වෙබ් ලිපිනය:

Thursday, November 11, 2021

ඇමරිකාවේ උද්ධමනයත් ඉහළට!


පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 6.2% මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර තිහක කාලය තුළ ඇමරිකාවෙන් වාර්තා වූ ඉහළම උද්ධමන අගයයි. මීට පෙර ඇමරිකාවේ උද්ධමනය මෙවැනි ඉහළ මට්ටමක තිබුණේ 1990 වසරේදී.  

උද්ධමනය මෙතරම් ඉහළ යාමට ප්‍රධානම හේතුව වසංගත කාලය තුළ විශාල ලෙස පහත වැටුණු ඉන්ධන මිල 49.5%කින් නැවත ඉහළ යාමයි. ඇමරිකාවේ උද්ධමනය මනින භාණ්ඩ හා සේවා පැසෙහි ඉන්ධන වලට 4.08%ක බරක් තිබෙන නිසා ඉන්ධන වලින් පමණක් උද්ධමනය 2.0%කින් ඉහළ යාමට දායකත්වයක් සැපයී තිබෙනවා. 28.1%කින් ඉහළ ගොස් තිබෙන ගෑස් මිලෙහි බලපෑමද එකතු කළ විට මෙම දායකත්වය 2.2%ක්.

ඉන්ධන මිලට අමතරව ඇමරිකාවේ වාහන මිලද පසුගිය කාලය තුළ විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. එයින්ද වැඩිපුරම ඉහළ ගොස් තිබෙන්නේ පරණ (පාවිච්චි කළ) වාහන වල මිලයි. අළුත් වාහන වල මිල පසුගිය වසර තුළ 9.8%කින් ඉහළ යද්දී, පරණ වාහන වල මිල 26.4%කින් ඉහළ ගොස් තිබෙනවා. උද්ධමන පැසෙහි 7.787%ක බරක් තිබෙන වාහන හා වාහන අමතර කොටස් සමස්තයක් ලෙස 16.5%කින් ඉහළ යාම නිසා ඇමරිකාවේ උද්ධමනයට තවත් 1.3%ක දායකත්වයක් ලැබී තිබෙනවා. මීට අමතරව වාහන කුලියට ගැනීමේ වියදම්ද 39.1%කින් ඉහළ ගොස් තිබෙනවා.

විශාල ලෙස මිල වැඩි වී තිබෙන තවත් අයිතමයක් වන්නේ හෝටල් හා නවාතැන්පොළ ගාස්තුයි. එම අංශයේ 25.5%ක වැඩිවීමෙන් පිළිබිඹු වන්නේද වසංගත කාලය තුළ විශාල ලෙස පහත වැටුණු මෙම සේවා ගාස්තු නැවත පෙර මට්ටමට පැමිණීමයි. 

ඉන්ධන, වාහන, නවාතැන්පොළ ගාස්තු ආදියේ වැඩිවීම නොවන්නට ඇමරිකාවේ උද්ධමනය 2.5% ආසන්න මට්ටමක තිබිය හැකි වූ බැවින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් තවමත් ඇමරිකාවේ උද්ධමනය ඉහළ යාම කණස්සල්ලට කාරණයක් සේ සලකා නැහැ. ඔවුන්ගේ අදහස වන්නේ උද්ධමනය මෙසේ ඉහළ යාම තාවකාලික තත්ත්වයක් පමණක් බවයි. එහෙත්, ඉහත පරිදි විශාල ලෙස මිල ඉහළ ගොස් ඇති අයිතමයන්ට අමතරව අනෙකුත් බොහෝ අයිතමයන්ගේ මිල ගණන්ද සාමාන්‍ය තරමට වඩා වැඩි වී තිබෙනවා.

