වෙබ් ලිපිනය:

Thursday, August 27, 2020

වරක් හැදුනත් ගැලවුමක් නැද්ද?


කෝවිඩ්-19 වරක් ආසාදනය වූ අයට නැවතත් එම වෛරසය ආසාදනය වී ඇති බවට වූ වාර්තා වරින් වර පළ වුණත් මේ වාර්තාවන්හි විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්න තිබුණා. රෝගය සුව වීමෙන් පසුවත් වෛරසයේ ශේෂ වූ කොටස් (හෝ අදාළ ක්‍රියාවලිය තුළ හැදෙන ද්‍රව්‍ය) කාලයක් සිරුරේ රැඳී තිබෙන නිසා මෙසේ දෙවන වරට ආසාදනය වී ඇති සේ හඳුනා ගැනෙන්නේ සැබෑවටම දෙවන වරට සිදු වූ ආසාදනයක් නොවීමට ලොකු ඉඩක් තිබීම ඊට හේතුවයි. 

කෝවිඩ්-19 වරක් ආසාදනය වූ අයෙකුට නැවතත් එම වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට හොංකොං සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් පළමු වරට තහවුරු කර තිබෙනවා. දෙවන වරට වෛරසය ආසාදනය වී තිබෙන්නේ පළමු වරට ආසාදනය වී දින 142කට පසුවයි. 

මෙසේ දෙවන වරටද වෛරසය ආසාදනය වී තිබෙන්නේ අවුරුදු 33ක හොංකොං වැසියෙකුටයි. ඔහු පළමු ආසාදනය සිදු වන විට මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටි අයෙක්. පළමු වරට ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන්නේ පසුගිය මාර්තු 23 වනදා. මාර්තු 26 වනදා ඔහු රෝහල්ගත වී තිබෙන අතර පරීක්ෂණ දෙකකින්ම කෝවිඩ්-19 සුව වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව අප්‍රේල් 14 වනදා ඔහු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මේ පුද්ගලයාට දෙවන වරටද කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනෙන්නේ අගෝස්තු 15 වනදා හොංකොං ගුවන් තොටුපොළේදීයි. ඒ ස්පාඤ්ඤ සංචාරයකින් පසුව එක්සත් රාජධානිය හරහා නැවත සියරට පැමිණෙන අවස්ථාවේදී. මේ අනුව, ඔහුව රෝහල් ගත කර ඇතත් පළමු වර මෙන් ඔහුට කැස්ස, උණ, හිසරදය හා උගුර ආසාදනය ආදී රෝග ලක්ෂණ පහළ වී නැහැ. 

දෙවන ආසාදනය පළමු ආසාදනයට සම්බන්ධ නැති අලුත් ආසාදනයක් බව තහවුරු කර ගැනීම පහසු වී තිබෙන්නේ ඔහු දෙවන වර ආසාදනයට ගොදුරු වී තිබෙන්නේ විදේශ සංචාරයක යෙදෙද්දී වීම නිසයි. ජෙනෝම විශ්ලේෂණය මගින් තහවුරු කරගෙන තිබෙන පරිදි, දෙවන ආසාදනයට හේතු වී තිබෙන වෛරසය ස්පාඤ්ඤයේ පැතිරෙන, හොංකොංහි මුලින් පැතිරුණු වෛරස ප්‍රභේදයෙන් වෙනස් එකක්.

ඉහත පර්යේෂණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බෙල්ජියම හා නෙදර්ලන්තය වැනි වෙනත් රට වලින්ද මෙවැනි දෙවන ආසාදනයන් පිළිබඳව තොරතුරු හෙළිදරවු වෙමින් පවතිනවා.

