වෙබ් ලිපිනය:

Thursday, January 3, 2019

දැනුම බෝ වේවා!


ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස ලංකාවට බටහිරින් ආ අදහසක්. වෙනත් ගොඩක් රටවල වගේම, තමන් වෙනුවෙන් හිතන එක "දැනමුත්තන්" විසින් කිරීම ගැන ලංකාවේ ප්‍රතිරෝධයක් තිබුණේ නැහැ. සමාජය එයට පුරුදු වෙලයි තිබුණේ. ලංකාවේදී ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස තවමත් උඩ සිට පහළට ගලා එමින් තිබෙන අදහසක්.

මම හිතන විදිහට අඩු වශයෙන් ඇමරිකාවේ මේ අදහස පහළ සිට ඉහළට පැමිණ තිබෙනවා. අඩුපාඩු රහිතව නෙමෙයි. මුලදී කාන්තාවන් හා යුරෝපීය සම්භවයක් නැති අය බැහැර කරමින් වැඩිහිටි, සුදු පිරිමින්ගේ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස. නමුත්, අඩු වශයෙන් ඒ සීමාවන් ඇතුළත, නායකයින් බිහි වී තිබෙන්නේ "ජනතාව" අතරින්.

ඇමරිකාව ජනාවාස කළ යුරෝපීයයන්ට රජෙක් හිටියේ නැහැ. බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යය පිළිගන්නා පිරිසක් හිටියා වුවත්, එංගලන්තයෙන් ගොඩක් ඈත තිබුණු විශාල රටක් මත ලොකු බලපෑමක් කිරීම පහසු කටයුත්තක් වුනේ නැහැ. යුරෝපයේ අනෙක් රටවල් වලින් ආ මිනිස්සුන්ට බ්‍රිතාන්‍යය එක්ක එවැනි බැඳීමක් හෝ තිබුණේ නැහැ.

විශාල සංස්කෘතික දුරක් තිබෙන ලංකාවේ සිට තේරුම් ගැනීම අසීරු වුවත්, යුරෝපයේ විවිධ රටවලින් පැමිණි, වෙනස් භාෂා කතා කළ, එකම මූලයක් සහිත වුවත් වෙනස් ආගම් ඇදහූ පිරිස් අතර වූ සංස්කෘතික විවිධත්වය විශාලයි. මෙවැනි පිරිසකට එක්ව කටයුතු කරන්න ඔවුන්ව බැඳ තබන කුමක් හෝ අවශ්‍ය වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය විසින් පුරවන්නේ ඒ අඩුවයි. එය පහසු කරන්නේ, අඩු වශයෙන් ඇමරිකාවට යුරෝපයෙන් සංක්‍රමණය වූ වැඩිහිටි සුදු පිරිමින් අතර දැනුම අතින් විශාල පරතරයක් නොතිබීමයි. සංක්‍රමණය ඇතුළෙම ස්වභාවිකවම තේරීමක් සිදු වෙනවා. එවැනි "තේරුණු" මිනිස්සු පිරිසකට පොදු යහපත වෙනුවෙන් එකඟත්වයන්ට පැමිණීම පහසුයි. පහළ සිට ඉහළට ගලා යන්නේ එවැනි බිම් මට්ටමේ වූ එකඟත්වයනුයි. නායකයින් "පොළොවෙන් මතුවෙන්නේ" එවැනි පසුබිමක.

පසුගිය සියවස් දෙකහමාරක පමණ කාලය තුළ එක පැත්තකින් කලින් බැහැරව සිටි කාන්තාවන් හා යුරෝපීය නොවන සම්භවයක් ඇති පිරිස් අන්තර්ග්‍රහණය කර ගනිමින් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වෙද්දී, අනිත් පැත්තෙන් සමාජයේ "දැනුම අඩු" පිරිස් මේ ක්‍රියාවලියෙන් බැහැර වීමකුත් සිදු වී ඇතැයි කිව හැකියි.

