වෙබ් ලිපිනය:

Wednesday, January 16, 2019

ඉර හඳ ඇල්ලීම


"ඉර හඳ ඇල්ලුවත් මොකටද?"

"අපි හදන්නෙ ඉර හඳ අල්ලන්න නෙමෙයි!"

ඔය වගෙ කතා ලංකාවේ මිනිස්සුන්ගේ කටින් නිතරම පිට වෙනවා. මේ කතා වලින් කියැවෙන්නේ ඉර හඳ අල්ලනවා වගේ ලොකු වැඩ නොකළාට කරන්න ඊට වඩා වැදගත් වැඩ තිබෙන බවයි.

පසුගිය සියවසේ තුන්වන කාර්තුව අභ්‍යාවකාශ තරණය හා අදාළ ගොඩක් දේවල් සිදුවුණු කාලයක්. ඒ කාලයේ ඉර හඳ අල්ලන්න උත්සාහ කළ රටවල් අතර ඉදිරියෙන්ම සිටියේ සෝවියට් දේශය හා ඇමරිකාවයි.

වෙනත් හැම දෙයක්ම වගේ රජය මූලිකව කළ සෝවියට් දේශය අභ්‍යවකාශ තරණය වෙනුවෙන් විශාල ප්‍රමුඛතාවයක් දෙමින්, සැලකිය යුතු තරමින් සම්පත් වැය කර ඔවුන්ගේ එම ආයෝජන වල ප්‍රතිඵල නෙලා ගනිමින් පසුගිය සියවසේ මැද හරියේදී අභ්‍යවකාශ තරණයේ ප්‍රමුඛයා වෙන්න සමත් වුණා. ගොඩක් දේවල් රජයේ මැදිහත්වීමකින් තොරව සිදුවන ඇමරිකාවේ එවැනි දැවැන්ත කටයුත්තකට අත ගැසිය හැකි පෞද්ගලික ආයෝජකයින් සිටියේ නැහැ. එවැනි ආයෝජනයකින් ලැබිය හැකි අවදානමට සරිලන ලාබ පෙනෙන්නට නොතිබීම එයට හේතුවයි.

සෝවියට් දේශය විසින් 1957 ඔක්තෝබර් 4 වෙනිදා මුල් වරට සාර්ථක ලෙස කෘතීම චන්ද්‍රිකාවක් (ස්පුට්නික් 1) ගුවන්ගත කළා. ඒ එක්කම ඇමරිකානු ෆෙඩරල් රජයට ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් ලෙස අභ්‍යවකාශ තරණය ගැන හිතන්න අවශ්‍ය වාතාවරණය හැදුනා. 1958 ඔක්තෝබරයේදී නාසා ආයතනය බිහිවුනේ ඒ අනුවයි. නාසා ආයතනය පිහිටුවීමෙන් පසුව ඉලක්ක කළ පළමු ව්‍යාපෘතිය වූයේ අභ්‍යවකාශයට මිනිසෙකු යැවීමයි.

නාසා ආයතනය විසින් 1960 අප්‍රේල් 26 දින අභ්‍යවකාශයට ඇමරිකානුවෙකු යැවීමට මුලින්ම සැලසුම් කර තිබුණත් අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කළ පරිදිම සිදු නොවූ නිසා මේ කටයුත්ත 1961 මැයි 5 දක්වා කල් ගියා. ඊට තෙසතිකට පෙර 1961 අප්‍රේල් 12 වෙනිදා රුසියානුවෙකු වූ යූරි ගගාරින් මුල් වරට අභ්‍යවකාශයට ගියා.

අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා වූ ගගාරින්ට ලොව වටෙන්ම ලොකු පිළිගැනීමක් ලැබුණා. 1961 දෙසැම්බරයේදී ඔහු ලංකාවටත් ආවා. ඒ සංචාරයේදී ගගාරින් විසින් සිටවූ ගස් ලංකාවේ ගොඩක් තැන් වල දැනටත් තිබෙනවා ඇති කියා හිතනවා. 


