වෙබ් ලිපිනය:

Monday, September 17, 2018

ඩොලර්කරණය


මෙයත් අපේ මිතුරෙකු වත්පොත හරහා අපගේ අවධානය යොමු කර තිබුණු ඔහුගේ සිසුවෙකුගේ අදහසකට අදාළව ලියැවෙන්නක්. මුල් අදහස පළ කළ මගේ මිතුරාගේ සිසුවාගේ මෙය කියවනු ඇතැයි මා සිතනවා. වත්පොත හරහා සංවාද වල යෙදෙන්න දැනට මගේ වැඩි කැමැත්තක් නැහැ.

ඔහු අහන්නේ සිම්බාබ්වේ මෙන් ලංකාවේ ගෙවීම් පියවීම් සඳහා රුපියල වෙනුවට කෙසේවෙතත් රුපියලට සමාන්තරව හෝ ඩොලරය යොදා ගැනීමෙන් රට ඇතුළට වැඩිපුර විදේශ විණිමය ආකර්ෂණය කරගත හැකිද වැනි අදහසක්. මේ ආකාරයට රටක ජාතික ව්‍යවහාර මුදල වෙනුවට වෙනත් රටක මුදල් ඒකකයක් ආදේශ කරගැනීම හැඳින්වෙන්නේ ඩොලර්කරණය ලෙසයි.

සිම්බාබ්වේ කැමැත්තෙන් ඩොලර්කරණය කළා නෙමෙයි. විශාල වශයෙන් ණය ගැනීමෙන් පසුව ඔවුන්ගේ මුදල් ඒකකය පිළිබඳ විශ්වාසය තවදුරටත් ගොඩ ගත නොහැකි තරමට බිඳ වැටීමෙන් පසුව එය අත් හැර දමනු හැර ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. (මේ කතාව කියන්න මම මේ ලිපියේ ඉඩ වෙන් කරන්නේ නැහැ. උඩ නෝට්ටුව දිහා බැලුවොත් අදහසක් එයි.) ලංකාව එපමණ නරක තැනකට වැටී නැහැ.

මේ ප්‍රශ්නය ඇසූ තරුණයා වැනි ගොඩක් අය ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය වීම අත්‍යවශ්‍ය කරුණක් සේ සිතනවා. ඒ වගේම එය සිදු නොවන්නේ ලංකාවේ රජයේ හෝ මිනිසුන්ගේ වැරැද්දක් හෝ අඩුපාඩුවක් නිසා කියලත් හිතනවා. ඒ පදනමින් ඒ වෙනුවෙන් තමන්ට කළ හැකි දේවල් කරන්න උත්සාහ දරනවා වෙන්නත් පුළුවන්.

විදේශ ව්‍යවහාර මුදල් අරගෙන ලංකාවට පැමිණෙන සංචාරකයින් වැනි අයට ලංකාවේදී තමන්ගේ විදේශ මුදල් රුපියල් කර ගැනීමේ අපහසුතාවයක් ඇතැයි මා හිතන්නේ නැහැ. ලංකාව ඇතුළේදී රුපියල් ඩොලර් කිරීම පහසු නැතත් ඩොලර් රුපියල් කිරීම ඉතාම පහසුයි. ප්‍රත්‍යන්ත නගරයකදී වුවත් බැංකු ශාඛාවකට ගිය ගමන් ඩොලර් මාරු කරගත හැකියි. බැංකු නොවන වෙනත් තැන් වලදීත් මෙය කරගත හැකියි. විදේශිකයින් නිතර පැමිණෙන ඇතැම් තැන් වල දැනට වුවත් මිල ගණන් තිබෙන්නේ ඩොලර් වලිනුයි.

අනෙක් කරුණ ලංකාවට එන සෑම විදේශිකයෙකුම වාගේ අතේ මේ වන විට වීසා හෝ මාස්ටර්කාඩ් වැනි සන්නාමයක් සහිත ක්‍රෙඩිට් කාඩ්පත් තිබෙනවා. මේ කාඩ්පත් නිකුත් කර තිබෙන්නේ කවර රටක බැංකුවකින් වුවත් ඒවා උපයෝගී කරගෙන රුපියල් වලින් ගෙවීම් කළ හැකියි. ඔවුන් ලංකාවේදී කිසියම් භාණ්ඩයක් මිල දී නොගන්නවානම් එසේ නොකරන්නේ මිල වැඩි නිසා මිසක් අතේ රුපියල් නැති නිසා නෙමෙයි.