මේ වන විට ලොව පුරා හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය මිලියන 24කට වඩා වැඩියි. ඒ අනුව, එක පැත්තකින් බැලූ විට මෙසේ දෙවන වරට ආසාදනය වූ පුද්ගලයින් කිහිප දෙනෙකු හමු වී ඇතත් එය ඉතා දුලබ සිදු වීමක්. එමෙන්ම, මෙසේ දෙවන වරට ආසාදනය වූ පුද්ගලයින් විසින් මුල් වර මෙන් රෝග ලක්ෂණ පෙන්වා නොතිබීමද සැනසිල්ලට කරුණක්. ඩෙංගු වැනි ඇතැම් රෝග දෙවන වරට ආසාදනය වූ විට තත්ත්වය පළමු ආසාදනයට සාපේක්ෂව වඩා දරුණු වන නමුත් මෙහිදී පෙනෙන්නට තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.

අනෙක් පැත්තෙන් බැලූ විට, ගුවන් තොටුපොළ හරහා හොංකොං වෙත පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවට ලක් නොකරන්නට මේ පුද්ගලයාව ආසාදිතයෙකු සේ හඳුනා ගැනෙන්නේ නැහැ. එමෙන්ම, පළමු වර මෙන් කිසිදු රෝග ලක්ෂණයක් පහළව නොතිබූ නිසාත්, වරක් ආසාදනය වී සුව වී සිටි නිසාත් අඩු වශයෙන් ඔහු හෝ තමන් ආසාදිතයෙකු බව සැක කරන්නේ නැහැ. එසේ වුවත් ඔහු රෝග වාහකයෙක්. ගුවන් තොටුපොළේදී පරීක්ෂා කර හඳුනා නොගැනෙන්නට එවැන්නෙකු විසින් තවත් බොහෝ පිරිසකට රෝගය බෝ කළ හැකිව තිබුණා.  

9 comments:

  1. ඉකොනො මේ පහළ තියෙන වීඩියෝ එකේ ආචාර්ය පී බී ජයසුන්දර කියන ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධන සැලැස්ම ගැන ඔබේ අදහස් හා යෝජනා මොනවාද?

    https://m.youtube.com/watch?feature=share&v=C652vJxMTNU

    මේ ගැන විග්‍රහයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  2. ඒ විදිහට බලද්දී අපි කොච්චර දුරට අනාරක්ෂිතයිද? දැනටමත් මෙහෙම උවදුරක් තිබුණු බවවත් අපට අමතකයි නේද?

    ReplyDelete
  3. eCON...HOPE YOU WOULD COMMENT ON KABRAL'S SPEACH...

