වෙබ් ලිපිනය:

Sunday, November 1, 2020

හැලෝවීන් අවුරුද්දේ ඡන්ද කෙරුවාව


හෙට පළ කිරීමේ අදහසින්, මේ ලිපිය ලියද්දී ගෙවෙන්නේ හැලෝවීන් රාත්‍රියයි. මේ අවුරුද්දේ බය හිතෙන ඇඳුම් ඇඳගෙන අසල්වැසියන් අමුතුවෙන් බය කරන්න දෙයක් නැහැ. මේ අවුරුද්දම හැලෝවීන් අවුරුද්දක්. 

හැලෝවීන් දවසට පෙර සිකුරාදා දිනයේදී ඇමරිකාවෙන් අලුතෙන් හඳුනා ගැනුණු කෝවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයකට වැඩියි. මේ තනි රටකින් එක් දිනයක් තුළ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂයකට වඩා හඳුනා ගැනුණු පළමු අවස්ථාවයි. ඉන්දියාව ලක්ෂය කිට්ටුවටම ගියත් ලක්ෂය ඉක්මවූයේ නැහැ. එළඹෙන ශීත සෘතුව තුළ ඇමරිකාවේ මේ වාර්තාව ඇමරිකාව විසින්ම නැවත නැවත වාර ගණනාවක් අලුත් කරනු ඇතැයි පුරෝකථනය කළ හැකියි.

අපේ ප්‍රාන්තයේ තත්ත්වයේත් වෙනසක් නැහැ. ප්‍රාන්තය තුළින් පසුගිය සිකුරාදා හඳුනා ගැනුණු කෝවිඩ් ආසාදිතයින් ගණනද අලුත් වාර්තාවක්. මෙසේ සිදුවුනේ අපේ ප්‍රාන්තයේ පාලකයින්ගේ වරදින් නෙමෙයි. අපේ ප්‍රාන්තය වසා දැමුවේ කෝවිඩ් ආසාදිතයින් ඉතාම සුළු ප්‍රමාණයක් හඳුනා ගැනුණු වහාමයි. දැනටත් පාසැල් සරසවි, රජයේ කාර්යාල ආදිය පූර්ණ ලෙස විවෘතව නැතුවා වගේම මුහුණු වැසුම් නීතිය, අඩි හයේ නීතිය ආදියද හොඳින් ක්‍රියාත්මක වෙනවා. කෝවිඩ් ව්‍යාප්තිය මන්දගාමී කළ හැකි වුවත් වැළැක්විය හැකි එකක් නෙමෙයි.

යුරෝපයේ බොහෝ රටවල දැකිය හැක්කේත් ඇමරිකාවේ රටාවමයි. එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය වැනි ශීත සෘතුව එළිපත්තේ සිටින කවර යුරෝපීය රටක් දෙස බැලුවත් දෙවන රැල්ල යන්නේ පළමු රැල්ලට වඩා ගොඩක් ඉහළින් බව පහසුවෙන් නිරීක්ෂනය කළ හැකියි. මෙය වසංගතයේ පැතිරීම ආරම්භ වෙද්දීම ආකෘති අනුසාරයෙන් නිවැරදිව පුරෝකථනය කර තිබුණු තත්ත්වයක්. ඒ වගේම, බටහිර හැම රටක්ම වගේ මේ තත්ත්වයට මුහුණ දීම සඳහා කලින් සැලසුම් කළා. ප්‍රධානම හේතුව නොවුනත්, ආසාදිතයින් වැඩි වන තරමට මරණ ඉහළ නොයාමට මෙය ප්‍රධාන හේතුවක්.

පසුගිය මාර්තු මාසයේ සිටම අප සිටියේ ගෙදරටම වී බව මා කිහිප වරක්ම සටහන් කර තිබෙනවා. දෙසතියකට පෙර අප ඡන්දය දැමීම සඳහා එළියට ගියා. මාර්තු මාසයෙන් පසුව මෙවැනි ජනාකීර්ණ තැනකට ගියේ පළමු වරටයි. පැය එකහමාරකට වඩා වැඩි වෙලාවක් පෝලිමේ ඉන්න සිදු වුනා. 




