වෙබ් ලිපිනය:

Wednesday, June 3, 2020

අභ්‍යාවකාශයෙන් ආ සීනු හඬ


තරඟකාරී නිදහස් වෙළඳපොළක් ඇති විට කිසිදු තනි පාරිභෝගිකයෙකුට හෝ සැපයුම්කරුවෙකුට මිලට බලපෑම් කරන්න බැහැ.  ඒ වගේ වෙළඳපොලක විකිණෙන භාණ්ඩයේ හෝ සේවාවේ මිල එම භාණ්ඩය නිපදවීම සඳහා වැය වන ආන්තික පිරිවැයට සමානයි. ඒ කියන්නේ, ශ්‍රමය සඳහා හා ප්‍රාග්ධනය සඳහා ප්‍රතිලාභ මිස අමතර ලාභ නැහැ.

නිදහස් වෙළඳාමට ඉඩ ලැබුණා කියලා හැම වෙළඳපොළක්ම තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. විවිධ හේතු නිසා  ස්වභාවිකවම ඒකාධිකාර ගොඩ නැගෙන අවස්ථා තිබෙන්න පුළුවන්. කතිපයාධිකර ඊට වඩා සුලභව දකින්න ලැබෙනවා. බොහෝ වෙළඳපොළවල් වල ප්‍රධාන සමාගම් හතර පහකට නැත්නම් හත අටකට වඩා නැති බව පෙනෙන්නට තිබෙන කරුණක්. මේ වගේ වෙළඳපොලක වුවත් ලාභ අවසාන වශයෙන් බෙදී යන්නේ ප්‍රාග්ධනය යෙදවූ අය හා ශ්‍රමය යෙදවූ අය අතරයි.

හැම දෙනෙකුටම ජීවිතය ආරම්භ කරද්දී ප්‍රාග්ධනයක් උරුමයෙන් ලැබෙන්නේ නැහැ. එවැනි අයෙකුට මුල් කාලයේදී තමන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ මිසක් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත්, ශ්‍රමයේ ප්‍රතිලාභ සියල්ල පරිභෝජනය කර අවසන් නොකර යම් කොටසක් ආයෝජනය කිරීමෙන් කාලයක් යද්දී ඕනෑම කෙනෙකුට ප්‍රාග්ධන සංචිතයක් ගොඩ නඟා ගන්න පුළුවන්.

කොටස් වෙළඳපොළ කියන්නේ පුද්ගලයෙකුට තමන්ගේ ප්‍රාග්ධනය ආයෝජනය කරන්න හොඳ තැනක්. කොටස් වෙළඳපොළ සංකල්පයේ අපූර්වත්වය වන්නේ කිසියම් සමාගමක් විසින් අධික ලාභ උපයනවා කියා හිතන කෙනෙකුට ඒ ගැන දුක් වෙනවා හෝ පැමිණිලි කරනවා වෙනුවට අදාළ සමාගමේ කොටස් හිමියෙකු වී ඒ ලාබ වල කොටස්කරුවෙකු වෙන්න අවස්ථාව මේ හරහා ලැබෙන එකයි.

වෙනත් ඕනෑම අයෙකුටත් ඇමසන්, මයික්‍රෝසොෆ්ට් හා ෆේස්බුක් වැනි සමාගමක කොටස් මිල දී ගන්න බාධාවක් නැහැ. කැමතිනම් ගොඩක් ලාබ උපයනවා කියා සමහර අය කියන මොන්සැන්ටෝ වගේ සමාගමක කොටස් වුවත් මිල දී ගන්න පුළුවන්. නියම ජනසතු කිරීමක් කියා කිව හැක්කේ සමාගමක් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කිරීමටයි. ජනසතු කිරීමේ නාමයෙන් සමාගමක් රජය සතු කළ විට සිදුවන්නේ එය ටික දෙනෙකුගේ බූදලයක් බවට පත් වීම බව පෙන්වන්න දෘශ්‍යමාන උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

