Tuesday, September 11, 2018
ශ්‍රමික ප්‍රේෂණ, සෘජු විදේශ ආයෝජන හා විදේශ ණය
දිගින් දිගටම විදේශ ණය ගනිමින් අයවැය පරතරය පියැවීම හා එයින් රටේ ආනයන අපනයන පරතරයට සිදුවන බලපෑම ගැන පෙර ලිපියෙන් පෙන්වා දුන්නා. එහි පෙන්වා දුන් පරිදි, රටට හා රටෙන් පිටතට විදේශ විණිමය සම්ප්‍රේෂණය වන එකම යාන්ත්‍රනය ආනයන හා අපනයන පමණක්නම්, විදේශ විණිමය වෙළඳපොළට මහ බැංකුවේ මැදිහත්වීමකුත් නැත්නම්, දිගුකාලීනව රටේ ආනයන හා අපනයන අතර පරතරයක් තියෙන්න විදිහක් නැහැ. නමුත්, කිසියම් වෙනත් ක්‍රමයකින් රටට වාර්ෂිකව විදේශ විණිමය ගලා එනවනම් එසේ පැමිණෙන විදේශ විණිමය ප්‍රමාණයට සමාන ආනයන අපනයන පරතරයක් ඇතිවෙන එකත් වලක්වන්න බැහැ.
මේ විදිහට වෙනත් ආකාර වලින් රටට පැමිණෙන විදේශ විණිමය කොටස් තුනක් යටතේ වර්ග කරන්න පුළුවන්.
1. ශ්‍රමික ප්‍රේෂණ
2. සෘජු විදේශ ආයෝජන
3. විදේශ ණය
ඔය ක්‍රම තුනෙන් කොයි විදිහට විදේශ විණිමය රටට ආවත්, මහ බැංකුවේ මැදිහත්වීමක් සිදු නොවුනොත්, අවසාන ප්‍රතිඵලය වෙන්නේ රුපියල වඩා ශක්තිමත් වීම (ඩොලරයේ මිල අඩුවීම/ අවශ්‍ය තරම් වැඩි නොවීම) හා ඒ හේතු කරගෙන ආනයන වලට වඩා අපනයන වැඩි වී වෙළඳ හිඟයක් ඇතිවීම හා අවසාන වශයෙන් විදේශ විණිමය වෙළඳපොළ සමතුලිතවීමයි. කවර ආකාරයෙන් ඩොලර් රට ඇතුළට ආවත් ඒ ඩොලර් අපනයන වෙනුවෙන් නැවත ආපසු රටින් එළියට යනවා. ඒ හැම විටකම දේශීය කර්මාන්ත යම් ප්‍රමාණයක් බිඳ වැටෙනවා. ඒ නිසා, (මහ බැංකුවේ මැදිහත්වීමක් නැතිව) දේශීය නිෂ්පාදන වලට තැනක් දීමත් රුපියල ශක්තිමත්ව තබා ගැනීමත් කියන ඉලක්ක දෙකම එකවර හඹා යන්න බැහැ. දොන්නම් දොන් සිමන්නම් සිමන්.
ඉහත කී ක්‍රම තුනෙන් කොයි විදිහට විදේශ විණිමය ආවත් දේශීය අපනයන අඩුවෙලා ආනයන ඉහළ යනවා. නමුත්, ඒ හේතුව නිසාම ඔය තුනේ බලපෑම් සමානයි කියන්න බැහැ. ශ්‍රමික ප්‍රේෂණ ඉතිරි ආකාර දෙක තරම් හානිකර නැහැ. එයට හේතුව ශ්‍රමික ප්‍රේෂණ ආවා කියා පසුකාලීනව විදේශ විණිමය ආපසු යාමක් සිදු නොවන නිසා. ශ්‍රමික ප්‍රේෂණ හේතුවෙනුත් වෙළඳ හිඟයක් ඇති වුනත් එය හානිකරයි කියා කියන්න බැහැ. නමුත්, සෘජු විදේශ ආයෝජන හා විදේශ ණය ලබා ගන්නවා කියන්නේ අනාගතයේ විදේශ විණිමය රටින් පිටවන යාන්ත්‍රණයන් කැඳවා ගැනීමක්.
