සුවිශේෂී හේතුවක් නිසා කලින් ලිපිය ලියා පළ කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. එම ලිපිය එසේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කිරීමේ අරමුණ ඉටු වූ නිසාත්, එහි වූ දෑ සිංහලෙන් නොලිවීම පිළිබඳව අභියෝගාත්මක විවේචනයක් ආ නිසාත් මේ ලිපිය සිංහලෙන්ම ලියනවා.
ලිපිය ලිවුවේ මේ දවස් වල සමාජගත කෙරෙන බොරුවක් පිළිබඳ ඇත්ත එළිදරවු කිරීමටයි. අදාළ ප්‍රබන්ධනාත්මක ව්‍යාජයට අනුව, ඇමරිකාවේ පර්යේෂණ ආයතනයක් විසින් පළ කර තිබෙන වාර්තාවකට අනුව 2009-2017 අතර කාලය තුළ වසරකට ඩොලර් බිලියන 4 ඉක්මවන විදේශ විණිමය ප්‍රමාණයක් ආනයන අපනයන වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයින් විසින් රටින් පන්නා තිබෙනවා. මේ වාර්තාව අපි GFI වාර්තාව ලෙස හඳුන්වමු.
මේ වෙද්දී ලංකාවේ විදේශ ණය පිළිබඳ නිල ඇස්තමේන්තුව ඩොලර් බිලියන 51ක්. ඉහත කතාව ඇත්තනම්, ප්‍රශ්නයට විසඳුම ලෙස පසුගිය වසර 13ක පමණ කාලය තුළ ඉහත ආකාරයෙන් රටින් පැන්නූ ඩොලර් ටික රටට ගෙන්වා ගත්තොත් වැඩේ ගොඩ නේද කියන එක කතාව අහන ඕනෑම කෙනෙකුට හිතෙන දෙයක්.
මේ වන විට ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. අර්බුදයට හේතු නිවැරදිව හඳුනාගෙන පිළියම් යොදනු වෙනුවට, ප්‍රබන්ධනාත්මක හේතු පසුපස පැන්නීමේ අවසන් ප්‍රතිඵලය අර්බුදය තවත් ඔඩු දුවා රටේ ජනතාවටට දිගින් දිගටම පීඩා විඳින්න වෙන එකයි.
මා පෙර ලිපියෙන් එළිදරවු කළ ව්‍යාජය මෙලෙස සාරාංශගත කළ හැකියි.
- අදාළ ඇමරිකන් වාර්තාවේ, එනම් GFI වාර්තාවේ, කිසිදු තැනක 2009-2017 අතර කාලය තුළ රටින් පැන්නූ මුදල් පිළිබඳව කිසිදු ඇස්තමේන්තුවක් නැහැ. එය එම වාර්තාව පෙන්වමින්, ලංකාවේ ඇතැම් අය විසින් ප්‍රබන්ධ කර ඉදිරිපත් කරන අදාළ වාර්තාවේ සඳහන්ව නැති දෙයක්.
- අදාළ වාර්තාව මත පදනම්ව ඉහත ආකාරයේ නිගමනයකට පැමිණිය හැකි ශක්තිමත් තාර්කික පදනමක්ද නැහැ.
ඒ හැර පහත පහත සඳහන් කිසිවක් මම කිවුවේ නැහැ.
- අනීතික ලෙස රටින් මුදල් පිට නොවන බව මම කිවුවේ නැහැ.
- ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් නොකරන බව මම කිවුවේ නැහැ.
- එසේ කිරීමෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වීම නොසලකා හැරිය හැකි කරුණක්යැයි මම කිවුවේ නැහැ.
- ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීමේදී දේශ සීමා හරහා ප්‍රාග්ධන ගලනයන් සිදු නොවන්නේයැයි මම කිවුවේ නැහැ.
මම කිවුවේ 2009-2017 අතර කාලය තුළ ඩොලර් බිලියන 40කට ආසන්න මුදලක් ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම මගින් රටින් පන්නා ඇතැයි යන්න කිසිදු පදනමක් නැති ප්‍රබන්ධනාත්මක ව්‍යාජයක් බව පමණයි. එහෙත්, මීට වඩා බෙහෙවින්ම අඩු යම් මුදලක් මේ විදිහට රටින් පන්නා තිබෙනවා විය හැකි බවයි.