වෙනත් ඕනෑම අයෙකුට මේ කොටස් මිල දී ගන්න බාධාවක් නැහැ. නියම ජනසතු කිරීමක් කියා කිව හැක්කේ සමාගමක් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කිරීමටයි. ජනසතු කිරීමේ නාමයෙන් සමාගමක් රජය සතු කළ විට සිදුවන්නේ එය ටික දෙනෙකුගේ බූදලයක් වීම බව පෙන්වන්න උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

කොටස් වෙළඳපොළක් කියා කියන්නේ සමාගම් වල කොටස් ගනුදෙනු වන තැනක්. ලෝකයේ ලොකුම කොටස් වෙළඳපොළ නිවුයෝර්ක් කොටස් වෙළඳපොළයි. එහි ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් වල වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 25කට වඩා වැඩියි. ඒ කියන්නේ ඇමරිකාවේ ජාතික ආදායමටත් වඩා වැඩියි. නිවුයෝර්ක් කොටස් වෙළඳපොළ ආරම්භ වී වසර දෙසීයකටත් වඩා වැඩියි.

වසර පණහකට ආසන්න ඉතිහාසයක් තිබෙන නැස්ඩෑක් කොටස් වෙළඳපොළ ලෝකයේ දෙවන විශාලතම කොටස් වෙළඳපොළයි. ඇමසන්, මයික්‍රෝසොෆ්ට් හා ෆේස්බුක් වැනි තාක්ෂණික අංශයේ සමාගම් බොහොමයක් ලැයිස්තුගත කර තිබෙන්නේ නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ.

නිවුයෝර්ක් කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ වීම හා අවසන් වීම සංඥා කරමින් සීනුවක් නාද කිරීම සියවස් එකහමාරක් පමණ සිට සිදුවන දෙයක්. මේ සීනුව නාද කිරීමේ කටයුත්ත පසුකාලිනව කිසියම් නම්බුකාර වැඩක් බවට පත් වී තිබෙනවා. උදාහරණයක් ලෙස ලැයිස්තුගත සමාගමක ස්වර්ණ ජයන්තිය වැනි විශේෂ සැමරුම් අවස්ථාවකදී කොටස් වෙළඳපොළ සීනුව හඬවා එම අවස්ථාව සැමරීමට අදාළ සමාගමේ ප්‍රධානියෙකුට අවස්ථාව ලැබෙනවා. නැස්ඩෑක් කොටස් වෙළඳපොළ හා කොළඹ කොටස් වෙළඳපොල ඇතුළු ලෝකයේ වෙනත් කොටස් වෙළඳපොළවල් වලටද මේ චාරිත්‍රය පැතිරී තිබෙනවා.

සාමාන්‍යයෙන් මේ සීනු චාරිත්‍රය ඉටු කරන අය අදාළ ස්ථානයට පැමිණෙන නමුත් ඊයේ (ජූනි 2) උදේ නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ගනුදෙනු ආරම්භ කරමින් චාරිත්‍රානුකූල ලෙස සීනුව නාද කළ අය ඒ කටයුත්ත කළේ වෙනත් තැනක සිටයි. මේ වෙනත් තැන නිවුයෝර්ක් නගරයේ, ඇමරිකාවේ හෝ අඩු වශයෙන් පෘථිවිය මත පිහිටි තැනක් නෙමෙයි. සීනු හඬ ආවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි.

ස්පේස්-එක්ස් සමාගමේ කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ගිය ඓතිහාසික ගමන සමරමින් ගමනට සහභාගී වූ නාසා අභ්‍යාවකාශගාමීන් වන රොබර්ට් බැන්කන් හා ඩග්ලස් හර්ලිත්, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය භාරව සිටින ක්‍රිස් කැසීඩීත් එකතුව ඊයේ මේ චාරිත්‍රය ඉටු කළා. ඒ සඳහා උපයෝගී කර ගත්තේ මේ දවස් වල ගෙදර සිට වැඩ කරන ගොඩක් අයට පුරුදු සූම් මෘදුකාංගයයි.

සූම් මෘදුකාංගය නිපදවූ සූම් වීඩියෝ කමියුනිකේෂන්ස් සමාගමද නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක්. එම සමාගමේ කොටස් නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරමින් පොදු සමාගමක් බවට පත් වීම සමරමින් එහි ප්‍රධාන විධායක නිලධාරිනිය විසින්ද පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නැස්ඩෑක් සීනුව නාද කළා.