මේ කාලය තුළ මිනිස්සු විසින් සමූහයක් ලෙස අළුතින් එකතු කරගත් දැනුම අති විශාලයි. ඒ දැනුම, ජීවිත කාලයක් තුළ වුවත් තනි පුද්ගලයෙකුට ග්‍රහණය කර ගැනීම අසීරුයි. ඒ හේතුව නිසා, දැනුම අතින් සමාජයේ විශාල පරතරයක් ඇති වීමත්, පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ඇතුළේම දැනුම අතින් පසුපසින් සිටින අය යම් තාක් දුරකට ක්‍රමයෙන් බැහැර වීමකුත් සිදු වී තිබෙනවා.

වෙනත් විදිහකින් කිවුවොත් ක්‍රමයෙන් "දැනමුත්තන්" බිහි වෙන්න පටන් ගැනීමත්, ඔවුන්ට පිළිගැනීමක් ලැබීමත්, ඔවුන් කියන දේ වෙනත් අය පිළිගැනීමත් සිදු වෙනවා. නමුත්, මේ විදිහට වෙනත් අය විසින් මේ දැනුමැත්තන් කියන දේ පිළිගන්නේ, අඩු වශයෙන් ඔවුන් විසින් පෙන්වා දීමෙන් පසුව, කියන දේ තමන්ටත් තේරෙන නිසයි. නමුත්, කාලය යද්දී කණ්ඩායම් දෙක අතර දැනුම් පරතරය පුළුල් වෙනවා. ඉන්පසුව, දැනුමැත්තන් කියන දේ පිළිගන්නේ තමන්ට ඒ දේවල් ග්‍රහණය වන නිසාම නෙමෙයි. ඔවුන් පිළිබඳව වන විශ්වාසය නිසා.

මේ ක්‍රමයේ අවුලක් තිබෙන බව පැහැදිලියි. මුලින්ම වෙන්නේ දැනුමැත්තන්ට සමාජයේ අධිකාරී බලයක් හිමි වීම. බලය එක්ක යම් තරමකින් හෝ බලය අපහරණය කිරීමත් එනවා. එවිට අනෙකුත් අයට තමන් වෙනුවෙන් හිතන දැනුමැත්තන් පිළිබඳව වන විශ්වාසය පළුදු වෙනවා. ඒ වුනත්, ඔවුන්ට හඬක් නගන්න මාධ්‍යයක් නැත්නම් මේ විශ්වාසය පලුළු වීම කාලයක් යටපත් වී තිබෙන්න පුළුවන්.

සමාජ මාධ්‍ය ව්‍යාප්තිය නිසා කලින් හඬක් නොතිබුණු බොහෝ අයගේ හඬ මතු වෙන්න ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පුළුල් වෙද්දී දැනුමැත්තන් පිළිබඳ වූ අවිශ්වාසය මතු වෙන්නේ දැනුම් විරෝධයක් ලෙසයි. විශේෂඥයින් තමන් කියන "නිවැරදි" දෙය අනෙක් අය විසින් පිළිගනු ඇතැයි යන විශ්වාසය පෙරදැරිව සිටිද්දී, වැඩි දෙනෙකුට තේරෙන භාෂාවෙන් කතා කළ නොහැකි දැනුමැත්තන් අභිබවමින් සමාජ ජාලා හරහා "ගොඩ පෙරකදෝරුවන්" ඉස්මතු වෙන්න පටන් අරන් තියෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විට වැරදි දැනුම වේගයෙන් සංසරණය වෙනවා.

මේ කියන්නේ ඇමරිකාව ගැන වුවත්, කියවන්නේ ලංකාවට සම්බන්ධයක් තිබෙන අය නිසා රෝසිගේ සංඛ්‍යා කියැවීම උදාහරණයක් ලෙස පෙන්විය හැකියි. තමන්ට ග්‍රහණය නොවන නිවැරදි දේ විශ්වාසය මත පදනම්ව නිවැරදි සේ සැලකූ කාලය අවසන්ව තිබෙනවා. ඒ නිසා, විශේෂඥයින් විසින් වඩා නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීම තවදුරටත් ප්‍රමාණවත් වන්නේ නැහැ. තමන් යෝජනා කරන්නේ නිවැරදි දෙය බව අනෙක් අයට ඒත්තු ගැන්වීමත් ඔවුන් විසින් කළ යුතුව තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වැනි අදහස් ලංකාවේදී ඉහළ සිට පහළටයි ගලා එන්නේ. නිදහස් වෙළඳපොළ පිළිබඳ අදහසනම් එහෙමවත් එන්නේ නැහැ. කලින්ම ඉහළ සිට පහළට ආ හා එවනු ලැබූ සමාජවාදී අදහස් වල බලපෑම ඊට හේතුවයි. ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් නිදහස් වෙළඳපොළ වෙනුවෙන් විවෘතව පෙනී සිටින්නේ නැහැ. වෙනස්කම් තිබෙන්නේ රාජ්‍ය ග්‍රහණයේ ප්‍රමාණයේ පමණයි. ඒ නිසා, ගොඩක් අය ධනවාදය කියන එකෙන් තේරුම් ගන්නේ ධනපතියන්ට වාසිදායක, හැම දෙයක්ම මුදල් මත පදනම් වූ දෙයක් ලෙසයි.

