වෙබ් ලිපිනය:

Thursday, September 27, 2018

දුප්පත්කම තෝරාගැනීම


ටික දවසකට කලින් දේශකයා කියල තිබුණා ඉකෝන්ට පොඩි කෙන්දක් අහුවුනාම ඒකෙන් ලොකු බෝලයක් හදනවා කියලා. කතාව බොරුවකුත් නෙමෙයිනේ! ඉතිං මේකත් අර කලින් කතා කරපු ජෙෆ් බෙසෝස්-යසන්ත කෙන්දෙන් හදන තවත් බෝලයක්. ජෙෆ් බෙසෝස් යසන්ත ගැන සඳහන් කරලා දවස් දෙක තුනකට පස්සේ ඉන්දියන් වෙබ් අඩවියක් ඔහුව සම්බන්ධ කරගෙන තිබෙනවා. ඔවුන් යසන්තගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහනවා.

"දැන් ජෙෆ් බෙසෝස්ම කියනවා ඔබ ඔහුට වඩා දක්ෂයෙක් බව. එහෙම වෙද්දී ඔබ ඔහු වැනි ධනවතෙක් නොවීම ගැන ඔබට අවුලක් නැද්ද?"

යසන්ත කියන්නේ ඔහුට එවැනි අවුලක් නැති බවයි.

"මම හැදුනේ වැදුනේ ඉන්දියානු උපමහාද්වීපයේ මධ්‍යම පාංතික පවුලක. අපේ සංස්කෘතියේ වැඩි වටිනාකමක් ලැබෙන්නේ දැනුමට හා අධ්‍යාපනයට මිසක් සල්ලි වලට නෙමෙයිනේ...."

"...ඇරත් තමන්ගෙ සල්ලි වලින් රටට ලෝකෙට මොනව හරි කළොත් මිසක් ඔය සල්ලිකාරයින්ව අවුරුදු සීයකට දෙසීයකට පස්සේ කාටවත් මතක නෑ!"

දැන් මෙතැනදී යසන්ත වක්‍රව කියන්නේ දැනුම හා අධ්‍යාපනය මිසක් සල්ලි එකතු කිරීම ඔහුගේ ඉලක්කයක් නොවූ බවයි. කාට හෝ කියන්න පුළුවන් යසන්ත මිදි ඇඹුලයි කියන බව. නමුත්, ලෝකයේ ඉන්න හැම මිනිහෙක්ගේම ඉලක්කය පුළුවන් තරම් සල්ලි හොයන එක නෙමෙයි. ලංකාවේ හිටියත් ඇමරිකාවේ හිටියත් ඒකේ වෙනසක් නැහැ.

එතකොට ජෙෆ් බෙසෝස්ගේ ඉලක්කය වුණේ පුළුවන් තරම් සල්ලි හොයන එකද? මම හිතන්නේ නැහැ. සල්ලි හොයන ඉලක්කයක් තිබෙන්නට ඇතත් ලෝකයේ ලොකුම ධනවතා වෙන්න හෝ අඩු තරමෙන් මේ පරිමාණයේ ධනවතෙක් වීමේ ඉලක්කයක් ඔහුට බොහෝ විට නොතිබුණා වෙන්න පුළුවන්.

යසන්ත වගේම ජෙෆ් බෙසෝස් විසිනුත් කරන්න ඇත්තේ තමන්ට වැඩිපුරම සතුටු විය හැකි තෝරාගැනීම කිරීමයි. මෙයට සල්ලි හෙවීමත් වෙනත් දේවලුත් ඇතුළත්.

යසන්ත සතුව කිසියම් ධනයක් ඇත්නම් එය ජෙෆ් බෙසෝස්ගේ ධනයට අලගු තබන්නවත් හැකි තරමක තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. නමුත්, ඔහු කෙසේවත් දුප්පතෙක් නෙමෙයි. ඒ වගේම යසන්ත කියන්නෙත් ඔහුගේ ක්ෂේත්‍රයේ බොහෝ ඉදිරියට ගොස් තමන්ගේ සිහින සැබෑ කරගත් කෙනෙක්. මේ අතින් යසන්තගේ හා ජෙෆ් බෙසෝස්ගේ ලොකු වෙනසක් නැහැ.

