Sunday, October 27, 2019
ඔක්තෝබර් කුමන්ත්‍රණයට අවුරුද්දයි!
ජනාධිපති සිරිසේන විසින් සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට මේ වන විට වසරක් ගත වී තිබෙනවා. මේ කුමන්ත්‍රණය මහින්ද හා මෛත්‍රී එක්ව සිදු කළ බවත්, කුමන්ත්‍රණයට එරෙහිව විවිධ බලවේග පෙළ ගැසී අවසානයේදී දින පනස් එකකට පසු කුමන්ත්‍රණය පරාජය කරනු ලැබීම මහින්ද-මෛත්‍රී පිලේ පරාජයක් බවත් එම පිලේ මෙන්ම ප්‍රතිවිරුද්ධ පිළේ බොහෝ දෙනෙකුගේ අදහසයි. ඇත්තටම මේ කුමන්ත්‍රණය මහින්ද-මෛත්‍රී පාර්ශ්ව වල සැලසුමක්ද? එහෙම නැත්නම්, ඔවුන්ද නොදැන ඔවුන් වෙන කාගේ හෝ සැලසුමක ඉත්තන් වුනාද?
මා දන්නා තරමින් ඔක්තෝබර් කුමන්ත්රණයේදී සිදු වූ ආකාරයට ජනාධිපති සිරිසේන විසින් රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කර මහින්දව එම ධුරයට පත් කළ යුතු බවත්, ව්‍යවස්ථාව අනුව එසේ කළ හැකි බවත්, මුලින්ම කරුණු සහිතව පැහැදිලි කරමින් යෝජනා කළේ නලින් ද සිල්වා විසිනුයි. පහත තිබෙන්නේ ඔහු විසින් 2017 නොවැම්බර් 25 දින පළ කළ ලිපියක්.
ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි
ඉහත ලිපියෙන් නලින් ද සිල්වා විසින් යෝජනා කළේ කඩිමුඩියේ ගෙන ආ දහනවවන සංශෝධනයේ තිබෙන පරස්පර වල වාසිය ගනිමින් මෙය කළ හැකි බවයි.
රනිල්ව ඉවත් කිරීම ගැන ඒ වන විටත් කාලයක් තිස්සේ කතා කරමින් සිටිය ඔහු මේ කරුණ දිගින් දිගටම අවධාරණය කරන්න පටන් ගත්තේ 2018 පෙබරවාරියේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණ වලින් පසුවයි. පහත ලිපිය ඔහු විසින් පළ කර තිබුණේ 2018 පෙබරවාරි 17 වනදා.
ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි
එම ලිපියේ ඔහු විසින්ම "දේශපාලනඥයන් ජනමාධ්‍යවේදීන් මුහුණු පොතේ පඬි පෝතකයන් මා ලියන කිසිවක් සතපහකට ගණන් ගන්නෙ නැහැ." යනුවෙන්ද ලියා තිබුණා. ඔහුගේ එම ප්‍රකාශය අවතක්සේරුවක් බව පැහැදිලි වුවත්, අගමැති ඉවත් කිරීමේ ඔහුගේ යෝජනාව මාස හතකට පසු සැබෑවක් වේයැයි මා හිතුවේ නැහැ. අඩු වශයෙන් ඔහු හෝ එසේ සිතුවාදැයි සැක සහිතයි.
එක පැත්තකින් නලින් ද සිල්වාගේ යෝජනාවේ බරපතල අඩුපාඩු තිබුණා. ඔහු තර්කනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අර්ථනිරූපණය කරන්න උත්සාහ කළත්, තර්කනය මේ වගේ කරුණකදී යොදාගන්නා එක් මූලධර්මයක් පමණක් වීමත්, මහින්ද-මෛත්‍රී වටා නීති විශාරදයින් ගණනාවක් සිටීමත් නිසා නලින් ද සිල්වාගේ යෝජනාව සැබෑවක් වීමේ ඉඩක් පිළිබඳ සැකයක් එසේ සිදුවන තුරුම මට තිබුණේ නැහැ. ආණ්ඩු වෙනස නලින් ද සිල්වාගේ යෝජනාවක් වුවත්, අවසානයේදී ආණ්ඩු වෙනස සිදු වුනේ ඔහු නිසා කියා කියන්න බැහැ. ඔහුගේ යෝජනාව අවසානයේදී කාගේ හෝ සැලසුමක කොටසක් වුනා.
ඔක්තෝබර් කුමන්ත්‍රණය හා ආසන්නව සුවිශේෂී සිදුවීම් කිහිපයක් සිදු වුනා. රෝ ඔත්තුකරුවෙකු විසින් තමන්ව (හා ගෝඨාභය රාජපක්ෂව) ඝාතනය කිරීමට සැලසුමක් ඇති බව ජනාධිපති සිරිසේන විසින් ඔක්තෝබර් 16 දින කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වී තිබුණා. පසුව ජනාධිපති සිරිසේන විසින් ඔක්තෝබර් 17 දින දුරකථනයෙන් ජනාධිපති මෝදී අමතා මේ පුවත සාවද්‍ය එකක් බව පවසා තිබුණා. හදිසියේ මතු වූ නාමල් කුමාරනම් අයකුගේ ප්‍රකාශ මත අත් අඩංගුවට ගැනුණු මාර්සලි තෝමස්නම් ඉන්දියානු ජාතිකයෙකු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මානසික රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව නිදහස් කර මානසික ප්‍රතිකාර සඳහා යවා තිබුණා.
මේ වන විට රනිල් මෛත්‍රී ගැටුමද උඩටම මතු වී තිබුණා. ඔක්තෝබර් 20-22 අතර රනිල් වික්‍රමසිංහ ඉන්දියානු සංචාරයක නිරත වුනා. ඊට පෙර මහින්ද රාජපක්ෂද ඉන්දියාවේ සංචාරය කළා. ඔක්තෝබර් 26 වෙනිදා රනිල්ව ඉවත් කර මහින්දව පත් කෙරුණා. මහින්ද පිලට මුලින්ම ගිය අය අතර වඩිවේල් සුරේෂ් එක් අයෙක්. ඔහු බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්දියානු දෙමළ ප්‍රජාව නියෝජනය කරන්නෙක්. ඉන් පසු, දින කිහිපය තුළ ඔහු දෙපැත්තට දෝලනය වුනා. තවත් කිහිප දෙනෙක්ද පැති මාරු කළා. නොවැම්බර් 3 වෙනදා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සතාසිවම් වියලේන්තිරන් රාජපක්ෂ පිලට මාරු වුනා. මේ ආකාරයට මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් පිල් මාරු කළත්, ඒ වෙලාවේ මහින්දලාට බහුතර මන්ත්‍රීන්ගේ සහයෝගය ලබාගත හැකි ආකාරයේ රැල්ලක් තිබුනේ නැහැ.
ඔක්තෝබර් කුමන්ත්රනය සිදු වන විට තිබුණු දේශපාලන වාතාවරණය කොයි වගේ එකක්ද? ඒ වන විට එජාපය බිමටම සමතලා වෙලයි හිටියේ. එජාපය වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නොසිටි තරම්. අනෙක් අතට 44%ක් ලෙස මාධ්‍ය කිහිපයක් හරහා ජනගත කර තිබුණු 40.5%ක ඡන්ද ප්‍රතිශතයෙන් පොදුජන පෙරමුණ හා එම පක්ෂයේ ආධාරකරුවන් හිටියේ ටොප් ෆෝර්ම් එකේ. ඒ වගේම, 2015දී එජාපය එක්ක හිටපු බලවේග එකින් එක හැලී ගිහින් අවසානයේදී ජාතික ආණ්ඩුවේ පාර්ශ්ව දෙකත් ඒ වෙලාවේ දෙපිලකයි හිටියේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයගත්තේ ඉන්දියාවේ හා බටහිර රටවල උදවුවෙන් කියන එක බොහෝ දෙනෙකු විසින් නොයෙක් වර කියා ඇති දෙයක්. විශේෂයෙන්ම මහින්ද පාර්ශ්වයේ අය. ජනාධිපතිවරණය පැවැත්වෙන විටත් එජාපය සතුව විශාල ජන පදනමක් තිබුණේ නැහැ. ද්‍රවිඩ සන්ධානයේ හා ජවිපෙ සහයෝගය නොලැබුනානම් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති වෙන්න ලැබෙන්නේ නැහැ. ද්‍රවිඩ සන්ධානය, ජවිපෙ හා එජාපෙ එකතු වීමෙන් පසුව රාජපක්ෂලා එපා වී සිටි විශාල පිරිසක්ද ඒ පැත්තට විතැන් වුනා. එසේ වුනේ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කිහිප දෙනෙකු පිල් මාරු කළ නිසා නෙමෙයි. එහෙත්, 2015දී රාජපක්ෂලාගෙන් විතැන් වූ ඡන්දදායකයින් පිරිසත්, අඩු වැඩි වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිල් මාරු කළ පිරිස සිටි දේශපාලන මානසිකත්වයේම සිටි පිරිසක්.
ද්‍රවිඩ සන්ධානය, ජවිපෙ හා එජාපෙ අතර වූ මැතිවරණ සන්ධානය ඒ ආකාරයටම තිබුණේ ජනාධිපතිවරණය අවසන් වන තුරු පමණයි. ද්‍රවිඩ සන්ධානයට හා ජවිපෙට තමන්ගේ අනන්‍යතා හා ඡන්දදායක පදනම් රැකගෙන එජාපය (හෝ වෙනත් ප්‍රධාන පක්ෂයක්) හා එක්ව කටයුතු කළ හැකි සීමාවක් තිබෙනවා. එම පක්ෂ මහ මැතිවරණයට තරඟ කළේ වෙන වෙනමයි.
ජනාධිපතිවරණ ගණිතය හා මහ මැතිවරණ ගණිතය වෙනස්. එජාපය ශ්‍රීලනිපයේ මෛත්‍රී කණ්ඩායම හා එක්ව, ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය වෙන වෙනම තරඟ කරද්දී, ශ්‍රීලනිපයේ ප්‍රධාන කණ්ඩායමට එරෙහිව මහ මැතිවරණයට ගියානම් 2015 අගෝස්තු අවසන් ප්‍රතිඵලය වෙන්නේ වෙනෙකක්. එය වෙනස් වුනේ මෛත්‍රීපාල සිරිසේන එජනිස සභාපති වීම හා මහින්ද එම ධුරය මෛත්‍රීට භාර දී පැත්තකට වීම සමඟයි. මේ සමඟ ඇති වුනේ විශාල දේශපාලන විකෘතියක්.
මෛත්‍රීපාල සිරිසේන විසින් භාර ගත්තේ තමන්ට එරෙහිම තමන්ගේ ප්‍රතිවාදියාට ඡන්දය දුන් කණ්ඩායමේ නායකත්වයයි. මේ වැඩේට රනිල් වික්‍රමසිංහ වක්‍රව සහයෝගය දුන් බවක් මිසක් විරුද්ධ වූ බවක් පෙනෙන්න තිබුණේ නැහැ. මම හිතන්නේ රනිල්, මෛත්‍රී ඇතුළු බොහෝ දෙනෙකුට වගේම මහින්ද පිලටත් ශ්‍රීලනිපයේ සංකේතාත්මක වටිනාකම පිළිබඳව තිබුණේ අධි තක්සේරුවක්. එතෙක් ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බැලූ විට ඒ අධි තක්සේරුව නිවැරදි බව පෙනෙන්නට තිබුණා. 2018 පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන තුරුම වෙනත් බොහෝ දෙනෙක් වගේම මගේ ඇස්තමේන්තුව වුනේත් ශ්‍රීලනිප කියන පක්ෂය සමඟ මීට වඩා විශාල පිරිසක් සිටින බවයි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් තහවුරු වුනේ එය එසේ නොවන බවයි.
පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන විට එජාපයට රටේ 50%ක ඡන්ද නොතිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු කරුණක් වුවත් ඒ ප්‍රමාණය 29%ක් තරම් පහළ බවක් පැහැදිලිව පෙනෙන්නට තිබුණේ නැහැ. නමුත්, එජනිස ඡන්ද මීට වඩා වෙනස් ලෙස පොදුජන පෙරමුණ හා එජනිසය අතර බෙදුනානම් 40%ක පමණ ඡන්ද ප්‍රතිශතයකින් වුවත් එජාපයට රටේ පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක බලය ලබාගත හැකිව තිබුණා. 2015 අගෝස්තුවේදී එජාපය 45.7%ක ඡන්ද ප්‍රතිශතයකුත්, එජනිසය 42.4%ක ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන තිබුණා.
පළාත් පාලන මැතිවරණ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන එජාපය හා සහයෝගීතාවය ගැන කතා කරමින්ම දිගින් දිගටම එජාපය විවේචනය කිරීමද කළා. එහිදී ඔහුගේ උපක්‍රමය වුනේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණට යාම වැළැක්වීම මිස එජාපයේ ඡන්ද ආකර්ශනය කර ගැනීම නෙමෙයි. එහෙත්, සිදු වුනේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණට යාම හා 2015 අගෝස්තුවේ එජාපය ලැබූ ඡන්ද එජනිසය වෙත විතැන් වීමයි. පළාත් පාලන මැතිවරණ වලදී 29% මට්ටමට වැටුණු එජාපයට තව දුරටත් පැවැත්මක් ඇති බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුව පිහිටුවීමට උදවු කළත්, ඉන් පසුව, විශේෂයෙන්ම බැඳුම්කර වංචාව සිදු වීමෙන් පසුව, දිගින් දිගටම එජාපය විවේචනය කළ ජවිපෙට එජාපයට සෘජුව සහයෝගය දීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම, ද්‍රවිඩ සන්ධානයට උතුරට ගොස් පෙන්විය හැකි එජාපය දෙමළ ජනතාව වෙනුවෙන් කළ සුවිශේෂී දෙයක් තිබුණේත් නැහැ. ඒ වගේම, යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාගේ හොරකම් අල්ලා ඔවුන්ට නඩු දමා තිබුණේ නැහැ. ඒ නිසාත්, එජාපය බැඳුම්කර වංචාවට පැටලීමත් නිසා රාජපක්ෂ විරෝධයේ දේශපාලන වාසිය මේ වන විට තුනී වෙලයි තිබුණේ. ඔක්තෝබර් කුමන්ත්‍රණය සිදු වුනේ මෙවැනි දේශපාලන වටපිටාවකයි.
ඔක්තෝබර් කුමන්ත්‍රණය සමඟ සියල්ල කණපිට හැරුණා. ජවිපෙට, එජාපයට, ද්‍රවිඩ සන්ධානයට මෙන්ම නිර්පාක්ෂිකයින්ටත් නැවත එකට එකතුව කටයුතු කරන්න එයින් අවස්ථාවක් සැලසුණා. රාජපක්ෂලා සමඟ සිටි ඇතැම් අය බලය අපහරණය පිළිබඳ නිදර්ශන රට හමුවේ ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. වඩිවේල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීමත් සමඟ මන්ත්‍රීවරුන් වෙන්දේසි වීම ගැන කතාබහ මතු වුනා. රංගෙ බණ්ඩාර සිදුවීමෙන් මෙය තහවුරු වෙන්න පෙර සිටම මන්ත්‍රී වෙන්දේසිය ජාත්‍යන්තර අවධානය දිනාගත්තා. ප්රජාතන්ත්රවාදය රැක ගැනීම ඉදිරියට දමා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්න ජවිපෙට පදනමක් හැදුනා. සතාසිවම් වියලේන්ද්‍රන්ගේ පිල් මාරුවත් එක්ක ද්‍රවිඩ සන්ධානයට ප්‍රසිද්ධියේ එජාපයට සහයෝගය දිය හැකි පසුබිමක් හැදුනා. 2015දී මෙන් නැවතත් රාජපක්ෂ විරෝධී බලවේග එක කඳවුරකට ආවා.