මෑතකාලීනව ලංකාවේ ආණ්ඩු වල ආර්ථික ප්‍රතිපත්ති වල සෘජු විදේශ ආයෝජන කැඳවා ගැනීමේ අපේක්ෂාව කැපී පෙනෙනවා. ඒ කටයුත්තේදී ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම අසාර්ථක වීම වෙනම කරුණක්. නමුත්, සෘජු විදේශ ආයෝජන කියන්නේ ඔය හිතන තරම් වාසිදායක දෙයක් නෙමෙයි. කවුරු හෝ සෘජු විදේශ ආයෝජන ලෙස ප්‍රාග්ධනය ලංකාවට ගේනවනම් එසේ ගේන්නේ සැලකිය යුතු ප්‍රතිලාභයක් සමඟ මේ ප්‍රාග්ධනය නැවත ආපසු රටෙන් පිටතට රැගෙන යාමේ අරමුණිනුයි. ඒ නිසා, බොහෝ විට සිදුවෙන්නේ සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණෙන විදේශ විණිමයට වඩා වැඩි විදේශ විණිමයක් පසුකාලීනව රටින් පිටතට යාමයි. එය නොවන අවස්ථාත් තියෙනවා. නමුත්, එය තීරණය වන්නේ සංස්කෘතික සාධක මතයි.
උදාහරණයක් සේ ගත්තොත් දහනවවන සියවසේදී එංගලන්තයේ සිට ලංකාවට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා ආවා. මේවා සෘජු විදේශ ආයෝජන සේ සැලකිය හැකියි. ලංකාවේ වැවිලි ආර්ථිකය දියුණු කෙරුණේ හා මහාමාර්ග සංවර්ධනය සිදුවුණේ මේ ප්‍රාග්ධනය යොදා ගනිමිනුයි. මේ විදිහටම ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ වත්මන් සංවර්ධිත රටවලටත් ඉන්දියාව, පකිස්ථානය, බංගලි දේශය වගේ වත්මන් අඩු-ආදායම් රටවලටත් එංගලන්තයේ සිට ප්‍රාග්ධනය ගලා ආවා.
ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ රටවලට ප්‍රාග්ධනය අරගෙන ආපු සුද්දෝ ඒ රටවලම පැලපදියම් වුණා. ඒ නිසා, ඔවුන් රැගෙන ආ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ඒ රටවල් වලින් පිටතට ගෙනියන්න ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ඒ ප්‍රාග්ධනය වගේම ප්‍රාග්ධනයේ ප්‍රතිලාභත් ඒ රටවල් වලම නැවත ආයෝජනය කෙරුණා. නමුත්, ඉන්දියාව, පකිස්ථානය, බංගලි දේශය වැනි රටවල් වලට පැමිණි සුද්දෝ ඒ විදිහට පැලපදියම් වුණේ නැහැ. ඉන්දියාවට හා ලංකාවට නිදහස ලැබෙන්න ආසන්න කාලයේදී හා නිදහස ලැබීමෙන් පසුව මේ සුද්දෝ බොහෝ දෙනෙක් ආපසු ගියේ ඔවුන්ට රැගෙන යා හැකි තරම් ප්‍රාග්ධනයත් අරගෙනයි.
ලංකාවේ ආණ්ඩු විසින් මේ ඇතැම් පෞද්ගලික දේපොළ "ජනසතු කිරීම" හරහා එය යම් තරමකින් වැලැක්වුවත් එයින් බොහෝ විට වුණේ එසේ ජනසතු කළ දේවල් ඒවායේ මුල් අයිතිකරුවන්ට හෝ පසු අයිතිකරුවන්ට ප්‍රතිලාභ ලබා නොදෙන සුදු අලින් බවට පත් වීම විතරයි. එයට අමතරව ලංකාවට සෘජු විදෙස් විණිමය රැගෙන එන්න ඉඩ තිබුණු අයට නරක පණිවුඩයකුත් ඒ හරහා සම්ප්‍රේෂණය වුණා.
අඩු වශයෙන් දහනවවන සියවසේ මුල් කාලයේදී සුද්දෝ ඔවුන්ගේ එංගලන්තයේ දේපොළ විකුණා ඒ මුදල් ලංකාව ඇතුළු වෙනත් රටවල ආයෝජනය කළේ ඒ රටවල් දාලා ආපහු යන්න හිතාගෙනම නෙමෙයි. ඒ වුනත්, දහනවවන සියවසේ අන්තිම කාලය වෙද්දී තමන්ට දිගුකාලීනව පැලපදියම් වීමට සුදුසු හා නුසුදුසු රටවල් ගැන ඔවුන්ට අවබෝධ වුණා. ඉන් පසුව, තමන්ට දිගුකාලීනව පැලපදියම් වී සිටීමේ ශක්‍යතාවයක් නොතිබුණු රටවලදී ඔවුන් කළේ තමන්ගේ ආයෝජන වල ප්‍රතිලාභ ඒ රටවලම නැවත ආයෝජනය කරනවා වෙනුවට හැකි තරම් රටින් පිටතට ගෙනියන එකයි.
