වෙබ් ලිපිනය:

Tuesday, May 9, 2017

සුරා පෝලිමට නොගිය වේපචිත්තිගේ පුතා


සිංහල මාස ආරම්භ වන්නේ අමාවක පෝයෙන් පසුව එළැඹෙන පුර පෑලවියෙනි. මේ අනුව, පසළොස්වක පෝය යෙදෙන්නේ මාසයේ මැද, පහළොස්වන දවසේය. අද මෙන් කෘතීම ආලෝකය නොතිබුණු පෙර කාලයේ, රාත්‍රී කාලයේද හොඳින් එළිය ඇති පසළොස්වක පෝය දවස උත්සව කටයුතු සඳහා වඩා යෝග්‍ය දවසක් විය.

රන් රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ

බිනර මාසය බක් මාසයේ සිට හයවන මාසයයි. බිනර මාසයේ මැද පායන්නේ බිනර පුර පසළොස්වක හඳයි. මේ හඳ සාමාන්‍යයෙන් සිංහල අවුරුද්දෙන් පසුව පායන පස්වන අලුත් හඳෙන් පසු පායන පසළොස්වක හඳ වුවත් ඔය අතරට අධික මාසයක් වැටුනේනම් එය අවුරුද්දෙන් පසුව පායන හයවන අලුත් හඳට පසුව එන පසළොස්වක හඳ වන්නත් බැරි නැත. වෙනත් විදිහකින් කියනවානම් බිනර පසළොස්වක හඳ සිංහල අවුරුද්දෙන් පසුව පායන පස්වන හෝ හයවන පුර පසළොස්වක හඳ වන්නට පුළුවන.

සිංහල මාස චන්ද්‍ර මාස නිසා මාසයකට වැටෙන සාමාන්‍ය දින ගණන 29.5ක් පමණ වේ. එහෙත්, සිංහල අවුරුද්ද සූර්ය අවුරුද්දක් නිසා අවුරුද්දකට දින 365.25ක් පමණ ඇති අතර සූර්ය මාසයක් දින 30.5ක් පමණ වේ. චන්ද්‍ර මාස බක්, වෙසක්, පොසොන් ආදී ලෙස ගණන් ගැනෙන අතර සූර්ය මාස මේෂරවි, වෘෂභරවි, මිථුනරවි ආදී ලෙස සූර්යයා ගමන් කරන රාශිය අනුව තීරණය වේ. අමාවක ආසන්නව හඳ තිබෙන්නේ පොළොවත් ඉරත් අතර සරල රේඛාවක නිසා චන්ද්‍රමාසයක් ඇරැඹෙන විට හඳ තිබෙන්නේද ඉර තිබෙන රාශියේමය. ඒ නිසා, මාසය ඇරඹෙන විට හඳ තිබිය යුතු තැන දැකිය හැකි රාශිය අනුව චන්ද්‍ර මාසය තීරණය වන බව වුවද කියන්නට පුළුවන.

සූර්ය මාසයක් චන්ද්‍ර මාසයකට වඩා දිග නිසා මේ මාස ක්‍රම දෙක එකතු කරන්නට අතරින් පතර අධික චන්ද්‍ර මාස එකතු කරන්නට සිදුවේ. බොහෝ විට සූර්ය මාසයක් තුළ ආරම්භවන්නේ එක් චන්ද්‍රමාසයක් පමණක් වුවත්, සූර්ය මාසය ඇරැඹුණු වහාම වාගේ චන්ද්‍ර මාසයද ඇරඹුනොත්, සූර්ය මාසය අවසන් වන්නට ඔන්න මෙන්න කියා තවත් චන්ද්‍ර මාසයක් ආරම්භ වන්නට පුළුවන. එවිට මේ මාස දෙකෙන් එකක් අධික මාසයක් ලෙස නම් කෙරේ.

ලංකාවේ දැනට චන්ද්‍ර මාස ගණනය කරන ක්‍රමය අනුව සූර්යයා මේෂ රාශියේ සිටියදී ආරම්භ වන චන්ද්‍ර මාස බක් මාස වන අතර, සූර්යයා වෘෂභ රාශියේ සිටියදී ඇරඹෙන මාස වෙසක් මාසයි. බිනර මාස ආරම්භ වන්නේ සූර්යයා පස්වන රාශිය වන සිංහ රාශියේ සිටියදීය. එහෙත්, බිනර මහේ මැද, පසළොස්වක පෝය එළැඹෙන විට සූර්යයා සිංහ රාශියේම සිටින්නට හෝ සිංහ රාශියෙන් කන්‍යා රාශියට සංක්‍රමණය වී සිටින්නට ඉඩ තිබේ.

පසළොස්වක දවසකදීද ඉර, හඳ හා පොළොව සරල රේඛාවක පිහිටියත්, අමාවක දවසේදී මෙන් නොව පසළොස්වක දවසකදී ඉර හා හඳ ස්ථානගත වී තිබෙන්නේ පොළොවෙන් ප්‍රතිවිරුද්ධ දිශා වලය. ඒ නිසා බිනර මහේ මැද, පසළොස්වක පෝය එළැඹෙන විට හඳ තිබෙන්නේ ඉරට අංශක 180ක් දුරින් කුම්භ හෝ මීන රාශියකය. පොළොවේ සෙවනැල්ල හරහා හඳ ගමන් කිරීම නිසා හඳ ටික වෙලාවකට නොපෙනී යාමෙන් ඇතැම් පසළොස්වක පෝය දිනවල චන්ද්‍රග්‍රහණ ඇතිවන්නේද මෙසේ ඉර හා හඳ පොළොව දෙපැත්තේ එකම සරල රේඛාවක් මත පිහිටීම නිසාය. පායා ඇති හඳ හිටිවනම "රාහු ගිලීම" කලින් සැලසුම් කර ඇති වැඩ බොහොමයක් අවුල් කරයි.

පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වලාගැබේ පතුලට වීදෝ
මැවූ සිහින මාලිගාව බිඳී වැ‍ටුනදෝ
මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ      



සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ස්වභාව ධර්මයේ අපූරු නිමැවුම්ය. පසළොස්වක පෝය දවසක පොළොවේ සෙවනැල්ල හරහා හඳ ගමන් කරන විට චන්ද්‍රග්‍රහණයක් ඇති වේ. අමාවක පෝය දිනක ඉර හා පොළොව අතරින් හඳ ගමන් කරද්දී ඉර හඳට ආවරණය වීම නිසා සූර්යග්‍රහණ ඇතිවේ.

පොළොවට කිලෝමීටර මිලියන 149.6ක් පමණ දුරින් පිහිටි ඉරේ විෂ්කම්භය කිලෝමීටර් 1,391,400ක් පමණ වේ. මෙයට සාපේක්ෂව, පොළොවට කිලෝමීටර 384,400ක් පමණ සාමාන්‍ය දුරකින් පිහිටි හඳේ විෂ්කම්භය කිලෝමීටර 3,474ක් පමණි. කෙසේවුවද, ඉරේ විෂ්කම්භය ඉරට ඇති දුරින් බෙදීමෙන් සොයා ගත හැකි, පොළොවට පෙනෙන පරිදි ඉර විසින් හදන කෝණය (අංශක 0.53), හඳ විසින් එසේ හදන කෝණයට (අංශක 0.52) ආසන්නව සමාන නිසා පොළොවට ඉර හා හඳ පෙනෙන්නේ ආසන්න ලෙස එකම විශාලත්වයෙනි. මේ නිසා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන විට ඉර හඳෙන් මුළුමනින්ම ආවරණය වෙයි.

දිගු කාලයක් තුළ සිදුවන සාමාන්‍ය සූර්යග්‍රහණ ප්‍රමාණය හා චන්ද්‍රග්‍රහණ ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන වුවත්, පොළොවේ නිශ්චිත ස්ථානයකට පෙනෙන සූර්යග්‍රහණ ප්‍රමාණය එසේ පෙනෙන චන්ද්‍රග්‍රහණ ප්‍රමාණයට වඩා බොහෝ අඩුය. හඳ ගමන් කරන පථය ආසන්නයේදී පොළොවේ සෙවනැල්ලේ විෂ්කම්භය සාපේක්ෂව විශාල නිසා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පොළොවේ රාත්‍රී කාලය පවතින ස්ථාන බොහොමයක සිට නිරීක්ෂණය කළ හැකි වුවත්, කිසියම් පූර්ණ සූර්යග්‍රහණයකදී හඳ විසින් ඉර මුළුමනින්ම ආවරණය කරනු දැකිය හැක්කේ පොළොවේ පටු තීරුවක් තුළ පිහිටි ස්ථාන වල සිට පමණි. ඒ නිසා, සෑම වසරකම සූර්යග්‍රහණ ගණනාවක් සිදුවුවත්, කිසියම් නිශ්චිත තැනක සිට පූර්ණ සුර්යග්‍රහණයක් දැකිය හැක්කේ සාමාන්‍ය වශයෙන් වසර 350-375 අතර කාලයකට වරකි.

චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ වලට වඩා වැඩිපුර දකින්නට ලැබෙන නිසා චන්ද්‍රග්‍රහණ ගැන ජනශ්‍රැති වැඩිපුර අසන්නට ලැබේ. බොහෝ සංස්කෘතීන්හි චන්ද්‍රග්‍රහණ තේරුම් ගැනුණේ සැබෑ ලෝකයේ දැකිය හැකි හෝ මනඃකල්පිත කිසියම් සතෙකු විසින් හඳ ගිලගැනීමක් ලෙසිනි. ඉන්කාවරුන් සිතූ පරිදි මෙසේ හඳ ගිලගන්නට ආවේ ජගුවරයෙකි. මේ ප්‍රවාදය ඇසුරෙන් චන්ද්‍රග්‍රහණයකදී හඳ රත් පැහැ ගැනීම ඔවුන්ට පැහැදිලි කළ හැකි විය. ඒ අනුව, හඳ ආහාරයට ගැනීමෙන් පසු මේ ජගුවරයා පොළොවටද පැමිණීම වැළැක්වීමට ඔවුහු ආරක්ෂාකාරී පියවර ගත්හ.

චීන ජාතිකයින් විශ්වාස කළ පරිදි චන්ද්‍රග්‍රහණයකදී හඳ ගිලින්නේ දැවැන්ත මකරෙකි. මාතලන් චිත්‍රපටයේ එන "හඳ රාහු මුඛයේහි ගිලුණා ලෙසේ" ගීතය ආරම්භයේ පෙන්වන බිත්තියේ ගසා ඇති චිත්‍රයේ සිටින්නේ මේ චීන මකරාය. ඉර හා හඳ ගිලින රාහු ලෙස ඉන්දියානුවන් හඳුනාගෙන සිටියේ මේ ආකාරයේ මකරෙක් නොවේ.



හින්දු විශ්වාස අනුව රාහු හා කේතු බවට පත්වන්නේ ස්වර්භානු නම් වූ අසුරයාය. ස්වර්භානු අසුරයා විසින් ඉර හා හඳ ගිලින බව ක්‍රිස්තු පූර්ව 15 වන සියවසේදී පමණ ප්‍රබන්ධ කෙරුණු සෘග් වේදයේ (40:9 ශ්ලෝකය) සඳහන්ව තිබේ.

පසුකාලීනව පුරාණ ග්‍රන්ථ වලත්, මහා භාරතයේත් මේ ප්‍රවාදය විස්තරාත්මක කථාපුවතක් ලෙස දිග හැරෙන අතර බොහෝ හින්දු කථාවලදී සිදුවනවාක් මෙන් සුර අසුර යුද්ධයටද සම්බන්ධවේ. සුරයන් හා සුරයන් එක්ව කිරිමුහුද කළඹද්දී අමෘතය පහළ වේ. ඒ සමඟම මෝහිණියගේ වෙස් ගන්නා විෂ්ණු දෙවි අමෘතය බෙදා දීම පිණිස පොළොවට පැමිණේ. ඔහුගේ සැලසුම වන්නේ සුරයින් හා අසුරයින් වෙන් වෙන්ව පෝලිම් ගස්වා සුරයින්ට අමෘතයත්, අසුරයින්ට සුරාවත් බෙදීමයි. කිරි මුහුද කැළඹීමේ අරමුණ වූයේම අසුරයින් රවටා ඔවුන්ගේ උදවු ගැනීමෙන් පසුව සුරයින්ට පමණක් අමෘතය ලබා ගැනීමයි.

