වෙබ් ලිපිනය:

Sunday, October 27, 2019

ඔක්තෝබර් කුමන්ත්‍රණයට අවුරුද්දයි!


ජනාධිපති සිරිසේන විසින් සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට මේ වන විට වසරක් ගත වී තිබෙනවා. මේ කුමන්ත්‍රණය මහින්ද හා මෛත්‍රී එක්ව සිදු කළ බවත්, කුමන්ත්‍රණයට එරෙහිව විවිධ බලවේග පෙළ ගැසී අවසානයේදී දින පනස් එකකට පසු කුමන්ත්‍රණය පරාජය කරනු ලැබීම මහින්ද-මෛත්‍රී පිලේ පරාජයක් බවත් එම පිලේ මෙන්ම ප්‍රතිවිරුද්ධ පිළේ බොහෝ දෙනෙකුගේ අදහසයි. ඇත්තටම මේ කුමන්ත්‍රණය මහින්ද-මෛත්‍රී පාර්ශ්ව වල සැලසුමක්ද? එහෙම නැත්නම්, ඔවුන්ද නොදැන ඔවුන් වෙන කාගේ හෝ සැලසුමක ඉත්තන් වුනාද?

මා දන්නා තරමින් ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී සිදු වූ ආකාරයට ජනාධිපති සිරිසේන විසින් රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කර මහින්දව එම ධුරයට පත් කළ යුතු බවත්, ව්‍යවස්ථාව අනුව එසේ කළ හැකි බවත්, මුලින්ම කරුණු සහිතව පැහැදිලි කරමින් යෝජනා කළේ නලින් ද සිල්වා විසිනුයි. පහත තිබෙන්නේ ඔහු විසින් 2017 නොවැම්බර් 25 දින පළ කළ ලිපියක්.

ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි

ඉහත ලිපියෙන් නලින් ද සිල්වා විසින් යෝජනා කළේ කඩිමුඩියේ ගෙන ආ දහනවවන සංශෝධනයේ තිබෙන පරස්පර වල වාසිය ගනිමින් මෙය කළ හැකි බවයි.

රනිල්ව ඉවත් කිරීම ගැන ඒ වන විටත් කාලයක් තිස්සේ කතා කරමින් සිටිය ඔහු මේ කරුණ දිගින් දිගටම අවධාරණය කරන්න පටන් ගත්තේ 2018 පෙබරවාරියේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණ වලින් පසුවයි. පහත ලිපිය ඔහු විසින් පළ කර තිබුණේ 2018 පෙබරවාරි 17 වනදා.

ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි

එම ලිපියේ ඔහු විසින්ම "දේශපාලනඥයන් ජනමාධ්‍යවේදීන් මුහුණු පොතේ පඬි පෝතකයන් මා ලියන කිසිවක් සතපහකට ගණන් ගන්නෙ නැහැ." යනුවෙන්ද ලියා තිබුණා. ඔහුගේ එම ප්‍රකාශය අවතක්සේරුවක් බව පැහැදිලි වුවත්, අගමැති ඉවත් කිරීමේ ඔහුගේ යෝජනාව මාස හතකට පසු සැබෑවක් වේයැයි මා හිතුවේ නැහැ. අඩු වශයෙන් ඔහු හෝ එසේ සිතුවාදැයි සැක සහිතයි.

එක පැත්තකින් නලින් ද සිල්වාගේ යෝජනාවේ බරපතල අඩුපාඩු තිබුණා. ඔහු තර්කනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අර්ථනිරූපණය කරන්න උත්සාහ කළත්, තර්කනය මේ වගේ කරුණකදී යොදාගන්නා එක් මූලධර්මයක් පමණක් වීමත්, මහින්ද-මෛත්‍රී වටා නීති විශාරදයින් ගණනාවක් සිටීමත් නිසා නලින් ද සිල්වාගේ යෝජනාව සැබෑවක් වීමේ ඉඩක් පිළිබඳ සැකයක් එසේ සිදුවන තුරුම මට තිබුණේ නැහැ. ආණ්ඩු වෙනස නලින් ද සිල්වාගේ යෝජනාවක් වුවත්, අවසානයේදී ආණ්ඩු වෙනස සිදු වුනේ ඔහු නිසා කියා කියන්න බැහැ.  ඔහුගේ යෝජනාව අවසානයේදී කාගේ හෝ සැලසුමක කොටසක් වුනා.

