වෙබ් ලිපිනය:

Thursday, September 20, 2018

ඩොලරයේ මිල ප්‍රශ්නයක්ද?


පසුගිය සතියේ ඇමරිකන් ඩොලරයේ මිල රුපියල් කිහිපයකින් ඉහළ ගියා. මේ විදිහට ඩොලරයේ මිල පොඩ්ඩක් ඉහළ යන හැම වෙලාවකම ලංකාවේ සෑහෙන පිරිසක් කලබල වෙනවා. සමහර අය මෙය දකින්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන්න යාමේ පෙර මග ලකුණක් විදිහටයි.

මේ ගැන මහ බැංකුව පැත්තෙනුත් පැහැදිලි කිරීම් කෙරිලා තියෙනවා. මහ බැංකුව කියන විදිහට සිදුවෙමින් පවතින්නේ රුපියල අවප්‍රමාණය වීම නෙමෙයි, ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීමයි.

කොහොමත් ඉතින් රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙනවා කියන්නේ රුපියලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය ශක්තිමත් වෙනවා කියන එකනේ. එහෙමනම් මහ බැංකුව කියන කතාවේ තේරුම කුමක්ද?

මහ බැංකුව කියන්නේ ලංකාවේ රුපියලට පමණක් නෙමෙයි තවත් ව්‍යවහාර මුදල් ගණනාවකට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වී තිබෙන බවයි. වෙනත් විදිහකින් කිවුවොත් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙන්නේ අපේ රුපියල විතරක් නෙමෙයි කියන එකයි.

තාක්ෂණික වශයෙන් ගත්තොත් මහ බැංකුව කියන කතාව ඇත්ත. නමුත්, මේ ප්‍රකාශය රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව තිබෙන බය නැති කරන ප්‍රකාශයක් නෙමෙයි. මෙයින් ගොඩක් අය තේරුම් ගන්නේ "ඔව් අපේ රුපියලේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නෙම තවත් ගොඩක් අයටත් තියෙනවා කියන එකයි." තවත් ගොඩක් අයට හෙම්බිරිස්සාව තිබුණා කියා තමන්ගේ හෙම්බිරිස්සාව සුළු කොට සලකන්න ගොඩක් අය කැමති වෙන එකක් නැහැ.

රුපියල අවප්‍රමාණය වෙන එක ඔය තරම්ම ප්‍රශ්නයක් වෙන්නේ ඇයි? ඒක ප්‍රශ්නයක් වෙන්නේ කාටද?

ආසන්න වශයෙන් ලංකාවේ පවුල් පහකට එකක විදේශ ශ්‍රමිකයෙක් ඉන්නවා. මේ අය අවුරුද්දක් තුළ ලංකාවේ තමන්ගේ පවුල් වලට එවන මුදල් ප්‍රමාණය ලංකාවේ මුළු අපනයන ආදායමෙන් තුනෙන් දෙකකට පමණ සමාන මුදලක්. ඩොලර් එකේ මිල රුපියලකින් වැඩි වෙනවා කියන්නේ මේ ශ්‍රමිකයින් මහන්සි වෙලා උපයන මුදල් ඉතිරි කරලා ගෙවල් වලට එවන සෑම ඩොලර් එකක් වෙනුවෙන්ම ඔවුන්ගේ පවුල් වල අයට රුපියලක් වැඩියෙන් ලැබෙනවා කියන එකයි. ඒ කියන්නේ මේ පවුල් වල අයගේ මිල දී ගැනීමේ හැකියාවත් ඉහළ යනවා කියන එකයි.

හැබැයි ඉතින් ඔය කලින් කී පවුල් ගොඩක් ලංකාවේ සම්ප්‍රදායික මධ්‍යම පාංතික පවුල් නෙමෙයි. ආදායම් මට්ටම අනුව බැලුවොත් මේ අයත් ඔය සාමාන්‍යයෙන් පහළ මධ්‍යම පාංතිකයින් කියා හඳුන්වන අයත් අතර ලොකු වෙනසක් දැන් නැතුව ඇති. නමුත්, සමාජ ධුරාවලිය ඇතුළේ මේ කණ්ඩායම ඉන්නේ පහළින්. ඒ වගේම මේ ශ්‍රමිකයින් අතරින් විශාල පිරිසක් කාන්තාවන්.

ඇඟලුම් ක්ෂේත්‍රයේ පහළ මට්ටමේ රැකියා වල නිරතව ඉන්නෙත් ඔය විදේශ ශ්‍රමිකයින් බිහිවන සමාජ කණ්ඩායමේම කොටස්. ඒ වගේම, ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තාවන් සිටින්නේ 35%ක් පමණක් වුවත් ඇඟලුම් ක්ෂේත්‍රයේ සිටින ශ්‍රමිකයින්ගෙන් 80%ක් පමණම කාන්තාවන්.

ඩොලරයේ අගය ඉහළ යනවා කියන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ලාබ වැඩි වෙනවා කියන එකයි. ලාබ වැඩි වෙද්දී නිෂ්පාදනය ඉහළ යනවා. ශ්‍රමයට තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා, ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභත් වැඩි වෙනවා.

තේ කර්මාන්තය කියන්නෙත් මේ වගේම කාන්තා ශ්‍රමය බහුලව යොදා ගැනෙන තවත් කර්මාන්තයක්. තේ කර්මාන්තයේ නියැලෙන අය ඉන්නේ සමාජ ධුරාවලියේ තවත් පහළින්. ඩොලරය ඉහළ යද්දී ඒ අයටත් වාසියි.

මේ වන විට ලංකාවේ සෑහෙන පිරිසක් සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයේ රැකියා වල නිරතව ඉන්නවා. ඩොලරය ඉහළ යනවා කියන්නේ සංචාරක මග පෙන්වන්නට, හෝටල් සේවකයින්ට වගේ අයට ටිප් එකක් විදිහට ලැබෙන ඩොලර් එකකට වුවත් වැඩි මුදලක් ලැබෙනවා කියන එකයි. සංචාරක හෝටල් විසින් අය කරන ගාස්තුව ඩොලර් වලින් ඒ මට්ටමේම තියා ගත්තොත් වැඩි රුපියල් ප්‍රමාණයක් ඔවුන්ට ලැබී ලාබ ඉහළ යනවා. රුපියල් වලින් ඒ මට්ටමේම තියාගත්තොත් ඉල්ලුම වැඩි වන නිසා ඒත් ලාබ වැඩි වෙනවා.

රුපියල් අවප්‍රමාණය වන කොට ලංකාවේ ගොඩක් අයට වාසි තිබුණත්, එසේ වාසි ලබන වැඩි දෙනෙක් ලංකාවේ දේශපාලන බලය නැති, හඬක් නැති අයයි. නමුත්, ඩොලර් එකකට වැඩිපුර රුපියල් ගෙවන්න වීම ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ දේශපාලන බලය තිබෙන මධ්‍යම පාංතිකයින්ට. සමාජ ජාලා වල සක්‍රියව ඉන්නෙත්, මගේ මිතුරන් අතර ඉන්නේත්, මේ බ්ලොග් එක කියවන්නේත් ඒ කණ්ඩායමේ සිටින අයයි. ලංකාවේ "පොදු ජනතා හඬ" ලෙස හැම විටම වාගේ ඉස්මතු වෙන්නේ මේ කණ්ඩායමේ හඬයි.

ඔය මධ්‍යම පාංතික සමාජ ස්ථරයේ ඉන්න හැමෝම නොවුනත් ගොඩක් අය සෘජුව "නිෂ්පාදනයකට" දායක නොවන එක්කෝ රජයේ රැකියාවක නිරත, එසේ නැත්නම් සේවා අංශයේ රැකියාවක නිරත අයයි. සේවා අංශයේ රැකියා කරන අයත් කරන්නේ නිෂ්පාදනයක් තමයි. මම ඔවුන්ව කිසිසේත්ම අවතක්සේරු කරන්නේ නැහැ. නමුත්, මේ කරුණේදී ඔවුන් හිතන ආකාරයේ වෙනසක් තිබෙනවා.

හැකි තරම් අඩු මිලට ලෝකයේ කොහෙන් හෝ තමන්ට අවශ්‍ය හොඳම බඩු මිල දී ගැනීමේ "උණ" තියෙන්නේ ඔය අන්තිමට කී සමාජ ස්ථරයටයි. ඒ නිසා ඩොලරය ඉහළ යාම ඔවුන්ට ලොකු ප්‍රශ්නයක්. ඔය පවුල් වලත් කවුරු හෝ සාමාජිකයෙක් බොහෝ විට විදේශගතව සිටිනවා. නමුත් ඒ වැඩි වශයෙන්ම බටහිර රටවල. ඒ අයත් ලංකාවට මුදල් එවනවා තමයි. නමුත්, මේ කියන පවුල් ජීවත් වෙන්නේ ඒ විදිහට ලැබෙන මුදල් වලින් නෙමෙයි.

මේ පවුල් වල අය උපයන ආදායම් හා කරන වියදම් සැලකුවාම ඉඳහිට පිටරටක ඉන්න ඥාතියෙක් එවන මුදලක් කියන්නේ සොච්චමක්. ඩොලරය ඉහළ යද්දී ආනයනික බඩු වල මිල ඉහළ යාම නිසා සිදුවන පාඩුව ඔය විදිහට ලැබෙන ඩොලර් වලට ලැබෙන රුපියල් ගණන වැඩි වීම නිසා ලැබෙන වාසියට වඩා ගොඩක් වැඩියි. ඔය විදිහට බටහිර රටවල ඉන්න යාලු මිත්‍රයෝ ගොඩක් වෙලාවට ලංකාව එවන්නේ ඩොලර් නෙමෙයි, ජීවන විලාසිතා. ඒ ජීවන විලාසිතා වෙනුවෙන් ලංකාවේ අයට සෑහෙන වියදමක් යනවා. ඩොලර් එක ඉහළ යන්න යන්න වියදම වැඩියි.

සමාජ ජාලා වගේම ප්‍රධාන මාධ්‍ය වලත් රුපියල අවප්‍රමාණය වීම වැළැක්විය හැකි ආකාරය ගැන යෝජනා වැහි වැහැලා. වැහි වැහැලා කියා කිවුවත් වෙනස් වචන වලින් බොහෝ විට ඉදිරිපත් කරන්නේ එකම යෝජනාව. ලංකාවේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනෑ!

