වෙබ් ලිපිනය:

Wednesday, July 11, 2018

සිවුරු හොරු, සුදු රෙදි හොරු හා තැපැල් හොරු


"ඔබ දන්නවා ද, මා 1995 ලංකාවෙන් ආ පසු මා මගේ අම්මාට යැවූ එකදු ලිපියක්වත් ඇයට ලැබුණේ නැති බව?

ඒ එක් ලිපියක යාවත්කාලීන කිරීමට කියා යැවූ මගේ ඔටෝමොබයිල් ආයතනයේ රියදුරු බලපත්‍රයත් තිබුණා!

එරෝග්‍රෑම් නම් අතරමග දී නැති නොවී නිවසට ලැබී තිබුණා!

තුන්වෙනි ලිපිය ද නොලැබුණු පසු මා සාමාන්‍ය තැපෑලේ ලිපි යැවීම නතර කළා. ලියකියවිලි සහිත ලිපි ලියාපදිංචි කර යැව්වා. පසුව අම්මාගේ නිවසට දුරකථනයක් ලැබීම නිසා ලිපි ලිවීම අනවශ්‍ය වී ගියා!"

ඉහතින් තිබෙන්නේ මෙහි පළ වූ පෙර ලිපියකට රසික සූරියආරච්චි විසින් දමා ඇති ප්‍රතිචාරයකි. මෙය විදෙස් රටක සිට ලංකාවට ලිපි එවා ඇති හෝ එවැනි ලිපි ලැබූ බොහෝ දෙනෙකුගේ පෞද්ගලික අත්දැකීමක් බව මගේ අදහසයි.

දශක කිහිපයකට පෙර මට ලැබුණු විදෙස් ලිපි කිහිපයක්මද මේ අයුරින් අතුරුදහන් වුණේය. වරක් එසේ අතුරුදහන් වූයේ එවකට විදෙස්ගතව සිටි මගේ අනාගත බිරිඳ විසින් එවූ ඡායාරූප ගණනක් සහිත ලිපියකි. මේ ඡායාරූප අතර ඒ අවස්ථාවේදී මට අවශ්‍යව තිබූ ඡායාරූප කිහිපයක්ද විය. ලිපිය බරට තිබුණු නිසා එහි වටිනා යමක් තිබිණැයි කිසියම් තැපැල් සේවකයෙකු විසින් උපකල්පනය කරන්නට ඇත.

දැන් කොහේ හෝ නීතිඥයෙකු ලෙස කටයුතු කරන්නේයැයි මා සිතන මගේ නීති විද්‍යාල බැචෙක් ඔහුගේ සිසු අවදියේදී තැපැල් දෙපාර්තමේන්තුවේ විදේශ පාර්සල් අංශයේ සේවය කළේය. ඔහු හරහා එහි කටයුතු සිදුවන ආකාරය හොඳින් දැන සිටි නිසා ඉහත අවස්ථාවේදී නැවතත් එවැනි දේ තැපෑලෙන් නොඑවන සේ මගේ අනාගත බිරිඳගෙන් ඉල්ලා සිටිනු හැර වෙනත් යමක් මම නොකළෙමි.

ඉන් පසුව, මට ලොකු බලපෑමක් සිදු කළ තවත් මෙවැනිම අවස්ථාවක් වූයේ මගේ TOEFL විභාග ප්‍රතිඵලය තැපෑලේදී අතුරුදහන් වීමයි. ඉල්ලීමක් කිරීමෙන් පසුව දෙවන වරට මේ ප්‍රතිඵලය ලියාපදිංචි තැපෑලෙන් එවා තිබුණත් කිසියම් හෝ හේතුවක් නිසා එය අතට ලැබෙන්නට සති පහක් හෝ හයක් ගත වී තිබුණේය. ඒ වන විට කලින් නගින්නට හිතා සිටි කෝච්චි ගණනාවක්ම පිටත් වී හමාරය.

ලිපි තුළ බහා එවන වටිනා දේවල් හොරකම් කිරීමේ අරමුණින්ද, ඊර්ෂ්‍යාව හේතුවෙන් දන්නා කියන කෙනෙකුගේ රැකියා අවස්ථාවක් හෝ වෙනත් වාසියක් අහිමි කිරීමේ අරමුණින්ද තැපැල් සේවකයින් විසින් ලිපි අතුරුදහන් කිරීම ලංකාවේ බොහෝ දෙනෙකුට නුපුරුදු අත්දැකීමක් විය නොහැකිය. පහත විස්තර කරන මගේ මෑතකාලීන අත්දැකීමකින් පැහැදිලි වූ පරිදි තැපැල් සේවකයින්ගේ හොරකම් ලංකාවේ තවමත් දුලබ නැත.

මා පෙර මෙහි ලියූ පරිදි, පසුගිය මාසයේ මුල මගේ පියා වෙනුවෙන් දුන් තෙමසේ දානය පැවැත්වුනේය. මේ කටයුත්තට දින කිහිපයකට පෙර ගෙදර සියල්ලන්ම හදිසියේම කලබල වූයේ විදුලිබල මණ්ඩලය විසින් එවූ රතු බිලක් දැකීමෙනි. එහි පෙන්වන ආකාරයට පියාගේ මරණයෙන් පසුව ලැබුණු බිල්පත් තුනක්ම පියැවී නැත. ඒ හේතුව මත බණ හා දානය පැවැත්වෙන අවුඅස්සේ හදිසියේම ලයිට් කැපුවොත් වෙන්නේ මහා ජංජාලයකි!

මගේ පියා ජීවත්ව සිටියදී, ඔහු මිය යාමට පෙර මාසය දක්වාම, ගෙදර සියලු බිල්පත් නිසි වෙලාවට ගෙවා දැමූ අතර ඒවා පිළිවෙලකට ගොනු කරමින් වාර්තා තබා ගත්තේය. පියාගේ මරණයෙන් පසුව එක් එක් මාසයේ මේ කටයුත්ත කර තිබුණේ එක් අයෙක් විසින් නොවේ. ඒ නිසා, සිදුවී ඇති දෙය තෝරා බේරා ගන්නට පසුගිය මාස තුනෙහි බිල්පත් පිරික්සීමටත්, එක් එක් මාසයේ විදුලි බිල ගෙවීමේ වගකීම භාර ගෙන තිබුණු පවුලේ සාමාජිකයින් විමසන්නටත් සිදුවිය.

කියන විදිහට කවුරු හෝ විසින් සියලුම බිල්පත් ගෙවා තිබේ. ගෙවූ බිල්පත් වල රිසිට්පත්ද තිබේ.