ඔක්තෝබර් කුමන්ත්‍රණය හා ආසන්නව සුවිශේෂී සිදුවීම් කිහිපයක් සිදු වුනා. රෝ ඔත්තුකරුවෙකු විසින් තමන්ව (හා ගෝඨාභය රාජපක්ෂව) ඝාතනය කිරීමට සැලසුමක් ඇති බව ජනාධිපති සිරිසේන විසින් ඔක්තෝබර් 16 දින කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වී තිබුණා. පසුව ජනාධිපති සිරිසේන විසින් ඔක්තෝබර් 17 දින දුරකථනයෙන් ජනාධිපති මෝදී අමතා මේ පුවත සාවද්‍ය එකක් බව පවසා තිබුණා. හදිසියේ මතු වූ නාමල් කුමාරනම් අයකුගේ ප්‍රකාශ මත අත් අඩංගුවට ගැනුණු මාර්සලි තෝමස්නම් ඉන්දියානු ජාතිකයෙකු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මානසික රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව නිදහස් කර මානසික ප්‍රතිකාර සඳහා යවා තිබුණා.

මේ වන විට රනිල් මෛත්‍රී ගැටුමද උඩටම මතු වී තිබුණා. ඔක්තෝබර් 20-22 අතර රනිල් වික්‍රමසිංහ ඉන්දියානු සංචාරයක නිරත වුනා. ඊට පෙර මහින්ද රාජපක්ෂද ඉන්දියාවේ සංචාරය කළා. ඔක්තෝබර් 26 වෙනිදා රනිල්ව ඉවත් කර මහින්දව පත් කෙරුණා. මහින්ද පිලට මුලින්ම ගිය අය අතර වඩිවේල් සුරේෂ් එක් අයෙක්. ඔහු බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්දියානු දෙමළ ප්‍රජාව නියෝජනය කරන්නෙක්. ඉන් පසු, දින කිහිපය තුළ ඔහු දෙපැත්තට දෝලනය වුනා. තවත් කිහිප දෙනෙක්ද පැති මාරු කළා. නොවැම්බර් 3 වෙනදා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සතාසිවම් වියලේන්තිරන් රාජපක්ෂ පිලට මාරු වුනා. මේ ආකාරයට මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් පිල් මාරු කළත්, ඒ වෙලාවේ මහින්දලාට බහුතර මන්ත්‍රීන්ගේ සහයෝගය ලබාගත හැකි ආකාරයේ රැල්ලක් තිබුනේ නැහැ.

ඔක්තෝබර් කුමන්ත්‍රනය සිදු වන විට තිබුණු දේශපාලන වාතාවරණය කොයි වගේ එකක්ද? ඒ වන විට එජාපය බිමටම සමතලා වෙලයි හිටියේ. එජාපය වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නොසිටි තරම්. අනෙක් අතට 44%ක් ලෙස මාධ්‍ය කිහිපයක් හරහා ජනගත කර තිබුණු 40.5%ක ඡන්ද ප්‍රතිශතයෙන් පොදුජන පෙරමුණ හා එම පක්ෂයේ ආධාරකරුවන් හිටියේ ටොප් ෆෝර්ම් එකේ. ඒ වගේම, 2015දී එජාපය එක්ක හිටපු බලවේග එකින් එක හැලී ගිහින් අවසානයේදී ජාතික ආණ්ඩුවේ පාර්ශ්ව දෙකත් ඒ වෙලාවේ දෙපිලකයි හිටියේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයගත්තේ ඉන්දියාවේ හා බටහිර රටවල උදවුවෙන් කියන එක බොහෝ දෙනෙකු විසින් නොයෙක් වර කියා ඇති දෙයක්. විශේෂයෙන්ම මහින්ද පාර්ශ්වයේ අය. ජනාධිපතිවරණය පැවැත්වෙන විටත් එජාපය සතුව විශාල ජන පදනමක් තිබුණේ නැහැ. ද්‍රවිඩ සන්ධානයේ හා ජවිපෙ සහයෝගය නොලැබුනානම් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති වෙන්න ලැබෙන්නේ නැහැ. ද්‍රවිඩ සන්ධානය, ජවිපෙ හා එජාපෙ එකතු වීමෙන් පසුව රාජපක්ෂලා එපා වී සිටි විශාල පිරිසක්ද ඒ පැත්තට විතැන් වුනා. එසේ වුනේ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කිහිප දෙනෙකු පිල් මාරු කළ නිසා නෙමෙයි. එහෙත්, 2015දී රාජපක්ෂලාගෙන් විතැන් වූ ඡන්දදායකයින් පිරිසත්,  අඩු වැඩි වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිල් මාරු කළ පිරිස සිටි දේශපාලන මානසිකත්වයේම සිටි පිරිසක්.

