වෙබ් ලිපිනය:

Tuesday, August 11, 2020

චීන ආදරය

ගූගල් සිතියම් වල දැකිය හැකි හම්බන්තොට වරාය ආශ්‍රිත ගොඩනැගිලි සංකීර්ණයක් ගැන සමාජ ජාලා වල කතා බහක් ඇති වී තිබෙනවා. මේ ගොඩනැගිලි සැලසුම් කර තිබෙන්නේ ගුවනට "CHINA SW" ලෙස පෙනෙන ආකාරයෙන් වීම ඊට හේතුවයි. කතාව බොරුවක් නෙමෙයි. අදාළ අක්ෂර සංකේත ගූගල් සිතියම් වල ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

මේ කතාබහ කෙරෙහි ලංකාවේ චීන තානාපති කාර්යාලයේද අවධානය යොමු වී තිබෙනවා. තානාපති කාර්යාලය විසින් ට්විටර් කර ඇති පරිදි ඔවුන් මේ ගොඩනැගිලි සංකීර්ණය සැලසුම් කර තිබෙන්නේ "CHINA SLK" ලෙස ගුවනට පෙනෙන ආකාරයටයි. පසුව, වරායේ ව්‍යාපාරික කටයුතු ඉහළ යද්දී ගොඩනැගිලි සංකීර්ණයට අලුතෙන් කොටස් එකතු කිරීම නිසා ගුවනට පෙනෙන එහි හැඩය වෙනස් වී තිබෙනවා. තානාපති කාර්යාලයට අනුව මෙහි තිබෙන්නේ "සංවර්ධනය සහ ආදරය පිළිබඳ කතාවක්". 

සමහර විට ඇත්තටම සිදු වුනේ චීන තානාපති කාර්යාලය කියන දෙය වෙන්න ඇති. කෙසේ වුවත්, මේ වන විටනම් ආදරය සංකේතවත් කරන හදවත් ලකුණක් ගුවනට පෙන්වන ගොඩනැගිල්ලක් මෙහි පෙනෙන්නටවත් නැහැ. ඒ වගේම, "K" අකුරක නෂ්ඨාවශේෂද පෙනෙන්නට නැහැ. එහෙත්, "SW" අකුරු වල හැඩය පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. 

සාමාන්‍යයෙන් "SW" අකුරු වලින් අදහස් වෙන්නේ "South West" යන්නයි. එනම් නිරිත දිශාව යන්නයි. ඒ අනුව, "CHINA SW" යන්න නිරිතදිග චීනය ලෙස කියවන්න පුළුවන්. බෙයිජිං නගරයේ සිට නිරිත දිශාවට රේඛාවක් ඇන්දොත් එය හරියටම ලංකාව දක්වා දිගු වෙනවා. මෙය අපූරු අහම්බයක්.

කිසියම් රටක් විසින් වෙනත් රටකට මුදල් ප්‍රදානයක් කරන අවස්ථා වලදී දෙරට අතර මිත්‍රත්වය සංකේතවත් කෙරෙන මෙවැනි සංකේත පිහිටුවීම සාමාන්‍ය දෙයක්. එහෙත්, හම්බන්තොට වරාය එවැනි ප්‍රදානයක් නෙමෙයි. ප්‍රදානයක් කියා කියන්නේ MCC ආධාර මුදල වැනි ආපසු නොගෙවිය යුතු, ඒක පාර්ශ්විකව ලබා දෙන මුදලකටයි. හම්බන්තොට වරාය වෙනුවෙන් වැය කර තිබෙන්නේ ගිණි පොලියට හෝ සාමාන්‍ය පොලියකට ලබාගත් ණයයි. ගිණි පොලියට ණය දීම කිසිසේත්ම ආදරයේ ප්‍රකාශනයක් නෙමෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේදී ලබාගත් චීන ණය පිළිබඳව දේශපාලන වේදිකා වලදී බොහෝ සේ කතා කරනු ලැබ තිබෙනවා. හම්බන්තොට නගරය ආශ්‍රිත වරාය, ගුවන් තොටුපොළ හා මාර්ග පද්ධතිය සංවර්ධනය කෙරුණේ ප්‍රධාන වශයෙන්ම චීන ණය යොදා ගනිමිනුයි. මේ ව්‍යාපෘති රටට බරක් බව තේරුම් ගැනීමේදී දේශපාලනය සම්බන්ධ කරගත යුතු නැහැ. එය කරුණු මත පදනම්ව නිශ්චිත ලෙස දැකිය හැකි දෙයක්.

