Monday, January 28, 2019
පිත්තල පවුල් හා රත්තරන් පවුල්
දැන් ලංකාවේ ගොඩක් පවුල් වල ඉන්නේ දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නක් පමණයි. නමුත් අපේ දෙමවුපියන්ගේ පරම්පරාවට සමකාලීන බොහෝ පවුල් වල දරුවන් හත් අට දෙනෙක් හිටියා. සංඛ්‍යාලේඛණ වලින් බැලුවත් 2017දී ලංකාවේ එක් කාන්තාවකට සාමාන්‍ය දරුවන් ගණන 2.05ක් පමණයි. 1960දී මේ අනුපාතය 5.54ක්. ඊට පෙර ආසන්න අවුරුදු වලදී ඊටත් වඩා වැඩිව තියෙන්න ඇති. මේ විදිහට පවුලක දරුවන් විශාල ගණනක් ඉන්න එක ඉතිහාසය පුරාම පැවතුනු තත්ත්වයක්ද?
කිසියම් රටක ජනගහණය ස්ථාවරව තියා ගැනීම සඳහා කාන්තාවක් දරුවන් 2.1ක් පමණ ලැබිය යුතු බව සැලකෙනවා. ලංකාවේ ඒ අනුපාතය දැන්නම් මේ ගාණටත් වඩා තරමක් අඩු වෙලා. කොහොම වුනත්, 1800 වන විට මිලියන 0.75-0.9 අතර පැවති සේ ඇස්තමේන්තු කර ඇති ලංකාවේ ජනගහණය මේ වන විට මිලියන 21.5ක් පමණ වෙලා තියෙන්නේ පසුගිය සියවස් දෙකක කාලය තුළ ලංකාවේ ජනගහණය වේගයෙන් වර්ධනය වූ නිසයි. ඒ කාලයේ ලංකාවේ පවුලක හත් අට දෙනෙක් හිටපු බව බොරුවක් නෙමෙයි. නමුත්, ඒ තත්ත්වය ඊට පෙරත් ඒ විදිහටම පැවතුණු තත්ත්වයක්ද?
පසුගිය දෙසියවස තුළ ලංකාවේ ජනගහණය 20 ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. අපි නිකමට හිතමු ඊට පෙරත් ඒ වේගයෙන්ම වැඩි වුණා කියා. එහෙමනම්, 1620 පමණ වෙද්දී ලංකාවේ ජනගහණය 45,000ක් පමණ විය යුතුයි. ඊට දෙසියවසකට පමණ පෙර 2,250 පමණ විය යුතුයි. එය එසේ නොවූ බව ඉතා පැහැදිලියි. 1820 පමණ වෙද්දී ලංකාවේ සිටි ජනගහණය සියවස් ගණනක් තිස්සේම ආසන්න වශයෙන් ස්ථාවරව පැවතී තිබෙන මට්ටමක්. ඊට පෙර කාන්තාවක් දරුවන් හදා තිබෙන්නේ ජනගහණය ස්ථාවරව පවත්වා ගන්න අවශ්‍ය මට්ටමට ඉතා ආසන්නවයි. මෙහි "හදා තිබෙන්නේ" කියන එකෙන් අදහස් වෙන්නේ "වදා තිබෙන්නේ" කියන එක නෙමෙයි.
මෑතකාලීනව පවුලක දරුවන් ගණන අඩු වෙන්න හේතු වුනේ උපත් පාලන ක්‍රම ප්‍රචලිත වීම බව පැහැදිලි කරුණක්. එහෙමනම්, මිනිස්සු උපත් පාලන ක්‍රම ගැන දැනගන්න කලින් පවුලක විශාල දරු පිරිසක් හිටියද?
ඇත්තටම එහෙම ඉඳලා නැහැ. මගේ කලින් ලිපි වල විස්තර කළ බිළිඳු දරුවන් මරා දැමීම හෝ මැරෙන්නට හැරීම 1800 පමණ වන තුරු ලංකාවේ (වගේම තවත් රටවලත්) ප්‍රචලිතව තිබූ පවුල් සැලසුම් ක්‍රමයයි. එය ඒ කාලය වන තුරුම වැරදි වැඩක් සේ සැළකී නැහැ. පවුල් වල දරුවන් ගණන විශාල සේ වැඩි වෙන්නේ මේ පුරුද්දට තිත තැබීමට සමාන්තරවයි.
"මීට වඩා හොඳයි මේකිව උපන් ගමන්ම මරල ගඟට වීසි කළානම්!" කියා දෙමවුපියන් විසින් කියන අවස්ථාත්, "මීට වඩා හොඳයි උපන් ගමන්ම මාව මරල දැම්මනම්!" කියා දරුවන් දෙමවුපියන්ට කියන අවස්ථාත් මගේ කණටම ඇහිල තියෙනවා. මේ වගේ කියමන් සමහර විට හැමෝගෙම පොදු අත්දැකීම් නොවෙන්න පුළුවන්. දැන් මට හිතෙන්නේ ඔය වගේ කියමන් වාග් කෝෂයට එකතු වෙලා තියෙන්නේ අහම්බෙන් නෙමෙයි කියලයි. පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් මේ ඉරණමට ගොදුරු වෙන්න ඇති කියන එක තර්කානුකූල වනවා වගේම ඇතැම් මූලාශ්‍ර වලිනුත් තහවුරු වෙනවා.
ලන්දේසි කාලයේ ලංකාවේ පවුල් හා දේපොළ ගැන ඉතා විස්තරාත්මක හා සාපේක්ෂව නිවැරදි මූලාශ්‍ර ලෙස ඔවුන් විසින් පවත්වාගෙන ආ තෝම්බු ඉතිරිව තිබෙනවා. මේ තෝම්බු වල ඔවුන්ගේ පාලන ප්‍රදේශ වල එක් එක් නිවසේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු වගේම දේපොළ පිළිබඳ තොරතුරුත් ඉතා විස්තරාත්මකව වාර්තා වී තිබෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් පුද්ගලයින් 250,000කගේ පමණ තොරතුරු.
යේල් සරසවියේ ෆේබියන් ඩ්‍රික්ස්ලර් හා නෙදර්ලන්තයේ රාද්බවුඩ් සරසවියේ යාන් කොක් විසින් 1756-68 අතර කාලයේ සියනෑ කෝරළයේ මැද පත්තුවේ හා හාපිටිගම් කෝරළයේ උඩුගහ පත්තුවේ තෝම්බු පරීක්ෂා කරමින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට අවම වශයෙන් උඩුගහ පත්තුවේ ගැහැණු ළමුන්ගෙන් 57%ක් උපතේදීම අතුරුදහන්. එක පවුලක ඉතිරිව සිට ඇති සාමාන්‍ය දරුවන් ගනන 2.7ක් පමණයි. මැද පත්තුවේ ගැහැණු ළමුන්ගෙන් අවම වශයෙන් 27%ක් අතුරුදහන්.
මේ ගණන් ඇස්තමේන්තු කර තිබෙන්නේ සාමාන්‍ය ගහණයක උපතේදී පැවතිය යුතු ගැහැණු පිරිමි අනුපාතය මත පදනම්වයි. ඇතැම් අවුරුදු වලදී තත්ත්වය වඩාත් දරුණුයි. එවැනි ඇතැම් අවුරුදු වල පිරිමි දරුවන් 500කට ගැහැණු දරුවන් ඉන්නේ 100ක් පමණයි. ඒ වගේම, ගැහැණු දරුවකුට පසුව ඉපදෙන ගැහැණු දරුවකු අතුරුදහන් වෙන්න තිබෙන්නේ විශාල ඉඩක්. පිරිමි දරුවන්ගෙන් කොටසකුත් අතුරුදහන් වී ඇති බව සැලකූ විට මේ ඇස්තමේන්තු මීට වඩා ගොඩක් වැඩි විය යුතුයි.
මේ තත්ත්වය වෙනස් වුනේ ආසන්න වශයෙන් ඉංග්‍රීසීන් ලංකාවට පැමිණි කාලයේ. එයින් අදහස් වෙන්නේ ඉංග්‍රීසීන් පැමිණි නිසා ඒ වෙනස වුනා කියන එකම නෙමෙයි. අදාළ කාලය ලෝකය පුරාම ජනගහණ වර්ධනයේ වෙනසක් සිදු වුණු කාලයක්. ඉංග්‍රීසින් නොආවත් ආසන්න කාලයකදී ලංකාවේ එවැනි වෙනසක් විය හැකිව තිබුණා. ඉංග්‍රීසින්ගේ පැමිණීම නිසා එය ඉක්මන් වුනා.
