අද අප බොහෝ දෙනෙක් දන්නා තරමින් අහසේ පෙනෙන තාරකා බොහොමයක් තියෙන්නේ ආලෝක වර්ෂ ගණනක් දුරිනි. ආලෝක වර්ෂයක් යනු ආලෝකය වර්ෂයක් තුළ ගමන් කරන දුරයි. ආලෝකයේ වේගය එය ගමන් කරන මාධ්‍යය අනුව වෙනස් වුවත්, රික්තකයක් තුළදී නියතයක් වන බව සාමාන්‍යයෙන් පිළිගැනේ.
1975දී පැවැත්වුණු කිරුම් මිනුම් පිළිබඳ 15වන මහා සමුළුවේදී ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458 බවට එකඟත්වයකට පැමිණුනත්, මේ එකඟත්වයට හේතුවුණේ ඒ වන විට දැන සිටි දේවල්ය. රික්තකයක් කොයි තරම් හිස්ද, ආලෝකය සෑදී ඇති ෆෝටෝන වලට ස්කන්ධයක් තිබේද, ඕනෑම සමුද්දේශ රාමුවකට සාපේක්ෂව ආලෝකයේ වේගය නියතද වැනි ප්‍රශ්න අපි දැනට පැත්තකින් තියමු. 1983දී පැවැත්වුණු කිරුම් මිනුම් පිළිබඳ 17වන මහා සමුළුවේදී මීටරයක් යනු ආලෝකය රික්තකයක් තුළ තත්පරයෙන් 1/299,792,458ක කාලයක් තුල ගමන් කරන දුර ලෙස අර්ථ දක්වා ඇති නිසා ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458ක් බව රුපියලකට සතසීයක් තිබීම තරම්ම නොවූවත් සෑහෙන දුරට සත්‍යයකි.
වඩා වැදගත් ප්‍රශ්නය ආලෝකය ආලෝක වර්ෂයක දුර ගමන් කිරීමට ගතවන කාලය කුමක්ද යන්නයි. අවුරුද්දක් කීම ප්‍රමාණවත් පිළිතුරක් නොවන්නේ අවුරුදු ඇත්තේ එකක් පමණක් නොවන බැවිනි. ලංකාව පමණක් ගත්තද, සිංහල අවුරුද්ද ගණනය කිරීමේදී හා හින්දු ආගමික උත්සව වල දින තීරණය කිරීමේදී යොදාගන්නා නක්ෂත්‍ර අවුරුද්ද, පෝය ගණනය කිරීමට යොදාගන්නා චන්ද්‍ර-සූර්ය අවුරුද්ද, පාස්කුව ගණනය කිරීමට යොදාගන්නා නිවර්තන අවුරුද්ද, ඉස්ලාම් ආගමිකයින් විසින් උපවාස කාලය තීරණය කිරීමට භාවිතා කරන චන්ද්‍ර මාස දොළහේ අවුරුද්ද හා සිවිල් දින දර්ශනයට පාදක වන ග්‍රෙගෝරියන් අවුරුද්ද එකිනෙකට සමාන නැත. ඒ නිසා ආලෝකයේ වේගය නියතයක් ලෙස සැලකුවත් ආලෝක වර්ෂය නියත වීමටනම් නියත අවුරුද්දක්ද අවශ්‍ය වේ. මේ නියත අවුරුද්ද ඉහත අවුරුදු එකක්වත් නොවන අතර දවස් 365.25ක ජුලියන් අවුරුද්දයි. දවසක කාලය නියතද යන ප්‍රශ්නයත් අපි පැත්තකින් තියමු.
