ලංකාවේ පාරිභෝගිකයින්ට විදුලි බලය සැපයීමේ ඒකාධිකාරය තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. ශ්‍රී ලංකා රජය විසින් ආයතන දෙකක් හරහා මේ ඒකාධිකාරය ක්‍රියාත්මක කරනවා. පළමුවැන්න ලංවිම. දෙවැන්න ලෙකෝ. ලෙකෝ එක පුද්ගලික සමාගමක් ලෙස හදා තිබුණත් එහි අයිතිය තියෙන්නේ ලංවිමට, නාගරික සංවර්ධන අධිකාරියට, මහා භාණ්ඩාගාරයට සහ පළාත් පාලන ආයතන කිහිපයකට. ඒ කියන්නේ පෞද්ගලික අංශයට ලංකාවේ විදුලි බලය සැපයීම තුළ කිසිදු ඉඩක් නැහැ.
වෙනත් බොහෝ දේවල් වගේම ලංකාවට විදුලි බලය හඳුන්වා දෙන්නෙත් පෞද්ගලික අංශය. හොයලා බැලුවොත් රටේ ගොඩක් පාරවල් වලට මුලින්ම බස් එකක් දාල තියෙන්නේ පෞද්ගලික අංශය. බස් ජනසතුව එන්නේ පස්සේ. ඔය වගේම මුලින්ම ලංකාවේ විදුලි බල සැපයුම් කරන්නෙත් පෞද්ගලික අංශය. ලංවිම හදන්නේ පස්සේ. මේ කිවුවේ දැන් තියෙන ලංවිම ගැන නෙමෙයි. මුලින්ම හදපු ලංවිම ගැන.
පළමු ලංවිම එන්න කලින් වගේම දැන් තියෙන දෙවන ලංවිම ඇවිත් සෑහෙන කාලයක් යන තුරුත් ලංකාවේ විදුලිබල කර්මාන්තය සෑහෙන තරමින් විමධ්‍යගත වෙලයි තිබුණේ. දැන් වගේ ඒකාධිකාරයක් තිබුණේ නැහැ. කර්මාන්තය රාජ්‍ය අංශයේ ග්‍රහණයට ටිකෙන් ටික ගියත් විමධ්‍යගත ආකෘතිය ඒ විදිහටම තිබුණා. පළාත් පාලන ආයතන විසින් විදුලිය හදලා තමන්ගේ ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට විකිණුවා. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ආදිය තමන්ට අවශ්‍ය විදුලිය තමන් විසින්ම හදා ගත්තා.
රජය විසින් ආයෝජන කරලා රටේ විදුලි බල නිෂ්පාදනය ඉහළ යද්දී ලංවිමට හදන විදුලිය විකුණා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වුනා. සැපයුම තරමට ඉල්ලුමක් රටේ තිබුණේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය වුනේ ලංවිම විසින් තමන් නිපදවන විදුලිය කොහොම හරි අනෙක් අයගේ ඇඟේ ගහන එක. ඒ හේතුවෙන්, අනෙකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විසින් විදුලිය නිපදවන එක ටිකෙන් ටික නැවතිලා ඔවුන් ලංවිම පාරිභෝගිකයින් බවට පත් වුනා.
හැබැයි ඊට පස්සෙත් පළාත් පාලන ආයතන විසින් විදුලිය බෙදා හරින එක දිගටම කරගෙන ගියා. අදාළ ප්‍රදේශ තුළ ලංවිමෙන් තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණන එක කළේ පළාත් පාලන ආයතන විසින්. ඒ අය විදුලිය හදන එකත් සම්පූර්ණයෙන්ම නැවතිලා තිබුණේ නැහැ. 1982 වන විටත් පළාත් පාලන ආයතන විසින් නඩත්තු කළ විදුලි බල පද්ධති 219ක් රටේ තිබුණා. රටේ ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් බාගයක් පමණම විදුලිය ලබා ගත්තේ මේ පද්ධතියකින්.