පෝලිමේ අන්තිමට කිට්ටුව සිටි දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ඇප් එකකින් පරීක්ෂා කර අපට දැනුම් දුන්නේ ඡන්දය දැමීමට පැයකුත් මිනිත්තු හතළිස් පහක් පෝලිමේ ඉන්නට සිදුවනු ඇති බවයි. මිනිත්තු පහළොවකින් ඡන්දය දැමීමට අවශ්‍යනම් වෙනත් ඡන්ද පොළකට යා හැකි බවද ඔහු දැනුම් දුන්නා. ඒ ඡන්ද පොළට මිනිත්තු දහ පහළොවකින් යා හැකි වුවත් අප එහිම නැවතුනා. අපට පසුව පැමිණි වෙනත් ඇතැම් අය අනෙක් ඡන්ද පොළට පිටත්ව ගියා.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදීද මෙසේ කලින් ඡන්දය දැමීමට ගොස් පැය හතරක් හෝ පහක් පමණ පෝලිමේ සිටි නිසාත්, එළියට බැස්සේ සෑහෙන කාලයකට පසු නිසාත් ටිකක් පෝලිමේ ඉන්න එකේ අවුලක් දැනුනේ නැහැ. මේ දවස් වල පරිසරයත් ඉතාම ලස්සනයි. හැමෝම අඩි හයේ පරතරය තබාගෙන පෝලිමේ සිටි නිසාත්, මුවවැසුම් පැළඳ සිටි නිසාත් ඒ වෙලාවේ ලොකු අවදානමක් ඇති බවක් දැනුනේ නැහැ. එහෙත් කළේ මෝඩ වැඩක්ද කියා පසුවනම් හිතුනා. පෝලිමේ පැය එකහමාරක් ගත නොකර අනෙක් ඡන්ද පොළට යන්න තිබුණා වගේම තැපෑලෙන් ඡන්දය දමන්නත් අවස්ථාව තිබුණා.

ඇමරිකාවේ සියලුම ඡන්ද පැවැත්වෙන්නේ එකම නිශ්චිත දිනයක වුවත් එම දිනයට පෙර තමන්ට පහසු දිනයක ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාවද තිබෙනවා. මෙය ලියන මොහොත වන විට ඇමරිකානුවන් 91,222,908 දෙනෙකු ඡන්දය දමා අවසන්.  එයින් 33,141,215 දෙනෙකු ඡන්ද මධ්‍යස්ථානයකදීත්, 58,081,693 දෙනෙකු තැපැල් මාර්ගයෙනුත් ඡන්දය භාවිතා කර තිබෙනවා. මෙම ප්‍රමාණය පසුගිය වර භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්. මීට අමතරව තවත් 33,119,293 දෙනෙකු මේ වන විට තැපැල් ඡන්ද පත්‍රිකා ලබා ගෙන තිබෙනවා. ඒ අනුව මැතිවරණ දිනයේදී ඡන්දය දමන්නට වැඩි පිරිසක් ඉතිරි වන එකක් නැහැ. 

බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ ජනාධිපති තරඟය දෙස වුවත් ඇමරිකාවේ මැතිවරණයක් කියන්නේ ජාතික මට්ටමින්, ප්‍රාන්ත මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් විධායකයේ, ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ තනතුරු ගණනාවක් මහජන ඡන්දයෙන් පුරවන අවස්ථාවක්. ජාතික මට්ටමේදී ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා මෙන්ම සෙනෙට් සභාවේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් තෝරා ගැනීම සඳහාත්, ප්‍රාන්තයේ අධිපතිවරයා හා නියෝජ්‍ය අධිපතිවරයා මෙන්ම ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායකයේ එනම් සෙනෙට් සභාවේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින්, ප්‍රාදේශීය මට්ටමෙන් කොමසාරිස් වරුන් හා කවුන්ටි කවුන්සලයේ සභිකයින්, ප්‍රාන්ත මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා අධිකරණ ගණනාවක විනිශ්චයකාරවරුන් හා උසාවි ලිපිකරුවන් මෙන්ම නීතිපතිවරයා, ප්‍රාන්ත වල හා කවුන්ටි වල විගණකාධිපතිවරුන් හා භාණ්ඩාගාරිකයන් මෙන්ම පාසැල් පාලක මණ්ඩල ඇතුළු තනතුරු ගණනාවක් මහජන ඡන්දයෙන් පිරවෙන හෝ අනුමත වන නිසා ඡන්ද පත්‍රිකාව දිගු එකක්. මේ තනතුරු පිරවීමට අමතරව බදු වැඩි කිරීම් වැනි දේ ඇතුළු ඇතැම් නීති සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණද මේ ඡන්ද පත්‍රිකාවටම එකතු වෙනවා.

