පෙර ලිපියක ලියූ පරිදි "1956, 1970, 1977, 1994, 2010, 2015, 2018, 2019 ආදී සෑම අවස්ථාවකම මහජන මතය ප්‍රබල ලෙස මතු වුනා". දැන් 2020දී නැවතත් ඒ දෙයම සිදු වී තිබෙනවා. මා හිතන්නේ මේ ප්‍රතිඵලය මැතිවරණයට පෙර කිසිවෙකුටත් මෙලෙසම පුරෝකථනය කළ නොහැකි වූ බවයි.
මේ මැතිවරණයෙන් ආණ්ඩුව ජයගනු ඇති බව කිසිදු සැකයක් තිබුණු කරුණක් නෙමෙයි. මගේ ඇස්තමේන්තුව වුනේ ආණ්ඩුව 125-130 අතර මන්ත්‍රී ධුර ප්‍රමාණක් ලබා ගනු ඇති බවයි. එමෙන්ම මගේ විශ්වාසය වූයේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය යම් තරමකින් හෝ අඩු වී ඇති බවයි. ඒ නිසා, පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යම් පිරිසකට කෝවිඩ් අවදානම හමුවේ ඡන්දය දීමට තරම් ගැම්මක් මේ වන විට නැති විය හැකි බවයි.
එජාපය දෙකට බෙදීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කළ විශාල පිරිසක් මෙවර ඡන්දය භාවිතා නොකරනු ඇති බවත්, එජාපය ඉතා දරුණු පරාජයක් ලබනු ඇති බවත් මා පුරෝකථනය කළත් එජාපය නැත්තටම නැති වී යාම මා කිසිසේත්ම පුරෝකථනය කළ දෙයක් නෙමෙයි. මගේ අවම තක්සේරුව වූයේ එජාපයට අඩු වශයෙන් කොළඹින් හා ගම්පහින් මන්ත්‍රී ධුර දෙකක් බැගින්, කුරුණෑගලින් හා කළුතරින් මන්ත්‍රී ධුරය බැගින් හා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර දෙකක් ලෙස මන්ත්‍රී ධුර 8ක් වත් ලැබෙයි කියා. උපරිම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 15ක පමණ ප්‍රමාණයක්.
ජවිපෙ සම්බන්ධව මගේ අවම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර හතරක්. ඒ දැනට ලබා ගෙන ඇති මන්ත්‍රී ධුර තුන සහ මාතරින් තවත් මන්ත්‍රී ධුරයක් ලෙසයි. උපරිම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 7ක පමණ ප්‍රමාණයක්. අපේ ජනබල පක්ෂය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි කර ගැනීමට තිබුණු ඉඩකඩද මා විසින් පුරෝකථනය කළා. ශ්‍රීලනිපය වෙනම තරඟ කළ දිස්ත්‍රික්ක වලදී මන්ත්‍රී ධුර කිසිවක් හිමි කර ගනු ඇතැයි මා පුරෝකථනය කළේ නැහැ.
සමගි ජන බලවේගය පිළිබඳ මගේ ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 50-60 අතර ප්‍රමාණයක්. එය එතරම් වැරදි නැහැ. එහෙත්. මා ඇස්තමේන්තු කළේ සජබ හා එජාප මන්ත්‍රී ධුර එකතුව 65-75 ආසන්න ප්‍රමාණයක් වනු ඇති බවයි. සමස්තයක් ලෙස ඡන්ද භාවිතය මා ඇස්තමේන්තු කළාට වඩා වැඩියි. මගේ ඇස්තමේන්තුව වූයේ 65%ක පමණ ප්‍රතිශතයක්.
පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක විසින් ලැබූ ඡන්ද ප්‍රමාණය අනුව එම පක්ෂයට ලැබිය හැකිව තිබුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි. එහෙත්, ඔවුන් එම ඡන්ද ප්‍රමාණයම ලබද්දී ප්‍රධාන පක්ෂ වල ඡන්ද භාවිතය අඩු වූවානම් ජවිපෙ ප්‍රතිශතය ඉහළ ගොස් ඔවුන්ට වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් හිමි වෙනවා. මෙය යම් තරමකට සිදු වුනත් මා ඇස්තමේන්තු කළ තරමටම සිදු වුනේ නැහැ. පොදුජන පෙරමුණේ ඡන්ද යම් ප්‍රමාණයකින් අඩු විය හැකි වුවත්, එජාප කඳවුරේ ඡන්ද භාවිතය ඊට වඩා වැඩියෙන් පහළ යන නිසා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශත ඉහළ යනු ඇතැයි මා නිවැරදිව පුරෝකථනය කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ඉහළ යනු ඇතැයි මා සිතුවේ නැහැ.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය 69,24,255ක්. මෙවර ශ්‍රීලනිපය වෙනම තරඟ කර ලබාගත් ඡන්දද ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය විසින් ලබා ඇති ඡන්ද ප්‍රමාණය 69,20,272ක්. මේ ගණන් ඉතාම ආසන්නයි. කරුණා අම්මාන්ගේ, පිල්ලෙයාන්ගේ, ඩග්ලස් දේවානන්දාගේ හා අතාවුල්ලාගේ පක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී සහාය දුන්නේත් ගෝඨාභය රාජපක්ෂටයි. ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට එම පක්ෂ වල ඡන්දත් යම් ප්‍රමාණයක් ඇතුළත්. මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය විසින් ලබා ඇති ඡන්ද වලට ඉහත පක්ෂ වල ඡන්දද එකතු කළ විට එකතුව 71,18,731ක්. මේ අනුව, කෝවිඩ් තර්ජනය මධ්‍යයේ වුවත් ගෝඨාභය කඳවුර විසින් 1,94,476ක ඡන්ද ප්‍රමාණයක් අලුතින් එකතු කර ගැනීමට සමත් වී තිබෙනවා.