ලංකාවේ රජය පොදු අරමුදල් වැය කිරීමේදී පවා එතරම් පාරදෘශ්‍ය ලෙස කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා, අපට මේ ලිපිය ලියන්න වෙන්නේ පොදු අවකාශයෙන් සොයා ගත හැකි කරුණු මත පදනම්වයි. එම තොරතුරු වල කිසියම් වැරැද්දක් ඇත්නම් හා වඩා නිවැරදි නිල තොරතුරු ඇත්නම් අපට මෙහි ලියන දේ නිවැරදි කළ හැකියි.

හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා පළමු අදියරේදී ශ්‍රී ලංකා රජය විසින් 2007 ඔක්තෝබර් මාසයේදී චීනයේ එක්සිම් බැංකුවෙන් 6.3%ක පොලියට වසර පහළොවක කාලයකින් ආපසු ගෙවීමේ කොන්දේසිය මත ඇමරිකන් ඩොලර් මිලියන 307ක වටිනාකමැති ණය මුදලක් මුලින්ම ලබා ගෙන තිබෙනවා. ණය වාරික හා පොලී මුදල් ආපසු ගෙවීම ආරම්භ වන්නේ වසර 4ක ප්‍රමාද කාලයකින් පසුවයි. මේ අනුව, මේ ණය මුදල 2012 සිට 2027 දක්වා කාලය තුළ ගෙවිය යුතුයැයි මා සිතනවා. 

ණය ලබා ගෙන ඇති ඉතා අධික පොලී අනුපාතය අනුව ලබාගත් මුදලටත් වඩා වැඩි මුදලක් පොලී වශයෙන් ගෙවන්නට සිදුවන බව පැහැදිලියි. ඉන් පසුව පසුව එක්සිම් බැංකුවෙන් 6.3% පොලියටම තවත් ඇමරිකන් ඩොලර් 147ක මුදලක් ලබා ගෙන තිබෙනවා. වසර 5ක ප්‍රමාද කාලයකින් පසුව වසර 20ක් තුළ ආපසු ගෙවිය යුතුයි. මෙම ණය මුදල් වෙනුවෙන් මුලදී 1.3%ක පොලියකට එකඟ වී ඇතත් පසුව පොලී අනුපාතිකය 6.3% දක්වා ඉහළ දැමීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙන බව මාධ්‍ය වාර්තා වල සඳහන්. ණය ගිවිසුම පිළිබඳ හෙට්ටු කිරීම් වලදී මතු වූ කිසියම් කරුණක් මෙයට හේතු වුනා විය හැකියි.

ඉන් පසුව, 2012 සැප්තැම්බර් මාසයේදී මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 809.35ක ණය මුදලක් කොටස් තුනකට ලබා ගෙන තිබෙනවා. එයින් ඇමරිකන් ඩොලර් මිලියන 158.35ක කොටසක් හා ඩොලර් මිලියන 600ක කොටසක් චීන රජය විසින් සහන පදනමක් යටතේ ලබා දී තිබෙනවා. සහන පදනමක් කියා කිවුවත්, මේ පොලියත් 3%ක පොලියක්. සය වසරක ප්‍රමාද කාලයකින් පසු වසර 19කින් ණය මුදල ආපසු ගෙවිය යුතුයි. මේ අනුව, 2019-2038 කාලය තුළ ලබා ගත් මුදල හා එම මුදලින් 75%ක පමණ පොලී මුදලක් ආපසු ගෙවන්නට සිදු වෙනවා.