    කබ්රාල්ගේ ප්‍රථම පාර්ලිමේන්තු කතාව : යහපාලන ආණ්ඩුව යටතේ ආර්ථිකය කඩා වැටුණු හැටි කබ්රාල් ඉලක්කම්වලින්ම කියයි
    ‘‘බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නව ඇති දැන් මේ ආර්ථිකය කඩාගෙන වැටෙයි කියලා. සමහරක් දෙනා එහෙම වෙනකල් බලාගෙන ඉන්නව ඇති. සමහරු බොහොම සන්තෝසෙන් ඉන්නව ඇති ඒ ගැන.. ඒ වුණාට මම කියන්න කැමතියි, ඒ සන්තෝසය ඒ අයට භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ..''
    මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මංගල පාර්ලිමේන්තු කතාව ඊයේ (27) දිනයේ පැවැත්වූ අතර, එහිදී ඔහු හෙළිදරව් කළේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී රටේ ඒක පුද්ගල ආදායම වසර 20කින් පසු අවම අගයක් ගැනීම ඇතුළු පවතින ආර්ථික තත්වය ගැන විග්‍රහයන් ගණනාවකි.
    ඉදිරිපත් වී ඇති අතුරු සම්මත ගිණුමේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පවතින දුර්මත දුරලීමට ද ඔහු මෙය අවස්ථාවක් කර ගත්තේය.
    ‘‘වසර 9 ක් තිස්සේ රාජ්‍ය නිලධාරියෙකු හැටියටත් වසර 5 ක් තිස්සේ සාමාන්‍ය පුරවැසියෙක් ලෙසත් මා ආර්ථිකය දෙස පරීකෂාවෙන් බලා සිටි නිසා මේ විග්‍රහය කරන්න මට ලෙහෙසියි.
    “අපි දැන් ඉදිරිපත් කොට ඇති අතුරු සම්මත ගිණුමෙහි පුනරාවර්තන වියදම් සඳහා රු. බිලියන 987 කුත්, මූලධන වියදම් සඳහා රු. බිලියන 334 කුත්, ණය ආපසු ගෙවීම් සඳහා රු. බිලියන 423 කුත් වෙන් කර තිබෙනවා. මෙය දැවැන්ත මුදලක්. ඒ නිසා විපක්ෂයේ සමහරක් මන්ත්‍රීවරු සිතා සිටිනවා, අපට මෙය කළමනාකරණය කර ගැනීමට බැරි වෙයි කියලා.“
    ‘‘මීට කලින් රටේ යුද්ධයක් පවතින අවස්ථාවේදීත්, වෙනත් විශාල ප්‍රශ්න පවතින අවස්ථාවේදීත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිතාගෙන සිටියා, මේ විදිහටම අපිට මේක කළමනාකරණය කරගන්න බැරි වෙයි කියලා..‘‘ මෙවරත් ඒ වතාවන්හිදී මෙන්ම ඔවුන්ගේ එම බලාපොරොත්තුව සුන්වනු ඇතැයි පැවසූ රාජ්‍ය ඇමතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ, එසේ වුවත් පවතින තත්වයයන් සමනය කරගෙන ඉදිරියට යන ආකාරය මෙම ගරු සභාවට, රටට මෙන්ම ලෝකයට ද පැහැදිලි කිරීමේ වගකීමක් තමන් වෙත ඇති බව ද අවධාරණය කළේය.
    ආර්ථික වර්ධන වේගය කඩා වැටුණේ මේ අවුරුද්දේ පමණයි යැයි කියන විපක්ෂයට උත්තරයක්
    මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා 2006 වසරේ සිට 2014 වසර දක්වා ලංකාවේ ආර්ථික වර්ධන වේගයේ තත්වයත්, 2015 න් පසු තත්වයත් පිළිබඳ දීර්ඝ විග්‍රහයක යෙදුණේය.
    “2006 සිට 2014 දක්වා කාලය තුළ දී අපේ රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් හැටියට 6.4ක අගයක් තිබුණා. එය ඉතිහාසයේ කවරදාකවත් නොතිබුණු තරම් ඉහළ අගයක්. ඒ වුණාට යහපාලන රජය යටතේ ඊළඟ අවුරුදු 5 තුළ දී යහපාලනය යටතේ ඒ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් හැටියට 3.7කට අඩු වුණා. එපමණක් නෙමෙයි, 2019 වසරේ දී ඒ ආර්ථික වර්ධන වේගය සියයට 2.3කට, අපේ රටේ ආර්ථිකය විවෘත කෙරුවට පස්සේ එක අවුරුද්දක් ඇරෙන්නට අනෙකුත් සෑම අවුරුදුවලින් අඩුම අගයයට තමයි ගිය අවුරුද්දේ පත්වෙලා තිබුණේ.
    ‘‘“ඒ සමඟම ඒක-පුද්ගල ආදායම අපි දැක්කා අවරුදු 20කට පස්සේ පළවෙනි වතාවට අඩුවෙනවා. ගිය අවුරුද්දේ ඒකපුද්ගල ආදායම ඩොලර් 227කින් අඩුවුණු බව මහ බැංකු වාර්තාවලින් පැහැදිලි වෙනවා. ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට 2006 දී ඩොලර් 181 කින් වැඩිවුණා, 2007 දී 191 කින් වැඩිවුණා, 2008 දී 397 කින් වැඩිවුණා, 2009 දී 43 කින් වැඩිවුණා, 2010 දී 690 කින් වැඩිවුණා, 2011 දී 381 කින් වැඩිවුණා, 2012 දී 226 කින් වැඩිවුණා, 2013 දී 258 කින් වැඩිවුණා, 2014 දී 210 කින් වැඩිවුණා.
    සෑම අවුරුද්දකටම ඇමරිකානු ඩොලර් 200 ක පමණ ගණනකින් වැඩිවුණු ඒ ආර්ථිකය ඊළඟ අවුරුදු 5 තුළ දී දැවැන්ත ලෙස කඩා වැටීමකට යොමුවුණේ යහපාලන ආණ්ඩුව තිබුණු කාලයේ දී. මේ දත්තවලින් ඉතාම හොඳින් ඒ තත්ත්වය පැහැදිලි වෙනවා.“
    ‘‘මා විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි “ණය බර ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් විවිධ මත මේ සභාවෙදීත් ප්‍රකාශ කරලා තියෙනවා. සමහර විට ඒ මත අභියෝගයට ලක්වුණේ නැහැ. මම විපක්ෂයට මතක් කරලා දෙනවා, මමත් මහ බැංකුවේ අවුරුදු 9ක කාලයක් හිටපු අධිපතිවරයෙක්. “