පසුගිය වසරක කාලය තුළ සමස්තයක් ලෙස ආහාර මිල 5.3%කින්ද, ඉන්ධන, විදුලි බලය ඇතුළු බලශක්ති ප්‍රභව වල මිල 30.0%කින්ද, අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් 4.6%කින්ද ඉහළ ගොස් තිබෙනවා. ආහාර කාණ්ඩයේ හරක්මස් හා මුවමස් මිල 20.1%කින්ද, ඌරුමස් හා ඌරුමස් ආශ්‍රිත නිෂ්පාදන (හැම් හා බේකන්) මිල 14.1%කින්ද, කුකුළුමස් මිල 8.8%කින්ද, අළුත් මාළු මිල 11.0%කින්ද, බිත්තර මිල 11.6%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

කෝවිඩ් වසංගතය හා ඒ හේතුවෙන් ආර්ථිකය සංකෝචනය වීම හමුවේ ඇමරිකන් ෆෙඩරල් රජය හා ඇමරිකාවේ මහ බැංකුව රටේ මුදල් සංසරණය විශාල ලෙස වැඩි කළා. මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන බව පැහැදිලි කරුණක්. 

රටේ ආර්ථිකය ප්‍රසාරණය කරන්නට අවශ්‍ය වූ විට මුදල් සැපයුම වැඩි කිරීමත්, ඒ හේතුවෙන් උද්ධමන අවදානම් මතු වෙද්දී නැවත එම මුදල් ආපසු ඇද ගැනීමත් මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සාමාන්‍ය ක්‍රමයයි. පසුගිය 2008 ආර්ථික අවපාතයෙන් පසුවද ඇමරිකාවේ රජය හා මහ බැංකුව එකතු වී විශාල මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු කළත් ඒ හේතුව නිසා ඇමරිකාවට උද්ධමන තර්ජනයකට මුහුණ දීමට සිදු වූයේ නැහැ. එම නිරීක්ෂණය මත පදනම්ව ඇතැම් අය සල්ලි අච්චු ගැහීම කියන තරම්ම හානිකර නොවේය යන වැරදි නිගමනයට පැමිණීමට හදිස්සි වුනා.

පසුගිය ආර්ථික අවපාතයේදී අච්චු ගැසූ සල්ලි වලින් විශාල ප්‍රමාණයක් ගියේ විශාල බැංකු හා සමාගම් බේරා ගන්නයි. එයින් වෙනස්ව, මෙවර සාපේක්ෂව අඩු ආදායම් ලබන පවුල් වලට සල්ලි බෙදා දෙනු ලැබුවා.

ලොකු ධනවතෙකුට එකවර විශාල මුදලක් ලැබුණා කියා කන ප්‍රමාණය හෝ අඳින ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. සමස්තයක් ලෙස මෙසේ ලැබුණු මුදල් ආයෝජනය කරනවා මිස පරිභෝජනය සඳහා වැය කරන්නේ නැහැ. ඒ නිසා, කොටස් වෙළඳපොළ මිල ගණන් ආදිය ඉහළ යනවා මිස පාරිභෝගික භාණ්ඩ හා සේවා මිල ඉහළ යන්නේ නැහැ. ආයෝජන වැඩි වෙද්දී, රටේ නිෂ්පාදනය ඉහළ යන අතර රැකියා නියුක්තිය වැඩි වී සමාජයේ පහළ ස්ථර වෙතද ප්‍රතිලාභ ගලා එන නමුත් ඒ සඳහා යම් කාලයක් යනවා. මෙහිදී පාරිභෝගික භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යන විට අනෙක් පැත්තෙන් නිෂ්පාදනයද ඉහළ ගොස් අවසන් නිසා මිල ඉහළ යාමක් සිදු වන්නේ නැහැ.

අඩු ආදායම්ලාභීන් අතට සෘජුව මුදල් ලබා දුන් විට සිදු වන්නේ මේ දෙයම නෙමෙයි. ඔවුන් එක පැත්තකින් එම මුදල් විශාල ලෙස භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා වැය කරන අතර අනෙක් පැත්තෙන් අතේ සල්ලි තිබෙන නිසා රැකියාවක් කරන්නට තිබෙන උනන්දුව අඩු වෙනවා. මෙහි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් පාරිභෝගික භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යද්දී අනෙක් පැත්තෙන් සැපයුම සීමා වීමයි. අවසන් ප්‍රතිඵලය උද්ධමනයයි.

