වෙබ් ලිපිනය:

Wednesday, June 10, 2020

රට (නො) ගිය ඇත්තෝ


රට ගිය ඇත්තෝ ගැනත් රට ගිය ඇත්තෝ ප්‍රබන්ධය ගැනත් දවස් හතරක් කතා කළා. මේ ප්‍රබන්ධය සමහර විට රචකයා විසින් දවසක් ඇතුළත ලියා පළ කළ බ්ලොග් පෝස්ට් එකක් වෙන්න ඇති. ඔය වගේ බ්ලොග් පෝස්ට් එකක් ලියා පළ කරන්නේ මාස ගාණක් පර්යේෂණ කරලා නෙමෙයි. ලිවුවා. පළ කළා. එච්චරයි. වැදගත් කාරණය මේ වගේ බ්ලොග් පෝස්ට් එකක් මේ තරම් දුර ගියේ කොහොමද කියන එකයි.

කිසියම් ප්‍රබන්ධයක් හෝ වෙනත් නිර්මාණයක් හොඳ නිර්මාණයක් වෙන්නේ කොහොමද? මේ කතාව තාක්ෂණික වැරදි බහුල අභව්‍ය හා අසංගත කතාවක්. හැබැයි ඒ හේතු නිසා මෙය නරක නිර්මාණයක් කියා කියන්න බැහැ. නිර්මාණයක් හොඳද නැද්ද කියන එක තීරණය කරන ලොකුම නිර්ණායකය එයට මිනිසුන්ගේ තිබෙන කැමැත්තයි. ඒ අතින්, රට ගිය ඇත්තෝ සාර්ථක නිර්මාණයක්. වසර නවයකට පස්සෙත් රට ගිය ඇත්තෝ සමාජ මාධ්‍ය ඇතුළේ සංසරණය වෙනවා. ඒ ඇයි?

බොහෝ මිනිස්සු කවර හෝ හේතුවක් නිසා තමන් දැන් ගෙවන ජීවිතය ගැන සතුටු නැහැ. විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු ගත්තොත්, බොහෝ දෙනෙක් තමන් දැන් ගෙවන ජීවිතය ගැන සතුටු නොවන්නේ ආර්ථික හේතු මතයි. තමන්ගේ පරිභෝජන මට්ටම ඉහළ දමා ගන්න පුළුවන් ක්‍රමයක් ඔවුන් හැම වෙලාවෙම හොයමින් ඉන්නවා.

මේ විදිහට හිතන අය බටහිර රටකට කොහොම හරි යන එක ප්‍රශ්නයට විසඳුමක් කියලා හිතනවා. නමුත්, එක්කෝ ඒ සඳහා අවස්ථාව නැහැ. එහෙම නැත්නම් එහි අවදානම ගන්න සූදානම් නැහැ. ආසයි බයයි.

බෝට්ටු වලින් පනින තැන දක්වා තල්ලු වෙන්නේ ආශාව හොඳටම වැඩි බය අඩු අය. නමුත්, ගොඩක් අය ඒ ගොඩේ නැහැ. හිතලා බැලුවහම තේරෙනවා ලංකාවෙන් යන එකෙන් තත්ත්වය තවත් නරක් වෙන්න පුළුවන් කියලා. අවිධිමත් ලෙස මනසින් කරන විශ්ලේෂණයක් වුවත් සංක්‍රමණය වීමේ ආවස්ථික පිරිවැය එක්ක බැලුවහම ලැබෙන්න ඉඩ තිබෙන ප්‍රතිලාභ අඩුයි වගේ පේනවා. ඒ නිසා, ඒ අදහස අත ඇරලා දමනවා. බොහෝ විට මේ තීරණය ගන්න පුළුවන් හොඳම තීරණයයි.

ලංකාවට වෙලා ඉන්න එක ගන්න පුළුවන් හොඳම තීරණය වුනත් සංක්‍රමනය වීම ගැන අඩු වශයෙන් හිතන්න හෝ පොළඹවපු මූලික ප්‍රශ්න ටික ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, ගත්ත තීරණය වැරදිද කියන එක නිතරම හිතට වද දෙනවා. ඔය අතරේ බටහිර රටකට සංක්‍රමණය වූ යාළුවෙක්, නෑදෑයෙක් නිවාඩුවට ලංකාවට එනවා. අත දිග ඇරලා වියදම් කරනවා. තමන්ගේ ජීවිතය ගැන තොරතුරු රස කරලා කියනවා. හැබැයි කියන්නේ තමන්ට කියන්න අවශ්‍ය කොටස පමණයි. එතකොට ලංකාවේ ඉන්න මනුස්සයාගේ අර අවුල වැඩි වෙනවා.

සමාජ මාධ්‍ය නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වෙලා. ඉස්සර ඔය වගේ අවුලක් ඇති වුනේ කලාතුරකින් යාළුවෙක්, නෑදෑයෙක් නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක විතරයි. දැන් ඒ මිනිස්සු කන බොන විදිහ, යන තැන් ඇතුළු හැම මගුලම හැම වෙලාවෙම පේන්න තියෙනවා. ලංකාවේ ඉන්න මනුස්සයාට පේන්නේ පිට රට ඉන්න මනුස්සයා පෙන්නන්න කැමති කොටස පමණයි. ලංකාවේ ඉන්න මනුස්සයාගේ අවුල වැඩි වෙනවා. තමන් ලංකාවේ ඉන්න ගත්ත තීරණය වැරදිද කියන අදහස හිතට වද දෙනවා.

රට ගිය ඇත්තෝ වගේ කතාවක් කියෙවුවහම ලංකාවේ ඉන්න කෙනෙක්ට තමන් ලංකාවේ දැන් ගෙවන ජීවිතය පිළිබඳව තෘප්තිමත් වෙන්න පුළුවන්. තමන් ගත්ත තීරණය ගැන ආඩම්බර වෙන්න පුළුවන්.

එහෙමනම්, මේ වගේ කතාවක් විදේශගත ලාංකිකයින් විසින් සංසරණය කරන්නේ ඇයි? කුහකකම නිසාද?

මම මේකට කුහකකම කියලම කියන්නේ නැහැ. මම දකින විදිහට මේ කතාව අභව්‍ය එකක් වුනත් එයින් පිළිබිඹු වෙන්නේ බටහිර රටක ජීවත් වන පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකුගේ සංකීර්ණ මනෝ භාවයේ එක් සැඟවුණු පැතිකඩක්. සිරිල් සපරමාදු චරිතය ඇමරිකාවේ ජීවත් වන සංක්‍රමණිකයෙකුගේ සැබෑ චරිතයක් නෙමෙයි. එහෙත්, ඇමරිකාවේ ජීවත් වන සංක්‍රමණිකයෙකුගේ මනසේ එක අඳුරු මුල්ලක සිරිල් සපරමාදු කෙනෙක් විය හැකියාවක් ලෙස ජීවත් වෙනවා. රට ගිය ඇත්තෝ කතාව තමන්වත් නොදන්න තමන්ගේ මනසේ තිබෙන මේ අඳුරු මුල්ල එක්ක සුසර වෙනවා.

සංක්‍රමිකයින් කියන්නේ හිතා මතා දුෂ්කර හා අවදානම් තීරණයක් ගත් පිරිසක්. මේ අයත් කලකට පෙර කවර හෝ හේතුවක් නිසා ලංකාවේ තමන්ගේ ජීවිතය ගැන අතෘප්තිමත්ව සිටි අය. එහෙම ඉන්න අතර සංක්‍රමණය වීමේ පිරිවැය හා ප්‍රතිලාභ ගැන විශ්ලේෂණයක් කරනවා. කලින් වගේම අවිධිමත් ලෙස මනසින් කරන විශ්ලේෂණයක් වෙන්න පුළුවන්. එහිදී සංක්‍රමණය වීමේ ආවස්ථික පිරිවැය වලට සාපේක්ෂව ලැබෙන්න ඉඩ තිබෙන ප්‍රතිලාභ වැඩියි වගේ පේනවා. ඒ නිසා සංක්‍රමණය වෙනවා. බොහෝ විට මේ තීරණය ගන්න පුළුවන් හොඳම තීරණයයි.

බටහිර රටකට සංක්‍රමණය වන ලාංකිකයා ආරම්භයේදී කට්ටක් කනවා. ඒක බලාපොරොත්තුවෙන් සිටි තත්ත්වයක් මිසක් අනපේක්ෂිත දෙයක් නෙමෙයි. ඔය කට්ට කෑවට පස්සේ සංක්‍රමණිකයෙක්ට තමන්ගේ මුල් ඉලක්කයට යන්න බැරි වෙන එක ඉතාම කලාතුරකින් විය හැකි දෙයක්. ඊට පස්සේ තමන්ගේ දැන් ජීවිතය ගැන සතුටක් ඇති වෙනවා. ඒ සතුට ලබන්නේ තමන් ජීවත්ව සිටි ලංකාව එක්ක සංසන්දනය කරමින්.

