වෙබ් ලිපිනය:

Tuesday, May 17, 2016

ග්‍රෙගෝරියන් අවුරුද්ද, නක්ෂත්‍ර අවුරුද්ද හා ඉකොනොමැට්ටාගේ අවුරුද්ද


වර්තමාන ලෝකයේ ලංකාවද ඇතුළු බොහෝ රටවල භාවිතා වන ප්‍රමුඛ දින දසුන වන ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ දවසක් යනු කුමක්ද යන්නත්, පැරණි සිංහල දින දසුනේ දවසක් යනු කුමක්ද යන්නත් අපි පෙර ලිපියෙකින් කතා කළෙමු. ග්‍රෙගෝරියන් දවසක් යනු පෘථිවියට සිය අක්ෂය වටා කරකැවී, එම අක්ෂයට ලම්බකව පිහිටි තලයකට පෘථිවි මධ්‍යයේ සිට සූර්යයා පිහිටි තැන දක්වා ඇඳිය හැකි මනඃකල්පිත රේඛාවක ප්‍රක්ෂේපනය කරා නැවත පැමිණීමට ගතවන කාලයයි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, පෘථිවියට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන කාලයට වඩා මඳක් වැඩි මෙම කාලය අර්ථදැක්වීම අනුව පැය විසි හතරකි. 

දීර්ඝකාලීනව පෘථිවියේ සමකයෙන් වඩා දුරස්ථ නොවන ප්‍රදේශ වල ඇති වන දිවා රාත්‍රී චක්‍රයක සාමාන්‍ය දිග මෙවැනි පැය විසිහතරක දවසක් හා සම්පාත වේ. මෙසේ අර්ථ දක්වන පැය විසි හතරක දවස යන සංකල්පයට සාපේක්ෂව හා ඈතින් පිහිටි තරු වල පෘථිවියට පෙනෙන පිහිටීමට සාපේක්ෂව පෘථිවියට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට පැය 23 මිනිත්තු 56 තත්පර 4.098903691ක පමණ සාමාන්‍ය කාලයක් ගතවේ. කෙසේවුවද, මේ කාලයද වෙනත් බොහෝ සාධක අනුව වෙනස් වන්නකි. එමෙන්ම, පෘථිවියට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන කාලය දිගුකාලීනව දිවාරාත්‍රී චක්‍රයක දිග සමඟ සම්පාත වන්නේද නැත.

සූර්ය ග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තු අතර සිදුවන සාපේක්ෂ චලිතය විස්තර කිරීමට දැන් යොදාගන්නා සූර්ය කේන්ද්‍රීය ආකෘතිය ජනප්‍රිය වීමට පෙර ජනප්‍රියව පැවති පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව දවසක් යනු සූර්යයාට පෘථිවිය වටා වටයක් කරකැවීමට ගත වන කාලයට මෙන්ම දිවාරාත්‍රී චක්‍රයකටද සමානය. මේ කාලය දිගුකාලීනව ග්‍රෙගෝරියන් දවසක් සමඟද සම්පාත වේ. සූර්ය කේන්ද්‍රීය ආකෘතියේදී මෙන් පෘථිවිය සිය අක්ෂය වටා සිදුකරන චලිතය හා පෘථිවිය සූර්යයා වටා සිදු කරන චලිතය ලෙස සංරචක දෙකකට විභේදනය කිරීමක් අවශ්‍ය නොවන නිසා මේ දෙවන ආකෘතිය වඩා සරලය. තේරුම් ගැනීම පහසුය.

ග්‍රෙගෝරියන් දවස පිලිබඳ සංකල්පය බිහි වුනේ සූර්ය කේන්ද්‍රීය ආකෘතිය ජනප්‍රිය වීමට බොහෝ කලකට පෙර පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය ජනප්‍රියව තිබියදීය. ඒ නිසා, ග්‍රෙගෝරියන් දවසද පෘථිවි කේන්ද්‍රීයව බිහි වූ සංකල්පයකි. ග්‍රෙගෝරියන් දවස සූර්ය කේන්ද්‍රීය ආකෘතිය ඇසුරින් විස්තර කිරීම වඩා සංකීර්ණ කාර්යයක් වන්නේ ඒ නිසාය.


