පෙනෙන නොපෙනෙන වියුණුව ලියන නදීර විසින් පසුගිය කාලය මුළුල්ලේ මානව සංහතිය විසින් අත් කරගෙන තිබෙන ප්‍රගතිය ගැන හා නැවත අතීතයට යාමට කතා කිරීමේ විහිළුව ගැන අවධානය යොමු කරමින් ලිපියක් පළ කර තිබුණා. ලිපියට සබැඳියක් පහත තිබෙනවා.
විඥාන විප්ලවයක් කරගැනීමට නොහැකි වූ අපි - ඉස්සර කාලේද හොඳම?
ඉහත ලිපියේ නදීර මෙසේ සඳහන් කරනවා.
"දල වශයෙන් මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලය පහුගිය අවුරුදු 150 ඇතුලත දෙගුණ වුණා. මේකට හේතුව විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම."
මේ බව පෙන්වා දෙන්න ඔහු ලෝකයේ විවිධ කලාප වල ආයු අපේක්ෂාව පසුගිය කාලයේ වෙනස් වූ ආකාරය පිළිබඳව ප්‍රස්ථාරයක්ද උපුටා පළ කරනවා. ප්‍රස්ථාරය දෙස බැලූ විට ඔහු පෙන්වා දෙන කරුණ පැහැදිලිව පෙනෙනවා.
පහත තිබෙන්නේ ලංකාව හා අදාළව තත්ත්වයයි.
වසර සියයකට පමණ පෙර 1920-22 කාලයේදී ලංකාවේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 31.7ක් පමණයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ ලාංකිකයෙකුගේ ආයු අපේක්ෂාව පසුගිය වසර සියයකට නොවැඩි කාලය තුළ ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. 2011-13 වෙද්දී ලංකාවේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 75.3ක්. ලංකාව හා අදාළව ගත් විට වසර සියයක් ඇතුළත සාමාන්‍ය ආයු කාලය 2.5 ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මේ හා අදාළ ලිපියක් අජිත් පැරකුම් විසින්ද පළ කර තිබෙනවා.
ජනගහන වියපත් වීමේ ස්ත්‍රීකරණය යනු කුමක් ද?
අජිත් පැරකුම් විසින් පෙන්වා දෙන්නේ ලංකාවේ පිරිමින්ගේ ආයු අපේක්ෂාවට සාපේක්ෂව ගැහැණුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබීමයි. මෙය ඉහත වගුවෙන්ද පැහැදිලි වෙනවා.
1960 දශකය පමණ වන තුරු ලංකාවේ ගැහැණියකට උපතේදී අපේක්ෂා කළ හැකි වූයේ පිරිමියෙකුට වඩා අඩු ආයු කාලයක්. එහෙත් 1960 පමණ සිට මේ තත්ත්වය වේගයෙන් වෙනස් වුනා. එයට ප්‍රධානම හේතුවක් වුනේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය වේගයෙන් පහළ යාමයි. ඒ වගේම ළදරු මරණ අනුපාතය වේගයෙන් පහත වැටීම ගැහැණු පිරිමි දෙපාර්ශ්වයේම ආයු අපේක්ෂාව ඉහළ යාමට හේතු වුණා.
මේ කරුණු දෙකේ හා තවත් කරුණු වල සංයුක්ත ප්‍රතිඵලයක් ලෙස ලාංකිකයෙකුගේ ආයු අපේක්ෂාව පොදු වශයෙනුත්, ලාංකික ගැහැණියකගේ ආයු අපේක්ෂාව වඩා වැඩියෙනුත් ඉහළ ගොස් තිබෙනවා. 2011-2013 වන විට උපතේදී ලංකාවේ පිරිමියෙකුගේ ආයු අපේක්ෂාව වසර 72.0ක් වන අතර ගැහැණියකගේ ආයු අපේක්ෂාව වසර 78.6ක් වෙනවා.