යසන්ත විසින් කළ කවර හෝ දේවල් වලට වඩා ජෙෆ් බෙසෝස් විසින් විසින් කළ දේවල් වලට වෙනත් අය වැඩි වටිනාකමක් දී තිබෙනවා. ඒ නිසා, ජෙෆ් බෙසෝස් යසන්තට වඩා වැඩි ධනවතෙක්.

ජෙෆ් බෙසෝස්, යසන්ත වගේම වෙනත් ඕනෑම කෙනෙක් තමන්ගේ රැකියාව තෝරා ගැනීමේදී එමඟින් තමන්ට කොයි තරම් සතුටු විය හැකිද කියන කරුණට විශාල බරක් තබනවා. සයිටම් ප්‍රශ්නය හා අදාළ සාකච්ඡා වලදී ලංකාවේ වෛද්‍යවරුන් වන මගේ මිතුරන් බොහෝ දෙනෙක් පෙන්වන්න හදපු දෙයක් තමයි තමන් ඇතුළු ලංකාවේ වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් මුදල් ඉපැයීම ඉලක්කය කරගත් අය නොවන බව. ඒ අය කිවුවේ බොරුවක් නොවන බව මම දන්නවා.

තමන් නියැලෙන වෛද්‍ය වෘත්තියෙන් ලබන සතුට මුදල් වලට වඩා අගය කරන විශාල පිරිසක් ලංකාවේ පමණක් නොවෙයි ඇමරිකාවෙත් ඉන්නවා. මේ විදිහටම වෙනත් වෘත්තීන්හි නිරත වන අය අතරත් තමන්ගේ රැකියාවෙන් විශාල සතුටක් ලබන අය ඉන්නවා. උදාහරණ විදිහට කලා කටයුතු වල නිරතව සිටින අය පෙන්වන්න පුළුවන්.

ඇත්තටම කියනවානම් ව්‍යාපාරික කටයුතු වල නියැලෙන ගොඩක් අයත් එය කරන්නේ එයින් තමන්ට සතුටක් ලැබෙන නිසයි. එයින්, මුදල්ද ලැබෙන බව වෙනම කරුණක්.

දැන් මේ විදිහට බැලුවොත් කලාකාරයෙක් වගේම මුදලාලි කෙනෙකුත් සතුටු වෙන්නේ එක තරමට වෙද්දී මුදලාලි කෙනෙක් කලාකාරයෙක්ට වඩා මුදල් උපයනවා වෙන්න පුළුවන්. ජෙෆ් බෙසෝස් වගේම යසන්තත් තමන් කරන රැකියා වලින් එක තරමටම සතුටු වෙද්දී ජෙෆ් බෙසෝස් යසන්තට වඩා ලොකු ආදායමක් උපයනවා වෙන්න පුළුවන්. දුප්පතෙක් හා ධනවතෙක් එක තරමට සතුටු වෙද්දී ධනවතා වැඩි ආදායමක් උපයනවා වෙන්න පුළුවන්.

තමන්ගේ රැකියාව තෝරා ගැනීමේදී ඕනෑම කෙනෙක් තමන්ගේ රුචිකත්වයට යම් බරක් තබනවා. ඒ වගේම ලැබෙන ආදායමටත් බරක් තබනවා. ව්‍යාපාරයක් කිරීමෙන් හා වෛද්‍ය වෘත්තිකයෙකු වීමෙන් ලැබිය හැක්කේ එකම ආදායමනම් වෛද්‍ය වෘත්තියෙන් වැඩි සතුටක් ලබන කෙනා එය තෝරා ගන්නවා. ව්‍යාපාරිකයෙකු වීමෙන් වැඩි සතුටක් ලබන කෙනා එය තෝරා ගන්නවා. කොහොම වුනත්, යම් අයෙක්  ව්‍යාපාරයක් කිරීමෙන් හා වෛද්‍ය වෘත්තිකයෙකු වීමෙන් ලබන සතුට සමානනම් මේ දෙකෙන් එවැන්නෙකුගේ තේරීම වන්නේ වැඩි ආදායමක් ඉපැයිය හැකි රැකියාවයි.

