වෙබ් ලිපිනය:

Friday, September 7, 2018

ඩොලර් වලින් රුපියල් බැලන්ස් කිරීම


ලංකාවේ රජයේ ණය ගැන අපි මෙහි බොහෝවර කතා කරල තියෙනවා. මේ ණය සාමාන්‍යයෙන් දේශීය ණය හා විදේශීය ණය සේ වර්ග කෙරෙනවා. දේශීය ණය වැඩි ප්‍රමාණයක් රුපියල් ණය. විදේශීය ණය වැඩි ප්‍රමාණයක් රුපියල් නොවන, ඇමරිකන් ඩොලර් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණය. එසේ වුවත්, රුපියල් වලින් ලබාගන්නා විදේශ ණය වගේම ඩොලර් වැනි වෙනත් ව්‍යවහාර මුදලකින් ලබාගන්නා දේශීය ණයත් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ණය නොවන වෙනත් විදේශීය ණයත් තිබෙනවා.

රටක විදේශ ණය වැඩිවීම ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිවයුතු නැති වුවත් එයට එකම හේතුව මේ ණය නැවත ආපසු ගෙවන්න සිදුවීම පමණක්ම නෙමෙයි. විදේශ ණය ගැනීම වෙනත් ප්‍රශ්න වලටත් හේතු වෙනවා. රටේ ආනයන ඉහළ යාම, අපනයන අඩු වීම, අපනයන තරඟකාරිත්වය අඩු වීම ආදිය මේ ප්‍රශ්න වලින් කිහිපයක්. මේ ප්‍රශ්න වලට හේතු වන්නේ විදේශ ණය ගැනීමම නෙමෙයි. විදේශ ණය ගැනීම හා රටේ විදේශ විණිමය ප්‍රතිපත්තිය යන කරුණු දෙකේ සංයෝගයයි.

අපි මුලින්ම සංවෘත ආර්ථිකයක් ගැන හිතමු. මෙහි දේශීය ණය මිසක් විදේශීය ණය නැහැ. රටේ ණයකරුවන් සිටිය හැකිවුවත් එම ණය ලබා දී තිබෙන්නේ රටේම සිටින අය නිසා සමස්තයක් ලෙස රට ණය නැහැ. නමුත්, රටේ රාජ්‍ය ණය තිබෙන්න පුළුවන්. මේ රාජ්‍ය ණය සියල්ල රට ඇතුළෙන්ම ලබාගත් ණය.

රටේ නිෂ්පාදකයෙකුට අවශ්‍ය වන්නේ තමන්ගේ නිෂ්පාදන වැඩිම මිලකට විකුණගන්නයි. භාණ්ඩ මිල දී ගන්නේ රටේ කෙනෙක්ද පිටරටක කෙනෙක්ද කියන එක අදාළ නැහැ. නමුත්, භාණ්ඩ වෙනුවෙන් දේශීය ව්‍යවහාර මුදල් (පහසුවට රුපියල් කියමු) ලැබිය යුතුයි. විදේශ ව්‍යවහාර මුදල් (පහසුවට ඩොලර් කියමු) ලැබුණා කියා රට ඇතුළේ කළ හැකි දෙයක් නැහැ.

දැන් මේ රට එක් වරම විදේශ වෙළඳාමට විවෘත කළා කියා සිතමු. එවිට රටේ වැසියන්ට රටේ නැති දේවල් පිටරටින් ගෙන්වා ගන්න රුචිකත්වයක් ඇති වෙනවා. නමුත්, රුපියල් ගෙවා විදේශ රටවල් වලින් භාණ්ඩ ආනයනය කළ නොහැකියි. ඒ නිසා රට ඇතුළේ ඩොලර් වලට ඉල්ලුමක් ඇති වෙනවා. ඩොලර් අතේ තිබෙන කෙනෙකුට ඒ ඩොලර් පහසුවෙන් රුපියල් වලට මාරු කළ හැකි අවකාශයක් රටේ හැදෙනවා.

මේ අවකාශය හැදුනු පසුව දේශීය නිෂ්පාදකයින් තමන්ගේ නිෂ්පාදන අපනයනය කරන්න පටන් ගන්නවා. එසේ අපනයනය කර ලැබෙන ඩොලර් රුපියල් වලට මාරු ගන්නවා. මේ ඩොලර් විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදා ගැනෙනවා.