ජේආර් ජයවර්ධන කියන්නෙත් මධ්‍යගත ආකෘතියකට කැමැත්තක් දක්වපු කෙනෙක්. හැත්තෑ හතේ ව්‍යවස්ථාවෙන් රටේ නමට "සමාජවාදී" කෑල්ලක් එකතු වුනේ ජේආර්ට වැරදිලා නෙමෙයි. ලංකාවේ එවකට තිබුණු විමධ්‍යගත විදුලිබල ආකෘතිය මධ්‍යගත සැලසුමක් යටතට ගන්න ජේආර්ට අවශ්‍ය වුනා. හැබැයි අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති ටික එකතු කර ගන්න ඒ වෙලාවේ ලංවිම කැමති වුනේ නැහැ.
අන්තිමට ජේආර් කළේ ලෙකෝ සමාගම හදලා අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති බොහොමයක් ඒ යටතට ගන්න එක. මේක ටිකක් තගෙන් වගේ කරපු වැඩක්. ඇතැම් ආයතන උසාවිත් ගියා. කොහොම වුනත් වැඩේ කෙරුණා. ඊට පස්සේ ලංකාව ඇතුළේ විදුලිබලය විකිණීම ලංවිමට හා ලෙකෝ එකට සීමා වුනා.
රාජ්‍ය අංශයට අයිති ආයතනයක් වුනත් ලෙකෝ එකේ යම් සාධනීය ලක්ෂණ තිබුණා. ආයතනය හැදුවේ පෞද්ගලික ආයතනයක ආකෘතියකට. ආසියානු සංවර්ධන බැංකුවෙන් සල්ලි වගේම අවශ්‍ය තාක්ෂනික සහායත් ලැබුණා. අදටත් බටහිර වෙරළ තීරයේ නාගරික ප්‍රදේශ හතක පාරිභෝගිකයින්ට විදුලිබලය සපයන්නේ ලෙකෝ සමාගම. ලංවිමෙන් තොග මිලට මිල දී ගන්න විදුලිය ලෙකෝ එක විසින් සිල්ලරට විකුණනවා.
ඒ තරම්ම තේරුමක් නැති ප්‍රකාශයක් වුවත් ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා. ප්‍රකාශයේ ඒ තරම් තේරුමක් නැහැ කියා කිවුවේ ගැනුම් මිල වගේම විකිණුම් මිලත් තීරණය වෙන්නේ ලෙකෝ එකට පිටින් නිසා. හැබැයි ඒ තත්ත්වය යටතේ ලෙකෝ එක බොහෝ විට ලාබ ලබනවා.
ලෙකෝ ලාබ වලින් නිරපේක්ෂව කිසිම දෙයක් අදහස් වෙන්නේ නැහැ. මේ ලාබ ඇත්තටම ලාබ නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලංවිම කාර්යක්ෂමතාවය පරීක්ෂා කර බලන්න පදනමක් හැදෙනවා. කාලයකට කලින් ලංවිම කොටස් කිහිපයකට වෙන් කර තිබීමේ පදනමත් මේකයි.
දැනට ලංකාව තුළ විදුලිය බෙදා හැරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් බෙදා හැරීමේ බලපත්‍ර පහක් නිකුත් කර තිබෙනවා. එකක් ලෙකෝ එකට. ඉතිරි හතර විදුලි බල මණ්ඩලයේම කොට්ඨාශ හතරකට. මේ බෙදා හරින්නන් පස් දෙනා අතර ලංකාව භූගෝලීය ලෙස බෙදා දී තිබෙනවා. ඒ එක් එක් ප්‍රදේශය ඇතුලේ බලපත්‍රය තිබෙන ආයතනයට ඒකාධිකාරයක් තිබෙනවා.
මෙහෙම කොටස් පහකට වෙන් කළා කියලා පූර්ණ තරඟකාරිත්වයක් ඇති වෙන්නේ නැහැ. අකාර්යක්ෂමතා නැති වෙන්නෙත් නැහැ. හැබැයි මෙය හොඳ අතරමැදි පියවරක්. මොකද මේ වැඩේ හරියට වෙනවානම් විදුලිය බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය සංසන්දනය කළ හැකි යම් හෝ නිර්ණායකයක් ලැබෙනවා. මේ නිර්ණායකයේ අඩුපාඩු රැසක් තිබුණත්, මොකක් හෝ එකක් තියෙනවා.