කෙසේ වුවත්, ජයග්‍රහණය කරන්න වැඩි සම්භාවිතාවක් නැති අපේක්ෂකයින්ගේ නම් වලින් ඡන්ද පත්‍රිකාව පුරවන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපේ ප්‍රාන්තයේ ඡන්ද පත්‍රිකාවේ සටහන්ව තිබෙන්නේ ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් හා ලිබටේරියන් පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් පමණයි. හරිත පක්ෂයේ අපේක්ෂකයා ඇතුළු තවත් අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් තරඟ කළත් ඔවුන් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ හැක්කේ ඡන්ද පත්‍රිකාවේ වෙනත් යන්න තෝරා නම ලිවීමෙන් පමණයි.

මෙවර මැතිවරණයේදී වෙනදා දකින්නට නොලැබෙන අසාමාන්‍ය උනන්දුවක් දැකිය හැකියි. මීට පෙර මේ අයුරින් ඡන්ද ප්‍රචාරණ පත්‍රිකා වලින් තැපැල් පෙට්ටිය පිරී නැහැ. ඇමරිකාව ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ලෙස දැඩි ලෙස බෙදී සිටීම ඊට හේතුව විය හැකියි. මුහුණ වසාගත් අපේක්ෂකයාගේ කණ්ඩායම සහ මුහුණ වසා නොගත් අපේක්ෂකයාගේ කණ්ඩායම. හරියට උඩ වට්ටක්කා ගෙඩි දෙක වගේ.


12 comments:

  1. ඉකොනෝ,

    අයිත්මතෝෆ්ගේ පලමු ගුරුවරයා/ First Teacher (ගුරු ගීතය)  පොත් කියන ලෙසට
    ' වසන්තය එනවා , සත්තයි' සේ..
    2020 දීත්
    ට්‍රම්ප් එනවා,  සත්තයි.

    CP-C

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එහෙමයි. නමුත් ටිකක් ටයිට් නේද? මගේ ඉංග්‍රීසි බ්ලොගයේ ට්‍රම්ප් නැවත එනවා කියලයි මම ලිව්වේ. කොච්චර බනන්ත් ට්‍රම්ප් වෙන රටක් ආක්‍රමණය කලේ නැහැ නේද?

      Delete
  2. නොනැවත දුවන මිනිසුන්හට ඉසිඹු ලමින්
    නැවත හිතන්නට කාලය ලබා දෙමින්
    සොබාදහම ඇත පාඩම් උගන්වමින්
    පෙරැළෙන පිට හොඳද කියලත් හිතෙයි ඉතින්!

    ReplyDelete
  3. H indexගැන,
    H index එකත් විශාල වශයෙන් අවභාවිත කරනවා මේ වනවිට. Scopus H index එක නෙවෙයි ලංකාවේ භාවිත කෙරෙන්නේ. Google scholar H index එක. දකුණු පළාතේ තිබෙන උසස් අධ්‍යාපන ආයතනයක පිරිසක් මෙය අවභාවිත කරමින් සිටිනවා. අවුරුද්දකට සැරයක් ස්විට්සර්ලන්තයට ගොඩ බැහැල CERN එකට ගොඩ වැදිලා තේ එකක් බීල ආවත් CERN collaboration එකේ ඉන්න සියලුම දෙනාගේ නම් වැටෙනවා වල. ඇමෙරිකාවේ Fermi Lab වලත් එහෙමයි. ඒ particle physics වල හැටි. මේ උදවියගේ මේ paper වල කතෘ වරුන් 100 ඉක්මවා ඉන්නවා. මේවා පෙන්නලා මේ උදවිය H index එක 30, 40 ටත් එහා පෙනන්නවා කිසිම පර්යේෂණයක් නොකර. UGC චක්‍රලේඛ හදන්නෙත් මෙතුමන්ලා කීපදෙනෙක් නිසා වාසියට ඒවත් හදා ගන්නවා. paper වල නම තිබුණට වැඩක් නෑ ඒකෙ තමුන්ගේ contribution එක පැහැදිලිව ඉදිරිපත් කරන්න බැරි නම්.