යෝජනාව නරක නැහැ. නමුත්, ඕක කරන්නේ කොහොමද කියල කවුරු හරි මට කියා දෙනවද?

ඔය නිෂ්පාදනය වැඩි කළ යුතු බව කියන අය අතර ආර්ථික විද්‍යාව උගත් අයත් ඉන්නවා. සමහර මහාචාර්යවරු පවා ඉන්නවා.

නිෂ්පාදනය වැඩි වුනොත් ආනයන අපනයන පරතරය අඩු වෙලා රුපියල මත තියෙන පීඩනය අඩුවෙනවා කියන එක කියන්න දෙයක් නැහැ. නමුත්, එහෙම වෙන පාටක් පේන්නවත් තියෙනවද? කිසිම දෙයක් වෙනස් නොවුනොත් අද නොවෙන දේ හෙට වෙන්නේ කොහොමද?

මුලින්ම හිතල බලන්න ඕනෑ ඔය කියන විදිහට ලංකාවේ නිෂ්පාදනය වැඩි නොවෙන්නේ ඇයි කියන එකයි. මොනවා හෝ නිෂ්පාදනය කරලා ලාබ ගන්න පුලුවන්නම් ගොඩක් අය ඒ වැඩේ කරයි. එහෙම නොකරන්නේ ගොඩක් දේවල් ලංකාවේ හදනවට වඩා ලාබෙට පිටරටකින් ගේන්න පුළුවන් නිසයි. ඔය ඩොලර් එක ඉහළ යාම ගැන කණගාටු වන කිසි කෙනෙක් චීන බඩුවක් රුපියල් සීයකට ගන්න තියෙද්දී ඒ වගේම ලංකාවේ බඩුවක් රුපියල් දෙසීයක් දීලා ගන්නවද?

සමහර අය ආනයන පාලනය ගැන පවා කතා කරල තියෙනවා දැක්කා. එහෙම දෙයක් විසඳුමක් නොවනවා පමණක් නෙමෙයි එසේ කළොත් එයට මුලින්ම විරෝධය දක්වන්නේ ඔය දැන් ඩොලර් එක වැඩිවීම ගැන ප්‍රශ්න කරන සමාජ ස්ථරයම තමයි. හැබැයි මහ බැංකුව හදන්නෙත් රුපියල අවප්‍රමාණය වෙන එක පාලනය කර ගැනීම සඳහා ආනයන වලට බාධා පමුණුවන්නයි. ඔය දැනටම වාහන ආනයනයට උදැල්ලක් දාල තියෙන්නේ.

රටේ විශාල ආනයන අපනයන පරතරයක් තිබෙනවා. මෙය මේ ආණ්ඩුව ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. පහුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී ඇති කරපු ප්‍රශ්නයක්. කවුරු කොයි විදිහට කිවුවත් ලංකාවේ ණය අර්බුදය පහුගිය ආණ්ඩුව විසින් ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත්, ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇති කළේ පහුගිය ආණ්ඩුවයි. මෙය විස්තරාත්මකව, කරුණු සහිතව පෙන්වා දිය හැකි දෙයක්.

ලංකාවේ රාජ්‍ය ණය ප්‍රශ්නය වගේම ගෙවුම් ශේෂ ප්‍රශ්නයත් නිදහස ලබපු අලුත සිට දිගටම තිබුණු හා ක්‍රමයෙන් උග්‍ර වූ ප්‍රශ්න. ජයවර්ධන ආණ්ඩුව රාජ්‍ය ණය ප්‍රශ්නය අලුත් තලයකට ගෙනිච්චා. රාජපක්ෂ ආණ්ඩුව ගෙවුම් ශේෂ ප්‍රශ්නය අලුත් තලයකට ගෙනිච්චා. මේ ප්‍රශ්න දෙකෙන් එකක්වත් කිසිම ආණ්ඩුවක් යටතේ විසඳුනේ නැහැ. ඇතැම් ආණ්ඩු මේ ප්‍රශ්න වඩා උග්‍ර නොකළා පමණයි.

ලංකාවේ මේ වන විට විශාල ආනයන අපනයන පරතරයක් තිබෙනවා. එය නැති කරන්නනම් දේශීය නිෂ්පාදනය ඉහළ යා යුතු තමයි. නමුත්, එය ස්වභාවිකවම සිදු විය යුතුයි. කාටවත් එය බලෙන් කරන්න බැහැ. රට ගැන හිතනවා කියා සමාජ ජාලා වල කොච්චර කිවුවත්, කිසි කෙනෙක් පාඩුවට බඩු නිපදවන්නේ නැතුවා වගේම පාඩුවට බඩු මිල දී ගන්නෙත් නැහැ. එය සාමාන්‍ය මිනිස් ස්වභාවය.

රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ රටේ දේශීය නිෂ්පාදනය ස්වභාවික ලෙසම ඉහළ යවන යාන්ත්‍රනය. එක පැත්තකින් මේ යාන්ත්‍රනයට අකුල් හෙළන අතරම යාන්ත්‍රණයේ ප්‍රතිඵලයත් කෙසේ හෝ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්න බැහැ.

කාට හෝ බැක්ටීරියා නැත්නම් වෛරස් ආසාදනයක් හැදුනහම බොහෝ විට උණ ගන්නවා. මේ උණ කියන්නේ ආසාදනය නැති කරන යාන්ත්‍රනයේම කොටසක්. ශරීර උෂ්ණත්වය තරමක් වැඩියෙන් තිබුණහම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා. උණ වැඩි වුණාම වෙනත් අතුරු ප්‍රශ්න ඇති වන නිසා උණ පාලනය කරන්නත් වෙනවා. නමුත්, අංශකයක් විතර වැඩියෙන් ශරීර උෂ්ණත්වය පවත්වා ගන්න එක උණ සම්පූර්ණයෙන්ම නැති කරනවට වඩා හොඳයි.

48 comments:

  1. "රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ රටේ දේශීය නිෂ්පාදනය ස්වභාවික ලෙසම ඉහළ යවන යාන්ත්‍රනය. එක පැත්තකින් මේ යාන්ත්‍රනයට අකුල් හෙළන අතරම යාන්ත්‍රණයේ ප්‍රතිඵලයත් කෙසේ හෝ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්න බැහැ."

    ඇමෙරිකන් ඩොලර් එක රුපියල් 1000ක් විතර වෙන්න ඇරියනම් රටේ නිෂ්පාදනය මාර ලෙස ඉහල යයි නේද ? හිනා වෙයන් පුක හිනා වෙයන් !

    ReplyDelete
    Replies
    1. එතකොට මන් දානවා වීල්බරො කඩයක් සල්ලි මිටි එහාමහා ගෙනියන අයට එක පහසුවෙන්කරහන්න විල්බරෝ එකක් ගන්න එහෙම හොඳද

      Delete
    2. ඇමෙරිකන් ඩොලර් එක රුපියල් 1000ක් වුනත් දැන් වගේම, දැන් තරමටම පිටරට බඩුම මිලදී ගන්න තරමට විදේශප්‍රේමයක් තියෙන, සල්ලිත් තියෙන ටික දෙනෙක් ලංකාවේ ඇති. නමුත් රටේ ඉන්න බහුතරයක් ඒ වගේ චීනප්‍රේමියෝ, ඉන්දියන්ප්‍රේමියෝ නෙමෙයි. එහෙම විදේශප්‍රේමයක් තියෙන ගොඩක් අය වුනත් ඒ තරම් වියදම් කරන්න සල්ලි තියෙන අය නෙමෙයි. රුපියල ක්‍රමයෙන් පිරිහිලා ඇමෙරිකන් ඩොලර් එක රුපියල් 1000ක් වුනොත් ලංකාවේ ගොඩක් අය ආනයනික බඩු ගන්න එක සම්පූර්ණයෙන්ම වගේ නවතිනවා. එයට සමාන්තරව ඒ දේවල් ගොඩක් රට ඇතුළේ හැදෙනවා. නමුත් රුපියල ආරක්ෂා කරන්න ගිහින් හිර වෙලා ආසියානු අර්බුදය වෙලාවේ වගේ එක පාරට කඩා වැටිලා සතියක් දෙකක් ඇතුළත ඩොලර් එක රුපියල් දාහක් වුනොත්නම් ඒ විදිහට දේශීය නිෂ්පාදන හැදෙන්න කාලයක් නැහැ. ඒ ටික වෙන්න කලින් රුපියල පාලනයක් ඇතුව ක්‍රමයෙන් අවප්‍රමාණය වෙන්න අරින්න අවශ්‍ය ඒ නිසයි.

      Delete
    3. Anonymous September 20, 2018 at 4:59 PM

      “රුපියලට එදත් ශත සීයයි. අදත් ශත සීයයි. ඉතින් රුපියල දැන් බාල්දු වෙලා කියන්නේ කොහොමද?” මේ 1980 දශකයේ දී රුපියලේ අගය පිරිහීම පිළිබඳ විපක්ෂය නැගූ චෝදනාවන්ට එවකට පැවැති එජාප රජයේ ඇමතිවරයෙකු පිලිතුරු දුන් ආකාරයයි.

      රුපියලේ අගය පිරිහීම දේශීය සහ ජාත්‍යන්තර යනුවෙන් දෙයාකාරයෙන් සිදුවේ. රුපියලේ අගය දේශීය වශයෙන් පිරිහෙන්නේ රුපියලකට මිළ දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අඩුවීමෙනි. මීට දස වසරකට පෙර රුපියලකට ලොසිංජර දෙකක් මිළ දී ගත හැකි වුණත් අද මිළ දී ගත හැක්කේ එකක් නම් රුපියල පසුගිය දස වසර තුල 100% පිරිහී ඇත. ඒ අනුව රුපියලේ දේශීය අගය පිරිහීම හඳුනාගත හැක්කේ උද්ධමනයෙනි. සෑම වසරකම උද්ධමනයේ වේගයෙන් රුපියලේ දේශීය අගය පිරිහීම හඳුනාගත හැක.

