වෙබ් ලිපිනය:

Thursday, October 28, 2021

මූඩීස් ලංකාව තවත් පහළට දමයි!


මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ ණය අවදානම Caa1 ශ්‍රේණියේ සිට Caa2 ශ්‍රේණිය දක්වා තවත් කට්ටයකින් පහළට දමා තිබෙනවා. මේ අනුව පෙනෙන්නේ මහ බැංකුවේ නව අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කෙටිකාලීන මාර්ග සිතියම මූඩීස් ආයතනය විසින් සාධනීය ලෙස දැක නැතුවාට අමතරව, තවත් නිශේධනීය ලෙස දැක ඇති බවයි. 

විදේශ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටී තිබියදී, ඉදිරි කාලයේදී ගෙවිය යුතු ණය ආපසු ගෙවීම සඳහා මුදල් සොයා ගත හැකි ක්‍රමයක් පැහැදිලිව පෙනෙන්නට නැති පසුබිමක, මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ තක්සේරුව අනුව ලංකාවේ ණය පැහැර හැරීමේ අවදානම තව දුරටත් ඉහළ යාම මෙම තීරණයට හේතු වූ බව එම ආයතනය විසින් පවසනවා. ඒ වගේම, ඉතා කෙටි කාලයක් තුළ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වීමේ දැවැන්ත අවදානම අඩු කර ගැනීම සඳහා රටේ ආයතන විසින් තීරණාත්මක පියවර ගෙන නැති බව මේ නිගමනය තුළින් පිළිබිඹු වන බවද ඔවුන් පවසනවා.

ද්‍රවශීල විදේශ වත්කම් නැති වීමේ අවදානම විශාල ලෙස ඉහළ යාම, මෑතකාලීනව ණය නොවන විදේශ මුදල් යම් ප්‍රමාණයක් හොයා ගෙන තිබුණත් එදාවේල ක්‍රමයට ද්විපාර්ශ්වික ණය හා විණිමය හුවමාරු ගිවිසුම් හරහා මුදල් හොයා ගැනීම කෙරෙහි රජය විශ්වාසය තැබීම, දිගින් දිගටම විශාල අයවැය හිඟයක් නඩත්තු කිරීම හා රජයේ ආදායම් විශාල ලෙස පහත වැටී තිබීම හමුවේ අලුතින් ණය ලබා ගැනීම වඩා වඩා අසීරු වෙමින් තිබෙන බවද මූඩීස් ආයතනය සඳහන් කරනවා.

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අයවැය ඔන්න මෙන්න කියා තියෙද්දී, මූඩීස් ආයතනය විසින් මෙසේ ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය තව දුරටත් පහත දැමීම පිළිගත නොහැකි බවයි.

Friday, October 22, 2021

ධනවාදයේ හා සුබසාධනවාදයේ දරුවා


පසුගිය ලිපි ගණනාවකම අවධානය යොමු කෙරුණේ ලංකාවේ ආර්ථිකය වෙතයි. ලංකාව ගැන එක දිගට කතා කරන්න යාම නිසා කතා කරමින් සිටි ඇතැම් මාතෘකා තරමක් දුරට මග හැරුණා. මෙම වියුණුවෙහි ලිපි ගණනාවකින් අප ධනවාදය ගැන කතා කළා. ධනවාදයෙහි කාර්යක්ෂමතාවය සමඟ තරඟ කළ හැකි වෙනත් විකල්පයක් නැති බව පැහැදිලි කළා. ධනවාදය තුළ නිෂ්පාදනය සඳහා දායක වන හැම දෙනෙකුටම තමන්ගේ ආන්තික ඵලදායීතාව ලැබෙන ආකාරය විස්තර කළා. 

එසේ වුවත්, ලෝකයේ කිසිම රටක පූර්ණ ධනවාදයක් නැහැ. හැම රටකම වගේ රජය විසින් යම් තරමකින් වෙළඳපොලට මැදිහත් වීමක් කරනවා. එහිදී කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කරන්න සිදු වෙනවා. මෙය කරන්නේ ධනවාදය තුළ ළඟා කර ගත නොහැකි ඉලක්කයක් වන ආදායම් විෂමතා අවම කරන්නයි. ධනවාදය යටතේ හැම කෙනෙකුටම නිෂ්පාදනය සඳහා තමන්ගේ දායකත්වයට සරිලන ප්‍රතිලාභ ලැබෙන නමුත් එසේ ලැබෙන ප්‍රමාණයෙන් හැම කෙනෙකුගේම ජීවිත "අවශ්‍ය පමණ" සුඛිත මුදිත වන්නේ නැහැ. එවැන්නන් ගැන බලා ගන්න යම් ආකාරයක විකල්ප ක්‍රමයක් අවශ්‍ය වෙනවා.

මිනිස්සුන්ට ස්වභාවිකවම තමන්ගේ යහපත තකා කටයුතු කරන්න පෙළඹීමක් තිබෙනවා. ඊට අමතරව තමන්ගේ "වර්ගයාගේ" යහපත වෙනුවෙන් කටයුතු කිරීමේ පෙළඹීමක්ද තිබෙනවා. මේ දෙකේම පරිණාමීය වාසි තිබෙනවා. තමන්ගේ යහපත ගැන නොසිතීමේ චර්යාවකට පරිණාමීය පැවැත්මක් නැතුවාක් මෙන්ම, අනුන් ගැන කිසිසේත්ම නොහිතා තමන්ගේ යහපත ගැන පමණක් සිතීමද පරිණාමීය ලෙස වාසිදායක චර්යාවක් නෙමෙයි. ඔය දෙක අතර මනා සමතුලනයක් තිබිය යුතුයි.

ධනවාදී රටවල ජීවත් වන මිනිස්සුන්ටත් මේ ස්වභාවික මිනිස් ලක්ෂණය තිබෙනවා. තමන්ගේ ආන්තික ඵලදායීතාවය ලෙස අනෙක් අයට වඩා වැඩි ප්‍රතිලාභ ලබන බොහෝ දෙනෙක් එම ප්‍රතිලාභ වලින් කොටසක් වෙනත් අය සමඟ බෙදා ගන්න පැකිලෙන්නේ නැහැ. හැබැයි එහෙම වුනා කියලා හැම දෙනෙක්ම සතුටු වන්නේ නැහැ. තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු, එහෙත් අපේක්ෂාවන් ඊට වඩා වැඩි මිනිස්සු විශාල පිරිසක් ඕනෑම සමාජයක ඉන්නවා. සමහර වෙලාවට ඒ මිනිස්සු ඇති හැකි අය කැමැත්තෙන් තමන්ට දෙන දෙයකට වඩා දෙයක් ඔවුන්ගෙන් ලබා ගැනීම සඳහා සටන් කරනවා. 

මේ ආකාරයේ ඉල්ලීම් වරින් වර මතු වෙන එක නරක දෙයක් නෙමෙයි. හැම කෙනෙකුගේම ජීවිත "අවශ්‍ය පමණ" සුඛිත මුදිත නැති බව සමාජයේ වරප්‍රසාදිත කණ්ඩායම් වලට ඒත්තු යන්න ඉඳහිට හෝ මේ වගේ දේවල් වෙන්නත් ඕනෑ. ඒ වගේ ඉල්ලීමක් සාධාරණ බව කිසියම් සමාජයක බොහෝ දෙනෙකුට ඒත්තු ගිය විට එවැනි සමාජයක බහුතර කැමැත්තෙන් කාර්යක්ෂමතාවය අඩු වෙන යම් ක්‍රියාමාර්ග කරා යොමු වීමක් දැකිය හැකියි. මේ විදිහට කාර්යක්ෂමතාවය කැප කිරීමක් සිදු වෙන්නේ සමාජයක බහුතරය විසින් විශ්වාස කරන යම් ආකාරයක සමාජ සාධාරණත්වයක් වෙනුවෙන්. 

පූර්ණ ධනවාදයකට වඩා ආසන්න හැම රටකම වගේ හොඳ සුබසාධන යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙනවා. මේ හරහා කෙරෙන්නේ ධනවාදී තරඟය තුළ අසමත් වන කොටස් ගැන බලා ගන්න එකයි. එවැනි විකල්ප යාන්ත්‍රණයක් නැත්නම් ධනවාදී තරඟය තුළ පැරදෙන පිරිස් ක්‍රම විරෝධීන් බවට පත් වෙනවා. හැබැයි මේ ආකාරයේ සුබසාධන යාන්ත්‍රණයක් අදාළ සමාජයට දරාගත හැකි විය යුතුයි. එහි බරපැන දරන්න ප්‍රමාණවත් පිරිසක් නැතිව ගියොත් අවසාන වශයෙන් යහපතක් වෙනුවට සිදු වන්නේ අයහපතක්. ඒ නිසා, විෂමතා අවම කිරීම හා කාර්යක්ෂමතාවය නඩත්තු කිරීම අතර මනා සමතුලනයක් පවත්වා ගන්න වෙනවා. බටහිර රටවල ස්ථාපනය වී තිබෙන ද්වි පක්ෂ ක්‍රමය හරහා වෙන්නේ මේ වැඩේ.

අප කරගෙන ආ සාකච්ඡාව නැවැත්තුවේ මේ කරුණ ගැන විස්තර කරලා. සාකච්ඡාව නැවතුනේ පහත ලිපි වලින්.

ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය

ද්විපක්ෂ ක්‍රමය

ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය හා අතර සිදු වන මේ දෝලනය අස්සේ ජාතිකවාදයේ භූමිකාව මොන වගේ එකක්ද? ඊළඟට අපට කතා කරන්න තිබෙන්නේ මේ කරුණයි. මේ මාතෘකාව සඳහා පහත ලිපියෙන් ප්‍රවේශයක් ගත්තා. 

ජාතිකවාදී විකල්පය

මෙහිදී මම ජාතිකවාදය කියන එකෙන් මූලික වශයෙන්ම අදහස් කළේ ආර්ථික ජාතිකවාදයයි. ලංකාවේ ජාතිකවාදයේද ආර්ථික ජාතිකවාදී සංරචකයක් තිබුණත් එය ආර්ථික ජාතිකවාදය මත පාදක වූවක් නෙමෙයි. මම කතා කරන්න යන්නේ ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩනැගුනු බටහිර සමාජ වල ජාතිකවාදය පැන නැගුනේ කොහොමද කියන කාරණයයි. එයට වුවද විවිධ සාධක හේතු වන නමුත් මම අවධානය යොමු කරන්නේ ආර්ථික සාධක වෙතයි. 

මම දකින විදිහට මේ ආකාරයෙන් ආර්ථික ජාතිකවාදයක් ඉස්මතු වීම ධනවාදය සමඟ සුබසාධන ආර්ථිකයක් ක්‍රියාත්මක වෙද්දී අනිවාර්යයෙන්ම සිදු විය යුතු පරිණාමීය ප්‍රතිඵලයක්. ඒ ඇයි?

එහිම සෛද්ධාන්තික මූලික ස්වරූපය ගත්තොත් ධනවාදය දේශ සීමා කියා දෙයක් සලකන්නේ නැහැ. ඒ කියන්නේ ධනවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදීයි. දේශ සීමා කියා දෙයක් පවතිනවා කියා කියන්නේම වෙළඳපොළ කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියන එකයි. ඒ කියන්නේ වෙළඳපොළ දියුණු වීම හරහා අකාර්යක්ෂමතාවයන් අඩු වෙද්දී දේශ සීමා ඉරි මැකී යා යුතුයි.

මෙයින් වෙනස්ව සමාජවාදී ක්‍රමයකට පැවතිය හැක්කේම ජාතික රාජ්‍ය සීමාවන් ඇතුළේ. සමාජවාදයකට නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදී වෙන්න බැහැ. එවැන්නක් සෛද්ධාන්තිකව හෝ තිබිය හැක්කේ වෙළඳපොළ දියුණු වී ඒ හරහා ජාතික රාජ්‍ය වල වලංගු භාවය අහෝසි වී යාමෙන් පසුව ඇති විය හැකි දේශ සීමා නැති, පරිකල්පනීය ලෝකයක පමණයි. ඒ අතින් බැලුවොත් කවදා හරි එකපාරම ලෝක කම්කරු විප්ලවයක් කරන්න බලා ගෙන හිටපු (දැන් වුනත් අන්වීක්ෂයකින් බැලුවොත් අමාරුවෙන් හොයා ගත හැකි) ට්‍රොට්ස්කිවාදීන් හිතපු විදිහ හරි. (මෙයින් අදහස් කළේ ට්‍රොට්ස්කිවාදයේ පාදමේ තිබෙන මාක්ස්වාදයේ මූලික උපකල්පන නිවැරදියි කියන එක නෙමෙයි. එසේ නොවන බව ලිපි මාලාව තුළ කලින්ම පැහැදිලි කළානේ!)

සමාජවාදී ක්‍රමයක් නඩත්තු කරන්න අනෙක් මිනිස්සු වෙනුවෙන් හොඳ දේ තීරණය කළ හැකි "සාමාන්‍යයන් අතර අසාමාන්‍යයන්ගේ" කල්ලියක් අවශ්‍යයි. ජාතික රාජ්‍යයක් ඇතුළේ මේ භූමිකාව කරන්නේ රජය විසින්. රජය නඩත්තු වෙන්නේ අදාළ ජාතික රාජ්‍ය සීමාවේ සිටින මිනිසුන්ගේ ආන්තික ඵලදායීතාවයෙන් කොටසක් බලය යොදා උදුරා ගැනීම හරහා. සුබසාධනය කියා කියන්නේ ඒ උදුරා ගැනීම සාධාරණීකරණය කරන මෙවලමයි. මේ හරහා සමාජවාදී සමාජයක මිනිසුන් අතර සම්පත් බෙදී යාමේ විෂමතා අඩු කෙරෙනවා. සෛද්ධාන්තික ධනවාදයක ඒ වැඩේ වෙන්නේ නැහැ.