මේ එකක්වත් විශාල ප්‍රශ්න ලෙස සැලකිය යුතු නොවන්නේ නාසා ආයතනයට අනුව අභ්‍යකාශ විද්‍යාවේදී (ඉතා ඈතින් ඇති තාරකා වලට දුර මැනීම වැනි කරුණු වලදී) නියම ගණනට වඩා දහගුණයක් විශාල හෝ දහගුණයකින් අඩු අගයක් හොඳ මිනුමක් ලෙස සලකන බැවිනි. ඒ මිනුම් වරද කෙසේවුවත්, අහසේ අපට පෙනෙන තාරකා බොහොමයක් තිබෙන්නේ ආලෝක වර්ෂ සියගණනක් දුරිනි. ආලෝක වර්ෂයක් යනු කිලෝමීටර 9,460,730,472,580.80 කි. ආලෝක වර්ෂයක් ඈතින් තිබෙන තාරකාවක් අපට පෙනෙන්නේ ජුලියන් වසරකට හෙවත් දින 365.25කට පසුවය. (මේ අයුරින්ම, අපට නැගෙනහිර ක්ෂිතිජයෙන් ඉර පායනු පෙනෙන්නේද ඉර "ඇත්තටම පායා" විනාඩි අටකට පමණ පසුවය.)
ඉරෙන්, හඳෙන් හා බ්‍රහස්පති වැනි ග්‍රහයන්ගෙන් කෙසේ වුවත්, මේ තරම් ඈතින් තිබෙන තාරකා වලින් පෘථිවියට බලපෑමක් තිබෙන්නට ඇති ඉඩකඩ ඉතාම සීමිතය. හොලිවුඩ් චිත්‍රපටයක මෙන්, ඔළුව ලොකු, කන් දිග ඒලියන් කෙනෙක් හෙට උදේ දොරට තට්ටු කර ලංකාවේ කුණු ප්‍රශ්නයට විසඳුමක් කියාදී යන්නට ඇති ඉඩකඩ මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, එසේ වෙන්නට ඇති ඉඩකඩ විය නොහැකි තරමටම ඉතාම සීමිතය. මෙතැනදී "ඉතාම සීමිතය" යන්න මගේ පෞද්ගලික විශ්වාසයක් පමණක් වන අතර වෙනත් අයෙකු එසේ නොසිතන්නට පුළුවන.
ඒ ආකාරයේ බලපෑමක් නැතත් මේ ඈතින් තිබෙන තාරකා පොළොවේ ජනජීවිතයට කොයිතරමට බලපාන්නේද යන්නට ඇති හොඳම සාක්ෂිය ලෝකයේ රටවල් වලින් තුනෙන් එකක පමණ ජාතික කොඩි වල විවිධ තරු සලකුණු තිබීමයි. මේ රටවල් අතර පළමුවෙනි, දෙවෙනි හා තෙවෙනි ලෝක ලෙස කලකට පෙර හැඳින්වූ ධනවාදී, සමාජවාදී හා අඩු ආදායම් රටවල්ද, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම්, බෞද්ධ, යුදෙවු හා අදේවවාදී රටවල්ද ඉතා හොඳින් නියෝජනය වේ.
පෙර ලිපියෙන් කතාකළ ඕස්ට්‍රේලියානු ජාතික කොඩියේ දක්නට ඇති දකුණු කුරුසිය උදාහරණයකි. රටවල් පහකම ජාතික කොඩිවල මේ දකුණු කුරුසියට තැනක් ලැබී තිබේ.
ඕස්ට්‍රේලියානු කොඩියේ තිබෙන්නේ දකුණු කුරුසියට අයත් තරු පහ පමණක් නොවේ. එහි හයවන තරුවක්ද තිබේ. මුළු හතකින් යුතු මේ තරුව හැඳින්වෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව වශයෙනි. එහි මුළු හයකින්, ඕස්ට්‍රේලියාවේ මුල් ප්‍රාන්ත හයත් හත්වන මුල්ලෙන් පසුව එකතු වූ හෝ එකතු විය හැකි ප්‍රාන්තත් සංකේතවත් කරයි. මේ තාරකාව දකුණු කුරුසියට අයත් ඇල්ෆා කෘෂියස් හා බීටා කෘෂියස් ආදී තාරකා මෙන් අහසේ දැකිය නොහැකි, ඕස්ට්‍රේලියානුවන්ගේ (හා වෙනත් අයගේ) පොදු ජන විඥානයේ ඇති තරුවකි. ඕස්ට්‍රේලියානු කොඩියේ ඇති, අහසේ දැකිය නොහැකි, මේ තරුව ඕස්ට්‍රේලියානුවන් බහුතරයක් පොදු රාජ්‍ය මණ්ඩලීය තරුව ලෙස හඳුනනවා විය යුතුය.
