වෙබ් ලිපිනය:

Saturday, June 20, 2020

කොරෝනා උමග කෙළවර එන්නත් එළි


ලෝක මට්ටමෙන් සැලකූ විට කොරෝනා වසංගතය තවමත් එන්න එන්නම පැතිරෙනවා මිස පාලනය වී නැති බව ඉතාම පැහැදිලියි. ඊයේ (ජූනි 19) දිනය ඇතුළත හමු වූ අලුත් රෝගීන් ගණන වන 181,005 මෙතෙක් දිනකදී හඳුනාගත් වැඩිම රෝගීන් ප්‍රමාණයයි. ඊට පෙර දිනකදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් හඳුනා ගැනුණු ජූනි 17 දින හමු වුනේ රෝගීන් 146,111ක් පමණයි. ඊයේ හමු වූ රෝගීන් ගණන එම ගණනට වඩා 24%කින් වැඩියි.

මෙතෙක් ප්‍රධාන වශයෙන්ම බටහිර සංවර්ධිත රටවල ප්‍රශ්නයක්ව තිබූ කොරෝනා වසංගතය මේ වෙද්දී දකුණු ඇමරිකාවේ හා දකුණු ආසියාවේ ප්‍රශ්නයක් බවට රූපාන්තරණය වෙමින් පවතිනවා. ඊයේ දිනය ඇතුළත දකුණු ඇමරිකානු කලාපයේ බ්‍රසීලයෙන් රෝගීන් 55,209ක්ද, චිලී රටෙන් රෝගීන් 6,290 දෙනෙක්ද, මෙක්සිකෝවෙන් රෝගීන් 5,662ක්ද, පේරු රටෙන් රෝගීන් 3,537ක්ද, කොලොම්බියාවෙන් රෝගීන් 3,059ක්ද, ආජන්ටිනාවෙන් රෝගීන් 2,060ක්ද අලුතෙන් හමු වුනා. දකුණු ආසියාවේ ඉන්දියාවෙන් අලුත් රෝගීන් 14,721ක් හමු වෙද්දී, පකිස්ථානයෙන් රෝගීන් 4,944ක්ද, බංග්ලා දේශයෙන් රෝගීන් 3,243ක්ද අලුතෙන් හමු වුනා.

ලෝකයේ හැම රටක්ම වාගේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා කවර හෝ ක්‍රියාමාර්ග ගත්තා. ඇතැම් රටවල් වඩා දැඩි ක්‍රියාමාර්ග ගනිද්දී වෙනත් ඇතැම් රටවල් එවැනි දැඩි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. චීනය, ලංකාව වැනි රටවල් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත් රටවල් සේ හඳුන්වන්න පුළුවන්. මේ දැඩි ක්‍රියාමාර්ග වල උදවුවෙන් මුලින්ම රෝගය පැතිරුණු චීනය රෝගය පාලනය කරගත් බව පැහැදිලි කරුණක්. රෝගය පාලනය කිරීමේදී ලංකාවද සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් රටක් ලෙස හැඳින්විය හැකියි.

චීනය හා ලංකාව විසින් අනුගමනය කළ ක්‍රමවේදයේ ප්‍රධාන දුර්වලතා දෙකක් තිබෙනවා. පළමුවැන්න, මේ තරම් දැඩි පාලනයකින් පසුවද කිසිදු රටක් රෝගයෙන් නිදහස් වී ඇති බවක් නොපෙනීමයි. ඊයේ දිනයේදීද චීනයෙන් අලුතින් රෝගීන් 27 දෙනෙක් හමු වී තිබෙනවා. ලංකාවෙන්ද තවමත් දිනපතා කිසියම් රෝගීන් ප්‍රමාණයක් හමු වෙනවා. යම් හෙයකින් මෙවැනි දැඩි පාලනයකින් කිසියම් රටක් කොරෝනා මුළුමනින්ම දුරු කළත්, ලෝකයේ අනෙක් රටවල රෝගය පැතිරෙන තාක් කල් කිසිදු තනි රටක් සුරක්ෂිත නැහැ. ලංකාව විසින් පවත්වා ගත් තරමේ දැඩි පාලනයක් ලෝකයෙන්ම කොරෝනා තුරන් වන තුරු දිගටම පවත්වා ගැනීම අසීරුයි. එක පැත්තකින් එවැනි දැඩි පාලනයක් ප්‍රායෝගික නොවන අතර අනෙක් පැත්තෙන් එවැනි දැඩි පාලනයක ආර්ථික බලපෑම කිසිදු රටකට දරා ගත නොහැකි තරම් විශාලයි. මෙය මේ ක්‍රමවේදයේ තිබෙන දෙවන දුර්වලතාවයයි.

අනෙක් අතට කිසිදු පාලනයක් නැතිව රෝගය පැතිරෙන්නට ඉඩ හැරීම ප්‍රසස්ථ ක්‍රමවේදයක් කියා කියන්න බැහැ. විශාල ලෙස රෝගය පැතිරුණු කිසිදු ප්‍රදේශයක තවමත් සාමූහික ප්‍රතිශක්තිය ඇති වීම සඳහා අවශ්‍ය මට්ටම කිට්ටුවකටවත් රෝගය පැතිරී නැහැ. සෑම රටකටම වගේ කිසියම් අදියරකදී රෝග ව්‍යාප්තිය පාලනය කිරීම ගැන හිතන්න සිදු වුනා.