හැබැයි මෙවැනි රජයකට බලය යොදා උදුරා ගත හැක්කේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව තුළ සිටින මිනිසුන්ගේ  ආන්තික ඵලදායීතාවයෙන් කොටසක් පමණයි. එතැනින් එහා සිටින මිනිසුන්ගේ සම්පත් උදුරා ගැනීමේ හැකියාවක් සමාජවාදී රාජ්‍යයකට නැහැ. මේ හේතුව නිසා සමාජවාදී ජාතික රාජ්‍යයක් කොයි තරම් ජාත්‍යන්තරවාදී වෙන්න උත්සාහ කළත් වැඩි දුරක් යන්න කලින්ම ක්‍රමය තුළම පවතින නෛසර්ගික උගුලක හිර වෙනවා.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි ජාත්‍යන්තරවාදී සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටි සෝවියට් දේශය ගනිමු. ඔය වගේ ක්‍රමයක් ඇතුළේ සෛද්ධාන්තිකව ගත්තොත් ක්‍රියාත්මක වෙන්නේ යම් ආකාරයක රොබින් හුඩ් ක්‍රමයක්නේ. එය මතුපිටින් එලෙස පෙනීම හෝ නොපෙනීම වැදගත් කරුණක් නෙමෙයි. දැන් මේ ක්‍රමය ඇතුළේ දේශ සීමාව ඇතුළේ සිටින වඩා ඵලදායී මිනිසුන්ගේ වියදමින් අඩු ඵලදායීත්වයක් තිබෙන මිනිසුන්ව සුබසාධනය කෙරෙනවා. එය රටේ බහුතර මිනිසුන්ගේ කැමැත්ත සමඟ සමපාත වන තුරු මේ වැඩේ අවුලක් නැහැ.

දැන් මේ සමාජවාදය ජාත්‍යන්තරවාදී කරන්න ගියාම වෙන්නේ කුමක්ද? අපි හිතමු සෝවියට් රජය හිතන විදිහට සෝවියට් දේශයේ කම්කරුවෙකුට ලැබෙන වරප්‍රසාදම ලංකාවේ කම්කරුවෙකුටත් ලැබිය යුතුයි කියලා. එහෙම හිතනවානම්, සෝවියට් රජයට සෝවියට් කම්කරුවාව වගේම ලංකාවේ කම්කරුවාවත් සුබසාධනය කරන්න වෙනවා. හැබැයි මේ විදිහට සෝවියට් දේශයෙන් පිටත ඉන්න කම්කරුවෙකුව සුබසාධනය කිරීමේ පිරිවැය දරන්න වෙන්නේ සෝවියට් රාජ්‍ය සීමාව ඇතුළේම ඉන්න පිරිසකටයි. ලංකාවේ කාගෙන්වත් එහි වියදම අය කර ගැනීමේ හැකියාවක් සෝවියට් දේශයට නැහැ. ඒ කියන්නේ මෙවැනි ක්‍රමයක් ස්ථායී ක්‍රමයක් නෙමෙයි.

ඔය ක්‍රමය පවතින්නනම් සමාජවාදී රාජ්‍යයකට එකින් එක අනෙක් රටවල් ඈඳා ගන්නම වෙනවා. එසේ නැත්නම් නිල නොවන ලෙස එම සමාජවාදී රාජ්‍යයේම කොටසක් සේ පවතින පරිවාර රාජ්‍යයන් සේ පවත්වා ගන්න වෙනවා.සෝවියට් දේශය යම් දුරකට ඔය වැඩේ කළා. එහෙම කළත්, සමාජවාදී ක්‍රමයක පවතින නෛසර්ගික අකාර්යක්ෂමතාවය නිසා යා හැකි සීමාවක් තිබෙනවා. ඒ සීමාවට ආවට පස්සේ සෝවියට් ක්‍රමයේ සමාජවාදයකට පවතින්න බැහැ. 

ජාතික රාජ්‍ය සීමා තුළ සමාජවාදය ක්‍රියාත්මක කළ චීනය වගේ රටවල් වලට මේ ප්‍රශ්නයට මේ විදිහටම මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. ලෝකයේම සම්පත් බෙදී යාමේ විෂමතා අවම කිරීම ප්‍රායෝගිකව අසීරු වුවත් තමන්ගේ දේශ සීමාව තුළ ඒ වැඩේ කරන එක සාපේක්ෂව ඊට වඩා පහසු දෙයක්. මේ ක්‍රමය ඇතුළේත් සමාජවාදී ක්‍රමයක පවතින නෛසර්ගික අකාර්යක්ෂමතාවය තිබෙනවා. පසුකාලීනව චීනය විසින්නම් ඒ ප්‍රශ්නයටත් විසඳුම් හොයා ගත්තා.

සමාජවාදය තුළ තිබෙන මේ නෛසර්ගික ප්‍රශ්නය ධනවාදය තුළ නැතත්, ධනවාදය තුළ පවා සිදු වෙමින් තිබෙන්නේ ජාතික රාජ්‍යයන් වඩ වඩා ශක්තිමත් වීමක් බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කරුණක්. ඒ ඇයි?

ධනවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදීයි කියා මම කිවුවනේ. ඇත්තටම එය ඕනෑවට වඩා සරල ප්‍රකාශයක්. සෛද්ධාන්තිකව ධනවාදය කියන්නේ එකක් වුනත්, ධනවාදයකට ක්‍රියාත්මක විය හැක්කේ කිසියම් පොදු එකඟතා රාමුවක් තුළයි. නමුත්, ලෝකයේ හැම මිනිහෙකුටම අවිවාදිතව එකඟ විය හැකි මෙවැනි පොදු එකඟතා රාමුවක් නැහැ. ඒ නිසා, ධනවාදයක් ක්‍රියාත්මක වන නීතිද හැම විටම, හැම තැනම සමාන නැහැ. උදාහරණයක් විදිහට නිදහස් මිනිසෙක් කියන්නේ කවුද? හුවමාරු කළ හැකි භාණ්ඩයක් කියා කියන්නේ කුමක්ද? මේ වගේ දේවල් සම්බන්ධව නිරපේක්ෂ එකඟතාවන් තිබෙන්න අමාරුයි. මේ ප්‍රශ්නය පහත ලිපියේත් තරමක් දුරට සාකච්ඡා කර තිබෙනවා.

අපට නිදහස් කැමැත්තක් තිබේද?

සෛද්ධාන්තික ධනවාදයක් තුළ තිබිය යුතු වෙළඳපොළ කාර්යක්ෂමතාවය එලෙසම දැක ගන්න හැකි වෙන්නේ අදාළ ගනුදෙනු සිදු වන පද්ධතිය තුළ පොදු එකඟතාවයන් පවතින තරමටයි. ගනුදෙනුවක් කරද්දී තමන් මිල දී ගන්නා භාණ්ඩය කුමක්ද කියන එක ගැන මිල දී ගන්නා තැනැත්තාට නිසි අවබෝධයක් නැත්නම් කාර්යක්ෂමතාවය අඩු වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මේ සඳහා ගනුදෙනුවේ අනෙක් පාර්ශ්වය පිළිබඳ යම් විශ්වාසයක් තිබිය යුතුයි. ආගම්, සංස්කෘතිය, සදාචාර රාමු වගේ දේවල් වලින්ද මෙවැනි එකඟතාවන් බොහෝ දුරට ඇති කරන නමුත් නූතන ලෝකය තුළ ධනවාදයට ක්‍රියාත්මක විය හැකි පොදු එකඟතාවන් ඇති කිරීම බොහෝ දුරට සිදු වන්නේ නීති හරහා. මේ නීති ක්‍රියාත්මක වෙන්නේ ජාතික රාජ්‍ය සීමා තුළයි. 

ධනවාදය ක්‍රියාත්මක වන එකඟතාවන් හැම එකක්ම විශ්වීය එකඟතාවන් නොවන නිසා විවිධ ජාතික රාජ්‍ය සීමා ඇතුළේ පවතින මේ එකඟතා රාමුද එකිනෙකින් වෙනස්. ඒ වගේම, කිසියම් නිශ්චිත ජාතික රාජ්‍යයක් ඇතුළේ ක්‍රියාත්මක වන මෙවැනි එකඟතා රාමුවක් අදාළ ජාතික රාජ්‍ය සීමාව ඇතුළේ ජීවත් වන මිනිසුන්ගේ ආගමික විශ්වාස, සංස්කෘතිය, සදාචාර රාමු වැනි දේවල් මත පරායත්තයි. ඒ හේතුව නිසාම ආගමික විශ්වාස, සංස්කෘතිය, සදාචාර රාමු වැනි දේවල් අතින් වඩා සමාන ජාතික රාජ්‍ය අතර ධනවාදය ක්‍රියාත්මක වන එකඟතාවන්ද වඩා සමානයි. එවැනි රටවල් අතර සිදුවන වෙළඳපොළ ගනුදෙනුද වඩා කාර්යක්ෂමයි.

ධනවාදය විසින් නෛසර්ගිකවම ලාබය මිසක් ගනුදෙනුකරුවා කවුද කියන එක සලකන්නේ නැහැ. එහෙත්, ඇතැම් විට ධනවාදය ක්‍රියාත්මක වන නීති රාමුව තුළ එවැනි වෙනසක් තිබෙනවා. මෙයට හේතුව මිනිස්සු ස්වභාවිකවම උන්නතිකාමී හා පරාර්ථකාමී මිනිසුන් වනවාට අමතරව යම් තරමකින් ගෝත්‍රවාදීද වීම විය හැකියි. ගෝත්‍රවාදී වීමේද පරිණාමික වාසි තිබෙනවා. අඩු වශයෙන් යම් සන්දර්භ වල.

මිනිස් ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් එය යම් ආකාරයක සංක්‍රමණිකයන්ගේ ඉතිහාසයක්. තමන්ට වැඩියෙන් කාර්යක්ෂම විය හැකි, වැඩියෙන් ඵලදායී විය හැකි, තැන් හොයා ගෙන ඉතිහාසය පුරාම මිනිස්සු සංචරණය වුනා. මේ වැඩේ මිනිස්සු වගේම අනෙක් සත්තුත් කරන දෙයක්. හැබැයි එයින් අදහස් වෙන්නේ මේ වැඩේ ප්‍රතිරෝධයක් නැතිව සිදු වුනා කියන එක නෙමෙයි. වැට පැනලා වෙනත් පිරිසකගේ ගෝත්‍රික සීමාවට ඇතුළු වූ වහාම ගැටුමක් ඇති වෙන එක බොහෝ විට නොවැලැක්විය හැකියි. නූතන ලෝකයේ ජාතික රාජ්‍යයන් විසින් කරන්නේ මේ ගෝත්‍රික සීමා වඩාත් පැහැදිලි ලෙස සලකුණු කිරීමේ කාර්යය භාරයයි. ඒ අනුව, කලාතුරකින් හැර, මිනිහෙක් ඉපදෙන්නේම කිසියම් ජාතික රාජ්‍යයක පුරවැසියෙක් ලෙසයි.

නූතන ලෝකයේ එක්  ජාතික රාජ්‍යයක පුරවැසියෙකුට, කලාතුරකින් හැර, තමන්ට කැමති වෙලාවක වෙනත් ජාතික රාජ්‍යයක පුරවැසියෙක් වෙන්න බැහැ. බොහෝ වෙලාවට අඩු ගානේ වෙනත් ජාතික රාජ්‍යයක සීමාව ඇතුළට අඩිය තියන්නත් බැහැ. ධනවාදී පරමාදර්ශ අනුව බැලුවොත් මෙය කිසිසේත්ම පැවතිය හැකි හොඳම තත්ත්වය නෙමෙයි. එහෙමනම්, වෙළඳපොළ විසින් මේ ක්‍රමය වෙනස් නොකරන්නේ ඇයි?

ජාතික රාජ්‍යයක පුරවැසියන්ට වඩා ඵලදායී ලෙස නිෂ්පාදන කාර්යයට දායක විය හැකි වෙනත් රටක පුරවැසියෙකුගෙන් එම රටේ පුරවැසියෙකු විස්ථාපනය කරන එක කාර්යක්ෂම වුනත්, මේ වැඩෙන් රටේ පුරවැසියෙකුට රස්සාව නැති වී නිකම්ම නිකමෙකු වෙන්න පුළුවන්. අපි නිකම් හිතමු ලංකාව වගේ රටක ශ්‍රම මූලික රැකියා කරන, අඩු ආදායම්ලාභීන් පිරිසකට නිදහසේ ඇමරිකාවට එන්න අවස්ථාව තිබුණා කියලා. මේ පිරිසට ඇමරිකාවට ආපු ගමන් එක පාරටම ලංකාවේ හිටියාට වඩා ගොඩක් ඵලදායී වෙන්න ඉඩ ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආන්තික ඵලදායීතාව ලෙස වැඩි ආදායමක් උපයන්න ලැබෙනවා. ඔය වැඩේ මහා පරිමාණයෙන් වුනොත් සාපේක්ෂව අකාර්යක්ෂම ඇමරිකානු ශ්‍රමිකයන් පිරිසකට රස්සා නැති වෙනවා.

ඔය ආකාරයෙන් අකාර්යක්ෂමතාවයට දඬුවම් ලැබීම ධනවාදය තුළ ප්‍රශ්නයක් සේ සැලකෙන්නේ නැහැ. එය ධනවාදී යාන්ත්‍රනයේම කොටසක්. හැබැයි මේ වැඩෙන් යම් පිරිසක් පෞද්ගලිකව ලොකු අමාරුවක වැටෙනවා. ඒ මිනිස්සුන්ට, ජීවත්වීම පිණිස "රට හැර යන්න" වෙනවා. 

