වෙබ් ලිපිනය:

Sunday, September 16, 2018

ලංකාවට ඩොලර් එන හැටි...


දවස් දෙක තුනකට කලින් අපේ පාඨකයෙක් විද්‍යුත් තැපෑලෙන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ඔහු ඇසූ දේ දන්න කෙනෙකුට ඉතාම සරල දෙයක් වෙන්න පුළුවන් වුවත්, නොදන්න අයෙකුට සිතට වද දෙන ප්‍රශ්නයක් වෙන්න බැරිකමක් නැහැ. ඔහු මගෙන් අහන්නේ රජය ඩොලර් බිලියන ගණන් වලින් විදේශ ණය ගන්නා විට ඒ ඩොලර් ලංකාවට එන්නේ කොහොමද කියන එකයි. මේ ඩොලර් නෝට්ටු විදිහට නැවකින් හෝ ගුවන් යානයකින් ලංකාවට ප්‍රවාහනය කරනවද?

මෙහි තියෙන්නේ ආර්ථික විද්‍යාවට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. රටේ මූල්‍ය පද්ධතිය හා ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක්. විදේශික සංචාරකයෙකු නැත්නම් විදේශයක පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙකු ලංකාවට එනකොටනම් ඩොලර් යම් ප්‍රමාණයක් අතේ අරගෙන එනවා. ඒවා බැංකුවකදී නැත්නම් මුදල් හුවමාරුකරුවෙකු ළඟදී රුපියල් කරනවා. නමුත්, රජය ගන්නා ණය ඇතුළු විදේශ විණිමය ප්‍රවාහ ඔයාකාරයට මුදල් නෝට්ටු වශයෙන් ලංකාවට එන්නේ නැහැ. බොහෝ විට සිදුවන්නේ ගිණුම් කිහිපයක ශේෂ යාවත්කාලීන වීමක් පමණයි.

දේශීය ව්‍යවහාර මුදලින්, කාසි හා නෝට්ටු භාවිතා නොකර ගනුදෙනුවක් කරද්දීත් වෙන්නේ මේ දෙයමයි. චානුක විසින් රෂීඩ් මුදලාලිට චෙක් පතකින් හෝ ඩෙබිට් කාඩ් එකකින් ගෙවීමක් කළා කියා හිතමු. මේ ගනුදෙනුවෙන් පසුව අදාළ මුදල චානුකගේ ගිණුමෙන් අඩු වෙලා රෂීඩ්ගේ ගිණුමට එකතු වෙන්න ඕනෑ. චානුක හා රෂීඩ් යන දෙන්නාගේම ගිණුම් තියෙන්නේ එකම බැංකුවේනම් ඔය වැඩේ ඉතා සරලයි. බැංකුවට තිබෙන්නේ චානුකගේ ගිණුමේ ප්‍රමාණවත් මුදල් ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් පසුව අදාළ මුදල ඒ ගිණුමෙන් අඩු කර රෂීඩ්ගේ ගිණුමට බැර කිරීමයි.

චානුකගේ හා රෂීඩ්ගේ ගිණුම් තිබෙන්නේ බැංකු දෙකකනම් වැඩේ තරමක් සංකීර්ණයි. එවිට, රෂීඩ්ගේ බැංකුවට අදාළ මුදල රෂීඩ්ගේ ගිණුමට බැර කරන්නට පෙර චානුකගේ බැංකුවෙන් අය කරගන්න සිදු වෙනවා. මේ කටයුත්තේදී තවත් අතරමැදියෙක් සම්බන්ධ වෙනවා. ඒ මහ බැංකුව.

සෑම වාණිජ බැංකුවකටම මහ බැංකුවේ ඔවුන් සතු ගිණුමක් තිබෙනවා. ඉහත කී ආකාරයෙන් කාසි හෝ නෝට්ටු භාවිතා නොකර බැංකු දෙකක පාරිභෝගිකයින් අතර ගනුදෙනුවක් සිදු වීමෙන් පසුව මහ බැංකුව විසින් එක් බැංකුවක ගිණුමෙන් මුදල් ගෙන අනෙක් බැංකුවේ ගිණුමට හර කරනවා. තමන් සතු මහ බැංකුවේ ගිණුමට මුදල් පැමිණි බව තහවුරු වීමෙන් පසුව රෂීඩ්ගේ බැංකුව රෂීඩ්ගේ ගිණුමට අදාළ මුදල බැර කරනවා. ඇතැම් ගනුදෙනු හා අදාළව බැංකු අතර අතරමැදියා මහ බැංකුව නොවෙන්නත් පුළුවන්.