මෙහි අමුත්තක් නැහැ. මානුෂික සම්බන්ධතා හොඳින්ම අවබෝධ කරගත හැක්කේත්, ඒ සම්බන්ධතා බාධාවකින් තොරව පවත්වා ගැනීමට ඉඩ දිය හැක්කේත් වෙළඳපොළ නිදහසට ඉඩදීමෙන් බව තේරුම් නොගන්නා අය ඇමරිකාවේ වුවත් අඩු නැහැ. උදාහරණයක් විදිහට අවම වැටුප් නීති නිසා ලොකුම අවාසිය වන්නේ සමාජයේ පහළම ස්ථර වලට කියන එක ගොඩක් අයට එකවර අවබෝධ කරගන්න අමාරුයි.

මෙයට එක් හේතුවක් වන්නේ දේශපාලන බලය ලබා ගැනීමේ හෝ පවත්වා ගැනීමේ අරමුණින් හිතාමතාම වැරදි තොරතුරු සමාජගත කරනු ලැබීමයි. දෙවන හේතුව දැනුම තිබෙන අපක්ෂපාතී අය ඉදිරියට නොපැමිණීමයි.

දෙවන බාධකය බිඳ හෙළීම පිණිස මේ වන විට ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් විවිධ ව්‍යාපෘතී යටතේ එකතු වී සිටිනවා. "නීඩ් (NEED)" ව්‍යාපෘතියත් එවැන්නක්. ජාතික ආර්ථික අධ්‍යාපන නියෝජිතයින් (NATIONAL ECONOMIC EDUCATION DELEGATION) ලෙස එකතුව සිටින මේ කණ්ඩායම සමඟ මේ වන විට ඇමරිකාවේ හිටපු මහ බැංකු අධිපතීන් වූ ජැනට් යෙලන් හා බෙන් බර්නැන්කි වැනි අය, නොබෙල් ත්‍යාගලාභීන් වන ජෝජ් අකර්ලොෆ් හා වර්නන් ස්මිත් වැනි අය ඇතුළු ඇමරිකාවේ සියළු ප්‍රාන්ත නියෝජනය කරන ආර්ථික විද්‍යාඥයින් තුන් සිය ගණනක් එකතු වී සිටිනවා. මෙහි අරමුණ බ්ලොග් ආදිය හරහා දැනුම සමාජගත කිරීමෙන් නොනැවතී සමාජයේ විවිධ ස්ථර සමඟ සෘජුව සංවාදයක් ඇති කර ගනිමින් ආර්ථික විද්‍යා දැනුම සමාජගත කිරීමයි. ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් මෙසේ සිතීම සතුට දනවන්නක්.

පසුගිය තෙමස තුළ මේ බ්ලොගය වෙනුවෙන් වැඩි කාලයක් යොදන්න හැකි වුවත් මේ වසරේ මුල් මාස හතර තුළ ලොකු කාලයක් මේ වෙනුවෙන් යොදවන්න අමාරු වෙයි. නමුත්, ඉඩ ලැබෙන පරිදි මොනවා හෝ නොලියැවෙන එකක් නැහැ.