කෙසේ හෝ සුරයන්ගේ පෝලිමට හොරෙන්ම එකතු වන ස්වර්භානු අසුරයාට මෝහිණී ලෙස වෙස්ගෙන සිටින විෂ්ණු විසින් අමෘතය බෙදන අතර ඔහුගේ දෙපැත්තෙන් සිටින සූර්යයා හා චන්ද්‍රයා මේ බව පෙන්වා දෙන විටත් ස්වර්භානු අසුරයා අමෘතය කටට හලාගෙන අවසන්ය. විෂ්ණු ක්ෂණිකව ක්‍රියාත්මක වී ස්වර්භානුගේ හිස කඳෙන් වෙන් කරන නමුත් ඒ වන විට ඔහු ප්‍රමාද වැඩිය.

අමෘතය දැනටමත් පානය කර අවසන් නිසා ස්වර්භානු මරණයට පත් නොවන අතර ඔහුගේ හිස රාහු බවටත් හිසසුන් කඳ කේතු බවටත් පත් වේ. පසුව රාහුට නාග සිරුරක්ද, කේතුට නාග හිසක්ද හිමිවන අතර සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ යනු තමන්ගේ දෙපැත්තේ සිට අමෘතය සොරාගත් බව විෂ්ණුට පෙන්වූ සූර්ය දිව්‍ය රාජයාගෙන් හා චන්ද්‍ර දේවතාවාගෙන් ස්වර්භානු අසුරයා වාඩුව ගන්නා ආකාරයයි.

හින්දු කථා අනුව ස්වර්භානු යනු සොහොයුරන් සියයක් හා එක් සොහොයුරියක් සිටින පවුලක වැඩිමලාය. ඔහුගේ මව හිරණ්‍යකාශ්‍යපගේ දියණිය වන සිංහිකාය. පියා විප්‍රචිත්තිනම් අසුරයාය. සංයුත්ත නිකායේ සගාථාවග්ගපාළියේ දේවපුත්ත සංයුත්තයේ අවසන් සූත්‍ර දෙක චන්දිම සූත්‍රය හා සූරිය සූත්‍රයයි. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන මේ සූත්‍ර දේශනා දෙකේ රාහු අසුරයා ගැනත්, විප්‍රචිත්ති හෙවත් වේපචිත්ති අසුරයා ගැනත් අසන්නට ලැබේ.

චන්දිම සූත්‍රයේ පෙළ ඇති සැටියෙන්ම මෙසේය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි චන්‍දිම දේවපුත්‍ර තෙමෙ රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල චන්‍දිම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.

’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ සියලු තන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’

එකල්හි භාග්‍යවතුන් වහන්සේ චන්‍දිම දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

’’එම්බා රාහු, චන්‍දිම තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ චන්‍දිම දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’

එවිට රාහු අසුරිඳු චන්‍දිම දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාව ඇත්තේ වේපචිත්ති අසුරිඳු යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, කැළඹුණු සිතැත්තේ, හටගත් ලොමු දහගැනුම් ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳු ගාථායෙන් (මෙසේ) කීය.

’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් චන්‍දිම දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු ස්වභාව ඇතිව, බිය ගත්තෙකු මෙන් සිටිනෙහිද?’’

(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලද්දෙමි. (ඒ මම) ඉදින් චන්‍දිම දෙව්පුතු නොමිදුයෙම් නම් මා හිස සත්කඩෙක්ව පැලෙන්නේය..ජීවත්වුවද සැපක් නම් නොලබන්නෙමි.’’


සූරිය සුත්‍රයේ පෙළද බොහෝ දුරට මෙයට සමානය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල සූර්‍ය්‍ය දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කරනුයේ මේ ගාථාව කීය.

’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ හැමතන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූර්‍ය්‍ය දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

’’එම්බා රාහු, සූර්‍ය්‍ය දෙව්පුත් තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ
සූර්‍ය්‍ය දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’

’’එම්බා රාහු, අන්‍ධකාරයෙහි යමෙක් එලිය කරන්නේද, බබළන්නේද, මඬුලු සටහන් ඇත්තේද, උග්‍ර තේජස් ඇත්තේද, එසේවූ අහස හැසිරෙන සූර්‍ය්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූර්‍ය්‍යයා අතහරුව,’’

එකල රාහු අසුරිඳු සූර්‍ය්‍ය දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාවය ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත පැමිණියේය. පැමිණ, කැලැඹුණේ ලොමු දැහැගැනුම ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳුට ගාථායෙන් (මෙසේ) කීය:

’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් හිරු දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු, ස්වභාවය ඇතිව, බිය ගත්තකු මෙන් සිටිනෙහිද?’’

(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලදුයෙමි. (ඒ මම) ඉදින් සූර්‍ය්‍ය දෙව්පුතු නොමුදාලීම් නම්, මා හිස සත්කඩකට පැලෙන්නේය. ජීවත්වන්නෙම් නම් සැපයක් නම් නොලබන්නෙමි.’’


සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇතිවීම පිළිබඳව බුද්ධ කාලයේ පැවති දැනුම චන්දිම සූත්‍රයෙන් හා සූරිය සූත්‍රයෙන් පිළිබිඹු වේ. කෙසේවුවද, බුද්ධ කාලයෙන් වසර සහශ්‍රයකට පමණ පසුව සූර්ය සිද්ධාන්තය ලියැවෙන කාලය වන විට මේ ස්වභාවික සංසිද්ධි පැහැදිලි කිරීමට පමණක් නොව නිවැරදිව පුරෝකථනය කිරීමටද හැකි තරමට ජ්‍යෝතිෂය දියුණු වී තිබුණේය.

දැන් අප දන්නා පරිදි පොළොව, හඳ හා ඉර ඒ පිළිවෙලට සරල රේඛාවක පිහිටි විට සූර්ය ග්‍රහණයද, හඳ, පොළොව හා ඉර ඒ පිළිවෙළට සරල රේඛාවක පිහිටි විට චන්ද්‍රග්‍රහනද ඇතිවේ. පොළොව, හඳ හා ඉර ඒ පිළිවෙලට සරල රේඛාවක පිහිටන්නේ අමාවක දිනවල නිසා සූර්යග්‍රහණ ඇතිවිය හැක්කේ අමාවක දින වල පමණි. හඳ, පොළොව හා ඉර ඒ පිළිවෙළට සරල රේඛාවක පිහිටන්නේ පසළොස්වක පෝය දිනක පමණක් නිසා චන්ද්‍රග්‍රහණ ඇති විය හැක්කේ පසළොස්වක පෝය දින වල පමණි.

කෙසේවුවද, අප දන්නා පරිදි සෑම අමාවක පෝය දිනකම සූර්යග්‍රහණ ඇති නොවන අතර සෑම පසළොස්වක දිනකම චන්ද්‍රග්‍රහණද ඇති නොවේ. එයට හේතුව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකම තලයක් නොවීමයි. මේ තල දෙක අතර ආනතියක් ඇති නිසා ඉර, හඳ හා පොළොව එකම ඉරක් මත දිශානුගත වන අමාවක හා පසළොස්වක පෝය දින බොහොමයකදීම හඳ පිහිටන්නේ පොළොවට වඩා එක්කෝ තරමක් ඉහළිනි. නැත්නම් පහළිනි. 



හඳ පොළොවේ සෙවනැල්ලට උඩින් හෝ යටින් සෙවනැල්ල පසුකර ගියහොත් පසළොස්වක දිනක චන්ද්‍රග්‍රහණයක් ඇති නොවේ. එමෙන්ම, ඉර හා පොළොව අතරින් යද්දී ඉරට උඩින් හෝ ඉරට යටින් ගියහොත් අමාවක දිනක සූර්යග්‍රහණයක් ඇති නොවේ. සිරිබෝ අයියා චිත්‍රපටයේ එන මියුරු ජනකවි වල "සඳට හොරෙන් සඳ මුදුනින් රාහු ගියා" කියන්නේ පසළොස්වක දිනක පොළොවේ සෙවණැල්ල හඳ මඟහැර හඳට උඩින් (හෝ යටින්) යාම ගැන වන්නට පුළුවන.


ග්‍රහණයක් ඇතිවීමට ඉර, හඳ හා පොළොව එකම රේඛාවක පිහිටීම ප්‍රමාණවත් නොවන අතර මේ රේඛාව එකම තලයක තිබීමද අවශ්‍යය. තල දෙකක ඡේදනය රේඛාවකි. ග්‍රහණයක් ඇතිවීම සඳහා ඉර, හඳ හා පොළොව එකම රේඛාවක පිහිටීමට අමතරව, පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව ඉහත රේඛාව සමඟ ආසන්න ලෙස සමපාත වීමද අවශ්‍යය.

සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ නිවැරදිව පුරෝකථනය කිරීම සඳහා පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව පවතින තැන නිවැරදිව දැන සිටීම අවශ්‍යය. කේන්ද්‍ර සටහනක රාහු හා කේතු ලෙස එකිනෙකට හරියටම ප්‍රතිවිරුද්ධ පැති වල ලකුණු කරන්නේ පොළොවේ සිට අඳින මේ රේඛාවේ දෙපැත්තයි. මා මේ පැහැදිලි කිරීම කරන්නේ වැඩිදෙනෙකු පිළිගන්නා සූර්ය කේන්ද්‍ර ආකෘතිය අනුව යමිනි.



සූර්යග්‍රහණයක් සිදුවන්නේ රාහු සිටින අංශකයට ආසන්න අංශකයකට ඉරත් හඳත් එකවර පැමිණි විටය. එසේ වූ විට, ඉරත්, හඳත්, පොළොවත් එකම රේඛාවක පිහිටන අතර එම රේඛාව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාවම හෝ එයට ආසන්නව ඇති රේඛාවකි. මේ වෙලාවේ කේතු ඉරට හඳට හා රාහුට ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටයි.

චන්ද්‍රග්‍රහණයක් සිදුවන විට රාහු සිටින අංශකයට ආසන්න අංශකයකට හඳත්, එයින් ප්‍රතිවිරුද්ධ පැත්තේ කේතු සිටින අංශකයට ඉරත් පැමිණේ.  එසේ වූ විටද, ඉරත්, හඳත්, පොළොවත් එකම රේඛාවක පිහිටන අතර එම රේඛාව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාවම හෝ එයට ආසන්නව ඇති රේඛාවකි.

ජ්‍යෝතිෂයේ එන රාහු හා කේතු යනු මේ අයුරින් සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ නිවැරදිව පුරෝකථනය කිරීම සඳහා ගොඩනඟාගෙන ඇති වියුක්ත සංකල්ප දෙකකි. මේ මනඃකල්පිත ග්‍රහයින් දෙදෙනා සිටින තැන්වල කිසිදු විශේෂ ශක්තියක් හෝ ආකර්ශනයක් නැත. එහෙත්, රාහු නම් වූ මනඃකල්පිත ග්‍රහයා පසළොස්වක පෝය දිනකදී හඳට ආසන්න වුවහොත් චන්ද්‍ර ග්‍රහණයක්ද, අමාවක දිනකදී ඉරට ලංවුවහොත් සූර්යග්‍රහණයක්ද ඇති වේ. මෙහිදී, ආසන්න වුවහොත් කියා කියන්නේ ඉර මෙන්ම හඳද පොළොවට පෙනෙන්නේ ලක්ෂ්‍ය ලෙස නොව කිසියම් විශ්කම්භයක් සහිත වස්තු ලෙසින් බැවිනි. ඒ නිසා, රාහු හරියටම ඉර හෝ හඳ මැදට නොපැමිණ ආසන්නයට පැමිණීම ග්‍රහණයක් ඇති වීමට ප්‍රමාණවත් සාධකයකි.