සාමූහික ප්‍රතිශක්තිය කෙතරම් දුරස්ථ ඉලක්කයක්ද යන්නට උදාහරණයක් ලෙස ඇමරිකාවේ නිවුයෝර්ක් ප්‍රාන්තය පෙන්වන්න පුළුවන්. නිවුයෝර්ක් ජනගහණයෙන් 2.1%ක් මේ වන විට කොරෝනා ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන අතර නිවුයෝර්ක් ජනගහණයෙන් 0.16%ක් කොරෝනා ආසාදිතයින් ලෙස මිය ගොස් තිබෙනවා. සසම්භාවී රුධිර පරීක්ෂණ ප්‍රතිඵල අනුව නිවුයෝර්ක් ප්‍රාන්ත වැසියන්ගෙන් 14.9%ක ගේ සිරුරු වල ප්‍රතිදේහ ඇති බව පෙනෙනවා.

මාස දෙක තුනකට පසු කෝවිඩ්-19 වැළඳුනු ඇතැම් අයගේ සිරුරු වලින් ප්‍රතිදේහ හමු වී නැති බව වාර්තා වී තිබෙනාවක් මෙන්ම වරක් කෝවිඩ්-19 වැළඳුනු අයෙකුට නැවත වෛරසය ආසාදනය නොවන බව තහවුරු වී නැහැ. ඒ කරුණු නොසලකා, යම් හෙයකින් 60%ක් ආසාදනය වීමෙන් පසුව සාමූහික ප්‍රතිශක්තිය ඇති වන බව සැලකුවත්, නිවුයෝර්ක් ප්‍රාන්තය තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති වීම සඳහා දැනට වෛරසය අසාදනය වී ඇති ප්‍රමාණය මෙන් හතර ගුණයක පිරිසකට වෛරසය ආසාදනය විය යුතුයි. එහිදී මරණ අනුපාතිකයද සමානුපාතිකව ඉහළ යනු ඇතැයි සැලකුවහොත් නිවුයෝර්ක් ජනගහණයෙන් 0.64%ක් කොරෝනා ආසාදිතයින් ලෙස මිය යනවා. මේ අනුපාතය ඇමරිකාවට යෙදුවොත් මිලියන 2.1ක පමණ මරණ ප්‍රමාණයක්. මෙය නීල් ෆර්ගසන් වාර්තාවේ ඇස්තමේන්තු කර තිබුණු මරණ ප්‍රමාණයට ආසන්නව සමානයි.

මේ වන විට ඇමරිකාවේ සිදු වී තිබෙන කෝවිඩ්-19 මරණ ප්‍රමාණය 121,000 ඉක්මවනවා. එම ප්‍රමාණයත් විශාල කම්පනයක් ඇති කරවන මරණ ප්‍රමාණයක්. මේ මරණ ප්‍රමාණය සිදු වී තිබෙන්නේ ඇමරිකාව රටේ ආර්ථිකයට විශාල හානියක් කර ගනිමින් රට වසා තිබියදී. ඇමරිකාව ගත් ක්‍රියාමාර්ග ලංකාව හෝ චීනය ගත් ක්‍රියාමාර්ග තරම් දැඩි නොවීම වෙනම කරුණක්. ඇමරිකාවේ ප්‍රාන්ත බොහොමයක් මේ වෙද්දී විවෘත කර හෝ විවෘත කෙරෙමින් තිබෙනවා. ඒ කොරෝනා ව්‍යාප්තිය යම් තරමකින් පාලනය වීමෙන් පසුවයි. එහෙත්, රට ක්‍රමයෙන් විවෘත වෙද්දී නැවතත් කොරෝනා ව්‍යාප්තිය වේගවත් වන බවක් පෙනෙන්න තිබෙනවා.

කොරෝනා නිසා ලෝකයේ හැම රටකටම මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ තත්ත්වයකටයි. රටවල් වහගෙන සිටීමේ ආර්ථික හා වෙනත් හානි සැලකූ විට එය කිසිදු රටකට දිගින් දිගටම කළ හැකි දෙයක් නෙමෙයි. එහෙත්, රටවල් විවෘත කිරීමේදී මරණ ප්‍රමාණ ඉහළ ගියොත් එය ආර්ථිකයටද බලපෑමක් කරනවා.

කෝවිඩ් ප්‍රශ්නයෙන් ලෝකයට ගොඩ යා හැක්කේ ප්‍රශ්නය ස්ථිර ලෙස විසඳුනොත් පමණයි. රටවල් වහගෙන සිටීම තාවකාලික විසඳුමක් මිසක් ස්ථිර විසඳුමක් නෙමෙයි. ප්‍රශ්නය ස්ථිර ලෙසම විසදෙන්නේ තත්ත්වයන් දෙකක් යටතේ පමණයි. පළමුවැන්න ස්වභාවික ලෙස සාමූහික ප්‍රතිශක්තිය ඇති වීම. දෙවැන්න කෘතීම ලෙස  සාමූහික ප්‍රතිශක්තිය ඇති කිරීම.