18 comments:

  1. 'පසුගිය තෙමස තුළ මේ බ්ලොගය වෙනුවෙන් වැඩි කාලයක් යොදන්න හැකි වුවත් මේ වසරේ මුල් මාස හතර තුළ ලොකු කාලයක් මේ වෙනුවෙන් යොදවන්න අමාරු වෙයි. '

    ඉකොනෝ මහතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ වැඩ කරනා බව අප කිවේ ඒ නිසයි. එක්සත් ජාතික පක්ෂය හදිසි අවස්ථා වලදී ඔවුන්ගේ මාධ්‍ය ඒකකයේ ප්‍රචාරණ බලය වැඩි කිරීමට විවිද පිරිස් අනුයුක්ත කර ගන්නවා. ඉකොනෝ මහතාත් එවැන්නෙක් බව මට සැක පහලව තිබුනා. ඒක දැන් තවත් තහවුරුයි.

    මොකද දැන් පහුගිය මාස තුනේ ලොකු දේශපාලන අවුලක් තිබ්බ නිසා රටේ ජනයාගේ මනස වෙනස් කිරීමට බ්ලොග් අඩවිතුලින්, ශෝෂල් මීඩියා තුලින් රැල්ලක් ඇති කිරීමට එජාපය කටයුතු කරා. ජනපති සිරිසේනට සහ උසාවියට උනත් අන්තිමේදී මේ වගේ තීරණයක්‌ ගන්න උනේ රට්ටුන්ගේ මතය සිරිසේන කරපු දේ වැරදි බව නිසා.

    ඉකොනෝගේ පහුගිය මාස තුනේ වැඩ පිළිවෙල අහවර නිසා තාවකාලිකව දැන් ඔහුගේ අනෙකුත් රාජකාරි සදහා ඔහුව නිදහස් කොට තිබෙනවා.

    එක්සත් ජාතික පක්ෂයේ අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් වික්‍රමසිංහ අගමැති කියන්නේ ස්වකිය බලය වෙනුවෙන් බොහෝ දෑ කරන අයෙක්. ඔහුට ඇති තරම් මුදල් හදල්, බටහිර සහය තිබෙනවා.

    පසුගිය 2002 සාම ගිවිසුම කාලයේ ඔහු උතුරේ තරුණයන් බිලි බා ගැනීමට කල කී දෑ මතක ඇති. සංවිධානයේ බලපෑම නිසා උතුරේ මත්ද්‍රව්‍ය වගේ දේවල් තිබුනේ නැහැ. ඒත් සටන් විරාමය සමයේ රනිල් අගමැතිගේ අනුදැනුම මත උතුරට මත්ද්‍රව්‍ය යැව්වා. උතුරේ තරුණයන් මත්ද්‍රව්‍ය වලට යොමු කළා. වැඩිහිටි චිත්‍රපට තොග ගනන් උතුරට යැව්වා. උතුරේ සිනමා හල් වල වැඩිහිටි චිත්‍රපට කිසිදු පාලනයකින් තොරව පෙන්නුවා. උතුරේ තරුණයන් ස්වකිය අරමුණෙන් බැහැරව මත්ද්‍රව්‍ය ගෙන රාත්‍රී සංගීත සංදර්ශන බලා සිටිනා පිරිසක් බවට පත් කරා.

    ඉකොනෝත් දැන් ඊයේ පෙරේද ඉදන් මේකේ මත්පැන් බීම ගැන ලිපි ලියන්නේ උතුරට කරපු දේම දිගුවක් විදියටද යන්න සාධාරණ සැකයක් එනවා.

    ReplyDelete
    Replies
    1. //පසුගිය 2002 සාම ගිවිසුම කාලයේ ඔහු උතුරේ තරුණයන් බිලි බා ගැනීමට කල කී දෑ මතක ඇති. සංවිධානයේ බලපෑම නිසා උතුරේ මත්ද්‍රව්‍ය වගේ දේවල් තිබුනේ නැහැ. ඒත් සටන් විරාමය සමයේ රනිල් අගමැතිගේ අනුදැනුම මත උතුරට මත්ද්‍රව්‍ය යැව්වා. උතුරේ තරුණයන් මත්ද්‍රව්‍ය වලට යොමු කළා. වැඩිහිටි චිත්‍රපට තොග ගනන් උතුරට යැව්වා. උතුරේ සිනමා හල් වල වැඩිහිටි චිත්‍රපට කිසිදු පාලනයකින් තොරව පෙන්නුවා. උතුරේ තරුණයන් ස්වකිය අරමුණෙන් බැහැරව මත්ද්‍රව්‍ය ගෙන රාත්‍රී සංගීත සංදර්ශන බලා සිටිනා පිරිසක් බවට පත් කරා.//

      ඇනෝ කියන්න හදන්නේ එල්ටීටීඊ එක බිඳ වැටුනේ බටහිර උදවු ලබමින් රනිල් කරපු ඔය දේවල් නිසා කියලද? හිතල බලන්න ඕනෑ කරුණක්!