තවත් ඩොලර් මිලියන 51ක් ලබා ගෙන තිබෙන්නේ සයමස් ලිබෝර් පොලී අනුපාතිකයට 5.6%ක් එකතු කළ විට ලැබෙන පොලී අනුපාතිකයටයි. දැනට පවතින ලිබෝ පොලී අනුපාතිකය අනුව 6%ක පමණ පොලියක්. වසර 4ක ප්‍රමාද කාලයකින් පසුව වසර 15ක් ඇතුළත ගෙවිය යුතුයි. ඒ කියන්නේ මේ ණය මුදල ආපසු ගෙවන්න වෙන්නේ 2017-2032 කාලය ඇතුළතයි. ගෙවිය යුතු පොලී මුදල ලබා ගත් ණය මුදලට වඩා වැඩි බව පැහැදිලියි.

පළමු හා දෙවන අදියර වලදී ලබාගත් ඉහත ණය මුදල් වල එකතුව අවම වශයෙන් ඇමරිකන් ඩොලර් 1,308ක්. වරායේ ඉන්ධන සැපයීම් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 77ක, පස් අවුරුදු පමා කාලයකින් පසු වසර 15කින් ගෙවිය යුතු ණය මුදලක් චීන එක්සිම් බැංකුවේ ලබා ගෙන ඇතත් ඒ සඳහා ගෙවීමට එකඟ වී ඇති පොලිය සොයා ගත නොහැකියි. සවුත් චයිනා මෝර්නින් පෝස්ට් අනුව, වරාය ඉදි කිරීම සඳහා ලබාගත් ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය මෙන්ම මත්තල ගුවන් තොටුපොළ ඉදි කිරීම සඳහා ලබාගත් ණය සඳහා වන පොලියද හෙට්ටු කිරීම් වලදී 1.3% සිට 6.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ හා ආශ්‍රිත ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගෙන ඇති ණය මුදල ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 2ක් පමණවත් විය යුතු අතර මේ වෙනුවෙන් ගෙවිය යුතු සාමාන්‍ය පොලී අනුපාතිකය ආසන්න වශයෙන් 4.5%-5% පමණ විය යුතුයි. එනම් වසරකට ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක්. මේ ණය බොහොමයක් ආපසු ගෙවීම ආරම්භ වුනේ පසුගිය වසර වලදී. 2005-2015 රාජපක්ෂ යුගයේදී කළේ ණය අරගෙන වියදම් කර ණය ගෙවීම අනාගතයට ඉතිරි කිරීමයි. එම ණය ගෙවීමේ ප්‍රශ්නයට නැවත රාජපක්ෂ ආණ්ඩුවකටම මුහුණ දෙන්නට සිදු වීම දෛවයේ සරදමක්. 

රටක් ණය ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි. ණය ගැනීම ප්‍රශ්නයක් වන්නේ එම ණය මුදල් වැය කරන ආකාරය අනුවයි. හම්බන්තොට ආශ්‍රිත ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගත් ණය ආපසු ගෙවිය හැකි ආදායමක් එම ව්‍යාපෘති වලින් නොලැබෙන බව ඉතා පැහැදිලියි. එවැනි ශක්‍යතාවයක් මෙම ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථාවේදී හෝ පෙනෙන්නට තිබුනේයැයි මා සිතන්නේ නැහැ. 

කොහොම වුනත් මේ ණය චීනයටනම් ආදායම් උල්පතක්. ඒ නිසා, චීනයට ලංකාව පිළිබඳ ආදරයක් ඇති වීම පහසුවෙන් තේරුම් ගත හැකියි.

References: AidData. 2017. Global Chinese Official Finance Dataset, Version 1.0. Retrieved from http://aiddata.org/data/chinese-global-official-finance-dataset.

14 comments:

  1. හම්බන්තොට වරාය චීන BRI ව්‍යාපෘතියේ මූලික අඩිතාලමක් වෙන්න බැරිද?
    මෙහෙම project එකක් චීනෙටත් හොඳයි, රාජපක්ෂ පාලනයටත් හොඳයි...