රාහු හඳ හා ඉර ග්‍රහණයට ගැනීම පිළිබඳ අදහස ඉහත ගණිතමය ආකෘතිය ගොඩ නැඟෙන්නට බොහෝ කලකට පෙර, බුද්ධ කාලයටත් පෙර සිටම පැවති අදහසකි. පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව පොළොවට සාපේක්ෂව චලනය වන ආකාරය නිවැරදිව ආකෘතිගත කිරීමෙන් පසු එහි දෙපැත්ත සටහන් කිරීමට අලුතින් නම් නොදමා එවකට භාවිතා කළ රාහු හා කේතු යන සංකල්පම යොදාගත් විට හඳ රාහු ඇල්ලීම මෙන්ම හඳට
හොරෙන් හඳ මුදුනින් රාහු යාමද පහසුවෙන් පැහැදිලි කළ හැකිය. හතරවන සියවසේදී පමණ සිදුවුණේ මෙයයි. කෙසේ වුවද, හඳ ඇල්ලීමට ගොස් බුදු අණට බියෙන් වැඩේ අත හැර දමන රාහු ඔහුගේ අප්පච්චී ලෙස සැලකෙන වේපචිත්ති අසුරයා වෙත ගොස් බිය පළක බව වැනි කතා අපේ ආගමික සාහිත්‍යය තුළ තවමත් ඉතිරි වී තිබේ.




(Image: Gemstoneuniverse, http://www.cnyo.org/tag/orbital-plane/)

Sunday, May 7, 2017

ආවුසෝවාදය අවසන්වීම


සමාජ තත්ත්වය, අධ්‍යාපන මට්ටම, වයස වැනි කරුණු නොසලකා සියළු සාමාජික සාමාජිකාවන්ට සහෝදරයා හෝ සහෝදරිය යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සමාජවාදී දේශපාලන ව්‍යාපාර වලට පොදු භාවිතාවකි. බුද්ධ කාලයේ සංඝ සමාජය තුළ පැවතියේද මීට සමාන තත්ත්වයකි. විවිධ ප්‍රදේශ වලින් පැමිණි, විවිධ කුල වලට අයත් වූ පුද්ගලයින් බෞද්ධ භික්ෂූන් බවට පත් වීමෙන් අනතුරුව වයස් භේද හෝ පැවිද්දේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා එකිනෙකා ඇමතුවේ "ඇවැත්නි" යනුවෙනි. මේ තත්ත්වය සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන තුරුම එසේම පැවතුණේය.

මහා පරිනිබ්බාන සූත්‍රය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන්නට ඉතාම ආසන්න මොහොතක බුදු හිමියන් විසින් ඒ වන විට පන්සාළිස් වසක් පුරා පැවති මේ භාවිතාව සිය ඇවෑමෙන් පසු වෙනස් විය යුතු බව අනුදැන වදාළේය. සූත්‍ර දේශනාවේ අදාළ කොටස මෙසේය.

"යථා ඛො පනානන්ද, එතරහි භික්ඛූ අඤ්ඤමඤ්ඤං ආවුසොවාදෙන සමුදාචරන්ති, න ඛො මමච්චයෙන එවං සමුදාචරිතබ්බං. ථෙරතරෙන, ආනන්ද, භික්ඛුනා නවකතරො භික්ඛු නාමෙන වා ගොත්තෙන වා ආවුසොවාදෙන වා සමුදාචරිතබ්බො. නවකතරෙන භික්ඛුනා ථෙරතරො භික්ඛු ‘භන්තෙ’ති වා ‘ආයස්මා’ති වා සමුදාචරිතබ්බො."

“ආනන්දය, යම් පරිද්දකින් දැන් භික්ෂූහු ඔවුනොවුන් ආවුසොවාදයෙන් (ඇවැත්නි කියා) කථාකරන්නාහුද මාගේ ඇවෑමෙන් තොප විසින් එසේ කථා නොකොට යුත්තේය. ආනන්දය, වැඩිමහළුවූ (ථෙරවූ) මහණහු විසින් (නවකතරවූ) බාලවූ භික්ෂුවට නමින් හෝ ගොත්‍රයෙන් හෝ ‘ඇවැත්නි’ කියා හෝ කථා කළ යුත්තේය. බාලවූ භික්ෂුව විසින් වැඩිමහල් (ථෙර) භික්ෂුවට, ස්වාමීනි, කියා හෝ ආයුෂ්මතුන් වහන්සැයි කියා හෝ කථා කළ යුත්තේය
."

සංඝ සමාජයේ එතෙක් පැවති භාවිතාවක් මෙසේ අවසාන මොහොතේ වෙනස් කිරීමට බුදු හිමියන් තීරණය කළේ ඇයිද යන්න විමසිය යුතු කරුණකි. පරිනිබ්බාන සූත්‍රයේ ඊළඟ වාක්‍යය මෙවැන්නකි.

"ආකඞ්ඛමානො, ආනන්ද, සඞ්ඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනතු."

“ආනන්දය, සංඝතෙම ඉදින් කැමැත්තේවී නම් මාගේ ඇවෑමෙන් ඉතා සුලුවූ කුඩාවූ ශික්ෂා පදයන් සමූනනය (ඉදිරීම) කෙරෙත්වා.
"

පරිනිබ්බාන සූත්‍රය අනුව අවසාන මොහොතේ බුදු හිමියන් මේ කරුණු වදාළ බව කෙසේ වෙතත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වැඩිකල් නොයා සංඝ සමාජය තුළ ජ්‍යෙෂ්ඨත්වයට තැනක් ලැබීමත්, ඇතැම් ශික්ෂා පද භික්ෂූන්ට අවශ්‍ය පරිදි වෙනස්කර ගැනීමත් සිදුවූ බවනම් පැහැදිලිය. බුදුහිමියන් විසින්ම මේ දේවල් අනුදැන වදාරා ඇති බව සූත්‍රයක තිබීම ඒ භාවිතාවන්ට සුජාත භාවයක් ලබාදෙයි.


(Image: http://factsanddetails.com/world/cat55/sub355/item1337.html)

Saturday, May 6, 2017

මාසෙ මාරු වෙන හැටි



කාලයනම් වූ සංකල්පය වැඩිදියුණු වී ඇති ආකාරය සලකන විට, ඒ හා අදාළ මිනිසුන් වඩාත්ම සංවේදී ස්වභාවික සංසිද්ධිය වනුයේ චක්‍රීය ලෙස සිදුවන දිවා රාත්‍රී මාරුවීමයි. දිවා රාත්‍රී චක්‍ර වලට මිනිසා ජීව විද්‍යාත්මක ලෙසම සංවේදීය. දවසනම් වූ සංකල්පය මේ ස්වභාවික සංසිද්ධිය මත පදනම් වී ඇත. භෞතික වශයෙන් දවසනම් වූ සංකල්පය සම්බන්ධ වන්නේ පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වීමටය.

අවුරුද්ද නම් වූ සංකල්පය බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ පොළොවේ යම් තැනක සිදුවන සෘතු විපර්යාස චක්‍රය සමඟය. මේ චක්‍රය ඉර වටා පොළොවේ ගමනට සම්බන්ධය.

මාසය නම් වූ සංකල්පය බොහෝ දුරට හඳ සමඟ සම්බන්ධ වූවකි. මාසය යන වචනය සිංහලයට එන්නේ සකු බසිනි. එය සකු බසේ මූල භාෂාව වන අවෙස්තානු භාෂාවේ මාහ යන වචනයෙන් බිඳී එයි. මාහ යන්නෙන් මාසය මෙන්ම හඳද අදහස් කෙරේ. මහ යන වචනයද සිංහලෙන් මාසය හඳුන්වන වචනයකි. ඉංග්‍රීසි භාෂාවේ මන්ත් යන වචනය සැලකුවද, එය මොනාත් යන පැරණි ඉංග්‍රීසි වචනයෙන් බිඳී එන්නකි. මොනාත් යන වචනය මූන් යන වචනය බිඳී එන මොනා යන පැරණි ඉංග්‍රීසි වචනයෙන් ව්‍යුත්පන්න වූවකි.

පැරණි පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය සැලකුවද, වඩා ජනප්‍රිය සූර්ය කේන්ද්‍රීය ආකෘතිය සැලකුවද හඳ පොළොව වටා කැරකෙන බව සරල ලෙස උපකල්පනය කෙරේ. වඩාත් නිවැරදි ලෙස සැලකිය හැකි ආකෘතියකදී සිදුවන්නේ හඳත් පොළොවත් මේ වස්තු දෙකේ පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා කැරකීම වුවත්, එය පිහිටා ඇත්තේ පොළොව මධ්‍යයේ සිට පොළොවේ පෘෂ්ඨයට වඩා අඩු දුරකින් පොළොව තුළම නිසා පළමු උපකල්පනය එතරම් නරක එකක් නොවේ.

හඳට පොළොව වටා යන්නට සාමාන්‍ය වශයෙන් දින 27.32166ක් (දින 27ක්, පැය 7ක්, මිනිත්තු 43ක් හා තත්පර 12ක්) ගත වන අතර මෙසේ ගමන් කිරීමේදී සූර්යයා, පොළොව හා හඳ පිහිටන කෝණය අනුව අපට අමාවක, අටවක, පසළොස්වක ආදී ලෙස හඳ වෙනස්ව පෙනේ. 


ඉහත රූප සටහනේ පරිදි, ඉර හා හඳ පොළොවට ප්‍රතිවිරුද්ධ දිශාවල ඇති විට හඳේ පොළොවට පෙනෙන අර්ධය ඉර වෙත යොමු වී තිබෙන නිසා අපට හඳ සම්පූර්ණ රවුමක් ලෙස පෙනේ. එහෙත්, හඳ ඉර හා පොළොව අතර ඇති විට අපට හඳේ ඉර වෙත යොමුවී ඇති පැත්ත නොපෙනෙන අතර පොළොව දෙසට යොමුවී ඇත්තේ එහි අඳුරු පැත්තයි. ඒ නිසා අපට හඳ නොපෙනේ. ඉර හා හඳ පොළොව සමඟ අංශක 90ක කෝණයක් හදන අටවක දිනක අපට හඳේ ඉර වෙත යොමු වී ඇති දීප්තිමත් පැත්තෙන් අඩක් හා අඳුරු පැත්තෙන් අඩක් පෙනෙන නිසා එය අර්ධ වෘත්තයක් සේ පෙනේ. මේ අයුරින් හඳේ වක්‍රය වෙනස් වීම අටවක, නවවක, දසවක ආදී ලෙස හැඳින්වේ.

හඳේ වක්‍රය වෙනස්වීම චක්‍රීය ලෙස සිදුවුවත් ඒ සඳහා ගතවන කාලය හඳට පොළොව වටා යාමට ගතවන දින 27.32166ක කාලය නොවේ. පොළොව, හඳ හා ඉර තනි ඉරක පිහිටන සේ සැලකිය හැකි අමාවක දිනක සිට දින 27.32166කට පසු හඳ පොළොව වටා වටයක් සම්පූර්ණ කළත්, එම කාලය තුළ පොළොව හඳද සමඟ ඉර වටා කිසියම් දුරක් යන නිසා නැවත පෙර සේ පොළොව, හඳ හා ඉර තනි ඉරක පිහිටීම සඳහා හඳ තවත් දුරක් පොළොව වටා ගමන් කළ යුතුය. මේ සඳහා තවත් දින 2.21007ක පමණ ගතවේ. ඒ නිසා පෝය දෙකක් අතර ගෙවෙන කාලය දින 29.53059කි (දින 29, පැය 12, මිනිත්තු 44 හා තත්පර 03කි). ලෝකයේ විවිධ දිනදසුන් ගණනාවක මාසය සඳහා පදනම් වූයේ මෙසේ පොහොය දෙකක් අතර ගෙවෙන කාලයයි. මේ කාලය චන්ද්‍රමාසයක් ලෙස හැඳින්විය හැකිය.