      Delete
    2. Ano 9.09

      //ඉකොනෝ මහතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ වැඩ කරනා බව අප කිවේ ඒ නිසයි.//

      ඕක ඉතින් බ්ලොග් බලන හැමෝම දන්නවානෙවැ, අමුතු දෙයක් නෙවෙයි. ඔය වගේ ලැජ්ජ නැතුව අමු හෙලුවෙන් කඩේ යනවාට එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය ගෙවන්නෙ කොහොමද?

      හැබෑටම ඉකොනෝ කඩේ යනවාට එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය ගෙවන්නෙ කොහොමද ? අපිත් කැමතියි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකක වෙමුවෙන් බ්ලොග් /ෆේස්බුක් පෝස්ට් දමල ගානක් හොයාගන්න. අපිටත් විස්තර දෙන්නකෝ ඉකොනෝ

      Delete
    3. AnonymousJanuary 3, 2019 at 8:51 PM

      //අපිත් කැමතියි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකක වෙමුවෙන් බ්ලොග් /ෆේස්බුක් පෝස්ට් දමල ගානක් හොයාගන්න.//

      ඉස්සෙල්ලාම බ්ලොග් එකක් පටන් ගන්න. උපදෙස් පහත ලින්ක් එකේ තියෙනවා.

      https://atampahura.blogspot.com/2016/08/how-to-write-sinhala-blog-1.html

      Delete
  2. මම දැනගන්න අහන්නේ. ඔරමත්තුනාඩුවේ පදිංචි සිංහලයන් අතරින් කළුජාතිකයෙක් එක්ක විවාහ වුනු කෙනෙක් නැද්ද? සමහරවිට සුද්දන්ට වඩා සිංහලයෝ වර්ණභේදවාදී වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔරමත්තුනාඩුව, සිනුවර මේවා කොහේ තියෙන තැන්ද?
      මලක් ගැහුවා නං තමන්ගේ පාඩුවේ ඉන්නවා අයිෂේ විකාර කියවන්නේ නැතුව?

      Delete
    2. පෞද්ගලික දන්න කිහිප දෙනෙක්ම ඉන්නවා. ගැහැණු අය මෙන්ම පිරිමි අයත්.

      Delete
    3. @ ජගත් පතිරණ

      අදින් පන්සිය වසරකට පෙර මාටින් ලූතර්ගේ පෝස්ටරය ඇලෙවුවත් ඔහුට පසුබිම සැකසූ චින්තනය, ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ඇති වූයේ පහළොස්වැනි සියවසේ අගභාගයේ ඉතාලියේ පිරෙන්ට්සි නගරයේ. මාටින් ලූතර් හඳුන්වන්නේ පෝස්ටරයේ පියා කියායි. ඔහුගේ චින්තනය 1517 න් තරමක් පස්සට යනවා. බටහිරයන් මේ චින්තන විප්ලවය හඳුන්වන්නේ "පුනරුදය" කියා, එය පුනරුදයක් විය හැකියි. එහෙත් එය ප්‍රධාන වශයෙන් ම චින්තන විප්ලවයක්. කතෝලික චින්තනයෙන් යුරෝපයත් පසුව සමස්ත ලෝකයත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට හැරුණේ, හැරවුණේ මේ විප්ලවයත් සමග. මේ විප්ලවයෙහි මේ චින්තනය හැඳින්වුණේ යුදෙව් චින්තනය ලෙස. මාටින් ලූතර්ගේ ප්‍රොතෙස්තන්තවාදය මෙන් ම ගැලීීලියේගේ හා නිව්ටන්ගේ බටහිර විද්‍යාව, ධනවාදය, ඇංග්ලිකන් ක්‍රිස්තියානිය, මැතෝදිස්තය, ප්‍රංශ විප්ලවය, ඇමරිකානු විප්ලවය, යුරෝපීය යටත්විජිතවාදය, ජාතික රාජ්‍ය, ඊනියා ජාත්‍යන්තරවාදය, සුපිරිව්‍යුහය, වියුක්ත චින්තනය, වියුක්ත ඩොලරය, අද වන විට වියුක්ත ගුප්තමුදල (ක්‍රිප්ටොකරන්සි) ආදී බොහොමයක් මේ චින්තන විප්ලවයේ ප්‍රතිඵල.

