වෙබ් ලිපිනය:

Tuesday, August 23, 2022

ශ්‍රමික ප්‍රේෂණ වැරදිනම් ඩොලර් ආවේ කොහෙන්ද?

මහ බැංකු අධිපතිවරයා විසින් බෝම්බයක් අත ඇරලා තිබෙනවා. මහ බැංකුව විසින්ම නියමාකාරයෙන් නිෂ්ක්‍රීය කළේ නැත්නම් මේ බෝම්බයෙන් තුවාල වෙන්නේ මහ බැංකුවටමයි. මම හිතන්නේ දැනටමත් ටිකක් තුවාල වෙලා.

මුදල් ප්‍රතිපත්ති තීරණ දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රමික ප්‍රේෂණ ගැන මහ බැංකු අධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු වෙනවා. එයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා විසින් කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ විදිහට මහ බැංකුව විසින් කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ගණන් හිලවු නිවැරදි නැති බවයි. ඒ අනුව, ඇත්තටම ශ්‍රමික ප්‍රේෂණ වල අඩුවීමක් සිදු වී නැති බව ඔහු කියනවා. සිදු වී තිබෙන්නේ සංඛ්‍යාලේඛණ වඩා නිවැරදි වීමක්. 

මේ ප්‍රකාශය කරන අවස්ථාවේ වැදගත්කමත්, වත්මන් මහ බැංකු අධිපතිවරයාට ලංකාවේ විදේශ අංශය ගැන තිබෙන පළපුරුද්දත් සැලකූ විට මේ කියන කතාව නොසලකා හැරිය හැකි ප්‍රකාශයක් නෙමෙයි. මෙහෙම කතාවක් එළියට දැම්මේ හොඳින් හිතාමතා විය යුතුයි. ඒ පදනම මත, අදාළ ප්‍රකාශය හේතුවෙන් බොහෝ දෙනෙකුට මතු වී තිබෙන අතුරු ප්‍රශ්න වලට මහ බැංකුව පැත්තෙන් ඉතා ඉක්මණින් පිළිතුරු ලැබෙයි කියා හිතනවා.

ශ්‍රී ලංකාව මහ බැංකුව විසින් පමණක් නොව ලංකාවේ හා ලෝකයේ වෙනත් එවැනි ආයතන විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ බොහොමයක් පරම සත්‍යයන් නෙමෙයි. ඇතැම් සංඛ්‍යාලේඛණ වඩා නිවැරදියි. ඇතැම් ඒවා දළ ඇස්තමේන්තු. සංඛ්‍යාලේඛණ පිළියෙළ කිරීමේදී කරන උපකල්පන මතත් සංඛ්‍යාලේඛණ වෙනස් වෙනවා.

මෙය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාස්පතා ඉදිරිපත් කරන සංචාරක ඉපැයීම් පිළිබඳ ඇස්තමේන්තු යොදා ගන්න පුළුවන්. මේ ඇස්තමේන්තු වල නිරවද්‍යතාවය ඉතාම අඩුයි. ඇස්තමේන්තු හදන විදිහ පැහැදිලි කළාට පස්සේ ඒ ඇයි කියන එක ගොඩක් අයට තේරෙයි.

මේ ඇස්තමේන්තුව හදන්නේ මෙහෙමයි. පළමුව එක් එක් මාසය තුළ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය හොයා ගන්නවා. ඊට පස්සේ සංචාරකයෙකු දවසකට වියදම් කරන සාමාන්‍ය ඩොලර් ප්‍රමාණය සංචාරකයෙකු ලංකාවේ ගත කරන සාමාන්‍ය දින ගණනෙන් වැඩි කර එක් සංචාරකයෙකු විසින් වියදම් කරන ඩොලර් ප්‍රමාණය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඔය ගණන් දෙක වැඩි කළාම සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් වලින් ඇස්තමේන්තු කළ හැකියි. අන්තිමට අදාළ මාසයේ පැවති නිල විණිමය අනුපාතය අරගෙන ඔය ගණන රුපියල් කළ හැකියි. ඒ කියන්නේ මේ වගේ වැඩක්.