උපතේදී ගැහැණියකගේ ආයු අපේක්ෂාව වසර 78.6ක් කියන එකෙන් අදහස් වෙන්නේ ඒ වයස වන විට ගැහැණු සියල්ල මිය යන බව නෙමෙයි. ඒ වයස වෙද්දී ගැහැණුන්ගෙන් 50%ක් මිය යන බවයි. ඉතිරි 50% වඩා වැඩි කලක් ජීවත් වෙනවා. ඒ නිසා, අජිත් පැරකුම්ගේ ලිපියේ තිබෙන (එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පැහැදිලි කිරීමක් ලෙස සඳහන්) පහත අවසන් වාක්‍යය නිවැරදි නැහැ.
“ශ්‍රී ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 79කි. පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 72කි. එයින් අදහස් වන පරිදි වයස අවුරුදු 60 සපිරෙන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියේ තවත් අවුරුදු 19ක් තිබියදී පිරිමින් ඉදිරියේ අවුරුදු 12ක කාලයක් තිබේ."
උපතේදී ආයු අපේක්ෂාව වසර 72ක් වූ පමණින් වයස අවුරුදු 60 සපිරෙන විට ආයු අපේක්ෂාව වසර 12ක් වන්නේ නැහැ. එයට හේතුව වසර 60ක් දක්වා ජීවත් වන්නේ වඩා නිරෝගී අය වීමයි. හරියටම නිවැරදි නැතත්, තේරුම් ගැනීමේ පහසුව සඳහා සරල ආකාරයකින් කිවුවොත් හැට පැන්නූ විට අපේක්ෂිත ආයු කාලයට බෝනස් එකක් එකතු වෙනවා. ඒ නිසා, වසර 60 දක්වා ජීවත් වන අයෙකුගේ ආයු අපේක්ෂාව ඔහුගේ හෝ ඇයගේ උපතේදී ආයු අපේක්ෂාවෙන් ඉතිරි වී ඇති කාලයට වඩා වැඩියි.
ජනවිකාශ දත්ත ඇසුරෙන් මේ කාලය නිශ්චිත ලෙස ගණනය කළ හැකියි. 2011-13 වන විට ලංකාවේ වයස 60ක ගැහැණියකගේ ආයු අපේක්ෂාව වසර 22.0ක් හා වයස 60ක පිරිමියෙකුගේ ආයු අපේක්ෂාව වසර 18.3ක්. ඒ කියන්නේ හැට පැනපු ගැහැණුන්ගෙන් අඩක් වසර 82.0ක් දක්වාත්, හැට පැනපු පිරිමින්ගෙන් අඩක් වසර 78.3ක් දක්වාත් ජීවත් වනවා කියන එකයි.
වසර 70ක් ජීවත් වුවහොත් අපේක්ෂිත ආයු කාලය තවත් දිගු වෙනවා. ජනවිකාශ ඇස්තමේන්තු අනුව, හැත්තෑව පැනපු ගැහැණුන්ගෙන් අඩක් වසර 83.9ක් දක්වාත්, හැත්තෑව පැනපු පිරිමින්ගෙන් අඩක් වසර 81.1ක් දක්වාත් ජීවත් වනවා.
මේ අනුව පෙනෙන්නේ වැඩි කලක් ජීවත් වෙද්දී ගැහැණු පිරිමි ආයු අපේක්ෂා පරතරය ක්‍රමයෙන් පටු වන බවයි. එයට හේතුවක් තිබෙනවා. අවදානම් කටයුතු වල වැඩිපුර නියැලීම නිසා තරුණ වයසේදී පිරිමි මරණ වැඩිපුර සිදු වුවත්, වයස්ගත වෙද්දී මේ ප්‍රවණතාවයේ බලපෑම තුනී වී යනවා.
විශේෂයෙන්ම ලංකාව හා අදාළව ගත් විට සිවිල් යුද්ධය නිසා ගැහැණුන්ට වඩා වැඩි පිරිමි ප්‍රමාණයක් තරුණ වයසෙන් මිය ගියා. ඒ නිසා, යුද්ධයේ බලපෑම වැඩිපුර තිබුණු දිස්ත්‍රික්ක වල ගැහැණු පිරිමි ආයු අපේක්ෂා පරතරය බොහෝ වැඩි බව කැපී පෙනෙනවා. යුද්ධය හේතුවෙන් තරුණයින් මියයාම අඩුවෙන් සිදු වූ කොළඹ හා නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල ගැහැණු හා පිරිමි අතර ආයු අපේක්ෂා පරතරය සාපේක්ෂව අඩුයි.