මහජන උපයෝගීතා කොමිසමේ යෝජනාව වන්නේ බෙදා හැරීමේ බලපත්‍ර හතරක්ම දීලා තියෙන්නේ ලංවිමටම වුනත් අදාළ ලංවිම කොට්ඨාශ වෙනම ආයතන සේ සලකා ගිණුම් පවත්වා ගත යුතු බවයි. එවිට විදුලිය ජනනය වෙනමම කොටසක් වෙනවා. ලංවිම ජනන කොට්ඨාශයට තියෙන්නේ හදන විදුලිය තොග වශයෙන් බෙදා හරින්නන් පස් දෙනාට විකුණන එක. තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණලා ලාබ ගන්න එක එක් එක් බෙදා හරින්නාගේ වැඩක්. මේ වැඩේ හරියට වෙනවානම් ලංවිම කොට්ඨාශ වල බෙදා හැරීමේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ලෙකෝ එකත් එක්ක හා ලංවිමම අනෙකුත් කොට්ඨාශ එක්ක සංසන්දනය කළ හැකි බව කොමිසමේ අදහසයි.
එක් එක් කොට්ඨාශයේ විදුලි පාරිභෝගිකයින් ගණන, ඔවුන්ගේ සංයුතිය, සම්ප්‍රේෂණ ජාලයේ ප්‍රමාණය හා ස්වභාවය වගේ ගොඩක් දේවල් අසමාන නිසා මේ වගේ සංසන්දනයක් කරන එක පහසු වැඩක් නෙමෙයි. "විද්‍යාත්මක ක්‍රමයකට" ඒ වෙනස්කම් ගලපලා සංසන්දනයක් කරන එක තමයි කොමිසමේ අපේක්ෂාව. කොමිසමේ සභාපතිවරයා ලංවිමට චෝදනා කරන්නේ එසේ කාර්යක්ෂමතා සංසන්දනය කිරීම සඳහා ඉඩ සලසමින් වෙන වෙනම ගිණුම් නඩත්තු කරන වැඩේ තවමත් හරියට වෙලා නැහැ කියලයි.
පසුගිය 2021 වසරේදී ලංවිම විසින් විදුලිය ගිගාවොට්පැය 12,711ක් නිපදවලා තිබෙනවා. ඊට අමතරව තවත් ගිගාවොට්පැය 4,004ක් පෞද්ගලික නිෂ්පාදකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එකතුව ගිගාවොට්පැය 16,716ක්.
ලංවිම - 12,711 GWh
පෞද්ගලික අංශය - 4,004 GWh
එකතුව - 16,716 GWh
මේ විදිහට ලංවිම විසින් නිපදවපු හෝ මිල දී ගත් විදුලිය ලංවිම විසින් එක්කෝ තමන්ගේම කොට්ඨාශයක් හරහා කෙළින්ම පාරිභෝගිකයාට සිල්ලරට විකුණලා තිබෙනවා. එහෙම නැත්නම් තොග මිලට ලෙකෝ එකට විකුණලා තිබෙනවා.
කොට්ඨාශය 1 - 4,129 GWh
කොට්ඨාශය 2 - 4,766 GWh
කොට්ඨාශය 3 - 2,675 GWh
කොට්ඨාශය 4 - 2,010 GWh
ලෙකෝ - 1,633 GWh
එකතුව - 15,214 GWh
හදපු හෝ මිල දී ගත් ප්‍රමාණය හා විකුණපු ප්‍රමාණය අතර වෙනස වන ගිගාවොට්පැය 1,502 නාස්ති වූ ප්‍රමාණයක්. විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී තාක්ෂණික හේතු මත යම් නාස්තියක් වීම නොවැලැක්විය හැකි දෙයක්. එහෙත්, මේ නාස්තිය අවම කර ගත හැකියි.
විදුලිය විකුණන මිල තීරණය කරන්නේ ලංවිම විසින් නෙමෙයි. මහජන උපයෝගීතා කොමිසම විසින්. ඒ වගේම, පාරිභෝගිකයින් ප්‍රවර්ගය අනුව විකිණුම් මිල වෙනස් වෙනවා. ඒ හේතුව නිසාම, එක් එක් කොට්ඨාශය තුළ විදුලි ඒකකයක් විකිණෙන සාමාන්‍ය මිලද වෙනස් වෙනවා. ලංවිම විසින් ලෙකෝ එකට විදුලිය විකිණිය යුතු මිල තීරණය කරන්නෙත් කොමිසම විසින්.