රට ඇතුළේ ආනයනික භාණ්ඩ වලට තිබෙන කැමැත්ත ඉහළ යන තරමට ඩොලර් ඉල්ලුමත් ඉහළ යනවා. එවිට ඩොලර් උපයන අපනයනකරුවන්ට තමන්ගේ ඩොලර් වැඩි මිලකට විකුණන්න අවස්ථාව ලැබෙනවා. ඩොලර් මිල ඉහළ යද්දී ආනයනික භාණ්ඩ වල රුපියල් මිල ඉහළ යන නිසා ඒවාට තිබෙන ඉල්ලුම අඩු වෙනවා.

යම් හෙයකින් රට ඇතුළේ ආනයනික භාණ්ඩ වලට තිබෙන කැමැත්ත අඩු වුනොත්, රට ඇතුළේ ඩොලර් ඉල්ලුම පහළ යනවා. එවිට ඩොලර් උපයන අපනයනකරුවන්ට තමන්ගේ ඩොලර් මාරු කිරීම අසීරු වෙනවා. එවිට ඔවුන් අඩු මිලකට ඩොලර් විකුණන්න පෙළඹෙනවා. ඩොලර් මිල පහත වැටෙද්දී ආනයනික භාණ්ඩ වල රුපියල් මිල අඩු වෙන නිසා ආනයනික භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම නැවත ඉහළ යනවා. ඒ එක්කම ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා.

ඩොලර් මිල ඉහළ යද්දී අපනයනකරුවන්ට ලැබෙන රුපියල් ආදායම වැඩි වෙනවා. එවිට දේශීය නිෂ්පාදකයින් වැඩි වැඩියෙන් අපනයනයට පෙළඹෙනවා. ඒ වගේම ඩොලර් මිල පහළ යද්දී අපනයනකරුවන්ගේ රුපියල් ආදායම අඩුවෙනවා. ඒ නිසා ඔවුන් අපනයනයෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා.

මහ බැංකුවේ හෝ රජයේ මැදිහත්වීමක් නැත්නම් රටේ ඩොලර් ඉල්ලුම හා සැපයුම ස්වභාවික ලෙසම සමතුලිත වෙනවා. යම් හෙයකින් ආනයන හා අපනයන අතර පරතරයක් ඇති වූ වහාම විණිමය අනුපාතිකය ස්වභාවික ලෙසම වෙනස් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනයන ඉල්ලුම හා අපනයනයට තිබෙන පෙළඹුම වෙනස් වෙනවා. ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මේ සමතුලිතතාවය මේ විදිහේ එකක්.

ඩොලර් ඉල්ලුම = ආනයන වියදම
ඩොලර් සැපයුම = අපනයන ආදායම
ඩොලර් ඉල්ලුම = ඩොලර් සැපයුම
ආනයන වියදම = අපනයන ආදායම
ආනයන වියදම - අපනයන ආදායම = 0
වෙළඳ හිඟය = 0

දැන් ඔහොම තියෙද්දී භාණ්ඩ අපනයනය නොකර වෙනත් ක්‍රමයකින් රට ඇතුළට නිකම්ම ඩොලර් ගලා ඒමක් සිදු වුනොත් මොකද වෙන්නේ? (මෙහිදී භාණ්ඩ යන වචනය භාවිතා කළත් මෙයින් අදහස් කළේ පොදුවේ භාණ්ඩ හා සේවා යන කොටස් දෙකම.)

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් හෝ වෙනත් අය විසින් ආපසු යමක් ලැබීමේ අපේක්ෂාවක් නැතිව ලංකාවට එවන ප්‍රේෂණ වල බලපෑම ගැන අපි මුලින්ම කතා කරමු. පහසුව සඳහා මේ මුදල් එන්නේ ඩොලර් වශයෙන් කියා අපි හිතමු. මෙසේ එවන මුදල් වෙනුවෙන් රටේ නිපදවන භාණ්ඩ හෝ සේවා කිසිවක් රටින් පිටතට යැවිය යුතු නැහැ.

දැන් අපනයනකරුවන් නොවන රටේ කිසියම් පිරිසක් අතේ ඩොලර් තිබෙනවා. ඔවුන්ට මේ ඩොලර් වලින් රට ඇතුළේ කළ හැකි දෙයක් නැහැ. ඒ නිසා ඔවුන් මේ ඩොලර් රුපියල් වලට මාරු කිරීමට යොමු වෙනවා. ඒ ඩොලර් විකුණන්න වෙන්නේ ආනයන භාණ්ඩ වලට කැමැත්තක් දක්වන අයටයි. දැන් ඩොලර් විකුණන කණ්ඩායම් දෙකක් ඉන්න නිසා ඩොලර් විකුණන එක කලින් තරම් පහසු නැහැ. ඒ නිසා ඩොලර් ටික විකුණගන්න වෙන්නේ අඩු මිලකටයි.