      ඉතාලියෙන් පටන් ගෙන ඒ විප්ලවය බටහිර යුරෝපය පුරාත් පසුව ඇමරිකානු ඔරුමත්තුනාඩුව (එක්සත් රාජ්‍ය) පුරාත් කැනඩාව ඕස්ත්‍රේලියාව නවසීලන්තය වැනි රටවල් පුරාත් පැතිර ග්ය යුරෝපය බලාපොරොත්තුවෙන් සිටි දෙයක්, නිසගයෙන් ම බිහිවූවක්. අද වන විට එය අප වැනි රටවල්වලට ද බලයෙන් පටවා තියෙනවා.

      හැබැයි රුසියන් විප්ලවය ව්‍යාජයක්. එය මාක්ස්ගේ හිතළුවක් අනුව බිහිවූවක්. මාක්ස්, ඕල්කට් වැනි අයට බටහිර විද්‍යාව හා ධනවාදය පැතිරී යත් ම මනුෂ්‍යත්වය නැති වී යෑමේ ප්‍රශ්නයට ආධ්‍යාත්මික ව මුහුණ පෑමට සිදු වුණා. එය ඕල්කට්ට බලපෑ අයුරින්ම නොවෙයි මාක්ස්ට බලපෑවේ, දෙදෙනා ම බටහිර විද්‍යාවෙන් ඈත් වුණේ නැහැ. දෙදෙනාට ම ආසියාතික චින්තනය ගැන පසන් හැඟීමක් තිබුණා. ඕල්කට් ඒ සොයා ආසියාවට පැමිණියා; මාක්ස් කතෝලික චින්තනයේ සාමුහිකත්වයට ගියා. මාක්ස් බටහිර විද්‍යාව අනුව යමින් ඉතිහාසය පිලිබඳ පට්ටම පල් බොරුවක් ගෙතුවා. මාක්ස් මුළු ලෝකයට ම එකම ආකාරයක ඓතිහාසික විකාශයක් පැනෙව්වා, එය ඓතිහාසික භෞතිකවාදය නමින් හැඳින්වෙනවා.

      කාල මාක්ස්ගේ මනුෂ්‍ යත්වය හේතුවෙන් ඔහු ඊනියා කොමියුනිස්ට් රාජ්‍යයක් හා කම්කරු පංති විප්ලවයක් පුරෝකථනය කළාටත් එහි පරස්පර බොහොමයක් තියෙනව, මේ පරස්පර ගෙතීමට මාක්ස්ට විශේෂයෙන්ම හෙගල්ට ග්‍රීකයන්ගේ නො-දියුණු අපෝහක (ඩය ලෙක්ටික්ස්) ප්‍රයෝජනවත් වුණා.

      කාල මාක්ස්ට මනුෂ්‍ යත්වයක් තිබුණමුත් ලෙනින් සිට විජේවීර දක්වා සමාජවාදීහු කෙළේ ඊනියා විප්ලව වෙනුවෙන් මිලියන ගණනාවක් මිනීමැරුම් කිරීම. සමාජවාදීන් ඒ යුක්තියුක්ත කිරීම සඳහා ඉතිහාසයේ ඇති වීමට නියත යැයි මාක්ස්ටකී කම්කරු පංති විප්ලව බයිලාව ප්‍රයෝජනයට ගත්තා. කල් මාක්ස්ගේ ව්‍යාජ ප්‍රවාදයක් මත ගොඩ නැගුණු සෝවියට් දේශය අවුරුදු හැත්ත පහක් ගෙවීමට පෙර අභාවයට යෑම පුදුමයක් නොවෙයි.