පෙර මාස වල බිල්පත් පිරික්සීමේදී පෙනී ගියේ තැපැල් කන්තෝරුවට මුදල් ගෙවීමෙන් පසුව එය විදුලි බිල්පතේ යාවත්කාලීන වන්නට මාසයක් හෝ දෙකක් ගත වන බවයි. පියා ජීවත්ව සිටියදී සිදුකළ ගෙවීම් දෙකක්ම ඔහුගේ මරණයෙන් පසු ලැබුණු මේ බිල්පත් වල යාවත්කාලීන වී තිබුණේය. අලුත් බිලක් ලැබෙන හැම විටම වාගේ පැරණි ගෙවීමක්ද යාවත්කාලීන වී තිබුණු නිසා, හැම විටම වාගේ බිල්පත් වල මාසයක හෝ දෙකක හිඟයක් පෙන්නුවත් කවදාවත් රතු බිලක් ලැබෙන තැනට වැඩේ දිග්ගැස්සී නැත.

මෙවර අවසන් ගෙවීම් තුනක්ම යාවත්කාලීන වී නැත. ඊට අමතරව තවත් දෙයක් සිදු වී තිබේ. පියාගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණු මාසයේ විදුලි බිල සාමාන්‍ය බිල මෙන් තෙගුණයකට කිට්ටුය. ඒ නිසා, එයින් ඇති වූ සෘණ ශේෂය නිෂ්ක්‍රීය කරන්නට වෙනදා මෙන් පැරණි ගෙවීම් එකක් නොව තුනක්ම අවශ්‍ය වී ඇත. ඒ නිසා, විදුලි බිලෙන් පෙන්වන පරිදි, තෙමසකට වැඩි කාලයක් පුරා දිවෙන හිඟයක් ඇත. මේ "ලොකු බිල" යාවත්කාලීන වූවානම් අවුලක් නැත.

ප්‍රශ්නයට මුල පියාගේ අවමංගල උත්සවය පැවැත්වුණු මාසය වෙනුවෙන් ගෙවිය යුතුව තිබුණු ලොකු බිල බව පැහැදිලිය. එය යාවත්කාලීන වීම සඳහා ප්‍රමාණවත් කාලයක් මේ වන විට ගත වී ඇත. (අනෙක් මාස වල බිල් වලට සාපේක්ෂව ලොකු බිලක් කියා කිවුවත් මෙය මහා ලොකු මුදලක් නොවේ.)

කාගේත්, විශේෂයෙන්ම පෙර කී ලොකු බිල ගෙවීමේ වගකීම දරා තිබුණු මගේ බාල සොයුරාගේ, අවධානය එම බිල වෙත යොමු විය. ඔහු විසින් නිරීක්ෂණය කර පෙන්වා දුන්නේ ලදුපතෙහි ගිණුම් අංකය ලියා ඇති තැපැල් ස්ථානාධිපතිවරියගේ "0" හා "6" ඉලක්කම් වල වෙනසක් දැකීම අමාරු නිසා ගෙවූ මුදල වෙනත් ගිණුමකට බැර වී තිබෙන්නට හැකි බවයි.

මේ අනුව, තැපැල් ස්ථානාධිපතිවරියව විමසන ලදුව ඇය විසින් සහතික කර කියා තිබෙන්නේ අදාළ දිනයේදීම ගෙවූ මුදල විදුලිබල මණ්ඩලයට යවා ඇති බව හා ගිණුම් අංකය වරද්දා නැති බවත්ය. ඇයට අනුව ප්‍රශ්නය විදුලිබල මණ්ඩලයේය. විදුලිබල මණ්ඩලය විසින් ගෙවූ මුදල් යාවත්කාලීන කළ විට ප්‍රශ්නය විසඳෙනු ඇත.

කොහොම වුණත්, දානය කට ළඟ තියෙද්දී විදුලිය විසන්ධි කරනු ලැබීමේ සුළු හෝ අවදානමක් ගන්නට මගේ සොයුරිය කැමති වුණේ නැත. ඒ නිසා, මුදල් ලැබී ඇති බව විදුලිබල මණ්ඩලයෙන් තහවුරු කරගන්නට තීරණය කෙරිණි. සොහොයුරෙකු විසින් ඒ කාර්යය භාර ගත්තේය.

"අන්තිම මාස දෙකේ සල්ලි ගිහින් තියෙනවා. ඒත් අර ලොකු බිල ගිහිං නෑ. වැරදිලා වෙන එකවුන්ට් එකකට ගිහිල්ලත් නෑ..."

"ඒ කියන්නේ තැපැල් කන්තෝරුවේ ප්‍රශ්නයක්. සල්ලි ගෙවපු රිසිට් එක පෙන්නුවෙ නැද්ද?"

"ඒගොල්ලො කියන්නෙ රිසිට් මොනව තිබුණත් මණ්ඩලේට සල්ලි ලැබුනෙ නැත්නම් ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ කියල!"

මේ අනුව, ප්‍රශ්නය විසඳාගත යුතුව තිබෙන්නේ තැපැල් ස්ථානාධිපතිවරිය සමඟ බව පැහැදිලිය. එක්කෝ ඇය විසින් වංචාවක් කර තිබේ. එසේ නැත්නම් මුදල් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියේදී කිසියම් තාක්ෂණික වරදක් සිදුව තිබේ.

මුලින් කිසිසේත්ම පිළිනොගත්තත්, ඉහළට පැමිණිලි කරන බව දැඩි සේ කියා සිටීමෙන් පසුව තමන් විසින් විදුලිබල මණ්ඩලයට අදාළ මුදල නොයැවූ බව පිළිගත් ඇය එම මුදල් වහාම විදුලිබල මණ්ඩලයට යැවීමට කටයුතු කළාය. ගෙවීම විදුලිබල මණ්ඩලයට ලැබුණු බවද තහවුරු කර ගත හැකි විය.  අප මුහුණ දී සිටි අවදානම දුරු විය.