ස්වභාවික ලෙස සාමූහික ප්‍රතිශක්තිය ඇති වෙන තුරු රෝගය පැතිරුනොත් අඩු වශයෙන් ලෝක ජනගහණයෙන් 1%ක් පමණවත් මිය යා හැකියි. එයින් පසුවද සාමූහික ප්‍රතිශක්තිය ඇති වන බවට ස්ථිර විශ්වාසයක් නැහැ. වරක් රෝගය වැළඳුනු කෙනෙකුට නැවත නැවතත් වෛරසය අසාදනය නොවන බවට තවමත් කිසිදු සහතිකයක් නැහැ. ඒ නිසා, දැනට පෙනෙන්නට ඇති එකම ස්ථිර විසඳුම කෘතීම ලෙස  සාමූහික ප්‍රතිශක්තිය ඇති කිරීමයි. එය කළ හැක්කේ සාර්ථක එන්නතක් මගින්.

මේ වෙද්දී ලෝකයේ රටවල් ගණනාවක සමාගම් ගණනාවක් කෝවිඩ්-19 සඳහා එන්නත් වැඩි දියුණු කරමින් ඉන්නවා. මෙසේ එන්නත් වැඩි දියුණු කරමින් සිටින සමාගම් ගණන අවම වශයෙන් 237ක් නිසා මේ අතරින් කිහිපයක් හෝ සාර්ථක ලෙස කෝවිඩ්-19 පාලනය කිරීම සඳහා උදවු වනු ඇති බව පිළිබඳ සැකයක් නැහැ.

එන්නතක් වැඩි දියුණු කර භාවිතයට ගැනීමට පෙර පසු කළ යුතු පියවර ගණනාවක් තිබෙනවා.

පූර්ව සායනික පරීක්ෂණ අවදිය: මේ අවදියේ කරන්නේ මීයන්, වඳුරන් ආදී සතුන් යොදා ගෙන එන්නත පරීක්ෂා කිරීමයි. පරීක්ෂා කිරීමේ ඉලක්කය එන්නත ලබා දුන් පසු අපේක්ෂිත පරිදි ප්‍රතිදේහ හැදෙනවාද යන්නයි.

පළමු අදියරේ පරීක්ෂණ අවදිය: මෙහිදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයින් කිහිප දෙනෙකුට එන්නත ලබා දී අපේක්ෂිත පරිදි ප්‍රතිදේහ හැදෙන බවත්, වෙනත් හානියක් නැති බවත් තහවුරු කර ගන්නවා. පරීක්ෂාවේ ප්‍රධාන අරමුණක් වන්නේ එන්නතේ හානිකර ප්‍රතිඵල ඇත්දැයි හඳුනා ගැනීමයි.

දෙවන අදියරේ පරීක්ෂණ අවදිය: මෙහිදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බාල, තරුණ, මහළු, ස්ත්‍රී, පුරුෂ ආදී වෙනස් කාණ්ඩ වල   පුද්ගලයින් සිය ගණනකට එන්නත ලබා දී අපේක්ෂිත පරිදි ප්‍රතිදේහ හැදෙන බවත්, වෙනත් හානියක් නැති බවත් තහවුරු කර ගන්නවා. පරීක්ෂාවේ ප්‍රධාන අරමුණක් වන්නේ පොදුවේ හානියක් නැතත් විශේෂිත කණ්ඩායම් වලට එන්නතේ හානිකර ප්‍රතිඵල ඇත්දැයි හඳුනා ගැනීමයි.

තෙවන අදියරේ පරීක්ෂණ අවදිය: අවසාන හා වැදගත්ම අදියර මෙයයි. පරීක්ෂාවේ ප්‍රධාන ඉලක්කය එන්නතේ ඵලදායීතාවය පරීක්ෂා කිරීමයි. මේ අදියර සඳහා සාමාන්‍යයෙන් දහස් ගණනක පිරිසක් යොදා ගන්නවා. මෙසේ සහභාගී කර ගන්නා පිරිස අහඹු ලෙස කණ්ඩායම් දෙකකට බෙදා එක් කණ්ඩායමකට පමණක් එන්නත ලබා දෙන අතර අනෙක් කණ්ඩායමට "බොරු එන්නතක්" ලබා දෙනවා. ඕනෑම එන්නතකින් එය ලබා ගන්නා හැම දෙනෙකුටම රෝගය වැළඳෙන එක නවත්වන්න බැරුවා වගේම, එන්නත නොගන්නා හැම කෙනෙකුටම රෝගය හැදෙන්නෙත් නැහැ. ඒ නිසා, එන්නතේ බලපෑමක් ඇත්දැයි හරියටම දැන ගන්න පුළුවන් වෙන්නේ මෙවැනි සසම්භාවී නියැදි පරීක්ෂණයකින් පමණයි. එන්නත ලබා ගත් කණ්ඩායමට රෝගය වැළඳෙන්නේ අනෙක් කණ්ඩායමට වඩා බොහෝ අඩුවෙන්නම් එයින් පෙනෙන්නේ එන්නත ඵලදායී බවයි. එවැනි වෙනසක් පෙනෙන්නට නැත්නම් එන්නතෙන් වැඩක් වී තිබෙන බව කියන්න බැහැ.

