වෙබ් ලිපිනය:

Tuesday, April 25, 2017

අරුන්දතී ගුවන් විදුලි වැඩසටහන


ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිට භාෂා පණහකින් විකාශනය කෙරෙන EB4 ගුවන් විදුලි සේවයේ ශ්‍රී ලාංකික (සිංහල) සේවය ඉදිරිපත් කරන සඳැල්ල වැඩ සටහනේ අද තේමාව වූයේ අරුන්දතියයි. මේ FM නාලිකාවේ ඉරිදා දිනවල උදයේ පැයක් හා අඟහරුවාදා දිනවල රාත්‍රියේ පැයක් ලෙස සිංහල වැඩසටහන් විකාශනය වේ. බ්‍රිස්බේන් වේලාවෙන් පස්වරු දහයේ සිට පැයක කාලයක් විකාශනය වූ අද සඳැල්ල වැඩසටහන සඳහා අරුන්දතිය තේමා කරගැනීමට හේතු වී තිබුණේ දින කිහිපයකට පෙර ඉකොනොමැට්ටාගේ බොජුන්හලේ පළ කෙරුණු "වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලා" නම් වූ ලිපියයි.

වැඩසටහන ඇරඹුණේ ඉකොනොමැට්ටාගේ ලිපියේ කතා නොකළ, මෑතකදී විකාශනය කෙරී ඇති අරුන්දතී ටෙලිනාට්‍යයේ තේමා ගීතයෙනි.

"අරුන්දතී සලුපටින් මිදී
මා ලඟට ලංව එවී
ඔය රහස් කතා ඇස් පියන් වසා
ඇස් වලට තුරුළු වේවී..."



මේ ගීතය ප්‍රචාරය කිරීමෙන් පසුව වැඩසටහන් සම්පාදකයෝ ඔවුන්ගේ අසන්නන් වෙනුවෙන් ඉකොනොමැට්ටාගේ බොජුන්හල හා ඉකොනොමැට්ටාව හඳුන්වා දීමෙන් අනතුරුව වැඩසටහනට ඉකොනොමැට්ටාව සම්බන්ධ කර ගත්තේය. මේ සඳහා මුල් වුනේ EB4 ගුවන් විදුලි සේවයේ ශ්‍රී ලාංකික කණ්ඩායමේ සාමාජිකයෙකු වන, මා පෞද්ගලිකව නොහඳුනන තිසරයි.

මෙහිදී ඉකොනොමැට්ටා පලකළ අදහස් බොහොමයක් බ්ලොග් ලිපියේ ලියා ඇති නිසා නැවත ලිවිය යුතු නැත. මෙහිදී කියැවුණු, මුල් ලිපියේ නැති එක් විශේෂ කරුණක් වන්නේ අරුන්දතී තාරකාව හෝ එය අයත්වන සප්තාර්ශී තාරකා මණ්ඩලය ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි මෙල්බර්න් හෝ සිඩ්නි වැනි නගරයකට නොපෙනෙන බවයි. ඒ, ඒ නගර වල සිටින අය මරණයට ආසන්නව සිටින නිසා නොවේ. සප්තාර්ශී තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ පොළොවේ උතුරු දෙසට වන්නට නිසාය.

මා හිතන පරිදි, බ්‍රිස්බේන් වැනි තරමක් උතුරට වන්නට පිහිටි නගරයක සිට වුවද මේ තාරකා මණ්ඩල නොපෙනුණත්, ඕස්ට්‍රේලියාවේ වඩා උතුරට වන්නට ඇති පෙදෙසක සිට මේ තාරකා දැකිය හැකිය. මේ අයුරින්ම ඕස්ට්‍රේලියානු ජාතික කොඩියේ ඇති දකුණු කුරුසිය උත්තරාර්ධගෝලයේ සමකයෙන් ඈත පෙදෙස් වලට නොපෙනේ.

දැන් නොපෙනුණත් වසර දෙදහසකට පමණ පෙර දකුණු කුරුසිය ඉර බසින වෙලාව ආසන්නව සමකයෙන් උතුරේ පිහිටි ජෙරුසලම ඇති ප්‍රදේශයට පමණක් නොව දකුණු යුරෝපයේ වතිකානුව තිබෙන ප්‍රදේශයටද පෙනී තිබේ. මේ පෙදෙස් වල ක්‍රිස්තියානිය පැතිරෙන්නට පෙර පැවති ජනශ්‍රැති අනුව දෙවියන් (හිරු) හැන්දෑවේ කුරුසියේ හැපී මිය යන අතර නැවත පසුදා උදේ උත්ථානය වේ. කෙසේවුවද, පොළොවේ පූර්වායනය නිසා වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට දකුණු කුරුසිය නොපෙනී ගියේය.