එහෙමනම් ඔය කියන වාර්තාවේ තියෙන්නේ කුමක්ද?
වාර්තාවේ තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම පිළිබඳ අධ්‍යයනයක්. ව්‍යාපාරිකයින් විසින් මෙවැන්නක් කරන්නේ ප්‍රධාන වශයෙන්ම බදු වංචා කිරීමේ අරමුණින්. වාර්තාව ඉදිරිපත් කරන පර්යේෂකයින් විසින් සන්නිවේදනය කරන්න උත්සාහ කරන අදහසත් ඒකයි. එහෙත් විදේශ විණිමය විතැන් කිරීම වැනි අරමුණු වලින් මෙවැන්නක් කරන අවස්ථාද තිබිය හැකියි. මම එය කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ.
යම් කිසිවෙකු ලංකාවේ සිට යම් භාණ්ඩයක් අපනයනය කළ විට ගණුදෙනුව පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රේගුවේ සටහන් වෙනවා. අදාළ භාණ්ඩය ගමනාන්ත රටට ළඟා වූ පසු අදාළ රටේ රේගුවේද තොරතුරු වාර්තා වෙනවා. මේ ගණන් සැසඳෙන්නේ නැත්නම්, පාර්ශ්ව දෙකෙන් එකක් බොරුවක් කර තිබෙන බව අපට සැක කළ හැකියි. එහෙත්, ඒ කවර පාර්ශ්වයද යන්න හඳුනාගත නොහැකියි. GFI පර්යේෂක කණ්ඩායම විසින් කරන්නේ රටවල් දෙකේ රේගු වාර්තා සංසන්දනය කරමින් මෙවැනි නොගැලපීම් හඳුනා ගැනීමයි. වසරකට බිලියන 4කට ආසන්නව ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ ගනුදෙනුකාර රටවල් වල වාර්තා සැසඳූ විට දැකිය හැකි නොගැලපීම් වල එකතුවයි.
මේ සඳහා උපයෝගී කර ගෙන තිබෙන දත්ත පොදු අවකාශයේ තිබෙන නිසා, අදාළ ක්‍රමවේදය අනුගමනය කරමින් ඇස්තමේන්තුවක් හදන එක අපට වුනත් කරන්න පුළුවන්. කාලය වැය කිරීමේ වියදම මිසක් මහා සංකීර්ණ වැඩක් නෙමෙයි. කැමති අයෙකුට උත්සාහ කර බැලිය හැකියි.
පසුගිය 2021 වසරේ දත්ත තවමත් බොහෝ දුරට අසම්පූර්ණ නිසා අපි 2020 දත්ත දෙස බලමු. එම වසර තුළ, ලංකාව විසින් භාණ්ඩ ආනයනය කළ රටවල් අතරින් රටවල් 106ක් විසින් ඔවුන් ලංකාවට අපනයනය කළ භාණ්ඩ වල විස්තර වාර්තා කර තිබෙනවා. ලෝකයේ රටවල් වලින් බාගයක් පමණම මෙතැන නැති වුනත්, ලංකාවේ ආනයන වලින් 99%ක්ම ඇවිත් තියෙන්නේ දත්ත තිබෙන රටවල් වලින් නිසා ඒ අඩුව නොසලකා හරින්න පුළුවන්. ගැලපිය හැකි අපනයන දත්ත තිබෙන රටවල් ගණන 134ක්. අපි මේ විදිහට ගැලපිය හැකි දත්ත පමණක් අරගෙන අපේ විශ්ලේෂණය කරමු. GFI පර්යේෂක කණ්ඩායම විසින්ද නොගැලපිය හැකි දත්ත ඉවත් කළ බව සටහන් කර තිබෙනවා.
දැන් අපට මේ එක් එක් රටේ සංඛ්‍යාලේඛණ හා ලංකාවේ සංඛ්‍යාලේඛණ සංසන්දනය කර, වෙනස ගණන් බලා එකතු කළ හැකියි. මේ එක් එක් රටේ දත්ත දෙස වෙන වෙනම බැලූ විට කිසිදු රටක සංඛ්‍යාලේඛණ ලංකාවේ සංඛ්‍යාලේඛණ සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ. හේතු ගණනාවක් නිසා මෙවැන්නක් සිදු විය හැකියි. වැරදියට ඉන්වොයිස් කිරීම ඒ අතරින් එක් හේතුවක්. ආනයන දත්ත සැසඳූ විට වෙනස ඩොලර් මිලියන 2,187.4ක් එනවා. අපනයන දත්ත වල නොගැලපීම් එකතුව ඩොලර් මිලියන 2,871.4ක්. ඒ කියන්නේ එකතුව ඩොලර් මිලියන 5,058.8ක්.
