වෙබ් ලිපිනය:

Tuesday, April 5, 2022

අලුත් මහ බැංකු අධිපති රට ගොඩදායිද?


මේ මොහොත වන විටද පොදුජන අරගලය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එහි අවසානය කුමක් වෙයිද කියන එක අනාගතයට භාර දෙයක්. මේ මොහොත වන තුරුනම් අරගලය ව්‍යාප්ත වන්නේ සාධනීය ආකාරයකින්. 

අරගලයයේ සාර්ථකත්වය පසුපස මූලික හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව, අරගලකරුවන්ගේ සාමූහිකත්වයයි. දෙවැන්න සාපේක්ෂව ප්‍රචණ්ඩකාරී නොවීමයි. මේ දෙකෙන් එකක් හෝ බිඳ නොවැටී පවත්වා ගත හැකි වන තුරු අරගලයට ඉදිරියට යා හැකියි. 

අප බොහෝ විට ආඩම්බරයෙන් කියන්නේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ ලංකාවේ බවයි. මේ ප්‍රකාශය පදනම් වන්නේ 1931 වසරේදී සිට ලංකාවේ සියළු වැඩිහිටියන්ට ඡන්ද බලය හිමිවීම මතයි. බොහෝ බටහිර රටවල මුලින්ම ඡන්ද බලය හිමි වුනේ ධනවත් සුදු පිරිමින්ටයි. ලංකාවේ වුවත් මුලින්ම ඡන්ද බලය හිමිවුණේ ප්‍රමාණවත් අධ්‍යාපනයක් හා වත්කම් තිබුණු අයට පමණයි.

බොහෝ බටහිර රටවල ධනවත් සුදු පිරිමින්ට ඡන්ද බලය, එනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, ලැබෙන විට ඔවුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති වෙලා ඉවරයි. කාන්තාවන් හා සුළුතර කොටස් වලට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට ඔවුන්ද යම් තරමකින් මේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ කොටස්කරුවන් වෙලා. 

ලංකාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට රට ඇතුළේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් හැදී තිබුණේ නැහැ. ධුරාවලිගත සමාජ ව්‍යුහය ඇතුළේ එවැනි ඉඩක් තිබුණේත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය හැක්කේ සමානයින් සිටින සමාජයකයි. බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය මුලදී ධනවත් සුදු පිරිමින්ට සීමා වුනේ අනෙකුත් අය සමානයින් නොවූ නිසයි.

මේ අරගලයෙන් පෙනෙන්නේ මෙතෙක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණු ලංකාවේ පොදු ජනතාව වැඩවසම් ක්‍රමයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් කරමින් සිටින බවයි. ව්‍යවස්ථාව අනුව ජනරජයක් වන ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතු වුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක මිනිස්සු තේරුම් ගනිමින් සිටින්නේ දැනුයි. 

ප්‍රශ්නයේ මුල ආර්ථික අර්බුදය වුවත් මේ වන විට එය දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙනවා. දේශපාලන අර්බුදයට මෙන්ම ආර්ථික අර්බුදයටද ක්ෂණික විසඳුම් අවශ්‍යයි. ආර්ථික අර්බුදය විසඳීම දේශපාලන අර්බුදය විසඳන තරම් පහසු නැහැ.

පොදුජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මුදල් ඇමති ධුරය මෙන්ම මහ බැංකු අධිපති ධුරයද පුරප්පාඩු වී තිබෙනවා. මේ තනතුරු පුරප්පාඩු කර තැබිය නොහැකියි. නමට හෝ කවුරුවත් නොසිටියොත් රටේ ඇතැම් වැදගත් කටයුතු කළ නොහැකිව අකර්මන්‍ය වීමේ අවදානමක් තිබෙනවා. 

