පසුගිය වසර මුලදී කාටවත්ම කෝවිඩ් ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. මෙය අලුත් වෛරසයක්. අලුත් ලෙඩක්. එසේ වුවත්, මේ වෛරසයට ආසන්නව සමාන වෛරස හා එම වෛරස නිසා හැදුනු ලෙඩ පිළිබඳ සැලකිය යුතු දැනුමක් ඒ වෙද්දී තිබුණා. පොදුවේ වෛරස් හා අදාළව වගේම එන්නත්කරණය මගින් වෛරස් රෝග පාලනය කිරීම පිළිබඳවත් විශාල දැනුමක් බටහිර විද්‍යාව සතුව තිබුණා.
ආරම්භයේදී කෝවිඩ් ගැන නිශ්චිත දැනුමක් නොතිබුණත්, එවකට දැන සිටි දේවල් මත පදනම්ව වෛරසයේ හැසිරීම හා රෝගයේ පැතිරීම සම්බන්ධව අදාළ දැනුම තිබෙන බොහෝ දෙනෙකුට එකඟ විය හැකි ප්‍රවාද වසංගත රෝග විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කළා. මේ ප්‍රවාද ඉදිරිපත් කළේ අපෝහණ තර්කනය මත පදනම්වයි. එම ප්‍රවාද පරික්ෂාවට ලක් කළ හැකි අනුභූතික දත්ත ඒ වෙද්දී තිබුණේ නැහැ.
එවකට නොතිබුණු අනුභූතික දත්ත දැන් තිබෙනවා. මුලින් අපෝහණ තර්කනය මත පමණක් පදනම් වූ ප්‍රවාද මේ වෙද්දී පරික්ෂාවට ලක් වී තිබෙනවා. විද්‍යාත්මක තර්කනය මත පදනම් වූ ප්‍රවාද හැම විටම පරීක්ෂණාත්මක තහවුරු කළ නොහැකි වුවත් කෝවිඩ් හා අදාළව ඉදිරිපත් වූ ප්‍රවාද බොහොමයක් මේ වෙද්දී තහවුරු වී අවසන්. වඩාත් නිවැරදිව කිවුවොත්, අනුභූතික දත්ත හමුවේ අසත්කරණයට ලක් නොවී ශේෂව තිබෙනවා.
බොහෝ වසංගත රෝග ස්වභාවික ලෙසම තුරන් වී යනවා. එය සිදුවන්නේ සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමෙන් පසුව. මෙය සිදු වන්නේ කිසියම් සමාජයක සාමාජිකයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔවුන්ගේ සිරුරු තුළ ඇතිවන ප්‍රතිශක්තිය නිසා තව දුරටත් රෝගය නොපතුරුවන තත්ත්වයට පත් වීමෙන් පසුවයි. බොහෝ දෙනෙකු වෛරසය සිරුරේ දරාගෙන රෝගය නොපතුරුවන්නේනම් වෛරසයට ව්‍යාප්ත විය නොහැකියි. ඒ නිසා, වෛරසය අතුරුදහන් වී යනවා.
එන්නත්කරණයේ ප්‍රමුඛ ඉලක්කය වන්නේ වෛරසය ආසාදනය වන්නට පෙරම එන්නත්කරණය හරහා ප්‍රතිශක්තිය ඇති කිරීම මගින් බොහෝ දෙනෙකු වෛරසය සිරුරේ දරාගෙන රෝගය නොපතුරුවන තත්ත්වයට පත් කිරීමයි. මේ ක්‍රමයට රෝගයේ හානි වලට මුහුණ නොදෙමින්ම සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගත හැකියි.
ඔය ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයට වුවත්, කිසියම් සමාජයක් තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීමට හැකි වන්නේ එම සමාජයේ යම් අවම ප්‍රතිශතයක් රෝගය නොපතුරුවන තත්ත්වයට පත් වුවහොත් පමණයි. මේ අවම ප්‍රතිශතය අදාළ රෝගය පැතිරෙන වේගය මත තීරණය වන දෙයක්. පෙර ලිපිවල විස්තර කර තිබෙන මූලික ප්‍රතිජනන අංකය මගින් හා ආසාදිතයෙකු රෝගය පතුරුවන සාමාන්‍ය කාලයෙන් කිසියම් රෝගයක් පැතිරෙන වේගය විස්තර කෙරෙනවා.