(Image: https://www.space.com/spacex-crew-dragon-astronauts-nasdaq-opening-bell.html)

10 comments:

  1. //මේ වගේ වෙළඳපොලක වුවත් ලාභ අවසාන වශයෙන් බෙදී යන්නේ ප්‍රාග්ධනය යෙදවූ අය හා ශ්‍රමය යෙදවූ අය අතරයි.//

    2 වැනි ඡේදය අවසාන වැකිය.

    ඉකොනෝ..ලාභය අවසාන වසයෙන් ප්‍රාග්ධන හිමිකාරීත්වය අතරේ බෙදී යන එක තාර්තික වුවත්, එය ශ්‍රමිකයන් අතර බෙදෙන එක පහදන්නේ කෙසේද?

    ශ්‍රමිකයාට හිමි වැටුප් හෝ වෙිතන පමණක් නේද?

    CP-C

    ReplyDelete
    Replies
    1. ආර්ථික විද්‍යාවට අනුව කිසියම් නිෂ්පාදනයක හෝ ව්‍යාපාරයක අගය එකතු කිරීම කියන්නේ නිමි භාණ්ඩ වල පිරිවැටුම හා ඒ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය වල වටිනාකම අතර වෙනසයි. මෙය තේරුම් ගන්න අපහසු නැතත් සම්පූර්ණ වීම පිණිස උදාහරණයක් අරගෙන ටිකක් විස්තර කරන්නම්.

      අපි හිතමු සිමෙන්ති, සක්ක ගල් හා වැලි යොදා හදන සිමෙන්ති බ්ලොක් ගල් ගැන. දැන් අමුද්‍රව්‍ය වල වියදම වන්නේ වැලි, ගල් හා සිමෙන්ති වල වියදමයි. අවසන් අගය හදපු බ්ලොක් ගල් වල වෙළඳපොළ වටිනාකමයි. අපි අවධානය යොමු කරන්නේ සිමෙන්ති බ්ලොක් ගල් හැදීමේ කර්මාන්තයට නිසා සිමෙන්ති, සක්ක ගල් හා වැලි වල මිලත් බ්ලොක් ගල් වල විකිණුම් මිලත් තරඟකාරී නිදහස් වෙළඳපොලක තීරණය වුනා කියා හිතමු.

      දැන් මේ කර්මාන්තයේ එකතු කළ අගය වෙන්නේ බ්ලොක් ගල් වල පිරිවැටුම (විකිණුම් මිල x ගල් ප්‍රමාණය) සහ අමුද්‍රව්‍ය වෙනුවෙන් ගෙවූ මිල අතර වෙනසයි. ජාතික ආදායම, දළ දේශීය නිෂ්පාදිතය ආදිය ඇස්තමේන්තු කරන්නේ විවිධ අංශ වල ඔය වගේ අගය එකතු කිරීම් එකට එකතු කරලා. මේ වෙනස එකතු වූ වටිනාකමයි. එහෙමත් නැත්නම් සිදු වූ ප්‍රයෝජනවත් කාර්යයයේ වටිනාකමයි. ආර්ථික ලාබය කියන්නෙත් මේ අගයටයි. (ගිණුම්කරන ලාබය ගිණුම්කරණ සම්මත අනුව වෙනස් වෙන නිසා මේ අගයම නොවෙන්න පුළුවන්).

      මේ වගේ නිෂ්පාදන කාර්යයකට නිෂ්පාදන සාධක වර්ග දෙකක් යොදා ගන්නවා. ශ්‍රමය හා ප්‍රාග්ධනය. මේ දෙක අමුද්‍රව්‍ය වලින් වෙනස් වෙන්නේ නිෂ්පාදන කාර්යය තුළ ක්ෂය වී අවසන් නොවන නිසා. මෙහිදී බ්ලොක් ගල් හදන යන්ත්‍රයක් හා අමුද්‍රව්‍ය මිල දී ගැනීමට (තාවකාලිකව) යට කළ මුදල ප්‍රාග්ධනය ලෙස සලකන්න පුළුවන්. නිෂ්පාදන කාර්යය සඳහා ශ්‍රමය හා ප්‍රාග්ධනය ලබා දීම නිෂ්පාදන සාධක කිසියම් කාලයකට කුලියට දීමක් කියා කියන්න පුළුවන්. ඒ සඳහා කුලියක් ලැබිය යුතුයි.