කෙසේ වුවත්, ගෝඨාභය කඳවුර විසින් සමස්තයක් ලෙස ලක්ෂ දෙකක පමණ ඡන්ද ප්‍රමාණයක් වැඩි කර ගෙන තිබීමෙන් එම කඳවුරේ ඡන්ද ගිලිහී නොමැති බවක් අදහස් වෙන්නේ නැහැ. ගෝඨාභය කඳවුරේ මූල කඳවුරු පිහිටි දකුණේ සිංහල බෞද්ධ නාගරික දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ. කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක වලදී ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ ඡන්ද වලින් ලක්ෂ දෙකක් පමණ, හරියටමනම් 1,96,287ක් අඩු වී තිබෙනවා. එයින් 1,82,404ක්ම අඩු වී තිබෙන්නේ බස්නාහිර හා දකුණු පළාත් වල නාගරික දිස්ත්‍රික්ක පහේදී.
මේ අඩුව ආවරණය වී තිබෙන්නේ දෙමළ ජනයා වැඩිපුර වෙසෙන උතුරු නැගෙනහිර පළාත් වලින් හා නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්ක වලින් අමතර ඡන්ද 3,28,986ක් එකතු කර ගැනීමට එම කඳවුර සමත්ව තිබීම නිසයි. කඳුරට දෙමළ ජනතාව යම් ප්‍රමාණයක් වාසය කරන ඉතිරි දිස්ත්‍රික්ක වලදී හා පොළොන්නරුවේදී ගෝඨාභය කඳවුර විසින් තවත් ඡන්ද 61,777ක් එකතු කරගෙන තිබෙනවා. ලක්ෂ හතරකට ආසන්න මේ ඡන්ද වලින් 1,98,459ක් කරුණා අම්මාන්ගේ, පිල්ලෙයාන්ගේ, ඩග්ලස් දේවානන්දාගේ හා අතාවුල්ලාගේ පක්ෂ හරහා ලබා ගෙන ඇති ඡන්ද වුවත් ඉතිරි ලක්ෂ දෙකක පමණ ඡන්ද ප්‍රමාණය ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය විසින් සෘජුවම ලබාගත් ඡන්දයි.
මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඡන්ද අඩු වී නැහැ. ඇතැම් අය ජවිපෙ ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියත් ජවිපෙ සතු ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්. එම ප්‍රමාණය ඔවුන්ට ලැබී තිබෙනවා. මාතර හා කොළඹ හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක වලදී ජාතික ජන බලවේගය විසින් මෙවර ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 3,41,222ක් පමණයි. එම දිස්ත්‍රික්ක වලින් පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක විසින් ඡන්ද 3,41,311ක් ලබා ගත්තා. මේ ඡන්ද ප්‍රමාණ ඉතාම ආසන්නයි. ජාතික ජන බලවේගයේ ඡන්ද වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වී තිබෙන්නේ කොළඹ හා මාතර දිස්ත්‍රික්ක වලදී පමණයි. කොළඹදී වැඩිවීම 13,797ක් වන අතර මාතරදී වැඩිවීම 13,697ක්.
මෙවර මැතිවරණයේදී සුනිල් හඳුන්නෙත්ති පරාජය වීම ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකු ලෙස පොදුජන පෙරමුණේ හා එජාප දේශපාලනඥයින් විසින් පවා හැඳින්වීම එයට හේතුවයි. සුනිල් හඳුන්නෙත්තිගේ ජයග්‍රහණය තකා බොහෝ දෙනෙකු බර දමන බව පෙනෙන්නට තිබුණා.
මාතරින් ජාජබට මන්ත්‍රී ධුරයක් හිමි නොවුණත් මේ බර තැබීම් වලින් වැඩක් වී නැති බව කියන්න බැහැ. ජාජබ විසින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්. එමෙන්ම ප්‍රතිශතයක් ලෙස වැඩිපුරම ජාජබ ඡන්ද ඉහළ ගොස් තිබෙන්නේත් මාතරදී. එය 58.4%ක විශාල වැඩි වීමක්. එසේ තිබියදීත් මාතරින් ජාජබට මන්ත්‍රී ධුරයක් අහිමි වීමෙන් පිළිබිඹු වන්නේ උපක්‍රමයක් ලෙස කොටයෙන් ගොඩයන්න බලා සිටීමේ අවදානමයි. කොටය බොහෝ විට ජවිපෙ වාසියට හිටියත් හැමදාම නත්තල් නැහැ.
මාතරදී සුනිල් හඳුන්නෙත්ති සාධකය මෙන් කොළඹදී අනුර කුමාර සාධකය බලපෑවා වෙන්න පුළුවන්. එසේ නැත්නම් ලැයිස්තුවේ සිටි විමල් කැටපේආරච්චි වැනි අලුත් මුහුණු වලට යම් ඡන්ද ප්‍රමාණයක් ආකර්ෂණය වුනා වෙන්න පුළුවන්. මාතර වැඩි වීමට ආසන්නව සමාන මේ වැඩි වීම නොවන්නට ජාජබ කොළඹ මන්ත්‍රී ධුරයත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ජවිපෙ පදනම් ඡන්ද හැරුණු විට ජාජබ විසින් සුළු හා පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් ඒ කොළඹදී හා මාතරදී පමණයි.