දිවා රාත්‍රී චක්‍ර වලට අමතරව චක්‍රීයව සිදුවන තවත් බොහෝ සංසිද්ධි හෝමෝ සේපියන්ස්ලා විසින් දිගුකාලීනව නිරීක්ෂණය කර තිබේ. දිවා රාත්‍රී චක්‍ර 29-30 කට පමණ වරක් චන්ද්‍ර චක්‍ර හා කාන්තාවන්ගේ ඔසප් චක්‍ර පුනරාවර්තනය වේ. එමෙන්ම, දිවා රාත්‍රී චක්‍ර 365-366 කට පමණ වරක් කාලගුණ චක්‍ර පුනරාවර්තනය වේ. මාස හා අවුරුදු යන සංකල්ප වලට පදනම් වන්නේ මේ සංසිද්ධීන්ය.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව, සූර්යයා, වෙනත් ග්‍රහ වස්තු මෙන්ම ඈතින් පිහිටි තාරකාද පෘථිවිය වටා ගමන් කරයි. මේ ඈතින් පිහිටි තාරකාවෝ දීර්ඝ කාලයක් තිස්සේ පෘථිවියට පෙනෙන පරිදි එකිනෙක අතර ඇති දුර නොවෙනස්ව පවත්වා ගනී. අහසේ පෙනෙන්නට ඇති දහස් ගණනක් වූ තාරකාවෝ පොළොව වටා කැරකෙන්නේ එක් සමූහයක් වශයෙනි. එහෙත්, අහසේ ඇති සූර්යයා හා චන්ද්‍රයා ඇතුළු ග්‍රහවස්තු ලෙස හඳුනාගන්නා වස්තූන් නක්ෂත්‍ර තාරකා පංති ප්‍රධාන අනෙකුත් තාරකා සමූහය සමඟ රෑනේ ඉගිලෙන්නේ නැත. ඒවාට තමන්ටම ආවේණික වූ ගමන් තිබේ.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව, සූර්යයා පෘථිවිය වටා ගමන් කරන්නේ නක්ෂත්‍ර තාරකා ගමන් කරනවාට වඩා අඩු වේගයකිනි. මේ නිසා කිසියම් නිශ්චිත දීර්ඝ කාලයක් තුළ පෘථිවිය වටා සූර්යයා ගමන් කරන වට ගණන පෘථිවිය වටා නක්ෂත්‍ර තාරකා ගමන් කරන වට ගණනට වඩා අඩුය. නිරීක්ෂණ ඇසුරින් කාලයක් තිස්සේ ගණනය කර ඇති මේ වට ගණන් පිළිබඳ හා කාලය පිළිබඳ සූර්ය සිද්ධාන්ත සමයේ පැවති දැනුම පහත සඳහන් ආකාරයේ එකකි.


කාලයේ ප්‍රභේද දෙකකි. අපට සංකල්පීය වශයෙන් අවබෝධ කරගත හැකි හා එසේ කළ නොහැකි කාලය වශයෙනි. අපට සංකල්පීය වශයෙන් අවබෝධ කරගත හැකි කාලයද මැනිය හැකි, සැබෑ කාලය (මූර්ත- मूर्त, මුහුර්ත- मुहूर्त) හා මැනිය නොහැකි බැවින් සැබෑ නොවන නමුත් සංකල්පීය ලෙස අවබෝධ කර ගත හැකි කාලය (අමූර්ත- अमूर्त) ලෙස ප්‍රභේද දෙකකි. (10 වන ශ්ලෝකය)

මූර්ත කාල ඒකකයක් වන නක්ෂත්‍ර අහෝරාත්‍රයක් යනු පෘථිවිය මත ඇතිවන දිවාරාත්‍රී චක්‍රයකි. [මෙය පැරණි සිංහල දවසකටද  සමානය.] අහෝරාත්‍රයකට ඝටිකා හැටකි. [මේ අනුව, ඝටිකාවක් පැරණි සිංහල පැයකි.] (12 වන ශ්ලෝකය)

ඝටිකාවකට පල හැටකි. [මේ අනුව පල එකක් සිංහල විනාඩි එකකද, ග්‍රෙගෝරියන් තත්පර 24කටද සමානය.] මේ කාලයේදී මැනීමේ හැකියාවක් තිබුණු කුඩාම කාල අන්තරය වූයේ පල එකකින් හයෙන් කොටසක් වූ ප්‍රාණ එකකි. ප්‍රාණ එකක් වත්මන් තත්පර හතරකට පමණ සමාන විය. (11 වන ශ්ලෝකය) කෙසේවුවද, සංකල්පීය වශයෙන් මීට වඩා බොහෝ කුඩා කාලාන්තර හඳුනාගෙන තිබුණේය.


