වෙබ් ලිපිනය:

Wednesday, July 10, 2019

පරමාදර්ශී ආයු අපේක්ෂාව


අප ලියන දේ සමඟ හැම විටම එකඟ නොවන නමුත් අප ලියන දේ නිතිපතාම කියවන අයෙක්යැයි මා හිතන ජෝශප් විසින් පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දමමින් මෙහෙම කියනවා.

"මේ කතා කරන ආයු අපේක්‍ෂාව යන සිංහල වචනය ම බොරුවක්. ඒ ආචාර්‍ය නලින් ද සිල්වා ගේ අර්ථ කථනය අනුව ම නොවෙයි. ඔය කතා කරන කරුණට වෙන වචනයක් සාදා ගත යුතුයි. ජගත් පතිරණ නිතර පෙන්වා දෙන අයුරින්, බටහිර චින්තනයේ ආයු අපේක්‍ෂාව හා සිංහලයින්ගේ ආයු අපේක්‍ෂාව දෙකක් මිස එකක් නොවෙයි. සිංහලයින්ට උපතේදී ආයු අපේක්‍ෂාවක් ඇත්තේම නැති තරම්. ඇත්නම් ඇත්තේ කුක්කු අපේක්‍ෂාවක්.

නමුත් වැඩිහිටි සිංහලයින්ට ආයු අපේක්‍ෂාව අවුරුදු අසූවක්, සීයක් පමණ. මේ වයස එළඹීමට පෙර සමහරුන් මැරී යාම වෙනම කතාවක්. මා මේ කියන්නේ ලංකාව නිදහස ලබන සමයේ 1940 හා 1950 ගණන් වල වැඩිහිටියන් ගැන. ඊට පසු 1970 ගණන් වල අය ගත්තොත් ආයු අපේක්‍ෂාව 70 පමණ. සිංහල අර්ථයෙන් සිදු වී තිබෙන්නේ ආයු අපේක්‍ෂාව අඩු වීමක්. 1980 ගණන් වන 1990 ගණන් වල උපන් හාදයන් (නව පරපුර) අවුරුදු 60 වත් ජීවත් වීමේ අපේක්‍ෂාවක් පෙන්වන්නේ නෑ.

මීට හේතුව සීඝ්‍ර බටහිරකරණය. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඊනියා ප්‍රාතිහාර්‍ය ගැන ප්‍රසස්ති ප්‍රබන්ධ කිරීමට පෙර බටහිර ක්‍රමය විසින් අප සමාජය සමස්ථයක් වශයෙන් රෝගීන් බවට පත් කර තිබීම ගැන සංවාදයක් ඇති කළ යුතුව තිබේ."

තෙවන ඡේදයේ සඳහන් "බටහිර ක්‍රමය විසින් අප සමාජය සමස්ථයක් වශයෙන් රෝගීන් බවට පත් කර තිබීම" යන ප්‍රකාශය සමඟ මා එකඟ වන්නේ නැහැ. එහෙත්, දැනට ඒ ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. දෙවන ඡේදයේ තිබෙන්නේ ඔහු හිතන දෙයක්. සමීක්ෂණයක් නොකර සිංහලයන්ගේ "ආයු අපේක්ෂාව" පිළිබඳව ඔහු කර ඇති ආකාරයේ ප්‍රකාශයක් නිශ්චිතව කරන්න පුළුවන්කමක් නැහැ. මා එවැනි සමීක්ෂණයක් කර නැති නිසා ඔහු කියන කරුණ වැරදියි කියා මට නිශ්චිතව කියන්නත් පුළුවන්කමක් නැහැ.

ජෝශප්ගේ දෙවන ඡේදයේ ප්‍රකාශය ඔහු පළමු ඡේදයේ කර ඇති ප්‍රකාශයට සම්බන්ධයි. එහිදී ඔහු කතා කරන්නේ ආයු අපේක්ෂාව කියන වචනය ගැනයි.

ආයු අපේක්ෂාව ලෙස සිංහලට පෙරළා තිබෙන්නේ life expectancy කියන ඉංග්‍රීසි වචනයි. ඇතැම් විට අපේක්ෂිත ආයුකාලය කියාත් කියනවා. මේ කියන ආයු අපේක්ෂාවට නිශ්චිත අර්ථදැක්වීමක් තිබෙනවා. එය සම්භාවිතාව මත පදනම් වූ සංඛ්‍යානමය අර්ථදැක්වීමක්. මගේ ලිපිය පදනම් වූයේ මේ අර්ථදැක්වීම මතයි.