ඇමරිකාව වැනි රටක මේ වැඩේ දිනපතාම වාගේ සිදු වෙනවා. හැබැයි මෙහිදී රට හැර යාම යන්නෙන් ඇමරිකාවේ ජාතික රාජ්‍ය සීමාවෙන් එළියට යාමක් අදහස් වෙන්නේ නැහැ. වඩා හොඳ රැකියා අවස්ථාවන් හොයා ගෙන තමන් උපන් පෙදෙසේ සිට සැතපුම් දහස් ගණන් දුර පෙදෙස් වෙත සිදුවන අභ්‍යන්තර සංක්‍රමණයනුයි බොහෝ විට සිදු වෙන්නේ. වැඩි වශයෙන් සිදු වෙන්නේ ගමෙන් නගරයට යාමක් වුවත්, එහි අනෙක් පැත්තත් දුලබම නැහැ.

ඔය විදිහට රට ඇතුළේම වෙන ප්‍රාන්තයකට හෝ නගරයකට සංක්‍රමණය වෙලා ජීවිතේ ගැට ගහගන්න පුළුවන් වෙන්නෙත් රට ඇතුළේ කොහේ හරි රැකියා අවස්ථාවන් තිබුණොත්නේ. එහෙමත් නැති වුනොත් මොකද වෙන්නේ? බාහිර සංක්‍රමණිකයන්ට සීමාවකින් තොරව රටට එන්න ඉඩ දුන්නොත් කොහොමත් ඔය වැඩේ සිදු විය යුතුයිනේ. 

අඩු ආදායම් රටක ශ්‍රමිකයෙකුට මේ වගේ වෙලාවක, අවස්ථාව ලැබෙනවනම්, ඉහළ ආදායම් රටකට සංක්‍රමණය විය හැකි වුවත්, වැඩි ආදායම් රටක ධනවාදී තරඟයෙන් පරාජය වන ශ්‍රමිකයෙකුට අඩු ආදායම් රටකට සංක්‍රමණය වී ඒ විදිහටම ජාම බේර ගන්න බැහැ. ඒ නිසා, ධනවාදී තරඟය තුළ පරාජය වන අය ගැන සමාජය විසින් බලා නොගත්තොත් විශාල මානුෂීය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ ඉලක්කය වෙනුවෙන් ධනවාදයේ කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කිරීම බොහෝ දෙනෙකුට එකඟ විය හැකි දේශපාලන ඉලක්කයක්. 

අනෙක් පැත්තෙන් සමාජයේ පහළ ස්ථර අනෙක් අයගේ වියදමින් සුබසාධනය කරද්දී ඒ හේතුව නිසාම යම් පිරිසක් නිෂ්පාදනය සඳහා තමන්ට ලබා දිය හැකි දායකත්වයත් නොදී පැත්තකට වෙනවා. නිකම් ලැබෙද්දී මහන්සි වෙලා වැඩ කරන්නේ මොන ලබ්බකටද?

සමහර වෙලාවට ඔය හේතුව නිසාම ශ්‍රම හිඟයක් ඇති වෙලා ඒ අඩුව පුරවන්න පිටින් සංක්‍රමණිකයන් ගේන්න වෙනවා. එසේ එන සංක්‍රමණිකයින් ප්‍රමාණය වැඩි වීමට සමානුපාතිකව ධනවාදී තරඟයෙන් පරාජය වන ප්‍රමාණයද ඉහළ ගිහින් සුබසාධන වියදම් ඉහළ යනවා. එහි බර දරන්න වෙන්නේ වැඩ කරන පිරිසටයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට, ධනවාදී තරඟය තුළ පරාජය වන අය වැඩි වැඩියෙන් සුබසාධනය කරන තරමට සංක්‍රමණික විරෝධයද ඉහළ යනවා. පහළ ස්ථර සෘජුවම තමන්ගේ රැකියා අවස්ථා අහිමි වීම මත පදනම්ව. ඉහළ ස්ථර ඔවුන්ට විසින් දැරිය යුතු සුබසාධන වියදම් වල බර ඉහළ යාමේ හේතුවෙන්.

මෙයට පිළියමක් ලෙස සුබසාධන වියදම් කප්පාදු කළ විට ඉහළ ස්ථර මුහුණ දෙන ප්‍රශ්නය විසඳෙනවා. එහෙත් පහළ ස්ථර වල ප්‍රශ්න උග්‍ර වෙනවා. පහළ ස්ථර වල ප්‍රශ්න විසඳීම සඳහා සුබසාධන වියදම් වැඩි කළොත් ඉහළ ස්ථර මුහුණ දෙන ප්‍රශ්න වැඩි වෙනවා. ඇතැම් විට සංක්‍රමණික ශ්‍රමය වඩා කාර්යක්ෂම නිසා ඉහළ යන සුබසාධන පිරිවැයෙන් කොටසක් ආවරණය විය හැකි නමුත් යම් සීමාවකින් පසුව දෙපාර්ශ්වයටම සංක්‍රමණිකයන් බරක් සේ පෙනෙන්න පුළුවන්.

ද්වි පක්ෂ ක්‍රමය ඇතුළේ බොහෝ විට පහළ ස්ථර සුබසාධනය කිරීම වෙනුවෙන් වැඩිපුර පෙනී සිටින දේශපාලන ව්‍යාපාර වලට සංක්‍රමණිකයන් සම්බන්ධව තිබෙන්නේ ලිහිල් ප්‍රතිපත්තියක්. මොකද සුබසාධනය සඳහා පාදක කර ගන්නා අදහස හැම මිනිහෙක්ම සමානයි කියන අදහසට කිට්ටු අදහසක්. ඒ එක්කම හැම මිනිහෙක්ම සමානනම් රටේ මිනිස්සු හා විදේශිකයෝ වෙනස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් නිතැතින්ම මතු වෙනවා. ඒ නිසා, දේශපාලනිකව ගොඩක් වෙලාවට සුබසාධනය හා සංක්‍රමණිකයන්ට වැඩි අවස්ථා සැලසීම එකම පැකේජ් එකක කොටස් බවට පත් වෙනවා.

ඔය පැකේජ් එක කාලයක් තිස්සේ බටහිර රටවල ජනප්‍රියම දේශපාලන පැකේජ් එක වී තිබුණා. පැකේජ් එකේ සුබසාධන කොටසෙන් හැම විටම වගේ වෙන්නේ ධනවාදයේ කාර්යක්ෂමතාවය අඩු කරන එක. සංක්‍රමනික පිළිවෙතින්, එය පමණක් තනිව ගත්තොත්, ධනවාදයේ කාර්යක්ෂමතාවය ඉහළ යන නමුත් ඒ හරහා රැකියා අහිමි වන පිරිස් සුබසාධනය කළ යුතු නිසා එක් සීමාවකින් පසුව මේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පටන් ගන්නවා.

සංක්‍රමණික ප්‍රතිපත්ති පැත්තකින් තිබ්බොත්, ධනවාදය කොහොමටත් නිරන්තරයෙන් ලාබ වැඩි කර ගත හැකි ක්‍රම හොයනවා. එහිදී රැකියා අහිමි වෙනවා. ඇමරිකාව ගත්තොත් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය ඉහළ යනවා කියා කියන්නේ ජනගහණයේ ඉතා සුළු පිරිසක් විසින් රටේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදන ඉල්ලුම සපුරනවා කියන එකයි. එය සිදු වෙද්දී කෘෂිකාර්මික අංශයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසකගේ රැකියා අහිමි වීම නොවැලැක්විය හැකියි. එහෙත්, මෙයට සමාන්තරව කාර්මික අංශයේ රැකියා හැදුනා. ඒ නිසා, ඇමරිකානුවන්ට රැකියා ප්‍රශ්නයක් වුනේ නැහැ. ඇමරිකාව ගැන මේ කියන දේවල් අනෙක් බොහෝ බටහිර රටවලටද අදාළයි.

කොහොම වුනත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය වැඩි වූ නිසා මිසක් සංක්‍රමනිකයන්ගේ ලාබ ශ්‍රමය නිසා එම අංශයේ රැකියා වල නිරත වූ ඇමරිකානුවන්ට රැකියා අහිමි වුනේ නැහැ. යම් හෙයකින් ඇමරිකාවේ සංක්‍රමනික නීති මීට වඩා ලිහිල්ව පැවතුනානම් කෘෂිකාර්මික ශ්‍රමිකයන් සේ නිරන්තරයෙන් රටට එන සංක්‍රමනිකයන් හේතුවෙන් එම අංශයේ ලාබ අඩු වෙන්න නොදී පවත්වා ගත හැකි වන නිසා වේගවත් ස්වයංකරනයක් සිදු වී මේ තරම් ඉක්මණින් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාව ඉහළ යන්නේ නැහැ. ශ්‍රමිකයන්ට නිදහසේ ඇමරිකාවට එන්න පුළුවන්කමක් නොතිබුණු නිසාත්, වගා බිම් ශ්‍රමිකයන් සිටින රටවලට උස්සාගෙන යා නොහැකි නිසාත් අවසාන වශයෙන් කෘෂිකාර්මික අංශය වේගයෙන් යාන්ත්‍රීකරණය හා ස්වයංකරනය වුනා. එහි ප්‍රතිඵලය ලෙස සිදු වුනේද ඇමරිකානුවන්ගේ රැකියා නැති වීමම වුවත් එසේ රැකියා නැති වූ අයට කාර්මික හා නිෂ්පාදන අංශ වල රැකියා ලැබුණා. 

කාර්මික හා නිෂ්පාදන අංශ වල සේවය කිරීමට වුවද සංක්‍රමණිකයන්ට නිදහසේ ඇමරිකාවට එන්න පුළුවන්කම තිබුණේ නැහැ. එසේ වුවත්, වගා බිම් වලින් වෙනස්ව කම්හල් ලාබ ශ්‍රමිකයන් සිටින තැන් වලට ගෙන යා හැකි වූ නිසා මේ අංශ වල රැකියාද වැඩි කලක් සුරක්ෂිතව තිබුණේ නැහැ. අවසාන වශයෙන් ඇමරිකානුවන්ගේ (හා තවත් බොහෝ බටහිර රටවල) රැකියා අවස්ථා සැපයීමේ කාර්ය භාරය ඉටු කරන්න වුනේ සේවා අංශයටයි.

හැබැයි ධනවාදයේ ප්‍රගමනය නවතින එකක් නෙමෙයි. වඩා වඩා කාර්යක්ෂම වන ක්‍රම හොයන එක සේවා අංශය ඇතුළේද නිරන්තයෙන් සිදු වෙනවා. සේවා අංශය තව දුරටත් ස්වයංකරණය වෙද්දී මිනිස් ශ්‍රමය තව දුරටත් අනවශ්‍ය දෙයක් බවට (redundant) පත් වෙමින් තිබෙනවා. සේවා අංශය තුළ නැති වෙන රැකියා විස්ථාපනය වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. 

සංක්‍රමණ විරෝධයත් එක්ක මේ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් ලැබෙනවා. හැබැයි එය තාවකාලික විසඳුමක්ම පමණයි. සංක්‍රමණිකයන් පාලනය කළ විට ශ්‍රම වෙළඳපොළේ ඇතිවන අසමතුලිතතාවය තුළ රටවැසියන්ට යම් රැකියා ප්‍රමාණයක් ලැබෙන නමුත් ඒ හේතුව නිසාම ස්වයංකරණය සඳහා වන උත්සාහයන් වඩාත් වේගවත් වෙනවා. සංක්‍රමණික ශ්‍රමයට ඉල්ලුමක් තියෙන්නේම රටවැසියන්ගේ ශ්‍රමය සාපේක්ෂව අකාර්යක්ෂම නිසා. සංක්‍රමණික ශ්‍රමය පැමිණෙන එක වැළැක්වූ පමණින් රටවැසියන්ගේ ශ්‍රමය කාර්යක්ෂම වෙන්නේ නැහැ. එහි අකාර්යක්ෂමතාවය එලෙසම තිබෙනවා. කලින් තිබුණු විසඳුමත් දැන් නැහැ. ඒ නිසා, අලුත් විසඳුමක් ලෙස ස්වයංකරණය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ස්වයංකරණය සමඟ රැකියා අහිමි වීමේ ප්‍රශ්නය නැවත වටයකින් මතු වීම නොවැලැක්විය හැකියි.

රැකියා අහිමි වීමේ ප්‍රශ්නය ආකෘතිමය ලෙසම උග්‍ර වෙනවා කියා කියන්නේ ක්‍රමයේ ස්ථාවරත්වය සඳහා සුබසාධනයද හොඳ මට්ටමක පවත්වා ගත යුතු බවයි. එක පැත්තකින් ශ්‍රම හිඟයක් නැති වීමත්, අනෙක් පැත්තෙන් සුබසාධන වියදම් ඉහළ යාමත් විසින් සංක්‍රමණිකයන්ට අවස්ථා සැලසීම වඩාත් "වියදම් අධික" කටයුත්තක් බවට පත් වෙනවා. මම මෙහිදී අදහස් කරන්නේ කුසලතා සහිත තෝරා ගත් සංක්‍රමනිකයින් ගැන නෙමෙයි. එවැනි අයගෙන්නම් ලාබයක් මිසක් පාඩුවක් නැහැ.