    ReplyDelete
    Replies
    1. විවිධ විෂය ක්ෂේත්‍ර අතර H-index එක සංසන්දනය කිරීම අසීරුයි. ඔබ කියනවා වගේම ඇතැම් විෂයයන්ගේ සම්මතය අනුව පර්යේෂණයක් සඳහා මොනවා හෝ සාම්පලයක් ලබා දුන්නත් නම වැටෙනවා. ඒ වගේම ඇතැම් ක්ෂේත්‍ර වල ඇකඩමික් ජර්නල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඇතැම් ක්ෂේත්‍ර වල තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ අනුව citations ප්‍රමාණ වෙනස් වෙනවා. ඒ වගේම ඇතැම් ක්ෂේත්‍ර වල පර්යේෂණ පත්‍රිකාවක් පළ කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න අවුරුදු තුන හතරක් ගත වෙනවා. ඒ නිසා, බොහෝ විට H-index එක වැනි තනි කරුණක් දෙස බලා සාධාරණ වශයෙන් ඵලදායීතාවය නිර්ණය කරන්න අමාරුයි. එහෙත්, කිසියම් විෂය ක්ෂේත්‍රයක් තුළ සම්මත බොහෝ දුරට සමාන නිසා යම් සංසන්දනය කිරීමක් කළ හැකියි. එසේ කළත් එය එක් නිර්ණායකයක් පමණයි.

      Delete
  4. ඉකොනෝ මහත්තයා නං ට්‍රම්ප් මහතැන්ට නේද කැමති?

    ReplyDelete
    Replies
    1. ඔබ කොහොමද එහෙම තීරණය කරන්නේ?

      Delete
    2. මේක පොස්ට් දැක්කම එහෙම හිතෙනවා

      Delete
    3. “Stock Markets will hit new highs if President Trump wins. Tremendous growth like never before. If Biden wins, it’s strangulation. Not good.”

      - Steve Kalayjian, Varney

      Delete
  5. ට්‍රම්ප් ද අනික් හාදයද දිනන්නේ කියල දාන පෝස්ට් බුකියේ විසිරිලා, තමුන් කැමති කෙනා පැරදුනාට පස්සේ කොන්ස්පිරසි ගැන ලියන්නේ ඒ අය වෙන්න ඔ්නි. ඒකත් ලංකාවේ ලියන රිසච් වගේ.

    ReplyDelete
  6. චන්ද අපේක්ෂකයින්ගේ නම් මුද්‍රණය කිරීම වෙනුවට තමන් කැමති අපේක්ෂකයාගේ නම ලියා චන්දය ප්‍රකාශ කරන ක්‍රමයක් භාවිතා කලොත් ඔය කාගෙ කාගේත් සාක්ෂරතාවය ගැන හොඳ වැටහීමක් ලෝකයටම ලැබේවි.

    ReplyDelete
  7. මම මේ ලඟදි ඩොකු එකක් බැලුව. ඒකෙ තියෙන විධිහට අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල චන්ද ගණන් කරීම අවභාවිත කරන්න ලෙහෙසියි කියලයි පෙනෙන්නේ . එයා කියනවා රුසියාව එහෙම කරන්න ඉඩ තිබෙනවා කියල. කිල් චේන්
    https://www.youtube.com/watch?v=567TMVdIkIU
    මම බයිඩන් ට අකමැති සිරියාවට අත ගහපු නිසා. (ඔබාමා ලිබියාවට කෙලිය). ට්‍රම්ප් ඒක කලේ නැහැ නමුත් කොරෝනා ව්‍යාප්තිය ගැන වැඩිය හෙව්වේ නැහැ. මම හිතනවා ඇමෙරිකාවේ මිනිස්සු වැඩිය සලකන්නේ තමන් නොදකින මරණ වලට වඩා අතේ මුදල් ගැවසෙන ආර්ථිකයට කියල.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...