ඔය සතුට කඩා වැටෙන්නේ අවුරුදු හත අටකට පස්සේ ලංකාවට ආවහමයි. දැන් ලංකාව තමන් ලංකාවෙන් එන කොට තිබුණු, තමන්ගේ ඔලුවේ තිබුණු ලංකාව නෙමෙයි. සුපර් මාර්කට් එකකට ගියාම තමන් ලංකාවේ ඉන්න කාලයේ දැකලා නොතිබුණු, දැන් ඉන්න රටේදී පරිභෝජනය කරපු හැම දෙයක්ම වගේ ලංකාවේදීත් දකින්න ලැබෙනවා. ලංකාවේ යාලුවෝ නෑදෑයෝ ඒවා පරිභෝජනය කරනවා. කලින් අමාරුවෙන් ජීවත් වූ මිනිස්සු ලොකු ගෙවල් හදාගෙන තමන් දැන් ඉන්න රටේ පාවිච්චි කරනවාට වඩා මිල අධික මෝටර් රථයකින් ගමන් බිමන් යනවා. ජාත්‍යන්තර පාසැල් වල ඉගෙන ගන්න ඔවුන්ගේ දරුවෝ ඉංග්‍රීසියෙන් කතා කරනවා. මේවා දකින කොට තමන් සංක්‍රමණය වෙන්න ගත්ත තීරණය අත්වැරැද්දක්ද කියලා හිතට වද දෙන්න පටන් ගන්නවා.

මේ වගේ අවස්ථාවක එක් අවිඥානක ප්‍රතිචාරයක් වන්නේ අත දිග ඇරලා වියදම් කරන එකයි. තමන් ජීවත් වන රටේදී නොකරන වියදම් ලංකාවේදී නිකම්ම වගේ කෙරෙනවා. සමහර විට ලංකාවේ ඉන්න මනුස්සයාත් තමන් ලංකාවේ හොඳින් ඉන්න බව පෙන්වන්න ඔය වැඩේම කරන්න පුළුවන්. තමන් වඩා හොඳින් බව දෙන්නාම එකිනෙකාට පෙන්නන්න යනවා. නමුත්, ඇතුළෙන් දෙන්නාගේම අතෘප්තිය ඉහළ යනවා.

සංසන්දනයක් කරන සංක්‍රමණිකයාට ලංකාවේ ජීවත් වූ තමන්ගේ තත්ත්වයේ සිටි අයෙකුට සාපේක්ෂව තමන් ලබාගෙන තිබෙන දේවල් හිතපු තරම්ම විශාල නැති බව පේන්න පටන් ගන්නවා. ඒ එක්කම මේ වෙනුවෙන් තමන්ට අත් හැර දමන්න සිදු වී ඇති දේවල් සිහියට එනවා. විශ්‍රාම දිවියේ සුරක්ෂිතතාවය එයින් ප්‍රධාන එකක්.

ලංකාවේ හිටියානම් මහළු වයසේදී තමන්ගේ දරුවෙක් ලඟ වැටිලා ඉන්න පුළුවන්. එහෙත්, බටහිර රටකදී එය අසාමාන්‍ය දෙයක්. ඒ නැති වුනු දෙයට වඩා තමන් සංක්‍රමණය වීම හරහා හිමි කරගත් දේවල් වටිනවාද? සංක්‍රමණිකයාගේ මනසේ කොනක සැඟවුණු සිරිල් සපරමාදු අවදි වෙන්න පටන් ගන්නවා.

ඇමරිකාව ගත්තොත් පාසැල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ දරුවන් නිවසින් පිට වී යනවා. ඒ ගියාට පස්සේ නැවත දරුවන් හා දෙමවුපියන් එකට ජීවත් වන එක සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. හැබැයි සුදු ඇමරිකානු පවුල් වල පවා එසේ සිදුවන අවස්ථා විශේෂ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.

ඇමරිකාවේ බොහෝ දරුවන්ට දෙමවුපියන්ගෙන් ප්‍රාග්ධනයක් ලැබෙන්නේ නැහැ. දෙමවුපියන් කරන්නේ දරුවෙකු වැඩිහිටියෙකු වන තුරු අවශ්‍ය සම්පත් හා රැකවරණය සපයන එකයි. සරසවි අධ්‍යාපනය ලබන බොහෝ දෙනෙක් එය කරන්නේ ශිෂ්‍ය ණය ලබා ගෙනයි. එයින් පසුව, ඒ ණයත් ගෙවමින් ක්‍රමයෙන් ජීවිතය ගොඩ නගා ගන්න වෙනවා. රැකියාවක් කරන්න පටන් ගත් පසු වාහනයක්, ගෙයක් ගන්න මුදල් ඉතිරි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිවාස ණයක්, වාහන ණයක් අරගෙන හෙමිහිට ගෙවාගෙන යන්න පුළුවන්. බොහෝ ඇමරිකානුවන් ජීවිතය පටන් ගන්නේ මේ ආකාරයට සෘණ ශුද්ධ වත්කම් ඇති පිරිසක් විදිහටයි.

සාමාන්‍ය ඇමරිකානුවෙක් තමන්ගේ ණය ගෙවා අවසන් කරලා ශුද්ධ වත්කම් හිමියෙක් වෙන්නේ මැදි වයස පහු කළාට පසුවයි. එතැන් පටන් කළ යුත්තේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කර ගැනීම ගැන හිතන එකයි. අපේක්ෂිත ඉදිරි ජීවිත කාලය ගත කරන්න අවශ්‍ය තරම් වත්කම් ඉතිරි කරගත් කෙනෙක්ට කලින් විශ්‍රාම යන්න පුළුවන්. එහෙත්, එසේ කළ හැක්කේ කාලයක් තිස්සේ වැඩි ආදායමක් ඉපැයූ කෙනකුටයි.

විශ්‍රාම දිවිය ගැන කලින් හිතා සැලසුම් කළ කෙනෙකුට තමන්ගේ දරුවන්ට බරක් වෙන්න අවශ්‍ය නැහැ. බොහෝ ඇමරිකානුවන් තමන්ගේ අවමංගල්‍ය වියදම් වෙනුවෙන් පවා කලින් මුදල් වෙන් කර තබනවා. සාමාන්‍ය ඇමරිකානුවෙක් තමන්ගේ දරුවන් හෝ මුණුපුරන් වෙනුවෙන් මීට වඩා "අසාමාන්‍ය" දෙයක් කරන්නේ අනුන්ට බරක් නොවී ජීවත් වීමට හැකි බවට වන විශ්වාසය තහවුරු කර ගැනීමෙන් පසුවයි. එසේ නැත්නම් මුලින්ම හිතන්නේ අනුන්ට බරක් නොවී ඉදිරි කාලය ගෙවන ආකාරය සැලසුම් කර ගන්නේ කොහොමද කියලයි.

විශ්‍රාම දිවිය අනුන්ට බරක් නොවී ගෙවිය හැකි බව පිළිබඳව සැකයක් නැති ඇමරිකානුවන් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරනවා. මුණුපුරන් බලා ගන්න කාලය යොදවනවා. දරු මුණුපුරන්ගේ වෙනත් වියදම් දරනවා. ඇමරිකානු සංස්කෘතිය ඇතුළේ හැදෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ දරුවන් ඇතුළු දරුවන් මේ දේවල් තමන්ට ලැබෙන "බෝනස්" ලෙස මිස දෙමවුපියන් විසින් අනිවාර්යයෙන් කළ යුතු දේ සේ සලකන්නේ නැහැ. එයට සාපේක්ෂව, දෙමවුපියන් වයස්ගත වූ පසු දරුවන්ට බරක් නොවී ජීවත් වීම ගැන හිතන්නේ ඔවුන් විසින් කළ යුතු සාමාන්‍ය දෙයක් ලෙසයි.

සාමාන්‍ය තත්ත්වය මෙසේ වෙද්දී ලංකාව, ඉන්දියාව වැනි රටකින් සංක්‍රමණය වූ අය තමන්ගේ දරුවන්ට සලකන ආකාරයේ වෙනසක් තිබෙනවා. ඔවුන් තමන්ට හැකිනම් හැම විටකම වගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන වියදම් වෙනුවෙන් මුදල් වැය කරනවා. එසේ කිරීමේදී තමන්ගේ විශ්‍රාම දිවියේ සුරක්ෂිතතාවය කියන කරුණ දෙවැනි තැනට දමනවා. මෙහිදී මෙය තමන් දරුවන් වෙනුවෙන් කරන හා කළ යුතු වටිනා දෙයක් ලෙස දෙමවුපියන් හිතුවත්, දරුවන් බොහෝ විට එය තේරුම් ගන්නේ ඔවුන් තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ සතුට සඳහා කරන දෙයක් ලෙසයි. ඒ වෙනුවෙන්, අවසන් කාලයේ දරුවන් ඔවුන්ට සලකනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔවුන් දන්නේ නැහැ.

වයස්ගත දෙමවුපියන් දරුවන්ගේ ජීවිත වලට බරක් වීම ඔවුන්ට විශාල ප්‍රශ්නයක්. එය ඔවුන් අපේක්ෂා කරන දෙයක් නෙමෙයි. දරුවන්ට මේ බර වැටෙන්නේ ඔවුන් සැලසුම් සහගත ලෙස ජීවිතය ගොඩ නගා ගන්න උත්සාහ කරමින් සිටින කාලයේදී. ඇමරිකාවට ලංකාවෙන් සංක්‍රමණය වී සිටින කෙනෙක් සිරිල් සපරමාදු මෙන් දරුවකුගේ සිංගල් බෙඩ් අපාර්ට්මන්ට් එකකට කඩා වැදුනොත් කතාවේ වගේ දෙයක් වෙන්න බැරිකමක් නැහැ. ඒ බව ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් දන්නවා. ඒ එක්කම තමන්  එවැනි තත්ත්වයකට පත් වෙයිද කියන බයකුත් හිතේ තියෙනවා. රට ගිය ඇත්තෝ කතාවේ සිරිල් සපරමාදු විසින් අයිති කර ගන්නේ කතාව වත්පොත හරහා බෙදා හරින සංක්‍රමණිකයෙකුගේ හිතේ කොනක තියෙන මේ බයෙන් කොටසක්.