චන්ද්‍ර මාසයක දිනගණන රවුම් ගණනක් නොවන නිසා මාසයක දින ගණන දින 29 හෝ 30 ලෙස කිසියම් රටාවකට යොදාගන්නට සිදුවේ. මුල්ම කාලයේදී බොහෝ සංස්කෘතීන් වල සිදුවුණේ අමාවක හෝ පසළොස්වක පෝය දිනෙන් පසු එළඹෙන දිනෙන් පටන්ගෙන නැවත එවැනිම ආකාරයේ හඳක් දකින්නට ලැබෙන තුරු ගතවන කාලය මාසයක් ලෙස සැලකීමයි. මේ ක්‍රම දෙක අමාන්ත හා පූර්ණාන්ත ක්‍රම ලෙස හැඳින්වේ. ඉන්දියාවේ වෙරළෙන් ඈත උතුරු පෙදෙස් වල මුල් වෛදික යුගයේදීත්, සියවස් කිහිපයකදී හැර, පසුකාලීනවත් භාවිතා වුනේ වෛදිකයන්ගේ පූර්ණාන්ත ක්‍රමයයි. ලංකාවේත්, නාගයින් (නාවිකයින්) ජීවත් වූ ඉන්දියාවේ වෙරළබඩ පෙදෙස් වලත් භාවිතා වුනේ අමාන්ත ක්‍රමයයි. බයිබලයේ පරණ තෙස්තමේන්තුව අනුව, ආරොන් හා මෝසස් මුල් වී ඊශ්‍රායෙල් ජනතාව වහල් කමින් මුදාගන්නට පෙර සිටම පාරාවෝ වරුන් රජකළ ඊජිප්තුවේ භාවිතා වී ඇත්තේද ලංකාවේ තවමත් භාවිතා වන අමාන්ත චන්ද්‍ර මාස ක්‍රමයයි.

පුර සඳ මෙන් නොව අමාවකින් පසු එළැඹෙන අළුත් සඳ නිරීක්ෂණය කිරීම අපහසුය. ඒ නිසා, අමාන්ත ක්‍රමය පැවති සංස්කෘතීන්හි මේ නව සඳ බැලීමට විශේෂ වැදගත්කමක් ලැබී ඇත. ඉස්ලාම් ආගමික චාරිත්‍ර සමඟ නව සඳ බැලීම අදටත් බැඳී තිබේ. මේ වන විට භාවිතයෙන් මුළුමනින්ම ඉවත්ව ගොස් තිබුණත් ලංකාවේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පළමු අංගය අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා සඳ බැලීමයි.

සිංහල අලුත් අවුරුදු උත්සවය ලෙස මේ වන විට මුල් තැන ලැබෙන්නේ මේෂ සංක්‍රාන්තිය සැමරීමටය. එහෙත්, මේ පුරුද්දට වැඩිම වුණොත් ඇත්තේ අවුරුදු පන්සීයක පමණ ඉතිහාසයකි. කෝට්ටේ යුගයට පෙර ලංකාවේ මේෂ සංක්‍රාන්තිය සැමරූ බවට  හෝ සූර්ය වර්ෂ ක්‍රමය භාවිතා කළ බවට ඇති සාධක කිසිවක් ගැන මා දන්නේ නැත. එහෙත්, පෝය දින නැකැත් කෙළි පැවැත්වීම හා උත්සවාකාරයෙන් නව සඳ බැලීම ලංකාවේ සියවස් ගණනක් පුරා සිදුවී තිබේ. මෙයින්ද පළමුවැන්න ආර්ය බලපෑම නිසා බුද්ධ කාලයට ආසන්න කාලයක ඇරැඹුණු බවත්, දෙවැන්න ඊටත් වඩා පැරණි බවත් සිතන්නට පුළුවන.

පොළොව, ඉර හා හඳ අතර සාපේක්ෂ චලිතය ඉතා ආසන්න ලෙස ආකෘතිගත කරන්නට පෙර බොහෝ ශිෂ්ඨාචාර වල ජීවත් වූ මිනිසුන් අවුරුද්දක් අවසන් වූ බව දැනගත්තේ සෘතු විපර්යාස නිරීක්ෂණය කිරීමෙනි. ඉස්ලාම් හිජ්රි කැලැන්ඩරය වැනි ඇතැම් දින දසුන් මේ සෘතු විපර්යාස මුළුමනින්ම නොසලකා හරිමින් චන්ද්‍ර මාස දොළහක් අවුරුද්දක් ලෙස සලකද්දී, තවත් අය චන්ද්‍ර මාස නොසලකා හරිමින් වසරක කාලය දොළහකට බෙදා දින 30ක හෝ 31ක මාස හදාගන්නට පෙළඹුණේය. ලංකාව, ඊශ්‍රායලය ඇතුළු තවත් බොහෝ රටවල භාවිතා වුණේ මේ ක්‍රම දෙකේ සම්මිශ්‍රණයකි.

චන්ද්‍ර සූර්ය කැලැන්ඩර වල මාසයක් චන්ද්‍රමාසයක් සමඟ සමපාතව පවත්වාගන්නා අතර වර්ෂය තීරණය කෙරුණේ සෘතු විපර්යාස සිදුවන චක්‍රය අනුවය. මේ චක්‍රය සූර්යයා වටා පොළොවේ ගමනට ආසන්නව සමපාත වූවකි. මෙහිදීද මතුවූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ සූර්ය වර්ෂයකට අයත් වන චන්ද්‍ර මාස ගණන රවුම් ගණනක් නොවීමයි. මේ ගණන මාස 12.39 පමණ වන නිසා චන්ද්‍රමාස හා සූර්ය වර්ෂ ඒකචාරීව (in synchronize) පවත්වා ගැනීම සඳහා මාස දොළහේ සාමාන්‍ය අවුරුදු හා මාස දහතුනේ අධික අවුරුදු වල මිශ්‍රණයක් අවශ්‍ය වේ. චන්ද්‍ර-සූර්ය දින දර්ශන භාවිතා කළ ලංකාව ඇතුළු බොහෝ රටවල පැවතුණේ එවැනි මිශ්‍ර ක්‍රමයකි.

චන්ද්‍ර-සූර්ය දින දර්ශන භාවිතා කළ ලෝකයේ බොහොමයක් සංස්කෘතීන්හි අලුත් අවුරුද්ද ලෙස සැලකුණේ වසන්ත විෂුවයෙන් පසු එළඹෙන අලුත්  චන්ද්‍රමාසයයි. එතැන් පටන් මාස දොළහක් ගතවූ පසු, වසන්තය එළැඹ ඇති බවක් නොපෙනේනම් දහතුන්වන අධික මාසයක් එක් කර වසර දිගු කර ගැනුණේය. පැරණි ඊශ්‍රායලයේ මෙය තීරණය කර ඇත්තේ තිරිඟු පැසී ඇත්ද යන සාධකය මතය. 


ලංකාවේ මෙය තීරණය කළ ආකාරය හරියටම පැහැදිලි නැතත් වසන්ත විෂුවයෙන් පසු එළැඹෙන චන්ද්‍ර මාසය අලුත් අවුරුද්දක මුල ලෙස කලක සිටම සලකා ඇති බවනම් පැහැදිලිය. මේ මාසය බක් හෙවත් බග මාසයයි. සාමූහික කටයුත්තක් ලෙස අලුත් සඳ බැලීම ලංකාවේ පැරණි සිරිතක්ව පැවතී ඇති අතර එයින්ද බක් මාසයේ අලුත්  අවුරුදු සඳ බැලීමට විශේෂ වැදගත්කමක් ලැබී තිබේ. 

(Image: www.divaina.com)

Friday, May 5, 2017

මාසෙ මාරුවීම හා අවුරුද්ද මාරුවීම


අසූව දශකයේ මැද භාගයේදී පටන්ගත් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වූ අරගලය හා එයින් අනතුරුව සිදුවූ ක්‍රියාවලිය විසින් මා ඇතුළු බොහෝ සමකාලීන තරුණ තරුණියන්ගේ පසුකාලීන ජීවිත කඩඉම් වසර තුනකින් පසුපසට තල්ලු කළේය. වඩා විශේෂිත ලෙස කියනවානම්, අපේ වසරේ හා ආසන්න වසර හතඅටක් හෝ වැඩි ගණනක් තුළ සරසවි ප්‍රවේශ වූ සිසුසිසුවියන් බොහෝ දෙනෙකුට සිය සරසවි අධ්‍යාපනය නිමාකර ප්‍රථම උපාධියක් ලබාගැනීමට හැකි වුනේ මුලින් බලාපොරොත්තු වූවාට වඩා වසර තුනකට පමණ පසුවය. මෙය මේ කණ්ඩායම් වලට අයත් වූවන්ගේ උසස් අධ්‍යාපනය ඇරඹීම, රැකියා ඇරැඹීම, විවාහය, දරුවන් ලැබීම වැනි තවත් බොහෝ දේවල් ප්‍රමාද කිරීමට හේතු විය.

මා ඇතුළු බොහෝ දෙනෙකුට සිදුවූ පාඩුව මෙපමණක් වුවද, මේ අඳුරු යුගය පසු කරන්නට ඇතැමෙකු වාසනාවන්ත නොවූහ. තවත් අය වඩා කටුක අත්දැකීම් වලට මුහුණ දුන්හ. එවැන්නන් අතර ආරක්ෂක අංශ විසින් දිගු කලක් රඳවා ගනු ලැබූවන්, වධ බන්ධන වලට ලක් වූවන් මෙන්ම ප්‍රචාරණ කටයුතු (පෝස්ටර් ගැසීම්) හෝ විරෝධතා වලට සහභාගී වෙද්දී වෙඩි පහරට ලක්ව දිගුකලක් ප්‍රතිකාර ගන්නට වීම නිසා තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි වසර ගණනක් නාස්ති කරගන්නට සිදු වූ අයද සිටියහ.

මේ සියල්ලෝම "දිස්ත්‍රික් ක්‍රමය යටතේ අඩු ලකුණු වලින් සරසවි පිවිසුම් ලැබූ" හෝ "සරසවි විභාග සමත් වීමට තරම් දක්ෂතාවයක් නොවූ" අය නොවූහ. සරසවි විභාග වලදී කණ්ඩායමේ පළමුවැනියා වන්නට තරම් දක්ෂතා දැක්වූ, පසුව ආචාර්ය උපාධි ලබා සරසවි ඇදුරන් වන්නට සමත් වූ අයද මේ කාලයේ රාජ්‍ය විරෝධී අරගලය වෙනුවෙන් සිය ජීවිත අවදානමේ හෙළූවෝ අතර වූහ. ඔවුන්ගේ අවංක කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලය ලෙස ශුද්ධ සෘණ ප්‍රතිලාභයක් පමණක් අත් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

උසස් පෙළ සමත්වීම යනු ජීවිතය "ගොඩදාගැනීමේ " අවසන් පියවර බව සිතා ගෙන සරසවි පිවිසෙන බොහෝ දෙනෙකුගේ ඒ සොඳුරු සිහිනය බිඳ වැටෙන්නේ සරසවි විභාග ගොඩදාගැනීම කලින් සිතා සිටි තරම් සරල කටයුත්තක් නොවන බව දැනගත් පසුවය. සෑම වසරකම (අඩු වශයෙන් මා පේරාදෙණිය සරසවියේ පළමු උපාධිය හැදෑරූ කාලයේදී, මා උගත් පීඨයේ) සැලකිය යුතු සිසු පිරිසකට ප්‍රථම වසර විභාගය සමත් වන්නට නොහැකි වීම හේතුවෙන් කනිෂ්ඨ කණ්ඩායමක් සමඟ සරසවි දිවියේ ඉතිරි කාලය ගත කරන්නට සිදු විය. මේ පදනම මත අපට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් වල සිසුසිසුවියෝ ගණනාවක්ම පළමු වසර දේශන ඇරැඹෙද්දීම වාගේ අපේ කණ්ඩායම සමඟ එක් වූහ.

