ලංකාවේ සමාජවාදී, සුබසාධනවාදී ආර්ථික ආකෘතිය ඉතා වේගයෙන් එහි තාර්කික අවසානය කරා ඇදී යමින් තිබෙනවා. ආර්ථිකය කඩා වැටෙන දවසක් පිළිබඳව අපට නිශ්චිත අනාවැකි කියන්න බැහැ, කිසිවකුට එසේ කළ හැකියැයි අප සිතන්නේද නැහැ. කොහෙන් හෝ ඩොලර් ටිකක් හොයා ගත්තොත් එයින් මාස ගණනක් ඇදගන්න පුළුවන්. එහෙත්, මේ වැඩේ තව වැඩි කාලයක් දිගින් දිගටම කරන්න බැහැ.
රට මේ තත්ත්වයට වැටුණේ මේ ආණ්ඩුවේ වරදින් නෙමෙයි. කෝව්ඩ් නිසාත් නෙමෙයි. එහෙත්, මේ ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති වගේම වසංගතය විසින්ද පරිහානිය ඉක්මන් කළා. පාලකයින්ගේ වරදින් මේ තත්ත්වය ඇති වූ බව කියන්න පහසුයි. එහෙත්, අහම්බයන්ද සිදු වුවත්, පාලකයින් බිහිවන්නේද පවතින ඓතිහාසික තත්ත්වයන් තුළයි.
ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූයේත්, ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය වූයේත්, ජනතාවගේ ඇසින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වීම තුළයි. ජනතාවගේ ඇසින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වූයේ පෙර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිව තිබූ අසමතුලිතතාවන් සමතුලිත කරන්නට යාම තුළයි. පෙර ආණ්ඩුවේ ආර්ථික ප්රතිපත්තිද අහම්බයන් නෙමෙයි. රාජපක්ෂ ආණ්ඩුව විදේශ ණය පිරමිඩයක් බිහි කළේ එවකට පැවති තත්ත්වයන් තුළ උපාය මාර්ගයක් ලෙසයි. මේ ආකාරයෙන් පසුපසට ගියොත් අපට නිදහසට පෙර කාලය දක්වාම හා හැකියි.
වත්මන් ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය නිවැරදිව තේරුම් නොගෙන අර්බුදයට පිළියම් කළ නොහැකියි. සැලසුමක ඉලක්කය විය යුත්තේ ඉතිහාසයේ නිශ්චිත තැනකට ආපසු ගොස් නැවත මුල සිට පටන් ගැනීමයි. මේ තැන කොතැන විය යුතුද?
ලංකාවේ ධනවාදය යුරෝපයේ මෙන් ඓන්ද්‍රීය ලෙස වර්ධනය වූවක් නෙමෙයි. එය ඉංග්‍රීසින් විසින් ආනයනය කර පැල කරනු ලැබූවක්. දහනවවන සියවස වන තුරුද ලංකාවේ තිබුණේ වැඩවසම් ආකෘතියක ක්‍රියාත්මක වූ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකයක්. එහි ගනුදෙනු තිබුණත් එම ගනුදෙනු සඳහා මුදල් භාවිතා වුනේ ඉතා අඩුවෙන්. යුරෝපයේ වුවද මේ තත්ත්වය වෙනස් වී ඒ වන වැඩි කාලයක් ගත වී තිබුණේ නැහැ.
යුරෝපීයයන් ලංකාවට පැමිණෙන කාලය දක්වාත්, ඉන් පසුව කාලයක් යන තුරුත්, රටේ ඉඩම් ඇතුළු ස්වභාවික සම්පත් වල අයිතිය තිබුණේ රජු සතුවයි. එහෙත්, මේ ස්වභාවික සම්පත් භුක්ති විඳීමට රටවැසියන්ට විශාල බාධාවන් තිබුණේ නැහැ. ඔවුන්ගේ එදිනෙදා ජීවිත වලට, එදිනෙදා ආර්ථිකයට රජයේ හෝ රජුගේ බලපෑමක් නොතිබුණු තරම්.