ජනගහන අරමුදලේ පැහැදිලි කිරීමේ නිවැරදි නොවන අතිශයෝක්තියක් තිබුණත්, ජනගහන වියපත් වීමේ ස්ත්‍රීකරණය සැබෑවක් හා අවධානය යොමු විය යුතු කරුණක්.
Tuesday, July 9, 2019
හැට පැන්නම හොට බිමද?
Labels:
ආකල්ප,
ජනවිකාශ විද්‍යාව,
සංඛ්‍යාලේඛණ
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
මේ කතා කරන ආයු අපේක්‍ෂාව යන සිංහල වචනය ම බොරුවක්. ඒ ආචාර්‍ය නලින් ද සිල්වා ගේ අර්ථ කථනය අනුව ම නොවෙයි. ඔය කතා කරන කරුණට වෙන වචනයක් සාදා ගත යුතුයි. ජගත් පතිරණ නිතර පෙන්වා දෙන අයුරින්, බටහිර චින්තනයේ ආයු අපේක්‍ෂාව හා සිංහලයින්ගේ ආයු අපේක්‍ෂාව දෙකක් මිස එකක් නොවෙයි. සිංහලයින්ට උපතේදී ආයු අපේක්‍ෂාවක් ඇත්තේම නැති තරම්. ඇත්නම් ඇත්තේ කුක්කු අපේක්‍ෂාවක්.
ReplyDeleteනමුත් වැඩිහිටි සිංහලයින්ට ආයු අපේක්ෂාව අවුරුදු අසූවක්, සීයක් පමණ. මේ වයස එළඹීමට පෙර සමහරුන් මැරී යාම වෙනම කතාවක්. මා මේ කියන්නේ ලංකාව නිදහස ලබන සමයේ 1940 හා 1950 ගණන් වල වැඩිහිටියන් ගැන. ඊට පසු 1970 ගණන් වල අය ගත්තොත් ආයු අපේක්‍ෂාව 70 පමණ. සිංහල අර්ථයෙන් සිදු වී තිබෙන්නේ ආයු අපේක්‍ෂාව අඩු වීමක්. 1980 ගණන් වන 1990 ගණන් වල උපන් හාදයන් (නව පරපුර) අවුරුදු 60 වත් ජීවත් වීමේ අපේක්‍ෂාවක් පෙන්වන්නේ නෑ.
මීට හේතුව සීඝ්‍ර බටහිරකරණය. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඊනියා ප්‍රාතිහාර්‍ය ගැන ප්‍රසස්ති ප්‍රබන්ධ කිරීමට පෙර බටහිර ක්‍රමය විසින් අප සමාජය සමස්ථයක් වශයෙන් රෝගීන් බවට පත් කර තිබීම ගැන සංවාදයක් ඇති කළ යුතුව තිබේ.
මේ හා අදාළව විස්තරාත්මක ප්‍රතිචාරයක් වෙනම ලිපියක් සේ දමන්නම්!
Deleteමහත්තයා වැඩ කරන්නේ ජනගහන අරමුදලේද?
ReplyDeleteසීයලාගේ කාලයේ මිනිසුන් දැනට වඩා දිගු කාලයක් ජීවත්වුනයි කියන මිත්‍යාව ඇති වුනේ කොහොමද?
ReplyDeleteඔය කතාව කිව්වට ඇත්තෙන්ම හොයල බැලුවහම කියවෙනවා උණෙන් (මැලේරියා, ඉන්ෆ්ලුවෙන්සා, ආදී),වසූරියෙන්, යකා ගැහීමෙන් (stroke, heart attack, Kidney failure) ක්ෂය රෝගයෙන්, ලාදුරුවලින් ආදී නොයෙකුත් රෝගවලින් හුඟක් අය තරුණ වයසේදී මියගියයි කියලා.
