ඇමරිකානු ජනාධිපතිවරණ දිනයට පෙර සිදු වුනු මැතිවරණ ප්‍රචාරණයේදී "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන ඇහුණා. ගොඩක් වෙලාවට පෙනෙන්න තිබුණේ ට්‍රම්ප් කඳවුර විසින් බයිඩන් කඳවුරට මේ වගේ වචන වලින් දමා ගසන ආකාරයක්. මේවා දැකපු ලංකාවේ සමහර අය ජෝ බයිඩන් සමාජවාදියෙක් ලෙසත්, ඩිමොක්‍රටික් පක්ෂය සමාජවාදී පක්ෂයක් ලෙසත් දකින තැන දක්වාම තල්ලු වෙලා තියෙනවා. කවුරු හරි එහෙම හිතනවානම් ඊට වඩා මුලාවක් තවත් නැහැ.
ඩිමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ලිබරල්වාදී, ජාත්‍යන්තරවාදී, සුබසාධනවාදී හා සම්ප්‍රදාය විරෝධී පක්ෂයක්. නමුත්, ඩිමොක්‍රටික් පක්ෂය කියන්නේත් රිපබ්ලිකන් පක්ෂය වගේම ධනවාදය පිළිගත්, ධනවාදය වෙනුවෙන් කැප වුනු, ධනවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින පක්ෂයක්. ඩිමොක්‍රටික් පක්ෂයට සාපේක්ෂව එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමාජවාදී පක්ෂයක් කියා හඳුන්වන්න පුළුවන්.
ඩිමොක්‍රටික් පක්ෂය හෝ පාක්ෂිකයන් විසින් තමන් සමාජවාදීන් සේ හඳුන්වා ගන්නේ නැහැ. ඔවුන්ට "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන වලින් දමා ගසන්නේම අපහාසාත්මක අර්ථයකින්. එහෙමත් නැත්නම් දේශපාලන හානියක් කිරීමේ අරමුණින්. මොකද ඇමරිකාව ඇතුළේ සමාජවාදී ලේබලය ගැසීම නිශේධනාත්මක දෙයක්. තනිකරම ලංකාවේ අනික් පැත්ත.
එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් තමන්ව ධනවාදී පක්ෂ සේ හඳුන්වා ගන්නේ නැහැ. එම පක්ෂ, ධනවාදී පක්ෂ සේ කෙසේ වුවත්, ධනපති පක්ෂ සේ හැඳින්වීම මුලින් ලසසප, කොප වැනි පැරණි වාමාංශික පක්ෂ විසින් පටන් අරගෙන පසුව ජවිපෙ වැනි පක්ෂ විසින් ඉදිරියට අරගෙන ගිය භාවිතාවක්. එම පක්ෂ ධනපති පක්ෂ සේ හඳුන්වන්නේ අපහාසාත්මක අර්ථයෙන්. මේ ආකාරයෙන්ම ලංකාවේ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ එවැනි අනෙක් පක්ෂ සුළු ධනේශ්වර පක්ෂ සේ හඳුන්වනවා. ඇත්ත වුනත්, බොරු වුනත් මේ ලේබලය ගහන්නේ අපහාසාත්මක අර්ථයකින්. ට්‍රම්ප්වාදීන් ඩිමොක්‍රටික් පක්ෂය ගැන කතා කරද්දී "රැඩිකල් වාමාංශය" වගේ යෙදුම් යොදන්නෙත් මෙවැනිම අර්ථයකින්.
ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ඇමරිකාවේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති අතර මහා ලොකු වෙනසක් නැහැ. පොදුවේ ඇමරිකාවේ ජීවත්වන පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ, විශේෂයෙන්ම දියුණු වන රටක සිට සංක්‍රමණය වූ අයෙකුගේ, දෘෂ්ඨි කෝණයෙන් බැලුවත් තත්ත්වය එසේමයි. මේ පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති අතර වෙනස පැහැදිලිව පෙනෙන්නේ ඇමරිකානු සන්දර්භය ඇතුළේ පමණයි. පක්ෂ දෙකම මූලික වශයෙන් නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය පිළිගන්නවා.