ඉකොනොමැට්ටාට අදහස් දැක්වීමට ඉඩ සැලසීමෙන් පසුව වැඩ සටහනේ ඉතිරි කොටස තුළ ඔවුහු අරුන්දතී ගැන ලියැවුණු සිංහල ගී ගැන කතා කළහ. ඒ ගී අතර විජය කුමාරතුංගයන් ගයන මේ මියුරු ගීයද තිබුණේය.

"කරඹ යායේ ළවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ ඔබ බලන්නයි අරුන්දතී.."


වැඩ සටහන අවසාන වුණේ ඉකොනොමැට්ටාගේ මුල් සටහන සමඟද පළවුණු එච් ආර් ජෝතිපාලයන් ගයන "දොළොස්මහේ පහණ වාගෙ" ගීතයෙනි. මේ ගීතයේ රචකයා මා නොදන්නා නමුත් එහිද අරුන්දතී තාරකාවට සම්බන්ධයක් ඇති බව පෙනේ. ගීත රචකයා මෙහිදී කිසියම් තරුණියකට අරුන්දතී ලෙස අමතන්නේ ඇය තනිව ගමන් නොයා මල්ලී සමඟම ගමන් බිමන් යන නිසා සමච්චලයටය.

අරුන්දතී තේමා කරගත් සඳැල්ල වැඩසටහනට ඔවුන්ගේ http://www.4eb.org.au/4eb-ondemand වෙබ් අඩවියට ගොස් "Sri Lankan" වැඩ සටහන තේරීමෙන් ඉදිරි සතියක කාලය තුළ (ඊළඟ වැඩසටහන විකාශනය කෙරෙන තුරු) සවන් දිය හැකිය. 

පසු සටහන: මේ වන විට මේ වැඩසටහන යූටියුබ් වෙතද උඩුගත කර තිබේ.

29 comments:

  1. දැන් අහන්න යන ගමන්.. චියර්ස්..

    ReplyDelete
    Replies
    1. ඔබ බැලුවද MOANA විත්‍රපටය..?? ඒකෙත් ඔය අරුන්දතියට සම්බන්ධයක් තියේ වගේ..

      Delete
    2. ප්ලේ වෙනවාද ?අහන්න පුළුවන්ද ?මට සිංහල එක ප්ලේ වුනේ නැහැනේ.

      Delete
    3. සමහර බ්‍රවුසර් එපී4 සදහා ප්‍රතිචාර නොදක්වයි.. ක්‍රෝම් නම් සුවර්ම සුවර්. මොකද මං ඇහුවේ ඒකෙන්

      Delete
    4. සෆාරි වගේ සමහර බ්‍රවුසර් වලින් සිංහල නාලිකාව ප්ලේ වෙන්නේ නැහැ. ක්‍රෝම්නම් වැඩකරනවා.

      Delete
    5. MOANA චිත්‍රපටය බලා නැහැ. Deep Impact නම් Alcor සහ Mizar ගැන සඳහන් වන චිත්‍රපටයක්.

      Delete
  2. එච් ආර් ජෝතිපාල ගයන "දොළොස් මහේ පහණ වාගෙ ගමට එළිය දුන්න" ගීතයේ රචකයා මෙහිදී කිසියම් තරුණියකට අරුන්දතී ලෙස අමතන්නේ ඇය තනිව ගමන් නොයා මල්ලී සමඟම ගමන් බිමන් යන නිසා ඇයට අරුන්දතී යන නම පට බැඳ වෙන්න බෑ.

    මොකද ඔබ විස්තර කළ පරිදි අරුන්දතී යනු වඩා දීප්තිමත් තරුවක් අසල පිහිටි කුඩා, දීප්තියෙන් අඩු එකක් නේ?

    එනිසා, "අරුන්දතියෙ අක්ක මොටද ගමන් බිමන් යන්න?" කියායි ඇසිය යුත්තේ...!!!

