වෙබ් ලිපිනය:

Saturday, May 7, 2022

පල්ල ගෑවෙන මල්ල හාරන එල්ලයක් නැති සෙල්ලමක්?


මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබෙන විදිහට රටේ තිබෙන ද්‍රවශීල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන පණහකටත් අඩුයි. මට තේරෙන විදිහටනම් IMF එකෙන් සල්ලි ගන්න එකත් ටිකක් දුරස්ථ ඉලක්කයක් වගේ. මහ බැංකුවට IMF එකත් එක්ක සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. හැබැයි එක අවස්ථාවක රජය පැත්තට බෝලය පාස් වෙනවා. ඒ අවස්ථාවේදී ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. 

ඉතා පැහැදිලිවම, දේශපාලන ස්ථාවරත්වය IMF එකෙන් ණයක් ගනිද්දී ප්‍රශ්නයක් වෙනවා. දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නය විසඳුනත්, IMF එක විසින් යෝජනා කරන වැඩ පිළිවෙලකට දේශපාලන සහයෝගය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නය පැහැදිලි ලෙසම මතු වෙනවා. ඔය ප්‍රශ්න දෙකම මතු වෙන්නේ IMF එක විසින් ආර්ථිකය ගොඩ දැමිය හැකි විසඳුමක් යෝජනා කළාට පස්සේ. හැබැයි මට තිබෙන බැරෑරුම් ප්‍රශ්නය මේ තියෙන තැන ඉඳලා IMF එකට වුනත් ආර්ථිකය ගොඩ දැමිය හැකිද කියන එක. වැඩේ ඒ තරමටම ඇනිලයි තියෙන්නේ.

ආණ්ඩුවනම් ඉන්නේ කරකවලා අත ඇරලා වගේ. පහුගිය අවුරුදු දෙක ඇතුළත ආණ්ඩුව විසින් කළේ එදා වේල විසඳුම් හොයන එක. දැන්නම් එදා වේල විසඳුම්වත් නැහැ. රුවල් කැඩිච්ච ඔරුවක් වගේ ආර්ථිකය ඔහේ පාවෙන්න ඇරලා ආණ්ඩුව බලාගෙන ඉන්නවා. එක පැත්තකින් බැලුවහම එහෙම ඉන්න එකත් හොඳයි. 

මේ ප්‍රශ්නයට කිසිදු විපක්ෂ කණ්ඩායමක් සතුවත් පැහැදිලි විසඳුමක් නැහැ. අරගලකරුවන් ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. සමහර අය හිතාගෙන ඉන්නේ රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් ණය ගෙවලා පරණ පුරුදු ජීවිතයට පහසුවෙන් යන්න පුළුවන් වෙයි කියලා. කිසිම බලාපොරොත්තුවක් නැති තැනකට වැටුනට පස්සේ හිත හදාගන්න ඔය වගේ සිහින දකින එක නරකම නැතත් මේ සිහින වලට සිහින ලෝකයෙන් ඔබ්බට යන්න පුළුවන්කමක් නැහැ.

රට මේ තැනට වැටෙන්න දූෂණ, වංචා හේතු වී තිබෙනවා කියන එක බොරුවක් නෙමෙයි. ඒ දූෂණ, වංචා වලට එරෙහිව හඬ අවදි කිරීමත් අවශ්‍යම දෙයක්. හැබැයි හොරකම් කරපු සල්ලි හොයාගෙන ගොඩ යන්න බලා සිටීමනම් දියසෙන් ඇවිත් රට ගොඩදාන තුරු බලා හිටියා වගේම වැඩක්. 

මට පේන විදිහට සිදු වෙන්න වැඩිපුරම ඉඩ තියෙන දෙය වෙළඳපොළ යාන්ත්‍රනය විසින්ම ප්‍රශ්නය විසඳන එක. වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳන්නේ වෙළඳපොළ මූලධර්ම අනුව මිසක් කිසිදු තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය විදිහට නෙමෙයි. ඒ නිසා, වෙළඳපොළ විසඳුම බොහෝ දෙනෙකුට සතුටු විය හැකි විසඳුමක් නොවෙන්න පුළුවන්. එහෙමයි කියලා ඩොලර් මිලියන පණහක්වත් අතේ නැති මහ බැංකුවකට හෝ පොලී ගෙවන්න තරමටවත් ආදායමක් උපයන්නේ නැති රජයකට වඩා හොඳ විදිහට වෙළඳපොළ විසඳුම වෙනස් කර ගත හැකි වීමේ ශක්‍යතාවයක් මේ වෙද්දී පෙනෙන්න නැහැ. 