      රුපියලේ විදේශීය අගය පිරිහීම පෙන්නුම් කරන්නේ විදේශීය විනිමය අනුපාතයෙනි. රුපියලක් සඳහා මීට පෙර ලැබුණු ඩොලර් සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් ලැබෙයි නම් එය රුපියලේ විදේශීය අගය පිරිහීමකි; අවප්‍රමාණය වීමකි; බාල්දු වීමකි. ඒ අනුව 2000 දී 90ක්ව පැවැති ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වර්තමානයේ දී 114ක් දක්වා ඉහළ යෑම රුපියල අවප්‍රමාණය වීමකි.

      එක්සත් ජනපදයේ ඇතිවුණු ආර්ථික අර්බූදය හේතුවෙන් එක්සත් ජනපදය වෙනත් රටවලින් මිළ දී ගන්නා භාණ්ඩ ප්‍රමාණය පහත වැටිණි. එවිට එම රටවල මුදල් සඳහා ඇති ඉල්ලුම පහත වැටී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව එම රටවල මුදල් වර්ග දැවැන්ත ලෙස අවප්‍රමාණය විය. කොරියාව, ජපානය, චීනය මෙන්ම බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි යුරෝපීය රටවල් ද ඒ අතර වේ. නමුත් ශ්‍රී ලංකාවේ රුපියල එවැනි දැවැන්ත අවප්‍රමාණයකට ලක් නොවීය‍. 2008 වසර ඇ‍රඹෙන විට රු 109ක් ව තිබූ ඩොලරය 2008 අවසන් වනවිට ඇද වැටුණේ රු 114 දක්වා පමණි.

      Delete
    4. සාපේක්ෂව රුපියල අවප්‍රමාණය නොවුණු හෙයින් රුපියල අවප්‍රමාණය කළ යුතු යැයි අපනයනකරුවෝ ද සමහර ආර්ථික විද්‍යාඥයෝ ද ප්‍රකාශ කරති. අපනයකරුවන් අපේක්ෂා කරන්නේ රුපියල අවප්‍රමාණය වීමෙන් ඔවුන්ගේ භාණ්ඩ සඳහා වෙළඳපොලේ ඩොලර් වලින් ලැබෙන ආදායම වෙනස් නොවී රුපියල් ආදායම ඉහළ යෑමකි. ආර්ථික විද්‍යාඥයින්ගේ අරමුණ වී ඇත්තේ 2008 වසර පුරා පිරිහිණු ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ දමා ගැනීමයි.

      රුපියල අවප්‍රමාණය වූ විට අපනයනකරුවන්ගේ ආදායම ඉහළ යයි. අපේ අපනයනකරුවන් තේ කිලෝවක් විකුණන්නේ ඩොලරයකට නම් 2008 වසර මුල ඔවුන්ට එයින් ලැබුණු ආදායම රු 109කි. නමුත් රුපියල 2008 වසර පුරා අවප්‍රමාණය වූ හෙයින් තේ කිලෝව ඩොලරයකටම විකුණමින් එම වසර අග දී රු 114 ආදායමක් ලැබේ. එවිට අපනයනකරුවන්ගේ ආදායම ඉහළ ගොස් ඔවුන් තව තවත් අපනයනයට පෙළඹෙතියි විශ්වාස කෙරේ. නැතහොත් තමන්ට රුපියල් වලින් ලැබෙන ආදායම ඉහළ ගොස් ඇති බැවින් විකුණන මිළ ඩොලරයට වඩා අඩු කර අනිත් රටවල තේ සමග වඩාත් තරගකාරීව අලෙවි කළ හැකි යැයි ද විශ්වාස කෙරේ.

      බොහෝ රටවල මුදල් වර්ග ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීමෙන් එම රටවල භාණ්ඩ ලෝක වෙළඳපොලේ ලාභදායී වී ඇත. එබැවින් එම භාණ්ඩ සමග තරග කරන ලංකාවේ භාණ්ඩයන්ට අවාසිදායක තත්වයක් උද්ගත වී ඇත. අපනයනකරුවන් රුපියල අවප්‍රමාණය කරන මෙන් ඉල්ලා සිටින්නනේ එබැවිනි. එසේ අවප්‍රමාණය කළවිට ආනයනිත භාණ්ඩයන්ගේ මිළ ඉහළ යයි. (නිදසුනක් ලෙස ඩොලරයක් වටිනා ආනයනිත භාණ්ඩයක් සඳහා 2008 වසර මුල ගෙව්වේ රු 109ක් නමුත් වසර පුරා රුපියල අවප්‍රමාණය වීමෙන් වසර අග දී එය රු 114 දක්වා ඉහළ ගොස් තිබිණි.) මෙසේ රුපියල අවප්‍රමාණය වූ විට ආනයන භාණ්ඩ මිළ ඉහළ යෑමෙන් ආනයන අධෛර්මත් වේ යැයි අපේක්ෂා කෙරේ.

      මෙසේ අපනයන ඉහළ ගොස් ආනයන පහළ යෑමෙන් අපනයන හා ආනයන අතර පරතරය හෙවත් වෙළඳ ශේෂය අපට වාසිදායක අතට හැරේ යැයි ද එවිට විදේශ සංචිත ඉහළ නගී යැයි ද ආර්ථික විද්‍යාඥයෝ පවසති.

      Delete
    5. රුපියල මෙසේ අවප්‍රමාණය කලොත් අපේක්ෂිත අරමුණ ඉටුවේ ද? එය තීරණය කළ හැක්කේ රුපියල දිගින් දිගටම අවප්‍රමාණ කළ සහ අවප්‍රමාණය වුණු පසුගිය 32 වසර දෙස හැරී බැලීමෙනි.

      1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය 1977 නොවැම්බර් 16 දින රුපියලට ස්ථාවර විනිමය අනුපාතයක් ලබාදෙනු වෙනුවට වෙළඳපොල ඉල්ලුම සහ සැපයුම අනුව එය තීරණය වීමට අවස්ථාව දී රුපියල පාකර හැරිණි. ඒ සමගම ඩොලරයක වටිනාකම රු 9 සිට රු16 දක්වා පිරිහිණි. එදා සිට අද දක්වා අඛණ්ඩව රුපියල අවප්‍රමාණය වී 2008 එය 114 වී තිබේ. ඒ අනුව රුපියල 13 ගුණයකින් පිරිහී ඇත. එසේ නම් ආර්ථික විද්‍යාඥයින්ගේ අනාවැකි සත්‍යයක් නම් අපේ වෙළඳ ශේෂය වාසිදායක වී තිබිය යුතුය.

      නමුත් 1984 දී අපනයන ආදායමෙන් -27% ක් වූ වෙළඳ ශේෂය 2007 දී -46% දක්වා පිරිහී ඇත.

      රුපියල අවප්‍රමාණය කළ 1977 - 2009 වසර 32 තුල අපනයන ආදායම වැඩි වී ඇති බව සැබෑය. නමුත් ඊට වැඩි වේගයකින් ආනයන වියදම වැඩි වී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ වෙළඳ ශේෂය තිබුණාටත් වඩා පිරිහීමයි. මෙයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආනයන භාණ්ඩ ඒවායේ මිළ ඉහළ යෑමට සංවේදි නොවීමයි. 2007 දී අපගේ ආනයන වලින් 58%ක් ඛණිජතෙල්, පොහොර, රසායනික ද්‍රව්‍ය සහ රෙදි වැනි අන්තර් භාණ්ඩයි. ඒ වගේම 24%ක් වාහන සහ යන්ත්‍ර සූත්‍ර වැනි ආයෝජන භාණ්ඩයි. පාරිභෝගික භාණ්ඩ ඇත්තේ 18% පමණි. එයින් ද විශාල ප්‍රමාණයක් තිරිගු පිටි සහ සීනි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩයි. එබැවින් ආනයන භාණ්ඩ මිළ කෙතරම් ඉහළ ගියත් එයට ඇති ඉල්ලුම අඩු නොවේ. රුපියල අවප්‍රමාණය වීමෙන් සිදු වී ඇත්තේ ආනයන වියදම ඉහළ යෑම පමණි.

      රුපියල අවප්‍රමාණය වීමෙන් පසුගිය යුගයේ සිදුවුණේ වෙළඳ හිඟය අඩුවීම නොව වැඩිවීම පමණි.

      නමුත් විදේශ රැකියාවන්හි නිරත ලාංකිකයින් ඉහළ යෑම, සෘජු සහ වක්‍ර විදේශ ආයෝජන ඉහළ යෑම සහ දැඩි ලෙස විදේශ ණය ලබා ගැනීම හේතුවෙන් වෙළඳ ශේෂයේ පිරිහීම සමස්ත ගෙවුම් ශේෂයට බල නොපාන ලදී. වර්තමානයේ මතු වී ඇති ලෝක ආර්ථික අර්බූදය හමුවේ එවැනි විදේශ විනිමය ලැබීම් මත තවදුරටත් අපේක්ෂා තැබිය නොහැක. විදේශ රැකියා වෙළඳපොල මේ වෙනවිට හැකිලෙමින් පවතියි. ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් සිය භාණ්ඩ සඳහා තිබූ ඉල්ලුම ඇද වැටීමෙන් ජපානයේ සහ කොරියාවේ රැකියාව වෙළඳපොල බිඳ වැටී ඇති අතර ඛණිජතෙල් මිළ පහළ යෑමෙන් මැද පෙරදිග රැකියා වෙළඳපොල ද සිඳී ගොස් ඇත. එමෙන්ම විදේශ ආයෝජන, ණය සහ ප්‍රදාන ද වියැකි යමින් පවතියි.

      ඉහත විග්‍රහයෙන් පෙනෙන්නේ රුපියල අවප්‍රමාණය කලොත් අපනයනකරුවන්ට යම් සහනයක් ලැබුණත් පොදුවේ ගෙවුම් ශේෂයට සහ එමගින් නිල විදේශ විනිමය සංචිතයන්ට අහිතකර බලපෑමක් ඇතිවන බවයි.

      එසේනම් පසුගිය වසරේ දැඩි ලෙස පහත වැටුණු විදේශ විනිමය සංචිත ඉහළ නංවා ගැනීමට කළ යුත්තේ රුපියල අවප්‍රමාණය කිරීම නොව රට තුලට වැඩි වශයෙන් විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමට උත්සුක වීමයි.

      විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඩොලර් සුරැකුම්පත්හි ආයෝජන කිරීමට ඇරයුම් කිරීම සහ අනේවාසික විදේශ විනිමය ගිණුම් ශේෂ මත 20%ක ප්‍රසාද පොලී ගෙවීම වැනි උපක්‍රම අතරේ රුපියලට ඇති ඉල්ලුම සහ සැපයුම අනුව එය ස්වාභාවිකව අවප්‍රමාණය වීම වැළැක්වීමට කිසිවෙක් මැදිහත් නොවිය යුතුය.

      Delete
    6. ගම්මන්පිලගේ ඔය ලිපියේ තිබෙන තාක්ෂණික කරුණු ගණනාවක් නිවැරදි වුවත් අන්තිමට ඉවර කරල තියෙන්නේ විහිළු කතාවකින්. රුපියලට ඇති ඉල්ලුම සහ සැපයුම අනුව එය ස්වාභාවිකව අවප්‍රමාණය වීම වැළැක්වීමට කිසිවෙක් මැදිහත් නොවිය යුතුලු. හැබැයි විදේශ සංචිත ඉහළ නංවා ගන්නත් අවශ්‍යලු. ඔය දෙකම එකවර කරන හැටි ඔහුගෙන්ම තමයි අහන්න ඕනෑ.

      Delete
  2. ඉකොනො ,
    ඔබ රුපියල අවප්‍රමාණ කිරීමේ තියෙන හොඳ පැත්ත ඉස්මතුකරා.
    අවුරුදු ගානක් තිස්සේ දිගින් දිගටම සිදුවුන Zimbabwe මුදල් අවප්‍රමාණ වීමෙන් එරටට සිදුවුන බලපෑම හොඳද? නරකද ?
    ඒ රටේ ඉන්න කෙනෙකුට මේ ගැන කොමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. Almost all the countries in this universe trying hard to curb the inflation by deriving new economic policies.

      However, the reverse happened in Zimbabwe since instead of spending cuts and new economic policies, the Zimbabwe government attempted to print more currency notes to pay off international debts, such as the $21 trillion bill they attempted to give the International Monetary Fund.

      Inflation rate in Zimbabwe in early 90's was 17 percent and the consequently it jumped to 48 percent, and then continued to climb over the next 17 years. The government tried a vast number of different methods to control inflation, such as instituting price caps, outlawing the use of foreign currency, and printing new denominations. By the mid-2000s, inflation had increased to a rate so high that banknotes of Z$100,000,000 and higher were required for simple daily transactions.

      Zimbabwe devalued its currency three times in an attempt to control inflation and in 2006, it divided denominations by 1,000, striking three zeros from the currency. In 2008, it removed 10 zeros, and in 2009, it struck another 12 zeros from printed denominations. These three acts had the collective effect of making one new Zimbabwe dollar worth 10 trillion trillion old Zimbabwe dollars. Finally, the government gave up and stopped printing money altogether, allowing the economy to use a pastiche of foreign currencies. Now all the Zimbabweans are trillionnairs. Sri Lanka also seems to follow their path at a slower pace.

      Delete
    2. //අවුරුදු ගානක් තිස්සේ දිගින් දිගටම සිදුවුන Zimbabwe මුදල් අවප්‍රමාණ වීමෙන් එරටට සිදුවුන බලපෑම හොඳද? නරකද ?//
      දිගින් දිගටම සිදුවුන සිම්බාබ්වේ මුදල් අවප්‍රමාණය වීම ප්‍රතිඵලයක් මිසක් හේතුවක් නෙමෙයි. ඔබ කියන නරක වලට මූලිකව හේතු වුනේ සිම්බාබ්වේ උද්ධමනයට හේතු වූ දෙය වන දිගින් දිගටම පැවති විශාල අයවැය හිඟය හා මුදල් සැපයුම වැඩි කරමින් (සල්ලි අච්චු ගසමින්) දිගින් දිගටම එම අයවැය හිඟය පියවීමයි. (අයවැය හිඟයට හේතු වුන දේවල් අපි දැනට පැත්තකින් තියමු.) සිම්බාබ්වේ ඩොලරය අවප්‍රමාණය වීමට හේතුවන තත්ත්වයන් ඇති වුනාට පස්සේ මුදල අවප්‍රමාණය වන එක වලක්වගන්න ගත් උත්සාහයන්ගෙන් වැඩක් වුනේ නැහැ. ලංකාවේ රුපියලත් අවප්‍රමාණය වෙන්න අවශ්‍ය තත්ත්වයන් කලක සිටම හැදිලයි තියෙන්නේ. එසේ වීමෙන් පසුව එය වෙන්න ඉඩ නොදීමෙන් වෙන්නේ ප්‍රශ්නය වඩා දුරදිග ගිහින් සිම්බාබ්වේ වගේ ලොකුවටම අවප්‍රමාණය වෙන්න අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය වෙන එකයි. දැන් රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ හැරිය යුත්තේ සිම්බාබ්වේ වගේ තත්ත්වයක් ඇති වෙන එක වලක්වා ගන්නයි.

      Delete
  3. විනිමය අනුපාතිකය හරියටම මෙච්චරයි කියල ගාණටම කියන හැටි අපිට කියල දෙන්ඩකො. ගණන් සෑදීමක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. මෙය ඉල්ලුම හා සැපයුම මතයි තීරණය වන්නේ රමේෂ්. හාල් පොල් වගේ වෙනත් දෙයක මිල තීරණය වන විදිහටම තමයි. මහ බැංකුව විසින් කරන්නේ උදේ 9.30 වෙද්දී එක් එක් බැංකුව විසින් ඩොලර් මිල දී ගැනීමට හා විකිණීමට ඉදිරිපත්ව සිටින මිල ගණන් එකතු කරගෙන ඒවායේ සාමාන්‍ය අගය ප්‍රකාශයට පත් කරන එකයි. නමුත් එළියේ ගණන් මීට වඩා වෙනස් (බොහෝ විට වැඩි) වෙන්න පුළුවන්.

      Delete
  4. ඩොලරය බැද තබල මේක විසඳගන්නත් බෑ. පාවෙන නිසා අපිට අපි ඉන්න ඇත්ත තත්ත්වය ගැන තස්සේරුවකට එන්න පුලුවන්. ඔව් නිෂ්පාදනය වැඩිකරන්න කිව්වට මදි ඒ ඇත්ත. මෙතනදි අපි පැහැදිලිවම රජයේ වියදම් පහත හෙලන ක්‍රමවේදයකට යන්න ඕනැ. අංක 1 ඒක. ඊට පස්සෙ අපනයන නීති අයින් කරල නිදහස්ව තිබෙන්න ඉඩ හැරිය යුතුයි. ( උදා- කංස වලට පිරට ඇති ඉල්ලුම සහ තණමල්විල සුලභව වැවීම )එසේම ආරක්ෂණවාදි නීති අයින් කරන්න අවශ්‍යයි එවිට අර ඔබ කියන චීන/ලංකා භාණ්ඩ අතරේ ලාභ අලාභ අනුව බැල්න්ස් නිෂ්පාදනය පවතිනව පාඩු එක ඉවතට යනව. ඒ වගේම ලංකාවේ රජය බිස්නස් ලියාපදිංචියෙ ඉඳල දාල තියෙන දාහක් බාදා රෙගුලාසි අයින් කර ගත යුතු වෙනව.බොහොම ඉක්මනින් ආර්ථිකය වර්දනය වෙනව කියන එක පැහැදිලිය. ( ඕව එකක් වත් ලංකාවෙ රජයවත් අපේ මිනිස්සුවත් කරන්න කැමති නෑ )

    ReplyDelete
    Replies
    1. //පාවෙන නිසා අපිට අපි ඉන්න ඇත්ත තත්ත්වය ගැන තස්සේරුවකට එන්න පුලුවන්.//
      සාමාන්‍යයෙන් පාඨ ග්‍රන්ථයක තිබෙන කරුණු අනුව බැලුවොත් මෙය ඇත්ත වුවත් ලංකාවේ වත්මන් තත්ත්වය ගැන තක්සේරුවකට එන්න මේ සාමාන්‍ය ආකෘතිය වුවත් ප්‍රමාණවත් නැහැ. ඉල්ලුම සැපයුම සමතුලිත වෙන්නේ විශාල ලෙස විදේශ ණය අරගෙන ඩොලර් වෙළඳපොළට දාල බවත් අමතක නොකල යුතු දෙයක්.

      Delete
  5. මට නම් ආර්ථික විද්‍යාව ගැන දැනුමක් නෑ...ඕනෑම පුද්ගලයෙකුට ඩොලර් මගින් ඉතිරි කිරීමට හැකියාව ලැබෙන ගිණුම් වර්ගයක් බැංකු වල ඇති කිරීම වගේ දෙයක් තාවකාලික විසඳුමක් ලෙස භාවිතා කරන්න බැරිද ද?

    ReplyDelete
    Replies
    1. එසේ කිරීමෙන් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. "ඕනෑම කෙනෙකුට" ඩොලර් ලැබෙන්නේ කොහොමද? ඩොලර් අනිවාර්යයෙන්ම පිටරටකින් ලැබෙන්න ඕනෑ. එසේ ලැබෙන්නේ දැන් ලැබෙන ඩොලර් ටිකම තමයි.

      Delete
    2. හැබැයි ඔබ කියන දෙයින් වෙනත් වැදගත් ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. ලංකාවේ ගොඩක් අය ඩොලර් වලින් ඉතිරි කරන්න පෙළඹුනොත් දැන් වගේ නැතුව ඩොලර් එක අවප්‍රමාණය කිරීම වෙනුවෙන් පෙනී සිටින කොටසකුත් රටේ හැදෙයි.