සජිත් ප්‍රේමදාස විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 55,64,239ක් ලබා ගත්තා. මෙවර සජබ හා එජාප ඡන්ද වල එකතුව 30,21,419ක් පමණයි. මෙයට ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දුන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ වල ඡන්දද එකතු කළ විට එකතුව 35,96,422ක්. ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ලැබුණු ඡන්ද වලින් ලක්ෂ 20කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙවර භාවිතා වී නැහැ. මෙවර ප්‍රතිඵලය වෙනස් කිරීමට හේතු වුනානම් ඒ මෙසේ භාවිතා නොවුණු ඡන්දයි. මේ අඩු වීම සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ඡන්ද වලට සාපේක්ෂව උතුරු නැගෙනහිරදී 20-30% අතරත් දකුණේදී 40% පමණත් බව පෙනෙනවා. උතුරු නැගෙනහිර පළාත් හා නුවරඑළිය දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක වලදී සජිත් ප්‍රේමදාස විසින් ලබාගත් ඡන්ද වලින් මෙවර සජබට ලැබී තිබෙන්නේ 54.6%ක් පමණයි. එජාපය විසින් තවත් 5.1%ක් ලබා ගනිද්දී ඉතිරි 40.3% වාෂ්ප වී ගොස් තිබෙනවා. එම ඡන්ද ගෝඨාභය කඳවුරට හෝ ජාජබටද ලබාගත හැකි වී නැහැ. මේ ඡන්ද මොනවාද?
රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එජාපය තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීම මා මතුපිටින් කියවන්නේ නැහැ. මතුපිටින් බැලුවොත් රනිල්ව ප්‍රතික්ෂේප වී සජිත් මතු වී තිබෙනවා. එජාපය ප්‍රතික්ෂේප වී සමගි ජන බලවේගය මතු වී තිබෙනවා. එය යම් ආකාරයකින් ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප වී පොදුජන පෙරමුණ මතු වීමට සමානයි. එහෙත්, මේ මතුපිටින් පෙනෙන කාරණයෙන් මා බැරෑරුම් ලෙස ගන්නේ රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප වීම කියන කාරණය පමණයි.
එජාපය දෙකඩ වීමෙන් පසුව එජාපයේ ජනප්‍රිය චරිත වැඩි ප්‍රමාණයක් හිටියේ සමගි ජන බලවේගය සමඟයි. එහෙත්, මේ වැඩි දෙනෙක්ට සජිත්ව අවශ්‍ය වුනේ එජාපය ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා පහුරක් සේ යොදාගැනීමට පමණයි. එය රනිල්ට කළ නොහැකි බව කාලය විසින් තහවුරු කරද්දී එජාපය අත නොහැර ඉතිරිව සිටි අයට වූ විකල්පය වූයේ අලුත් මූණක් දමා බැලීමයි. එසේ නැතිව රනිල්ව එළවා ගැනීමට වූ උවමනාව නෙමෙයි. රනිල් යටතේ පක්ෂය ජයග්‍රහණය කරවීමේ හැකියාවක් තිබුනානම් ඔය ගොඩක් අයට රනිල්ව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පක්ෂයේ මහජන නියෝජිතයින්ට වගේම පහළ මට්ටමේ ඉතිරි වී සිටින සාමාජිකයින්ටත් අවශ්‍ය වුනේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි ජොකියෙක් මිස සජිත් ප්‍රේමදාස කියන විශේෂිත පුද්ගලයා නෙමෙයි. ඒ අර්ථයෙන් බැලු විට සමගි බලවේගය ඉතාම අසාර්ථක පරීක්ෂණයක්.
එජාපයේ ප්‍රශ්නය එහි නායකයා රනිල් වික්‍රමසිංහව සිටීම නෙමෙයි. එය ඊට වඩා මූලික මට්ටමේ ප්‍රශ්නයක්. එජාපය කලක සිට දිගින් දිගටම පැරදෙන්නේ එජාපයේ ප්‍රතිපත්ති වලට ඉල්ලුම අඩු වීම නිසා මිසක් එහි නායකයා පිළිබඳ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ජවිපෙට තිබෙන ප්‍රශ්නයත් මෙයමයි. එහෙම නැතුව මිනිස්සු ඇත්ත මිනිස්සුද බොරු මිනිස්සුද කියන එකේ අවුලක් නෙමෙයි. ප්‍රතිපත්ති අවුල්නම් ඇත්ත මිනිස්සු කරන්න ඉඩ තිබෙන්නේ ඒ අවුල් ප්‍රතිපත්ති ඇත්තටම ක්‍රියාත්මක කරන එක බව ඡන්දදායකයා දන්නවා. අවුල් ප්‍රතිපත්ති වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින මිනිස්සුන්ට වැඩිය වඩා හොඳ සේ පෙනෙන ප්‍රතිපත්ති වෙනුවෙන් බොරුවට හෝ පෙනී සිටින මිනිස්සු හොඳයි. පළමු තේරීමේ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අවුල්. දෙවැනි තේරීම හරියන්න යම්කිසි හෝ ඉඩක් තිබෙනවා.
සජිත් ප්‍රේමදාස විසින් එජාපයේ පාක්ෂික ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒවා කොහොමටත් පක්ෂයට ලැබෙන ඡන්ද. මේ වෙලාවේ එජාපය කියා කියන්නේ අලියා නෙමෙයි ටෙලිෆෝනය කියා එජාප පාක්ෂිකයා තීරණය කර තිබෙනවා. හරියට පසුගිය පළාත් පාලන ඡන්දයේදී ශ්‍රීලනිපය කියන්නේ අත නෙමෙයි පොහොට්ටුව කියා තීරණය කළා වගේ. නමුත්, රනිල්ගේ නායකත්වය යටතේ ලැබිය හැකිව තිබුණු ඡන්ද සෑහෙන ප්‍රමාණයක් සජිත්ගේ පක්ෂයට ලබා ගත හැකි වී නැහැ. එහෙමනම් ඒ ඡන්ද රනිල්ට නොලැබුනේ ඇයි?