තමන් වඩා සතුටු වන රැකියාවක් අත හැර අඩුවෙන් සතුටු විය හැකි රැකියාවක් කරන්න පෙළඹෙන අය නැද්ද? ලැබෙන ආදායම සලකමින් ඒ විදිහට වැඩිම සතුටක් ලබන රැකියාව නොවන වෙනත් රැකියාවක් කරන අය ඕනෑ තරම් ඉන්න පුළුවන්. මෙය තීරණය වන්නේ යමෙකුට එමඟින් අතට ලැබෙන අමතර මුදල් ප්‍රමාණය නිසා ලැබෙන සතුට රැකියාව වෙනස් කිරීම නිසා අහිමි වන සතුටට වඩා වැඩිද නැද්ද යන්න මතයි. අවසාන වශයෙන් සිදු කෙරෙන්නේ පුද්ගලයෙකුගේ සතුට ඉහළ යන තේරීමයි.

මේ විදිහට බැලුවහම අඩු ආදායම් ලබන ඇතැම් එය එසේ අඩු ආදායම් ලබන රැකියා වල නිරතව ඉන්නේ තමන්ගේ කැමැත්තෙන්. වැඩි ආදායම් ලබන රැකියාවකට මාරු වීමෙන් වෙන්නේ ඔවුන්ගේ සතුට අඩු වීමයි. ඒ වගේම වැඩි ආදායම් ලබන රැකියාවක නිරතව සිටින කෙනෙක් එසේ වැඩි ආදායම් ලබන නිසාම වැඩියෙන් සතුටු නොවනවා වෙන්න පුළුවන්.

මේ විදිහට තිබියදී වැඩි ආදායම් ලබන කෙනෙක්ගේ සල්ලි අරගෙන අඩු ආදායම් ලබන කෙනෙක්ට දුන් විට සිදුවන්නේ කුමක්ද? වැඩි ආදායම් ලැබූ කෙනාගේ සතුට අඩු කරලා ඇගේ වියදමෙන් අඩු ආදායම්ලාභියාගේ සතුට ඉහළ දමන එකයි.

උදාහරණයක් විදිහට කලාකරුවෙක් තමන් කරන රැකියාව නිසා සතුටු ඒකක 80ක් හා ලැබෙන සීමිත ආදායම නිසා සතුටු ඒකක 20ක් ලබනවා කියා හිතමු. ඒ අතර, ව්‍යාපාරිකයෙක් තමන් කරන රැකියාව නිසා සතුටු ඒකක 20ක් හා ලැබෙන ඉහළ ආදායම නිසා සතුටු ඒකක 80ක් ලබනවා. දැන් මේ දෙන්නාම සතුටු වෙන්නේ එක තරමට වුවත් ව්‍යාපාරිකයාගේ ආදායම වඩා වැඩියි.

දැන් අපි ව්‍යාපාරිකයාගේ ආදායමෙන් කොටසක් බදු ලෙස හෝ වෙනත් අයුරකින් බලහත්කාරයෙන් අරගෙන අර කලාකාරයාව සුබසාධනය කරනවා. එසේ කිරීමෙන් පසුව, කලාකරුවා තමන් කරන රැකියාව නිසා සතුටු ඒකක 80ක් හා වැඩි වූ ආදායම නිසා සතුටු ඒකක 30ක් ලබනවා. ව්‍යාපාරිකයා තමන් කරන රැකියාව නිසා සතුටු ඒකක 20ක් හා ඉතිරි වූ ආදායම නිසා සතුටු ඒකක 60ක් ලබනවා. මෙය සාධාරණද?

