Saturday, July 20, 2019
සිංගප්පූරු ආකෘතිය
සිංගප්පූරු ආකෘතිය ගැන චන්දිම ගෝමස් විසින් ඉතා හොඳ ලිපියක් ලියා තිබෙනවා. මෙය මා කාලයක් තිස්සේ කතා කරන්න හිතාගෙන හිටපු මාතෘකාවක්. ලියන්න හිතා ගෙන හිටපු බොහෝ දේ චන්දිම ගෝමස් විසින් ලියා තිබෙනවා. (එම ලිපිය පළවූ දින මේ ලිපිය හා ඊළඟ ලිපිය ලිවීමෙන් පසුව චන්දිම ගෝමස්ගේ ලිපි පෙළ තවත් ඉදිරියට ගොස් තිබෙනවා.)
සිංගප්පූරුව කියන රට බිහි වෙන්න කලින් එය මැලේසියාවේ කොටසක්. රාජ්‍ය පාලන ආකෘතියේ වෙනස්කම් නොතිබෙන්නට අදටත් සිංගප්පූරුව මැලේසියාවට බොහෝ අතින් සමානව තිබිය හැකිව තිබුණා. මෑතක් වන තුරුම මැලේසියාවේ ජීවත් වූ චන්දිම වැනි කෙනෙක් සිංගප්පූරුව ගැන සටහන් කරන දෙයෙහි මා ලියනවාටත් වඩා විශ්වාසනීයත්වයක් තිබෙනවා.
සිංගප්පූරුව පසුගිය සියවසේ අවසන් දශක තුන ඇතුළත වේගයෙන් දියුණු වූ රටක්. ඒක පුද්ගල ආදායම අනුව දැනට ඉහළින්ම සිටින ආසියාතික රට සිංගප්පූරුවයි. ඒක පුද්ගල ආදායම අතින් සිංගප්පූරුව ඉන්නේ ඇමරිකාවටත් ඉහළින්. එහෙත්, චන්දිම ගෝමස් කියන විදිහට ඔහු දැනට පා තබා තිබෙන රටවල් අතරින් යන්න අකැමතිම රට සිංගප්පූරුවයි. ඒ ඇයි කියා ඔහු හේතු දක්වනවා.
ලංකාව සිංගප්පූරුවක් කරන්න කතා කරන අයගේ අඩුවක් නැහැ. මේ ගොඩක් අය සමාජවාදයට විරුද්ධ අය වීමත් කැපී පෙනෙනවා. සිංගප්පූරුව ධනවාදී රටක් කියා ඔවුන් හිතාගෙන ඉන්නවා ඇති. නමුත්, ලෙනින්ගේ මුහුණ ගලවලා ලී ක්වාන් යූගේ මුහුණ ඇලෙව්වා කියා රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් තිබෙන රටක් ධනවාදී රටක් වෙන්නේ නැහැ.
රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් යටතේ විනාශ වූ රටවල් විශාල ප්‍රමාණයක් අතරේ සාර්ථක ප්‍රතිඵල නෙලාගත් රටවල්ද තිබෙනවා. සිංගප්පූරුවම උදාහරණයක් ලෙස පෙන්විය හැකියි. ඇත්තටම කියනවානම් ලෙනින්ගේ සෝවියට් දේශයත් රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් යටතේ සාර් රුසියාව සිටි තැන සිට විශාල දුරක් යන්න සමත් වුණා. ඒ ක්‍රමයට යා හැකි සීමාව පෙනෙන්න පටන් ගත්තේ දශක ගණනාවකට පසුවයි. ඒ විතරක් නෙමෙයි. හිට්ලර්ගේ ජර්මනියත් රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් යටතේ විශාල පිම්මක් පැන්නා.
ආර්ථික වර්ධනය රටකට ඉතා වැදගත්. නමුත්, ආර්ථික වර්ධනය වෙනුවෙන් ගෙවිය යුතු මිල ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ වලට වඩා වැඩි විය යුතු නැහැ.
දැනට දශක දෙකකට පමණ පෙර මා මුල් වරට සිංගප්පූරුවට අඩිය තැබූ දවසේ හොල්මං වුණා කියා කියන්න පුළුවන්. රටට ඇතුළු වූ වහාම මා දුටු පිරිසිදුකම හා පිළිවෙළ අද වන තුරුත් කිසිදු රටකදී දැක නැති බව කිව යුතුයි. සති දෙක තුනකට පෙර සිංගප්පූරුවට අඩිය තබන විටත් මේ තත්ත්වය එසේම දැකිය හැකිව තිබුණා.