මහා යුගයක් යනු නක්ෂත්‍ර තාරකාවන්ට පොළොව වටා වාර 1,582,237,828 ක් යාමට ගතවන කාලයයි (34 වන ශ්ලෝකය). මෙවැනි මහා යුගයක් තුළදී සූර්යයා පොළොව වටා වාර 1,577,917,828 ක් ගමන් කරයි (37 වන ශ්ලෝකය). කල්පයක් යනු මෙවැනි මහා යුග දහසකි (20 වන ශ්ලෝකය).  මහා යුගයක් තුළදී සුරයන්ගේ හා අසුරයන්ගේ අහෝරාත්‍රයන් 4,320,000 ක් ගෙවී යයි. සුරයන්ගේ හා අසුරයන්ගේ අහෝරාත්‍රයක් යනු මිනිසුන්ගේ වසරකි (15 හා 16 වන ශ්ලෝක).

ඉහත තොරතුරු අනුව සුර හෝ අසුර දිනක් හෙවත් මිනිස් වසරක් තුළදී සූර්යයා පොළොව වටා වාර 365.2587565 ක්ද, නක්ෂත්‍ර තාරකා වාර 366.2587565 ක්ද ගමන් කරයි.


මේ අනුව, නක්ෂත්‍ර තාරකා හා සූර්යයා වෘත්තාකාර ධාවන පථයක මැරතන් තරඟයක නිරතව සිටින බව සැලකුවහොත් අඩු වේගයකින් දුවන සූර්යයා සහ අනෙකුත් තාරකා අතර පරතරය දිනෙන් දින වැඩි වේ. එහෙත් කිසියම් කාලයකට පසුව නක්ෂත්‍ර තාරකාවන් 'රවුමක ලීඩ් එකක් ගැනීම නිසා' නැවතත් සූර්යයා සමඟ සිටින තැනටම පැමිණේ. සූර්ය සිද්ධාන්ත වසරක් යනු මේ 'රවුමේ ලීඩ් එක ගැනීමට' නක්ෂත්‍ර තාරකාවන්ට ගතවන කාලයයි. වෙනත් අයුරකින් කිවහොත් පොළොවට නිරීක්ෂණය වන පරිදි, නක්ෂත්‍ර තාරකාවන්  (සමඟ සූර්යයා) පොළොව වටා සිදු කරන නැගෙනහිර සිට බටහිරට සිදු කරන චලිතයට සාපේක්ෂව සූර්යයාට ප්‍රතිවිරුද්ධ දිශාවට පොළොව වටා වටයක් යාමට ගතවන කාලයයි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව පොළොවට සූර්යයා වටා වටයක් යාමට ගත වන කාලයද සංකල්පීය වශයෙන් මෙයමය. නක්ෂත්‍ර වර්ෂයක් (sidereal year) ලෙස හැඳින්වෙන්නේ මේ කාලයයි. 

වත්මන් මිනුම් අනුව, නක්ෂත්‍ර වසරක් යනු පැය විසි හතරේ ග්‍රෙගෝරියන් දින 365.256363004 ක් පමණ වේ. මේ කාලය සූර්ය සිද්ධාන්ත යුගයේ ඇස්තමේන්තුවෙන් වෙනස් වන්නේ මිනිත්තු 3කුත් තත්පර 26.8කින් පමණි. කෙසේ වුවද, ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ පදනම වනුයේ දින 365.242189ක් පමණ දිග, නක්ෂත්‍ර වසරකට වඩා මිනිත්තු 20කුත් තත්පර 24.6කින් කෙටි නිවර්තන වසරයි (tropical year). මේ නිවර්තන වසර ගැන පසුව වෙනත් ලිපියකින් කතා කරමු. 

