ලෝක බැංකුව විසින් ලංකාව ඉහළ මැදි ආදායම් රටක් සේ නම් කර තිබෙනවා. මෙතෙක් ලංකාව වර්ගීකරණය වී තිබුණේ පහළ මැදි ආදායම් රටක් ලෙසයි. ඉහළ මැදි ආදායම් රටක් සේ නම් කරනු ලැබීම සඳහා අවශ්‍ය වන අවම ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම වන ඇමරිකන් ඩොලර් 3,996 ඉක්මවමින් 2018 වසරේදී ඇමරිකන් ඩොලර් 4,060ක ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටමක් කරා ළඟා වීමට හැකි වීම මත ලංකාවට මේ උසස් වීම ලැබී තිබෙනවා.
ලංකාව සමඟම කොසොවෝ රාජ්‍යය හා ජෝර්ජියාවත් ඉහළ මැදි ආදායම් තත්ත්වයට උසස්වීම් ලබද්දී ආජන්ටිනාවේ තත්ත්වය ඉහළ ආදායම් රටක සිට ඉහළ මැදි ආදායම් රටක් දක්වා පහත හෙළා තිබෙනවා. එමෙන්ම, අඩු ආදායම් රටවල්ව පැවති කොමරෝස්, සෙනගාලය හා සිම්බාබ්වේ යන රටවල් පහළ මැදි ආදායම් තත්ත්වයට උසස් වී තිබෙනවා.
ඒක පුද්ගල ජාතික ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් කාණ්ඩ හතරක් යටතේ රටවල් වර්ගීකරණය කරනවා. ඒ ඉහළ ආදායම්, ඉහළ මැදි ආදායම්, පහළ මැදි ආදායම් හා පහළ ආදායම් රටවල් ලෙසයි.
ඉහළ ආදායම් රටවල් සේ සැලකෙන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම ඇමරිකන් ඩොලර් 12,376 ඉක්මවන රටවලුයි. මේ කාණ්ඩයේ රටවල් 80 අතර වැඩිපුරම දැකිය හැක්කේ බටහිර රටවල්, මැද පෙරදිග රටවල් හා ඇතැම් කුඩා දූපත් රාජ්‍යයනුයි. ආසියානු කලාපයේ ඉහළ ආදායම් රටවල් වන්නේ ජපානය, දකුණු කොරියාව, හොංකොං, සිංගප්පූරුව, තායිවානය හා බෘනායි යන රටවල් පමණයි. දකුණු ආසියානු රටවල් කිසිවක් මේ කාණ්ඩයට අයත් වන්නේ නැහැ.
පහළ ආදායම් රටවල් බොහොමයක්ම අප්‍රිකානු රටවල්. ඇමරිකන් ඩොලර් 1,025 නොඉක්මවන ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටමක් ඇති මේ රටවල් අතර අප්‍රිකානු රටවලට අමතරව දකුණු ආසියානු රටවල් සේ සැලකෙන නේපාලය හා ඇෆ්ඝනිස්තානය මෙන්ම උතුරු කොරියාව, සිරියාව හා තජිකිස්ථානය වැනි රටවල්ද තිබෙනවා. මේ කාණ්ඩයට අයත් රටවල් ගණන 31ක්.
ලෝකයේ රටවල් 107ක්ම අයත් වන්නේ මැදි ආදායම් කාණ්ඩයකටයි. ඒ අතරින් රටවල් 47ක් පහළ මැදි ආදායම් රටවල් වන අතර ඉතිරි රටවල් 60 ඉහළ මැදි ආදායම් කාණ්ඩයට අයත් වෙනවා. දකුණු ආසියානු රටවල් අතරින් මුලින්ම ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළු වූයේ මාල දිවයිනයි. ලංකාව මේ කාණ්ඩයට ප්‍රවේශ වන දෙවන දකුණු ආසියානු රටයි. රුසියාව, චීනය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, තායිලන්තය, මැලේසියාව, ඉරානය, ඉරාකය වැනි රටවල් අයත් වන්නේත් මේ කාණ්ඩයටයි. එහෙත් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලා දේශය, මියන්මාරය, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි බොහෝ ආසියාතික රටවල් තවමත් සැලකෙන්නේ පහළ මැදි ආදායම් රටවල් ලෙසයි.