ධනවාදයට විකල්පයක් පෙනෙන මානයක නැහැ. ධනවාදී තරඟය තුළ පරාජය වන පිරිස් සුබසාධනය නොකරමින් ධනවාදය පවත්වා ගන්න පුළුවන් බවකුත් පෙනෙන්නේ නැහැ. මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ ජාතික රාජ්‍ය වඩ වඩා ශක්තිමත් වීම සහ ජාතිකවාදය පුළුල් සම්මතයක් බවට පත් වීමයි. එයින් රටවල් තුළ ආදායම් විෂමතාවන්හි හානි අඩු වෙනවා. එහෙත් රටවල් අතර ආදායම් විෂමතා ඉහළ යනවා. 

Sunday, October 17, 2021

ලංකාව ගැන අයිඑම්එෆ් එක හිතන දේ


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරි කාලය පිළිබඳ ඔවුන්ගේ පුරෝකථන ඇතුළත් අර්ධ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තාව පදනම් වන්නේ 2021 සැප්තැම්බර් 27 දින දක්වා ඔවුන් වෙත වාර්තා වී තිබුණු සංඛ්‍යාලේඛණ මතයි.

අදාළ වාර්තාව අනුව 2020 වසරේදී 3.1%කින් හැකිළුණු ලෝක ආර්ථිකය මේ වසරේදී 5.9%කින්ද, 2023 වසරේදී 4.9%කින්ද වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබෙනවා. 2020 වසරේදී 3.4%කින් හැකිළුණු ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය මේ වසරේදී 6.0%කින්ද, 2023 වසරේදී 5.2%කින්ද වර්ධනය වීමට නියමිතයි. 2020දී 6.3%කින් හැකිළුණු යුරෝ කලාපය මේ වසරේදී 5.0%කින් හා ඉදිරි වසරේදී 4.3%කින්ද,  9.9%කින් හැකිළුණු එක්සත් රාජධානිය මේ වසරේදී 6.8%කින් හා ඉදිරි වසරේදී 5.0%කින්ද ප්‍රසාරණය වීමට නියමිතයි. 

සංකෝචනය නොවුනත්, 2020 වසරේදී 2.3% දක්වා පහත වැටුණු චීනයේ ආර්ථිකය 2021 හා 2021 වසර වලදී 8.0% හා 5.6% අනුපාත වලින් ඉහළ යද්දී, 7.3%කින් හැකිළුණු ඉන්දියාවේ ආර්ථිකය 9.5% හා 8.5% අනුපාත වලින් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කරනවා. 

ලංකාවේ ආර්ථිකය 2020 වසරේදී 3.6%කින් හැකිළුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මේ වසරේදී ආර්ථිකය 3.6%කින් වර්ධනය වී නැවත ලංකාව 2019 සිටි තැනට පැමිණෙනවා. ඉන් පසු 2022 වසරේදී 3.3%කින් ප්‍රසාරණය වෙනවා. මේ අනුව, 2020-2022 තෙවසර තුළ අපේක්ෂිත සාමාන්‍ය වර්ධන වේගය 1.1%ක්. ඉතා අඩු වර්ධන වේගයක් වුවත්, කලාපයේ අනෙකුත් රටවල් පිළිබඳ පුරෝකථන සමඟ සැසඳූ විට මෙය අසාමාන්‍ය නරක තත්ත්වයක් නෙමෙයි.

පසුගිය වසරේ, මේ වසරේ හා ඉදිරි වසරේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය චීනයේ 5.3%ක්, ඉන්දියාවේ 3.6%ක් හා බංගලි දේශයේ 4.9%ක් වුවත්, නේපාලයේ 1.4%ක්, මැලේසියාවේ 1.3%ක්, තායිලන්තයේ -0.2%ක් හා මාල දිවයිනේ 0.0%ක් පමණයි. මියන්මාරයේ එය -4.9%ක්.

ආර්ථික වර්ධනය අඩාල වුවත් ඉදිරි තෙවසර තුළ ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර නැහැ. අදාළ පුරෝකථන අනුව 2021 හා 2022 වසර වල ලංකාවේ උද්ධමනය 6.0 හා 6.5 මට්ටම් වල පැවතීමට නියමිතයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන හැම විටම නිවැරදි නැහැ. එහෙත්, මේ පුරෝකථන තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය පිළිබඳව සිතන ආකාරය පිළිබිඹු වෙනවා. ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගැනීම පිණිස, ආර්ථික වර්ධන ඉලක්ක පසෙක ලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලංකාවේ රජය හා මහ බැංකුව යොමු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන බවක් මේ පුරෝකථන තුළින් ගම්‍ය වෙනවා.

Saturday, October 16, 2021

යහපාලන ආණ්ඩුව සියඹලා ගෙනල්ලාම නැද්ද?

පසුගිය රාජපක්ෂ දශකය ලංකාවේ ආර්ථිකය අනෙක් කාලවල් වලට සාපේක්ෂව වේගයෙන් වර්ධනය වූ කාලයක්. එය ඉතා පැහැදිලි කරුණක්. යහපාලන ආණ්ඩුව කාලයේදී ආර්ථිකය වර්ධනය වුනේ ඊට සාපේක්ෂව අඩු වේගයකින්. එයත් ඉතා පැහැදිලි කරුණක්. හැබැයි යහපාලන ආණ්ඩුව කාලයේදීත් ආර්ථිකය වර්ධනය වුනා මිසක් සංකෝචනය වුනේ නැහැ. නිදහසින් පසුව ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුනේ 2020 හා 2001 වසර දෙකේදී පමණයි. අනෙක් හැම වසරකදීම ආර්ථිකය වර්ධනය වුනා. 

සමහර අය හිතාමතාම ජනගත කරලා තිබෙන විදිහට යහපාලන ආණ්ඩුව කාලයේදී ආර්ථිකය තිබී ඇත්තේ එක තැනයි. 

"මගේ කාලයේදී ඩොලර් බිලියන 20ක ආර්ථිකය ඩොලර් බිලියන 80ක් වුනා. අවුරුදු පහකට පස්සේ බලන කොටත් ආර්ථිකය ඩොලර් බිලියන 80මයි." 

ඔය වගේ කතා අපිට නිතර ඇහෙනවා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව සියඹලා ගෙනල්ලාම නැද්ද?

දැන් මෙතැන තිබෙන "ට්‍රික් එක" වන්නේ මේ ගණන් ඩොලර් වලින් කියන එකයි. ලංකාව මේ වන තුරුත් ඇමරිකාවේ ප්‍රාන්තයක් හෝ නිල වශයෙන් ඩොලර්කරණය කළ රටක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු තවමත් ගනුදෙනු කරන්නේ රුපියල් වලින්. විදේශගත ශ්‍රමිකයන් වැනි යම් පිරිසක් හැරුණු විට අනෙක් බොහෝ ශ්‍රමිකයන් ආදායම් උපයන්නේ රුපියල් වලින්. කඩේකට ගිහින් බඩු ගන්නේ රුපියල් වලින්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේත් රුපියල් වලින්.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී රුපියල් බිලියන 14,973ක්. ඩොලර් වලින්නම් බිලියන 80.7ක්. යහපාලන ආණ්ඩුව බලයට එන විටත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය තිබුණේ ඔය මට්ටමේමද?

මේ ආකාරයේ සංසන්දනයක් කරන්න යද්දී මතු වන මූලිකම ප්‍රශ්නය සංසන්දනය කළ යුතු මුදල් ඒකකය කුමක්ද කියන එකයි. සංසන්දනය රුපියල් වලින් කළත්, ඩොලර් වලින් කළත් එහි වැරැද්දක් තිබෙනවා. මේ මුදල් ඒකක වල අගය උද්ධමනය නිසා බාල්දු වෙද්දී ආර්ථික වර්ධනයක් නැතත් දළ දේශීය නිෂ්පාදිතය නිකම්ම වැඩි වන නිසා සැබෑ ආර්ථික වර්ධනය බලාගන්න බැහැ. 2020 රුපියලක් 2015 රුපියලකට හෝ 2005 රුපියලකට සමාන නැහැ. එය කාට වුවත් සහසුද්දෙන්ම පැහැදිලි විය යුතු දෙයක්. මේ කතාවම ඩොලර් වලටත් අදාළයි. මොකද ඇමරිකාවේ මහ බැංකුවත් සල්ලි අච්චු ගහන වැඩේ කරනවා. ඩොලර් එකත් බාල්දු වෙනවා. 

හරි සංසන්දනයක් කරන්නනම් 2015 රුපියල්, 2005 රුපියල් ආදිය 2020 රුපියල් වලට හැරවිය යුතුයි. එසේ නැත්නම් 2020 ඩොලර් වලට හැරවිය යුතුයි. එක් එක් කාලයේදී ඇත්තටම ආර්ථිකය වර්ධනය වූ ප්‍රමාණය හොයා ගත හැක්කේ එවිටයි. පහත පළමු වගුවේ තිබෙන්නේ තෝරා ගත් වසර වලදී  2020 රුපියල් වලින් හා 2020 ඩොලර් වලින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයයි. දෙවන වගුවේ තිබෙන්නේ එක් එක් කාල වකවානු වලදී ලංකාවේ වත්මන් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වූ කොටසයි.




Friday, October 15, 2021

රුපියල බලු නොවටීයැයි මහ බැංකුවම හිතනවද?


මහ බැංකුව පැත්තෙන් තවත් "පෙට්ටියෙන් පිට" යෝජනාවක් ඉදිරිපත් වෙලා. මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, ඩොලර් වලින් බදු ගෙවන්න සූදානම් අයට වාහන ආනයනය කළ හැකියි. වැදගත්ම කරුණ මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ මහ බැංකුව පැත්තෙන් වීමයි. යම් හෙයකින් මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එය රුපියල අත හැර ලංකාවේ ගනුදෙනු සඳහා ඇමරිකන් ඩොලර් යොදා ගැනීම (dollarization) කරා තබන මූලික පියවරක්. 

කිසියම් රටක් තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්න පටන් ගැනීම ඩොලර්කරණය (dollarization) ලෙස හැඳින්වෙනවා. ඇතැම් රටවල් නිල වශයෙන්ම තමන්ගේ මුදල් ඒකකය අතහැර විදේශ මුදල් රට තුළ භාවිතා කරන්න පටන් ගන්නවා. සිම්බාබ්වේ රාජ්‍යය මෑතකදී එසේ කළ රටක්. මෙය හැඳින්වෙන්නේ නිල ඩොලර්කරණය (de jure dollarization) ලෙසයි. රටක් එවැනි තීරණයක් ගන්නේ තමන්ගේ මුදල් ඒකකයේ කිසිම වටිනාකමක් නැති වී වෙන කරන්නම දෙයක් නැති වූ විටයි. එහෙම වෙන්නේ අසීමිත ලෙස සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ මිනිස්සු රටේ ජාතික මුදල් ඒකකය අත හැර දමන තැනට වැටුණු විටයි.

රටක් නිල ඩොලර්කරණය තෝරා ගැනීම නිතර සිදු වන දෙයක් නොවුනත් අවිධිමත්, නිල නොවන ඩොලර්කරණය (de facto dollarization) ඊට වඩා ප්‍රචලිතයි. මෙහිදී නිල වශයෙන් ගනුදෙනු සිදු විය යුත්තේ රටේ ජාතික මුදල් ඒකකයෙන් වුනත්, රට ඇතුළේ සිටින ඇතැම් කණ්ඩායම් විසින් හෝ ඇතැම් ප්‍රදේශ වල නොනිල ලෙස විදේශ ව්‍යවහාර මුදලින් ගනුදෙනු සිදු වෙනවා. මෙය බොහෝ විට සිදු වන්නේ සංචාරක කලාප වල. 

උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් රටේ ජාතික මුදල් ඒකකය බලු නොවටින තැනට වැටුණු විට, නිල වශයෙන් රජය හෝ මහ බැංකුව විසින් ඩොලර්කරණය විදේශ විණිමය ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන්න කලින්ම, සමස්තයක් ලෙස රටේ මිනිස්සු තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් වලින් ගනුදෙනු කරන්න පටන් ගන්නවා. රටක් නිල වශයෙන්ම ඩොලර්කරණය තෝරා ගන්නේ ඒ වගේ අඩියටකට වැටුණාට පසුවයි. 

මිනිස්සු කිසියම් දෙයක් මුදල් ලෙස භාර ගන්නේ ඒ පිළිබඳ විශ්වාසය මත පදනම්ව. මෙහිදී විශ්වාසය කියා කියන්නේ වෙනත් අයත් අදාළ දෙය මුදල් සේ භාර ගනු ඇතැයි යන විශ්වාසය. මෙහිදී රන්, රිදී, ධාන්‍ය වැනි දෙයක් පිළිබඳ ඒ විශ්වාසය ඇති වන්නේ එම ද්‍රව්‍ය වල තිබෙන නෛසර්ගික වටිනාකම නිසා. ආඥාප්ති ව්‍යවහාර මුදල්, එහෙමත් නැත්නම් ෆියට් මුදල් වලට එවැනි නෛසර්ගික වටිනාකමක් නැහැ. මිනිසුන්ගේ විශ්වාසය නැත්නම් ඒවා නිකම්ම නිකම් කොළ කෑලි පමණයි. ඒ නිසා, ආඥාප්ති ව්‍යවහාර මුදලක් මිනිසුන් අතර ප්‍රචලිත කරන එක පහසු වැඩක් නෙමෙයි.