සංක්‍රමණිකයෙකුගේ මේ බය එක්කම පසුතැවිල්ලක්ද එනවා. ඒ පසුතැවිල්ල එන්නේ ලංකාවේ හිටියානම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ කියන පූර්ව නිගමනය ඇතුළේ. නමුත්, මෙහිදී සංක්‍රමණිකයා මේ සංසන්දනය කරන්නේ තමන් සංක්‍රමණය වෙද්දී තිබුණු ලංකාවත් එක්කයි. ඒ ලංකාව දැන් නැහැ. ලංකාවේ සිදු වෙලා තිබෙන්නේ භෞතික සම්පත් වඩා සුලභ වීම පමණක් නෙමෙයි. කාලයත් එක්ක සමාජ සම්බන්ධතා වල ස්වභාවයත් වෙනස් වෙලා. තව දුරටත් වේගයෙන් වෙනස් වෙනවා.

ඇමරිකානු දරුවන්ට වයස්ගත දෙමවුපියන් බරක් සේ තේරෙන්නෙත්, ලංකාවේ එසේ නොවෙන්නේත් සංස්කෘතික වෙනසක් නිසාම නෙමෙයි. සංස්කෘතියක් කියන්නේ බාහිර තත්ත්වයන් එක්ක වෙනස් වන දෙයක්. ලංකාවේ මේ තත්ත්වය වේගයෙන් වෙනස් වෙනවා. අද වයස අවුරුදු තිහක් තිස් පහක් පමණ වූ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දරුවන් වැඩිහිටියන් වූ පසු දරුවන් සමඟ ජීවත් වෙන එකක් නැහැ. ඒ නිසා, ඇමරිකාවේ ඉන්න සංක්‍රමණිකයෙක් ලංකාවේ හිටියානම් තත්ත්වය ගැන හිතමින් වද වන එකේ තේරුමක් නැහැ.

මා පෙර ලිපියක පැහැදිලි කර ඇති පරිදි අප බොහෝ විට පරිසිද්ධික තත්ත්වයන් සංසන්දනය කරනවා. එය වැරදි සංසන්දනයක්. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවිතය හා සංක්‍රමණය නොවී ලංකාවේ ජීවත් වන අයෙකුගේ ජීවිත අපට සංසන්දනය කරන්න බැහැ. ඒ දෙන්නා දෙන්නෙක්. සංක්‍රමණිකයා ලංකාවේ හිටියානම් බොහෝ විට ඔහුගේ තත්ත්වය වඩා නරක වෙන්න තිබුණා. ඒ වගේම සංක්‍රමණය නොවූ ලාංකිකයා සංක්‍රමණය වුනානම් ඒත් ඔහුගේ තත්ත්වය වඩා නරක වෙන්න තිබුණා. මේ ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් අපට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට ඉදිරිය බලා තමන්ට හොඳම තීරණය ගැනීමේ හැකියාවක් තිබෙනවා. එය එසේ නොවන්නේ අඩුවෙන්.

රට ගිය ඇත්තෝ කතාවට නැවත එමු. මේ කතාව මෙරු එනවා වගේ සෑම වසරකම ග්‍රීන්කාඩ් ලොතරැයි ප්‍රතිඵල එන දවසට එක වරම උඩට මතු වෙන්නේ කොහොමද?  උඩින් කතා කළ ලාංකිකයින්ගේ හා සංක්‍රමනිකයින්ගේ මනෝ භාවයන් කතාව ජනප්‍රිය වීම පැහැදිලි කරන නමුත් මේ සංසිද්ධිය විස්තර කරන්නේ නැහැ.

රට ගිය ඇත්තෝ කතාව මූලික වශයෙන් ගත්තොත් ග්‍රීන්කාඩ් වාසනාව ඇත්තටම වාසනාවක් නෙමෙයි අවාසනාවක් කියා හඟවන ඩිස්තෝපියානු කතාවක්. ග්‍රීන්කාඩ් ලොතරැයි ප්‍රතිඵල එන දවසට මේක උඩට මතු වෙන්න හේතු දෙයක් තිබෙනවා. ඒ ගැන කතා කරන්න කලින් අපි මේ ග්‍රීන්කාඩ් ලොතරැයි ලැබෙන ක්‍රියාදාමය ගැන ටිකක් කතා කරමු.

ග්‍රීන්කාඩ් ලොතරැයිය නිකම්ම ඇදෙන්නේ නැහැ. ඒ සඳහා අයදුම් කළ යුතුයි. මේ ලොතරැයිය දිනුවා කියලා සල්ලි හම්බ වෙන්නේ නැහැනේ. ලැබෙන්නේ ඇමරිකාවට යන්න අවස්ථාවක්. ඒ කියන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන කෙනෙක් එය කරන්නේ ඇමරිකාවට යන්න බලාගෙන මිසක් වෙන දේකට නෙමෙයිනේ.

අවස්ථාවක් ලැබෙනවානම් ඇමරිකාවට යන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ අය තමන්ගේ ලංකාවේ ජීවිතය ගැන අතෘප්තිමත්. ඇමරිකාවේ වඩා හොඳ ජීවිතයක් තිබෙන බව ඒ අය විශ්වාස කරනවා. මේ සමහර අය ප්‍රසිද්ධියේ ඇමරිකාවට පලු යන්න බනිනවා වෙන්න පුළුවන්. හැබැයි අවස්ථාවක් ලැබෙනවානම් යන්න බලාගෙනයි ඉන්නේ.

සංඛ්‍යාලේඛණ අනුව 2008-2018 කාලයේ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ ලාංකිකයින් ප්‍රමාණය 1,147,458ක්. 1995-2007 කාලයේත් 2019දීත් අයැදුම් කළ ප්‍රමාණය එකතු කළ විට අනිවාර්යයෙන්ම ඔය වගේ දෙගුණයකට වඩා වැඩි වෙන්න පුළුවන්. එකම පුද්ගලයාට දිගින් දිගටම අයදුම් කරන්න බාධාවක් නැති නිසා අයදුම්පත් ගණන ඔළු ගෙඩි ගණනට සංසන්දනය කරන එක නිවැරදි නැහැ. ඒ ගැන හිතුවත්, මිලියන 21ක් ජීවත් වෙන ලංකාවේ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා වරක් හෝ අයදුම් කළ ලාංකිකයින් ගණන මිලියනයකට නැත්නම් මිලියන බාගයකටවත් කිට්ටු වෙන්න පුළුවන්. ඔය මිලියන විසි එකෙනුත් විශාල පිරිසකට උසස් පෙළ සුදුසුකම නැහැනේ. ඒ අය අතරින් විශාල පිරිසක් අයදුම් කර නැත්තේ අවශ්‍ය මූලික සුදුසුකම් නැති නිසා මිසක් ඇමරිකාවට යන්න අකැමැති නිසා නෙමෙයි. එහෙම බැලුවහම අවස්ථාවක් ලැබෙනවානම් ඇමරිකාවට යන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. හැබැයි ඒ බව අනෙක් අයට පෙන්නන්නේ නැහැ.

අපි 2018 අවුරුද්ද ගනිමුකෝ. එම අවුරුද්දේ පමණක් අයදුම් කළ ලාංකිකයින් ප්‍රමාණය 139,527ක්. සෑම ලාංකිකයින් 155කටම එක් අයෙක්! ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ කෙනෙක් අනිවාර්යයෙන්ම ඔබ සමීපයේ ඉන්නවා. හැබැයි බොහෝ විට ඔබට කියන්නේ නැහැ.

මේ විදිහට ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන කෙනෙක් ජයග්‍රාහකයෙක් වෙන එක අහඹු සිදු වීමක්. 2008-2018 කාලයේ ජයග්‍රාහකයින් වී තිබෙන ප්‍රමාණය 8,917ක් පමණයි. ඒ කියන්නේ 129 කට එක්කෙනෙක්. එක් අයෙක් ජයග්‍රාහකයෙක් වෙද්දී තව 128 දෙනෙක් පරාජිතයෝ වෙනවා. 2018 අවුරුද්ද ගත්තොත් පරාජිතයින් 138,750ක්. පසුගිය කාලයේ රටාව අනුව මේ අවුරුද්දේ ඔය පරාජිතයින් ප්‍රමාණය 150,000ක් පමණ වෙන්න පුළුවන්.

මේ මිනිස්සු මොන හේතුවක් හෝ නිසා තමන්ගේ ලංකාවේ ජීවිතය ගැන අතෘප්තිමත් මිනිස්සු. ඇමරිකාවට යන්න තිබෙන කුඩා හෝ ඉඩකඩ වෙනුවෙන් ඔට්ටු තියපු මිනිස්සු. දැන් ඔට්ටුව පැරදිලා. හිතට හරිම අමාරුයි! රටේ ජනගහණයෙන් 156 කට එක් අයෙක් මෙතැන ඉන්නවා. රට ගිය ඇත්තෝ වගේ කතාවක් කියවලා වත්පොත හරහා බෙදා හැරියාම තමන්ගේ හිත ටිකක් හෑල්ලු කර ගන්න පුළුවන්. තමන් අර පරාජිතයින් 138,750න් එක් අයෙක් නොවන බව තමන්ගේ යාළුවන්ට නෑදෑයින්ට හඟවන්න පුළුවන්.

ඔය කතාවේ එක පැත්තක්. ඊ ළඟට අර දිනපු පිරිස. 2018දී නම් 777 දෙනෙක්. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනපු බව දැන ගත්ත ගමන්මනම් මාර සතුටුයි. සතුට නැති වෙන්නේ ටිකක් කරුණු හොයා බැලුවට පස්සේ.

ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනපු බව සඳහන් ලියුම හරි, දැන්නම් ඉලෙක්ට්‍රොනික් රෙකෝඩ් එක හරි, පෙන්නලා ඇමරිකාවට එන්න බැහැ. ඇමරිකාවට සංක්‍රමනිකයෙකු ලෙස ඇතුළු වෙන්න වීසා ගන්න ඕනෑ. ග්‍රීන්කාඩ් ලොතරැයිය ජයග්‍රහණය කිරීම සංක්‍රමනික වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්න ඉඩ සලසන එක් සාධකයක් පමණයි. ඊට පස්සේ තව සෑහෙන්න දේවල් කරන්න වෙනවා. නැත්නම් ඇමරිකාවට යන්නේ ලැබෙන්නේ නැහැ.

- අධ්‍යාපන සුදුසුකම් තහවුරු කරන්න ඕනෑ.
- පවුලේ අයට ඇමරිකාවට ගිහින් අවුරුද්දක් ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදල් තිබෙන බව පෙන්වන්න ඕනෑ. ලංකාවේ හැටියට ලොකු මුදලක්. නැත්නම් ඒ සඳහා වෙනත් විකල්පයක් තියෙන්න ඕනෑ.
- අවශ්‍ය එන්නත් සියල්ල ලබා ගෙන තියෙන්න ඕනෑ. ඇමරිකාවට අවශ්‍ය එන්නත් මිසක් ලංකාවට අවශ්‍ය පොඩි කාලේ ලබාගත් ඒවාම නෙමෙයි. ඒවා වුනත්, ඒවායේ වාර්තා තියෙන්න ඕනෑ. එන්නත් අතර පරතරයක් තිබිය යුතු නිසා මේ වැඩේට කල් යන්න පුළුවන්. නැත්නම් වෛද්‍ය පරීක්ෂණය සමත් වෙන්න බැහැ.
- ජීවත්ව හිටපු හැම තැනක් / කාලයක්ම ආවරණය කරන පොලිස් වාර්තා ඕනෑ.
- ඔය හැම එකම නිශ්චිත අවසන් දිනයකට පෙර කරන්නත් ඕනෑ.

ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන්නේ ලංකාවේ ඉන්න ලාංකිකයින් පමණක් නෙමෙයි. ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් රටවල ඉන්න ලාංකිකයිනුත් ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරනවා. ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන ඇමරිකාවේ ඉන්න ලාංකිකයෙක් ඉහළ ආදායමක් උපයන, ස්ථිර රැකියාවක් ඇති, කාලයක සිට ඇමරිකාවේ ජීවත් වන අයෙක් වෙන්න පුළුවන්. එවැනි කෙනෙකුට ග්‍රීන්කාඩ් එක ගොඩක් වටිනවා. එහෙම නැත්නම් ඇමරිකාවේ ඉන්න ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක්ට උඩ කියපු කාරණා ඉටු කරන එක පහසු දෙයක්.

එසේ වුවත්, මේ හැම දෙයක්ම සම්පූර්ණ කරන එක ලොතරැයිය දිනන හැම කෙනෙක්ටම කරන්න බැරි බව ඇමරිකන් රජය දන්නවා. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය අනුව 50,000කට හෝ ආසන්න පිරිසකට ඇමරිකාවට එන්න අවස්ථාව දෙන්නත් ඕනෑ. ඒ නිසා, ඇමරිකාව කරන්නේ වඩා වැඩි පිරිසක් ජයග්‍රාහකයින් ලෙස තෝරා ගන්න එකයි. බොහෝ විට 100,000කට ආසන්න පිරිසක්. ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්.

දැන් තව අවුලක් ඇති වෙනවා. 50,000 ඉක්මවන පිරිසක් අවශ්‍ය හැම දෙයක්ම ඉටු කළොත්?

එහෙම වෙන්න ඉඩක් නැහැ. නිකුත් කළ වීසා ප්‍රමාණය පණස් දහසට ආසන්න වෙද්දී තානාපති කාර්යාල විසින් වීසා දෙන එක නවත්තනවා. ඒ නිසා, ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනලා අර උඩින් සඳහන් හැම දෙයක්ම සම්පූර්ණ කරන්න බලාගෙන හිටියත් එහෙම ඉන්න හැම දෙනෙක්ටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. 2008-2018 කාලයේ ග්‍රීන්කාඩ් දිනපු ලාංකිකයින් 8,917 දෙනෙකුගෙන් ඇමරිකාවට යන්න වීසා ලැබිලා තියෙන්නේ 3,584 දෙනෙකුට පමණයි. මේ ප්‍රමාණය 40%ක් වගේ පෙනුනත් ඇත්තටම ඊටත් අඩුයි. මොකද  ග්‍රීන්කාඩ් ජයග්‍රාහකයින්ගේ පවුලේ අයට දෙන වීසා ප්‍රමාණයත් ඔය 3,584ට ඇතුළත්. ඒ නිසා, ඇත්තටම වීසා ලැබුණු ග්‍රීන්කාඩ් ජයග්‍රාහකයින් ප්‍රමාණය 20%ක් තරම් අඩු වෙන්න පුළුවන්. ඉතිරි 80%ටම වීසා ලැබී නැහැ. එක්කෝ ඉහත කාරණා වල අඩුවක් නිසා සම්මුඛ පරීක්ෂණය අසමත් වෙලා. නැත්නම් සම්මුඛ පරීක්ෂණය සඳහා අවස්ථාවක් හෝ හිමි වී නැහැ.


ජයග්‍රාහකයින් අතර ග්‍රීන්කාඩ් හරහා වීසා ලැබෙන ක්‍රියාවලිය ගැන හොඳින් දන්නා ටික දෙනෙක් ඉන්නවා. වීසා ලබා ගැනීම එක පැත්තකින් කාලය එක්ක කරන තරඟයක් බවත්, අනෙක් පැත්තෙන් අනෙක් ජයග්‍රාහකයින් එක්ක කරන තරඟයක් බවත් ඔවුන් දන්නවා. අනෙක් අයගේ වීසා ප්‍රතික්ෂේප වන තරමට තමන්ට වීසා ලැබෙන්න තිබෙන ඉඩකඩ ඉහළ යනවා. අනෙක් අයව අධෛර්යමත් කළ තරමට ඔවුන් අවශ්‍ය කටයුතු කඩිමුඩියේ කර ගන්න එක පරක්කු කරන්න පුළුවන්.

ග්‍රීන්කාඩ් ලොතරැයිය ජයග්‍රහණය කළාට පස්සේ සම්මුඛ පරීක්ෂණ සඳහා යන්න ලැබෙන්නේ තෝරා ගත් අනුපිළිවෙලකටයි. ග්‍රීන්කාඩ් ලොතරැයි ජයග්‍රහණයත් එක්කම මේ අනුපිළිවෙලද අහඹු ලෙස තීරණය කෙරෙනවා. ලැයිස්තුවේ අනුපිළිවෙල අනුව උඩින්ම ඉන්න අයට සම්මුඛ පරීක්ෂණ සඳහා මුලින්ම අවස්ථාව ලැබෙනවා. පහළින්ම ඉන්න අයට බොහෝ විට ඒ අවස්ථාව ලැබෙන්නේම නැහැ. මැද හරියේ ඉන්න කෙනෙක්ට අවස්ථාව ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ තමන්ට වඩා කලින් සම්මුඛ පරීක්ෂණ අවස්ථාව හිමි වන අයට වීසා ලබා දීම ප්‍රතික්ෂේප වීම මතයි.

කලින් යන එක් අයෙකුගේ වීසා ප්‍රතික්ෂේප වීම ලැයිස්තුවේ පිටුපසින් ඉන්න කෙනෙක්ගේ අනාගත ජීවිතයම වෙනස් කරනවා. ඒ බව දන්නා කවුරු හෝ කෙනෙක් රට ගිය ඇත්තෝ වගේ කතාවක් ග්‍රීන්කාඩ් ලොතරැයි ප්‍රතිඵල එන කාලයට මුදල් ගෙවා ප්‍රචාරය කළා වුවත් එය තමන්ගේ වාසිය පිණිස ගන්නා සදාචාරත්මකව හරි හෝ වැරදි තාර්කික ක්‍රියාමාර්ගයක් මිසක් සරල කුහකකමක් නෙමෙයි.

(Image: https://cz.usembassy.gov/diversity-visa-lottery-registration-period-starts-october-3/)


29 comments:

  1. ඇතැමුන්ගේ වෛරයට පාත්‍ර වූ මහාචාර්ය රත්නජීවන් හූල් කවුද?

    යුද්ධය සමයේ යාපනයේ සැබෑ ජන ජීවිතය, LTTE ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර ලොවට හෙළි කර The Broken Palmyra ග්‍රන්ථයේ ප්‍රධාන කර්තෘ වූයේ ඔහු ගේ සොහොයුරු රාජන් හූල්ය. (එහි සම කතෘවරියක වූ වෛද්‍ය රාජිනී තිරාණගම මහත්මියව පොත නිකුත් කොට සති කිහිපයකින්, 1989 සැප්තැම්බර් 21, යාපනයේදී LTTE විසින් වෙඩි තබා මරා දමන ලදී. මෙම පොත මුද්‍රණය කොට ප්‍රකාශයට පත්කරන ලද්දේ රත්නජීවන් හූල් විසින්ය).

    LTTE ම්ලේච්ඡත්වයට එරෙහිව පෙනී සිටීම වෙනුවෙන් තමන්ටත් තම පවුලේ උදවියටත් විඳින්නට සිදුවූ අනේක ගැහැට ගැන ඔහු අප සමග නිතර පවසා තිබේ. අවසානයේ දී ඔහුට ඉතිරි වූ එකම විකල්පය වූයේ තම රැකියාව ඉඩකඩම් සියල්ල අතහැර තමාගෙත් තම පවුලේ සාමාජිකයන්ගේත් ජීවිත බේරා ගැනීම සඳහා රටින් පැන යෑමටය.