අලුත් මුදල් ඇමති ලෙස පත් කෙරුණු අලි සබ්‍රි නීතිඥයෙකු මිස අදාළ විෂය ප්‍රවීණයෙක් නෙමෙයි. දැන් ඔහුත් ඉල්ලා අස් වෙලා. මේ වෙලාවේ කවුරු හෝ මේ තනතුර දැරිය යුතුයි. මේ අභියෝගාත්මක මොහොතේ මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට සූදානම්ව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හා පළපුරුද්දක් ඇති අයෙක්. කෙසේ වුවත්, ඔහුගේ කාර්ය සාධනය තීරණය වන්නේ මහ බැංකුවට කොයි තරම් දුරට ස්වාධීන විය හැකිද යන්න මතයි. ඒ වගේම, ඔහුට හෝ වෙනත් අයෙකුට මහ බැංකුව භාරගෙන මැජික් පෙන්වන්න බැහැ.

ජන අරගලය අවසන් වෙද්දී ආණ්ඩුව මාරු වී හෝ ඒ සඳහා අත්තිවාරම් වැටී තිබෙන්න පුළුවන්. එහෙත්, එසේ වුනා කියා ආර්ථිකයේ අවදානම් පහව යන්නේ නැහැ. ඇත්ත කතා නොකර "අපිට කොරන්න පුළුවන්" කියා ආණ්ඩුව භාර ගන්න ඕනෑම පාර්ශ්වයකට වැඩි කලක් යන්න කලින් මෙවැනිම තත්ත්වයකට මුහුණ දෙන්න සිදු විය හැකියි. 

අද වන විට ප්‍රධාන බැංකු වල ඩොලරයක මිල රුපියල් 310 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය රුපියල් 300 මට්ටමේ රඳවා ගැනීමට මහ බැංකුව යම් උත්සාහයක් දැරුවත් ඉතා ඉක්මණින්ම එම අදහස අතහැර දමා ඇති බව පෙනෙනවා. දැන් පවතින වාතාවරණය තුළ ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කිරීමේ හැකියාවක් පෙනෙන්න නැහැ.

පවතින දේශපාලන වාතාවරණය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා තවත් ප්‍රමාද විය හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ප්‍රමාණය හා එය ලැබෙන දිනය ගැන එම අරමුදල විසින් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන තෙක් ඩොලරය ස්ථාවර කර ගැනීමට ඉඩක් ලැබෙන එකක් නැහැ. ඒ අතරතුර ඩොලරයක මිල ඉතා පහසුවෙන්ම රුපියල් 400 සීමාව දක්වා යා හැකියි. 

රටේ ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න පෙර මහ බැංකුවට මහ බැංකුවේ ඩොලර් ප්‍රශ්නය ගැන හිතන්න වෙනවා. බැංකු වලට බැංකු වල ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න වෙනවා. මිල ඉහළ යාමට සමාන්තරව බැංකු අංශයේ ඩොලර් හිඟය අඩු වෙමින් තිබෙනවා. සමස්තයක් ලෙස ලංකාවේ වානිජ බැංකු විසින් නැති ඩොලර් විශාල ප්‍රමාණයක් විකුණා ඇති බව මම කලින්ම පැහැදිලි කර තිබෙන දෙයක්. දැන් ඩොලරයේ මිල ඉහළ යන වේගය අනුව බැංකු වලට තමන්ගේ පාඩු අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් මේ නැති ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන එකතු කර ගන්න සිදු වී තිබෙනවා. ඩොලරය ස්ථාවර වනු ඇත්තේ ඒ කටයුත්ත අහවර වීමෙන් පසුව පමණයි. 

නන්දලාල් වීරසිංහ කියන්නේ මේ වෙලාවේ මහ බැංකු අධිපති ධුරය සඳහා තිබෙන සීමිත තේරීම් අතරින් හොඳ තේරීමක්. ඔහු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති දක්වා ධුර වල කාලයක් කටයුතු කර ඇති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද විධායක අධ්‍යක්ෂ්‍ය වරයෙකු ලෙස කටයුතු කර ඇති අයෙක්. ආර්ථිකයේ පවතින වත්මන් අස්ථාවර තත්ත්වය වසරක් තුළ ස්ථාවර කළ හැකි බවට ඔහු මෑතකදී විශ්වාසය පළ කළා. කෙසේ වුවද, එය කළ හැකි වනු ඇත්තේ අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබේනම් පමණයි.

27 comments:

  1. මේ කියන්නෙ රටේ ඩොලර් සන්චිත්‍යක් නැවත ඇතිවෙලා කියලද?

