වෙබ් ලිපිනය:

Sunday, March 6, 2022

හැට නවය දෙපළු වීම

 

ආණ්ඩුව සමඟ සිටි සුළු පක්ෂ එකොළහක් හරහා ආණ්ඩුව තුළ මුල සිටම පැවති ප්‍රතිවිරෝධී බලවේග වඩා හොඳින් නිරාවරණය වී තිබෙනවා. මේ පක්ෂ එකොළහෙන් වැඩි ප්‍රමාණයක් වචනාර්ථයෙන්ම සුළු පක්ෂ. සමහරක් තනි පුද්ගලයෙකු විසින් ඔසොවාගත් බෝඩ් ලෑලි පමණයි. මේ අතර තිබෙන, මේ වන විටද යම් ජන පදනමක් ඇති, එකම පක්ෂය ශ්‍රීලනිපයයි. ශ්‍රීලනිපයට වුවද මේ වන විට තනිව මැතිවරණයකට මුහුණ දී ලබා ගත හැක්කේ ඉතා සුළු නියෝජනයක් පමණයි. තනි පක්ෂ ලෙස ගත්තොත්, විමල් වීරවංශගේ පක්ෂය ඇතුළු, අනෙකුත් පක්ෂ හෝ කණ්ඩායම් වලට එවැනි ජන බලයක් හෝ නැහැ.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ඔවුන් විසින්ම විශාල ලෙස අතිශයෝක්තියට නංවා ඇතත් ඔහු විසින් ලබාගත් ඡන්ද ලක්ෂ හැට නවය ප්‍රතිශතයක් ලෙස ගත් විට 52.25%ක් පමණයි. ලංකාවේ ජනාධිපතිවරණ ගණනාවකදීම ජයග්‍රාහකයා විසින් මෙම ප්‍රතිශතය ඉක්මවූවා. 

ඇතැම් වාර්තා අනුව මේ වන විට ආණ්ඩුව අනුමත කරන ජනතා ප්‍රතිශතය 10% මට්ටම දක්වා පහත වැටී ඇති බව සමීක්ෂණ වාර්තා වලින් පෙනී ගොස් තිබෙනවා. කෙසේ වුවද, ආණ්ඩුව අනුමත කරන ප්‍රතිශතය 10% මට්ටමට පහත වැටී තිබීමෙන් ඔවුන් ආණ්ඩු විරෝධීන් වී ඇති බව හෝ පක්ෂය මාරු කර ඇති බවක් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ නැහැ.

"හරි මග" කණ්ඩායම තුළ සිටින ප්‍රධානම බලවේගය ශ්‍රීලනිපය වුවත්, කණ්ඩායමේ ගතිකත්වය මෙහෙයවෙන්නේ විමල් වීරවංශ හරහා. තනි විමල් වීරවංශට වඩා කණ්ඩායමකට හේත්තු වූ විමල් වීරවංශ ගොඩක් ශක්තිමත්. ඒ වගේම, කිසිසේත්ම සමජාතීය නොවන මේ එකොළහේ කණ්ඩායම එක මිටක් වූ විට තනි තනිව ලොකු වැදගත් කමක් නැති මේ කොටස් එකොළහ ඒ කොටස් වල එකතුවට වඩා ගොඩක් ලොකු බලවේගයක් බවට පත් වෙනවා. 

ගෝඨාභයව ජනාධිපති කළ ලක්ෂ හැට නවයේ බලවේගය කියන්නෙත් "අයිතිකරුවෙකු නැති" කුඩා කොටස් විශාල ප්‍රමාණයක එකතුවක්. ඒ සන්දර්භය තුළ "හරි මග" කණ්ඩායමේ කැරැල්ලෙන් හැටනව ලක්ෂය පළු වීමක් පෙන්නුම් කරනවා. මෙය රඟපෑමක්ද, සැබෑ දේශපාලනික බෙදීමක්ද කියන එක මම කතා කරන්න යන කරුණට එතරම් අදාළ නැහැ.

මට වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය මේ ගැටුම තුළින් පිළිබිඹු වන ආර්ථික දෘෂ්ඨිවාද ගැටුම දෙසයි. එම ගැටුම සමඟ දේශපාලන දෘෂ්ඨිවාද ගැටුමක්ද නොගැලවිය හැකි ලෙස ගැට ගැසී ඇති නිසා ඒ ගැන කතා නොකර ආර්ථික දෘෂ්ඨිවාද ගැටුම පිළිබඳව කතා කළ නොහැකියි. ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා, දේශපාලන දෘෂ්ඨිවාද ගැටුම ගැන කතා කිරීම මගේ අරමුණ නෙමෙයි. ඒ වගේම, මේ ආර්ථික දෘෂ්ඨිවාද ගැටුම ගැන කතා කළ යුතු වන්නේ අනාගතවාදී ප්‍රවේශයකින්.

සංවෘත ආර්ථිකයක් මුල් කරගත් සමාජවාදී ආර්ථික ජාතිකවාදය හැත්තෑවේ දශකයේ සිට "බැසගෙන ගොස්" ඉතිහාසයේ කුණු බක්කියට විසි වී අවසන්ව තිබෙන අදහසක්. මේ වන විට සංවෘත ආර්ථිකයන් ක්‍රියාත්මක වන උතුරු කොරියාව, කියුබාව වැනි රටවල් ලෝක සිතියමේ නැති, වෙනම ලෝකයක තිබෙන රටවල්. ආරක්ෂණවාදය හා ආර්ථික ජාතිකවාදයන් එලෙස අවසන්ව නැතත් විසි එක් වන සියවසේ ආර්ථික ජාතිකවාදයන් ක්‍රියාත්මක වන්නේ හැත්තෑව දශකය පමණ දක්වා පැවති පැරණි ලෝකයේ නීති යටතේ නෙමෙයි. 

හැත්තෑව දශකය පමණ වන තුරු ජාතික සමාජවාදී ස්වයංපෝෂිත ආර්ථික ක්‍රම පිළිබඳ අදහසට සැලකිය යුතු පිළිගැනීමක් ලෝකය පුරාම, විශේෂයෙන්ම ලංකාව වැනි තුන් වන ලෝකයේ රටවල, තිබුණා. සමගි පෙරමුණු පරීක්ෂණයෙන් පසුව ලංකාව තුළ මේ අදහස තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වුනා. චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසුව, ඒ වන තුරු ජාතික සමාජවාදී නැඹුරුවක් තිබුණු ශ්‍රීලනිපය ලිබරල් ජාත්‍යන්තරවාදය වෙත විතැන් වුනා. ඒ සමඟම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ එජාපය හා ශ්‍රීලනිපය අතර පැවති ආර්ථික ප්‍රතිපත්ති වෙනස්කම් බොහෝ සේ අඩුවුනා.

නමසිය අනූ තුනේදී පමණ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය විසින් "මානුෂික මුහුණුවරක් දී ධනවාදය හීලෑ කර ගන්නා බවට" උදාන පාඨයක් ඉදිරිපත් දමමින් ජාතික සමාජවාදය මත පදනම් වූ සංවෘත ආර්ථික ක්‍රමය අත හැර ජේආර් ජයවර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය වැළඳ ගත්තා. එයින් පසුව, සංවෘත ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටියේ ජවිපෙ සහ තවත් බෝඩ් ලෑලි පක්ෂ ටිකක් පමණයි. දැනට පෙනී යන පරිදි ජවිපෙ විසින්ද සංවෘත ආර්ථික ක්‍රමය අත හැරීමට උත්සාහ දරමින් සිටිනවා. විසි එක් වන සියවසේදී ජාතික සමාජවාදී සංවෘත ආර්ථික ක්‍රමයක් කරා යාම යනු බරකරත්තයෙන් අනුරාධපුරයට යාමට වඩා වැඩි දෙයක් නෙමෙයි. 

මහින්ද රාජපක්ෂ යටතේ රාජපක්ෂලාගේ ආර්ථික ක්‍රමය කිසි විටෙකත් ආරක්ෂණවාදයක්, සංවෘත ආර්ථික ක්‍රමයක් හෝ ජාතික සමාජවාදයක්ව පැවතුණේ නැහැ. එවැනි ආර්ථික ක්‍රමයක් හරහා රාජපක්ෂ දශකය තුළ දැකිය හැකි වූ සාපේක්ෂවව ඉහළ ආර්ථික වර්ධනය හා භෞතික සංවර්ධනය දැකිය හැකි වීමේ කිසිදු ඉඩක් තිබුණේ නැහැ. ඇත්තටම කියනවානම් වෙළඳපොළ මත පදනම් වූ ලිබරල්, ජාත්‍යන්තරවාදී ආර්ථික ක්‍රමයක් හරහා වුවද රාජපක්ෂ දශකයේ සංවර්ධනය කරා යාමේ හැකියාවක් තිබුණේ නැහැ. රාජපක්ෂලා එතැනින්ද එහාට ගියා. 

කෙසේ වුවත්, රාජපක්ෂ ක්‍රමය ජාතිකවාදී ආර්ථික ක්‍රමයක් නෙමෙයි. එය ලොවෙත් නැති ප්‍රතිජාතිකවාදී, ප්‍රතිආරක්ෂණවාදී ආර්ථික ක්‍රමයක්. ආරක්ෂණවාදය තුළ සිදු වන්නේ දේශීය නිෂ්පාදකයාට විදේශික නිෂ්පාදකයාට නැති විශේෂ වාසි සැලසීමයි. ලිබරල්, ජාත්‍යන්තරවාදී ආර්ථික ක්‍රමයක් තුළ දේශීය නිෂ්පාදකයා හා විදේශික නිෂ්පාදකයා එකිනෙකා සමඟ සාධාරණ තරඟයක නිරත විය යුතුයි. රාජපක්ෂ ක්‍රමය තුළ සිදු වුනේ විදේශීය නිෂ්පාදකයාට දේශීය නිෂ්පාදකයාට නැති විශේෂ වාසි සැලසීමයි. 

රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ සාර්ථකත්වයේ රහස මේ ප්‍රතිජාතිකත්වය හා ප්‍රතිආරක්ෂණවාදයයි. මේ ක්‍රමය යටතේ සිදු වන්නේ සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු රාජ්‍ය ප්‍රතිපත්ති හරහා දේශීය නිෂ්පාදකයාගෙන් විදේශීය නිෂ්පාදකයා රැක ගැනීමයි. බොහෝ විට මෙහි විදේශීය නිෂ්පාදකයා වූයේ චීන හා ඉන්දියානු නිෂ්පාදකයින්. 

දේශීය නිෂ්පාදන කඩා වැටීම, ආනයන ඉහළ යාම හා අපනයන පහළ යාම සැලසුම්සහගතව, අහම්බයෙන් හෝ උගුලකට අසුවීමෙන් රාජපක්ෂලා විසින් ක්‍රියාත්මක කළ ආර්ථික ක්‍රමයේ නෛර්සර්ගික ලක්ෂණයක්. මේ දේවල් සිදු නොවී රාජපක්ෂ ක්‍රමයේ දැකිය හැකි සෞභාග්‍යයට පැවතිය නොහැකියි. මහන්සි වන ප්‍රමාණයට වඩා වැඩියෙන් පරිභෝජනය කළ හැකි ක්‍රමයක් කියන්නේ බොහෝ දෙනෙකුට සතුටු විය හැකි ක්‍රමයක්. එහෙත්, මේ ක්‍රමයේ ප්‍රශ්නය වන්නේ දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය නොගෙන මෙවැනි ක්‍රමයක් පවත්වාගෙන යාමේ හැකියාවක් නැති වීමයි. ණය ගන්න බැරි වූ විට පිරමිඩය කඩා වැටී සියල්ල කණපිට හැරෙනවා. 

ගෝඨාභයව තෝරා පත් කරගත් හැට නව ලක්ෂයෙන් සැලකිය යුතු කොටසක්, ඇතැම් විට බාගයක් පමණ, රාජපක්ෂ දශකයේ ආර්ථික සංවර්ධනයෙන් ඇස් ගිනිකණ වට්ටවා ගත් අයයි. ඔවුන්ට යහපාලන ආණ්ඩු කාලය තුළ "රනිල් විසින් ආර්ථිකය විනාශ කර දැමීම" විශාල ප්‍රශ්නයක්ව තිබුණා. යහපාලන කාලය තුළ දැකිය හැකි වූයේ සාර්ව-ආර්ථික පරාමිතීන් සමතුලිතව තබා ගනිමින් එම කාලයේදී ලංකාවට ළඟා කර ගත හැකිව තිබුණු ආර්ථික වර්ධන වේගයයි.

ඉහත කී කණ්ඩායම ආර්ථික නොවන අර්ථයකින් ජාතිකවාදීන් විය හැකි වුවත්, ඔවුන් හැම දෙනෙක්ම ආර්ථික ජාතිකවාදීන් වූයේ නැහැ. මොනයම්ම අයුරකින් හෝ ආරක්ෂණවාදීන් හෝ ජාතික සමාජවාදීන් වූයේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුනේ අධිවේගී හා කාපට් කළ මාර්ග, ඒ මාර්ග වල ධාවනය කළ හැකි සුඛෝපභෝගී වාහන, ආනයනික බඩු රාක්ක වල පිරුණු සුපිරි වෙළඳසැල්, දරුවන්ට විදේශ අධ්‍යාපනය. නිවාඩුවට පිටරට සවාරි ආදියයි. ආරක්ෂණවාදය හා ජාතික සමාජවාදය යනු මෙහි ප්‍රතිවිරුද්ධ අක්ෂයයි.

හැට නව ලක්ෂයේ කණ්ඩායමට නාමික බටහිර විරෝධයක් තිබුණා විය හැකි වුවත් එවැනි විරෝධයක් මතුපිටින් පෙන්වීමට ඔවුන්ට හැකි වුනේ බටහිර සංවර්ධනය මත පදනම් වූ සුවපහසු ජීවිතය තුළයි. නමට බටහිර විරෝධීන් වනු මිස මේ වැඩි දෙනෙකුට ඇත්තටම බටහිර විරෝධයක් තිබුණේ නැහැ. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති හරහාද මේ දිස්නෙ ගහන ආර්ථිකයට වැට බැඳීමක් කිසිසේත්ම සිදු නොවුනත්, ඒ වෙනුවෙන් මිලක්ද ගෙවිය යුතු වුනා. රනිල්ගේ ප්‍රතිපත්ති හා ජේආර්ගේ ප්‍රතිපත්ති අතරද මේ වෙනස කැපී පෙනෙනවා. ජේආර්ගේ ක්‍රමය වඩා කිට්ටු රනිල්ගේ ක්‍රමයට නොව රාජපක්ෂ ක්‍රමයටයි. 

බදු කැපීම ඇතුළු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හරහා ගෝඨාභය විසින් ප්‍රදර්ශනය කළේ යහපාලන ආණ්ඩු කාලයේ නොතිබුණු සැපක්, එහි මිල ගෙවීමෙන් තොරව ලබා දෙන්නට තමන් සූදානම් බවයි. දිගින් දිගටම ණය ගැනීමට හැකි වීනම් මෙය කළ හැකිව තිබුණා. 

මේ අයුරින් ආර්ථික සෞභාග්‍යය වෙනුවෙන් ගෝඨාභය තෝරා ගත් අය මෙන්ම, බොක්කේ ජාතිකවාදීන් යම් පිරිසක්ද මේ  හැට නව ලක්ෂය ඇතුළේ සිටියා. ඒ අය යම් තරමකින් නලින් ද සිල්වාගේ මතවාදී දරුවන් හා එම මතවාදය එහෙන් මෙහෙන් ඇහිඳගත් යයි. තමන් බර කරත්තයෙන් අනුරාධපුරයට යාම වෙනුවෙන් පෙනී නොසිටින බව නලින් ද සිල්වා විසින් පුන පුනා කීවත් ප්‍රායෝගිකව නලින් ද සිල්වාගේ මතවාද හරහා සිදු වී තිබෙන්නේ බර කරත්තයෙන් අනුරාධපුරයට යාම ප්‍රවර්ධනය වීමයි. බටහිර දැනුමේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම හා බටහිර නම ගෑවුණු සියළු දෙය ප්‍රතික්ෂේප කිරීම ලංකාවේ බොහෝ දෙනෙකුට දෙකක් නොව එකක්. 

ලංකාවේ බටහිර විරෝධය නලින් ද සිල්වා විසින් හෝ ජාතිකවාදී කඳවුර විසින් ඇති කළ එකක් නෙමෙයි. එය කාලයක සිටම සමාජවාදී පක්ෂ විසින්ද වැපිරූ මතවාදයක්. ඊටත් පෙර සිටම අධිරාජ්‍ය විරෝධය හරහා නිසගයෙන්ම මතු වූ අදහස් සමුදායක්. බටහිර විරෝධයට තවමත් ලංකාව තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා. 

බොක්කේ ජාතිකවාදීන්ගේ මනෝරාජික සිහිනය කිසිවක් ආනයනය නොකර හැම දෙයක්ම ලංකාවේම හදා ගැනීමයි. එසේ කර ඒ දේවල් හැකි තරම් අපනයනය කර ආදායම්ද ඉපැයීමයි. ඒ ඉලක්කය කරා යා හැකි මාර්ගය ලෙස ඔවුන් දකින්නේ ආරක්ෂණවාදයයි. රජය මුල් වී අපනයන දිරි ගැන්වීමෙන් මෙවැන්නක් කළ හැකිය යන ආචීර්ණකල්පික අදහසෙහි මේ පිරිස තවමත් හිර වී සිටිනවා. විමල් වීරවංශ විසින් නියෝජනය කරන්නේද මේ අදහසයි.

ගෝඨාභයව බලයට පත් කළ හැටනව ලක්ෂයේ බලවේගය කියා කියන්නේ වලිගයක් නැති දෙපැත්තේ ඔලු දෙකක් තිබෙන දෙපත් නයෙක්. එක පැත්තකින් රාජපක්ෂලා විසින් අනුගමනය කරමින් සිටි ලිබරල් ජාත්‍යන්තරවාදයෙන්ද එහාට ගිය ප්‍රතිජාතිකවාදී, ප්‍රතිආරක්ෂණවාදී වැඩ පිළිවෙළ. අනෙක් පැත්තෙන් ලංකාවේ ජාතිකවාදීන් සැලකිය යුතු පිරිසකගේ සිහිනය වන ආරක්ෂණවාදී ජාතිකවාදය. මේ දෙකට මොන විදිහකින්වත් එකට යන්න බැහැ. 

