රථවාහන පොලීසියේ රාළහාමිගේ උඩ කරනම් වීඩියෝව ගොඩක් අය දකින්න ඇති. රාළහාමිගේ වැඩ තහනම් වෙලා වගේ කතාවකුත් දැක්කා. පහර කෑ පුද්ගලයා ජෝජ් ෆ්ලොයිඩ් තරම් අවාසනාවන්ත වුනේ නැහැ. හැබැයි ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල හිර කරපු පොලිස් නිලධාරියා විසින් කළේ පොලිස් අත්පොතේ තිබුණු, තමන්ගේ පොලිස් පුහුණුවේ කොටසක් වූ දෙයක්. හෙළ බොජුන් ඉස්සරහ රාළහාමි ගහන උඩ කරනම්නම් පොලිස් පොතේ තියෙනවා වෙන්න බැහැ. රාළහාමි ක්‍රියාවෙන් වගේම කතාවෙනුත් හරිම සංවරයි! පහර කෑ මනුස්සයා අපේ රජය තියෙද්දීත් වරදක් කළ නිසා රාළහාමිට කේන්ති ගියාද දන්නේ නැහැ. කරපු වැරැද්ද මොකක් වුනත් රාළහාමිගේ හෙළ බොජුන් සත්කාරයනම් මාරයි!
ලංකාවේ පොලිස් නිලධාරීන්ට උඩ කරනම් බිම කරනම් ගහන එකේ ඉඳලා පන්දාහේ කොළ ගිලින එක දක්වා ගොඩක් රාජකාරී කරන්න තිබෙනවා. ඔය අතරේ සමහර වෙලාවට පොලිස් රාජකාරිත් කරනවා. නිවාඩු වෙලාවට බෙලි කපලා බෑග් වල පැක් කරන එක වගේ වැඩත් කරනවා.
ලංකාවේ පොලිස් සේවය මධ්‍යගත එකක්. ඒ නිසා පස්සර බස් අනතුර සිදු වූ තැන වගේ තැන් වල සේවයේ යොදවන්න පොලිස් නිලධාරීන් නැතත් ප්‍රභූ ආරක්ෂාවට ඕනෑ තරම් පොලිස් නිලධාරීන් ඉන්නවා. පොලිස් සේවයේ නිරත නිලධාරීන්ගෙන් කොපමණ ප්‍රතිශතයක් ප්‍රභූ ආරක්ෂක සේවයේ යෙදී සිටිනවාද කියන එක හොඳ ප්‍රශ්නයක්.
පොලිස් සේවය විමධ්‍යගත වී තිබුණානම් බොහෝ විට පස්සර ප්‍රශ්නය වගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. මම කියන්නේ පළාත් සභා වලට පොලිස් බලතල දීම වැනි ජාතිවාදී අරමුණකින් කරන විමධ්‍යගත කිරීමක් ගැන නෙමෙයි. මහජන ආරක්ෂාව සැපයීම වගේ දේවල් ප්‍රාදේශීය සභා මට්ටමටම යනවානම් වඩාත් හොඳයි. දැන්නම් ප්‍රාදේශීය සභා පළාත් සභා ආදී සියල්ලම දේශපාලනඥයින් පුහුණු කරන ඇකඩමි විතරයිනේ.
පොලීසිය පහළම මට්ටමකින් පාලනය වන ඒකකයක් වූ විට අදාළ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සේවය ලබා දෙන්න පොලීසියට සිදු වෙනවා. මධ්‍යගත පොලීසියකට සේවය කරන නිලධාරීන්ට වෙන්නේ ලොක්කෝ කියන විදිහට උඩ කරනම් බිම කරනම් ගහන්නයි. සමහර වෙලාවට නැන්ද මාමලා බලන්න තෑගි බෝග අරගෙන යන්නත් වෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවෙන් පඩි ගත්තත් ගොඩක් පොලිස් රාළහාමිලාට සේවය කරන්න වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන්. විශේෂයෙන්ම රථවාහන පොලීසියේ නිලධාරීන්ට. මේ අය තමන්ට දෙන ටාගට් කවර් කළ යුතුයි. මාසේ අන්තිමට ටාගට් කවර් කරලා නැත්නම් උඩ කරනම් රාළහාමිගේ ලොක්කා උඩ කරණම් රාළහාමිට කතා කරන්නෙත් ඔය වීඩියෝ එකේ ඇහෙන වචන වලින්ම තමයි.