ලංකාවේ භාණ්ඩ විදේශිකයින්ට මිල වැඩි වීමේ සිට ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීම දක්වා ප්‍රශ්න අටෝරාසියකට තිබෙන සරල හා තනි විසඳුම රුපියල සැලකිය යුතු තරමින් අවප්‍රමාණය කිරීමයි.

ලංකාවේ ආණ්ඩුව මේ දවස් වලත් ඇතැම් පාර්ශ්ව වල විරෝධය මැද්දේ වෙළඳ ගිවිසුම් පස්සේ පන්නනවා. කලින් ආණ්ඩුත් ඔය වැඩේම කළා. මේ හරහා බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අපනයන බදු රහිතව හෝ බදු සහන යටතේ අදාළ රටවල විකිණීමට අවස්ථාවක් ලබා ගැනීමයි. දැනට කිසියම් රටක් 10%ක ආනයන බද්දක් අය කරනවානම් එය ඉවත් වූ විට අපේ බඩු 10%ක් අඩු මිලකට ඒ රටේදී විකුණන්න පුළුවන්. එවිට ඉල්ලුම වැඩි වී වෙළඳ පරිමාව ඉහළ යනවා.

හැබැයි බොහෝ විට ඔය වගේ වෙළඳ ගිවිසුම් ද්විපාර්ශ්විකයි. අපට බදු සහනයක් ලැබෙන්නේ අපිත් බදු සහනයක් දුන් විටයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේදී අදාළ රටේ බඩු වල මිල පහළ යන නිසා ඒවාට තිබෙන ඉල්ලුමත් ඉහළ යනවා. ඒ එක්කම අපේ අපනයන පරිමාවත් ඉහළ යනවා. ඒ නිසා, අවසාන වශයෙන් ලංකාවේ වෙළඳ ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපනයන වැඩි වන ප්‍රමාණයට වඩා ආනයන වැඩි වුනොත් ප්‍රශ්නය තවත් දරුණු වෙන්න වුවත් පුළුවන්.

ඔය වෙනුවට රුපියල 10%කින් අවප්‍රමාණය වෙන්න ඇරියොත් විදේශ රටවලදී අපේ බඩුවල මිල 10%කින් අඩු වී අර 10% බදු සහනයේ වාසියම ලැබෙනවා. වෙළඳ ගිවිසුමකදී මෙන් එක රටකදී නොව හැම රටකදීම මෙය සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි. වෙළඳ ගිවිසුමකදී අපනයන වල මිල 10%කින් අඩු වෙද්දී ආනයන වල මිලත් 10%කින් අඩු වන නමුත් රුපියල අවප්‍රමාණය කළ විට වෙන්නේ එහි අනිත් පැත්තයි. අපනයන මිල 10%කින් අඩු වන විට ආනයන මිල 10%කින් වැඩි වෙනවා. එවිට අපනයන ඉහළ යන අතරම ආනයන පහළ ගොස් වෙළඳ හිඟය අඩු වෙනවා.

ගොඩක් අය ලංකාවේ වී වගා කිරීමේ අකාර්යක්ෂමතාවය ගැන කතා කරනවා. මේ අය පෙන්වා දෙන කරුණක් තමයි ලංකාවේ වී ගොවීන්ට වතුර නිකම් දීලා, පෝර අඩුවට දීලා අන්තිමට රජය විසින් වැඩි මිලකට වී මිල දී ගන්නත් අවශ්‍යයි කියන එක. ඒ අය කියන විදිහට හාල් රටින් ගේන එක ලාබයි. මතුපිටින් බැලුවොත් කතාව ඇත්ත. නමුත්, මෙතැනදී අමතක කරන දෙයක් තමයි මේ කතාවේ වලංගු භාවය රඳා පවතින්නේ රුපියලේ අගය මත කියන එක. යම් විදිහකින් ඩොලරය රුපියල් තුන්සීයක් විතර වුනානම් ඔය කතාව ඔය විදිහට කියන්න බැහැ.