ගමේ දන්නා හඳුනන පවුලක දැරිවියක වන මේ තැපැල් ස්ථානාධිපතිවරිය වංචාවක් කර තිබුණු බව ඉතා පැහැදිලිය. ඒ වංචාව කල් පසු වී වුවත් අතේ මාට්ටු වීමට නියමිතව තිබුණු බවද පැහැදිලිය. ඇතැම් විට පුරුද්දක් ලෙස ලැබෙන බිල්පත් වල ශේෂය පියවා දමනු මිස පසුගිය ගෙවීම් නිවැරදිව යාවත්කාලීන වූයේදැයි නොබලන අයගේ මුදල් ඇය විසින් මේ අයුරින් වංචා කරනවා වන්නටද පුළුවන. විදුලි බිල්පත් නිසි කලට පිළිවෙලට යාවත්කාලීන නොවන නිසා ගෙවූ මුදල් ගිණුමට බැර වූයේදැයි පිරික්සීමද සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් කළ හැකි කටයුත්තක් නොවේ. ඒ නිසා, මේ වර්ගයේ හොරකම් අහුවෙන්නේද තැපෑලෙනි. තැපෑලෙන් අහුවන ආකාරයේ හොරකම් කරන තැපැල් හොරුන් සිටින්නේ තැපැල් කන්තෝරු වල පමණක්මද නොවේ.

මගේ අදහස වූයේ හොරකම ලොකු වුවත් පොඩි වුවත් මෙය හොරකමක් බැවින් අප විසින් මේ ගැන අදාළ තැනකට පැමිණිලි කළ යුතු බවයි. එහෙත්, ඒ වන විට අපේ ප්‍රශ්නය විසඳී තිබුණු නිසා පවුලේ අනෙක් කිසිවෙකුට ඒ සඳහා උවමනාවක් නොතිබුණා පමණක් නොව මේ වගේ "පොඩි දෙයකට" අහිංසක දැරිවියකගේ රස්සාව අවදානමේ හෙලීම මහා අපරාධයක් බව ඔවුන් වැඩි දෙනෙකුගේ අදහස විය. ඒ නිසා, මට මගේ යෝජනාව අකුලා ගන්නට සිදු විය.

හොරකම් ගැන ලංකාවේ ගොඩක් දෙනෙකුගේ ආකල්පය අපේ ගෙදර අයගේ ආකල්පයට සමානය. කවුරුත් හොරකම් ගැන විවේචනය කරති. හොරුන්ට දඬුවම් දිය යුතු බව කියති. එහෙත්, ඒ වෙනුවෙන් මුල පුරන්නට හෝ පෞද්ගලිකව උදවු කරන්නට කවුරුවත් කැමති නැත.

හොරකමේ පාඩුව තමන්ටම වූ විට බොහෝ දෙනෙක් පරල වේ. එහෙත්, එය තමන්ටම නොවූ විට හෝ හොරකම නිසා තමන්ට සිදුවන පාඩුව පැහැදිලි ලෙස දෘශ්‍යමාන නොවන විට බොහෝ දෙනෙක් කරන්නේ හොරකම ගැන කතා කරන අතරම හොරාට අනුකම්පා කිරීමයි. මෙහිදී සුලබව යොදාගන්නා තර්කයක් වන්නේ මේ හොරකමට වඩා ලොකු වෙනත් හොරකම් රටේ ඕනෑතරම් සිදුවන බවයි. හොරා කිසියම් හෝ සම්බන්ධයක් ඇති කෙනෙක්නම් හොරා වෙනුවෙන් පෙනී සිටින අයගේ අඩුවක් නැත. මේ මනෝභාවය ලොකු කුඩා භේදයක් නැතිව සුදු රෙදි හොරුන්ට, සිවුරු හොරුන්ට වගේම තැපැල් හොරුන්ටද වාසියකි.

21 comments:

  1. දැන් මේ රේ හැම තැනම හොරකම පැතිරිලා. කොන්දොස්තර ඉතුරැ සල්ලි දෙන්නෑ. බාස් අයිතිකාරයාට හොර කරනවා.ලී මඩුකාරයා තුලාන් කියලා ⁣කසායි කෙන්ඩිස් දෙනවා. ආන්ඩුවේ පැට‍්‍රල් ගාන 145 IOC ගාන 146.උදාහරණ නම් එමයි. පාරිභෝගික අධිකාරිය රකින්නේ වෙලෙන්දාව.

    ReplyDelete
  2. දැන් වසර කිහිපයක සිට මම නම් විදුලි හා ටෙලි‍ෆෝන් බිල්පත් ගෙවන්නේ අන්තර්ජාලය ඔස්සේ - ඒ නැතත් තැපැල් කාර්යාලයට නොව බැංකුවක් හරහා ගෙව්වා නම් මෙවැනි පමාවන් වළක්වා ගත හැකියි -ඒත් තියන අවුල තමා යම් සුළු මුදලක් බැංකු ගාස්තු‍ ලෙස ගෙවීමට සිදුවීම

    ReplyDelete
  3. My Skill assessment from Australia was "LOST"(stolen) .I almost missed my PR.

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා කියන මේ මනුස්සයා මහා අවාසනාවන්තයෙක් බලං ගියාම. මේ මිනිහට හැමදාම වෙන්නේ ප්‍රශ්නමයි. කවදාවත් හොදක් වෙලා නැහැ. මහා කාලකන්නි මිනිහෙක්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. I think he is not alone. Refer this as well.

      ///ඉහතින් තිබෙන්නේ මෙහි පළ වූ පෙර ලිපියකට රසික සූරියආරච්චි විසින් දමා ඇති ප්‍රතිචාරයකි. ///

      You people have to notice that problems are part of the life. We need to face them bravely & find out the way to solve them. Simply withdraw from scene & escaping, migrating to other country just reveal how timid & how poor you are. That's it.

      Delete
    2. ඉකොනොමැට්ටා සහ මා අතර සමානකම් කිහිපයක් ම ඇත. මා දන්නා දේට අමතරව අවාසනාවන්තකම යන්න අද ඉහත ඇනෝලා නිසා එකතු විය.

      අප අතර ඇති අසමානකමක් ලෙස මා අද දවසේ ම දැනගත් දෙයක් නම්, ඉකොනොමැට්ටාගේ නීති ඉගෙනීමේ කතාවයි. මා නම් කිසි දිනක නීතිය ඉගෙන ගන්නට ගොස් හෝ ඒ ගැන සිතා හෝ නැත!

      Delete
    3. විහිලු නොකර යන්න මෙයා ������

      Delete
    4. අයිසෙ රාශික් සීය පප්පේ, ඔබවහන්සේ ඉකොනොමැටිතුමන් එක්ක සමානකම් කොම්පෙයාර් කොරාන්න කලින් ඇමෙරිකා, ඔසී රටවල් දෙකේ අපරාධ වාර්තා සසඳා බලමු. අප මේ සඳහා නේශන්මාස්ටර් වෙබයේ සහය පතා බලමු; (NationMaster is a web page that offers a large database of variables to compare countries. A wide range of demographic indicators are available, including literacy rates , tax levels , and killings per capita. These are also available in pie charts , scatter-plots, and correlation charts.)