ඔක්තෝබර් කුමන්ත්‍රණය වෙලාවේ රනිල්ගෙන් දැක ගත හැකි වුනේ තරමක් උදාසීන ප්‍රතිචාරයක්. අරලියමන්දිරය අත් නොහැරියත්, අගමැතිකම නමට තියාගෙන හිටියත්, තමන්ගේ නීත්‍යානුකූල අගමැතිකම රැක ගන්න ඔහු ලොකු සටනක් කළේ නැහැ. ඔහු කළේ බටහිර රටවලට නඩු කියන එක පමණයි. අඩු වශයෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ හෝ නැහැ. තත්ත්වය වෙනස් වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුනේ ජවිපෙත්, ආණ්ඩුව ඇතුළේ සිටි චම්පික හා රාජිත වැනි අයත් සක්‍රිය වීමයි. ඔවුන් එසේ සක්‍රිය වුනේ රටේ බොහෝ මිනිසුන් මේ අවස්ථාවේදී සංවේදී වූ නිසා විය හැකියි. එසේ නැතත්, ඔවුන් එසේ සක්‍රිය වීම ප්‍රයෝජනවත් වුනේ රටේ බොහෝ මිනිසුන් මේ වෙලාවේ සංවේදී හා සක්‍රිය වූ නිසයි.
අවසානයේදී දින පනස් එකකින් පසු එම ආණ්ඩුව බිඳ වැටුණා. ඒ වෙලාවේ එකට එකතු වූ බලවේග නැවත විසිරී ගියා. දිගුකාලීනව එජාපයට ලොකු වාසියක් හෝ පොදුජන පෙරමුණට ලොකු අවාසියක් වුනේ නැහැ. නමුත්, යම් හෙයකින් රාජපක්ෂලාට තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මිල දී ගත හැකි වුනානම් තත්ත්වය වෙනස් වෙනවා. රාජපක්ෂලා විසින් බලෙන් ගත් ආණ්ඩුව වැඩි කලක් පැවතුනානම් රාජපක්ෂ විරෝධීන් දිගටම එක්ව කටයුතු කිරීම හා රාජපක්ෂ විරෝධය එන්න එන්නම වර්ධනය වීමත් සිදු වෙනවා. අරලියගහ මන්දිරයට පහර දී රනිල්ව ඉවත් කළානම් තත්ත්වය බොහෝ සේ වෙනස් වෙනවා. ඉතා පහසුවෙන් විදේශ මැදිහත්වීමකට අවස්ථාව සැලසෙනවා. එවැන්නක අවසන් ප්‍රතිඵලය හිතා ගන්නත් අමාරු තරම් භයානකයි.
ඔක්තෝබර් කුමන්ත්‍රණය හා එය බිඳ වැටීම නිසා එක් එක් පාර්ශ්ව වලට සිදු වූ වාසි අවාසි ඇස්තමේන්තු කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක්. ඒ වගේම, සමහර සැලසුම් වෙනත් සැලසුමක ප්‍රතිඵලයක් විය හැකි බව කූඹියෝ බලපු අය දන්නවා. ඔක්තෝබර් කුමන්ත්‍රණය සැලසුම් වුනේ කොහොමද කියන එක බොහෝ විට කවදාවත් හරියටම දැනගන්න නොලැබෙන්න පුලුවන්.
Labels:
ඉන්දියාව,
දේශපාලන අර්බුදය,
දේශපාලනය,
නලින් ද සිල්වා
Monday, October 21, 2019
කෘතිම බුද්ධිය සහ වගවීම
පසුගිය (2019) මාර්තු 10 වෙනිදා අනතුරට පත් වූ ඉතියෝපියානු ගුවන් යානය ගැන මෙය කියවන ගොඩක් අයට තවමත් මතක ඇති. ගුවන් ගත වී ටික වෙලාවකින් කඩා වැටුණු මේ යානයේ ගමන් කළ ගුවන් නියමුවන්, සේවකයින් හා රටවල් 35ක මගීන් ඇතුළු 157 දෙනෙකු මේ ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුනා. ඊට මාස කිහිපයකට පෙර, 2018 ඔක්තෝබර් 29 වෙනිදා මේ ආකාරයටම කඩා වැටුණු ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් අනතුරෙන්ද 189 දෙනෙකු මිය ගියා.
මේ අනතුරු දෙකටම හේතු වී තිබෙන්නේ ගුවන් යානයේ ස්වයංක්‍රීය පාලකයට එහි සංවේදකයක් මගින් වැරදි තොරතුරු ලබා දීම හා එම වැරදි තොරතුරු මත පදනම්ව අදාළ ගුවන් යානා වල ස්වයංක්‍රීය පාලක මගින් දිගින් දිගටම වැරදි තීරණ ගැනීමයි. ගුවන් නියමුවන් විසින් ස්වයංක්‍රීය පාලක අකර්මන්‍ය කර තත්ත්වය නිවැරදි කිරීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. එකම හේතුවක් නිසා සිදු වූ ඉහත අනතුරු දෙක නිසා වටිනා ජීවිත 346ක් අහිමි වුනා. මේ ජීවිත වලට වග කියන්නේ කවුද?
ඉහත උදාහරණය කෘතිම බුද්ධි භාවිතය නිසා ඇති වී තිබෙන වගවීම පිළිබඳ ගැටළුවක් කියා කිව හැකියි.
මේ වන විට ගුවන් යානාවක් ගුවන් ගත කිරීමෙන් පසුව එහි පාලනය බොහෝ දුරට සිදු වන්නේ ස්වයංක්‍රීය ලෙසයි. ගුවන්ගත කිරීම හෝ ගොඩබැස්වීම නියමුවෙකුගේ සහායෙන් සිදුවුනත්, එහිදීද නියමුවා විසින් සෑහෙන තරමකින් ස්වයංක්‍රීය පාලක පද්ධතියේ සහාය ලබා ගන්නවා.
ඉතාම නුදුරු කාලයකදී ඇමරිකාවේ මාර්ග වල දිවෙන වාහන විශාල ප්‍රමාණයක් රියැදුරෙකු නැතිව ධාවනය වන ඒවා වන බව පැහැදිලියි. මෙවැනි වාහනයක් අනතුරට ලක් වූ විට වගවීම තිබෙන්නේ කා අතේද?
රියැදුරෙකු නැතිව ස්වයංක්‍රීය ලෙස ධාවනය වන වාහනයක් අනතුරට ලක් වෙන්න තිබෙන සම්භාවිතාව මිනිස් රියැදුරෙකු විසින් එළවන වාහනයක එම සම්භාවිතාවට වඩා ගොඩක් අඩුයි. එහෙත්, එය සිදු විය හැකියි. මේ වගේ වෙලාවක අතතුර සම්බන්ධ වගවීම තිබෙන්නේ වාහනය නිපදවූ සමාගමටයි. මෙය තරමක් සංකීර්ණ තත්ත්වයක්. අප ජීවත් වන්නේ රිය අනතුරක් සිදු වූ පසු රියැදුරා අල්ලාගෙන තඩිබෑම, රියැදුරා පලායාමෙන් පසුව වෙනත් අයෙකු ඉදිරිපත් වී අනතුරේ වගකීම ගැනීම වැනි දේත් සිදුවන ලෝකයකයි.
මිනිසෙකු විසින් කරන වැඩක් යන්ත්‍රයකට භාර දීමෙන් අනතුරුව කිසියම් වැරැද්දක් වුනොත් වැරැද්දට චෝදනා කර අල්ලාගෙන තඩිබාන්න කෙනෙක් නැහැ. ඇඳුම් ටික හෝදලා නැත්නම් භාර්යාවට අල්ලගෙන තඩිබාන්න පුළුවන් වුනත් (මේ වගේ දේවල් වෙන ලෝකයකනේ අපි ජීවත් වෙන්නේ!) රෙදි සෝදන යන්ත්‍රයේ දෝෂයක් ඇති වූ විට යන්ත්‍රයට තඩිබාලා වැඩක් නැහැ. නමුත්, මෙය රෙදි සෝදන යන්ත්‍රයක් නොගෙන ඉන්න හේතුවක් නෙමෙයි.
වැදගත් වෙන්නේ රෙදි ටික හේදිලා නැති වෙලාවක වැරැද්දට වගවෙන, චෝදනා කළ හැකි, නිශ්චිත පුද්ගලයෙකු සිටීම නෙමෙයි. වැරැද්ද සිදුවීමේ ඉඩකඩ හැකි තරම් අඩුවීමයි.
රාජ්‍ය පාලනයත් එක අතකින් ගුවන් යානයක් පියාසර කරවනවා වැනි වැඩක්. නියමුවා විසින් කරන පොඩි වැරැද්දක් නිසා විශාල ජීවිත ගණනක් අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා, යානය පියාසර කරන්න නියමුවෙකු තෝරා ගැනීමේදී මේ විදිහට තෝරා ගන්නා නියමුවා අතින් වැරදි හෝ අත්වැරදි සිදුවෙන්න තිබෙන ඉඩකඩ ගැන හැකි තරම් සැලකිලිමත් විය යුතුයි. යානය ගුවන්ගත වුනාට පස්සේ නියමුවා මාරු කරන්න බැහැ.
අද නොහැකි වුවත් අනාගතයේදී හෝ කෘතිම බුද්ධිය යොදාගනිමින් මිනිස් නියමුවෙකුට වඩා හොඳින් රාජ්‍ය පාලනය පිළිබඳ වැදගත් තීරණ ගන්න පුළුවන් විය හැකියි. රාජ්‍ය පාලනය කියන්නේ ගුවන් යානයක් පියාසර කරනවාට වඩා ගොඩක් සංකීර්ණ හා ඉතා විශාල පිරිසකට බලපෑමක් සිදුවන කාර්යයක් කියා කාට හෝ කියන්න පුළුවන්. මේ කටයුත්තේදී කෘතිම බුද්ධිය මිනිස් පාලකයින්ට වඩා සාර්ථක වෙන්න ඉඩ තියෙන්නේමත් ඒ නිසාමයි. තීරණයක් ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු සංකීර්ණ වන තරමට නිසි පරිදි සැලසුම් කළ කෘතිම බුද්ධි වැඩසටහනක් එක් මිනිස් මොළයකට හෝ පොදුවේ මිනිස් මොළයට වඩා කාර්යක්ෂම වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.
එවැනි කෘතිම බුද්ධි වැඩසටහනකට වුවත් වරදින්න පුළුවන්. ඒ වගේ වෙලාවක වැරැද්ද පටවන්න පුද්ගලයෙක් නැති වෙනවා. නමුත්, වැදගත් වෙන්නේ වැරදි වෙන්න ඉඩහැර කාට හෝ වැරැද්ද පැටවීම නෙමෙයි. යහපාලන ආණ්ඩුව පිටින් වැරැද්ද දැම්මත්, ඊට කලින් හිටපු රාජපක්ෂලා පිට වැරැද්ද දැම්මත්, අවුරුදු 71ක් රට පාලනය කරපු සියලුම පාලකයින් පිට වැරැද්ද දැම්මත්, ඊටත් කලින් හිටපු සුද්දන් පිට වැරැද්ද දැම්මත් වැරැද්දක් වුනාට පස්සේ එයින් ඇති වැඩක් නැහැ. වැදගත් වෙන්නේ අනාගතයේදී වැරදි අඩුවෙන් සිදු වෙන බවට වග බලා ගැනීමයි.
කෘතිම බුද්ධිය යොදාගනිමින් රාජ්‍ය පාලනයේදී සිදුවන වැරදි අවම කර ගන්නේ කොහොමද? කෘතිම බුද්ධිය යොදාගනිමින් රාජ්‍ය පාලන ක්‍රමවේදයේ තිබෙන අඩුපාඩු අවම කර ගන්නේ කොහොමද?
පළමුවෙනි ප්‍රශ්නයට පිළිතුරු දීම සාපේක්ෂව පහසුයි. එහෙත්, දෙවන ප්රශ්නය වඩා ගැඹුරු ප්‍රශ්නයක්. ඒ ප්රශ්නය කෘතිම බුද්ධිය හමුවේ ප්රජාතන්ත්රවාදය ලෙස තරමක් පටු ලෙස ස්ථානගත කරන්නත් පුළුවන්.
අද වන විට ප්රජාතන්ත්රවාදය වඩාත්ම සාර්ථක දේශපාලන ආකෘතිය සේ සැලකෙනවා. අනෙකුත් විකල්ප වලට සාපේක්ෂව ප්රජාතන්ත්රවාදය සතු සාධනීය අංග රාශියක් තිබෙනවා. යම් සීමාවන් තිබුණත්, ප්රජාතන්ත්රවාදය යටතේ සෑම පුද්ගලයෙකුගේම කැමැත්තට සමාන වටිනාකමක් ලැබෙනවා. නමුත්, එය එසේ වූ පමණින් වඩා ප්රජාතන්ත්රවාදී විසඳුම හැම විටම වඩා කාර්යක්ෂම විසඳුම වෙන්නේ නැහැ.
මූලධර්මයක් සේ සැලකුවහොත්, ප්රජාතන්ත්රවාදය කියා කියන්නේ සියලු දෙනාගේම අදහස් සාකච්ඡාවට බඳුන් කර සියලු දෙනා විසින්ම වඩාත්ම හොඳ තීරණයකට එළැඹීමයි. ප්‍රායෝගිකව බොහෝ අවස්ථා වලදී සියලු දෙනාටම එකම තීරණයකට එකඟ වෙන්න බැහැ. ඒ වගේ වෙලාවක සිදු වන්නේ බහුතරයේ තීරණයට සියලු දෙනාම එකඟ වීමයි. බහුතරයේ තීරණය නිගමනය කෙරෙන්නේ ඡන්ද විමසීමක් හරහා. එහිදී සෑම අයෙකුටම එක් ඡන්දයක් හිමි වෙනවා.
සමහර වෙලාවට බහුතර මතය මගින් නියෝජනය වෙන්නේ හොඳම විකල්පය නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිසියම් වෙනසක් කිරීම සඳහා දහ දෙනෙකුගේ කැමැත්ත විමසන අවස්ථාවක් ගැන හිතමු. දහ දෙනාගෙන් හතර දෙනෙකුට මේ වෙනස නිසා රුපියල් පහ බැගින් වාසි සැලසෙනවා. ඉතිරි හය දෙනාට රුපියල බැගින් පාඩු වෙනවා. සමස්තයක් ලෙස රටට රුපියල් 14ක වාසියක් තිබෙනවා. නමුත්, මේ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වෙන්න ඉඩක් නැහැ.