රුපියල ශක්තිමත්ව තබාගන්නා තරමට දේශීය කර්මාන්ත බිඳ වැටෙනවා. වී කර්මාන්තය සහනාධාර වලින් ඔය විදිහට හරි ඇදගෙන ගියත්, නිෂ්පාදන කර්මාන්ත ගොඩක් ආනයන තරඟයට මුහුණ දෙන්න බැරුව දැනටමත් බිඳ වැටිලා ඉවරයි. ඉන්දියාවෙන් නැත්නම් චීනයෙන් ලංකාවේ වෙළඳපොළට එන ගොඩක් පොඩි පොඩි දේවල් ලංකාවේ හදන්න බැරි දේවල් නෙමෙයි. ඒවා ලංකාවේ නොහැදෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ වැරැද්දකිනුත් නෙමෙයි. එහෙම හදලා ලාබ ගන්න බැරි නිසයි. ඉන්දියාවෙන් හෝ චීනයෙන් ආනයනය කරන එක ඊට වඩා ලාබ නිසයි. ඩොලරයේ මිල රුපියල් තුන්සීයක් විතර වුනානම් රජයේ පෙළඹවීමක් නැතිවම ඔය පොඩි පොඩි දේවල් ගොඩක් ලංකාවේ නිෂ්පාදනය වෙයි.

ඇතැම් අය පෙන්වා දෙන දෙයක් තමයි ඩොලරය රුපියලකින් බාල්දු වූ විට ලංකාවේ ණය බර රුපියල් බිලියන තිස් ගාණකින් ඉහළ යන බව. ඩොලරය රුපියලකින් බාල්දු වූ විට රුපියල් බිලියන තිස් ගාණකින් නෙමෙයි පනස් ගාණකින්ම ලංකාවේ විදේශ ණය ඉහළ යනවා. නමුත්, ඔය විදේශ ණය ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙමෙයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඇරීමෙන් වෙන්නේ ඒ විදිහට ණය ආපසු ගෙවීම සඳහා ඩොලරයක් හෝ එකතු වීමයි. එසේ නොකිරීමෙන් වෙන්නේ ඩොලර් හිඟය තවත් උග්‍ර වීමයි.

ඩොලරය රුපියලකින් බාල්දු වන විට රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යන බව මේ විදිහට පෙන්වා දෙන තවත් කරුණක්. ඇත්ත. ආනයනික භාණ්ඩ වල හා ආනයනික භාණ්ඩ යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ වල දේශීය මිල ඉහළ යනවා තමයි. නමුත් දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යන්නේ නැහැ. ඒ නිසා දේශීය නිෂ්පාදන වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා.  රටේ දේශීය කර්මාන්ත දියුණු වෙලා, අපනයන ඉහළ ගිහින් ආනයන සීමා වෙන්නනම් වෙන්න ඕනෑත් ඕකම තමයි.

අපි ලිපිය පටන්ගත් ඩොලර්කරණයට නැවත ආවොත්, ඩොලර්කරණය කියන්නේ කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. රුපියල් වේවා ඩොලර් වේවා සල්ලි අච්චු ගැහීම ආණ්ඩු වලට විශාල ලාබයක් ලබා දෙන වැඩක්. රුපියල් නෝට්ටු වගේම ඩොලර් නෝට්ටු කියන්නෙත් නිකම්ම කඩදාසි කොළ. ඩොලර් සීයක නෝට්ටුවක් මුද්‍රණය කරන්න වැය වෙන්නේ ඩොලර් ශත 13ක් පමණයි. ඉතිරි ඩොලර් 99.87ම ඇමරිකාවේ රජයට (මහ බැංකුවට) ලාබ.