(Image: http://lka.rs.gov.ru/en/news/10510)

මුල් වරට අභ්‍යාවකාශයට ඇමරිකානුවෙකු යවන්න නොහැකි වුවත්, මුල් වරට ඇමරිකානුවෙකු හඳට යවන්න නාසා ආයතනයට හැකි වුනා. ඒ 1969 ජූලි 21 වෙනිදා. ඇපලෝ ව්‍යාපෘතිය යටතේ, 1969, 1971 හා 1972 වසර වලදී ගමන් හයකදී ඇමරිකානුවන් 12 දෙනෙකු හඳට ගොඩ බැස්සා. ඒ හැර වෙනත් කිසිවෙකු මෙතෙක් හඳට අඩිය තබා නැහැ. මිනිසෙකු අවසන් වරට හඳට ගොඩ බැස්සේ 1972 දෙසැම්බරයේදී. කෙසේ වුවත්, ඒ කාලයේදීම සෝවියට් දේශය විසින් මිනිසුන් රහිත යානා ගණනාවක් හඳට යැවුවා.

ඇමරිකාව විසින් මිනිසුන් හඳට යැවීම මූලික වශයෙන්ම ඇමරිකන් රජයේ දේශපාලන ව්‍යාපෘතියක්. එහි ඉලක්කය වුණේ කෙසේ හෝ සෝවියට් දේශයට වඩා ඉස්සර වීමයි. එය නොකළානම් හඳ සෝවියට් දේශයේ භුක්තියට සින්න වෙලා යයි කියා බයක් හිතෙන්න ඇති. ඒ හැර එහි වෙනත් ආර්ථික වාසි තිබුණේ නැහැ. ඒ නිසා ඉලක්කය පස්සේ පන්නා ජය ගැනීමෙන් පසුව ඇමරිකාව පැත්තෙන් අභ්‍යවකාශ තරණයට වූ උනන්දුව දිය වෙලා ගියා. අනිත් පැත්තෙන් සෝවියට් දේශයත් වැඩේ අත ඇරලා දැම්මා. ඊට පස්සේ දශක ගාණක්ම ඉර හඳ අල්ලන වැඩේ පැත්තකට විසි වෙලයි තිබුණේ.

දැන් නැවතත් අභ්‍යාවකාශ තරණය ගැන උනන්දුව අලුත් වී තිබෙනවා. ඉර අල්ලන්න ඇමරිකාවෙන් යවපු පාකර් ප්‍රෝබ් එක කලින් කවදාවත් ගිහින් නොතිබුණු තරම් ඉරට කිට්ටු වෙද්දී, අභ්‍යාවකාශ තරඟයට අළුතෙන් එකතු වී සිටින චීනය මුල් වරට හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවා තියෙනවා. මෙය සිදුවන්නේ චන්අ නැත්නම් චන්ද්‍ර දෙවඟන ව්‍යාපෘතිය යටතේ සිදුවන සිවුවන මෙහෙයුම ලෙසයි.

මෙතෙක් කල් හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවනු ලැබ නොතිබුණේ එය තාක්ෂණිකව වඩා අසීරු කටයුත්තක් නිසයි. හඳ තමන් වටා භ්‍රමණය වන අක්ෂය ආසන්න වශයෙන් හඳ පොළොව වටා යන පථයට ලම්බකව පිහිටා තිබෙන නිසා හැම විටම පොළොව පැත්තට හැරී තිබෙන්නේ හඳේ එක අර්ධයක් පමණයි. ඒ නිසා හඳේ පොළොවෙන් විරුද්ධ පැත්තේ තිබෙන කොටසේ සිට පොළොව සමඟ සෘජුව සන්නිවේදනය කිරීමේ හැකියාවක් නැහැ. චීනය මේ අභියෝගය ජයගෙන තිබෙන්නේ හඳ මත ගොඩ බස්වපු යානය හා පොළොවේ පාලන මධ්‍යස්ථානය යන දෙකම "දැකිය හැකි" පරිදි හඳේ කක්ෂයේ ස්ථානගත කර තිබෙන "පොල්කිචි පාලම" චන්ද්‍රිකාව වෙත මුලින්ම සන්නිවේදන සංඥා යොමු කර එතැනින් ගමනාන්තය වෙත යොමු කිරීම මගිනුයි. මේ චන්ද්‍රිකාව කලින්ම ස්ථානගත කරනු ලැබුවා.

චන්අ-4 යානය ඇතුළේ කපු ඇටයක් පැල කරවන්නත් චීනය සමත් වුනා. මේ හඳේ පැලයක් පැල වුනු පළමු අවස්ථාව. කොහොම වුනත් ඒ පැලයට ආයුෂ තිබුණේ දවස් කිහිපයක් පමණයි. හඳේ දවසක් පොළොවේ දවස් 27ක් පමණ වන නිසා හඳට රෑ වන තුරු පැලයට දවස් ගානක්ම අවශ්‍ය උෂ්ණත්වය ලැබුණත් හඳට රෑ වෙද්දී එන අධික ශීතලෙන් බේරෙන්න විදිහක් නොතිබුණු නිසා දවස් කීපයකට කලින් ඒ කපු පැලේ මිය ගිහින්. 

