මේ මොහොත වන විටද පොදුජන අරගලය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එහි අවසානය කුමක් වෙයිද කියන එක අනාගතයට භාර දෙයක්. මේ මොහොත වන තුරුනම් අරගලය ව්‍යාප්ත වන්නේ සාධනීය ආකාරයකින්.
අරගලයයේ සාර්ථකත්වය පසුපස මූලික හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව, අරගලකරුවන්ගේ සාමූහිකත්වයයි. දෙවැන්න සාපේක්ෂව ප්‍රචණ්ඩකාරී නොවීමයි. මේ දෙකෙන් එකක් හෝ බිඳ නොවැටී පවත්වා ගත හැකි වන තුරු අරගලයට ඉදිරියට යා හැකියි.
අප බොහෝ විට ආඩම්බරයෙන් කියන්නේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ ලංකාවේ බවයි. මේ ප්‍රකාශය පදනම් වන්නේ 1931 වසරේදී සිට ලංකාවේ සියළු වැඩිහිටියන්ට ඡන්ද බලය හිමිවීම මතයි. බොහෝ බටහිර රටවල මුලින්ම ඡන්ද බලය හිමි වුනේ ධනවත් සුදු පිරිමින්ටයි. ලංකාවේ වුවත් මුලින්ම ඡන්ද බලය හිමිවුණේ ප්‍රමාණවත් අධ්‍යාපනයක් හා වත්කම් තිබුණු අයට පමණයි.
බොහෝ බටහිර රටවල ධනවත් සුදු පිරිමින්ට ඡන්ද බලය, එනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, ලැබෙන විට ඔවුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති වෙලා ඉවරයි. කාන්තාවන් හා සුළුතර කොටස් වලට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට ඔවුන්ද යම් තරමකින් මේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ කොටස්කරුවන් වෙලා.
ලංකාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට රට ඇතුළේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් හැදී තිබුණේ නැහැ. ධුරාවලිගත සමාජ ව්‍යුහය ඇතුළේ එවැනි ඉඩක් තිබුණේත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය හැක්කේ සමානයින් සිටින සමාජයකයි. බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය මුලදී ධනවත් සුදු පිරිමින්ට සීමා වුනේ අනෙකුත් අය සමානයින් නොවූ නිසයි.
මේ අරගලයෙන් පෙනෙන්නේ මෙතෙක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණු ලංකාවේ පොදු ජනතාව වැඩවසම් ක්‍රමයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් කරමින් සිටින බවයි. ව්‍යවස්ථාව අනුව ජනරජයක් වන ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතු වුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක මිනිස්සු තේරුම් ගනිමින් සිටින්නේ දැනුයි.
ප්‍රශ්නයේ මුල ආර්ථික අර්බුදය වුවත් මේ වන විට එය දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙනවා. දේශපාලන අර්බුදයට මෙන්ම ආර්ථික අර්බුදයටද ක්ෂණික විසඳුම් අවශ්‍යයි. ආර්ථික අර්බුදය විසඳීම දේශපාලන අර්බුදය විසඳන තරම් පහසු නැහැ.
පොදුජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මුදල් ඇමති ධුරය මෙන්ම මහ බැංකු අධිපති ධුරයද පුරප්පාඩු වී තිබෙනවා. මේ තනතුරු පුරප්පාඩු කර තැබිය නොහැකියි. නමට හෝ කවුරුවත් නොසිටියොත් රටේ ඇතැම් වැදගත් කටයුතු කළ නොහැකිව අකර්මන්‍ය වීමේ අවදානමක් තිබෙනවා.