මෙහි ප්‍රතිඵලය වන්නේ කුමක්ද? රටට ශ්‍රමික ප්‍රේෂණ එන තරමට ඩොලර් මිල පහත වැටෙනවා. එයට සමාන්තරව අපනයනකරුවන්ට ලැබෙන ආදායම අඩු වෙනවා. ඔවුන් අපනයනයෙන් ඉවත් වෙනවා. ආනයන මිල පහළ වැටෙනවා. ඒ නිසා ආනයන ඉහළ යනවා. ඩොලර් වලට රට ඇතුළේ තිබෙන ඉල්ලුම හා සැපයුම සමතුලිත වන තුරුම ඔය වැඩේ ඔය විදිහට වෙනවා.

අන්තිමේදී තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද?

ඩොලර් ඉල්ලුම = ආනයන වියදම
ඩොලර් සැපයුම = අපනයන ආදායම + ශ්‍රමික ප්‍රේෂණ
ඩොලර් ඉල්ලුම = ඩොලර් සැපයුම
ආනයන වියදම = අපනයන ආදායම + ශ්‍රමික ප්‍රේෂණ
ආනයන වියදම - අපනයන ආදායම = ශ්‍රමික ප්‍රේෂණ
වෙළඳ හිඟය = ශ්‍රමික ප්‍රේෂණ

මේ අනුව පැහැදිලි වෙන පරිදි රටකට ශ්‍රමික ප්‍රේෂණ වැඩි වැඩියෙන් ලැබෙනවා කියන්නේ ආනයන අපනයන පරතරයත් ඊට සමානව වැඩි වෙනවා කියන එකයි. උදාහරණයක් විදිහට අවුරුදු හතර පහක් එක දිගට අවුරුද්දකට ඩොලර් බිලියන පහ ගානේ ශ්‍රමික ප්‍රේෂණ ලැබුනා කියා හිතමු. එහි ප්‍රතිඵලය වන්නේ රටේ ආනයන වියදම අපනයන ආදායමට වඩා ඩොලර් බිලියන පහක් වැඩි වන විදිහට රටේ ආර්ථිකය සකස් වීමයි.

ශ්‍රමික ප්‍රේෂණ ක්‍රමයෙන් වැඩි වෙද්දී එසේ ලැබෙන ඩොලර් ටික ආනයන වියදම් ලෙස නැවත රටෙන් එළියට යනවා. මොකද භාණ්ඩ හා සේවා මිසක් ඩොලර් පරිභෝජනය කරන්න බෑනේ. අතේ ඩොලර් තියෙනවනම් ලෝකයේ කොහෙන් හරි මොනවා හරි දෙයක් හොයා ගන්න බැරිකමක් නැති නිසා ඉතා කෙටි කලකින් ආනයන පරිමාව වැඩි කර ගැනීම ඉතා පහසුයි.

දැන් මෙහෙම තියෙද්දී මොකක් හරි හේතුවකින් එක පාරටම ශ්‍රමික ප්‍රේෂණ නැවතුනා කියල හිතමු. දැන් මොකද වෙන්නේ? ඩොලර් සැපයුම අඩු වීම නිසා ඩොලර් එකේ මිල එක වරම විශාල ලෙස ඉහළ යනවා. ඉන් පසුව අපනයන ක්‍රමයෙන් වර්ධනය වෙනවා. හැබැයි ආනයන පරිමාව වැඩි වන ඉක්මනට අපනයන පරිමාව වැඩි වෙන්නේ නැහැ. රටේ භාණ්ඩ හා සේවා වල අපනයන තරඟකාරිත්වය නැති වුනාට පස්සේ එය නැවත ගොඩ නඟාගෙන අපනයන පරිමාව වැඩි කරගන්න යම් කාලයක් යනවා. ඒ අතරතුර රටට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. කොහොම වුනත් ශ්‍රමික ප්‍රේෂණ එහෙම එක පාරටම නවතින එක සාමාන්‍ය දෙයක් නෙමෙයිනේ.

රජය විසින් හෝ පෞද්ගලික සමාගමක් විසින් ඩොලර් වලින් විදේශ ණය ගත් විටත් වෙන්නේ ඔය වගේම දෙයක්. මොකද මේ ණයට ගන්න ඩොලර් රට ඇතුළට එද්දී රටේ භාණ්ඩ හා සේවා කිසිවක් රටින් පිටට යන්නේ නැහැ. ඒ අතින් බැලුවහම විදේශ ණයත් ශ්‍රමික ප්‍රේෂණ වගෙයි.