      Delete
  3. ඉහළ සිට
    පහලට ගැලුවත්
    පහල සිට
    ඉහළට ගැලුවත්
    බිම් මට්ටමේ
    නොරඳයි
    ප්‍රජාතන්ත්‍රවාදේ

    කොරේ පිට
    මරේ මෙන්
    තිබෙන ඉඩ කඩ ද
    වසමින්
    කුර ගාන්නට
    දොඩයි
    එකොනොමැට්ටා

    ReplyDelete
    Replies
    1. කුර ගෑවත්
      වෙර දැම්මත්
      එක තැන නොව
      ඉදිරියටයි.

      Delete
  4. ඉකොනොමැට්ටාතුමා ලංකාවේ මහ බැංකු අධිපතිවරයා මේ සතියේ කියා තිබුනා 2019 ගෙවන්නට ඇති සමස්ථ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5.9 ක් කියා.

    නමුත් ඉකොනො මේ රජය බලයට පත් වූ විට රවී කරුණානායක හිටපු මුදල් ඇමති තුමා 2015 සිට 2020 දක්වා සෑම වසරකම ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් වලින් ඉදිරිපත් කලා

    රවී කිව්වෙ 2015 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 276
    2016 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 269
    2017 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 355
    2018 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 377
    2019 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 586
    2020 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 509

    ඉතිං මේ අනුව 2019 ගෙවීමට නියමිතව තිබුන රු.බි. 586 මුදල එදා ඩොලර් වල අගයට අනුව ඩොලර් බිලියන 4.4 යි. මෙය ඩොලර් බිලියන 5.9 ට වැඩිකරගෙන තිබෙන්නේ එසේනම් වත්මන් රජයයි. ඒ ඩොලර් බිලියන 1.5 ක , එසේත් නැත්නම් රුපියල් බිලියන 279 ක පමන විශාල ණය වැඩිවීමකි

    එතකොට ඉකොනොමැට්ටාල්ගේ මේ යහපාලන රජය පසුගිය වසර තුල ගත් අතිවිශාල ණය කන්දරාවෙන් 2019 ගෙවිය යුතු මුදල පමනයි. එය හම්බතොට වරාය වසර 99කට බදුදී ගත් මූලු මුදලටත් වැඩියි. එසේ නම් මේ ආකාරයෙන් 2019 ගෙවිය යුතු ණය විශාල වශයෙන් වැඩි වීමට ඉකොනොමැට්ටාගේ වත්මන් රජය වග කිව යුතුයි නේද ? මීලඟ ප්‍රශ්ණය නම් 2014 රජය වෙනස් නොවුනා නම් මෙම ණය ගෙවීම ගැටලුවක්ද යන්නයි.

    ලංකාවේදී 2014 අවසන් වන විට රජය සතුව විදේශ සංචිත ඩොලර් බිලියන 8.3 ක් තිබුනා 2005 -2014 වසර 9 ක කාලය තුල රටේ යුද්ධයකුත් තිබී විදේශ සංචිත ඩොලර් බිලියන 6 කින් පමන වැඩිවී තිබුනා. 2014 වන විට ආර්ථිකය 7% පමන වේගයකින් වර්ධනය වෙමින් තිබුනා. ඒ ආකාරයටම රට සංවර්ධනය වූවා නම් මෙ වන විට අපට ඩොලර් බිලියන් 15 ක වත් විදේශ සංචිත ගොඩනැගී තිබිය යුතුව ඇත.

    2015-2017 කාලයේ ලෝක තෙල් මිල අඩුවීමෙන් පමනක් රටට ඩොලර් බිලියන 5 කට වඩා ඉතිරි වුනා. ඊට අමතරව ඩොලර් බිලියන 20 කට වඩා පසුගිය වසර 4 තුල වත්මන් රජය ණය අරන් තියෙනවා.

    නමුත් ඉකොනොමැට්ටා අද රජය සතුව ඇත්තේ 2015 රට බාරගන්න විට තිබුනාටත් වඩා අඩු සංචිත ප්‍රමාණයකි. ඩොලර් බිලියන් 6 ක පමන සුලු ප්‍රමාණයකි. ඩොලර් බිලියන් 5.9 ක ණය ගෙවීම මහා බරක් වී තිබෙන්නේ ඒ නිසාය.

    දැන් ඉතාමත් පැහැදිලියි මේ අර්බූදයට වග කිව යුත්තේ ඉකොනොමැට්ටාගේ හාම්පුතු වන රනිල් වික්‍රමසිංහගේ මුග්ධ රජයේ අසාර්ථ්ක ආර්ථික කළමණාකරන පිස්සු වැඩ හැර අන් කුමක්ද?