    ReplyDelete
  2. මෙවැනි විකාර නාස්තිකාර වියදම් සියල්ල තම පවුරුෂය සාදාගැනීම පිණිසය බණ්ඩාරනායක කලාක්මෙන් හීනමානයෙන් පෙළුණු රාජපක්ෂ පවුල ඔවුන්ගේ පළාත්වල ඔවුන්ගේ නම්වලින් පාරවල් ක්‍රීඩාංගන බිල්ඩින් , වරයා , එයාර්පෝර්ට් සම්මන්ත්‍රණ ශාලා ඉදිකළා තවදෙයක් චීනය කොමිස් ලෙස 1% වත් ලබාදෙන්න ඇති සත්‍ය ලෙසම මහින්ද එයාර්පෝර්ට් එක අනුරාධපුර හෝ පොලොන්නරුව ප්‍රදේශයක ඉදි කලේනම් සංචාරක charter flight කෙලින්ම ගෙන්න හැකියාව තිබ්බ ඒවගේම උතුරේ ද්‍රවිඩ අයට තම යුරෝපා ඇමෙරිකාවේ සිටිනා පවුලේ අය බැලීමට එන්න මෙය පාවිච්චි කරන්න පුළුවන් කොළබ ඉදන් යාපනේට හයර් එක කීයද විශාල ඉතිරියක් මුදල් සහ කාලය එමෙන්ම ත්‍රිකුණාමල වරාය දියුණු කළයුතුව තිබුනා තෙල් ටැංකි තිබ්බ එකේ ... කොහොමත් අප අප්‍රිකානු රටවල් මෙන් චීන නය උගුලේ පැටලී ඉවරය මන්ද silk road එක සදහා ලංකාව වැදගත් තැනකි ලංකාවේ මිනිස්සු චීනයේ ආදරය හොදක් ලෙසටත් ඇමෙරිකන් ආදරය කුමන්ත්‍රණ ලෙසටත් හදුන්වන්නේ සත්ත්‍ය නොදැනය .......ඔහොම යං

    ReplyDelete
    Replies
    1. //කොළබ ඉදන් යාපනේට හයර් එක කීයද

      එය ශ්‍රී ලාංකික ජාතියක් සැදීම වෙනුවෙන් ගෙවිය යුතු මිලක්. ( යාපනය ගුවන් තොටුපල වසා දැමිය යුතුයි. හිරු කන්ඩායමේ හිටපු සිංහල කොටියෙකු වන අජිත් පැරකුම් වැනි අයෙකු හැර සිංහල ජාතියට ආදඑය කරන්නෙක් එයට නැමතිවනු නොඅනුමානයි.

      // උතුරේ ද්‍රවිඩ අයට
      මෙය දෙමල විය යුතුයි.
      ද්‍රවිඩ යනු ජර්මන් කාරයෙක් කල බාශා වර්ගීකරණයක ප්‍රතිභලයකි.
      ජර්මානුවන් සමහරවිට පිස්සු වැඩ කරයි.
      තවත් ඩර්මානුවෙක් කල මනුශ්‍ය වර්ගී කරනයකට අනුව සිංහලොයිඩ් කියා මිනිස් රූපීය ප්‍රෙභ්ධයක් ඇත. :D

      Delete
  3. චීනය කියන්නේ ලංකාවතුල සිංහල සංස්කෘතියට විශේෂ ස්ථානයක් ලැබිය යුතුය කියලා පලිගන්න රටක්.
    ඒ නිසා අපේ මිතුරෙක්.

    ReplyDelete
    Replies
    1. පලිගන්න රටක්, මිතුරෙක්, මහත්තයා මී හරකෙක් ද?

      Delete
    2. එක අතකට මිතුරු රටවල් කියා දෙයක් නැහැ තමා.
      නමුත් බිරිතානිය කියන්නේ ඓතිහාසිකව දෙමල ජාතිවාදී රටක්. එය අනුව යමික් ඔරුමත්තුනාඩුව සහ යුරෝපීය රාජ්‍ය දෙමල ජාතිවාදයට පක්ෂයි. ඉන්දියාව ලංකාව අස්ථාවර කිරීමට දෙමළ ජාතිවාදය පාවිච්චි කරයි.
      නමුත් ලංකාව තුල බලය පැතිරවීමේදී චීනයට සිංහල ජාතිකවාදය වඩා වාසිදායකය. සිංහල රටක් නැති ජාතියක්වන සිංහල අප මෙම තත්වය ප්‍රෙයා්ජනයට ගෙන චීන අධිරාජ්‍යවාදයට කඩේගොස් වාසිගත යුතුය.