ආඥාප්ති ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගිය හැකි එක ක්‍රමයක් වන්නේ වටිනාකමක් තිබෙන යම් දෙයක් ආශ්‍රයෙන් එවැනි මුදල් ඒකකයකට කෘතීම වටිනාකමක් ආරෝපණය කිරීමයි. මහ බැංකු වල පවත්වා ගන්නා රන් ඇතුළු සංචිත වලින් කරන්නේ අදාළ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් ඒකකයට මේ ආකාරයෙන් වටිනාකමක් ආරෝපණය කරන එකයි. රන් සම්මතයකදී මෙන් නිකුත් කළ මුදල් වල වටිනාකමට රත්තරන් මහ බැංකුවේ නැතත්, යම් රන් ප්‍රමාණයක් මහ බැංකුවේ තිබෙන නිසා විශ්වාසය මතම ලැබෙන වටිනාකමට අමතරව පොඩි හරි නෛසර්ගික වටිනාකමක් මේ සල්ලි කොළ වල තියෙනවා. 

ආඥාප්ති ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගිය හැකි තවත් ක්‍රමයක් වන්නේ රාජ්‍යාධිකාරය හරහා වටිනාකමක් කෘතීම ලෙස ආරෝපණය කිරීමයි. රජයකට මිනිසුන්ගෙන් බදු අය කිරීමට හා එම බදු නොගෙවන අයට දඬුවම් කිරීමට ඒකාධිකාරී හෝ ඊට ආසන්න බලයක් තිබෙනවා. (කප්පම්කාරයෝ වගේ අයත් ඔය වැඩේ කරනවා තමයි!) මේ ඒකාධිකාරී බලය යොදාගෙන රජයකට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැති කඩදාසි කෑල්ලකට වටිනාකමක් දිය හැකියි. ආරම්භයේදී ගොඩක් මුදල් ඒකක ප්‍රචලිත කර තිබෙන්නේ ඔය ක්‍රමයටයි.

ඉතිහාසයට ගියොත් රජයක් බදු අය කර තිබෙන්නේ එක්කෝ සෘජු ශ්‍රමය විදිහට. රාජකාරි ක්‍රමයේදී වගේ. නැත්නම් රන්, ධාන්‍ය වැනි දෙයකින්. ඔහොම තියෙද්දී එක පාරටම බදු ගෙවිය යුතු මුදල් ඒකකය ලෙස මොකක් හරි එකක් රජය විසින් දැනුම් දුන්නට පස්සේ රටේ මිනිස්සුන්ට කොහෙන් හරි ඒ දේ හොයා ගන්න වෙනවා. ඒ එක්කම ඒ මොකක් හරි දෙයට, නෛසර්ගික වටිනාකමක් තිබුණත් නැතත්, ආරෝපිත වටිනාකමක් ලැබෙනවා. අදාළ මුදල් ඒකකය රටේ ප්‍රචලිත වෙනවා.

මේ විදිහට රටේ ප්‍රචලිත වෙන්නේ නෛසර්ගික වටිනාකමක් නැති දෙයක් වූ විට රජයට ඒ දේ වැඩි වැඩියෙන් සපයලා වක්‍ර ලෙසත් බද්දක් අය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ෆියට් මුදල් එහෙමත් නැත්නම් ආඥාප්ති ව්‍යවහාර මුදල් කියා කියන්නේ ඔය වගේ දෙයකටයි. හැබැයි ඔය වටිනාකම එන ක්‍රමයේ පාදමේ තියෙන්නේ රජයට බදු ගෙවිය යුත්තේ අදාළ මුදලින් වීමයි. නෛසර්ගික වටිනාකමක් නැති බව කවුරුත් දන්නා මේ සල්ලි වෙන කාටවත්ම එපා කිවුවත්, අඩු ගණනේ රජයට බදු ගෙවන්න හෝ ගන්න පුළුවන් නිසා සල්ලි බලු නොවටිනා ගානට වැටෙන්නේ නැහැ. 

දැන් මහ බැංකුව විසින් (හෝ එහි අධිපතිවරයා විසින්) ඉදිරිපත් කරන යෝජනාව ක්‍රියාත්මක වෙනවා කියන්නේ ලංකාවට වාහන ආනයනය කරන කෙනෙකුට ඩොලර් වලින් බදු ගෙවන්න වෙනවා කියන එකයි. ඒ කියන්නේ මහ බැංකුවේ සල්ලි අඩු ගණනේ ලංකාවේ රජය විසින්වත් පිළිගන්නේ නැහැ කියන එකයි. 

කොහොමටත් මේ වෙද්දී මහ බැංකුවේ විදේශ ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිහින්. අගෝස්තු අන්තිම වෙද්දී මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත ප්‍රමාණයෙන් මහ බැංකුවේම විදේශ වගකීම් පියවන්නත් ඩොලර් මිලියන 400ක් මදි. සැප්තැම්බර් අවසාන වෙද්දී අනිවාර්යයෙන්ම මේ හිඟය තවත් විශාල ලෙස වැඩි වී තිබිය යුතුයි. එහෙම තියෙද්දී මහ බැංකුවට මෙතෙක් කාලයක් කළා වගේ රුපියල් වලට නෛසර්ගික වටිනාකමක් ආරෝපණය කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. රුපියල එල්ලිලා තියෙන්නේ තනිකරම මිනිස්සු රුපියල් භාර ගැනීම මත පමණයි. එහෙම තියෙද්දේ තමයි බදු විදිහට රුපියල් භාර ගැනීම ලංකාවේ රජය විසින්ම අත හරින්න යන්නේ.

මෙය අවිධිමත් ඩොලර්කරණයක් ලොකුවට වෙන්නත් කලින්ම, නිල ඩොලර්කරණය ස්වේච්ඡාවෙන් තෝරා ගැනීමකට ආසන්න දෙයක්. 

ඩොලර්කරණය නරක දෙයක්ම නෙමෙයි. ලංකාවේ මුදල් ඒකකය ඩොලර් බවට පත් වෙනවා කියා කියන්නේ ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට සීමා වෙනවා කියන එක. ඇමරිකාව උද්ධමනය 2% මට්ටමේ පාලනය කර ගන්නා රටක්. බොහෝ රටවල් නිල ඩොලර්කරණය තෝරා ගන්නේ උද්ධමනය පාලනය කරන්න වෙන ක්‍රමයක් පේන්න නැති වූ විට. මෙහි තිබෙන අවාසිය වන්නේ මහ බැංකුව අවලංගු කාසියක් වී, සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවීමේ හැකියාව නැතිව යාමයි. හරියටම කිවුවොත් සල්ලි අච්චු ගැසීමේ ලාබය ඩොලර් අච්චු ගහන ඇමරිකාවට ලැබෙන එකයි.

දැන් මේ වැඩෙන් ලංකාවේ රජයට ලැබෙන වාසියක් ඇත්තෙම නැද්ද? වාසියක් නැත්තේ නැහැ. දැන් වාහන ආනයන නවත්වා ඇති නිසා රජයට අහිමි වන ආනයන බදු නැවතත් රජයට ලැබෙන්න පටන් ගන්නවා. ඒ හරහා රජයේ අයවැය හිඟය අඩු කර ගන්න පුළුවන්. සල්ලි අච්චු ගහන එක සීමා කරන්න පුළුවන්. එය රජයට වගේම රටටත් හොඳයි. 

හැබැයි මේ වැඩේ කළා කියලා අමුතුවෙන් රටට ඩොලර් එන්නේනම් නැහැ. වාහනයක් ආනයනය කරන කෙනෙක්ට ඒ වෙනුවෙන් ගෙවන්න වගේම රජයට බදු ගෙවන්නත් ඩොලර් හොයා ගන්න වෙන්නේ කොහොමටත් රටට එන ඩොලර් ටිකෙන්ම තමයි. අපනයනකරුවන් විසින් රටට නොගෙනවිත් තියාගෙන එන්න ඩොලර් ටිකක් වාහන විදිහට රටට එන්නනම්  පුළුවන්. 

උදාහරණයක් විදිහට කවුරු හෝ ආනයනකරුවෙක් ඩොලරයකට රුපියල් 250ක් බලාගෙන ඩොලර් රටින් එළියේ තියාගෙන ඉන්නවා කියා හිතමු. දැන් මේ සල්ලි ඩොලර් විදිහට ගෙනාවොත් ලැබෙන්නේ ඩොලරයකට රුපියල් 200ක් පමණයි. ඔය ඩොලර් වලින් රජයට බදුද ගෙවා වාහනයක් ආනයනය කළොත් වාහනය විකුණන මිලෙන් වක්‍ර ලෙස ඩොලරයකට රුපියල් 250ක් හොයා ගන්න පුළුවන්. මේ වෙලාවේ රටේ වාහන මිල ඉහළ ගොස් තිබෙන තත්ත්වයත් එක්ක වැඩි මිලකට වාහනයක් විකුණන එක අමාරු වැඩක් නෙමෙයි. වෙනත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ නැවත වාහන ආනයනය කරන්න ඉඩ දුන්නොත් රටින් පිටත ඩොලර් තියාගෙන ඉන්න අයට වක්‍ර ලෙස ඩොලරයක "නියම මිල" ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. 

Thursday, October 14, 2021

කොමිස් ගෙවා ගන්න යන ණය


තෙල් සංස්ථාව විසින් 7%ක කොමිස් මුදලක් ගෙවා ඩොලර් බිලියන 2.5ක ණය මුදලක් ගන්න යන බව වාර්තා වී තිබෙනවා. උදය ගම්මන්පිල විසින් මේ කතාව සනාථ කරලා. ඔහුට අනුව මේ ණය ගන්න යන්නේ තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වලට ගෙවිය යුතු ඩොලර් බිලියන 3.6ක ණය වලින් කොටසක් පියවන්නයි. රාජ්‍ය බැංකු වලින් ලබා ගෙන තිබෙන ණය සඳහා ගෙවිය යුතු පොලිය 5.5%ක් බැවින් මේ ගන්න යන ණය අරගෙන එම ණය පියවීම ලාබ බවයි ගම්මන්පිල කියන්නේ. 

"ඉදිරිපත් වී තිබුණු යෝජනා අතුරෙන් රජයේ ස්වෛරී ඇපකරයක් මත ණය දෙන්න කැමති වී සිටියේ එකම එක සමාගමයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි පීඑස්එල් ඇමෙරිකා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. අනෙකුත් අය ත්‍රිත්ව A ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා."

"මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. .. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා."

ඔය ණය මුදල ලැබෙයිද කියන එක ගැන උදය ගම්මන්පිලටවත් විශ්වාසයක් නැහැ කියා කියනවා. අදාළ සමාගම පිළිබඳවත් ඇතැම් අය ප්‍රශ්න මතු කර තිබෙනවා. මම මෙය ලියන්නේ ඒ කරුණු සාකච්ඡා කරන්න නෙමෙයි. මූල්‍යකරණ විෂය ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙන් සරල විෂය කරුණක් පැහැදිලි කරන්න. 

සියයට 3ක පොලී අනුපාතිකයක් ගෙවන්න පොරොන්දු වී ගන්න ණය මුදලකින් ගන්න කොටම 7%ක් කපා ගත් පසු පොලී අනුපාතිකය ගම්මන්පිල කියන 3.23%ද?

මේ පොලිය කෙසේවත් 3.23% විය නොහැකියි. අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි විය යුතුයි. ගණන තීරණය වෙන්නේ ණය මුදලේ අනෙකුත් කොන්දේසි මත. ඒ සඳහා අදාළ ණය මුදල පියවිය යුතු ආකාරය පිළිබඳව විස්තර අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට මේ ණය වසරකට පසුව පියවනවානම් 7% කොමිස් මුදල නිසා 3% පොලී අනුපාතිකය 10.75%ක් දක්වා වැඩි වෙනවා. වැඩි කාලයකින් පියවනවානම් ඒ තරම්ම වැඩි වෙන්නේ නැහැ.

මාධ්‍ය වාර්තා වල තිබෙන විදිහට ණය මුදල වසර 12කින් පියවිය යුතුයි. මුල් වසර දෙක සමා කාලයක් ලෙස සඳහන්ව තිබෙනවා. ඒ අනුව මේ ණය මුදල හා පොලිය වසර දෙකකට පසුව පටන් ගෙන වසර 10ක කාලයක් තුළ සමාන වාරික වලින් ගෙවන්නේයැයි අපි උපකල්පනය කරමු. ඒ අනුව, මුලින්ම කළ යුත්තේ වාරික මුදල හොයා ගැනීමයි. මේ වාරික මුදල වසරකට ඩොලර් මිලියන 310.92 ක්. එම වාරිකය ගෙවද්දී වසර 12ක් තුළ ණය මුදල ගෙවා අවසන් වෙන්නේ පහත ආකාරයටයි.


දැන් මේ ණය මුදල ලබා ගනිද්දීම 7%ක කොමිස් මුදලක් ගෙවනවා කියා කියන්නේ අතට ලැබෙන්නේම ඩොලර් මිලියන 2,325ක් පමණයි. නමුත්, වාරික ඉහත ආකාරයටම ගෙවිය යුතුයි. මේ අනුව, ඵලදායී පොලී අනුපාතිකය වෙන්නේ අදාළ වාරික ගෙවීම් වල වර්තමාන අගය ඩොලර් මිලියන 2,325කට සමාන කරන පොලී අනුපාතිකයයි. ගණන් හදා බැලූ විට මේ පොලී අනුපාතිකය 4.041%ක් වෙනවා. අදාළ ගණනය කිරීම් පහත තිබෙනවා. 