      ඇමෙරිකා, ඔසී NationMaster අපරාධ වාර්තා Comparison

      දැන් අපි ඔසී රට සහ ලංකාවේ හොරකම්, ගෙවල් බිඳුම්, බරපතළ ස්ත්‍රී දූෂණ සහ අපරාධ භීතිකාව පිලිබඳ වාර්තා සසඳා බලමු. ඒ ගැන පහළින් ලියා තබමි.

      Delete
  5. මේ වගේ "පොඩි දෙයකට"(පොඩි වංචාවක් /අතපසුවීමක්) අහිංසකයකුගේ රස්සාව අවදානමේ හෙලීම මහා අපරාධය, සමාවදිය නොහැකි වරදක් කලත් ඔවුන්ගෙන් නඩත්තුවන අහිංසකයින්ගේ අනාගතය අඳුරේ නොහෙලිම. වගේ කරනා කාරනා නිසා තමයි රාජ්‍ය සේවය පුරවැසියන් මත කඩ වැටුණු මහාමෙරුවක් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  6. මේ ආකාරයේ හොරකම් කරන්නේ රාජපක්ෂ කල්ලියේ වහල් බයි හැතිකරයයි. මේ කාලකණ්ණි බයියෝ තවත් රටේ එමට සිටිති'යි යන කාරණය ඉතා බරපතලයි.

    පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, හොරකම් කරමින් රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක.

    මේ සියල්ලට වග කිව යුතු වන්නේ පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ මහ බයියා කියන මීහරකාගේ පාලනයේ පැවති වනචර දශකය තුල රාජපක්ෂලා විසින් ඇමරිකන් ඩොලර් ට්‍රිලියන ගණනින් හොරකම් කල දූෂිත කලු සල්ලි යොදවා මෙම හොර කල්ලි සහ ඒවා පවත්වාගෙන යන කුණුම කුණු ගොන් බයියන් තුල ඇතිකළ මර්දන්කාරී මානසිකත්වයයි.

    මේ නිසා වත්මන් රජයට කිසිදු කලමණාකරන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට මෙම රාජපක්ෂ හොර කල්ලියේ වහලුන් ඉඩ නොදේ. රටේ තීරන ගන්නා සෑම තැනකම සිටින්නේ මහින්දගෙ මිනිස්සු. මීට පිළියමක් ලෙස අප කළ යුත්තේ දූෂිත රාජපක්ෂ හොර පවුලත් ඒ සමග බූරුවංස, මංගොංපිල, වට්ටක්ක වාසු _කා ඇතුළු උන්ගේ නලාකාර රිලා සට්ටැඹියනුත් උන්ට ගෑවුණ කිසිම හාල්පාරුවෙක්ටවත් කිසිසේත්ම නැවත බලයට ඒමට ඉඩ නොදී ඔවුන් මුළුමණින්ම විනාශ කොට 2020 තනිකර 2/3 එජාප රජයක් බලයට පත්කොට ගෙන ඉන් පසු දිගටම එජාප රජයක් 2050 පමණවත් වෙනන් තෙක් බලයේ තබා ගැනීමය. විසඳුම එය පමණි. රනිල් ඇතුළු පිරිස ක්‍රම ක්‍රමයෙන් මේ ප්‍රශ්න සියල්ල එකින් එක විසඳා ඉතා ඉක්මණින්ම රට සංවර්ධනය කරනු නිසැකය. විපක්ෂය වශයෙන් ජවිපෙ / ටී.එන්.ඒ වැනි පිරිසිදු ප්‍රවීණ බුද්ධිමතුගෙන් සමන්විත පක්ෂ පත්කොට ඒ බුද්ධිමතුගෙන් එම රාජකාරිය කරගත යුතුය.

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා විසින් මේ නැවතත් ඔප්පු කර සිටින්නේ මා විවිධ ස්ථාවල දී ලියූ කතාවකි. නමුත් ඔබ එය කියා ඇත්තේ සැර බාල කර මෙලෙස ය.

    හොරකම් ගැන ලංකාවේ ගොඩක් දෙනෙකුගේ ආකල්පය අපේ ගෙදර අයගේ ආකල්පයට සමානය. කවුරුත් හොරකම් ගැන විවේචනය කරති. හොරුන්ට දඬුවම් දිය යුතු බව කියති. එහෙත්, ඒ වෙනුවෙන් මුල පුරන්නට හෝ පෞද්ගලිකව උදවු කරන්නට කවුරුවත් කැමති නැත.

    මගේ අදහස නම් තත්වය ඔයිට වඩා බොහෝ බරපතල බවයි. එනම්, ලංකාවේ බහුතරය එක්කෝ තමන් ද හොරකම් කරති, නැතහොත් ඔවුන්ට තවම හොරකමක් කිරීමේ අවස්ථාවක් ලැබී නැත! මේ කියන්නේ අපේ නෑයන්, හිත මිතුරන් ගැන ද විය හැක.

    අවස්ථාවක් ලැබී හොරකම් නොකර සිට ඇති හෝ ඉන්නට ඉඩ ඇති පිරිස ඉතා අල්ප ය.

    අප දන්නා පවුලක තරුණයෙකු සේවා ස්ථානයේ මගඩියකින් ලක්‍ෂ පහක් වැනි මුලදක් වංචා කොට, ඒ මුදල ලක්‍ෂයේ ස්ථාවර තැන්පතු පහක තමන්ගේ පවුලේ අයගේ නමින් තැන්පත් කර ඇත. ඒ කාර්්‍යාලයට ආසන්න බැංකුවේ, එකම දිනයේ දී ය. මොහුගේ හොරකම අසුවී රැකියාව ද නැති වී නඩුවකට ද මුහුණ දෙන්නට සිදුවිය.

    මගේ අම්මා ඒ ගැන මට කිව්වේ ඒ හොරා ගැන අනුකම්පාවෙන් "අනේ බලන්නකෝ මේ වගේ ළමයෙක්. එක ම බැංකුවේ එක ම දවසේ, තමන්ගේ ම පවුලේ අයගේ නමින් සල්ලි දාලා නේ. ඒ හින්දා තමයි ඒ ළමයා ඒ අහුවෙලා රිමාන්ඩ් එකට වැටුණේ." කියා මිස ජනතා මුදල් වංචා කළ හොරෙකු ගැන කතා කළ යුතු අයුරකින් නොවේ.

    පසුගිය දිනවල පෙන් වූ කූඹියෝ නාටකය ජනප්‍රිය වූයේ ද මේ සොර සිත ඇති අය බහුල නිසා ය!