    ත්‍රස්තවාදයේ අත්දැකීම් පිළිබඳ ඔහු අප සමග පැවසුවේ "සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනා තුළම "ත්‍රස්තවාදියෙකු" සිටීමට ඉඩ ඇත. එය මුලින්ම මතු වන්නේ තමාගේ ජාතියේ කෙනා කරන වැරදි ක්‍රියා විවේචනය කිරීමට මැලි වීමෙන් හෝ ඒවා අනුමත කිරීමෙනි" යනුවෙනි.

    සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් උපත ලැබුවේ වේයන්ගොඩය. ඒ 1952 සැප්තැම්බර් 15 දිනය. හූල් ගේ පියා එවකට ලංකා සභාවේ වේයන්ගොඩ මීසම භාරව සිටි පියතුමා විය. 1956 හඳුන්වාදුන් ස්වභාෂා ප්‍රතිපත්තිය ලංකා සභාවටද බලපෑවේය. හූල් දේවගැතිතුමාට සිංහල භාෂාව කතා කළ හැකි මුත් කියවිය නොහැකි වූ නිසා ඔහුට නල්ලූර් දේවස්ථානයට ස්ථාන මාරුවක් ලැබුණි.

    රත්නජීවන් අධ්‍යාපනය ලැබුවේ යාපනය ශාන්ත ජෝන් විදුහලේය. 1970 දී ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය. 1970 පත්වුණු සමගි පෙරමුණු රජය හදුන්වා දුන් ප්‍රමිතිකරණ ක්‍රමයේ (standardization) වින්දිතයකු බවට පත් වන රත්නජීවන්ට ටික දිනකින් කටුබැද්ද තාක්ෂණ විද්‍යායතනයට (Ceylon College of Technology) මාරු වීමට සිදු විය. 1975 දී ඔහු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද ඉංජිනේරු පීඨයෙන් BSc (විදුලි ඉංජිනේරු) උපාධියක් ලබා ගත්තේය. ටික කාලයක් ඉංජිනේරු පීඨයේ උපදේශක තනතුරක් දරන හූල් 1976දී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වෙයි.

    හූල් - විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස
    1977 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් MSc උපාධිය ලබා ගන්නා හූල් 1983 දී පෙන්සිල්වේනියාවේ Carnegie Mellon විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නේ මාස 19 වැනි කෙටි කාලයකදීය. 1993 දී ලන්ඩන් විශ්ව විද්‍යාලය හූල් හට D.Sc. පශ්චාත් ආචාර්ය උපාධියක් ලබාදෙන්නේ ඔහුගේ පර්යේෂණ ප්‍රකාශන වල උසස් තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ලෝකප්‍රකට ආයතනයක් වන ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර Institute of Electrical and Electronic Engineers හි පූර්ණ සාමාජිකත්වය හූල්ට ලබාදෙන අතර ඔහු ඒ වරප්‍රසාදය ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද වේ.

    1997 දී ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන හූල් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ (Institute for Fundamental Studies) කථිකාචාර්යවරයකු වශයෙන් කලක් කටයුතු කළේය. ඉන්පසු යුනෙස්කෝ ආයතනයට සම්බන්ධවී නැවත විදේශගත වන ඔහු ආපසු පෙරළා මව් රටට පැමිණෙන්න 1999 දීය. ඉන්පසු මුලින් රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධ වන ඔහු 1999 දෙසැම්බරයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජෙෂ්ඨ කතිකාචාර්ය වරයෙකු ලෙස පත් වෙන අතර 2003 දී එහි මහාචාර්ය තනතුරට උසස් වෙයි.

    ⚫️හුල් ගේ පළමු පලා යෑම

    2006 වසරේදී යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුරට හූල්ව පත් කෙරෙන අතර LTTEය ඔහුගේ පත් වීමට මුල සිටම විරුද්ධ විය. ඒ ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් LTTEයට විරුද්ධව දෑරූ ස්ථාවරය නිසාය. LTTEයේ බලපෑමට හූල් යටත් නොවන අතර, ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් මරණ තර්ජන එල්ල වෙන්නට විය. ඒ වන විට කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුයුක්තව කටයුතු කළ මඩකලපුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය රවින්ද්‍රනාත් මහතාව LTTE විසින් ඝාතනය කරනු ලබයි. මේ හූල් පවුලට දැඩි පීඩනයක් ඇති කරයි. ජීවිත තර්ජනය හමුවේ ඔවුන් රට හැර පලා යන්නේ 2006 අප්‍රේල් දීය.

    ⚫️හූල් ගේ දෙවැනි පලා යෑම

    යුද්ධය අවසන් වීමෙන් පසු හූල් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2010 දීය. ඒ යාපනය විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨයක් පිහිටු වීම සදහා රජයෙන් ලැබෙන ආරාධනාවක් සමඟය. යාපනයේ පදිංචියට සිය පවුල සමග යන හූල් විශ්ව විද්‍යාලයේ කටයුතු කරන අතරම Sunday Leader පුවත්පතටද ලිපි සැපයුවේය. 2011 පලාත් පාලන මැතිවරණයේදී කයිට්ස්හී සිදුවූ අක්‍රමිකතා පිළිබඳව ලිපි පලකිරීම සම්බන්ධයෙන් ඇමති ඩග්ලස් දේවානන්ද ඔහු සමග උරණ වන අතර, ඔහුට විරුද්ධව නීතිමය කටයුතු අරඹයි. හූල් අසරණ වන අතර ඔහුගේ නීතිඥයන් ගේ උපදෙස් පරිදි ඔහු නැවත රට හැර පලා යයි.

    ReplyDelete
    Replies
    1. ⚫️හූල් ගේ වර්තමාන භූමිකාව

      2015 අගොස්තුවේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන හූල්ව නොවැම්බරයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස පත්කරනු ලැබේ. ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) නියෝජිතයා වශයෙනි.

      හූල් ස්වභාවයෙන්ම නිදහස් මතධාරියෙකි. තමාගේ හෘද සාක්ෂියට අනුව තමා හරි යයි සිතුන දේ වෙනුවෙන් ජීවිත තර්ජන මැද පවා පෙනී සිටි අයෙකි. කොරෝනා වසංගතය හමුවේ ඔහුගේ භාවිතාව පිළිබඳව දැන් යම් ආන්දෝලනත්මක තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. ඒ ඇමරිකාවේ සිටි පැමිණි තම දුවගේ නිරෝධායන තත්ත්වයක් පිළිබඳවය. හූල් දියනිය පූර්ණ නිරෝධායනයට පත් නොවී තම පියා ගේ බලතල පාවිච්චි කොට ඉන් ඉවත් වූ බවට ඇතැම් මාධ්‍ය කරන චෝදනා අප අසා ඇත.

      මේ සම්බන්ධව මහාචාර්ය හූල් මහතා පැවසුවේ දින 14 ක පූර්ණ නිරෝධායනයකින් පසු ඒ පිළිබඳව සහතිකයක් තම දුවට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා වෛද්‍ය අනිල් ජාසිංහ ගේ අත්සනින් ලබා දී ඇති බවය.

      තම ජීවිත කාලයෙන් වැඩි කලක් LTTE යේ අනෙකවිධ එදිරිවාදිකම් වලට මුහුණ දී හෙම්බත් වී සිටින හූල් මහතාට දැන් දැන් රටේ ප්‍රසිද්ධ මාධ්‍යයේ එදිරිවාදිකම් වලටද මුහුණ දෙන්නට සිදුවී තිබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි.

      ඒ පිළිබඳව ඔහු පැවසුවේ, "තොරතුරු දිහා බුද්ධිමත්ව බලන්න. බුද්ධිමත්ව භාරගන්න. ඒවා ඉතා අසත්‍ය විය හැකියි. කිමද, ඒවා කවුරුන් විසින් හෝ මෙහෙයවිය හැකියි".

      මැතිවරණ කොමිසමේ සාමාජිකයකු හැටියට ජනතාවට ඔහුගේ අවසාන පණිවුඩය වූයේ "ඡන්දය ප්‍රකාශ කිරීමේදී බුද්ධිමත්ව සිතන්න" යන්නයි. "

      Delete
  2. පිටරට වලට සංක්‍රමණය (විශේෂයෙන්ම බටහිරට) වෙන හැමෝම ඉසුරු සොයා නොමෙයි යන්නේ. ශ්‍රී ලංකාවේ තිබෙන සාමාජීය හා දේශපාලන පීඩනයෙන් මිදෙන්න යන කොටසක් ඉන්නවා. සංඛ්‍යා ලේඛණ වල මේ දත්ත තියෙන්න විදියක් මට පෙනේනේ නැහැ. ඔවුන් බෝහෝ විට ඩයස්පෝරාවේ ක්‍රියාකාරී නැහැ. සමහර වේලාවට ඩයස්පෝරාවේ දකින්නට ලැබෙන නින්දිත තරඟ කාරීත්වයෙන් මිදෙන්න, එහෙමත් නැත්නම් ඩයස්පෝරාවේ දකින්නට ලැබෙන පසුගාමිත්වය, එහි ඇති පටු ආගමික, දේශපාලන වාද විවාද, ආදී දේවලින් මිදී තමන් දීර්ඝ කාලයත් ජීවත් වෙන සාමාජයට අනුකලනය වී ඇති කොටසයි මෙි අය.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. එවැනි විශාල පිරිසක් ඉන්නවා. එවැනි අයට තමන්ගේ තීරණය ගැන පසු තැවෙන්න වෙන්නේම නැති තරම්.