තෙල් සංස්ථාව සාමාන්‍ය ලාබ ලබන ආයතනයක් සේ සැලකුවොත් 4.04%ක පොලියට ණයක් අරගෙන 5.5%ක ණයක් පියවීම ලාබදායක වැඩක් බව පැහැදිලියි. එහෙත්, මෙහි තිබෙන එක් අවුලක් වන්නේ දැන් රාජ්‍ය බැංකු වල ණය පියවන්න යනවා වගේ හදිසියේවත් මේ ණය මුදල කලින් පියවන්න ගියොත් විශාල අලාබයක් වීමයි. උදාහරණයක් විදිහට වසරකට පසුව කොහෙන් හෝ සල්ලි ලැබී, එහෙමත් නැත්නම් වඩාත් අඩු පොලියකට ණය ලැබී, මේ ණය මුදල පියවන්න ගියොත් පොලිය 10.8%ක් පමණ වෙනවා. 

මේ විදිහට කලින් ණය පියවීම මූල්‍යකරණයේදී සිදුවන සාමාන්‍ය හා දුලබ නැති දෙයක් වුවත්, තෙල් සංස්ථාව හා අදාළව මෙය කීයටවත් නොවන දෙයක්නම් අපට මේ සාධකය නොසලකා හැරිය හැකියි. ඒ කියන්නේ කොහොමටත් ඔය ණය වසර 12කට පෙර ආපසු ගෙවන එක හිතන්නවත් බැහැ කියන උපකල්පනය මත වැඩේ අනිවාර්යයෙන්ම වාසියි. 

තවත් ප්‍රශ්නයක් වන්නේ තෙල් සංස්ථාව කියන්නේ  සාමාන්‍ය ලාබ ලබන ආයතනයක් නොවීම. එය ලංකාවේ රජයේම කොටසක්. එතකොට 5.5% පොලියට ණය අරගෙන තිබෙන්නේත් රජයේම තවත් කොටසකින්. ඒ කියන්නේ, මේ 5.5% ඩොලර් වලින් ලැබෙන රජයේම ආදායමක්. මේ පොලී ආදායම රට ඇතුළෙම ඉතිරි වෙනවා. අඩු පොලියට ගන්න ණය සඳහා ගෙවිය යුතු පොලිය රටින් පිටතට යනවා. ඒ අනුව සමස්තයක් ලෙස රජය කියන තනි ඒකකය ගත්තොත් වෙන්නේ රාජ්‍ය බැංකු වල 5.5%ක ඩොලර් පොලී ආදායම අහිමි වී 4.1%ක පොලියක් වසර දහයක් පුරා ඇමරිකානු සමාගමකට ලැබෙන එකයි. 

මේ විදිහට පොලී විදිහට ගෙවන්න වන මුදල ඩොලර් මිලියන 610.92 ක්. කොමිෂන් මුදල ඩොලර් මිලියන 175ක්. ඒ කියන්නේ මේ ගනුදෙනුව නිසා අතට ලැබෙන මුදල වන ඩොලර් මිලියන 2,325ට අමතරව තවත් ඩොලර් මිලියන 775.92ක් රටින් එළියට යනවා කියන එකයි.

එවැනි පාඩුවක් වුනත් මේ වෙලාවේ ලංකාවේ රජය වැටී සිටින තැන අනුව කොහොමටත් කොහෙන් හෝ විදේශ ණය නොගෙනම බැරි නිසාත්, 4.1%ක පොලියකට ඩොලර් හොයා ගන්න එක ලේසි වැඩක් නොවන නිසාත් මෙය නරක ගනුදෙනුවක් නෙමෙයි. මේ වෙලාවේ ඩොලර් බිලියන 2.5ක් හොයා ගන්නවා කියන්නේ සෑහෙන්න වටිනා දෙයක්. අනිත් එක වසර දෙකක් යන තුරු ණය ගෙවන්නත් අවශ්‍ය නැහැ. ණය ගෙවන එක ඊළඟ ආණ්ඩුවේ හා ඊටත් පසු බලයට පත් වන ආණ්ඩු වල වැඩක්!

Tuesday, October 12, 2021

මහ බැංකුව නැවතත් රෝදය සොයා ගනී!

 


මහ බැංකුව විසින් තවත් වරක් රෝදය අලුතෙන් හොයා ගෙන තිබෙනවා. ලංකාවේ ආර්ථික හා මූල්‍ය කේෂේත්‍ර වල පමණක් නොව සෞඛ්‍ය, කෘෂිකර්ම ආදී විවිධ කේෂේත්‍ර වල ප්‍රශ්න වලට විසඳුම් සොයන්නන් විසින් නැවත නැවතත් රෝදය අලුතෙන් සොයා ගනිමින් සිටිනවා. අත්දැකීම් අඩුකම නිසා වෙන්න ඇති!

අධිපති කබ්රාල් බලයට පත් වීමෙන් පසුව සයමසක මාර්ග සිතියමක් ඉදිරිපත් කරද්දී සඳහන් කළ එක් කරුණක් වුනේ ලංකාවේ රජය විසින් නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර අඩු මිලට ආපසු මිල දී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. මේ වන විට මහ බැංකුව විසින් "අන්තර්ජාතික බැංකු සහ ප්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා" මෙය පිළිබඳව සොයා බලා තිබෙනවා. ඔය වැඩේට කොයි තරම් වියදමක් ගියාද කියලානම් කියා නැහැ. 

මෙසේ මහන්සි වී, වියදම් දරා, සොයා බැලීමෙන් පසුව 2022 ජනවාරි මස පරිණත වීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සමස්ත වටිනාකමෙන් අවම වශයෙන් සියයට 5ක ප්‍රමාණයක් හෝ ප්‍රකාශ කළ වට්ටම් සහිත මිල ගණන් යටතේ විකිණීමට නැති බවත්, මෙම තත්ත්වය යටතේ ආපසු මිලට ගැනීමේ ක්‍රියාවලියක් මඟින් රජයට සැලකිය යුතු මට්ටමක මිල හෝ පොලී ප්‍රතිලාභයක් නොලැබෙන බවත් "අලුතෙන්" හොයා ගෙන තිබෙනවා.

ආර්ථික විද්‍යාවේ අයනු ආයනු දන්නා කෙනෙක් වුවත් ඔය ටික දන්නවා. ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ආර්ථික විද්‍යාවේ හෝඩිය කියා කිව හැකියි. මහ බැංකුවේ ඉන්න විශාල පිරිසක් ආර්ථික විද්‍යාවේ අයනු ආයනු වලට වඩා බොහෝ දේ දන්නා අයයි. එහෙත්, ඉල්ලුම් සැපයුම් වක්‍ර හැදෙන ආකාරය ගැන නිසි අවබෝධයක් නැති හෝ විශ්වාසයක් නැති අයත් මහ බැංකුවේ සිටින බව මේ විදිහට රෝදය අලුතෙන් සොයා ගන්න මහන්සි වීමෙන් පෙනී යනවා.

පාඨකයෙකු විසින් "කබ්රාල් කරන්න යන්නේ කුමක්ද?" ලිපියට දැමූ ප්‍රතිචාරයකට අප ලබා දුන් පිළිතුරෙහි කොටසක් පහත තිබෙනවා.

"ඩොලර් 100ක මුහුණත අගයක් දැන් විකිණෙන්නේ ඩොලර් 60ට නම් බැඳුම්කර යම් ප්‍රමාණයක් මිල දී ගනිද්දී මේ මිල ඩොලර් 90 පමණ දක්වා ඉහළ යා හැකියි (උදාහරණයක් ලෙස). එහිදී නැවත ඩොලර් 90 බැගින් මෙම බැඳුම්කර විකිණුවොත් ඩොලර් 30ක ලාබයක් ලංකා බැංකුවට ලැබෙනවා. එහෙත්, එසේ විකුණන්න යද්දී නැවතත් ඩොලර් 60 දක්වා මිල අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව අහම්බයෙන් සිදු වුනොත් මිසක් මේ විදිහට සැලකිය යුතු වාසියක් ලබන්න බැහැ."

නිදහස් වෙළඳපොලක මිල කියා කියන්නේ ආන්තික සැපයුම්කරු විසින් විකුණන්න කැමති මිල (marginal seller's valuation) මිසක් සැපයුම්කරුවෙකු විකුණන්න කැමති සාමාන්‍ය මිල (average seller's valuation) නෙමෙයි. ඕක තේරුම් ගන්න ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් තෑග්ග ගන්න අවශ්‍ය නැහැ. 

ස්වෛරිත්ව බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ වෙත පැමිණියහොත් ජනවාරි කල් පිරෙන බැඳුම්කරයක ඩොලර් 100ක මුහුණත අගයක් දැන් ඩොලර් 60කට විකිණෙනවා කියා කියන එකෙන් අදහස් වෙන්නේ ඩොලර් 100ක මුහුණත අගයක් ඩොලර් 60කට විකුණන්න කැමැති එක් ආන්තික සැපයුම්කරුවෙක් සිටින බව මිසක් හැම කෙනෙක්ම ඒ මිලට විකුණන්න සූදානම්ව සිටින බව නෙමෙයි. මේ ආන්තික සැපයුම්කරුවා හැරුණු විට අනෙක් හැම කෙනෙක්ම තමන් සතු ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් ඊට වඩා මිලක් අපේක්ෂා කරන අයයි. මෙය ආර්ථික විද්‍යාවේ ඉතාම මූලික මට්ටමේ හා වැදගත්ම  මූලධර්මයක්.

ඒ වගේම අනෙක් පැත්තෙන් මෙයින් කියැවෙන්නේ කිසිදු ගැනුම්කරුවෙකු විසින් ජනවාරි කල් පිරෙන බැඳුම්කරයක ඩොලර් 100ක මුහුණත අගයක් සඳහා ඩොලර් 60 ඉක්මවන මිලක් ගෙවන්න සූදානම් නැති බවයි. ඩොලර් 60 කියා කියන්නේ ගැනුම්කරුවෙකු විසින් මේ වෙලාවේ ගෙවන්න කැමති උපරිම මිල. ඒ මිල වුවත් ගෙවන්න කැමැත්තෙන් ඉන්නේ එකම එක ආන්තික ගැණුම්කරුවෙකු පමණයි. ඉතිරි ගැණුම්කරුවන් සියලු දෙනාම ගෙවන්නට කැමතිව සිටින්නේ මීට වඩා අඩු මිලක්. 

මහ බැංකුව විසින් කළ යුත්තේ ගේමක් ගසා වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් කරන ආකාරය ගැන හිතන්න මහන්සි නොවී මිල සංඥාව නිවැරදිව ග්‍රහණය කර ගැනීමයි. මිල සංඥාව මගින් පෙන්නුම් කරන්නේ ලංකාව අලුතෙන් නිකුත් කරන ඩොලර් 100ක බැඳුම්කරයක් මේ වෙලාවේ ඩොලර් 60කට විකුණන්නත් අමාරු බවයි. ඒ තත්ත්වය වෙනස් කරන්නම් එහෙම වෙලා තියෙන්නේ ඇයි කියන එක තේරුම් ගෙන අදාළ ප්‍රශ්න වලට විසදුම් සෙවිය යුතුයි. එහෙම නැතුව ටින්කරින් කරලා සාර්ව ආර්ථික ප්‍රශ්න විසඳන්න බැහැ. 

මහ බැංකුව විසින් කවුරු හෝ නියෝජිතයෙකු හරහා ඩොලර් 60 බැගින් ඩොලර් 100ක මුහුණත අගයක් මිල දී ගත් වහාම ඩොලර් 60ට බැඳුම්කර විකුණන්න කැමති විකුණුම්කරුවන් වෙළඳපොළේ නැතිව යනවා. එවිට ඉතිරිවන ආන්තික විකිණුම්කරුවා අවම වශයෙන් ඩොලර් 65ක් වැනි මිලක් බලාපොරොත්තු වෙනවා. ඒ මිලට විකිණෙන බැඳුම්කර ටිකත් මිල දී ගත්තොත් ද්වීතියික වෙළදපොළ මිල ඩොලර් 70ට නගිනවා. ඔය විදිහට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගන්නා තරමට මිලද ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. නමුත්, ඔය වැඩෙන් සිදු වන වාසියක් තියෙනවද?

මේ විදිහට අලුතෙන් හදපු කෘතීම ගැනුම්කරුවා බැඳුම්කර වලට වැඩි මිලක් ගෙවුවත් අනෙකුත් බාහිර ගැණුම්කරුවන් විසින් ගෙවන්න කැමති උපරිම මිල වෙනස් වෙන්නේ නැහැ. එම මිල ඩොලර් 60ක් හෝ ඊට අඩු මිලක්. ඒ නිසා මේ විදිහට ඩොලර් 60, 65, 70 හෝ 90 වැනි මිලකට මිල දී ගත් බැඳුම්කර නැවත විකුණනවානම් විකුණන්න වෙන්නේ ඩොලර් 60කට හෝ අඩු මිලකටයි. මිල කියන්නේ ඉල්ලුම හා සැපයුම වෙනස් වෙද්දී වෙනස් වෙන දෙයක් මිසක් නොවෙනස් වන ස්ථිර දෙයක් නෙමෙයි. 

වත්මන් මහ බැංකු අධිපති කබ්රාල්ගේ සිට විගණකාධිපති දක්වා බොහෝ අය "බැඳුම්කර මගඩියේ" පාඩුව ගණන් හැදුවේත් ඔය ක්‍රමයටයි. ඒ කියන්නේ, ඩොලර් බිලියනයක් විකිණිය හැකිව තිබුණු මිලටම ඩොලර් බිලියන 10ක් හෝ ඊට වැඩි ඕනෑම බැඳුම්කර ප්‍රමාණයක් විකිණිය හැකිව තිබුණේයැයි උපකල්පනය කරලා. එහෙම කරන්න බැරි බව ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය පිළිබඳ මූලික අදහසක් තිබෙන කෙනෙක් වුවත් දන්නවා. විකුණන බැඳුම්කර ප්‍රමාණය ඉහළ යද්දී ගෙවිය යුතු පොලී අනුපාතිකයත් ඉහළ යනවා. මිල එක තැන තියාගෙන සැපයුම අසීමිත ලෙස වැඩි කරන්න බැහැ. 