දැන් වෙන්නෙත් ඔය ටිකම තමයි. ලංකාවේ සෘජු විදෙස් ආයෝජන කරන කවුරු වුනත් දැන් එසේ කරන්නේ තමන්ගේ ප්‍රාග්ධනය හා ඒ මත ලැබෙන ප්‍රතිලාභ නැවත ආපසු ගෙනයාමේ බලාපොරොත්තුවෙනුයි. මේ විදිහට වාර්ෂිකව රටෙන් පිටතට යන මුදල දැනටත් විශාල මුදලක්. තව තවත් විදේශ ආයෝජන එනවා කියන්නේ අනාගතයේදී විදේශ විණිමය ලංකාවෙන් පිටතට යන මාර්ග තවතවත් විවෘත වෙනවා කියන එකයි. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන දිරිමත් කරනවා කියන්නේ බොහොම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්.
රටට වාසියක් ලැබෙන්නනම් දිරිමත් කළ යුත්තේ මොන විදිහේ සෘජු විදෙස් ආයෝජනද කියන එක අපි වෙනම ලිපියකින් කතා කරමු. දැනට කියන්න තියෙන්නේ මොන විදිහකින් හෝ සෘජු විදෙස් ආයෝජන ලබා ගැනීම වාසිදායක දෙයක් නොවන බව පමණයි.
කෙටිකාලීනව කරන්න අපහසු වුවත් විදේශ ආයෝජන සමඟ මෙහි එන විදේශිකයින් ලංකාවේ සංස්කෘතියට අවශෝෂණය කරගෙන, ඔවුන්ව ලාංකිකයින් කරගෙන මෙහි රඳවා ගත හැකිනම් පෙර කී හානිය සිදුවන්නේ නැහැ. දහනවවන සියවසේදී සෘජු විදෙස් ආයෝජන රැගෙන මෙහි පැමිණි චෙට්ටි, පාර්සි වගේ ඉන්දියානු ධනවතුන් විශාල පිරිසක් ලංකාවේ පැලපදියම් වුණා. ඊටත් පසුව, චීන විප්ලවය වෙලාවේ පැනල ආපු චීන්නු දැන් සිංහලයන් වී සිටිනවා. මේ අය පැමිණියේ එක්කෝ ප්‍රාග්ධනය, එසේ නැත්නම් වෘත්තීය කුසලතාවන්, බොහෝ විට ඔය දෙකම අරගෙනයි. නමුත්, දැන් මෙය මේ ආකාරයෙන් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන වලින් වාසියක් සැලසෙන්නේ ඒ හේතුවෙන් තාක්ෂනය කාන්දුවීම හා රැකියා ජනනය වීම සිදුවන තරමට පමණයි. ප්‍රාග්ධනය පැත්තෙන් බැලුවොත් බොහෝ විට සිදුවෙන්නේ හානියක්.
විදේශ ණය වුවත් හැම විටම හානිකරයි කියා කියන්න බැහැ. ණය යොදාගැනෙන්නේ අනාගතයේදී විදේශ විණිමය ජනනය වෙන ව්‍යාපෘතියක් වෙනුවෙන්නම් ණය හා පොලිය ආපසු ගෙවීම ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත්, ප්‍රායෝගිකව එය සිදු නොවන තරම්. ලංකාවට මෙතෙක් ලබාගත් විදේශ ණය නිසා සිදු වී තිබෙන්නේ පිටතට ගලා යන විදේශ විණිමය ප්‍රවාහ වැඩි වැඩියෙන් බිහිවීම පමණයි.
සෘජු විදේශ ආයෝජන හෝ විදේශ ණය ලෙස විදේශ විණිමය රට ඇතුළට පැමිණෙද්දී සිදුවන රුපියල අධිප්‍රමාණය වීම, ආනයන පරිමාව වැඩි වීම, අපනයන පරිමාව පහළ යාම ආදී දුර්විපාක විදේශ විණිමය ප්‍රතිපත්තිය හරහා පාලනය කරගන්න බැරිකමක් නැහැ. කරන්න තියෙන්නේ මේ විදිහට පැමිණෙන විදේශ විණිමය මහ බැංකුව විසින් මිල දී ගන්න එකයි. එසේ කිරීමේදී රටේ මුදල් සැපයුම ඉහළ නොයන පරිදි රජයේ හෝ මහ බැංකුවේ බැඳුම්කර විකිණීමෙන් එළියට දමන රුපියල් ටික ආපසු එකතු කරගත්තොත් උද්ධමනය ප්‍රශ්නයක් වෙන එකත් සීමා කරගන්න පුළුවන්.
ශ්‍රමික ප්‍රේෂණ හැර වෙනත් ක්‍රමවලින් රටට එන අමතර විදේශ විණිමය මහ බැංකුව විසින් එකතු කරගෙන සංචිත වැඩි කරගන්නවානම් ආනයන වෙනුවෙන් වැය කරන්න අමතර ඩොලර් වෙළඳපොළේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා, ආනයන වෙනුවෙන් වැය කරන්න වෙන්නේ අපනයන ආදායම හා ශ්‍රමික ප්‍රේෂණ පමණයි. හැබැයි මෙය කරන අතරම ඩොලරයේ අගය පහළින් තියා ගන්න බැහැ. අපනයන අඩු කරන යාන්ත්‍රනය වන්නේම ඩොලරයේ අගය ඉහළ යන්නට ඉඩ සැලසීම නිසා එය කරන්නම වෙනවා.