කෝවිඩ් රෝගය පැතිරවූ වෛරසයේ මුල් ප්‍රභේද වල මූලික ප්‍රතිජනන අංකය 2.2 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව, කිසියම් සමාජයක 55%ක පමණ පිරිසක් රෝගය නොපතුරුවන්නේනම් රෝගය අතුරුදහන් වී යා යුතුයි. ඒ කියන්නේ, මිලියන 22ක පමණ ජනගහණයක් සිටින ලංකාවේ මිලියන 12ක පිරිසකට වෛරසය ආසාදනය වීමෙන් පසුව වෛරසය තුරන් විය යුතුව තිබුණා.
එක් අයෙකු දින 10ක් තුළ 2.2 දෙනෙකුට වෛරසය ආසාදනය කළහොත් දින 200ක් යද්දී මිලියන 15ක පිරිසකට වෛරසය පැතිරෙනවා. පැහැදිලි කිරීම සඳහා කරන ඕනෑවට වඩා සරල ගණනය කිරීමක් වුවත්, මෙයින් පෙනෙන්නේ වෛරසයේ පැතිරීම පාලනය නොවන තත්ත්වයක් යටතේ මාස හතක පමණ කාලයක් තුළ රටෙන් බාගයකට වඩා වැඩි පිරිසකට වෛරසය පැතිරීමෙන් පසුව වෛරසය අතුරුදහන් වී යා යුතුව තිබුණු බවයි. එවැනි තත්ත්වයක් යටතේ 120,000ක පමණ විශාල මරණ ප්‍රමාණයක්ද සිදු විය හැකිව තිබුණා.
මුලින් පෙනෙන්නට තිබුණු පරිදි එන්නත්කරණය මගින් වඩා හොඳ ආකාරයකට ඉහත කී සාමූහික ප්‍රතිශක්ති ඉලක්කය කරා යා හැකිව තිබුණා. ඒ සඳහා කළ යුතුව තිබුණේ එන්නත්කරණය මගින් මිලියන 12ක පිරිසක් වෛරසය නොපතුරුවන්නන් බවට පත් කිරීමයි. මෙය කරන්නට කොපමණ පිරිසක් එන්නත් කළ යුතුද යන්න තීරණය වන්නේ යොදා ගන්නා එන්නතේ ඵලදායීතාවය මතයි.
ලංකාවේ වැඩිපුරම භාවිතා කළ සයිනොපාර්ම් එන්නතේ ඵලදායීතාවය 79.4%ක් බව සඳහන් වුනා. අපි මෙය ආසන්න වශයෙන් 80%ක් ලෙස ගත්තොත්, සයිනොපාර්ම් එන්නත මිලියන 15ක පිරිසකට ලබා දීමේදී එයින් 80%ක පිරිසක් එනම් මිලියන 12ක පිරිසක් වෛරසය නොපතුරුවන්නන් බවට පත් වන නිසා රට තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති විය හැකිව තිබුණා. ස්වභාවික ලෙස රෝගය පැතිරී සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමට සාපේක්ෂව මේ ක්‍රමයේ තිබෙන වාසිය සිදු විය හැකි මරණ ප්‍රමාණයෙන් 95%ක් පමණම සිදු නොවීමයි. එනම්, සිදු විය හැකි මරණ 120,000කින් 114,000ක්ම සිදු නොවීමයි. ඉතිරි මරණ 6,000 එන්නත්කරණය මගින් වුවද වලක්වා ගත නොහැකි මරණයි.
මේ වෙද්දී ලංකාවටද ලැබී තිබෙන මොඩර්නා සහ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් වල ඵලදායීතාවය වසර මුලදී සැලකුනේ 95%ක් ලෙසයි. සයිනොපාර්ම් එන්නත වෙනුවට ඊට වඩා ඵලදායී එන්නතක් භාවිතා කළේනම් ලබා ගත හැකිව තිබුණු වාසිය වන්නේ මිලියන 15කට වඩා අඩු පිරිසකට එන්නත ලබා දී මිලියන 12ක පිරිසක් වෛරසය නොපතුරුවන්නන් බවට පත් කළ හැකිව තිබීමයි. ඵලදායීතාවය 95%ක් වූ එන්නතක් යොදා ගත්තේනම් මේ සඳහා එන්නත් කළ යුත්තේ මිලියන 12.6ක පිරිසක් පමණයි. ඒ හැර අවසන් ප්‍රතිඵලයේ ලොකු වෙනසක් විය හැකිව තිබුණේ නැහැ. මුලින් මෙන්ම මරණ ප්‍රමාණය 120,000 සිට 6,000 දක්වා අඩු වෙනවා.