සරසවි සිසුවෙකුට හෝ සිසුවියකට කනිෂ්ඨ කණ්ඩායමක් සමඟ එක් වීමට සිදුවූ එකම හේතුව විභාග අසමත් වීම නොවේ. විශේෂයෙන්ම අපේ කාලයේ රටේ පැවති තත්ත්වය හේතුවෙන් විභාග වලට පෙනී සිටීමේ අවස්ථාව ගිලිහීයාම හෝ අවශ්‍ය විද්‍යාගාර පරීක්ෂණ ප්‍රමාණය සම්පූර්ණ කිරීමට නොහැකි වීම වැනි හේතු මත කනිෂ්ඨ කණ්ඩායම් සමඟ එක් වන්නට සිදුවූ දකුණේ සිංහල සිසුන් මෙන්ම උතුරේ දෙමළ සිසුහුද වූහ. නවක වද කාලය අවසන් වන්නටද පෙර ජ්‍යෙෂ්ඨ කණ්ඩායමකින් මෙසේ අපේ කණ්ඩායම සමඟ එක් වූ මගේ එක් සරසවි මිතුරෙකුට ඔහු ලක්ව සිටි "හදිසි අනතුර" නිසා පාදයේ වූ ආබාධය හේතුවෙන් ඒ වන විටද හරි හැටි ඇවිදින්නට නුපුළුවන.

මේ කියන දවසේ ඔහුත්, මමත් ඇතුළු සිසුපිරිසක් හිල්ඩා ශාලාවේ සිට ගලහ පාර දිගේ පැමිණ, සනාතන මන්දිරය හරහා අක්බාර් පාලමෙන් එගොඩ වී ගඟෙන් එගොඩට යන්නට වීරසූරිය ස්මාරකය ආසන්නයට පැමිණ සිටියෙමි. ගලහ පාරෙන් සනාතන මන්දිරය පැත්තට හැරෙන තැන, පාරෙන් උපකුලපති නිලනිවසට ප්‍රතිවිරුද්ධ පැත්තේ ජ්‍යෙෂ්ඨ සිසු කණ්ඩායමක් රැඳී සිටී. මේ සිසුන් කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් බව මා එක් වරම හඳුනාගත්තේ ඒ වන විටද ඒ කණ්ඩායමේ සිසුන්ව නවකවදය හරහා හඳුනාගෙන සිටි බැවිනි.

වරක් හඳුනාගත් සිසුන්ව දිගින් දිගටම නවක වදයට ලක් කිරීම බොහෝ විට සිදු නොවන්නක් නිසා මේ ජ්‍යෙෂ්ඨ සිසුන් දැකීමෙන් මා චකිතයට පත් නොවූවත් අපේ කණ්ඩායමේ සිටි ඔවුන් දැන නොසිටි සිසුවෙකු හෝ කිහිපදෙනෙකු ඔවුන් විසින් නවත්වා ගනු ඇති බව ක්ෂණිකව පසක් වූයේ ඒ වන විට ලබා තිබුණු සරසවි අත්දැකීම් තුලිනි. අද ස්වීප් එක ඇදෙන්නේ කාටදැයි හිත හිතා ඉන්නට වැඩි වෙලාවක් ලැබුණේ නැත. සිසු කණ්ඩායමේ අවධානය ක්ෂණිකව යොමු වුණේ අප අතර සිටි ජ්‍යෙෂ්ඨ කණ්ඩායමකින් පැමිණි සිසුවා වෙතය. ඒ ඔහු කොර ගසමින් අපහසුවෙන් ගමන් ගත් බැවිනි.

"මොකෝ බං කොර ගහන්නෙ? මාසෙ මාරුවෙලාද?"

අපේ මිතුරා හිස ඔසොවා බැලුවේය. ඔහුගේ ඇඳුමෙන් හා පාවහන් වලින් ඔහු නවක සිසුවෙකු නොවන බව එක් ව
හඳුනාගත නොහැක.

"මාසෙ නෙවෙයි මචං, අවුරුද්ද මාරුවෙලා තියෙන්නෙ!"

පැත්තක සිටි සිසු කණ්ඩායමට තමන් ඇණගත් බව ක්ෂණිකව අවබෝධ විය. නවක සිසුවෙකුගෙන් නවක වද කාලයේ මේ ආකාරයේ පිළිතුරක් අපේක්ෂා කළ නොහැකිය.

"සොරි මචං!"

ඒ වන විට අවුරුද්ද මාරු වී තිබුණේ ඔහුගේ පමණක් නොවේ. අපේත් අවුරුදු තුනක්ම මාරු වී තිබුණේය.

මාස හා අවුරුදු මාරුවීම් ඇතුළු කාලය මැනීම් පිළිබඳව ඉදිරි ලිපි වලින් දිගටම කතා කරමු!


(Image: http://transcurrents.com/tc/2009/03/police_repression_unleashed_ag.html)

Wednesday, May 3, 2017

වීදුරු බාගය


"කෝ, මචං? උඹේ වීදුරුවෙ බාගයක්ම හිස්නේ...හොර කරන්නෙ නැතුව ඕක පුරෝගනිං!"

ජගත්ගේ වීදුරුව දෙස බලමින් ධනුෂ්ක ජගත්ට බල කරයි.

"ඇති මචං! දැන් ගෙදර බලාගෙන ඇති පරක්කු ඇයි කියල..."

"පිස්සු කෙලින්නැතුව ඕක දාගනිං!"

ධනුෂ්ක ජගත්ගේ වීදුරුව බලෙන්ම පුරවයි.

***

"කෝ බං? උඹ බීලම නෑනේ...වීදුරුවෙන් බාගයක් තවම එහෙම්මමයි!"

තවත් ටික වෙලාවකින් ජගත්ගේ වීදුරුව දෙස බලන ධනුෂ්ක පවසයි.

***

ඉහත මනඃකල්පිත සිදුවීම බොහෝ දෙනෙකුට නුපුරුදු අත්දැකීමක් විය නොහැකිය. එක මට්ටමටම පිරුණු වීදුරුවක් එකම අයෙක් අවස්ථා දෙකකදී බාගෙට පිරී ඇති ලෙසත්, බාගෙට හිස් ලෙසත් සලකන්නට පුළුවන.

කිසියම් අයුරකින් ගාලුමුවදොර පිටිය වැනි තැනක පැවැත්වෙන මැයි රැළියක් වැනි අවස්ථාවක සහභාගිත්වය පිට්ටනියෙන් අඩක් පමණක් වීනම් බාගෙට හිස් පිට්ටනියක් ගැන ඇතැම් අය කතාකරනු අපට අසන්නට ලැබෙනු ඇත. ඒ අතරම තවත් අය ගූගල් සිතියම් වලින් පිට්ටනියේ වර්ග ඵලය මනිමින් එතරම් ලොකු පිට්ටනියකින් බාගයක් පිරුණු බව අවධාරණය කරනු ඇත.

අවස්ථාව අනුව එකම සිද්ධිය එකම පුද්ගලයා විසින් වුවද වරෙක ශුභවාදී ලෙසත්, තවත් වරෙක අශුභවාදී ලෙසත් දකින්නට පුළුවන. එසේ වුවත්, ඇතැම් පුද්ගලයින් ස්වභාවයෙන්ම වඩා ශුභවාදී ලෙස ලෝකය දකිද්දී තවත් අය බොහෝ විට වඩා අශුභවාදී ලෙස ලෝකය දකිති.

බොහෝ දෙනෙකු දන්නා "බාගෙට පිරුණු, බාගෙට හිස්" වීදුරුව ගැන පිරුළෙන් අදහස් කෙරෙන්නේ ඉහත වෙනසයි. එකම වීදුරුව අයෙක් බාගෙට පිරුණු වීදුරුවක් ලෙසත්, තවත් අයෙක් බාගෙට හිස් වීදුරුවක් ලෙසත් දකිති. පළමු වර්ගයේ අය ශුභවාදීන් ලෙසත්, දෙවන වර්ගයේ අය අශුභවාදීන් ලෙසත් සැලකේ. බොහෝ පුද්ගලයින්ට වඩා ශුභවාදී හෝ වඩා අශුභවාදී ලෙස වර්ග කළ හැකි අනන්‍ය ලෝක දැක්මක් ඇති බව කලක සිටම තහවුරු වී පැවති දෙයකි.

මෑතකාලීන පර්යේෂණ වලින් පෙනෙන්නේ මේ අනන්‍ය ලෝක දැක්ම හා පුද්ගලයෙකුගේ ජාන අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බවයි. වෙනත් අයුරකින් කිවහොත් කිසියම් පුද්ගලයෙකු ශුභවාදී හෝ අශුභවාදී ලෙස ලෝකය දැකීම ඇතුළු බොහෝ ආකල්ප ඉපදෙන විටම ඔහුගේ හෝ ඇයගේ ජාන වල ලියැවී තිබේ.

මෙයින් අදහස් වන්නේ පුද්ගලයෙකුගේ ආකල්ප ඇතුළු ලෝකදැක්ම තනිකරම ජාන මත තීරණය වන බව නොවේ. සංස්කෘතිය, විධිමත් හා අවිධිමත් අධ්‍යාපනය හා පුහුණුව තුලින් ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ආකල්ප හා ලෝකදැක්ම වෙනස් කරගන්නට පුළුවන. එහෙත්, පුද්ගලයෙකුගේ ලෝක දැක්ම කෙරෙහි ඉතා පැහැදිලිවම ජාන වල බලපෑමක් තිබේ.

නිවුන් දරුවන් දෙදෙනෙකු හැදෙන වැඩෙන සංස්කෘතික වටපිටාව බොහෝ දුරට සමානය. එහෙත් ඔවුන්ගේ ජාන සැකසුම සමාන හෝ අසමාන විය හැකිය. ඒ නිසා, සම නිවුන් දරුවන් අතර දැකිය නොහැකි ආකල්ප වෙනසක් විෂම නිවුන් දරුවන් අතර දැකිය හැකිනම් එයින් පෙනෙන්නේ ආකල්ප කෙරෙහි ඇති ජානමය බලපෑමයි. නිවුන් දරු යුගල් යොදාගන්නා පර්යේෂණ සැලසුමකින් පුද්ගලයෙකුගේ ලෝකදැක්ම කෙරෙහි බලපාන ජාන නිශ්චිත ලෙස හඳුනාගත හැකිය.

පුද්ගලයෙකුට උපතින් හිමිවන හමේ පැහැය වැනි දේ ගැන කතා කිරීම බටහිර සංස්කෘතිය තුළ නොකළ යුතු දෙයක් ලෙස සැලකෙන්නකි. ජාන අනුව හිමිවන හමේ පැහැය වෙනස්කර ගැනීමට බැරිම නැතත් එය ප්‍රායෝගිකව ඉතාම අපහසු කටයුත්තකි.

කෙසේ වුවද, වැඩිහිටි පුද්ගලයෙකු විසින් සිදුකරන තෝරාගැනීම් හෝ එවැනි තෝරාගැනීම් වල ප්‍රතිඵල විවේචනය කිරීම සාමාන්‍යයෙන් වැරදි දෙයක් ලෙස සැලකෙන්නේ නැත. තරබාරුකම හා මත්පැන් වලට ඇති ඇබ්බැහිය තනිකරම පුද්ගලයින්ගේ තේරීම් වල ප්‍රතිඵල ලෙස කලකට පෙර සැලකුවත් එය එසේම නොවන බව දැන් අප දන්නා දෙයකි. ඒ නිසා, මෙවැනි තත්ත්වයන් වුවද දැන් බටහිර රටවල හඳුනා ගැනෙන්නේ චර්යාත්මක වැරදි ලෙස නොව රෝගී තත්ත්වයන් ලෙසය.

අළුත් පර්යේෂණ වලින් පෙනෙන්නේ මිනිසුන්ගේ ශාරීරික ලක්ෂණ හා චර්යාවන් පමණක් නොව ආකල්ප ඇතුළු ලෝක දැක්ම පවා ජාන වල බලපෑමෙන් නිදහස් නැති බවයි. මේ
ජාන බලපෑම කිසියම් පුද්ගලයෙකුට පුහුණුව තුලින් සිය ලෝක දැක්ම වෙනස් කරගත නොහැකි තරමට ප්‍රබල නැති වුවත්, එය ඇතැම් අයට කළ හැකි තරම් පහසුවෙන් වෙනත් අයට කළ නොහැකිය. වෙනත් අයෙකුගේ තේරීම් ඇතුළු චර්යාවන් හා ආකල්ප වැනිදේ වුවද විවේචනය කිරීමේදී අප සැලකිලිමත් විය යුත්තේ එබැවිනි.