ලෝක බැංකුවේ මේ වර්ගීකරණය පදනම් වන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම මතයි. මීට සමාන්තර තවත් නිර්ණායකයක් වන ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට වඩා මෙය සුළුවෙන් වෙනස් වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ලෙස ඇස්තමේන්තු කරන්නේ රටේ සිදු වූ සමස්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ වටිනාකමයි. දළ ජාතික ආදායම ගණනය කිරීමේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් විදේශිකයින් විසින් රට තුළ නිපදවූ කොටස අඩු කර ශ්‍රී ලාංකිකයින් විසින් රටින් පිටතදී නිපදවූ භාණ්ඩ හා සේවා වල අගය එකතු කරනවා. එවිට, දළ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයට වඩා අඩු හෝ වැඩි විය හැකියි. ලංකාව හා අදාළවනම් දළ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයට වඩා අඩුයි.
මහා බැංකු වාර්තාවේ ඇති පරිදි ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය හා ඒක පුද්ගල දළ ජාතික ආදායම පසුගිය වසර කිහිපයේදී වෙනස් වී තිබෙන ආකාරය පහත වගුවේ පෙන්වා තිබෙනවා. මහ බැංකු ඇස්තමේන්තු අනුවනම් ලංකාව ඉහළ මැදි ආදායම් රටක් විය යුතුව තිබුණේ වසරකට පෙරයි. ඒ වගේම ඒ සංඛ්‍යාලේඛණ අනුව බැලුවොත් රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මේ අවුරුද්දේ නැවත ආපසු කලින් තැනටම වැටෙනවා.
නමුත්, ලෝක බැංකුව විසින් මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ ඒ විදිහටම ගන්නේ නැහැ. මහ බැංකුවට විණිමය අනුපාතිකය මත බලපෑම් කිරීමට තිබෙන හැකියාව සලකමින් ලෝක බැංකුව විසින් රුපියල් ඩොලර් කිරීමේදී පවතින විණිමය අනුපාතිකය යොදාගනු වෙනුවට නිශ්චිත ක්‍රමවේදයක් (ඇට්ලස් ක්‍රමවේදය) අනුව මේ සංඛ්‍යා සීරුමාරු කරනවා. ඒ නිසා, ලෝක බැංකුව විසින් සලකා බලන ඒක පුද්ගල දළ ජාතික ආදායම් ඇස්තමේන්තු (ඇමරිකන් ඩොලර් වලින්) මහ බැංකුවේ ඇස්තමේන්තු වලට වඩා අඩු හෝ වැඩි විය හැකියි.
මේ විදිහට ඒක පුද්ගල දළ ජාතික ආදායම් ඇස්තමේන්තු සීරුමාරු කරගැනීමෙන් පසුව ලෝක බැංකුව විසින් ආදායම් මට්ටම අනුව රටවල් වර්ගීකරණය කිරීම පිණිස යොදාගන්නා ආදායම් පරාසද උද්ධමනය වැනි සාධක මත වසරින් වසර වෙනස් වෙනවා. ඉහළ මැදි ආදායම් රටක් සේ සැලකීමට අවශ්‍ය අවම ආදායම් මට්ටම පසුගිය වසර කිහිපය තුළදී යම් තරමකින් පහත වැටී තිබෙනු දැකිය හැකියි. ලංකාවට ඉහළ මැදි ආදායම් තත්ත්වය කරා ඉක්මනින් ළඟා වීමට මේ සාධකයද යම් පමණකින් හේතු වුනා.
පැමිණි ආකාරය කොහොම වුනත්, දැන් ලංකාව ඉහළ මැදි ආදායම් රටක්.
Monday, July 8, 2019
ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයට!
Labels:
ආර්ථික වර්ධනය,
ලෝක බැංකුව,
සංඛ්‍යාලේඛණ
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
මහත්මයා වැඩ කරන්නේ ලෝක බැංකුවේද?