මෙය තීරණය වන්නේ රැකියා අතර පවතින ආදායම් විෂමතාවයන්ගෙන් කොපමණ ප්‍රමාණයක් දක්ෂතා වල වෙනස්කම් මතත්, කොපමණ ප්‍රමාණයක් රුචිකත්වයේ වෙනස්කම් මතත් තීරණය වනවාද යන්න මතයි. සෙන්ට්ලුවිස්හි වොෂින්ටන් සරසවියේ ඉයන් ෆිල්මෝර්ට හා පර්ඩියු සරසවියේ ට්‍රෙවෝර් ගැලන්ට අනුවනම් යමක්ගේ වයස අවුරුදු 44ක් වෙද්දී ඔහු හෝ ඇය කරන රැකියාවට 68%ක්ම හේතු වෙන්නේ රුචිකත්වයයි. ආදායම් වෙනස යමෙක් රැකියාවක් තෝරා ගැනීමේදී සලකා බලන ප්‍රධානම සාධකය නෙමෙයි.

එහෙමනම්, මේ පර්යේෂකයින්ට අනුව යමෙක් ධනවත් හෝ දුප්පත් වීම සෑහෙන දුරකට ඔවුන්ගේම තෝරාගැනීමක්.

එතකොට ඇතැම් රටවල් දුප්පත් වෙද්දී තවත් රටවල් ධනවත් වීම? එයත් සෑහෙන දුරකට එක් එක් රටවල ජීවත් වන මිනිසුන්ගේ තෝරාගැනීමක්ද?


14 comments:

  1. හොඳ ලිපියක්.

    ටිකක් විතර මේකට ඒ රටේ සංස්කෘතියෙන් ලැබුණු ආකල්ප බලපානවා තමයි නේද? ශ්‍රී ලංකාවේ ගොඩක් මුදල් උපයන කෙනෙක් ගැන තියන stereotype එක "සල්ලි විතරක්ම හොයනවා" වගේ ගතියක් තියනවා නේද? (දැන් මේක වෙනස් වෙනවා, හොඳ අතට)

    ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලත් ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයා බිස්නස් ගැන විතරක් හොයන බිසී කෙනෙක් කරලා, එයාගේ බිරිඳ හා දරුවන් පාලුවෙන් කාන්සියෙන් ඉන්න අවස්ථා ගොඩනගනවා වැඩිපුර. අවංක පෙම්වතා ගොඩක් වෙලාවට දුප්පත්.

    මම වරක් ෆේස්බුක් එකේ දැක්ක එක ගැහැණු කෙනෙක් ගේ වීඩියෝ එකක්. එයා කියන්නේ, "අපේ රටේ පොල් අත්තක් යට වුනත් ජීවත් වෙන්න පුළුවන්, ඒ නිසා ජාතිය ගැන හිතලා ගොඩක් ළමයි හදන්න" වගේ අදහසක්. එහෙම බැලුවොත් මුදල් වටිනාකම විදියට මනින්න බැරි වුනත් අපේ රටේ ජීවත් වෙන කෙනෙකුට ලැබෙන දේවල් තියනව. (නගරයටම නෙවෙයි, ගමට) උදාහරණ විදියට, සාපේක්ෂව ආහාර (හා අලුත් මාළු) මිල අඩුයි, ගෙවත්තක් තිබේනම් වවාගන්න පුළුවන්, හීටිං හෝ කූලින් වලට අමතර වියදම් අඩුයි, ලිඳක් හෝ ගඟක් තියනවා නම් වතුර සඳහා අමතර වියදම් අඩුයි, රෝහල් ගාස්තු නෑ, බෙහෙත් නොමිලේ, අධ්‍යාපනය උදෙසා වියදමක් නෑ. නමුත් ගොඩක් වෙලාවට දියුණු රටවල කෙනෙකුට මේ ඔක්කොටම යන වියදමක් තියනව. ඒක එයාගේ ආදායමෙන් අඩු කරන්නේ නැතුව නේ අපි ගණන් හදන්නෙ.

    මම අර ගැහැණු කෙනාගේ කතාවට පොඩ්ඩක් වත් එකඟ නැහැ, නමුත් අපේ රටවල ඔය වගේ දේවල් යම්තාක් දුරකට නිකම් ම ලැබෙන නිසා, පොඩි ආදායමක් තිබුණත් යම්තාක් දුරකට හොඳ ජීවිතයක් ගත කරන්නට පුළුවන්. අපේ ගෙවල් නැති, පාරේ යදිමින් ජීවත් වෙන අයත් දරුවන්ව පාසල් යවනවා මම අහල තියනවා කලාතුරකින් අවස්ථා වල. නමුත් පිට රටක හෝම්ලස් කෙනෙකු, චැරිටි වැඩසටහන් නැත්නම් ගොඩක් අසරණයි නේ.