      ශ්‍රමය සඳහා කුලිය = වැටුප් හා වේතන
      ප්‍රාග්ධනය සඳහා කුලිය = පොලී හෝ ලාභාංශ

      ඉහත කී අතිරික්තය එහෙමත් නැත්නම් එකතු වූ අගය මේ නිෂ්පාදන සාධක ලබා දුන් අය අතර බෙදී යා යුතුයි. එහිදී ශ්‍රමය හෝ ප්‍රාග්ධනය යෙදවූයේ තමන් විසින්ද වෙනත් අයෙක් විසින්ද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. තරඟකාරී වෙළඳපොළකදී ශ්‍රමය හා ප්‍රාග්ධනය යොදවන අයට ලැබෙන්නේ යෙදවූ නිෂ්පාදන සාධක වල ආවස්ථික පිරිවැයට සමාන මුදලක් පමණයි.

      මම මගේ මුදල් මගේම ව්‍යාපාරයකට යෙදෙවුවොත් මට ලැබෙන ලාබය ඒ සල්ලි සමාන අවදානමක් ඇති වෙනත් ආයෝජනයක යොදවා ලැබිය හැකි මුදලට සමානයි. මම මගේ ව්‍යාපාරයේ වැඩ කළොත් මට ලැබෙන්නේ වෙනත් තැනක සේවය කර ඉපැයිය හැකි මුදලටම සමාන මුදලක්. වෙනත් අයෙකු සේවයේ යෙදවුවහොත් එම සේවකයාගේ ශ්‍රමයේ කුලිය ඔහුට හෝ ඇයට යනවා. වෙනත් අයෙකුගේ ප්‍රාග්ධනය ලබා ගත්තොත් එහි කුලිය ගෙවන්න වෙනවා. අවසානයේදී අමතර ලාබයක් ඉතිරි වෙන්නේ නැහැ.

      ඒකාධිකාර ඇති විට මීට වඩා වැඩි සුපිරි ලාබ ගන්න පුළුවන්. එය ශ්‍රමයේ හිමිකරුවන්ට හෝ ප්‍රාග්ධනයේ හිමිකරුවන්ට ලැබෙන්න පුළුවන්.

      Delete
    2. තවත් විස්තර මෙහි තිබෙනවා.

      http://emgesathapaha.blogspot.com/2016/06/blog-post.html

      http://emgesathapaha.blogspot.com/2016/06/blog-post_28.html

      Delete
    3. ශ්‍රමය සඳහා කුලිය = වැටුප් හා වේතන + පාරිතෝෂික + වෛද්‍ය රක්ෂණ + ආදී සියලුම ප්‍රතිලාභ

      Delete
  2. ඉකොනෝ,

    1. ප්‍රාග්ධනය සමුච්ඡකරණය යනු ප්‍රාග්ධන හිමියා විසින් කමිකරුවා හට ඔහුගේ/ඇයගේ වැටුප/වේතනය ලෙස නොගෙවා සිටි කොටස ලෙස සම්භාව්‍ය මාක්ස්-ලෙනින්වාදය තුල කරන අර්ථ දැක්වීම , ප්‍රාග්ධනයේ විශ්වීය අර්ථකථනය සමඟ නොගැලපේද?

    2. පැය 8 වැඩ දිනයකදී කම්කරුවා විසින් ප්‍රාග්ධන හිමියා වෙත ලබා දෙන ලාභයේ මූර්ත අගය පැය 8 කාලයකට පෙර කම්කරුවා ලබා දෙන නිසා, වැඩ කරන ඉතිරි කාලය කම්කරුවා ප්‍රාග්ධන හිමියාට නොමිලයේ වැඩ කර දෙයි. (එම නිසා කම්කරුවාගේ ශ්‍රමය කොල්ලකෑමක්/සූරා කෑමක් ලෙසට එය හැඳින්වෙයි.)