අලුත් මුදල් ඇමති ලෙස පත් කෙරුණු අලි සබ්‍රි නීතිඥයෙකු මිස අදාළ විෂය ප්‍රවීණයෙක් නෙමෙයි. දැන් ඔහුත් ඉල්ලා අස් වෙලා. මේ වෙලාවේ කවුරු හෝ මේ තනතුර දැරිය යුතුයි. මේ අභියෝගාත්මක මොහොතේ මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට සූදානම්ව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හා පළපුරුද්දක් ඇති අයෙක්. කෙසේ වුවත්, ඔහුගේ කාර්ය සාධනය තීරණය වන්නේ මහ බැංකුවට කොයි තරම් දුරට ස්වාධීන විය හැකිද යන්න මතයි. ඒ වගේම, ඔහුට හෝ වෙනත් අයෙකුට මහ බැංකුව භාරගෙන මැජික් පෙන්වන්න බැහැ.
ජන අරගලය අවසන් වෙද්දී ආණ්ඩුව මාරු වී හෝ ඒ සඳහා අත්තිවාරම් වැටී තිබෙන්න පුළුවන්. එහෙත්, එසේ වුනා කියා ආර්ථිකයේ අවදානම් පහව යන්නේ නැහැ. ඇත්ත කතා නොකර "අපිට කොරන්න පුළුවන්" කියා ආණ්ඩුව භාර ගන්න ඕනෑම පාර්ශ්වයකට වැඩි කලක් යන්න කලින් මෙවැනිම තත්ත්වයකට මුහුණ දෙන්න සිදු විය හැකියි.
අද වන විට ප්‍රධාන බැංකු වල ඩොලරයක මිල රුපියල් 310 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය රුපියල් 300 මට්ටමේ රඳවා ගැනීමට මහ බැංකුව යම් උත්සාහයක් දැරුවත් ඉතා ඉක්මණින්ම එම අදහස අතහැර දමා ඇති බව පෙනෙනවා. දැන් පවතින වාතාවරණය තුළ ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කිරීමේ හැකියාවක් පෙනෙන්න නැහැ.
පවතින දේශපාලන වාතාවරණය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා තවත් ප්‍රමාද විය හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ප්‍රමාණය හා එය ලැබෙන දිනය ගැන එම අරමුදල විසින් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන තෙක් ඩොලරය ස්ථාවර කර ගැනීමට ඉඩක් ලැබෙන එකක් නැහැ. ඒ අතරතුර ඩොලරයක මිල ඉතා පහසුවෙන්ම රුපියල් 400 සීමාව දක්වා යා හැකියි.
රටේ ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න පෙර මහ බැංකුවට මහ බැංකුවේ ඩොලර් ප්‍රශ්නය ගැන හිතන්න වෙනවා. බැංකු වලට බැංකු වල ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න වෙනවා. මිල ඉහළ යාමට සමාන්තරව බැංකු අංශයේ ඩොලර් හිඟය අඩු වෙමින් තිබෙනවා. සමස්තයක් ලෙස ලංකාවේ වානිජ බැංකු විසින් නැති ඩොලර් විශාල ප්‍රමාණයක් විකුණා ඇති බව මම කලින්ම පැහැදිලි කර තිබෙන දෙයක්. දැන් ඩොලරයේ මිල ඉහළ යන වේගය අනුව බැංකු වලට තමන්ගේ පාඩු අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් මේ නැති ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන එකතු කර ගන්න සිදු වී තිබෙනවා. ඩොලරය ස්ථාවර වනු ඇත්තේ ඒ කටයුත්ත අහවර වීමෙන් පසුව පමණයි.
නන්දලාල් වීරසිංහ කියන්නේ මේ වෙලාවේ මහ බැංකු අධිපති ධුරය සඳහා තිබෙන සීමිත තේරීම් අතරින් හොඳ තේරීමක්. ඔහු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති දක්වා ධුර වල කාලයක් කටයුතු කර ඇති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද විධායක අධ්‍යක්ෂ්‍ය වරයෙකු ලෙස කටයුතු කර ඇති අයෙක්. ආර්ථිකයේ පවතින වත්මන් අස්ථාවර තත්ත්වය වසරක් තුළ ස්ථාවර කළ හැකි බවට ඔහු මෑතකදී විශ්වාසය පළ කළා. කෙසේ වුවද, එය කළ හැකි වනු ඇත්තේ අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබේනම් පමණයි.