    ReplyDelete
    Replies
    1. නැහැ. සෘණ සංචිත අඩු වෙලා කියන එක. ඒ කියන්නේ ඉදිරි කාලයේදී දෙන පොරොන්දුවට බැංකු විසින් කලින්ම විකුණා තිබුණු "නැති ඩොලර්" ප්‍රමාණය අඩු වෙමින් තිබෙන බව.

      Delete
    2. ඔය නැති ඩොලර් කියන එක පැහැදිලි මදි.
      බැන්කු මෙතුවක් කල් කලේ ඩොලර් කොහෙන් හරි ණයට අරන් ආන්ඩුවට විකුනපු එකනේද? බැන්කුවල මේ ඩොලර් ණය කොයන්නෙ nrfc තැන්පතු හිමියන්ගෙ මුදල් සහ බැන්කු පුද්ගලිකව පිටින් ගත්තු ඩොලර් ණය කිව්වොත් හරිද?
      දැන් බැන්කු ඩොලර් එකතු කරන්නෙ ලන්කාවට පිටරට වැඩකරන අය එවන ඩොලර් වලින් නම්, ඒව nrfc වලට එන ඩොලර් නොවන ඩොලර්ද?

      Delete
    3. පහත ලිපිය කියවන්න. බැංකු විසින් අනාගතයේ ලැබෙන්න නියමිත ඩොලර් කලින්ම විකුණනවා. ගිවිසුම් අනුව අදාළ දිනයේ එම ඩොලර් කලින් මිල දී ගත් අයට දෙන්න ඕනෑ. හදන්න කලින් බඩුවකට ඇඩ්වාන්ස් ගෙවනවා වගේ දෙයක්. මෙහිදීනම් මුළු මුදලම.

      http://economatta.blogspot.com/2022/03/blog-post_25.html

      "ඉදිරි හුවමාරු ගනුදෙනු (forward transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙක ඉක්මවූ කලින් එකඟ වූ දිනයකදී ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. හුවමාරුව සිදු වන දිනය බොහෝ විට සතියකට, මසකට, තෙමසකට, සයමසකට හෝ වසරකට පසුව විය හැකියි. ඇතැම් විට වෙනත් කාලයකට පසුව වෙන්නත් පුළුවන්."

      Delete
    4. දැන් හිතන්න මාසයකට කලින් ඩොලර් විකුණලා තිබුණා කියලා. බැංකු ඒ ඩොලර් වලට රුපියල් 200 බැගින් කලින්ම අරගෙන. ගිවිසුම අනුව ඩොලර් ටික දෙන්න ඕනෑ දැන්, මාසයකට පසුව. හැබැයි විකුණලා තියෙන්නේ නැති ඩොලර්. දැන් වෙළඳපොළෙන් රුපියල් 300 ගානේ අරගෙන ඩොලර් දෙන්න වෙනවා.

      Delete
    5. ඔව්. ඒ කෑල්ල මට තේරෙනව.
      මම අහන්නෙ දැන් ලන්කාවට ඩොලර් එන්නෙත් බැන්කු හරහනෙ.
      හිතන්නකො පිටරට රස්සාවක් කරන කෙනෙක් ලන්කාවෙ බැන්කුවක nrfc එකක් ඕපන් කර්ල ඩොලර් 100ක් එව්ව කියල. බැන්කුව මේ ඩොලර් 100 වෙලඳපොලේ විකුනල රජයට රුපියල් ණයට දෙනව.
      දැන් බැන්කුව නැති ඩොලර් 100ක් විකුනල.සහ බැන්කුවට ලැබෙන රුපියල් පොලිය මදි ආපහු ඩොලර් 100බයි බැක් කරන්න. ඒ කියන්නෙ බැන්කුව්ලට අතින් කයිට් වෙලා ඉන්නෙ.
      එහ්ව්ම කතාවක්ද ඔබ කියන්නෙ?
      බැන්කුවට