අනුමැතිය ලැබීම: තෙවන අදියරේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමෙන් පසුව කිසියම් එන්නතක් තම රටේ භාවිතයට යෝග්‍යද යන්න එක් එක් රටේ අදාළ පාලනාධිකාරිය විසින් අනුමත කළ යුතුයි. මහා පරිමාණයෙන් එන්නත් හදන්නේ මෙසේ අනුමැතිය ලැබීමෙන් පසුවයි.

සාමාන්‍යයෙන් ඉහත අදියර සියල්ල පසු කිරීමට වසර දෙක තුනක් යන නමුත් කෝවිඩ්-19 වසංගත තර්ජනය හමුවේ බොහෝ සමාගම් වගේම රජයයන් විසින්ද මේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා විවිධ පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට එන්නත් කිහිපයක් තෙවන අදියර දක්වාත්, තවත් කිහිපයක් දෙවන අදියර දක්වාත් පැමිණ තිබෙනවා.

විශේෂයෙන්ම ඉහත තෙවන අදියර ඉතා වියදම් අධික නිසා කිසියම් සමාගමක් විසින් එම වියදම අපතේ යාමේ අවදානම ගන්නේ දෙවන අදියරේ ප්‍රතිඵල හොඳනම් පමණයි. ඒ වගේම, අනුමැතිය ලැබෙන තුරු එන්නත් නිෂ්පාදනය වෙනුවෙන් මුදල් යට කරන්නේ නැහැ. එහෙත්, එන්නත් නිපදවීමේ තරඟයේ ඉදිරියෙන් සිටින තෝරාගත් සමාගම් කිහිපයකට ඇමරිකානු රජයේ මැදිහත්වීම මත මේ අවදානම් නොතකා වේගයෙන් ඉදිරියට යන්න ඉඩ ලැබී තිබෙනවා.

ලබන ජනවාරිය වන විට ඇමරිකානුවන් සඳහා එන්නත් මිලියන 300ක් නිෂ්පාදනය කර ගැනීම ඉලක්ක කරමින් ඇමරිකානු කොංග්‍රසය ඩොලර් බිලියන 10කට ආසන්න මුදලක් එන්නත් සංවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. මේ වැඩ සටහන යටතේ තරඟකාරී පදනමකින් එන්නත් පහක් තෝරා ගෙන තිබෙනවා. ඒ අතරින් එන්නත් තුනක පරීක්ෂණ කටයුතු මේ වන විට සෑහෙන ප්‍රගතියක් පෙන්වා තිබෙනවා.

මේ වන විට එන්නත් තරඟයේ ඉදිරියෙන්ම සිටින එක්සත් රාජධානිය පදනම් කරගත් බහුජාතික සමාගමක් වන ඇස්ට්‍රසිනිකා සමාගමේ හා ඔක්ස්ෆර්ඩ් සරසවියේ AZD1222 එන්නත මේ වන විට තෙවන අදියරට ගොස් තිබෙනවා. එංගලන්තයේ 10,260ක පිරිසක් යොදා ගනිමින් පසුගිය මාසයේදී තෙවන අදියරේ පරීක්ෂණ ආරම්භ වුනා.

ඇස්ට්‍රසිනිකා සමාගමට පසුගිය මැයි මාසයේදී ඇමරිකානු රජයෙන් රුපියල් බිලියන 1.2ක ආධාර මුදලක් ලබා දී තිබෙන අතර එන්නත් මිලියන 300ක් එම සමාගම විසින් ඇමරිකාවට ලබා දීමට එකඟ වී තිබෙනවා. එක්සත් රාජධානිය විසින්ද එම සමාගමට පවුම් මිලියන 65.5ක් ලබා දී එන්නත් මිලියන 100ක් ඇණවුම් කර තිබෙන අතර තවත් එන්නත් මිලියන 400ක් යුරෝපයට ලබා දීමටත්, එන්නත් බිලියනයක් ඉන්දියාවට ලබා දීමටත් එම සමාගම එකඟ වී තිබෙනවා. සමාගම සතුව එන්නත් බිලියන දෙකක් නිපදවීමේ ධාරිතාවක් තිබෙනවා.

මේ එන්නත් වලින් කොටසක් සැප්තැම්බර් සිට එක්සත් රාජධානියටත්, ඔක්තෝබර් සිට ඇමරිකාවටත් ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි. එමෙන්ම, මෙම එන්නත ලබා ගැනීමෙන් පසුව වසරක කාලයක් කෝවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.

ඇමරිකානු සමාගමක් වන මොඩර්නා සමාගමේ mRNA1273 එන්නත මේ වන විට දෙවන අදියරේ සිටිනවා. මේ වෙනුවෙන් ඇමරිකානු රජය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 483 ක මුදල් ප්‍රදානයක් කළා. එළැඹෙන ජූලි මාසයේදී ඇමරිකානුවන් 30,000ක් යොදා ගනිමින් තෙවන අදියරට යාමට මොඩර්නා සමාගම සැලසුම් කර තිබෙනවා. ලබන ජනවාරිය වන විට මොඩර්නා සමාගමේ එන්නත් සූදානම්ව තිබෙනු ඇතැයි අපේක්ෂිතයි.