ඒ විතරක් නෙමෙයි. සිංගප්පූරුව දවසින් දවසම අලුත් වන රටක්. වසරක හෝ දෙකක කාලාන්තරයකින් පසුව රටට ඇතුළු වන විට බොහෝ දේ වෙනස් වෙලා. හැබැයි මේ වෙනස්කම් සියල්ලම වගේ භෞතික වෙනස්කම්. සිංගප්පූරු මිනිස්සුනම් එදත් රජයෙන් පාලනය කරන යන්ත්‍ර. එය අදත් එහෙමයි. මේ ගැන චන්දිම ගෝමස්ගේ අදහස මෙවැන්නක්.
"සිංගප්පුරුව පුරාම මා දකින්නේ හැඟීම් දැනීම් නැති රොබෝවරුන් පිරිසකි. ඔවුන් තුල කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් හෝ අඩුම තරමේ හාස්‍ය රසය විඳගැනීමේ හැකියාවක් හෝ මා දකින්නේ නැත."
සිංගප්පූරුව දවසින් දවසම අලුත් වන රටක් කියා මා කිවුවනේ. චාන්ගි ගුවන් තොටුපොළ හා යාබදව තනා ඇති "ජුවෙල්" වෙළඳ හා විනෝදාස්වාද සංකීර්ණය විවෘත කර දැනට මාස කිහිපයකට වඩා නැහැ. යුදෙවුවෙකු වන මෝෂේ සෆ්ඩී විසින් සැලසුම් කර ඇති මෙය අපූරු නිර්මාණයක්.
ජුවෙල්හි ප්‍රධානම ආකර්ෂණය ලෙස හැඳින්විය හැක්කේ එහි ඇති කෘතීම දිය ඇල්ලයි. එම දිය ඇල්ල අවට කෘතීම වනාන්තරයක්ද නිර්මාණය කර තිබෙනවා. කෘතීම වනාන්තරයක් කියා කිවුවත් එහි තිබෙන්නේ ස්වභාවික ගස්වැල්. ජුවෙල් වැනි තැනක් පමණක් නෙමෙයි පොදුවේ සිංගප්පූරුවම ගත්තත් මේ රට ස්වභාවික ගස්වැල් හා කොන්ක්‍රීට් ඉදිකිරීම් මනාව මිශ්‍ර කර තිබෙන වෙළඳ හා විනෝදාස්වාද සංකීර්ණයක්. මේ ගස් වැල් ස්වභාවික ගස්වැල් වුවත් රටේ හැම ගහක්ම හැම වැලක්ම වගේ පැලවී තිබෙන්නේ සිංගප්පූරු රජයට අවශ්‍ය තැන් වලයි.
සිංගප්පූරු ස්වභාවිකත්වය කියන්නේම සැලසුමක කොටසක් වන කෘතීම ස්වභාවිකත්වයක්. සිංගප්පූරු ජාතිකයෙකුගේ ස්වභාවික හැසිරීම් ගැන කියන්න තිබෙන්නේත් ඒ ටිකමයි. අර කතාවක් තිබෙනවානේ පිරිමි දෙන්නෙක් හා එක් ගැහැණියක් කූඩු කර තැබූ විට සිදු වන දේ ගැන. සිදුවන දේ තීරණය වන්නේ මේ තිදෙනාගේ ජාතිකත්වය මතයි. කූඩු කර ඇත්තේ ඇමරිකානුවන්, චීන්නු, ඉන්දියානුවන්, රුසියානුවන් ආදී ලෙස වෙනස් වෙද්දී සිදු වන දෙයත් වෙනස් වෙනවා.
ඒ අනුව, පිරිමි දෙන්නා මරාගෙන ඉතිරි වන පිරිමියා විසින් ගැහැණියව අයිති කර ගැනීම, පිරිමින් දෙදෙනා විසින් ගැහැණියව හවුලේ බෙදා ගැනීම, ගැහැණිය පැත්තක සිටියදී පිරිමි දෙදෙනා එකතු වීම, ගැහැණිය මරා දමා පිරිමි දෙදෙනා එකතු වීම, ගැහැණිය විසින් තමන්ගේ කැමැත්ත පරිදි පිරිමියෙකු තෝරා ගැනීම, ගැහැණිය විසින් තමන්ගේ කැමැත්ත පරිදි පිරිමියෙකු තෝරා ගැනීමෙන් පසුව ඒ පිරිමියා ගැහැණියව අනෙක් පිරිමියාට විකිණීම, කේන්ද්‍ර ගැලපීම අනුව පිරිමියෙකු හා ගැහැණිය එකතු වීම ආදී විවිධ දේ සිදු විය හැකියි. කතාව අනුව, කූඩුවේ ඉන්නේ සිංගප්පූරු ජාතික පිරිමි දෙන්නෙකු හා ගැහැණියක්නම් සිදු වන්නේ ඔවුන් තිදෙනාම කළ යුතු දේ රජයෙන් දැනුම් දෙන තුරු කතාබහක්වත් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න එකයි.