Sunday, April 30, 2017

අවුරුදු, පාස්කු, වෙසක් හා වසන්තය

අද අප්‍රේල් මාසයේ අවසාන දිනයයි. අප්‍රේල් මාසය වත්මන් සිවිල් දිනදර්ශනය වන ග්‍රෙගෝරියන් දින දර්ශනයේ හතරවන මාසයයි. අප්‍රේල් මාසය ලංකාවේ උත්සව මාසයකි. අප්‍රේල් 14 දින සිදුවූ මේෂ සංක්‍රාන්තියට සමගාමීව සිංහල හා දෙමළ නව අවුරුදු ඇරඹුණු අතර කිතුණුවන්ගේ මහ සිකුරාදා දිනයද එදිනටම යෙදී තිබුණේය. මහ සිකුරාදා දිනය කිතුණුවන් සතුටු වන දවසක් නොවූවත්, ඉන් අනතුරුව එළැඹෙන පාස්කුව කිතුණුවන්ගේ උත්සව දිනයකි. සිංහල අවුරුදු උත්සවය අවසන් වී සති කිහිපයකින් බොදුනුවන්ගේ මහා මංගල්‍යය වන වෙසක් පොහොය එළැඹේ.

පාස්කු දිනය ඇතැම් වසර වල සිංහල අවුරුද්දට පෙරද, ඇතැම් වසර වල එයින් පසුවද එළැඹේ. ඒ එම දිනය ගණනය කිරීම්දී යොදාගන්නා තරමක් සංකීර්ණ ක්‍රමවේදය හේතුවෙනි. දැන් ලෝකයේ බොහෝ දෙනෙකු පාස්කු දිනය සමරන්නේ  උත්තරාර්ධගෝලයේ වසන්ත විෂුවය සිදුවීමෙන් පසුව පැමිණෙන පුර පෝය දිනයෙන් පසුව පැමිණෙන ඉරිදා දිනයේය. 


වසන්ත විෂුවය මාර්තු 21 හෝ ආසන්න දිනයක සිදුවන නිසා එදිනම හෝ දින 29ක් ඇතුළත කිසියම් දිනක (අප්‍රේල් 19 දක්වා) පුර පෝය දිනයක් එළැඹෙන්නට පුළුවන. ඒ නිසා, මාර්තු 22 දිනය ඉරිදා දිනයක්නම් එදින පාස්කු දිනය විය හැකිය. එමෙන්ම පෝය දිනය අප්‍රේල් 19 දිනට යෙදී එදින ඉරිදා දිනයක්ද වුවහොත්, පාස්කුව ඊළඟ ඉරිදා දිනය වන අප්‍රේල් 26 දිනය දක්වා කල් යාමටද පුළුවන. පාස්කුවේ ඉතිහාසය හා එය වත්මන් සිවිල් කැලැන්ඩරය වන ග්‍රෙගෝරියන් කැලැන්ඩරය නිර්මාණය වීමට පාදක වූ ආකාරය ගැන කතා කිරීම ඉදිරියට තබමු.

ලෝකයේ විවිධ රටවල හා සංස්කෘතික කණ්ඩායම් අතර පාස්කු උත්සව දිනය සම්බන්ධව වෙනස් මත තිබේ. මේ ආකාරයෙන්ම වෙසක් පොහොය දිනය සම්බන්ධවද ථෙරවාද බෞද්ධ රටවල පවා පූර්ණ එකඟත්වයක් නැත. 


වෙසක් යන වචනය හැදෙන්නේ විශාඛ යන සංස්කෘත වචනයෙනි. මේ විශාඛ යන නමින් හඳුනාගන්නේ අහසේ ඇති බෙදුණු අතු රිකිල්ලක් වැනි තරු පන්තියකි. දැනට ලංකාවේ ජ්‍යෝතිෂයේ භාවිතා වන නැකැත් විසිහතෙන් දහසය වැන්න වන විසා නැකැත එසේ හඳුන්වන්නේද මේ විශාඛ තාරකා මණ්ඩලය පාදක කරගෙන ඒ නම සිංහලෙන් වහරමිනි. වෙනත් අයුරකින් කිවහොත් වෙසක් හා විසා යන වචන දෙකේම මූලය එකකි.

වෙසක් පොහොය යනු හඳ විසා නැකතට අයත් තරු පන්තියට ආසන්නව තිබියදී උදාවන පුන් පොහොයයි. මෙතැනදී නැකතක් කියා කියන්නේ අහස කොටස් 27කට බෙදූ විට එක් කොටසකි. අංශක 360 ලග්න 12ක් ලෙස බෙදූ විට එක් ලග්නයකට අංශක 30ක් වැටෙන්නාක් මෙන් එයම කොටස් 27කට බෙදූ විට නැකතකට අංශක 13කුත් කලා 20ක් වැටේ. මීන රාශිය හා මේෂ රාශිය වෙන් කෙරෙන උපකල්පිත ඉරෙන් පළමු නැකත ලෙස දැන් සැලකෙන අස්විද නැකත හා අවසන් නැකත ලෙස සැලකෙන රේවතී නැකතද වෙන් කෙරේ. ලග්න හා නැකැත් වෙන් කරන බෙදුම් ඉරි අංශක 0දී හැරුණු විට අංශක 120 දී හා 240දී පමණක් නැවතත් සමපාත වේ.

විසා නැකැත 16 වන නැකත නිසා එයට අයත් වන්නේ අංශක 200 හා අංශක 213 කුත් කලා 20 අතර කොටසයි. පසළොස්වක දවසට ඉර තිබෙන්නේ හඳට ප්‍රතිවිරුද්ධ පැත්තේ නිසා හඳ විසා නැකතේ ඇති විට ඉර එයට අංශක 180ක් දුරින් අංශක 20 හා අංශක 33 කුත් කලා 20 අතර තිබිය යුතුය. මෙය සිදුවන්නේ සිංහල අවුරුද්දේ සිට ආසන්න වශයෙන් දින 20-33 අතරය. 


කෙසේ වුවද, පොහොය දෙකක් අතර පරතරය දින 29ක් පමණ වන නිසා මේ දින ගණන් අතර පොහොයක් නොවැටෙන්නට පුළුවන. ඒ නිසා මේ දින 13ක පමණ කාල පරාසයට තවත් දින 16ක් පමණ එකතු කර විශාඛ හෙවත් වෙසක් මාසය දින 29ක් පමණ දක්වා පුළුල් කළ යුතුය.

වෙසක් මාසය ඇතුළු ලංකාවේ බෞද්ධ චන්ද්‍ර මාස තීරණය කෙරෙන්නේද සූර්ය චලිතය පදනම් කරමිනි. ඒ අනුව, සුර්යයා මේෂ රාශියේ ගමන් කරන මාසයක පමණ කාලය අතරතුර උදාවන අමාවක පෝය දිනයකින් වෙසක් මාසය ඇරඹේ. වෙසක් මාසය උදාවන විට සූර්යයා (අංශක) 0º-30º අතර දැකිය හැකි නිසා, දින පහළොවකට පමණ පසු වෙසක් පෝය එළැඹෙන විට සූර්යයා දැකිය හැක්කේ 15º-45º පමණ අතරය. ඒ අනුව, එයට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටන හඳ 195º-225º අතර පිහිටයි. විසා නැකත මේ පරාසය තුල 200º-213º20' අතර අසමමිතිකව පිහිටා තිබේ. ඒ නිසා ලංකාවේ ක්‍රමයට හඳ විසා නැකතට පැමිණෙන්නට අංශක පහකට පමණ පෙර වෙසක් පෝය එළැඹෙන්නට පුළුවන. එසේ නැත්නම් විසා නැකත පසුකර අංශක 12කට පමණ පසුව වෙසක් පෝය එළැඹෙන්නට පුළුවන. මේ දිනය අප්‍රේල් 28-මැයි 29 පමණ අතර දිනයකි.
 

වෙසක් උත්සවය සමරන සෑම රටකම එය කරන්නේ එකම ආකාරයෙන් නොවේ. තායිලන්තය වෙසක් මාසය තීරණය කරන ක්‍රමය අනුව වෙසක් පසළොස්වක දිනය වන විට හඳ විසා නැකතට පැමිණ අවසන්ය. ඒ නිසා ඇතැම් වසර වල තායි වෙසක් මාසය ලංකාවේ වෙසක් මාසයම නොවේ.  බෞද්ධ චන්ද්‍රමාස සාමාන්‍යයෙන් ඇරඹෙන්නේ පසළොස්වක පොහොයෙන් නොවන අතර පසළොස්වක දිනය වෙසක් මාසයේ පහළොස්වන දිනයයි. තායිලන්ත ක්‍රමය අනුව මාසය ඇරඹෙන විට හඳ විසා නැකතට පැමිණ තිබුණත් ලංකාවේ (වත්මන්) ක්‍රමයට එසේ නොවන්නටද පුළුවන. එයට හේතුව අමාවක දිනක විසා නැකතේ ආරම්භයට හඳ පැමිණෙන විට ඉර අංශක 20ට පැමිණ තිබිය යුතු වුවත්, මේෂ සංක්‍රාන්තියෙන් දින 14.5කට (හඳේ පක්ෂයකට) පසුව ඉර ඊට වඩා අංශක 5ක් පමණ පසුපසින් තිබීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් සමරන්නේ තායිලන්තය වෙසක් සමරන දිනයේදීය. ලංකාවේ වෙසක් පොහොය දිනය අප්‍රේල් අග සිට මැයි අග දක්වා යෙදෙද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමරන වෙසක් දිනය මැයි මුල සිට ජූනි මුල දක්වා දිනයක් වන්නේ ඉහත අංශක පහක පමණ එනම් දින පහක පමණ වෙනස නිසාය. බොහෝ වසර වල මේ දින සමපාත වුවත් වසර හයකට පමණ වරක් එය වෙනස් වේ.

දැන් බැලූ බැල්මටම පෙනෙන්නට නැතත් අවුරුදු හා වෙසක් උත්සව වලටද පාස්කු උත්සවයට මෙන්ම වසන්ත විෂුවය සමඟ සම්බන්ධයක් තිබේ. කලකට පෙර වසන්ත විෂුවයෙන් ඇරඹුණු මේෂරවිය සිංහල සූර්ය අවුරුද්දේ පළමු මාසය වන්නාක් මෙන්ම, ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දීමට පෙර මාර්තු මාසය අවුරුද්දේ පළමු මාසය විය. මාර්තු මාසය එසේ නම් කර ඇත්තේ අඟහරු හෙවත් මාර්ස් නමිනි. සිංහල ජ්‍යෝතිෂ්‍යයේ අඟහරු යුද්ධයට අධිපති ග්‍රහයා වන්නාක් මෙන්ම, මාර්ස් යනු යුද්ධයට අධිපති රෝමන් දෙවියාය. රෝමන් මාර්ස් හැදෙන්නේ ග්‍රීක ඒරීස්ගෙනි. මේෂ රාශියට භාවිතා කරන බටහිර නමද ඒරීස්ය. එමෙන්ම, මේෂ රාශියට අධිපති ග්‍රහයා ලෙස සැලකෙන්නේද අහසේ රතු පැහැයෙන් දැකිය හැකි අඟහරු ග්‍රහයාය.

මේ ලිපියේ කරුණු අතර අන්තර් සම්බන්ධතා පැහැදිලි කිරීම ඉදිරි ලිපි වලට ඉතිරි කරමු. මේ දිනවල තරමක් කාර්ය බහුල බැවින් පිළිතුරු පමා විය හැකිය.