      Delete
    2. එකෙන්ම එකඟයි ඇනෝ. බොහෝ අයට වෙන වැරදීමක් තමයි අනිත් මිනිස්සුත් ලෝකෙ කොහේට හරි සංක්‍රමනය වෙන්න හදන්නේ තමුන් වගේ සම්පත් සොයාගෙන කියල පූර්ව නිගමන වල ඉන්න එක.

      Delete
  3. ඉකොනෝමැට්ටා,

    ඒ රටගිය ඇත්තෝ කතාවේ සදහන් කඩවත නිහාල් වගේ නමක් තියෙන පුද්ගලයා පැත්තකින් තියමුකෝ. අනික ඒ කතාව බොරු කියලත් ඉකොනෝ කැටතියලා ඔප්පු කරලා පෙන්නුවනි.

    නිහාල් කෙසේවතත් ලංකාවේ ග්‍රාමීය පවුලක ඉපදුන, ඉංග්‍රීසි එතරම් නොදන්නා දෙමාපියන් සිටිනා, රජයේ පාසලක ඉගෙනුම ලබා, ලෝකයේ ඉතාම පසුගාමී විශ්ව විද්‍යාලයක් වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉකොනෝමැට්ටා ඇමරිකාවට ගිහිං, ඇමරිකාවේ උප්පත්තිය ලැබූ කෙනෙක්ටත් වඩා ඇමරිකාවට කඩේ යාමේ වර්තමානය තෙක් කතාව ලියන්නකෝ.

    අර මුලින් කී කතාව බොරු නිසා ඉකොනෝමැට්ටාගේ ඇමරිකන් ගමන ගැන ලීවා නං හොදයි නේද? අනුන්ගේ කතා වල ඇත්ත නැත්තට වඩා තමුන් හොදටම දන්නේ තමුන් ගැන නිසා ඒක හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔය ඇනෝම ලියල තියෙන්නේ! "තමුන් හොදටම දන්නේ තමුන් ගැන" කිවුවත් ඇනෝ ඉකොනොමැට්ටාටත් වැඩිය ඉකොනොමැට්ටා ගැන දන්නවානේ. තව මොනවා ලියන්නද?

      Delete
    2. ඉකොනෝමැට්ටාගේ ඇමරිකන් ගමන ගැන ලීවා නං හොදයි නේද?

      Delete
    3. Economatta e prashneta uththa denna. Econo kohomada USA yanna qualifications hada gatte. Kohomada visa,PR gatte

      Delete
    4. මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ලේඛකයාගේ හා වෙනත් අයගේ නිශ්චිත පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් ලියන්න වෙනවා. සැබෑ නමින් ස්වයං ලිඛිත චරිතාපදානයක් ලියා ප්‍රසිද්ධ කරන්න ඉඩක් ලැබුනොත් මිස මේ බ්ලොග් එකේ එවැනි නිශ්චිත පෞද්ගලික තොරතුරු ලියන්න අදහසක් නැහැ.

      Delete
    5. ඇමෙරිකාවේ ඉන්න ශ්‍රි ලාංකියෙක් මේ විදියට වැඩ දායක ලිපි ලීවීම, සමහර වෙලාවට මෙහේ ඉපදුන කෙනෙකුටත් වඩා හොදින්, ඔහුගේ අධ්‍යාපණය පිළිඹිබු කෙරෙන අවස්ථාවකි.

      Delete
    6. ඉකොනෝමැට්ටා,

      ඔබගේ පුද්ගලික නම්,පවුලේ අයගේ නම් ගම් එපා. ඔබ කවුදැයි කියා දන්නා මුත් කවදාවත් ඔ‍බගේ නම වත් අප මෙහි සදහන් කර නැහැනි.

      පේරාදෙණියේ අධ්‍යාපනය ලබා ඇමරිකාවට සංක්‍රමණය වූ අයුරු, එහිදී මුහුණ දුන් අත්දැකීම්, විසා ගත් අයුරු ගැන, රැකියා ගැන වගේ ලියන්න. වෙනින් කෙනෙක් ලියපු කතාවක ඇත්ත නැත්ත බලනවට වඩා ඉකොනෝමැට්ටා ඔබගේ අත්දැකීම් ලිව්වා නං ඒක වැදගත් වෙයි ඒ ගැන උනන්දු අයට.

      Delete
    7. ඔහේ හිතන්නේ ලෝකයේ හොදයි කියලා කියන විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගත්තම නිකම්ම පොරක් වෙනවා කියලද? අනේ පලයන් ඩෝ යන්ඩ. Economatta ලියන්නේ එයාට ඕන දේ. ඕන නැත්තම් එන්නේ නැතිව ඉන්නවා ඒවා කියවන්න.

      Delete
    8. ස්වභාවය අනුව නම් ගම් රහිතව එවැනි දෙයක් ලියන එකේ කිසිම තේරුමක් නැහැ. තනි පුද්ගලයෙකුගේ කතාවක් ඇත්ත වුනත් බොරු වුනත් එය රට ගිය ඇත්තෝ වගේ තවත් කතාවක් පමණයි. වෙනත් අයෙකුගේ ජීවිතයට එබී බලා සතුටු වෙනු හැර සමාන තත්ත්වයන් යටතේ ඉන්න කෙනෙක්ට මිසක් එවැනි විස්තරයකින් ප්‍රයෝජනයක් නැහැ. එහෙම කවුරුවත්ම ඇති කියා මම හිතන්නේ නැහැ. මගේ ජීවිතයේ බොහෝ දේවල් සම්බන්ධ ඇත්ත තොරතුරු නම් ගම් රහිතව ලිවුවොත් විශාල පිරිසක් එය ප්‍රබන්ධයක් කියා මිස ඇත්ත කියා හිතන එකක් නැහැ. ඇත්ත බව දැනගනු ඇත්තේ ඒ ඒ අවස්ථා වලදී පෞද්ගලික ජීවිතයට සම්බන්ධව සිටි අය පමණයි.

      Delete
    9. ඉකොනෝමැට්ටා,

      එහෙනම් ඉකොනෝමැට්ටා වෙනින් නම් ගම් වලින් කතාව ලියන්නකෝ. කඩවත නිහාල්ගේ කතාව ලියු ලේඛකයා වගේ ඉකොනෝත් ලියන්න.

      ඔබට එතරම් දවසක් යන එකකුත් නැහැ එවැනි කතාවක් ලියන්න. පාඨක ඉල්ලීම ඉටු කරන්න ඉකොනෝමැට්ටා.

      Delete
    10. ඉකොනෝමැට්ටා,

      ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ පවුලේ උදවිය ඇමරිකාවට ගියේ ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය ජයගෙන බව ඔහු පැවසුවා. ඔහුගේ පවුලේ අයට අවස්ථා දෙකකදී ජයග්‍රහණ ලැබී තිබුනා.

      Delete
  4. Lobbying -
    Lobbying, persuasion, or interest representation is the act of lawfully bribing or attempting to influence the actions, policies, or decisions of others.

    ඉස්සර හිටියෙ අරුණී ෂෆීරෝ විතරයි. ඉකෝන් ඒ අන්තයට යෑම කණගාටුවට කරුණක්. ජීවිතේ හැමදෙයක්ම කපල,කොටල විච්චේදනය කරලා විශ්ලේෂණය කරන්න හැකිය කියන එක ඔහෙගෙ opnion එක මිසක් යථාර්තය නෙවෙන්න ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. There are two things called Transactional Lobbying and Informational Lobbying.

      Transactional Lobbying - Transactional lobbying aims to alter specific policy decisions on a quid-pro quo basis, for example, receipt of a government contract in exchange for a campaign contribution, a monetary payment, or services rendered.

      Informational Lobbying - Informational lobbying aims to affect specific policy decisions by supplying a decision maker with information that induces or supports a decision. Informational lobbying may involve persuasion. But lots of informational lobbying does not try to change the policy maker’s mind per se. Instead the lobbyist’s information may confirm the policy maker’s prior beliefs, or provide cover for explaining the decision in public.

      Delete
  5. ඉකොනො සහ මෙහි කොමෙන්ට් කොටන්නෙනි, මේ මගේ අදහසයි.

    යම් පුද්ගලයකු,

    1. රජයේ සේවක දෙමාපියන්ට දාව ඉපිද, සිංහල පාසැලකින් ඉගෙනගෙන ,
    2. පේරාදෙණිය/කටුබැද්ද ඉංජිනේරු පීඨවලින් ඉංජිනේරුවකු වී
    3. ඇමරිකාව(ඉකොනෝ)/ ඕස්ට්‍රේලියාව (රසික) වැනි රටවලට තම දැනුමේ සහ අද්දැකීමේ හැකියාව මත සංක්‍රමණය වී ,

    ඒ පුද්ගලයා තම අතීතය සහ වර්තමානය දේශපාලනය ආර්ථික සහ සාමාජීය ලෙස සන්සන්දනාත්මකව විග්‍රහ කිරීම තරම් (ඇතැම්) ලාංකිකයාට නොරිස්සුම් සහගත දෙයක් තවත් නැත. ඇතැමුන් පුද්ගලයාට පමණක් නොව පුද්ගලයාගේ බිරිඳටද පරිභව කරති.

    මේ නම් නග්න කුහකකම හැර වෙන යමක් වේද?