      Delete
  6. "ආසන්න වශයෙන් ලංකාවේ පවුල් පහකට එකක විදේශ ශ්‍රමිකයෙක් ඉන්නවා. මේ අය අවුරුද්දක් තුළ ලංකාවේ තමන්ගේ පවුල් වලට එවන මුදල් ප්‍රමාණය ලංකාවේ මුළු අපනයන ආදායමෙන් තුනෙන් දෙකකට පමණ සමාන මුදලක්. ඩොලර් එකේ මිල රුපියලකින් වැඩි වෙනවා කියන්නේ මේ ශ්‍රමිකයින් මහන්සි වෙලා උපයන මුදල් ඉතිරි කරලා ගෙවල් වලට එවන සෑම ඩොලර් එකක් වෙනුවෙන්ම ඔවුන්ගේ පවුල් වල අයට රුපියලක් වැඩියෙන් ලැබෙනවා කියන එකයි. ඒ කියන්නේ මේ පවුල් වල අයගේ මිල දී ගැනීමේ හැකියාවත් ඉහළ යනවා කියන එකයි."

    ඉකොනොමැට්ටා ජීවත් වන රටේ ආර්ථික විද්‍යාවට අනුව විදෙස් ශ්‍රමිකයන් එවන ඩොලර් වලට වැඩි රුපියල් ගාණක් ලැබී මිලදී ගැනීමේ හැකියාව වැඩි වන අතරම ආනයනය කෙරෙන සීනි පරිප්පු කඩල මුං ඇට කරවල ඈ පාරිභෝගික භාණ්ඩ සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන වලට රුපියල් වලින් ගෙවන මිල වැඩි නොවී තිබීමේ මිල සූත්‍රයකුත් තිබෙනවාද?

    අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වලට ගෙවන්නට සිදු වන "වැඩි" මිල විසින් ඉහත කී සෘජු විදේශ ප්‍රේෂණ වල වැඩි කර දුන් අනුපාතය සම්පුර්ණයෙන් ගිල ගන්නේ නැති බව ඔබට සහතිකද? එනම් තේ දළු නෙළන ලඳුන්, සන්නාලිලියන් හා මැද පෙරදිග රැකියා වල යෙදී වැටුප ලක්දිව එවන කාන්තාවන් ගේ සත්‍ය මිලදී ගැනීමේ හැකියාව වැඩි වන බව කුහක කමින් තොරව ඔබට පිළිගත හැකිද?

    (මහබැංකුව හා) වාණිජ බැංකු විදෙස් මුදල් සඳහා විකුණුම් සහ ගැනුම් අනුපාත නියම කරන්නේ නිකං හිතුණ නිසාද ? ඩොලරයේ අගය වැඩි වන විට ඒ අනුපාත දෙක අතර පරතරයත් වැඩි වේ. ඔබ "රුපියල් අවප්‍රමාණය වන කොට" වාසි ලබන්නේ යැයි කියන "ලංකාවේ ගොඩක් අයට" වන පාඩුව දළ වශයෙන් අර පරතරයෙන් නිරූපණය කෙරෙන බව මා යෝජනා කළොත් ඔබට කියන්නට ඇත්තේ කවරක්ද ?

    ReplyDelete
    Replies
    1. 1.

      තනිකරම විදේශ රටක සිටින අයෙක් එවන ඩොලර් වලින් ජීවත්වන පවුලක් ගැන හිතන්න. දැනට ආදායම = වියදම කියා හිතමු.
      වියදම = රුපියල් 15,000 = රුපියල් 150* ඩොලර් 100.

      මෙයින් x %ක් ආනයනික භාණ්ඩ හා (1-x)%ක් දේශීය නිෂ්පාදන වෙනුවෙන් වැය කරනවා.

      ආනයනික භාණ්ඩ සඳහා වියදම = රුපියල් 15,000x
      දේශීය නිෂ්පාදන සඳහා වියදම = රුපියල් 15,000(1-x)

      ඩොලර් එක රුපියල් 165 වුනාම ආදායම රුපියල් 1500කින් වැඩි වෙනවා. නමුත් වියදම වැඩි වෙන්නේ රුපියල් 1500x ප්‍රමාණයකින් පමණයි.

      එවිට තවත් රුපියල් 1500(1-x) මුදලක් අතේ ඉතිරි වෙනවා.

      කලකට පෙර කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ඔය x අගය තිබුණේ 22% පමණ. දැන් ගණන මම හරියටම දන්නේ නැහැ. මේ ගණන ගත්තොත්, පාරිභෝගික මිල දර්ශකයේ වියදම් රටාව තිබෙන පවුලක ආදායමෙන් 22%කට වඩා එන්නේ ශ්‍රමික ප්‍රේෂණ වලින්නම් එම පවුල් වල මිල දී ගැනීමේ හැකියාව ඉහළ යනවා. ඩොලර් මිල වැඩි වන විට ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගොස් ඉල්ලුම අඩුවන නිසා එයට ප්‍රතිචාරයක් ලෙස වෙළෙන්දන් තමන්ගේ ලාභ වැඩි කර ගැනීම සඳහා ලාභ ආන්තික යම් තරමකින් අඩු කරගන්නවා. ඒ නිසා මිල ඒ අනුපාතයටම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඉතිරිය තවත් වැඩියි. ඒ වගේම තෙල් වගේ ආනයනික භාණ්ඩයක් ගත්තත් පාරිභෝගිකයින් ගෙවන මිලෙන් සෑහෙන කොටසක් දේශීය වියදම්. ඩොලර් එකේ බලපෑම තියෙන්නේ එහි බොරතෙල් කොටසට පමණයි. ඩොලර් එක වැඩි වන විට එහි පුරවා තිබෙන අතිරික්ත සේවකයින්ගේ වියදම් වැඩි වෙන්න හේතුවක් නැහැ.


      Delete
    2. 2.

      //(මහබැංකුව හා) වාණිජ බැංකු විදෙස් මුදල් සඳහා විකුණුම් සහ ගැනුම් අනුපාත නියම කරන්නේ නිකං හිතුණ නිසාද ? //
      මහ බැංකුව හා රාජ්‍ය බැංකු දෙකනම් නිකම් හිතුනට තීරණය කරන වෙලාවලුත් තියෙනවා. නමුත්, සාමාන්‍යයෙන් මෙය කරන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. ඔබ කියන පරතරයෙන් නිරූපණය වෙන්නේ පවතින මිල යටතේ ඉල්ලුම සැපයුමට වඩා ගොඩක් වැඩි බවයි. එය පුළුල් වෙන එකෙන් අදහස් වෙන්නේ ඉල්ලුම සැපයුම සමතුලිත විය යුතු මිල හා පවතින මිල අතර පරතරය එන්න එන්නම වැඩි වන බවයි.

      //ඔබ "රුපියල් අවප්‍රමාණය වන කොට" වාසි ලබන්නේ යැයි කියන "ලංකාවේ ගොඩක් අයට" වන පාඩුව දළ වශයෙන් අර පරතරයෙන් නිරූපණය කෙරෙන බව මා යෝජනා කළොත් ඔබට කියන්නට ඇත්තේ කවරක්ද ?//
      තනිකරම එහි අනිත් පැත්තයි. මේ පරතරය වැඩි වීමෙන් නිරූපණය වන්නේ ඩොලර් උපයන අයට වන අවාසිය හා ඩොලර් වියදම් කරන අය දැනට ලබන අනිසි වාසියයි.

      Delete
    3. ඊකොන් ඔබ ඊහල ප්‍රතිචාරයේ තාක්ශනික කරුනු වලට එකග නම් ඔබේ ලිපියේ පදනම වෑරදි බව පිලිගන්නවා. මෙතනදීත් ඔබේ තර්කය ගොඩනෑගෙන්නේ වෑරදි උපකල්පනයක් මතයි. එනම් (1-X)% අගයට රුපියලේ අවප්‍රමානය බලනොපාන බව සෑලකීම වරදියි. රුපියල අවප්‍රමානය වනවිට දේශීය නිශ්පාදන හා සේවා මිලත් ඉහල යන්නවා. (අමුද්‍රව්ය වියදම් හා නිශ්පාදකයා ගේ ජීවන වියදම් පියවා ගනීමට අවශ්ය නිසා).

      Delete
    4. කවර උපකල්පන යටතේ වුවත් ඩොලරය රුපියලකින් ඉහළ යන විට ආනයනික හා දේශීය නිෂ්පාදන සියල්ලේම මිල රුපියලකින් ඉහළ යන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙන්නේ ආනයනික භාණ්ඩ වල මිල රුපියකට කිට්ටු නමුත් රුපියලකට අඩු ප්‍රමාණයකිනුත් (දේශීය අගය එකතු කිරීම් වල තරමට), දේශීය භාණ්ඩ වල මිල යොදාගන්නා ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයේ අනුපාතයටත් ඉහළ යාමයි. එසේ නොවන තාක් ඩොලර් වලින් ආදායම් ලබන කෙනෙකුගේ සියලු වියදම් වලින් පසුව කවර හෝ අමතර මුදලක් ඉතිරි වෙනවා.

      ආනයනික භාණ්ඩ මිලේ දේශීය අගය එකතු කිරීම d1 ලෙසත් දේශීය භාණ්ඩ මිලේ දේශීය අගය එකතු කිරීම d2 ලෙසත් ගනිමු.

      ආනයනික භාණ්ඩ වියදම ඉහළ යාම = x(1-d1) = x - xd1
      දේශීය භාණ්ඩ වියදම ඉහළ යාම = (1-x)(1-d2) = (1-x) - (1-x)d2
      මුළු වියදම ඉහළ යාම = 1 - xd1 - (1-x)d2

      හැමවිටම d1, d2 >0 නිසා, මෙය කිසිම විටක 1 ට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ.

      Delete
    5. ඉකො, මේක මෙහමම වෙන්න ටිකක් අමරු වෙනවා මේ විදියට වෙනස්වෙන්න වෙනවා,

      වියදම = රුපියල් 15,000 = රුපියල් 150* ඩොලර් 100.

      මෙයින් x %ක් ආනයනික භාණ්ඩ හා (1-x)%ක් දේශීය නිෂ්පාදන වෙනුවෙන් වැය කරනවා.

      ආනයනික භාණ්ඩ සඳහා වියදම = රුපියල් 15,000x
      දේශීය නිෂ්පාදන සඳහා වියදම = රුපියල් 15,000(1-x)

      ඩොලර් එක රුපියල් 165 වුනාම ආදායම රුපියල් 1500කින් වැඩි වෙනවා. නමුත් දේශීය නිෂ්පාදන සදහා තෙල් වගේ දෙයක බලපෑම අනිවාර්යන්ම එනවා එතකොට 1500(1-x)+y (y යනු USD බලපෑම නිසා දේශීය නිෂ්පාදන වැඩිවන මිල. මොකද දේශීය නිෂ්පාදන මිල වැඩි කරේ නැත්නම් company profit අඩු කරගන්න වෙනවා)
      උදාහරණයකට අපි හිතමු Highland company එක USD වැඩි වීම සමග ට්‍රාන්ස්පොර්ට් cost එක වැඩි වෙනවා.