(Image: http://lankapura.com/2009/05/a-native-family-ceylon-1880-1890/)
Labels:
ඉතිහාසය,
උපත් පාලනය,
ජනවිකාශ විද්‍යාව,
පර්යේෂණ,
ලන්දේසි පාලනය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
සෞඛ්‍ය පහසුකම් අඩුනිසා ඉතා කුඩා කාලයේදී දරුවන් මියයාම පිළිබඳව නොයෙක් කතා අපේ ආච්චිලා කියනවා මා අසා තිබෙනවා. සමහර පවුල්වල දරුවන් හත් අට දෙනා මෙලෙස මියගොස් තිබෙනවා. පිළියමක් ලෙස ඔවුන් තෝරාගෙන ඇත්තේ වැඩිපුර දරුවන් වැදීමයි! එතකොට ඉතුරු වෙන එකා ඉතුරු වෙනවා. මැරෙන එකා මැරෙනවා. පිරිමි දරුවන්ට වැඩි පිළිගැනීමක්ද තිබුණා.ගැහැණු ළමයි කැලේ ගහන කතා මා කියවන්නේ එකොනො ගෙ ලිපි වලින්. එංගලන්තෙ සුද්දෝ කොළ අතු ඇඳගෙන නරි දඩයම් කරන කාලේ සිංහලයා පටසළු ඇඳගෙන වේද පොත් කියවපු බවක් සුරිය ගුණසේකර ලියා තිබුණා මට මතකයි.
ReplyDeleteසුද්දා කියන්නෙ ඉන්ගලන්තෙ වෙන්න ඕනෙ. ග්‍රීසියේ හා රෝමයේ වෙන්න බෑ. ඒවාට වඩා අපි පැරණියි කියන්න බෑ (ගුණසේකරලාගේ රාවණාවාදය ගැන මං කතා නොකරයි කියන්නෙ ). තව එකක් , ඉන්ගලන්තය ඇතුලු බටහිර සංස්කෘතිය ග්‍රීක් හා රෝම මූලයන් හා බලපෑම්වලින් විශාල දායකත්වයක් ලැබූ එකක්. ඔය කොල අතු කතාව අපිට සතුටු වෙන්න කියකියා ඉන්න හොඳ දෙයක් වුනාට, ඉන්ගලන්තයේ අවු 800-1000ක්ට ලංවෙන්න කාලයක් නොකැඩී පවත්වාගෙන ආ විශ්ව විද්‍යාල හා වෙනත් ආයතන තියනවා. එතකොට නොකැඩී ඇති පැරණි සංස්කෘතියක් ඇති රට මොකක්ද?
DeleteAnonymous January 28, 2019 at 5:02 PM
Deleteසිරිලකේ අපිට තියෙන්නෙත් සුද්දෝම (මම මෙතන සුද්දෝ කියන්නේ පෘතුගීසි/ ලන්දේසි ඉන්ග්‍රීසි යන අරුතින් පමනක් නොව පොදුවේ සුදු සමැති කොකේසියන් වයිට් රේස් එක ගැනයි) හොයල දීපු ඉතිහිහාසයත් නැත්නම් ඉන්දියාව අපේ රටට බලෙන් ඇතුල් කරපු ඉතිහාසයත්. ඉන්දියාවේ දාගැබ් වල භෙෘතික සැකැස්මයි අපේ දාගැබ් වල සැකැස්මයි දිහා බලන්න. අපේ දාගැබ් බුබ්බුලාකාර ඝණ්ඨාකාර ධාන්‍යා කාර හැඩ ගනිද්දි ඉන්දියාවේ දාගැබ් එහෙම නොවුනේ ඇයි?
හරියට අපේ ඉතිහාසයත් ගැන අපි දන්නෙ නැතිව කොහොමද ඉතින් කතා කරන්නේ? බෙල් මහත්තය ඇවිත් සීගිරිය හාරල තිබිච්ච දේවල් අරගෙන ඉතිරි දේවල් වහල ගියා. ඒව අදටත් ඒවා වැලලීගිය ඉතිහාසයත් පමනයි. මුලින් කරන්න ඔන හරියට අපේ ඉතිහාසය හොයා ලන්න එක.
එංගලන්තයට ගිය කෙනෙක් දන්නවා ලන්ඩන් නගරයේ රෝම පවුරක් ඇති බව, බාත් හි රෝමක ස්නානාගාර හා නටබුන් තියෙනවා, ස්ටෝන්හෙන්ජ් එක හදපු කාලය අනුමාන කරනවා ක්‍රිපූ 3000 වගේ කාලෙක කියලා. ආසියානු මහාද්වීපයේ තරම් (බැබිලෝනිය වගේ) ලොකු ඉදිකිරීම නොවුනත් එංගලන්තයට ත් අපිට වගෙම රජුන් මරාගත්තු, දුටුගැමුණු (මහා ආතර්)ලා හිටපු, බලය නිසා සහෝදර-සහෝදරියන් ඇනකොටා ගත්තු, කුමන්ත්‍රණ වලින් ගහණ ඉතිහාසයක් තියෙනවා.
ඔවුන්ට ඇති, අපිට නැති එක තමයි සාපේක්ෂව ලෝක සම්මත අනුව ප්‍රජාතන්ත්‍රය වෙනුවෙන් දිවි දුන්නු ඔලිවර් ක්‍රොම්වෙල්, ප්‍රැන්කර්ස්ට් සහෝදරියන් වගේ ඓතිහාසික චරිත. අපේ දිවිදුන්නු තරමක් ඉන්නෙ සාපේක්ෂව ලෝක සම්මත අනුව ඒකාධිපතියන් රකින්න, ත්‍රස්තවාදය වෙනුවෙන් හා ප්‍රතිගාමී අදහස් වෙනුවෙන්.
පුරාණ ග්‍රීසිය ගැන කිව්වොත් //Actually, ancient Greeks were comfortable naked, since they had decent spiritual development, they needed clothes only to protect themselves from weather..//
රෝමය ගැන කිව්වොත්, නීරෝගෙන් පසුව කාලයක, විශේශයෙන් ම ජර්මානු ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණ නිසා රෝමානු අධිරාජ්‍ය "අඳුරු යුගයකට" වැටෙනවා. ඊට කලින් අහසේ/පාලම් ඇල මාර්ග තැනූ රෝම ජාතිකයන් පැල්පත් අටවන්න ගල් සොයාගන්න පාලම් ඇල මාර්ග කඩාදානවා.
ලංකාවේ අනුරාධපුර/පොලොන්නරු යුග වල වර්තමානයේ එංගලන්තය ලෙස හඳුන්වන කෙල්ටික දේශය ලංකාවට බොහෝ සමාන කෘශිකාර්මික සංස්කෘතියක් තිබුනේ. රෝමානු ආක්‍රමණ එක්ක මේ සංස්කෘතිය සහ කෘශිකාර්මික ආර්ථිකය වෙනස් වුනා, ඇදහිලි වෙනස් වුනා.
ක්‍රිස්තු වර්ශ බිංදුවෙදි තමයි ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිද්ධ වෙන්නෙ. ක්‍රිස්තු වර්ශ බිංදුව කාලෙ ලංකාවෙ රජකලේ භාතිකාභය කියන රජතුමා. මේ කාලෙට අයිති රෝම කාසි ආදිය ලංකාවෙ ගොඩවාය වරාය, අනුරාධපුරය, මන්නාරම ආදි ප්‍රෙද්ශ වලින් සොයාගෙන තිබෙනවා. ක්‍රිස්තු වර්ශ බින්දුව ගනන් වල රෝම ඉතිහාසය බැලුවොත්, ලංකාව සහ රෝමය අතර කාසි විතරක් නෙමෙයි වාරිමාර්ග තාක්ශණ හුවමාරුවක් සිදු වුන බවට ඉතා පැහැදිලි සාක්ශි තියෙනවා.