    ReplyDelete
  4. රටේ ණයබර වැඩිවුණු හැටි
    “2005 අගවෙන කොට අපේ රටේ ණය බරතාවය තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 91 ක් හැටියට. මහ බැංකුවේ වාර්තාවලින් එය පෙනී යනවා. ඒ වුණාට, සියලුම යටිතල පහසුකම් සංවර්ධනය කරලා, යුද්ධයක් කරලා, රටේ සහ ලෝකයේ තිබුණු සියලුම ප්‍රශ්නවලට මුහුණ දීලා, 2014 අග වෙන කොට ඒ ණය බරතාවය සියයට 72 දක්වා අඩුකරලා තිබුණා. ඒ වුණාට පසුගිය අවුරුදු 5 තුළ දී කිසිම එවැනි ප්‍රශ්නයක් නොතිබුණත් අපි දැක්කා ණය බරතාවය වැඩිවෙනවා. දිගින් දිගටම ණයබරතාවය වැඩිවුණා. අපි දැක්කා ඒ ණය බරතාවය 2015 දී බිලියන 8,599 ට වැඩිවුණා. 2016 දී බිලියන 9,478 ට වැඩිවුණා, 2017 දී බිලියන 10,702 දක්වා වැඩිවුණා, 2018 දී බිලියන 12,030 දක්වා වැඩිවුණා, 2019 දී බිලියන 13,031 ක් දක්වා වැඩිවුණා.“
    “එපමණක් නොවෙයි, අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බරතාවය සියයට 86.8කට වැඩිවුණා. බොහෝ වෙහෙස වී බොහොම හොඳ විනයකින් ණය බරතාවය සියයට 91 සිට සියයට 72ට අඩුකරගත් ඒ ප්‍රවණතාවය සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට කණපිට හරවලා, සියයට 86 දක්වා වැඩිකර ගත්තේ පසුගිය රජය බවත් මම මතක් කරන්නට කැමතියි“
    පොලී අනුපාතික අනවශ්‍ය ලෙස වැඩි කරගැනීම නිසා ආර්ථිකයට බිලියන ගණනක අමතර බරක්
    “අපි පොළී අනුපාතය ගැන කතාකරන්න අවශ්‍යයි. 2014 දී සෑම පොලී අනුපාතයක්ම තිබුණේ තනි ඉලක්කමේ. එ් දෙස බලා තමයි අපේ රටේ දැවැන්ත ආයෝජන ආවේ. ඒ වුණාට 2015 සිට පොළී අනුපාත වැඩිකර ගත්තා. අනවශ්‍ය ලෙස වැඩිකර ගත්තා. බැඳුම්කර වංචාවෙන් පමණක් සියයට 3 කින් වැඩිකර ගත්තා. ඒකෙන් මොකද වුණේ? අපේ රටේ ණය ප්‍රමාණයට ගෙවිය යුතු මුදල හැම අවුරුද්දෙම වැඩිවුණා. මම එයට අදාළ සංඛ්‍යා ලේඛනත් ඉදිරිපත් කරන්නම්..‘‘
    “2014 දී බිලියන 436 අපි ගෙව්වේ ණයවලට පොළිය හැටියට. 2015 දී ඒක වැඩිවුණා 510 දක්වා. 2016 දී 611 දක්වා. 2017 දී 736 දක්වා. 2018 දී 852 දක්වා. 2019 දී 901 දක්වා. සම්පූර්ණ පොලී වියදම ගරු කථානායකතුමනි, අවුරුදු පහක් ඇතුළත දෙගුණයකින් වැඩි වුණා.. ඒ නිසා ණය සේවාකරණයේ සම්පූර්ණ ව්‍යූහයම එහි ප්‍රතිඵලයක් විදිහට බරපතළ ආතතියකට ලක් වුණා..‘‘
    එපමණක් නොවෙයි පොළියේ වියදම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2014 දී තිබුණේ සියයට 4.2 ක් පමණයි. එය 2019 වෙනකොට සියයට 6 දක්වා වැඩිකර ගත්තා. දැවැන්ත වැඩි කිරීමක්. සියයට 50ක පමණ වැඩිකිරීමක් හරහා අපේ ණය බරතාවය තවදුරටත් අපට ඔරොත්තු නොදෙන තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිදුවුණා.“
    රුපියලේ අවප්‍රමාණය උපරිම වුණේ පසුගිය ආණ්ඩුව සමයේදී
    රුපියලේ අගය අපේ රටේ ආර්ථිකය විවෘත කළායින් පස්සෙ සෑම යුගයකදීම අවප්‍රමාණය වන හැටි අපි දැක්කා. ඒ අවප්‍රමාණය ගැන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න කැමතියි. 1977 සිට 1986 දක්වා වසරකට 12.6%ක අවප්‍රමාණයක් සිදුවුණා. 1987-1996 දක්වා වසරකට 7.1%ක අවප්‍රමාණයක් සිදුවුණා. 1997-2005 දක්වා වසරකට 6%ක අවප්‍රමාණය වීමක් සිදු වුණා. ඒ වුණාට 2006 සිට 2014 දක්වා සිදුවුණු අවප්‍රමාණය 2.8%ක් පමණයි. ඒ වගේම 2015 සිට 2019 දක්වා අවප්‍රමාණය නැවත වරක් වැඩි වුණා 6.7%ක් දක්වා. ඒ නිසා පසුගිය කාලය තුළදී ආර්ථිකයේ කළමනාකාරිත්වයේ තිබී ඇති දුර්වලතාවය අපට පෙනී යනවා.
    මේ අනුව පසුගිය කාලය තුළදී රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා පමණක් අපේ රටේ ණයබරතාවය, එනම් ගෙවිය යුතු ණය තොගය රුපියල් බිලියන 1772 කින් වැඩි වූ බව ද අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.