      Delete
    6. ඔව්. හරියට හරි. දැන් යන විදිහට මේ පාඩුව එන්න එන්නම වැඩි වෙන නිසා බැංකු වලට හැකි ඉක්මනින් ඩොලර් එකතු කර ගන්න අවශ්‍ය වී තිබෙනවා. නැත්නම් පාඩුව තව තව වැඩි වෙනවා. මෙය නවත්වන්නනම් ඩොලරය ඉහළ යන වේගයට වඩා පොලී අනුපාත වැඩි කළ යුතුයි. දැන් තත්ත්වය අනුව ප්‍රයෝගිකව ඒකත් කරන්න බැහැ වගේ. පොලී අනුපාතික කීයට කියලා යවන්නද? හැබැයි පුළුවන් තරම් වැඩි කළොත් යම් පාලනයක් වෙයි.

      Delete
    7. හරි තේරුනා.
      දැන් මේ ඩොලර් ආපහු මිලදී ගන්නනම් පිටරට අය nrfc නොවන මාර්ග ඔස්සෙ බැන්කු හරහා ලන්කාවට රුපියල එවන්න ඕන නේද? නිකම් ගෙදර වියදමට රුපියල් එවනව වගෙ?

      Delete
    8. එහෙම එනවානම් හොඳයි. නමුත් nrfc වලට ආවත් පස්සේ ඉල්ලන කොට කොහෙන් හෝ හොයා ගෙන ගෙවන්න බලාගෙන දැනට එම ඩොලර් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එහෙමවත් ඩොලර් නැති එකනේ ප්‍රශ්නේ.

      Delete
    9. තව ප්‍රශ්නයක්.
      Nrfc එවන සල්ලිත් ශ්‍රමික ප්‍ප්‍රෙශන වලට ගනන් ගන්නවද? ඒක බැරකමක් නම් එහෙම කරන්න බැරි බවයි මගෙ අදහස.

      Delete
    10. //Nrfc එවන සල්ලිත් ශ්‍රමික ප්‍ප්‍රෙශන වලට ගනන් ගන්නවද?//

      නැහැ. ප්‍රේෂණ ලෙස ගණන් ගැනෙන්නේ නැවත ආපසු නොයන, රුපියල් වලට හැරවෙන ලැබීම් පමණයි.

      Delete
    11. මේ nrfc උදාහරණය විදිහට බැංකුව විකුණන්නේ නැති ඩොලර් ද, බැංකුවට අයිති නැති ඩොලර් ද?

      Delete
    12. තැන්ක්ස් උත්තර ටිකට

      Delete
    13. //මේ nrfc උදාහරණය විදිහට බැංකුව විකුණන්නේ නැති ඩොලර් ද, බැංකුවට අයිති නැති ඩොලර් ද?//

      මේවා බැංකුවට අයිති නැති එහෙත් මේ මොහොතේ බැංකුව සතුව තිබෙන ඩොලර්. නැති ඩොලර් කියන්නේ (උදාහරණයක් ලෙස) ලබන මාසයේදී nrfc ගිණුම් වලට ලැබෙයි කියා හිතන ඩොලර්.

      Delete
    14. එ‍යැ‍යි හිටපු "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති" කියලයි කියන්නෙ?

      Delete
    15. ඔබ හරි. එය ටිකක් ලොකු අත්වැරදීමක්. නිවැරදි කළා.

      Delete
  2. ඉකොනොමැට්ටා මම හිතන්නේ මේ වෙලාවේ කබ්රාල් නැති නිසා සහ බැසිල් ඉල්ලා අස් වෙලා නිසා ලංකාවේ ආණ්ඩුවට ස්වාධීන කොමිෂන් සභා වගේ ස්වාධීන කමිටු පිහිටුවා සියලු තීන්දු තීරණ ගැනීමට සිදු වෙලා තියෙනවා නේද?

    ඒ වගේම තමයි 2018 වසර මුලදී ජවිපෙ ජාතික ජන බලවේගයේ නලීන් හේවගේ සහෝදරයා ඉතාමත් මැනවින් ලංකාවේ රුපියල් අවප්‍රමාණ කිරීම ගැන පැහැදිලි කිරීමක් කරනවා, මෙතනදී මෙතනට ඇවිත් ඉන්න සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කට උත්තර නැති වෙලා තටමනවා කියලා පේනවා නේද?