    මාක්ස්-ලෙනින්වාදය ප්‍රබල ලෙස හුවා දක්වන මේ තර්කයට සම්භාව්‍ය ධනේශ්වර ආර්ථික විද්‍යාවේ ප්‍රති තර්කය කුමක්ද?

    CP-C

    ReplyDelete
    Replies
    1. පහසුවෙන් පැහැදිලි කළ හැකියි.

      නිෂ්පාදනයේදී එකතු වූ අගය = නිමි භාණ්ඩ වල පිරිවැටුම - ඒ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය වල වටිනාකම = අලුතින් නිර්මාණය වූ වටිනාකම = A කියා කියමු. මේ දක්වා කරුණු වල මාක්ස්වාදයේ කියා වෙනසක් නැහැ.

      මාක්ස්වාදය වෙනස් වෙන්නේ මේ A කියන මුදල බෙදී යා යුත්තේ කෙසේද කියන කරුණ මතයි.

      මුලින්ම බලමු තරඟකාරී නිදහස් වෙළඳපොළක මේ මුදල බෙදී යන්නේ කොහොමද කියලා.

      A = B + C

      B = යෙදවූ ශ්‍රමය සඳහා ප්‍රතිලාභ = යෙදවූ ශ්‍රමයේ නියම වටිනාකම = වැටුප් අනුපාතය (w) * යෙදවූ ශ්‍රම ඒකක ගණන (L)
      C = යෙදවූ ප්‍රාග්ධනය සඳහා ප්‍රතිලාභ = යෙදවූ ප්‍රාග්ධනයේ නියම වටිනාකම = ලාභාංශ අනුපාතය (r) * යෙදවූ ප්‍රාග්ධන ඒකක ගණන (K)

      A = B + C = wL + rK

      යෙදවූ ශ්‍රමයේ නියම වටිනාකම කුමක්ද?

      w = A - A1

      A = ශ්‍රම ඒකක L සහ ප්‍රාග්ධනය ඒකක K යොදවා පවතින තාක්ෂණය යොදා ගෙන අලුතින් නිර්මාණය කළ හැකි වටිනාකම
      A1 = ශ්‍රම ඒකක L-1 සහ ප්‍රාග්ධනය ඒකක K යොදවා පවතින තාක්ෂණය යොදා ගෙන අලුතින් නිර්මාණය කළ හැකි වටිනාකම (වඩා නිවැරදිවනම් w = dA/dL)

      අවසන් ශ්‍රම ඒකකය නොතිබුණානම් එකතුවන අගය A - w මිස A වන්නේ නැත. ඒ නිසා, w යනු අවසන් ශ්‍රම ඒකකය එකතු කර ගැනීම නිසා වැඩි වූ වටිනාකමයි. එය එම ශ්‍රම ඒකකයේ හිමිකරුගේ අයිතියකි.

      යෙදවූ ප්‍රාරග්ධනයේ නියම වටිනාකම කුමක්ද?

      r = A - A2

      A = ශ්‍රම ඒකක L සහ ප්‍රාග්ධනය ඒකක K යොදවා පවතින තාක්ෂණය යොදා ගෙන අලුතින් නිර්මාණය කළ හැකි වටිනාකම
      A2 = ශ්‍රම ඒකක L සහ ප්‍රාග්ධනය ඒකක K-1 යොදවා පවතින තාක්ෂණය යොදා ගෙන අලුතින් නිර්මාණය කළ හැකි වටිනාකම (වඩා නිවැරදිවනම් r = dA/dK)

      අවසන් ප්‍රාග්ධන ඒකකය නොතිබුණානම් එකතුවන අගය A - r මිස A වන්නේ නැත. ඒ නිසා, r යනු අවසන් ප්‍රාග්ධන ඒකකය එකතු කර ගැනීම නිසා වැඩි වූ වටිනාකමයි. එය එම ප්‍රාග්ධන ඒකකයේ හිමිකරුගේ අයිතියකි.

      ප්‍රාග්ධනය එක් රැස් වෙන ආකාරය බලමු.