විදේශ මුදල් ලංකාවට පැමිණීමේ ක්‍රියාවලියත් ඉහත ක්‍රියාවලියේම දිගුවක්. බොහෝ විට මේ කටයුත්තට අතරමැදියන් කිහිපදෙනෙක්ම සම්බන්ධ වෙනවා.

මුලින්ම අපි තනි බැංකුවක් පමණක් සම්බන්ධ වී මෙය සිදුවන ආකාරය ගැන බලමු. එංගලන්තයේ සිටින කෙනෙක්ට තමන්ගේ එච්එස්බීසී බැංකු ගිණුමකින් ලංකාවේ සිටින අයෙක්ගේ එච්එස්බීසී බැංකු ගිණුමකට කිසියම් මුදල් ප්‍රමාණයක් යවන්න අවශ්‍ය වෙනවා. මෙහිදී එච්එස්බීසී බැංකුව විසින් අදාළ පවුම් ප්‍රමාණය මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් අඩු කරගෙන ඔවුන් විසින් තීරණය කරන විණිමය අනුපාතිකයට අනුව අදාළ රුපියල් ප්‍රමාණය ලංකාවේ මුදල් ලබන්නාගේ එච්එස්බීසී බැංකු ගිණුමට බැර කරනවා.

යම් හෙයකින් එංගලන්තයේ පුද්ගලයාගේ බැංකු ගිණුම තිබෙන්නේ බාර්ක්ලේස් බැංකුවේ හා ලංකාවේ මුදල් ලබන්නාගේ ගිණුම තිබෙන්නේ සම්පත් බැංකුවේනම් මේ බැංකු දෙකට අතරමැදියෙක් සේ එච්එස්බීසී බැංකුව වගේ ජාත්‍යන්තර බැංකුවක් යොදාගන්න සිදු වෙනවා. මෙහිදී එංගලන්තයේ සිට ලංකාවට මුදල් හුවමාරුව වෙන්නේ එච්එස්බීසී බැංකුව හරහා.

බාර්ක්ලේස් විසින් තමන්ගේ පාරිභෝගිකයාගේ ගිණුමෙන් අදාළ මුදල අඩු කරගෙන එංගලන්තයේ මහ බැංකුව හරහා එච්එස්බීසී බැංකුවට පවුම් වලින් මුදල් ගෙවනවා. එච්එස්බීසී බැංකුව විසින් ලංකාවේ මහ බැංකුව හරහා සම්පත් බැංකුවට රුපියල් වලින් මුදල් ගෙවනවා. සම්පත් බැංකුව මුදල් ලැබිය යුත්තාගේ ගිණුමට අදාළ මුදල බැර කරනවා. මේ ක්‍රියාවලිය මේ ආකාරයට සිදුවීම සඳහා බාර්ක්ලේස් බැංකුව හා සම්පත් බැංකුව යන බැංකු දෙකම විසින් එච්එස්බීසී බැංකුවේ තමන්ගේ ගිණුම් පවත්වා ගත යුතුයි.

සවුදි අරාබිය වගේ රටක සිට මුදල් එවද්දී මෙය තවත් ටිකක් සංකීර්ණ වෙනවා. මෙහිදී එච්එස්බීසී බැංකුව විසින් මුලින්ම සවුදි රියාල් පවුම් වලටත් දෙවනුව පවුම් රුපියල් වලටත් මාරු කරනවා.මේ එක අවස්ථාවකදීවත් මුදල් නෝට්ටු හුවමාරු වීමක් සිදු වෙන්නේ නැහැ. ගිණුම් ශේෂ එහා මෙහා වීමක් පමණයි වෙන්නේ.