චන්දිම ගෝමස් කියන විදිහට සිංගප්පූරුවේ ඉන්නේ කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් නැති රොබෝවරුන්නම් ඒ වගේ රටක ජුවෙල් වගේ තැන් හැදෙන්නේ කොහොමද කියා කාට හරි අහන්න පුළුවන්. අඩි 130ක් උස ජුවෙල් දියඇල්ල එහි පසුබිමේ ඇති ගස් වැල් එක්ක ඉතා සුන්දර දසුනක්. සිංගප්පූරුව වගේ තැනක් කොන්ක්‍රීට් ගොඩක් විදිහට නොතබා මේ ආකාරයට ගස්වැල් එක්ක බ්ලෙන්ඩ් කරන එක නරක අදහසක් නෙමෙයි. හැබැයි ඔය වගේ දෙයක් ලොකු මැජික් එකක් වෙන්නේ ස්වභාවික දිය ඇලි නැති සිංගප්පූරුව වගේ තැනකටම තමයි.
මාවනම් හිතන්න වැඩිපුරම පෙළඹවූ මොහොත ස්විච් එකක් දමා ජුවෙල් දිය ඇල්ල ඔන් කරපු මොහොතයි. මම හිතන්නේ මේ වගේ මොහොතකින් සංකේතවත් කරන්නේ සිංගප්පූරු ජාතිකයෙකුට තිබිය හැකි කලාත්මක චින්තනයේ, ස්වභාවධර්මය පිළිබඳ සුන්දර හැඟීමේ සීමාවයි.
චන්දිම සිංගප්පූරුව හා අදාළව කරපු ආකාරයේ විවේචනයක් සෝවියට් දේශය හා අදාළව සාමාන්‍යයෙන් සිදු වන්නේ නැහැ. ගොඩක් අය පුන පුනා කියන්නේ සෝවියට් දේශය සාහිත්‍යය, කලාව ආදිය වෙනුවෙන් විශාල ඉඩකඩක් විවර කළා කියන එකයි. ජුවෙල් දිය ඇල්ල ඔන් ඕෆ් කරන මොහොත වැනි මොහොතක ළඟ හිටියේ නැත්නම් කාට වුනත් පෙනෙන්නේ සිංගප්පූරු රජය තමන්ගේ රටේ මිනිස්සුන්ගේ කලාත්මක චින්තනය, ස්වභාවධර්මය පිළිබඳ සුන්දර හැඟීම වෙනුවෙන් කොයි තරම් වැඩ කොටසක් කරල තියෙනවද කියන එක විතරයි.
(Image: https://www.businessinsider.sg/changi-airport-jewel-best-waterfall-forest/)
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
සිංගප්පූරුව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි මූලධර්මවාදී (දාරුස් සලාම්)රාජ්‍යයන්.
ReplyDeleteඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ තියෙන ලොකුම බලය තමයි වසඟය.
බලන්න වෛද්‍ය රුවන් ජයතුන්ග මහතා සෝවියට් විශ්ව විද්‍යාල වල ඉගෙන ගත් කෙනෙක්. ඒත් ඔහු කැනඩාව දකින්නේ බහුවාර්ගික රටක් හැටියට. මන්ද ඔහුට කැනඩාව තුල ඇති ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය පෙනෙන්නේ අවුව වැස්ස හිම වැනි තවත් ස්වභාවික එකක් හැටියටයි.
සිංහල බෞද්ධයන් වන අපි මෙම අංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ වසඟය හඳුනාගතු යුතුයි.
දෙමළ ජාතිවාදය ක්‍රියා කරන්නේත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය වෙනුවෙන් බව එවිට අවබෝධ වෙයි.
සෞදියෙන් පලාවිත් කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා සිටින රහාෆ් මොහම්මද් වුනත් ඇංග්ලිකන් සංස්කෘතියේ වසඟයට හසුවූ අයෙක්. ඇය තමන්ට ඉංග්‍රීසි ඉගෙනීමට අවශ්‍ය බව කීවේ ඒ නිසයි.
චන්දිමගේ බ්ලොග් එක මිස් වෙලා තිබ්බ එකක්. තැන්ක්සු ඉකො
ReplyDelete