කෙනෙකු ඡන්දය දෙන ආකාරය දෙස බලා ඔහුගේ හෝ ඇයගේ වැඩිම කැමැත්ත තිබෙන විකල්පය දැනගන්න පුළුවන්. එහෙත්, ඔහු හෝ ඇය දෙවනුවට කැමති විකල්පයට වඩා පළමු විකල්පයට කොතරම් කැමතිද කියන එක දැන ගන්න බැහැ. ඒ නිසා, වැඩි පිරිසකට සුළු වාසියක් තිබෙන ක්‍රියාමාර්ග ප්රජාතන්ත්රවාදය තුළ ඉදිරියට එන නමුත් අඩු පිරිසකට විශාල වාසි තිබෙන විකල්ප යටපත් වෙනවා.
එහෙමනම්, ඒකාධිපති ක්‍රමයක් වඩා කාර්යක්ෂමද? ඇතැම් තත්ත්වයන් යටතේදී එහෙම වෙන්න පුළුවන්. ඉහත උදාහරණයේදී රටේ එක් එක් පුද්ගලයාට තිබෙන වාසි අවාසි ඇස්තමේන්තු කර, ඒ වාසි අවාසි තුලනය කර හොඳම විකල්පය තෝරා ගැනීම, සෛද්ධාන්තිකව හිතුවොත්, ඒකාධිපතියෙකුට කළ හැකි දෙයක්. නමුත්, ප්‍රායෝගිකව එවැන්නක් කළ හැකි තරමේ විශ්ලේෂණ හැකියාවක් කිසිදු තනි පුද්ගලයෙකුට නැහැ.
ප්රජාතන්ත්රවාදය යටතේ වුවත් රජය කියන ආයතනය විසින් කරන්න උත්සාහ කරන්නේත් ඉහත කී ආකාරයයේ කටයුත්තක්. මේ විශ්ලේෂණය තනි පුද්ගලයෙකුට කළ නොහැකි නිසා රජය කියන ආයතනික ලේබලය යටතේ විශාල පිරිසක් එකතු වී ඔය විශ්ලේෂණය කර හොඳම තීරණ ගන්නවා. අඩු වශයෙන් සෛද්ධාන්තිකව සිදු වෙන්නේ එයයි.
කෙසේ වුවත්, රජයකට වැඩි දෙනෙකු අකැමැති දේවල් කරන්න බැහැ. ඒ නිසා, මොන විශ්ලේෂණය කළත් කිසියම් ක්‍රියා මාර්ගයක් අවසන් වශයෙන් සාර්ථකව ක්‍රියාත්මක කළ හැක්කේ වැඩි දෙනෙකුගේ කැමැත්ත ලැබේනම් පමණයි. වැඩි දෙනෙකුට වාසි සැලසේනම් වැඩි දෙනෙකුගේ කැමැත්ත ලබාගත හැකියි.
නිසි විශ්ලේෂණයක් කිරීමෙන් පසුව, කිසියම් විකල්ප ක්‍රියා මාර්ගයකින් සමස්තයක් ලෙස වාසියක් ලැබෙන බව පෙනේනම් ඒ වාසිය වැඩි දෙනෙකු අතර බෙදී යන ආකාරයේ වෙනසක් කිරීම සුළු දෙයක්. ඉහත උදාහරණයේ වාසි ලබන හතර දෙනාගෙන් රුපියල් තුන බැගින් එකතු කරගෙන ඒ රුපියල් 12 ඉතිරි හය දෙනා අතර රුපියල් දෙක බැගින් බෙදා දෙන ආකාරයට යෝජනාව සංශෝධනය කළොත් හතර දෙනෙකුට රුපියල් දෙකක බැගින් වාසියකුත්, හය දෙනෙකුට රුපියල බැගින් වාසියකුත් ලැබෙන නිසා යෝජනාවට කාගේත් කැමැත්ත ලැබෙනවා.
බැලූ බැල්මටම පෙනෙන්නේ රජයට මැදිහත් වී පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කළ හැකි බවයි. නමුත්, මෙය කරන්න පළමුව කිසියම් වෙනසක් කිරීමෙන් රටේ එක් එක් පුද්ගලයාට තිබෙන වාසි අවාසි නිවැරදිව ගණනය කළ යුතුයි. ඒ වාසි හැම විටම මුදල් වාසිම නොවන නිසා මෙය කළ හැක්කේ කවර හෝ ආකාරයකින් හැම පුද්ගලයාගේම රුචිකත්වය දැනගත හැකිනම් පමණයි. නෙළුම් කුළුණට ජීවිතේට නොයන කෙනෙක් නෙළුම් කුළුණ නිසා සතුටු වෙනවා වෙන්න පුළුවන්. මේ ආකාරයට එක් එක් පුද්ගලයාගේ වාසි අවාසි නිවැරදිව දැනගත හැකිනම්, ඒ තොරතුරු මත පදනම්ව විශ්ලේෂණ කිරීම සාපේක්ෂව අමාරු නැහැ.
රටක සෑම පුද්ගලයෙකුගේම රුචි අරුචිකම් දැන ගැනීම අසීරුයි. නියෝජිත ප්රජාතන්ත්රවාදය තුළ මහජන නියෝජිතයන්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ තමන් විසින් නියෝජනය කරන ප්රජාවන්ගේ රුචි අරුචිකම් හඳුනාගෙන සන්නිවේදනය කිරීමේ අසීරු කාර්යයයි. මහජන නියෝජිතයින් මෙන්ම රජයේ නිලධාරීන් විශාල පිරිසක් විසින්ද මේ කාර්යය කරනවා. ප්රශ්නය තිබෙන්නේ මේ සියලු පිරිස් නඩත්තු කිරීම සඳහා දැරිය යුතු වියදමේ.
ඉහත උදාහරණයට නැවත ආවොත්, සමස්තයක් ලෙස ලැබෙන රුපියල් 14ක වාසිය වෙනුවෙන් රජයේ වියදම් ලෙස රුපියල් 20ක් වැය වුනොත්, මේ දහ දෙනාට ඒ වියදම රුපියල් දෙක බැගින් දරා ගන්න වෙනවා. අන්තිමේදී කිසිවෙකුට අවාසියක් මිස වාසියක් සිදු වී නැහැ. ඒ වගේම, රජය විසින් සෛද්ධාන්තිකව යෝජනා කළ හැකිව තිබෙන ප්රශස්ත විසඳුම රජයේ මැදිහත්වීමක් නැතිවම ඉදිරිපත් විය හැකියි. සභාකක්ෂ මන්ත්‍රණ කණ්ඩායම් (lobby groups) හරහා සිදුවෙන්නේ එයයි. ඉහත උදාහරණය වෙත ආවොත්, රජයේ මැදිහත්වීම අවම වටාපිටාවක ඉහත යෝජනාවෙන් වාසි ලබන හතර දෙනා විසින් ඉතිරි අයව යෝජනාවට එකඟ කර ගැනීමේ අරමුණින් ඔවුන්ට රුපියල් දෙක බැගින් දෙන්න කැමති වෙන්න පුළුවන්. එවිට රජය නඩත්තු කිරීම සඳහා වැය වෙන මුදල්ද ඉතිරි වී, ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුළම අවශ්‍ය කටයුත්ත ඒ අයුරින්ම කෙරෙනවා.
අනෙක් අතට රජයේ මැදිහත්වීම මත හැම දෙයම තීරණය වෙන වටාපිටාවක මෙය සිදු වෙන්නේ වෙනස් ආකාරයකටයි. යෝජනාවෙන් වාසි ලබන හතර දෙනාට බහුතර කැමැත්ත ලබා ගැනීම පිණිස රුපියල් 12ක් වැය කරනු වෙනුවට තීරණය ගැනීමේ බලය තිබෙන පුද්ගලයා හෝ පිරිස පොළඹවාගෙන අඩු වියදමකින් තමන්ට අවශ්‍ය කටයුත්ත කරගන්න පුළුවන්. මේ උදාහරණයේදීනම් එහෙම කළා කියා සමස්තයක් ලෙස නරකක් වෙන්නේ නැහැ. එහෙත්, සමස්තයක් ලෙස අවාසියක් වන තීරණයකදී වුවත් සුළු වාසියක් ලබන පිරිසකට ඔය වැඩේම කරන්න පුළුවන්.
කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් රජයයන් විසින් කරන තොරතුරු එකතු කිරීම, විශ්ලේෂණය කිරීම හා තීරණ ගැනීම වඩා කාර්යක්ෂමව කළ හැකියි. මෙහිදී කාර්යක්ෂමතාවය යන්නෙන් අදහස් කළේ අඩු කාලයකින් හා වැඩි නිරවද්‍යතාවයකින් කියන එකයි. ඇතැම් කටයුතු වලදී මෙය අඩු වියදමකින්ද කළ හැකියි. නමුත්, මේ වාසි ලබා ගන්නනම් වගවීම කියන එක අමතක කර තීරණ ගැනීම කෘතිම බුද්ධිය වෙතම පවරා මිනිස් පාලකයින් තීරණ ගැනීමේ කටයුත්තෙන් ඉවත් විය යුතුයි. එසේ නැතිව, තොරතුරු එකතු කිරීම හා විශ්ලේෂණය කිරීම පමණක් කෘතිම බුද්ධිය වෙත පවරා ඒ මත පදනම්ව තීරණ ගැනීම නායකයෙකු වෙත ඉතිරි කර ගත්තොත් වෙන්නේ බලයෙන් පහ කිරීම ඉතා අසීරු මහා බලසම්පන්න ආඥාදායකයෙකු ගොඩ නැගෙන එකයි.
(Image: https://www.forbes.com/sites/cognitiveworld/2019/02/25/troubling-trends-towards-artificial-intelligence-governance/#6e3d319f25a5)
Labels:
කෘතිම බුද්ධිය,
දේශපාලනය,
ප්රජාතන්ත්රවාදය,
වගවීම
Tuesday, October 15, 2019
කෘතිම බුද්ධිය හා නියෝජිත ප්රජාතන්ත්රවාදය
සජිත්ලාගේ මෙගා මයින්ඩ්ස් තොරණ ගැන ලියපු ලිපිය හා අදාළව ප්‍රතිචාරයක් දමමින් පරිණත බ්ලොග්කරුවෙකු වන ජාලිය විසින් ප්‍රශ්නයකින් අවසන් වන පහත කමෙන්ටුව වත්පොතේ දමා තිබුණා.
"මට එකපාරටම මතක් උනේ අර දොස්තර හොඳ හිත කාටුන් එකේ කැප්ටන් දියරකුස්ගේ ආර් ටූ ඩී ටූ කොම්පියුටර් එක...මට මේ විහිලුවට වඩා ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. කෘතිම බුද්ධිය භාවිතය නියෝජිත ප්රජාතන්ත්රවාදය හා ගැලපෙන්නේ කොහොමද..ඒ තීරණවලට වගවීම ගලපා ගන්නේ කොහොමද කියන එක මොකක්ද ඔබේ අදහස?"
පළමුවෙන් කියන්නේ ඕනෑ, සජිත්ගේ මෙගා මයින්ඩ්ස් තොරණ කිසිසේත්ම කෘතිම බුද්ධිය රාජ්‍ය පාලනය සඳහා යොදා ගැනීමක් නෙමෙයි. තොරණේ විච්චූරණ ටික අයින් කළොත්, තොරණ පිටුපස්සේ තිබෙන සංකල්පය ඇතුළේ රාජ්‍ය පාලනය සඳහා වඩා පුළුල් පදනමකින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය යොදාගැනීම කියන අදහස තියෙනවා. එය හොඳ අදහසක්. නමුත්, අලුත් අදහසක් නෙමෙයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය යොදාගැනීම කියන්නෙත් කෘතිම බුද්ධිය යොදා ගැනීම කියන්නෙත් කරුණු දෙකක්.
කෘතිම බුද්ධිය කියන වචනයෙන් සාමාන්‍යයෙන් පොදුවේ අදහස් වන්නේ මෙතෙක් මිනිස් මොළය යොදවා සිදු කළ ඇතැම් කටයුතු හා ගත් තීරණ පරිගණකයකට භාර දීමයි. එසේ මිනිස් මොළය වෙනුවට පරිගණකයක් ආදේශ කිරීමෙන් අපේක්ෂා කරන වාසි අතර වැඩි නිරවද්‍යතාවය, වේගය හා අඩු වියදම කියන කරුණු තුනෙන් එකක් හෝ කිහිපයක් තිබෙනවා. නැත්නම් තේරුමක් නැහැනේ.
මානව ඉතිහාසයේ අති දීර්ඝ කාලයක් පුරාවට මිනිසුන්ගේ නිෂ්පාදන ධාරිතාව මාංශ පේශි වල ශක්තිය විසින් සීමා කෙරුණා. කොයි තරම් ශක්තිමත් මිනිසෙකුට වුවත් යෙදවිය හැකි වූ උපරිම ශක්තිය ප්‍රමාණවත් වුනේ සීමිත නිෂ්පාදන කාර්යයක් සඳහා පමණයි. මාංශ පේශි වල ශක්තිය වැය වන විට නැවත ඒ ශක්තිය ප්‍රතිස්ථාපනය කර ගැනීම සඳහා හදපු නිෂ්පාදන වලින් විශාල කොටසක් නැවත වැය කිරීම අවශ්‍ය වූ නිසා මේ යුගයේදී ප්රාග්ධනය එකතු කර ගැනීම පහසු කටයුත්තක් වුනේ නැහැ. බොහෝ විට යමෙකුට එසේ කළ හැකි වුනේ වෙනත් අයෙකුගේ මාංශ පේශි ශක්තිය යොදවා හදන නිෂ්පාදනයක අතිරික්තය "සූරාකෑම" මගිනුයි.
එහෙත් මේ වන විට නිෂ්පාදන කාර්යයන් සඳහා මාංශ පේශි වල ශක්තිය යොදා ගැනෙන්නේ ඉතාම සීමිතවයි. සමාජයක් විදිහට අප සතු නිෂ්පාදන ධාරිතාව ලෝකයේ සියලුම මිනිසුන්ගේ මාංශ පේශි වල ශක්තිය යොදවා කළ හැකි උපරිම නිෂ්පාදනය මෙන් සිය දහස් ගුණයක්. අපි දැන් කරන්නේ අපේ මාංශ පේශි වලට නිවාඩු දී යන්ත්‍ර සූත්‍ර විසින් අප විසින් කලින් කළ දේවල් කරන හැටි බලා ඉන්න එකයි. සතියක් පුරා ඇඳපු කිළුටු රෙදි ටික එකතු කර ගෙන ගඟට ගිහින් ගලේ ගසා අතුල්ලා සෝදා අවුවේ දමා වේලාගන්න කාලය නොයොදවා රෙදි සෝදන හා වේලන යන්ත්‍රයක් විසින් ඒ කටයුතු කර දෙන තුරු පැත්තකට වී විවේක ගන්න දැන් අපට පුළුවන්. එසේ වුවත්, මේ යන්ත්‍ර වලට හිතන එක හෝ තීරණ ගන්න එක කරන්න බැහැ. ඒ නිසා, හිතන්න හෝ තීරණ ගන්න අවශ්‍ය කාර්යයන් අප විසින්ම කර ගත යුතුයි.