මේ ආකාරයේ මුදල් නෝට්ටු (ෆියට් මුදල්) සංසරණයට එකතු කරන කොයි රජයත් එමඟින් විශාල ලාබයක් ලබනවා. ලංකාවේ සංසරණයට රුපියල් දාහක් හෝ පන්දාහක් එකතු වන හැම විටම එයින් රුපියල් කිහිපයක් හැර ඉතිරි මුළු මුදලම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාබයක් වෙනවා. පසුව බොහෝ විට ලංකාවේ රජයේ ලාබයක් වෙනවා. අපි නිකමට කියමු රුපියල් 5000කින් රුපියල් 4990ක් කියා. ලංකාවේ රජයේ කාර්යක්ෂමතාවය පිළිබඳ මොන තරම් ප්‍රශ්න තිබුණත් ඔය මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත රට ඇතුළේ මොනවා හෝ ප්‍රයෝජනවත් වැඩක් වෙනුවෙන් යෙදවෙනවා. රුපියල් වෙනුවට ඩොලර් භාවිතා කරනවා කියන්නේ ඔය ලාබය ගෙඩි පිටින්ම ඇමරිකාවට පටවනවා කියන එකයි.

ඉහතින් ලිවුවේ ඩොලර්කරණයේ තිබෙන එකම ප්‍රශ්නය නෙමෙයි. ඩොලර්කරණය වූ රටකට ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගන්න බැහැ. එවිට ඒ වගේ රටක ආර්ථිකය පාලනය වෙන්නේ ඇමරිකාවේ ආර්ථිකය අනුවයි. ඒ නිසා, ඇතැම් තත්ත්ව යටතේ ඩොලර්කරණය කරන්න සිදු වීම වැළැක්විය නොහැකි දෙයක් වුවත් එය කිසිසේත්ම හොඳ තත්ත්වයක් නෙමෙයි.

15 comments:

  1. ලෝකයේ ඇමරිකන් ඩොලර් ඉල්ලුමට ඩොලර් මුද්‍රණය කරන්නේ ඇමරිකාව විතරද ? එසේ නම් අනික් රටවලට උවමනා ඩොලර් නෝට්ටු එම රටවල් මිලදී ගන්නේ එම රටවල් වල මුදල් ඒකකයෙන් ද ? එසේ නම් ඇමරිකාවට භාණ්ඩයක් අපනයනය නොතරම පිනට වෙනත් රටවල මුදල් ලැබෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ලෝකයේම තිබෙන ඇමරිකන් ඩොලර් මුද්‍රණය කර තිබෙන්නේ ඇමරිකාව විසිනුයි. වෙනත් රටකට ඇමරිකන් ඩොලර් මුද්‍රණය කිරීමේ හැකියාවක් නැහැ. (නීති විරෝධී ලෙස මුද්‍රණය කරන හොර නෝට්ටු යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්.) ඇමරිකන් ඩොලරය ලෝකය පුරාම වෙනත් රටවල් වල මුදල් ඒකකයක් සේ භාවිතා වීම නිසා, ඇමරිකාවට විශාල වාසියක් සැලසෙනවා. ඔබේ වචන වලින් කියනවානම් "ඇමරිකාවට භාණ්ඩයක් අපනයනය නොකරම පිනට වෙනත් රටවල මුදල් ලැබෙනවා". තවත් නිවැරදිව කිවුවොත්, මේ මුදල් යොදා භාණ්ඩ ආනයනය කෙරෙන නිසා වෙනත් රටවල හදන නිෂ්පාදන යම් ප්‍රමාණයක් "පිනට" ලැබෙනවා.

      Delete
    2. මේ ප්‍රමාණය (මේ වන විට ඇමරිකාවෙන් පිට වී තිබෙන ඩොලර් නෝට්ටු වල වටිනාකම) ඇමරිකන් ඩොලර් බිලියන 800ක් පමණ. එනම් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් දහගුණයක් පමණ.