මගේ අදහසනම් මෙයට හේතුව මේ නොවැටුණු ඡන්ද එජාප ඡන්ද නොවීමයි. ඒ ඡන්ද 2015දී මෛත්‍රීපාලට ලැබෙන්න ඇති. 2019දී සජිත්ටත් ලැබෙන්න ඇති. එහෙත්, ඒ ඡන්ද රාජපක්ෂ විරෝධී පාවෙන ඡන්ද මිසක් එජාප ඡන්ද නෙමෙයි. රාජපක්ෂ විරෝධී ඡන්ද කිවුවත් ඒවා කොටස් දෙකකට දමන්න පුළුවන්. පළමු කොටස 2015ට පෙර තිබුණු රාජපක්ෂලාගේ ක්‍රමයට විරුද්ධ ඡන්ද. දෙවන කොටස ඒ පොදු විරෝධය ඉක්මවා ගිහින් පෞද්ගලිකව රාජපක්ෂලාට වෛර කරන මට්ටම දක්වා ගිය අයගේ ඡන්ද. පළමු කාණ්ඩයේ අයට මහින්ද හා ඔහුගේ කණ්ඩායම ප්‍රශ්නයක් වුනත් ගෝඨාභය ප්‍රශ්නයක් නෙමෙයි. දෙවෙනි කණ්ඩායමට මහින්ද වගේම ගෝඨාභයත් අවුල්. සමහර විට ගෝඨාභය වැඩිපුර අවුල්.
මහින්දගේ ආණ්ඩුව එක්ක ප්‍රශ්න තිබුණු ඇතැම් අය 2015දී යහපාලනයට ඡන්දය දී දැන් ගෝඨාභය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එහෙත්, 2015දී යහපාලනයට ඡන්දය දුන් අයගෙන් යම් කොටසකට දැන් විකල්පයක් නැති වෙලා. එජාප පාක්ෂිකයින්ට සජිත් අලුත් බලාපොරොත්තුවක් වුනත් ඉහත කී පාවෙන ඡන්දායකයින්ට සජිත් විකල්පයක් නෙමෙයි. ඒ කොටස දැන් රනිල්ව වගේම ජවිපෙත් අත ඇරලා ඕනෑ මගුලක් කියා වෙන දෙයක් බලා ගෙන ඉන්නවා වගෙයි පෙනෙන්නේ.
පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වී තිබෙන ඡන්ද ප්‍රමාණය 1,35,452ක් පමණයි. මෙවර මහ මැතිවරණයේදී 7,44,673ක්. මේ පස් හය ගුණයක වැඩි වීමෙන් පෙනෙන්නේත් මා කියන කාරණය වෙන්න පුළුවන්. ඡන්දදායකයින්ගේ සාක්ෂරතා මට්ටම අඩු ග්‍රාමීය දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව කොළඹ ඇතුළු නාගරික දිස්ත්‍රික්ක වල ඡන්ද වැඩිපුර ප්‍රතික්ෂේප වීමෙන් මේ කරුණ තවත් තහවුරු වෙනවා.
සමගි ජන බලවේගය හරහා චම්පික රණවකට ඊළඟ පියවරට යන්න පාර කපා ගැනීමේ උත්සාහයක්ද තිබුණු බව ගොඩක් දෙනෙක්ට රහසක් නෙමෙයි. ඒ ව්‍යාපෘතියද එතරම් සාර්ථක වී නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. මේ කරුණු සියල්ලම ගත්තහම එක දෙයක් පැහැදිලියි. ගෝඨාභය කඳවුරට බාධාවක් නැතුව වාහනය එළවන්න පාර ක්ලියර්!
විරුද්ධ දිශාවෙන් වාහන කිසිවක් එන්න නැහැ කියා කියන්නේ වාහනය එළවන්න විශාල නිදහසක් ලැබෙනවා කියන එකයි. හැබැයි එයින් කියැවෙන්නේ අනතුරු සිදු වෙන්න ඉඩක් නෑ කියන එක නෙමෙයි. ඉස්සරහ බලාගෙන එළෙවුවේ නැත්නම් වාහනේ පාරෙන් එළියට පනින්න පුළුවන්.
ගෝඨාභය ඉදිරියේ තිබෙන ප්‍රධානම අභියෝගයත් මේ ලැබුණු ඡන්ද ප්‍රමාණයම තමයි. ඡන්ද කියා කියන්නේ බලාපොරොත්තු. රාජපක්ෂ විරෝධී කඳවුරේ ලොකු කොටසක් විකල්පයක් නැති වීම නිසා ඡන්දය දීමෙන් වැලකී සිට ඇතිවාක් මෙන්ම පොහොට්ටුවට ඡන්දය දුන් අයගෙන් සැලකිය පිරිසක් එසේ කර තිබෙන්නේද වෙනත් විකල්පයක් නැති නිසා බව මගේ අදහසයි. එක පැත්තකින් සරත් වීරසේකර, නාලක ගොඩහේවා, චන්න ජයසුමන වගේ අය මනාප වලින් ඉහළටම ඇවිත් තිබෙනවා. අනෙක් පැත්තෙන් මහින්දගේ පරණ ආණ්ඩුවේ සිටි බොහෝ විට විවේචන වලට පාත්‍ර වූ අයත් මනාප ලැයිස්තු වල උඩට ඇවිත් තිබෙනවා.
යහපාලන ආණ්ඩුවට ආණ්ඩුවෙන් එළියේ වගේම ආණ්ඩුව ඇතුළෙත් බරපතල ප්‍රශ්න තිබුණා. මේ ආණ්ඩුවට එළියේ ලොකු ප්‍රශ්න නැතත් ඇතුළේ විසඳාගත යුතු ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම එළියේ දේශපාලන ප්‍රශ්න නැතත් විශාල අභියෝග තිබෙනවා. ඒ අභියෝග සුළුපටු නැහැ. ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා ආණ්ඩුව මේ ලැබුණු ජනවරම ප්‍රයෝජනයට ගනු ඇතැයි ප්‍රාර්ථනා කරමින් අපි අළුත් ආණ්ඩුවට සුබ පතමු!