ද්‍රවිඩ සන්ධානය, ජවිපෙ හා එජාපෙ අතර වූ මැතිවරණ සන්ධානය ඒ ආකාරයටම තිබුණේ ජනාධිපතිවරණය අවසන් වන තුරු පමණයි. ද්‍රවිඩ සන්ධානයට හා ජවිපෙට තමන්ගේ අනන්‍යතා හා ඡන්දදායක පදනම් රැකගෙන එජාපය (හෝ වෙනත් ප්‍රධාන පක්ෂයක්) හා එක්ව කටයුතු කළ හැකි සීමාවක් තිබෙනවා. එම පක්ෂ මහ මැතිවරණයට තරඟ කළේ වෙන වෙනමයි.

ජනාධිපතිවරණ ගණිතය හා මහ මැතිවරණ ගණිතය වෙනස්. එජාපය ශ්‍රීලනිපයේ මෛත්‍රී කණ්ඩායම හා එක්ව, ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය වෙන වෙනම තරඟ කරද්දී,  ශ්‍රීලනිපයේ ප්‍රධාන කණ්ඩායමට එරෙහිව මහ මැතිවරණයට ගියානම් 2015 අගෝස්තු අවසන් ප්‍රතිඵලය වෙන්නේ වෙනෙකක්. එය වෙනස් වුනේ මෛත්‍රීපාල සිරිසේන එජනිස සභාපති වීම හා මහින්ද එම ධුරය මෛත්‍රීට භාර දී පැත්තකට වීම සමඟයි. මේ සමඟ ඇති වුනේ විශාල දේශපාලන විකෘතියක්.

මෛත්‍රීපාල සිරිසේන විසින් භාර ගත්තේ තමන්ට එරෙහිම තමන්ගේ ප්‍රතිවාදියාට ඡන්දය දුන් කණ්ඩායමේ නායකත්වයයි. මේ වැඩේට රනිල් වික්‍රමසිංහ වක්‍රව සහයෝගය දුන් බවක් මිසක් විරුද්ධ වූ බවක් පෙනෙන්න තිබුණේ නැහැ. මම හිතන්නේ රනිල්, මෛත්‍රී ඇතුළු බොහෝ දෙනෙකුට වගේම මහින්ද පිලටත් ශ්‍රීලනිපයේ සංකේතාත්මක වටිනාකම පිළිබඳව තිබුණේ අධි තක්සේරුවක්. එතෙක් ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බැලූ විට ඒ අධි තක්සේරුව නිවැරදි බව පෙනෙන්නට තිබුණා. 2018 පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන තුරුම වෙනත් බොහෝ දෙනෙක් වගේම මගේ ඇස්තමේන්තුව වුනේත් ශ්‍රීලනිප කියන පක්ෂය සමඟ මීට වඩා විශාල පිරිසක් සිටින බවයි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් තහවුරු වුනේ එය එසේ නොවන බවයි.

පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන විට එජාපයට රටේ 50%ක ඡන්ද නොතිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු කරුණක් වුවත් ඒ ප්‍රමාණය 29%ක් තරම් පහළ බවක් පැහැදිලිව පෙනෙන්නට තිබුණේ නැහැ. නමුත්, එජනිස ඡන්ද මීට වඩා වෙනස් ලෙස පොදුජන පෙරමුණ හා එජනිසය අතර බෙදුනානම් 40%ක පමණ ඡන්ද ප්‍රතිශතයකින් වුවත් එජාපයට රටේ පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක බලය ලබාගත හැකිව තිබුණා. 2015 අගෝස්තුවේදී එජාපය 45.7%ක ඡන්ද ප්‍රතිශතයකුත්, එජනිසය 42.4%ක ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන තිබුණා.