ඉතිහාසය පුරාම ලංකාව ලෝකය සමඟ ගනුදෙනු කළත් ඒ ගනුදෙනු වලට සාමාන්‍ය පුද්ගලයින් සම්බන්ධ වූයේ නැහැ. ඒ වගේම අපනයනය කළානම් කළේ කිසියම් ස්වභාවික සම්පතක්. අලි ඇතුන් අපනයනය කර අශ්වයින් ආනයනය කළා. මුතු හා මැණික් අපනයනය කර රන් රිදී ආනයනය කළා. කුරුඳු අපනයනය කළත් වාණිජ බෝගයක් සේ කුරුඳු වගා කිරීම සිදු වුනේ පසුකාලීනවයි. මුලදී එයද ස්වභාවික සම්පතක්.
ලංකාවේ පැරණි ගැමි ආර්ථිකය පදනම්ව තිබුණේ කම්මැලි ජීවන රටාවක් මතයි. වී වගා කිරීමෙන් පසු වී පැහෙන තුරු කරන්න ලොකු වැඩක් තිබුණේ නැහැ. අනෙකුත් බෝග ගණනාවක්ම පිළිවෙලකට වගා කිරීමක් සිදු වුනේ නැහැ. මිනිස්සු පුරුදු වී හැටියේ හැදෙන හෝ ලැබෙන දෙයක් කා පාඩුවේ ඉන්නයි. ඉංග්‍රීසින් විසින් කළේ ලංකාවේ කාලයක් තිස්සේ පැවති සම්ප්‍රදායික ආර්ථිකය එලෙසම තිබියදී එයින් බාහිරව වාණිජ බෝග මත පදනම් වූ සමාන්තර ආර්ථිකයක් ඇති කිරීමයි.
ලංකාවට ධනවාදය පැමිණියේ මේ සමාන්තර ආර්ථිකය හරහායි. ලාංකිකයන්ගේ පැත්තෙන් මුඩුබිම් පණත ආදිය අසාධාරණ ක්‍රියාවන් සේ සැලකිය හැකි වුවත්, ඉංග්රීසින්ගේ පැත්තෙන් බැලූ විට ඔවුන් කළේ ඒ වන විට ප්‍රයෝජනයට නොගැනුණු සම්පත් නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගැනීමක්. රජයේ අයිතියට යටත් කෙරුණු මේ ඉඩම් යුරෝපයේ සිට පැමිණි පෞද්ගලික ව්‍යවසායකයින් විසින් රජයෙන් මිල දී ගත්තා. ඉංග්‍රීසි ආණ්ඩුව කෙසේ වෙතත්, මේ ව්‍යවසායකයින් ඉඩම් බලහත්කාරයෙන් අයිතිකරගත්තේ නැහැ.
අවදානමක් ගෙන තමන්ගේ මුදල් ලංකාවේ ආයෝජනය කළ මේ ව්‍යවසායකයින්ට නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ්‍රමය රට තුළින් මිල දී ගත හැකි වූයේ නැහැ. ලාංකිකයින් තුළ සම්ප්‍රදායික ආර්ථිකයෙන් මිදෙන්න කැමැත්තක් නොතිබීම ඊට හේතුවයි. ඔවුන් ලැබෙන හෝ හැදෙන දෙයක් කා සතුටින් හිටියා. බැහැරින් ලංකාවට ප්රාග්ධනය ගෙන ආ ඔවුන්ට බැහැරින් ශ්‍රමයද ගෙන එන්නට සිදු වුනා.