ජීවත්වන අයෙක් මියයන දවස නිශ්චිතව කියන්න බැහැ. එහෙත්, ජීවත්වන අය යම් දවසක මිය යන බව නිශ්චිත කරුණක්. වඩා ගැඹුරට ගියොත්, මේ නිශ්චිත බව වගේම, උපත, මරණය හා ජීවිතය කියන සංකල්පත් නිශ්චිත දේවල් නෙමෙයි. නමුත්, එතරම් ගැඹුරට නොගියොත් උපත හා මරණය කියන්නේ බොහෝ දෙනෙක් අපහසුවක් නැතිව තේරුම් ගන්නා නිශ්චිත අවස්ථා දෙකක්. කෙනෙකුගේ ආයු කාලය නැත්නම් ජීවිත කාලය කියන්නේ මේ නිශ්චිත සිදුවීම් දෙක අතර ගෙවෙන කාලයයි.

මේ වන විට ලෝකයේ මෙන්ම ලංකාවේත් උපත් හා මරණ සියල්ල සෑහෙන තරම් නිවැරදිව වාර්තා වෙනවා. ඒ නිසා, කිසියම් රටක කිසියම් දවසක ඉපදෙන අයගේ ආයු කාලය වෙනස් වෙන පරාසය හා ඒ පරාසය ඇතුළත ආයු කාල ව්‍යාප්ත වී ඇති ආකාරය සංඛ්‍යාලේඛණ ඇසුරින් නිශ්චිතව නිරීක්ෂණය කළ හැකියි. අපේක්ෂිත ආයු කාලය නැත්නම් ආයු අපේක්ෂාව අනුරූප වන්නේ උපතේදී හෝ වෙනත් නිශ්චිත වයසකදී කිසියම් දිනක ඉපදුණු අයගෙන් අඩක් පමණ මිය යාමට ගත වන කාලයටයි. මේ අගය ඉහළ යනවානම් එයින් අදහස් වෙන්නේ අදාළ රටේ ජනතාව පොදු වශයෙන් කලින් ජීවත් වුනාට වඩා වැඩි කාලයක් ජීවත් වන බවයි.

අපේක්ෂිත ආයු කාලය කියන එක සාමාන්‍ය පුද්ගලයින්ටත් වඩා වැදගත් වන්නේ රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ටයි. උදාහරණයක් විදිහට රටක අපේක්ෂිත ආයු කාලය ඉහළ යන විට විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් සේ ගෙවිය යුතු මුදල ඉහළ යන නිසා රජයකට එයට පෙර සූදානම් වෙන්න සිදු වෙනවා.

මෙහිදී සැලකිල්ලට ගන්නා අපේක්ෂිත ආයු කාලය කියන අර්ථ දැක්වීම සාමාන්‍ය අර්ථයෙන් වාස්තවික මිනුමක්. ඒ අනුව, කිසියම් පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය තීරණය වෙන්නේ එම පුද්ගලයාගේ දැන් වයස, ස්ත්‍රී-පුරුෂ භාවය, පදිංචි ස්ථානය වැනි වෙනත් අයෙකුට නිරීක්ෂණය කළ හැකි කරුණු මතයි. එය නිරීක්ෂකයා මත වෙනස් වන දෙයක් නෙමෙයි. (වඩා ගැඹුරට ගියොත්නම් මේ මිනුමත් නිරීක්ෂකයා මත වෙනස්වන ආකාරය අපහසුවකින් තොරව කතා කළ හැකියි. නමුත්, පෙන්වා දෙන කරුණ වෙනුවෙන් එසේ කළ යුතු නැහැ.)

සිංහලයෙකුට හෝ වෙනත් ලාංකිකයෙකුට පමණක් නොව බටහිර රටක බටහිර සංස්කෘතියේ ජීවත් වන අයෙකුට වුවත් මේ මිනුම ඇඟට දැනෙන එකක් නෙමෙයි. යමෙකුට තමන්ගේ ඉතිරි වී ඇති ආයු කාලය ඇස්තමේන්තු කළ හැකි එකම ක්‍රමය සංඛ්‍යානමය ක්‍රමවේද ඇසුරෙන් ජනවිකාශ දත්ත විශ්ලේෂණය කිරීම පමණයි.  එහෙත්, තනි පුද්ගලයෙක් සැලකූ විට ජනවිකාශ සංඛ්‍යාලේඛණ වල නැති තමන් පිළිබඳ තොරතුරු රැසක් ඔහු හෝ ඇය දන්නවා. තමන් ගැන තමන්ට වඩා දන්නා කෙනෙක් ඉන්නවද?