දැන් මේ ඩොලර් රුපියල් වලට මාරු කරද්දී ඩොලර් ඉල්ලුම අඩු වෙලා ඩොලරයේ මිල පහළ යනවා. එතකොට ආනයන ඉහළ ගිහින් ආනයන අපනයන පරතරයත් වැඩි වෙනවා.

ඩොලර් ඉල්ලුම = ආනයන වියදම
ඩොලර් සැපයුම = අපනයන ආදායම + විදේශ ණය
ඩොලර් ඉල්ලුම = ඩොලර් සැපයුම
ආනයන වියදම = අපනයන ආදායම + විදේශ ණය
ආනයන වියදම - අපනයන ආදායම = විදේශ ණය
වෙළඳ හිඟය = විදේශ ණය

දැන් මේ විදිහේ සමතුලිතතාවයකින් ඩොලරයේ අගය පහළට වැටුනහම ඩොලරය ඒ මට්ටමේ තියා ගන්න ඊළඟ අවුරුද්දෙත් ඒ තරමේම ණයක් ගන්න වෙනවා. එසේ නැත්නම් ඩොලරයේ අගය ඉහළ යනවා.

උදාහරණයක් විදිහට අවුරුදු හතර පහක් එක දිගට අවුරුද්දකට ඩොලර් බිලියන දෙක ගානේ විදේශ ණය ගත්තා කියා හිතමු. එහි ප්‍රතිඵලය වන්නේත් කලින් අවස්ථාවේදී වගේම රටේ ආනයන වියදම අපනයන ආදායමට වඩා ඩොලර් බිලියන දෙකක් වැඩි වන විදිහට රටේ ආර්ථිකය සකස් වීමයි. ඒ නිසා, ගත් ණය හා පොලිය එක ඩොලරයක්වත් ආපසු නොගෙවුවත්, ඩොලරයේ අගය තියෙන මට්ටමේම තියාගන්නනම් හැම අවුරුද්දකම ඩොලර් බිලියන දෙක ගානේ අළුතින් විදේශ ණය ගන්න වෙනවා. එසේ නොකළොත් ඩොලරයේ අගය එක වරම සෑහෙන තරමකින් ඉහළ යන්න ඉඩ අරින්න වෙනවා.

හරි ඔහොම කාලයක් දිගින් දිගටම විදේශ ණය අරගනිමින් ඩොලරය පහළින් තියා ගත්තා කියමු. නමුත්, ශ්‍රමික ප්‍රේෂණ වගේ නෙමෙයි විදේශ ණය ආපසු ගෙවන්න ඕනෑ. ඔන්න ඔතනයි ලොකුම අවුල තියෙන්නේ. නරකම තත්ත්වයක් යටතේ ශ්‍රමික ප්‍රේෂණ ඕනෑනම් නැවතෙයි. නමුත් ලැබුණු මුදල් ආපසු යන්නේ නැහැ. ඒත් ණය ඒ වගේ නෙමෙයි. ගත් ණය ආපසු යන්නේ පොලියත් එක්කයි. මේ ණය හා පොලිය ආපසු ගෙවන්න වෙන කොට රටේ ඩොලර් ඉල්ලුම විශාල ලෙස ඉහළ යනවා.

ඩොලර් ඉල්ලුම = ආනයන වියදම + ණය ආපසු ගෙවීම් + ණය පොලිය
ඩොලර් සැපයුම = අපනයන ආදායම + විදේශ ණය
ඩොලර් ඉල්ලුම = ඩොලර් සැපයුම
ආනයන වියදම + ණය ආපසු ගෙවීම් + ණය පොලිය = අපනයන ආදායම + විදේශ ණය
ආනයන වියදම - අපනයන ආදායම = විදේශ ණය - ණය ආපසු ගෙවීම් - ණය පොලිය
වෙළඳ හිඟය = විදේශ ණය - ණය ආපසු ගෙවීම් - ණය පොලිය

කලින් අවුරුද්දකට ඩොලර් බිලියන දෙක ගානේ විදේශ ණය ගනිමින් හිටියා කියා කියමුකෝ. ඩොලර් එක තියෙන මට්ටමේ තියා ගන්නනම් මේ අවුරුද්දෙත් ඩොලර් බිලියන දෙකක ණය ගන්න වෙනවා. ඊට අමතරව කලින් ගත් ණය හා පොලිය ගෙවන්න තවත් ඩොලර් බිලියන තුනක මුදලක් අවශ්‍යනම් අලුතෙන් ඩොලර් බිලියන පහක ණය ගන්න වෙනවා.