      Delete
  2. ඉකො ඔයා ඇමෙරිකා ඉදල ලංකාවට අපුවෙලව ලංකාවේ බඩුමිල And ඇමෙරිකා බඩුමිල ගැන හොද අවබෝදයක් එන්න ඇති. ඒ ගැන හොද comparison post එකක් දාන්න පුළුවන් ද? සමන්නයන් Avg family එකක් ගැන හිතල ලියන්න පුළුවන් නම් හොද...මොකද මට හිතන්නේ ලංකාවේ බඩු මිල වැඩි වගේ.
    shampoo & conditioner, baby creams & items , fuel prices, cheese, butter ,milk ... මේ ඔක්කොම බැලුවම ලංකාවේ එළවලු මිල සහ සහල් මිල පමණි අඩු...

    ReplyDelete
    Replies
    1. //shampoo & conditioner, baby creams & items , fuel prices, cheese, butter ,milk ... මේ ඔක්කොම බැලුවම ලංකාවේ එළවලු මිල සහ සහල් මිල පමණි අඩු..//
      මේ ගැන ගණන් හදන්න මහන්සි වෙන එකේ තේරුමක් නැහැ. ඔබ කියන කරුණට මම එකඟයි. ඒ වගේම පවතින තත්ත්වයන් යටතේ එහි අමුත්තකුත් නැහැ. ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ සාපේක්ෂ පදනමකින් ගත්තහම බඩු මිල ඉතාම අඩු රටක්. එයට විවිධ කරුණු හේතු වෙනවා. ප්‍රධානම හේතුව තරඟකාරීත්වය නිසා ඇති වී තිබෙන කාර්යක්ෂමතාවය. දෙවනුව, ඇමරිකාව කියන්නේ විශාල දේශීය ආර්ථිකයක් තිබෙන රටක්. ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදනයක් (දේශපාලන ප්‍රශ්න තිබෙන රටවල් කිහිපයක් හැර) බාධාවකින් තොරව ඇමරිකාවට ආනයනය කරලා විකුණන්න පුළුවන් නිසා ආනයනික බඩු ඇමරිකාවේ වැහි වැහැලා තියෙනවා. නමුත්, මේ ඕනෑම බඩුවක් ඇමරිකාවේ හදාගන්න අවශ්‍ය තාක්ෂනය ඇමරිකාවේ තිබෙනවා.

      දැන් ලංකාවෙන් ඇමරිකාවට ඇඟලුම් ආනයනය කරනවා. නමුත්, ඇමරිකාව ඇතුළේ ඔය ඇඟලුම් හදාගන්න ඇමරිකාවට බැරිකමක් නැහැ. එසේ නොකර ලංකාවෙන් ඇඟලුම් ගන්නේ ලංකාවෙන් ගැනීම වඩා ලාබ නිසයි. සාමාන්‍යයෙන් එක රටක බඩුවක් තවත් රටක අළෙවි කරද්දී ආනයන බදු නැතත් ප්‍රවාහන වියදම් ආදී පිරිවැය ඉහළ නිසා දේශීය භාණ්ඩ සමඟ තරඟ කර ලාභ ගන්න අපහසුයි. එසේ තිබියදීත් ලංකාවේ ඇඟලුම් ඇමරිකාවේ විකිණෙන්නේ ලංකාවේ ශ්‍රමය ඇමරිකාවේ ශ්‍රමයට වඩා විශාල ලෙස ලාබ නිසයි. ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන රටවල් බොහොමයක්ම වගේ එසේ කරන්නේ ශ්‍රමයේ වාසිය උපයෝගී කර ගනුමිනුයි. උදාහරණයක් ලෙස චීනයේ ශ්‍රමය ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් ලාබයි.

      නමුත් චීනය ඒක පුද්ගල ආදායම අනුව ලංකාවට වඩා උඩින් සිටින රටක්. එහෙම තිබියදී චීනය අඩු මිලට ලංකාවට බඩු එවන්නේ කොහොමද? තවත් සාධක ගණනාවක් තිබුණත්, රුපියල ඕනෑවට වඩා ශක්තිමත්ව පැවතීමත් මෙයට හේතුවක්.