    මෙන්න වැඩි විස්තර-
    http://rasikalogy.blogspot.com/2017/10/white-collar-ants.html

    !

    ReplyDelete
    Replies
    1. මම හිතන හැටියට මේ "හොරකමට සමාව" චර්යාව ප්‍රචලිතව තිබීමට තවත් එක් හේතුවක් වන්නේ හොරකමක වින්දිතයා ඒ තත්ත්වයට පත් වුණේ වින්දිතයාගේ අවාසනාවන්තකම (එසේ නැත්නම් පෙර කර්මය හෝ දෙවියන්ගේ කැමැත්ත) නිසා බවත්, හොරකම හරහා සිදු වී තිබෙන්නේ වින්දිතයාගේම වරදක් නිසා කොහොමටත් සිදුවීමට නියමිතව තිබුණු පාඩුවක් බවත්, ඒ නිසා හොරාට දඬුවම් දීම වින්දිතයා විසින් කළ යුතු නොවන අනාගතයේදී (ඇතැම් විට හොරාගේ මරණයෙන් පසු) වින්දිතයාගේ හෝ වෙනත් අයෙකුගේ බලපෑමකින් තොරව සිදුවනු ඇති බවත් හිතන්නට ලංකාවේ බොහෝ දෙනෙකුව කුඩා කළ සිට පුහුණු කර තිබීමයි. හොරකමක වින්දිතයෙකුට තමන්ගේ නැති වූ දෙය හරියට පරිස්සම් කර නොගැනීම ගැන බොහෝ දෙනෙකුගෙන් දොස් අහන්නට වීමද සුලභ නිරීක්ෂණයකි. (කාන්තා හිංසනයේ ගොදුරක් වූ තැනැත්තියකටද බොහෝ විට ඇගේ හැසිරීම ගැන චෝදනා ලබන්නට සිදුවේ.)

      Delete
  8. මාර්ග නීති කඩා අසුවූ විට පොලිස්කාරයින්ට පගාව දී බේරී ඒ ගැන උජාරුවෙන් කතාකරන උන් ම දේශපාලුවන්ගේ වංචා දූෂණ ගැන මරහඬ දීම තරම් ලොකු විහිළුවක් නැත.

    මේ තැපැල්කාරියට නිසි දඬුවම ලබා දිය යුතු බව මගේ මතයයි.

    තම පුතා පොඩි කාලයේ කළ හොරකම් ඉවසූ මවකට, පසුව පල් හොරෙකු වූ පුතා, හිස ගසා දැමීමට ගෙන යද්දී කළ දේ ගැන කතාව පොඩි කාලයේ අසා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. //මාර්ග නීති කඩා අසුවූ විට පොලිස්කාරයින්ට පගාව දී බේරී ඒ ගැන උජාරුවෙන් කතාකරන උන් ම දේශපාලුවන්ගේ වංචා දූෂණ ගැන මරහඬ දීම තරම් ලොකු විහිළුවක් නැත.//

      දැන් මෙහි ඇති විහිලුව මොකක්ද? පොලිස්කාරයින්ට පගාව දීම පිළිගත් සදාචාරයට අනුව මෙන්ම "සැමට සමාන" වියයුතු නීති ක්‍රමයකට බාධාවකි. ඒ වැරද්ද කර ඒ ගැන යමෙක් උජාරුවෙන් කතාකරොත් "පගාව දීමේ" වරදට ඔහුව නීතිය ඉදිරියට පැමිණවියහැකි බව ඔබ දනීද? අනෙක් අතින් දේශපාලුවන්ගේ වංචා දූෂණ යනු ලංකාවේ පමණක් නොව බොහෝ රටවල අඩුවැඩි වශයෙන් මැතිවරණ ව්‍යාපාරවල ප්‍රධාන ප්‍රචාරක අංගයකි. ඇමරිකා එක්සත් ජනපදයේද ඔසීවලද දේශපාලුවන්ගේ විවිධ පදනම් වලට යහමින් මුදල් දෙන "දානපතියන්" හිඟ නැත. ලංකාවේද කළ යුත්තේ එවැනි දේශපාලුවන්ට මුදල් ලබාගතහැකි නීත්‍යානුකූල ක්‍රම පාලනයකින් යුතුව ඇතිකොට අතයටින් මුදල් ගැනීමට ඇති අවස්ථා සීමා කිරීමයි.

      //මේ තැපැල්කාරියට නිසි දඬුවම ලබා දිය යුතු බව මගේ මතයයි.//

      කළ යුත්තේ නිසිපරිදි ස්වාධීන විමර්ශනයක් පවත්වා ඇත්තටම ඇය එසේ මුදල් වංචාවක් සිදුකොට ඇතිබව සොයා බලා එසේ ඔප්පු වුවහොත් ඇයට නීත්‍යානුකූලව දඬුවම් දීමයි. හුදෙක් ලංකාවෙන් පිට සිට නිතර ලංකාව අසාධාරණ ලෙසත් අතිශයෝක්තියෙනුත් විවේචනය කරන අයෙක් විසින් ලියූ බ්ලොග් පෝස්ට් එකක් ඇතැම් විට ප්‍රබන්ධයක් විය හැකිය. මෑතදී මෙසේ ෆේස්බූක් සහ වෙනත් සමාජ ජාලාවල පලවූ බොහෝ මෙබඳු චෝදනා ද්වේශ සහගත ලෙස ගොතන ලද බොරු බවත් සමහරුන් තරහ නිවුණු පසු ෆේස්බුක් හරහාම සමාව ඉල්ලා සිටීමට තරම් නිරහංකාර වූබවත් කිව යුතුය.

      අනෙක් කරුණ නම් දැන් ඔය කියන තරම් ලෙහෙසියෙන් ලංකාවේ පොලිස් කාරයින්ට පගාව දීම කළ නොහැකි බවයි. මීට කලකට ඉහත නම් පගා ගන්නා පොලිස් නිළධාරීන් බහුල වුණත් දැන් පගා දීම ඉතාම අසීරුය, ඇතැම් පොලිස් නිලධාරීන් පගා දීමට ගිය අයව වීඩියෝ කර ෆේස්බුක් දමා තිබුණි.

      //තම පුතා පොඩි කාලයේ කළ හොරකම් ඉවසූ මවකට, පසුව පල් හොරෙකු වූ පුතා, හිස ගසා දැමීමට ගෙන යද්දී කළ දේ ගැන කතාව පොඩි කාලයේ අසා තියෙනවා නේද?//

      නැත, මේ කතාව අසා නැත, මෙය ඔස්ට්‍රේලියාවේ මවකට සිදුවූ හදියක්ද?