පළාත් පාලන මැතිවරණ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන එජාපය හා සහයෝගීතාවය ගැන කතා කරමින්ම දිගින් දිගටම එජාපය විවේචනය කිරීමද කළා. එහිදී ඔහුගේ උපක්‍රමය වුනේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණට යාම වැළැක්වීම මිස එජාපයේ ඡන්ද ආකර්ශනය කර ගැනීම නෙමෙයි. එහෙත්, සිදු වුනේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණට යාම හා 2015 අගෝස්තුවේ එජාපය ලැබූ ඡන්ද එජනිසය වෙත විතැන් වීමයි. පළාත් පාලන මැතිවරණ වලදී 29% මට්ටමට වැටුණු එජාපයට තව දුරටත් පැවැත්මක් ඇති බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුව පිහිටුවීමට උදවු කළත්, ඉන් පසුව, විශේෂයෙන්ම බැඳුම්කර වංචාව සිදු වීමෙන් පසුව, දිගින් දිගටම එජාපය විවේචනය කළ ජවිපෙට එජාපයට සෘජුව සහයෝගය දීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම, ද්‍රවිඩ සන්ධානයට උතුරට ගොස් පෙන්විය හැකි එජාපය දෙමළ ජනතාව වෙනුවෙන් කළ සුවිශේෂී දෙයක් තිබුණේත් නැහැ. ඒ වගේම, යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාගේ හොරකම් අල්ලා ඔවුන්ට නඩු දමා තිබුණේ නැහැ. ඒ නිසාත්, එජාපය බැඳුම්කර වංචාවට පැටලීමත් නිසා රාජපක්ෂ විරෝධයේ දේශපාලන වාසිය මේ වන විට තුනී වෙලයි තිබුණේ. ඔක්තෝබර් කුමන්ත්‍රණය සිදු වුනේ මෙවැනි දේශපාලන වටපිටාවකයි.

ඔක්තෝබර් කුමන්ත්‍රණය සමඟ සියල්ල කණපිට හැරුණා. ජවිපෙට, එජාපයට, ද්‍රවිඩ සන්ධානයට මෙන්ම නිර්පාක්ෂිකයින්ටත් නැවත එකට එකතුව කටයුතු කරන්න එයින් අවස්ථාවක් සැලසුණා. රාජපක්ෂලා සමඟ සිටි ඇතැම් අය බලය අපහරණය පිළිබඳ නිදර්ශන රට හමුවේ ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. වඩිවේල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීමත් සමඟ මන්ත්‍රීවරුන් වෙන්දේසි වීම ගැන කතාබහ මතු වුනා. රංගෙ බණ්ඩාර සිදුවීමෙන් මෙය තහවුරු වෙන්න පෙර සිටම මන්ත්‍රී වෙන්දේසිය ජාත්‍යන්තර අවධානය දිනාගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම ඉදිරියට දමා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්න ජවිපෙට පදනමක් හැදුනා. සතාසිවම් වියලේන්ද්‍රන්ගේ පිල් මාරුවත් එක්ක ද්‍රවිඩ සන්ධානයට ප්‍රසිද්ධියේ එජාපයට සහයෝගය දිය හැකි පසුබිමක් හැදුනා. 2015දී මෙන් නැවතත් රාජපක්ෂ විරෝධී බලවේග එක කඳවුරකට ආවා.

ඔක්තෝබර් කුමන්ත්‍රණය වෙලාවේ රනිල්ගෙන් දැක ගත හැකි වුනේ තරමක් උදාසීන ප්‍රතිචාරයක්. අරලියමන්දිරය අත් නොහැරියත්, අගමැතිකම නමට තියාගෙන හිටියත්, තමන්ගේ නීත්‍යානුකූල අගමැතිකම රැක ගන්න ඔහු ලොකු සටනක් කළේ නැහැ. ඔහු කළේ බටහිර රටවලට නඩු කියන එක පමණයි. අඩු වශයෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ හෝ නැහැ.  තත්ත්වය වෙනස් වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුනේ ජවිපෙත්, ආණ්ඩුව ඇතුළේ සිටි චම්පික හා රාජිත වැනි අයත් සක්‍රිය වීමයි. ඔවුන් එසේ සක්‍රිය වුනේ රටේ බොහෝ මිනිසුන් මේ අවස්ථාවේදී සංවේදී වූ නිසා විය හැකියි. එසේ නැතත්, ඔවුන් එසේ සක්‍රිය වීම ප්‍රයෝජනවත් වුනේ රටේ බොහෝ මිනිසුන් මේ වෙලාවේ සංවේදී හා සක්‍රිය වූ නිසයි.