    මගේ අදහසේ අඩුපාඩු ඇති ගොඩක්. Please feel free to correct.

    ReplyDelete
    Replies
    1. //බෙහෙත් නොමිලේ, අධ්‍යාපනය උදෙසා වියදමක් නෑ//

      ඔය කියන ලංකාව කොහේද තියෙන්නේ?

      Delete
    2. ඇනෝ,

      අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් මුදල් අය කරන රටවල් වලට සාපේක්ෂව මම තියරිටිකලි කතා කලාට ඇත්ත තත්වය වෙනස් බව පිළිගන්නව. :)

      Delete
    3. තව පොඩි කොටසක් එකතු කරනවා නම්, අපේ රටේ මුදල් තියන කෙනෙකුට, ඒ මුදල් වියදම් කරන්න වෙලා තියෙන්නෙත් සෑහෙන ගිල්ට් එකක් හිතේ තියාගෙන.

      කවුරුහරි ප්‍රසිද්ධ කෙනෙක් වියදම් කරලා මගුලක් ගත්තොත්, ඒකට කියනවා දුප්පත් අයට ගෙවල් හදලා දෙන්න තිබුණ කියල. උපන්දින උත්සවයක් ගත්තොත් ඒකටත් කියනවා, දුප්පත් අයට ඒ සල්ලි වලින් උදව් කරන්න තිබුණ කියල. TV චැනල් එකකට එන නළුවෙකුට හෝ නිළියකට, වටිනා තෑග්ගක් ලබා දුන්නොත් ඒකටත් කමෙන්ට් කරනවා "මෙච්චර සල්ලි තියන නළු නිළියන්ට මොකට තෑගි දෙනවද, දුප්පත් මිනිස්සුන්ට දෙන්නේ නැතුව" කියල. ඒ වැඩසටහනට එන්න තරම් ජනප්‍රියත්වයක් ලබා ගන්න ඔවුන් කරන වෙහෙස, කැපවීම ගැන හිතන්නේ නැහැ. එන්ටටේන්මන්ට් ලබා ගන්න උත්සාහ කරන්නෙත් නොමිලේ.

      උත්සාහයෙන් දියුණු වෙන කෙනෙකුගෙන් වුණත් ගොඩක් අය බලන් ඉන්නේ ණයක් ඉල්ලගන්න. දුප්පත් වීම නිසාම තමන් ප්‍රතිලාභ ලබන්න සුදුසුකම් ලබල තියනවා කියල හිතනව, නොලැබුනාම ඒ ගැන කම්ප්ලේන් කරනව.

      ඉතින් සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන්, වියදම් කරන්න නිදහසක් නැත්නම් මහන්සි වෙලා උපයන්නේ මොකටද කියල.

      Delete
  2. මට නම් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුගේ තෝරා ගැනීම මේ විදියට හැඩගැහිලා තියෙන්නේ බුදුදහමේ එන අල්පේච්චතාව තමන්ගේ තියෙන කම්මැලි කම සාධාරණීකරණය කරගන්න යොදා ගැනීම නිසා කියල. ජෙෆ් සහ යසන්ත කියන්නේ දක්ෂයෝ දෙන්නෙක්. නමුත් ජෙෆ් ඔහුගේ දක්ෂතාවය ලෝකයේ දියුනවට හේතු වෙන මහා ව්‍යාපාරයක් බවට පත් කළා. යසන්ත ඔහුගේ දක්ෂතාවය තමන්ගේ කැමැත්ත අනුව යොදාගෙන සතුටෙන් සැහැල්ලුවෙන් ඇති. යසන්ත නිසා සතුටු වන පිරිස සීමිතයි නමුත් ජෙෆ් නිසා සතුටු වෙන පිරිස මිලියන ගානක්. මගේ අදහස ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප සීමිත වෙලා තියෙන්නේ අපේ ඇතුලෙන් අපිට කාවැදිලා තියෙන "ඔච්චර හම්බු කරලා මැරෙන කොට අරන් යන්නද? මේ සියල්ල නැසෙන සුළුයි. ඕවා කරලා වැඩක් නෑ... සතුට කියන්නේ සල්ලි නෙමෙයි..." ඔන්න ඔය ටිකයි තව ඔය හා සමාන අදහස් ටිකකුයි තමයි කොයි දේ කරන්න ගියත් අපේ හිත යටින් අපිට කියන්නේ.. (මටත් එහෙමයි)