කොට්ඨාශය 1 - කිලෝවොට් එකක් රුපියල් 17.89
කොට්ඨාශය 2 - කිලෝවොට් එකක් රුපියල් 15.85
කොට්ඨාශය 3 - කිලෝවොට් එකක් රුපියල් 16.17
කොට්ඨාශය 4 - කිලෝවොට් එකක් රුපියල් 16.68
ලෙකෝ - කිලෝවොට් එකක් රුපියල් 14.04
මේ සියල්ල 2021 වසර හා අදාළ ලංවිම සංඛ්‍යාලේඛණ.
ලෙකෝ සංඛ්‍යාලේඛණ අනුව,ලෙකෝ එක විසින් ලංවිමෙන් මිල දී ගත් විදුලි ඒකක ගිගාවොට්පැය 1,633ට අමතරව තවත් ගිගාවොට්පැය 84ක සූර්ය බල විදුලිය පාරිභෝගිකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එවිට එකතුව, ගිගාවොට්පැය 1,717ක්. එයින් ගිගාවොට්පැය 1,616ක් විකුණා තිබෙනවා. ඉතිරි ගිගාවොට්පැය 101 ලෙකෝ එක විසින් විදුලිය මිල දී ගැනීමෙන් පසුව සිදු වූ නාස්තිය.
ලෙකෝ දත්ත අනුව ඒකකයක් මිල දී ගැනීමට රුපියල් 15.11ක් වැය වී තිබෙනවා. ඇතැම් විට සූර්ය බල විදුලිය වෙනුවෙන් වැඩි මිලක් ගෙවුවා වෙන්න පුළුවන්. නැත්නම් නාස්ති වූ විදුලියේ වියදමත් සැලකිල්ලට ගැනීමෙන් පසුව වෙන්න පුළුවන්. ඒකකයක් විකුණලා තියෙන්නේ රුපියල් 20.06කට. ලංවිම කොට්ඨාශ වල විකිණුම් මිලට වඩා වැඩියි.
ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා කියලා මම කිවුවනේ. තවත් දේවල් (නඩත්තු කටයුතු ආදිය) කළත්, ලෙකෝ එක කරන ප්‍රධානම වැඩේ කියා කිව හැක්කේ තොග මිලට විදුලිය අරගෙන සිල්ලරට විකුණන එක. මේ තොග මිල වගේම සිල්ලර මිලත් තීරණය කරන්නේ නියාමකයා විසින් නිසා ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලෙකෝ එක කාර්යක්ෂමයි කියා අදහස් වෙන්නේ නැහැ. අකාර්යක්ෂමයි කියා අදහස් වන්නේත් නැහැ. ලෙකෝ ලාබ එහි කාර්යක්ෂමතාවය හා සෘජු සම්බන්ධයක් නැති නිකම්ම අංකයක් පමණයි.
හැබැයි ලෙකෝ ආකෘතිය අනුවම යමින් මේ කටයුත්ත කාර්යක්ෂම සේ සිදු වන පරිදි වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කරන එක අමාරු වැඩක් නෙමෙයි.
අපි මෙහෙම හිතමු. සිල්ලර විදුලි ගාස්තු දැන් වගේම නියාමකයා විසින් තීරණය කරනවා. එසේ කරන අතර විදුලිය ලංවිමෙන් තොග මිලට අරගෙන සිල්ලරට විකිණීමේ ව්‍යාපාරය වෙන්දේසි කරනවා. උදාහරණයක් විදිහට 2021දී ලෙකෝ එක විදුලි ඒකකයක් රුපියල් 15.11 බැගින් මිල දී ගෙන රුපියල් රුපියල් 20.06 බැගින් විකුණා තිබෙනවානේ. දැන් වෙන සමාගමක් ඔය කොන්ත්‍රාත්තුව ගත්තත් විකුණන්න වෙන්නේ ඔය මිලටමයි. අනෙකුත් සේවාවන්ද ඔය විදිහටම සැපයිය යුතුයි. එසේ කරන ගමන් ලංවිමට ලෙකෝ එක ගෙවන මිලට වඩා වඩා වැඩි මිලක් ගෙවන්න වෙනත් සමාගමක් සූදානම්නම් ඔය වැඩේ ලෙකෝ එකෙන් ගලවලා ඒ සමාගමට දෙන එකෙන් ලංවිමට වැඩි ලාබයක් ලබා ගන්න පුළුවන්නේ.