රාජපක්ෂලාගේ දේශපාලන පෞරුෂය තුළ ඔවුන් මේ එකිනෙකට හාත්පසින් වෙනස් අවශ්‍යතා තිබෙන බලවේග දෙක එකතු කර ගැනීමට සමත් වෙනවා. මහින්ද රාජපක්ෂගේ කාලයේදී එම ආණ්ඩුව විසින් ඇත්තටම ක්‍රියාත්මක කළේ ප්‍රතිජාතිකවාදී, ප්‍රතිආරක්ෂණවාදී වැඩ පිළිවෙළ පමණයි. එහෙත්, ඔවුන් ප්‍රසිද්ධියේ කතා කරද්දී ආරක්ෂණවාදී ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින් ලස්සනට මිනිස්සුන්ව ඇන්දුවා. ගොඩක් මිනිස්සුන්ට අවසාන වශයෙන් අවශ්‍ය වුනෙත් ඒ වගේ දෙයක්. හරියටම කිවුවොත් බටහිරට බැණ බැණ බටහිරින් එන දේවල් වල ප්‍රතිලාභ අත් විඳින්න. ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ රාජපක්ෂලා හදලා දුන්නා. 

මහින්දට තේරුණු, බැසිල්ට තේරෙන මේ සෙල්ලම ගෝඨාභයට හරියට තේරුණේ නැහැ. මහින්ද පපුවට ගහලා කරන බව කියන නමුත් ජීවිතේට නොකරන දේවල් ගෝඨාභය කරන්න ගියා. එක පැත්තකින් ගෝඨාභයට එහෙම නොකර බැරි වුනා. එක උදාහරණයක් ගත්තොත් මැතිවරණයට කළින් රාජපක්ෂලා MCC එක සම්බන්ධව අනුගමනය කළේ කොන්ඩම් ප්‍රතිපත්තියක්. මැතිවරණ වේදිකා වල කතා කරද්දී වුනත් රාජපක්ෂ පවුලේ අය MCC එකට විරුද්ධව කතා කළේ ඉතාම පරිස්සමෙන්. නමුත්, මැතිවරණයෙන් පස්සේ යූ-ටර්න් එකක් ගන්න බැරි තරමට වැඩේ දුර දිග ගිහින් තිබුණා. දැන් IMF නොයාමත් මේ වගේම වැඩක්.

මහින්දගේ අන්තිම අවුරුදු වලදීත් පීබී-විමල් ගැටුම් විදිහට ඔලු දෙකේ ප්‍රශ්නය මතු වුනා. හැබැයි මහින්ද මේ ප්‍රතිවිරෝධතා ඉතා හොඳින් කළමණාකරණය කරගත්තා. පීබී කරගෙන යන විදිහට කරන්න නොදී ඇඟිලි ගහන්න ගියොත් අමාරුවක වැටෙන බව මහින්දට ඉවෙන් වගේ තේරිලා තිබුණා. අනෙක් පැත්තෙන් පීබී මැතිවරණ වලට නොයන නිසා විමල්ට හිතුමනාපෙට පීබී මුවහමට තඩිබාන්නත් ඉඩ දීලා තිබුණා.

මේ සෙල්ලම තේරුම් ගත හැකි තරමේ දේශපාලන පරිණතභාවයක් ගෝඨාභයට තිබුණේ නැහැ. ඔහු පටන් ගත්තෙම නාරාහේන්පිට හාල් කඩේට පැනලා. ඊට පස්සේ මහ බැංකුවටත් පැන්නා. අන්තිමේදී කුඹුරටත් පැන්නා. දැන් වලං කද බිඳිලා. කුඹුරත් විනාසයි. 

ඔය ඔක්කොම වුනාට පස්සේ ගෝඨාභයට බැසිල් වෙත හැරෙනවා ඇරෙන්න වෙන මාර්ගයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. හැබැයි දැන් බැසිල්ට වුනත් එන්ජිම ස්ටාට් කරන්න ලේසි නැහැ.

Thursday, March 3, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (දහවන කොටස)


මෙය කොටස් දහයකින් අවසන් කෙරුණු ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය ලිපි මාලාවෙන් පසුව ලියැවුණු ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය ලිපි මාලාවේ දහවන හා අවසන් කොටසයි. මුලින් සැලසුම් කළ පරිදිම කොටස් දහයකින් මෙම දෙවන ලිපි මාලාවද අවසන් කිරීමෙන් පසුව අප විසඳුම් ගැනද කතා කරන්නට පටන් ගන්නවා.

දෙවන ලිපි මාලාව ආරම්භ කරන විට ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇති බවත්, එය කවර ආකාරයේ එකක්ද යන්නත් බොහෝ දෙනෙකුට අවබෝධයක් තිබුණා. වසර හතකට පෙර අප මේ වියුණුව පටන් ගෙන මේ ගැන කලින් සිටම කියද්දී බොහෝ දෙනෙකු විසින් අනාගතයේ ඇති විය හැකිව තිබුණු මේ තත්ත්වය දැක්කේ රස කතාවක් ලෙස පමණයි. තවත් අයට එය කඩේ යාමක් ලෙස පෙනුනා. ඇතැම් අය ඉතා මෑතක් වන තුරුම මේ මුලාවේ සිටියා.

පහු වී හෝ ආර්ථික අර්බුදයක් ඇති බව තේරුම් ගත් බොහෝ අයටද එහි ගැඹුර හෝ සමීපත්වය පිළිබඳව නිසි අවබෝධයක් තිබුණේ නැහැ. දෙවන ලිපි මාලාවේ අරමුණ වුනේ එය පෙන්වා දීමයි. අර්බුදයේ අවසානය දැන් පෙනෙනවාට වඩා බොහෝ භයානක වුවත්, මේ වන විට බොහෝ දෙනෙකුට ගිණි දළු වල රස්නය දැනෙනවා. යන විදිහට දිගටම ගියේනම් මේ වසර මැද වන විට අනිවාර්යයෙන්ම ඇති වේයැයි අප විශ්වාස කළ තත්ත්වය මේ වන විටද ඇති වී තිබෙනවා. 

ඉන්ධන ආනයනය කළ නොහැකි තැනකට වැටීමත් එක්ක බොහෝ දේ වෙනස් වෙලා. මිනිස්සු ආණ්ඩුවට පස් පඩංගුවේ බණින්න පටන් අරන්. ආණ්ඩුවේ එල්ලී සිටි පරපෝෂිතයින් කුණුවෙන ගෙඩිය අතහැර හීමිට බැස යන්න උත්සාහ ගනිමින් සිටිනවා. මහ බැංකු අධිපතිගේ සයමාසික සූදු ක්‍රීඩාව විනාශය මේ තරම්ම ඉක්මන් වීමට ආසන්නම හේතුවයි. තුන් වන මොනාක් ප්‍රකාශනයේ "හරි මග" කියන්නේ වෙන කිසිවක් නොව ආණ්ඩුව මෙන්ම රටද විනාශ කළ මගයි. "හරි මගට" වචන දෙක කියවිය යුත්තේ එකට නොව වෙන වෙනමයි. හරි! මගට!! දැන් හරියටම හරි. ආණ්ඩුව වගේම රටත් මගට වැටිලා. 

ආණ්ඩුව විසින් මේ වෙද්දී ආණ්ඩුව හා රට පාරට වැට්ටවූ "හරි මග" ඇත්තටම අතහැරලානම් ඒ කියන්නේ ආණ්ඩුව නියම පාරට වැටිලා කියන එකයි. හැබැයි දැන් පරක්කු වැඩියි. පණුවෝ බටු ගෙඩිය අතාරින්නේ බට්ට විනාශ කිරීමෙන් පසුවයි. ආණ්ඩුවට තව දුරටත් ගොඩ යාමේ හැකියාවක් නැහැ.

බොහෝ විට ආණ්ඩුව විසින් ඉන්දියාවෙන් ණයක් අරගෙන දැන් තිබෙන ප්‍රශ්නය තාවකාලිකව විසඳා ගනියි. එහෙත්, එහෙම කළා කියලා ප්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. තවමත් මුලාවේ සිටින ටික දෙනෙකුට මෝඩ චූන් එකක් ගන්න මාසයක් දෙකක් ලැබෙනවා පමණයි. 

මේ අර්බුදය කාලයක් තිස්සේම පසුපසට තල්ලු වෙමින් යන අර්බුදයක්. 2015 ආණ්ඩු මාරුව නොවන්නට අද තිබෙන තත්ත්වය ඇති වෙන්නේ වසර පහකට පෙර 2017දී. එසේ වුනානම්, රටට වසර පහක් ඉතිරි වෙනවා. අවසාන වශයෙන් දිගුකාලීනව බැලුවොත්, යහපාලන ආණ්ඩුව විසින් කළ දේවල් වලින් කිසිම වැඩක් වී නැහැ. 2017දී මහින්ද රාජපක්ෂගේ තෙවන ධුර කාලය තුළ ආර්ථිකය කඩා වැටුනානම්, අද වන විට රටේ මිනිස්සු නිවැරදි තැනට ඇවිත්.

ඒ අතින් බැලුවොත් කබ්රාල්ගේ සයමාසික සැලැස්ම සාධනීය එකක්. කෝවිඩ් වසංගතයේ බලපෑම හා එය හමුවේ ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවත් එම වසරේදී සිදු වුනේ බිලියන දෙකකට අඩු සංචිත ප්‍රමාණයක් අහිමි වීම පමණයි. වසංගත අවස්ථාවකදී සංචිත වලින් බිලියන දෙකක් වැය කිරීම ගොඩක්ම නරක තත්ත්වයක් නෙමෙයි. පසුව 2021 වසරේදී අයිඑම්එෆ් එකෙන් ලැබුණු මුදල සැලකූ විට ශුද්ධ හානිය බිලියන 1.2ක් පමණයි. 

සීමාවක් නැතිව සල්ලි අච්චු ගැසීම ඇතුළු අනෙක් ප්‍රශ්න පැත්තකින් තිබ්බොත් 2020 වසර තුළ 2021 අවසානයට සාපේක්ෂව ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න උත්සාහ කිරීමක් සිදු වුනේ නැහැ. අධිපති මාරුවට ආසන්න කාලය වෙද්දී, අඩු වශයෙන් සති කිහිපයකට හෝ, ඩොලරයේ මිල වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන්නට ඉඩ දී ඉතිරිව තිබුණු සංචිත රැක ගැනීමේ  ස්ථාවරයකට මහ බැංකුව එළඹුණා. මිල තීරණය කිරීමේ නිදහස තිබුණානම් වාණිජ බැංකු විසින් කොහෙන් හෝ ඩොලර් හොයා ගන්නවා. ඒ අවස්ථාවේදී ඩොලරයේ මිල රුපියල් 250 පමණ මට්ටමක ස්ථාවර වී ප්‍රශ්නය විසඳී යා හැකිව තිබුණා.

සයමාසික සැලැස්ම තුළ සිදු වුනේ ඉතිරිව තිබූ සංචිත ඔට්ටුවට දමා සූදු කෙළීමක්. ග්‍රීක බැඳුම්කර, හෙජිං ගණුදෙනුව වගේ අවස්ථා වලදී වුනෙත් මේ විදිහේ අවදානම් සුදූ වලට සල්ලි දා පැරදීමක්. පහුගිය මාස හය තුළ සිදු ක්‍රියාත්මක වුනේ ඊට වඩා අවදානම් සහගත හා භයානක සූදුවක්. දැන් ඇස්පනාපිට පෙනෙන්නේ මේ සූදුවේ ප්‍රතිඵලය. 

ලංකාව ඇතුළු බොහෝ රටවල දැකිය හැකි ආර්ථික-දේශපාලන ක්‍රමය හැඳින්වීමට මම "රාජ්‍යතන්ත්‍රවාදය" යන අලුත් වචනය යොදා ගන්න කැමතියි. ඇමරිකානු සන්දර්භය අනුව යමින් මම බොහෝ විට "සමාජවාදය" යන වචනය යොදා ගත්තත් සමාජවාදය යන වචනය විවිධ, වෙනස් අර්ථ වලින් යොදා ගැනෙන නිසාත්, "රාජ්‍ය ධනවාදය" යන යෙදුම නොමග යවන සුළු එකක් නිසාත් මෙවැනි වෙනස් වචනයක් අවශ්‍යයැයි මම හිතනවා. 

මේ වචනයට කිට්ටුම ඉංග්‍රීසි වචනය "autocracy" වුවත්, "රාජ්‍යතන්ත්‍රවාදය" යන්නෙන් මා අදහස් කරන්නේ තනි පුද්ගලයෙකුගේ ඒකාධිකාරී පාලනයක් පමණක් නොවෙයි. රාජ්‍යතන්ත්‍රවාදයක් තුළ රාජ්‍ය බලය තනි පුද්ගලයෙක්, පවුලක් හෝ පක්ෂයක ඉහළ නිලධාරී කණ්ඩායමක් වඩා සංකේන්ද්‍රණය වී තිබිය හැකියි. ප්‍රායෝගිකව හැම සමාජවාදී රටකම තිබුණේත්, සිංගප්පූරුව වැනි සන්දර්භයන්හි කෞශල්‍යතන්ත්‍රවාදය ලෙස හැඳින්වෙන්නේත් රාජ්‍යතන්ත්‍රවාදයෙහි ව්‍යුත්පන්න තත්ත්වයන් දෙකක් . රජය වෙනුවෙන් රජය පවත්වාගෙන යන ක්‍රමයක් ලෙස මෙය අර්ථදැක්විය හැකියි. රටේ ජනතාවගේ පැත්තෙන් බැලූ විට, රාජ්‍යතන්ත්‍රවාදී පරීක්ෂණ ඇතැම් විට සාර්ථක වන නමුත් අසාර්ථකවීම් ඊට වඩා වැඩියි. එහෙත් රජයට සම්බන්ධ අයගේ පැත්තෙන්නම් හැම විටම සාර්ථකයි. 

රාජ්‍යතන්ත්‍රවාදය තුළ ධනවතුන් වෙන්නේ සූදුකරුවන් මිස ව්‍යවසායකයින් නෙමෙයි. ව්‍යවසායකයෙකු කියන්නෙත් එක්තරා ආකාරයක සුදූකරුවෙක් වුවත් මධ්‍යම මට්ටමේ අවදානම් ගන්නෙක් මිසක් ලැබෙන ප්‍රතිලාභයට සාපේක්ෂව අනවශ්‍ය අවදානමක් ගන්නෙකු නොවෙයි. මෙයට සාපේක්ෂව සූදුකරුවෙකු කියන්නේ අඩු වැඩි වශයෙන් වාසනාව මත විශ්වාසය තබමින් අවදානම් ගන්නා අයෙක්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් තමන්ගේ සල්ලි අවදානමේ හෙළද්දී හැකි තරම් සැලකිලිමත් වෙනවා. එහෙත්, පොදු අරමුදල් වලින් හිතුමතේ සුදූ කෙළින්න ඉඩ ලැබුණු විට තත්ත්වය වෙනස්. ආවොත් අලියෙක් ගියොත් වචනයක් වගේ තමයි. හරි ගියොත් ගෞරවය තමන්ට. පාඩුවක් වුනොත් පාඩුව රටට. 

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරය නැවත භාර ගන්නා අවස්ථාව වෙද්දී ඩොලරයක මිල රුපියල් 220 පමණ මට්ටමකට ගිහිල්ලයි තිබුණේ. ඔහු ධුරයේ වැඩ භාර ගත් ගමන්ම විණිමය අනුපාතය රුපියල් 200 මට්ටමට ගෙනත් ස්ථාවර කළා. ඔහුගේ සයමාසික වැඩ පිළිවෙළ වුනෙත් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන ඒ හරහා රටට ඩොලර් අද්දවා ගැනීමයි. 

මේ විදිහට අධිපති මාරුවෙන් පස්සේ මහ බැංකුව විසින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමට ගන්නවා කියලා ඇත්තටම කළේ ඉතිරිව තිබුණු සංචිත ටිකත් විකුණමින් "Do or die" සෙල්ලමක් පටන් ගන්න එකයි. මේ වැඩේ නිසා තිබුණු සංචිත ටික වඩා වේගයෙන් හිඳුනා පමණක් නොව, ලැබෙන්න තිබුණු ශ්‍රමික ප්‍රේෂණත් නැති වුනා. ප්‍රකාශිතවම, ඇමක් ලෙස තිබුණු ඩොලර් ටික වීසි කළාට මාළු අහු වුනේ නැහැ. අවුරුදු දහයකට කලින් පෙන්නපු ගෝනි එළුවා පෙන්නලා දෙවන පාරටත් සල්ලි හොයන්න බැහැ. මිනිහෙක් ගෝනි එළුවා බලන්න සල්ලි දෙන්නේ එක පාරයි. කොහොම වුනත් ආර්ථිකය කඩා වැටීම ඉක්මන් කිරීමේ ගෞරවය වත්මන් මහ බැංකු අධිපතිවරයාට යා යුතුයි. දෙවෙන්දොරා සං කිවුව වගේ ඉක්මණින් ගියොත් ඉක්මණින් ආපහු එන්න පුළුවන්නේ.

රට බංකොලොත් වෙන දවස කවදද කියන එක සමහර අයට ප්‍රශ්නයක්. තව ඕකේ වෙන්න දෙයක් නැහැ. තෙල් ටික ගෙන්න ගන්නවත් ගෙවන්න ඩොලර් නැහැ කියා කියන්නේ රට බංකොලොත් වෙලා ඉවරයි. ශ්‍රේණිගත කිරීමේ ආයතන බංකොලොත් ලෙස ප්‍රකාශ කරන්නේ ස්වෛරිත්ව බැඳුම්කර හා අදාළව පමණයි. මීළඟ ස්වෛරිත්ව බැඳුම්කරය ගෙවන්න වෙන්නේ ජූලි 25. ඒ සඳහා ඩොලර් බිලියනයක් අවශ්‍යයි. යම් විදිහකින් ජූලි දක්වා ඇදගෙන ගියත් ඔය බිලියනය ගෙවන්න වෙන මොහොතේ ලංකාව හාන්සි. 

ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වෙනවා. දැන් තත්ත්වය අනුව වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ එක්කම විණිමය අනුපාතය පාවෙන්න අරින්න වෙනවා. එහිදී ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ට්මකටවත් යා හැකියි. ඒ එක්කම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගිහින් උද්ධමනය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරය තවත් ඉහළ යනවා. අවසානයේදී ඩොලරයක මිල රුපියල් 300 පමණ මට්ටමකට යා හැකියි. එහිදී ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඉහළ යන එකත් නොවැලැක්විය හැකියි. 

