වෙබ් ලිපිනය:

Wednesday, February 10, 2016

මැරෙන දවස දැනගන්න ඕනෑද?

ජීවිතය අනියතය. මරණය නියතය. මරණය නියත වුවත් මැරෙන දිනය අනියතය. යමෙකු මැරෙන දිනය නිශ්චිතව කිව හැකි විද්‍යාවක් නැත. යම් හෙයකින් එවැනි හැකියාවක් යම් විද්‍යාවකට තිබේනම් එයින් අදහස් වන්නේ මැරෙන දවස වෙනස් කළ නොහැකි බවයි.

තාර්කික සීමාවන් ඇති බැවින් ඇතැම් දේවල් අපට කෙසේවත් නිශ්චිතව දැනගත නොහැක. එහෙත්, එයින් අදහස් වන්නේ එවැනි දේ ගැන අපට කිසිම දැනුමක් ලබා ගත නොහැකි බව නොවේ. මැරෙන දිනය සම්බන්ධව ඇත්තේනම් එවැනි තාර්කික සීමාවක් නොවේ. ප්‍රායෝගික සීමාවකි. මැරෙන දිනය හරියටම දැනගත නොහැකි වුණත් ඒ ගැන අදහසක් ගන්නට විද්‍යාව උදවු වේ.

මෙය ලියන මා මෙය පළවන විට ජීවත්ව නොසිටින්නට ඉඩකඩක් ඇත. එහෙත්, ඒ ඉඩකඩ විශාල ඉඩකඩක් නොවේ. ඒ නිසා, මා අද තීරණ ගන්නේ මා හෙට මියයනු ඇතැයි යන පදනම මත නොවේ. එමෙන්ම, මා තව වසර පනණක් ජීවත් වීමට ඉඩ ඇතත් ඒ ඉඩකඩ නොගිණිය හැකි තරමේ සුළු ඉඩකඩකි. වෙනත් අයුරකින් කිවහොත් මගේ අපේක්ෂිත ආයු කාලය ගැන මට දළ අදහසක් තිබේ. එහෙත්, අවිනිශ්චිතතාව ඉතා විශාලය.

යම් පුද්ගලයෙකු වසරක්, වසර පහක් හෝ වසර දහයක් වැනි කාලයක් ඇතුළත මිය යාමට ඇති සම්භාවිතාව එවැන්නෙකු ගැන දන්නා දේ ඇසුරින් ගණනය කළ හැකිය. මේ දන්නා දේ වලට මූලික වශයෙන් දැන් වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ජීවත් වන ප්‍රදේශය ඇතුළත්ය. පුද්ගලයෙකුගේ ශරීර සෞඛ්‍යට අදාළ විවිධ දත්ත භාවිතයෙන් මේ සම්භාවිතාව වඩා නිවැරදිව ගණනය කළ හැකිය.

ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයුකාලය වසර 75කි. මෙයින් අදහස් වන්නේ ශ්‍රී ලාංකිකයෙකු වයස 75 වන විට අනිවාර්යයෙන්ම මිය යන බව නොවේ. මිය යාමේ සම්භාවිතාව 50%ක් බවයි. ඔබේ ඔබේ 75වන උපන්දිනය සමරන විට ඔබ උපන්දිනම උපන් මිතුරන්ගෙන් 50%ක්ම ජීවතුන් අතර නොසිටිනු ඇත.

අපේක්ෂිත ආයුකාලය 75ක් යන්නෙන් අදහස් වන්නේ ඔබේ දැන් වයස 40ක්නම් ඔබේ ඉතිරිවී ඇති අපේක්ෂිත ආයු කාලය 35ක් බවද නොවේ. දිවි මාවතේ ඔබ පසු කරන සෑම කඩඉමක් සමගම ඔබේ අපේක්ෂිත ආයු කාලය වැඩි වේ. වෙනත් විදිහකින් කියනවානම් ඔබ උපන් දිනම උපන් අයෙකු වසර 75කට පෙර මියයන විට ඔහුට ලඟා වීමට නොලැබුණු අපේක්ෂිත කාලය ඒ වන විට ජීවත් වන අයගේ කාලයට එකතු වේ.

ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයු කාලයේ සාමාන්‍යය වසර 75ක් වුවත් වෙනත් කරුණු අනුව මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල ලෙස වෙනස් වේ. ගැහැණියකගේ අපේක්ෂිත ආයු කාලය වසර 78.5 ක් වන අතර පිරිමියෙකුගේ අපේක්ෂිත ආයු කාලය ඊට වඩා වසර හතකින් පමණ අඩුය. ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් ආයුකාලය අඩුම කොළඹ වැසියන්ගේය. වැඩිම හම්බන්තොටය. කොළඹ සිට හම්බන්තොටට පදිංචිය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දහයහමාරකින් පමණ වැඩි කර ගත හැකිය. එය අපහසුනම්, කොළඹ වැට පැන ගම්පහට පැමිණීමෙන් වුවද අපේක්ෂිත ආයුකාලය වසර නවයකින් පමණ වැඩි කර ගත හැකිය.

පහත වගු වල ඇත්තේ ලංකාවේ පිරිමියෙකු හෝ ගැහැණියක ඔහුගේ හෝ ඇයගේ අද (2016 පෙබරවාරි 10) වයස අනුව මියගොස් සිටීමට 50%ක සම්භාවිතාවකින් ඉඩ ඇති දිනයයි.



ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් 2000-2002 ජීවදත්ත වගු ඇසුරිනි. මේ වන විට වෙනස් වී තිබිය යුතුය.

ඊළඟ ලිපිය: මැරෙන විදිහ දැනගන්න ඕනෑද?

(Image: www.indiapost.com)

48 comments:

  1. ජීවිතං අනියතං - මරණං නියතං
    එතකං ජීවිතං - ජොලියෙන් ගතකරං

    ReplyDelete
    Replies
    1. //මරණං නියතං// එහෙම කිවුවට කවද හරි මැරෙන බව විතරයිනේ දන්නේ, ඉයන්. ඕක වෙන දවස දන්නේ නෑනේ. ඒ නිසා ටිකක් අනියතං.

      Delete
    2. "ජීවිතං මරණං - අනියතං නියතං
      ගොංකමං නියතං - බක්කරේ හූ හූ" කියල කවියක් තිබුණ අපි පොඩි කාලෙ

      Delete
  2. ජීවත් වෙන්න වෙන්න, අපේක්ෂිත ආයු කාලය වැඩි වෙනවා කියන එක ක්ලික් වුණේ දැනුයි....

    ReplyDelete
    Replies
    1. ඔව්, තිසර. එය තමයි මේ ලිපියේ පොයින්ට් එක.

      Delete
    2. ඒ වගේම තිසර රට දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙසත් මෙය වැඩි වෙනවා. (ඇතැම් විට අඩු වෙන්නත් පුළුවන්.)

      Delete
  3. හරියට ජෝතීර්වේදය දන්න අයට මැරෙන දිනය පමණක් නෙමෙයි වෙලාවත් හරියටම කියන්න පුළුවන්. මගේ මාමන්ඩියට ඒ හැකියාව තිබුනා. ඔහු කියපු සියළුම දේ ඒ ආකාරයෙන්ම සිඳු උනා.

    හොඳම උදාහරණය රණසිංහ ප්‍රේමදාසගේ මරණය. මාමන්ඩිය ඔහුගේ හඳහනේ 1993 මැයි පළවනදායින් පසු ලියා ඇත්තේ සම්ප්‍රදායෙන් ලියන ඒවා. ඒත් ඔහුගේ හොඳම මිතුරන් කිහිප දෙනෙකුටම මේ දිනයේ ඔහු අනිවාර්යයෙන්ම මිය යන බවත්. ඔහු මිය යන්නේ පිලිස්සීමෙන් බවත් සඳහන් කර තිබුනා. එය ඒ ආකරයෙන්ම සිඳු වූවා. මේ එක උදාහරණයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. මාමන්ඩියා තාම ජීවතුන් අතර ඉන්නවැයි..

      Delete
    2. උන්දැත් කියපු දවසේ, කියපු වෙලාවට පැය තුනකට කලින් ටටා බායි කිව්වා....

      Delete
    3. මම මුලින්ම බැළුවේ මෙය මාතලන්ගේ ඇත්තම ප්රොෆයිල් එකද කියලා. බැළුවම හරි. මම හිතන්නේ මේ කමෙන්ට් එක උත්ප්‍රාසය මතු කිරීමේ අදහසින් දැමූ එකක් බවයි. එසේ නොවේනම් පිළිතුරක් දෙන්නම්.

      Delete
    4. නෑ, නෑ, මාතලන් ඔය කතාව මීට කලිනුත් ලියා තියෙනවා

      Delete
  4. මට මේ ලිපිය කියන දේ අපැහැදිලියි.