ලංකාවේ යෝධ ඇල සැතපුම් 17 කට අඟල් 6 ක් බෑවුමක් (Slope) ඇතුව හදද්දී ම රෝම වරු හැතැප්මයට අඟල් හතරක් බෑවුම ඇති පාලම් උඩ (අහස්) දිය අගල් (Roman Aqueducts) හදනවා. (සැබවින්ම යෝධ ඇළේ නිර්මාණය අනුව එය ඇළක් නොව දික්‌වැවකි. යෝධ ඇල කලාවැවේ සිට සැතපුම් 54 ක් දුරට තිසාවැව දක්‌වා හෙමින් හෙමින් වංගු සහිතව ගලා ගියේ හැම වංගුවකම "දිය කලියක්" පිහිටුවා ඒ මගින් ඉදිරියේ ඇති ලා කඳුකර කැටිය තරණය කොට ජලය ඉදිරියට ගලා යැමට සලස්‌වා තිබිණි. යෝධ ඇළේ ඇත්තේ යටි පැත්තේ ඉවුර පමණි. ජලය ගලා යන්නේ මතුපිට පොළව දිගේය. ඇළේ වතුර වැඩි වන විට වැව් තාවුල්ලක මෙන් ඇළේ අනෙක් පැත්තට ජලයේ ගිල්ම ඇති වේ. බැලු බැල්මට යෝධ ඇළේ ජලය ගලායන බවක් නොපෙනේ. ඒ තරමටම ජලය හීන් සීරුවේ ඇදීයයි. යෝධ ඇළේ ජලය අඟලේ බැස්‌මට පවතී යෑයි සමහරු කියති. සැබවින්ම මෙහි ඇත්තේ අඟලේ බැස්‌මක් නොව සැතපුම් 17 කට අඟල් හයේ නැග්මකි. ඊට හේතුව කලාවැව පහත් බිමේ සිට මෙය ගලා යන්නේ තිසාවැව උස්‌බිමට වීමයි.) මේකට පාවිච්චි කරන විශේශ ගණිත ක්‍රම ගැන ලතින් භාශාවෙන් ලියැවුනු පුරාණ පොත් තියෙනවා වර්තමානයේ කාටවත් හරියටම තේරුම් ගන්න බැරි වුණ.
රෝම ජ්‍යෝතිෂ ශාස්ත්‍ර, ගණිත ක්‍රම සහ මිනුම් ඒකක ලංකාව සහ රෝමයට පොදු සමාන කමක් තියෙනවා. මේ දැනුම් සහ තාක්ශණයන් දෙරට අතර සහයෝගයෙන් වර්ධණය වුන එකක් වෙන්න තියෙන ඉඩ ඉතා වැඩියි. අපේ උන් ලංකාවේ ඉතිහාසය විතරක් හදාරලා, එහෙ උන් උන්ගේ ඉතිහාසය විතරක් අදාරලා වියුක්ත දැනුමට මෙව්වා අහු වෙන්නේ නෑ. ස්වෝත්තමවාදයෙන් හෝ අනෙකා පහතට දමා කථා කිරීමෙන් නෙමෙයි අපේ පැරැන්නෝ දියුණු වුනේ, සහයෝගයෙන්.
බුද්ධාගමේ තියෙනවා පහුරක් අවශ්‍ය ඟගිකින් එගොඩ වන්න මිස එගොඩ වූ පසු කරතබාගෙන යන්න නොවන බව. ඔ්නෑම සංස්කෘතියක වගේම සිංහල සංස්කෘතියෙක් අතීතයේ යම් යම් වර්චස් තැන් තිබිලා තියෙනවා.ඒ වගේම අපි අද වනවිට ඒ යුගය පහුකරලා. අතීතයේ වැරදි නිසා නූතන සිංහලයා හීනමානයක් ඇතිකරගත යුතු නෑ.
ReplyDeleteසිංහලයාට අද තියෙන ප්‍රධාන ප්‍රශ්ණය ලංකාව 1815 සිට මේදක්වාම ඇංග්ලිකන් ක්‍රිස්තියානි
රටක් වීමයි. හැමදේම ආර්ථික සාධක වලට ඈඳීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.
කලින් ලිපියේ කොමෙන්ටුවක රෝහණ විජේිවීරගේ දේශනයක් තිබුනා.
මට පෙනෙන හැටියට විජේවීර ජාතිකවාදය සහ ආර්ථිකය එකට අනාගත්ත කෙනෙක්.
ඔය වැරැද්දම විමල් වීරවංශත් කරනවා.
//ඔ්නෑම සංස්කෘතියක වගේම සිංහල සංස්කෘතියෙක් අතීතයේ යම් යම් වර්චස් තැන් තිබිලා තියෙනවා.ඒ වගේම අපි අද වනවිට ඒ යුගය පහුකරලා. අතීතයේ වැරදි නිසා නූතන සිංහලයා හීනමානයක් ඇතිකරගත යුතු නෑ.//
Deleteමට එන්න අවශ්‍ය තැනට කිට්ටු තැනක්. හීනමානයක් ඇති කර ගත යුතු නැහැ. හීනමානයක් ඇති කර ගත යුත්තේ ඒ "වර්චස්" තැන් අත නොහැර දිගටම අරන් ආවානම්. ඒ වගේම, ඒ විදිහට අත ඇරලා දාලා ආපු වර්චස් තැන් නැවත වැළඳ නොගෙන ඉන්නත් පරිස්සම් විය යුතුයි. උඩ ඇනෝ කියල තියෙනවා "එංගලන්තෙ සුද්දෝ කොළ අතු ඇඳගෙන නරි දඩයම් කරන කාලේ සිංහලයා පටසළු ඇඳගෙන වේද පොත් කියවපු බවක් සුරිය ගුණසේකර ලියා තිබුණා මට මතකයි" කියා. අපි එහෙම කියමුකෝ. නමුත් සුද්දා නැවත කොළ අතු ඇඳගෙන නරි දඩයම් කරන්න යන්නේ නැහැ. ඒ වගේම සිංහලයාත් මේ වන විට "පටසළු ඇඳගෙන වේද පොත් කියවපු" කාලේ පහු කරලා ගොඩක් දුර ඇවිත්. ඉදිරියට යා යුත්තේ එතැන ඉඳලයි.
සේනා දළඹුවා..
ReplyDeleteකැලේ මැදින් ආවා..
කොලයක් දෙකක් ඌ කෑවා
පැන් උගුරක් බීවා
හරිම රහයි කිව්වා...
'පුංචි පවුල රත්තරන්' කියා ජනගහනය සීමා කිරීමට හේතු උනේ ජනගහනය පාලනය කරන්න බැරි තරමට වර්ධනය වූ නිසාද?? මට නම් හිතෙන්නේ 70-77 යුගයේ තිබුන සංවෘත ආර්ථිකය මගින් ඉතාම සීමිතව සැපයු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වලට තිබෙන ඉල්ලුම අඩු කිරීමට, අධ්‍යාපන වියදම් අඩු කිරීමට සහ විරැකියාව වැඩි වීම වැලක්වීමට උපත් පාලන ක්‍රම මහජනතාවට හඳුන්වා දුන්නා කියලයි. කුඩා පවුලක් සුළු ආදායමකින් නඩත්තු කලත්, දරුවන් බොහෝ ගණනක් නඩත්තු කරන්න බැහැනේ. ඒ හැර, උපදින හැම දරුවෙකුටම පිටිකිරි සලාකය (මසකට කිරිපිටි රාත්තලක් රුපියල් හයකට පමණ ) මාස හයකට හෝ අවුරුද්දකට පසු නොමිලේ සහල් සලාකය, රජයේ ඒකාධිකාරය මගින් වෙළඳපොල මිලට වඩා බොහෝ අඩු මිලට සමුපකාර මගින් සැපයූ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම සහ සත විසිපහකට සැපයු රෝහල් ප්‍රතිකාර ආදිය සඳහා වැය වන මුදල් අඩු කිරීම උපත් පාලනයේ අරමුණ විය හැකියි.