එසේ නොකර මේ විදිහට ඇදගෙන යනවා කියා කියන්නේ රටේ විශාල භාණ්ඩ හිඟයක් ඇති වෙන එක. ඉන්ධන, විදුලි බලය නැතිව රටේ හැම නිෂ්පාදන කටයුත්තක්ම නවතින එක. ඒ වැඩෙන් ආණ්ඩුවට ජනතා ප්‍රසාදය ලැබෙන්නේ නැහැ. තත්ත්වය වඩාත් නරක අතට හැරෙනවා පමණයි. දැන් ආණ්ඩුව වැඩේ අනාගෙන ඉවරයි. ආර්ථික අර්බුදය සමාජ-දේශපාලන අර්බුදයක් වෙන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ආණ්ඩුව මහා පරිමාණයෙන් මර්ධනය ක්‍රියාත්මක නොකර බැණුම් අහගෙන පැත්තකට වී ඉන්නේ ඒ බව දන්නා නිසයි. ආණ්ඩුව අමාරුවේ දැමූ රාජපක්ෂ පරපෝෂිත එකමුතුව මේ බව කලින්ම අවබෝධ කරගෙන දැන් සිටම ඊළඟ පියවරට සූදානම් වෙමින් සිටිනවා.

විසඳුම් ගැන කතා කරන්න වෙන්නේ ඔය දැවැන්ත කඩා වැටීමෙන් පසුව ඇති වන තත්ත්වයේ සිටයි. ඒ වෙද්දී රටේ දේශපාලනය මොන විදිහට වෙනස් වී තියෙයිද කියන එක දැන්ම තීරණය කරන්න අමාරුයි. විසඳුම් ගැන තෙවන ලිපි මාලාවෙන් කතා කරමු. ඊට පෙර ඇති වන තත්ත්වයන් ගැන වෙනම කතා කරමු.

Tuesday, March 1, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (නවවන කොටස)


පෙර කොටසින් විස්තරාත්මක ලෙස පැහැදිලි කළ පරිදි, ලංකාවේ ආර්ථිකය මේ වන විට පත් වී ඇති තත්ත්වයට වසංගතයේ දායකත්වය බැහැර කළ නොහැකි වුවත්, රටේ විදේශ අංශයට වසංගතය නිසා සිදු වූ යහපත් හා අයහපත් බලපෑම් සැලකිල්ලට ගැනීමෙන් පසුව නිගමනය කළ හැක්කේ වසංගතය නොපැවතියද මේ වන විට රටේ තත්ත්වය දැන් තිබෙනවාට වඩා යහපත් මට්ටමක නොතිබිය හැකි වූ බවයි. වසංගතය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් "පිනට" ලැබුණු ඩොලර් මිලියන 800ක මුදල වැනි සාධකද සැලකූ විට කිව හැක්කේ වසංගතය නොතිබුණානම් මේ වෙද්දී රටේ තත්ත්වය මීටත් වඩා දරුණු වන්නට වුවද ඉඩ තිබුණු බවයි.

ප්‍රශ්නයේ මුල් නිදහස ලැබූ කාලය තෙක්ම ඇදී යන නමුත් මේ ආණ්ඩුවේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග නොවන්නට රටේ ආර්ථිකය මේ තරමටම කඩා වැටීමේ ඉඩක් තිබුණේ නැහැ. මේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග අතරින් බදු කැපිල්ලේ හානි මේ වන විට පුළුල් ලෙස සාකච්ඡා වී හා පිළිගැනීමට ලක් වී අවසන් වුවත් විණිමය අනුපාතය පාලනය කිරීමේ හානි ඒ තරමටම සාකච්ඡා වී නැහැ. 

ආනයන පාලනය කිරීමේ හානි යම් තරමකින් වැඩි අවධානයකට යොමු වී ඇතත් ආනයන පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙන්නේම විණිමය අනුපාතය පාලනය කිරීම නිසාය යන්න අවධාරණය වී තිබෙන්නේ අඩුවෙන්. මුලින් න්‍යාය මත පමණක් පදනම්ව සිදු විය හැකි බව පෙන්වා දුන් මේ කරුණ දැන් අපට සංඛ්‍යාලේඛණ ඇසුරෙන්ම පෙන්වා දිය හැකියි. 

වසංගතයට පෙර 2019 වසරේදී ආනයන පාලනයක් සිදු වූයේ නැහැ. වඩාත් නිවැරදිව කියනවානම් ආනයන පාලනය සිදු වුනේ වෙළඳපොළ මූලධර්ම අනුවයි. වෙළඳපොල විසින් ආනයන පාලනය කෙරෙන ස්වභාවික ක්‍රමය වන්නේ මිල ඉහළ යන්නට සැලැස්වීම මගින් ආනයන ඉල්ලුම අඩු කිරීමයි. මෙහිදී කිසිදු භාණ්ඩ හිඟයක් ඇති වන්නේ නැහැ. මෙයින් වෙනස්ව, මේ ආණ්ඩුවේ වත්මන් සාර්ව-ආර්ථික උපාය මාර්ගය වී තිබෙන්නේ මිල වැඩි නොකර සැපයුම පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵලය ඉල්ලුම තවතවත් ඉහළ යාමයි.

කෘතීම ආනයන පාලනයක් සිදු නොවූ 2019 වසරේදී ලංකාවේ ආනයන වියදම වූයේ ඩොලර් මිලියන 19,937ක් පමණයි. එහෙත්, වාහන, කිරිපිටි ආදී බොහෝ දේ ආනයනය කිරීම මුළුමනින්ම වලක්වා තවත් ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සීමා කර තිබියදී පවා 2021 වසර තුළ ආනයන වෙනුවෙන් වැය වී තිබෙන මුදල ඩොලර් මිලියන 20,637ක්. මෙය ඩොලර් මිලියන 700ක ඉහළ යාමක්. මීට සාපේක්ෂව අපනයන ආදායම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 562කින් පමණයි. මේ අනුව, කොපමණ ආනයන සීමා දැම්මත් 2019ට සාපේක්ෂව 2021දී වෙළඳ හිඟය සුළුවෙන් හෝ වැඩි වී මිස අඩු වී නැහැ.

විණිමය අනුපාතය වෙනස් වන්නට ඉඩ නොදී, ආනයනික භාණ්ඩ කෘතීම ලෙස ලාබ කර, තෝරාගත් කාණ්ඩ වල ආනයනික භාණ්ඩ ආනයනය වැළැක්වූ විට සිදු වන්නේ එසේ තහනම් නොකළ ආනයනික භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යාමයි. ආනයනික භාණ්ඩ ආනයනය එකින් එක තහනම් කර ගෙන ගොස් මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ භාණ්ඩ ආනයනය මුළුමනින්ම නැවැත්වීමෙන් පසුව පමණයි. ආනයනික භාණ්ඩ සඳහා වැය වන විදේශ විණිමය රට තුළ රඳවා ගත හැකි සරලම හා පහසුම ක්‍රමය විණිමය අනුපාතය ඉහළ යන්නට ඉඩ දීමයි. එය නොකරන තුරු ක්‍රමක්‍රමයෙන් රට තුළ ආනයනික භාණ්ඩ හිඟය ඉහළ යාම වැළැක්විය නොහැකියි. 

ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක ආනයනික භාණ්ඩ සීමා වීම යන්නෙන් අදහස් වන්නේ දේශීය නිෂ්පාදනයද විශාල ලෙස බිඳ වැටෙනවා යන්නයි. ලංකාවේ දේශීය නිෂ්පාදන බොහොමයකට සැලකිය යුතු තරමක ආනයනික ආදාන අවශ්‍යයි. මේ වන විට මේ දේවල් ඇස් පනාපිට පෙනෙමින් තිබෙනවා. වසංගතය නොවන්නට සංචාරක කර්මාන්තය ඇතුළු සේවා ආර්ථිකයටද විණිමය අනුපාතය පාලනය කිරීම නිසා සිදුවන හානිය පැහැදිලි ලෙසම දැකගත හැකිව තිබුණා. මේ වසර මැද වන විට වසංගත බිය දුරු වී ලෝකය බොහෝ දුරට පෙර පැවති මට්ටමට පැමිණෙනු ඇති නමුත් පවතින විණිමය අනුපාතය එලෙසම තිබියදී සේවා ගිණුමේ අතිරික්තය 2019 මට්ටමට ඉහළ නංවා ගැනීම ගිම්හානයේ දකින සිහිනයක් පමණයි. 

කෙසේ වුවත්, විණිමය අනුපාතය පාලනය කිරීමේ හානිය වැඩි වශයෙන්ම දැනී තිබෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ සටහන් වන ද්වීතියික ආදායම් ගිණුමටයි. මෙය අනිවාර්යයෙන්ම මහ බැංකුව ඇතුළු ලංකාවේ සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අපේක්ෂා නොකළ තත්ත්වයක්. ආර්ථික න්‍යාය දැන සිටියත් ඒවා පිළිබඳව විශ්වාසයක් නැති වූ විට මෙවැනි ප්‍රශ්න මතු වෙනවා. 

ළමයා ඉපදෙන්න කලින්ම හඳහන් බලනවා වගේ මහ බැංකුව විසින් අනාගතයේ ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ කලින්ම විකුණන්නට සැලසුම් හැදුවා. මෙහිදී මහ බැංකුවේ උපකල්පනය වුනේ ශ්‍රමික ප්‍රේෂණ කියන්නේ ඕනෑම තත්ත්වයක් යටතේ නොසිඳෙන ඩොලර් උල්පතක් බවයි. කන්න නොදී කොයි තරම් පහර දුන්නත් කිරි සපයන කිරි එළදෙනක් බවයි. 2021 නොවැම්බර් තරම් මෑත කාලයකදී පවා මහ බැංකුව මේ විශ්වාසය තුළ සිටියා. වසරකට ඩොලර් මිලියන 7,000ක ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන එක ගැන මහ බැංකුවට කිසිම සැකයක් තිබුණේ නැහැ.

පසුගිය වසර පහක හෝ ඊටත් වැඩි කාලය තුළ වසරකට ඩොලර් බිලියන 7ක පමණ ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබුණා කියන එක කවුරුත් දන්නා දෙයක්. ඇත්තටම මේ ශ්‍රමික ප්‍රේෂණ කියන අර්ථදක්වීමේත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුව කතා කරමු. කොහොම වුනත් පහුගිය අවුරුදු වල ලංකාවට සල්ලි එවන අයට ඩොලරයක් වෙනුවෙන් සාධාරණ රුපියල් ප්‍රමාණයක් ලැබුණා. අවුරුද්දකට ඩොලර් බිලියන හතක් සල්ලි ආවේ ඒ තත්ත්වය යටතේ.

දැන් වෙලා තියෙන්නේ කුමක්ද? 2021 ජනවාරි මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 675.3ක් ලැබුණා. ඔය ගණන දොළහෙන් වැඩි කළොත්, ඩොලර් මිලියන 8,103.6ක්. නමුත්, 2022 ජනවාරි මාසයේදී ලැබුණේ ඩොලර් මිලියන 259.2ක් පමණයි. දොළහෙන් වැඩි කළොත් ඩොලර් මිලියන 3,110.4ක් පමණයි. ඩොලර් බිලියන 5ක වෙනසක්. පේනවනේ යන්නේ කොහාටද කියලා.

ලංකාවේ ආණ්ඩුවට හා මහ බැංකුවට ආනයන පාලනය කරලා රටට එන ඩොලර් රටින් එළියට යන එක වලක්වා ගන්න උත්සාහ කරන්න පුළුවන්. අපනයනකරුවන් විසින් උපයන ඩොලර් රටට ගේන්න කියලා ඔවුන්ට බල කරන්නත් පුළුවන්. හැබැයි ඔය විදිහට තග දාලා රටින් පිට සිට ලංකාවට ඩොලර් ගෙන්න ගන්න බැහැ. රටින් පිට ජීවත් වන අය ලංකාවේ ආණ්ඩුව කියන දේවල් මායිම් කරන්නේ නැහැ. අනිත් එක සල්ලි එවද්දී "රට විරුවෝ" වුනත් ඔය මිනිස්සුන්ට කෝවිඩ් කාලේ ආණ්ඩුව සලකපු විදිහත් අමතක නැතුව ඇතිනේ. ඒ නිසා, නියම රුපියල් ගණන නොලැබෙද්දී ආණ්ඩුව ගැන අනුකම්පා කරලා සල්ලි එවයිද?

දැනටත් මහ බැංකුව හිතන බව පෙන්නේ කොහොම හරි සල්ලි උන්ඩියල් වෙන එක නවත්ත ගත්තොත් වැඩේ ගොඩ කියලා. උන්ඩියල් පාලනය කරන්න ගියොත් වෙන්නේ තත්ත්වය තවත් නරක අතට හැරෙන එක පමණයි. උන්ඩියල් වෙන සල්ලි බැංකු පද්ධතිය හරහා නොආවත් වක්‍ර ලෙස හෝ රටට එනවා. වැඩිය සෙල්ලම් දාන්න යනවා කියන්නේ ඒ එන ටිකත් නැති වෙන එකයි.

ලංකාවේ ගොඩක් අයගේ අදහස දරු පවුල ලංකාවේ තියලා මැද පෙරදිග රැකියා වලට යන අය ලංකාවට ඩොලර් එවුවත් ස්ථිර පදිංචිය සඳහා බටහිර රටවලට යන අය සල්ලි එවන්නේ නැහැ කියන එක. සමහර අය කියන විදිහට ඒ අය ලංකාවේ තිබෙන ඉඩකඩමුත් විකුණලා ඩොලර් රටින් අරන් යන එකයි කරන්නේ. මේ කතාවේ ඇත්තක් තිබුණත් එය අර්ධ සත්‍යයක්. සංඛ්‍යාලේඛණ වල කොයි තරම් නිවැරදිව පිළිබිඹු වනවාද කියලා මම දන්නේ නැතත්, ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් විසින්ද ලංකාවට සැලකිය යුතු මුදලක් එවනවා. මම පෞද්ගලිකව දන්න ගොඩක් අය පවුල පිටින්ම රටින් පිටවෙලා අවුරුදු ගාණක් ගිහින් තිබුණත් හැම අවුරුද්දකම විශාල මුදලක් ලංකාවට යවන අය.

පවුල ලංකාවේ සිටිද්දී, වෘත්තීය නොවන රැකියාවක් කරන්න මැද පෙරදිග රටකට ගොස් සිටින අයෙකුට මාස්පතා ලංකාවට සල්ලි නොඑවා ඉන්න බැහැ. බැංකු හරහා, උන්ඩියල් කරලා බැරිනම් පරෙයියෙක්ගේ කකුලේ බැඳලා හරි ඒ අයට ලංකාවට සල්ලි එවන්නම වෙනවා. එහෙම නොකළොත් ගෙවල් වල මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නැහැ. බටහිර රටක ස්ථිර පදිංචිය සඳහා ගිහින් සිටින කෙනෙකුට ඒ ප්‍රශ්නය නැහැ. ඒ අය සල්ලි එවන තුරු බලා ඉන්න පවුලක් ලංකාවේ නැහැ.

මේ වගේ කෙනෙක් ලංකාවට සල්ලි එවන්නේ එක්කෝ තමන්ගේ විස්තෘත පවුලේ සාමාජිකයෙකුගේ කුමක් හෝ වියදමක් වෙනුවෙන්. වයස්ගත දෙමවුපියන්, සහෝදර සහෝදරියන් හෝ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට මේ විදිහට සල්ලි එවන්නේ මරණයක්, මගුලක්, දානයක්, උපන් දිනයක් වගේ විශේෂ අවස්ථාවකදී මිසක් මාස්පතා දීමනාවක් විදිහට නෙමෙයි. එහෙම නැත්නම් සමාජ කටයුත්තකට. පන්සලකට, ළමා නිවාසයකට හෝ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමයට වගේ තැනකට වෙන්න පුළුවන්. තවත් අය සල්ලි එවන්නේ ලංකාවේ කුමක් හෝ දේපොළක් මිල දී ගන්න හෝ සංවර්ධනය කරන්න. එහෙම කරන අයත් ගොඩක් ඉන්නවා. මේවා හරිනම් සංඛ්‍යාලේඛණ වල ප්‍රාග්ධන ගිණුමේ සටහන් විය යුතු වුවත්, වෙන් කර හඳුනා ගන්න අමාරු නිසා ශ්‍රමික ප්‍රේෂණ ගොඩටම එකතු වෙනවා.

ඔය කවර හෝ හේතුවක් නිසා සල්ලි එවන අයට ඒ සල්ලි ලංකාවට එවන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම, මේ ගොඩේ ඉන්න අය ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන දැනුවත් පිරිසක්. ඩොලරයක මිල වැඩි කලක් ඔය විදිහට තියා ගන්න බැරි බව ඒ අයට තේරෙනවා. මේ සල්ලි උන්ඩියල් වෙන්නේ නැහැ. රටට එන එක සම්පූර්ණයෙන්ම නැවතිලා. 

මේ ගොඩට දැමිය හැක්කේ බටහිර රටවලට ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින අය එවන සල්ලි පමණක් නෙමෙයි. මැදපෙරදිග රටවල වෘත්තීය රැකියා කරන අයටත් මේ කතාව අදාළයි. අපි හිතමු මැදපෙරදිග රටක සේවය කරන ගණකාධිකාරීවරයෙක් ගැන. ඔහුගේ බිරිඳ හා දරුවන් ඉන්නේ ලංකාවේ. බිරිඳ වෘත්තීය රැකියාවක් කරන්නේ නැත්නම් අඩු ගානේ ගුරු රැකියාවක් හෝ කරනවා. මේ පවුලේ සාමාජිකයින් සතුව ලංකාවේ බැංකු වල ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක්ද තිබෙනවා. දැන් අර මැදපෙරදිග ඉන්න පියා මාස කිහිපයක් ඩොලර් නොඑවුවා කියලා ලංකාවේ ඉන්න පවුල කන්න නැතුව මැරෙන්නේ නැහැ. ඒ නිසා, සල්ලි උන්ඩියල් කරන්න හදිස්සියක් නැහැ. 

ශ්‍රමික ප්‍රේෂණ ලෙස මසකට ලැබුණු මුදලින් ඩොලර් මිලියන 400කටටත් වඩා අඩු වී තිබීමෙන් අදහස් වන්නේ ඔය මුදල උන්ඩියල් වෙනවා කියන එක නෙමෙයි. උන්ඩියල් වන මුදල වැඩිම වුනොත් මාසයකට ඩොලර් මිලියන 100ක් පමණ විය හැකියි. ඉතිරි කොටස අදූරදර්ශී විණිමය ප්‍රතිපත්තිය නිසා හිඳී ගොස් ඇති විදේශ විණිමය උල්පතක්. 

විදේශගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කියන්නේ ලංකාවට නොසලකා හැරිය හැකි පිරිසක් නෙමෙයි. හොඳට හෝ නරකට හෝ අනාගතයේදී ලංකාවේ කලාව, දේශපාලනය හා ආර්ථිකය මේ පිරිස විසින් තීරණය කරනු ලැබීම නොවැලැක්විය හැකි දෙයක්. දැනටත් ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, සිංදු, පොත්, වෙබ්අඩවි, සමාජ මාධ්‍ය, සමාජ සේවා, ක්ෂුද්‍ර ව්‍යාපාර, සිංහල ජාතිකවාදය ඇතුළු මතවාද සංස්කරණය ආදිය තුළ ඩයස්පෝරාවේ බලපෑම ඉතාම විශාලයි. ඒ බව නොසලකා හරින අයට මෝඩ චූන් ගන්න පුළුවන්. අනෙක් කරුණු කෙසේ වුවත්, ජවිපෙ මේ කරුණ නිවැරදිව අවබෝධ කරගෙන සිටින බව පේනවා. රැස්වීම තංගල්ලේ වුනත්, ගම්පහ වුනත් ජවිපෙ කථිකයෝ කතා කරන්නේ ඩයස්පෝරා සාමාජිකයින්ටත් එක්කයි.

උන්ඩියල් වෙළඳපොළ කියන්නෙත් සමතුලිත වෙළඳපොළක්. උන්ඩියල් ක්‍රමයට රටට එන හැම ඩොලර් එකක්ම අනික් පැත්තට රටින් එළියට යනවා. ඒ කියන්නේ, ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තා වී නැති ඩොලර් එකක් උන්ඩියල් ක්‍රමයට රටට ඇවිත්නම් රටින් එළියට ගිය ඩොලර් එකකුත් සංඛ්‍යාලේඛණ වල නැහැ කියන එකයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික ප්‍රේෂණ ලෙස වසරකට ඩොලර් බිලියනයක් පමණ ලංකාවෙන් එළියට යනවා. බැංකු වලින් ඩොලර් ගන්න අමාරු නිසා 2021 වසරේදී මේ ප්‍රමාණයෙන් ඩොලර් 600ක් පමණ නියම ක්‍රමයට එළියට ගිහින් නැහැ. එයින් කොටසක් උන්ඩියල් වෙන්න ඇති. ආනයන වෙනුවෙන්ද යම් ඩොලර් ප්‍රමාණයක් උන්ඩියල් ක්‍රමයට රටින් යන්න ඇති. ඔය සියල්ල එකතු කළත් ඩොලර් බිලියනයකට වඩා වැඩි වෙන්න බැහැ. උන්ඩියල් ක්‍රම වලට වැඩි වැඩියෙන් වැට බඳින තරමට වෙන්නේ කළු කඩේ ඩොලර් මිල තවත් ඉහළ ගොස් නිල විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යන එක පමණයි.

දැන් තත්ත්වය අනුව වඩා සුදුසු ජංගම ගිණුම දෙස මාසික පදනමකින් බලන එකයි. අවුරුද්දකට පස්සේ තත්ත්වය ගැන හිතන එකෙත් ලොකු තේරුමක් නැහැ. පවතින තත්ත්වය තුළ මාසයකට ඩොලර් මිලියන 1000ක් පමණ අපනයන වලින් ලැබෙද්දී ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1700ක් වියදම් වෙනවා. ණය පොලී ගෙවන්න තවත් ඩොලර් 200ක් යනවා. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 900ක් පමණ හොයා ගත යුතුයි. සංචාරකයන්ගෙන් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙන්නේ ඩොලර් මිලියන 500ක පමණ මුදලක්. තවත් ඩොලර් මිලියන 400ක් අඩුයි. ඒ ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමේ ප්‍රතිඵලය. 

විණිමය අනුපාතය අවප්‍රමාණය වූ ගමන්ම ඔය ඩොලර් මිලියන 400 නැවතත් රටට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොයාගන්න වෙන්නේ ණය ආපසු ගෙවන්න අවශ්‍ය ඩොලර් ටික පමණයි. නමුත් වැරදි විණිමය ප්‍රතිපත්තිය නිසා දැන් මාසයකට තවත් අමතර ඩොලර් මිලියන 400ක් හොයාගන්න වෙලා. සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 2.3ක් පමණයි. ඉන්දියාව තවත් කොයි තරම් කාලයක් ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කරයිද?

Monday, February 28, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (අටවන කොටස)


දෙසතියකට ආසන්න විරාමයකින් පසුව නැවතත් අපි "ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය" ලිපි මාලාව වෙත පැමිණෙමු. පසුගිය කොටසෙන් අපි 2021 වසර පමණ දක්වාම ලංකාවේ ආර්ථිකය තුළ සිදු වූ දේ ගැන කතා කළා. දැන් අපට වැදගත් ප්‍රධානම ප්‍රශ්නය "මේ යන විදිහට ගිහින් කොහෙන් කෙළවර වෙයිද?" කියන එකයි.

දුර අනාගතය අපි පැත්තකින් තියමු. මේ අවුරුද්ද හා ඉදිරි වසර ලංකාවට කොහොම වෙයිද?

විචල්‍ය ගණනක් මත තීරණය වන මෙවැනි දෙයක් ගැන අපට නිශ්චිත අනාවැකි කියන්න බැහැ. එහෙත්, සිදු විය හැක්කේ පහත තත්ත්වයන් තුනෙන් එකක්.

පළමු වියහැකියාව- ආණ්ඩුව කොහෙන් හෝ ඩොලර් හොයා ගෙන මේ යන විදියට තව ටික කලක් ඇදගෙන යයි. වසංගත බිය දුරු වෙද්දී නැවත රට සංචාරකයින්ගෙන් පිරී යයි. ඒ සමඟ රටට ඩොලර් ගලා එද්දී නැවතත් හැම ප්‍රශ්නයක්ම විසඳී සෞභාග්‍යය උදා වෙයි. 

දෙවන වියහැකියාව - ආණ්ඩුව පළමු ක්‍රමයට ඇදගෙන යන්න උත්සාහ කළත් එය කිසිසේත්ම කළ නොහැකි බව පෙනී යද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තීරණය කරයි. ඉන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ විය හැකි ආකාරයේ ප්‍රතිසංස්කරණ සිදු කරයි. 

තෙවන වියහැකියාව - පළමු ක්‍රමයට ඇදගෙන යාම කිසිසේත්ම කළ නොහැකි බව පෙනී යද්දීත් ආණ්ඩුව ඒ මාර්ගයේම ගොස් රට විශාල ව්‍යසනයකට ඇද දමයි.

පළමු වියහැකියාව ආණ්ඩුව විසින් පෙන්වන්නට හදන සුභවාදී තත්ත්වයයි. දෙවැන්න ඇතැම් එජාප/සජබ දේශපාලනඥයින්  විසින් හා ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් විසින් යෝජනා කරන විකල්පයයි. තෙවැන්න විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් විසින් ඇඟිල්ල දික් කර පෙන්වන දිස්තෝපියානු අනාගතයයි. මගේ අදහස අනුව සිදු වීමට වැඩිම ඉඩක් ඇත්තේ දෙවැන්නයි.

මේ ආර්ථික අර්බුදය තනිකරම මේ ආණ්ඩුවේ වරදින් සිදු වූ දෙයක් නෙමෙයි. අප මේ වන විට ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය පිළිබඳව විස්තරාත්මක ලෙස කතා කර අවසන්. ඒ වගේම, වසංගත තත්ත්වය ආර්ථික අර්බුදයට හේතු වූ බවද බොරුවක් නෙමෙයි. කෙසේ වුවද, මේ ආණ්ඩුව විසින් අනුගමනය කළ ක්‍රියා මාර්ගද ආර්ථික අර්බුදයට සැලකිය යුතු ලෙස දායක වී ඇති බව අපට බැහැර කළ නොහැකියි. 

අපි පෙර කොටස් සමඟ පළ කළ පහත වගුව වෙත නැවත යමු. එවිට අපට ආර්ථික අර්බුදයට වසංගතය නිසා සිදු වූ බලපෑම නිශ්චිත ලෙස හඳුනා ගත හැකියි.


වසංගතයේ බලපෑමක් නොතිබුණු 2019 වසර සාමාන්‍ය වසරක් ලෙස අපට හඳුනා ගත හැකියි. එම වසර පාදක කරගෙන අපි 2020 වසර දෙස නැවත හැරී බලමු. පෙර වසරට සාපේක්ෂව, 2020 වසරේදී ලංකාවේ විදේශ අංශයේ හැසිරීම වෙනස් වූයේ කෙසේද? වසංගතය නොවන්නට තත්ත්වය පැවතිය හැකිව තිබුණේ කෙසේද?

පළමු ප්‍රශ්නයට අපට ඉහත වගුවේ ඇති සංඛ්‍යාලේඛණ ඇසුරෙන් නිශ්චිත පිළිතුරු සොයාගත හැකියි. එහෙත්, ප්‍රතිපරිසිද්ධික තත්ත්වය නිරීක්ෂණය කළ නොහැකි බැවින්, දෙවන ප්‍රශ්නයට අපට එලෙස පිළිතුරු හොයා ගන්න බැහැ. එය කළ හැක්කේ උපකල්පන, අනුමාන හා විශ්ලේෂණ මත පදනම්ව පමණයි. ඒ නිසා, අපි පළමුව පහසු තැනින් පටන් ගනිමු.

පෙර වසරට සාපේක්ෂව 2019 වසරේදී අපනයන ආදායම් ඩොලර් මිලියන 1,893කින් පහළ ගියා. සේවා අපනයන ආදායම් ඩොලර් මිලියන 4,439කින් පහළ ගියා. ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 387කින් වැඩි වුනා. ඒ අනුව, සමස්තයක් ලෙස මේ ක්‍රම තුනෙන් රටට එන ඩොලර් ප්‍රමාණය මිලියන 5,945කින් අඩු වුනා. 

කෙසේ වුවද, රටේ ආනයන වියදම්ද ඩොලර් මිලියන 3,882කින් අඩු වුනා. ඒ වගේම, සේවා ආනයන වියදම් ඩොලර් මිලියන 2,409කිනුත්, විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු වූ ප්‍රතිලාභ ඩොලර් මිලියන 416කිනුත් අඩු වූ නිසා ජංගම ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 761කින් අඩු වුනා. 2020 වසරේදී පැවති ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,083ක් පමණයි.

දැන් වඩා අසීරු දෙවන ප්‍රශ්නය. වසංගතය නොවන්නට පැවතිය හැකිව තිබුණු තත්ත්වය කුමක්ද?

රටේ අපනයන ආදායම් සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. වසංගතය හැර එය වැළකෙන වෙනත් විශේෂ දෙයක් වසර තුළ සිදු වුනේ නැහැ. 2020 අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව 2%කින් වැඩි වීනම් අපනයන ආදායම ඩොලර් මිලියන 12,178 දක්වා ඉහළ යනවා. 

ලංකාවේ සේවා ආදායම් වලින් වැඩි කොටසක් ලැබෙන්නේ සංචාරක කර්මාන්තයෙන්. වසංගතය හේතුවෙන් රටේ විදේශ අංශයට වැඩිම බලපෑමක් සිදු වුනේ සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා. කෙසේ වුවද, 2019 වසරේදීද, පාස්කු බෝම්බ පිපිරීම් හේතුවෙන් සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමක් සිදුව තිබුණා. 

මේ ආණ්ඩුව විසින් බලය ලබා ගැනීමේදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට වැඩි බරක් දෙන බව අවම වශයෙන් ප්‍රදර්ශනාත්මක ලෙස හෝ පෙන්නුම් කර සිටියා. ඒ වගේම, 2019 වසර වන විට 2.3% මට්ටමට පහත වැටී තිබුණු ආර්ථික වර්ධන වේගය ඉහළ දමා ගැනීමේ ඉලක්කයක මේ ආණ්ඩුව සිටියා. එහිදී, සංචාරක කර්මාන්තය කෙරෙහි සැලකිය යුතු බරක් දමා තිබුණා. මේ කරුණු අනුව, වසංගතය නොවන්නට සංචාරක කර්මාන්තය නැවත හිස ඔසොවා රටේ සේවා ආදායම් අවම වශයෙන් 2018 මට්ටමට පැමිණිය හැකිව තිබුණේයැයි සිතීම නරක උපකල්පනයක් කියා මා සිතන්නේ නැහැ. එම ආදායම ඩොලර් මිලියන 8,374ක්.

වසංගත කාලය තුළ, විශේෂයෙන්ම 2020 වසර තුළ, කලාපයේ බොහෝ රටවලට ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ඉහළ ගියා. ලංකාවටද  මේ තත්ත්වය යම් තරමකින් හෝ එලෙසම බලපෑ බව අපට උපකල්පනය කළ හැකියි. එහෙත්, ඊට පෙර තෙවසර තුළ දැකිය හැකි වූයේ ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වසරින් වසර යම් තරමකින් අඩුවන ප්‍රවණතාවක්. අපේ ඇස්තමේන්තුව වන්නේ වසංගතය නොවන්නට ශ්‍රමික ප්‍රේෂණ 2018 මට්ටමේ සිට 2.5%කින් පමණ අඩුවිය හැකිව තිබුණු බවයි. ඒ අනුව, ඩොලර් මිලියන 6,529ක ශ්‍රමික ප්‍රේෂණ 2020 වසර තුළ ලැබිය හැකිව තිබුණා.

ඉහත කාණ්ඩ තුන යටතේ ලැබිය හැකිව තිබුණු සමස්ත ආදායම ඩොලර් මිලියන 27,102ක්. එහෙත්, ඇත්තටම ලැබුණේ ඩොලර් මිලියන 20,187ක් පමණයි. මේ අනුව, වසංගතයේ බලපෑම නිසා රටට පැමිණිය හැකිව තිබුණු ඩොලර් මිලියන 5,945ක් නොලැබී ගොස් ඇති බව ඇස්තමේන්තු කළ හැකියි.

දැන් අපි වියදම් පැත්ත බලමු. 2019 වසර කියන්නේ පෙර වසරට සාපේක්ෂව ආනයන වියදම් සැලකිය ලෙස යුතු අඩු වූ වසරක්. එම වසර තුළ ආනයන වියදම් ඩොලර් මිලියන 2,296කින් අඩු වුනා. එය අහම්බයෙන් සිදු වූ දෙයක් නොවෙයි. ඉතා දැඩි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති නිසා සිදු වූ දෙයක්. 2019 වසර තුළ සංචිත මුදල් සැපයුම 3.0%කින් පහළ ගියා. පටු මුදල් සැපයුම හා M2b පුළුල් මුදල් සැපයුම ඉහළ ගියේ පිළිවෙලින් 4.2%කින් හා 7.0%කින් පමණයි. ඒ වගේම පෙර වසර අවසාන වුනේ රුපියල 20%කින් පමණ අවප්‍රමාණය වීමට ඉඩ හරිමිනුයි. ආර්ථික වර්ධන වේගය 2.3% මට්ටම දක්වා අඩු වීමට මේ සියලු කරුණු බලපෑවා.

අලුත් ආණ්ඩුව පටන් ගත්තේ මෙවැනි තැනකින් නෙමෙයි. බදු විශාල ලෙස අඩු කරමින් වැය කළ හැකි (disposable) ආදායම සැලකිය යුතු ලෙස ඉහළ දමමින් ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා ලිහිල් මුදල් ප්‍රතිපත්ති හරහා මේ ආණ්ඩුව විසින් ඉලක්ක කරමින් සිටියේ ආර්ථික වර්ධනයයි. වසංගතය නොවන්නට 2020 ආර්ථික වර්ධනය 4.5-5% පමණ මට්ටමකට ඉහළ යා හැකිව තිබුණා. එවැනි තත්ත්වයක් තුළ ආනයන ඉල්ලුම අවම වශයෙන් 2018 මට්ටම දක්වා ඉහළ යා හැකිව තිබුණා. මීට අමතරව රජයේ ප්‍රාග්ධන වියදම් ඉහළ යාම නිසා ආනයන වියදම් තවත් ඩොලර් බිලියනයකින් ඉහළ යා හැකිව තිබුණේයැයි සැලකුවහොත් 2019 ආනයන වියදම ඩොලර් මිලියන 23,233ක් විය හැකිව තිබුණා.

වසංගතයට පෙර 2015-2019 කාලය තුළ සේවා ආනයන වියදම් වසරකට 4.5%කින් පමණ ඉහළ ගොස් ඇති බව සැලකු විට 2020 සේවා ආනයන වියදම ඩොලර් මිලියන 4,833ක් විය හැකිව තිබුණා. එලෙසම පෞද්ගලික ප්‍රේෂණද පැවති ප්‍රවණතාව අනුව ඩොලර් මිලියන 1,003 දක්වා 4.5%කින් ඉහළ යා හැකිව තිබුණේ යැයි සිතමු. අනෙකුත් ශුද්ධ ලැබීම් හා විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු වූ ප්‍රතිලාභ නොවෙනස්ව 2019 මට්ටමේම පැවතිය හැකිව තිබුණේයැයි සිතුවොත්, මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය විය හැකිව තිබුණේ ඩොලර් මිලියන 4,420ක ජංගම ගිණුම් හිඟයක්. එහෙත් ඇත්තමට පැවති ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,083ක් පමණයි.

මෙයින් කියැවෙන්නේ කුමක්ද? වසංගතය නොවන්නට ජංගම ගිණුම් හිඟය පියවීම සඳහා තවත් ඩොලර් මිලියන 3,337ක් හොයා ගන්නට සිදු වෙනවා කියන එකයි. ඒ කියන්නේ, 2020 ජංගම ගිණුම් ශේෂය සලකූ විට, සුනාමිය වගේම කෝවිඩ් වසංගතයද වෙස් වලාගත් ආශීර්වාදයක් වී ඇති බවයි. 

ලංකාව මේ තරම් අර්බුදයකට ගියේ 2020 ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,083 මට්ටම දක්වා අඩු වී තිබියදී. වසංගතය නොවන්නට මේ හිඟය ඉතා පහසුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් පමණ විය හැකිව තිබුණා. කෙසේ වුවද, වසංගතයේ බලපෑම නොවන්නට සල්ලි හොයා ගැනීම මේ තරම්ම අපහසු නොවිය හැකිව තිබුණු බව අපේ අදහසයි.

ජංගම ගිණුමේ ඩොලර් බිලියන දෙකක පමණ හිඟයක් තිබීම ලංකාවට සාමාන්‍ය දෙයක්. එහෙත් මේ අඩුව ණය සුරැකුම්පත් විකුණා ලබා ගත හැකි නිසා ජංගම ගිණුමේ හිඟය සාමාන්‍යයෙන් කෙටිකාලීනව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2019 වසරේදීද ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,843ක හිඟයක් තිබුණත්, එම වසරේදී ණය සුරැකුම්පත් ආයෝජන ලෙස ඩොලර්  මිලියන 2,313ක මුදලක් ලැබුණා. එහෙත්, 2020 වසරේදී වුනේ හැමදාම ණය සුරැකුම්පත් විකුණා අලුතෙන් ඩොලර් හොයනවා තබා ඒ වන විට සිදු කර තිබුණු ආයෝජන ටිකවත් රැක ගන්න බැරි වීමයි. 2020 වසර තුළ ණය සුරැකුම්පත් ආයෝජන වලින් ඩොලර් මිලියන 2,166ක් ආපසු ගියා. කොටස් වෙළඳපොළ ආයෝජන වලින්ද ඩොලර් මිලියන 217ක් ආපසු ගියා.