මං දන්න හුඟක් අයගේ සීයාගේ පියා අඩු වයසෙන් මිය ගිය නිසා පවුලට වුන අඩුපාඩු ගැන, ගැහැණු අය දරු උපතේදී මියයාම නිසා දෙවනි කසාද, පවුලේ ලමයි එකක් හෝ දෙකක් ලදරුවයසේදී මියයාම ගැන කතා තියනවා. ඒත් කියන්නන් වාලේ ඉස්සර මිනිස්සු දිගු කාලයක් ජීවත් වුනයි කියනවා. ඇයි? මට හිතෙන්නෙ දැන් ජනගහණය විශාල නිසා අපිට මරණ හුඟක් ගැන අහන්න ලැබෙන්න නිසාවෙන්න ඇති.
මට පේන විදිහට දැන් වැඩිවෙලා තියෙන්නෙ පිලිකා මරණ තමයි. අනිත් ඒවා බේත් සර්ජරි හා විවිධ ක්‍රමවලින් මැඩ පවත්වාගෙන ජීවිතය කොහොම හරි ඇදගෙන යනව 70-80 වෙනකම් කොලිටි එක කොහොම වුනත්.
ඉස්සරකාලෙ දුක් විඳින එක නම් අඩු ඇති සමහරවිට ඉක්මනින් මැරෙන නිසා ලෙඩක් හැදුනහම
//මට පේන විදිහට දැන් වැඩිවෙලා තියෙන්නෙ පිලිකා මරණ තමයි.//
Deleteපිළිකා මරණ වැඩි වීමට ප්‍රධානම හේතුවත් ආයු අපේක්ෂාව වැඩි වීමයි. පිළිකා කියන්නේ DNA පිටපත් කිරීමේදී සිදුවන විකෘති කියා කියන්නත් පුළුවන්. කෙනෙක් වයස්ගත වන තරමට මෙවැනි විකෘති ඇතිවීමේ ඉඩකඩ ඉහළ යනවා. ඒ වගේම, දියවැඩියාව හෘදයාබාධ වගේ දේවලුත් ආයු අපේක්ෂාව සමඟ ඉහළ යනවා.
''උපතේදී ආයු අපේක්ෂාව වසර 72ක් වූ පමණින් වයස අවුරුදු 60 සපිරෙන විට ආයු අපේක්ෂාව වසර 12ක් වන්නේ නැහැ. එයට හේතුව වසර 60ක් දක්වා ජීවත් වන්නේ වඩා නිරෝගී අය වීමයි.''
ReplyDeleteමේක ඇත්ත නෙමේ. වර්තමානයේ වැඩිපුර කාලයක් ජිවත් වන්නේ විවිද රෝග වලට ප්‍රතිකාර ගන්නා අයයි. ඒ අය ඖෂද මගින් ජිවත් වෙනවා. එසේ නොකරන අය කලින්ම මිය යනවා. ඉස්සර තිබ්බ ශක්තිවන්තයා නොනැසී ඉන්නවා කියන තියරිය දැන් වලංගු නැහැ. දැන් ශක්තිවන්තයන් කලින්ම මිය යනවා, රෝගීන් ජිවත් වෙනවා. දැන් වෙන්නේ රිවස් එකක්. කාලයක් යද්දී මිනිස් ගහනයේ ඉතිරි වන්නේ මේ රෝගීන්ගෙන් පැවතගෙන එන ජාන වලින් බිහිඋන පරම්පරාවක්. මේ ගැන වෛද්‍ය සගරා වල වල පල උනා ලිපි. කැමති නම් කියාවා බලන්න, මේ වගේ නොදන්නා දේ ප්‍රකාශ නොකර.
//මේ ගැන වෛද්‍ය සගරා වල වල පල උනා ලිපි. කැමති නම් කියාවා බලන්න, මේ වගේ නොදන්නා දේ ප්‍රකාශ නොකර.//
Deleteකරුණාකර ඔබ කියවපු ඔය ලිපි ගැන වැඩි තොරතුරු (මූලාශ්‍ර හෝ ලින්ක්) ඉදිරිපත් කරන්න පුලුවන්ද?
අදයි දින කිහිපෙකින් මෙහාට ආවේ.
ReplyDeleteහොඳ ලිපියක්. අනෙක් එකේ තියෙන ඒවාටත් එක්කමයි කමෙන්ට් කරන්නේ, ඒකට.