      ආදායම = wl + rk

      මෙහි l හා k යනු කිසියම් පුද්ගලයෙකු විසින් සැපයූ ශ්‍රමය හා ප්‍රාග්ධනයයි. මෙම අගයන්ගෙන් එකක් ශුන්‍ය විය හැකිය.

      වියදම = පරිභෝජනය

      ලැබෙන ආදායම පරිභෝජනය කර අවසන් කරන කෙනෙකු සතුව ප්‍රාග්ධනය එකතු නොවේ. පරිභෝජනය සීමා කරන අයෙකු සතුව ප්‍රාග්ධනය ක්‍රමයෙන් එක්රැස් වේ. අනාගත ආදායම් වැඩි වේ. ආදායමට වඩා වියදම් කරන කෙනෙකුගේ තිබෙන ප්‍රාග්ධනය ක්‍රමයෙන් ක්ෂය වී අනාගත ආදායම් අඩු වෙයි.

      මාක්ස්වාදී විග්‍රහය:

      යෙදවූ ප්‍රාග්ධනය සඳහා ප්‍රතිලාභ ලෙස කිසිවක් හිමි විය යුතු නැත. එසේ හිමි වීම නිදහස් වෙළඳපොළ ක්‍රමයේ වැරැද්දකි. ඒ නිසා C = 0 විය යුතුය. A යන මුදල සම්පූර්ණයෙන්ම ශ්‍රමිකයාට හිමි විය යුතුය. පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් කරගැනීම වැරැද්දක් නිසා උපයන ආදායම පරිභෝජනය කර අවසන් කළ යුතුය.

      ශ්‍රමිකයාට හිමි වන මුදල = B
      ශ්‍රමිකයාට හිමි විය යුතු මුදල = A = B + C
      ඒ නිසා C යන මුදල ප්‍රාග්ධන හිමියා විසින් අසාධාරණ ලෙස සූරා කන මුදලකි. එම මුදලද ශ්‍රමිකයාටම හිමි විය යුතුය.

      කෙසේ වුවද, නිෂ්පාදනයක් සිදු වීමට කවුරු හෝ ප්‍රාග්ධනය සැපයිය යුතුයි. සමාජවාදී විප්ලවයක් ආරම්භයේදී තමන්ගේ පරිභෝජනය සීමා කර ප්‍රාග්ධනය එකතු කර ගෙන සිටින අයගේ සම්පත් කොල්ල කෑමට හැකි වුවත් එම සම්පත් ක්‍රමයෙන් ක්ෂය වී යන නිසා කාලයත් සමඟ නිෂ්පාදනය පවතින මට්ටමේ පවත්වා ගැනීමට හෝ වැඩි කර ගැනීමට අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනය අවශ්‍ය වේ. ඒ නිසා, A වලින් කොටසක් කොහොමටත් ඉවත් කර ගැනීමට සිදු වේ. ඒ ප්‍රමාණය D කියා කියමු.

      D < C නම් ශ්‍රමිකයාට ආරම්භයේදී වැඩි වැටුපක් ලැබෙන්නට ඉඩ තිබේ. එහෙත්, නිදහස් වෙළඳපොලක මෙන් ප්‍රශස්ත මට්ටමට ප්‍රාග්ධනය නැවත ආයෝජනය නොකෙරෙන නිසා ප්‍රාග්ධනය ක්‍රමයෙන් ක්ෂය වී කාලයක් යද්දී A පහළ යයි. අවසානයේදී ශ්‍රමිකයාගේ ජීවන තත්ත්වයද පහළ බසී. මෙය දැනෙන මට්ටමකට එන්නට වසර තිහ හතළිහක් යන්නට පුළුවන. සෝවියට් දේශය වැනි රටවල සිදු වුනේ එයයි.

      D > C නම් ආයෝජන ප්‍රශස්ත මට්ටමට වඩා වැඩියෙන් සිදු වේ. එහෙත් ශ්‍රමිකයාට නිදහස් වෙළඳපොලක ලැබෙන වැටුප හිමි නොවේ. චීනයේ සමාජවාදය මෙවැන්නකි. මේ ක්‍රමයට කිසියම් කාලයක් (වසර 20-30ක් වැනි) වේගවත් ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකිය. එහෙත් කල් යාමේදී ඒ වාසිය ක්‍රමයෙන් නැති වී යයි.