      මම හිතන්නේ මේක නෙමි වාසිය happycow cheese වගේ පිටරට cheese කාපු කට්ටිය Highland වලට move වෙනවා.

      Delete
    6. මම හිතන්නේ මම කියන දෙය ඔබට පැහැදිලි වී නැහැ. අපි හිතමු x = .333 කියලා. ඒ කියන්නේ පවුලේ ආදායමෙන් රුපියල් 5000ක් ආනයනික බඩු සඳහාත් 10,000ක් දේශීය බඩු සඳහාත් වැය කරනවා.

      මෙහි d1 කියන්නේ ආනයනික බඩු වල මිලේ දේශීය සාධක මත තීරණය වන කොටස. මෙහි d2 කියන්නේ දේශීය බඩු වල මිලේ දේශීය සාධක මත තීරණය වන කොටස. ඔබේ අවධානය යොමු කර තිබෙන්නේ ඒ කොටසට නිසා අපි ඒ ගැන බලමු. එතකොට දේශීය බඩු වල මිලේ විණිමය අනුපාතිකය මත තීරණය වන කොටස (ඔබ කියන ප්‍රවාහන වියදම් වැනි දේ) 1-d2 ලෙස ගන්න පුළුවන්. පහසුවට අපි d2 = 0.8 කියා කියමු. ඒ කියන්නේ තෙල් ආදී ආනයනික බඩු වල බලපෑම වෙනුවෙන් අපි 20%ක් වෙන් කරලයි තියෙන්නේ (1-d2 = 0.2). නැවත තව y එකක් එකතු කරන්න අවශ්‍ය නැහැ.

      ඉහත අවස්ථාවේ ඩොලරයක මිල 10%කින් වැඩි වන විට දේශීය භාණ්ඩ වල මිලේ ඩොලර් මිල මත තීරණය වන කොටස (රුපියල් 10,000*0.2 = 2000) 10%කින් (එනම් රුපියල් 200කින්) වැඩි වෙනවා. නමුත් ඉතිරි කොටස එසේ වැඩි වෙන්න හේතුවක් නැහැ. වක්‍ර ලෙස හෝ වැඩිවන සියලු දේ වල බලපෑම තමයි d2 වලින් නිරූපණය වෙන්නේ.

      මේ විදිහටම d1=0.8 කියලා ගත්තොත්, ඩොලරයක මිල 10%කින් වැඩි වන විට ආනයනික භාණ්ඩ වල මිලේ ඩොලර් මිල මත තීරණය වන කොටසත් (රුපියල් 5000*0.8 = 4000) 10%කින් (එනම් රුපියල් 400කින්) වැඩි වෙනවා.

      සමස්තයක් ලෙස බඩු මිල වැඩි වෙලා තියෙන්නේ රුපියල් 600කින්. නමුත් ආදායම ලැබෙන්නේ තනිකරම ඩොලර් වලින්නම් එය රුපියල් 1500කින් වැඩි වෙලා.

      ඊට අමතරව ඔබ කියනවා වගේ "happycow cheese වගේ පිටරට cheese කාපු කට්ටිය Highland වලට move වෙන" නිසා සහ වෙනත් හේතු නිසා ආනයනික භාණ්ඩ වෙනුවෙන් වැඩිපුර රුපියල් 400ක් යන්නෙත් නැහැ.

      Delete
    7. සමාවෙන්න, ආයෙත් ඔබ සමග එකග නොවෙන්න සිදු වෙනවා. ඔබ ප්‍රායොගික තත්වයන් නොසලකා පොතේ න්‍යායෙන් විසදුම් සෙවීම මීට හෙතුවයි. ඔබේ තර්කය වන්නේ ඩොලරය රුපියලකින් ඉහල ගියත් දේශීය නිශ්පාදනයක මිල ඉහල යන්නේ ඊට අඩුවෙන් බවයි. එය එසේ නොවන්නේ මන්දෑයි මට කලින් පිලිතුරු දුන් ඇනෝ පෙන්වා දී තිබෙනවා.ප්‍රායොගික තත්වයේදී ආනයනික භාන්ඩ සම්බන්දයෙනුත් මෙය විය හෑකියි.
      ඩොලරය රුපියලකින් වෑඩි වූ විට ආනයනික භාන්ඩයේ මිල ඊට අනුව වෑඩි වෙනවාට අමතරව ප්‍රවාහන වියදම්, ඈසුරුම් වියදම්, සේවා වියදම් ආදියද වෑඩි වීම නිසා මුලු වෑඩිවීම 1ට වඩා වෑඩි විය හෑකියි.

      Delete
    8. //ඩොලරය රුපියලකින් වෑඩි වූ විට ආනයනික භාන්ඩයේ මිල ඊට අනුව වෑඩි වෙනවාට අමතරව ප්‍රවාහන වියදම්, ඈසුරුම් වියදම්, සේවා වියදම් ආදියද වෑඩි වීම නිසා මුලු වෑඩිවීම 1ට වඩා වෑඩි විය හෑකියි.//
      බොහෝ දෙනෙක් මෙසේ සිතන බව මා නොදන්නා දෙයක් නොවේ. ඇතැම් විට මෙවැනි දෙයක් ඔබට "ඇහැට පේනවා" වන්නටද පුළුවන. නමුත්, එසේ ඔබ දකින මිල වැඩිවීම් ඩොලරය වැඩි වීම නිසාම සිදුවන වැඩි වීම් නොවේ. මෙහිම දිගුවක් ලෙස තිරිඟු පිටි වැඩි වූ විට පාන්, බනිස් ආදිය වඩා වැඩි අනුපාතයකින් වැඩි වන බවද, පෙට්‍රෝල් වැඩි වූ විට ප්‍රවාහන ගාස්තු වඩා වැඩි අනුපාතයකින් වැඩි වන බවද බොහෝ දෙනෙක් කියන දෙයකි. මතුපිටින් බැලූ විට මෙවැනි අවස්ථා පෙනෙන්නට තිබේ. එහෙත්, එසේ ඔබ දකින දෙය නිවැරදි නැත. රටේ පවතින උද්ධමනය නිසා සෑම භාණ්ඩයකම මිල වාර්ෂිකව ඉහළ යයි. එයට සමාන්තරව රටේ මිනිසුන්ගේ ආදායම්ද වැඩි වේ. නමුත් මේ වැඩි වීම් සියල්ල එක වර හා අඛණ්ඩව සිදු වෙන්නේ නැත. උදාහරණයක් ලෙස ත්‍රිරෝද ගාස්තු වැනි දෙයක් ගත්තොත් පිරිවැය දිනපතාම වාගේ යම් පමණකින් වැඩිවන නමුත් ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 90 සිට 100 දක්වා එකවර වැඩි වනු මිස 90.10, 90.20 ආදී ලෙස ටික ටික වැඩි වෙන්නේ නැත. අනෙත් එක් එක් භාණ්ඩය ගත්තද මිල වැඩි වන ක්‍රමය මෙයයි. ඩොලරය වැඩි නොවුනද රටේ පවතින සාමාන්‍ය උද්ධමනය නිසා වසරකට හෝ දෙකකට වරක් ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යනු ඇති බව ඔබ පිළිගන්නේයි සිතමි. තෙල් මිල වැඩි වූ විට මේ කොහොමටත් කළ යුතු වැඩි වීම ඒ වෙලාවේ කරන්නට ත්‍රිරෝද රථ හිමියෝ පෙළඹෙති. එවිට ඔවුන් අල්ලන්නේ වැඩි වූ ඩොලරයේ වියදම පමණක් නොවේ. කාලයක් තිස්සේ එකතු වූ අනෙක් වියදම් වැඩි වීමද එයට අයත්ය. මේ ආකාරයෙන්ම පිටි වැඩි වූ විට පාන්, බනිස් වැඩි වන්නේ පිටි වැඩි වූ නිසාම නොවේ. එහෙත් ඔබට පෙනෙන්නේ පිටි වියදම රුපියලකින් වැඩි වූ විට පාන් මිල රුපියලකට වඩා වැඩියෙන් වැඩි වූ බවයි. පිටි මිල වැඩිවීමේ බලපෑම වෙන් කර හොයා ගැනීම පුහුණුවක් නැති කෙනෙකුට මනසින් කළ හැකි දෙයක් නොවේ. තෙල් මිල වැඩි වුවත් ඉල්ලුම අඩු නොවන බවට ගොඩක් දෙනෙක් හිතන්නේද මේ හේතුව නිසාමය. තෙල් මිල එසේම තිබුණත් වාහන වැඩි වීම, මිනිසුන්ගේ ආදායම් වැඩි වීම, පාරවල් දියුණුවීම ආදී වෙනත් හේතු මත ඉන්ධන ඉල්ලුම වාර්ෂිකව ඉහළ යයි. මේ සාමාන්‍ය වැඩිවීම 10% ලෙස ගත්තොත් තෙල් මිල වැඩි වීම නිසා ඉල්ලුම 8%කින් අඩු වුවත් ඔබට පෙනෙන්නේ 2%කින් වැඩි වූ බවයි. තෙල් මිල අඩු නොවුනානම් මේ වැඩි වීම 10%ක් බව ඔබට පෙනෙන්නේ නැත. මේ ආකාරයෙන්ම ඔබට පෙනෙන්නේ ඩොලරය වැඩි වුවත් ආනයන අපනයන පරතරය වැඩි වන බවයි. ඩොලරය තිබෙන තැනම තිබුණානම් ආනයන අපනයන පරතරය මීටත් වඩා බොහෝ වැඩි වන බව ඔබට පෙනෙන්නේ නැත. මෙවැනි දේ ගණනය කර සොයා ගැනීම සඳහා පුහුණුවක් අවශ්‍යය.