      Delete
    3. චීනය කියන්නේ ලංකාවතුල සිංහල සංස්කෘතියට විශේෂ ස්ථානයක් ලැබිය යුතුය කියලා පිලිගන්න රටක්.
      ඒ නිසා අපේ මිතුරෙක්

      Delete
  4. චීනය අපට ආදරය කරන ගවරෙක්!

    ReplyDelete
  5. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මීට සති දෙකකට පමණ කලින් සාකච්ඡාවකදී පැහැදිලිව කීවේ චීනයට නෙමෙයි, වෙන කොයි රටකට උනත් හම්බන්තොට වරාය බදු දෙන්න බැරි නං සින්නක්කර වික්කත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, මොකද චීනයට හරි ඒ අදාළ රටට හරි මේක මෙතන තියන් සංවර්ධනය කරලා ලාබ ගන්නවා මිසක් මේක උස්සගෙන අරං යන්න බෑ කියලයි. ඉකොනෝ මොකද හිතන්නේ ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. මෙතැනදී රනිල් වික්‍රමසිංහ කතා කරන්නේ වරාය බදු දීමේ මූල්‍යමය වාසි හෝ අවාසි ගැන. නමුත්, වරාය බදු දීමට විරුද්ධ බොහෝ දෙනෙක් මතු කරන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. වෙන විදිහකින් කිවුවොත් රනිල්ගේ පිළිතුර නිවැරදි වුවත් වැරදි වුවත් එය විවේචකයින්ගේ ප්‍රශ්නයට දෙන පිළිතුරක් නෙමෙයි. රනිල්ගේ තිබෙන මූලික අවුලම මේකයි. ඔහු හැම ප්‍රශ්නයක් දිහාම බලන්නේ තමන්ට සාපේක්ෂව. ජවිපෙට තිබෙන ප්‍රශ්නයත් ඕකමයි. කවුරු වුනත් යම් තරමකට එහෙම තමයි. නමුත්, දේශපාලනයේදී සාර්ථක වෙන්නනම් අනෙකාගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බලන්න පුරුදු විය යුතුයි.

      Delete
  6. වේවැල් පිත්තල මැටි සහ ලී බඩු
    හැසිරීමටමයි ලැබුනේ මේ බඩු
    තව තව ඉල්ලා නොකරමි අවනඩු
    ප්‍රසන්න නම්වෙමි මුලට මිරිස් කුඩු

    ReplyDelete
  7. Funny thing is saying these investments can't make money, then why other countries are interested to lease/buy. This is inefficiency and playing dirty politics like stocking paddy in a Airport.

    Director appointed by UNP in 2015 to Ranminithanna told me the minister did not allow him to sell sandwiches/fish balls to visitors, using available kitchen staff, saying the place will be sold soon no point starting a business.

    Loans are a necessary evil. Interest rate depend on conditions, IMF/world bank told us, SL need to choose free education or road development and farmers will have to pay for the water to get loan from IMF.

    Wijebahu

    ReplyDelete
    Replies
    1. Wijebahu, We must compare Hambantota port with the colombo south port. GOSL got a loan of US$300mil from ADB and SLPA put US$ 100mil. Did ADB impose conditions, no. For this amount we built a 6km breakwater, dredge the basin to 18m and built 2 way access channel with 20m draft. ADB gave money because the project underwent proper procedures; technical and economic feasibility studies and detail design phase, through a competitive bidding process. Now we must think why couldn't we follow the same procedure for Hambantota Port?
      Because Hambantota port was never economically feasible in short term, when a new deep water port was built in Colombo.
      Ramboll and SNC Lavalin did 2 feasibility studies, but they were done before the Colombo South Port was built and these feasibility studies were never updated.

      Delete
  8. චීනයට හම්බන්තොට ලාබද පාඩුද කියන එක අදාල නෑ. වැදගත් වන්නේ ස්ථානගත වීමයි. අනික ලෝකයේ වෙනත් චීන ආයෝජන එක්ක බලපුවාම හම්බන්තොට සොච්චම් එකක්.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...