      D = C නම් නිදහස් වෙළඳපොලක සිදුවන දෙයට වඩා වෙනසක් නැත. එහෙත්, රජය විසින් එකතු කර ගන්නා මුදලින් රජය නඩත්තු කිරීම සඳහාද විශාල මුදලක් වැය කළ යුතු නිසා නිදහස් වෙළඳපොලකට සාපේක්ෂව එක්කෝ ශ්‍රමිකයාගේ වැටුප් අඩු වේ. නැත්නම් ආයෝජන අඩු වේ. මේ රජය නඩත්තු කිරීමේ වියදම් ඉහත තත්වයන් දෙකේදීද තිබේ. ඒ නිසා, තත්ත්වය ඉහත විස්තර කළාටද වඩා නරකය.

      Delete
    2. D > C නම් ආයෝජන ප්‍රශස්ත මට්ටමට වඩා වැඩියෙන් සිදු වේ. එහෙත් ශ්‍රමිකයාට නිදහස් වෙළඳපොලක ලැබෙන වැටුප හිමි නොවේ. චීනයේ සමාජවාදය මෙවැන්නකි. මේ ක්‍රමයට කිසියම් කාලයක් (වසර 20-30ක් වැනි) වේගවත් ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකිය. එහෙත් කල් යාමේදී ඒ වාසිය ක්‍රමයෙන් නැති වී යයි.

      මෙහෙම වෙන්නේ කොහොමද?
      චීන්නු වේ වනවිට කෘතිම බුද්ධීය යොදාගෙන රාජ්‍ය කාර්යක්ෂම කිරීමට තැත්කරයි. පරිගණක තාක්ෂණය දියුණු වුනානම් සෝිවිට් දේශයවුනත් තවකල් පවතින්න තිබුනා.

      Delete
    3. හොඳ ප්‍රශ්නයක්!

      මේ ප්‍රශ්නයට පිළිතුර උඩ ලියලා නැහැ.

      Y - මුළු රටේම ආදායම
      a - එයින් ආයෝජනය කරන ප්‍රතිශතය
      ඒ නිසා, මුළු ආයෝජන = aY
      K - මුළු රටේම ප්‍රාග්ධන සංචිතය

      නමුත්, ප්‍රාග්ධනය ස්වභාවික ලෙසම ක්ෂය වේ. උදාහරණ ගොඩනැගිල්ලක් හෝ පාරක් වසර 30කින් පමණ. පරිගණකයක් වසර 3-5 කින් පමණ. ඒ නිසා, ප්‍රාග්ධන සංචිතය තිබෙන මට්ටමේම පවත්වා ගැනීමටනම් එසේ ක්ෂය වන ප්‍රාග්ධනය වාර්ෂිකව ප්‍රතිස්ථාපනය කළ යුතුයි.

      b - වසරකට ක්ෂය වන ප්‍රතිශතය
      bK - වසරකට ක්ෂය වන ප්‍රාග්ධනය

      සමතුලිත තත්ත්වය: aY= bK
      ඒ නිසා, K = (a/b)Y මට්ටමේ ස්ථාවරව පවතී. Y ඉහළ යාමට අනුරූපව K ඉහළ යනු මිස K/Y අනුපාතය වෙනස් නොවේ.

      මෙහි b ස්වභාවික දෙයක් නිසා එතරම් වෙනස් නොවේ. ධනවාදී රටක a මිනිසුන්ගේ කැමැත්ත අනුව තීරණය වේ. සමාජවාදී රටක එය රජය විසින් අඩු වැඩි කරයි. (මෙහිදී හැම රටක්ම අඩු වැඩි වශයෙන් සමාජවාදීය)