      Delete
    9. ඒ වගේම, යම් හෙයකින් කිසියම් අවස්ථාවක කිසියම් බඩුවක මිල ඩොලරය වැඩි වූ අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් ඉහළ ගියත් රටේ හැම බඩුවක්ම හැම විටම ඩොලරයට වඩා වැඩි වේගයකින් වැඩි වන්නේ නැත. ඒ නිසා සමස්ත බලපෑම කෙසේවත් 1ට වඩා වැඩි වන්නේ නැත.

      Delete
    10. ඉකො,
      "මම හිතන්නේ මම කියන දෙය ඔබට පැහැදිලි වී නැහැ. අපි හිතමු x = .333 කියලා. ඒ කියන්නේ පවුලේ ආදායමෙන් රුපියල් 5000ක් ආනයනික බඩු සඳහාත් 10,000ක් දේශීය බඩු සඳහාත් වැය කරනවා."

      බොහොම ඉස්තුති ඔබගේ පැහැදිලි කිරීමට...

      මම හිතන්නේ ඔබගේ පැහැදිලි කිරීම මත මට දෙයක් පැහැදිලි උනා.ඔබට කාලය තිබනම් comment එකක් දමන්න.

      "ඩොලරය රුපියලකින් වෑඩි වූ විට ආනයනික භාන්ඩයේ මිල ඊට අනුව වෑඩි වෙනවාට අමතරව ප්‍රවාහන වියදම්, ඈසුරුම් වියදම්, සේවා වියදම් ආදියද වෑඩි වීම නිසා මුලු වෑඩිවීම 1ට වඩා වෑඩි විය හෑකියි."

      මම හිතන්නේ මේක වෙන්නේ මිල වැඩිවීම මත නෙමි. උදාහරණයක් ලෙස අපි හිතමු USD RS 1 වැඩි උනාම Highland Butter වගේ Item එකක් Demand එක වැඩි වෙනවා ඉල්ලුම ට තරමට සැපයුම දෙන්න බැරි උනාම Item එකේ Price එක company වලින් වැඩි කරනවා. එතකොට ඇත්තට USD RS 1 වැඩි වීම නිසා නෙවි Price එක වැඩි වෙන්නේ....

      Delete
    11. ඔබ Highland Butter ලෙස අදහස් කරන්නේ ආනයනික තරඟයට මුහුණ දෙන දේශීය නිෂ්පාදන විය යුතුයි. ඔබ හිතන ආකාරයෙහි කොටසක් නිවැරදියි. ආනයනික භාණ්ඩ වල මිල වැඩි වන විට දේශීය ආදේශක වලට ඉල්ලුම වැඩි වන නිසා ඒවායේ මිලත් ඉහළ යනවා. නමුත්, ආනයනික භාණ්ඩයක මිල 1%කින් වැඩි වන විට දේශීය ආදේශකයක මිල ඊට වඩා වැඩියෙන් වැඩි වුනොත් නැවතත් දේශීය ආදේශකයට තිබෙන ඉල්ලුම අඩුවෙලා ආනයනික භාණ්ඩයට ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා, දේශීය ආදේශකයේ මිල 1%ට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. මේ හේතුව නිසා ඩොලර් එකක් 1%කින් වැඩි වූ විට දේශීය ආදේශකයක මිල 1%කින් වැඩි වෙන්නේ නැහැ.

      Delete
  7. USD වැඩිවීම තුල මම දකින්නේ,
    1)ලංකාවේ fuel පාවිචිය අඩුවෙන්න නේ නැ. නමුත් fuel නාස්තිය අනිවාර්යන්ම අඩුවෙනවා.
    2)අනවශ්‍ය විසිතුරු බාන්ඩ වලට මිනිස්සු වියදම් කරන්න දෙපාරක් හිතනවා.
    3)මේක මම කලිනුත් comment එකක් දැම්ම (මම inventory & debtors system දාල තියනවා 1 fuel Station And 12 phone Shop)
    i) fuel price වැඩි උනාට පස්සේ 500L අඩුවක් තියනවා Daily usage.
    ii) USD වැඩිවීම සමග ඔක්ක්කොම කඩවල Phones sales අඩුවෙලා. ගොඩක් මිල වැඩි phones ගෙන්නන එකත් අඩුකරලා
    4)ගොඩක් කට්ටිය කියන දෙයක් තමා ලංකාවේ නිෂ්පාදන වලට වැඩි හරියක් අමුද්රුය පටරටින් ගෙන්න ඕන එටකොට ලංකාව නිෂ්පාදන මිල වැඩිවෙනවා කියන එක, මේක ලොකු අඩුපාඩුවක් තමා..
    i)නමුත් පටරටින් ගෙන්න අමුද්රුය මිල වැඩි උනාම දේශීය නිෂ්පාදකයාට අවස්ථාවක් ලබනවා.
    ii)ලංකාවේ ගොඩක් companies දේශීය ඒවා නෙවි.(මෙහම උනාම රැකියා අවස්ථා පමණි)
    iii) දැනට මේකන් වැඩි වාසි ලබන්නේ Indian companies.
    5)Gov එකට අනිවාර්යන්ම් සිදුවෙනවා වියදම් අඩු කරන්නන (මොකද 2020 චන්දයත් එනවා )
    6)පාඩු ලබන Gov. ආයතන, Gov. එකට හැමදාම ගොඩදාන්න බැ (එක්කෝ ලාබ ලබන්න ඕන නැත්තනම් විකුනන්න වෙනවා)
    7)පොඩි(1%) හොරකමක් කරත් කතාව යන්නේ කෝටි ගණන් හොරකම් කලා කියල. :D

    ReplyDelete
  8. මම කලින් නිෂ්පාදන කර්මාන්තයක් කරගෙන ගිය කෙනෙක්.ඒත් 2012 වගේ වෙනකොට මට එම නිෂ්පාදනය ලංකාවේ කරනවට වඩා අඩුමුදලකට,ඒ කියන්නේ අපි ලංකාවේදී එයට අවශ්ශ්‍යය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට වැය කරන මුදලින් 3/4 කට වගේ, අපි ලංකාවේ නිෂ්පාදනය කරනවට වඩා ඉහල ප්‍රමිතියකින් යුතුව එම භාණ්ඩය චීනයේ නිෂ්පාදනය කර ලංකාවට ගෙන ඒමට පුළුවන් තත්ත්වයකට අවා.මම මේ මිල සංසන්දනය කලේ ලංකාවට ගෙන්වීමට යන ප්‍රවාහන වියදම් බදු ආදී සියලු ගෙවීම් වලින් පසු මිල සමග.ප්‍රතිපලය උනේ එවැනි කර්මාන්ත වැසි යාම.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා මෙය ගොඩක් දේශීය නිෂ්පාදකයින්ට මුහුණ දෙන්න වී තිබෙන ප්‍රශ්නයක්.

      Delete
  9. ලංකාවේ තිබෙන නීති උනත් කර්මාන්ත හෝ ව්‍යාපාර දිරිමත් කරන්නේ නෑ.සරල උදාහරණයක් ගත්තොත් ලංකාව තුල ජංගම දුරකථන විකිණීම හා අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචියට අමතරව විදුලිසංදේශ නියාමන කොමිසන් සභාවෙනුත් බලපත්ත්‍රයක් ලබාගතයුතු වෙනවා.ප්‍රශ්නය වෙන්නේ විදුලිසංදේශ නියාමන කොමිසන් සභාවේ බලපත්ත්‍රය නොමැතිව දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය කල නොහැකියි.ඒ ඔවුන් ඒ සදහා විදුලිසංදේශ නියාමන කොමිසන් සභාවේ බලපත්ත්‍රයේ පිටපතක් ඉල්ලන නිසා.ඒ වගේම විදුලිසංදේශ නියාමන කොමිසන් සභාවේ බලපත්ත්‍රය ලබාගත නොහැකියි ඔවුන් එහිදී ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය ඉල්ලන නිසා.සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම තත්ත්වය තේරුම් ගෙන ලියාපදිංචිය කර දුන්නත් බොහෝ තැන්වල මෙය අපහසු වැඩක්.

    ReplyDelete
  10. ඉකොනො,

    ලංකාවේ රුපියල අව-ප්‍රමාණය (Depreciation) කිරීමෙන් පමණක් අපනයනය (Exports) ශක්තිමත් කිරීම කළ නො හැක.

    අපනයනය ශක්තිමත් කිරීම සඳහා අපනයනයට හිතකර පරිසරයක් රටතුළ නිර්මාණය කළ යුතුයි.

    ඒ සඳහා;

    01. විදුලිය ඇතුළු යටිතල පහසුකම් (infrastructure/ utilities & facilities) නිසි ප්‍රමිතියක් සහ අඩු මිල ගණන් යටතේ ලබා දීම

    02. ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය සරල කිරීම

    03. පුහුණු ශ්‍රම බලකායක් සිටීම (Highly skilled & efficient workforce)

    04. කාර්යක්ෂම ප්‍රවාහන සේවා පවත්වා ගෙන යාම

    04. දේශපාලන ස්ථාවරත්වය (Political stability)

    05. සරල බදු ක්‍රමවේදයක් (අනෙක් රටවලට සාපෙක්ෂව) ක්‍රියාත්මක කිරීම

    අත්‍යාවශ්‍ය වේ, ලංකාවට සාපේක්ෂව මුදල් ඒකක අවප්‍රමාණය නොවූ රටවල් ශක්තිමත්ව ඉදිරියට ගමන් කර ඇත්තේ ඉහත කී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර නිෂ්පාදන වියදම අඩු කිරීමෙන් අපනයනයට හිතකර පරිසරයක් රටතුළ නිර්මාණය කර ගැනීමෙන් නිසා තත්ත්වය තේරුම් ගෙන අවශ්‍ය පියවර ගත යුතුය.

    ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20 පමණ පාඩුවක් ලබමින් ලෝක වෙළඳපොලේ මිල පීඩනයට අනුව මේ වන විටත් තෙල් සංස්ථාව අලෙවි කරනු ලබයි.