ලංකාවේ රථවාහන පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් ඉන්නේ නොපෙනෙන තැනක හැංගිලා. එහෙම කරන්නේ වරදක් කරන්න පොළඹවා දඩ කොළයක් දෙන්නයි. අරමුණ දඩය මිසක් වරද සිදු වීම වැළැක්වීම නෙමෙයි. ඇමරිකාවේනම් ඔය වැඩේ වෙන්නේ අනෙක් පැත්තට. පොලිස් නිලධාරියෙක් බොහෝ විට පෙනෙන්නම ඉන්නවා. නිලධාරියාව දැක්කට පස්සේ ගොඩක් අය ක්ෂණිකව වේගය අඩු කරනවා. ඉලක්කය වන්නේ අනතුරු වැළැක්වීම මිසක් දඩ ගහන එක නෙමෙයි. දඩ ගහන්නේ අනතුරු අඩු කරගන්න.
ලංකාවේ රථවාහන පොලිස් නිලධාරීන්ට ටාගට් දෙන්නේ භාණ්ඩාගාරයට අරමුදල් එකතු කරලා දෙන්න මිසක් අනතුරු අඩු කරන්න නෙමෙයි. දඩ කොළ ලියලා ටාගට් කවර් කරන්නනම් වැරදි අඩු කරලා හරියන්නේ නැහැ. වැරදි දිගටම සිදු වෙන්න ඕනෑ. සුරාබදු නිලධාරීන් වගේ අය ගත්තත් ඔහොමයි. හොර මත්පැන් මත්ද්‍රව්‍ය නැති වුනොත් ටාගට් කවර් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩ කරන අයත් එක්ක සහජීවනයක් පවත්වා ගන්න වෙනවා. නැත්නම් කොහොමද මාසෙ අන්තිමට ටාගට් කවර් කරන්නේ?
රථවාහන පොලිස් නිලධාරීන් රියැදුරන්ට වේගයෙන් යන්න ඉඩ සලසමින් හැංගිලා ඉඳිද්දී ලයිට් ගහලා වාහන වල වේගය පාලනය කරන්නේ පාරේ අනෙක් පැත්තෙන් එන වාහන වල රියැදුරන්. අනෙක් පැත්තෙන් වෙන්නේ අඳුරන වාහනයක් වෙන්න අවශ්‍ය නැහැ. මේවා ලංකාවේ වාහන එළැවීමේ ආචාර ධර්ම. ඇමරිකාවේනම් රියැදුරෙක් පාරේ පිස්සු කෙළින කොට අනෙක් රියැදුරන් විසින් කරන්නේ පොලීසියට දැනුම් දෙන එකයි.
ලංකාවේ හා ඇමරිකාවේ සාමූහිකත්වයේ වෙනස ඕකයි. ලංකාවේ සාමූහිකත්වය ක්‍රියාත්මක වන්නේ වරදකරුවන්ව ආරක්ෂා කරන්න. ඇමරිකාවේ සාමූහිකත්වය ක්‍රියාත්මක වන්නේ වරදකරුවන්ගෙන් සමාජය ආරක්ෂා කරන්න.
එක පැත්තකින් මේ වෙනසට හේතු වී තිබෙන්නේ ලංකාවේ නීතිය හා සාමාන්‍ය මිනිස්සු අතර තිබෙන දුරස්ථ භාවයයි. නීතිය උන්ගේ. පොලීසියත් උන්ගේ. පොලීසිය ප්‍රාදේශීය පොලීසියක් වුනානම් එය අපේ පොලීසියක් මිසක් උන්ගේ පොලීසියක් වෙන්නේ නැහැ. නීතිය මිනිස්සුන්ගේ තේරීමක් වුනානම් එය අපේ නීතියක් මිසක් උන්ගේ නීතියක් වෙන්නේ නැහැ. වැරැද්ද එංගලන්තයට පටවන්න පුළුවන් වුනත් අවුරුදු හැත්තෑ තුනකට පස්සේත් එංගලන්තයටම බැණ බැණ ඉන්න එකේනම් අවුලක් තියෙනවා.
උඩ කරනම් රාළහාමි විශාල පීඩනයකින් ඉන්න බව පැහැදිලියි. මාසේ අන්තිම වෙද්දී රථවාහන පොලීසියේ නිලධාරීන්ගේ ආතතිය වැඩි වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ආණ්ඩුව පිස්සුවෙන් වගේ සල්ලි හොයන මේ දවස් වල පොලිස් නිලධාරීන්ගේ ටාගට් සමහර විට වැඩි කරලා ඇති. ඔය මහ පාර මැද්දේ හෙළ බොජුන් සත්කාර භුක්ති විඳින මනුස්සයා වගේම උඩ කරනම් ගහන රථවාහන පොලීසියේ රාළහාමිත් වින්දිතයෙක්!