ReplyDeleteසංඛ්‍යා ලේඛන කියන දේවල් හරියටම හරිද? දල ජාතික ආදායම රටේ ඉන්න පුරවැසියන්ගෙන් බෙදුවම නේද ඒක පුද්ගල ආදායම එන්නේ. ඒත් එහෙම වෙන්නේ නැහැනේ; බෙදී යාමේ කොච්චර විෂමතා තියෙනවද?
ReplyDeleteඔබ සඳහන් කරන කරුණට පදනමක් තිබෙනවා. මේ සංඛ්‍යාලේඛනය අනුව 4 දෙනෙක් ඉන්න පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 235,000ක් පමණ විය යුතුයි. නමුත්, රටේ පවුල් වලින් 90%කට පමණම එවැනි ආදායමක් ඇතැයි මා හිතන්නේ නැහැ. රටේ සමස්ත ආදායමෙන් විශාල කොටසක් ඉහළ ස්ථරය අතේ සංකේන්ද්‍රණය වී තිබීම එයට හේතුවයි. හැබැයි මෙය ලංකාවට පමණක් අදාළ කරුණක් නෙමෙයි. බොහෝ ඉහළ ආදායම් රටවල තත්ත්වයත් එවැනියි. කොහොම වුනත්, රටේ සාමාන්‍ය ආදායම ඉහළ යන විට පහළම ස්ථර වල ආදායමුත් සාමාන්‍යයෙන් ඉහළ යනවා. ඇමරිකාව ගත්තොත් රටේ ඒක පුද්ගල ආදායම (වාර්ෂික) ඩොලර් 59,000ක් පමණ වෙනවා. පවුලක මධ්‍යස්ථ ආදායමත් ආසන්න වශයෙන් ඩොලර් 59,000ක් පමණ වෙනවා. නමුත්, ඇමරිකාවේ පවුලක සාමාන්‍ය වශයෙන් 2.6 දෙනෙක් ඉන්න නිසා මධ්‍යස්ථ පවුලක ඒක පුද්ගල ආදායම තිබෙන්නේ ඩොලර් 22,500 මට්ටමේ. ඊටත් පහළ ස්ථර වල ආදායම් තවත් අඩුයි. හැබැයි ලෝක බැංකු නිර්ණායක අනුව ඉහළ ආදායම් රටක් වෙන්න අවශ්‍ය වෙන්නේ ඩොලර් 12,376ක ඒක පුද්ගල ආදායමක් පමණයි. ඇමරිකාවේ දුප්පත්ම පවුල් පවා ඒ මට්ටමේ ඉන්නවා. එසේ නැත්නම් ඒ මට්ටමට ජීවන ත්ත්වය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් සහනාධාර ලබනවා. මේ විදිහටම පහළ මැදි ආදායම් රටක් වෙන්න අවශ්‍ය වෙන්නේ ඩොලර් 1,025ක ඒක පුද්ගල ආදායමක්. එය 4 දෙනෙකුගේ පවුලකට මසකට රුපියල් 59,000ක පමණ මුදලක්. ලංකාවේ මධ්‍යස්ථ පවුලක් මේ වන විට මේ ආදායම් මට්ටමේ ඉන්නවා. වෙනත් අයුරකින් කිවුවොත් රට ඉහළ මැදි ආදායම් මට්ටමට එන කොට රටේ සාමාන්‍ය පවුලක් ඒ මට්ටමට එන්නේ නැතත් අඩු වශයෙන් පහළ මැදි ආදායම් මට්ටමට එනවා. රටේ පහළම ස්ථර වල ආදායම් මට්ටමත් ප්‍රමාණවත් තරම් ඉහළනම් ආදායම් විෂමතාවය කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා, ඒක පුද්ගල ආදායම ඉහළ යාමේ වැදගත්කම ආදායම් විෂමතා තිබීම මත පදනම්ව අවතක්සේරු කළ යුතු නැහැ.
Deleteඅපි ඔය කඩ ඉම පහු කළෙ රාජපක්ෂ යුගයේදී නෙමේද ? එහෙම සඳහන් වුනු මතකයක් තියනවා. කොම්පීටර් ජිල්මාර්ට් ද? සජිතුත් කිව්වේ මේ ළඟදි අපිට ණය හම්බෙන එක සීමා වුනේ ඒක නිසා කියලා....