    පසුගිය මහින්ද රාජපක්ෂ රජය රජයක් ලෙස බොහෝ තැන්වල භෞතික සම්පත් සංවර්ධනය කර දුන්නත් නාස්තිය හා දූෂණයේ නැඹුරුතාවක් දැක්වූ අතර සෑහෙන තරමින් දෛනික ජිවන අවශ්‍යතාව පිළිබඳව තැකීමක් නොකළ නිසා එහි ප්‍රතිඵලය වුයේ එම පාලනය නිමා කිරීමට පොදු මහා ජනතාව ඉදිරිපත් වීමයි. රාජපක්ෂ පාලනය බිඳ වැටීමේ ප්‍රධාන සාධකයක් ලෙස ඉන්ධන මිල ඉහල යාම නිසා ධීවර, ත්‍රීරෝද රථ, සාමාන්‍ය වෙළඳ ප්‍රජාව ඇතුළු බිම් මට්ටමේ ජන සංයුතිය තුළ එම ආණ්ඩුව කෙරෙහි ඇතිවූ විරෝධය හැඳින් විය හැකිය. වත්මන් රජයද මෙම යථාර්ථය වඩාත් හොදින් අවබෝධ කර ගෙන කර්මාන්ත කලාප බිහි කිරීම, ජි.එස්.පී බදු සහන යලි ලබා ගැනීමට කටයුතු කිරීම වැනි අපනයනය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් රජයේ අමාත්‍යංශ හා වෙනත් ආයතනවල සිදුවන වියදම් පාලනය කර නාස්තිය/දූෂණය අඩුකර ජනතාවගේ ජීවන වියදම අවම කිරීමට පියවර ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කිසිම දෙයක් නොවැදගත්යැයි මා කියන්නේ නැත. ඒ සියල්ල වැදගත්ය. නමුත් කාමරයේ අලියෙක් සිටියදී ඒ බව අමතක කර හාවුන් මුවන් පස්සේ පන්නන එකේ ලොකු ප්‍රයෝජනයක් නැත. හාවුන් මුවන් ගැන සිතිය යුත්තේ අලියාව කාමරයෙන් ඉවත් කිරීමෙන් පසුව හෝ අඩු වශයෙන් ඒ ගැන හිතන අතරය.

      Delete
  11. කොහොම කලත් රුපියල අවප්‍රමානය උනාම අපි වගේ මධ්‍යම පංතියේ අයගෙ ආතල් කුඩු වෙනවා..ඒත් ඉකනෝ අපට හිත හදාගන්න ෆැන්ටසියක් හදලා දෙනවා...රුපියල අවප්‍රමානය වෙලා ලංකාවේ දේශීය නිශ්පාදනය ඉහල ගිහිල්ලා ජාතික ආර්ථිකය හොද වෙයි කියන ෆැන්ටසියක් හදලා දෙනවා.. දෙශප්‍රේමය ඔලුවට ගහලා ඉන්න බයියන්ට නම් ඔය වගෙ ෆැන්ටසියක් තක්කෙටම ගැලපෙනවා..ඒත් මේක වෙන්නෙ ටොයි ආන්ඩුවෙන්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේකේ තියෙන පරස්පරය ඒකයි. ඇමරිකාවේ වුවත් දේශප්‍රේමය ඔළුවට ගහල තියෙන ඇතැම් අය ඩොලරය ශක්තිමත්ව තියෙන තරමට හොඳයි කියා හිතනවා. නමුත්, එහි ප්‍රතිඵලය ඔවුන්ගේ ෆැන්ටසිය සමඟ ගැලපෙන්නේ නැහැ. අනෙක් පැත්තට ලංකාවේ වත්මන් ආණ්ඩුවට ඩොලරය ඉහළ යාම මාකට් කරන්න බැරි වෙලා තියෙන්නේ ඔවුන්ට ජාතික ආර්ථිකය යහපත් කරන එක වෙනුවෙන් පෙනී සිටින්න බැරි අවුලක් තියෙන නිසා.

      Delete
  12. ඉකොනො අපි මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් අනිවාර්යෙන්ම ආර්තිකය ( අපනයන / ආනයන ) ඉක්මනට නිදහස් කල යුතු නොවේද ? ආනයන සීමා කලාම අපි ට හොයාගන්න බැහැ දේශීය නිෂ්පාදන ලාභද පාඩුද කියන එක එතකොට වෙන්නෙ අපි ලොස්ට් එකේ දේශප්‍රේමය ඔලුවෙ තියන් දුවන එක. මේ අවප්‍රමාණ වීම නිසා සමස්ත ආර්ථිකය තුල අවුලක් නෑ කියන්නෙ ාකහොමද ? ඩීසල් ඇතුලු දේවල් මැනෙන්නෙ ඩොලර් වලින්නෙ. දැනට ලංකාවේ මාකට් එකේ මිල ගනන් හැංගිලා තියෙන්නෙ. මේ තත්ත්වය නිසා කෙටිකලකින් කඩාවැටීම් රාශියක් දකින්න හැකි වෙයි.

    ReplyDelete
    Replies
    1. //මේ අවප්‍රමාණ වීම නිසා සමස්ත ආර්ථිකය තුල අවුලක් නෑ කියන්නෙ ාකහොමද ?//
      හේතුව මේ අවප්‍රමාණය වීම කියන්නේ සමස්ත ආර්ථිකය තුළ කොහොමටත් තිබෙන අවුලේ ප්‍රකාශනයක් මිසක් අවුලට හේතුව නොවන නිසා. අවප්‍රමාණය නොවුනා කියා අවුල නැති වන්නේ නැහැ. එය නොපෙනී තිබියදී තුවාලය යටින් ඔඩු දුවන එකයි වෙන්නේ. අවප්‍රමාණය වීම තුළ ප්‍රශ්නය උඩට මතු වන නිසා විසඳෙන්න ඉඩ සැලසෙනවා. හැබැයි ප්‍රශ්නයෙන් ගොඩ එන්න අවප්‍රමාණය වෙන්න අවශ්‍ය තරම කිට්ටුවටවත් තවම ඇවිත් නැහැ. ඒ නිසා, මෙවරත් ප්‍රශ්නය විසඳෙන එකක් නැහැ.

      //දැනට ලංකාවේ මාකට් එකේ මිල ගනන් හැංගිලා තියෙන්නෙ.//
      රුපියල අවප්‍රමාණය විය යුත්තේත් ඔය නිසාම තමයි. රුපියල අවශ්‍ය පමණට වඩා ශක්තිමත් නිසා වෙළඳපොළ ඉල්ලුම සැපයුම තුළ වුවත් ආනයනික භාණ්ඩ වල මිලෙන් පිළිබිඹු වෙන්නේ නියම මිලට වඩා අඩු මිලක්.

      Delete
    2. මේකත් බලන්න.

      http://emgesathapaha.blogspot.com/2018/04/blog-post.html

      රටේ ආනයන අපනයන පරතරය නැති වෙන්නනම් අඩු ගානේ ඩොලර් එක රුපියල් 250 මට්ටමටවත් යා යුතුයි.

      Delete
  13. ඩොලරය ඉහල යන එකට විරුද්ධ අයගේ සැබෑම ප්‍රශ්නේ ඕක නෙමෙයි. සාමාන්‍ය රටකනම් විනිමය අනුපතේ පහල ගියාම රටේ මිනිස්සු නිෂ්පාදනයක් කරලා ලාබයක් අරගෙන දියුණු වෙන්න වැඩ කරනවා උනාට, ලංකාවේ මිනිස්සුන්ටවත් රජයටවත් ලංකාවේ මිනිස්සුන්වම විශ්වාස නැහැ. ඔවුන් දන්නවා ලංකාවේ මිනිස්සු කම්මැලි, වැඩ කරලා දියුණු වෙන්න කැමති නැති, වැඩ කරන එකගේත් කකුලෙන් අදින සෙට් එකක් කියල.ඉතින් එහෙම තත්වයක් තුල ඔය පොතේ කියන දේ වෙන එකක් නැහැ කියල තමයි මිනිස්සුත්, රජයත් හිතන්නේ. විනිමය ඉහල යාමෙන් ලැබෙන අවාසිය වාසියට වඩා වැඩී කියල ගණන් බැලීමක් වෙන්නේ.

    ReplyDelete
  14. ඉකොනො මැට්ටා කියන නම ගැලපෙනවා කියල ගොන් දෙකේ පන්තියේ තර්ක දැක්කහම. විදෙස් ශ්‍රමිකයන් ඉන්න පවුල් වලට ඩො‍ලර් එක ඉහල යන එක වාසිලු. එක රුපියලක් වැඩි ලැබෙනවලු... එතකොට ඊට සාපේක්ෂව අපේ ඉන්ධන මිල රුපියල් හතරකින් වැඩි වෙනකොට බස් ගාස්තු රුපියල් දෙකකින් වැඩි වෙනවා. එතකොට අර විදෙස් ශ්‍රමිකයා ඉන්න පවුලට වැඩිපුර ලැබෙන රුපියලෙන් බස් එකේ යන්න රුපියල් දෙකක් වැඩිපුර දෙන්න වෙනවා.

    පාන් ගෙඩියක් රැපියල් පහකින් වැඩි වෙනවා. එතකොට අර වැඩිවුන රුපියලෙන් පාන් ගෙඩියකට වැඩිපුර රුපියල් 2.50 විතර ගෙවන්න වෙනවා.

    මැට්ටා එක්කෝ මේක දන්නෙ නෑ... නැත්නම් උවමනාවෙනම් අමතක කරලා

    ReplyDelete
    Replies
    1. තුනේ පන්තියේ මිත්‍රයාගේ ඔය බුද්ධිමත් තර්කයට කලින්ම පිළිතුරු දීල තියෙනවා. කරුණාකර උඩ කමෙන්ට්ස් වලට දමල තිබෙන ප්‍රතිචාර කියවන්න.

      http://economatta.blogspot.com/2018/09/blog-post_20.html?showComment=1537529431183#c9220807660677594122

      Delete
    2. ඒ එක්කම මේ ලිපියත් කියවන්න. ඩොලර් එක වැඩි වන අනුපාතය වගේ කිහිප ගුණයකින් කෙසේ වෙතත් අඩු වශයෙන් ඒ අනුපාතයටම තෙල් මිල වැඩි වුනානම් මේ වන විට පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 400ක් පමණ වෙලා තියෙන්න ඕනෑ.

      https://economatta.blogspot.com/2018/09/blog-post_21.html

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...