    ReplyDelete
  5. සල්ලි අච්චු ගැහුව හැටි
    ‘‘මම දැක්කා සමහර මන්ත්‍රීවරුන් කියනවා මුදල් අච්චු ගැහුවා කියලා. සමහර අවස්ථාවන් තියෙනවා මුදල් අච්චු ගැසිය යුතු. ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් වසංගතය ඉදිරියේදී මුදල් අච්චු ගහල තියෙනවා. ඒ වුණාට මම මතක් කරල දෙන්නට අවශ්‍ය වෙන්නෙ ඒක නෙවෙයි. පසුගිය කාලය තුළදී 2015 සිට 2019 දක්වා මාස 2 ක් හැරෙන්නට අනෙක් සෑම මාසයකදීම මහබැංකුව හරහා මුදල් අච්චු ගැසීම මගින් එම රජය අරන් තිබෙන මුදල් ප්‍රමාණය බිලියන 65 සිට 210 දක්වා වෙනවා. සමහර අවස්ථාවලදී බිලියන 300 දක්වාත් පසුගිය ආණ්ඩුව මුදල් අච්චු ගැසීම මගින් ලබාගෙන තිබෙනවා..
    ඒ කියන්නෙ ඒ ආණ්ඩුව අවශ්‍ය ප්‍රමාණයට වඩා භාණ්ඩගාර බිල්පත් මහබැංකුව ලවා අරගෙන තිබෙනවා. 2014 ජනවාරි සිට ජූලි දක්වා තොරතුරුවලට අනුව එක මාසයකවත් එකල ආණ්ඩුව මුදල් රුපියලක්වත් අච්චු ගසා නැහැ. ඒ වුණාට 2014 න් පසුව, 2015 පෙබරවාරි මාසයෙන් පටන් අරගෙන හැම මාසයකම මුදල් අච්චු ගහපු අය තමයි අද මේ වෙන කතාවල් කියන්නෙ...
    විදේශ සංචිත කාබාසීනියා කළා !
    පසුගිය ආණ්ඩුව කාලයේ විදේශ සංචිත ප්‍රබල ලෙස තිබුණු බව කියනවා. මම ඒක මතක් කර දෙන්නම්. 2010 දි අපේ රටේ විදේශ සංචිත තිබුණෙ ඇමරිකානු ඩොලර් බිලියන 2.7 යි. 2014 අග වන විට ඒ මුදල් ප්‍රමාණය බිලියන 8.2 ක් දක්වා වැඩි කෙරුවා. ඊට පස්සෙ කිසිම අවස්ථාවක ඒ ප්‍රමාණය ඉක්මවා යන්නට මේ අයට බැරි වුණා. කොටින්ම කියනවා නම් 2015 අග වන විට ඒ විදේශ සංචිත ප්‍රමාණය 7.3 දක්වා අඩු වුණා. 2016 වන විට බිලියන 6 දක්වා අඩු වුණා. 2017 දී 7.9 දක්වා අඩු වුණා. 2018 දී 6.9 දක්වා අඩු වුණා. 2019 දී, කොයිතරම් කෑ ගහල කිව්වත්, මහ විශාල ප්‍රමාණයක් අපි ඉතුරු කරල දුන්න කියලා.., තිබුණෙ ඩොලර් බිලියන 7.6 ක් පමණයි. ඒ කාලයෙදි අපි පුරෝකථනය කරල තිබුණෙ 2019 අග වන විට බිලියන 15 ක් ලබාගන්නටයි. ඒ වුණාට ලැබුණෙ 7.6 ක් පමණයි. ඒකෙන්ම පෙනී යනවා, කවුද ඒ මුදල් සංචිතය කාබාසිනියා කරල තියෙන්නෙ කියලා..
    ‘‘2014 අග වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බිල්පත්වල ඇ.ඩා. මිලියන 3450 ක් ආයෝජනය කරල තිබුණා. ඒ ආයෝජනය 2019 අග වන විට මිලියන 500 දක්වා අඩු වී තිබෙනවා. විශ්වාසනීයභාවයක් නැති වුණාම ආයෝජකයො මේ රටේ ඉන්නෙ නැහැ. නැවත වරක් ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. ගරු නියෝජ්‍ය කථානායක තුමනි, ඊළඟ සති කිහිපයේදී ඔබතුමා දකීවි, අලුත් මෙවලම් හරහා, අලුත් යෝජනා හරහා ඒ මුදල් නැවතත් ලංකාවට ගෙන ඒමට අපි කටයුතු කරනවා.