කෘතිම බුද්ධිය යොදා ගැනීමේදී වෙන්නේ මෙතෙක් අප විසින්ම කර ගත් හිතීමට හා තීරණ ගැනීමට අවශ්‍ය කටයුතුත් යන්ත්‍ර වලටම පැවරීමයි. එහෙත්, එක දෙයක් පැහැදිලි කළ යුතුයි. පරිගණකයකට හෝ වෙනත් යන්ත්‍රයකට මිනිසෙකුට මෙන් හිතන්න බැහැ. කෘතිම බුද්ධිය කියා කියන්නේ මිනිසුන් විසින් කරන හිතීමට හා තීරණ ගැනීමට ආදේශකයක් වුවත් යන්ත්‍රයක් විසින් මිනිසෙකු මෙන් හිතීම හෝ තීරණ ගැනීම නෙමෙයි. බොහෝ විට කෘතීම බුද්ධිය කියන එකෙන් අදහස් වෙන්නේ ඇතැම් කාර්යයන්හිදී මිනිස් මොළයට වඩා කාර්යක්ෂම ඉතා සංකීර්ණ පරිගණක වැඩ සටහනක්.
උදාහරණයක් විදිහට කෘතිම බුද්ධිය භාවිතයෙන් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් පෙන්වන්න පුළුවන්. වාහනයක් ධාවනය කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක්. ඒ සඳහා අඛණ්ඩ අවධානය සමඟ ක්ෂණික විශ්ලේෂණ හා තීරණ ගැනීමේ හැකියාව රියැදුරෙකුට අවශ්‍යයි. මේ වන විට මේ සියල්ල මිනිසෙකුට වඩා හොඳින් පරිගණකයකට කළ හැකියි.
තවත් උදාහරණයක් විදිහට ගුවන් තොටුපලකදී ගමන් බලපත්‍රය හා වීසා පරීක්ෂා කර රටට ඇතුළු වෙන්න අවසර දීමේ කාර්යය පෙන්වන්න පුළුවන්. දැනටමත් කෙරෙන මෙවැනි කටයුතු වලට අමතරව කෘතීම බුද්ධිය යොදාගෙන වෛද්‍යවරයෙකු විසින් කරන රෝග විනිශ්චය වැනි දේවල් වුවත් කළ හැකියි.
රාජ්‍ය පාලනයේදී කෘතිම බුද්ධිය යොදා ගත හැක්කේ කවර ආකාරයකටද?
මෙහිදී අප විසින් මුලින්ම විමසිය යුත්තේ රාජ්‍ය පාලනයේදී කෘතිම බුද්ධිය යොදා ගත යුත්තේ කවර තත්ත්වයන් යටතේද කියන එකයි. මුලින් කියූ පරිදි, රාජ්‍ය පාලනය සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් නිරවද්‍යතාවය, වේගය හා අඩු වියදම කියන වාසි තුනෙන් එකක් (හෝ කිහිපයක්) ලැබෙන්න පුළුවන්. කෘතිම බුද්ධිය යොදා ගැනීම නිසා වියදම අඩු වෙනවානම් එහි ගැටළුවක් නැහැ. එහෙත්, ලැබෙන්නේ මුල් වාසි දෙකෙන් එකක්නම් ඒ වාසි වෙනුවෙන් කොපමණ මුදලක් වැය කළ යුතුද කියන එක ගැන රජයක් විසින් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වැඩි වූ නිරවද්‍යතාවයේ හෝ වේගයේ වාසිය වෙනුවෙන් වැඩි වූ පිරිවැය දරන්න රටේ මිනිස්සු සූදානම්ද කියන එකත් සොයා බැලිය යුතුයි. එසේ නැතිව රජයක් විසින් කෘතිම බුද්ධිය යොදා ගැනීමේ අරමුණින් කෘතිම බුද්ධිය යොදා ගැනීම තේරුමක් නැති සෝබන වැඩක් හා මුදල් නාස්තියක් පමණයි.
කෘතිම බුද්ධිය යොදාගෙන රජයකට වියදම් අඩු කර ගත හැක්කේ, එහෙම නැත්නම් ආදායම් ඉහළ නංවා ගත හැක්කේ කවර ආකාර වලින්ද කියන එකත්, ජාලියගේ ප්රශ්නයේ හරය වන නියෝජිත ප්රජාතන්ත්රවාදය හා වගවීම මෙයට සම්බන්ධ වන ආකාරය ගැනත් කතා කිරීම පසුවට තබමු.
Labels:
කෘතිම බුද්ධිය,
තාක්ෂනය,
දේශපාලනය,
ප්රජාතන්ත්රවාදය
Monday, October 14, 2019
තනපට අහසට No BRA day
අවුරුදු හතරකට පෙර එන්රිකේ ඉග්ලේශියස් ලංකාවට ආපු වෙලාවේ තරුණියන් කිහිප දෙනෙකු විසින් තනපට ගලවා විසි කිරීම බොහෝ කතාබහට ලක් වූ සිදු වීමක්. මේ සිදුවීමට වඩාත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණේ ජනාධිපති සිරිසේනගේ මඩු වලිග කතාවත් එයට එකතු වූ නිසයි.
ඊයේ (ඔක්තෝබර් 13) දිනය උතුරු ඇමරිකාවේ කාන්තාවන් රැසක් තනපටයක් නොපැළඳ සැහැල්ලුවෙන් සිටි දිනයක්. හැබැයි ඒ එන්රිකේ වැනි ගායකයෙකුගේ ගීයක් අසා කුල්මත් වූ නිසා නෙමෙයි. No BRA day ලෙස නම් කර තිබෙන මේ දිනයේ තමන්ගේ පියයුරු ගැන වැඩි අවධානයක් යොමු කරමින්, පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ ඇත්දැයි හඳුනා ගැනීම දිරි ගන්වනු ලබන නිසයි. ඒ වගේම පියයුරු පිළිකා ගැන අවධානය යොමු කෙරෙමින් පියයුරු පිළිකා පර්යේෂණ සඳහා මුදල් ආධාර එකතු කිරීමද මෙදින සිදු වෙනවා. ඔක්තෝබර් මාසය ඇමරිකාවේ මෙන්ම ලංකාවේද පියයුරු පිළිකා ගැන දැනුවත් වීමේ ජාතික මාසයද වෙනවා.
මේ දිනය මුලින්ම නම් කෙරී තිබෙන්නේ BRA day හෙවත් පියයුරු පිළිසකර කිරීම් පිළිබඳව දැනුවත් කිරීමේ (Breast Reconstruction Awareness) දිනය ලෙසයි. එහි අරමුණ වී තිබෙන්නේ සුවය ලැබූ පියයුරු පිළිකා රෝගීන්ව පියයුරු පිළිසකර කර ගැනීම පිණිස උනන්දු කරවීමයි. පසුව මේ දිනය වඩා පුළුල් අරුතක් සහිතව No BRA day ලෙස විකාශනය වී තිබෙනවා.
පසුගිය 2018 වසර තුළ පමණක් ලංකාවෙන් පිළිකා රෝගීන් 23,530 දෙනෙකු හඳුනාගනු ලැබුණා. ඒ අතරින් වැඩිම පිරිසක් හෙවත් 3,091ක් පියයුරු පිළිකා රෝගීන්. පිළිකා රෝගීන් ලෙස හඳුනාගත් කාන්තාවන් අතරින් 24%ක්ම පියයුරු පිළිකා රෝගීන්. වසර තුළ පිළිකා හේතුවෙන් සිදුවූ මරණ ගණන 14,013ක්. ඒ අතරින් 1,183ක් පියයුරු පිළිකා හේතුවෙන් සිදු වූ මරණ.
මුල් අදියරේදී හඳුනා ගතහොත් පියයුරු පිළිකා ඇතුළු ඕනෑම පිළිකාවකට ප්‍රතිකාර කිරීම පහසුයි. පියයුරු පිළිකාවක ලක්ෂණ මුල් අදියරේදීම හඳුනා ගැනීම පිණිස අඩු වශයෙන් මසකට වරක්වත් තමන්ගේ පියයුරු වල ගැටිත්තක් හෝ අසාමාන්‍ය තද ගතියක් ඇති තැනක් ඇත්දැයි විමසිලිමත් වීම නිර්දේශ කෙරෙන අතර මාස් ශුද්ධියෙන් පසු දහවන දිනයේ හෝ එවැනි නිශ්චිත දිනයක මේ ස්වයං පරීක්ෂාව සිදු කිරීම වඩා යෝග්‍ය බව පැවසෙනවා.
මේ ස්වයං-පරීක්ෂාව කරන ආකාරය පිළිබඳව ලංකාවේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ උපදෙස් පහත තිබෙනවා.
Sunday, October 13, 2019
ඇල්පිටි වැල්ලට නොආ රැල්ල
ටික කලක සිට සජිත් පාක්ෂිකයින් විසින් සජිත් රැල්ලක් ගැන කතා කරමින් හිටියා. මෑතකාලීනව දේශපාලන අදහස් අතින් සජිත්ට සමාන සේ සැලකිය නොහැකි මංගල, චම්පික වගේ පිරිසුත් මේ රැල්ල හමන අතටම හබල් ගාන්න පටන් ගැනීමත් එක්ක රටේ කොහොම වුනත්, එජාපය ඇතුළේ ලොකු සජිත් රැල්ලක් ඇති වුනා. ඒ රැල්ලට අහු වෙලා එජාප ජනාධිපති අපේක්ෂකයා විය හැකිව සිටි අනෙකුත් ප්‍රබල තරඟකරුවන් වූ කරු හා රනිල්ගේ නම් වැල්ලේ දිය වී ගියා. එජාප ගාලුමුවදොර රැළියේදීත් එජාප පාක්ෂිකයින්ගේ උද්යෝගය කැපී පෙනුනා. නමුත්, ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ සජිත් රැල්ලක් පේන්න නැහැ.
ඒ වගේම, පහුගිය කාලයේ මතු වී ආ තවත් රැල්ලක් වුනේ 225ම එපා කියන රැල්ලයි. මේ රැල්ල එක්ක ගොඩයන්න බලාගෙන විවිධ ස්වාධීන අපේක්ෂකයින් විසින් රුවල් දැම්මා. මේ රැල්ල නිසා වඩාත්ම කලබල වුනු අය අතර ජවිපෙ ඉදිරියෙන්ම හිටියා. කලක සිටම ජවිපෙ විසින් උනුත් එපා මුනුත් එපා කියන අදහස සමාජගත කරමින් සිටි අතර ඒ අදහස යම් පිරිසක් විසින් පිළිගත්තා. 225ම එපා කියන අදහස ආවේ උනුත් එපා මුනුත් එපා කියන අදහස වඩා පුළුල් වෙලා උනුත්, මුනුත් ගොඩට අරුනුත් එකතු වෙලයි. මේ රැල්ලත් එක්ක ජවිපෙ එක්තරා උභතෝකෝටිකයට මුහුණ දුන්නා. ජවිපෙට ඉදිරියට යන්න "උනුත් එපා මුනුත් එපා" කියන අදහස ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය වුවත්, ඒ අදහස වර්ධනය වීමේ ස්වභාවික ප්‍රතිඵලයක් විදිහට "225ම එපා" කියන අදහස ප්‍රවර්ධනය වීම වලක්වා ගැනීමේ අභියෝගයට ඔවුන්ට මුහුණ දෙන්න වුනා. ඒ නිසා, ස්වාධීන පුද්ගලයකු සඳහා වූ ඉල්ලීම යටපත් කරමින් පක්ෂ ක්‍රියාකාරිකයෙකු තරඟයට දමන්න ජවිපෙට සිදු වුනා. ජවිපෙ සාමාජිකයින් තුළත් ජනාධිපතිවරණය පිළිබඳ ලොකු බලාපොරොත්තු තිබුණු බව ඔවුන්ගේ ගාලු මුවදොර රැළියෙන් පෙනුණත් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළනම් ජවිපෙ රැල්ලක් පේන්න තිබුණේ නැහැ.
ගෝඨා රැල්ල ඔය දෙකටම වඩා පරණ රැල්ලක්. කලින්ම ආ ගෝඨා රැල්ල කලින්ම බිඳී ගියා. ගෝඨා තරඟයට ඉදිරිපත් වන විට පීක් එක ඉවරයි. නමුත්, ගෝඨා හිටියේ අනෙක් අපේක්ෂකයින්ට වඩා ගොඩක් ඉදිරියෙන්. මගේ තක්සේරුව අනුවනම් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ ගෝඨා රැල්ලක් කියා එකකුත් නැහැ.
පහුගිය දවස් වල මා ලංකාවේ මා සාමාන්‍යයෙන් කතා කරන කිහිප දෙනෙකුට කතා කළා. විවිධ දේශපාලන පක්ෂ වලට කඩේ යන්නන්, රැල්ල හමන අතට ඔරුව පදින්නන් හා නිර්පාක්ෂිකයින් ඇතුළු විවිධ කොටස් ඇතුළත් මේ පිරිස ලංකාවේ දේශපාලන ප්රවණතා ගැන අදහසක් ගැනීම සඳහා ප්‍රමාණවත් නියැදියක් බව බොහෝ වර තහවුරු වී තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණ වලට පෙර මේ පිරිසට කතා කළ විට පොදුජන පෙරමුණ අනපේක්ෂිත ලෙස ඉදිරියට එන බව පෙනුනත්, ඒ වෙලාවේ එවැන්නක් සිදු වේයැයි මට හිතුනේ නැහැ. එහෙත්, මැතිවරණයෙන් පසුව තේරුණේ මගේ නියැදිය මත විශ්වාසය තැබිය හැකිව තිබුණු බවයි.
මෙවර කතා කළ විට පෙනුනේ ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් ඇති බවයි. ඒ වගේම ගෝඨාභය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ කිසියම් වික්ෂිප්ත භාවයක් ඇති බවයි.
ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, මේ රැල්ල තිබෙන්න අරටු බැහැපු එජාප පාක්ෂිකයින් අතරම මිස එයින් පිටත නෙමෙයි. මේ වෙද්දී ගම් වල ඉතිරි වී ඉන්නේ ඉතා සීමිත එජාප පවුල් ගණනක්. ඔවුන් ඉතාම අභියෝගාත්මක තත්ත්වයන් යටතේත් පක්ෂය අත් හැර නොගිය අයයි. රනිල්ගේ නායකත්වය යටතේ මේ පිරිසට ලැබුණු දෙයක් නැහැ. සජිත්ගේ නායකත්වය යටතේ තමන්ට යමක් ලැබෙයි කියා මේ පිරිස හිතනවා. ඒ නිසා, ගම් වල සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, ඒ රැල්ල එජාප ඡන්ද ප්‍රතිශතය ඉහළ දමන මට්ටමකට ඇවිත් නැහැ. සිදු වී තිබෙන්නේ පාක්ෂිකයින්ගේ උද්යෝගය වැඩි වීමක් පමණයි.
ඒ වගේම, ගම් වල බොහෝ දෙනෙක්ට ගෝඨාභය වැදගත් චරිතයක් නෙමෙයි. බොහෝ දෙනෙක්ට ඔහු වැදගත් වන්නේ මහින්දගේ සහෝදරයා හා නියෝජිතයා ලෙසයි. ගම් වල බොහෝ පිරිසක් තවමත් භක්තිමත් මහින්දවාදීන්. මහින්දගේ සහයෝගය ලබන කාට වුවත් මේ පිරිසගේ ඡන්ද ලැබෙනවා. ඇල්පිටියේදී පොදුජන පෙරමුණට ලැබී තිබෙන්නේත් මේ මහින්දවාදීන්ගේ ඡන්දයි.