ReplyDeleteනැහැ. රාජපක්ෂ යුගයේදී හිටපු මහ බැංකු අධිපති කබ්රාල් වැනි අය මේ තත්ත්වයට ළඟා වීමේ ඉලක්කය ගැන කතා කළත් ඒ කාලයේදී එය සිදු වුනේ නැහැ. ලංකාව දශක ගණනාවක් පුරාවටම සැලකුණේ අඩු ආදායම් රටක් ලෙසයි. ඒ නිසා, අඩු ආදායම් රට වලට ලැබෙන සහන ණය දිගටම ලැබුණා. රාජපක්ෂ කාලයටත් පෙර 1997දී ලංකාව අඩු ආදායම් රටක සිට පහළ මැදි ආදායම් රටක තත්ත්වයට උසස් වුනා. එවිට සහන ණය ලැබෙන එක සීමා වුනා. රාජපක්ෂ දශකයේ මුල් කාලයේදී වාණිජ ණය වලට වැඩිපුර යන්න සිදු වෙන්න මෙයත් හේතුවක් වුණා. ණය ගැනීමේ අසීරුතාව ගැන කතා කෙරුනේ ඒ කාලයේදී. දැන් පහළ මැදි ආදායම් තත්ත්වයේ සිට ඉහළ මැදි ආදායම් තත්ත්වය දක්වා තව දුරටත් උසස් වී තිබෙනවා. ඒ නිසා, සහන ණය ලබා ගැනීමේ හැකියාව නැත්තටම වගේ නැති වෙනවා.
Deleteනොවෙමු අපි
ReplyDeleteතවදුරටත්
පහල මැදි
වෙමුය අපි
අද සිටම
ඉහළ මැදි
ඉහළට යනවිට අපි
ටික ටික මෙලෙසට
පහල සිටින අයට ගෙවන
"දිළිඳු සහන" ලබන පිරිස
ඒ සමගම වැඩි වෙනවා!
"සංඛ්‍යා ලේඛන"
එම්බා සංඛ්‍යා ලේඛන
සරනං ගච්ඡාමි!!
//"දිළිඳු සහන" ලබන පිරිස
Deleteඒ සමගම වැඩි වෙනවා!//
මෙය නිවැරදිද කියන එක සැක සහිතයි. එය එසේනම් එහි කවර හෝ වරදක් තිබෙනවා.
Samurdhi benefits for 150,000 new beneficiaries
DeleteSat, Sep 8, 2018, 12:24 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.
Sept 08, Colombo: The Sri Lankan government under the Samurdhi funds program has taken measures to provide benefits to 150,000 more families and the inaugural event on providing Samurdhi benefits to new families was held at the auditorium of the Polonnaruwa Royal College yesterday (07) under the patronage of the President Maithripala Sirisena.
AnonymousJuly 9, 2019 at 3:19 PM
DeleteThanks, Ano! I'll look at those stats when I find time.
I noticed this news item but unfortunately I can't find any data source to follow the number of Samurdhi recipients during the past years.
Deleteඑතකොට තාම 30000 වත් වැටුපක් නැති අය මේ කේස් එකේදි...???
ReplyDelete59000 වැටුපක් හම්බෙන කීදෙනාද ඉන්නෙ
තනි පුද්ගලයෙක්ව සැලකුවොත් ඩොලරය රුපියල් 176 පදනම මත ඉහළ මැදි ආදායම අනුරූප වන්නේ රුපියල් 58,600ක පමණ මාසික ආදායමකටයි. පහළ මැදි ආදායම අනුරූප වන්නේ රුපියල් 15,000ක පමණ මාසික ආදායමකටයි. ඒ නිසා, රුපියල් 30,000ක මාසික ආදායමක් ලබන කෙනෙකු කිසිදු ආදායමක් නූපයන තවත් එක් අයෙක් නඩත්තු කළත් එවැනි පවුලක් සිටින්නේ පහළ මැදි ආදායම් මට්ටමේ. ඒ වගේම ජීවත්වන නිවස තමන්ගේම නිවසක්නම් එවැනි නිවසක් කුලියට ගන්න මසකට ගෙවිය යුතු මුලදත් ආදායමක් සේ සැලකිය යුතුයි. නමුත්, පවුලේ මුළු ආදායම පවුලේ එක් අයෙකුට රුපියල් 15,000ට අඩුනම් එය අනුරූප වන්නේ පහළ ආදායම් කාණ්ඩයටයි.