මේ විදිහට ආයෝජකයින් විසින් ලංකාවේ ආයෝජන ඉවත් කර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීමයි. ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට ආණ්ඩුවේ අදූරදර්ශී රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හේතු වුනා. එහෙත්, එය එකම හේතුව කියා කියන්න බැහැ. වසංගතය නොපැවතී, රටේ ආර්ථිකය හොඳ තත්ත්වයක පැවතුණේනම්, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය බිඳ නොවැටුණේනම්, ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම මේ තරම් ඉක්මන් නොවිය හැකිව තිබුණු බව මගේ අදහසයි. 

කෙසේ වුවද, එවැනි තත්ත්වයක් යටතේදී ආණ්ඩුවට ජංගම ගිණුමේ හිඟය පියවීම සඳහා ඩොලර් බිලියන 4.5ක් පමණත් ණය ගෙවීමට තවත් ඩොලර් බිලියන 5ක් පමණත් සොයා ගන්නට සිදු වෙනවා. වසර තුළ ආණ්ඩුවට හොයා ගත හැකි වූයේ ඩොලර් බිලියන 4ක පමණ මුදලක් පමණයි. ඒ කියන්නේ තවත් ඩොලර් බිලියන 5.5ක් පමණ සොයා ගන්නට සිදු විය හැකිව තිබුණා කියන එකයි. 

යහපාලන ආණ්ඩුව විසින් 2019 වසරේදී ඩොලර් බිලියන 4.4ක ස්වෛරිත්ව බැඳුම්කර විකිණීමට සමත් වුනා. ඒ අනුව බැලුවොත් ඩොලර් බිලියන 5.5ක් කියා කියන්නේ කිසිසේත්ම ලඟා කර ගත හැකිව නොතිබුණු ඉලක්කයක් නෙමෙයි. එහෙත්, යහපාලන ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට යහපත් රාජ්‍යමූල්‍ය විනයක් පෙන්විය හැකිව තිබුණේ නැහැ. ආණ්ඩුව පටන් ගත්තේම වැඩ වරද්දා ගෙනයි. 

ලංකාවේ ණය ශ්‍රේණිය B සිට B- දක්වා පහත හෙළමින්, 2020 අප්‍රේල් මාසයේදී ෆිච් රේටිං ආයතනය කිවුවේ මෙහෙමයි.

"The shock to Sri Lanka's economy from the coronavirus pandemic will exacerbate already-rising public and external debt sustainability challenges following tax cuts and an associated shift in fiscal policy late last year."

ෆිච් රේටිං ආයතනයේ තීරණයට ආණ්ඩුව විසින් බදු කපා හැරීම සෘජු ලෙසම බලපා තිබුණා. එහෙත්, වසංගතය නිසා ණය පැහැර හැරීමේ අවදානම ඉහළ යාමද ඔවුන් විසින් සැලකිල්ලට ගෙන තිබුණා. නොවැම්බර් මාසයේදී ෆිච් රේටිං ආයතනය විසින් ලංකාවේ ණය අවදානම C කාණ්ඩය දක්වාම පහත හෙලුවා. 

මූඩීස් ආයතනය විසින් සැප්තැම්බර් මාසයේදී ලංකාවේ ණය ශ්‍රේණිය C කාණ්ඩය දක්වා පහත හෙළුවා. එම තීරණයටද රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලට අමතරව වසංගතය නිසා ඉහළ ගිය ණය පැහැර හැරීමේ අවදානම බලපෑවා. 

"The decision to downgrade Sri Lanka's rating to Caa1 reflects Moody's assessment that the coronavirus-induced shock, which Moody's regards as a social risk, will significantly weaken Sri Lanka's already fragile funding and external positions."

දෙසැම්බර් මාසයේදී ලංකාවේ ණය ශ්‍රේණිය C කාණ්ඩය දක්වා පහත හෙළමින් S&P ආයතනය කිවුවේත් මීට සමාන දෙයක්. 

"S&P Global Ratings downgraded Sri Lanka's long-term sovereign credit ratings to CCC+/C from B-/B, saying the country's fiscal position is expected to deteriorate over the next few years due to a lack of favorable economic and fiscal conditions.

The downgrade reflects the economic fallout from the coronavirus pandemic, which has narrowed the government's fiscal space and capacity to generate income through various sectors such as tourism and has exacerbated risks to debt servicing capacity."

ණය ශ්‍රේණිගත කිරීම් ආයතන වල විශ්ලේෂණ අනුව, වසංගතය ලංකාවේ ආර්ථිකයට, විශේෂයෙන්ම විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාවට, බලපෑ හැකිව තිබුණු ප්‍රධාන ආකාර දෙක වූයේ සංචාරක කර්මාන්ත හරහා ලැබෙන ආදායම් අඩුවීම හා ඇඟලුම් අපනයන ආදායම් අඩු වීමයි. මේ දෙකෙන් ලොකුවටම බලපෑවේ පළමුවැන්නයි. එයට වසංගතය මුල් කාලයේදී කොරෝනා රටින් දුරු කර ලෝකයේ පළමුවැනියා වීමේ පිස්සුවෙන් දඟලා ආණ්ඩුව විසින් කරගත් විනාශයද විශාල ලෙස දායක වුනා. 

කෙසේ වුවද, යම් හෙයකින් 2020දී රටේ ආර්ථිකය හැසිරවීමේ බලය තිබුණේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවකට වීනම්, වසංගතය නිසා ලංකාවේ ණය ආපසු ගෙවීමේ අවදානම ඉහළ යා නොහැකිව තිබුණේයැයි අපට කිව නොහැකියි. එමෙන්ම, මේ ආණ්ඩුවේ අදූරදර්ශී රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හමුවේ වුවද, වසංගතය නොවන්නට, මෙතරම් ඉක්මණින් ලංකාවේ ණය අවදානම මෙතරම්ම ඉහළ යා නොහැකිව තිබුණා. ප්‍රශ්නය මෙතරම් දරුණු වුනේ මේ ආණ්ඩුවේ අදූරදර්ශී රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා වසංගතයේ බලපෑම එකට එකතු වූ නිසයි.

ණය ශ්‍රේණිගත කිරීම් C කාණ්ඩයට වැටුණු පසු ජාත්‍යන්තර බැඳුම්කර විකිණීම ප්‍රායෝගිකව කළ නොහැකියි. වසංගතය නොවන්නට, මගේ තක්සේරුව අනුව, අඩු වශයෙන් 2020 වසර අවසන් වන තුරු ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් C කාණ්ඩය දක්වා පහත වැටෙන්නේ නැහැ. එසේම, රටේ ආර්ථිකය 3.6%කින් හැකිළෙන්නේ හෝ සංචාරක කර්මාන්තය හරහා ලැබෙන ආදායම් අඩු වන්නේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ වසරේ මුල් මාස හය තුළ අඩු වශයෙන් ඩොලර් බිලියන 2.5ක ස්වෛරිත්ව බැඳුම්කරයක් විකුණා ගැනීමේ හැකියාවක් ලංකාව සතුව තිබුණා. එසේ වුවද, පැවති දුර්වල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හමුවේ ණය පැහැර හැරීමේ අවදානම යම් තරමකින් හෝ ඉහළ යන නිසා බොහෝ විට මේ වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවන්නටද සිදු විය හැකිව තිබුණා.

මගේ තක්සේරුව අනුව වැඩි අපහසුවකින් තොරව ඩොලර් බිලියන 2.5ක පමණ ස්වෛරිත්ව බැඳුම්කර විකුණාගත හැකිව තිබුණත් 2020 වසර තුළ ඩොලර් බිලියන 5.5ක ස්වෛරිත්ව බැඳුම්කර විකිණීම කළ හැකිව තිබුණු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අනේවාසික ගිණුම් වලට ලැබෙන තැන්පතු ආදිය හරහා තවත් ඩොලර් බිලියනයක් හොයා ගත්තත් ඩොලර් බිලියන දෙකක පමණවත් සංචිත ප්‍රමාණයක් විකුණන්නම වෙනවා කියන එකයි. වසර තුළ ඇත්තටම විකිණූ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,978ක්. ඒ කියන්නේ, වසංගතය නොවුනද 2020 වසර අවසන් විය හැකිව තිබුණේ සංචිත සැලකිය යුතු ලෙස පහත හෙළමින් කියන එකයි. එකම වෙනස ආනයන පාලනයක් සිදු නොවීමයි.

මූලික කරුණු අතින් රාජපක්ෂ කඳවුරේ ආර්ථික ප්‍රතිපත්ති වල සහ රනිල් වැනි අයෙකු පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්ති අතර විශාල වෙනස්කම් නැහැ. පරිධියේ ඉන්න අය ගැලරියට මොනවා කිවුවත් මේ ආර්ථික ප්‍රතිපත්ති හැදෙන්නේ ධනවාදය මත පදනම්වයි. එහෙත්, මේ කණ්ඩායම් දෙකම තමන්ට අවශ්‍ය තැන් වලදී පැකිලීමක් නැතිව අඩු වැඩි වශයෙන් ධනවාදයෙන් බැහැර වෙනවා. විදේශ ණය ගැනීම පිළිබඳව කඳවුරු දෙකේම මූලික ප්‍රතිවිරෝධයක් නැහැ. කඳවුරු දෙක කැපී පෙනෙන ලෙස වෙනස් වන්නේ වර්ධනය හා ස්ථාවරත්වය වෙනුවෙන් ප්‍රමුඛතාවය දීමේදී.

රාජපක්ෂ කඳවුර විසින් බොහෝ විට කරන්නේ ස්ථාවරත්වය අවදානමේ හෙළමින් වර්ධනය හැකි තාක් වැඩි කර ගැනීමට උත්සාහ දරන එකයි. එය ජනප්‍රියවාදී ප්‍රවේශයක්. එයින් වෙනස්ව රනිල් කඳවුර ස්ථාවරත්වයට වැඩි බරක් දෙනවා. එහිදී නොවැලැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය මන්දගාමී වෙනවා.

වසංගතය නොතිබුණේනම් 2020 ආර්ථික වර්ධනය 4.5-5.0% මට්ටමටවත් ඉහළ යනවා. මෙය 2010-2012 වැනි කාල වකවානු එක්ක බලද්දී ලොකු වර්ධන වේගයක් නොවුනත්, යහපාලන කාලයට සාපේක්ෂව කැපී පෙනෙන ආර්ථික වර්ධනයක්. ආණ්ඩු මාරුවෙන් පසුව 2020දී මේ වගේ ආර්ථික වර්ධනයක් ලැබුණේනම් එයින් ආණ්ඩුව වගේම ආණ්ඩුව ඡන්දය දුන් හැටනව ලක්ෂයද යම් තරමකින් කුල්මත් වෙනවා. ඡන්දය නුදුන් අය අන්දමන්ද වෙනවා. ඒ එක්කම, මිනිස්සුන්ට ඔය ආර්ථික වර්ධනය තවත් වැඩි කරන්න අවශ්‍ය වෙනවා. ආණ්ඩුවට ඒ අවශ්‍යතාවය ඉටු නොකර ඉන්න බැරි වෙනවා. අඩු වශයෙන් ආර්ථික වර්ධනය 5-6% වැනි මට්ටමකටත් අරගෙන පවත්වා ගෙන යන්න ඕනෑ වෙනවා. ජනප්‍රිය නැති ආණ්ඩුවකට වඩා ජනප්‍රිය ආණ්ඩුවකට තීරණ ගන්න අමාරුයි. එවැනි ආණ්ඩුවකට නැති වෙන්න දෙයක් තිබෙනවා.

වසංගතය නොතිබුණානම් මේ ආණ්ඩුව සාර්ව-ආර්ථික උගුලක හිරවෙන්නේ 2021දී. 2020දී ආර්ථික වර්ධනය 4.5-5.0% මට්ටමට උස්සන්න පුලුවන්කම තිබුණත් ආනයන පාලනය, දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය වගේ දේවල් ඒ පැකේජ් එකත් එක්ක යන්නේ නැහැ. ආර්ථික වර්ධනය එන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ හා ප්‍රසාරණාත්මක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියේ උදවුවෙන්. රට පුරා සෞභාග්‍යය පෙන්වන්න පුළුවන් වුනත්, එය කළ හැක්කේ ණයට ගන්නා ඩොලර් වල උදවුවෙන්. හැබැයි ඒ වැඩේට අවශ්‍ය තරම් ඩොලර් ණයට ගැනීමේ හැකියාවකුත් නැහැ. ඔය තත්ත්වය යටතේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත කර ගන්නනම් ඩොලරයක මිල රුපියල් 240 මට්ටමටවත් යන්න අරින්න වෙනවා. එහෙම කළොත් නැවතත් සෞභාග්‍යය දියාරු වෙනවා. ඒ නිසා, ඔය තත්ත්වය යටතේ සංචිත වලින් ඩොලර් බිලියන දෙකක්වත් විකුණන්න වෙන එක කරන්නම සිදු වෙන දෙයක්.

සංචිත වලින් ඩොලර් බිලියන දෙකක් අඩුවුනා කියලා රටේ මිනිස්සුන්ට එය ලොකුවට දැනෙන්නේ නැහැ. විපක්ෂය කෑ ගැහුවා කියලා ඔය තත්ත්වයේ වෙනසක් වෙන්නෙත් නැහැ. ආණ්ඩුවට මිනිස්සුන්ට පෙන්විය හැකි ආර්ථික වර්ධනයක් තිබෙනවා. හැබැයි ඔය මට්ටමට විදේශ අංශයේ අවදානම් ඉහළ යද්දී ශ්‍රේණිගත කිරීමේ ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ, වසංගතය නොතිබුණත්, යන විදිහට ගියානම්, 2021 වසර තුළ ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් C කාණ්ඩයට වැටෙනවා. ලංකාවට ස්වෛරිත්ව බැඳුම්කර වෙළඳපොළට යන්න බැරි වෙනවා. 

ඔය වගේ තත්ත්වයක් ඇති වුනානම් ආණ්ඩුව වැටෙන්නේ දැන් වැටී සිටිනවාට වඩා අමාරුවක. දැන්නම් පෙන්නන්න වසංගත බිල්ලෙක් ඉන්නවා. ඒ වගේ, "බාහිර හතුරෙක්" නැතුව ආනයන පාලනය කිරීම වගේ දෙයක් කරන එක ලේසි නැහැ. ඊටත් වඩා ප්‍රශ්නයක් වෙන්නේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවසාන වශයෙන් වර්ධන ඉලක්ක අත අරින්න වෙන එක. එය කළ ගමන්, දැන් වගේම, ආණ්ඩුවේ ජනප්‍රියත්වය බහිනවා. එක අතකින් මේ වෙලා තියෙන්නේ ආණ්ඩුවේ නළලේ කෙටී තිබුණු දෙයක්.

අනෙක් පැත්තෙන්, තනිකරම මනඃකල්පිත දෙයක් වුනත්, 2019දී ජනාධිපති වුනේ රනිල් වික්‍රමසිංහනම් මේ ප්‍රශ්න කිසිවක් ඇති වෙන්නේ නැද්ද? අපි හිතමු හැටනව ලක්ෂයක් රනිල්ගේ ප්‍රතිපත්ති අනුමත කරලා රනිල්ව ජනාධිපති කළා කියලා. රනිල් ජනාධිපති වෙලා වසංගතයත් ආවේ නැත්නම් අවුලක් වෙන්නේ නැහැ. දැඩි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වා ගත්තානම් කිසිදු ආනයන පාලනයක් නැතත් ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන දෙකකින් නවතිනවා. ඒ ගාන ස්වෛරිත්ව බැඳුම්කරයක් විකුණලා ලේසියෙන්ම හොයාගත හැකිව තිබුණු මුදලක්. 

රනිල් ජනාධිපතිව සිටිද්දී වසංගතය ආවානම් මොකක්ද වෙන්නේ?

රනිල් හිටියා කියලත් වසංගතය නිසා ආර්ථිකයට සිදුවන බලපෑම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ බොහෝ වෙලාවට ඔය තිබුණු මට්ටමේම තියෙයි. රනිල් හිටියානම් රට වහන්න ඔය තරම් හදිස්සි වෙන එකක් නැහැ. ඒ නිසා, සංචාරකයෝ ටිකක් වැඩිපුර එයි. හැබැයි වසංගතය නිසා සංචාරකයෝ එක එක කොහොමටත් විශාල ලෙස අඩු වෙනවා. ඕනෑනම් සේවා ගිණුමට තව ඩොලර් බිලියනයක් විතර එයි. අනෙක් පැත්තෙන් ආනයන පාලනයක් නැති නිසා ආනයන වියදම තව ඩොලර් බිලියනයකින්වත් වැඩි වෙයි. අන්තිමට ජංගම ගිණුමේ ශේෂය දැන් තිබෙන මට්ටමේම වගේ තියෙයි. හැබැයි එහෙම වුනානම් ස්වෛරිත්ව බැඳුම්කරයක් විකුණලා ජංගම ගිණුමේ හිඟය පියවා ගන්න එක අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා, දැන් වගේ අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නෙත් නැහැ. එවැනි අවදානමක් පෙනෙන්න තිබුණානම් රනිල්ගේ ආණ්ඩුව කලින්ම IMF ගිහින් ප්‍රශ්නය විසඳා ගනියි.

වසංගතය නොතිබුණානම් මේ ආණ්ඩුව කරගෙන ගිය වැඩ පිළිවෙළ අනුව 2020 අවසානයේදී තත්ත්වය අඩු වශයෙන් පෙනුමට හෝ තිබුණාට වඩා හොඳින් තියෙයි. හැබැයි වසංගතය නොතිබුණත් මේ වෙද්දී තත්ත්වය දැන් තරමටම හෝ ඒ කිට්ටුවටම නරක් වෙන එක වලක්වන්න බැහැ. ණය අරගෙන ආර්ථිකය පිම්බවීමේ සීමාවක් තියෙනවා. ඊට පස්සේ වෙන්නේ ගෙම්බට වෙච්ච දේ. 