ReplyDeleteඋපන් ගමන් දරුවන් මරණ කතාව නම් මම ඇහුවේ ඉකොනෝගේ බ්ලොග් එකෙන්මයි. නමුත් ,සිළිඳු ගේ බිරිඳ (එතනාහාමි නේද?)ට ගැහැණු දරුවෙකු ලැබුනාම ''පරට්ටි, කෝ මට තුවක්කුව කරේ තියාගෙන යන්න කොල්ලෙක්?? "" කියලා පයින් ගහපු එක ඇත්ත නම්, ඒ දරුවා මරන්න උනත් හැකියාවක් තියෙන්න ඇති. එකගෙයි කෑම නිසා පිරිමි ජනගහනය ගැහැණු ජනගහනයට සාපේක්ෂව ඉහල උනාට ප්‍රශ්නයක් නැතිවෙන්නත් ඇති. ඒ වගේම පිරිමි දෙන්නෙක් ගෙදර bread winners ලා උනාම ඒ පවුල බොහොම සශ්‍රික (ඒ කාලයේ හැටියට ) වෙන්නත් ඇති. ඒ නිසා ජනගහණ පාලනය ඉබේම වගේ සිද්ධ වෙන්න ඇති.
ඔබ කියන කරුණු දෙක එකිනෙකට සම්බන්ධයි. ජනගහණය වැඩියි කියන අදහසට පාදක වෙන්නේ සම්පත් හිඟයයි.
Deleteකුඩා දරුවන් මැරීම ගැන මා නම් අසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහ අපල නිසා මැරෙන්නටඉඩ හැරීමක් ලෙසයි. එහෙත් ලිපියේ කියන තරම් එය සාමාන්‍ය දෙයක් වූ බවනම් පිලිගන්නම බෑ. හේතුව ඔය කියන කාලෙ දරුවෙක් හදන්න ලොකු වියදමක් යන්නෙ නෑ. ගෑනු ලමයෙක්නම් අවුරුදු 12 දි 13 දි කාටහරි බන්දල දෙනව. කොල්ලෙක් යන්තම් කරදඩු උස් වුනගමන් හේනක් කුබුරක් කොටනව. ඉන්දියාවෙ වාගෙ දෑවැදි ප්‍රශ්න හෝ අවසන් යාඥාවට පුතෙක්ම ඕන වීම වගෙ දේවලුත් නැති නිසා.
ReplyDeleteසතෙක්වත් මරන්න දෙවරක් සිතන අපේ පැරණියන් මේ තරම් දරුවො මැරුව කියන එකනම් ද්වේශසහගත කතාවක්.
ඔය තරම් ආහාර හිගයක් මේ රටේ තිබුනෙ නෑ.
//සතෙක්වත් මරන්න දෙවරක් සිතන අපේ පැරණියන් මේ තරම් දරුවො මැරුව කියන එකනම් ද්වේශසහගත කතාවක්.
Deleteඔය තරම් ආහාර හිගයක් මේ රටේ තිබුනෙ නෑ.//
ඔය කරුණු දෙකම ඔබ හැඟීම්බරව හිතන දේවල් මිසක් ඓතිහාසික තොරතුරු මත පදනම් වූ නිගමන නෙමෙයි. ඩේවිඩ් කරුණාරත්න නොක්ස්ගේ පොතම වාක්‍යයෙන් වාක්‍යය වගේ පරිවර්තනය කරන අතර කුරිරු විදිහට පැරණි සිංහලයින් විසින් දරුවන් මරා දැමීම ගැන ලියා ඇති කොටස් වාරණය කරන්නේත් ඔබ හිතන සේ හිතපු නිසා වෙන්න පුළුවන්. මේ විදිහට සිංහල පාඨකයාට කරුණු වසං කළ හැකි වුවත් බාහිර ලෝකයට කරුණු වසන කරන්න බැහැ. අනෙක් අය ඉංග්‍රීසියෙන් හෝ අදාළ ලේඛණ ලියා ඇති මුල් බසින් ඒවා කියවනවා.
දෙවරක් නොහිතා ඕනෑ තරම් සත්තු මරා තිබෙනවා වගේම බොහෝ විට ඒ සඳහා භාවිතා කර තිබෙන්නේ ඉතාම ප්‍රාථමික ක්‍රම. වැඩිපුර සත්තු මරාගන්න බැරි වී තිබෙන්නේ ඒ ක්‍රම එතරම් කාර්යක්ෂම නොවූ නිසා මිස දෙවරක් හිත හිතා හිටපු නිසා නෙමෙයි. මාළු අල්ලන්න යොදා ගෙන තිබෙන ප්‍රචලිත උපක්‍රම වන්නේ වලවල් ඉහීම හා වස දැමීමයි. මේ වස දේශීය පොතු වර්ග ආදියයි. ඒවා දැම්මට පස්සේ කුඩා පැටවුන් එක්ක මාළු සියල්ල (මත් වී හෝ සිහි නැතුව වෙන්න පුළුවන්) උඩ පාවෙන විට පහසුවෙන් අල්ලගෙන තිබෙනවා. ගොඩ සත්තු මරා ගත්තේ බොරු වලවල් හා වෙනත් උගුල් ඇටවීමෙන්. මේවායේ අහුවෙන සතුන්ට ඉන්පසු දුර්වල වෙන තෙක් පහර දෙනවා. මේ දේවල් මා දන්නා කාලයේ පවා සිදු වූ දේවල්. පසුව මේ උගුල් ඇටවීමට මරුවැල් බැඳ තුවක්කු ඇටවීම එකතු වුණා. උගුලේ හෝ බොරු වලේ වැටෙන්නේ සතාම නිසා තමන් සතා මරන්නේ නෑ කියා හිත රවටා ගැනීමක් මේ උපක්‍රම වල තියෙන්න පුළුවන්.
දෙවන කරුණට ආවොත් එක් එක් නිවසේ ඉන්න සාමාජිකයින් ගණන හා ඔවුන් සතු ගොඩ හා මඩ ඉඩම් ප්‍රමාණ, ලැබුණු අස්වනු ප්‍රමාණ, වත්තේ තිබුණු පොල් ගස් ගණන පවා (පොල් ගහකටත් බදු ගත් නිසා) ලන්දේසි තෝම්බු වල විස්තරාත්මකව වාර්තා වී තිබෙනවා. මේ වාර්තා ඇසුරින් පවුලකට පරිභෝජනය කළ හැකි වූ ආහාර ප්‍රමාණය හා එම ආහාර වල කැලරි අගය ගණනය කළ හැකියි. ඇතැම් ඇස්තමේන්තු අනුව නිවසක සාමාන්‍ය ආහාර නිෂ්පාදනය ප්‍රමාණවත් වී තිබෙන්නේ අවම දෛනික කැලරි අගයෙන් 60%ක් සපුරන්න පමණයි. ඒ ප්‍රමාණයෙන් සෑහීමකට පත් වී සිටියානම් එය ආහාර හිඟයක් ලෙස වාර්තා වන්නේ නැහැ.
ඒ වගේම ලන්දේසීන් විසින් සිංහලයින්ගේ බව බෝග විනාශ කළ හැටි හා මිනිසුන්ට කුරිරු ලෙස සැලකූ ආකාරයත් ඔවුන්ගේම වාර්තා වල තිබෙන බව නොකිවුවොත් එය අඩුවක්. මට අවධානය යොමු කරවන්න අවශ්‍ය කරුණ යුරෝපීයයන් කළේ හොඳක්ද නරකක්ද කියන එක නෙමෙයි. වර්තමානයට සාපේක්ෂව අතීතය මොන වගේ එකක් වුනාද කියන එකයි. එය ගොඩක් අයගේ සිහින ලෝක වල තිබෙන තරම් සුන්දර එකක් නෙමෙයි. ලංකාවෙත් එහෙමයි. වෙනත් රටවලත් එහෙමයි.