මුලින් කී ආයු අපේක්ෂාව පිළිබඳ වාස්තවික මිනුම අදාළ වෙන්නේ "සාමාන්‍ය" පුද්ගලයෙකුටයි. නමුත්, බොහෝ දෙනෙක් පෞද්ගලිකව තමන් සාමාන්‍ය පුද්ගලයින් සේ සිතන්නේ නැහැ. තමන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා නිරෝගීයැයි සිතන කෙනෙක්, එය හරි වුවත් වැරදි වුවත්, තමන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි කලක් ජීවත් වනු ඇතැයි සිතීම තේරුම් ගැනීමට අපහසු නැති කරුණක්. ඒ වගේම, තමන් සාමාන්‍ය පුද්ගලයකුට වඩා අඩුවෙන් සෞඛ්‍ය සම්පන්නයැයි හිතන කෙනක් තමන්ගේ ආයු අපේක්ෂාව අඩුවෙන් ඇස්තමේන්තු කරන බවත් පැහැදිලියි.

මේ නිසා, එක් එක් පුද්ගලයා හා අදාළව මුලින් කී වාස්තවික ආයු අපේක්ෂාවෙන් වෙනස් විෂයමූලික ආයු අපේක්ෂාවක්ද තිබෙනවා. ඒකීය පුද්ගලයින්ගේ තීරණ පදනම් වෙන්නේ මේ දෙවනු කී විෂයමූලික ආයු අපේක්ෂා කාලය මත මිස පළමු කී වාස්තවික ආයු අපේක්ෂා කාලය මත නොවන නිසා චර්යාත්මක ආර්ථික විද්‍යාඥයෙකුට හෝ වෙනත් සමාජ විද්‍යාඥයෙකුට මේ විෂයමූලික ආයු අපේක්ෂා ගැන හැදෑරීමත් වැදගත්. උදාහරණයක් විදිහට කිසියම් පුද්ගලයෙකු විසින් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් කරන පෞද්ගලික ආයෝජන තීරණය වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ විෂයමූලික ආයු අපේක්ෂාව මත මිස "සැබෑ" ආයු අපේක්ෂා කාලය මත නෙමෙයි. සතියකට වඩා ජීවත් නොවන බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති පිළිකා රෝගියෙකු වෙනුවෙන් ඉඩකඩම් උගස්කර ඖෂධ මිල දී ගන්නා අයෙකු එසේ කරන්නේ මේ මිනුම් දෙකේ වෙනස නිසයි.

ඇමරිකාවේ සිදු කෙරෙන ඇතැම් සමීක්ෂණ වලදී ඉහත දෙවනුව කී විෂයමූලික ආයු අපේක්ෂාව පිළිබඳව දත්ත එකතු කෙරෙනවා. මෙය අදාළ පුද්ගලයින්ගෙන්ම අසා දැනගත යුතු දෙයක් මිස, වාස්තවික ආයු අපේක්ෂාව මෙන් ජනවිකාශ දත්ත ඇසුරෙන් සංඛ්‍යාන මූලධර්ම අනුව ගණනය කළ හැකි දෙයක් නෙමෙයි. මේ අයුරින් එකතු කරගත් දත්ත අනුව පෙනෙන්නේ පුද්ගලයෙකුගේ විෂයමූලික ආයු අපේක්ෂාව හා වාස්තවික ආයු අපේක්ෂාව අතර සැලකිය යුතු සහසම්බන්ධයක් ඇතත් එය පරිපූර්ණ එකක් නොවන බවයි.

උඩින්ම ඇති ජෝශප්ගේ ප්‍රකාශයේ තිබෙන ආයු අපේක්ෂාව ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි. එය ආයු අපේක්ෂාව කියන වචනයේ සෘජු අර්ථය අනුව යන්නක්. මෙහිදී, ඔහු මෙය "සිංහලයින්ගේ ආයු අපේක්‍ෂාව" ලෙස හැඳින්වුවත් බටහිර රටක ජීවත්වන  life expectancy කියන ඉංග්‍රීසි වචනයේ සංඛ්‍යානමය අර්ථදැක්වීම නොදන්නා අයෙකු වුවත් මේ වචන ජෝශප් කියන  "සිංහලයින්ගේ ආයු අපේක්‍ෂාව" කියන අර්ථයෙන්ම තේරුම් ගන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, එය සිංහලයින් සිතන ආකාරයේ වෙනසක් කියා මම හිතන්නේ නැහැ.