    මම හිතන්නේ නලීන් හේවගේ සහෝදරයා, හඳුන්නෙත්ති සහෝදරයා, ලාල් කාන්ත සහෝදරයා වැනි අය මේ ලංකාවේ ආර්ථිකය හසුරුවන එක ගැන තීන්දු තීරණ ගැනීමේ කමිටු වලට පත් කළ යුතුයි. මේක බලන්න මුලින්ම...

    https://fb.watch/cc2ajeVxFM/

    මම මේ බ්ලොග් එක බලන ඕනම කෙනෙකුට අභියෝග කරනවා පුළුවන් නම් නලීන් හේවගේ සහෝදරයා මෙතන ගේන තර්කය කාටවත් බිඳින්න බෑ.

    ඒ නිසා මේ ප්‍රශ්න විසඳන්න නම් ඔය වගේ පිටරටක ඉන්න තව හාදයෙක් ගේනවට වඩා ලංකාවේ සැබෑ තත්වය දන්න ජාතික ජන බලවේගයට බලය ලබා දිය යුතුමයි.

    බලන්න මේ ගැම්ම;

    https://fb.watch/cc2ST5mAH4/

    මේ ක්ලිප් එකත් බලන්න.

    ReplyDelete
    Replies
    1. වැරදි තොරතුරු දමා ගසන්නෙකුගේ ඔය වීඩියෝ ක්ලිප් එක මෙහි උපුටා දැමීමෙන් පෙනෙන්නේ ඔබ ජවිපෙ සේ පෙනී සිටින සජබ හිතවතෙකු විය හැකි බවයි. අනුර කුමාර වැනි අයනම් කතා කරද්දී අඩු වශයෙන් කරුණු හෝ නිවැරදිව ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. හැබැයි අනෙක් පැත්තේ අහගෙන ඉන්නෙත් ඒ වගේම කට්ටියක්. ජේආර් එක රැයින් ඩොලරය රුපියල් 7 සිට 14 දක්වා වැඩි කළේ නැහැ. 1976 වසර අවසාන වන විට ඩොලරයක "නිල" මිල රුපියල් 8.83 වුවත් ඒ මිලට ඩොලර් මිල දී ගත හැකි වුනේ අවසරලත් සමාජවාදී ආණ්ඩුවේ හිතවතුන්ට පමණයි. අනෙක් අය 65% අධිභාරයක් සමඟ රුපියල් 14.57ක් ගෙවිය යුතු වුනා. ජේආර් කළේ නමට පමණක් තිබුණු නිල අනුපාතය ඩොලරයේ නියම මිල දක්වා රැගෙන විත් ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අහෝසි කිරීමයි. එසේ කිරීමෙන් පසුව 1977දී ජංගම ගිණුමේ ඩොලර් අතිරික්තයක් ඇති වූ බව සමහර විට ඔබ නොදන්නවා ඇති.

      Delete
  3. ඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ එකේ කියන දේ වල් වල ඇත්තක් තියෙනවා නේද?

    https://www.facebook.com/100007158511801/posts/3178659682382618/

    මම හිතන්නේ මෙිකේ ඇත්තක් නැත්තෙ නෑ ලෝකේ ගොඩක් රටවල් ණය ගන්නෙ ආයෝජන වෙනුවෙන් .. එතකොට සමාන්‍යයෙන් ඒ ආයෝජනන්ගේ ප්‍රතිලාභ එනවා ඒත් ලංකාවෙි 90% එහා ණය තියෙන්නෙ පරිභෝජනය ණය ...ආයෝජන වුනත් ප්‍රතිලාභ එන ව්‍යපෘති එකකවත් නෑ...අපිට ණය ගෙවිමෙි හැකියාවක් නෑ ... ජාතික ආර්ථිකයකයේ අය - වැය අතර ලොකු පරතරයක් හැම අවුරැද්දෙම තියෙනවා මෙික එන්න එන්න වැඩි වෙනවා ඒක පියවන්නත් තව ණයගන්නවා.... අපිට සංවර්ධනයක් කරා යන්න නමි අපනයන ආදායම වැඩි කරගන්න වෙනවා විශාල වශයෙන් සමාන්‍යයෙන් ලංකාවෙි සේවා අංශයන් තොරතුරු තාක්ෂණය වගේ සේවා අංශයන්ගෙන් තමා කෙටි කාලයක් තුල වැඩි ප්‍රතිලාභ ලබන්න පුලුවන් වෙන්නෙ අපේ ජාතික ආදයම වැඩි කරගන්නකන් පරිභෝජනයය සදහා අය - වැය පරතරය පියවිමට ණය ගැනිම අඛණ්ඩව සිද්ද කරන්න වෙනවා .... ලංකාවෙි මුලින් කරන්න ඔින පරිභෝජනය සහ අය - වැය පරතරය පියවිමට ගන්නා ණය ඉතාම අවම මටිටමට ගෙන ඒම ..