    ReplyDelete
    Replies
    1. 2000 සිට 2017 දක්වා ලංකාවේ විදේශ ණය හා විදේශ සංචිත අතර වෙනස ඉහළ ගිය හැටි පහත ලිපියේ තිබෙනවා.

      http://emgesathapaha.blogspot.com/2018/09/blog-post_23.html

      මේ හා අදාළ තවත් ලිපියක්.

      http://emgesathapaha.blogspot.com/2018/10/blog-post_16.html

      මේ වසරේ තත්ත්වය.

      https://economatta.blogspot.com/2018/12/blog-post_7.html

      Delete
  5. මට Asperger's Syndrome තියෙනවා.
    Asperger's Syndrome තියෙන අය 70කට එකක් සිටිනවා. GLBT අය සිටින්නේ 500කට එකක්.
    නමුත් GLBT පුද්ගලයන් ගැන කෙරෙන දැනුවත් කිරිමට සාපේක්ෂව Asperger's Syndromeගැන දැනුවත් කිරීම ඉතා අඩුයි. Asperger's Syndrome තියෙන අයට අවශය එකම උදව්වත් එහෙම අය සිටිනබව සමාජය දැනුවත් කිරීමම පමණයි. දැනුවත් කිරීම් වන්නේත් යම් න්‍යාය පත්‍රයකට අනුව විය හැකියි.

    ReplyDelete
    Replies
    1. //GLBT අය සිටින්නේ 500කට එකක්.//
      වැරදි ප්‍රකාශයක්. එම ප්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. සමාජයේ තිබෙන GLBT විරෝධය නිසා GLBT අය තමන් GLBT බව කියන්න පැකිලීම නිසයි එසේ පේන්නේ. 2018 සමීක්ෂණයක් අනුව ඇමරිකාවේ 1980-1999 උපන් අය අතරින් 8.2%ක් තමන් GLBT ලෙස හඳුනාගෙන තිබෙනවා.

      Delete
  6. බොහෝ දෙනා අවි අතැතිව සිටි සමාජයක නිතරම අනෙකාගේ සපත්තුවට බැහැල හිතල බලන්න වෙන එක ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වෙන්න ඇතියි කියලයි මට හිතෙන්නේ, නමුත් ස්ථාපිත රාජ්‍ය ව්‍යව්හයක් පවතී යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ ආකාරය ඇමරිකාවට වඩා වෙනස් ඇති නේද?

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා The Economist සගරාව මගින් එළිදක්වා ඇති ප්රජාතන්ත්රවාදය පිළිබද ජාත්යන්තර දර්ශකයට අනුව ඇමරිකා එක්සත් ජනපදය තුල ප්රජාතන්ත්රවාදය පිරිහීමට ලක්ව ඇති බව පෙන්වා දී තිබේ.

    ඇමරිකාවේ ට්‍රම්ප්ට ජනාධිපති වෙන්න රුසියාව කම්පියුටර් ජිල්මාට් දැම්මා කියන චෝදනාව සම්බන්ධයෙන් පවත්වන පරික්ෂණ ඉක්මන් කරන්න කියලා අපිත් නිවේදනයක් යැව්වා නං හරි ඇමරිකන් තානාපතිට, ඇමරිකන් ජනතාවට තමා කැමති නායකයෙක් තෝරා ගැනීමේ අවස්ථාව අවහිරයකින් තොරව මීලග ඡන්ද වලදී ලැබෙනවාද කියලා ලංකා රජය විමසිල්ලෙන් බලා ඉන්නවා කිව්වා නං හරි.

    ඉකොනොමැට්ටාටත් අලියාගේ නැට්ටේ එල්ලෙනවා හැරෙන්ඩ වෙන විකල්පයක් නෑ නේද?

    ReplyDelete
  8. ඉදිරි මාස කිහිපයේදීත් මෙහෙමම 'කඩි ගුල්වලට උණු අළු දමන්නට' ඉඩ-හසර හා විවේකය ලැබේවා!

    ReplyDelete
  9. වැඩපිරි සෙමිස්ටරයක් එනවා වගෙයි!

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...