මෙහිදී ජෝශප් කතා කරන්නේ කිසියම් පුද්ගලයෙකු ගෙවීමට කැමැත්තෙන් සිටින පරමාදර්ශී (ideal) ආයු කාලය ගැනයි. මෙය ඉහත දෙවනු කී විෂයමූලික ආයු අපේක්ෂාව කියන සංකල්පයම නෙමෙයි. මේ ගැන කතා කිරීමට ඉහත අර්ථදැක්වීම් දෙකෙන් වෙනස් අලුත් වචනයක් අවශ්‍ය නිසාත්, එය සිංහල ආයු අපේක්ෂාව ලෙස හැඳින්වීම නිවැරදියැයි මා නොසිතන නිසාත් මා මේ සංකල්පය පරමාදර්ශී ආයු අපේක්ෂාව ලෙස නම් කරන්න කැමතියි. මෙයින් අදහස් වෙන්නේ මගේ ආයුකාලය මට තීරණය කළ හැකිනම් මා ජීවත් වන්න කැමති කාලයයි.

මෙතෙක් ලියූ දේ සාරංශ කළොත්, දැන් අපට එකිනෙකට වෙනස් ආයු අපේක්ෂා අර්ථදැක්වීම් තුනක් තිබෙනවා.

1. වාස්තවික ආයු අපේක්ෂාව
2. විෂයමූලික ආයු අපේක්ෂාව
3. පරමාදර්ශී ආයු අපේක්ෂාව

මෙය අපි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. මාරාන්තික වකුගඩු රෝගයකින් පෙළෙන ඇනස්ලිට ජීවත් වීමට ඉතිරිව ඇති කාලය වසර දෙකක් බව වෛද්‍ය මතයයි. ඔහුගේ රෝගය පිළිබඳ තොරතුරු පරීක්ෂා කරන වෛද්‍යවරුන් පොදු වශයෙන් මේ අදහස දරනවා. වසර දෙකක කාලය වෛද්‍යවරුන්ට නිරීක්ෂණය කළ හැකි කරුණු මත නිර්ණය වන්නක්. මේ නිර්ණය කිරීම කරන්නේ එකම නිශ්චිත ක්‍රමවේදයකටනම් ඇනස්ලිගේ වාස්තවික ආයු අපේක්ෂාව එය නිර්ණය කරන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ නැහැ. (ප්‍රායෝගිකව මෙවැන්නක් සිදු නොවන බව අපි අමතක කරමු.)

නමුත්, ඇනස්ලිට තවමත් රෝගී පෙනුමක් නැහැ. ඒ නිසා, ඇනස්ලි තවත් වසර දෙකකින් මිය යනු ඇතැයි ඔහුගේ බිරිඳට හිතාගන්න බැහැ.  ඒ වුනත්, ඇනස්ලිගේ රෝගය පිළිබඳව වෛද්‍යවරුන්ගේ පැහැදිලි කිරීම් ඇයට අහක දාන්නත් බැහැ. ඇය දෙලොවක අතර මං වෙලා. ඇනස්ලි මිය යන බව ඇය දන්නා නමුත් එය වසර දෙකකින් සිදුවනු ඇතැයි ඇය හිතන්නේ නැහැ. ඇයට සාපේක්ෂව ඇනස්ලිගේ විෂයමූලික ආයු අපේක්ෂාව වසර පහක්.

වකුගඩු රෝගයක් ඇති බව හා එය සුව නොවන්නක් බව මිසක් එය මාරාන්තික එකක් බව ඇනස්ලි දන්නේ නැහැ. ඔහු හිතන්නේ වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් තවත් අවුරුදු පහළොවක් පමණ ඔහුට ජීවත් වන්නට සිදුවනු ඇති බවයි. එය ඇනස්ලිට සාපේක්ෂව ඇනස්ලිගේ විෂයමූලික ආයු අපේක්ෂාවයි. වාස්තවික ආයු අපේක්ෂාව මෙන් නොව විෂයමූලික ආයු අපේක්ෂාව පුද්ගලයා මත වෙනස් වන දෙයක්. මේ උදාහරණයේදී වෙනස් ඇස්තමේන්තු වලට ඇනස්ලි හා ඔහුගේ බිරිඳ සතු තොරතුරු වල වෙනස්කම් බලපෑවත්, විෂයමූලික ආයු අපේක්ෂාව හා අදාළව එකම තොරතුරු මත පදනම්ව වුවත් දෙදෙනෙකු නිගමන දෙකකට එළැඹිය හැකියි.

දැන් මෙහිදී තමන් තවත් වසර පහළොවක් ජීවත් වනු ඇතැයි ඇනස්ලි විශ්වාශ කරනවා. එහෙත්, වකුගඩු රෝගය සුව නොවනවානම් එයින් පීඩා විඳිමින්, ගෙදර අයටත් වදයක් වෙමින් තවත් වසර පහළොවක් ජීවත්වීම ඇනස්ලිගේ පැතුම නෙමෙයි. තමන් ඊට කලින් මිය යනවානම් ඔහු සතුටුයි. ඔහුගේ පරමාදර්ශී ආයු අපේක්ෂාව වසර දහයක්. වසර දහයකින් මිය යාම ඇනස්ලිගේ කැමැත්ත වුවත්, තමන් වසර දහයකින් මිය යනු ඇතැයි ඇනස්ලි විශ්වාස කරන්නේ නැහැ.