ඩොලර් ප්‍රවාහ කිසිවක් IMF වැනි මූලාශ්‍රයකින් ක්ෂණිකව රටට ගලා නොඑන තත්ත්වයක් යටතේ වුවත් ඩොලරයේ මිල යම් මට්ටමකට ගියාට පස්සේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙලා ඩොලර් ප්‍රශ්නය විසඳෙයි. ඒ මට්ටම ගැන මට අනාවැකි කියන්න බැහැ. මහ බැංකු අධිපතිවරයාගේම වචන වලින් කිවුවොත් කාටවත්ම ඒ මට්ටම ගැන හරියටම කියන්න බැහැ. හැබැයි යම් මට්ටමකදී මේ වැඩේ අනිවාර්යයෙන්ම වෙනවා.

ඩොලර් එක ඉහළ ගියා කියලා ක්ෂණිකව අපනයන ආදායම් ඉහළ යන්නේ නැහැ. පවතින තත්ත්වය යටතේ සංචාරක ඉපැයීම් විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නත් නැහැ. ප්‍රේෂණනම් බැංකු ක්‍රමයෙන් හෝ වෙනත් ක්‍රමයකින් රටට එයි. සමාජජාලා වල රැළි හදලා ප්‍රේෂණ වැඩි කරන්න බැරුවාක් මෙන්ම අඩු කරන්නත් බැහැ. එහෙම බලපෑම් නිසා සිදුවන අඩුවැඩි වීම් දැනෙන්නේවත් නැති තරමේ සිල්ලර වෙනස්කම්. නමුත් ප්‍රේෂණ වල මිල සංවේදීතාවයේ බලපෑම ඊට වඩා ලොකු, දැනෙන බලපෑමක්. ප්‍රමාණාත්මකව එතරම් විශාල නොවුනත්, ඩොලරයේ මිල ඉහළ යාමට සමාන්තරව කොටස් වෙළඳපොළටත් නැවත විදේශ ආයෝජන එන්න පටන් අරන් තිබෙනවා. පහුගිය කාලය මුළුල්ලේම වුනේ එහි අනෙක් පැත්ත. 

වෙළඳපොළ සමතුලිත විය හැකි ප්‍රධානම ආකාරය ඩොලරයේ මිල ඉහළ යාමට සමාන්තරව ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගොස් එම ඉල්ලුම අඩු වීමයි.  රටට එන ඩොලර් ප්‍රමාණය දැනෙන තරමකින් වැඩි නොවන නිසා වෙළඳපොළ සමතුලිත වන්නේ රටින් යන ඩොලර් ප්‍රමාණය ඒ මට්ටමට පහළ ගිය පසුවයි. එය වෙන්නනම් පැට්‍රෝල්, ගෑස් ආදිය තව කොපමණ ඉහළ යා යුතුද කියන එක තීරණය වන්නේ රටේ මිනිස්සු අතේ වියදම් කළ හැකි මුදල් (රුපියල්) කොපමණ තියෙනවද කියන එක මතයි. 

මේ වැඩේ වුනාට පස්සේ කලින් ගෑස් වලින් උයපු ඇතැම් අයට දිගටම දර වලින් උයන්න වෙයි. කලින් ත්‍රීවීල් එකේ හන්දියට ගිය අයට පයින් යන්න වෙයි. ඌබර්, පික්මී ගත්ත අයට බස් වල යන්න වෙයි. ඉඳහිට සිංගප්පූරු සාප්පු සවාරියක් ගිය අයට, දඹදිව වන්දනා ගමනක් ගිය අයට ඒ ගමන් සිහිනයක් වෙයි. දරුවන් අධ්‍යාපනය සඳහා විදේශගත කරන්න බලාගෙන සල්ලි එකතු කරපු දෙමවුපියන්ට වෙන විකල්පයක් ගැන හිතන්න වෙයි. වෙළඳපොළ යාන්ත්‍රනය හරහා ඩොලර් ප්‍රශ්නය විසඳෙන්නේ ඔය ගොඩක් දේවල් වල මිල දරාගත නොහැකි මට්ටමකට වැඩි වුනාට පසුවයි.