ලංකාවේ වාණිජ බෝග ව්‍යාප්ත වෙද්දී බැහැරින් ගෙන ආ ශ්‍රමය නිසා ආහාර ප්‍රශ්නයක් ඇති වුනා. ලංකාවේ පැවති සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකය තුළ හුවමාරු කළ හැකි අතිරික්තයක් තිබුණේ නැහැ. ඒ නිසා, සමාන්තර ආර්ථිකයට අවශ්‍ය හාල් ඇතුළු ආහාර ආනයනය කරන්න සිදු වුනා. ඒ සඳහා අවශ්‍ය වූ විදේශ විණිමය එම ආර්ථිකය තුළින්ම උපයා ගත හැකි වූ නිසා මෙය ප්‍රශ්නයක් වූයේ නැහැ. එයින් බාහිරව සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකය එලෙසම පැවතුනා. මේ ආර්ථිකයේ නෂ්ඨාවශේෂ අනූව දශකයේ මුල් කාලය පමණ දක්වා දැකිය හැකිව තිබුණා.
ලංකාවේ වත්මන් රජයේ පූර්වගාමියා වූ ඉංග්‍රීසි ආණ්ඩුවේ ආදායම් වලින් වැඩි කොටසක් එකතු වූයේ ආනයන හා අපනයන බදු ලෙසයි. සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකයෙන් රජය නඩත්තු කිරීමට එතරම් දායකත්වයක් ලැබුණේ නැහැ. එම ආර්ථිකයට රජයෙන් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබුණේත් නැහැ. මාර්ග සංවර්ධනය වැනි අංශ වලදී ඔවුන්ට ලැබුණු බැහැර කළ නොහැකි වාසි වෙනුවෙන් යම් බද්දක් රජයට ගෙවන්න සිදු වුනා. එහෙත්, මේ සම්ප්‍රදායික ආර්ථිකය බොහෝ දුරට වාණිජ ආර්ථිකයට සමාන්තරව නිදහසේ ක්‍රියාත්මක වූ වෙනම ආර්ථිකයක්.
ගනුදෙනු අඩු, ශ්‍රම විභජනය අඩු, ලංකාවේ සම්ප්‍රදායික ආර්ථිකයට සාපේක්ෂව වාණිජ ආර්ථිකය වඩා කාර්යක්ෂම වූ නිසා සම්ප්‍රදායික ආර්ථිකය එක තැන පල් වෙද්දී වාණිජ ආර්ථිකය දිනෙන් දින දියුණු වුනා. මේ හරහා දේශීය ධනවතුන්ද ගොඩ නැගුනා. ලාංකිකයන්ද තමන්ගේ ශ්‍රමය විකිණීමට පටන් ගත්තා. වාණිජ ආර්ථිකය විසින් ටිකෙන් ටික සම්ප්‍රදායික ආර්ථිකය ගිල ගත්තා. එහෙත්, මේ කටයුත්ත සම්පූර්ණ වී ලංකාවේ සම්ප්‍රදායික ආර්ථිකය මුළුමනින්ම දිය වී ගියේ නිදහස ලබා දශක හතරක් පහක් ගියාට පසුවයි.
වාණිජ ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී, ධනවාදය දියුණු වන විට සාමාන්‍යයෙන් සිදු වන පරිදි, ආදායම් විෂමතා ඉහළ ගියා. ආදායම් හිනිපෙතේ ඉහළින්ම සිටියේ ඉංග්‍රීසීන්. ඒ ඔවුන් ලාංකිකයින් සතු ශ්‍රමය සූරා කෑ නිසා නොවූවත් කවර හෝ නොදන්නා හේතුවක් නිසා ඉංග්‍රීසින් තමන්ට වඩා හොඳින් ජීවත් වන බව ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට පෙනුනා. ඉංග්රීසින්ගේ පසුව මේ ධුරාවලියේ උඩින්ම සිටියේ වඩාත් හොඳින්ම ඉංග්‍රීසීන්ව අනුකරණය කිරීමට සමත් වූ "කළු සුද්දන්". සිංහලයන්ගේ වචන වලින් ඔවුන් ඉංග්‍රීසින්ට කත් ඇදපු අය.