    ReplyDelete
    Replies
    1. නිකමට ලියූ අදහසක් පමණයි. ගීතයේ රචකයාගෙන්ම පමණයි මෙවැනි දේ හරියටම දැනගත හැක්කේ.

      Delete
  3. අරුන්දතී ගැන ගොඩක් දේ ඊයෙ දැනගත්ත.. තිසර ටත් ඉකොනොමැට්ටා ටත් ස්තුතියි!

    ReplyDelete
  4. මාර සින් කොන් එක ඉක්කෝ මැට්ටා ඔය RADIO 4EB රේඩියෝ එක අහලා
    බ්‍රිස්බන් වල ඉන්න ලංකාවේන් ආපු සිංහල ,දෙමල, මුස්ලිම් මදිවට ලන්සිත් එක දිගට ගුගල් සර්ච් කරනවා
    මොනවද මේ සිංහල බ්ලොග් කියන්නේ කියලා හොයා ගන්න
    හරියට අර ලංකාව් ඉන්න කට්ටිය ගුගල් එකේ සෙක්ස් සර්ච් කරනවා වගේ
    එක හින්දා මෙහෙ ගුගල් සර්ච් සිස්ටම් එක හේවි ටැෆික් එකක් කියලා බ්‍රිස්බන් ABC NEWS වලට පෙන්නුවා
    මෙන්න ඒ ලින්ක එක www.abc.net.au/news/brisbane/


    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියේ සිංහල බ්ලොග් ගැන ඕස්ට්‍රේලියාවේ හැමෝම දන්නවා කියලා. :)

      Delete
    2. වෙනින් කවුරුත් නොවෙයි දන්නේ බ්ලොග් ලියන එවුන් විතරයි

      Delete
    3. එහෙමනං ඇනෝත් බ්ලොග් ලියන කෙනෙක් වගේ! :)

      Delete
  5. හොඳ පැහැදිලි කටහඩක් තියනවා.. podcast එකක් වුනත් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒකත් නරක අදහසක් නෙමෙයි. බ්ලොග් එක ලියනවාට සාපේක්ෂව ඉතාම අඩු කාලයක් යන්නේ.

      Delete
  6. අරුන්දතීගෙන් පටන් ගෙන අරුන්දතී තරුව පෙන්වනවා වාගේ අපිට තරු පෙන්නූ ඉකොනොමැට්ටා ගේ මේ ලිපි පෙලට අගය කිරීමක් දුන් එම ගුවන් විදුලි සේවාවට ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ඔවු. ඔවුන් හොඳ වැඩසටහනක් වගේම හොඳ ප්‍රමෝෂන් එකකුත් කළා.

      Delete
  7. ඉන්දිය පොත්පත් වල සදහන් වන පරිදි වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් පළමුවෙන්ම ග‍්‍රන්ථ රචනාකල වාස්තුවිද්‍යා ශාස්ත්‍රොපදේශකයින් 18 දෙනාගෙන් කෙනෙක් වන්නේ අරුන්දතිගේ සැමියා වන වශිෂ්ඨ මුනිවරයා බවත් සප්තාර්ශී මුනිවරුන් 7 දෙනා ඔහුගේ පුත‍්‍රයන් බවත් සදහන් වෙනවා. (උපුටාගත්තේ දෛවඥ වයි ඒ හරමානිස් අප්පුහාමිගේ වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය පොතෙන්.)
    එතකොට වශිෂ්ඨ කියන්නේ තාරතාවක් නොවෙයිනේ. වශිෂ්ඨ එක්ක නේද සප්තාර්ශී තරුපංතිය හැදෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ජ්‍යෝතිෂ්‍යය වගේම වාස්තු විද්‍යාවත් වේදයේ කොටසක්. වේද ග්‍රන්ථ මහා බ්‍රහ්මයා විසින් ලෝකය මැවීමෙන් පසුව සෘෂි වරුන් හරහා ලැබුණු දැනුමක් බව හින්දු විශ්වාසයයි. වශිෂ්ඨ කියන්නේ වේදයේ බොහෝ තැන් වල සඳහන් සෘෂි වරුන් (මුණි වරුන්) හත් දෙනෙක්ගෙන් එක් අයෙක්. තාරකා හත හඳුනා ගන්නෙත් ඒ සෘෂි වරුන් හත් දෙනා ලෙසම තමයි. මේ හා අදාල කතාත් හින්දු සාහිත්‍යයේ බොහෝ තැන්වල තිබෙනවා. වේදයේ ඇතැම් කොටස් වශිෂ්ඨ (සෘෂි වරයා හෝ මුණි වරයා) විසින් රචනා කළ බව හෝ 'ඇසූ බව' සඳහන් වෙනවා. කෙසේ වුවත්, මුල් කාලයේ සිටම මේ සෘෂි වරුන් හත් දෙනාගේ ලැයිස්තුවේ විවිධ වර්ෂන් තිබෙනවා. ඒ වගේම හතක් නොවී දහයක් හෝ වෙනත් ගණනක් ලෙස සඳහන් වුණු තැනුත් තිබෙනවා. ඔබ කියවා ඇති පොතේ ඇති දෙයත් එසේ යම් තැනක සඳහන් වී ඇති දෙයක් විය යුතුයි.