අභ්‍යාවකාශ තරණයේ යෙදෙන හැම රටක්ම වගේ එය කරන්නේ තමන්ගේ රටේ ජාතික කටයුත්තක් ලෙස සලකලයි. ඒ නිසා, වෙනත් ක්ෂේත්‍රවල තරමට මේ ක්ෂේත්‍රයේ දැනුම රටකින් රටකට කාන්දු වෙන්නේ නැහැ. කිසියම් රටක් අභ්‍යවකාශ තරණයෙන් ඉදිරියට එනවා කියන්නේ ඒ රටේ තාක්ෂණ දැනුම පිළිබඳ සංඥාවක්.

චීනය වගේම අසල්වැසි ඉන්දියාවත් අභ්‍යවකාශ තාක්ෂනය අතින් වේගයෙන් ඉදිරියට යමින් සිටිනවා. ඉන්දියාවේ "ඒක් ටොයිලට් ප්‍රේම් කතා" සුලභ වීම එයට බාධාවක් වී නැහැ. ඉදිරි දශකයක කාලය තුළ මේ ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් වෙයි කියා හිතන්න පුළුවන්. නුදුරු අනාගතයේ දවසක ඉර හඳ අල්ලන්න ආසාවක් ඇති වුනු කෙනෙක් හඳට ගියොත් දවල් කෑමට චීන කෑම කන්න ලැබෙයිද ඉන්දියන් කෑම කන්න ලැබෙයිද කියා දැන්ම කියන්න අමාරුයි.

15 comments:

  1. නාසා ආයතනය යනු ඇමරිකාවේ අභ්‍යාවකාශ ඒජන්සිය මිසක් ලෝකයට පොදු අභ්‍යාවකාශ ඒජන්සියක් නොවේ. එම නිසා ඇමරිකානු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නාසා ආයතනය වග කියන්නේ ඇමරිකන් ජනතාවට සහ එම ආණ්ඩුවට පමණයි.

    ඒ අනුව ඔවුන් සිය මෙහෙයුම් දියත් කරන්නේ ස්වකිය ජනතාවගේ බදු මුදලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත හැකි දෙයකට මිසක් ලෝකයේ අනෙකුත් රට වලට සහ එම රටවල ජනතාවට ඕනා එපා හැටියට නොවේ. නාසා ආයතනය නැවත හඳ මතට මිනිසුන් නොයවන්නේ එම කාරණය නිසයි. මන්ද සඳ මතට මිනිසුන් සහිත යානා කිහිපවරක්ම යවා ඇති නිසා, නැවත වරක් ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විශාල ලෙස වැය කරමින් හද ගමනක් සංවිධානය කරනවට වඩා, තරණය කර නොමැති ක්ෂේත්‍ර ඔස්සේ මෙහෙයුම් දියත් කිරීම ඔවුන්ට වැදගත් වනවා.

    කෙසේවෙතත් නාසා ආයතනය ආරම්භයේ සිටම ඔවුන් අභ්‍යාවකාශ මෙහෙයුම් වලදී ගන්නා ජයාරූප, වීඩියෝ ආදිය කිසිදු බුද්ධිමය හිමිකාරීත්වයක් නොමැතිවම බෙදා හරිනවා. ඒ අනුව ලෝකයේ ඕනෑම රටක සිටිනා අයෙක්ට එම ජයාරූප, වීඩියෝ තමන්ට ඕනා ආකාරයකට භාවිතා කල හැකියි. නාසා ආයතනය මෙසේ ඔවුන්ගේ ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දුන්නත් ජපානය, රුසියාව වගේ රට වල අභ්‍යාවකාශ ඒජන්සි ඔවුන් ගන්නා ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දෙන්නේ නැහැ.

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා ඉර හඳ අල්ලන විකාර නෙමෙයි 1970 දශකය වනවිට ලංකාවේ ජනතාව විදේශීය කහ දොඩම් ගැන අසා නොතිබූ අතර රටේම ඉල්ලුමට සරිලන පරිදි බිබිලේ දොඩම් වගාව ව්‍යාප්තව පැවතිනි. අඩු මිලට රසවත් පැනි දොඩම් එකල රටේ සෑම තැනම විකිණීමට තිබුණි.