මම මේ ඇස්තමේන්තු හැදුවේ රටවල් මට්ටමින් ආනයන හා අපනයන දත්ත සංසන්දනය කරලා වුනත්, GFI පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කර තිබෙන සංසන්දනය මා කළ සංසන්දනයට වඩා පුළුල් එකක්. ඔවුන් එක් එක් රටට ලංකාවෙන් අපනයනය කළ එක් එක් භාණ්ඩය හා අදාළ තොරතුරු එකිනෙක වෙන වෙනම ගෙන සංසන්දනය කර තිබෙනවා. මෙය විශාල කාලයක් යන කටයුත්තක්. මා එවැන්නක් නොකළත්, මගේ සරල විශ්ලේෂණයෙන් ලැබී තිබෙන පිළිතුර ඔවුන්ගේ ඇස්තමේන්තු වලට ආසන්නයි.
මෙවැනි වෙනසක් දෙආකාරයකින් ඇති විය හැකියි. එක්කෝ ලංකාවේ ගණන් අනෙක් පැත්තේ ගණන් වලට වඩා වැඩි වීමෙන්. එහෙම නැත්නම් අඩු වීමෙන්. GFI වාර්තාවේ මේ කොටස් දෙක වෙන වෙනම පෙන්වන්නේ නැහැ.
මේ ඇස්තමේන්තුව මුළුමනින්ම රටින් සල්ලි පැන්නීමක් පමණක් සේ අර්ථදක්වන අය කියන්නේ අපනයනකරුවන් ගණන් අඩුවෙන් පෙන්වීම මගින් සල්ලි රටෙන් පන්නන බවයි. එය පැහැදිලි ලෙසම සිදු විය හැකි දෙයක්. අපනයන වල ඉන්වොයිස් අගය අඩුවෙන් පෙන්වා වෙනස රටෙන් පිටත තියා ගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න පුළුවන් කියන එකෙන් එහෙම කළා කියන එක තහවුරු වෙන්නේ නැහැ.
මේ තර්කයම අනෙක් පැත්තට ඉදිරිපත් කරන්නත් පුළුවන්. යම් හෙයකින් අපනයන වල ඉන්වොයිස් අගය වැඩියෙන් පෙන්වා ඇත්නම් එයින් පෙන්වන්නේ අනීතික ලෙස රටට විදේශ විණිමය පැමිණ ඇති බව විය හැකියි. උදාහරණයක් ලෙස මේ දවස් වල අපනයනකරුවන් විසින් නිශ්චිත කාලයක් තුළ තමන්ගේ අපනයන ආදායම් රටට ගෙන ආ යුතුයි. ගණන් වැඩියෙන් පෙන්නුවා කියන්නේ මොන විදිහකින් හෝ නැති සල්ලිත් රටට ගේන්න වෙනවා කියන එකයි.
මා ඉදිරිපත් කළ අදහස වුනේ ඔය දෙකම සිදු වන බවයි. ඒ නිසා, දිගුකාලයක් ගත් විට මේ ආකාරයේ ප්‍රාග්ධන විතැන් වීම් දෙපැත්තටම සිදු වන නිසා බොහෝ දුරට සමතුලිත වන බවයි. මගේ ප්‍රතිවාදීන්ගේ තර්කය වන්නේ මෙය සිදු වන්නේ එක් පැත්තකට පමණක් බවයි. ලංකාවේ සිට නිදහසේ ප්‍රාග්ධනය එළියට ගෙන යන එක අමාරු වැඩක් නිසා, කියන ගණන කෙසේ වුවත්, යම් ප්‍රමාණයක් රටින් එළියට යනවා කියන එකනම් පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ, කොටසක් සමතුලිත වුනත් සම්පූර්ණයෙන්ම සමතුලිත වන්නේ නැහැ කියන එක.