    75 කියලා මම ඒත්තුගන්වන් හිටියේ ජිවිතේ මැද වගේ කියලයි. ඒ කියන්නේ අකල් මරණ‍.

    කොළඹ සිට හම්බන්තොටට පදිංචිය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දහයහමාරකින් පමණ වැඩි කර ගත හැකිය/
    මේක වෙන්නේ කොහොමද හම්බන්තොට ජනගහනය වැඩිවෙලා ආයෙත් කොළඹක් එහෙත් හදාගත්තොත් ආයෙත් අර සිද්දියම නේද?

    ReplyDelete
    Replies
    1. //කොළඹ සිට හම්බන්තොටට පදිංචිය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දහයහමාරකින් පමණ වැඩි කර ගත හැකිය// ඒක වචනාර්ථයෙන්ම ගන්න එපා, මල්මි. දිස්ත්‍රික්ක දෙක අතර අපේක්ෂිත ආයු කාලයේ වෙනස වෙනස දහයහමාරක් කියන එක පමණක් ගන්න. පදිංචිය වෙනස් කර ගැනීමෙන් තරමක් දුරට ආයුකාලය වෙනස් කර ගත හැකියි, වායු ගෝලයේ තත්ත්වය, රෝහල් පහසුකම් වගේ බාහිර සාධක වෙනස් වන නිසා. ඒත්, තමන්ගේ හැසිරීම්, ජාන වගේ දේවල් අනුව ඇති අවදානම ඉන්න තැන වෙනස් කළාට වෙනස් වෙන්නේ නැහැ.

      Delete
    2. මම දාන්න ආපු කමෙන්ට් එක පහලත් දාලා තියෙනවා.

      ඔය පහුගිය ආන්ඩුවේ සංක්යාලේකන නේද?
      ඒ කාලේ සේරම හම්බන්තොට වගේ ඕකත් එහෙම වෙන්න ඇති.
      කොටින්ම බොරු සංක්යාලේකන.

      Delete
    3. නෑ, මල්මි. මෙය සංඛ්‍යාලේඛණ වල ප්‍රශ්නයක් නෙමෙයි. දිගු පිළිතුරක් පසුව දාන්නම්.

      Delete
    4. http://emgesathapaha.blogspot.com/2016/02/blog-post_11.html

      Delete
  5. මගේ අවුරුදු 75 න් අවුරුදු 20 ක් 25 කට වඩා මගේ මිතුරන් අතරේ බෙදිලා යාවි...

    ReplyDelete
    Replies
    1. ඒ තරම්ම සෘණාත්මකව හිතන්න එපා, ලොකු පුතා!

      Delete
  6. ගොඩක් වැදගත් ලිපියක්. අපි ඉපදුනු දවස දන්නවා උනාට මැරෙන දවස දන්නේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. වැඩිපුර ජීවත්වන තරමට මැරෙන දවස වඩා ආසන්නව දැනගත හැකියි.

      Delete
  7. Oya statistics eke monawa hari boruwak thalala denanwa. Lies, daman lies and statistics.

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාලේඛණ වල සාමාන්‍යයෙන් ප්‍රශ්න තියෙනවා තමයි, ජගත්. ඒත් ගොඩක් වෙලාවට තියෙන්නේ සංඛ්‍යාලේඛණ නිවැරදිව තේරුම් නොගැනීමේ ප්‍රශ්න.

      Delete
  8. කොළඹ සිට හම්බන්තොටට පදිංචිය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දහයහමාරකින් පමණ වැඩි කර ගත හැකිය////////////////////// maru

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ගොඩක් අය කරන්නේ හම්බන්තොට සිට කොළඹ ඇවිත් දහය හමාර අඩුකර ගැනීමනේ!

      Delete
  9. මැරෙන දවස දන්නේ නැති වුනත් මරණය පෙනි පෙනි කිහපවතාවක්ම බේරිලා තියනවා.එක අවස්ථාවක් අවුරුදු 16 දි වගේ.අනිත් වතාව 21 දි.මේ ලඟදිත් අනුනවයෙන් බේරුනා.ඒ වගේ වෙලාවට දැනෙන හැඟීම ගැනනම් අත්දැකීම තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් ලිපියක් මඟ එනවා. ඊට කලින් තව ලිපි තුන හතරක් දාන්න තියෙනවා.