එන්නත් කළ යුතු පිරිස මිලියන 2.4කින් පමණ අඩු වීම රටක් සේ ගත් විට සැලකිය යුතු වාසියක් බව කිවයුතු නැහැ. එහෙත්, ඒ හැර පුද්ගලික මට්ටමෙන් අඩු ඵලදායී එන්නතක් ගැනීමට සාපේක්ෂව වැඩි ඵලදායී එන්නතක් ගැනීමේ විශාල වාසියක් තිබුණේ නැහැ. ලංකාවේ ජීවත් වන, මා පෞද්ගලිකව දන්නා බොහෝ අයට ලැබෙන කවර හෝ එන්නතක් හැකි ඉක්මණින් ලබා ගන්නා මෙන් මා යෝජනා කළේ ඒ නිසයි. බ්ලොග් එකේ පාඨකයින්ට මා කීවේද එයයි. ඇමරිකාවේ ජීවත් වූ මා ඇතුළු බොහෝ දෙනෙකු සිටියේද මුලින්ම ලැබෙන කවර හෝ එන්නතක් ලබා ගන්නවාය යන මතයේ. දැනටත් මගේ මේ ස්ථාවරයේ වෙනසක් නැහැ.
එන්නත්කරණය මගින් පසුගිය කාලය මුළුල්ලේ බොහෝ වෛරස් රෝග සාර්ථක ලෙස පාලනය කර තිබෙනවා. ඇතැම් රෝග මිහිමතින් තුරන් කර තිබෙනවා. ඇමරිකාව, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය ඇතුළු ජාතික මට්ටමේ තීරණ වලදී බටහිර විද්‍යා දැනුමට මුල් තැන දෙන බොහොමයක් රට වල ඉලක්කය වුනේ හැකි ඉක්මණින් ප්‍රමාණවත් පිරිසක් එන්නත් කර කෝවිඩ් වලට එරෙහිව සාමූහික ප්‍රතිශක්තිය අත් කර ගැනීමයි. මේ සඳහා පැවති ප්‍රධානම බාධාව වූයේ මේ රටවල සැලකිය යුතු පිරිසක් එන්නතක් ලබා ගැනීමට කැමැත්තක් නොදැක්වීමයි.
එන්නත්කරණය මගින් සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා ජනගහණයෙන් 55%ක පමණ පිරිසක් රෝගය නොපතුරුවන්නන් විය යුතුව තිබුණු තත්ත්වයක් යටතේ 95%ක ඵලදායීත්වයක් තිබුණු එන්නතක් ජනගහණයෙන් 58%ක පමණ පිරිසකට ලබා දී මේ ඉලක්කය කරා යා හැකි වුවත් අඩු ඵලදායීතාවයක් තිබුණු එන්නතකින් එම ප්‍රතිඵලයම ලබා ගැනීමට වැඩි පිරිසක් එන්නත් කළ යුතුව තිබුණා. එහෙත්, බොහෝ දෙනෙකු එන්නත් ලබා ගැනීමට කැමැත්තක් නොදැක්වීමත්, වයස අවුරුදු 12 නොඉක්මවූවන් සඳහා කිසිදු එන්නතක් අනුමත වී නොතිබීමත් තුළ 58% මට්ටමද අසීරු ඉලක්කයක්ව තිබුණා. මේ නිසා ඇමරිකාව හා ඊශ්‍රායලය වැනි රටවල් වැඩි වශයෙන් භාවිතා කළේ මොඩර්නා සහ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් දෙකයි. එක්සත් රාජධානිය ඇස්ට්‍රසෙනිකා එන්නතද විශාල වශයෙන් භාවිතා කළා. මේ රටවල් තුනම කලින්ම එන්නත්කරණය පටන් ගත් රටවල්.