    ඒ උනත් පසුව හඳුනා නොගත් රෝගයකින් ලංකාවේ මුළු දොඩම් වගාවම විනාශ වී ගිය අතර එයට ටික කාලයකට පෙර දොඩම් වගාව සඳහා ආධාර වශයෙන් ඇමරිකානු සමාගමකින් ගොවීන්ට නොමිලේ පොහොර ලබාදී ඇති බව හෙලිවිය !

    ලංකාවට ඉන්පසුව විදේශීය දොඩම් ආනයනය කිරීම ඇරඹුනු අතර කෘෂි රසායන යෙදූ, මාස ගණන් අවුරුදු ගණන් පැරණි පළතුරු රට තුලට ගලා ඒම ඇරඹුනි. රටක් ලෙඩකරන විස දොඩම් ලාංකේය ජන බඩවල් තුලට පැමිණියේ එලෙසය.

    දැන් දැන් බඩ ඉරිඟු වගාව ශ්‍රී ලංකාවේ සාර්ථකව කෙරෙන සමයක, කාබනික ගොවිතැනට බොහෝ දෙනෙක් යොමුවුණු කාලයක සේනා දළඹුවා ගේ හදිසි පැතිර යෑම අහම්බයක් විය හැකිද ?

    සේනා දළඹු උවදුර මර්ධනය කිරීමට දැන් ලංකාව කෝටි ගණනක කෘෂි රසායන ආනයන කිරීමට (ලංකා රජය) සූදානම් වේ. එසේම අති විශාල වශයෙන් බඩ ඉරිඟු ආනයනය කිරීමටද සිදුවිය හැකිය.

    එබැවින් ඉහත මා දක්වා ඇති සියළු කරුණු සැලකිල්ලට ගැනීමේ දී, මහා පරිමාණයෙන් බඩ ඉරිඟු අපනයනය කරන කෘමිනායක මහා පරිමාණයෙන් නිපදවන රටවල් මේ පසුපස ඇත්දැයි බරපතල සැකයක් මතුවනව නේද?

    ඉකොනොමැට්ටා දන්නවා නේද "සේනා දළඹුවාගේ නිජබිම ඇමරිකාවයි" කියා !

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේන් පැමිණි පර්යේෂණ කණ්ඩායමක් බිබිලේ දොඩම් වගාවට අධාර කරන මුවාවෙන් පැමිණ පොලොවට කුමක් හෝ එන්නතක් විදලා තියෙනවා
      ඉන් දින කිහිපයකට පසුව දොඩම් ගස් මැළවිලා මැරිලා ගිහින් තියෙනවා.

      දැන් අපිට ඕස්ට්‍රේලියාවේන් තැඹිලි පාට දොඩම්
      මහා පරිමාණයෙන් කන්ටෙනර් එයාලා එවනවා, අපි සල්ලි දිලා ගන්නවා.

      Delete
    2. Ano 7.17

      1988/89 භිෂණ සමයේ වරායේ කටයුතු පවා ඇණ හිටපු කාලයක් උනානේ. වරායේ ගොඩබාලා කාලයක් තිස්සේ තිබුණ පොහොර තොගයක වල් පැළෑටි හැදිලා තියෙනවා, ඒ කියන්නෙ පොහොර එක්ක තමයි විනාසය එන්නේ

      Delete
    3. AnonymousJanuary 17, 2019 at 11:23 AM

      ඕස්ටේලියාවෙන් කරේ ඇල්ලෙ ඇපල් වගාවට අලුත් පැල දීල විනාශ කරපු එක.

      මගේ සීයා බිබිලේ දොඩම් කොලඹ ගේන බිස්නස් එක කරලා තියෙන්නේ ඉස්සර. එයා බිබිලේ. ඔය බිබිලේ සීන් එක ගැන විස්තරේ ඕකෙන් වඳ නොවුන ගස් තියන තවම තියන තැනක් අපේ ගෙවල් කිට්ටුව ගමක තියනවා.

      Delete
    4. අනේ මන්ද බං ලංකාවට කොහෙන් ගියත් විදෙස් සතුරුකම්, ලංකාවේ ඇපල් වගාව (ඇල්ල) ඔස්ට්‍රේලියාවේ උන් ඇවිත් වැනසුව වගේ, අපේ එවුන්ටත් නිකන් නොමිලෙ දෙනව කීවොත් HIV Aids උනත් කමක් නෑ දෑතම දිගු කරල බාර ගන්නව; ඊට පස්සෙ කෙලව ගන්නව. අපේම ක්‍රම තියාගෙන තාමත් රටින් එන ජරාව බාරගන්න මූද දිහා බලන් ඉන්නව.