DeleteVery informative article.
ReplyDeleteWhat is your analysis on the impact on Sri Lanka due to this achievement; positive & negative impact. Former Central Banker Mr. Wijewardane also had an article in yesterday and today SL English dailies. He had pointed out such an achievement could not be generalized due to large income disparities between provinces and that small number of people claiming for larger (80%) portion of income.
One of the negative points that we discuss is Sri Lanka disqualifying for EU GSP and EU GSP+ benefits that it is enjoying at present because we were in middle income category which is a criteria for receiving such benefits.EU GSPs particularly, EU GSP + enables Sri Lanka to export more that 7000 products to EU duty free. EU is the 2nd largest export market for us with close to 40% of our total exports. Apparel and Fisheries products which are best enjoying GSP+ constitutes the major share.
What is your analysis : negative & positive impact for Sri Lanka?
The first part of the WAW article has essentially the same facts as here but it continues to discuss the subject further. While the upper middle income status cannot be generalized due to income disparities, the momentum that pushed the country to this status can be generalized, in my view. Of course, a small number of people claims for a larger portion of income but this phenomenon is not new. I do not think that the income distribution pattern has changed substantially during the recent years, which means that the income levels of low income provinces and low income people also has elevated together with the average income of the country, perhaps more than proportionately. When a country grows very fast, it it usual that the income levels of some segments of the society improving before the income levels of others, which is not necessarily a concern. Ultimately, the new wealth accumulated flows across the country. There is a negative effect on tax concessions and subsidized loans but a country that reaches upper middle income status has to be ready to think rich and plan to compete in international markets with other upper middle income countries, breaking free from the low income mentality. This doesn't appear to happen as expected, partly due to the illusion that drove the country to this status by maintaining the value of the Rupee artificially high, a point well explained in WAW article.
Deleteදළ ජාතික ආදායම සහ දළ දේශීය නිශ්පාදනය අතර ඇති වෙනස මොකක්ද?
ReplyDeleteදළ දේශීය නිෂ්පාදිතය = රට ඇතුළත නිපදවූ භාණ්ඩ හා සේවා වල වටිනාකම. මේ භාණ්ඩ හා සේවා නිපදවා තිබෙන්නේ රටේ පුරවැසියන් විසින් හෝ විදේශිකයන් විසින් විය හැකියි. විදේශිකයින් විසින් භාණ්ඩ හා සේවා නිපදවා ඉපදවූ ආදායම රට ඇතුළේ ඉපදවුනු ආදායමක් වුවත් ඔවුන් මේ ආදායම රටින් පිටට අරගෙන යනවා.
Deleteදළ ජාතික ආදායම = රටේ පුරවැසියන් විසින් රට ඇතුළතදී හෝ රටෙන් පිටතදී නිපදවූ භාණ්ඩ හා සේවා වල වටිනාකම.
දළ ජාතික ආදායම = දළ දේශීය නිෂ්පාදිතය + රටේ පුරවැසියන් රටින් පිටත ඉපැයූ ආදායම - විදේශිකයින් රට ඇතුළේ ඉපැයූ ආදායම.
රටේ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ගැන වඩා හොඳ මිනුම දළ ජාතික ආදායමයි. එහෙත්, රටේ ආර්ථික ප්‍රතිපත්ති වලින් වැඩිපුර බලපෑම් කළ හැක්කේ දළ දේශීය නිෂ්පාදිතයටයි. ප්‍රායෝගිකව මේ දෙකේ විශාල වෙනසක් නැහැ. එහෙත් පෙනෙන තරමේ වෙනසක් තිබෙනවා.