"පාර ක්ලියර්" වීම එක අවශ්‍යතාවයක් සපුරා ගැනීමක්. ඒත් රියදුරා හොඳද? වාහනය හොඳද? ඉන්ධන තියනවාද? කියලා බලාගන්න වෙන්නේ ටික කාලයක් ගියාට පසුවයි.
ReplyDeleteපාර ක්ලියර් නිසා ඔය දේවල් බලා ගන්න ලේසි වෙයි නේද?
Deleteතොරාගැනීමට යමක් නොමැති බලකාය ඉදිරි කාලයේදී බෝහෝ වැඩිවේවි, සංගක්කාර වරිගයේ කණ්ඩායමක අවශතාව එනවා, මහින්දානන්දලට ස්ට්‍රැටජි කියාදෙන අයත් ඒක දන්නවා.
ReplyDeleteමම දකින විදිහට ඉතා වැදගත් හා සැලකිය යුතු තරම් විශාල කණ්ඩායම් දෙකක් මේ ඡන්ද ප්‍රතිඵලය පිටුපස ඉන්නවා. එක කණ්ඩායමක් "ඔන්න සර්, අපි පාර ක්ලියර් කරල දෙනවා. දැන් ඉතින් විවේචකයින්ට ඇඬෙන්න කරල පෙන්නන්න" කියලා මහත් විශ්වාසයකින් යුතුව ඡන්දය දුන් පිරිසක්. අනෙක් කණ්ඩායම "හරි, පුළුවන්නම් කරල පෙන්නන්න" කියලා පැත්තකට වී සර් අසාර්ථක වෙන තුරු බලා ඉන්න කොටසක්. මෙහි තිබෙන සාධනීය දෙය මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක අතින්ම කෙරෙන්නේ මොනවා හෝ දෙයක් කරලා පවතින තත්ත්වය වෙනස් කරන්න ආණ්ඩුවට පීඩනයක් එල්ල කිරීම වීමයි. ඒ වගේම මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම දෙකම වහාම නිවැරදි කළ යුතු වැරදි තිබෙනවා කියන කරුණ සම්බන්ධව එකඟ වෙනවා. සමහර විට ඒ මොනවාද කියන එක ගැන එකඟ නැති වෙන්න පුළුවන්.
Deleteයමක් කරනවානම් ඇත්තටම ආණ්ඩුවට අවස්ථාව දැන් තිබෙනවා. එජාපය හෝ ජවිපෙ උදළු දමන්න තරම් ශක්තිමත් නැති නිසා මේ ආණ්ඩුවට දැන් යහපාලන ආණ්ඩුවට මුල සිටම තිබුණු දේශපාලන ප්‍රශ්නය නැහැ. ඒ වගේම වැරදි තීරණ ගත්තොත් එහි ප්‍රතිවිපාක ඉදිරි ආණ්ඩුවකට තල්ලු කිරීම අසීරු වන තරමට තත්ත්වය දැනටමත් නරක අතට හැරිලා. කළ යුතු සමහර දේවල් ජනප්‍රිය දේවල් නෙමෙයි. ආණ්ඩුවකට ජනප්‍රිය නැති දේවල් කළ හැක්කේ බලයට පත් වූ අලුතයි. ඒ නිසා, අනාගතය තීරණය වෙන්නේ ඉදිරි මාස හය, වැඩිම වුනොත් අවුරුද්ද ඇතුළත ආණ්ඩුව යන්නේ මොන පාරේද කියන එක මතයි. වැරදි පාරේ ගියොත් ඉතා ඉක්මණින් මුලින් කී කණ්ඩායම් දෙකම එක කණ්ඩායමක් වෙයි. හරි පාරේ ගියොත් කාලයක් යද්දී වෙන විදිහකට ඒ දෙයම වෙයි.
Econ, just out of curiosity.. why do you write numbers as e.g. 3,41,222 and not 341,222. Is it because your audience is (mostly) SLankan?
ReplyDeleteThank you for the valuable insights. I was struggling to understand the SL behaviour in it,
Just tried the format here on experimental basis. I am wondering how many readers feel like you and vice versa. Glad to have at least one feedback.
Deleteඒ ෆෝමැට් එක නුහුරුවූ නිසා සැම ඉලක්කමම එක දහය සීය ක්‍රමයට අග සිට අගයන්න වුනානේ, මේ කොමෙන්ට් එක කියවා ආපසු ගොස් බැලුවාම ඒ ඉලක්කම් තේරුම් ගැනීම ඉතා ලේසි සහ පහසු බව තේරුනා, ටෙක්ස්ට් එකේ එක්ස්පෙරිමෙන්ට් එක හඳුන්වා දී සිටියා නම් නුහුරුව පහසුවෙන් හුරුවක් බවට හැරෙනවා.
Deleteමටත් මේ අංක ෆොර්මැටය කියවන්න අපහසුයි...
Deleteමේ ෆෝර්මැට් එක දිගටම යොදා ගන්න අදහසක් නැහැ. පෙනෙන ආකාරයට මට වගේම කියවන ගොඩක් අයටත් මිලියන ෆෝර්මැට් එක වඩා පහසුයි.
DeleteEcon, මේ ප්‍රතිපලයට හේතු වුනු ගෝටාභය සාධකය ගැන මොකද හිතන්නෙ. බොහෝ අයට ඔහු appealing වගෙ. එයට හේතුව ඔහු american සමාජයෙන් ලබාගත් certain qualities and discipline විය හැකියි නේද. දෙශප්‍රෙමිස් admiring an american (and hesitating to admit it).