    අපේ හැකියාවල් අපි විසින්ම ලිමිට් කරගන්නවා කෙලවර දකින්න බලාපොරොත්තු වෙන නිවන වෙනුවෙන්. මොකද නිවන් දකින්න නම් මේ භෞතික දේවල් වලින් හැකිතාක් ඈත්වෙන්න ඕනේ කියන සංකල්පය නිසා.

    නමුත් ලෞකික ජිවිතයේ කෙලවරට යනකොට අපි සංතෘප්ත වෙලා නෑ... අපි ආස කරන, අපි අපිට කරන්න තිබ්බ, තම දු දරුවන්, හිතවතුන් වෙනුවෙන් කරන්න තිබ්බ බොහෝ දේවල් ඉතිරි වෙලා තියෙනවා. අවම වශයෙන් වත් සම්පුර්ණ නොවෙච්ච ආශාවල් රාශියක් අන්තිමට ඉතිරි වෙනවා. හැමෝම නොවුනත් බහුතරයක් මේ විදියයි

    ජෙෆ් ගේ ආකල්ප තියෙන අය තමන් දන්න දේ සහ තමන් ට පුළුවන් දේ උපරිමෙන් කරනවා. ඔවුන් සැහීමකට පත්වෙන්නේ නෑ... තව තවත් කරනවා මොකද ඔවුන් ගේ විදිය මේ ජීවිතය උපරිම ලෙස විඳින්න ඕනේ කියන එක. ඔවුන් කැමති විඳීම වෙනුවෙන් ඔවුන් මහන්සි වෙනවා. ඔවුන් ගේ දු දරුවන්, හිතමිතුරන් පමණක් නොව තව මිලියන ගානක් මිනිස්සු වෙනුවෙන් ඔවුන් මහන්සි වෙනවා.

    ඔවුන්ගේ ලෞකික ජීවිතය කෙළවර දී ඔවුන්ට බොහෝ දුරට සංතෘප්ත වෙන්න පුළුවන් මගේ උපරිමෙන් මම කළා ආයේ කරන්න දෙයක් නෑ කියල.

    රටේ බහුතරයකගේ තෝරා ගැනීම "සියල්ල නැසෙන සුළුයි ඒ නිසා මොකුත් කරලා වැඩක් නෑ... මෙන්න මේ තියෙන දෙයක් කාල ආණ්ඩුවෙන් කියන දෙයක් අහගෙන ඉන්නවා" වගේ වුනාම මම හිතන්නේ දුප්පත් ධනවත් වීම පැහැදිලි වෙනවා.

    නමුත් දැන් දැන් ජෙෆ්/ බිල්ගේට්ස්/ස්ටීව් ජොබ්ස් වගේ මිනිස්සු හින්දා අපේ මිනිස්සුත් තම තමන්ගේ ආශාවල් වෙනුවෙන් මහන්සි වෙන්න පටන් අරං තියෙනවා. ඒක සෑහෙන වටිනවා








    ReplyDelete
  3. "එතකොට ඇතැම් රටවල් දුප්පත් වෙද්දී තවත් රටවල් ධනවත් වීම? එයත් සෑහෙන දුරකට එක් එක් රටවල ජීවත් වන මිනිසුන්ගේ තෝරාගැනීමක්ද?"

    http://kurundha.blogspot.com/2012/11/why-you-white-man-have-so-much-cargo.html?m=1

    මහාචාර්ය ජෙරඩ් ඩයමන්ඩ් නම් කියන්නේ මේකට ප්‍රධාන හේතුව භූ ගෝලීය සාධකවල වාසිය කියලා..