මේ වෙද්දී එක්සත් රාජධානියේ ජනගහණයෙන් 64%ක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන අතර 72%ක් එන්නත් මාත්‍රා ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. ඇමරිකාවේ ජනගහණයෙන් 53%ක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන අතර 62%ක් එන්නත් මාත්‍රා ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායලයේ ජනගහණයෙන් 60%ක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන අතර 66%ක් එන්නත් මාත්‍රා ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව ඇමරිකාවේ ජනගහණයෙන් 12%ක්ද, ඊශ්‍රායලයේ ජනගහණයෙන් 11%ක්ද, එක්සත් රාජධානියේ ජනගහණයෙන් 10%ක්ද කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනා ගනු ලැබ තිබෙනවා. මේ අනුව, මුල් පරාමිතීන් වෙනස් නොවී එලෙසම තිබුණේනම් මේ වෙද්දී බොහෝ විට කෝවිඩ් ආසාදනය වීම හෝ එන්නත්කරණය යන ක්‍රම දෙකෙන් එකකින් මේ එක් එක් රට තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති වී තිබිය යුතුයි.
කිසියම් රටක කිසියම් රෝගයක් සඳහා සාමූහික ප්‍රතිශක්තිය ඇති වූ විට එය පැහැදිලිව පේනවා. ආසාදිතයින් ප්‍රමාණය ක්ෂණිකව මෙන් විශාල ලෙස පහත වැටෙනවා. ඇමරිකාවේ, එක්සත් රාජධානියේ මෙන්ම ඊශ්‍රායලයේද මෙවැනි තත්ත්වයක් දැකිය හැකි වුනා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ කෝවිඩ් ආසාදිතයින් නැත්තටම වගේ නැති වුනා. එහෙත්, මේ ශුභදායී වාතාවරණය කණපිට හැරෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේ රටවල් තුනේම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණ දැන් නැවතත් විශාල ලෙස වැඩි වෙලා. ඊශ්‍රායලයේනම් මරණද සැලකිය යුතු ලෙස වැඩි වෙමින් තිබෙනවා.
සාමූහික ප්‍රතිශක්තිය කියන මූලධර්මය පදනම් වෙන්නේ වරක් වෛරසය ආසාදනය වූ හෝ එන්නත්කරණය මගින් ප්‍රතිශක්තිය ලැබූ අයෙකුගේ එම ප්‍රතිශක්තිය දිගටම තිබෙනවා කියන අදහස මතයි. එහෙත් හැම විටම මෙය මෙලෙස සිදු වන්නේ නැහැ. විශේෂයෙන්ම වෛරසය ඉතා කෙටි කාලාන්තර තුළ එහි වෙනස් ප්‍රභේද හදන විට. කෝවිඩ් වෛරසයද මෙවැන්නක් බවට ආරම්භයේදී වූ ප්‍රවාදය මේ වන විට තහවුරු වී අවසන්. මුලින් කතා කළ රටවල් තුනේ යම් අවස්ථාවක දැකිය හැකි වූ බලාපොරොත්තු සහගත වාතාවරණය වෙනස් වෙන්න හේතු වුනේ ඩෙල්ටා ප්‍රභේදයයි.
ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අංකය 6.5 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව, රෝගය අතුරුදහන් වී යාමටනම් කිසියම් සමාජයක 85%ක පමණ පිරිසක් රෝගය නොපතුරුවන්නන් විය යුතුයි. කලින් මෙන් 55%ක පමණ පිරිසක් රෝගය නොපතුරුවන්නන් වීම තව දුරටත් ප්‍රමාණවත් නැහැ. මේ අනුව, මිලියන 22ක පමණ ජනගහණයක් සිටින ලංකාවේ මිලියන 19.5ක පමණ පිරිසක් වෛරසය නොපතුරුවන්නන් විය යුතුයි.
ඩෙල්ටා ප්‍රභේදයේ නිසා ඇති වී තිබෙන එකම වෙනස මෙය පමණක් නෙමෙයි. මේ අලුත් ප්‍රභේදය හමුවේ 95%ක් ඵලදායී සේ සැලකුණු මොඩර්නා සහ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් වල ඵලදායීතාවය 66% මට්ටමට අඩු වී තිබෙනවා. සයිනොපාර්ම් එන්නත හා අදාළව මෙවැනි සංඛ්‍යාලේඛණ නැතත්, එය 79%ට වඩා අඩු මිස වැඩි විය නොහැකි බව පැහැදිලි කරුණක්. 95%න් පටන් ගත් එන්නත් වල ඵලදායීතාවය 66%ට බහිද්දී 79%න් පටන් ගත එන්නතෙහි ඵලදායීතාවයත් අඩුම වශයෙන් 66%ට බැස ඇතැයි සිතීම නරක උපකල්පනයක් කියා ඔබ කියන එකක් නැහැ.