    ReplyDelete
  6. අපනයන කඩා වැටීම
    ‘‘අපනයනය කඩා වැටිල කියල කිව්වා. ජීඑස්පී ප්ලස් සහනය ලබාගත්තට පස්සෙ දැවැන්ත විදිහට අපනයනය වැඩි වෙලා කියලත් කිව්වා. නමුත් අවුරුදු 5කට පස්සෙත්, ඒ කියන්නෙ 2019 අග වන විට අපනයනය තියෙන්නෙ 2014 මට්ටමේම පමණයි. කොච්චර කෑ ගැහුවත් මහබැංකු වාර්තාවලින් අපට පෙනී යනවා, අපේ රටේ අපනයනය ඩොලර් එකකින්වත් වැඩි කරන්න ඒ අයට බැරි වෙලා තියෙනවා. සමස්තයක් විදිහට 2015 සිට 2019 දක්වා අපනයනය තිබුණෙ ඇ.ඩො. බිලියන 11.1 යි. ඒ මුදලම තමයි 2014 දීත් අපනයන ආදායම හැටියට වාර්තා වෙලා තිබුණෙ.
    කොවිඩ් වසංගතය නිසා රැකියාවල් අහිමි වෙලා තියෙනවා කියල කිව්වා. මා මතක් කර දෙන්නට කැමතියි, මහබැංකුවේ වාර්තාවලට අනුව 2014 අගවන විට 2014 අග වන විට අපේ රටේ රැකියා වියුක්තිය තිබුණෙ ලක්ෂ 84.2 ක් හැටියටයි. 2019 වනවිට ලක්ෂ 10ක් අලුතෙන් රැකියා බිහිකරනවයි කියපු රජය රැකියා වියුක්තිය ලක්ෂ 81.81 ක් දක්වා අඩුකරගෙන තිබුණා. එච්චරයි. ඒ කියන්නේ ලක්ෂ දෙකහමාරක අඩුවීමක් ඒ රජය හරහා වාර්තා කරල තිබුණා. ඒ අනුව කොවිඩ් වසංගතය නිසා යම් යම් පසුබෑම් ඇති වුණත් ඒ අයවත් ආරක්ෂා කරගෙන යන්න පුළුවන් වීම ගැන ඒ අයට පුදුමයක් ඇති...
    ‘‘අපේ බලාපොරොත්තුව V shape recovery එකක්. ඒ කියන්නෙ ඉතා ඉක්මනින් යථා තත්වයට පත් වෙන්නට පුළුවන් ආර්ථිකයක් සඳහා කටයුතු කිරීම.
    පසුගිය වසර 5 තුළදී සීඝ්‍රයෙන් කඩා වැටී ඇති අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් නැවත නගා සිටුවීමේ අභියෝගයට ද ඉදිරියේදී මුහුණ දීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
    ලංකාවේ පළමු වතාවට සියලු අමාත්‍යාංශවලට ඒවායේ වගකීම් දක්වන ලේඛනයක් නිකුත් කර ඇති බව ද මෙහිදී කබ්රාල් මහතා සිහිපත් කළේය. ඒ අනුව එම වගවීමෙන් බැහැර වීමට කිසිවෙකුට නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.
    ‘‘මේ තත්වය අපි වෙනස් කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන මුදල් මේ රටට ගලා එන්නට අපි මෙවලම් පාවිච්චි කරනවා. ඒ නිසා මේ ආර්ථීකය කළමනාකරණය කරගන්න අපට බැරි වෙයි කියල හිතන අයගේ සන්තෝසය කෙටි කාලීන එකක් බව මා මතක් කර දෙන්නට කැමතියි.