      Delete
    2. ස්තූතියි ඉකෝ.
      මත්ස්‍ය පුරාණය, අග්නි පුරාණය, ගරුඩ පුරාණය කියන්නේ වේද ග‍්‍රන්ථද?
      ඔබගේ අරුන්දති ගැන ලිපි පෙලෙන් බොහෝ දේ උගත්තා. මෙය මෙතැනින් නොනවත්තවා ඉදිරියට ගෙනයන මෙන් ඉල්ලා සිටිමි.

      Delete
    3. හින්දු (ආගමික) සාහිත්‍යයේ කොටස් දෙකක් තිබෙනවා, ශ්‍රැති හෙවත් ඇසූ දේ හා ස්මෘති හෙවත් මතක තබාගත් දේ ලෙස. ශ්‍රැති කොටසේ සාමාන්‍යයෙන් රචකයා ගැන සඳහන් වෙන්නේ නැහැ. බ්‍රහ්මයා විසින් කවුරු හෝ සෘෂි වරයෙකුට කියපු දේ ලෙසයි ඒවා සැලකෙන්නේ. චතුර්වේදයට අයත් කොටස් සැලකෙන්නේ ශ්‍රැති ලෙස. පුරාණ හා "වාස්තු ශාස්ත්‍ර" ඇතුළු ශාස්ත්‍ර ග්‍රන්ථ අයත් වන්නේ ස්මෘති කොටසට. මේවායේ කිසියම් කතෘ කෙනෙක් ගැන බොහෝ විට සඳහන් වෙනවා. ශ්‍රැති කොටස ස්මෘති කොටසට වඩා වසර දහසක්වත් පැරණියි.

      Delete
  8. ඉතාම කෙටි දැනුම්දීමකින් අපේ වැඩසටහනට සම්බන්ධවීමට ඉදිරිපත්වීම ඉතා අගය කරනවා. ඉකොනොමැට්ටාගේ ලියවිල්ල වගේම කථනයත් ඉතා නිරවුල් පැහැදිලි අහගෙන ඉන්න කැමැත්ත ඇති කරන ආකාරයේ එකක්. (අපේ වගේ නෙමෙයි). වැඩසටහන පිළිබඳ ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. දැන් එය යූටියුබ් හරහා අහන්න පුළුවන්.

    මීට කලින් රසිකොලොජි ලියන රසික සූරිය ආරච්චි, බ්‍රිස්බේන් සංචාරයක් අතරතුර අපේ වැඩසටහනට මැදිරියටම පැමිණ සහභාගී වුණා. මේ බ්ලොග්කරුවෙක් අපේ වැඩසටහනට සම්බන්ධ වූ දෙවෙනි අවස්ථාව.

    --

    මේ පිළිබඳව වැඩි විස්තර සොයන විට, කීර්ති පැස්කුවෙල් ගේ වැඩිය ජනප්‍රිය නොවන ගීතයක් හමු වුණා.

    "සඳ නිදනා රෑ යාමේ දිලෙනා තරු පොකුරේ
    අරුන්දතී වූවාදෝ සරසා දිවි ගමනේ"

    ජානකීහරණයේ මේ වගේ පද්‍යයක් තිබෙන බවක් සඳහන් වුණා. ඒ ගැන වැඩි විස්තර සොයාබැලිය යුතුයි.

    "ලැබ පතිනින් දෙලොවැ - දැපෙන දෙදෙනෙකි තොප හිමි මම මිහි තලැ අරුන්දති - හිමි වසිටු මුනි සුර ලෙවැ"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, තිසර! එයත් ලිපිය අගට එකතු කළා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...