ඉකොනොමැට්ටාගේ බොජුන්හල විවෘත කළේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව පසුගිය වසරේ මැයි 18 දිනයි. නක්ෂත්‍ර වසරක දිග අනුව බැළුවද, නිවර්තන වසරක දිග අනුව බැළුවද, ඇනෝමලිස්ටික් වසරක (anomalistic year) දිග අනුව බැළුවද, ඉකොනොමැට්ටාගේ බොජුන්හලට දැන් වයස වසරකි. ග්‍රෙගෝරියන් දින දසුන අනුව 2016 අධික අවුරුද්දක් වූ බැවින් දින 366 කට පසුව ඉකොනොමැට්ටාගේ පළමු උපන් දිනය හෙට (මැයි 18) එළැඹේ.



පසුගිය කැලැන්ඩර් වසර අවසානයේදී මෙන්ම, වියුණුව අරඹා ගතවෙන පළමු වසර තුළදීද ඉකොනොමැට්ටාගේ සැපයුම් ඉලක්ක, ඉල්ලුම් කළමනාකරණ ඉලක්ක ඇතුළු සියළු ඉලක්ක අපේක්ෂා කළ අයුරින්ම සැපිරී තිබේ. වසරක් ඉකොනොමැට්ටා සමඟ රැඳී සිටිමින් නොයෙක් අයුරින් සහයෝගය දැක්වූ ඔබ සියල්ලන්ටම ඉකොනොමැට්ටාගේ ස්තුතිය හිමි වේ.



46 comments:

  1. Congratulations for 50,000 visitors! I'm the 50,000th visitor. Wish u all the very best & success. Cheers!

    ReplyDelete
  2. සුබ පැතුම් ඉකෝ!... වසරක් පිරීමට වඩා ඔබේ අපේක්ෂිත ඉලක්ක කරා ළගා වීමට මේ වසරක කෙටි කාලය තුලදී හැකි වූ බව අහන්න ලැබීම සතුටක්.

    ඉකොනොමැට්ටාගේ වසරවල් තව බොහෝ ගනනක් උදාවේවා!.

    ඒ හැම දවසකම ඔබ කියවන්නන්ට අළුත් යමක් දෙන බව ඉකොනොමැට්ටා කියවන මා ඇතුළු සියළු පාඨකයින්ගේ විශ්වාසය බව මගේ අදහසයි.
    ඉකොනොමැට්ටාගේ බොජුන්හල මටනම් පහුගිය වසරේ ගුණවත්ම ආහාර සැපයූ බොජුන්හලයි. ඔන්න දැන් ඒ වගේම නැනෝමැට්ටෙකුත් ඉන්නවා. ඉඩ ඇති වෙලාවක ගොඩවෙලා බලන්න.

    https://nesciencetoscience.blogspot.com

    ReplyDelete
    Replies
    1. මම කෙන්කියුෂාගේ ලිපි මුල සිටම කියවනවා. ඒ ලිපි හොඳ එකතුවක්. කෙනෙකුට පසුවට වුණත් ප්‍රයෝජනවත්. මමත් වැඩිය නොදන්නා, එහෙත් කැමති විෂයක් නිසා මටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

      Delete
  3. තම ලිවීමේ ශෛලිය වෙනස් නොකර ම අවුරුද්දේ සැමරුම ගැන ලිවීම ගැන මගේ ප්‍රසාදය පළ කරමි.
    (මා ද බොහෝ විට කරන්නේ එයයි!)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රසික! පටන්ගත් අළුතම රසික විසින් බ්ලොග් එක හඳුන්වාදීම නිසා විශාල වෙනසක් සිදුවුණා.

      Delete
  4. පසු ගිය ග්‍රෙගොරියන් වසර පුරාම ඇස ගසා එක් භෝජයක් වත් නොවළදා සිටි එකම බොජුන් හල මෙය වේ. නමුත් හැම කෑමකටම බිල් ගෙවා නම් නැත. මේ වසර කිහිපයක මගේ බ්ලොග් ජීවිතයේ හමුවූ නිවරැදිම තොරතුරු සපයන්නා රවුමේ ලීඩ් එකක් ගනී යැයි සිතුවෙමි.. අද ඔබ ගැන බොහෝ සතුටුය..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++ Well done Eකොnoමැට්ta!!!!!!