Deleteඋඩ ප්‍රතිචාරයට තවත් එකතු කිරීමක් ලෙස 1800 පමණ වන විටත් ඉනේ පිහියක් තබා ගැනීම සිංහලයින්ගේ පුරුද්දක්ව තිබී තිබෙන අතර බොහෝ විට පොඩි බහින්බස් වීම් පවා කෙළවර වී තිබෙන්නේ පිහියා ඇනුමකින්. ඒ වන විට ලංකාවේ මෙවැනි (බිළිඳුන් මැරීම් ආදිය ඇතුළත් නැතිව) මිනීමැරුම් අනුපාතයක් ලෙස එංගලන්තයේ ප්‍රමාණය මෙන් 6 ගුණයක් බව වාර්තා වී තිබෙනවා. උල් පිහියා ගෙනයාම තහනම් කර තිබෙන්නේ මෙවැනි අපරාධ අඩු කරන්නයි (ඉංග්‍රීසින්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඇති. නමුත් කියා තිබෙන්නේ මෙයයි). ඒ වගේම ඇතැම් ඉංග්‍රීසි වාර්තා අනුව ඔවුන් පැමිණෙන කාලය වන විටත් ලාංකිකයින් විශාල ලෙස මත්පැනට ඇබ්බැහි වී සිට තිබෙනවා. මත්පැන් තහනම් නොකර නියාමනය කර ආණ්ඩුවට ආදායම් ඉපැයීමේ යෝජනාව එන්නේ ඒ පසුබිමේ සිටයි. මම මේ කියන හැම දෙයක්ම කවර හෝ ඓතිහාසික මූලාශ්‍රයක තිබෙන කරුණු.
Deleteඑකොනො @
ReplyDeleteඔබේ ලිපි සාරගර්භයි ඒ වගේම බුද්ධි කලම්බනයක් සිදුකෙරෙනවා.
නමුත් ශාස්ත්‍රවන්තයෙකුට නොගැලපෙන ලෙසට ඔබ පැත්තකට බරවෙන බවක් පේනවා. ඒ කියන්නෙ බටහිර නොවන සියල්ල පසුගාමියි වගෙ දෙයක්.
ආදි කල්පික ගෝත්‍ර ඇසුරින් සමාජ විද්‍යාඥයන් කළ පර්යේශන අපේ සමාජයට ගලපන්න ඔබ උත්සාහ කරනවා.
ඔබ කියන දේවල් වලට කිසිම මූලාශ්‍රයක් නෑ. නොක්ස්ගෙ පොතෙන් තමා මාත් ඕක අහල තියෙන්නෙ. ඒකත් ලමයගෙන් පවුලට අපට වෙනවනම් තමයි මැරෙන්න දාල තියෙන්නෙ. ඇහැලේපොල විසින් මෙය තහනම් කළ බවටත් කියවෙනවා.
මේක (උපන් හැටියෙ උපත් පාලන ආව්ශ්‍යතාවයට ලමයි මැරීම ) මෙච්චර සුලබ වුනානම් ඓතිහාසික මූලාශ්‍රවල මේ ගැන මීට වඩා සාකච්ඡා වෙනව.
//ඔබ කියන දේවල් වලට කිසිම මූලාශ්‍රයක් නෑ.//
Deleteමේ ලිපි වල තිබෙන හැම ඓතිහාසික කරුණක්ම කිසියම් ඓතිහාසික මූලාශ්‍රයකින් හෝ එවැනි ඓතිහාසික මූලාශ්‍ර මත පදනම්ව සම්මත ක්‍රමවේද අනුගමනය කරමින් නිගමන වලට පැමිණ පිළිගත් විමර්ශිත ජර්නල වල මෑතකදී පළ කර ඇති පර්යේෂණ පත්‍රිකා මත පදනම් වන දේවල් මිස මගේ හිතළු නෙමෙයි. මා අසා තිබෙන දේවල් ගැන සඳහන් කරද්දී මා ඒ බව කියා තිබෙනවා. මා ලන්දේසි තෝම්බු කියවා නැහැ. කියවීමට අවශ්‍ය භාෂා දැනුමත් මට නැහැ. එහෙත්, ඒවා කියවූ අය සමඟ මා සන්නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, ඒ කාලේ සමාජ ජීවිතය ගැන මීටත් වඩා කරුණු ඒවායේ තිබෙනවා. ඒ හැම දෙයක්ම මා මෙහි ලියා නැහැ.
මා උඩ සඳහන් කළ කරුණු තිබෙන පර්යේෂණ පත්‍රිකාව පහත තිබෙනවා.
Deletehttps://www.tandfonline.com/doi/abs/10.1080/00324728.2015.1133842
රෙජිනෝල්ඩ් හෙබර්ගේ පොත පහත එකයි. අදාළ උපුටා ගැනීම 252 පිටුවෙන්.
DeleteHeber, R. 1829. Narrative of a Journey through the Upper Provinces of India, from Calcutta to Bombay, 1824–1825 (With Notes Upon Ceylon). An Account of a Journey to Madras and the Southern Provinces, 1826, and Letters Written in India. 2nd edition. London: John Murray.
@ මධ්‍යස්ථ මතධාරියා January 29, 2019 at 9:29 AM
Deleteඅද අපි කරන දේ තමයි වැදගත්, එහෙම නැතුව එදා අපි මෙහෙමයි කියල කට කියව කියව ඉඳල හරි යන්නේ නෑ.ලෝකෙට විහිලු සැපයීමක් විතරක් වෙනවා.ඊජිප්තු කාරයන්ට වෙලා තියන දේ පේනවනේ? උන් පිරමිඩ හැදුවේ අපි කියල කියනවා හැබැයි අද මෙලෝ දෙයක් කරන්නේ නෑ, මරාගන්නවා මිසක්. අපිත් ඒ වගේ තමයි. ඇමරිකාවට අවුරුදු 200ක ඉතිහාසේ ලෝකේ බලවත්ම රටක් වුනා. .අපි අවුරුදු 2500ක හ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබිලත් එන්න එන්නම ප්‍රපාතයට යනවා.කවුද දක්ෂයෝ?මම පැහැදිලිවම අතීත සිංහලයාගේ හැකියාවන් වලට ගරු කරනවා.රටේ අතීතය ගැන ආඩම්බර වෙනවා.හැබැයි දැන් ඉන්නේ අතීත හ්‍රේෂ්ඨත්වය නැමැති වංශෙ කබල් ගගා අන් ජාතීන්ට ගරහමින් උන් හදන දේවල් පාවිච්චි කරන ගුණමකු සිංහලයෝ ගැන දුක්වෙනවා. ලෝකෙ පුරා පැතිරී තිබුනු දැනුම උන් එකතු කලා .පර්යේෂණ කලා.උන් දියුණු වුනේ එහෙම.අපි මොකද කරන්නේ?ඉන්දියාවට බනිනවා.ඇමරිකාවට බනිනවා.නැවෙන් ආහාර එනකම් මුහුදට දත නියවගෙන ඉන්නවා.අභිමානය කියන්නේ ඕකටද?ජපන් ආක්‍රමණිකයා කොරියාවේ මිලියන ගණන් ගෑනු දූෂණය කලා.ඒ කාලේ කොරියානු පිරිමි අපා දුක් වින්දාහැබැයි අපේ රටේ වගේ මිනිස්සු එහේ හිටියානම් තව අවුරුදු 500ක් වත් වුනදේ ගැන කිය කියා ඉදීවි.
චීන්නු, කොරියානුවො, යුදෙව්වො මේ අය විතර අන් ජාතීන්ගෙන් ලාංකිකයෝ දුක් විදලා තියෙනවාද?
ලෝක ඉතිහාසේ කියවලා බලන්න. සමහර විට ඒ තමන්ට වෙච්ච අසාදාරණය ඒ මිනිස්සුන්ගේ හිත්වල ඇති. ඒකම ආත්ම ශක්තියක් කරගෙන දියුනු වෙන හැටි බලන්න.
මම නම් සුද්දෝ, සිංහලයෝ, දෙමලු, ජපන්නු මොකා වුනත් උන්ගේ නොනවතින ධෛර්යයට ගරු කරනවා. බුදු හාමුදුරුවෝ කිව්වේ ක්‍රියාවෙන් මිසක් ජාති කුල මල වලින් මිනිහා උසස් නොවන බවයි. තමන්ගේ දුර්වලකම් නොදැක උත්සාහවන්ත මිනිසුන්ට බැණීමෙන් රට දියුනු වේද?
//// නමුත් ශාස්ත්‍රවන්තයෙකුට නොගැලපෙන ලෙසට ඔබ පැත්තකට බරවෙන බවක් පේනවා. ඒ කියන්නෙ බටහිර නොවන සියල්ල පසුගාමියි වගෙ දෙයක්.
Deleteආදි කල්පික ගෝත්‍ර ඇසුරින් සමාජ විද්‍යාඥයන් කළ පර්යේශන අපේ සමාජයට ගලපන්න ඔබ උත්සාහ කරනවා.