      Delete
    5. ඇනෝලා 3.56 ප.ව.

      ඕස්ට්‍රේලියාවෙන් කලත් ඊශ්‍රායලයෙන් කලත් ඕවා කරන්නෙ එකම ජාතියේ සංවිධානය වුණ පිරිසක්. අද ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, ද.අප්‍රිකාව ඇතුලු සියලුම රටවල් පාලනය කරන්නෙ මේ කොටසයි.

      අපේ රන්-පොනිල වික්‍කම-සිංහ උන්නැහෙත් ඒ අය විසින් තෝරාගනා ලද රූකඩ පුද්ගලයෙක්.

      Delete
  3. පීසා කමින්, කොකාකෝලා බොන අතරතුරේ බ්‍රේකින් බෑඩ් කතා මාලාව නරඹමු!!!

    ReplyDelete
  4. Isn't SpaceX bringing private investments into this field? I think their stated vision is to enable people to live on other planets. (Not that I believe what Elon Musk says too much though)

    GG

    ReplyDelete
    Replies
    1. That's one of the main differences between what happened in 1960's and what's happening now. Recent developments in the US are somewhat market driven, unlike in 1960's.

      Delete
  5. ජීවිතය ඉල්ලා හඬන
    දිළිඳුන්ට
    පිහිටක් නැති ලොවක
    ඉර හඳ දිනන්නට
    වලිකන මිනිසුන්ට
    කුමට පායයිද
    ඉරක් හෝ හඳක්!

    ReplyDelete
  6. ජගත් පතිරණJanuary 17, 2019 at 11:18 PM

    කුරානයේ සඳහන් අන්දමට අල්ලා මිනිමා මවා ඇත්තේ අල්ලාට වන්දනා කිරිමටයි. එසේම පෘතුවියේ අනෙක් සත්වයින් මවා ඇත්තේ අල්ලාට වඳින්නන්ගේ ප්‍රයෝජනය සඳහායි.
    නමුත් කුරානයේ සඳහන්කර නෑ අල්ලාට වැඳීම සඳහා මැව්වේ මිනිසාම පමනක් බව. අල්ලාට වඳින වෙනත් පිට සක්වල ජීවින්ද සිටිය හැකියි. එසේම පිටසක්වල ජීවීන් මවැ ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනයටද, නැද්ද යන කරුණ කුරානයේ සඳහන්වන්නේ නෑ.
    එමනිසා පිටසක්වල ජීවීන් යොදාගෙන කරන නිෂ්පාදන පරිභෝජනයෙන් වැලකීම මුස්ලිම් වරුන්ගේ වගකීමක්.

    ReplyDelete
    Replies
    1. ජගත් මුළු මහත් විශ්වයම මවන ලද්දේ සර්ව බලධාරී දෙවියන් විසින් බව යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාමීය (මුස්ලිම්) ආගමිකයින් විශ්වාස කරති. එහෙත් සමහර බක-පණ්ඩිතයන් එය දිගටම පැවති එකක් බවත්, එහි ප්‍රමාණය අනන්තයක් බවත් සිතති. මතුපිටින් බලන විට විශ්වය ස්ථාවර එකක් බව පෙනේ.

      පසුගිය 20වන සියවස අජටාකාශ විද්‍යාවේ වැදගත් කාල පරිච්චේදයක්, 1920 ගණන් වලදි වෙනත් මන්දාකිණි වල තරු අධ්‍යයනයේදී සාමාන්‍ය නොවූ දෙයක් දක්නට ලැබුණ, එනම්, දුරින් ඇති තරු වලින් එන ආලෝක වර්ණාවලියේ "red-shift" එකක් (එනම්, රතු පැත්තකට යාමක්) දිස්වුනි.