ReplyDeleteඑකම හේතුව මෙය කියා මම හිතන්නේ නැහැ. නමුත්, ඔබ කියන දෙයෙහිත් ඇත්තක් තිබෙනවා.
Deleteඋසට උසේ ණය කන්දක්
ReplyDeleteපාර මැදම තියෙන කලට
සුද්දොත් එන්නේ නැතිකොට
ඇඟලුම් වැහිලා එකපිට
අනේ අපේ රට විරුවෝ
සල්ලි එවන්නේ නැතිකොට
හැබෑවටම "පාර ක්ලියර්"
වගේ පේනවද හැබෑට!
පරණ ගොඩනැගිල්ලක් කඩා වැටෙමින් තිබෙන අවස්ථාවක් කියන්නේ සුන්බුන් ඉවත් කරලා හොඳ අත්තිවාරමක් නැවත දමන්න තිබෙන අවස්ථාවක්. ගොඩනැගිල්ල හොඳට තිබෙන බව පෙනෙන කොට එය කඩන්න පෙළඹුමක් එන්නේ නැහැ. ඒ වගේම වැහි කාලයට පෙර ගොඩනැගිල්ල අලුතින් හදා නොගත්තොත් දිගටම තෙමෙන්නයි වෙන්නේ.
Deleteනෙතු දල්වා ඉවසිල්ලෙන්
ReplyDeleteබලා හිඳිමි සෝදිසියෙන්
හරි පාරෙම දිගින්-දිගට
යන්න ලැබෙන්නැයි පතමින්!
ආණ්ඩුව කිව්වේ අපිට 2/3 දෙන්න (අපි කරලා පෙන්නන්නම්) කියලයි... එත් 2/3 අරගෙන ආණ්ඩුව කරන්න යන දේ පැහැදිලි නෑ.
ReplyDeleteඉකොනෝ හිතන හැටියට ඉතා ඉක්මනින්ම ගත යුතු තීන්දු තීරණ මොනවද?
ආණ්ඩුවට තියෙන්නේ සිංහල ජාතිකවාදී පදනමක්. එකයි සරත් වීරසේකර, චන්න ජයසුමන ලොකූ මනාප ගොඩවල් ගන්නේ. මේ වෙලාවේ සිංහල ජාතිකවාදී පදනමින් ගන්න තීරණ තව ටික කාලෙකින් පත්තු වෙන්න ප්පුළුවන්...
පත්තු වුනාවේ
Deleteඔයා ආගමේ කෙනෙක්ද?
Delete//ඉකොනෝ හිතන හැටියට ඉතා ඉක්මනින්ම ගත යුතු තීන්දු තීරණ මොනවද?//
Deleteගත යුතු තීන්දු මොනවාද කියන එක ආණ්ඩුවේ තීරණයක්. ඒවා ඇතැම් විට පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්න උත්සාහ කර විපක්ෂයේ විරෝධය නිසා කළ නොහැකි වූ දේවල්ම වෙන්නත් පුළුවන්. එම ඉලක්ක අරමුණු කරගත් විකල්ප ක්‍රියාමාර්ග වෙන්නත් පුළුවන්. පසුගිය ආණ්ඩුවට කළ නොහැකි වූ ඇතැම් දේ මේ ආණ්ඩුවට කරන්න පුළුවන් විය හැකියි. උදාහරණයක් ලෙස 50%කින් රජයේ සේවකයින්ගේ පඩි කැපීම වගේ දෙයක් ගැන කතා කරනවා කියන්නේම සාමාන්‍යයෙන් දේශපාලනිකව සිය දිවි නසා ගැනීමක්. නමුත්, මේ ආණ්ඩුවට ඒ වගේ දෙයක් වුවත් කිරීමේ ශක්‍යතාවයක් තිබෙනවා. (මෙය උදාහරණයක් පමණයි) එක දෙයක්නම් ඉතාම පැහැදිලියි. පසුගිය රාජපක්ෂ දශකයේ ක්‍රමයටනම් නැවත යන්න බැහැ. එසේ ගියොත් අනතුර වැඩි ඈතක නෙමෙයි. මෙය ඔබේ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් නොදී වටේ යාමක්. ඔබ බලාපොරොත්තු වෙන ආකාරයේ නිශ්චිත පිළිතුරක් අපි ඉදිරි ලිපි වලට ඉතිරි කරමු.
ස්තුති ...
Deleteඑජාපය, ජෙවිපේ වගේ පක්ෂ වලට පාත්වෙලා තියෙන හෙනහුරේ තමයි ඉකොනෝමැට්ටා වගේ අයගේ උපදෙස් අහන එක. ජන්දෙට කලින් ඉකොනෝ ජෙවිපේ අගය කරා ලංකාවේ ආර්ථිකය ඉදිරියට හසුරුවන්න වෙන අයුරු ගැන ජෙවිපේ ඇත්ත කිව්වා කියලා. ඔව්ව කිව්වට මිනිස්සු ජන්දේ දෙන්නේ නැහැ. මොන කරන්නත් බලය ගන්න ඕනි. පොහොට්ටුව ඒක ඉතාම හොදට කරනවා. එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති හොදයි කියලා උපදෙස් දිදී ඉදපු ඉකොනෝලා අන්තිමට කරේ එජාපය මන්ත්‍රීධුර ඒකට බස්සපු එක. දැන්වත් තේරෙන්නේ නැද්ද ඉකොනෝලාගේ ආර්ථික ප්‍රතිපත්ති මේ ලංකාවේ මිනිස්සුන්ට හරි යන්නේ නැහැ කියලා. එජාප, ජෙවිපේ ගැන ඇත්තටම කැමැත්තක් තියෙනවා නං ඒ මිනිස්සුන්ට උපදෙස් දෙන්න යන්නේ නැතුව ඉන්න එක තමයි ඉකොනෝමැට්ටා වගේ ආර්ථික උපදේශකයන්ගෙන් මේ වෙලේ වෙන්න ඕනි දේ.