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සෘජු නිකුතු ක්‍රමය පදනම් වී තිබුණේ ඔය විදිහට මිල එසේම තිබියදී බැඳුම්කර ඕනෑ තරම් විකිණිය හැකියි කියන වැරදි උපකල්පනය මතයි. මහ බැංකුවට බලපෑම් කළ හැකි සේවක අර්ථසාධක අරමුදලට හෝ රාජ්‍ය බැංකුවකට ඔය විදිහට තමන්ට අවශ්‍ය මිලකට බැඳුම්කර විකිණිය හැකිව තිබුණත් නිදහස් වෙළඳපොළක එවැන්නක් කළ නොහැකියි. වෝහාරික විගණන වාර්තාවේ ගණන් හදා පෙන්වා දෙන්නේ මෙසේ කළ නොහැකි වූ අවස්ථා වලදී සිදු වූ "පාඩුවයි".

මේ වැරැද්ද මහ බැංකුවේ පමණක් සිදුවන හෝ ලංකාවේ පමණක් සිදු වන වැරැද්දක් නෙමෙයි. ලෝකයේ ලොකුම ධනපතියන්ගේ වත්කම් දුප්පත් රටවල ජාතික ආදායම් සමඟ සසඳන ඇතැම් අයත් මේ වැරැද්දම කරනවා. මේ මොහොත වන විට ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 203.5ක්. ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 189.5ක්. සමහර "දාර්ශනිකයෝ" යෝජනා කරන විදිහට මේ අයගේ වත්කම් වලින් කොටසක් ලෝකයේ දුප්පත් මිනිස්සු අතර බෙදා දෙන්න බැරිද?

මේ වෙද්දී ටෙස්ලා කොටසක මිල ඩොලර් 800ක් පමණ වෙනවා. ඇමසන් කොටසක මිල ඩොලර් 3,246ක්. ඊලෝන් මස්ක්, ජෙෆ් බෙසෝස් වගේ ධනවතුන්ගේ වත්කම් කියා කියන්නේ ඔවුන් සතු මෙවැනි කොටස් හිමිකම්. 

ටෙස්ලා සමාගම විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රමාණය බිලියනයක්. එහෙත් එම කොටස් වලින් වෙළඳපොළේ හුවමාරු කළ හැක්කේ කොටස් මිලියන 800කට ආසන්න ප්‍රමාණයක් පමණයි. එයින් පසුගිය තෙමස තුළ වෙළඳපොළේ ඇත්තටම හුවමාරු වී තිබෙන්නේ කොටස් මිලියන 18ක් පමණයි. එනම් මුළු කොටස් ප්‍රමාණයෙන් 1.8%ක් පමණයි. 

ඇමසන් සමාගම විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රමාණය මිලියන 510ක් පමණ වෙනවා. එයින් කොටස් මිලියන 455ක් පමණ වෙළඳපොළේ හුවමාරු කළ හැකි කොටස් වුවත් පසුගිය තෙමස තුළ ඇත්තටම වෙළඳපොළේ හුවමාරු වී තිබෙන්නේ කොටස් මිලියන 3ක් පමණයි. එනම් මුළු කොටස් ප්‍රමාණයෙන් 0.6%ක් පමණ.

වෙනත් ඕනෑම මූල්‍ය වත්කමක් සැලකුවත් දැකිය හැක්කේ ඔය වගේ තත්ත්වයක්. අදාළ වත්කම හිමි අයගෙන් විශාල පිරිසක් එය වෙළඳපොළේ විකුණන්නේ නැහැ. වෙළඳපොළ මිල තීරණය කරන්නේ ඉතා සීමිත ආන්තික සැපයුම්කරුවන් හා මිල දී ගන්නන් පිරිසක් විසින්. ඊලෝන් මස්ක් හෝ ජෙෆ් බෙසෝස් විසින් ඔවුන්ගේ වත්කම් වලින් 1%ක් දුප්පත් මිනිසුන් අතර බෙදා හැරියොත් ඔවුන් මේ කොටස් හිමිකම් මුදල් කරන්න යද්දී ක්ෂණිකවම මේ කොටස් වල මිල කඩා වැටෙනවා. ඊලෝන් මස්ක්ගේ හා ජෙෆ් බෙසෝස්ගේ වත්කම්ද විශාල ලෙස පහත වැටෙනවා. ඔවුන්ගේ වත්කම් වලින් 10%ක් පමණ මේ විදිහට බෙදා හැරියොත් කොටස් මිල හොඳටම පහත වැටී ඔවුන් තව දුරටත් ලොකු ධනවතුන් නොවිය හැකියි. ජනහිතකාමය වෙනුවෙන් පෙනී සිටින බිල් ගේට්ස් හා මාක් සකර්බර්ග් වැනි එය එක වරකට තමන්ගේ වත්කම් වලින් ඉතා කුඩා කොටසක් පමණක් නිදහස් කරන්නේ මේ හේතුව නිසයි.

මේ කතාව අදාළ වන්නේ මූල්‍ය වත්කම් වලට පමණක් නෙමෙයි. ලංකාවේ නිවාස වෙළඳපොළ සලකන්න. ලංකාවේ බොහෝ දෙනෙක් තමන් දුක් මහන්සියෙන් හදාගන්නා හෝ උරුමයෙන් ලැබුණු නිවස ලේසියකට විකුණන්නේ නැහැ. එහෙත් එසේ කරන සුළු පිරිසක් ඉන්නවා. වෙළඳපොළේ නොවිකිණෙන නිවාස හා ඉඩම් විශාල ප්‍රමාණයක මිල තීරණය කරන්නේ එම සුළු පිරිසයි. මෙය නිදහස් වෙළඳපොලක මූලික ස්වභාවයයි. වෙනත් ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකටද මේ කරුණ අදාළයි.

මේ හේතුව නිසාම විණිමය අනුපාතය කෘතිමව පාලනය කරමින් ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ හෝ විදේශ විණිමය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නැහැ. ඩොලරයක මිල තීරණය කරනවානම් රටට එන ඩොලර් සැපයුම වැඩි කළ නොහැකියි. ඩොලර් සැපයුම වැඩි කරන්න අවශ්‍යනම් මිල එක තැන තියා ගෙන එය කළ නොහැකියි.

Saturday, October 9, 2021

මහ බැංකුව ඩොලර් ප්‍රශ්නය විසඳලාද?


පසුගිය ජූලි අවසානය වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,833.5 දක්වාත්, ද්‍රවශීල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,364.6ක් දක්වාත් පහත වැටුනා. ඩොලරයක මිල මහ බැංකු පාලනයෙන් ගිලිහී පාලනයක් නැතිව ඉහළ යන්න පටන් ගත්තා. 

මහ බැංකුවේ සංචිත අඩියටම වගේ හිඳී තියෙද්දීත් ඩොලරයක මිල රුපියල් 200 ආසන්නයේ තියා ගැනීම සඳහා අගෝස්තු මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 175ක පමණ සංචිත විකුණා දැමීමෙන් පසුවද වාණිජ බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ රුපියල් 225 පමණ මට්ටමකයි. ඒ, ආනයන පාලන හරහා ඩොලර් ඉල්ලුම සීමා කිරීමෙන්ද පසුවයි.

මෙසේ සංචිත විකිණීමෙන් පසුවද ඩොලරයේ මිල පාලනය කර ගත නොහැකි වීම නිසා හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් සියලු වාණිජ බැංකු වල හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ට ලිපියක් ලියමින් ඩොලරයේ මිල මහ බැංකුවට හා රජයට අවශ්‍ය මට්ටමේ තියා ගන්නා ලෙස "අවවාද" කිරීමෙන් පසුව තනතුර හැර ගියා. ඩොලරයේ අගය නාමිකව මහ බැංකුවට අවශ්‍ය මට්ටමට වැටුනත් ඒ මිලට බැංකු වල ඩොලර් තිබුණේ නැහැ.

මහ බැංකුවේ අධිපති පුටුව මාරු වුනා. අලුතෙන් පත්ව ආ අධිපතිවරයා විසින් ඉදිරි කාලයේදී ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය ඩොලර් හොයා ගන්නා හැටිද විස්තර කළා. ඉන් පසුව, වෙළඳපොළට ඩොලර් මුදා හරිමින් යම් පමණකින් ඩොලර් ආතතිය අඩු කිරීමටද කටයුතු කළා.

දැන් ඩොලරයේ මිල ප්‍රකාශිත ඉලක්ක මට්ටමේ ස්ථිරව තියා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මහ බැංකුව විසින් හොයා ගෙනද?

අගෝස්තු 23 වෙනිදා මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 787ක් පමණ වටිනා එස්ඩීආර් ප්‍රමාණයක්  ලැබුණා. එයින් ඩොලර් මිලියන 666ක පමණ වටිනාකමක් තිබෙන එස්ඩීආර් ප්‍රමාණයක් මහ බැංකුව විසින් ක්ෂණිකව ඩොලර් වලට හුවමාරු කර ගත්තා. බංග්ලාදේශ බැංකුවෙන්ද ඩොලර් මිලියන 150ක ණයක් මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලබා ගෙන තිබුණා. මේ අනුව, ජූලි අවසානයේදී ඩොලර් මිලියන 2,806ක් වූ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,743දක්වා ඉහළ යා යුතුව තිබුණා. මෙසේ ලැබුණු ඩොලර් නිසා, අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීම සඳහා ඩොලර් මිලියන 176ක පමණ සංචිත ප්‍රමාණයක් වැය කිරීමෙන් පසුවද අගෝස්තු අවසානයේදී ඩොලර් මිලියන 3,550ක් දක්වා සංචිත ඉහළ ගියා.

අධිපති මාරුවෙන් පසුව, සැප්තැම්බර් මාසය තුළ, මේ සංචිත වැඩි වෙලාද? නැත්නම් වෙනසක් වෙලා නැද්ද?

සැප්තැම්බර් අවසානය වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,550 සිට ඩොලර් මිලියන 2,581ක් දක්වා ඩොලර් බිලියනයකින් පමණම පහත වැටී තිබෙනවා. එයින් ද්‍රවශීල සංචිත තිබෙන්නේ ඩොලර් මිලියන 2,006.4ක් පමණයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු මුදල් මහ බැංකුවේ බැරකමක් වුවත්, එම මුදල් නිශ්චිත දිනයකදී ආපසු ගෙවිය යුතු නැති නිසා මේ අයුරින් මහ බැංකුවට සිය වත්කම් ඉක්මවා එම මුදල්ද වියදම් කිරීමට හැකි වී ඇතත්, අදාළ ණය මුදල් පියවන තුරු මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දිගින් දිගටම පොලී ගෙවිය යුතුයි.

මහ බැංකුව සතු විදේශ වත්කම් විශාල ලෙස පහත වැටීමත් සමඟ මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය මේ වන විට විදේශ වත්කම් ප්‍රමාණයද ඉක්මවා ගොස් තිබෙනවා. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය අගෝස්තු අවසානය වන විටද ඩොලර් මිලියන 420කට ආසන්නව තිබී ඇති බව නිල සංඛ්‍යාලේඛණ පෙන්වනවා. මෙය මෙසේ විය යුතු බව අප කලින්ම සටහන් කළා. සැප්තැම්බර් අවසානය වෙද්දී මෙම හිඟය ඩොලර් බිලියන 1.4ක් පමණ දක්වා ඉහළ ගොස් තිබිය හැකි බව අපේ ඇස්තමේන්තුවයි.

නහය ළඟටම ණය වූ පසු කොහොමටත් වෙන කරන්නම දෙයක් නැති නිසා රෑට කන්න තිබෙන සල්ලි වලින් රේස් දාන මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට මේ ක්‍රමයෙන් ගොඩ යන්න පුළුවන් වුනත් බොහෝ විට වෙන්නේ එහි අනෙක් පැත්තයි. අධිපති කබ්රාල්ගේම උදාහරණයකට අනුව ඇතැම් රෝගීන් සුවපත් කිරීම පිණිස වෛද්‍යවරුන් විසින් සැත් පිහියකින් සිරුර කපනවා. එහෙත්, සැත්කම කිරීමෙන් පසුව නැවත එම කැපුම මසා දමා රෝගියා සුවපත් කරනවා.

රෝගියාගේ බඩ කපන කොටසනම් දැන් කරලා. ඉතිරිව තිබෙන්නේ සැත්කම අවසන් කර මහන කොටසයි!

Friday, October 8, 2021

ග්‍රීන්කාඩ් පෝලිම


පසුගිය දින වල සමාජ මාධ්‍ය වල වාර්තා කරනු ලැබ තිබුණු පරිදි ලංකාවේ ගමන් බලපත්‍ර කාර්යාලය අසල දිගු පෝලිමක් හැදිලා. ගමන් බලපත් ලබා ගැනීම සඳහා වන පෝලිම විවිධ හේතු නිසා දිගු විය හැකියි. විදේශගත වන්නට අවශ්‍ය අයගේ ගමන් බලපත් ඉල්ලුම ඉහළ යාම එක හේතුවක්. ගමන් බලපත් නිකුත් කිරීම සඳහා යොදවා ඇති නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හෝ ඔවුන් ප්‍රමාණවත් තරම් කාර්යක්ෂම නොවීම තවත් හේතු දෙකක්. 