ණය වැඩි වන විට ඉදිරි වසර වලදී ණය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ අලුතෙන් ගන්න ණය ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරන්න වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ණය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වනවා පමණක් නොවෙයි ඒ වැඩි වන වේගයත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා.

ප්‍රමාණවත් තරම් ණය නොගත්තොත් ඩොලරයේ අගය ඉහළ යනවා. ඩොලරයේ අගය ඉහළ යන්න දෙන තරමට අලුතෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය පහළ යනවා. නමුත්, ඩොලරයේ අගය ඉහළ යාම නිසා රුපියල් වලින් බැලූ විට ණය ප්‍රමාණය වැඩියෙන් පේන්න පුළුවන්.

පොදු වශයෙන් රටේ විදේශ ණය සැලකූ විට මේ ණය ගෙවිය යුත්තේ ඩොලර් වලින් නිසා ඩොලර් වලින් ණය ප්‍රමාණය අඩුවෙනවනම් රුපියල් වලින් වැඩි වීමේ ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත්, මේ විදේශ ණය රජයේ විදේශ ණය වූ විට එහි ප්‍රශ්නයක් නැත්තෙමත් නැහැ. ඒ රජය ආදායම් හොයන්නේ රුපියල් වලින් මිස ඩොලර් වලින් නොවන නිසයි.

රුපියල් වලින් විදේශ ණය ගත්තහම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නැද්ද? රුපියල් ණය ගන්න විදේශිකයෝ රුපියල් ණය දෙන්නේ ඩොලර් මාරු කරලා. ඒ නිසා, විදේශිකයින් රුපියල් ණය ගනිද්දීත් රටට ඩොලර් එනවා. ඒ වගේම, ණය හා පොලිය ආපසු ලැබෙන්නේ රුපියල් වලින් වුවත් ඔවුන්ට රුපියල් වලින් වැඩක් නැති නිසා රටින් පිටට ගෙනියන්නේ ඩොලර්. ඒ නිසා, විදේශිකයින්ගෙන් රුපියල් ණය ගත්තත් මේ කතන්දරේ මේ විදිහටම වාගේ සිද්ධ වෙනවා.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ මුල් අවුරුදු වලදී තේරීම වුනේ විදේශ ණය වෙනුවට දේශීය ණය ගැනීමයි. එහෙත්, පසුව ඔවුන්ගේ තේරීම වුණේ විදේශ ණය ගැනීමයි. ආණ්ඩු මාරුවෙන් පසුව රජයේ ආදායම් වියදම් පරතරය යම් තරමකින් සීමා කරගෙන තිබුණත්, රාජ්‍ය ණය සහ විදේශ විණිමය ප්‍රතිපත්තිය හා අදාළව දැන් සිදුවෙමින් තියෙන්නෙත් අවුරුදු දහයකට කලින් වූ දෙයමයි.

ඔය ක්‍රමයට යාමේ අවසාන ප්‍රතිඵලය ගැන කියන්න ඕනෑනම් එය වෙන දවසකට තියන්නම්. ඒ වගේම, ණය ගනිමින්ම මේ අවදානම අඩු කර ගත හැක්කේ කොහොමද කියන එකත් පසුව කියන්නම්.

(Image: http://www.dailymirror.lk/article/Rupee-depreciation-Implications-to-economy-136063.html)

9 comments:

  1. බොහොම ඉස්තුති ඉකො! අපගේ එල්ලීම නිසා කාලය වියදම් දරාගෙන මෙය ලිපිය ලීවාට. ඉතාමත් පැහැදිලිව ලියල තියනවා නැවත වතාවක් ඉස්තුති!

    ReplyDelete
  2. Dear Sir,

    Can i have your e-mail ID

    ReplyDelete
  3. මේකේ ඉතුරු ටිකත් දාමු.. වෙළඳ හිඟය ධන වන රටවල් දුප්පත් රටවලට ණය දෙන්නේ තමන්ගේ මුදල් ඒකකය අනවශ්‍ය ලෙස ශක්තිමත් වෙන එක වලක්වන්නද?

    ReplyDelete
    Replies
    1. ඔය ගැනත් පසුව පෝස්ට් එකක් දමන්නම්.

      Delete
  4. Thanks a lot for your time and sense of sharing. Sharing the knowledge in a structured way. Really appreciated.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...