නිරාවරණය වුනේ කවර වයසකදීද කියන කාරණය. ඊට අමතරව ඔබ සඳහන් කරන යුද්ධය මතක නොතිබීම, 88/89 කාලය මතක නොතිබීම, 1970-77 කාලය මතක නොතිබීම, ඊටත් පෙර 71 මතක නොතිබීම ආදිය බෙදුම් ඉරි.

      Delete
  10. ඇමරිකාවෙ අවුරුදු 13ක් හිටිය්ත් දනවාදී ඉදිරිගාමී දැක්මක් ඇතිකර ගන්න බෑ නේද

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නැහැ. ධනවාදී ඉදිරි දැක්මක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...