      Delete
    2. මම හිතන්නේ රතු මල් මාලා පළඳා, වද බෙර ගසමින් හිස ගසා දමන්නට ගෙනයද්දී මවට අවසන් මොහොතේ රහසින් යමක් කියන්නට අවසර ගෙන මවගේ කණ කඩාගෙන කෑ කතාව විය යුතුයි.

      Delete
    3. හිතවත් ඉකොනොමැට්ටා,

      ඉහත සඳහන් නේශන් මාස්ටර් වෙබ් එක අනුව ඔස්ට්‍රේලියා සහ ලංකාව සසඳා බලමු. එසේ බැලූ පසු පෙනෙන ඇතැම් කරුණු මා උපුටා දක්වන්නම්.

      මුලින්ම නීතිය රැකීමට ඇති පොලිස් නිලධාරීන් ගණන බලමු,

      Austrailia 318 times more than Sri Lanka, ඔසී වල 318 ගුණයක් පොලීසිය වැඩියි, අනෙක ස්වභාවික සම්පත් ඉතා බහුල අතිවිශාල භූමියක් සහ සාපේක්ෂව කුඩා ජනගහනයක් සිටින ඔසී වැනි රටකට වඩා ජන ඝනත්වය වැඩි ස්වභාවික සම්පත් හිඟ තිස් වසක් යුධයෙන් පීඩා විඳි භාන්ඩ හා සේවා වලට යුරෝපා /ඇමරිකන් මාකට් ඇක්සස් සීමිත ලංකාව වැනි රටකට මෙසේ වීම ස්වාභාවිකයි. දැන් අපි හොරකම ගැන බලමු. ඔසී-ලංකා අපරාධ සැසඳුම් විස්තර

      01. Burglaries - Aus Ranked 1st. 17 times more than Sri Lanka SL Ranked 12th.

      02. Robberies - Aus Ranked 4th. Twice as much as Sri Lanka & SL Ranked 9th.

      03. Belive crimes increasing - Aus Ranked 38th & SL Ranked 7th, 3% more than Australia

      04. Fear of crime - Aus 71% more than Sri Lanka

      05. Feels safe walking alone - SL 21% more than Australia

      06. Prisoners - Aus 13% more than Sri Lanka

      07. Assaults - Aus 7 times more than Sri Lanka

      08. Automobile theft - Australia 104 times more than Sri Lanka (Australia is the land of car thieves, SL is much safer than Aus)

      09. Fear of crime (being attacked) - Aus 34% more than Sri Lanka

      10. Fear of crime (Being insulted) - Aus 47% more than Sri Lanka

      11. Female Prisoners - Aus 91% more than Sri Lanka

      12. Rape rate - Aus 4 times more than Sri Lanka

      13. Violent rape - Aus 4 times more than Sri Lanka

      14. Gun crimes - Aus 10 times more than Sri Lanka

      මේ ටිකක් විතරයි, මේකෙ හැටියට නම් ඔසී රටට සාපේක්ෂව ලංකාව හොඳයි නේද? මේ වාර්තා සත්‍යද නැත්නම් සැබෑ වාර්තා මොනවාද කියා ඉකොනොමැට්ටා ට කියන්න පුළුවන් ද?

      අප මිත්‍ර ඉකොනොමැට්ටාගේ පහන් සංවේගය පිණිස ඇමරිකා එක්සත් ජනපදයේ අපරාධ ගැන විස්තර නොකර ඒ වෙනුවෙන් උපුටා ගත් කෙටි සටහනක් මෙසේ තබමු !

      America puts many more of its citizens in prison than any other nation.

      සංවාදයට විවෘතයි !

      Delete
    4. //හිතවත් ඉකොනොමැට්ටා,

      ඉහත සඳහන් නේශන් මාස්ටර් වෙබ් එක අනුව ඔස්ට්‍රේලියා සහ ලංකාව සසඳා බලමු. එසේ බැලූ පසු පෙනෙන ඇතැම් කරුණු මා උපුටා දක්වන්නම්.

      මුලින්ම නීතිය රැකීමට ඇති පොලිස් නිලධාරීන් ගණන බලමු,

      Austrailia 318 times more than Sri Lanka, ඔසී වල 318 ගුණයක් පොලීසිය වැඩියි//

      //මේ වාර්තා සත්‍යද නැත්නම් සැබෑ වාර්තා මොනවාද කියා ඉකොනොමැට්ටා ට කියන්න පුළුවන් ද?//

      ඔබ මුලින්ම කතා කර තිබෙන සංඛ්‍යාලේඛණය හා අදාළ විකිපීඩියා පිටුවට ලින්ක් එකක් පහත තිබෙනවා.

      https://en.wikipedia.org/wiki/List_of_countries_and_dependencies_by_number_of_police_officers

      මේ අනුව ඔසී රටේ ජනගහණය ලක්ෂයකට පොලිස් නිලධාරීන් 202ක් වන අතර ලංකාවේ ඒ ගණන 424ක්. විකිපීඩියා සංඛ්‍යාලේඛණ හරියටම නිවැරදියි කියා මා නොකියන නමුත් නේශන් මාස්ටර් සංඛ්‍යාලේඛණය වැරදි බවනම් ස්ථිරවම කිව හැකියි. එම වෙබ් අඩවියට අනුව ලංකාවේ පොලිස් නිලධාරීන් ගණන ජනගහණය ලක්ෂයකට 0.7යි. ලංකාවේ ජනගහනය ලක්ෂ 212යි. ඒ අනුව, මුළු ලංකාවේම ඉන්නේ පොලිස් නිලධාරීන් 148ක් පමණයි! එතැනින් ඔබ්බට තිබෙන සංඛ්‍යාලේඛණ වල නිරවද්‍යතාවය පිරික්සීමට මම කාලය ගත කළේ නැහැ.