      Delete
  10. ඒක හොඳයි, මම හැට විතර වෙනකොට කොළබ ගේ විකුණල ගමපහින් ගෙයක් අරන් යනවා.
    ගම්පහ අවු 10ක් විතර ඉඳල ඒ ගේත් විකුණල හම්බන්තොටින් ලොකු ඉඩමක් අරන් ගෙයක් හදාගෙන යන්නයි හිතන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැත්තෑවක් වුනාට පස්සේ ගෙවල් හදන වැඩේට අතගහන එකත් මැරෙන වැඩක් නේද, ඇනෝ?

      Delete
  11. මේකේ හැටියට තව අවුරුදු 42ක් අල්ලලා ඉන්න පුළුවන්. නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. 50% චාන්ස් එකක් තියෙනවා, දිනේෂ්. වඩා නිවැරදිව දැනගත හැකි විදිහක් ඉදිරියේදී දමන්නම්.

      Delete
  12. // කොළඹ සිට හම්බන්තොටට පදිංචිය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දහයහමාරකින් පමණ වැඩි කර ගත හැකිය //

    දැන් වත් තේරුනාද හැත්තෑව පිරුනු අපේ ලොක්කා ගිය අවුරුද්දේ ජනවාරි අට වෙනිදා කොල්ලුපිටියේ සිට තන්ගල්ලේ කාල්ටන් වෙත ට්‍රාන්ස්ෆර් වෙච්චි හේතුව???

    අපි බයියො... මොලේ ඇඟ පුරාම ඇති කස්ටිය...

    ප ලි: ලෝකේ ඉපදෙන සෑම හතරවන දරුවා චීන දරුවෙක් කියලා ඉස්ටැටිස්ටික්ස් කාරයෙක් කියපු නිසා නේ අපේ ලොකු බොස් රෝහිත බබා ඉපඩුනාට පස්සෙ කරුමාන්තෙ නතර කොලේ... එතුමාට මොකටද චීන බබාලා???

    ReplyDelete
    Replies
    1. ඒකනේ සා රස. සමහර දේවල් සමහර අයට විතරයි තේරෙන්නේ. කොළඹ රස්සාව කරලා විශ්‍රාම යන ඇතැම් අය හම්බන්තොට, ගම්පහ වගේ දිස්ත්‍රික්ක වලට යන්නේ ඕක දන්න නිසයි. ඒ වුනාට මිනිස්සු කරන්නේ, ඒ අයට අන්තිම කාලේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ නොදී ආපහු කොළඹට දක්කන එක.

      අර චීන තියරි එක වැඩ කළේ නැහැ කියලා හොඳටම ෂුවර්ද?

      Delete
    2. එතකොට අර සරම කැඩෙයි කියලා බයවෙච්ච වෙලාවේ බිම වැටුණු රෝහිත බබාගේ නංගි ?

      Delete
  13. / වෙනත් විදිහකින් කියනවානම් ඔබ උපන් දිනම උපන් අයෙකු වසර 75කට පෙර මියයන විට ඔහුට ලඟා වීමට නොලැබුණු අපේක්ෂිත කාලය ඒ වන විට ජීවත් වන අයගේ කාලයට එකතු වේ. /

    මට මේ කාරණය පැහැදිලි මදි ඉකෝන්. ඔබ කියන්නෙ මිනිස්සු මිලියන ගණනින් මියගිය කාලයක ( උදාරණයක් විදිහට දෙවන ලෝක යුද්ධය වගෙ ) නොමැරී ඉතුරුවුන අයගෙ අපේක්ෂිත ආයු කාලය එක වරම විශාල ලෙස වැඩිවෙනව කියන එකද?

    ReplyDelete
    Replies
    1. නෑ, රවී. මෙයට අදාළ තව ලිපි කිහිපයක් තියෙන නිසා මේක වැඩිපුර පැහැදිලි කරන්න ගියේ නැහැ. සාමාන්‍ය අගය 75යි කියන්නේ ජනගහණයෙන් භාගයක් 75ට පෙර මැරෙනවා කියන එකයි. ඉතිරි බාගය 75ට වඩා ජීවත් වෙනවා. ඉපදෙන විට ඔබ දන්නේ නැහැ ඔබ ඉන්නේ මොන ගොඩේද කියලා. ඒත් ඔබ 75ක් ජීවත් වුණොත් ඒ කියන්නේ ඔබ ඉන්නේ උඩ ගොඩේ. ඒ නිසා ඔබේ ආයුකාලය වැඩියි. ඇත්තටම වෙන්නේ ආයුකාලය වැඩි වීම නෙමෙයි. ඔබ එය වඩා නිවැරදිව දැන ගැනීම.