මේ ආකාරයේ ගැටළුවකට තර්කයෙන් පමණක් විසඳුමක් හොයන්න බැහැ. තමන්ගේ මතය නිවැරදියි කියා කියන්න ඕනෑ කෙනෙකුට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. මම කලින් ලිපියෙන් පෙන්වා දුන්නේ GFI වාර්තාවේ ඉහත ප්‍රතිවාදී මතය තහවුරු කළ හැකි දත්ත නැති නිසා එම මතය හිතලුවක් පමණක් බවයි. දැන් යමෙකුට ඒ විවේචනය මටත් කරන්න පුළුවන්. ඒ විවේචනයට පිළිතුර පොදු අවකාශයේ තිබෙන සංඛ්‍යාලේඛණයි.
දත්ත පරීක්ෂා කළ විට පැහැදිලිව පෙනෙන පරිදි ලංකාවෙන් ආනයන කළ රටවල් 134න් රටවල් 67ක් හා අදාළව අඩුවෙන් ගණන් පෙන්වීමේ ප්‍රවාදය නිවැරදි නමුත් ඉතිරි රටවල් 67 හා අදාළව දැකිය හැක්කේ එහි අනෙක් පැත්තයි. ඒ අනුව, මුල් රටවල් 67ට ලංකාවෙන් සල්ලි පැන්නූ බව කවුරු හෝ කියනවානම් ඉතිරි රටවල් 67 ලංකාවට සල්ලි පන්නා තිබෙන බවත් කියන්න පුළුවන් (Table 1). ගණන් සියල්ල එකතු කළ විට පෙනෙන්නේ ඔය කියන කතාව ඇත්තනම් 2020 වසර තුළ ඩොලර් මිලියන 351.4ක් මේ ක්‍රමයට ලංකාවෙන් හොරෙන් පන්නා ඇති බවයි. එහෙත්, වැඩිපුර සොයා නොබලා, GFI ඇස්තමේන්තු සල්ලි පැන්නීම් සේ උපකල්පනය කළොත් මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 2,187.4ක්.
ඩොලර් මිලියන 351.4ක් මේ ක්‍රමයට ලංකාවෙන් හොරෙන් පන්නා ඇත්නම් එයත් ප්‍රශ්නයක් තමයි. නමුත්, මේ ඇස්තමේන්තුව ඩොලර් මිලියන 2,187.4ට වඩා ගොඩක් අඩුයි.
මෙහිදී හරියටම රටවල් 67ක් සමඟ ධන වෙනසක් හා අනෙක් රටවල් 67 සමඟ සෘණ වෙනසක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් කියා මම කියන්නේ නැහැ. වෙන අවුරුද්දක් ගත්තොත්, එක පැත්තකට බර වැඩි වෙන්න පුළුවන්. හැබැයි දෙපැත්තක් තියෙනවා කියන එක සාමාන්‍ය තත්ත්වයක්.
මෙහිදී කියැවුණු තවත් කතාවක් වුනේ ඉන්වොයිස් අඩුවෙන් දාලා සල්ලි පන්නන්නේ බටහිර රටවලට කියන එකයි. එහෙමනම්, මේ සෘණ ශේෂ තියෙන ගොඩේ තියෙන්නේ බටහිර රටවල්ද? ධන ශේෂ තියෙන්නේ වෙනත් පොඩි පොඩි රටවල් එක්කද?
නැහැ, බටහිර සේ සැලකෙන රටවල් 18ක් අතරින් සෘණ ශේෂ දැකිය හැක්කේත් රටවල් 9ක පමණයි. ඉතිරි 9 ධන ශේෂ. අදාළ තර්කය ඇත්තනම්, 2020 වසර තුළ ලංකාවෙන් බටහිර රටවලට ඩොලර් මිලියන 30.0ක් පන්නලා තියෙනවා (Table 1A). මෙය එම රටවලට සිදු කර තිබෙන අපනයන වලින් 0.5%ක් පමණයි. නමුත්, ලංකාවේ අපනයන වලින් 55.4%ක්ම ගිහින් තියෙන්නේ එම රටවල් 18ටයි. ඒ කියන්නේ, මේ විදිහට සල්ලි පන්නන්නේ බටහිර රටවලට කියා කියන්න සාක්ෂි නැහැ. ඩොලර් මිලියන 321.4ක්ම ගිහින් තියෙන්නේ අනෙකුත් රට වලට.