    ReplyDelete
    Replies
    1. මේ කතාව මෙහි නැවත පළ කළාට ස්තුතියි! වීඩියෝ ලින්ක් එකක් වගේ දෙයක් දැම්මනම් මේ අවස්ථාවේදී මට එවැන්නක් බලන්න කාලය හොයා ගන්න බැරි වෙනවා. කෙසේ වුවත්, මේ මුළු කතාවේම මා මගේ පෙර ලිපි වල කතා කර නැති අළුත් දෙයක් ඇති බවක් පෙනෙන්න නැහැ. සංඛ්‍යාලේඛණ වශයෙන් ගත්තොත් යම් වැරදි තිබුණත් බොහෝ දේවල් හරි. සමස්තයක් ලෙස මේ කතාව ඒකපාර්ශ්වික දේශපාලන කතාවක්. සඳහන් කර තිබෙන බොහෝ කරුණු නිවැරදි වුවත් ඊට අමතරව කියා නැති කරුණු විශාල ප්‍රමාණයක්ද තිබෙනවා. ඒ කරුණු මම වරින් වර ලියා තිබෙනවා. මේ වගේ දේශපාලන ප්‍රකාශයකට දේශපාලන ප්‍රතිචාර සපයන එක පවතින ආණ්ඩුවට විරුද්ධ, පසුගිය ආණ්ඩුවට පක්ෂ අයගේ වැඩක්. මේ කතාවේ සමස්ත හරය ගත්තොත් එයින් කියැවෙන්නේ පසුගිය රාජපක්ෂ සමයේ හොඳට තිබුණු ආර්ථිකය යහපාලන ආණ්ඩුව විසින් කාලා දැම්මා කියන එකයි. ඒ වගේ දේශපාලන කරුණක් ගැන මේ මොහොතේ දිගින් දිගටම කතා කරන්න කාලය මිඩංගු කරන එක මට සාපේක්ෂව තේරුමක් නැති දෙයක්. රාජපක්ෂ ආණ්ඩුව කාලයේ හෝ යහපාලන ආණ්ඩුව කාලයේ සිදු වූ හානි දැන් හදන්න බැහැ. වැදගත් දැන් කරන්නේ කුමක්ද කියන එකයි. මේ සමස්ත ප්‍රකාශය තුළ දැන් කරන්න යන දේ ගැන කිසිවක් පැහැදිලිව සඳහන්ව නැහැ. අතීතයේ කළ වැරදි නැවත කරන බවක් පෙනේනම් අතීතය ගැන නැවත කතා කර පැහැදිලි කරන්න වෙනවා. ඒ සඳහා තවම කල් වැඩියි. මෙහි සඳහන් කරුණු ඉතා විශාල පරාසයක පැතිර ඇති නිසා කෙටියෙන් විග්‍රහ කරන්න බැහැ. කවර හෝ ඔබට වඩා වැදගත් යැයි සිතෙන කරුණක් ඇත්නම් පැහැදිලි කළ හැකියි.