මේ වන විට එජාපයට හා පොදුජන පෙරමුණට (පැරණි ශ්‍රීලනිපයට) වගේම ජවිපෙටත් රටේ ස්ථිර ඡන්ද පදනමක් තිබෙනවා. ජවිපෙ රැල්ලක් තිබෙනවානම් තිබෙන්නේ මේ ඡන්ද පදනම තුළයි. ඔවුන් මේ ඡන්ද පදනම පුළුල් කරගන්න විශාල උත්සාහයක් දරනවා.
එක පැත්තකින් එජාප හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන විරෝධයට වඩා ලොකු විරෝධයක් ජවිපෙ හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන නිසා ජවිපෙට පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ආකර්ෂණය කර ගැනීම සිහිනයක්. අනෙක් පැත්තෙන්, මේ වෙද්දී එජාපය මොනවා කළත් අත නොහරින පිරිසක් හැර අනෙක් සියලු දෙනාම වගේ එජාපය හැර ගොස් අවසන් නිසා ජවිපෙට ආකර්ශනය කර ගත හැකි ඡන්ද ඒ ගොඩේත් නැහැ. ජවිපෙ විසින් ඉලක්ක කරන්නේ ඔය දෙකටම නැති පිරිසයි.
ජවිපෙ තුළ තිබෙන රාජපක්ෂ විරෝධය එජාප විරෝධයට වඩා වැඩියි. මේ නිසා, කලක සිටම ජවිපෙට රතු අලි ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබලය ගැන ජවිපෙ එතරම් වද වෙන්නේත් නැහැ. ජවිපෙ විසින් දැන් හදාගෙන තිබෙන ජාතික ජන බලවේගයේ ලාංඡනයත් ටිකක් විතර රතු අලියෙක්ගේ රූපයක් වගේ.
ජවිපෙ විසින් මේ වෙලාවේ උත්සාහ ගනිමින් ඉන්නේ සමාජවාදීන්ගේ හෝ ධනපති විරෝධීන්ගේ ඡන්ද ආකර්ශනය කර ගන්න නෙමෙයි. එහෙම කරලා දැන් ඉන්න තැනින් අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි බව ඔවුන් නිවැරදිව අවබෝධ කරගෙන ඉන්නවා. ඇත්තටම කියනවානම් ජවිපෙට දැන් ඇණයක් වී තිබෙන්නේ ඔවුන්ගේම ඉතිහාසයයි. ඒ නිසා, ඔය රතු අලි හංවඩුව එක පැත්තකින් බැලුවහම ජවිපෙට වෙස් වලාගත් ආශීර්වාදයක්. ඇතැම් පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ජවිපෙට මඩ ගහන්න හිතාගෙන විවිධ දේ ප්‍රචාරය කරනවා. එවැනි එක පොස්ටුවක සැබෑ අව්‍යාජ විප්ලවවාදී නායකයින් කියා රෝහණ විජේවීර ඇතුළු පිරිසකුත්, ධනපතියන්ට කඩේ යන නායකයින් කියා අනුර කුමාර ඇතුළු පිරිසකුත් පෙන්වනවා. මම හිතන්නේ මේ වෙලාවේ මේ වගේ පෝස්ට් ජවිපෙට වාසියි.
ඇල්පිටියට නැවත ආවොත්, එහි ප්‍රතිඵලය මා ඉහත සඳහන් කළ ප්‍රවාද සියල්ල සමඟ මනාව සැසඳෙනවා. එජාපය විසින් ලබාගෙන තිබෙන්නේ 2015 ජනවාරියට පෙර ඔවුන් ලබාගත් අවම එජාප ඡන්ද ප්‍රතිශතය පමණයි. ජවිපෙ ලබාගෙන තිබෙන්නේත් ඔවුන්ගේම පාක්ෂික ඡන්ද පමණයි. පොදුජන පෙරමුණ කියලාත් වෙනසක් නැහැ. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් (ඔවුන්ගේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම්ද ඇතුළත්ව) ලබාගත්තේ 41.2%ක ඡන්ද ප්‍රතිශතයක් වුවත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද විසින් 47.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ඇල්පිටිය ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ පොදුජන පෙරමුණ තවමත් ඉන්නේ ඒ මට්ටමට පහළින් බවයි. මෙයින් පෙනෙන්නේ ගෝඨාගමනයෙන් පසුව මහින්දවාදී ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි.
සමස්ත ප්‍රතිඵලයම විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ පොදුජන පෙරමුණේ, එජාප හෝ ජවිපෙ ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි. එසේනම් ඉතිරි ඡන්ද ටික කෝ?
ඇල්පිටිය ඇතුළේනම් මේ ඡන්ද ටික තිබෙන්නේ එජනිස ගොඩේ. නමුත්, මේ එජනිස ඡන්ද ඇත්තටම එජනිස ඡන්දද?
මම හිතන විදිහටනම් මේ ඡන්ද එජනිස ඡන්දම නෙමෙයි. වෙනත් විකල්පයක් නැති තැන පොදුජන පෙරමුණ, එජාප හා ජවිපෙ තුනම එපා වී සිටින පිරිස ඒ විරෝධය පෙන්වීම පිණිස එජනිසය තෝරා ගෙන තිබෙනවා වෙන්න පුළුවන්. වෙනත් අයුරකින් කිවුවොත්, පාවෙන ඡන්ද ටික තියෙන්නේ එජනිස ගොඩේ. ජනාධිපතිවරණයට එජනිස අපේක්ෂකයෙකු ඉදිරිපත්ව නැති පසුබිමක මේ ඡන්ද වල ඉදිරි හැසිරීම ගොඩක් වැදගත්.
ගොඩක් අය චම්පිකව හඳුනා ගන්නේ රැල්ල හමන පැත්ත ගැන ඉවක් තිබෙන දේශපාලනඥයෙකු ලෙසයි. මංගලත් මේ ගොඩට දැමිය හැකි, තියුණු දේශපාලන ඉවක් තිබෙන දේශපාලනඥයෙක්. ඔවුන් සජිත්ගේ පැත්ත ගත්තේ මෙවර ඔවුන්ට ගණන් වැරදුනු නිසාද? පැත්තක සිටින අපට නොපෙනෙන බොහෝ දේ දේශපාලනය ඇතුළේ සිටින ඔවුන්ට පෙනෙන නිසා එය එසේයැයිම හිතන්නත් අමාරුයි.
මේ වන විට දැකිය හැකි ඡන්ද සංයුතිය අපට 2015 ජනාධිපතිවරණයට පෙර පැවති ඡන්ද සංයුතිය සමඟ සැසඳිය හැකියි. ජනාධිපතිවරණයට පෙර අවසන් වලට පැවැත්වුණේ පළාත් සභා මැතිවරණයි. වට හතරකින් පැවැත්වුණු එම මැතිවරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මෙසේයි.
එජනිස- 54.0%
එජාප- 26.4%
ජවිපෙ- 4.0%
ප්‍රපෙ- 4.0%
වෙනත්- 11.6%
මෙවැනි පසුබිමක පැවති ජනාධිපතිවරණයෙන් එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයගත්තේ නැහැ. ප්‍රතිඵලය වුනේ මෙවැන්නක්.
මහින්ද රාජපක්ෂ- 47.6%
මෛත්‍රීපාල සිරිසේන- 51.3%
එජාප, ජවිපෙ, ප්‍රපෙ හා දෙමළ මුස්ලිම් පක්ෂ වල ඡන්ද සියල්ල ලැබුණේ මෛත්‍රීපාල සිරිසේනට කියා හිතුවත්, ඔහු එජනිස ඡන්ද වලින් 6.5%ක් පමණද ලබාගෙන තිබෙන බව පැහැදිලියි. මේ ඡන්ද එජාප හෝ ජවිපෙ ඡන්ද නොවන, රාජපක්ෂ විරෝධී ඡන්දයි. එම පළාත් සභා ඡන්ද වටයේදී ප්රජාතන්ත්රවාදී පක්ෂයට ලැබුණු ඡන්ද දමන්න වෙන්නේත් මේ ගොඩටයි. එවිට, එජාප, ජවිපෙ හෝ සුළු ජාතික පක්ෂ වල ඡන්ද නොවන රාජපක්ෂ විරෝධී ඡන්ද එකතුව 10.5%ක් පමණ වෙනවා. මා හිතන විදිහට ඇල්පිටියේදී එජනිසයට ලැබුණු ඡන්ද වැඩි ප්‍රමාණයක් මේ ඡන්දයි.
පසුගිය ජනාධිපතිවරණයට පෙර තත්ත්වය හා සැසඳූ විට එජාප හා ජවිපෙ පක්ෂ දෙකම ඉන්නේ තරමක් ඉදිරියෙන්. ඒ වගේම, පොදුජන පක්ෂය තනිව ගතහොත් ඉන්නේ 2016දී මහින්ද රාජපක්ෂ සිටියාට වඩා දුර්වල තැනකයි. එජාප, ජවිපෙ හා සුළු ජාතික පක්ෂ සියල්ලේම ඡන්ද එකතු කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතයට අඩුයි. එහෙත්, වෙනස එතරම් විශාල නැහැ. ඒ වගේම, මේ දෙගොඩෙන් එක් ගොඩක්වත් 50% මට්ටම ආසන්නයේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන්නේ එජනිස ඡන්ද සේ පෙනෙන්නට තිබෙන, එහෙත් එජනිස ඡන්ද කියා මා නොසිතන සැලකිය යුතු තරම් විශාල පාවෙන ඡන්ද ප්‍රතිශතයයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ගිලිහුණු ඡන්ද නැවත ආකර්ශනය කර ගැනීමට පොදුජන පෙරමුණ අසමත් වීම විශේෂ අවධානයට යොමු විය යුතු කරුණක්. එයින් පෙනෙන්නේ, 2015 ජනවාරියේදී වූ මේ පිරිසගේ රාජපක්ෂ විරෝධය මේ වන විටත් මුළුමනින්ම සමනය වී නැති බවයි. එසේ වුවත්, මේ ඡන්ද එජාපය හෝ ජවිපෙ වෙත ආකර්ශනය වී නැහැ. ඒ වගේම, මේ පිරිස දේශපාලනිකව සබුද්ධික පිරිසක් නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර ඉන්න හේතුවක් නැහැ. එය බොහෝ විට තමන් අකැමැති විකල්ප අතරින් අඩු නරක තෝරා ගැනීමක් විය හැකියි කියා සිතන්න පුළුවන්. ඒ නිසා, අවසන් ප්‍රතිඵලය තීරණය විය හැක්කේ ඉදිරි මාසය ඇතුළත ප්‍රධාන අපේක්ෂකයින් හා මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි මෛත්‍රීපාල සිරිසේන වැනි වෙනත් ඇතැම් අය හැසිරෙන ආකාරය මතයි.
ඒ වගේම, පහුගිය කාලයේ මතු වී ආ තවත් රැල්ලක් වුනේ 225ම එපා කියන රැල්ලයි. මේ රැල්ල එක්ක ගොඩයන්න බලාගෙන විවිධ ස්වාධීන අපේක්ෂකයින් විසින් රුවල් දැම්මා. මේ රැල්ල නිසා වඩාත්ම කලබල වුනු අය අතර ජවිපෙ ඉදිරියෙන්ම හිටියා. කලක සිටම ජවිපෙ විසින් උනුත් එපා මුනුත් එපා කියන අදහස සමාජගත කරමින් සිටි අතර ඒ අදහස යම් පිරිසක් විසින් පිළිගත්තා. 225ම එපා කියන අදහස ආවේ උනුත් එපා මුනුත් එපා කියන අදහස වඩා පුළුල් වෙලා උනුත්, මුනුත් ගොඩට අරුනුත් එකතු වෙලයි. මේ රැල්ලත් එක්ක ජවිපෙ එක්තරා උභතෝකෝටිකයට මුහුණ දුන්නා. ජවිපෙට ඉදිරියට යන්න "උනුත් එපා මුනුත් එපා" කියන අදහස ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය වුවත්, ඒ අදහස වර්ධනය වීමේ ස්වභාවික ප්‍රතිඵලයක් විදිහට "225ම එපා" කියන අදහස ප්‍රවර්ධනය වීම වලක්වා ගැනීමේ අභියෝගයට ඔවුන්ට මුහුණ දෙන්න වුනා. ඒ නිසා, ස්වාධීන පුද්ගලයකු සඳහා වූ ඉල්ලීම යටපත් කරමින් පක්ෂ ක්‍රියාකාරිකයෙකු තරඟයට දමන්න ජවිපෙට සිදු වුනා. ජවිපෙ සාමාජිකයින් තුළත් ජනාධිපතිවරණය පිළිබඳ ලොකු බලාපොරොත්තු තිබුණු බව ඔවුන්ගේ ගාලු මුවදොර රැළියෙන් පෙනුණත් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළනම් ජවිපෙ රැල්ලක් පේන්න තිබුණේ නැහැ.
ගෝඨා රැල්ල ඔය දෙකටම වඩා පරණ රැල්ලක්. කලින්ම ආ ගෝඨා රැල්ල කලින්ම බිඳී ගියා. ගෝඨා තරඟයට ඉදිරිපත් වන විට පීක් එක ඉවරයි. නමුත්, ගෝඨා හිටියේ අනෙක් අපේක්ෂකයින්ට වඩා ගොඩක් ඉදිරියෙන්. මගේ තක්සේරුව අනුවනම් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ ගෝඨා රැල්ලක් කියා එකකුත් නැහැ.
පහුගිය දවස් වල මා ලංකාවේ මා සාමාන්‍යයෙන් කතා කරන කිහිප දෙනෙකුට කතා කළා. විවිධ දේශපාලන පක්ෂ වලට කඩේ යන්නන්, රැල්ල හමන අතට ඔරුව පදින්නන් හා නිර්පාක්ෂිකයින් ඇතුළු විවිධ කොටස් ඇතුළත් මේ පිරිස ලංකාවේ දේශපාලන ප්රවණතා ගැන අදහසක් ගැනීම සඳහා ප්‍රමාණවත් නියැදියක් බව බොහෝ වර තහවුරු වී තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණ වලට පෙර මේ පිරිසට කතා කළ විට පොදුජන පෙරමුණ අනපේක්ෂිත ලෙස ඉදිරියට එන බව පෙනුනත්, ඒ වෙලාවේ එවැන්නක් සිදු වේයැයි මට හිතුනේ නැහැ. එහෙත්, මැතිවරණයෙන් පසුව තේරුණේ මගේ නියැදිය මත විශ්වාසය තැබිය හැකිව තිබුණු බවයි.
මෙවර කතා කළ විට පෙනුනේ ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් ඇති බවයි. ඒ වගේම ගෝඨාභය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ කිසියම් වික්ෂිප්ත භාවයක් ඇති බවයි.
ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, මේ රැල්ල තිබෙන්න අරටු බැහැපු එජාප පාක්ෂිකයින් අතරම මිස එයින් පිටත නෙමෙයි. මේ වෙද්දී ගම් වල ඉතිරි වී ඉන්නේ ඉතා සීමිත එජාප පවුල් ගණනක්. ඔවුන් ඉතාම අභියෝගාත්මක තත්ත්වයන් යටතේත් පක්ෂය අත් හැර නොගිය අයයි. රනිල්ගේ නායකත්වය යටතේ මේ පිරිසට ලැබුණු දෙයක් නැහැ. සජිත්ගේ නායකත්වය යටතේ තමන්ට යමක් ලැබෙයි කියා මේ පිරිස හිතනවා. ඒ නිසා, ගම් වල සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, ඒ රැල්ල එජාප ඡන්ද ප්‍රතිශතය ඉහළ දමන මට්ටමකට ඇවිත් නැහැ. සිදු වී තිබෙන්නේ පාක්ෂිකයින්ගේ උද්යෝගය වැඩි වීමක් පමණයි.
ඒ වගේම, ගම් වල බොහෝ දෙනෙක්ට ගෝඨාභය වැදගත් චරිතයක් නෙමෙයි. බොහෝ දෙනෙක්ට ඔහු වැදගත් වන්නේ මහින්දගේ සහෝදරයා හා නියෝජිතයා ලෙසයි. ගම් වල බොහෝ පිරිසක් තවමත් භක්තිමත් මහින්දවාදීන්. මහින්දගේ සහයෝගය ලබන කාට වුවත් මේ පිරිසගේ ඡන්ද ලැබෙනවා. ඇල්පිටියේදී පොදුජන පෙරමුණට ලැබී තිබෙන්නේත් මේ මහින්දවාදීන්ගේ ඡන්දයි.
මේ වන විට එජාපයට හා පොදුජන පෙරමුණට (පැරණි ශ්‍රීලනිපයට) වගේම ජවිපෙටත් රටේ ස්ථිර ඡන්ද පදනමක් තිබෙනවා. ජවිපෙ රැල්ලක් තිබෙනවානම් තිබෙන්නේ මේ ඡන්ද පදනම තුළයි. ඔවුන් මේ ඡන්ද පදනම පුළුල් කරගන්න විශාල උත්සාහයක් දරනවා.
එක පැත්තකින් එජාප හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන විරෝධයට වඩා ලොකු විරෝධයක් ජවිපෙ හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන නිසා ජවිපෙට පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ආකර්ෂණය කර ගැනීම සිහිනයක්. අනෙක් පැත්තෙන්, මේ වෙද්දී එජාපය මොනවා කළත් අත නොහරින පිරිසක් හැර අනෙක් සියලු දෙනාම වගේ එජාපය හැර ගොස් අවසන් නිසා ජවිපෙට ආකර්ශනය කර ගත හැකි ඡන්ද ඒ ගොඩේත් නැහැ. ජවිපෙ විසින් ඉලක්ක කරන්නේ ඔය දෙකටම නැති පිරිසයි.
ජවිපෙ තුළ තිබෙන රාජපක්ෂ විරෝධය එජාප විරෝධයට වඩා වැඩියි. මේ නිසා, කලක සිටම ජවිපෙට රතු අලි ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබලය ගැන ජවිපෙ එතරම් වද වෙන්නේත් නැහැ. ජවිපෙ විසින් දැන් හදාගෙන තිබෙන ජාතික ජන බලවේගයේ ලාංඡනයත් ටිකක් විතර රතු අලියෙක්ගේ රූපයක් වගේ.
ජවිපෙ විසින් මේ වෙලාවේ උත්සාහ ගනිමින් ඉන්නේ සමාජවාදීන්ගේ හෝ ධනපති විරෝධීන්ගේ ඡන්ද ආකර්ශනය කර ගන්න නෙමෙයි. එහෙම කරලා දැන් ඉන්න තැනින් අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි බව ඔවුන් නිවැරදිව අවබෝධ කරගෙන ඉන්නවා. ඇත්තටම කියනවානම් ජවිපෙට දැන් ඇණයක් වී තිබෙන්නේ ඔවුන්ගේම ඉතිහාසයයි. ඒ නිසා, ඔය රතු අලි හංවඩුව එක පැත්තකින් බැලුවහම ජවිපෙට වෙස් වලාගත් ආශීර්වාදයක්. ඇතැම් පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ජවිපෙට මඩ ගහන්න හිතාගෙන විවිධ දේ ප්‍රචාරය කරනවා. එවැනි එක පොස්ටුවක සැබෑ අව්‍යාජ විප්ලවවාදී නායකයින් කියා රෝහණ විජේවීර ඇතුළු පිරිසකුත්, ධනපතියන්ට කඩේ යන නායකයින් කියා අනුර කුමාර ඇතුළු පිරිසකුත් පෙන්වනවා. මම හිතන්නේ මේ වෙලාවේ මේ වගේ පෝස්ට් ජවිපෙට වාසියි.
ඇල්පිටියට නැවත ආවොත්, එහි ප්‍රතිඵලය මා ඉහත සඳහන් කළ ප්‍රවාද සියල්ල සමඟ මනාව සැසඳෙනවා. එජාපය විසින් ලබාගෙන තිබෙන්නේ 2015 ජනවාරියට පෙර ඔවුන් ලබාගත් අවම එජාප ඡන්ද ප්‍රතිශතය පමණයි. ජවිපෙ ලබාගෙන තිබෙන්නේත් ඔවුන්ගේම පාක්ෂික ඡන්ද පමණයි. පොදුජන පෙරමුණ කියලාත් වෙනසක් නැහැ. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් (ඔවුන්ගේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම්ද ඇතුළත්ව) ලබාගත්තේ 41.2%ක ඡන්ද ප්‍රතිශතයක් වුවත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද විසින් 47.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ඇල්පිටිය ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ පොදුජන පෙරමුණ තවමත් ඉන්නේ ඒ මට්ටමට පහළින් බවයි. මෙයින් පෙනෙන්නේ ගෝඨාගමනයෙන් පසුව මහින්දවාදී ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි.
සමස්ත ප්‍රතිඵලයම විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ පොදුජන පෙරමුණේ, එජාප හෝ ජවිපෙ ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි. එසේනම් ඉතිරි ඡන්ද ටික කෝ?
ඇල්පිටිය ඇතුළේනම් මේ ඡන්ද ටික තිබෙන්නේ එජනිස ගොඩේ. නමුත්, මේ එජනිස ඡන්ද ඇත්තටම එජනිස ඡන්දද?
මම හිතන විදිහටනම් මේ ඡන්ද එජනිස ඡන්දම නෙමෙයි. වෙනත් විකල්පයක් නැති තැන පොදුජන පෙරමුණ, එජාප හා ජවිපෙ තුනම එපා වී සිටින පිරිස ඒ විරෝධය පෙන්වීම පිණිස එජනිසය තෝරා ගෙන තිබෙනවා වෙන්න පුළුවන්. වෙනත් අයුරකින් කිවුවොත්, පාවෙන ඡන්ද ටික තියෙන්නේ එජනිස ගොඩේ. ජනාධිපතිවරණයට එජනිස අපේක්ෂකයෙකු ඉදිරිපත්ව නැති පසුබිමක මේ ඡන්ද වල ඉදිරි හැසිරීම ගොඩක් වැදගත්.
ගොඩක් අය චම්පිකව හඳුනා ගන්නේ රැල්ල හමන පැත්ත ගැන ඉවක් තිබෙන දේශපාලනඥයෙකු ලෙසයි. මංගලත් මේ ගොඩට දැමිය හැකි, තියුණු දේශපාලන ඉවක් තිබෙන දේශපාලනඥයෙක්. ඔවුන් සජිත්ගේ පැත්ත ගත්තේ මෙවර ඔවුන්ට ගණන් වැරදුනු නිසාද? පැත්තක සිටින අපට නොපෙනෙන බොහෝ දේ දේශපාලනය ඇතුළේ සිටින ඔවුන්ට පෙනෙන නිසා එය එසේයැයිම හිතන්නත් අමාරුයි.
මේ වන විට දැකිය හැකි ඡන්ද සංයුතිය අපට 2015 ජනාධිපතිවරණයට පෙර පැවති ඡන්ද සංයුතිය සමඟ සැසඳිය හැකියි. ජනාධිපතිවරණයට පෙර අවසන් වලට පැවැත්වුණේ පළාත් සභා මැතිවරණයි. වට හතරකින් පැවැත්වුණු එම මැතිවරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මෙසේයි.
එජනිස- 54.0%
එජාප- 26.4%
ජවිපෙ- 4.0%
ප්‍රපෙ- 4.0%
වෙනත්- 11.6%
මෙවැනි පසුබිමක පැවති ජනාධිපතිවරණයෙන් එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයගත්තේ නැහැ. ප්‍රතිඵලය වුනේ මෙවැන්නක්.
මහින්ද රාජපක්ෂ- 47.6%
මෛත්‍රීපාල සිරිසේන- 51.3%
එජාප, ජවිපෙ, ප්‍රපෙ හා දෙමළ මුස්ලිම් පක්ෂ වල ඡන්ද සියල්ල ලැබුණේ මෛත්‍රීපාල සිරිසේනට කියා හිතුවත්, ඔහු එජනිස ඡන්ද වලින් 6.5%ක් පමණද ලබාගෙන තිබෙන බව පැහැදිලියි. මේ ඡන්ද එජාප හෝ ජවිපෙ ඡන්ද නොවන, රාජපක්ෂ විරෝධී ඡන්දයි. එම පළාත් සභා ඡන්ද වටයේදී ප්රජාතන්ත්රවාදී පක්ෂයට ලැබුණු ඡන්ද දමන්න වෙන්නේත් මේ ගොඩටයි. එවිට, එජාප, ජවිපෙ හෝ සුළු ජාතික පක්ෂ වල ඡන්ද නොවන රාජපක්ෂ විරෝධී ඡන්ද එකතුව 10.5%ක් පමණ වෙනවා. මා හිතන විදිහට ඇල්පිටියේදී එජනිසයට ලැබුණු ඡන්ද වැඩි ප්‍රමාණයක් මේ ඡන්දයි.
පසුගිය ජනාධිපතිවරණයට පෙර තත්ත්වය හා සැසඳූ විට එජාප හා ජවිපෙ පක්ෂ දෙකම ඉන්නේ තරමක් ඉදිරියෙන්. ඒ වගේම, පොදුජන පක්ෂය තනිව ගතහොත් ඉන්නේ 2016දී මහින්ද රාජපක්ෂ සිටියාට වඩා දුර්වල තැනකයි. එජාප, ජවිපෙ හා සුළු ජාතික පක්ෂ සියල්ලේම ඡන්ද එකතු කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතයට අඩුයි. එහෙත්, වෙනස එතරම් විශාල නැහැ. ඒ වගේම, මේ දෙගොඩෙන් එක් ගොඩක්වත් 50% මට්ටම ආසන්නයේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන්නේ එජනිස ඡන්ද සේ පෙනෙන්නට තිබෙන, එහෙත් එජනිස ඡන්ද කියා මා නොසිතන සැලකිය යුතු තරම් විශාල පාවෙන ඡන්ද ප්‍රතිශතයයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ගිලිහුණු ඡන්ද නැවත ආකර්ශනය කර ගැනීමට පොදුජන පෙරමුණ අසමත් වීම විශේෂ අවධානයට යොමු විය යුතු කරුණක්. එයින් පෙනෙන්නේ, 2015 ජනවාරියේදී වූ මේ පිරිසගේ රාජපක්ෂ විරෝධය මේ වන විටත් මුළුමනින්ම සමනය වී නැති බවයි. එසේ වුවත්, මේ ඡන්ද එජාපය හෝ ජවිපෙ වෙත ආකර්ශනය වී නැහැ. ඒ වගේම, මේ පිරිස දේශපාලනිකව සබුද්ධික පිරිසක් නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර ඉන්න හේතුවක් නැහැ. එය බොහෝ විට තමන් අකැමැති විකල්ප අතරින් අඩු නරක තෝරා ගැනීමක් විය හැකියි කියා සිතන්න පුළුවන්. ඒ නිසා, අවසන් ප්‍රතිඵලය තීරණය විය හැක්කේ ඉදිරි මාසය ඇතුළත ප්‍රධාන අපේක්ෂකයින් හා මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි මෛත්‍රීපාල සිරිසේන වැනි වෙනත් ඇතැම් අය හැසිරෙන ආකාරය මතයි.
Labels:
ජනාධිපතිවරණය,
දේශපාලනය,
මැතිවරණ ප්‍රතිඵල
Saturday, October 12, 2019
ගම් උදා රොබෝ සහ කෘතිම බුද්ධිය
ජේආර් ජයවර්ධනගේ ආණ්ඩුවේ හිටපු දෙවන පෙළ නායකයින් බොහෝ දෙනෙක්ට ඔවුන් වැඩිපුරම අවධානය යෙදවූ කටයුතු හා බැඳුනු ප්‍රතිරූපයක් හැදී තිබුණා. ලලිත්නම් මහපොළ, ගාමිණීනම් මහවැලිය, රනිල්නම් යොවුන්පුර, ප්‍රේමදාසනම් ගම්උදාව...
මේ එක් එක් පුද්ගලයා විසින් තමන්ගේ ප්රතිරූප පුම්බා ගනු පිණිස විශාල වියදමක් දරමින් විවිධ වැඩ සටහන් සංවිධානය කළා. ගම්උදා සංවත්සර උත්සවය මේ වැඩසටහන් අතර ප්‍රමුඛතම වැඩසටහනක්. ජූනි 23 දිනට යෙදුණු රණසිංහ ප්‍රේමදාසගේ උපන් දිනයට සමාන්තරව ලංකාවේ විවිධ ප්‍රදේශ වල වාර්ෂිකව මේ උත්සවය පැවැත්වුනා. මුලින්ම යාපහුවේ. ඉන් පසුව, අම්පාර, තිස්සමහාරාමය, දඹුල්ල, නිකවැරටිය, අනුරාධපුර (පණ්ඩුලගම), හිඟුරක්ගොඩ, ඇඹිලිපිටිය, කතරගම, ආනමඩුව, මහියංගනය වගේ තැන් වල.
මේ ගම්උදා ප්‍රදර්ශන භූමි වලදී කවදාවත් කෝච්චියක ගිහින් නැති අයට කෝච්චියක යන්න ලැබුණා. කවදාවත් සිරීපාදේ ගිහින් නැති අයට සිරීපාදේ යන්න ලැබුණා. කවදාවත් මිහින්තලේ දැකලා නැති අයට මිහින්තලේ නගින්න ලැබුණා. තව ඔය වගේ බොහෝ දේවල් තිබුණා.
අසූව දශකයේ මුල් කාලය මගේ පියා තමන් කරපු රැකියාවට අමතරව ඇඟේ අමාරුවට විවිධ සංවිධාන සමඟ එකතු වී සමාජ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කළ කාලයක් නිසා ගම්උදා සංවත්සර, මහපොළ සංවත්සර ආදිය පැවැත්වෙන විට ඔහුත් සමඟ මෙවැනි ප්‍රදර්ශන භූමියක වූ කුටියක සතියක් හෝ දින කිහිපයක් ගත කිරීමේ අවස්ථාව මටත් ලැබුණා. ඔය වගේ වෙලාවක කුටිය සකස් කිරීම, පෝස්ටර් ඇඳීම වගේ කටයුතු වලට දායක වෙන්නත් ලැබුණා. ප්‍රදර්ශන භූමියේ නිදහසේ සැරිසරමින් බලන්න තිබුණු දේවල් බලාගන්නත් අවස්ථාව ලැබුණා.