යමෙකුගේ තමන්ට සාපේක්ෂ විෂයමූලික ආයු අපේක්ෂාව හා පරමාදර්ශී ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් සමාන නැහැ. මේ දෙක අතර පරතරය අපේක්ෂා භංගත්වයකට හේතු වෙන්න පුළුවන්. තමන්ට සාපේක්ෂ විෂයමූලික ආයු අපේක්ෂාවට වඩා පරමාදර්ශී ආයු අපේක්ෂාව අඩුනම් යමෙක් අවදානම් සෞඛ්‍ය පුරුදු දිගින් දිගටම අනුගමනය කරන්න වගේම සිය දිවි නසාගන්න පවා පෙළඹෙන්න පුළුවන්. නමුත්, වැඩි දෙනෙකු හා අදාළව තමන්ට සාපේක්ෂ විෂයමූලික ආයු අපේක්ෂාවට වඩා පරමාදර්ශී ආයු අපේක්ෂාව වැඩියි. එසේ වූ විට පුද්ගලයෙකු තමන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් මුදල්මය හා මුදල්මය නොවන ආයෝජන කරන්න පෙළඹෙනවා. උදාහරණයක් විදිහට බොහෝ දෙනෙක් දිනපතා ව්‍යායාම කරන්නේ හා කෑම පාලනය කරන්නේ පරමාදර්ශී ආයු අපේක්ෂාව තමන්ට සාපේක්ෂ විෂයමූලික ආයු අපේක්ෂාවට වඩා වැඩි නිසා.

පරමාදර්ශී ආයු අපේක්ෂාව හා අදාළව සමීක්ෂණ සිදු කෙරී තිබෙන්නේ අඩුවෙන්. ලාංකිකයින් යොදා ගනිමින් එවැනි සමීක්ෂණයක් කවරදාකවත් කර ඇත්දැයි සැක සහිතයි. ඒ නිසා, ජෝශප් කියන ආකාරයට සිංහලයින්ගේ පරමාදර්ශී ආයු අපේක්ෂාව අඩුවෙමින් ඇත්දැයි නිගමනය කිරීමේ හැකියාවක් නැහැ. ඔහුගේ ගණන් අනුව බැලුවොත්, "1980 ගණන් වල 1990 ගණන් වල උපන් හාදයන්ගේ" පරමාදර්ශී ආයු අපේක්ෂාව ඔවුන්ගේ වාස්තවික ආයු අපේක්ෂාවටත් වඩා අඩුයි. ඇතැම් දේශපාලන මතධාරීන් හා කලාකරුවන් විසින් ප්‍රවර්ධනය කරන "බොහීමියන්" ජීවන විලාසිතාව හඹා යන තරුණ තරුණියන් හා අදාළව මෙය ඇත්තක් වෙන්නත් පුළුවන්.

ලංකාවේ කොහොම වුවත් ඇමරිකාවේනම් පරමාදර්ශී ආයු අපේක්ෂාව පිළිබඳවත් සමීක්ෂණ සිදු කර තිබෙනවා. පොදු වශයෙන් ගත් විට ඇමරිකානුවන්ගේ පරමාදර්ශී ආයු අපේක්ෂාව වාස්තවික ආයු අපේක්ෂාවට වඩා වැඩි වුවත් එය අසීමිත නැහැ. වයස අවුරුදු 25ක තෙල් ඉහිරෙන තරුණ වයසේ සදාකල් ජීවත් වෙන්න ලැබෙන තත්ත්වයක් යටතේ වුවත්, සාමාන්‍ය ඇමරිකානුවෙකු අවුරුදු 100-125කට වඩා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

(Image: https://www.vulture.com/2015/12/hear-some-rare-freddie-mercury-vocals.html)

15 comments:

  1. ඉතා හොඳයි. මා අදහස් කළ දේ මටත් වඩා හොඳින් තෙරුන් ගෙන පිළිතුර ලියා ඇත. මා ගැන දැක්වූ සැළකිල්ල අගය කරමි.
    ස්තූතියි !

    ReplyDelete
  2. මම පොතක කියවා තියෙන හැටියට ආයුෂ (පරමායුශ විය හැකියි) කියන්නේ වියුක්ත සංකල්පයක්
    යම් පුද්ගලයෙක් හැමවිටම සිරුරට ගැලපෙනම ආහාර ගන්නවා නම්, සිරුරට ගැලපෙන ඇඳුම්ම අඳිනවා නම්, නින්ද නියම ප්‍රමාණයට ලබනවා නම්. යහපත් මානසික තත්වයකින් ඉන්නවා නම්. සිරුරට කිසිම තුවාලයක්, ලෙඩක් සෑදී නැත්නම් ඔහුට ජීවත්විය හැකි උපරිම කාලය ආයුශය ලෙස හැඳින්වෙයි.