    ReplyDelete
  4. ජන අරගලයක් කිව්වට සිංහල අය විතරයි.

    මට බය ප්‍රංශ විප්ලවේ වගේ තිබ්බටත් වඩා අජපල් තත්වයක් ඇතිවෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. අවසාන වශයෙන් හොඳක් සිදු නොවෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

      Delete
  5. //මේ අරගලයෙන් පෙනෙන්නේ මෙතෙක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණු ලංකාවේ පොදු ජනතාව වැඩවසම් ක්‍රමයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් කරමින් සිටින බවයි. ව්‍යවස්ථාව අනුව ජනරජයක් වන ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතු වුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක මිනිස්සු තේරුම් ගනිමින් සිටින්නේ දැනුයි.//

    'ලෙඩා මළත් කිම - සුද්ද වෙලා බඩ' කියමන ඇත්තක් වෙන පාටයි
    පුරවැසියන් හැම දැනුවත් වෙන්නේ රිදෙන්න පාරක් වැදුණාමයි
    පාලකයන් නං තාමත් ඉන්නේ නොදන්න කිරි සප්පයො වාගෙයි
    කරපු පව්වලට වන්දි ගෙවන්නට සලස්සවනවා නං නියමයි!

    ReplyDelete
  6. ඉකොනො, මේ දිනවල ලංකාවේ ඇති වී තිබෙන දැඩි ලෙස කලහාකාරී වාතාවරණය හමුවේ ලංකාවේ දැනට රැඳී සිටින සංචාරකයන් ලක්ෂයකට අධික පිරිසක් සිය සංචාර නවතා නැවත තම රටවල් වෙත ගමන් ඇරඹීමට කටයුතු කරමින් සිටින බව ලංකාවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති වල කියනවා.

    මෙහි දී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ මේ වන විටත් ලංකාවේ සංචාරයක පැමිණීමට නියමිතව සිටින සංචාරකයන් ලක්ෂ දෙකහමාරක් පමණ සහ පැමිණි අයගෙන් ද බහුතරයක් සිය හෝටල් වෙන්කරගැනීම් අවලංගු කරමින් සිය ආපසු යාම සඳහා කටයුතු කරමින් සිටින බවයි. මේ අතර මහා බ්‍රිතාන්‍ය, යුරෝපය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, චීනය, එක්සත් ජනපදය ඇතුළු එම සංචාරකයන්ගේ මවු රටවල තානාපති කාර්යාල වලින්ද ඔවුනට දන්වා ඇත්තේ ලංකාවේ රැදී සිටීම අවදානම් සහගත බවත් හැකි ඉක්මණින් පිටව යන ලෙසත් බවයි පැවසෙන්නේ.

    එමෙන්ම රටපුරා පවතින කලහකාරී වාතාවරණය හමුවේ ගුවන් තොටුපල වටලා උද්ඝෝෂණ කිරීම, පාරවල් බ්ලොක් වීම වැනි කාරණා වලින් ද ඔවුන් අපහසුතාවයන්ට පත් ව සිටී. පහුගිය දවස් වල පැවති විදුලි කප්පාදුව, ගෑස් හිඟය, ඉන්ධන හිඟය සමග අඩපණ වී ඇති සංචාරක ව්‍යාපාරය මෙම තත්ත්වය මත නැවතත් දැඩි ලෙස පසුබෑමකට ලක්වී ඇති බවත් පහුගිය මාස තුන තුල ලංකාවට සංචාරක ව්‍යාපාරය හරහා ලැබුණු ඩොලර් මිලියන 900 කට අධික ආදායම විශාල ලෙස ඉදිරියට නොලැබෙන බවයි පැවසෙන්නේ. මේකට කළ යුත්තේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. දේශපාලන ස්ථාවරත්වය ඇති වන තුරු වෙනත් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැහැ නේද?