ඉංග්‍රීසීන්ට කත් ඇදීම කියන්නේ රටේ ජීවත් වූ ස්වදේශිකයන් හා යුරෝපීයයන් නොවූ විදේශිකයින් රට තුළ සමාන්තරව ගොඩ නැගෙමින් තිබුණු ධනවාදී ආර්ථිකය තුළට මුලින්ම අන්තර්ග්‍රහණය වූ ආකාරයයි. ඔවුන් දේශීය නිෂ්පාදන එකතු කරගෙන කරත්ත (කත්) වලින් ඇද සුද්දන්ට විකිණුවා. කරත්ත පාරවල් හැදී නොතිබුණු තැන් වල කදවල් උරිස්සේ තබාගෙන අදින්නත් ඇති. මේ සැපයුම් වෙනුවෙන් ඔවුන්ට සෘජුව මුදල් ලැබුණා. මෙය සම්ප්‍රදායික ආර්ථිකය තුළ සිදු වූ සෘජු භාණ්ඩ හා සේවා හුවමාරුවෙන් වෙනස් වූ අලුත් තත්ත්වයක්.
සමාජයේ යම් ස්ථරයක් වඩා හොඳින් ජීවත් වන විට ඔවුන් භුක්ති විඳින සම්පත් වලට වෙනත් අයට ආශාවක් ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ පිරිස රටට පිටින් පැමිණි, තමන්ට වඩා බාහිර පෙනුමෙන් වෙනස්, විදේශිකයින් පිරිසක් වූ විට ඔවුන් සැප විඳින්නේ තමන් සතු දෙයක් ලබා ගනිමින් යන හැඟීමද ඇති වෙනවා.
සමාජවාදී අදහස් ලංකාවේ ජනප්‍රිය වීමට මේ තත්ත්වය බලපෑවා. අධිරාජ්‍ය විරෝධය හා මාක්ස්වාදීන්ගේ සූරාකෑම පිළිබඳ අදහස එකිනෙක හා හොඳින් පෑහුනා පමණක් නොව මහ පොළොවේ දැකිය හැකි වූ තත්ත්වයන් සමඟද පහසුවෙන් ගලපා ගත හැකි වුනා. එහෙත් ඇත්තටම ඉංග්‍රීසින් විසින් භුක්ති වින්දේ ඔවුන් විසින් ජනනය කරගත්, ඔවුන් විසින් නිර්මාණය කරගත් සම්පත් මිසක් වෙනත් අයෙකුගෙන් පැහැරගත් සම්පත් නෙමෙයි. ඒ නිසා, සුද්දා එළවීමෙන් පසුව ඔවුන් අතින් සිදු වූ සම්පත් ජනනයද නැවතුනා.
මිනිස්සු බලාපොරොත්තු වී සිටියේ එවැන්නක් නෙමෙයි. ඔවුන් බලා සිටියේ තමන්ගේ කම්මැලි ජීවන රටාව එලෙසම පවත්වා ගන්නා අතර සුද්දා එළවා සුද්දා භුක්ති විඳින සම්පත් බෙදා ගන්නයි. එය කළ හැකි බව සමාජවාදීන් විසින් මිනිස්සුන්ට ඒත්තු ගැන්වුවා. සමාජවාදී අදහස් ලංකාවේ ජනප්‍රිය වුනා.
කෙසේ වුවත්, නිදහසින් පසු ලංකාවේ පාලන බලය ලැබුණේ සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි පක්ෂ වලට නෙමෙයි. එජාපය වැනි පක්ෂ වලටයි. එයට හේතු වූයේ එජාපය විසින් සාර්ථක ලෙස සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය (internalize) කර ගැනීමයි. සුද්දා එළවීමෙන් පසු සුද්දා නිෂ්පාදනයට එකතු කළ දෙයද අහිමි වන බව එජාපය තේරුම් ගත්තා. නිදහස ලබාගත් පමණින් සමාජයේ පහළ ස්ථර වලට වඩා හොඳ ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට උදවු කිරීම පිණිස නිදහසේ සල්ලි බෙදන්න පුළුවන්කමක් ස්වදේශිකයන්ගේ රජයකට තිබුණේ නැහැ.
සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි පක්ෂ වලට වැඩි බලයක් ලැබුණු අවස්ථා වල යම්තාක් දුරකට ඔවුන් කළේ දේශීය ධනවතුන් සතු දේ රජය සතු කර ගෙන සහනාධාර සේ බෙදා දීමයි. මෙය සෘජුව හෝ වක්‍රව සිදු වුනා. මෙයින් සමාජයේ ඉහළ ස්ථර අසතුටු වුවත්, පහළ ස්ථර සතුටු කළ හැකි වුනා. එජාපයට සමාජයේ ඉහළ ස්ථරද සතුටු කරන්න අවශ්‍ය වුවත්, සර්වජන ඡන්ද ක්‍රමය යටතේ පහළ ස්ථර වල සහයෝගය නොමැතිව ඔවුන්ට බලය ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එජාපය මේ කණ්ඩායම් දෙකම සතුටු කළ හැකි ක්‍රමයක් හොයා ගත්තා. ඒ ඉහළ ස්ථර පීඩාවට පත් නොකර, පහළ ස්ථරද සතුටු කළ හැකි ක්‍රමයක්. ණය මත දුවන සුබසාධන ආර්ථිකය මේ ක්‍රමයයි.
දළ ප්‍රකාශයක් ලෙස වත්මන් ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ කේන්සියානු මතවාද කෙරෙහි විශ්වාසය තැබූ ජේආර් ජයවර්ධනයි. එහෙත් මේ ක්‍රමය ඔහු ලංකාවට හඳුන්වා දුන්නේ හැත්තෑ හතේදී නෙමෙයි. හතලිස් හතේදී මුදල් ඇමති වූ වහාම ජේආර් වැඩ පටන් ගත්තා. රාජපක්ෂලා ජේආර්ගේ ක්රමයේ මෑතකාලීන ප්‍රකාශකයෝ.
මෙයින් අදහස් වන්නේ ජේආර් නොවන්නට ලංකාවේ විකල්ප ආර්ථික ඉතිහාසයක් නිර්මාණය විය හැකිව තිබුණා කියන එක නෙමෙයි. ඒ ජේආර් කියන්නේත් ඓතිහාසිකව සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මිස අහම්බයක් නොවන නිසයි. ජේආර්ගේ ක්‍රමය ලංකාවේ සමාජ-ආර්ථික පරිණාමය තුළ ඉතිරි වූ, පැවති බාහිර තත්ත්වයන් හමුවේ වඩාත්ම සාර්ථක විය හැකි වූ ක්‍රමයයි. එයට ප්රතිපක්ෂව පැවති ජාතික සමාජවාදයටද යම් සාපේක්ෂ වාසියක් තිබුණා. එහෙත්, වැඩි වාසි තිබුනේ කේන්සියානු ආකෘතියටයි.
සුබසාධනයට මුල් තැන දුන් ජාතික සමාජවාදී ආර්ථික ආකෘතිය වගේම කේන්සියානු ආකෘතියද බොහෝ ලාංකිකයින්ගේ අවිඥානික මනෝභාවය සමඟ හොඳින් පෑහුනා. වාණිජ බෝග වගාව සඳහා ලංකාවට ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වන්න සිදු වුනේ හැමදාම මහන්සි වී වැඩ කරන්න සිදුවන එවැනි රැකියාවකට සිංහලයින් කැමති නොවූ නිසා. වී ගොවිතැන් හේන් ගොවිතැන් කරද්දී ලොකු නිවාඩු කාල ලැබෙනවා. වාණිජ බෝග වගාවේදී එවැනි ඉන්ටවල් ලැබෙන්නේ නැහැ. නිදහස ලැබෙන කාලයේදීත්, ඉන් පසුවත් බොහෝ ලාංකිකයන්ට අවශ්‍ය වූයේ සම්ප්‍රදායික වී ගොවිතැන කරද්දී මෙන් ටික කාලයක් වැඩ කර වැඩි කාලයක් විවේක ගන්නා අතරම සුද්දන් මෙන් ඉහළ පරිභෝජන මට්ටමක්ද පවත්වා ගන්නයි. මෙය සිදු විය හැකිව තිබුණේ රජය විසින් සහනාධාර ලබා දෙන්නේනම් පමණයි.