ඇමරිකාවේ ඡන්දය දමන්න අවස්ථාව ලැබෙන්නේ වයස 18 සම්පූර්ණ වූ අයෙකුටයි. එසේ සම්පූර්ණ වූ අයගෙන් ඇතැම් අයට විවිධ හේතු මත මෙම අයිතිය අහිමි වෙන්න පුළුවන්. අපරාධ වරදක් කිරීම වගේ. එය තීරණය වන්නේ ප්‍රාන්ත නීතිය අනුවයි. ඡන්දය දැමීමේ අයිතිවාසිකම තිබෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් ලියාපදිංචි විය යුතුයි. එසේ නැත්නම් ඡන්ද ලැයිස්තුව අරගෙන ග්‍රාමසේවක ගෙදරට එන්නේ නැහැ.
පුද්ගලයෙකුට ඡන්දය සඳහා ලියාපදිංචි වෙනවා වගේම කවර හෝ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් ලෙසත් ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙත් මේ ආකාරයට ඡන්දය දමන්න සුදුසුකම් ලබන ඇමරිකානුවන්ගෙන් 30%ක් පමණ අඩු වශයෙන් ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වෙන්නේවත් නැහැ. ලංකාවේ බාසාවෙන් කිවුවත් ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්නවත් උනන්දු වෙන්නේ නැහැ. ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්න අයගෙනුත් 10-15% අතර ප්‍රමාණයක් ප්‍රධාන මැතිවරණයකදී පවා ඡන්දය දමන්නේ නැහැ. වැදගත්කමින් අඩු මැතිවරණයකදීනම් ඡන්ද භාවිතාව හොඳටම අඩුයි.
ඇමරිකානුවන් සාමාන්‍යයෙන් ඡන්දය දමන්න එතරම් උනන්දුවක් නොදක්වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කොයි එක දිනුවත් ඔවුන්ගේ ජීවිත වලට ලොකු බලපෑමක් නැති නිසයි. අර කියන්නේ අපි හම්බ කළොත් අපි කනවා කියලා. ඇමරිකාවේ ක්‍රමය තුළ රටේ මිනිස්සුන්ට හම්බ කරගෙන කන්න අවශ්‍ය වාතාවරණය හදනවා මිසක් එතැනින් එහාට මිනිස්සුන්ගේ ජීවිත වලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්.
සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර තිබෙන වෙනස්කම් ඇඟට දැනෙන තරමට වෙනස් වෙද්දී මැතිවරණ සඳහා තිබෙන උනන්දුවත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තය ගත්තොත්, මෙවර ඡන්දය දීම සඳහා සුදුසුකම් ලැබූ පිරිස 25,060,169ක්. එයින් ඡන්දය සඳහා ලියාපදිංචි වූ ප්‍රමාණය 20,921,513 හෙවත් 83.5%ක්. එහෙත්, 2016දී ලියාපදිංචි වී තිබුණේ සුදුසුකම් ලැබූවන්ගෙන් 72.9%ක් පමණයි. (මෙවර ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලියාපදිංචි වූ ඡන්දායකයින් ප්‍රමාණය වුවත් ලංකාවේ ජනගහණයට ආසන්නව සමානයි.)
මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.
ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)
රිපබ්ලිකන් - 5,018,332 (24.0%)
වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)
පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)
මෙයින් පෙනෙන පරිදි බොහෝ ඇමරිකානුවන් සෘජුවම කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා.
ජනාධිපතිවරණයට තරඟ කරන හැම අපේක්ෂකයෙකුගේම නම ඡන්ද පත්‍රිකාවට නොයන බව මම කලින් ලිපියක සඳහන් කළානේ. අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යන නොයන එක බොහෝ විට තීරණය වන්නේ අදාළ පක්ෂයේ සාමාජික සංඛ්‍යාව අනුවයි. කැලිෆෝර්නියා ප්‍රාන්තයේනම් අවසන් වලට පැවැත්වුණු ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 0.33%කට නොඅඩු සාමාජික පිරිසක් සිටින දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යනවා. එපමණ සාමාජිකයින් නැති පක්ෂයක සාමාජිකයෙකුට ඡන්දය දිය හැක්කේ නම ලිවීමෙන් පමණයි. මේ අවම කොන්දේසි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.