ReplyDeleteමගේ උපදෙස් මිනිස්සු අහනවානම් ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම දුර්වල විය යුතුයි. මගේ දේශපාලනය මිනිස්සුන්ව හැකි තරම් රජයෙන් නිදහස් කර ගැනීම වෙනුවෙනුයි. එහිදී ආණ්ඩුව කරන දේශපාලන පක්ෂය මට වැදගත් නැහැ. ඒ නිසා කවර දේශපාලන පක්ෂය හෝ පුද්ගල චරිතය දිය වී ගියත් එය ප්‍රශ්නයක් ලෙස මම දකින්නේ නැහැ. එකම දෙය අඩු වශයෙන් බෝඩ් ලෑලි ලෙස හෝ සියලු විකල්ප මතවාදයන් පැවතිය යුතුයි. යම් නිශ්චිත අවස්ථාවකදී තමන් එකතු විය යුත්තේ කවර බෝඩ් ලෑල්ල සමගද කියන පුද්ගල තේරීම ඉතිරි විය යුතුයි. එය ප්‍රමාණවත්.
Deleteඉකොනොට රනිල් ගැන ලොකු ආදරයක් තියනවා වගෙයි. රනිල් මැරිලා ඉවරයි ඉකොනො ( මැරිලා හුගක් කල් දැන් තමයි වල දැම්මෙ) ටෙලිෆොන් එක අසාර්තක ව්‍යාපෘතියක් කියන්න කල් වැඩියි. අනික ලංකාවේ පක්ශවලට ප්‍රතිපත්ති නැහැ. නායකයා අනූව වෙනස් වෙන්නෙ.
ReplyDeleteමෙවර රාජපක්ශලගෙන් මිනිස්සු හුගක් දේවල් බලාපොරොත්තු වෙනවා.මෙපාර පොහොට්ටුවට හුගක්දෙනා ස්වෙච්ඡාවෙන් වැඩ කලා.ඒ හැමෝම වැඩ කරන්නෙ රට බේරගන්න ම නෙමෙයිනේ.
රනිල් මැරුණත් නැතත් රනිල්ගෙන් නියෝජනය වූ දේශපාලන කණ්ඩායම මැරිලා නැහැ. ඒ කොටස බොහෝ සේ දුර්වල වී ඇතත් තවම ජීවත් වෙනවා. ඉතා ඉක්මණින් මැරෙන එකකුත් නැහැ. ඒ නිසා රනිල් මැරුණත් කවුරු හෝ රනිල් කෙනෙක් ඉපදෙයි.
Deleteදිගින් දිගටම මා නම් දකින්නේ, රාජපක්ෂ පෙරමුණ, ජේ.ආර්.ජයවර්ධන සමයේ එජාපයට අනුකරණය වීමයි. මැතිවරණ ජයග්‍රහණ මේ නාඩි ඇල්ලීමේ ප්‍රතිඵලයක්. මගේ කියවීම නම් සමාජයක් රටක් ලෙස ලංකාව තුල මාක්ස්වාදී සමාජවාදී නැඹුරුව ගහක පොත්තක් වගේ මතුපිටින් ඇලවුනු දෙයක්. අභ්‍යන්තරයේ තියෙන්නේම ධනවාදීමය මූල ධර්ම අල්ලාගත් ආත්මයක්.
ReplyDeleteමේ ඡන්දයේදී නම් ජාජබයේත් ජවිපෙත් අතර වෙනසක් නොවීම, ඔවුන් විකල්පයක් නොවිමට ප්‍රධාන සාධකය කියා මට හිතෙන්නේ. වාමාංශික නායකයින් ගේ පරිපාලන හා රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතා මිනිසුන් අගය කලත් (ඇන්. ඇම්., කොල්වින්, පිලිප් ආදීන් මතක් කරන්නට පුළුවන්) ඔවුන්ට හැම විටම ඒ දක්ෂතා යොදාගන්නට ඉඩ ලැබුණේ, ධනවාදයට හේත්තු වූ යූ.එන්.පී හෝ සිරිලංකා ආණ්ඩුවල අධීක්ෂණය යටතේයි. ජවිපෙටත් අවස්ථා දෙක තුනක්ම දුන්නා නේද ඒ අයුරින්.
දේශපාලන චිත්‍රය විකෘති කල ප්‍රධාන චරිතය මෛත්‍රිපාල සිරිසේන බව පැහැදිලියි. හරි වැරදි කෙසේ වෙතත්, සිදුවූ සියල්ල සලකා බලද්දී, මෛත්‍රිපාල තවදුරටත් රටේ පාලන ක්‍රමයේ දිශානතිය හසුරුවන්නෙක් බවට පත්වීමට බොහෝ ඉඩ තිබෙනවා. මා දකින විදිහට නම්, පොහොට්ටුව තුලත්, උතුරු මැද පලාත්වල සාමාන්‍ය ජනතාව නියෝජනය කරන ප්‍රධාන චරිතය ඔහුයි.
ධනවාදී මූලධර්මනම් ලංකාවට අහුවෙලාම නැහැ. රජය විසින් මිනිස්සු වෙනුවෙන් තීරණ ගැනීම සමාජවාදී භාවිතාවක්. එහි පදනම මිනිස්සුන්ට තමන් වෙනුවෙන් හොඳම තීරණ ගැනීමේ හැකියාවක් නැහැ කියන එකයි. ධනවාදය කියන්නේ මුළුමනින්ම එහි අනෙක් පැත්ත. ධනවාදයක් යටතේ සිදු විය යුත්තේ රජය විසින් මිනිස්සුන්ට තමන්ට හොඳම තීරණ ගන්න අවකාශයක් හදා දී පැත්තකට වීමයි.