ආනයන මෙන් නොව, අපනයන දත්ත දෙස බැලූ විට ධන හා සෘණ අක්‍රමිකතාවන්හි පැහැදිලි අසමමිතියක් පේනවා. රටවල් 82ක ධන ශේෂ තිබුණත්, සෘණ ශේෂ තිබෙන්නේ රටවල් 20ක් සමඟ පමණයි (Table 2).
මා ලියන දේ දිගටම කියවන අය දන්නා පරිදි මා මෙවැනි හැදෑරීම් කරන්නේ ඇත්ත සොයා ගැනීමේ අරමුණින් මිස "ඇත්ත කලින්ම දැනගෙන" එය තහවුරු කර පෙන්වීමේ අරමුණින් නෙමෙයි. එයින් කියන්නේ කිසිම අදහසක් නැතිව වැඩේට බහිනවා කියන එක නොවුනත්, ලැබිය හැකි ප්‍රතිඵලය පිළිබඳ විශේෂ බලාපොරොත්තුවක් නැතිව වැඩේට බහිනවා කියන එකයි.
මා තරමක් විමතියට පත් කළ ඉහත ප්‍රතිඵලයෙන් ඉඟි කෙරෙන්නේ සල්ලි පැන්නීමේ අරමුණ කලින් හිතාගෙන හිටියාට වඩා පැහැදිලි ලෙස පෙනෙන්නට ඇති බවයි. මිල අඩුවෙන් පෙන්වීම මගින් බදු වාසි පිළිබිඹු කෙරෙන නමුත් මිල වැඩියෙන් පෙන්වා ඇත්නම් එයින් ඉඟි කෙරෙන්නේ සල්ලි පැන්නීමේ අරමුණයි. GFI ක්‍රමවේදය අනුව ඇස්තමේන්තු කළ ඩොලර් මිලියන 2,871.4ට වඩා බොහෝ අඩු වුවත්, ඩොලර් මිලියන 723.6ක් කියා කියන්නේත් සැලකිය යුතු මුදලක්.
කල් වේලා ගතවන කටයුත්තක් නිසා මා විසින් විශ්ලේෂණය කළේ එක් වසරක දත්ත පමණයි. ඒ මත පදනම්ව මම බරපතල ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙත්, කලින් ලිපියේ මගේ මූලික තර්කය වූ, ප්‍රාග්ධන ගලනයක් එකම පැත්තකට පමණක් සිදු නොවන බව මේ දත්ත දෙස බැලූ විට පැහැදිලිව සනාථ වෙනවා. ඒ අනුව, GFI වාර්තාව මත පදනම්ව ලංකාවේ ඇතැම් අය පතුරුවන ඩොලර් බිලියන හතළියක් රටින් එළියට ගිය කතාව බොරුවක් බවද පැහැදිලිව පෙනෙනවා.
කෙසේ වුවත්, ආනයන හා අපනයන වලට අදාළ ඉහත ඇස්තමේන්තු දෙකේ එකතුව ඩොලර් මිලියන 1,075.0ක්. වසරකට ඩොලර් බිලියන හතරක් හෝ පහක් මේ ක්‍රමයට රටින් එළියට යන්න විදිහක් නැතත්, ඩොලර් බිලියනයක් රටින් එළියට යනවානම් එයත් නොසලකා හැරිය හැකි කරුණක් නෙමෙයි. මේ ගැන හරියටම යමක් කිව හැක්කේ අනෙකුත් වර්ෂ වල දත්තද විශ්ලේෂණය කිරීමෙන් පසුවයි. වසංගතය පැවති 2020 සාමාන්‍ය වසරක් නොවූ නිසා, සාමාන්‍ය වසරක තත්වය මීට වඩා වෙනස් විය හැකියි. පරීක්ෂා කර නොබලා කොයි පැත්තටද කියා කිව නොහැකියි.
මුඛ්‍ය තර්කය නිශේධනය නොකරන පොඩි පොඩි අත්වැරදි අප අතින් සිදු වී තියෙන්න පුළුවන්. හැම දෙයක්ම නැවත පරීක්ෂා කරන්න කාලය යොදවන්න අමාරුයි. සමාජවාදීන් නොවන අපි වගේ සාමාන්‍ය මිනිස්සු අතින් අත් වැරදීම් වෙනවා.
No comments:
Post a Comment
ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.