    බුදුහාමුදුරුවන්ගේ ආයු ප්‍රමාණය වසර 120යි. එමනිසා ඔහුට ඍධියෙක් තමන්ගේ රෝග යටපත්කරගත්තනම් වසර 120ක් ජීවත්වීමට හැකියාව තිබුනා.
    ආයුශය තීරණය වෙලා තියෙන්නේ පෙර කල කර්ම වලින් සහ තමා අයත් සත්ව විශේෂය මත.
    සමහර මිනිස්සු කිසිම හේතුවක් නැතුව අඩු වයසෙන් මියයන්නේ ඔවුන්ගේ ආයුශ අඩු නිසා.
    බුද්ධාගම දන්න කෙනෙක්ගෙන් වැඩි විස්තර බලාපොරොත්තු වෙමි.

    මිනිස් සෛලයක් විභාජනය වෙන්න නොදී කෘතිම පෝශණ මාධ්‍යයක් තුල කොපමණ කලක් සජීවීව පවත්වාගත හැකිදැයි පරීක්ශණයක් කරන්න පුළුවන්නම් එයින් මේ කාරණාව ගැන අදහසක් ගතහැකියි.

    ReplyDelete
    Replies
    1. https://indianapublicmedia.org/amomentofscience/frozen-fish/

      :-)

      Delete
  3. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3062986/

    ReplyDelete
  4. 1833 වර්ෂයේදී සිලෝන් සිවිල් සර්විස් ලෙස ආරම්භ වූ ශ්‍රී ලංකා පරිපාලන සේවයට පුංචි අපිත් බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete
  5. ඉකොනෝ, ඔයාගේ පෝස්ටුව කියවද්දී වැඩියෙන් හිතන්න වුණා!

    මොකද මං තේරෙන කාලේ ඉඳලාම හිතුවේ 55ක් ඇති කියලයි. වැඩියත්ම වියපත් වෙලා; වැහැරිලා; අජූව වෙලා; අනුන්ගේ උදව් මත යැපෙන්න තිබුණු අකමැත්ත නිසා.

    දැනටම මට අවුරුදු දහයක බෝනස් එකක් ලැබිලයි තියෙන්නේ. හැබැයි ඒක ලැබිලා තියෙන්නේ මං අකමැතිව හිටි සේරම දේවලුත් එක්ක. දෛවය හිනා වෙවී දැනුත් මාව නිරීක්ෂණය කරනවා ඇති. (මගේ ලෙඩ-දුක්, අබල-දුබලකම් ගැන මෙතැන කියන්නේ නැහැ. නිදිගෙ පංච තන්තරෙන් ඒවා කියන නිසා. ඒ රාජකාරියත් කරවන්න මාව තවම් තියාගෙන ඉන්නවා කියලා තමයි, හැමදේම හොඳ පැත්තකුත් පෙනෙන මට හිතෙන්නේ!)

    මම තවම කල්පනා කරන්නේ, මං වගේ එකෙකුත් ඔය සමීක්ෂණයකට අල්ලා ගත්තොත් මොකද වෙන්නේ කියලයි.

    ReplyDelete
  6. ආයු අපේක්ෂාව කියන එක ඉතාම විස්තරාත්මකව පැහැදිලි කල පෝස්ට් එකක්. ඒ වගේම ඔබට හැකි විටෙක පහත සඳහන් ඇවන්ට්ගාඩ් ව්‍යාපාරය ගැන දීර්ඝ වශයෙන් විස්තර කරල පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් හොඳයි.

    //ඇවන්ගාඩ් සැඟවුන ඇත්ත ඇත්ත...

    01. ඇවන්ගාඩ් එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් නම් නාවික හමුදාවෙන් මෙම ව්‍යාපාරය කඩාගෙන නාවික හමුදාවට පාඩු සිදු කළ බවයි. එහෙත් සත්‍යයෙන්ම සිදුවී ඇත්තේ නාවික හමුදාව කිසිසේත්ම ඉපැයූ නැති මුදල් ප්‍රමාණයක් කිසිදු වියදමක් නැතිවම ලාභ ලෙස නාවික හමුදාවට සහ රක්නා ආරක්ෂක ලංකා ආයතනයට ලැබීමයි.

    එසේ නම් එය රජයට ලැබිය යුතු ආදායමක් වංචා කිරීමක් වන්නෙ කෙසේද?