Tuesday, April 25, 2017

අරුන්දතී ගුවන් විදුලි වැඩසටහන


ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිට භාෂා පණහකින් විකාශනය කෙරෙන EB4 ගුවන් විදුලි සේවයේ ශ්‍රී ලාංකික (සිංහල) සේවය ඉදිරිපත් කරන සඳැල්ල වැඩ සටහනේ අද තේමාව වූයේ අරුන්දතියයි. මේ FM නාලිකාවේ ඉරිදා දිනවල උදයේ පැයක් හා අඟහරුවාදා දිනවල රාත්‍රියේ පැයක් ලෙස සිංහල වැඩසටහන් විකාශනය වේ. බ්‍රිස්බේන් වේලාවෙන් පස්වරු දහයේ සිට පැයක කාලයක් විකාශනය වූ අද සඳැල්ල වැඩසටහන සඳහා අරුන්දතිය තේමා කරගැනීමට හේතු වී තිබුණේ දින කිහිපයකට පෙර ඉකොනොමැට්ටාගේ බොජුන්හලේ පළ කෙරුණු "වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලා" නම් වූ ලිපියයි.

වැඩසටහන ඇරඹුණේ ඉකොනොමැට්ටාගේ ලිපියේ කතා නොකළ, මෑතකදී විකාශනය කෙරී ඇති අරුන්දතී ටෙලිනාට්‍යයේ තේමා ගීතයෙනි.

"අරුන්දතී සලුපටින් මිදී
මා ලඟට ලංව එවී
ඔය රහස් කතා ඇස් පියන් වසා
ඇස් වලට තුරුළු වේවී..."



මේ ගීතය ප්‍රචාරය කිරීමෙන් පසුව වැඩසටහන් සම්පාදකයෝ ඔවුන්ගේ අසන්නන් වෙනුවෙන් ඉකොනොමැට්ටාගේ බොජුන්හල හා ඉකොනොමැට්ටාව හඳුන්වා දීමෙන් අනතුරුව වැඩසටහනට ඉකොනොමැට්ටාව සම්බන්ධ කර ගත්තේය. මේ සඳහා මුල් වුනේ EB4 ගුවන් විදුලි සේවයේ ශ්‍රී ලාංකික කණ්ඩායමේ සාමාජිකයෙකු වන, මා පෞද්ගලිකව නොහඳුනන තිසරයි.

මෙහිදී ඉකොනොමැට්ටා පලකළ අදහස් බොහොමයක් බ්ලොග් ලිපියේ ලියා ඇති නිසා නැවත ලිවිය යුතු නැත. මෙහිදී කියැවුණු, මුල් ලිපියේ නැති එක් විශේෂ කරුණක් වන්නේ අරුන්දතී තාරකාව හෝ එය අයත්වන සප්තාර්ශී තාරකා මණ්ඩලය ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි මෙල්බර්න් හෝ සිඩ්නි වැනි නගරයකට නොපෙනෙන බවයි. ඒ, ඒ නගර වල සිටින අය මරණයට ආසන්නව සිටින නිසා නොවේ. සප්තාර්ශී තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ පොළොවේ උතුරු දෙසට වන්නට නිසාය.

මා හිතන පරිදි, බ්‍රිස්බේන් වැනි තරමක් උතුරට වන්නට පිහිටි නගරයක සිට වුවද මේ තාරකා මණ්ඩල නොපෙනුණත්, ඕස්ට්‍රේලියාවේ වඩා උතුරට වන්නට ඇති පෙදෙසක සිට මේ තාරකා දැකිය හැකිය. මේ අයුරින්ම ඕස්ට්‍රේලියානු ජාතික කොඩියේ ඇති දකුණු කුරුසිය උත්තරාර්ධගෝලයේ සමකයෙන් ඈත පෙදෙස් වලට නොපෙනේ.

දැන් නොපෙනුණත් වසර දෙදහසකට පමණ පෙර දකුණු කුරුසිය ඉර බසින වෙලාව ආසන්නව සමකයෙන් උතුරේ පිහිටි ජෙරුසලම ඇති ප්‍රදේශයට පමණක් නොව දකුණු යුරෝපයේ වතිකානුව තිබෙන ප්‍රදේශයටද පෙනී තිබේ. මේ පෙදෙස් වල ක්‍රිස්තියානිය පැතිරෙන්නට පෙර පැවති ජනශ්‍රැති අනුව දෙවියන් (හිරු) හැන්දෑවේ කුරුසියේ හැපී මිය යන අතර නැවත පසුදා උදේ උත්ථානය වේ. කෙසේවුවද, පොළොවේ පූර්වායනය නිසා වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට දකුණු කුරුසිය නොපෙනී ගියේය.

ඉකොනොමැට්ටාට අදහස් දැක්වීමට ඉඩ සැලසීමෙන් පසුව වැඩ සටහනේ ඉතිරි කොටස තුළ ඔවුහු අරුන්දතී ගැන ලියැවුණු සිංහල ගී ගැන කතා කළහ. ඒ ගී අතර විජය කුමාරතුංගයන් ගයන මේ මියුරු ගීයද තිබුණේය.

"කරඹ යායේ ළවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ ඔබ බලන්නයි අරුන්දතී.."


වැඩ සටහන අවසාන වුණේ ඉකොනොමැට්ටාගේ මුල් සටහන සමඟද පළවුණු එච් ආර් ජෝතිපාලයන් ගයන "දොළොස්මහේ පහණ වාගෙ" ගීතයෙනි. මේ ගීතයේ රචකයා මා නොදන්නා නමුත් එහිද අරුන්දතී තාරකාවට සම්බන්ධයක් ඇති බව පෙනේ. ගීත රචකයා මෙහිදී කිසියම් තරුණියකට අරුන්දතී ලෙස අමතන්නේ ඇය තනිව ගමන් නොයා මල්ලී සමඟම ගමන් බිමන් යන නිසා සමච්චලයටය.

අරුන්දතී තේමා කරගත් සඳැල්ල වැඩසටහනට ඔවුන්ගේ http://www.4eb.org.au/4eb-ondemand වෙබ් අඩවියට ගොස් "Sri Lankan" වැඩ සටහන තේරීමෙන් ඉදිරි සතියක කාලය තුළ (ඊළඟ වැඩසටහන විකාශනය කෙරෙන තුරු) සවන් දිය හැකිය. 

පසු සටහන: මේ වන විට මේ වැඩසටහන යූටියුබ් වෙතද උඩුගත කර තිබේ.

අපට පෙනෙන තරු!

ඕස්ට්‍රේලියානු කොඩියේ දකුණු කුරුසියට වමෙන් ඇති, පොදු රාජ්‍ය මණ්ඩලීය තරුව ඕස්ට්‍රේලියානුවන්ගේ සාමූහික විඥානයේ ඇති, එහෙත් අහසේ දැකිය නොහැකි තරුවකි. මේ අයුරින්ම ඇමරිකාවේ ජාතික කොඩියේ ඇති තරු පණහේ රටාවත්, යුරෝපීය සංගමයේ කොඩියේ ඇති තාරකා දොළොසේ රටාවත්, චීන කොඩියේ තරු පහේ රටාවත් බොහෝ දෙනෙකු හඳුනන නමුත් ඒ තරු රටා අහසේ දැකිය නොහැකිය. ඒ තරු රටා පවතින්නේ මිනිසුන්ගේ සාමූහික විඥානයේය.

එසේනම්, ඕස්ට්‍රේලියානු කොඩියේ ඇති දකුණු කුරුසිය එහිම ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය තරුවෙන් වෙනස් මිනිසුන්ගේ සාමූහික විඥානය තුළ නිර්මාණය වූවක් නොවූ, මිනිසාට පිටින් ඇති යථාර්තයක්ද? මෙය එසේනම් මේ එකම තරු රටාව ඕස්ට්‍රේලියානු, නවසීලන්ත හා පැපුවා නිවුගිනි ජාතික කොඩි වල වෙනස් ලෙස පෙනෙන්නේ ඇයි?

ඔබට කිසිවකු කඩදාසියක් හා පැන්සලක් අතට දී තරුවක් අඳින්නටයැයි කිවුවොත් ඔබ බොහෝ විට අඳිනු ඇත්තේ මුළු පහක් ඇති
ආකාරයේ තරුවකි.  ඕස්ට්‍රේලියානු කොඩියේ එප්සිලෝන් කෘෂියස් මේ ආකාරයේ මුළු පහේ තරුවකි. නවසීලන්ත, ඇමරිකන් හා චීන ආදී ලෝකයේ බොහෝ ජාතික කොඩි වල ඇති තරු මෙවැනි මුළු පහේ ඒවාය. 

මුළු පහේ තරුවක් පැන්සල නොඋස්සා ඇඳිය හැකිය. ඒ සඳහා පුහුණුවක් නැති අය පහසුවට මුළු හයේ තරු අඳිති. සමකෝණී ත්‍රිකෝණ දෙකක් එකිනෙක මත උඩු හා යටිකුරු ලෙස ඇඳීමෙන් 🔯 ආකාරයේ මුළු හයේ තරුවක් ඇඳිය හැකිය. ඊශ්‍රායෙල් ජාතික කොඩියේ තරුව මෙවැන්නකි. ඇතැම් අයෙක් ✴ ආකාරයේ තරුවක් වුවද අඳින්නට බැරිකමක් නැත.

කෙසේවුවද, ඕස්ට්‍රේලියානු කොඩියේ පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව හා දකුණු කුරුසියේ ප්‍රධාන තරු වැනි මුළු හතේ තරු හෝ මැලේසියා ජාතික කොඩියේ ඇති ආකාරයේ මුළු දහහතරේ තරු කිසිවකු විසින් අඳින්නට සැලකිය යුතු ඉඩක් නැත. ලෝකයේ රටවල් වලින් තුනෙන් එකක පමණ ජාතික කොඩිවල කිසියම් තරු සලකුණක් ඇතත් ඒවායින් වැඩි ගණනක් මුළු පහේ තරුය. තරුවක් කී විට අප බොහෝ දෙනෙකුට එක් වර සිහියට එන්නේ මේ මුළු පහේ තරුවයි.

එහෙත්, මේ ආකාරයේ මුළු පහේ හෝ මුළු හයේ තරු අහසේ නැත. එවැනි තරු පියවි ඇසින් හෝ දුරේක්ෂයකින් දැකිය නොහැකි අතර, විශේෂ උපක්‍රමයක් යෙදුවොත් මිස ඡායාරූප ගත කිරීමටද නොහැකිය.

අප බොහෝ දෙනෙක් ⭐ආකාරයේ සලකුණක් තරුවක් ලෙස හඳුනාගන්නේ අප කුඩා කාලයේ සිට එසේ සිතන්නට අපට පුහුණු කර ඇති බැවිනි. එවැනි ඉගැන්වීමක් නොලැබූ අයෙකු අහසේ තරුවක් මේ ආකාරයෙන් දකින්නට හෝ අඳින්නට ඇත්තේ ඉතා සීමිත ඉඩකි.

මේ ආකාරයෙන්ම අහසේ තරු රටාවක් වලසෙකු හෝ නඟුලක් ලෙස හෝ කුරුසියක් ලෙස දකින්නට පුහුණු වූ පසු අපට ඒවා එසේ පෙනේ. එළුවෙකු හෝ මාළු දෙන්නෙක් මෙන් දකින්නට පුරුදු වූ විට එසේ පෙනේ. සෘෂි වරුන් හත් දෙනෙකු ලෙස දකින්නට පුරුදු වූ විට එසේ පෙනේ. අප දකින බොහෝ දේවල් අපට එසේ පෙනෙන්නට අපේ ඉන්ද්‍රිය පද්ධතිය මෙන්ම අප ලබා ඇති අධ්‍යාපනයද හේතු වේ.

අපේ ඉන්ද්‍රිය පද්ධතිය හරහා අප දකින ලෝකය හැම විටම සමාන නැත. එය මිනිසුන් ලෙස අපට සාමූහිකව ක්‍රියා කිරීමට බාධාවකි. එහෙත්, අපේ අධ්‍යාපනය නිසා අපට උරුම වන වියුක්ත සංකල්ප සමඟ අපේ ඉන්ද්‍රිය පද්ධතියට ගෝචර වන දේ ගලපා ගැනීමෙන් මිනිසුන් බොහෝ දෙනෙකුට බාහිර ලෝකය එකම අයුරින් දකින්නට පුළුවන්කම ලැබේ. සංස්කෘතිය ගොඩ නැඟෙන්නේ මෙසේ බොහෝ දෙනෙකුට ලෝකය එකම අයුරින් දකින්නට ඇති හැකියාව මතය.