      Delete
  7. ඉකොනොමැට්ටා ඔබේ දැනුම අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලංකාවේ බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරවන MCC ගිවිසුම, දැනට ක්‍රියාත්මක වෙන රටවල් සහ එම ගිවිසුම අත්සන් කිරිම සදහා පියවර කිහිපයක් ගෙන ඇති රටවල් සදහන් කරන්න. අවසානයේ MCC අත්සන් කිරිමට මුලික වශයෙන් රටේ සිදුකල යුත් වෙනස්කම් ලංකාවේ වත්මන් රජයත් ගනිමින් සිටිනවාද එ මොනවාද? මම කැමතියි MCC වෙන රටවල ක්‍රියාත්මක විම හෝ ක්‍රියාත්මක කිරිමට ඒ ඒ රටවල් ගෙන ඇති පියවර දැන ගන්න, හේතුව, අපේ රටට අදාළ, ඉන්දු ශාන්තිකර කලාපීය යෝජිත ව්‍යාපෘතිය වෙනම අනන්‍ය එකක්, එය භූ දේශපාලනික සැලැස්මක්. ඒ නිසා වෙන වෙන රටවල් එක්ක සසඳන්න අමාරුයි.

    දෙවැනි ප්‍රශ්නය ලංකාවේ පළාත් සභා අයින් කරන්න හදන්නෙ, ඉඩම් නිරවුල් කරන්න හදන්නෙ, ඉඩම් ඩිජිටල්කරණය කරන්න හදන්නෙ ඒ සඳහා නේද? මේ ඉන්දු ශාන්තිකර මහා දේශපාලන ක්‍රියාන්විතයේ ඇමරිකානු ඒජන්තවරයා මිලින්ද මොරගොඩ කියලා කියන්නේ ඇත්තද? ඔහූ අධි බලයක් සහිතව ඉන්දියානු මහකොමසාරිස් කරන්න හදන්නෙ සහ ලලිත් වීරතුංග, දයා රත්නායක සහ ජයනාත් කොළඹගේ ගෝඨා ලං කරගෙන් ඉන්නෙ MCC මෙහෙයුමට අදාළව කියලා කියන්නේ ඇත්ත නේද? මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    ReplyDelete
  8. බ්‍රිතාන්‍යයේ දෙවන වර හැදුන අය ඉන්නවා . වෙනත් ප්‍රභේද . අර සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යාව වගේ ඒ හැම එකටම ප්‍රතිශක්තිය හදා ගන්න වෙනවා , කරුමේ කරුමේ , හේ හේ

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...