      රජය මැදිහත් වී a වැඩි කළ විට වත්මන් පරම්පරාවේ ජීවන තත්ත්වය පහළ යන නමුත් K = (a/b)Y නිසා K ඉහළ ගොස් Y ඉහළ යයි. ඒ නිසා, තාවකාලිකව ආර්ථික වර්ධනය වේගවත් වෙයි. එහෙත්, K ඉහළ යන විට bK ද ඉහළ යන නිසා වසරකට ක්ෂය වන ප්‍රාග්ධනයද ඉහළ යයි. ඒ නිසා, K ඉහළ දැමු මට්ටමේම තියා ගැනීමට සෑම වසරකම වැඩි වැඩියෙන් ආයෝජන කළ යුතු වුවත් ඊට අනුරූපව K වැඩි නොවේ. ආර්ථික වර්ධනය ක්‍රමයෙන් අඩු වේ. K/Y අනුපාතය වැඩි වී ස්ථාවර වේ. එය එම මට්ටමේ තියා ගැනීම සඳහා සෑම වසරකටම දිගින් දිගටම පෙර මෙන්ම ආයෝජන කළ යුතු වුවත් ඒ හේතුව නිසා ආර්ථික වර්ධනය වැඩි නොවේ. එහෙත් ආයෝජන අඩු කළහොත් ආර්ථිකය එක වර කඩා වැඩේ. මේ විදිහට දිගින් දිගටම ආර්ථික වර්ධනය පවත්වා ගැනීමටනම් a දිගින් දිගටම වැඩි කළ යුතුය. එහෙත්, a යනු ප්‍රතිශතයක් නිසා සෛද්ධාන්තිකවම එය කළ නොහැක.

      (මෙයත් උඩ ලියා ඇත්තේත් පුළුවන් තරම් සරලව කළ පැහැදිලි කිරීම් මිස සම්පූර්ණ පැහැදිලි කිරීම් නොවේ.)

      Delete
  3. Tattayekge Tatte uda tiyala bittara badina heti!

    Tattayek set karaganin- full tattayek.
    Pol tel tikak wak karapan tatte uda.
    Bittara 2k daapan tatte uda.
    Tattaya awwata geniyahan!

    ReplyDelete
  4. මදක් ගිමන් හැර

    ඇමරිකාව දෙස බලන්න....

    ජෝකර් සිනමාපටය පැවසූ පරිදිම

    කෘතිම ශික්ෂණයන්,
    පරායත්ත එකඟතාවයන් ,
    මවාපෑ ශිෂ්ඨත්වයන් ,
    මානව අයිතීන්ගේ සම්මුතීන්

    නොවේද ඇවිල යන්නේ....

    හිස් ලූ අත දිවෙන්නේ දැවෙන කෲරත්වයම නොවේද ?

    අන්තවාදී නූතනත්වයේ හිස් බවත් එයට එරෙහිව නගින සමාජවාදී අන්තගාමීත්වයේ සාහසිකත්වයත්

    නොදැවුණු ගිණි පුලිගුම නොවෙද උනුන් සිය රෙද්දෙන් වසාගත්...

    අරගලය මුවාවෙන් අනුන්ගේ කඩ කඩා

    බ්‍රෑන්ඩඩ් ජංගි - බ්‍රෙසියර්

    තොග පිටින් අරං දුවනා

    අදින්නාදානය ජස්ටිෆයි කරනා...

    මාර දූවරු පරදනා

    ෆෙමිනිස්ට් ගෑනු සිටිනා...

    මේ වහින්නේ කල්පාවසාන වැස්සේ හිරිකඩද?

    එකිනෙකා මරා ගන්නා,
    ලේ පිපාසිතව දුවනා
    කට දෙපැත්තෙන් ලේ වැගිරෙනා
    මිනීමස් නැත තවම බුදිනා..

    ඉතිං මේ වගේ ලෝකෙක

    හෙලිකොප්ටරේකින් පිරිත් පැන් ඉසින එක මහා ලොකු වරදක්ද ?

    බෝධියක් ලඟට වී දුක කියන එක වරදක්ද?

    ආපහු නැවතිලා

    ලංකාව දෙස බලන්න...

    ඇස් කාච Zoom කර...

    රුවන්වැලි සෑය දෙස බලන්න...

    මේ තමයි තැන....

    නිවෙන්න !

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...