ඔය ඔක්කොම මේ වෙද්දී අතීතය. වඩා වැදගත් ඉදිරියට වෙන්නේ මොකක්ද කියන එකයි. මේ අවුරුද්දේ ඉදිරි මාස වල කුමක් වෙයිද?

අපි හිතමු අපනයන ආදායම 2021ට සාපේක්ෂව 2022දී 5%කින්ම ඉහළ ගියා කියලා. ඒ කියන්නේ ඩොලර් 13,127ක් ලැබෙනවා. මේ විදිහටම ආනයන වියදමත් 5%කින් ඉහළ ගියොත් අනෙක් පැත්තට ඩොලර් 21,669ක් යනවා. 5% ටිකක් වැඩි වගේ පෙනුනත් මේ ගණන ගත්තේ ඇමරිකාවේ මේ වන විට දැකිය හැකි ඉහළ උද්ධමනය සලකලා. යුක්‍රේනයේ තත්ත්වය දිග්ගැසුනොත් ආනයන වල යම් අඩුවීමක් විය හැකියි වගේම තෙල් මිල ඉහළ ගොස් අපනයන වියදම් ඉහළ යන්නත් පුළුවන්. 

පසුගිය වසරේ අවසන් මාස හතර ඇතුළත ශ්‍රමික ප්‍රේෂණ සේ ලැබී තියෙන්නේ ඩොලර් මිලියන 1,267ක් පමණයි. ඒ අනුපාතයට බැලුවොත්, 2021දී ශ්‍රමික ප්‍රේෂණ සේ ලැබිය හැක්කේ ඩොලර් මිලියන 3,800ක් පමණයි. ඒ කියන්නේ වසර තුළ ආනයන, අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ එකතුවෙහි ඩොලර් මිලියන 4,742ක හිඟයක් හැදෙනවා. සංචාරක කර්මාන්තයේ යම් හිස එසැවීමක් සිදුවීම නිසා සේවා ගිණුමෙන් ඩොලර් මිලියන 1,496ක අතිරික්තයක් ලැබෙයි කියා හිතමු. මෙය 2020 තත්ත්වයේ සිට 2019 තත්වයෙන් තුනෙන් එකක් දක්වා ආපසු ගමන් කිරීමක්. තව ඩොලර් මිලියන 3,246ක් හිඟයි. ඕකට ණය පොලී ගෙවීම්, පෞද්ගලික ප්‍රේෂණ ආදිය එකතු කළ විට ජංගම 2022 ගිණුමේ හිඟය ඩොලර් බිලියන 5.5-6.0 මට්ටමකට ඉහළ යා හැකියි. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 500ක පමණ මුදලක්. දැඩි ආනයන සීමා දැම්මත් ඔය හිඟය මාසයකට ඩොලර් මිලියන 350ක පමණ මට්ටමකත් යන එක වලක්වන්න අමාරුයි. 

මීට අමතරව පරණ ණය වල වාරිකත් ගෙවන්න වෙනවා. ඉදිරි මාස 11 තුළ ඩොලර් බිලියන 4.5ක පමණ ණය වාරික ගෙවන්න තිබෙනවා. ආසන්න වශයෙන් මාසයකට ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක්. ඒ කියන්නේ, අවම වශයෙන් මාසයකට ඩොලර් මිලියන 750ක පමණ මුදලක් අළුතෙන් ණයට ගන්න බැරිනම් සංචිත විකුණන්න වෙනවා කියන එකයි. සංචිත වලින් ඇදගන්න පුළුවන් වැඩිම වුනොත් මාස තුනයි. සංචිත වලින් සැලකිය යුතු කොටසක්ද චීන යුවාන් නිසා ඒ කොටසින් කළ හැක්කේ චීන ආනයන වෙනුවෙන් හා චීන ණය වෙනුවෙන් මුදල් ගෙවන එක පමණයි. ඒ කියන්නේ අලුත් ණය නොලැබුණොත් මාසයක් හෝ දෙකක් ඇතුළතම වුනත් හිරවෙන්න පුළුවන් කියන එකයි.

ඉන්දියාව වගේ රටකට ලංකාවට උදවු කරන්න පුළුවන්. හැබැයි ඉන්දියාව ඩොලර් බිලියනයක් ණයට දුන්නත් එයින් ප්‍රශ්නය කල් දමාගත හැක්කේ මාස එකහමාරක් වැනි කාලයකට පමණයි. බිලියන දෙකක් දුන්නොත් මාස තුනකට පමණ ප්‍රශ්නය කල් දාගන්න පුළුවන්. ඉන්දියාව කොයි තරම් දුරකට උදවු කරයිද? 

මම හිතන විදිහට මේ වෙද්දී ආණ්ඩුව ලොකු ටෝක් ආපහු ගිලගන්න වෙන සීමාවට ඇවිත්. 

Saturday, February 26, 2022

අච්චු ගහපු සල්ලි මා ළඟයි!


උද්ධමනයට හේතු වෙන්නේ මුදල් සැපයුම ඉහළ යාම බව මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් න්‍යායාත්මකව පමණක් නෙමෙයි අත්දැකීමෙන්ම දන්නවා. පසුගිය ජනවාරි මාසයේදී ලංකාවේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 14.2% දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 16.8% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ විදිහට උද්ධමනය ඉහළ යාම කොතැනකින් නවතියිද?

ඊට පෙර ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් ලෙස, පසුගිය වසර දෙකක කාලය තුළ ලංකාවේ මුදල් සැපයුම කොපමණ ඉහළ ගිහින්ද?

ලංකාවේ මුදල් සැපයුම මනින නිර්ණායක කිහිපයක්ම තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවේ හෝ වෙනත් රටක මුදල් සැපයුම ගැන කරන කතාබහක් ආරම්භ කළ යුත්තේ සංචිත මුදල් වලින්. සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුවේ වගකීම්. මහ බැංකුව විසින් අච්චු ගසා කෙළින්ම සංසරණයට එකතු කරන මුදල්. සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යාමයි. මුදල් පදනම, පාදක මුදල්, M0 ආදී නම් වලින් හැඳින්වෙන්නේත් මේ සංචිත මුදල්මයි.

පසුගිය දෙවසර තුළ, එනම් 2019 අවසානයේ සිට 2021 අවසානය දක්වා කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 932.6 සිට රුපියල් බිලියන 1,305.8 දක්වා 40.0%කින් ඉහළ ගොස් තිබෙනවා. 

රටක මහ බැංකුව විසින් "අච්චු ගහන" මුදල් ප්‍රමාණය එම රටේ වාණිජ බැංකු පද්ධතිය විසින් ගුණනය කිරීමක් කරනවා. එකම රුපියල නැවත නැවත කිහිප දෙනෙකුට ණයට දීම හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තුළ මහ බැංකුව විසින් අච්චු ගහන එක රුපියලක් රුපියල් කිහිපයක් බවට පත් වෙනවා. මෙය හැඳින්වෙන්නේ මුදල් මැවීම ලෙසයි. මුදල් සැපයුම ලෙස හැඳින්වෙන්නේ මේ අයුරින් ගුණනය වූ සංචිත මුදල් ප්‍රමාණයයි. එයට මහ බැංකුවේ වගකීම් මෙන්ම වාණිජ බැංකු වල වගකීම්ද ඇතුළත් වෙනවා.

ලංකාවේ මුදල් සැපයුම මනින M1, M2 හා M2b ලෙස හැඳින්වෙන නිර්ණායක තුනක් තිබෙනවා. M1 යන්න පටු මුදල් සැපයුම ලෙසද හැඳින්වෙනවා. එයට සංසරණයේ ඇති නෝට්ටු හා කාසිත්, වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ජංගම ගිණුම් තැන්පතුත් ඇතුළත්. පුළුල් මුදල් සැපයුම ලෙස හැඳින්වෙන M2 හා M2b නිර්ණායක වලට මීට අමතරව පුද්ගලයින් විසින් වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ඉතිරි කිරීම් ගිණුම් වල හා ස්ථිර තැන්පතු වල තිබෙන මුදල්ද ඇතුළත් වෙනවා. 

විශාල වෙනසක් නැති, M2 හා M2b අතර තිබෙන වෙනස වන්නේ M2 වලට රුපියල් තැන්පතු පමණක් ඇතුළත් වන නමුත් M2b වලට විදේශ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යන ගිණුම් වල තිබෙන තැන්පතුද ඇතුළත් වීමයි. ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ නිර්ණායක අතරින් හොඳම නිර්ණායකය ලෙස සැලකෙන්නේ M2b පුළුල් මුදල් සැපයුමයි. මීට අමතරව, වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතන වල පවත්වා ගෙන යන තැන්පතුද ඇතුළත් වඩාත් පුළුල් M4 නම් නිර්ණායකයක්ද ඇතත් එය භාවිතා කෙරෙන්නේ අඩුවෙන්. 

පසුගිය දෙවසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 40.0%කින් වැඩි වීමට අනුරූපව M1, M2 හා M2b යන මුදල් සැපයුම් නිර්ණායක තුනමද ඉහළ ගොස් තිබෙනවා. එම කාලය තුළ M1 මුදල් සැපයුම රුපියල් බිලියන 865.5 සිට රුපියල් බිලියන 1,459.9 දක්වා 68.7%කින්ද, M2 මුදල් සැපයුම රුපියල් බිලියන 6,912.7 සිට රුපියල් බිලියන 9,638.9 දක්වා 39.4%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වඩා වැදගත් M2b මුදල් සැපයුම රුපියල් බිලියන 7,624.1 සිට රුපියල් බිලියන 10,647.3 දක්වා 39.7%කින් ඉහළ ගොස් තිබෙනවා.

කවර නිර්ණායකය අනුව බැලුවත් දෙවසරක් තුළ මුදල් සැපයුම 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. මේ අයුරින් මුදල් සැපයුම ඉහළ ගියත් රටේ මුදල් ඉල්ලුමද නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් අනුරූපී ලෙස ඉහළ ගොස් ඇත්නම් මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන්නේ නැහැ. 2020 වසර තුළ රටේ ආර්ථිකය 3.6%කින් හැකිළුනා. 2021 වසර තුළ ආර්ථිකය 3.6%කින් වර්ධනය වීයැයි උපකල්පනය කළද සමස්තයක් ලෙස දෙවසරක කාලය තුළ රටේ නිෂ්පාදනයෙහි වෙනසක් වී නැහැ. ඒ නිසා, මේ අයුරින් 40%කින් පමණ මුදල් සැපයුම ප්‍රසාරණය වීමේ උද්ධමනකාරී බලපෑම වැළැක්විය නොහැකියි. 

පසුගිය දෙවසරක කාලය තුළ (2021 දෙසැම්බර් දක්වා) කොළඹ පාරිභෝගික මිල දර්ශකය 16.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය 19.3%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, මුදල් සැපයුමේ ඉහළ යාමට අනුරූපව මිල මට්ටම් තව දුරටත් 20-25% පමණ ප්‍රමාණයකින් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. තවත් මාස තුන හතරක් යද්දී උද්ධමනය 20% මට්ටම ඉක්මවිය හැකියි. ඒ සමඟම, එයට අනුරූපව විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වඩාත්ම වැදගත් ප්‍රශ්නය මේ වසර තුළ හා ඉදිරි වසර කිහිපය තුළ මුදල් සැපයුම කොයි තරම් දුරකට පාලනය කර ගත හැකිද කියන එකයි. තව දුරටත් මුදල් සැපයුම විශාල ලෙස ඉහළ නොගියහොත් උද්ධමනය 25% පමණ මට්ටමකට ඉහළ ගොස් ඉන් පසු ක්‍රමයෙන් අඩු වෙයි. එහෙත්, සල්ලි අච්චු ගැහිල්ල තව දුරටත් ඉහළ ගියොත් ලංකාවත් වැටෙන්නේ සිම්බාබ්වේ පාරටයි.

බදු වැඩි කර රජයේ ආදායම් වැඩි කර නොගන්නේනම් හා රජයේ වියදම් සැලකිය යුතු ලෙස අඩු කර නොගන්නේනම් විශාල අයවැය පරතරයක් පියවීමේ ප්‍රශ්නයට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුව මේ වෙද්දී ආදායම් වැඩි කර ගැනීමට හා වියදම් සීමා කිරීමට යම් උත්සාහයන් දරමින් සිටින නමුත් ඒ අතරම එම අරමුණු වලට හාත්පසින්ම එරෙහි දේවල්ද කරනවා. පොලී අනුපාතික දැනට පවතින සීමාවේ නඩත්තු කරමින්, සල්ලි අච්චු නොගසා රජයේ අයවැය හිඟය පියවා ගත හැක්කේ සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක්ද රජයට ලැබෙන්නේනම් පමණයි. ඒ නිසා, ඉදිරි කාලයේදී රටේ උද්ධමනය පාලනය කිරීම සඳහාද විදේශ ණය නැතුවම බැහැ. 

Friday, February 25, 2022

වසංගත කළුවර හා ඉන්දියාවේ සංචිත


ලංකාවට ආර්ථික අර්බුදයක් එයි කියලා ගොඩක් අය බලාගෙන හිටියත් තවමත් එහෙම දෙයක් වෙලා නැහැ. ආණ්ඩුව මොන විදිහට හරි ආර්ථිකය කළමනාකරණය කර ගන්නවා. දවසේ පැය දහ අටකටත් වැඩි කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව ලංකාවේ ගෙවල් වලට විදුලි බලය ලැබෙනවා. සමහර අයනම් ලයිට් තියෙන පැය ගණන ගැන කතා නොකර අශුභවාදී ලෙස ලයිට් නැති පැය ගාණ ගැන කතා කරනවා. ඇමරිකාවේ වුනත් ගෙවල් වලට විදුලි බලය සපයන්නේ වැඩිම වුනොත් දවසකට පැය විසිහතරයි. අවුරුද්දකට එක දවසක් විතරක් පැය විසි පහක්ම විදුලි බලය සපයනවා. එහෙම බැලුවහම පැය දහ අටක් විදුලි බලය ලැබෙනවා කියන්නේ නරක තත්ත්වයක් නෙමෙයි.

ආර්ථික අර්බුදයක් නැතත් කෝවිඩ් නිසා ලංකාවට පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. කෝවිඩ් ප්‍රශ්නයනම් දැන් ඉවර වේගෙන යනවා. සමහර විට ඉදිරි කාලයේදී ලංකාවට රුසියානු-යුක්‍රේන ප්‍රශ්නය නිසා යම් යම් ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ දුර දිග නොගියොත් වෙන මොකක් හරි අලුත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ආර්ථික අර්බුදයක්නම් එන එකක් නැහැ.

ලංකාව සතුව තවමත් ඩොලර් 2,360.6ක නිල සංචිත තිබෙනවා. තවමත් කිවුවත් ඔය ප්‍රමාණය තිබුණේ ජනවාරි අන්තිමට. තවම ඔය ඩොලර් ටික තිබෙනවා කියා අපි හිතමු. වෙන දෙයක් නොකළොත්, ඔය ඩොලර් ටිකෙන් මාස හයක පමණ කාලයක් ලංකාවට අවශ්‍ය තෙල් මිල දී ගන්න පුළුවන්. ඒකම මදිද? 

කෝවිඩ් කාලයේ ලංකාවේ නිල සංචිත විශාල ලෙස අඩු වුනත්, කලාපයේ අනෙක් රටවල් වල වුනේ එහි අනෙක් පැත්ත. 2019 අවසාන වන විට ඉන්දියාව සතුව තිබුණේ ඩොලර් බිලියන 450ක පමණ නිල සංචිත ප්‍රමාණයක්. මේ වන විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 630ක් පමණ දක්වා ඉහළ ගිහින්. 

ඉන්දියාවත් කලකට පෙර විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් රටක්. 1991 වසරේදී ඉන්දියාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.8 දක්වා පහත වැටුණා. ඒ වෙද්දී ඉන්දියාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.8ක්. ඒ කියන්නේ, විදේශ සංචිත ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණයෙන් 7% මට්ටම දක්වා පහත වැටී තිබුණා. දැන් ලංකාවේ තත්ත්වය තරම්ම නරක තත්ත්වයක් නොවුනත් ඊට කිට්ටු තත්ත්වයක්. මේ වන විට ලංකාව සතු නිල සංචිත ප්‍රමාණය රටේ විදේශ ණය වලින් 5%කටත් වඩා අඩුයි. 

ඉන්දියාව සමාජවාදය අත හැරියේ ඔය කාලයේදී. එතැන් පටන් ඉන්දියාව දිගු ගමනක් ඇවිත් තිබෙනවා. පසුගිය වසරේ ජූනි අවසාන වෙද්දී ඉන්දියාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 571.3ක්. දදේනියෙන් 20.2%ක්. මේ මුළු රටේම විදේශ ණය. රටින් පිට ජීවත්වන ඉන්දියානුවන්ගේ බැංකු තැන්පතු ආදියත් ඔය ගොඩේ තිබෙනවා. ඉන්දියානු රජයේ විදේශ ණය ප්‍රමාණයනම් ඩොලර් බිලියන 106.9ක් පමණයි. ඒ කියන්නේ දදේනියෙන් 3.8%ක් පමණයි. කොහොම වුනත් වැදගත් කරුණ මේ වෙද්දී ඉන්දියාව සතුව මුළු රටේම විදේශ ණය ප්‍රමාණයටත් වඩා වැඩි නිල සංචිත ප්‍රමාණයක් තිබෙනවා. 

කාලයක සිටම ඉන්දියානු සංචිත බැංකුව විසින් ඉන්දියාවට ගලා එන ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගනිමින් ඉන්දියානු රුපියල ශක්තිමත් වෙන්න නොදී දුර්වල මට්ටමක පවත්වා ගන්නවා. 2019 ආරම්භ වන විටද ඉන්දියාව සතුව තිබුණේ ඩොලර් බිලියන 396ක නිල සංචිත ප්‍රමාණයක් පමණයි. අවුරුදු දෙකහමාරක් ගොස් 2021 මැද වන විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 600 පන්නලා. ඒ කියන්නේ වසංගත කාලය ඇතුළත ඉන්දියානු සංචිත බැංකුව විසින් ඩොලර් බිලියන 200කටත් වඩා මිල දී අරගෙන. 

පසුගිය වසර අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉන්දියාවට දැනුම් දුන්නේ මේ ආකාරයෙන් සංචිත මිල දී ගැනීම සීමා කළ යුතු බවයි. ඊට පෙර ඇමරිකාව පැත්තෙන්ද මේ පිළිබඳව විවේචන එල්ල වී තිබුණා. නව ලිබරල් ප්‍රතිපත්ති ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වන ආර්ථික ප්‍රතිපත්ති අනුව ඉන්දියාව මෙවැනි මැදිහත් වීමක් නොකළ යුතුයි. එහෙත්, මෑතකදී ආර්ථික ප්‍රාතිහාර්ය පෑ චීනය හා සිංගප්පූරුව වැනි රටවල් විසින් අනුගමනය කළේද මේ ක්‍රමයයි. 