සංචාරක ඉපැයීම් = සංචාරකයින් ගණන * දිනකට වැය කරන ඩොලර් ගණන * ගත කරන දින ගණන * ඩොලරයක මිල 

පළමුව හොයා ගන්න තියෙන්නේ රටට පැමිණි සංචාරකයින් ගණනනේ. රටට එන සෑම විදේශ පුරවැසියෙකු හා ද්විත්ව පුරවැසියෙකු විසින්ම රටට ඇතුළු වීමේදී කාඩ් එකක් පිරවිය යුතුයි. එහි රටට පැමිණීමට හේතුව සලකුණු කරන්න තිබෙනවා. ඔය තොරතුරු ආගමන පාලන නිලධාරීන් විසින් පරිගණකයට ඇතුළු කරන නිසා "Holiday" සඳහා ලංකාවට එන ගණන ලේසියෙන්ම ගණන් කර ගන්න පුළුවන්. විදේශ පුරවැසිභාවය ලබා නැති ස්ථිර පදිංචිකරුවන් මේ ඇස්තමේන්තුවට අහු වෙන්නේ නැහැ. කොහොම වුනත්, ඔය ඇස්තමේන්තුවේ ලොකු වැරැද්දක් නැහැ.

ලොකු ඇස්තමේන්තු වරදක් සිදු වෙන්නේ සංචාරකයෙකු විසින් දිනකට වැය කරන ඩොලර් ගණන හා ගත කරන දින ගණන හොයා ගන්න යද්දී. මේ ගණන් ඇස්තමේන්තු කරන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් වසරකට වරක් කරන සමීක්ෂණයකින්. සාමාන්‍යයෙන් රටින් පිටවන සංචාරකයින් 5000කගේ පමණ නියැදියක් මේ සඳහා යොදා ගන්නවා. මහ බැංකුව විසින් කරන්නේ ඒ සමීක්ෂණය මගින් හොයා ගන්නා සාමාන්‍ය අගයයන් සියලුම සංචාරකයින් සඳහා යොදා ගැනීමයි.

උදාහරණයක් විදිහට පසුගිය ජූලි මාසයේදී සංචාරකයින් 47,293 දෙනෙක් රටට ඇවිත් තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් කර තිබෙන අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව එක් සංචාරකයෙකු දින 10.23ක් රටේ ගත කරන අතර දිනකට ඩොලර් 175.8ක් වියදම් කරනවා. ඒ කියන්නේ ඩොලර් 1798.43ක්. මේ අනුව, සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 85.1ක් ලෙස ඇස්තමේන්තු කරලා පසුව එම මුදල රුපියල් වලට හරවන එක තමයි වෙන්නේ. 

මේ ක්‍රමයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය සමීක්ෂණය සඳහා යොදා ගන්නා නියැදිය රටට එන සංචාරකයින්ව නිවැරදිව නිරූපණය කරන බවට සහතිකයක් නැති වීමයි. එය එසේ නොවන බව පැහැදිලිව පේනවා. මේ වගේ ප්‍රශ්නයක් සංඛ්‍යානමය ක්‍රම මගින් නිවැරදි කර ගත හැකියි. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ කලින් කී ඇස්තමේන්තුවේ තිබෙන එක් සංචාරකයෙකුගේ සාමාන්‍ය වියදම් කිරීම් වල තිබෙන වැරැද්දක් නිසා සංචාරක ඉපැයීම් ඇස්තමේන්තු ඩොලර් බිලියන ගණනකින් එහා මෙහා වෙන්න පුළුවන් වීමයි. 

උදාහරණයක් විදිහට 2021 සමීක්ෂණය අනුව එක් සංචාරකයෙකු දින 15.1ක් රටේ නැවතී සිට දිනකට ඩොලර් 215.8ක් වැය කරනවා. ඒ කියන්නේ ඩොලර් 3258.58ක්. 2022දී මේ ගණන 45%කින්ම අඩු වෙලා. සංචාරකයින් මිලියනයක් රටට ආවානම් ඩොලර් බිලියන 1.46කින් සංචාරක ඉපැයීම් ඇස්තමේන්තුව අඩු වෙලා. 

වඩා නිවැරදි හෝ අලුත් තොරතුරු ලැබුණු විට කලින් හදපු ඇස්තමේන්තු වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. එහි කිසිම වංචාවක් නැහැ. වංචාවක් වෙන්නේ ඒ වගේ වෙලාවක ඇස්තමේන්තු වෙනස් නොකර හිටියොත්. ඊටත් වඩා වංචාවක් වෙන්නේ ඇස්තමේන්තු වෙනස් කරන එක වාසිදායක වෙලාවට පමණක් කරලා අවාසිදායක වෙලාවට නොකර හිටියොත්. 

