Thursday, October 10, 2019
ඡන්ද බිඳෙයි පය බුරුලින්!
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් අපේක්ෂකයින් එසේ ඉදිරිපත් වී සිටින්නේ වෙනත් අපේක්ෂකයෙකුට ලැබෙන ඡන්ද කඩන්න කියා ජනප්‍රිය චෝදනාවක් තිබෙනවා. ස්වරූපය අනුවම, මේ චෝදනාව පරස්පර විරෝධී එකක්. කවර හෝ අපේක්ෂකයෙකුගේ ඡන්ද කැඩෙනවා කියන ප්‍රකාශය ඇතුළේ තිබෙන මූලික උපකල්පනය වන්නේ ඒ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලැබෙන ඔහුට හෝ ඇයට "අයිති" කිසියම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා කියන එකයි. අනෙක් අතට, වෙන කෙනෙක්ට ඉදිරිපත් වී මේ ඡන්ද වලින් කොටසක් ඔහුට හෝ ඇයට ලැබෙන එක වැළැක්විය හැකිනම් එයින් තහවුරු වන්නේ ඒ ඡන්ද අදාළ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලැබෙන්නට නියමිතව තිබුණු ඡන්ද නොවන බවයි. ඒ කියන්නේ ඡන්ද කඩන කතාවට තාර්කික පදනමක් නැති බවයි.
කොහොම වුනත් අමතර අපේක්ෂකයෙකු ඉදිරිපත් වන හැම විටෙකම අනෙකුත් අපේක්ෂකයින්ගේ ඡන්ද වලට සුළු හෝ සෘණාත්මක බලපෑමක් වෙනවා කියන එක පැහැදිලි කරුණක්. වටින් ගොඩින් කතා නොකර අපි දැනට තරඟයට ඉදිරිපත් වී ඉන්න අපේක්ෂකයින්ගේ නම් වලින්ම කතා කරමුකෝ. කවුරුත් වගේ පිළිගන්න පරිදි දිනන්න ඉඩක් තිබෙන්නේ ගෝඨාභය හෝ සජිත්නේ. අපි හිතමු තරඟයට ඉදිරිපත් වුනේ මේ දෙන්නා පමණයි කියා. එහෙම වුනානම්, ඡන්දදායකයෙකුට තිබෙන්නේ විකල්ප තුනක් පමණයි. ඒ ගෝඨාභයට ඡන්දය දීම, සජිත්ට ඡන්දය දීම හා ඡන්දය නොදා සිටීම කියන විකල්ප තුනයි. වැඩිම ඡන්ද ගන්න අපේක්ෂකයා වලංගු ඡන්ද වලින් 50%කට වඩා අරගෙන ජනාධිපති වෙනවා.
දැන් ගෝඨාභය හා සජිත්ට අමතරව තෙවන අපේක්ෂයෙකු ලෙස අනුර කුමාර එකතු වෙනවා කියමු. එතකොට මොකක්ද වෙන්නේ? අනුර කුමාරටත් කිසියම් ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ඡන්ද කොටස් තුනකට වර්ග කළ හැකියි. ඒ ගෝඨාභයට ලැබිය හැකිව තිබුණු ඡන්ද, සජිත්ට ලැබිය හැකිව තිබුණු ඡන්ද හා ඒ දෙදෙනාටම ලැබිය නොහැකිව තිබුණු ඡන්ද ලෙසයි. මෙහිදී අනුර කුමාර තරඟයට ඉදිරිපත් වීම නිසා ගෝඨාභය හා සජිත් දෙදෙනාගේම ඡන්ද අඩු වෙනවා. ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශත සමානුපාතිකව ඊටත් වඩා වැඩියෙන් අඩුවෙනවා.
යම් හෙයකින් අනුර කුමාර විසින් ගෝඨාභයට ලැබිය හැකිව තිබුණු ඡන්ද හෝ සජිත්ට ලැබිය හැකිව තිබුණු ඡන්ද එකක්වත් නොගෙන ඒ දෙදෙනාටම ලැබිය නොහැකිව තිබුණු ඡන්ද පමණක් ගත්තත් ගෝඨාභය හා සජිත් දෙදෙනාගේම ඡන්ද ප්‍රතිශත අඩු වෙනවා. එහෙත්, එය සිදු වන්නේ සමානුපාතිකව නිසා ජයග්‍රාහකයා කවුද කියන කරුණ වෙනස් වන්නේ නැහැ. ජයග්‍රාහකයාට 50% නොලැබෙන්නට ඉඩක් තිබුණත් ජයග්‍රහණය වැළකෙන්නේ නැහැ. (මේ උදාහරණයේදී අනුර කුමාර විසින් ලබා ගන්නේ සජිත්ට හා ගෝඨාභයට කොහෙත්ම කැමති නැති අයගේ ඡන්ද පමණක් නිසා ඔවුන් දෙවන මනාපයක් ලබා නොදෙයි කියා උපකල්පනය කළ හැකියි.)
නමුත්, තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වූ විට ඔහුට ලැබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයින්ට ලැබිය නොහැකිව තිබුණු ඡන්ද පමණක් නොවන නිසා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිශත වඩා වැඩියෙන් අඩු වෙනවා. ඒ වගේම, එය සිදු වන්නේ සමානුපාතිකව නෙමෙයි. ඇතැම් විට කලින් මුල් තැන සිටි අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශතය වඩා වැඩියෙනුත්, දෙවන තැන සිටි අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශත අඩුවෙනුත් අඩු වීම නිසා (පළමු මනාපය පමණක් සැලකූ විට) ජයග්‍රාහකයා කවුද කියන එක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තෙවන අපේක්ෂයෙකු ඉදිරිපත් වීම නිසා ප්‍රතිඵලය වෙනස් වෙනවා. මෙහිදී සිදු වුනේ තෙවන අපේක්ෂකයා විසින් ඡන්ද කැඩීමක්ද?
එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. තෙවන අපේක්ෂකයෙකු වෙනුවෙන් පළමු මනාපය දෙන අයෙකු එසේ කරන්නේ ඔහු හෝ ඇය ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නාටම වඩා මේ තෙවන අපේක්ෂකයාට කැමති නිසයි. ඒ කියන්නේ තෙවන අපේක්ෂකයා විසින් ලබා ගන්නේ ඔහුගේ හෝ ඇයගේම ඡන්ද මිසක් කාගෙන්වත් කඩා ගන්න ඡන්ද නෙමෙයි. සිවුවන, පස්වන හෝ තිස්පස්වන අපේක්ෂකයාටත් මේ කතාව අදාළයි.
(Image: http://www.dailymirror.lk/article/Towards-the-Presidential-Elections-151637.html)
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
"ඉහත එකෙකුවත් නොවේ" යැයි ඡන්දයක් දීමට හැකි විය යුත්තේ මෙනිසා ය.
ReplyDeleteසත්තෙන්ම nota මහත්තයාත් ඡන්ද පත්‍රිකාවට එන්නම ඕනේ!
ReplyDeleteinteresting post
ReplyDelete