සල්ලි අච්චු ගසා ලොකු සමාගම් බේරා ගැනීම නරක දෙයක් බවත්, එහෙත් සල්ලි අච්චු ගසා දුප්පතුන්ට බෙදීම හොඳ දෙයක් බවත්, කෙනෙකුට තර්ක කළ හැකියි. එහෙත්, අච්චු ගහන සල්ලි දුප්පතුන් අතට යාමෙන් ඔවුන්ට ලැබෙන ක්ෂණික සහනය උද්ධමනය ඉහළ ගිය වහාම අහෝසි වෙනවා. දුප්පතුන්ට දැනෙන උද්ධමන පීඩනය පොහොසතුන්ට දැනෙන්නේ නැහැ. උද්ධමනය ඉහළ යද්දී ඔවුන්ගේ වත්කම් වල මිල වැඩි වී ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනවා. එම වාසිය පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහළ යාමේ අවාසියට වඩා වැඩියි. 

සල්ලි අච්චු ගසා රටක දුප්පතුන් සුබසාධනය කිරීමේදී ඇත්තටම සිදු වන්නේ ඔවුන්ව රැවටීමක් පමණයි. එක සාක්කුවකට වැටෙන සල්ලි අනෙක් සාක්කුවෙන් නැවත ආපසු යනවා. සැබෑ සුබසාධනයක් කරන්නනම් කාගෙන් හෝ බදු ලෙස එම වියදම පියවා ගන්නම සිදු වෙනවා.

15 comments:

  1. කාලයත් සමග ස්ථානය වෙනස්වීම ප්‍රවේගයයි. කාලයත් සමග ප්‍රවේගය වෙනස්වීම ත්වරණය/මන්දනයයි.

    කාලයත් සමග බඩු මිල වෙනස්වීම උද්ධමනයයි. කාලයත් සමග උද්ධමනය වෙනස්වීමට අර්තදැක්වීමක් තිබේ ද?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. "ත්වරණය වන උද්ධමනය (accelerated inflation)" කියනවා මිසක් තනි වචනයක් නැහැ. අධි උද්ධමනය (hyper inflation) යන යෙදුම යොදන්නේ ටිකක් කිට්ටුවෙන් යන සන්දර්භයක වුවත් එහි අර්ථදැක්වීම වෙන එකක් (මාසයකට 50% ඉක්මවා මිල වැඩි වීම).

      Delete
    2. ස්වාභාවික විද්‍යාවන් සහ සමාජීය විද්‍යා ඇපල් ටු ඇපල් කම්පෙයා කිරීම විහිළුවක්, මොකද මෙම කරුණ අන්තර්ජාතික කටයුතු‎, ජන සන්නි‍‍‍‍වේදනය‎, ජනාවාස අධ්‍යයනය‎, ජාත්‍යන්තර සබඳතා‎, පුරාවිද්‍යාව‎, වාග් විද්‍යාව‎, සංස්කෘතික අධ්‍යයනය‎, සමාජ විද්‍යාව‎, ‍‍‍‍දේශපාලන විද්‍යාව‎ වැනි අනෙක් සමාජීය විද්‍යාවන්ටද පොදුයි. නමුත් අනාථ නාථ නලීන් ද සිල්වා වැනි බටහිර විද්‍යා විරෝධීන් බටහිර සමාජීය විද්‍යාවන් පට්ටපල් බොරු කතන්දර වන ස්වාභාවික විද්‍යා පසුපස නොන්ඩි ගසමින් යන ගර්හිත විද්‍යා ලෙස බැහැර කර ඇත.