      භෞතික විද්‍යා අනුව මෙය සිදුවන්නේ Doppler-effect නිසාය. එනම් මෙම red-shift මගින් පෙන්නුම් කරන්නේ එම මන්දාකිණි ගමන් කරන බවයි. හරියටම කිව්වොත් ඒවා අපෙන් ඈතට ගමන් කරන බවයි. එඩ්වින් හබ්ල් (Edwin Hubble) විසින් මෙවැනි වර්ණාවලි අධ්‍යයනය කරන ලදී. ඔහුගේ සොයා ගැනීම වුනේ, සෑම මන්දාකිනියකින්ම නිකුත් වන ආලෝකය මෙසේ red-shift වීමයි. එනම්, සෑම මන්දාකිනියක්ම අපෙන් ඈත් වෙමින් පවතින බවයි. එමගින් විද්‍යාඥයින් විසින් ආ නිගමනය වන්නේ විශ්වය විස්තාරණය වෙමින් පවතින බවයි.
      මෙයට උදා හරණයක් වන්නේ පුම්බන බැලුමක් මත තිබෙන තිත් (මන්දාකිණි වල), එම බැලුම විශාල වෙනවිට එකිනෙක ඈත් වීම, මන්දාකිණි එනිනෙකින් ඈත් වීම පමණක් නොව, ආකාශය පවා විස්තාරණයක් සිදු වේ යයි කියති.

      කෙසේ නමුදු මෙම වැදගත් සොයාගැනීම න්‍යායික භෞතික විද්‍යාවේ දිශාව වෙනස් වීමට හේතුවිය. නිව්ටන් සහ අයින්ස්ටයින්ගේ න්‍යායයන් වල මෙම සොයාගැනීම මතු වී තිබුණි. කලින් අයින්ස්ටයින් මෙම තත්වය මග හැරීමට 'cosmological constant' ලෙසට ඔහු විසින් හැඳින්වූ නියතයක් යොදන ලදී. එහෙත් මෙම විශ්වයේ විස්තාරණය සොයාගැනීම් මගින් තහවුරු වූ විට ඔහු කිව්වේ ඔහුගේ සමීකරණ වලට මෙම නියතය යෙදීම ඔහු විසින් කළ ලොකුම වැරැද්දක් බවයි. මෙසේ එකල වැදගත් විද්‍යාඥයින්ට පවා ස්ථාවර විශ්වයක් (static universe) දෙසට ඇල්මක් තිබුණි.

      එහෙම නමුත් පුදුමය වන්නේ, මෙම දෙය අවුරුදු 1,400කට කලින්ම අල්ලාහ් අල්-කුරානයේ කුඩා වාක්‍යයක් තුළ පවසා තිබීමයි.
      "The Heaven, it has been built by us with power and skill. Verily, it has been expanding by us continuing." (51:47)

      ඉතින් එහි අදහසනම් "අප විසින් අපගේ ශක්තිය මගින්ම අජට්කාශය නිර්මාණය කළෙමු, අපි විසින්ම එය විශාල/ විස්තීර්ණ කරන්නෙමු." යන්නයි.

      ජගත් මෙහි "expanding" වලට එන අරාබි වචනය "moosi'oon" යන්නයි. එය "expand / make wider" (විශාල කිරීම) යන්නෙහි plural present participle එක වේ. එමගින්, එය වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් විග්‍රහ කිරීම බව පැහැදිලි වේ.

      අල්-කුරානය යනු විද්‍යාව උගන්වන පොතක් නොවේ. එහෙත් එහි තිබෙන දේ විශ්වාස කිරීම පහසු කිරීමට මිනිසාට සලකුණු (signs) ලබාදීම කුරානයේ ලක්ෂණයක්; මෙලෙස, මන්දාකිනි එකිනෙකින් ඈත්වෙමින් දැන් පවතින්නේ නම්, එක් කලක මේවා එකිනෙකට ලඟින් තිබී ඇත, එනම් අවකාශය පවා කුඩාවට තිබෙන්නට ඇත. ගණිතමය ලෙස බැලුවොත් එය කුඩා තනි "ලක්ෂ්‍යයක්" දක්වා පසුපසට යැවේ. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව අවකාශය සහ කාලය සම්බන්ධයි. එමගින් මෙම ආරම්භක අවස්ථාව මගින් කාලයේ ආරම්භයද නිරුපනය වේ. මෙම සිතිවිල්ල ගොඩක් විද්‍යාඥයින්ට බියසුළු එකක් විය. එයට හේතුව එමගින් විශ්වය ආරම්භයට හේතුවූ සදාකාලික මවන්නෙක් ගැන සංකල්පයට ඉතාමත් විශ්වාසී අදහසක් දීමයි.

      Delete
  7. ඒක් ටොයිලට් ප්‍රේම් කතා වගේම පෑඩ් මෑන් ලා ද ඉන්දියාවේ ය.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...