    ReplyDelete
  4. සිංහල මිනිහෙක්ගේ ගෙදර ඉදිරිපිට බීමත් පුද්ගයයෙක් කෑගසමින් සිටිනවා නම්, ගෙදර කෙනා ඔහුට කියන්නේ.
    ඕයි මේ ගෙදර ළමයි පාඩම් කරනවා කැා ගහන්න එපා කියලයි.
    නැතුව ඕයි මගේ ආතල් කැඩෙනවා කෑගහන්න එපා කියන්නේ නෑ.
    එයට හේතුව සිංහල බෞද්ධ සංස්කාතිය තුල ඉන්‍ද්‍රිය පිනවීම, පෞද්ගලික වාසිය ගැන සිතිම දුරාචාරයන් ලෙස සැලකීමයි.කතෝලික චින්තනය තුලත් ඇති තත්වය මෙයමයි.

    ලෝකය මිනිසා වෙනුවෙන් මවා හෝ මැවී ඇතැයි සැලකීම.
    අසීමිත ලෙස ඉන්‍ද්‍රිය පිනවීම සදාචාරයක් ලෙස සැලකීම.
    සමාජයට වඩා පුද්ගලයාට වැඩි වටිනාකමක් දීම. බටහිර ක්‍රිස්තියානි යුදෙව් ග්‍රීක් චින්තනයේ ප්‍රතිඵලයක්.
    මීට තරමක් හෝ සමීප චින්තනය වන්නේ ඉස්ලාමීය (=යුදෙව් පර්සියන්)චින්තනයයි.

    යුදෙව් ක්‍රිස්තියානි ඇංග් ලිකන් ඇංග්ලෝ ඇමරිකාව දියුනු වීමටත්, කතෝලික ලතින් ඇමරිකාව නොදියුනු වීමටත් හේතුව මෙම චින්තන වෙනසයි.

    ReplyDelete
  5. බටහිර සෛධාන්තික භෞතික විද්‍යාඥයෙක් වීමට නම් වියුක්ත චින්තනයේ කෙල පැමිනියෙක් විය යුතුයි.
    නමුත් සිංහලයන්ට (දෙමවන්ට පවා) ඇත්තේ සංයුක්ත චින්තනයක්.
    එමනිසා ඔවුන්ට සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන් වන්නට බෑ.
    නමුත් සිංහලයන්ට ජපනුන්ට මෙන් තාක්ෂණික අංශයෙන් ඉහලට යා හැකිය. යසන්ත මහතා කරන්නේත් එයයි.
    ජෙෆ් බෙසෝස් දිගටම ඉගෙන ගත්තා නම් සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් වන්නට තිබුනා.

    සිංහලයන්ගේ වියුක්ත චින්තනයට ඇති දුබලතාව හොඳින්ම අවබෝධ වන්නේ දෙමළ ජාතිවාදය හඳුනා ගැනීමේදීයි.
    දෙමළ ජාතිවාදයක් පවතිනවා යැයි කීමෙන් අදහස් වන්නේ අල්ලපු ගෙදර දෙමළා "නරකයි" කියන අදහස නොවෙයි.
    එසේම කොපමණ "හොඳ" දෙමලෙක්ට වුවත් දෙමළ ජාතිවාදියෙක් විය හැකියි.

    ReplyDelete
  6. ධනවත් හෝ දුප්පත් වීම සෑහෙන දුරකට ඔවුන්ගේම තෝරාගැනීමක් කියන කතාව මමත් දැඩි ලෙස විස්වාස කරනවා. සංස්කෘතිය, භූ ගෝලීය සාධක ආදී අනික් සියලු කාරණා secondary factors කියලයි මට හිතෙන්නේ.

    අර දේශකයා කියලා තියෙන කතාව නම් සහතික ඇත්ත. කාලෙකින් වෙනස් මාතෘකාවක් ගැන ලියපු මේ ලිපිය හරිම රහයි. ඔබට ස්තුතියි ඉකොන් !

    ReplyDelete
  7. ඉතා ආශාවෙන් කියෙව්වා.ස්තූතියි ඉකොන් !

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...