කතාවට කිවුවත් ප්‍රායෝගිකව ඔය වැඩේ සාර්ථකව සිදු නොවෙන්න පුළුවන්. මොකද ලෙකෝ එකත් එක්ක තරඟ කළ හැකි වෙන සමාගම් රටේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ තව දුරටත් විමධ්‍යගත කළොත් තත්ත්වය වෙනස් වෙනවා. දැනට ලෙකෝ එකේ ශාඛා හතක් තිබෙනවා. ලෙකෝ එකේ ව්‍යාපාරික කටයුතු සිදු වෙන්නේ ඔය ශාඛා වලට අයිති කලාප මට්ටමෙන්. කෝට්ටේ, නුගේගොඩ, මොරටුව, කළුතර, කැළණිය, මීගමුව හා ගාල්ල. ලෙකෝ කලාපය ගෙඩිය පිටින්ම වෙන්දේසි නොකර ඔය කලාප වෙන් කරලා වෙන වෙනම වෙන්දේසි කළා කියා හිතමු. අවශ්‍යනම් තවත් කුඩා කොටස් වලට කඩන්න පුළුවන්.
මේ වගේ කුඩා කලාප වලට වෙන් කළොත් ඒ වගේ ප්‍රදේශයක් තුළ දැනට ලෙකෝ එක විසින් කරන ව්‍යාපාරික කටයුත්ත කළ හැකි දේශීය සමාගම් අනිවාර්යයෙන්ම බිහි වෙනවා.
සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ගොඩක් අය කලක් යද්දී තමන්ගේම ව්‍යාපාර පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන තරුණ ඉංජිනේරුවන්ටත් රැකියා දෙනවා. ඒ වැඩේ එහෙම වෙන්නේ සිවිල් ඉංජිනේරු කටයුතු කලක සිටම සෑහෙන තරමකින් විමධ්‍යගත වී තිබෙන නිසා. ලංකාවේ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති ගත්තත් බොහෝ දුරට කර්මාන්තයේ ලාබ අලාබ තීරණය කරන්නේ රජය විසින් තමයි. නමුත්, රජයට ඒකාධිකාරයක් නැහැ. තරඟයක් තියෙනවා. ව්‍යාපෘති, අනු ව්‍යාපෘති, කොන්ත්‍රාත්තු, උප කොන්ත්‍රාත්තු විදිහට කර්මාන්තය විමධ්‍යගත වෙලා තියෙන්නේ. ඒ නිසා, සිවිල් ඉන්ජිනේරුවෙකුට ව්‍යවසායකයෙකු ලෙස මතු වෙන්න ගොඩක් අමාරු නැහැ. දැවැන්ත ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. මම කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නන්නත්තාර වී තිබෙන දැන් තත්ත්වය ගැන නෙමෙයි සාමාන්‍ය තත්ත්වය ගැන.
ඔය විදිහට ලංකාව ගොඩක් විශාල නැති භූගෝලීය කලාප වලට කඩලා විදුලිය තොග මිලට අරගෙන සිල්ලරට විකුණන එක වෙන්දේසි කළොත් ව්‍යවසායකත්වය තිබෙන විදුලි ඉංජිනේරුවන්ට තමන්ගේ ක්ෂේත්‍රයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවන් හැදෙනවා. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රදේශය කුඩා වූ තරමට විදුලි හොරකම් ආදිය අල්ලගන්න එකත් ලේසි වෙනවා.
ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්. මේ කතා කළේ විදුලිය බෙදා හැරීම වඩා කාර්යක්ෂම ලෙස කළ හැකි ආකාරය ගැන. විදුලිබල කර්මාන්තයේ අනෙකුත් කටයුතු වඩා කාර්යක්ෂම කළ හැකි ආකාර ගැන පසුව කතා කරමු.
No comments:
Post a Comment
ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.