අසූව දශකයේ මුල් කාලයේ පැවැත්වුණු ගම්උදා හෝ මහපොල ප්‍රදර්ශන කුටියකදී ඔය ආකාරයට දකින්න ලැබුණු ප්‍රදර්ශන භාණ්ඩයක් මට තවමත් මතකයි. ඒ රොබෝ කෙනෙක්. මේ රොබෝව ඉතා ආකර්ශනීය නිමාවකින් හදා තිබුණා.
රොබෝ කෙනෙක් කවදාවත් දැකලා නොතිබුණත්, සිංහලට පරිවර්තනය කර තිබුණු ආතර් සී ක්ලාක් වගේ අයගේ කතා කියවලා තිබුණු නිසා රොබෝව බලන්න තිබුණේ සිරීපාදේ හරි මිහින්තලේ හරි යනවාට වඩා ලොකු උනන්දුවක්. පෝලිම ටිකක් දිග වුනත්, ප්‍රදර්ශන භූමියේ දින ගණනක්ම ගත කරන්න අවස්ථාව තිබුණු නිසා කාලය බාධාවක් වුනේ නැහැ. පෝලිමේ ඉඳලා රොබෝ ළඟට යා ගත්තට පස්සේ රොබෝගෙන් ප්‍රශ්නයක් දෙකක් අහන්න ලැබෙනවා. රොබෝ උත්තර දෙනවා.
රොබෝගේ ප්‍රමාණය අනුව මේ රොබෝ අස්සේ මනුස්සයෙක්ට හැංගිලා ඉන්න බැහැ. ඒ වුනත්, උත්තර දෙන්නේ කවුරු හෝ මනුස්සයෙක් කියන එකනම් එක පාරටම තේරුම් ගියා. ඒ කියන්නේ, රොබෝ කෙනෙක් පෙන්වනවා කියා මේ කරන්නේ මිහින්තලේ සිරීපාදේ පෙන්නනවා වගේම බොරුවක්!
ඔය වගේ බොරුවක් අතටම අහුවුණාම පොඩි එකෙක්ට රොබෝව අන්නනකම් ඉවසිල්ලක් නැති වෙනවනේ. නමුත්, සංවිධායකයින් රොබෝ එක්ක ඒ තරම් වෙලාවක් ඉන්න දෙන්නේ නැහැ. පෝලිම ඉස්සරහට යා යුතුයි. මමත් අත ඇරියේ නැහැ. මේ පැත්තෙන් එළියට ගිහින් නැවත පෝලිමේ අගට එකතු වෙනවා. කාමරයට එන තුරු පෝලිමේ සිටිමින් රෝබෝගෙන් ඊළඟ වාරයේ අහන ප්රශ්නය ගැන හිතනවා. දෙතුන් පාරක් මේ වැඩේ කළාට පස්සේ රොබෝ දන්න දේවල් හා නොදන්න දේවල් ගැන පැහැදිලි වුනත් රොබෝගේ කටින් කවුරු හෝ කෙනෙක් කතා කරන්නේ කොහොමද කියන එකනම් හරියටම අල්ලගන්න බැරි වුනා. මම හිතන්නේ මේ කාලය වන විට මම රැහැන් රහිත මයික් එකක් දැකලා තිබුණේ නැහැ.
පොඩි කාලේ මතකයක් වූ මේ රොබෝව දශක ගාණකට පස්සේ නැවත මතකයට ආවේ සජිත්ගේ කෘතීම බුද්ධි වීඩියෝව දැකලා. සජිත්ගේ කෘතීම බුද්ධිය ගැන කාට වුනත් තේරෙන නිසා ඒ ගැන කතා කිරීම පැත්තකින් තියලා, සජිත් විසින් ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න තෝරාගෙන තියෙන මනුස්සයාගේ සාමාන්‍ය බුද්ධිය ගැන විතරක් පොඩ්ඩක් කතා කරමු.
සජිත් විසින් තිරය පිටුපස සිටින කවුරු හෝ මනුස්සයාව සහ වේදිකාවේ අටවා තියෙන විච්චූර්ණ ටික යොදා ගන්නේ පසුගිය සතියේ බඩුමිල වෙනස් වුනු ආකාරය ගැන දැන ගන්න සහ උද්ධමනය පාලනය කරන ආකාරය ගැන උපදෙස් ලබා ගන්නයි. ඔහුට ලැබෙන දත්ත අනුව කිරිපිටි මිල වැඩි වෙලා. ගෑස් මිල අඩු වෙලා. සජිත්ගේ සාමාන්‍ය බුද්ධියට වැටහෙන ආකාරයට මේ වගේ වෙලාවක රාජ්‍ය පාලනය කියා කියන්නේ කිරිපිටි මිල නැවත පෙර මට්ටමට අඩු කිරීම හා අඩු වූ ගෑස් මිල නැවත වැඩි නොවන බවට වග බලා ගැනීමයි.
කිරිපිටි මිල නැවත අඩු කරන්නේත්, ගෑස් මිල නැවත වැඩි වෙන්න නොදී තියෙන මට්ටමේම තියා ගන්නේත් කොහොමද කියා සජිත්ගේ සාමාන්‍ය බුද්ධියට නොවැටගෙන නිසා ඔහු මේ ගැන ඔහුගේ කෘතීම බුද්ධියෙන් උපදෙස් ගන්නවා. කෘතීම බුද්ධියෙන් සජිත්ට උපදෙස් ලැබෙනවා. සරල උපදෙස්!
කිරිපිටි මිල අඩු කිරීම සඳහා බදු අඩු කළ යුතුයි. ගෑස් මිල ඒ මට්ටමේම තියා ගන්නනම් ගෑස් වල ආනයනික මිල නැවත ඉහළ යන විට රජය මැදිහත් වී අඩු මිලට ගෑස් ලබා දිය යුතුයි. ඒ කියන්නේ, රජය විසින් ආදායම් අඩු කරගෙන වියදම් වැඩි කළ යුතුයි.
කෘතීම බුද්ධියකින් උපදෙස් නොගත්තත් මෙතෙක් කල් ආණ්ඩු කළ ගොඩක් අය කළේත් ඔය ටිකම තමයි. රජයේ අයවැය හිඟය මේ තරම් වැඩි වෙලා තියෙන්නෙත්, ණය බර මේ තරම් ඉහළ ගිහින් තියෙන්නෙත් ඔය කෙරුවාවේ ප්‍රතිඵලයක් විදිහටයි. රටේ තිබෙන අවුල් සියල්ලටම වගේ හේතු වී තිබෙන්නේ රාජ්‍ය මැදිහත්වීම් වුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සියළු දෙනාම වගේ අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ රාජ්‍ය මැදිහත්වීම් තවදුරටත් වැඩි කිරීම වෙනුවෙනුයි. සජිත්ගේ කෘතීම බුද්ධි සහායකයාත් ඒ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්.
අයවැය හිඟය තවත් ඉහළ යන්න ඉඩ අරිමින්, ඒ හිඟය පියැවීමට වැඩි වැඩියෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම කෙළවර වෙන්නේ උද්ධමනය වැඩිවී රටේ භාණ්ඩ හා සේවා සියල්ලේම මිල ඉහළ යාමෙන් බව තේරුම් ගන්න ලන්ඩන් ආර්ථික විද්‍යා උපාධි හෝ කෘතිම බුද්ධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් තිබෙන කෙනෙකුට වුවත් එය තේරෙන්න ඕනෑ.
(Image: http://newshub.lk/en/2019/10/10/sajith-says-future-govt-will-be-based-on-artificial-intelligence-management/)
Labels:
අතීත මතක,
ආර්ථික විද්‍යාව,
ගම්උදාව,
දේශපාලනය,
බඩුමිල,
රණසිංහ ප්‍රේමදාස
Friday, October 11, 2019
ඇල්පිටි සංඥාව
ඇල්පිටියේ පොඩි ඡන්දයේ ප්‍රතිඵල මේ වන විට පිට වී තිබෙනවා. ප්‍රතිඵලය මෙවැන්නක්.
ශ්‍රීලපොප- 56.3%
එජාප - 24.4%
එජනිස - 12.7%
ජවිපෙ - 5.9%
වෙනත් - 0.7%
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම් වලදී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභා වල සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.
ශ්‍රීලපොප- 51.9%
එජාප - 25.2%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%
ඉහත ප්‍රතිඵල සසඳා බැලූ විට පසුගිය මාස 20 ඇතුළත සිදු (නො)වී තිබෙන වෙනස්කම් නිරීක්ෂණය කළ හැකියි.
1. සජිත් රැල්ලක් කියා එකක් නැත. එජාප ග්‍රාමීය ඡන්ද තරමකින් හෝ අඩු වී මිස වැඩි වී නැත.
2. ජවිපෙ රැල්ලක් කියා එකක්ද පෙනෙන්නටවත් නැත.
3. පොදුජන පෙරමුණේ ඡන්ද යම් තරමකින් වැඩි වී ඇත. එහෙත්, ඒ වැඩි වූ ඡන්ද ප්‍රතිශතය සමඟ වුවද පොදුජන පෙරමුණ තනිව රටේ 50%ක ඡන්ද ගත හැකි තැනක නැත.
4. ශ්‍රීලනිප ඡන්ද යම් තරමකින් හෝ වැඩි වී මිස අඩු වී නැත.
පුංචි ඡන්දය පිළිබඳව මා අනාවැකි පළ නොකළත්, මගේ ඇස්තමේන්තුව වූයේ 2018 පෙබරවාරියේදී ශ්රීලනිපය විසින් ලබාගත් ඡන්ද වලින් අඩක්වත් මේ වන විට පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී තිබිය යුතු බවයි. එහෙත් එය එසේ වී නැත. එයින් පෙන්නේ රාජපක්ෂලා සමඟ මොනවා හෝ ප්‍රශ්න තිබෙන සැලකිය යුතු පිරිසක් ශ්රීලනිපය සමඟ තවමත් රැඳී සිටින බවයි. මේ පිරිස පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී නැති අතර එජාප හෝ ජවිපෙ වෙතද ගොස් නැත. ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය මත පදනම්ව මේ පිරිස ජනාධිපතිවරණයේදී කෙසේ හැසිරෙනු ඇත්දැයි නිගමනය කළ නොහැකිය.
ඇල්පිටිය ප්‍රතිඵලය ලංකාව ආදේශ කළ විට පෙනෙන චිත්‍රය මෙවැන්නකි.
ශ්‍රීලපොප- 44.7%
එජාප - 28.6%
එජනිස - 12.7%
ජවිපෙ - 5.6%
වෙනත් - 8.4%
මේ අනුව පෙනෙන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කෙරෙන්නේ පොදුජන පෙරමුණ වෙත ගොස් නැති ශ්‍රීලනිප ඡන්ද වලින් බවයි.
(Image: https://www.arabnews.com/node/1562771/world)
Labels:
ජනාධිපතිවරණය,
දේශපාලනය,
මැතිවරණ ප්‍රතිඵල
රටම බලා සිටින ඇල්පිටිය
මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලය දෙස රටම බලා සිටිනවා. තව පැය විසිහතරක් ඇතුළත ප්‍රතිඵලය දැන ගන්න පුළුවන් වෙයි.
ඇල්පිටිය කියන්නේ ලංකාව නෙමෙයි. සමස්ත ලංකාවට සාපේක්ෂව ඇල්පිටිය කියන්නේ සිංහල, බෞද්ධ, ග්‍රාමීය ප්‍රදේශයක්. ඒ නිසා, ඇල්පිටිය ප්‍රතිඵලය සෘජුවම ලංකාවට ආදේශ කළ නොහැකි වුවත්, ඇල්පිටිය ප්‍රතිඵලය දෙස බලා සමස්ත ලංකාව ගැන නිගමන වලට එළැබීමේ හැකියාවක් නැත්තේම නැහැ. ඇල්පිටිය ප්‍රතිඵලය කියන්නේ පසුගිය මාස 20 ඇතුළත ඡන්දදායකයන්ගේ හැසිරීම වෙනස් වී ඇති ආකාරය පරීක්ෂා කළ හැකි කැඩපතක්.
ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පිරික්සූ විට කිසියම් පැහැදිලි රටාවක් හඳුනාගත හැකියි. ඒ රටාවෙන් වෙනස් රටාවක් දැකිය හැක්කේ වෙනස් ජනවාර්ගික සංයුතියක් ඇති නාගරික ප්‍රදේශයක් වන ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ පමණයි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය හා ඡන්දය නොපැවැත්වුණු ඇල්පිටිය හැර ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.
ශ්‍රීලපොප- 51.8%
එජාප - 25.3%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%
ඇල්පිටිය ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වීමෙන් පසුව එම ප්‍රතිඵලය සැසඳිය යුත්තේ ඉහත ප්‍රතිඵලය සමඟයි.
Labels:
දේශපාලනය,
මැතිවරණ ප්‍රතිඵල
Thursday, October 10, 2019
ඡන්ද බිඳෙයි පය බුරුලින්!
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් අපේක්ෂකයින් එසේ ඉදිරිපත් වී සිටින්නේ වෙනත් අපේක්ෂකයෙකුට ලැබෙන ඡන්ද කඩන්න කියා ජනප්‍රිය චෝදනාවක් තිබෙනවා. ස්වරූපය අනුවම, මේ චෝදනාව පරස්පර විරෝධී එකක්. කවර හෝ අපේක්ෂකයෙකුගේ ඡන්ද කැඩෙනවා කියන ප්‍රකාශය ඇතුළේ තිබෙන මූලික උපකල්පනය වන්නේ ඒ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලැබෙන ඔහුට හෝ ඇයට "අයිති" කිසියම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා කියන එකයි. අනෙක් අතට, වෙන කෙනෙක්ට ඉදිරිපත් වී මේ ඡන්ද වලින් කොටසක් ඔහුට හෝ ඇයට ලැබෙන එක වැළැක්විය හැකිනම් එයින් තහවුරු වන්නේ ඒ ඡන්ද අදාළ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලැබෙන්නට නියමිතව තිබුණු ඡන්ද නොවන බවයි. ඒ කියන්නේ ඡන්ද කඩන කතාවට තාර්කික පදනමක් නැති බවයි.
කොහොම වුනත් අමතර අපේක්ෂකයෙකු ඉදිරිපත් වන හැම විටෙකම අනෙකුත් අපේක්ෂකයින්ගේ ඡන්ද වලට සුළු හෝ සෘණාත්මක බලපෑමක් වෙනවා කියන එක පැහැදිලි කරුණක්. වටින් ගොඩින් කතා නොකර අපි දැනට තරඟයට ඉදිරිපත් වී ඉන්න අපේක්ෂකයින්ගේ නම් වලින්ම කතා කරමුකෝ. කවුරුත් වගේ පිළිගන්න පරිදි දිනන්න ඉඩක් තිබෙන්නේ ගෝඨාභය හෝ සජිත්නේ. අපි හිතමු තරඟයට ඉදිරිපත් වුනේ මේ දෙන්නා පමණයි කියා. එහෙම වුනානම්, ඡන්දදායකයෙකුට තිබෙන්නේ විකල්ප තුනක් පමණයි. ඒ ගෝඨාභයට ඡන්දය දීම, සජිත්ට ඡන්දය දීම හා ඡන්දය නොදා සිටීම කියන විකල්ප තුනයි. වැඩිම ඡන්ද ගන්න අපේක්ෂකයා වලංගු ඡන්ද වලින් 50%කට වඩා අරගෙන ජනාධිපති වෙනවා.