    02. තමා මහන්සි වී රැගෙන ආ ව්‍යාපෘතියක් තුලින් රජයට විදේශ විනිමය උපයා දීම වරදක් නම්සු 2001-2004 රජය තුළ රජයේ ආයතන කුණු කොල්ලයට ලබා ගත් පුද්ගලයන් ඊට වඩා වැරදි කරුවන් විය යූතූයි නේද? නිශ්ශංක සේනාධිපතිට පෙර මෙම කටයුත්ත රජයේ මැදිහත් වීමෙන් කර තිබුනාද?

    03. පත්කල ජනාධිපති විමර්ශන කොමිසම විසින් ඇවන්ගාඩ් ආයතනය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී ඇති බවට තහවුරු කර ඇති බව?

    04. සිංගප්පූරු බේරුම්කරණය (SIAC Arbitration) මගින් එම බේරුම්කරණ නඩුවේ තීරක ප්‍රදානය (Award) ඇවන්ගාඩ් සමාගම වෙත ලබාදුන් අතර, ඒ අනුව රුපියල් මිලියන 1,000 පමණ රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් ඇවන්ගාඩ් ආයතනයට ගෙවීමට නියෝග කර ඇති බව ඔබ නොදන්නෙහිද?//

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම ඇවන්ගාඩ් කියන්නෙ මොකක්ද? කොහොමද ඇවන් ගාඩ් ව්‍යාපෘතිය ආරම්භය සිදු උනේ?

      1996 වර්ශයේදී නිශ්ශංක සේනාධිපති විසින් තවත් ඔහුගේ සමීපතමයෙක් හා ආරම්භ කල පෞද්ගලික ආරක්ෂක සේවයකි. ඔහුගේ කැපවීම හා දුරදක්නා නුවණ මත මෙය විවිධ අංශ වෙත මේ වන විට යොමු කිරීමට සමත් විය. සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතූවෙන් අන්තර්ජාතික නාවික වෙළඳාමට හා නාවික ගමනාගමනයට බලවත් තර්ජනයක් වන අවස්ථාවේ 2010 වර්ශයේදී නිශ්ශංක සේනාධිපති සිදූ කළ ගවේශන හා දැනුම මගින් ලබා ගත් තොරතුරු මත ඔහු විසින් රැගෙන ආ ව්‍යාපෘතියකි.

      මේ සඳහා කිසිදු වියදමක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් හෝ ආණ්ඩුවටඅනුබද්ධිත ආයතනයක් විසින් දරා නැත නැත.

      නාවික හමුදාව කිසිසේත්ම ඉපැයූ නැති මුදල් ප්‍රමාණයක් කිසිදු වියදමක් නැතිවම ලාභ ලෙස නාවික හමුදාවට සහ රක්නා ආරක්ෂක ලංකා ආයතනයට ලබා දී ඇත.

      එයද 2015 මාර්තු මස වන විට නයිජීරියා මුහුදු සීමාව ආශ්‍රිතව කොල්ලකරුවන් මැඩ පැවැත්වීමට ආරක්ෂණ වැඩපළිවෙල වෙනූවෙන්ද ඇවන්ගාඩ් සමාගම නයිජීරියාව���� සමග ගිවිසුම් වලට එලබ තිබූ බව.

      එමෙන්ම එරටට නාවික යාත්‍රා 8 ක් සැපයීමට තිබූ ඇනවුම යාත්‍රා 16 දක්වා වැඩිකර ඒ මගින් ඩොලර් මිලියන 3.5 ක මුදලක් ලංකාවට ලැබීමට තිබු බව නොදන්නවා ඇති.

      මෙම කොටසේ සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න
      https://www.facebook.com/481622802602833/posts/489325398499240/

      Delete
    2. //පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය යනූ කූමක්ද?

      සේවා සපයන ධීවර නෞකා වසරකට අධික කාලයක් මුහුදේ රැඳී සිටින බැවින් හා එම නෞකා එකවර නාවික සැතපුම් 4,000ක පමණ දුරක් යාත්‍රා කරන අතර සැපයීම්, සෞඛ්‍ය හා පණිවිඩ හුවමාරුව ආදිය මනාව සැලසුම් කිරීම වෙනුවෙනුත්,

      සමුද්‍රිය ආරක්ෂණ කටයුත්ත වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන අවි පතරොම් සහ මෙවලම් නිසි පරිදි ආරක්ෂා කරගැනීම සඳහා ඇති කරන ලද්දකි

      විදේශ විශ්ව විද්‍යාල මගින් ඇවන්ගාඩ් ආයතනය පවත්වාගෙන ගිය අවි ගබඩා වල තත්වය, ප්‍රමිතිය හා ගුණාත්මකබව සහතික කර ඇත. එමෙන්ම අන්තර් ජාතික සහතික හිමි ආසියාවේ එකම සමූද්‍රීය ආරක්ෂණ සමාගම වේ.