ඔබ කියන දේවල් වලට කිසිම මූලාශ්‍රයක් නෑ. ///
++++++++++++++++++++++++++++++++++++++++
The truth is out there, agree with you 100% on this. Well explained and this blogger has been revealed.
අපූරු ලිපියක්. බොහොම ස්තුතියි.
ReplyDeleteForbes ගේ Eleven Years in Ceylon පොත.
ReplyDeleteමේක Knox ගේ පොතට වඩා වෙනස් කෝණයකින් බලල ලියපු එකක් වගෙයි පෙනෙන්නේ. Also about a different period of occupation .
මේක බ්‍රිතාන්‍ය නිලධාරියෙක් විසින් ඉංග්‍රීසීන් ගේ ප්‍රයෝජනය සඳහා අවංකවම ලියූවක් වශයෙන් සැලකිය හැකියි. ඒ කිව්වේ තමන් දුටු දෙය හැකි තරම් සත්‍ය ලෙස වාර්තා කිරීමේ උවමනාව ඔහුට තිබුන බව පේනවා. ලාංකිකයන් හෝ ඉංග්‍රීසීන් හෝ, අතිශ්‍යෝක්තියෙන් ඉතා හොඳ හෝ ඉතා නරක ලෙස පෙන්වා දීමක් නැති තරම්.
------------------------------------
ලාංකිකයන්ගේ මත්පැන් බීම ගැන Forbes ගේ මතය ඉකොනොගෙ මතයට වඩා වෙනස්. ඔහු කියනවා -
".. I regret to say that in defiance of the precepts of their religion, the natives of Ceylon have adopted (with unfortunate eagerness) , from European example, a desire for spirituous liquors, which must prove a great counteracting agent to moral improvement.."
පොත මෙතනින් කියවන්න පුළුවන් -
https://books.google.co.uk/books?id=UL-JxWkwI1AC&dq=leuke+ceylon&source=gbs_navlinks_s
ලංකාව ගැන මම දැනන් නොහිටි හුඟක් දේ මේ පොතෙන් දැන ගත්ත. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යන් ලංකාව යටත් කරගැනීම ගැනත්, පිළිමතලාව සහ ඇහැලේපොල වැනි අයගේ බලපෑම ගැනත්. එම සිද්ධි සිදු වූ අලුතම ලියූ පොතක් නිසා යම් ආකාරයකින් ඇත්ත වෙන්න පුළුවන්.
ස්තුතියි, ඇනෝ!
Deleteවයසක අය මැරෙන්නට හැරීම හෝ සැලැස්වීම පිළිගත හැකි උනත්, ළමයින් මරා දැමීම හෝ මැරෙන්නට අතහැර දැමීම සාමාන්‍ය දෙයක් උනාය යන්න ප්‍රශ්න සහගතයි.
ReplyDelete- ගැහැණු හෝ පිරිමි ඕනෑම දරුවෙක්, යාන්තම් දුව පැන ඇවිදින වයසට ආවා කියන්නෙ , ගෙදර ශ්‍රම බලකායට තව සාමාජිකයෙක් එකතු උනා කියන එකයි. හේනේ කුඹුරේ වැඩ වලටත්, ගෙදර උඅන පිහින වැඩ වලටත් මේක උදව්වක්ම වෙන්න ඇති.
- පොත් පත් අරන් දීල ඉස්කෝලේ යවන්නත් නැති එකේ, අවුරුදු 7-8 ක් ලොකු මහත් කරන්න යන්නේ කෑම වියදම විතරයි. ඉන් පස්සේ ලැබෙන නොමිලේ ශ්‍රමයේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි .
- කොස් ගහක් නැති , පලතුරු ගස් නැති ගෙවතු තියෙන්න හේතුවකුත් නෑ . එහෙම උනත්, හැම ගමක් වටේම තිබුනේ කැලෑව . ගොවිතැන් නොකළ අයට උනත්, අල, පලතුරු සහ වෙනත් කෑම ජාති හොයාගැනීම හුඟක් අමාරු වෙන්න බෑ .
- ළමයි ලොකු උනාම ඉඩම් අරන් ගෙවල් හදනව කියන ප්‍රශ්නෙත් අදාළ නෑ . පවුලක් වෙන කොට, ගමේ අතෑරලා දාල තියෙන ඉඩමක් හරි, මායිමේ කැලෑව සුද්ධ කරලා හදන ඉඩමක හරි පැලක් අටව ගෙන පදිංචියට යනව . අලුතෙන් ළමයි හැදෙන කොට ගමේ අනිත් අයගේ උදවුත් ලැබෙනව .
- වැඩිපුර ළමයි යනු සවිමත් insurance policy එකකි.
- ගැහැණු ළමයින් බරක් යයි සැලකෙන්නට පටන් ගන්නට ඇත්තේ (එසේ වූවානම්), පසු කාලීනව දෑවැදි සංකල්පය මුල් ඇදගත් පසුව විය යුතුය. පසු කලෙක උවද, දෑවැද්ද යන්න අදාළ වූයේ යමක් කමක් ඇති පවුල් වලට මිස දුප්පත් ජනයාට නොවේ. සිංහල ගම මෙහිදී ඉන්දියානු ගමෙන් වෙනස් බව සිහි කරගත යුතුය.
-වැඩිපුර ජනගහනයක් සිටීම රජුට උවද වාසි සහගතය. (යුද්දයකට අවශ්‍ය සේනාව, වැඩිපුර බදු ආදිය). එහෙයින් රජු උවද ජන ගහනය සීමා කෙරෙන පුරුදු/සිරිත් අධයිර්යමත් කිරීමට පෙලෙබෙනු ඇත.
හදා ගන්න අමාරු නිසා ළමයි මරා දැම්ම කියල හිතන්න අමාරුයි.
කේන්දරේ හොඳ නෑ කියල සමහර විට උනා වෙන්න පුළුවන්.
ඉකොනොමැට්ටා කියන්නේ විමල් වීරවන්ස ගේ වයිස් වර්සා/ ඔපොසිට් සයිඩ් එක. ඉකොනොමැට්ටල කරන්නේ කොහෙන් හරි පීරල පීරල අමාරුවෙන් කෑල්ලක් අල්ලගෙන ඒකපිට දාල පැරණි සින්හල/ ලාන්කික සමාජයට මඩ බාල්දි පිටින් අතාරින එකයි, ඇමරිකාවේ හෙළුව පෙන්නල කට්ටිය ලින්ක් පිටින් දැම්මත් සද්ද නැහැ.
ReplyDeleteඔය රොබට් නෝක්ස් කියන්නේ පිළිගත් ඉතිහාසඥයෙක්වත්/ සමාජ විද්‍යාඥයෙක්වත් නෙවෙයි, නිකම්ම්ම නිකම් කතන්දර කාරයෙක්.
නෝක්ස් ලන්කාවෙ පරන ගොවියා අතිශයෝක්තියට නගා වර්ණනා කළා, සුද්දන්ට කියවන්න ආස හිතෙන විදිහට රසවත්ව ලස්ස්නට කතා ගෙතුවා. ඒක ඉකොනොමැට්ටා වගේම ප්‍රබබ්ධකරුවෙක්ගේ සිරිත. ඔයිට වඩා ආතල් කතා සින්බෑඩ්ගේ (ස්නිදාබාද් නාවිකයා) කතා, ඉබන් බතූතා, ෆාහ්- හ්සියෑන්/ හ්යූන් ත්සාන් වැනි අයත් ලියා තිබෙනවා. ඕවයෙ තාර බර ඇරල ගන්න එක ඉතිහාස පර්යේෂකයින්ගේ වගකීමයි.
ඉතිහාස පර්යේෂන ක්‍රමවේද නොදැන එහෙන් මෙහෙන් කෑලි අල්ලගෙන බහුබූත දොඩවන එකත් වෙනම ආතල් එකක්. සමහරක් විට ඔය ළමයි මරන ඒක නෝක්ස් ලොව වටා යද්දි වෙනත් දූපතකදි හරි කෑම හිඟ පර්දේශයක දැකපු එකක් වෙන්නත් පුලුවන්, මේ පොතටම දල ලේසියට ලියන්නත් ඇති. අනෙක සමහර විට නොක්ස්ගේම හිතලුවක් වෙන්න පුළුවන්. හැබැයි ලන්කාවටත් ලාන්කිකයන්ටත් ගරහන්න මඩගහන්න බලාගෙන ඉන්න ඉකොනොමැට්ට වගේ සින්හල විරෝධීන්ට ඉතින් ඉබ්බ දියේ දැම්ම වගේ නේද ඉකොනෝ?