ඇමරිකාව පදනම් කරගත් බහුජාතික සමාගමක් වන පයිසර් සමාගමේ හා ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගමේ BNT162 එන්නතද මේ වන විට දෙවන අදියරට පැමිණ තිබෙනවා. මේ එන්නතද ලබන වසර මුල වන විට සූදානම්ව තිබෙනු ඇතැයි අපේක්ෂිතයි.

කෝවිඩ්-19 එන්නත් තරඟය තුළ චීනයද කරට කර තරඟ කරමින් සිටිනවා. එක පැත්තකින් මේ එන්නත් තරඟය සීතල යුද්ධය කාලයේදී පැවති තත්ත්වය මෙන් තමන් තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටින බව පෙන්වීමේ තරඟයක්. අනෙක් අතින් ඉතා දැඩි සීමා කිරීම් මගින් වසංගතය පාලනය කරගෙන සිටින චීනයට ප්‍රශ්නයෙන් ගැලවීම සඳහා හැකි ඉක්මණින් එන්නතක් වැඩි දියුණු කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා.

එන්නත් වැඩි දියුණු කිරීමට අත ගසා සිටින සමාගම් අතරින් අඩක් පමණම චීන සමාගම්. ඒ අතරින් චීන රජයට අයත් ආයතන හා සමාගම් පහක් පමණ මේ වන විට සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා තිබෙනවා.

ඒ අතරින් කැනඩාව හා චීනය ඒකාබද්ධව කෑන්සිනෝ සමාගම විසින් නිපදවූ Ad5-nCoV එන්නත මේ වන විට දෙවන අදියරට පැමිණ තිබෙනවා. තවත් චීන සමාගමක් වන සිනෝවැක් බයෝටෙක් සමාගම ළඟදීම බ්‍රසීලයේ තෙවන අදියරේ පරීක්ෂණ සිදු කිරීමට සූදානම්ව මේ වන විට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම සමාගම විසින් වසරකට එන්නත් මිලියන 100ක් පමණ නිපදවීමට සැලසුම් කර තිබෙනවා.

උමග කෙළවර එළියක් පෙනෙන්නට තිබීම සතුටට කරුණක් වුවත්, උමග කෙළවර දක්වා ඉතිරි දුරද අතුරේ ගමනක්. විශේෂයෙන්ම ඇමරිකාව මේ වන විට සිටින්නේ අනෙකුත් බටහිර සංවර්ධිත රටවලට වඩා අවදානම් තැනකයි. මුලින් වෛරසය වේගයෙන් පැතිරුණු රටේ උතුරේ සීතල පළාත් වල රෝග ව්‍යාප්තිය තුනී වෙමින් යද්දී රටේ දකුණේ උණුසුම් පළාත් වල මේ වන විට රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

කෝවිඩ් රටෙන් තුරන් කළ නොහැකි වුවත් දකුණු ආසියාවේ අනෙකුත් රට වලට සාපේක්ෂව ඉතා හොඳින් රෝග ව්‍යාප්තිය කළමනාකරණය කර ගෙන සිටින ලංකාවට එහි වාසිය ගන්නනම් එන්නතක් වැඩි දියුණු වන තුරු තවත් මාස හයකවත් කාලයක් ප්‍රවේශම් වෙන්න සිදු වෙනවා. එය කළ නොහැකි දෙයක් නෙමෙයි.

18 comments:

  1. ස්තුතීයි දැනුවත් කලාට
    ඵතකොට ලංකාවෙ ගුවන් තොටුපල වීවිර්ත කල පසු කුමන තත්වයක් ඇති වෙවිද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් පුරෝකථනය කරන්න අමාරුයි. විවෘත කරලම තමයි තත්ත්වය බලන්න වෙන්නේ.

      Delete
  2. //මෙය මේ ක්‍රමවේදයේ තිබෙන දෙවන දුර්වලතාවයයි.

    අනෙක් අතට කිසිදු පාලනයක් නැතිව රෝගය පැතිරෙන්නට ඉඩ හැරීම ප්‍රසස්ථ ක්‍රමවේදයක් කියා කියන්න බැහැ.//

    In recent years, the word ක්‍රමවේදය has become so popular that people seems to have forgotten that there is a simpler word, ක්‍රමය. Can you please tell what difference you expected by using the longer word. Would you lose any meaning if you had used the simpler word?

    ReplyDelete
    Replies
    1. In the context that I have used the term ක්‍රමවේදය,

      ක්‍රමය = method. A method is simply the tool used to solve a problem.

      ක්‍රමවේදය = methodology. A methodology is the rationale for the approach to solve a problem or the lens through which a problem is analyzed.

      The term ක්‍රමවේදය is closer in meaning to the conceptual idea I want to convey than the term ක්‍රමය.

      I see fundamental philosophical differences in the thought process beneath the visible actions of different countries employed to respond to the Covid-19 crisis.

      Delete
  3. ඉකොනො ලංකාවේ මහ බැංකුවෙන් රුපියල් බිලියන 115ක මුදලක් පසුගිය අඟහරුවාදා දිනය තුළ අච්චු ගසා ඇති බව හිටපු ආර්ථික සැලසුම් රාජ්‍ය ඇමති හා ආර්ථික විද්‍යා ආචාර්ය හර්ෂ ද සිල්වා (Ph.D, [MIT, USA]) කියන කතාව ඇත්ත නේද?