ලංකාවේ ජනගහණයෙන් 20%ක් පමණ වයස අවුරුදු 12 නොඉක්මවූ අයයි. එම වයස් කාණ්ඩය සඳහා මෙතෙක් කිසිදු එන්නතක් අනුමත වී නොමැති නිසා සෛද්ධාන්තිකවම එන්නත්කරණය කළ හැක්කේ ජනගහණයෙන් 80%කට නොවැඩි ප්‍රතිශතයක්. එනම් මිලියන 17.5ක පිරිසක්. ඔවුන් අතරින් රෝග වාහකයින් නොවනු ඇත්තේ මිලියන 11.5ක පිරිසක්. එහෙත්, ජන ජීවිතය පූර්ව කෝවිඩ් තත්ත්වයට ගෙන යන අතරම සාමූහික ප්‍රතිශක්තිය පවත්වා ගැනීම සඳහා මිලියන 19.5ක පමණ පිරිසක් වෛරසය නොපතුරුවන්නන් විය යුතුයි.
තවත් මිලියන 8ක පමණ පිරිසක් වෛරසය ආසාදනය වී හෝ ප්‍රතිශක්තිය ලබා ගත හොත් මේ ඉලක්කයට යා හැකි බව පෙනෙන නමුත් දැනට තිබෙන සාක්ෂි වලින් පෙනෙන්නේ වෛරසය ආසාදනය වීමෙන් ලැබෙන ප්‍රතිශක්තියද එන්නත්කරණය මගින් ලැබෙන ප්‍රතිශක්තිය මෙන්ම කාලයත් සමඟ ක්ෂය වී යන බවයි.
සාක්ෂි මත පදනම් වූ තර්කනය මගින් මෙන්ම පෙනෙන්නට ඇති සාක්ෂි වලින්ද පැහැදිලි වන්නේ කෝවිඩ් සඳහා සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීම යනු කවදාවත් සැබෑ නොවන සිහිනයක් පමණක් බවයි. මේ සඳහා, ජීවමාන සාක්ෂි ලෙස තිබෙන්නේ ඉහත කතා කළ රටවල් තුන පමණක් නෙමෙයි. ජනගහණයෙන් 74%ක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර ඇති, ජනගහණයෙන් 78%ක් එන්නත් මාත්‍රා ආරම්භ කර ඇති, ජන ඝනත්වයද ඉතාම අඩු අයිස්ලන්තයේ කෝවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට පෙර කවදාවත් නොවූ තරම් ඉහළ ගිහින්. මෙවැනි තවත් රටවල් ගණනාවක් තිබෙනවා.
එන්නතක් ගත්තත් කෝවිඩ් හැදෙනවානම්, වරක් හැදුනු අයටද නැවතත් හැදෙනවානම්, කවුරුවත් කවදාවත් කෝවිඩ් වලින් සම්පූර්ණයෙන් ආරක්‍ෂිත නැහැ. හැබැයි එයින් අදහස් වන්නේ මෙය ලෝක විනාශය බව නෙමෙයි. එන්නත්කරණය තේරුමක් නැති වැඩක් කියන එකත් නෙමෙයි.
දැනට තිබෙන අනුභූතික සාක්ෂි වලින් පෙනෙන්නේ එන්නත් වලින් කෝවිඩ් මරණ වලින් 95%ක්ම වලක්වාගත හැකි බවයි. මේ තත්ත්වය එලෙසම පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම වසරකට හෝ වසර කිහිපයකට වරක් එන්නත් ලබා ගන්න සිදු වන බවත් පැහැදිලියි. එසේ තිබියදී, එන්නතට ඔරොත්තු නොදෙන ප්‍රභේදයක් ඇති විය නොහැකිද?
අනිවාර්යයෙන්ම කොයි වෙලාවක හෝ මෙය සිදු විය හැකියි. එසේ වුවහොත්, යම් කාලයක් මරණ ඉහළ යයි. හැබැයි එයත් ලෝක විනාශයක් වන එකක් නැහැ. එවැනි අලුත් ප්‍රභේදයකට ඔරොත්තු දිය හැකි පරිදි තිබෙන එන්නතක් වෙනස් කර ගැනීම මුල සිටම එන්නතක් වැඩි දියුණු කර ගැනීම තරම් අසීරු දෙයක් නෙමෙයි. එන්නත්කරණය මගින් සාමූහික ප්‍රතිශක්තිය ඇති කරගත නොහැකි, සෑම වසරකම අලුත් ප්‍රභේද හදන, ඉන්ෆ්ලුවන්සා රෝගය පාලනය කරගෙන තිබෙන්නේ මේ ක්‍රමයටයි.