දැන ගන්නට ලැබුණු විදිහට එකවරම ලංකාවේ "පාස්පෝට් පෝලිම" මේ තරම් දිගු වී තිබෙන්නේ ඇමරිකානු ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව එළැඹීමත් සමඟයි. මේ අවස්ථාව පසුගිය බදාදා (2021 ඔක්තෝබර් 6) විවෘත වුනා. වාසනාව මත පදනම්ව ඇමරිකාවට සංක්‍රමණය වීමට කැමති අයට 2021 නොවැම්බර් 9 දක්වා වන කාලය තුළ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ හැකියි. ලොතරැයිය ජයග්‍රහණය කරන අයට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුව 2022 ඔක්තෝබර් 1 දින සිට 2023 සැප්තැම්බර් 30 දක්වා වන වසරක කාලය තුළ ඇමරිකාවට සංක්‍රමණය විය හැකියි. 

ග්‍රීන්කාඩ් යන්නෙන් පොදුවේ අදහස් වන්නේ ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා හිමිවන වීසා බලපත්‍රයයි. මෙය කුඩා කාඩ් පතක්. ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබා ගත් අයෙකුට වසර පහකට පසුව (ඇතැම් කාණ්ඩ යටතේ ලබාගත් අයට වසර තුනකට පසුව) ඇමරිකානු පුරවැසි භාවය ලබා ගත හැකියි. ස්ථිර පදිංචිය හිමි අයටද ඇමරිකානු පුරවැසියන්ට හිමි වන වරප්‍රසාද හා අයිතිවාසිකම් වලින් විශාල ප්‍රමාණයක් හිමි වෙනවා. 

ඇමරිකාව කියා කියන්නේ ලෝකයේ වැඩිම සංක්‍රමණිකයින් පිරිසක් සිටින රටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව 2019 වසරේදී ලෝකය පුරා විසිරී සිටි සංක්‍රමණික ජනගහණය 271,642,105ක්. එම ප්‍රමාණයෙන් 18.6%ක්ම, එනම් 50,661,149ක් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකාවේ ජනගහණයෙන් 15.4%ක් සංක්‍රමණිකයින්. ඇමරිකාවේ සිටින සංක්‍රමණික ප්‍රජාවෙන් ලෝකයේ හැම රටක්ම නියෝජනය වෙනවා.

ඇමරිකාවේ සංක්‍රමණිකයන්ගෙන් වැඩිම පිරිසක් මෙක්සිකෝවේ සිට සංක්‍රමණය වූ අයයි. ඊළඟට වැඩිපුරම සිටින්නේ පිලිවෙලින් චීනයෙන්, ඉන්දියාවෙන් හා පිලිපීනයෙන් පැමිණි අයයි. ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ප්‍රමාණය 57,135ක් පමණයි. මෙම ප්‍රමාණය ඇමරිකාවේ සංක්‍රමණික ජනගහනයෙන් 0.11%ක් තරම් සුළු ප්‍රතිශතයක්. සමස්ත ශ්‍රී ලාංකික සංක්‍රමණික ජනගහනය වන 1,775,768න් වුවද 3.22%ක ප්‍රතිශතයක් පමණයි. ලංකාවේ ජනගහනය ලෝක ජනගහනයෙන් 0.27%ක් පමණ බව සැලකූ විට, ඇමරිකානු සංක්‍රමණික ජනගහනය තුළ ලංකාව නියෝජනය වන්නේ අඩුවෙන්.

ආසන්න වශයෙන් වසරකට මිලියනයක පමණ පිරිසක් ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ලැබෙන ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබා ගන්නවා. ඒ සඳහා, ක්‍රම ගණනාවක් තිබෙනවා. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය ඒ අතරින් එක් ක්‍රමයක් පමණයි. 2019 වසරේදී ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබාගත් මිලියනයකට අධික පිරිස එම බලපත්‍රය ලබා ගත්තේ පහත ක්‍රම වලිනුයි.

ඇමරිකානුවන්ගේ ළඟම ඥාතීන් (සහකරු හෝ සහකාරිය හා දරුවන්) - 505,765

අවශේෂ ඥාතීන් (දෙමවුපියන් හා සොහොයුරු සොහොයුරියන්)  - 204,139

රැකියාව මත පදනම්ව - 139,458

සරණාගතයින් - 106,911

ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් - 43,463

වෙනත් ක්‍රම වලින් - 32,029

එකතුව - 1,031,765


ඉහත කී ග්‍රීන්කාඩ්ලාභීන් අතරින් ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 1,689ක් පමණයි. ඔවුන් ග්‍රීන්කාඩ් බලපත් ලබා ගෙන තිබෙන්නේ පහත ක්‍රම වලිනුයි.

ඇමරිකානුවන්ගේ ළඟම ඥාතීන් (සහකරු හෝ සහකාරිය හා දරුවන්) - 531

අවශේෂ ඥාතීන් (දෙමවුපියන් හා සොහොයුරු සොහොයුරියන්)  - 185

රැකියාව මත පදනම්ව - 466

ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් - 370

සරණාගතයින් - 125

වෙනත් ක්‍රම වලින් - 12

එකතුව - 1,689


ලොතරැයිය හරහා ග්‍රීන්කාඩ් බලපත් ලබා ගන්නා ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 4.2%ක් පමණක් වුවත්, 2019 වසරේදී ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත් ලබා ගත් ශ්‍රී ලාංකිකයින් අතරින් 21.9%ක්ම එය ලබාගෙන තිබෙන්නේ ලොතරැයිය හරහා. ඒ වගේම, මෙම ප්‍රමාණය නිකුත් කර තිබෙන මුළු ග්‍රීන්කාඩ් බලපත් ප්‍රමාණයෙන් 0.85%ක් තරම් ඉහළ ප්‍රතිශතයක්. ශ්‍රී ලාංකිකයින්ට ග්‍රීන්කාඩ් ලොතරැයි තරඟයේදී විශේෂ වාසි ගණනාවක් තිබීම එයට හේතුවක්. 

Reference:

United Nations, Department of Economic and Social Affairs. Population Division (2019). International Migrant Stock 2019 (United Nations database, POP/DB/MIG/Stock/Rev.2019).

Saturday, October 2, 2021

කබ්රාල් කරන්න යන්නේ කුමක්ද?


අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති සේ පත් වීමෙන් පසුව ඉතා ඉක්මණින් "වැඩ පටන් ගත්තා". කබ්රාල් කියන්නේ මහන්සි වී වැඩ කරන, වයසින් තරුණයකු නොවූවත් ජවසම්පන්න හා කාර්ය ශූර පුද්ගලයෙක්. ඒ වගේම ඉතාම දක්ෂ සන්නිවේදකයෙක්. අභියෝග හමුවේ පැන නොයා මුහුණ දීමට ඔහුගේ මේ දක්ෂ සන්නිවේදන හැකියාව ඔහුට උදවු වෙනවා. ඔහු දක්ෂ ලෙස සන්නිවේදනය කරන හැම දෙයක්ම ඇත්ත නොවූවත්, ඔහුගේ බොරු ඇත්ත මත පදනම්ව සැලසුම්සහගතව හදන බොරු නිසා ඒවා බොරු බව එක වර පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එකම බොරුව දිගින් දිගටම නැවත නැවත කීම හරහා එය ඇත්තක් කිරීම කබ්රාල්ගේ උපාය මාර්ග වලම කොටසක්. 

ඇතැම් කරුණු හා අදාළව මහ බැංකු අධිපතිවරයෙකු විසින් මෙසේ ක්‍රියා කිරීමේ වැරැද්දකුත් නැහැ. මහ බැංකු අධිපතිවරයෙකු ශුභවාදී විය යුතුයි. මහ බැංකු අධිපතිවරයා අශුභවාදී වුවහොත් එය ඉතා ඉක්මණින් විනාශයකින් කෙළවර විය හැකියි. එහෙත් මහ බැංකු අධිපතිවරයෙකුගේ ප්‍රකාශ පිළිබඳ විශ්වාසනීයත්වය රටක ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි යහපත් ලෙස බලපාන්නේ අදාළ පුද්ගලයාට අපක්ෂපාතී පුද්ගලයෙකු ලෙස රටේ (හා රටෙන් පිටත) පිළිගැනීමක් ඇති විටයි. ඉතා පැහැදිලිවම කබ්රාල් අපක්ෂපාතී පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම, ඔහුගේ ප්‍රකාශ වලට, ඒවා ඇත්ත වන අවස්ථා වලදී පවා, රටේ පුළුල් පිළිගැනීමක් නැහැ. එවැනි පිළිගැනීමක් ඇත්නම් ඒ ඔහු නියෝජනය කරන දේශපාලන කඳවුර තුළද එක් කොටසක් අතර පමණයි.

ලියන්න ගොඩක් දේවල් තිබුණත් අප කාර්ය බහුලව සිටින නිසා ඒ තරම්ම කාලයක් මිඩංගු කළ නොහැකියි. ඒ නිසා, කෙළින්ම මාතෘකාවට යමු.

කබ්රාල් මහ බැංකු අධිපති සේ පත් වන විට රටේ ආර්ථිකය මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී තිබුනා කියා කිව හැකියි. එහෙත්, ප්‍රශ්නය ඇති වන විටම, එය ඔඩු දුවන්නට පෙර, කබ්රාල් මහ බැංකු අධිපති සේ පත් කෙරුණා. එවැනි අවස්ථාවක මහ බැංකු අධිපති සේ පත් වන අයෙකු විසින් කළ යුතුම දෙය ඔහු ක්ෂණිකව කළා. ඒ ඉතා කෙටි කලකින්, එනම් ඔක්තෝබර් පළමුවෙනිදා වෙද්දී, රටේ ස්ථායීත්වය ඇති කිරීම සඳහා සය-මාසික මාර්ග සිතියමක් ඉදිරිපත් කරන බවට පොරොන්දුවක් දීමයි. මේ වෙද්දී මේ පොරොන්දුව ඉටු කර තිබෙනවා.

කබ්රාල්ගේ මාර්ග සිතියම නැති දෙයක් නැති අච්චාරුවක්. මේ විදිහට කිව යුතු දෙය වෙනත් අනවශ්‍ය දේවල් විශාල ප්‍රමාණයක් සමඟ එකට පටලවා අසන්නන් අවුලට පත් කිරීම කබ්රාල්ගේ සාමාන්‍ය සන්නිවේදන උපක්‍රමයයි. මහ බැංකු අධිපති ලෙස මේ වෙලාවේ ඔහු කරන ප්‍රකාශයක වැදගත් කොටස මහ බැංකුව විසින් විදේශ විණිමය අර්බුදයට මුහුණ දීම පිණිස කෙටිකාලීනව කරන්න යන්නේ කුමක්ද කියන එකයි. 

කබ්රාල්ගේ මාස හයේ මාර්ග සිතියම කුමක්ද? 

ඉතා කෙටියෙන් කිවුවොත්, කබ්රාල් විසින් කරන්න යන්නේ ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඩොලර් කෙසේ හෝ හොයා ගැනීමයි. වැල් වටාරම් ඉවත් කර මාර්ග සිතියමේ අදාළ කරුණු පමණක් ගත්තොත්, විණිමය අනුපාතය මේ මට්ටමේ පවත්වා ගැනීම සඳහා ඩොලර් හොයා ගන්න යන්නේ කොහොමද? 

- රජයක් විසින් රජයකට දෙන (G2G) ණය ලෙස කෙටිකාලීනව ඩොලර් බිලියනයක් (ඉදිරි මාස තුන ඇතුළත මිලියන 500ක්) ලබා ගැනීම.

- රාජ්‍ය දේපොළ විකිණීමෙන් ඩොලර් බිලියනයක් ලබා ගැනීම. 

- බදු සමා පනතේ උදවුවෙන් ඩොලර් මිලියන 100ක් හොයා ගැනීම.

- කෙටිකාලීන විණිමය හුවමාරු ගිවිසුම් හරහා ඩොලර් බිලියන 1.5ක් ලබා ගැනීම 

- රට තුළට රැගෙන විත් නැති අපනයන ආදායම් ඩොලර් බිලියන 1.8ක් (මාසයකට ඩොලර් මිලියන 300 බැගින්) රටට ගෙන්වා ගැනීම.

- ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම.

- ඩොලර් මිලියන 300ක පමණ සංවර්ධන බැඳුම්කර විදේශිකයන්ට විකිණීම. 

- බැංකු/ මූල්‍ය ආයතන විසින් ඩොලර් බිලියන 1.5ක විදේශ ණය ලබා ගැනීම.

දැන් මේ ටික එකතු කළොත් සාරාංශයක් ලෙස ඩොලර් හොයා ගන්න යන්නේ ඩොලර් බිලියන 4.3ක ණය ලබා ගැනීම, ඩොලර් බිලියන 1.1ක විදේශ ආයෝජන ගෙන්වා ගැනීම හා ආපසු නොයන ඩොලර් බිලියන 2.8ක් රට තුළට ගෙන්වා ගැනීම ලෙසයි. එකතුව ඩොලර් බිලියන 8.2ක් පමණ වෙනවා. 

ඉදිරි මාස හයක කාලය තුළ ඔය විදිහට ඩොලර් බිලියන 8.2ක් හොයා ගන්න පුලුවන්නම් එම කාලය තුළ ගෙවිය යුතු ණය ගෙවා, අපනයන වෙනුවෙන්ද අවශ්‍ය පමණ ඩොලර් වැය කර, සංචිතද නැවත ඉහළ නංවා ගන්න පුළුවන්. එවැනි ඩොලර් ප්‍රමාණයක් ලැබේනම් ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න බැරිකමක් නැහැ.

මේ ඇස්තමේන්තු කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. එහෙත් ඉලක්ක සේ සැලකුවොත් නරක නැහැ. දැන් අපට තියෙන්නේ ඉදිරි මාස හය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය දෙස බලා ඉන්නයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...