      Delete
    2. අර ටෙස්ලා සමඟ කාලය රවුම් කර ඇති ලිපිය කියවූ විට කිසිම ණයක් නැති බව පැහැදිලියි.

      Delete
  5. උපන්දිනේට අළුත් ඇඳුමකුත් අන්දලා..
    ඉකොනොමැට්ටා කියවලා ඔලුවට දාගත්තු කරුණු කාරණා ශාස්ත්‍රීය ලිපි කියවලා දැනගන්න හිටිය නං ඒක කෙරෙන්න අමාරු දෙයක් නෙමෙයි නොකෙරෙන වැඩක්.ගොඩ දෙනෙකුට එහෙමයි.
    ඒ නිසා වටිනා කාර්යයක් ඉටුකරන ඔබට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්දන්න වැඩිය කැමති නැති වුණත් අළුත් අවුරුද්දටවත් ඇඳුම් මාරු කරන්න ඕනැනේ. :)

      Delete
  6. වසරක් පිරෙන්නටත් මත්තෙන සම්මාණ ලැබීම ඊටත් ඉස්තරන්....

    මම හැමදාම කියන්නේ ඒකයි... ප්‍රවීණයෙක් වෙන්න... වසර ගනන් ඉන්න ඕන නෑ... හෙට එන එකෙක්, එක දවසෙන් ඒ දේ ලැබ ගනිවී.... අවුරුදු ගනන් උන්නත් බැරි බැරියාව තියෙන එකාට බෑම තමයි....

    ReplyDelete
    Replies
    1. හරියට හරි මාතා

      Delete
    2. මාතලන්ගේ හා නෙළුම්යායේ ඇතුළු සම්මාන වලිනුත්, තවත් බොහෝ දෙනෙකු කළ දිරිමත් කිරීම් වලිනුත් උත්තේජනයක් ලැබුණු බව නොකිවුවොත් එය කුහක කමක්. මුල් කාලයේ ගොඩක් අය පැමිණියේ මාතලන්ගේ සින්ඩිය හරහා. දැනටත් කෙළින්ම එන අය සහ වත්පොතෙන් එන අය හැරුණු විට වැඩිපුරම එන්නේ එතැනින්.

      Delete
  7. සුබ පැතුම් !!!!!!!

    ReplyDelete
  8. සුබ පැතුම්!!!

    දන්න කියන වෙනත් මැට්ටන්ටත් කියන්න අපි පණ්ඩිතයන්ට කරුණු වටහා දෙන්න යමක් සිංහලෙන් ලියන්න පටන් ගන්න කියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! දැන් එක එක්කෙනා අළුතින් එකතු වෙනවා වගේම මේ වසර තුළ කළින් ලියූ අයගේ ලිපි වලත් හොඳ අතට වෙනසක් තියෙනවා නේද? ඒ වගේම කමෙන්ට් දමන අයත් දැන් බොහෝ දේ එකතු කරනවා.

      Delete
  9. සුබ පැතුම්!!!

    අපි පණ්ඩිතයන්ට කරුණු කාරනා ඇති සැටියෙන් කියා දෙන මැට්ටාට සු පැතුම්! දන්න කියන වෙනත් මැට්ටන්ටත් කියන්න අපි පණ්ඩිතයෝ වෙනුවෙන් යමක් ලියන්න කියා.

    ReplyDelete
  10. සුබ පැතුම්. තව දිගු කලක් ඉකොනොමැටික් වෙන්න හැකියාව ලැබේවා.

    ReplyDelete
  11. ඉකොනොමැට්ටාගේ ලිවීමේ හැකියාව ගැන මම මුලින්ම සතුටු වුනේ මීට අවුරුදු විසිපහකට කලිනුයි. මෙහි මොකුත් ලීවත් නොලීවත් අද දින මා කොතෙක් සතුටු වෙනවාද කියා ඉකොනොමැට්ටා දන්නවා. මේ බෝජුන්හළේ කෑම කවදාවත් පිළුණු වෙන්නේ නෑ . අළුත් අළුත් කෑම රස විඳින්නට බලා හිඳිමි

    ReplyDelete
    Replies
    1. ඈ.. එතකොට බ්ලොග් තිබ්බේ නෑනේ.. හැක්..