එච්එස්බීසී බැංකුව වගේ බැංකුවක් මේ විදිහට දිගින් දිගටම මුදල් යවද්දී ඔවුන් අතේ ඇතැම් මුදල් වර්ග වැඩිපුර එකතු වීමත් තවත් ඇතැම් මුදල් වර්ග හිඟ වීමත් සිදු වෙන්න පුළුවන්. එවිට ඔවුන් එසේ වැඩිපුර තිබෙන මුදල් වෙනත් බැංකුවකට විකුණා හිඟ මුදල් වර්ගය මිල දී ගන්නවා. විකුණගන්න අපහසුනම් විකිණුම් මිල අඩු කරනවා. මිල දී ගන්න අපහසුනම් ගෙවන්න කැමති වන මිලේ ලංසුව ඉහළ දමනවා.

ශ්‍රමික ප්‍රේෂණ වගේ දෙයකදී ඔය වැඩේ ඔයාකාරයට සිදු වුනත්, අපනයනකරුවෙකු තමන්ගේ මුදල් ගෙන්වා ගනිද්දී මීට වඩා පාලනයක් ඔහුට තිබෙනවා. ඔහු ඇතැම් විට තමන්ගේ මුදල් විදේශ බැංකුවක තිබෙන ගිනුමක හෝ ලංකාවේ බැංකුවකම තිබෙන විදේශ මුදල් ගිණුමක තබාගෙන පසුව තමන්ට වාසිදායක වෙලාවක මුදල් කරන්න පුළුවන්.

රජයට විදේශ ණය මුදලක් ලැබුණු විට වෙන්නෙත් ඔය වගේ දෙයක්. බොහෝ විට මුලින්ම වෙන්නේ ලංකාවේ බැංකුවක තිබෙන රජයේ ගිණුමක ශේෂය ඉහළ යාමයි. මේ ගිණුම විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව ලංකාවේ රජය ණය ගන්නේ එක්කෝ පරණ ණය ගෙවන්න. එහෙම නැත්නම් කිසියම් ව්‍යාපෘතියක් වෙනුවෙන්. පරණ ණය ගෙවීමක්නම් ගිණුම් ශේෂය ඉහළ යන පරක්කුවටම වගේ නැවත පහළ යන්න පුළුවන්.

ඔය විදේශ රටවල් විසින් දෙන ව්‍යාපෘති ණය බොහෝ විට දෙන්නේ යම් කොන්දේසි වලට යටත්වයි. ව්‍යාපෘතිය කිරීමේ කොන්ත්‍රාත්තුව අදාළ රටේම සමාගමකට ලබා දිය යුතු බව බොහෝ විට දකින්න පුළුවන් කොන්දේසියක්. ඔය වගේ කොන්දේසියක් එක්ක ලැබෙන ණය ලංකාවට මුදල් සේ ලැබෙන්නෙම නෑ වගේ. උදාහරණයක් විදිහට චීන සමාගමකට කොන්ත්‍රාත් දෙන ලංකාවේ ව්‍යාපෘතියක් වෙනුවෙන් චීන රජයෙන් ණයක් ලැබෙනවා කියන එකෙන් ප්‍රායෝගිකව අදහස් වෙන්නේ දැන් මුදල් නොගෙන චීන සමාගම විසින් ලංකාවේ යමක් කරල යනවා කියන එකයි. ලංකාවේ රජය විසින් ණය ගෙවන්නේ පසුව වුවත් අදාළ සමාගමට ප්‍රමාදයකින් තොරව චීන රජයෙන් මුදල් ලැබෙනවා.

යම් හෙයකින් ණයක් සේ ලැබෙන විදේශ මුදල් මහ බැංකුව විසින් මිල දී ගත්තත් එයින් අදහස් වෙන්නේ විදේශ බැංකුවක තිබෙන මහ බැංකුවේ ගිණුමක ශේෂය ඉහළ යනවා කියන එක මිසක් ලංකාවට ඩොලර් නෝට්ටු එනවා කියන එක නෙමෙයි. ඉන්පසුව මහ බැංකුව විසින් කරන්නේ ඒ ගිණුම් ශේෂය යොදවා ඇමරිකන් භාණ්ඩාගාර බැඳුම්කර වැනි පොලී උපයන වත්කම් මිල දී ගැනීමයි.

No comments:

Post a Comment

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...