      යම් හෙයකින් සංඛ්‍යාලේඛණ අනුව ඔසී රටේ අපරාධ ප්‍රමාණය ලංකාවට වඩා වැඩියි කියා කියමු. නමුත්, අපරාධ සම්බන්ධ සංඛ්‍යාලේඛණ කියන්නේ එක්කෝ නීතියෙන් වරදකරු වූ අවස්ථා වල දත්ත. එසේ නැත්නම් පොලීසියට ලැබුණු පැමිණිලි ප්‍රමාණය. ඒ මිස, රටක ඇත්තටම සිදුවුණු අපරාධ ප්‍රමාණය හරියටම දැනගන්න ක්‍රමයක් නැහැ. මම මේ ලිපියෙනුත් පෙන්වා ඇති පරිදි ලංකාවේ සිවිල් වැරදි හා අපරාධ විශාල ප්‍රමාණයක් ගැන පොලීසියට පැමිණිල්ලක්වත් එන්නේ නැහැ. ස්ත්‍රී දූෂණ ආදිය උදාහරණයකට ගන්න. ඒ නිසා ඒවා සංඛ්‍යාලේඛණ වල නැහැ. වැරදි හෝ අපරාධ කරන බොහෝ දෙනෙක් තාක්ෂණික හේතු මත නිදහස් වෙනවා. වරදකරුට කලට වේලාවට දඬුවමක් නොලැබීම නිසා බොහෝ දෙනෙක් පැමිණිලි කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.ඉක්මනින් නඩු අසා වරදකරුවන්ව සිරගත කරන හෝ වෙනත් දඬුවම් නියම කරන රටක බොහෝ දෙනෙක් සුළු වරදක් වුවත් පොලීසියට දැනුම් දීමට පෙළඹෙනවා. කොයි රටේ වුවත් මිනීමැරුම් හා සියදිවිනසා ගැනීම් වැනි මරණයෙන් කෙළවර වන අපරාධනම් පොලීසියට වාර්තා නොවී නොයන නිසා එහිදීනම් පොලිස් සංඛ්‍යාලේඛණ සෑහෙන්න නිවැරදි විය හැකියි. ලංකාවේ හා ඔසී රටේ මරණයෙන් කෙළවර වන අපරාධ හා අනෙකුත් අපරාධ සැසඳූ විට මම කියන දෙය පැහැදිලි වෙයි.

      සංඛ්‍යාලේඛණ වලින් මොනවා පෙන්නුවත් මම ඇමරිකාවේ ජීවත් වන්න කැමති හේතු අතරින් එකක් වන්නේ ඇමරිකාවේදී ජීවිත හා දේපොළ වල සුරක්ෂිතතාවය ලංකාවේ සිටිනවාට වඩා කිහිප ගුණයකින් වැඩිබව මට අත්දැකීමෙන්ම වැටහීමයි. මෙයට අදාල මගේ පෞද්ගලික අත්දැකීම් අපමණ වුවත් මට මේ කරුණ සටහන් කරනු මිස තහවුරු කරන්න අවශ්‍ය නොවන නිසා ඒවා ලියන්න මම මම මහන්සි වෙන්නේ නැහැ.හැබැයි එයින් කියන්නේ ඇමරිකාවේ අපරාධ සිදු නොවන බව නෙමෙයි. විශාල රටක් වන ඇමරිකාවේ අපරාධ ඉතා වැඩි මෙන්ම ඉතා අඩු ප්‍රදේශ තිබෙනවා. ඒ නිසා, අපරාධ අඩු පැත්තක ජීවත් වීමේ තේරීම මට තිබෙනවා.

      Delete
    5. ස්තුතියි ඉකොනොමැට්ටා, ඔබ මා සිතූ පරිදිම කරුණු සොයා බලා පිළිතුරු දී තිබේ. ලංකාවේ පොලිස් සේවාවේ දළ වශයෙන් 90,000ක් පමණ සිටින අතර ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය, බෝඩර් පොලිසිය, පළාත් පොලිසි (නිව් සවුත් වේල්ස් ආදී) ආදී විවිධාක්කාර විකාර පොලිසි ගණනාවත් තියෙන නිසා හරියටම ගාණක් හිතාගන්න බැරිවුණත් ජනාකීර්ණ ප්‍රදේශ එක පොකුරට පිහිටීමත්ත් බොහෝ ප්‍රදේශ හිස් මුඩු බිම් නිසාත් ලංකාවේ මෙන් විසුරුණු ජනාවාස නැති නිසා අඩු පොලිස් නිලධාරීන් පිරිසක් වැඩේට ඇති.


      //ලංකාවේ සිවිල් වැරදි හා අපරාධ විශාල ප්‍රමාණයක් ගැන පොලීසියට පැමිණිල්ලක්වත් එන්නේ නැහැ. ස්ත්‍රී දූෂණ ආදිය උදාහරණයකට ගන්න. ඒ නිසා ඒවා සංඛ්‍යාලේඛණ වල නැහැ. //

      මේවා ලංකාවට විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාවටත් පොදුයි. ඔස්ට්‍රේලියාවේත් කොපමණ පැමිණිලි නොකරන අපරාධ තිබෙනවාද?

      //ඉක්මනින් නඩු අසා වරදකරුවන්ව සිරගත කරන හෝ වෙනත් දඬුවම් නියම කරන රටක බොහෝ දෙනෙක් සුළු වරදක් වුවත් පොලීසියට දැනුම් දීමට පෙළඹෙනවා. //

      මේකේ අනෙක් පැත්තත් එහෙමායි, උදාහරණ ලෙස ඔස්ට්‍රේලියාවේ ඇතැම් ගුරුවරියන් පිරිමි සිසුන් වරදට පොළඹවාගත්තත් දෙමාපියන් ඒවා අල්ලලා දමමින් පොලිසියට පැමිණිලි නොකරන්නේ එසේ කළොත් ඇයට නීතියෙන් දැඩි දඬුවම් හිමිවන නිසායි. ලංකාවේ පොලිසිවලට ලැබෙන සුළු පැමිණිළි බොහෝ විට මීඩියේශන්, ආබිට්‍රේශන් වැනි ක්‍රම වලින් විවිධ සිවිල් කමිටු මගින් විසඳීම කෙරෙන නිසා පොලිසිය පැමිණිළි වාර්තා කරන්නේ අඩුවෙන්.

      For many in Melbourne, groups of dangerous, criminal gangs are causing trouble within local communities. Despite irrefutable proof of the violence unleashed on communities, police have denied African gangs even existed for a long time.

      Serious crimes like home invasions, violent armed robberies, vicious assaults and lawless rampages have been committed. Many of the young criminals are from the war-torn African country of South Sudan.

      මේ මෑතදී ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති වාර්තා වල සටහන් වූ පුවතක්.

      Delete
  9. ඉකොනො,

    ඕස්ට්‍රේලියා රටේ ප්‍රසිද්ධ සුපර්මාකට්වල වල හයිකර ඇති (Self Service Checkout) නම් ස්වයං සේවා භාණ්ඩ ස්කෑන් කර ගෙවීමට හැකි ඔවුට්ලට් ඔස්සේ භාණ්ඩ සොරකම් කරන පිරිස සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව නිව්ස් වල කියනවා. ඔස්ට්‍රේලියාවේ නිව්ස්

    ඕස්ට්‍රේලියාවේ මේන් සුපර්මාකට් ජාලයක් වන කෝල්ස් සුපමාකට් ජාලයේ සෙල්ෆ්-service checkout හරහා භාණ්ඩ සොරකම් කරන පිරිස දිනකට 100 ඉක්මවන බව එහි ආරක්ෂක අංශ පවසන බව www.news.com.au වෙබ් එකේ 2018 ජූනි වල දාල තිබ්බා.