      ප්‍රවේගය = "විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව" (භෞතික විද්‍යාවේ දිශාවක් හා විශාලත්වයක් ඇති දෛශික [Vector] රාශියක් වන මෙයට නිශ්චිත දිශාවක් ද ඇත. සමීකරණ වලදී බොහෝවිට Velocity යන අර්ථානුකූලව 'V' මගින් සංකේතවත් කෙරේ. භෞතික විද්‍යාවේ තත්ත්පරයට මීටර් (m/s or ms−1) යන ඒකකය මගින් මනිනු ලබයි.

      ත්වරණය = "ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය" ලෙස භෞතික විද්‍යාවේ දී හැඳින්වේ. ඒකමාන පද්ධතියකදී නම් ත්වරණය (acceleration) යනු වේගය වෙනස් වීමේ සීඝ්‍රතාව ලෙස ද සැලැකිය හැකි වෙතත් ප්‍රවේගය දෛශික රාශියක් (දිශාවක් හා විශාලත්වයක් ඇති - Vector) බැවින් ප්‍රවේගයෙ ප්‍රමාණාත්මක අගය මෙන් ම දිශාව ද වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණයෙන් දැක්වේ. ත්වරණයෙහි ‍මාන වනුයේ (දුර)×(කාලය)-2 ය. අන්තර්ජාතික සම්මත ඒකක අනුව ත්වරණය මනින්නේ තත්පර වර්ගයට මීටර වලිනි (ms-2). ඍණ ත්වරණය නොහොත් මන්දනයෙහි ද මාන සහ ඒකක ත්වරණයෙහි මාන සහ ඒකකම වේ. භෞතික විද්‍යාවේදී ප්‍රවේගයෙ දිශාව වෙනස් වීම ද ත්වරණයක් ලෙස හැඳින්වේ. වෘත්ත චලිතයේදී වස්තුවක ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීමෙන් කේන්ද්‍රාභිසාරී ත්වරණයක් ඇති වේ.

      සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේදී (Classical Physics or Newtonian Physics) නියත ස්කන්ධයක් (mass) ඇති වස්තුවක ත්වරණය එම වස්තුව මත යෙදෙන බලයට අනුලෝමව සමානුපාතික වන බව කියැවේ (නිව්ටන්ගේ දෙවැනි නියමය - Newton's Second Law of motion). වස්තුව මත යෙදෙන බලය F ද, එහි ස්කන්ධය m ද, ඇති වන ත්වරණය a ද නම්:

      F ∝ mdv/dt + vdm/dt (Finally, F = kma & F = ma by definition)

      කෙසේ නමුත් ආර්ථික විද්‍යාව විධිමත්ව හදාරා නොමැති මට තේරෙන හැටියට නම් ඇත්තටම උද්ධමනය කියල කියන්නේ අඛණ්ඩව නිරන්තරයෙන් භාණ්ඩ හා සේවා වල පවතින සාමාන්‍ය මිල මට්ටමේ ඉහල යෑමක් ලෙස නිර්වචනය (ඩිෆයින්) කල හැකියි, ඒ අනුව කිස්යම් නිශ්චිත කාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස කිව හැකි නමුදු තාවකාලික වශයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස කිසිසේත්ම නොසලකයි.

      මීට අමතරව උද්ධමනය එක් එක් රටින් රටට වෙනම අගයන් ඇති අතර ආර්ථිකයේ ස්වභාවය අනුවද එය වෙනස්, උදාහරණයක් ලෙස වඩාත් දියුනු ආර්ථික සහිත රටවල උද්ධමනය 2%- 3%ක මට්ටමක තිබීම සාමාන්‍යය තත්ත්වයක් නමුත් එම අගය 8%- 9% පවති නම් උද්ධමනයේ සැලකිව යුතු තත්වයක්, කෙසේ වෙතත් අවම වශයෙන් තනි අංකයක අගයක් වත් පවත්වා ගැනීම ශුභදායක / සුභදායක (පාලි තත්සම) / සුබදායක (හෙළවදන්) බව කිව හැකියි.

      නමුත් සම්භාව්‍ය ආර්ථික විද්‍යා මුල්‍ය ප්‍රමාණවාදි සංකල්ප අනුව නම් MV=PT ලෙස නිර්වචනය කෙරෙයි.