      Delete
    2. මොකෝ නැත්තේ අපේ සීයටත් බ්ලොග් එකක් තිබ්බ අක්කර කාලක.
      මේකත් කියවහන්

      Delete
    3. දිවයිනේ ලිපියක් දැකලා දවල් කෑම පැයේදී අක්බාර් කැන්ටිමේදී හොයාගෙන ඇවිත් සුබ පතපු බව තාම මතකයි. මේ බ්ලොග් එකත් මුලින්ම අනිත් අය දැන ගත්තේ තිලකේ හරහා. තිලකෙගෙන් රසික, රසිකගෙන් මාතලන්ට හා මාතලන්ගේ සින්ඩියෙන් අනිත් අයට ලෙසයි මේ බ්ලොග් එක ගැන ප්‍රවෘත්තිය මුලින්ම ගියේ.

      Delete
  12. වසරක් සපීරීම ගැන සුබ පැතුම් පිළිගන්න!! තව බොහෝ කලක් මේ බොජුන්හලේ භෝජන රසවිඳීමට ලැබේවා.

    ReplyDelete
  13. ඔබගේ වැදගත් ශාස්ත්‍රීය ලිපිය සාකච්ඡාවට හසු නොවීම කනගාටුවක්. මටනම් මේ පිලිබඳ දැණුමක් නැහැ. ඇනිවසරි, බර්ත්ඩේස් එක්ක වටිනා ලිපි දාන්න එපා. ඒවා පාටිවලට යට වෙනවා. ගනන් ගන්න එපා. ඔබට මෙවන් බ්ලොගක් පවත්වාගෙන යන්නට තව දුරටත් ශක්තිය, ධෛර්‍යය කෙසේ වෙතත් කාළය සහ මානසික සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි!! කෝ උපාසක උපාසිකාවෝ දැන් සාධුකාරයක් දෙන්න....

    ReplyDelete
    Replies
    1. මේ ගොඩක් ලිපි මා ලියන්නේ පසුව වෙනත් කරුණු කතා කරන්න අවශ්‍ය පදනම් ලිපි ලෙස නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. තවම තියෙන්නේ අවසන් නොවූ සීරීස් ටිකක්. ඉදිරියට යන විට වැඩි දෙනෙක් නොකියවූ පෙර ලිපි නැවත කියවන්න සලස්වන්න අවස්ථාවක් ලැබෙයි කියා සිතනවා.

      Delete
  14. සුභ පැතුම් ඉකොනෝ... ඉදිරියටත් බොහොම හරවත් වැදගත් ලිපි සමගින් අපව දැනුවත් කරන්නට ලැබේවා... ජයෙන් ජය..

    ReplyDelete
  15. සුබ පැතුම්!!!

    ReplyDelete
  16. ඉකොනො මචං.. පහුගිය අවුරුද්දක කාලය ඇතුලත උඹෙන් බොහෝ දේ සරළව උගත්තා..තව බොහෝ පැටලිලි තැන් නිරවුල් කරගත්තා..වෙන මහන්සියට උඹට ස්තූතියි.
    සුභපැතුම් !!!!!

    ReplyDelete
  17. සුබ පැතුම් ! I am the 100,000th visitor !

    ReplyDelete
  18. සුභ පැතුම්. නක්ෂත්‍ර වර්ෂයක් (sidereal year) - ඔන්න සිංහලෙන් කියන වචනේ හොයා ගත්ත.

    ReplyDelete
    Replies
    1. වචනය හරියටම ෂුවර් නැහැ. හරි කියලා හිතනවා.

      Delete
  19. සුබ පැතුම්...! ඉකනෝමැට්ටාගේ ඉලක්ක සම්පුර්ණ කර ගත්තා කියන්නේ අවුරුද්දක් යද්දී ව්‍යාපාරය හොඳ තැනක තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! පාඩුවට බිස්නස් කරල වැඩක් නෑනේ. :)

      Delete
  20. ඉදිරියටම යන්න, මගෙන් සුබපැතුම්! ජයවේවා!!

    ReplyDelete
  21. දිගු ගමනකට සුබ පැතුම්

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...