මේ මැතිවරණයේදී ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම ඡන්ද පත්‍රිකා වලට නම දමා ගන්න පුළුවන් වුනේ අපේක්ෂකයින් තිදෙනෙකුට පමණයි. ඒ ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් හා ලිබටේරියන් පක්ෂ වල අපේක්ෂකයින් තිදෙනාට. එහෙත්, තවත් පක්ෂ ගණනාවක අපේක්ෂයින්ගේ නම් කවර හෝ ප්‍රාන්තයක ඡන්ද පත්‍රිකාවේ තිබුණා.
ඩිමොක්‍රටික් පක්ෂයට සමාජවාදී ලේබලය අලවන්නේ අපහාසාත්මකව වුවත්, ලංකාවේ වගේම සෘජුවම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂත් ඇමරිකාවේ තිබෙනවා. ජන පදනම අනුව මේ පක්ෂ අතරින් ඉදිරියෙන්ම ඉන්න බව කිව හැක්කේ සමාජවාදී විමුක්ති පක්ෂයයි. මේ පක්ෂය 2004 වසරේදී ලෝක කම්කරු පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් විසින් හදපු පක්ෂයක්. සමාජවාදී පක්ෂයක අඩු වශයෙන් සාමාජිකයින් දෙන්නෙක් හෝ ඉන්නවානම් ඒ දෙන්නා මතවාදී ගැටුමක් හදාගෙන පක්ෂ දෙකක් හදා ගන්නවා කියල කියනවනේ!
සමාජවාදී විමුක්ති පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂිකාව වූ ග්ලෝරියා ලා රිවාට මෙවර ඇමරිකාවේ ප්‍රාන්ත 15ක ඡන්ද පත්‍රිකා වලට නම දමා ගත හැකි වුනා. මේ ප්‍රාන්ත බොහොමයක් ඡන්ද පත්‍රිකාවට නම දමා ගැනීම සඳහා දැඩි කොන්දේසි පනවා නැති ප්‍රාන්තයි.
කවර හෝ ප්‍රාන්තයකින් ඡන්ද පත්‍රිකාවට නම දමා ගත හැකි වූ අනෙක් සමාජවාදී අපේක්ෂිකාව ඇලිසන් කෙනඩි. ප්‍රාන්ත හයක ඡන්ද පත්‍රිකා වල පෙනී සිටි ඈ නියෝජනය කළේ සමාජවාදී කම්කරු පක්ෂයයි. මේ පක්ෂය සියවසකටත් වඩා කාලයක සිට ඇමරිකාවේ ක්‍රියාත්මක වන සම්ප්‍රදායිකව ට්‍රොට්ස්කිවාදී වූ හා හතරවන ජාත්‍යන්තරයට සම්බන්ධව සිටි පක්ෂයක්.
ග්ලෝරියා ලා රිවා වගේම ඇලිසන් කෙනඩිත් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුනා. එසේ ඉදිරිපත් වුනු ග්ලෝරියා විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 74,392ක් ලබා ගනිද්දී ඇලිසන් කෙනඩි විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 12,467ක් ලබා ගත්තා. 2016දී ග්ලෝරියා ලා රිවා විසින් ලබාගත් ඉහත කී ඡන්ද ප්‍රමාණයෙන් 66,101ක්ම ලබා ගත්තේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන්.
මෙතෙක් ගණන් කර අවසන්ව තිබෙන කැලිෆෝර්නියා ඡන්ද වලින් ග්ලෝරියාට ලැබී තිබෙන්නේ ඡන්ද 45,726ක් පමණයි. ඒ අනුව, ඇමරිකාවේ සමාජවාදීන් ගියවර ගත්ත ඡන්ද ටිකත් මේ පාර නැති බවයි පෙනෙන්නේ. ඒ නිසා, ඇමරිකාවේ ධනවාදය කඩා වැටිලා සමාජවාදය බිහිවන තුරු බලා ඉන්න අයට බයිඩන් සමාජවාදියෙක් කියලා හිතලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.