      (M - මුදල් සැපයුම V - මුදලේ සංසරන ප්‍රවේගය P - මිළ මට්ටම T - ගනුදෙනුවල පරිමාව). මෙය උපකල්පන දෙකක් මත විග්‍රහ කරයි

      එවිට අවකලනයේ ගුණිත නියමය අනුව I = d(P)/dt = (MdV/dt + VdM/dt - PdT/dt)/T

      (කෙසේ නමුත් මෙය නිශ්චිත උපකල්පන දෙකක් මත පදනම්ව ගොඩනැගෙන අතරම ගනුදෙනු වල පරිමාව පුර්ණ සේවා නියුක්ති මට්ටම පවතින විට මුදලේ සංසරණ ප්‍රවේගය දිගු කාලයේ ස්ථාවර අගයක් ගන්නා බව මින් පැහැදිලි වෙයි, මෙතනදි මුදල් සැපයුම ඉහළ යද්දී එම අනුපාතයෙන්ම මිළ ඉහළ යා යුතුයි. V හා T සථාවර යයි උපකල්පනය නොකලේ නම් මුදල් සැපයුම ඉහළ යන විට V හා T ඉහළ යා හැක V පහළ යා හැක. මුදල් සැපයුම ඉහළ යාම හා මිළ මට්ටම ඉහළ යාම තුල ඍජු සබඳතාවක් පවතිනමුත් නිමවුම හෝ සේවා නියුක්ති මට්ටම වෙනස් නොවේ.)

      Delete
  2. I think this is mainly due to 1) lack of migration (due to travel restrictions) and 2) issues at Chinese ports (China has a COVID elimination strategy, and a short-term power crisis). In other words, this is more a supply constraint driving inflation rather than a demand pull. I feel this will pass over the next 6-12 months. What do you think of this view?

    ReplyDelete
    Replies
    1. As you correctly mentioned, the pandemic has caused several supply constraints including what you have mentioned and the effect of those constraints will pass over within a short period. But, still, in my view, the demand pulled inflation stays above Fed's 2% target. The contribution from certain items (public transportation, for example) now stays negative. If/when pandemic fears are over, some other components of CPI will increase significantly. So, this supply side story a half-truth. Fed still maintains the supply constraints story but investors expect Fed will have to raise rates and markets have responded causing dollar to be strengthened.

      Delete
  3. ඊයෙ නිව්ස් වලට ගියා.
    වැඩකරන්න මිනිස්සු නැතිව සැපයුම වැඩි කරන්න බැරිවෙලාලු

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ඇත්ත. මම ජීවත් වන ප්‍රදේශයේ හැම තැනකම වගේ පුරප්පාඩු දැන්වීම්. අවම වැටුප මෙන් 60-70%කට වැඩි මුදලක් ගෙවන්න සූදානම්ව සිටියත්, රස්සා වලට එන්න කට්ටිය නැහැ.

      Delete
    2. Bidenගෙ ඇපෲවල් රෙටුත් බැහැගෙන යනව නේද

      Delete
    3. ඔව්. සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

      Delete
  4. ලංකාවේ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ 2022 අය වැය ගැන ඉකොනො මොකක්ද හිතන්නේ? රජය අධික ලෙස බදු අය කිරීම නිසා ව්‍යාපාරික ප්‍රජාව සහ ලංකාවේ ජනතාව දැඩි කෝපයට පත්ව සිටින අතර රජයට එරෙහිව දැවැන්ත විරෝධතා උද්ඝෝෂණ ඉදිරියේ දී දැක ගැනීමට පුළුවන් වේවි. ඒ වගේම ලංකාවේ නම් ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් පැවති සියයට 10.0% හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 12.8% දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.8%හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4% දක්වා ඉහළ ගිහින් තියෙනවා.

    ලංකාවේ වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන Colombo consumer price index දර්ශක වෙනස 2021 සැප්තැම්බර් මාසයේ සියයට 4.5හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.8 දක්වා ඉහළ ගිහින්.