    කියන විදියට මේ මුදල අච්චු ගසා ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අඩු පොලී පදනමක් යටතේ ණය ලබාදීම සඳහා බවයි ඔහු කියා සිටියේ.

    ඒ වගේම දැනට මහ බැංකුව රුපියල් බිලියන 400 ට අධික මුදලක් අච්චු ගසා ඇති බවත් මේ මේ හේතුවෙන් රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් රුපියලේ අගය අඩු වීම සිදුවන බවද ඔහු පෙන්වා දුන්නා.

    ලංකාවේ අස්ථාවර ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වන විසඳුම මහ බංකු විසින් නොව මහා භාණ්ඩාගාරය විසින් ලබාදිය යුතු ඇති බව තමයි ඔහුගේ මතය. මේ ගැන ඔබ දරන අදහස කොහොමද? මේ ගැන විස්තර කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. විසඳුම දිය යුත්තේ කවුද කියන එක තාක්ෂනිකව නිවැරදි පිළිතුරක් තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. කැමති කෙනෙක්ට කැමති පිළිතුරක් දෙන්න පුළුවන්.

      ලෝකයේ බොහෝ රටවල් වල මහ බැංකු විසින් හා රජයයන් විසින් කෝවිඩ් හමුවේ විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. සංසන්දනාත්මකව බැලුවොත් ලංකාවේ මහ බැංකුව විසින් කර තිබෙන දේවල් වලට සාපේක්ෂව රජය විසින් කළ දෙයක් නැති තරම්. ලංකාවේ රජයට වී තිබෙන්නේ පායනා කාලයේ කෑම රැස් නොකළ කළ පලගැටියාට වූ දෙයයි. පලගැටියා කෑම රැස් නොකළත් කූඹියාගෙන් ණය ගත්තේ නැහැ. නමුත්, ලංකාවේ රජය දිගින් දිගටම කළේ පායනා කාලේදීත් කූඹියාගෙන් ණය ගන්න එකයි.

      උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් රුපියලේ අගය විශාල ලෙස අඩුවෙයිද කියන එක ගැන සොයා බැලීම මහ බැංකුවේ වැඩක්. එය කළ හැකි දක්ෂ නිලධාරීන් මහ බැංකුවේ ඉන්නවා. ඔවුන් තීරණ ගෙන තිබෙන්නේ ස්වාධීනවනම් ඔවුන්ට රටේ අනාගත උද්ධමනයට හේතු වන තීරණ ගන්න හේතුවක් නැහැ. උද්ධමනය විශාල ලෙස වැඩි වෙනවා කියන්නේ රටක මහ බැංකුව අසමත් බවයි. මහ බැංකු නිලධාරීන් ඒ බව හොඳින්ම දන්නවා. ඔවුන් තීරණ ගත්තේ කඩු තුඩ බෙල්ලට තියා තිබෙද්දීනම් එවැනි දෙයක් වෙන්න පුළුවන්. එය දන්නේ මහ බැංකුවේ නිලධාරීන්.

      Delete
  4. ඉකෝ ,සසම්බාවී රුධිර පරීක්ෂණ ප්‍රතිඵල කියන්නෙ මොමොකක්ද??

    සසම්බාවී

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මේ වන විට පීසීආර් පරීක්ෂා 95,087ක් කරලා කෝවිඩ් රෝගීන් 1,950 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා. මෙය 2.05%ක ප්‍රතිශතයක්. නමුත්, මෙයින් අදහස් වෙන්නේ ලංකාවේ ජනගහණයෙන් 2.05%ක් කෝවිඩ් රෝගීන් බව නෙමෙයිනේ. මොකද කෝවිඩ් පරීක්ෂාව සඳහා එන්නේ ජනගහණයේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය ඇමරිකාව ඇතුළු වෙනත් හැම රටකටම වගේ අදාළයි. ජනගහණයේ කොපමණ පිරිසකට කෝවිඩ් වැළඳී තිබේද කියා හොයා ගන්නනම් ජනගහණයෙන් අහඹු නියැදියක් අරගෙන පරීක්ෂා කළ යුතුයි. සසම්භාවී නියැදි පරීක්ෂාවක් කියා කියන්නේ එවැන්නක්. මෙහිදී පීසීආර් පරීක්ෂාවක් වෙනුවට කරන්නේ ප්‍රතිදේහ පරීක්ෂාවක්. පීසීආර් පරීක්ෂාවකදී හඳුනාගත හැක්කේ ඒ වන විට ආසාදිතයෙකුව සිටින අය පමණක් වුවත් ප්‍රතිදේහ පරීක්ෂාවක් කිරීමෙන් කලින් රෝගය හැදී සුව වූ අයවත් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා තමන්වත් නොදැන රෝගය හැදී සුව වූ අයවත් හඳුනා ගන්න පුළුවන්. මේ වන විට නිවුයෝර්ක් ප්‍රාන්තයේ පීසීආර් පරීක්ෂා මගින් හඳුනාගෙන තිබෙන ආසාදිතයින් ප්‍රමාණය මුළු ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස 2.1%ක් පමණක් වුවත් ප්‍රතිදේහ පරීක්ෂා වල ප්‍රතිඵල අනුව 14.9%කට දැන හෝ නොදැන රෝගය හැදී තිබෙනවා. මේ ප්‍රතිශතය ඉතා වැදගත්. නියැදි පරීක්ෂා ප්‍රතිඵල අනුව යම් හෙයකින් ජනගහණයෙන් 90%කට පමණ රෝගය හැදී තිබුණානම් බය නැතුව රට විවෘත කරන්න පුළුවන්. නමුත්, ඇමරිකාව සමස්තයක් ලෙස ගත්තහම තවමත් කෝවිඩ් ආසාදනය වී තිබෙන්නේ ජනගහණයේ ඉතා සුළු ප්‍රතිශතයකට පමණයි. අපේ ප්‍රාන්තයේනම් 1.5%කට පමණයි. ඒ කියන්නේ රට විවෘත කරන එක අනතුරුදායකයි. ආර්ථික හා වෙනත් හේතු මත රට විවෘත කරන්න සිදු වී තිබීම වෙනම කරුණක්.