මහ බැංකු අධිපතිවරයා කියන විදිහට ශ්‍රමික ප්‍රේෂණ ඇස්තමේන්තු වැරදිලා තියෙන්නේ ඇතැම් වාණිජ බැංකු විසින් ලබා දී තිබෙන දත්ත වැරදි නිසා. ඒ බැංකු විසින් කාලයක් තිස්සේ අපනයන වෙනුවෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණත් ශ්‍රමික ප්‍රේෂණ විදිහට වාර්තා කරලා. මෙය නොසැලකිල්ල නිසා සිදු වූ දෙයක් වෙන්න පුළුවන්. මහ බැංකුව දත්ත ඉල්ලුවහම ලේසියෙන් පිළියෙල කළ හැකි දත්ත මොනවා හෝ දීලා වැඩේ ගොඩ දා ගත්තා වෙන්න පුළුවන්. වැඩේ ගැස්සිලා තියෙන්නේ ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් කොටසක් මහ බැංකුවට දෙන්න කියා නියෝග කළාට පස්සේ. මම මේ කියන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් කියන කතාව.

මේ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. එහෙමනම් මෙතෙක් ශ්‍රමික ප්‍රේෂණ කියා කියපු ගණන් ඇත්තටම රටට ඇවිත් නැහැ. මහ බැංකු වාර්තා වල විතරක් නෙමෙයි මහ බැංකුවෙන් අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් කාලයක් තිස්සේ ප්‍රසිද්ධ කරලා තිබෙන සංඛ්‍යාලේඛණත් වැරදියි. මොන විදිහකින් හෝ වැරැද්දක් වෙලානම්, දැන් වැරැද්ද අහුවෙලත් තියෙනවානම්, කරන්න තියෙන්නේ දැන්වත් වැරැද්ද හදන එකයි.

හැබැයි මේ කතාවත් එක්ක අතුරු ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. විශේෂයෙන්ම 2004-2014 අතර කාලයේ ශ්‍රමික ප්‍රේෂණ ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා. ඩොලර් බිලියන 1.5 මට්ටමේ තිබුණු ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 7 පහු කළා. දැන් ඔය කියන විදිහට ඇත්තටම රටට ඇවිත් තියෙන්නේ ඔය ගණනින් බාගයක් පමණයි. නමුත්, ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටට ආවේ නැත්නම් ඔය ඉතුරු ඩොලර් ප්‍රමාණය රටට ආපු විදිහකුත් තියෙන්න ඕනෑනේ. අවුරුද්දකට ඩොලර් බිලියන 3.5 පමණ බැගින් අවුරුදු 10ක් ගණන් හැදුවොත් ඩොලර් බිලියන 35ක්!

සමහර අය ගණන් හදලා රටෙන් පන්නපු ඩොලර් ප්‍රමාණ ගැන කියනවා. දැන් මේ කියන කතාව ඇත්තනම් ඩොලර් බිලියන 35ක් හෝ වැඩි ගණනක් රට ඇතුළට හොරෙන් පන්නලා තියෙනවා. ඒ මොනවාද? කළු සල්ලිද?

මම දන්නා තරමින් ආනයන, අපනයන ආදිය පිළිබඳ සංඛ්‍යාලේඛණ ලබා ගන්නේ රේගුවෙන්. ඒ ගණන් වල ලොකු වැරැද්දක් තියෙන්න විදිහක් නැහැ. රජයට ලැබෙන ණය, ආයෝජන, සෘජු විදේශ ආයෝජන, කොටස් වෙළඳපොළ ආයෝජන වගේ දේවලුත් හරියටම වගේ දන්නවා. ගෙවුම් ශේෂ ගිණුම් ඇතුළේ ලොකු ඇස්තමේන්තු වරදක් තියෙනවානම් තියෙන්න පුළුවන් සංචාරක ඉපැයීම් වල පමණයි. නමුත් සංචාරක ඉපැයීම් දැනට තිබෙන ඇස්තමේන්තු වලට වඩා බිලියන තුන හතරක් වැඩි වෙන්න පුළුවන්ද? පැහැදිලි කරන එක මහ බැංකුවේ වැඩක්. 

No comments:

Post a Comment

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...