අවසානයේදී දින පනස් එකකින් පසු එම ආණ්ඩුව බිඳ වැටුණා. ඒ වෙලාවේ එකට එකතු වූ බලවේග නැවත විසිරී ගියා. දිගුකාලීනව එජාපයට ලොකු වාසියක් හෝ පොදුජන පෙරමුණට ලොකු අවාසියක් වුනේ නැහැ. නමුත්, යම් හෙයකින් රාජපක්ෂලාට තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මිල දී ගත හැකි වුනානම් තත්ත්වය වෙනස් වෙනවා. රාජපක්ෂලා විසින් බලෙන් ගත් ආණ්ඩුව වැඩි කලක් පැවතුනානම් රාජපක්ෂ විරෝධීන් දිගටම එක්ව කටයුතු කිරීම හා රාජපක්ෂ විරෝධය එන්න එන්නම වර්ධනය වීමත් සිදු වෙනවා. අරලියගහ මන්දිරයට පහර දී රනිල්ව ඉවත් කළානම් තත්ත්වය බොහෝ සේ වෙනස් වෙනවා. ඉතා පහසුවෙන් විදේශ මැදිහත්වීමකට අවස්ථාව සැලසෙනවා. එවැන්නක අවසන් ප්‍රතිඵලය හිතා ගන්නත් අමාරු තරම් භයානකයි.

ඔක්තෝබර් කුමන්ත්‍රණය හා එය බිඳ වැටීම නිසා එක් එක් පාර්ශ්ව වලට සිදු වූ වාසි අවාසි ඇස්තමේන්තු කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක්. ඒ වගේම, සමහර සැලසුම් වෙනත් සැලසුමක ප්‍රතිඵලයක් විය හැකි බව කූඹියෝ බලපු අය දන්නවා. ඔක්තෝබර් කුමන්ත්‍රණය සැලසුම් වුනේ කොහොමද කියන එක බොහෝ විට කවදාවත් හරියටම දැනගන්න නොලැබෙන්න පුලුවන්.

4 comments:

  1. කුමන්ත්‍රණය කුමක් උනත් 19 හරහා ජනතා පරමාධිපත්‍ය බරපතලලෙස කෙලෙසීමකට ලක්ව ඇති බව පෙනුනා.

    ReplyDelete
  2. I think Naleen de Siva is correct, one of my friend (HC Judge) told me the same (ambiguity of the amendment can be used to sack the govt) And the judgement confirms this ambiguity by referring and giving weight to the whole purpose of the amendment, rather than any specific law in the amendment.

    ReplyDelete
  3. ඔබේ සිතට සතුටක් ගෙන දේ නම් "කුමන්ත්‍රණය" යැයි දිගටම මතුරන්න.

    එහෙත් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මිස අගමැති පත් කිරීම නොවන බව මතක තබා ගන්න. නිත්‍යානුකූල අගමැති මහින්ද රාජපක්‍ෂ ඉල්ලා අස් වීම නිසා (එසේ වූයේ පාර්ලිමේන්තු බහුතරය පිහිටුවා ගැනීමට නොහැකි වූ බැවින් බව මගේ අදහසයි) රනිල් නැවත නිත්‍යානුකූලව අගමැති ලෙස දිවුරුම් දුන්නේය.

    හදිසියේ මහින්ද අගමැති ලෙස නම් කිරීම මන්ත්‍රණයක් බව සැබැවි - ඇමරිකානුවන්ගේ දෘෂ්ඨි කෝණයෙන් එය කුමන්ත්‍රණයක් වීමත් තේරුම් ගත හැක්කකි. නමුත් එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ලෙස නම් කිරීම පමණ ඉක්මවා යාමකි. සැබෑ ව්‍යවස්ථා කුමන්ත්‍රණය නම් අධිකරණය ඉක්මවා ගොස් ජනමත විචාරණයකින් තොරව 19 වන සංශෝධනය අනුමත කර ගැනීමයි. අපට අනුව 19 වන සංශෝධනය ව්‍යවස්ථා විරෝධී ව්‍යවස්ථාවකි. දුරකථනයෙන් තර්ජනය කර කැබිනට් චිට් එකකින් අගවිනිසුරු ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල යැයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇමරිකානු තානාපතිගෙන් සහතික ලැබූ මේ රටේ 19 වන සංශෝධනය ව්‍යවස්ථා විරෝධී යයි කැබිනට් මණ්ඩලය විසින් නම් කර නොසළකා හැරිය හැකි විය යුතුය.

    ReplyDelete
  4. කාගෙ අදහසක් උඩ ක්‍රියාත්මක වුණත් දින 52 ආණ්ඩුවෙන් වුණේ හැමෝම සල්ලන් වෙච්චි එකයි!

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...