    ඉකොනොමැට්ටාගේ බොජුන්හලේ අලෙවි කරන්නේ ඉකොනොමැට්ටාට කැමති කෑම/බීම තමාගේ රෙසිපියකට අනුව සාදාය. කැමති එකෙකුට ඒ කෑම නොමිලේ රස බැලීමට ඊට ගොඩ විය හැකි අතර කෑම හොඳ නැත්නම් ආයේ නෑවිත් සිටිය හැක. මෙහි කෑම හොඳ නැහැ යකෝ කියා පිඟන් පොලොවේ ගසනවා නම් ඒ ප්‍රශ්නය වෙනමම බේරා ගත යුතුව ඇත.

    වැඩ ඉවරවී ගෙදර යන පුරුෂයකු තම පසුම්බිය තුල ඇත්තේ රු.120/= පමණ නම් එය වියදම් කර,
    1. කොන්ඩම් ත්‍රිත්වයක් මිලදී ගන්නවාද
    2. පාන් රාත්තල් දෙකක් මිලදී ගන්නවාද

    යන්න තීරණය කරන්නේ කෙසේද; එම තීරණය ගැනීමේ ක්‍රම වේදයම මෙම බ්ලොග්ගෙකට පිවිසෙන අය අනුගමනය කරනු ඇත.

    ***
    අරුණි ශපිරෝ ගේ වෙබ් අඩවිය ගැනද මෙහි කතා කර තිබුනි. අරුණි ශපිරෝ වෙතින් අන්තර්ගතය සහ ඉකොනොමැට්ටාගේ බොජුන්හලේ අන්තර්ගතය අතර විශාල වෙනසක් මම දකිමි. ඉතාාාාම කෙටියෙන් කියනවා නම්,

    1. අරුණිගේ ලිපි ඉතාම ගුණාත්මක වන අතර ඉකොනොගේ ලිපි ප්‍රමාණාත්මක වෙයි.
    ප්‍රශ්නයක් විසඳීමට දාර්ශනික මෙන්ම ගණිතමය ප්‍රවේශයක්ද අවශ්‍ය වෙයි.(මාක්ස්) මක්නිසාදයත් මුලු ස්වභාවයම ගණිතමය වන නිසාය. දෙවියන්වහන්සේගේ භාෂාවද STATISTICAL MECHANICS වන නිසාය.

    2. අරුණි ගැටලුවකට ප්‍රවේශ වන්නේ දාර්ශනිකවය. බොහෝ විට ඉන් පිටව යන්නේ හදිසි දොරටුවකින් මිස අවසාන ප්‍රධාන දොරෙන් නොවෙි. පේමන්ටෙකේ හෝ සයිවර් කඩේ ඉන්න පෙලෙන්ටිය හතරට කඩා බී , සිගරට්ටුව අටකට කඩා උරණ එවුන්ට ඒකට යන්න බැරිය. එහි යන්න නම් රැජිස්ටර් විය යුතුය. නමුත් ඉකොනෝගේ කඩේට , හවානා සුරුට්ටුවේ සිට ගංජා අදින එකා දක්වා ලියාපදිංචියෙන් තොරව ඕනෑම එකෙකුට ආ-ගිය හැක. කුණුහරුප කිව හැක. එහි ඉල්ලුම-සැපයුම කේන්සියානු විදියට අදිසි හස්තයෙන් පාලනය වෙයි. අරුණිගේ එසේ නොවේ. එහි මධ්‍යගත පාලනයක් ඇත.

    අරුණිගේ කඩේ බිල් කඩන්නේ ආමර්වීදියේ තෝස කඩේ මෙනි. ඉකොනෝ බිලක් දෙන්නේම නැත. ආධාරයට කැටයක් තබා ඇත. සමහරු ඒ කැටයෙන්ද මාටියා ගසති.

    ඉකොනෝ ඇනෝඩය නම්, අරුණි කැතෝඩය වෙයි. මේ දෙදෙනාගේම විභවයන් අධිකය. නමුත් මේ සයිට් දෙක අතර ලවණ සේතුවක් නැති නිසා අයන ගැලීම නැවතී ඇත. එහි පාඩුව පාරිභෝගිකයාට මෙන්ම නිශ්පාදකයාටද වෙයි.
    ***
    රේඛීය වීජ ගණිතය/Linear Algebra සහ අවකල සමීකරණ/differential equations යා කරනුයේ අයිජන් අගයන් සහ අයිජන් ශ්‍රිත මඟිනි.. බුදු දහමට ක්‍රිස්තියානි විමුක්ති මඟ යා කරනුයේ පිලිවෙලින් ප්‍රඥාව සහ ප්‍රේමය මඟිනි. විද්‍යුතයට චුම්බක ගුණ ඇති අතර මෙහි විලෝමයද සත්‍ය වෙයි.

    ඒ අයුරින් මාක්ස්-ලෙනින්වාදය සහ කේන්සියානු/ෆ්‍රීඩ්මාන් ධනවාදය සම්මුඛ වන ලක්ෂ්‍යයක් පවතීද?

    මා ඉකොනොමැට්ටාගේ බොජුන්හලට නිතර යන එන්නේ මේ ලක්ෂ්‍ය සෙවීමටයි.

    CP-C


    ReplyDelete
    Replies
    1. Well said CP-C. I was wondering why some people are annoyed after reading this. Their behaviour is testimony to exactly what Econ has analysed above.

      Lotus

      Delete
    2. අරුණිගේ වැල්වටාරම් වලට වඩා ඉකොන්ගේ ලිපි ගොඩක් හොදයි....ඉකොන්ගේ කොලිටියත් එක්ක අරුණිව ලගින්වත් තියන්න බෑ...ඇමෙරිකාවෙ හිටියයි කියලා ඔය දෙන්නගේ බ්ලොග් කම්පෙයර් කරන එක හෙන ගොන්.....

      ඒක නෙමෙ තමුසෙ නිකං කෙමෙස්ටි, පියෝ මැතමැටික්ස් , දර්ශණය පත අට එකට හිදලා ගත්ත වික්‍රමභාහු වගේ පොරක්නේ....බැරිද තමුන්ටම බ්ලොග් එකක් ලියන්න..

      Delete
    3. I'm sorry. Did I touch a nerve? I real question is why you guys are annoyed by Aruni's name.Why Econ is annoyed by Nihal Gurusinghe's friction, and went so-far to write 4 blog posts dissecting it. Yeah, it feels good when mold it the way you want, right?

      Reminds me the zen story of two monks.

      Delete
  6. ආවා. post එකත් comments සේරමත් කියෙව්වා. සතුටුයි!

    අපි එකිනෙකා වෙනස්නේ- ගොඩාක්... එක්කෙනෙකුට සිදුවෙන-කියන-කරන දේවල් එකිනෙකාට දැනෙන-තේරුම් යන- හිතට වැදෙන හරිම විවිධයිනේ.

    ගොඩක් වෙනස් අදහස් තියෙන- විවිධ අත්දැකීම් තියෙන- විවිධ බුද්ධි මට්ටම්වලින් සමන්විත අය පළකරන පරස්පර මත දැක්වීම්වලටත් ඉඩ දීම නිසයි, මම හැම post එකක්ම කියවන්නට මෙහාට එන්න කැමති.

    ReplyDelete
  7. මංගල සමරවීර මන්ත්‍රී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධව ඔබගේ මතය කුමක්ද ඉකොනෝ? තමන්ගේ ලිංගිකත්වය වෙනුවෙන් බය නැතිව ඕනම තැනක හිටගන්න පුලුවන් කොන්ද ලංකාවෙ මං දැක්කෙ මංගලගෙන්. දේශපාලනය චන්දය හෝ බහුතර කැමැත්ත වෙනුවෙන් නෙමෙයි තමන් අවංකව දරන අදහස් වෙනුවෙන් පෙනී සිටීමයි කියල මට නිතර මතක් කලේ මංගල. ලංකාව වගේ කොදෙව්වක ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතීන් සහ නිදහස වෙනුවෙන් නොනැමී කෙලින් හිටියෙ මංගල. කොයිතරම් අවාසි සහගත නමුත් ජාතිවාදයට ආගම්වාදයට හිස නොනැමීමේ අභිමානය පෙන්නුවෙ මංගල. පොලිටික්ස් සදහටම වෙනස් කල හැකි ඇඩ්වටයිසින් කලේ මංගල. කිසිම දවසක ලගින් මුනගැහිලා කතාබස් කරලා නැති වුනත් ලංකාවෙ මට ඉන්න ගෞරවනීයම දේශපාලකයන් දෙදෙනාගෙන් එක් අයෙක් මංගල. අනික් කෙනා තමයි ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න. මොන තරම් තාඩන පීඩන, නින්දා ගැරහුම් එල්ල වුවත් තමන් හරියි කියන නිවැරදි මතය වෙනුවෙන් නොබියව පෙනී ඉන්නා, ජාතිවාදී, ආගම්වාදී නැති, සියලු මනුෂ්‍යයන්ගේ අයිතීන් වනුවෙන් පෙනී සිටිනා කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කෝටම අමතරව ලංකාවේ දේශපාලනයේ ඉන්න ඉදිරිය දකින්න පුළුවන් පුද්ගලයෙක්. මේ වෙලාවේත් ඔහු ඉදිරිය දැකලා තිබෙනවා. මේ බ්ලොග් එකේ පාඨකයෙක් වී සිටියානම් "ඇමරිකානු පොලීසිය" කියා එකක් නැති බවත් දැන ගත හැකිව තිබුණා. මම හිතන්නේ ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගෙන නැහැ. වෙනත් ආකාරයකින් දේශපාලනය කරයි.

      Delete
  8. ඉකොනොමැට්ටෝ ඇමරිකාවෙන් ලංකාවට ආපු ඇමරිකානු ගැති නන්දේ ගැන ලියන්නට පුළුවන් ද? ඇත්තටම නන්දසේනට ආපු ගමන් මැජික් බැ කියල අපි කවුරුත් දන්නවා. ඒ ගැන තර්කයක් නැ. එත් නන්දසේනට තාම පොඩි හරි මැජික් එකක් දාගන්න බැ කියන්නේ, ඒක නන්දසේනගේ දේශපාලනිකව පට්ටම Fail Seen එකක්.