සංචිත එකතු කරමින් විණිමය අනුපාතය දුර්වල කර තබා ගැනීම එසේ කරන රටට වාසිදායක වුවත් ගනුදෙනු කරන අනෙකුත් රටවලට අවාසිදායකයි. චීනය හා ඇමරිකාව අතර හොඳ හිත පළුදු වීමටද මේ කරුණ හේතු වුනා. සිංගප්පූරුව වැනි කුඩා ආර්ථිකයක් මේ ක්‍රමය අනුගමනය කරද්දී ඇමරිකාව වැනි රටකට එහි පාඩුව නොදැනෙන නමුත් චීනය හෝ ඉන්දියාව වැනි විශාල ආර්ථිකයක් ඇති රටක් මෙවැන්නක් කරද්දී ඇමරිකාවට වුවත් පාඩුව දැනෙනවා.

චීනයට කාලයක් තිස්සේ ලංකාව වැනි රටවල ආයෝජනය කිරීමට "උණක්" හැදෙන්න හේතුව මේ විදිහට ඩොලර් සංචිත විශාල ලෙස ගොඩ ගැහීමයි. මේ වෙද්දී ඉන්දියාවටත් ඒ ප්‍රශ්නයම ඇති වී තිබෙනවා. අපනයන තරඟකාරිත්වය පවත්වා ගන්නනම් ඉන්දියානු රුපියල අධිප්‍රමාණය වීම පාලනය කර ගත යුතුයි. එය කිරීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් ඉවත් කරද්දී සංචිත ගොඩ ගැහෙනවා. එසේ එකතු වන ඩොලර් වලට මොනවා හෝ කළ යුතුයි. මේ කරුණ මේ වෙලාවේ ලංකාවේ වාසියට (හෝ අවාසියට) හේතු වී තිබෙනවා.

භූ දේශපාලනය පැත්තකින්ම තිබ්බත්, මේ වෙලාවේ ලංකාවට ණයට ඩොලර් ටිකක් දෙන එකේ ආර්ථික වාසිම වුවත්, ගණනාවක් ඉන්දියාවට තිබෙනවා. ඉන්දියාවට ගොඩ යන්න, චීනය කළා වගේ, ඉන්දියානු රුපියලේ අගය පහළින් තියා ගන්න ඕනෑ (ඩොලරයක මිල ඉහළින් තියා ගන්න ඕනෑ). හැබැයි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අවුල් නොකර ඔය වැඩේ කරන්නත් ඕනෑ. මේක කරන්න පුළුවන් එක ක්‍රමයක් වන්නේ දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා අතරම ඒ ඩොලර් ණය ලෙස හෝ ආයෝජන ලෙස වෙන රටකට දෙන එක. එවිට රටේ විදේශ වත්කම් ඉහළ යන නමුත් නිල සංචිත ඉහළ යන්නේ නැහැ. ඉන්දියානු රුපියල ශක්තිමත් වෙන එකත් වලකිනවා.

ඊට අමතරව මේ වැඩේ ලාබයි. සංචිත ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා දැනෙන තරමේ පොලියක් ලැබෙන්නේ නැහැ. ලංකාව වගේ රටක ආයෝජනය කරලා ඊට වඩා ලොකු පොලියක් ගන්න පුළුවන්. එයින් ලැබෙන දේශපාලන වාසි අමතර බෝනස් එකක්!

කොහොම වුනත්, ඉන්දියන් කාරයෙක් රුපියලක් වුනත් වියදම් කරන්න කලින් කොයි තරම් හිතනවද කියන එක කවුරුත් වගේ දන්නවනේ. කොහොමටත් ලැබෙන වාසි වලට තවත් වාසි එකතු කර ගන්න පුළුවන්නම් නොකරන්නේ කවුද? ඉන්දියාවෙන්ම ආනයන කිරීමේ කොන්දේසිය මත ණය දුන්නහම එක ගලෙන්ම තවත් කුරුල්ලෙක්!

ඔය ලයිට් කැපිල්ල වැඩි කාලයක් තියෙන එකක් නැහැ. ආණ්ඩුව ප්‍රශ්නය විසඳයි. පෝර සහනාධාරෙත් නවත්තලා, හාලුත් අන්තිමට පිටරටින් ගෙනල්ලා, කාබනික උන්මාදයත් නවත්තන එක ඕනෑ ගොනෙකුට කළ හැකිව තිබුණු දෙයක්ද? මාස කීපයක් ලයිට් නැතුව ඉඳලා එපා වුනාට පස්සේ ආයේ ලයිට් එනවානම් ඒ එන්නේ තූත්තුකුඩියෙන් වුනත් මොකද? මොන විදිහකින් හරි රටට අවශ්‍ය විදුලි බලය ලැබුණට පස්සෙවත් එළකිරි වගේ ලංකාවේ "ටියුබ් ලයිට්" ටික පත්තු වෙනවානම් එච්චරයි!

Wednesday, February 23, 2022

ඇමරිකාවට ආවහම ඉංග්‍රීසි පුළුවන් වෙනවද?

ඇමරිකානුවෙක් කිවුවහම බොහෝ දෙනෙකුගේ හිතේ මැවෙන්නේ ඇමරිකානු උච්ඡාරණයෙන් චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන, ක්‍රිස්තියානි ආගමක් අදහන, සුදු ජාතිකයෙක්. ගොඩක් ඇමරිකානුවෝ ඔය වගේ අය වුනත් හැම ඇමරිකානුවෙක්ම ඔය වගේ අය නෙමෙයි. ඇමරිකානුවන් කියා කියන්නේ සුදු ජාතිකයින් පමණක් නොවන බවත්, විවිධ ආගම් අදහන අය බවත් පෙන්වන්න ඇමරිකානු රජය වගේම ඇමරිකානු මාධ්‍ය විසින්ද සැලකිය යුතු උනන්දුවක් දක්වනවා. හැබැයි භාෂාව සම්බන්ධව ඔය උනන්දුව ඒ තරම් පෙනෙන්න නැහැ. 

සමහර විට ඇමරිකාව කියන වියමන එකලස්ව තියා ගන්න ආගම, හමේ පැහැය වගේ දේවල් වැදගත් නොවුනත් භාෂාව වැදගත් කියා ඇමරිකානු රජය ඇතුළු ඇමරිකාවට මග පෙන්වන්නන් විසින් හිතනවා වෙන්න පුළුවන්. ඇමරිකානු ඉතිහාසය දිහා බැලුවොත් ඇමරිකාවට සංක්‍රමණය වූ විවිධ භාෂා කතා කළ අයගෙන් පැවත එන්නන් ක්‍රමයෙන් ඉංග්‍රීසි කතා කරන්නන් බවට පත් වී ඇති බව පේනවා. මේ වැඩේ දැනුත් වෙනවා.

කොහොම වුනත් ඇමරිකාවේ හැම ගෙදරක්ම ඉංග්‍රීසි කතා කරන ගෙදරක් නෙමෙයි. අවුරුදු පහට වැඩි සෑම ඇමරිකානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ගෙදරදී කතා කරන්නේ වෙනත් භාෂාවක්. 


ඇමරිකාවේ දෙවන ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ භාෂාවයි. 2018 වසරේදී නිවසේදී ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කළ ඇමරිකානුවන් 67,268,668 දෙනෙකු අතරින් (ජනගහණයෙන් 21.9%ක්), 41,460,427 දෙනෙකු විසින් කතා කළ භාෂාව වූයේ ස්පාඤ්ඤ භාෂාවයි. 

ඇමරිකාවේ චීන හා ඉන්දියානු භාෂා කතා කරන පිරිස ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. 2018 වසරේදී මැන්ඩරින් බස කතා කළ ඇමරිකානුවන් ප්‍රමාණය 3,471,604ක්. මීට අමතරව තගලොග් (පිලිපීන), වියට්නාම්, අරාබි, ප්‍රංශ, කොරියන් යන එක් එක් භාෂා කතා කරන ඇමරිකානුවන් ප්‍රමාණයද මිලියනයකට වඩා වැඩියි. ඉන්දියානු භාෂා අතරින් 874,314 දෙනෙකු හින්දි බසත්, 485,373 දෙනෙකු උර්දු බසත්, 419,164 දෙනෙකු ගුජරාටි බසත්, 400,186 දෙනෙකු තෙලිඟු බසත්, 375,143 දෙනෙකු බෙංගාලි බසත්, 315,987 දෙනෙකු පන්ජාබි බසත්, 308,857 දෙනෙකු දෙමළ බසත් ගෙදරදී කතා කරනවා. 

වසර විස්සකට පමණ පෙර මිලියනයකට වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් විසින් කතා කළ ඉතාලි හා ජර්මන් භාෂා භාවිතය මෙන්ම ප්‍රංශ භාෂාව කතා කරන ඇමරිකානුවන් ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වෙමින් යන නමුත් ආසියානු භාෂා කතා කරන ප්‍රමාණයනම් වැඩි වනු මිස අඩුවන බවක් පෙනෙන්න නැහැ.

ඇමරිකානුවන් 39,538,223ක් (11.91%ක්) ජීවත් වන කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනගහණයෙන් 45%ක්ම ගෙදරදී කතා කරන්නේ ඉංග්‍රීසි නොවන භාෂාවක්. ඇමරිකානුවන් 29,145,505ක් (8.74%ක්) ජීවත් වන ටෙක්සාස් ප්‍රාන්තයේ ජනගහණයෙන් 36%කුත්, ඇමරිකානුවන් 21,538,187ක් (6.47%ක්) ජීවත් වන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජනගහණයෙන් 30%කුත්, ඇමරිකානුවන් 20,201,249ක් (5.86%ක්) ජීවත් වන නිවුයෝර්ක් ප්‍රාන්තයේ ජනගහණයෙන් 31%කුත් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඇමරිකානු ජනගහණයෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ ඔය ප්‍රාන්ත හතරෙන් එකක. 

ලංකාවෙන් පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් පැලපදියම් වන්නේත් ජනගහණය වැඩි කැලිෆෝර්නියා, ටෙක්සාස්, ෆ්ලොරිඩා, නිවුයෝර්ක් වැනි ප්‍රාන්ත වලයි. එම ප්‍රාන්ත වල වුවද ප්‍රධාන නගර සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ විශාලම නගර වන ලොස් ඇන්ජලීස්හි ජනගහණයෙන් 59%ක්, නිවු යෝර්ක් නගරයේ ජනගහණයෙන් 49%ක් හා හූස්ටන් ජනගහණයෙන් 50%ක් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. 

ගෙදරදී ඉංග්‍රීසි කතා නොකරන ඇමරිකානුවන් අතරින් මිලියන 25.6කටම (38%කටම), ඔවුන් සිතන පරිදි, හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකියි. මීට අමතරව තමන්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකියැයි සිතාගෙන සිටින තවත් සැලකිය යුතු පිරිසකටද ඇත්තටම හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකි විය හැකියි.

ලංකාව වැනි රටකින් ඇමරිකාවට සංක්‍රමණය වන අයෙකුට මුල් කාලයේදී ඇමරිකානු උච්ඡාරණය තේරුම් ගැනීම සැලකිය යුතු අභියෝගයක්. ලංකාවේ සිටියදී ඉතා හොඳින් හා නිතර ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කළ අයට පවා මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඇමරිකානුවන්ට තේරෙන සේ කතා කිරීම තවත් අභියෝගයක්.

ඇමරිකාවට පැමිණීමෙන් පසුව, ඇමරිකානු උච්ඡාරණයට කණ හුරු වෙන්න වැඩි කලක් යන්නේ නැහැ. එහෙත්, ජීවිත කාලයම ඇමරිකාවේ සිටියත්, බොහෝ සංක්‍රමණිකයන්ට තමන්ගේ ඉංග්‍රීසි උච්ඡාරණයනම් වෙනස් කර ගන්න අමාරුයි. ලංකාවේදී ඉංග්‍රීසි භාවිතයක් එතරම් නොතිබුණු කෙනෙකුට මේ වැඩේ සාපේක්ෂව පහසුයි. එවැනි අය ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නේම ඇමරිකානු උච්ඡාරණය සමඟයි. දෙමවුපියන් සමඟ කුඩා වයසෙන් ඇමරිකාවට සංක්‍රමණය වන දරුවන්ටත් මේ වාසිය තිබෙනවා.

රස්සාවක් කරගෙන ඇමරිකාවේ ජීවත් වීම සඳහා ඇමරිකානුවෙක් තරමට හොඳින් ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වලට වඩා වැදගත් කරන රස්සාව හරියට කරන එකයි. ඒ වැඩේට අවශ්‍ය තරමට ඉංග්‍රීසි පුළුවන් වීම හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා, ඇමරිකාවට ඇවිත් ස්ථාවර වුනාට පස්සේ සංක්‍රමණිකයෙක් තමන්ගේ භාෂා දැනුම ගැන එතරම් වද වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ සංක්‍රමණිකයින් වැඩි පැත්තකනම් මේක කොහොමටවත්ම ප්‍රශ්නයක් නෙමෙයි.

හැබැයි සංක්‍රමණිකයින් වැඩි පැත්තක ජීවත් වෙද්දී වෙන විදිහක භාෂා ප්‍රශ්නයක් මතු වෙනවා. ලංකාවෙන් එන අය ඇමරිකානුවන් මෙන් ඉංග්‍රීසි කතා කරන්නේ නැතුවාක් මෙන්ම වෙනත් රටවල් වලින් එන අය ඉංග්‍රීසි කතා කරන්නෙත් ඔවුන්ටම ආවේණික උච්ඡාරණයකින්. ඉන්දියානුවන්ගේ "ර්" ගැනනම් ගොඩක් අය දන්නවා ඇතිනේ. චීන්නුන්ට, රුසියානුවන්ට, යුදෙවුවන්ට ආදී වෙනස් භාෂාවක් මවු බස කරගත් අයටත් ඔය වගේ අමුතු උච්ඡාරණ තියෙනවා. ඇමරිකාවේ සංක්‍රමණිකයින් වැඩි පැත්තක මිනිස්සු එක්ක නිතර සම්බන්ධ වෙන රැකියාවක් කරන කෙනෙකුට ඔය හැම ජාතියේම අය එක්ක ගනුදෙනු කරන්න වෙන නිසා ඒ අයගේ ඉංග්‍රීසිත් තේරුම් ගන්න බැරිනම් ප්‍රශ්නයක්. ටික කලක් ඇමරිකාවේ ජීවත් වුනාට පස්සේනම් දුරකථන ඇමතුමක් ආ විට වුවත් මේ කතා කරන්නේ සුද්දෙක්ද, කල්ලෙක්ද, චීනෙක්ද නැත්නම් ඉන්දියානුවෙක්ද කියා හිතා ගන්න පුළුවන්. 

ඇමරිකාවේදී රස්සාවකට බඳවා ගැනීමේදී වුවත් ඉංග්‍රීසි දැනුම ගැන හොයා බලන්නේ අදාළ රස්සාව කරගෙන යන්න අවශ්‍ය වන අවම ඉංග්‍රීසි දැනුමට සාපේක්ෂව පමණයි. ඇමරිකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින් වැනි අයටනම් හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් නැතුවම බැරුවාක් මෙන්ම වෙනත් භාෂා දැන සිටීමද විශේෂ සුදුසුකමක් වෙනවා.


ඇමරිකාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය සේ පත්ව ඇවිත් සිටින ජුලී ජියූන් චුංට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයට අමතරව ස්පාඤ්ඤ, ජපන්, කොරියන් හා කමියර් (කාම්බෝජයේ භාෂාව) යන භාෂාද කතා කළ හැකියි. ජුලී ජියූන් චුං කොරියාවේ සියෝල් නුවර ඉපිද කුඩා කාලයේදී ඇගේ දෙමවුපියන් සමඟ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයට සංක්‍රමණය වූ තැනැත්තියක්. 

ජුලී ජියූන් චුංව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති සේ පත් කිරීමට යෝජනා කරන්නේ ජනාධිපති බයිඩන් විසින් වුවත්, ඒ ඇය බයිඩන්ගේ ඥාතියෙකු හෝ බයිඩන්ට කඩේ ගිය කෙනෙකු නිසා නෙමෙයි. ජුලී ජියූන් චුං ඇමරිකානු විදේශ සේවයෙහි අත්දැකීම් ඇති නිලධාරිනියක්. මෙවැනි තනතුරක් සඳහා ඇමරිකානු ජනාධිපති වරයාට නාම යෝජනා සිදු කළ හැකි වුවත්, එම නාම යෝජනා සෙනෙට් සභාවේ නාම යෝජනා කමිටුව විසින් අනුමත කළ යුතුයි. එසේ නැතුව තමන්ට අවශ්‍ය අයෙකු හිතුමනාපයට ලංකාව වැනි රටක තානාපති සේ පත් කර එවීමට හෝ බලයක් ඇමරිකානු ජනාධිපතිවරයාට නැහැ.

Tuesday, February 22, 2022

කනවැන්දුමීගේ වන්නම



කාලකන්නි ගෑණියේ, දැන් උඹට ලියුම හම්බ වෙලා ඇති 

මළ පැනල අඬල ඉවර වෙලා හූල්ලනවත් ඇති 

පට්ට වේසි පර බැල්ලි කියලා 

අපේ අම්ම මතක් කරලත් බනිනව ඇති 

මගේ පතුල්නං ආයෙ කවදාවත් රිංගන්නේ නැති 

පරණ සපත්තු දිහා බලාගෙන 

හවස තේ එක තනියම බොනව ඇති 

ග්‍රීස්මේ ගැන, කොරිංග කුලීකාරයෝ ගැන,

එපාම කරපු උණ රෝගෙ ගැන, 

තාමත් මට පෙන්නන්න බැරි ඉංග්‍රීසිකාරයෝ ගැන, 

අතෝරක් නැතිව කණිපින්දම් කිය කිය 

හරියට ගෙදර මම ඉන්නවයි කියල හිතාගෙන වගේ සාප කර කර 

මට බණින්නේ නැතිව, 

මගෙ අමාරුකං ගැන, රෑට පේන හීන ගැන, 

කන බොන දේවල් ගැන

උඹට ආයෙ කවදාවත් මතක් කරන්න බෑ කියලා 

මං දන්නව බං හොඳාකාරවම.


කාලකන්නි ගෑණියේ, 

ඇත්තම කියනවානම්,

කාත් කවුරුවත් නැතිව, තට්ට තනියම පාළුවේ, 

මම මහා දිග රැයක් ගෙවනවා.

ආයෙත් මම කාමරේක තනියම. 