      උදාහරණයක් ලෙස අපි හිතමු අහඹු ලෙස ගත් 8 දෙනෙකු මැරෙන වයස් 68,70,72,74,76,78,80,82 කියා පසුගිය දත්ත අනුව. ඔබ මේ අටදෙනාගෙන් කොයි එක්කෙනාද කියා නොදන්නා නිසා ඔබේ අපේක්ෂිත ආයු කාලය 75 යි (මෙහි සාමාන්‍ය අගය). ඔබ වසර 75ක් ජීවත් වෙනවා කියන්නේ ඔබ මුල් හතර දෙනාගෙන් කෙනෙක් නෙමෙයි. එහෙමනම් ඔබ මැරෙන වයස 76,78,80 හෝ 82. මෙහි සාමාන්‍ය අගය 79යි. ඒ වනවිට මියගොස් සිටි හතර දෙනාගේ සාමාන්‍ය ආයුකාලය 71ක් පමණක් වූ නිසා එතනින් අඩු වූ 4 ජීවත් වන අයගේ සාමාන්‍යයට එකතු වෙනවා. ඔබ වයස 79 දක්වා ජීවත් වුණොත් ඔබේ අපේක්ෂිත ආයුකාලය 81 දක්වා වැඩි වෙනවා.

      Delete
  14. ඔච්චර් කල් ජිවත් වෙන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
  15. අපිටත් තව අවුරුදු තිස් ගණනක්ම තියෙනවා කියලා නේ කියන්නේ ඔය..

    ReplyDelete
  16. 2016 පෙබරවාරි 10) වයස අනුව වයස 15 කෙනෙක් (පිරිමි) වසරක් ඇතුලත මැරෙන සම්භාවිතාවය 0.08% නම් අපේක්ෂිත මැරෙන දිනය 2071 මැයි 30 අපු විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න, ඉහත මුල්ම සටහන අනුව ??

    ReplyDelete
    Replies
    1. මෙය ගණනය කිරීම සඳහා අවශ්‍ය දත්ත සියල්ල මේ ලිපියේ නැහැ. ඒ සඳහා ජීවදත්ත වගු භාවිතා කළ යුතුයි. මිය යන දිනය කියන්නේ සම්භාවිතා ශ්‍රිතයේ අපේක්ෂිත අගය 0.5 වන දිනය. වයස 15ක අයෙකු වසරක් තුළ මිය යාමේ සම්භාවිතාව 0.08%නම් එවැන්නෙකු වයස 16 වන තුරු ජීවත්වීමේ සම්භාවිතාව 99.92%ක්. අපි හිතමු වයස 16ක අයෙකු වසරක් තුළ මිය යාමේ සම්භාවිතාව 0.10ක් කියා. එවිට, වයස 15 අයෙකු වයස 17 දක්වා ජීවත් වීමේ සම්භාවිතාව 99.92*99.9ක්. ඔය විදිහට හදාගෙන යන්න පුළුවන්.

      Delete
  17. තව දෙයක් තියෙනවා අහන්න , සමන්‍යයෙන් ආයු ගනනය හා සම්බන්දයෙක් කල හැකි පරීක්ෂණ මොනව ද කියල ඔබට යෝජනා කරන්න පුලුවන් මොන වගේ ඒව ද?

    ලෝක මට්ටමෙන් කෙරෙන එවැනී පරීක්ෂණ ගැන සදහන් කල හැකිද ?

    ReplyDelete
    Replies
    1. ආයු ගණනය සම්බන්ධ පරීක්ෂණ කළ යුත්තේ ඇයි? ආයු ගණන වගු හදන්නේ නිරීක්ෂණය කළ හැකි සැබෑ දත්ත මත පදනම්ව. අමුතුවෙන් පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. ඔබ අදහස් කළේ කිසියම් ප්‍රතිකාරයකින් ආයු අපේක්ෂාව වැඩි වීම වැනි දෙයක් ගැනද? එවැන්නක් හොයා ගන්නනම් සසම්භාවී පාලිත පරීක්ෂණයක් කළ හැකියි. ( ඒ ගැනත් ලියා තිබෙනවා).

      Delete
    2. ප්‍රතිචාර දෙකටම ස්තූති

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...