ජාතික සමාජවාදී ආර්ථික ආකෘතිය තුළ මේ සහනාධාර තිබුණා. එහෙත්, ආර්ථික වර්ධනය තිබුණේ නැහැ. සහනාධාරද සමඟ ආර්ථිකයේ සමතුලිතතාවය පවත්වා ගන්න යාමේදී ආර්ථික වර්ධනය අඩාල වෙනවා. පොදුවේ සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රටවල සිදු වුනේ මෙයයි. කේන්සියානු විකල්පය ක්‍රියාත්මක කළ අයටද මේ සහනාධාර කප්පාදු කරන්න හැකි වූයේ නැහැ. එසේ කරන්න උත්සාහ කළ අවස්ථා වලදී ඔවුන්ට දේශපාලන බලය අහිමි වී එම බලය ජාතික සමාජවාදීන් අතට ගියා. ඒ නිසා, ඔවුන්ට ජාතික සමාජවාදීන් සමඟ තරඟ කරමින් දේශපාලන බලය නඩත්තු කළ හැකි වූයේ සහනාධාරද දිගටම නඩත්තු කරන අතරම ආර්ථික වර්ධනයද පවත්වා ගන්නා විකල්පයක් තුළින් පමණයි. එහෙත් ප්රශ්නය මේ ඉලක්ක දෙකම එකවර ලඟා කරගන්නා අතර ආර්ථිකයේ සමතුලිතතාවයද නඩත්තු කළ නොහැකි වීමයි.
සුබසාධනය මෙන්ම ආර්ථික වර්ධනයද පවත්වා ගන්නා අතර කම්මැලි ජීවන රටාවටද බාධා නොවන ක්‍රමයක් කාට වුනත් ආකර්ශනීයයි. එහෙත්, රජයකට සම්පත් නිර්මාණය කරන්න බැහැ. රජයකට බෙදා දිය හැක්කේ කාගෙන් හෝ ගන්නා දෙයක් පමණයි. ලංකාවේ ආණ්ඩු මේ නැති සම්පත් ලබා ගත්තේ අනාගත පරපුරේ වියදමින්. ඉදිරියේදී නිවැරදි වීමට නියමිතව ඇත්තේ මෙය දිගින් දිගට සිදු වීමේදී ගොඩ නැගුනු අසමතුලිතතාවයයි.
මේ සමතුලිතතාවය දිගටම පවත්වා ගත නොහැකි බව දැන් කාට කාටත් පැහැදිලි වී තිබෙනවා. එහෙත් විසඳුම ජාතික සමාජවාදය නෙමෙයි. එය අත්හදා බලා අසාර්ථක වූ ක්‍රමයක්. ජාතික සමාජවාදය හරහා අසමතුලිතතා අඩු කර ගන්න පුළුවන්. එහෙත් ඒ එක්කම මෙතෙක් පවත්වාගත් ආර්ථික වර්ධනයද අහිමි වෙනවා. අසමතුලිතතා තිබුනත් කේන්සියානු ක්‍රමය තුළ ආර්ථිකය වර්ධනය වූ බව බැහැර කළ නොහැකියි. අවශ්‍ය වන්නේ මේ ආර්ථික වර්ධනය අහිමි කර නොගනිමින් අසමතුලිතතා බැහැර කළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක්.
මතු සම්බන්ධයි.