      Delete
  7. අරගලයට ජය වේවා ����✌

    මේ බලන්න ඉතාමත්ම ලස්සන විදිහට අරගලය හා එක්වූ ඉතා ලාබාල තරුණයන් පවා ඉතාමත් හොඳින් අරගලය රසවිඳින ආකාරය...

    https://fb.watch/cc6Fmpx9Xj/

    මම හිතන්නේ මෙසේ සියලු දෙනා එකතු වෙලා නිසා ලංකාවේ අරගලය ඉතාමත් සුන්දර වී ඇති බව.

    කෙසේ වෙතත් ලංකාවේ බ්ලැක් මාකට් එකේ ඩොලර් එකක් රුපියල් 480 - 500 ක් විතර වෙනවා මේ දවස් වල තව දුරටත් වැඩි වෙයි කියලා කියන්නේ විශේෂයෙන් මේ දවස් වල විශාල පිරිසක් විදේශ ගත වෙනවා විශේෂයෙන් ලංකාවේ ව්‍යාපාර කටයුතු කරපු අය උණ්ඩියල් ක්‍රම වලින් ඩොලර් රටින් පිට කරමින් අවට ඇති රටවල් වලට, මැලේසියාව, ඩුබායි, මාලදිවයින ආදී රටවල් වලට පිටවී යන බව පේනවා. ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන අය සෞදි අරාබිය වැනි රටවලට පවා රැකියා සඳහා රටින් පිට යන අතර බොහෝ දෙනෙක් පවසන්නේ මේ දවස්වල අවම වශයෙන් තව අවුරුද්දක් වත් යනකම් රටින් පිටවී සිටින එක හොඳ බවත් නැත්නම් ඒ අතර තත්ත්වය බලලා වෙන හොඳ රටකට මයිග්රේට් කරන එක කළ යුතුයි ඉක්මනට කියලා. මේ ගැන උපදෙසක් ලබා දිය හැකි ද ඔබට ඉකොනොමැට්ටා?

    ReplyDelete
  8. @ AnonymousApril 5, 2022 at 9:43 PM

    ලංකාව කියන රට ඇත්තටම කිසිම කලෙක ගොඩගන්න බෑ.
    කවුරු ආවත් මෙහෙම තමයි. ලොකු බලාපොරොත්තු තියාගෙන මිනිස්සු ඡන්දය දෙනවා. ඇවිල්ලා අවුරුද්දකින් පරණ දේම සිද්ධ වෙනවා. මේ අනුව සරලවම කියන්න තියෙන්නේ ලංකාව කියන්නේ සාපලත් දේශයක්. එච්චරයි. ඩොලර් නැති නිසා සහ පෝර නැති නිසා තව ඉතාමත් කෙටි කලක් තුල විශාල ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙයි. හොඳම දේ හැකි ඉක්මනින් රටින් පැනලා අවම වශයෙන් තව අවුරුද්දක් වත් ඉඳලා බලන එක, ගොඩක් වෙලාවට සෝමාලියාව එහෙම ලංකාවට වඩා හොඳ වෙයි තව ටික දවසකින්...

    //ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන අය සෞදි අරාබිය වැනි රටවලට පවා රැකියා සඳහා රටින් පිට යන අතර බොහෝ දෙනෙක් පවසන්නේ මේ දවස්වල අවම වශයෙන් තව අවුරුද්දක් වත් යනකම් රටින් පිටවී සිටින එක හොඳ බවත් නැත්නම් ඒ අතර තත්ත්වය බලලා වෙන හොඳ රටකට මයිග්රේට් කරන එක කළ යුතුයි ඉක්මනට කියලා. ///

    Truth is out there, most of the rich & upper middle class are fleeing at the moment, only issue is lack of foreign currency in exchange.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...