බොහෝ රටවල ජාතික කොඩි හා ප්‍රාදේශීය කොඩි වල තිබෙන තරු ඇත්තටම තිබෙන්නේ ඒ රටවල ජීවත්වන මිනිසුන්ගේ සාමූහික විඥානය තුළ මිස අහසේ නොවේ. ඒ නිසා, තරු වලින් පොළොවට ඇති බලපෑම තීරණය වන්නේ ඒ තරු වලට ඇති ආලෝක වර්ෂ ගණන මතද නොවේ.
(Images: www.ausflag.com.au)
Sunday, April 23, 2017
තාරකා තියෙන්නේ කොහේද?
Labels:
ඕස්ට්‍රේලියාව,
කාලය,
තාරකා විද්‍යාව,
භෞතික විද්‍යාව,
යතාර්ථය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
හැක, හැක!
ReplyDeleteඔය විධිහට පෘතුවියත් කාගෙ හරි කොඩියක තරුවක් හැටියට තියෙන්න බැරිකමක් නෑ..
ReplyDelete" ඒ නිසා, තරු වලින් පොළොවට ඇති බලපෑම තීරණය වන්නේ ඒ තරු වලට ඇති ආලෝක වර්ෂ ගණන මතද නොවේ." +1
මොනා කිව්වත් අවුරුදු නැකත් අසුබයි
ReplyDeleteඅප්‍රේල් 14 දින සුනාමියක් එන්න තිබුනේ. නැකතෙ හොඳකමට ඔයින් ගියා.
Deleteජ්‍යෝතිශ්‍ය ගැන කියනකොට හොඳ හැදෑරීමක් කර වගකීමෙන් අදහස් දක්වන්න.
2004 නත්තල් නැකත අන්තිම අසුබයි...
Deleteඋඩුවා ඕක නිකමට කියන්න ඇත්තේ. කොහොම වුනත් ජගත්ගේ කමෙන්ට් එකේ පොයින්ට් එක තියෙනවා.
Deleteයෙපිට කොයින්ද තනි තරු.යෙපිට ඉතින් තනි තරුවයි හදපලුවයි තමා කාකා
ReplyDeleteහඳ පළුව හා තනි තරුව ගැනත් කතා කරන්න තියෙනවා!
Deleteඅපට ඉතිං කවදත් පැරණි රසාංග තමා..
ReplyDeleteපැරණි රසාංග ඇතුලෙ පැණි රස තියෙනවනේ!
Deleteමම කිව්වේ පාථිවියට පේන දකින එන හැම එකක්ම අපි දකිනවාට වඩා කලින් වෙච්චි දෙවල් කියලයි.
Deleteදේශා: එය කලින් මීටර් වුනේ නැහැ. අපට පෙනෙන හැම දෙයක්ම පැරණි රසාංග. ගොඩක් ඈතින් ඇති දේ සම්බන්ධව මෙය තේරුම් ගැනීම පහසුයි.
Delete"For my part I know nothing with any certainty but the sight of the stars makes me dream."
ReplyDelete— Vincent Van Gogh
ප්‍රාජේ ළඟ quotes පෙට්ටියක් තියෙනව වගේ. කොහෙන් හරි එකක් ඇදල ගන්නව.
Deleteකාලෙකින් තරු බලන්න බැරි වුනා. හිතේ හැටියට අන්තිමට තරු දැක්කේ මෙන්න මෙදා
ReplyDeletehttp://biththiya.blogspot.my/2012/03/blog-post_06.html
තරුත් එක්ක ම ISS එක බලන්නත් පුළුවන්.
https://spotthestation.nasa.gov/
මෙන්න මේකට ගිහින් රෙජිස්ටර් උනොත් අපි ඉන්න පලාතට උඩින් ISS එක යන වෙලාව කියල ඊමේල් එකක් එනවා. මම එහෙම කිහිප සැරයක් දැකල තියෙන.
පැතුමුත් තරු ගැන උනන්දුයි වගේ!
Delete