      මෙම කොටසේ සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න
      https://www.facebook.com/481622802602833/posts/489328095165637/?substory_index=0

      ඇවන්ගාඩ් ආයතනය රජයට මුදල් වංචාවක් කලාද?

      ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වුන්ගේ ව්‍යාපෘතිය සිදු කරන කාලය තුළ එක් අවි නිකුත් කිරීමක් හෝ ලබා ගැනීමක් (One Job) වෙනුවෙන් 2009 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා වසර තුනක කාලයක් තුළ අය කර තිබුනේ ඇමරිකානු ඩොලර් 1,000 වුණු අතර, ඇවන්ගාඩ් ආයතනය මැදිහත් ව මෙම කටයුත්ත සඳහා වෙළඳ වටිනාකමක් ලබාදී එම අය කරන මුදල ඇමෙරිකානු ඩොලර් 3,500 දක්වා ඉහල දැමීය. නැවත එය මේවන විට නැවත ඇමරිකානු ඩොලර් 2,500කට අඩු කර ඇත. එමගින් වසරකට ඩොලර් මිලියන 10ක විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි වේ.

      එමෙන්ම නාවික හමුදාව විසින් සිදුකර තිබූ උපරිමය වූ jobs 515 සිට jobs 800 දක්වා වර්ධනය කර ආදායම රුපියල් මිලියන 70 සිට රුපියල් මිලියන 320 දක්වා වැඩි කරන ලදී.

      2012 වර්ෂයේ සිට 2015-03-31 දින වන විට ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනය විසින් ගෙනැවිත් ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බිලියන 16 වන අතර, ඉන් ශ්‍රී ලංකා නාවික හමුදාවට රුපියල් මිලියන 1,757ද, සියලුම ව්‍යාපෘති වෙනුවෙන් රක්නා ආරක්ෂක ලංකා ආයතනයට රුපියල් මිලියන 1,895 ක්ද, ලෙස ගෙවා ඇත. රජයට බිලියන 3.5 කට ආසන්න මුදලක් ගෙවා ඇත//

      මෙම කොටසේ සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න
      https://www.facebook.com/481622802602833/posts/489328458498934/?substory_index=0

      Delete
  7. මාර තියරියක් බන්..
    හරියට ලෙක්චර් එහෙකට සෙට් වුනා වගේ උඹේ පොස්ට් එක...
    life expectancy ගැන මම මෙච්චර කාලයක් හිතන් හිටපු අර්ථ දැක්වීම වෙනස් කියලා තිඑරුනේ මේ පොස්ට් එක කිය්ව්වම තමයි...

    ReplyDelete
  8. සිංහලයන්ගේ කියල වෙනම ආයු අපේක්ෂාවක් තියනවද? රටවල් වල අවරේජ් එකක් නේද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ජෝශප් කතා කරන්නේ අජිත් අහන එක ගැනම නෙමෙයි. ඔහු සිංහලයන්ගේ ආයු අපේක්ෂාව කියන එකෙන් කියන්න හදන්නේ ආයු අපේක්ෂාව කියන එකෙන් සිංහලයින් අදහස් කරන දෙය ගැන. ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරක් දෙනවානම්, ඔබ කියන ආකාරයටම ඇවරේජ් එකක් නිසා රටක ඇවරේජ් එක වගේම රටේ යම් ප්‍රදේශයක හෝ යම් නිශ්චිත කණ්ඩායමක (ගැහැණු, බදුල්ල දිස්ත්‍රික්කයේ හෝ සිංහලයන්ගේ) ඇවරේජ් එක හදන්නත් පුළුවන් අවශ්‍යතාවය අනුව.

      Delete
  9. ස්තූති සබදිය සැපයීමට !!!

    පරමාදර්ශී ආයූ අපේක්ෂාව අනුව යම් රටක ජනතාව සතුටින් /කලකිරීමකින් ඉන්වද නැද්ද යන්න පිලිබදව යම් අදහසක් ගන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. එවැනි සම්බන්ධයක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්. දත්ත පරීක්ෂා නොකර හරියටම කියන්න බැහැ. දැන ගන්න අවශ්‍ය දෙවන කරුණනම්, සතුටින් /කලකිරීමකින් ඉන්නවාද කියන එක ගැන සෘජුවම සමීක්ෂණය කරන එක හෝ දැනටමත් තිබෙන සමීක්ෂණ දත්ත විශ්ලේෂණය කරන එක ඊට වඩා සරලයි. පහසුයි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...