      ඔබ උඩින් ඉදිරිපත් කළ ලැයිස්තුවේ තනිකරම තියෙන්නේ ආනයනික භාණ්ඩ. මේ භාණ්ඩ ලංකාවේ නිෂ්පාදනය නොවෙන්නේ ශ්‍රමය සාපේක්ෂව ලාබව තිබියදීත් (මේ ප්‍රකාශය ගැනත් මට තවත් කියන්න ගොඩක් දේවල් තියෙනවා. ලංකාවේ ඔය කියන තරමට ලාබ ශ්‍රමය නැහැ) ඒවා ලංකාවේ නිපදවා ඔය භාණ්ඩ විකිණෙන මිලට විකිණීමෙන් ලාබ ලැබීම අපහසු නිසයි.

      ලංකාවේ ආනයන වියදමෙන් ලොකුම කොටස් යන්නේ ඉන්ධන හා වාහන වෙනුවෙන්. මේ දෙකේම ආනයන බදු විශාල මට්ටමක තබා ගනිමින් මිල ඉහළින් තබා තිබුණත් මේ අංශ දෙකේදී දේශීය නිෂ්පාදනයක් සිදුවීමට ස්වභාවික බාධාවන් තිබෙනවා. ඉන්ධන කියන්නේ ස්වභාවික සම්පතක්. මිල ඉහළ ගියා කියා රටේ තෙල් නැත්නම් තෙල් කර්මාන්තයක් හැදෙන්නේ නැහැ. මෝටර් රථ කර්මාන්තය සඳහා අවශ්‍ය තාක්ෂනය තවමත් රටේ නැහැ. රටේ හදන්න පුළුවන් දේවල් ආනයන සමඟ තරඟ කරන්න බැරි නිසා හැදෙන්නේ නැහැ. ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ වාසිය වැඩිපුරම ලබන්නේ චීනය හා ඉන්දියාවයි. ඔවුන් අධිප්‍රමාණය වී තිබෙන රුපියලේ වාසිය ලබමින් ඔවුන්ගේ නිෂ්පාදන වලින් ලංකාවේ කඩවල රාක්ක පුරවනවා.

      Delete
    2. බොහොම ඉස්තුති ඉකො... මම හිතුවා ගොන් පර්ශ්නයක් වත් ඇහුවද කියලා... :D

      Delete
  3. රුපියල කොච්චර අවප්‍රමාණය වුනත්, ඛ්නිජ තෙල්, තිරිඟු පිටි වගේ ඒවට තියන ඉල්ලුම පහල ගිහින් ඒවයෙ ආනයන අඩු වෙයිද? මම හිතන්නෑ එහෙම වෙයි කියලා. එතකොට ඔය කියන වාසිය අපිට ලැබෙයිද?

    ReplyDelete
    Replies
    1. සෙන්නා, මටත් හිතෙන්නේ ඉල්ලුම පහල යන්නේ නැ කියල... එත් කියන්න පුදුමේ ,
      1)මම vehicle එකට තෙල් ගන්නනේ හොදට දන්නා place එකක්. පොඩි System එකක් මම දල තියනවා එක නිසා accounts , තෙල් usage මමත් බලනව තෙල් මිල වැඩි කරපු අනිතිම මස ඉදල 500L අඩුවක් තියනවා daily usage.
      2)Phone shop වල ගොඩක් යන්නේ අඩු china phones (USD වැඩිවෙන නිසා Phone shop වල Sales අඩුවෙලා)

      අනිත් ඒවා කොහොමද දන්නේ නැ ඔය දෙකට මම system දල තියන නිසා තරමක අඩුවක් පේනවා මට

      Delete
    2. ලංකාවේ ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයින් පවා ඔය විදිහට හිතනවා. නමුත්, මිල වැඩි වන විට ඔය දෙකේම ඉල්ලුම අඩු වෙනවා. එය විශාල අඩුවීමක් නොවෙන්න පුළුවන්.

      Delete
  4. අන්තර්ජාතික වෙලඳාම ඩොලර් වලින් නොව ස්වාධීන මුදලකින් වුණානම් ඇමෙරිකාවට වෙන පාඩුව සහ ඔවුන් ඩොලරය අන්තර්ජාතික ගණුදෙනු කරන මුදල වශයෙන් තබා ගැනීමට කරන දේවල ගැනත් පුළුවන් වෙලාවක ලියන්න.