දැන් ගෝඨාභය හා සජිත්ට අමතරව තෙවන අපේක්ෂයෙකු ලෙස අනුර කුමාර එකතු වෙනවා කියමු. එතකොට මොකක්ද වෙන්නේ? අනුර කුමාරටත් කිසියම් ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ඡන්ද කොටස් තුනකට වර්ග කළ හැකියි. ඒ ගෝඨාභයට ලැබිය හැකිව තිබුණු ඡන්ද, සජිත්ට ලැබිය හැකිව තිබුණු ඡන්ද හා ඒ දෙදෙනාටම ලැබිය නොහැකිව තිබුණු ඡන්ද ලෙසයි. මෙහිදී අනුර කුමාර තරඟයට ඉදිරිපත් වීම නිසා ගෝඨාභය හා සජිත් දෙදෙනාගේම ඡන්ද අඩු වෙනවා. ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශත සමානුපාතිකව ඊටත් වඩා වැඩියෙන් අඩුවෙනවා.
යම් හෙයකින් අනුර කුමාර විසින් ගෝඨාභයට ලැබිය හැකිව තිබුණු ඡන්ද හෝ සජිත්ට ලැබිය හැකිව තිබුණු ඡන්ද එකක්වත් නොගෙන ඒ දෙදෙනාටම ලැබිය නොහැකිව තිබුණු ඡන්ද පමණක් ගත්තත් ගෝඨාභය හා සජිත් දෙදෙනාගේම ඡන්ද ප්‍රතිශත අඩු වෙනවා. එහෙත්, එය සිදු වන්නේ සමානුපාතිකව නිසා ජයග්‍රාහකයා කවුද කියන කරුණ වෙනස් වන්නේ නැහැ. ජයග්රාහකයාට 50% නොලැබෙන්නට ඉඩක් තිබුණත් ජයග්‍රහණය වැළකෙන්නේ නැහැ. (මේ උදාහරණයේදී අනුර කුමාර විසින් ලබා ගන්නේ සජිත්ට හා ගෝඨාභයට කොහෙත්ම කැමති නැති අයගේ ඡන්ද පමණක් නිසා ඔවුන් දෙවන මනාපයක් ලබා නොදෙයි කියා උපකල්පනය කළ හැකියි.)
නමුත්, තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වූ විට ඔහුට ලැබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයින්ට ලැබිය නොහැකිව තිබුණු ඡන්ද පමණක් නොවන නිසා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිශත වඩා වැඩියෙන් අඩු වෙනවා. ඒ වගේම, එය සිදු වන්නේ සමානුපාතිකව නෙමෙයි. ඇතැම් විට කලින් මුල් තැන සිටි අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශතය වඩා වැඩියෙනුත්, දෙවන තැන සිටි අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශත අඩුවෙනුත් අඩු වීම නිසා (පළමු මනාපය පමණක් සැලකූ විට) ජයග්‍රාහකයා කවුද කියන එක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තෙවන අපේක්ෂයෙකු ඉදිරිපත් වීම නිසා ප්‍රතිඵලය වෙනස් වෙනවා. මෙහිදී සිදු වුනේ තෙවන අපේක්ෂකයා විසින් ඡන්ද කැඩීමක්ද?
එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. තෙවන අපේක්ෂකයෙකු වෙනුවෙන් පළමු මනාපය දෙන අයෙකු එසේ කරන්නේ ඔහු හෝ ඇය ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නාටම වඩා මේ තෙවන අපේක්ෂකයාට කැමති නිසයි. ඒ කියන්නේ තෙවන අපේක්ෂකයා විසින් ලබා ගන්නේ ඔහුගේ හෝ ඇයගේම ඡන්ද මිසක් කාගෙන්වත් කඩා ගන්න ඡන්ද නෙමෙයි. සිවුවන, පස්වන හෝ තිස්පස්වන අපේක්ෂකයාටත් මේ කතාව අදාළයි.
(Image: http://www.dailymirror.lk/article/Towards-the-Presidential-Elections-151637.html)
Labels:
ජනාධිපතිවරණය,
තෝරාගැනීම්
Wednesday, October 9, 2019
බර ඔබේ උර මතයි!
මැතිවරණ කොමිසම විසින් කියා තිබෙන ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ගණන "අසාමාන්‍ය ලෙස" වැඩි වීම නිසා මැතිවරණ වියදම රුපියල් බිලියනයකින් ඉහළ ගොස් තිබෙනවා. කොහොම වුනත්, පසුගිය ජනාධිපතිවරණ දෙකේදීත් පිළිවෙලින් අපේක්ෂකයින් 22ක් හා 19ක් ඉදිරිපත් වූ නිසා මැතිවරණ කොමිසම විසින් මුලින් වියදම ඇස්තමේන්තු කිරීමේදී අඩු වශයෙන් අපේක්ෂකයින් 20-25 අතර ප්‍රමාණයක්වත් තරඟ කරනු ඇතැයි නොහිතන්න හේතුවක් නැහැ. ඒ නිසා, අනපේක්ෂිත වැඩි වීම අපේක්ෂකයින් 10-15 අතර ප්‍රමාණයකට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. වියදම රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන්නේ මේ ආකාරයට අනපේක්ෂිත ලෙස වැඩි වූ අපේක්ෂකයින් 10-15 නිසයි. ඒ කියන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා රුපියල් මිලියන 70-100 අතර ප්‍රමාණයකින් ඇස්තමේන්තුගත වියදම ඉහළ ගොස් තිබෙනවා කියන එකයි.
අපේක්ෂකයින් ප්‍රමාණය ඉහළ යන කොට මේ ආකාරයට වියදම ඉහළ යන්නේ කොහොමද?
අපේක්ෂකයින් ගණන වැඩි වන තරමට ඡන්ද පත්‍රිකාවේ දිග වැඩි වෙනවා. මෙවර ඡන්ද පත්‍රිකාව අඩි 2කුත් අඟල් 2ක් (සෙන්ටි මීටර 66ක්) දිග එකක්. ඡන්ද පත්‍රිකාව දිග වැඩි වන තරමට මුද්‍රණ වියදම්ද ඉහළ යනවා. එහෙත්, ඉහළ යන මුද්‍රණ වියදම් කියන්නේ මැතිවරණයේ සමස්ත වියදම ඉහළ යන එක් ආකාරයක් පමණයි. වියදම විශාල ලෙස වැඩි වන්නේ මුද්‍රණ වියදම් ඉහළ යාම නිසාම නෙමෙයි.
ඡන්ද පත්‍රිකාව විශාල වන විට ඡන්ද පෙට්ටියකට දැමිය හැකි ඡන්ද පත්‍රිකා ප්‍රමාණය අඩු වෙනවා. බොහෝ විට එක ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද දමන්නේ එක් පෙට්ටියකට හෝ ගැහැණු හා පිරිමි ලෙස පෙට්ටි දෙකකට වුවත්, මෙවර එසේ කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, මෙවර අමතර ඡන්ද පෙට්ටි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අමතර ඡන්ද පෙට්ටි සකස් කිරීම හෝ අළුතින් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් දැනටමත් කටයුතු කරමින් සිටිනවා. ඡන්ද පෙට්ටි ගණන වැඩි වන විට ඡන්ද පොළකට අවශ්‍ය නිලධාරීන් ගණනත් වැඩි වෙනවා. එවිට වියදමත් ඉහළ යනවා.
ඡන්ද මධ්‍යස්ථානයක් තුළ රැඳී සිටීමට එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයින් දෙදෙනෙකුට ඉඩ දෙනවා. අපේක්ෂකයින් 35ක් කියා කියන්නේ නියෝජිතයින් 70ක්. ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළේ අපේක්ෂකයන්ගේ නියෝජිතයින් 70කට පහසුකම් සැලසීම ඉතා අසීරු කටයුත්තක්. මේ සඳහා ලොකු ඉඩක් අවශ්‍යයි. ඒ වගේම 70 දෙනෙකුගේ අනන්‍යතා පරීක්ෂා කිරීම ආදිය වෙනුවෙන් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. මේ ආකාරයට උදෙන්ම ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණෙන නියෝජිතයින් හවස් වන තුරුම එක දිගට එහි රැඳී ඉන්නේ නැහැ. බොහෝ දෙනෙක් කෑම, තේ ආදිය සඳහා පිටත යන්නේ තමන් වෙනුවට ආදේශකයින් අසුන් ගන්වලා. එහෙම ඡන්දපොළ නියෝජිතයින් මාරු වන සෑම විටෙකම ඔවුන්ගේ අනන්‍යතා පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ වගේම, මෙවැනි පිරිසක් ඡන්ද මධ්‍යස්ථානය ඇතුළේ ගැවසෙන විට ඔවුන්ව නිරීක්ෂණය කිරීමට හා පාලනය කර ගැනීමට නිලධාරීන් වැඩි පිරිසක් අවශ්‍ය වෙනවා. ඒ වගේම, අමතර පොලිස් නිලධාරීන් ප්‍රමාණයක්ද අවශ්‍ය වෙනවා.
දැනට තෝරාගෙන තිබෙන ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දපොළ නියෝජිතයින් 70කට පහසුකම් සැලසීමට ඉඩකඩ මදි විය හැකියි. මැතිවරණ කොමිසමට එවැනි තැන් වෙනුවට වඩා ඉඩකඩ තිබෙන විකල්ප ස්ථාන හඳුනා ගන්න වෙනවා. මේ තත්ත්වය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලටත් බලපානවා. ගණන් කිරීමේ මධ්‍යස්ථානයක රැඳී සිටීමට එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයින් 5 දෙනෙකුටම අවසර ලැබෙනවා. මේ අනුව මෙවර නියෝජිතයින් 175 දෙනෙකුට පහසුකම් සැලසිය යුතුයි. ඔය තරම් පිරිසකට එකවර ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ හැකිද කියන එකත් ප්‍රශ්නයක්. මෙවැනි පිරිසකට ඉඩ ලබා දෙන්න පුළුවන් තරම් ඉඩකඩ නැති ගණන් කිරීමේ මධස්ථාන වෙනුවට විකල්ප ස්ථාන හොයා ගන්න වෙයි.
ඔයාකාරයට ඉඩකඩ ඇති තැන් හොයා ගත්තත්, ගණන් කිරීමේ කටයුත්තට වෙනදාට වඩා වැඩි කාලයක් යනවා. ඒ වගේම වැඩි නිලධාරීන් පිරිසක්ද අවශ්‍ය වෙනවා. එයට සමාන්තරව ඔවුන්ට කෑම බීම, වැසිකිලි, ප්‍රවාහන පහසුකම් වැනි සුබසාධන සේවා සැපයීම සඳහා යන වියදම් වගේම ඒ වැඩ වලට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණයත් ඉහළ යනවා. ඒ වගේම විදුලි බිල්, ජල බිල්, ජෙනරේටර් සඳහා වියදම් ආදී අනෙකුත් වියදම්ද වැඩි වෙනවා. මැතිවරණ කොමිසම විසින් ඉහත කී පරිදි රුපියල් බිලියනයකින් වියදම ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කරන්න ඇත්තේ මේ කරුණු සියල්ල සලකා බැලීමෙන් පසුවයි.
මැතිවරණ කොමිසමේ ඇස්තමේන්තු අනුව එක් අමතර අපේක්ෂකයෙකු නිසා මැතිවරණ වියදම රුපියල් මිලියන 70-100කින් පමණ ඉහළ යන පේනවා. නමුත්, අපේක්ෂකයෙකු විසින් ඇප සේ තැන්පත් කළ යුත්තේ රුපියල් 50,000ක් හෝ 75,000ක් පමණයි. ඉතිරි වියදම් පැටවෙන්නේ සාමාන්‍ය මහ ජනතාවගේ උර මතයි. මැතිවරණයේ මුළු වියදම ඡන්දදායකයන් සියල්ලන්ම විසින් සම සමව දරා ගන්නවා කියාත්, ඒ ආකාරයට වියදමට දායක වෙන්නේ තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා නිසා කියාත් හිතුවොත්, කිසියම් අවම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයින් තරඟයට එකතු වීම හේතුවෙන් වෙනත් අයට අනවශ්‍ය බරක් වැටෙන්නේ නැහැ කියා නිගමනය කරන්න පුළුවන්.
මේ අවම ඡන්ද ප්‍රමාණය කොපමණද? එක් ඡන්දදායකයෙකු තරඟයෙන් ඉවත් වුවහොත් මැතිවරණයේ වියදම පහළ යන්නේ රුපියල් මිලියන 70-100කින්. එනම්, මුළු වියදමෙන් 1.5%-2%ක් පමණ අඩු වෙනවා. ඒ නිසා, කිසියම් අපේක්ෂකයෙකු විසින් අඩු වශයෙන් මුළු ඡන්ද වලින් 2%ක් පමණවත් ලබා ගන්නවානම් එවැන්නෙකු ඡන්දයට ඉදිරිපත් වීමේ වියදම ඔහුගේ හෝ ඇයගේ ඡන්දදායකයින් විසින් පියවා ඇතැයි නිගමනය කරන්න පුළුවන්. එසේ නැත්නම්, අදාළ අපේක්ෂකයා තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය වියදම ගෙවන්න වෙන්නේ ඒ අපේක්ෂකයාගේ දේශපාලනය සමඟ එකඟ නොවන, ඔහුට හෝ ඇයට අකැමැති වෙනත් ඡන්දදායකයින්ටයි.
ලංකාවේ පැවැත්වුණු පළමු ජනාධිපතිවරණ දෙකට ස්වාධීන අපේක්ෂයින් ඉදිරිපත් වුනේ නැහැ. පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හය දෙනෙකුගෙන් හතර දෙනෙකු හා දෙවන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ තිදෙනාම 2% ඉක්මවා ඡන්ද ලබාගත්තා. එහෙත්, ඉන් පසුව, 1999 ජවිපෙ අපේක්ෂකයා හැර වෙනත් කිසිදු තෙවන අපේක්ෂකයෙකු 1% ඉක්මවා ඡන්ද ලබා නැහැ. මෙවර ඉදිරිපත්ව සිටින අපේක්ෂයින්ගෙන් සිවු දෙනෙකු හැර ඉතිරි අය 1% මට්ටම නොඉක්මවන බව පැහැදිලියි. ඔවුන් නිසා ඉහළ යන වියදම වැටෙන්නේ ඔවුන්ට කැමැත්තක් නොදක්වන ඡන්දදායකයින්ගේ උර මතයි.
ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඇතැම් අය තරඟයට ඉදිරිපත්ව සිටින්නේ තමන්ගේ මතවාදය ප්‍රවර්ධනය කිරීමටයි. ඔවුන්ට තමන්ගේ මතවාදය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ ඒ මතවාද වලට ඉල්ලුමක් නැති නිසයි. ඉල්ලුමක් නැති මතවාදයක් කවුරු හෝ විසින් ප්‍රවර්ධනය කිරීමේ වරදක් නැහැ. හැබැයි තමන්ගේ වියදමෙන් හෝ තමන්ගේ මතවාදයට කැමති අයගේ වියදමෙන්!
Labels:
ආර්ථික විද්‍යාව,
ජනාධිපතිවරණය,
දේශපාලනය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...