    ඒකට කියන්නෙ නොහැකියාව කියල..
    මේ දින 100ට මෙහෙම Fail නම් ඉදිරි වසර 5 ත් හිතාගත්ත හැකි නේද ?

    ගිය වසර 5 ක් පුරාවටම රනිල් විවෙචනය කරන කුමන පක්ෂයක චරිතයක් වුවත්, රනිල්ගේ දින 100 ත් එදා විහිලුවකට ගත්ත අයටත් අද තේරුම් ගිහිල්ල ඉවරයි, රනිල් කියන්නෙ දේශපාලනිකව සුලු සුලු වැරදි තිබුනත් සහ වර්තමාන ලංකා ජඩ දේශපාලනයේ පට්ටම පට්ට පොරක් නොවුනත් නන්දසේනට සාපේක්ශව නම් පට්ටම පොරක් යන වග..

    අද නන්දසේනට මහින්ද ඉන්නවා වගේ එදා රනිල්ට හිටියෙ මහින්දල එක්ක යටි කුට්ටු Set Game එකක් Play කරපු මෛත්‍රීපාල.
    එදා රනිල් 2/3ක බලයත් නැතුව ඒ මෛත්‍රීපාල කියන වෘකයත් එක්ක සුලුතර ආන්ඩුවක් යටතේ කරපු දේවල් බලද්දි නන්දසේනට රනිල් එක්ක හැරෙන්නවත් බැ..
    නන්දසෙන දන්න දෙය නම් 2/3 නැ කිය කිය කඩේ ගිහින් පොලේ ගිහින් කහ ඉරෙන් පැනල ගෙදර යන්න පමණයි කියල ඔහු මේ දිනවල අපිට පෙන්නලත් ඉවරයි.
    රනිල් දින100 ඇතුලත 2/3 බලය තිබිලද රු. 167 තිබුනු තෙල් රු. 117 දුන්නෙ..?
    ගැස් මිල පහතට දාල බඩුමිල වැඩි නොකර රජයෙ සේවකයන්ට පඩි රු. 10000/= ක් වැඩි කරල දුන්නෙ..?
    මහ නය කන්ද ගෙවාගෙන ආවේ...?
    රටේ ජාතීන් අතර මනා සන්හින්දියාවක් ඇති කරගෙන, ජාත්‍යන්තරයත් බැලන්ස් කරගෙන ආවේ...?
    වැඩ දන්න මිනිහට බහුතර බලය අවශ්‍යම නැ කියල රනිල් එදා ඔප්පු කරලම පෙන්නල නේද?

    නන්දසේන දින 100ට පෙන්නුවේ නන්දසෙනගේ නොහැකියාවමයි නේද ?
    තිත්ත උනත් ඇත්ත එයයි..

    අවුරුදු 70 දේශපාලනයේ මෙතරම් බොරු, බෙගල් ගහල, ජාතිවාදය, ආගම් වාදය අවුලවල, ඒ බොරු බෙගල් ඇස් පනාපිටම ඉතාම සුලු කාලයකින් එලිවුනු, බලයට ඇවිත් දින 100ක් යන්නත් කලින් පිරිහුනු වැඩ බැරි ජනාධිපති වරයෙක් සමග ඉන්න ආන්ඩුවක් ඉතිහාසයේම තිබුනේ නැත.
    මරිමොඩ චන්ද්‍රකා වත් මේ විදියට පච උනේ නැත..

    දැන් මහින්දත් එක්ක බැ කියල මතයක් හදල නන්දසේනගේ නොහැකියාව වහනවා.
    නන්දසේනට මහින්දත් එක්ක බැ නම්,
    තමන්ගෙ පවුලෙ මිනිස්සු පස් හය දෙනා පාලනය කරගන්න බැරි නන්දසේන කොහොමද කෝටි දෙකක ජනතාවක් පාලනය කරන්නේ කියල සාධාරන තර්කයක් එනවා.

    දැන් කියයි අප්‍රේල් වලින් පස්සෙ බලමු කියලා.
    අප්‍රේල් වලින් පස්සෙ 2/3 බලය අරන් වියතුන් දාල, මහින්ද එලවයි කියල සිගිති නොමෙරු සිහිනයක රටම අන්දල කියල අපි නම් දන්නවා.
    දැන් මහින්ද එක්ක බැ කියල කවුරු හෝ කියනවා නම්.
    අප්‍රේල් චන්දයෙන් පසුවත් පොහොට්ටුවෙන් Nominate කරල තියෙන්නෙ අගමැතිකමට මහින්ද නම් එන අවුරුදු 5ත් මහින්ද නිසා නන්දසේනට බැ.
    සරලම කතාව දැන් මහින්ද එක්ක බැ නම් ඉතුරු 5 ත් බැම තමයි.
    එදා රටම දැක්ක වසර 10ක අයියා මලෝ සමග හොරු 40 එක්ක කරපු පාලනයම තමයි නැවත ඇවිල්ලා තියෙන්නේ.
    ජාතියේ වාසනාවට අප්‍රේල් වලින් පසුව මේ බොරුවෙන්ම රජ වු දුර්දාන්ත,විහිළු පාලනය නැවත නොඒවායි ප්‍රාර්තනා කරමු.

    නන්දසේන ඉතිහාසගත වෙන්නේ, නියැන්ඩතාල් මානවයගෙ කාලේ හිටපු ජාති ආගම්වාදී සත්තු ටිකක් හෝමෝ සේපියන් සේපියන්ස් බවට මාස තුනක් ඇතුළත පරිණාමය කරා කියන එක එක්ක.
    මේක ඓතිහාසික වැඩක්. ඒ Credit එක අවංකවම නන්දසෙනට දිය යුතුමයි..!!!
    සිංහ ලේ ,අර ලේ,මේ ලේ,වද බ්‍රා,වද ජංගි,මද්‍රසා පාසල්,වද කොත්තු,විල්පත්තු වලින් පසුගිය වසර 5 පුරා හැමිනිචිච උන්ගේ සහඡීවනය අද වෙද්දි ඉතා විශ්මිතයි...
    එ නන්දසේන නිසාමයි..
    අනිත් සියලු පැතිවලින් නන්දසෙන Non Stop Back To Back Daily චොප්පම චොරෙ චොර...එකට මහින්ද පාවදිම නම් පට්ට Jork එකක්.
    ඒ නිසාම
    අද ..මේ දින 100 නම් විනෝද සමයක් වෙලා රටටම.��
    මොනවා උනත්,
    පැතුමක් තියනවා...ඒ..

    2025 නාමල් වෙනුවෙන් නම් නැවත සහරාන් කෙනෙක් බිහි නොවෙවා යන්නයි....

    ReplyDelete
    Replies
    1. තමන් තමන්ගේ ජීවිතය වෙනස් කර ගන්නේ නැතුව කවුරු හරි තනි පුද්ගලයෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරලා දෙයි කියා බලා ගෙන හිටියහම පස්සේ පසුතැවිලිකම් ඇති වෙනවා. දිනන ලොතරැයි අංකය හොයා ගත හැකි සාත්තර කාරයෙක් වෙන අයට දිනන අංක කියන ගමන් තමන් දුප්පතෙක්ව ඉන්න හේතුවක් නැහැ.

      Delete
  9. දේශපාලන සරණාගතයින් විදියට ඇමරිකාවට සංක්‍රමණය වෙන අය ගැනත් ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මෙතෙක් කලක් ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වලින් මට හමු වී තිබෙන අය අතර දේශපාලන සරණාගතයෙක් ලෙස පැමිණි එකම එක් කෙනෙක් පමණයි හමු වී තිබෙන්නේ. ඔහුත් වසර 37කට පමණ පෙර මුලින්ම කැනඩාවට පැමිණි දෙමළ ජාතිකයෙක්. සරණාගතයින් සේ පැමිණියේයැයි මා හිතන ලංකාවේ ආරක්ෂක හමුදා වල නිලධාරීන් සේ සේවය කර ඇති කිහිප දෙනෙක් හමු වී ඇතත් ඔවුන් පැමිණි ආකාරය ගැන වැඩි විස්තර කිසිවක් දන්නේ නැහැ. සංඛ්‍යාලේඛණ අනුව ඇමරිකාවේ සිටි ලංකාවෙන් පැමිණි මුළු සරණාගතයින් ප්‍රමාණය සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී තරමක් ඉහළ ගොස් ඇතත් ඉන් පසුව සරණාගතයින් ආපසු යවන එකයි සිදු වී තිබෙන්නේ. 2017 වන විට ලොව පුරා සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 115,612කගෙන් ඇමරිකාවේ සිටියේ 1,084ක් පමණයි. එයට සාපේක්ෂව 2007දී ලොව පුරා සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 134,952කගෙන් 1,862 දෙනෙකු ඇමරිකාවේ සිටියා. ඇමරිකාව සරණාගතයින්ගේ ප්‍රධානම ගමනාන්තයක් වුනත් ලංකාවේ සිට එන සරණාගතයින්ගේ ප්‍රධානම ගමනාන්තයක් නෙමෙයි. උදාහරණයක් ලෙස 2017 වන විට කැනඩාවේ ශ්‍රී ලාංකික සරණාගතයින් 21,279ක්, ප්‍රංශයේ 15,774ක්, එක්සත් රාජධානියේ 11,760ක් හා ස්විට්සර්ලන්තයේ 9,399ක් හිටියා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...