කන්නෙ කඩෙන්, හීතල වෙච්ච කෑම 

කලිසම් කමිස බිම ගලෝල දාපු තැන් වල 

එල්ලන්ඩයි කියලත් බෝලකූඩුවක්වත් නෑ කාමරේ! 

බිත්තිත් පාලුයි, පින්තූරයක්වත් නෑ එල්ලන්න.

උඹව ආපහු ගෙන්නගන්න පුළුවන්නම් 

මගේ ආත්මයෙන් කොයි තරම් කෑල්ලක් මම දෙනවද?

මාස වල නම් මතක් වෙනකොටත් බයයි බං!

"ශිශිරය" කියන වචනය මූසල බෙර හඬක් වගෙයි.


උඹට පස්සේ හම්බ වෙයි 

පොල් ගහ ළඟ වලලපු පිහිය 

මට හිතුනා උඹ මාව මරයි කියලා 

උඹේ අත් වල බරට, කකුල් වල දිස්නෙට, පුරුදු වෙච්ච

කුස්සියේ වානේ තට්ටුවේ සුවඳ 

මට මේ දැන් නැතුවම ඉන්න බෑ බං!

තෙත පොළොවේ බීරි මුල් අස්සේ 

හැංගිලා ඉන්න ඒ අසරණයා 

දන්න එකම මනුස්ස බාසාව 

උඹේ නම විතරමයි!

පසාරු කරගෙන යන්න බැරි, දිවිය ලෝකේ දේවල් වලින් හදපු 

උඹේ නම ගැන කාෂ්ටක පොළොවට තේරෙන්නෙ නෑ බං! 


ඉර පායපු දවසක 

ඉර රැස් වගේම නොහෙල්ලී  

වැතිරී ඉන්න උඹේ කකුල් 

ගිලින්න බලාගෙන ඉන්න උඹේ නිදන, නලියන ඇස් 

බල්ලෙක් වගේ කඩා පනින්න බලාගෙන ඉන්න 

හදවතේ පැත්තක කැකෑරෙන කේන්තිය 

මතක් වෙනකොට හරිම වේදනාවයි බං!

මීට පස්සේ 

අපි දෙන්නට මැද්දෙන් 

තවත් ඉතිරි වෙලා තියෙන්නේ 

මැරිච්ච දේවල්ම විතරයි.

විනාස කරලා දාපු ලෝකයේ අළු දූවිලි 

හුළඟේ පාවෙලා ඇවිත් 

මගේ නාස් පුඩු වලින් රිංගනවා බං!

මින් පසු මට ඉතිරි වන්නේ 

දිගු, පාළු නිහැඬියාවක් පමණයි.


පරිස්සමෙන් මීපැණි වක්කරනවා වගේ,

රිදී කාසි හොල්ලනවා වගේ, දඟකාර ලෙස ගස්ස ගස්සා, 

කළුවරේ ගෙයි පිළිකන්නේ 

උඹ හුජ්ජ කරන සද්දේ අහන්න පුළුවන්කමක් ඇත්නම් 

මගේ ඇතුළාන්තයේ තාල 

මගේ ආත්මයෙන් ඇහෙන  කඩු හරඹ සද්දේ 

නැති වූ දේ හොයමින්, 

වෙන්ව ගිය අයගේ නම් කියා කෑ ගසමින්, 

මගේ නළලත තනිවී සිටින රීරි පරෙවියා   

කී පාරක්නං උඹව හොයා ගෙන ඇවිත්ද?


Tango del viudo - Pablo Neruda

Oh maligna, ya habrás hallado la carta,

ya habrás llorado de furia,

y habrás insultado el recuerdo de mi madre

llamándola perra podrida y madre de perros,

ya habrás bebido sola, solitaria, el té del atardecer

mirando mis viejos zapatos vacíos para siempre,

y ya no podrás recordar, mis enfermedades,

mis sueños nocturnos, mis comidas

sin maldecirme en voz alta como si estuviera allí aún,

quejándome del tròpico, de los coolíes corringhis,

de las venenosas fiebres que me hicieron tanto daño

y de los espantosos Ingleses que odio todavía.

 

Maligna, la verdad, qué noche tan grande, qué tierra tan sola.

He llegado otra vez a los dormitorios solitarios,

a almorzar en los restaurantes comida fría, y otra vez

tiro al suelo los pantalones y las camisas,

no hay perchas en mi habitación,

ni retratos de nadie en las paredes.

Cuánta sombra de la que hay en mi alma daría por recobrarte,

y qué amenazadores me parecen los nombres de los meses,

y la palabra "invierno", qué sonido de tambor lúgubre tiene.

 

Enterrado junto al cocotero hallarás más tarde

el cuchillo que escondí allí por temor de que me mataras,

y ahora repentinamente quisiera oler su acero de cocina

acostumbrado al peso de tu mano y al brillo de tu pie:

bajo la humedad de la tierra, entre las sordas raíces;

de los lenguajes humanos el pobre sólo sabría tu nombre,

y la espesa tierra no comprende tu nombre

hecho de impenetrables substancias divinas.

 

Así como me aflige pensar en el claro día de tus piernas

recostadas como detenidas y duras aguas solares,

y la golondrina que durmiendo y volando vive en tus ojos,

y el perro de furia que asilas en el corazòn,

así también veo las muertes que están entre nosotros desde ahora,

y respiro en el aire la ceniza y lo destruido,

el largo, solitario espacio que me rodea para siempre.

 

Daría este viento del mar gigante por tu brusca respiración

oída en largas noches sin mezcla de olvido

uniéndose a la atmòsfera como el látigo a la piel del caballo.

Y por oírte orinar, en la oscuridad, en el fondo de la casa,

como vertiendo una miel delgada, trémula, argentina, obstinada,

cuántas veces entregaría este coro de sombras que poseo,

y el ruido de espadas inútiles que se oye en mi alma,

y la paloma de sangre que está solitaria en mi frente

llamando cosas desaparecidas, seres desaparecidos,

substancias extrañamente inseparables y perdidas.

Sunday, February 20, 2022

ඇල්බොරාදා - පාන්දර ඇස ගැටුණු යුවතිය


හඳගමගේ ඇල්බොරාදා මේ දවස් වල ලංකාව පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය වෙනවා. අපටනම් මෙය නැරඹීමේ අවස්ථාවක් නැහැ. කවදා ලැබෙයිද දන්නෙත් නැහැ. ඕවා තමයි ඉතිං රටින් පිටව සිටීමේ පාඩු.

රටින් පිටව සිටීමේ පාඩු වගේම ලාබත් තිබෙනවා. ඇල්බොරාදා හදලා තියෙන්නෙත් ඒ වගේ "ලාබ" ගැන කතාවක් මත පදනම්වයි.

කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දේශපාලනය තුළ දුලබ දෙයක් නෙමෙයි. ඇතැම් දේශපාලනඥයින් මේ වැඩේ නිසා අවසානයේදී තමන්ගේ දේශපාලන ජීවිතයද විනාශ කර ගන්නා අවස්ථා පවා තිබෙනවා. මෙය පරිණාමික මනෝවිද්‍යාව තුළ බොහෝ සේ සාකච්ඡා වී තිබෙන කරුණක්. පරිණාමික මනෝවිද්‍යා න්‍යායකට අනුව, බලය හඹා යාමේ ප්‍රධාන අරමුණ වන්නේම කාන්තා ඇසුර ලැබීමේ අවස්ථා වැඩි කර ගැනීමයි. දේශපාලනය තුළ පිරිමින් වැඩි වශයෙන් දකින්න හැකි වී තිබෙන්නේත් මේ හේතුව නිසා.

දක්ෂිණාංශික දේශපාලනය තුළ මේ විදිහට බලය අපහරණය කිරීමක් සිදු වන අවස්ථා වලදී වාමාංශික දේශපාලනඥයින් විසින් එය මුදල් සමඟ සම්බන්ධ කරමින් විග්‍රහ ඉදිරිපත් කරනවා. දක්ෂිණාංශික දේශපාලනය තුළ මුදල් හා බලය අතර දැකිය හැකි සහසම්බන්ධය නිසා මෙවැන්නක් පෙන්වන්න පහසුයි. එහෙත්, කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දක්ෂිණාංශික මෙන්ම වාමාංශික දේශපාලනය තුළද හොඳින් නිරීක්ෂණය වන දෙයක්. වාමාංශික දේශපාලනය තුළ ඇතැම් විට මේ තත්ත්වය වඩා වැඩි වෙන්න පුළුවන්.

වාමාංශික දේශපාලනය තුළ බලය හා මුදල් අතර සම්බන්ධය යම් තරමකින් කැඩෙනවා. ඒ වෙනුවට, "මානුෂික සබඳතා" කියන වචනය ආදේශ වෙනවා. ඔය වචනය ගොඩක් වෙලාවට වාමාංශික පිරිමි දේශපාලනඥයින් (සිවිල් බලයක් ගොඩනගා ගන්නා වාමාංශික කලාකරුවන් වැනි අයද ඇතුළුව) විසින් කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම සඳහා යොදා ගන්නා දවටනයක්. දේශපාලනය කිරීමෙන් සල්ලි හොයන්න උත්සාහ නොකරන බොහෝ දේශපාලනයින් විසින් දේශපාලනය කිරීමේ සවිඥානික හෝ අවිඥානික අවසන් අරමුණ වන්නේ කාන්තා ඇසුර ලැබීම සඳහා ඉඩප්‍රස්තා වැඩි කර ගැනීමයි. මෙය තවමත් මිනිසුන්ව පාලනය කරන දඩයම් යුගයේ ජාන වල බලපෑමෙන් සිදුවන දෙයක්.

ස්පාඤ්ඤ බසින් ඇල්බොරාදා කියන එකට තියෙන්නේ උදේ පාන්දර කියන අර්ථය. මම හිතන්නේ චිත්‍රපටයේ නම ඇල්බොරාදා වෙන්නේ පාන්දර ඇස ගැටුණු යුවතිය වැනි අර්ථයකින්. යුවතිය ඇස ගැටෙන්නේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියෙකු වන පාබ්ලෝ නෙරුදාට. හැබැයි නොබෙල් තෑග්ග ලැබෙන්න ගොඩක් කලින් ලංකාවේදී. 

නෙරුදා සාහිත්‍යකරුවෙකු මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයෙකු හා කොමියුනිස්ට්වාදියෙකුද වෙනවා. ඔහු ලංකාවට එන්නේ චිලී රාජ්‍යයේ කොන්සල් වරයා ලෙසයි. ඇල්බොරාදා හදන්නට හඳගමට වස්තු බීජය වීයැයි මා සිතන සිදුවීම සිදු වන්නේ මේ කාලය තුළයි.

පහත තිබෙන්නේ මේ ගැන කලකට පෙර ලියා පළ කළ ලිපියක්. එම ලිපියෙහි නෙරුදාගේ ස්වයං ලිඛිත චරිතාපදානයෙහි එන (මා විසින් පරිවර්තනය කළ) ඇල්බොරාදා වස්තු බීජයට අදාළ කොටසද තිබෙනවා.

ලාංකික කතක් දූෂණය කළ නොබෙල් ත්‍යාගලාභියා

Saturday, February 19, 2022

කවුරුත් එන්නැති ආණ්ඩුවේ රස්සා


අපේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා විසින් දින දෙකකට පෙර ප්‍රාන්ත රජයේ සේවකයින් වෙනුවෙන් සහන පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, මින් පසුව ප්‍රාන්ත රජයේ සේවකයින්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කළ හැකියි. මෙය වසංගත කාලයේ මෙන් තාවකාලිකව කළ වෙනසක් නෙමෙයි. අනෙක් සහන මම එකිනෙක විස්තර කරන්න යන්නේ නැහැ. ඉහත කී සහන පැකේජය සමඟම, ප්‍රාන්ත රජයේ සේවය සඳහා සුදුසුකම් සහිත සේවකයෙකු "රැගෙන එන" අයෙකුට ඩොලර් 100 සිට 500 දක්වා පාරිතෝෂික මුදලක් ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා. 

ඇමරිකාවේ වෛද්‍යවරු, විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු, බැංකු, සමාගම් කොටස් අලෙවි කරන තැරැව්කාර සමාගම් ඇතුළු ඇතැම් පෞද්ගලික ආයතන බොහෝ විට ඔවුන්ට අළුත් පාරිභෝගිකයෙකුව හඳුන්වා දෙන අයට කිසියම් පාරිතෝෂික මුදලක් ලබා දෙනවා. මෙය කාලයක සිටම සිදුවන දෙයක්. දැන් අපේ ප්‍රාන්ත ආණ්ඩුවත් මේ වැඩේම කරන්නයි යන්නේ.

ප්‍රාන්ත ආණ්ඩුවට මේ වගේ දෙයක් කරන්න සිදු වී තිබෙන්නේ ආණ්ඩුවේ රස්සා විශාල ප්‍රමාණයක් ඇබෑර්තු වී ඇති නමුත් එම රැකියා සඳහා සුදුසුකම් ඇති අය අයදුම් නොකරන නිසයි. අපේ ප්‍රාන්තයේ ප්‍රාන්ත රජය විසින් නියම කළ අවම වැටුපක් නැහැ. ඒ නිසා, ෆෙඩරල් නීතිය අනුව අවම වැටුප වන පැයකට ඩොලර් 7.25 බැගින් ගෙවා සේවකයින් බඳවා ගත හැකියි. එහෙත්, මේ දවස් වල ඒ වැටුපට වැඩ කරන්න කාවවත් හොයා ගන්න බැහැ.

අපේ ප්‍රාන්තයේ ප්‍රාන්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පටන් ගන්නේ පැයකට ඩොලර් 13.21ක සිටයි. ප්‍රාන්ත රාජ්‍ය සේවකයෙකු සතියකට පැය 37.5ක් සේවය කළ යුතුයි. ඒ අනුව, වසරක වැටුප ආරම්භ වන්නේ ඩොලර් 25,766 සිටයි. ෆෙඩරල් රජයේ වැටුප් පටන් ගන්නේ වසරකට ඩොලර් 20,172 සිටයි. ෆෙඩරල් රජයේ සේවකයෙකු සතියකට පැය 40ක් සේවය කළ යුතුයි. මේ අනුව, පැයක වැටුප ආරම්භ වන්නේ ඩොලර් 9.67 සිටයි.

විරැකියා අනුපාතය ඉහළ මට්ටමක ඇති කාල වකවානු වලදී පැයකට ඩොලර් 13.21ක් ආකර්ශනීය වැටුපක්. එහෙත්, අපේ ප්‍රාන්තයේ විරැකියා අනුපාතය මේ වෙද්දී 2.7% තරම් පහළ මට්ටමකට බැහැලා. සුපිරි වෙළඳසැල් වල වැඩ කරන සේවකයින් වැනි අයටත් මේ දවස් වල පැයකට ඩොලර් 15ක පමණ වැටුපක් ලබා ගන්න පුළුවන්. එවැනි වැටුපක් නොගෙවා පුරප්පාඩු පුරවන්න බැහැ.

ලංකාවේ වගේම ඇමරිකාවෙත් ආණ්ඩුවේ රස්සා සුරක්ෂිතයි. ලොකු වැරැද්දක් නොකළොත් දිගටම රස්සාව කරගෙන ඉන්න පුළුවන්. වැඩ නොකර අයිස් ගහන්න හෝ කන්තෝරුවේ බඩු සාක්කුවේ දාගෙන ගෙදර ගේන්න වගේ දේවල්නම් කරන්න බැහැ. වැඩ කරන කාලයට කෑම පැය හෝ පැය බාගය අයිති නැහැ. අට පහ වැඩ කරන්න තෝරා ගන්නා කෙනෙකුට තමන් කැමති වෙලාවක තමන් කැමති පැය බාගයක් කෑමට ගන්න පුළුවන්. කැමතිනම් හත හමාරට වැඩට ගිහින් පැයක් කෑමට ගන්නත් පුළුවන්. ඔය දෙකම නොකර වැඩ කරන ගමන්ම මොනවා හෝ කන්නත් පුළුවන්. දවස් හතරෙන් පැය 37.5 ආවරණය කරලා දවසක් සතියේ දවස් පහෙන් දවසක් නිවාඩු ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. විශ්‍රාම වැටුපක් එහෙමත් තියෙනවා.

හැබැයි ඇමරිකාවේ ආණ්ඩුවේ රස්සාවක් කළා කියලා ඒකෙන් අමුතු සමාජ තත්ත්වයක් ආරෝපණය වෙන්නේ හෝ සිවිල් බලයක් ලැබෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේ රැකියාවකින් වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් බව පෙනෙන විට ආණ්ඩුවේ රස්සා කරන අය රස්සාව අත ඇරලා වෙන රස්සාවකට යනවා. ආණ්ඩුවේ රස්සා ඇබෑර්තු වෙනවා. වැටුප් අඩු නිසා මේ ඇබෑර්තු පුරවන්න අමාරුයි. ඒ නිසා, ඉතිරි වී ඉන්න අයට වැඩ වැඩි වෙනවා. ඒ අයත් අස් වෙලා යන්න පෙළඹෙනවා. දැන් අපේ ප්‍රාන්තයේ තත්ත්වය ඔන්න ඔය වගේ. 

එහෙමයි කියලා ආණ්ඩුව සේවක වැටුප් වැඩි කරන්නේ නැහැ. අපේ ප්‍රාන්ත රජයේ වගේම ෆෙඩරල් රජයේත් සේවකයින් සියලු දෙනාම ඇතුළත් එක් වැටුප් ක්‍රමයක් තිබෙනවා. වැඩි කරනවානම් ඒ වැටුප් ක්‍රමයම සංශෝධනය කළ යුතුයි. එහෙම නැතුව පුරප්පාඩු පුරවන්න පුළුවන් රැකියා වල වැටුප් පමණක් වැඩි කරන්න බැහැ. වැටුප් ක්‍රමයම සංශෝධනය කරන්න යනවානම් වැඩිවන වියදම හොයා ගත හැකි ක්‍රමයකුත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ බදු වැඩි කරන්න වෙනවා. බදු වැඩි කිරීම සඳහා මහජන කැමැත්ත අවශ්‍යයි. ප්‍රාන්ත රජය හිතුමතේට බදු වැඩි කරන්නේ හෝ බදු ආදායම් ඉක්මවා වියදම් කරන්නේ නැහැ.

පසුගිය වසරේදී, වසංගතය අස්සේ වුනත්, අපේ ප්‍රාන්ත රජයේ බදු ආදායම් වලින් සියලු වියදම් වලින් පසුව යම් මුදලක් ඉතිරි වී තිබෙනවා. එම මුදල එක් අයෙකුට ඩොලර් 125 බැගින් බෙදා දීමට නියමිතයි. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...