අනේ මේ ඔයා දන්නවනේ නොක්ස්ට වඩා -
Deleteඑකොනොමැට්ට කියන්නේ බොඳ මීදුම් ලියපු සුජීව ප්‍රසන්න ආච්චි වගේ ලස්සන කතන්දර ගෙතීමේ හැකියාවක් වගේම ඒවා ඇකඩමික් රිපෝට් සහ රසකතා දෙකටම සරිලන පරිදි ක්‍රොස් ඕවර් කිරීමේ හැකියාවක් ඇති කෙනෙක්. නමුත් ඇකඩමික් කෙනෙක්ට සම්පූර්නයෙන්ම නොගැලපෙන ලෙසට එක පැත්තකට බරවෙන බවක් පේනවා. ඒ කියන්නෙ බටහිර/ ඇමරිකන් හිතවාදී/ නිදහස් වෙලපොළ ක්‍රමයට පක්ෂ නොවන සියල්ල පසුගාමියි කිසිම වැඩක් නැති කියන අදහසයි.
ReplyDeleteලෝකයේ විවිධ පෙදෙස්වල විවාදයට තුඩුදුන් ආදි කල්පික වඳවීයන දුර්ලභ ගෝත්‍ර පිළිබඳ සමාජ විද්‍යාඥයන් කළ පර්යේෂන ඇසුරින් ලිවූ ආටිකල් සහ පොත්පත්වල විස්තර ලාන්කීය සමාජයට ගලපල ලාන්කීය සමජය අතිශය පසුගාමී මිනීමරු වනචාරී දුෂ්ට එකක් ලෙස බොරු චිත්‍රයක් මවන්න එකොනොමැට්ට උත්සාහ කරනවා. නමුත් ඉකොනොමැට්ටා මේකෙ උලුප්පල පෙන්නන හදන දහසකුත් එකත් දුර්මත/ මිථ්‍යා මතවාද වලට කිසිම පැහැදිලි විස්වාස කටයුතු මූලාශ්‍රයක් නෑ. අන්තිමට ඉකොනොමැට්ටාවත් නිකම්ම නිකම් හෑල්ලු වෙලා අර 'රාවනා' රසකතා කියවන මීවනපලානේ ජයරත්න වගේ වෙලා.
ඔය මීවනපලානේ ජයාගේ වර්ගපූර්ණිකාව කරන්නේ අතීතයක් තිබුණා යයි කියන වර්තමානයක් හෝ පැහැදිලි අනාගතයක් නැති රටක රාවනා කියල රජෙක් ගැන ලියන එක. ඉකොනොමැට්ටා කරන්නෙත් ඒ වගේම ලොවෙත් නැති සර්වසාධාරන ඇමරිකන් කුල්තූරයක් ප්‍රොමෝට් කරමින් වෙන විදිහකට ඒකමයි.
හැබැයි ලොකුම වෙනස තමා වර්ගපූර්ණිකාව මෝඩයින්ගේ මෝඩකම් වලට 'ප්‍රහසනයෙන්' පහර ගහනකොට ඉකොනොමැට්ටා මේක කියවන මෝඩයින්ව 'බොක්කෙ ටෝකෙන්' අන්දනවා. මම හරි නේද ඉකොනොමැට්ටෝ?
මෙන්න මේ ජාතියේ තවත් ආතල් බ්ලොග් කිහිපයක්;
ආචාර්ය මීවනපළානේ ජයරත්න - වරිගපූර්ණිකාව
ජනසේන
රචි
නිර්ණාමික තාපසතුමා
යටගිය දවස
පිංගුත්තර සංකපාල
රාවණාගේ හොර ගෑනි
චූට්ය් මහත්තය
ආචාර්ය රාම වංශ
ඇනොන්ය්මොඋස් Oනෙ ඔරිග් (anonymous One Rig)
කටකහනවට අනේ
සිංහයා සිංහ
ථෙ Mඔඩෙර්න් ඵට්‍රිඔට් (The modern patriot)
ථින්ක්ඨ්විcඑ Thinkwice
ෂෆ්‍රz Mඅcක්සූඩ් Sharfraaz Maksoud
ඇනෝ අංකල්
ඒ කිසිවක් මාගේ හොර ප්‍රොෆයිල් නොවේ, ඒ බව ඔවුන්ම සාක්ෂි දරාවි.
ඉතින් ඉකොනොමැට්ටා ඔවුන්ට කළ මේ මහා අපහාසය ඔවුන් ඉවසාවියැයි සිතනවාද? ඉකොනොමැට්ටා විසින්ම අඩි හයක වලක් කපාගත්තේ දවස් ගණනාවකට පෙරය. අද ඔහු එම වලට පැන තමා විසින්ම පළමු පස් පිඩැල්ලත් දමා ගත්තේය.
Agree with your first part. The first couple of paragraphs. Well said.
DeleteLast parts seems like make fun of Economatta ��
ලේඛකයාගේ ලිවීම් කලාව ගැන ඔබ කැමති ආකාරයේ විග්‍රහයක් කර ගැනීමට ඔබට නිදහස තිබෙනවා. ඔබේ ඒ නිදහසට මම බාධා කරන්නේ නැහැ.
Delete//ලෝකයේ විවිධ පෙදෙස්වල විවාදයට තුඩුදුන් ආදි කල්පික වඳවීයන දුර්ලභ ගෝත්‍ර පිළිබඳ සමාජ විද්‍යාඥයන් කළ පර්යේෂන ඇසුරින් ලිවූ ආටිකල් සහ පොත්පත්වල විස්තර ලාන්කීය සමාජයට ගලපල ලාන්කීය සමජය අතිශය පසුගාමී මිනීමරු වනචාරී දුෂ්ට එකක් ලෙස බොරු චිත්‍රයක් මවන්න එකොනොමැට්ට උත්සාහ කරනවා.//
මේ ලිපියේ සහ පෙර ලිපි කිහිපයේ තිබෙන්නේ ලංකාව ගැනම ලියූ විවිධ මූලාශ්‍ර වල ඇති දේ මිස "වෙනත් ලෝකයේ විවිධ පෙදෙස්වල විවාදයට තුඩුදුන් ආදි කල්පික වඳවීයන දුර්ලභ ගෝත්‍ර පිළිබඳ සමාජ විද්‍යාඥයන් කළ පර්යේෂන ඇසුරින් ලිවූ ආටිකල් සහ පොත්පත්වල විස්තර" විස්තර නෙමෙයි. වෙනත් රටවල සිදු වූ ළදරු ඝාතනයන් ගැන කෙටියෙන් සඳහන් කළේ මෙය ලංකාවේ පමණක් සිදු වූ "අතිශය පසුගාමී මිනීමරු වනචාරී දුෂ්ට" දෙයක් නොව ලෝකය පුරාම සිදුවී ඇති දෙයක් බව පෙන්වීම සඳහා පමණයි. වෙනත් තැනක සිදු වූ දෙයක් ලංකාව හා අදාළව ගලපා ඉදිරිපත් කර තිබෙනවානම් කරුණාකර පෙන්වන්න. මෙහි ඇති දේ කියවද්දී ඔබේ ඔලුවේ තිබෙන මවාගත් සුන්දර ඉතිහාසය අභියෝගයට ලක්වෙනවනම්, එවිට සිත් රිදීමක් ඇති වෙනවනම් එයට මට කරන්න දෙයක් නැහැ.