කෝවිඩ් පාලනය කිරීම කියා කියන්නේ කෝවිඩ් තුරන් කිරීම නෙමෙයි. කෝවිඩ් සමඟ ජීවත් වන්නට පුරුදු වීමයි. හොඳම තත්ත්වයක් යටතේ වුවත් වසරකට සැලකිය යුතු කෝවිඩ් මරණ ප්‍රමාණයක් සිදු වීමත්, ඒ මට්ටමට මරණ ප්‍රමාණය නවත්වා ගැනීම සඳහා දිගින් දිගටම එන්නත් ගන්න සිදු වීමත් බොහෝ විට සිදු විය හැකි දේවල්.
දැනට තිබෙන දත්ත ඇසුරෙන් මගේ ඇස්තමේන්තුව වසරකට රටක ජනගහණයෙන් 0.04%ක් පමණ පිරිසක් එක් කෝවිඩ් "චක්‍රයක්" තුළ මිය යාම දිගුකාලීන සමතුලිතතාවය විය හැකියි කියන එකයි. මේ චක්‍රයක කාලය වසරක් තරම් කෙටි විය හැකියි. ඒ කියන්නේ ඇමරිකාවේනම් වසරකට කෝවිඩ් මරණ 130,000ක් පමණ ප්‍රමාණයක්. වසරකට සිදුවන ඉන්ෆ්ලුවන්සා මරණ ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක්. ලංකාවේනම් වසරකට මරණ 8,000ක් පමණ.
දැඩි ක්‍රියාමාර්ග නොගත්තොත් වෛරසය මාස දෙක තුනක් තුළ වේගයෙන් පැතිරී එම කෙටි කාලය තුළ ඔය මරණ ප්‍රමාණය සිදු වෙයි. ඉන් පසුව, සුව වන අයට ලැබෙන ප්‍රතිශක්තිය හීන වන තුරු මාස හත අටක් රෝගය ඉබේටම පාලනය වී තිබී, නැවතත් අලුත් චක්‍රයක් පටන් ගනී. දැඩි ක්‍රියාමාර්ග ගත්තොත්, වසංගතය වේගයෙන් නොපැතිරෙන නිසා ඔය මරණ ප්‍රමාණයම මාස දෙක තුනක් තුළ සිදු වනවා වෙනුවට වසර පුරා හෙමිහිට සිදු වෙයි.
කිසියම් දවසක් හෝ සතියක් තුළ රෝගය හැදී සුවවන ප්‍රමාණයේ හා අලුතින් එන්නත් බූස්ටර් ලබා ගන්නා ප්‍රමාණයේ එකතුව එම කාලය තුළ තමන් කලින් රෝගය හැදී හෝ එන්නතෙන් ලබාගත් ප්‍රතිශක්තිය හීන වන ප්‍රමාණයට සමාන වීමෙන් පසුව මොන තරම් දැඩි ක්‍රියාමාර්ග ගත්තත් රෝගය පැතිරීම තව දුරටත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, එන්නත් මාත්‍රා සම්පූර්ණ කිරීමෙන් පසුව අනෙකුත් ක්‍රියාමාර්ග වලින් ලැබෙන වාසිය තාවකාලිකයි.
මිනිස්සු මැරෙන්නේ කෝවිඩ් වලින් පමණක් නෙමෙයි. මොන ක්‍රමයට මැරුණත් එය මරණයක්. කෝවිඩ් පාලනය කරන්න කරන දේවල් නිසා වෙනත් ආකාර වලින් සිදුවන මරණ ඉහළ යන්නත් පුළුවන්. වෙනත් දිගුකාලීන හානි සිදු වෙන්නත් පුළුවන්. තීරණ ගත යුත්තේ මේ අවදානම් හැම එකක්ම සැලකිල්ලෙන් කිරා මැන බැලීමෙන් පසුවයි. හැම දෙයක්ම කරන්න ආර්ථික ශක්තියක් තිබිය යුතුයි. හිතේ තිබුනා කියා අවශ්‍ය සම්පත් නැතුව ඉලක්ක සපුරා ගන්න බැහැ. සම්පත් ඉබේ පහළ වෙන්නේ නැහැ. ආර්ථික ප්‍රශ්න වල බරත් එක්ක කෝවිඩ් වලින් බේරෙන්න දුවන එක ලේසි වැඩක් නෙමෙයි.