Deleteමාක්ස්වාදය මත පදනම් නොවූවත්, සිංගප්පූරුව විසින් අනුගමනය කළේත්, ජේආර්ගේ ක්‍රමය වුනේත් මේ සමාජවාදී භාවිතාවයි. රනිල් දිගටම හිටියේත්, ඉන්නේත් මෙවැනිම ස්ථාවරයකයි. එජාපයේ තිබෙන්නේ බටහිර නැඹුරුවක් මිසක් ධනවාදී නැඹුරුවක් නෙමෙයි. එජාපයේ තිබෙන ධනවාදී ලක්ෂණ ඒ බටහිර නැඹුරුව නිසා පැමිණි දෙයක් මිසක් මූලධාර්මික එකක් නෙමෙයි. මේ ළඟදී සාකච්ඡාවකදීත් නායකයින් සංවේදී නායකයින් වීම අවශ්‍ය නොවන බව වැනි දෙයක් රනිල් වික්‍රමසිංහ විසින් කියනු ඇසුනා.
මේ කාරණයේදී මහින්ද රාජපක්ෂ ගොඩක් ඉදිරියෙන්. එජාපයේ නායකයින් අතරින් සජිත් ප්‍රේමදාසටත් සාපේක්ෂව මේ සංවේදී කම තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේනටත් තිබෙනවා. නායකයින් සංවේදී බව පෙනෙන්නට තිබේනම් (ඔබ කියන පරිදි ඔවුන්ට හරියට නාඩි ඇල්ලිය හැකිනම්) ඔවුන්ට තමන් වෙනුවෙන් තීරණ ගන්න ඉඩ දී, ඔවුන් මත විශ්වාසය තබා, පැත්තකට වී සිටින්න ලංකාවේ සමාජයේ බහුතරය තවමත් සූදානම්. රැවටෙන වාරයක් පාසා ඔවුන් කරන්නේ විශ්වාසය තැබිය හැකි වෙනත් කෙනෙක් හොයා ගන්න එකයි. වෙනස් විය යුත්තේ මෙයයි.
ජවිපෙ ඇත්තටම තවමත් මිනිස්සුන්ට සංවේදී නැහැ. සංවේදී වීම කියා කියන්නේ ඕනෑම කෙනෙකුට තමන්ගේ මහජන නියෝජිතයාව පහසුවෙන් හමු වී කතා කරන්න පුළුවන් වීම වගේ සරල දෙයක් නෙමෙයි. රටේ සාමාන්‍ය පුද්ගලයෙක්ට පහසුවෙන් මහින්දව හෝ ගෝඨාභයව හමු වෙන්න බැහැ.
සුනිල් හඳුන්නෙත්ති වගේ පුද්ගලයෙක් ගත්තොත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස බොහෝ මහන්සි වී වැඩ කළා. නමුත්, ජවිපෙ විසින් මැරීගෙන කරන්නේ දූෂණ වංචා එළිදරවු කරන එකයි. රටේ හැම තැනකම දූෂණ වංචා ඇති බව බොහෝ දෙනෙකුට රහසක් නෙමෙයි. ඒ නිසා, ජවිපෙ කාර්ය භාරය බොහෝ දෙනෙක් අගය කළත්, එවැනි අගය කිරීමකට වඩා දෙයක් ඒ වෙනුවෙන් ලැබෙන්නේ නැහැ.
පැරණි වාමාංශික පක්ෂ වල නායකයින් ඇතැම් ප්‍රදේශ වල යම් ජන පදනමක් හදාගෙන තිබුණා. මම හිතන්නේ මේ දාමයේ අවසන් පුරුක සරත් මුත්තෙට්ටුවේගම. ඇන්ඇම්, කොල්වින්ලාගේ සිට (නසසප සමග සිටි කාලයේ) වාසුදේව දක්වා මාක්ස්වාදීන් විසින් ආකර්ෂණය කරගෙන තිබුණේ පුද්ගල කේන්ද්‍රීය ජන පදනමක්. මිනිස්සු තෝරා ගත්තේ අදාළ පුද්ගලයින්ව මිසක් මාක්ස්වාදය හෝ සමාජවාදය නෙමෙයි.
ඒ විදිහටම දැන් මහින්දව, ගෝඨාභය, සජිත්ව හෝ මෛත්‍රීපාලව තෝරා ගන්නා අය කරන්නේත් පුද්ගල චරිත තෝරා ගැනීමක්. උපේක්ෂා ස්වර්ණමාලිට හෝ උද්දික ප්‍රේමරත්නට ඡන්ද ලැබෙන්නේ ඒ නිසා. නමුත්, ජවිපෙ විසින් පුද්ගල චරිත වෙනුවට ප්‍රවර්ධනය කරන්නේ පක්ෂයයි. රනිල්ගේ නායකත්වය යටතේ එජාපය තල්ලු වුනෙත් එවැනි තැනකටයි. පුද්ගලයෙකු මත විශ්වාසය තබනවාට වඩා පක්ෂයක් මත විශ්වාසය තැබීමේ අවදානම වැඩියි. සංවේදී පුද්ගලයෙක් ජනමතය සමඟ වෙනස් වුනත් පක්ෂයක් එලෙස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ඒ අවදානම ගන්න මිනිස්සු බයයි.
කොළඹ ඡන්ද දායකයාට ඡන්ද පත්‍රිකාව හරිහැටි කියවාගන්න නොහැකි වීමෙන් ඡන්ද ගොඩක් ප්‍රතික්ෂේප වෙලා තිබුණා.
ReplyDelete