      Delete
  5. //පූර්ව සායනික පරීක්ෂණ අවදිය: මේ අවදියේ කරන්නේ මීයන්, වඳුරන් ආදී සතුන් යොදා ගෙන එන්නත පරීක්ෂා කිරීමයි. පරීක්ෂා කිරීමේ ඉලක්කය එන්නත ලබා දුන් පසු අපේක්ෂිත පරිදි ප්රතිදේහ හැදෙනවාද යන්නයි.//

    ඉකොනොමැට්ට සතුන් යොදා පරීක්ෂා කිරිමේ දී සාර්ථක වීමේ සම්බාවිතාවයක් මෙපමන අගයක් කියල, ප්‍රතිශතාත්මක අගයක් ගන්නවනේ, මෙමෙ අගය ඇසුරෙන් ගන්න "අපේක්ෂිත අගය" මෙවැනි ප්‍රායෝගික පරීක්ශන වල කොයිතරම් දුරට වැදගත් වෙනව ද ??
    තාක්ෂණික විග්‍රහයක් ??

    ReplyDelete
    Replies
    1. මට ඔබේ ප්‍රශ්නය හරියටම පැහැදිලි නැහැ. ඔබ අහන්නේ අපේක්ෂිත අගයේ නිශ්චිත ඇස්තමේන්තු අගය තීරණ වලට බලපාන්නේ කොහොමද කියන එකනම් එය සන්දර්භය අනුව වෙනස් වන දෙයක්.

      Delete
  6. // ඔබ අහන්නේ අපේක්ෂිත අගයේ නිශ්චිත ඇස්තමේන්තු අගය තීරණ වලට බලපාන්නේ කොහොමද කියන//

    මෙම කාරණය පිලිබදව තමා ඇහුවේ, පූර්ව සායනික අවදියේ පරීක්ෂණ වලදී සාර්ථක වීමේ අපේක්ෂිත අගයේ ඇස්තමේන්තු අගය එම පරීක්ෂණ වලට බලපාන ආකාරය ??

    මීට පෙර ඔබ කැට ක්‍රීඩාව ඇසුරෙන් ,එම ක්‍රීඩාවේ දී එම අපේක්ෂිත අගයේ ඇස්තමේන්තු අගයේ, බලපෑම පැහැදිලි කල ආකාරයට.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්නයනම් දැන් පැහැදිලියි. මූලධර්මය එකම වුනත් කැට ක්‍රීඩාවට සාපේක්ෂව මෙහි තත්ත්වය ගොඩක් සංකීර්ණයි. කැට ක්‍රීඩාවේදී වැටෙන අගය හරියටම දන්නේ නැතත් වැටෙන්න ඉඩ තිබෙන අගයයන් හා සම්භාවිතාවන් අපි හරියටම දන්නවා. ඒ එක් එක් අවස්ථාව හා අදාළ දිනුම් මුදලත් හරියටම දන්නවා. අපි හිතමු රුපියල් 20ක් වැඩි ඇල්ලුවා කියලා.

      (අගය) (සම්භාවිතාව) (දිනුම් මුදල)
      (1-3) (0.5) (0)
      (4-6) (0.5) (40)

      දැන් අපේක්ෂිත අගය = 0.5 x 0 + 0.5 x 40 = 20 බව අපි දන්නවා. මෙහි විශේෂ වාසියක් හෝ අවාසියක් නැහැ.

      නමුත්, එන්නත් හදන පරීක්ෂණ අවස්ථාවකදී අපි මේ සම්භාවිතා අගයයන් හෝ දිනුම් මුදල් හරියටම දන්නේ නැහැ. ඒවාත් අවිනිශ්චිතයි. ඒ නිසා තවත් පියවරක් පස්සට යන්න වෙනවා. පූර්ව සායනික පරීක්ෂණ අවදියේ ඉඳලා විග්‍රහ කරන්න ගියොත් රුක් සටහනක් වගේ එකක් අඳින්න වෙනවා. අපි දෙවන අදියරේ වගේ ඉඳලා පටන් ගනිමු.