    මේ දවස්වල දකුණු ආසියාතික රටවල් හැම එකක්ම වගේ මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද? ඉන්දියාවේ උග්‍ර මෝදි විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර වලට අමතරව පකිස්ථානය බංග්ලාදේශ, නේපාලය වගේ රටවල් වල ගොඩක් අර්බුද කියලා ජාත්‍යන්තර මාධ්‍ය වලින් දැක ගැනීමට පුළුවන්. උද්ධමනය, විරැකියාව, කුසගින්න සහ අවනීතිය මැඬ පැවැත්වීමට අසමත් වීම හේතුවෙන් පකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන්ගේ රජයට එරෙහිව එරට ප්‍රබල ව්‍යාපාරිකයන් සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන් විශාල පිරිසක් විරෝධතා පවත්වමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා ඔබ දකින්නට ඇති මේක යම් තරමකින් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ද?

    පකිස්තාන් සමස්ත වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ එකමුතුවක් විසින් මේ දවස් වල එවැනි ප්‍රබල උද්ඝෝෂණයක් සිදු කරමින් සිටින අතර ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් නිසා සියලු ප්‍රශ්න ඇතිවූ බව පවසමින් ඛනිජ තෙල් මිල වහා අඩු කරන ලෙස සටන් පාඨ කියමින් මඟ දෙපස අවහිර කර ඇතැයි වාර්තා වල මම දැක්කා.

    මේ වගේම කිසිම දෙයක් තේරුම් ගන්න අමාරු අත්දැකීම් අඩු නවක අගමැති ඉම්රාන් ඛාන් වහා ඉල්ලා අස්විය යුතු බව ඔවුන් රජයට බල කර ඇතැයි ද, රජයේ ප්‍රතිපත්ති දැඩි ලෙස හෙළා දකින බව ද පකිස්තාන් සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ඔබත් පිළි ගන්නවාද?

    මේ වගේම ඉම්රාන්ගේ තහ්රීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරමින් විරෝධතාකරුවන් රජය සියලු ව්‍යාපාර විනාශ කරන බවට චෝදනා කරමින් පසුගිය වසර 70ක තුළ පාකිස්තානයේ උද්ධමනය ඉහළම මට්ටමට පැමිණ ඇත්තේ මේ අවස්ථාවේදී බවත්, ආහාර මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත් වෙළෙඳ ප්‍රජාව ඉතා බරපතල විදිහට චෝදනා කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර රැසක් තියෙනවා මේකට දකුණු ආසියාවේ රටවල් වල විසඳුම් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ රජයෙන් බදු අඩුකලානෙ යහපාලනෙන් දාපු ඒව

      Delete
    2. ඉඩක් ලැබුණු විට අයවැය ගැන ලිපියක් දමන්නම්.

      Delete
    3. //මේ රජයෙන් බදු අඩුකලානෙ යහපාලනෙන් දාපු ඒව//

      ඒ කරපු වැරැද්ද තේරුම් ගෙන දැන් නිවැරදි කරගන්න උත්සාහ කරන බවයි පෙනෙන්නේ. යහපාලන ආණ්ඩුව බදු වැඩි කිරීම විවේචනය කර බලයට පැමිණි මේ ආණ්ඩුවට මේ අළුත් ප්‍රතිපත්තිය විශාල දේශපාලන අභියෝගයක් වනු නිසැකයි.

      Delete
  5. ඇමෙරිකාවේ එහෙම වුණත්
    අපේ රටේ කවදාවත්
    එහෙම වෙන්නේ නෑ!
    ඊට වැඩිය නරක වුණත්
    කවදාවත්
    අපි කියන්නේ නෑ!!

    ReplyDelete
  6. හොඳ ලිපියක්. බ්‍රිතාන්‍යයේ උද්ධමනය වැඩි වුනත් ලොකු ප්‍රශ්නයක් වේලලා නැහැ. රැකියා අවස්ථා වැඩි වෙමින් යනවා.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...