    මේවා ගැන යම් තරමක දැණුමක් තිබුණත් මට පැහැදිලි නොවන දෙයක් තමයි අන්තර්ජාතික ගණුදෙනු ඔවුන්ගේ මුදලින් වන නිසා ඇමෙරිකාවට යම්කිසි dollar creation එකක් කරන්න පුළුවන්ද කියන එක.

    ReplyDelete
    Replies
    1. බාහිර ඉල්ලුම වැඩි වන විට එයට අනුරූපීව සෘජුව හෝ වක්‍රව ඩොලර් සැපයුම ඉහළ දැමීමක් සිදුවෙනවා. නමුත්, එය එසේ වූ පමණින් ඇමරිකාවට තනි කැමැත්තෙන් ඩොලර් සැපයුම විශාල ලෙස වැඩි කර වාසියක් ලැබීමේ හැකියාවක් නැහැ. එහෙම කරන්න ගියොත් ඩොලරයේ අගය අඩු වෙලා එයට තිබෙන බාහිර ඉල්ලුමත් නැති වෙනවා. අන්තර්ජාතික වෙළඳාම ඩොලර් වලින් සිදුවීම ඒ මුදල් ඒකකය පිළිබඳව තිබෙන විශ්වාසය මත රඳාපවතින්නක් මිසක් බලහත්කාරයෙන් පවත්වාගෙන යන්නක් නෙමෙයි. ඩොලර් තරමටම නැතත් යුරෝ, පවුම් වගේ වෙනත් ව්‍යවහාර මුදලුත් ඒවා නිකුත් කරන රටවල් වලින් පිට සැලකිය යුතු තරමකින් සංසරණය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එස්ඩීආර් වලට හෝ බිට්කොයින් වැනි ක්‍රිප්ටෝකරන්සි වලට තවමත් කිට්ටුවටවත් එන්න පුළුවන් වී නැහැ. මේ හා අදාළ තවත් කිව යුතු දේ තිබෙනවා. ඉඩක් ලැබුණු විට පෝස්ට් එකක් දමන්නම්.

      Delete
  5. මම හිතන්නේ රුපියල අවප්‍රමාණය කීරීමට තිබෙන ලොකුම බාදකය අපේ රටේ ගොඩක් අය හිතන ආකාරය කියලා.දැනටත් කට්ටිය කෑගහනවනේ ඩොලර් එක ඉහල යනවා කියල.ඒ වගේ තත්වයක් තියෙද්දී කිසිම දේශපාලකයෙක් ඕක කරන්න යන්නේ නෑ.
    //ආනයන වැඩි වන ප්‍රමාණයට වඩා අපනයන වැඩි වුනොත් ප්‍රශ්නය තවත් දරුණු වෙන්න වුවත් පුළුවන්// මේකත් බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ජීවන්ත. මට ඔය ආනයන අපනයන කියන වචන ගොඩක් වෙලාවට මාරුවෙනවා. පෙන්වා දුන්නට ස්තුතියි! එය නිවැරදි කළා.

      Delete
  6. //ඩොලරය රුපියලකින් බාල්දු වන විට රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යන බව මේ විදිහට පෙන්වා දෙන තවත් කරුණක්. ඇත්ත. ආනයනික භාණ්ඩ වල හා ආනයනික භාණ්ඩ යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ වල දේශීය මිල ඉහළ යනවා තමයි. නමුත් දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යන්නේ නැහැ.//

    මේක විකාරයක්. තියරියට අනුව එහෙම නොවුනත් ආනයනික පරිප්පු කිලෝ එකක් රුපියල් විස්සකින් වැඩි වුනොත් දේශිය ඒවත් අපේ උන් වැඩි කරනවා. ආනයනික අල කිලෝ එකට වඩා ලංකා අල කිලෝ එකක් මිලෙන් වැඩී. මේ බොහොම පොඩි උදාහරණ විතරයි

    ReplyDelete
    Replies
    1. http://economatta.blogspot.com/2018/09/blog-post_20.html?showComment=1537529431183#c9220807660677594122

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...