මේ විදිහට සෘජු විදෙස් ආයෝජන හෝ විදේශ ණය ලෙස ලැබෙන විදේශ විණිමය මහ බැංකුව විසින් අඛන්ඩව විදෙස් සංචිත වලට එකතු කරගත්තානම් රටේ අපනයන තරඟකාරීත්වය මේ තරමටම දුර්වල වෙන්නේ නැහැ. ඒ වගේම, ණය ආපසු ගෙවන්න ඩොලර් නැතුව පස්ස කැඩිච්ච කඩියෝ වගේ දඟලන්න වෙන්නෙත් නැහැ.
කොහොම වුනත් ඔය වැඩේ කාලයක් තිස්සෙම ඔයාකාරයට වුණේ නැහැනේ. ඒ නිසා, දැන් තත්ත්වය ගොඩක් සංකීර්ණයි. පහුගිය කාලය තිස්සේ ගත්ත විදේශ ණය වල වාරික හා පොලිය ලෙස වගේම සිදු කෙරුණු විදේශ ආයෝජන වල ප්‍රතිලාභ වෙනුවෙනුත් වාර්ෂිකව විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රටින් පිටතට යාමට නියමිතව තිබුණත් ඒ වෙනුවෙන් වැය කළ හැකි තරමේ සංචිත මහ බැංකුව සතුව නැහැ. වාර්ෂිකව මේ විදිහට අවශ්‍ය වෙන මුදල ඩොලර් බිලියන හත අටක්. ශ්‍රමික ප්‍රේෂණ ලෙස වාර්ෂිකව ලැබෙන මුදලට ආසන්නව සමාන මුදලක්.
දැන් වැඩේ ගොඩදාන්නනම් අවුරුද්දකට ඩොලර් බිලියන හත අටක් මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගන්න සිදු වෙනවා. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් ටික මිලදී ගෙන ණය වාරික හා පොලිය වෙනුවෙන් යෙදෙවුවොත් අවුරුදු කිහිපයකට පස්සේ නැවතත් ආනයන අපනයන පරතරය නැති වෙලා යයි. එහෙම කරන්න පටන් ගැනීමේදී ඩොලර් එකේ අගය කොහේ නවතීද කියා කියන්න බැහැ. නමුත් රුපියල අවශ්‍ය පමණට අවප්‍රමාණය වීමෙන් පසුව එය නිසි තැන ස්ථාවර වෙයි. එයින් පස්සේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් නැහැ.
මහ බැංකුව හා රජය දැනටත් කරමින් ඉන්නේ වෙළඳපොළෙන් ඩොලර් එකතු නොකර රටෙන් පිටතට ආපසු යන්න නියමිත විදේශ විණිමය ප්‍රමාණයට ගැලපෙන්න අලුත් විදේශ ණය ගන්න එකයි. එසේ කරන්නේ ඩොලරයේ අගය වේගයෙන් ඉහළයාම වලක්වා ගන්නයි. මෙයින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එය තව තවත් උග්‍ර වෙමින් අනාගතයට තල්ලු වීම පමණයි වෙන්නේ.
එකවර කරන්න අපහසු වුවත්, සෑම වසරකම ඩොලරය සැලකිය යුතු තරමින් අවප්‍රමාණය වෙන්න හරිමින් වෙළඳපොළෙන් හැකි තරම් ඩොලර් එකතු කරගන්න එකයි කළ යුත්තේ. එසේ නොකළොත් කවදාවත් ගොඩයාමක් නැහැ. තුවාල සනීප වෙන්නනම් බෙහෙත් දාන්න කලින් හොඳට සුද්ද කරන්න වෙනවා. සුද්ද කරන කොට රිදෙන එක වලක්වන්න අමාරුයි.
(Image: https://www.readme.lk/sri-lanka-innovation/ originally Sunday Times)
Labels:
ආර්ථික විද්‍යාව,
රාජ්‍ය ණය,
ශ්‍රමික ප්‍රේෂණ,
සෘජු විදේශ ආයෝජන
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
//අපනයන පරිමාව ඉහළ යාම ආදී දුර්විපාක//
ReplyDeleteතව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
සමාවෙන්න, ජීවන්ත. එය "පහළ යාම" සේ නිවැරදි විය යුතුයි. වෙනස් කළා. සැළකිල්ලෙන් කියෙවුවට ස්තුතියි!
Delete