    ඕස්ට්‍රේලියාවේ self service chekout කම්බ හොරුන් වර්ග කීපක් න්ම් කර තියෙනාතර සෙල්ෆ්-service checkout හරහා සිදුවන සොරකම් පිළිබඳ සමීක්ෂණයක් කැන්ස්ටර් බ්ලූ (Canster Blue) පර්යේෂණ ආයතනය නිකුත් කරා.

    කැන්ස්ටර් බ්ලූලගේ එම සමීක්ෂණය සඳහා පාරිභෝගිකයින් 2,200 ක් වෙත අවධානය යොමු කර ඇති අතර එයින් 7% ක් පමණ self service checkout කවුළුවේදී අදාළ භාණ්ඩය ස්කෑන් නොකරම සොරකම් කරන බවත් 9% ක් භාණ්ඩයේ මිලට වඩා අඩු මිලක් ඇති වෙනත් ආදේශක භාණ්ඩයක් ස්කෑන් කරන බවත් හෙළිවී තිබේ.

    එමෙන්ම 2016 (මීට වසර දෙකකට පෙර) ද මෙම අගයන් මෙලෙසම තිබු බව ඔවුන්ගේ එම වාර්තාවේ ලියා තිබේ.

    ඇත්තෙන්ම මෙය බරපතල ගැටළුවක් බව Canster Blue කර්තෘ Simon Downes පවසන අතරම සෙල්ෆ්-service checkout තීවෙස්ලා වැඩි වශයෙන් සොරාගන්නා ද්‍රව්‍ය අතර ප්‍රධාන භාණ්ඩය ලෙස එළවලු වර්ග පත්ව ඇති අතර එහි ප්‍රතිශතය 24% ක්, packaged කරන ලද ආහාර 16% ක ප්‍රමාණයක්ද ස්නැක්ස් වර්ග සහ බීම වර්ග 12% ක්ද ළමා නිෂ්පාදන 12% ක්ද ඇසුරුම් කරන ලද නැවුම් මස් 10% ක්ද ඕනෑකමින්ම සොරකම් කරන බවට ඉහත සමීක්ෂණයෙන් හෙළිවී ඇති බවත් මෙලෙස වැඩි වශයෙන් භාණ්ඩ සොරාගනු ලබන්නේ වයස අවුරුදු 18-29 අතර පිරිස් බව අනාවරණය වී ඇත. ඔවුන්ගෙන් 12% ක් පමණ self service checkout කවුළුවේදී අදාළ භාණ්ඩය ස්කෑන් නොකරම් සොරකම් කරන බවත් 14% ක් භාණ්ඩයේ මිලට වඩා අඩු මිලක් ඇති වෙනත් ආදේශක භාණ්ඩයක් ස්කෑන් කරන බවත් හෙළිවී තිබේ.

    සමීක්ෂන වාර්තා අනුව නම් සාමාන්‍යයෙන් වයසින් වැඩි පිරිස් මෙසේ සොරකම් කිරීම තරමක් අඩුවෙන් කරන බවත් පලාත්/ ප්‍රාන්ත අනුව සොරකම් කිරීම වෙනස් වන බවත් කියනවා.

    මේසේ භාන්ඩ සොරකම් කරන ප්‍රමාණය වැඩි වශයෙන් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් (New South Walse) වලින් බවත් ඊලඟට වික්ටෝරියා (Victoria) වලින් බවත් වාර්තාවල සඳහන්. සම්පූර්ණ මුදල නොගෙවා අඩු මුදලක් ගෙවීමේ වංචාවන් බහුලව සිදු කරන ප්‍රාන්තය ලෙස ද වික්ටෝරියා ප්‍රාන්තය වාර්තා වන අතර එම ප්‍රතිශතය 10% කි. සොරකම් කරන ප්‍රමාණය අඩුවෙන්ම වාර්තා වන්නේ දකුණු ඔස්ට්‍රේලියාවෙන් (South Australia) වන අතර එය 3% කි.

    එමෙන්ම සම්පූර්ණ මුදල නොගෙවා අඩු මුදලක් ගෙවීමේ වංචාවන් අඩුවෙන්ම සිදු කරන ප්‍රාන්තය ලෙස ටස්මේනියා (Tasmania) ප්‍රාන්තය වාර්තා වන අතර එම ප්‍රතිශතය 2% කි.

    මේ සොරකම් බහුල ලෙස සිදුවීම නිසා එම සොරකම් වල පාඩුව ඉතා අධික බවත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි මාකට් ජාලා ද්විත්වය වන වූල්වර්ත් Woolworth සහ කෝල්ස් Coles හි වාර්ෂික ආහාර අලෙවිය පිළිවෙලින් ඩොලර් බිලියන 36.4 ක් සහ ඩොලර් බිලියන 29.7 ක් වන බවත් ඒවායින් හරි අඩක්ම සෙල්ෆ්-service checout හරහා අලෙවි වන බව වාර්තාවේ සඳහන්.

    ඒ අනුව මෙම සොරකම් හේතුවෙන් වූල්වර්ත් Woolworth ට ඩොලර් මිලියන 546 ක (ලංකාවේ මුදලින් රු. බිලියන 65ක් පමණ ) සහ කෝල්ස් Coles ට ඩොලර් මිලියන 445 ක (ලංකාවේ මුදලින් රු. බිලියන 53 ක් පමණ ) දැවැන්ත පාඩුවක් සෑම වසරකම වාර්ෂිකව සිදුවන බවද වාර්තා වල දැක්වේ.මේ මෑතදී ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති වාර්තා වල සටහන් වූ පුවත් කිහිපයක්. මීට අමතරව තවත් හොරකම් රාශියක් සිදුවේ. වෙනත් සුපර්මාකට් වල වන හොරකම් එක්ක බැලුවාම මේක විශාල අර්බුදයක්.

    මේ ගැන ඉකොනොමැට්ටා සහ ඔස්ට්‍රේලියාවේ වාසය කරන ලාංකේය පුඟුලන් කියන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මෙයට පිළිතුරක් සැපයීම නොසලකා හැර නැති බව දැනට සටහන් කර තබන්නම්.

      Delete
    2. ස්තුතියි ඉකොනො

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...