ඉකොන්,
ReplyDeleteඔබ මේ ගැන හිතන්නේ මොකක් ද?
https://www.facebook.com/6013004059/posts/10159819329584060/
My subscription has expired.
Deleteඅවුරුදු අසූගනන් ජීවත් වෙන්න ඉස්සරහට සෑහෙන ගේමක් දෙන්න වෙයිද
ReplyDeleteවෛරසයට නැවත නැවත නිරාවරණය වෙද්දී, මැරුණේ නැත්නම්, වෛරසය වෙනස් වීම හමුවේ වුවද, ටිකෙන් ටික ප්‍රතිශක්තිය වැඩි වීමක් වෙනවා. විශේෂයෙන්ම කෝවිඩ් වලින් දැනට විශාල තර්ජනයක් නැති බාල වයස්කාර දරුවන්ට මේ වාසිය වැඩිපුර තිබෙනවා. ඒ වගේම, එන්නත් වල ඵලදායීතාවය හා ප්‍රතිකාර වල ඵලදායීතාවය අනිවාර්යයෙන්ම වසරින් වසර ඉහළ යයි. විශේෂයෙන්ම මෙවැනි දේ වෙනුවෙන් ආයෝජනය කිරීමේ විශාල ආර්ථික ප්‍රතිලාභ පෙනෙන්නට තිබෙන තත්ත්වය යටතේ. අනෙක් පැත්තෙන් වෛරසයද මේ තත්ත්වයන්ට මුහුණ දිය හැකි පරිදි නිරන්තයෙන් පරිණාමය වීම නොවැලැක්විය හැකියි. මේ ගේම් එකේ දිගුකාලීන ප්‍රතිඵලය නොදන්නා කලාපයේ තිබෙන දෙයක් වුවත්, මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ වෛරසයට මිනිසුන් පැරදවිය නොහැකි වනු ඇති බවයි. එසේ වුවත්, මිනිසුන් විසින් වෛරසයට එරෙහිව ලබා ගන්නා ජයග්‍රහණ වල වාසිය ලෝකයේ හැම මිනිසෙකුටම එක සේ හිමිවනු ඇතැයි හිතන්න අමාරුයි. ඒ නිසා, දිගුකාලීනව මේ වෛරසය විසින්ද කරනු ඇත්තේ ලෝකයේ පවතින විෂමතාවන් තවදුරටත් පුළුල් කරන එකයි. අනෙක් පැත්තෙන් තමන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කිරීමට (දුම්පානයෙන් වැලකීමට, ශරීරයේ බර වැඩි කර නොගැනීමට, සනීපාරක්ෂාව ගැන වැඩිපුර සිතීමට) මෙම වෛරසය විසින් බලපෑමක් කරනවා. බොහෝ විට ඉදිරියේදී වායු දූෂණය වැනි දේ ගැන වුවත් වැඩි අවධානයක් වෛරසය විසින් ඇති කරයි කියා හිතෙනවා. ඒ වගේ දේවල් නිසා ජීවිත අපේක්ෂාව ඉහළ යන්න වුනත් පුළුවන්.
Deleteබලනකොට ඔවැනි කෝණයකින් යහපත්
Deleteනරකම නැහැනෙ පොසිටිව් වීමක්ම වුණත්
අපි මැරුණම මොකද, හැට පැනලයි ඉන්නෙත්
උචිතයො ඉතිරි වෙයි, උන්ටයි ලෝකෙ හිමිත්!
ඔහෙ හෙල්ත්කෙයා සෙවකයන්ගෙ පවුල් වලටත් ප්‍රමුකතාවය හම්බ උනාද?
ReplyDeleteනැහැ.
Deleteලන්කාවෙ අය ඇත්තටම බයද? නැතිනම් රඟපාල එතනත් විශේශ පන්තියක් කියල පෙන්නන්න තියෙන ආසාවද?
Deleteබයනම් අනෙක් රටවල මිනිස්සුන්ටත් එලෙසම තියෙනවා. මෙය බය නිසා වූ දෙයක් කියා කියන්න බැහැ.
Delete// සයිනොපාර්ම් එන්නත හා අදාළව මෙවැනි සංඛ්‍යාලේඛණ නැතත්, එය 79%ට වඩා වැඩි මිස අඩු විය නොහැකි බව පැහැදිලි කරුණක්.// 'වඩා අඩු මිස වැඩි විය නොහැකි' නොවෙද?