      දැන් තිබෙන්නේ තව අදියර දෙකයි. තෙවන අදියර හා අනුමැතිය. අපි හිතමු තෙවන අදියර සාර්ථකනම් අනුමැතිය ලැබෙන එක ගැන සැකයක් නැහැ කියලා. දැන් ප්‍රශ්නය වන්නේ දෙවන අදියරේ ප්‍රතිඵල අනුව තෙවන අදියර සාර්ථක වෙන්න තිබෙන සම්භාවිතාව කුමක්ද? අසාර්ථක වෙන්න තිබෙන සම්භාවිතාව කුමක්ද? මේ සම්භාවිතාත් කිසියම් ක්‍රමයකින් ඇස්තමේන්තු කළ යුතුයි.

      තෙවන අදියර සාර්ථක වී අනුමැතිය ලැබුණා කියමු. ලැබෙන වාසිය තීරණය වන්නේ හිමි වන වෙළඳපොළ ඉල්ලුම මතයි. එය තීරණය වෙන්නේ වෙළඳපොළ තරඟය මත. තවත් නිෂ්පාදකයින් එන්නත් හදන නිසා තරඟයක් තිබෙනවා. කලින්ම ගිවිසුම් අත්සන් කිරීමේ වාසිය මේ අවදානම නැති වීමයි.

      ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරු හොයන්න දෙවන අදියරේ සිට ආපස්සට යන්න වෙනවා.

      පළමු අදියරේ ප්‍රතිඵල අනුව දෙවන අදියර සාර්ථක වෙන්න තිබෙන සම්භාවිතාව කුමක්ද?

      පූර්ව සායනික අදියරේ ප්‍රතිඵල අනුව පළමු අදියර සාර්ථක වෙන්න තිබෙන සම්භාවිතාව කුමක්ද?

      මේ වගේ දෙයක් විශ්ලේෂණය කරන එක ඉතාම අසීරුයි. ඒ නිසා, විවිධ සමාගම් එකම තත්ත්වයන් යටතේ වුවත් එකම විදිහට තීරණ ගන්නේ නැහැ.

      Delete
  7. //පූර්ව සායනික පරීක්ෂණ අවදියේ ඉඳලා විග්‍රහ කරන්න ගියොත් රුක් සටහනක් වගේ එකක් අඳින්න වෙනවා//

    මෙ කියන්නෙ පුර්න සායනික අවදිය සාර්ථක වීම අසාර්ථක වීම, පූර්න සායනික අවදිය සාර්ථක වී දෙවන අවදිය සාර්ථක වීම අසාර්ථක වීම,
    පූ.සා.අ. අසාර්ථක වී දෙවන අවදිය සාර්ථක වීම .... ලෙස යන රුක් සටහන්ක් නේද ??

    2.සායනික අවදිය සාර්ථක වීමේ හා දෙවන අදීරය සාර්ථක වීම , දෙවන අදීරය සාර්ථක වීම හා තෙවන අදීරය සාර්ථක වීමේ ව්‍යාප්තිය ගැන අධ්‍යනයට joint probability distribution එකක් යොදා ගන්න පුලුවන් නේද ??

    ReplyDelete
  8. මේ පර්යේෂණ කටයුතු සඵලවී රෝ බිය තුරන් වේවා!

    ReplyDelete
  9. සාමාන්‍ය ජනතාවට මේ රෝග තත්වය ගැන ඇති දැනුම මදි. ප්‍රවේසම් වීම, mask දැමීම ,අත් සේදීම 'විගඩමක්' ලෙස සිතන බව ඊයේ fb එකේ පොස්ට් දැක්ක. එහෙම වුණොත් ගුවන් තොටුපොළ ඇරියම නැවත රෝගය පැතිරෙන්න ඉඩ තියෙනවා. එන්නතක් එනකම් ප්‍රවේසම් විය යුතු බව තව දැනුවත් කළ යුතු වෙනවා. අනික් අතට රෝගය සුවවූ පසු ශරීරයේ ප්‍රතිදේහ පැවතීම අඩු නම් එන්නත ගැන ඇති විශ්වාසයත් ලොකුවට තියන්න බැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. රෝගය සුව වීමෙන් පසුව ශරීරයේ හැදුනු ප්‍රතිදේහ ඉතා ඉක්මණින් ක්ෂය වී ගිහින් තියෙන්නේ නොදැනම වගේ රෝගය හැදී සුව වුනු හා රෝග ලක්ෂණ නොපෙන්වූ අයගේ. එන්නත සැලසුම් කර හදන එකක් නිසා එය ලබා ගත් පසු මාස ගණනකින් ප්‍රතිශක්තිය නැති වී යන්න හේතුවක් නැහැ. එහෙත් එන්නත ලබා ගත්තා කියා සදහටම ප්‍රතිශක්තිය ලැබෙන එකකුත් නැහැ. බොහෝ විට වසරකට වරක් එන්නතක් ගන්න වෙයි. එන්නත් වැඩ කිරීමේ මූලධර්මය සාමූහික ප්‍රතිශක්තියයි. 90%කට පමණ ප්‍රතිශක්තිය ඇති වුනොත් ඉතිරි 10%ත් රෝගයෙන් ආරක්ෂා වෙනවා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...