//නමුත් ඉකොනොමැට්ටා මේකෙ උලුප්පල පෙන්නන හදන දහසකුත් එකත් දුර්මත/ මිථ්‍යා මතවාද වලට කිසිම පැහැදිලි විස්වාස කටයුතු මූලාශ්‍රයක් නෑ.//
නොක්ස්ගේ, ෆර්ගසන්ගේ හා රෙජිනෝල්ඩ් හෙබර්ගේ පොත් හා ඩ්‍රික්ස්ලර් හා කොක්ගේ පර්යේෂණ පත්‍රිකා ඉහත ප්‍රතිචාර වලට ප්‍රති-ප්‍රතිචාර සේ ඉදිරිපත් කර තිබෙනවා. ඔබ ඒ බව නොදකින්න හේතුවක් නැහැ. මේ ලිපි කිහිපයේ තිබෙන ලංකාව පිළිබඳ හැම දෙයක්ම වගේ ඔය මූලාශ්‍ර කිහිපයෙන් එකක තිබෙනවා. තවත් තැන් වලත් තිබෙනවා. ඔබට මේ ගැන වැඩි දුර කරුණු සොයා බැලීමේ ශාස්ත්‍රාලයීය උනන්දුවක් තියෙනවනම් එයට ආරම්භයක් ගන්න ඔය මූලාශ්‍ර ටික හොඳටම ප්‍රමාණවත්. ඩ්‍රික්ස්ලර් හා කොක්ගේ පර්යේෂණ පත්‍රිකාවේ මූලාශ්‍ර කොටසට ගියොත් තවත් මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් හමු වෙයි. එය පළ කර තිබෙන Population Studies විෂයානුබද්ධ ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම 15 අතර තිබෙන ජනවිකාශ විද්‍යා ජර්නලයක්.
ලංකාවේ වත්මන් ජනගහනය මිලියන 25ක් වේ යැයි සිතමි.
ReplyDeleteලංකාවේ වත්මන් ජනගහනය මිලියන 25ක් වේයැයි සිතා සිටියෙමි. ඒ මගේ මතකයේ රැඳී තිබුණු පැරණි පුරෝකථන අගයකි.
Deleteතරමක් ආසන්න නිසා ඔබට ඕස්ට්‍රේලියාවේ ජනගහණය සමඟ පැටලෙන්න ඇති. නැත්නම් පැරණි පුරෝකථනයක් මතක තිබුණා වෙන්නත් පුළුවන්. පවුල් සැලසුම් ක්‍රම ජනප්‍රිය වීම නිසා 1970 පමණ කාලයේ පුරෝකථන ඒ විදිහටම හරි ගියේ නැහැ.
Deleteමට මේ කරුණ වැරදුනේ ඇයි ද කියා මා සොයා ගත්තා.
Deleteමීට වසර තිහකට පමණ පෙර මා ඕස්ටේර්ලියාවට සංක්‍රමණය කරන්නට සිතු කාලයේ දැන ගත් එක් කරුණක් තමයි, ලංකාව ප්‍රමාණයෙන් ඕස්ටේර්ලියාවේ එක් දූපතක් වන තැස්මේනියාවට සමාන වුව ද, දෙරටේ ජනගහණය සමාන බව.
එසේම, ලංකාවේ ජනගහණ වර්ධන වේගය දියුණු රටක තරම් අඩු බව ද එකල කියවුණා.
පසුගිය දිනක ඕස්ටේර්ලියාවේ ජනගහණය මිලියන 25 පන්නා ගියා. එය මගේ සිතේ ලියවුණේ පෙර පැවති සමානත්වය සමග වැරදි ආකාරයටයි!
අතීතයේ ජනගහනය ස්ථාවරව පැවතුණු බවට ඔබ කළ නිගමනයට වගේම පසුකාලීනව ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවීමට සෞඛ්‍ය ක්ශේත්‍රයේ දියුණුවක් ඇතිවීම බලපෑව වෙන්න බැරිද?
ReplyDeleteහේතු නොදන්න වසංගත නිසා මිනිස්සු මැස්සො වගේ මැරුණු කාල තියෙන්න ඇති.
පළමුව, "අතීතයේ ජනගහනය ස්ථාවරව පැවතුණු බවට ඔබ කළ නිගමනය" තනිකරම මගේ නිගමනයක් නෙමෙයි. එය ජනවිකාශ විද්‍යාඥයින් පොදුවේ පිළිගත් කරුණක්. ඒ වගේම මෙහිදී ස්ථාවරව කියන එකෙන් අදහස් වෙන්නේ මෑත සියවස් වලට සාපේක්ෂව ජනගහණ වර්ධනය සිදුවුනේ ඉතාම හෙමින් බවයි. මේ හා අදාළ වැඩි විස්තර පහත ලිපියේ තිබෙනවා.
Deletehttp://emgesathapaha.blogspot.com/2016/01/blog-post_16.html
දෙවනුව, ඉතා පැහැදිලිවම හා ඔබ සඳහන් කර ඇති පරිදි, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව නිසා මරණ අනුපාතිකය පහළ යෑම ඔය කියන කාලයේ ලංකාවේ වගේම ලෝකය පුරාම ජනගහණය වර්ධනය වීමට හේතු වුණා. ඒ වගේම පොදුවේ තාක්ෂණ දියුණුව නිසා නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ ගොස් රටකට දරාගත හැකි ජනගහණ ධාරිතාවය ඉහළ ගියා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ ජනගහණයෙන් 1.4%කට අද පුළුවන් මුළු ඇමරිකාවටම පරිභෝජනයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කරන්න.
වැදගත් කරුණ වන්නේ ඔය කියන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව ඇති වුනේ කොහොමද කියන එකයි. මෙය බාහිර උදවුවක් නැතිව ලංකාව ඇතුළෙන්ම ඇති වූ දෙයක් නෙමෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව ඇති වුනේ පිටත දැනුම රට ඇතුළට කාන්දු වීම නිසා. එපමණක් වුවත් ප්‍රමාණවත් නැහැ. ඒ විදිහට කාන්දු වන දැනුම රට ඇතුළේ ජනතාවට උකහා ගත හැකි වීම හා එහි මිල ගෙවීමේ ශක්තිය ආර්ථිකයට තිබීමත් නොවන්නට මේ දියුණුව ඇති වන්නේ නැහැ. ඒ ශක්තිය ලැබුණේ නිදහස් ගණුදෙනු හරහා ආර්ථිකය අද තිබෙන මට්ටමට ප්‍රසාරණය වීම නිසා. මගේ මේ ලිපි මාලාව ආරම්භ කළේ 1800 නිවසක් හා 2017 නිවසක් සසඳමින් පළ කර තිබුණු වත්පොත් සටහනකින්. ඒ සටහනේ ඇති බොරුව ගොඩක් අයට පැහැදිලි වුවත් එවැනි වෙනත් බොරු එතරම්ම පැහැදිලි නැහැ. නිදහසින් පසු ලංකාවේ කිසිම දියුණුවක් ඇති වී නැහැ කියන එකත් එවැනි විශාල බොරුවක්. ආණ්ඩු විසින් නිදහස් ගනුදෙනු වලට වැඩියෙන් බාධා කරද්දී අඩු වේගයෙනුත්, වැඩියෙන් බාධා කරද්දී අඩු වේගයකිනුත් ලංකාවේ ආර්ථිකය දිගින් දිගටම වර්ධනය වී තිබෙනවා. එයට සාපේක්ෂව ජනජීවිතය විශාල සේ යහපත් අතට වෙනස් වී තිබෙනවා. අද සාමාන්‍ය ලාංකිකයෙකු අත්විඳින ජීවිතය ඉතිහාසයේ කවර කලෙක හෝ සාමාන්‍ය ලාංකිකයෙකු විසින් අත්විඳ නැහැ.
අනෙක් අතට ලංකාවෙන් පිටත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුවක් හෝ අළුත් දැනුම එකතු වීමක් දෙස බැළුවත් ඒ දේවල් සිදුවුනේ ඇතැම් මිනිසුන්ට කෑම බීම වැනි මූලික අවශ්‍යතා ගැන වද වෙමින් මුළු ජීවිතයම ගෙවනවා වෙනුවට අලුත් දැනුමක් එකතු කිරීම සඳහා කාලය යෙදවිය හැකි මානසික පරිසරයක් හා ආර්ථික ශක්තියක් තිබීම නිසයි. එයට ඉඩ සැලසුනේ නිදහස් ගනුදෙනු ව්‍යාප්ත වීම හා එහි ප්‍රතිඵලයක් ලෙස සමාජයේ කොතැනක හෝ අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වීමයි. ලාබ ලැබීමට මිනිසුන්ගේ තිබෙන ස්වභාවික කැමැත්ත අලුත් දේ වෙනුවෙන් ශ්‍රමය හා ප්‍රාග්ධනය ආයෝජනය කිරීමට මිනිසුන්ව තවදුරටත් දිරිමත් කර තිබෙනවා.