ReplyDeleteඔව්. ස්තුතියි! (නිවැරදි කළා)
DeleteThe real reason for pseudo patriotism among elderly expatriates living in first world countries is the gaining of understanding of their fates under capitalism at the autumn of their lives.
ReplyDeleteIn hey days of youth they migrate to achieve their economic goals. They embrace and enjoy the opportunities and freedom in first world while admonishing about the preserving culture to their native countrymen.
This is applicable to majority of both sinhalese and tamil diasporas.
Most of their earnings are spent for their consumption at first world except little remittances once in a blue moon. No one cannot see a wrong with that.But the nuisance is when these same people start to lecture the way we should govern.
තාමත් කරන්නෙ පයේ බරවෙට පිටිකර බෙහෙත් බඳින එක.
ReplyDeleteඉකොනො, අන්තර්ජාල ප්‍රවෘත්ති වලට අනුව කොවිඩ් එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට හැකිවී ඇති බව දකුණු අප්‍රිකානු බෝවන රෝග පිලිබඳව විමර්ෂණය කරන ජාතික පර්යේෂණ ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.
ReplyDeleteමෙම නව කොවිඩ් ප්‍රභේදය C.1.2 යනුවෙන් හඳුන්වන අතර මෙය 2021 මැයි මාසයේ සිට එහේ තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් බව ඒ වාර්තාවල තිබුණා.
මේ C.1.2 ප්‍රභේදය 2021 ජනවාරි මාසයේදී හඳුනා ගනු ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයකින් පැමිණෙන බව විද්‍යාඥයින් කියනවා.
මෙම වෛරසය තවම නොදන්නා නමුත් ඇතැම් විට වූහාන් වලින් හමුවූ බව කියන පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘතිතාවයෙන් යුක්ත වන අතර මෙය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරනු ලබන බවට විද්‍යාඥයින් තහවුරු කර තිබේ.
ඒ වගේම C.1.2 කොවිඩ් ප්‍රභේදයේ N440K සහ Y449H යන විකෘතිතාවයන් පෙන්නුම් කරනු ලබන බව විද්‍යාඥයින් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා වල සඳහන්.
මේ නිසා කොවිඩ්-19 වෛරසයට එරෙහිව ලබාදෙන එන්නතින් මිනිස් සිරුරේ නිපැදවෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යෑමට මෙම වෛරසයට හැකියාව ලැබෙනු ඇති බව විද්‍යාඥයින් විශ්වාසය පළකර තිබේ.
නව C.1.2 ප්‍රභේදය එහි පැරණි කොවිඩ් ප්‍රභේදයට වඩා භයානක වනු ඇත්දැයි හඳුනා ගැනීමට තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් පවසන්නේ.
මේ වෛරසය පලමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් අනතුරුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යන රටවලින්ද වාර්තා වී ඇති බව පර්යේෂකයින් වැඩිදුරටත් පවසයි. මේ අලුත් ප්‍රභේදය ගැන ඔබට අදහසක් තියෙනවා ද? වැඩි විස්තර දන්නවා නම් කියන්න පුළුවන්ද?
මේ පිළිබඳ විශේෂඥ අදහස වන්නේ මෙය කණසල්ලට හේතු විය යුතු නැති ප්‍රභේදයක් බවයි. දැනට වේගයෙන්ම ව්‍යාප්ත වන ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයයි. මේ ප්‍රභේදය ව්‍යාප්ත වන්නේ ඊට වඩා සෙමින්. ඩෙල්ටා ප්‍රභේදයට වඩා අඩු වේගයකින් පැතිරෙන ඕනෑම ප්‍රභේදයක් කාලයත් සමඟ තුරන් වී යා යුතුයි. අලුත් ප්‍රභේදයකට පැතිරිය හැක්කේ ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන්නේනම් පමණයි. ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන වේගය ඉතාම වැඩි නිසා ඊටත් වඩා වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදයක් ඇති වීම අඩු සම්භාවිතාවක් තිබෙන දෙයක්.
Deleteඇමරිකාවේ බලහත්කාරී ව්‍යාප්තවාදයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ අභිතව සටන් වදිනා තලේබාන් විමුක්ති සන්නන්ධ අරගලයට අපගේ සහය.
ReplyDelete