මෙසේ අධ්‍යාපනය හරහා අප දකින ලෝකය හැම විටම අපේ ප්‍රත්‍යක්ෂය සමඟ ගැලපීම අවශ්‍යම කරුණක් නොවේ. ඒ නිසා, ඕස්ට්‍රේලියානු කොඩියේ ඇති මුළු හතේ තරු තුලින් මෙන්ම, නවසීලන්ත කොඩියේ මුළු පහේ තරු තුලින්ද අපට දකුණු කුරුසිය දැකිය හැකිය.


(Image: http://www.fansshare.com/gallery/photos/13813394/buddy-handleson-wendell-and-vinnie-seeing-stars-image/?displaying)

Sunday, April 23, 2017

තාරකා තියෙන්නේ කොහේද?

අද අප බොහෝ දෙනෙක් දන්නා තරමින් අහසේ පෙනෙන තාරකා බොහොමයක් තියෙන්නේ ආලෝක වර්ෂ ගණනක් දුරිනි. ආලෝක වර්ෂයක් යනු ආලෝකය වර්ෂයක් තුළ ගමන් කරන දුරයි. ආලෝකයේ වේගය එය ගමන් කරන මාධ්‍යය අනුව වෙනස් වුවත්, රික්තකයක් තුළදී නියතයක් වන බව සාමාන්‍යයෙන් පිළිගැනේ.

1975දී පැවැත්වුණු කිරුම් මිනුම් පිළිබඳ 15වන මහා සමුළුවේදී ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458 බවට එකඟත්වයකට පැමිණුනත්, මේ එකඟත්වයට හේතුවුණේ ඒ වන විට දැන සිටි දේවල්ය. රික්තකයක් කොයි තරම් හිස්ද, ආලෝකය සෑදී ඇති ෆෝටෝන වලට ස්කන්ධයක් තිබේද, ඕනෑම සමුද්දේශ රාමුවකට සාපේක්ෂව ආලෝකයේ වේගය නියතද වැනි ප්‍රශ්න අපි දැනට පැත්තකින් තියමු. 1983දී පැවැත්වුණු කිරුම් මිනුම් පිළිබඳ 17වන මහා සමුළුවේදී මීටරයක් යනු ආලෝකය රික්තකයක් තුළ තත්පරයෙන් 1/299,792,458ක කාලයක් තුල ගමන් කරන දුර ලෙස අර්ථ දක්වා ඇති නිසා ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458ක් බව රුපියලකට සතසීයක් තිබීම තරම්ම නොවූවත් සෑහෙන දුරට සත්‍යයකි.

වඩා වැදගත් ප්‍රශ්නය ආලෝකය ආලෝක වර්ෂයක දුර ගමන් කිරීමට ගතවන කාලය කුමක්ද යන්නයි. අවුරුද්දක් කීම ප්‍රමාණවත් පිළිතුරක් නොවන්නේ අවුරුදු ඇත්තේ එකක් පමණක් නොවන බැවිනි. ලංකාව පමණක් ගත්තද, සිංහල අවුරුද්ද ගණනය කිරීමේදී හා හින්දු ආගමික උත්සව වල දින තීරණය කිරීමේදී යොදාගන්නා නක්ෂත්‍ර අවුරුද්ද, පෝය ගණනය කිරීමට යොදාගන්නා චන්ද්‍ර-සූර්ය අවුරුද්ද, පාස්කුව ගණනය කිරීමට යොදාගන්නා නිවර්තන අවුරුද්ද, ඉස්ලාම් ආගමිකයින් විසින් උපවාස කාලය තීරණය කිරීමට භාවිතා කරන චන්ද්‍ර මාස දොළහේ අවුරුද්ද හා සිවිල් දින දර්ශනයට පාදක වන ග්‍රෙගෝරියන් අවුරුද්ද එකිනෙකට සමාන නැත. ඒ නිසා ආලෝකයේ වේගය නියතයක් ලෙස සැලකුවත් ආලෝක වර්ෂය නියත වීමටනම් නියත අවුරුද්දක්ද අවශ්‍ය වේ. මේ නියත අවුරුද්ද ඉහත අවුරුදු එකක්වත් නොවන අතර දවස් 365.25ක ජුලියන් අවුරුද්දයි. දවසක කාලය නියතද යන ප්‍රශ්නයත් අපි පැත්තකින් තියමු.

මේ එකක්වත් විශාල ප්‍රශ්න ලෙස සැලකිය යුතු නොවන්නේ නාසා ආයතනයට අනුව අභ්‍යකාශ විද්‍යාවේදී (ඉතා ඈතින් ඇති තාරකා වලට දුර මැනීම වැනි කරුණු වලදී) නියම ගණනට වඩා දහගුණයක් විශාල හෝ දහගුණයකින් අඩු අගයක් හොඳ මිනුමක් ලෙස සලකන බැවිනි. ඒ මිනුම් වරද කෙසේවුවත්, අහසේ අපට පෙනෙන තාරකා බොහොමයක් තිබෙන්නේ ආලෝක වර්ෂ සියගණනක් දුරිනි. ආලෝක වර්ෂයක් යනු කිලෝමීටර 9,460,730,472,580.80 කි. ආලෝක වර්ෂයක් ඈතින් තිබෙන තාරකාවක් අපට පෙනෙන්නේ ජුලියන් වසරකට හෙවත් දින 365.25කට පසුවය. (මේ අයුරින්ම, අපට නැගෙනහිර ක්ෂිතිජයෙන් ඉර පායනු පෙනෙන්නේද ඉර "ඇත්තටම පායා" විනාඩි අටකට පමණ පසුවය.)

ඉරෙන්, හඳෙන් හා බ්‍රහස්පති වැනි ග්‍රහයන්ගෙන් කෙසේ වුවත්, මේ තරම් ඈතින් තිබෙන තාරකා වලින් පෘථිවියට බලපෑමක් තිබෙන්නට ඇති ඉඩකඩ ඉතාම සීමිතය. හොලිවුඩ් චිත්‍රපටයක මෙන්, ඔළුව ලොකු, කන් දිග ඒලියන් කෙනෙක් හෙට උදේ දොරට තට්ටු කර ලංකාවේ කුණු ප්‍රශ්නයට විසඳුමක් කියාදී යන්නට ඇති ඉඩකඩ මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, එසේ වෙන්නට ඇති ඉඩකඩ විය නොහැකි තරමටම ඉතාම සීමිතය. මෙතැනදී "ඉතාම සීමිතය" යන්න මගේ පෞද්ගලික විශ්වාසයක් පමණක් වන අතර වෙනත් අයෙකු එසේ නොසිතන්නට පුළුවන.

ඒ ආකාරයේ බලපෑමක් නැතත් මේ ඈතින් තිබෙන තාරකා පොළොවේ ජනජීවිතයට කොයිතරමට බලපාන්නේද යන්නට ඇති හොඳම සාක්ෂිය ලෝකයේ රටවල් වලින් තුනෙන් එකක පමණ ජාතික කොඩි වල විවිධ තරු සලකුණු තිබීමයි. මේ රටවල් අතර පළමුවෙනි, දෙවෙනි හා තෙවෙනි ලෝක ලෙස කලකට පෙර හැඳින්වූ ධනවාදී, සමාජවාදී හා අඩු ආදායම් රටවල්ද, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම්, බෞද්ධ, යුදෙවු හා අදේවවාදී රටවල්ද ඉතා හොඳින් නියෝජනය වේ.

පෙර ලිපියෙන් කතාකළ ඕස්ට්‍රේලියානු ජාතික කොඩියේ දක්නට ඇති දකුණු කුරුසිය උදාහරණයකි. රටවල් පහකම ජාතික කොඩිවල මේ දකුණු කුරුසියට තැනක් ලැබී තිබේ.

ඕස්ට්‍රේලියානු කොඩියේ තිබෙන්නේ දකුණු කුරුසියට අයත් තරු පහ පමණක් නොවේ. එහි හයවන තරුවක්ද තිබේ. මුළු හතකින් යුතු මේ තරුව හැඳින්වෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව වශයෙනි. එහි මුළු හයකින්, ඕස්ට්‍රේලියාවේ මුල් ප්‍රාන්ත හයත් හත්වන මුල්ලෙන් පසුව එකතු වූ හෝ එකතු විය හැකි ප්‍රාන්තත් සංකේතවත් කරයි. මේ තාරකාව දකුණු කුරුසියට අයත් ඇල්ෆා කෘෂියස් හා බීටා කෘෂියස් ආදී තාරකා මෙන් අහසේ දැකිය නොහැකි, ඕස්ට්‍රේලියානුවන්ගේ (හා වෙනත් අයගේ) පොදු ජන විඥානයේ ඇති තරුවකි. ඕස්ට්‍රේලියානු කොඩියේ ඇති, අහසේ දැකිය නොහැකි, මේ තරුව ඕස්ට්‍රේලියානුවන් බහුතරයක් පොදු රාජ්‍ය මණ්ඩලීය තරුව ලෙස හඳුනනවා විය යුතුය.

බොහෝ රටවල ජාතික කොඩි හා ප්‍රාදේශීය කොඩි වල තිබෙන තරු ඇත්තටම තිබෙන්නේ ඒ රටවල ජීවත්වන මිනිසුන්ගේ සාමූහික විඥානය තුළ මිස අහසේ නොවේ. ඒ නිසා, තරු වලින් පොළොවට ඇති බලපෑම තීරණය වන්නේ ඒ තරු වලට ඇති ආලෝක වර්ෂ ගණන මතද නොවේ.


(Images: www.ausflag.com.au)

Saturday, April 22, 2017

දකුණු කුරුසිය



ලංකාව වැනි සමකය ආසන්න රටක සිට දැකිය හැකි රෑ අහසේ තරු රටා සියල්ල සමකයෙන් ඈත රටක සිට දැකිය නොහැකිය. උතුරු ඇමරිකාවේදී රාත්‍රී කාලය පුරාවටම අහසේ දැකිය හැකි "බැස නොයන" ධ්‍රැව තාරකාව ඕස්ට්‍රේලියාවේ සිට දැකිය නොහැක. සප්තාර්ශි තාරකා මණ්ඩලයද ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළේ පිහිටි ප්‍රධාන නගර වලට නොපෙනේ. මේ අයුරින්ම, දක්ෂිණ ධ්‍රැවය ඉහළින් ඇති, ඕස්ට්‍රේලියානු අහසින් බැස නොයන ඇතැම් තාරකා මණ්ඩල ඇමරිකාවේ උතුරු ප්‍රාන්තයක සිට දැකිය නොහැකිය. දකුණු කුරුසිය එවැනි තාරකා මණ්ඩලයකි.

උතුරු අර්ධගෝලයේදී ධ්‍රැව තාරකාව නාවිකයින්ට මඟ පෙන්වා ඇති අයුරින්ම, දකුණු කුරුසිය වසර දහස් ගණනක් පුරා දකුණු අර්ධගෝලයේ යාත්‍රා කළ නාවිකයින්ට මඟ පෙන්වා තිබේ.

දකුණු කුරුසිය කුරුසියක හැඩයට පෙනෙන ප්‍රධාන තාරකා හතරකින්ද, සාපේක්ෂව කුඩා පස්වන තාරකාවකින්ද සමන්විත කුඩා තාරකා මණ්ඩලයකි. ප්‍රධාන තාරකා හතර ඇල්ෆා කෘෂියස්, බීටා කෘෂියස්, ගැමා කෘෂියස් හා ඩෙල්ටා කෘෂියස් ලෙස හඳුන්වන අතර කුඩා තාරකාව එප්සිලෝන් කෘෂියස් ලෙස හැඳින්වේ.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පැපුවා නිවුගිනි, සමෝවා හා බ්‍රසීලය යන ලෝකයේ රටවල් පහක ජාතික කොඩිවල දකුණු කුරුසිය දකින්නට ලැබේ. නවසීලන්ත කොඩියේ දැකිය හැක්කේ ප්‍රධාන තාරකා හතර පමණි. 





 (Image: http://scienceblogs.com/startswithabang/2012/06/15/its-my-______-in-a-box/)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...