රජය ණය ප්‍රතිව්‍යුහගත කරලා, IMF එකෙන් ණය අරගෙන, ඩොලර් ප්‍රශ්නය "විසඳන්න" කලින් බොහෝ විට වෙළඳපොළ විසින්ම ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඩොලරයේ මිල ඉහළ යන වේගය හා ඉහත කටයුතු සිදුවීමේ ප්‍රගතිය දිහා සංසන්දනාත්මකව බැළුවහම මට දැනට කළ හැකි නිගමනය ඒකයි.  ඉතා පහසුවෙන් ඩොලරයක මිල රුපියල් 400 ඉක්මවයි. මෙය දෙසතියක් තුළ සිදු විය හැකියි. රුපියල් 450ට පමණ යන එකත් පහසුවෙන්ම සිදු විය හැකි දෙයක්. මොකද ඉතා ඉක්මණින් කාගෙන්වත් ණය ලැබෙන්නෙත් නැත්නම්, මහ බැංකුවේ සංචිතත් පල්ලටම හිඳිලානම්, මිල යාන්ත්‍රනය විසින් ප්‍රශ්නය විසඳන්න පෙර වෙළඳපොළට මැදිහත් වීමක් කරන්න මහ බැංකුවට හෝ රජයට ශක්තියක් නැහැ.

ඩොලරයක මිල ඔය මට්ටමට ගියාම, එයට අනුරූපව ආනයනික භාණ්ඩ වල මිලත් ඉහළ යන්න ඇරියොත්, ඩොලර් වෙළඳපොළ සමතුලිත විය යුතුයි. ඒ වැඩේට ඩොලරයක මිල දිගින් දිගටම ඉහළ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඩොලරයේ මිල ඉහළ යාමට අනුරූපව, ඉන්ධන ආදියේ මිල ඉහළ යාම වැලක්වුවොත් ආනයන ඉල්ලුම අවශ්‍ය පමණ අඩු නොවන නිසා ඩොලර් එක තව තවත් ඉහළ යයි. අනෙක් පැත්තෙන් මිනිස්සුන්ට සහන දීලා, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා, ආනයන පරිභෝජනය පවත්වා ගෙන යන්න උදවු කළොත්, ඒත් වෙන්නේ ඩොලරයක මිල තව තවත් ඉහළ යනවා කියන එකයි. සංක්ෂිප්තව කිවුවොත්, වෙළඳපොළ විසින් මේ ප්‍රශ්නය විසඳනවා කියන්නේ රටේ බොහෝ දෙනෙකුට කලින් මෙන් ජීවත් වෙන්න අමාරු වෙනවා කියන එකයි. මොන විදිහකින් හරි මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළටම නොවැටී පවත්වා ගෙන යන්න රජය හෝ මහ බැංකුව විසින් උදවු කරන්න යනවා කියන්නේ ප්‍රශ්නය විසඳෙන එක තවත් කල් යනවා කියන එකයි.

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 400-450 අතර මට්ටමකට යද්දී එදිනෙදා ගනුදෙනු සඳහා අවශ්‍ය වන ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා කියලා. හැබැයි මෙතෙක් ගත් ණය හා පොලී ගෙවීමේ ප්‍රශ්නය තව දුරටත් එලෙසම තිබෙනවා. රජයේ විදේශ ණය පැත්තකින්ම තිබ්බත්, මහ බැංකුවේ හා වාණිජ බැංකු වල ණය පියවන්නම වෙනවා. දළ වශයෙන් ගත්තොත් මේ ණය පසුගිය කාලයේ ආනයනය කර පරිභෝජනය කළ ආනයන වෙනුවෙන් ගෙවිය යුතු මුදල්. වෙනත් විදිහකින් කිවුවොත් පහුගිය අවුරුදු දෙකේ ගත්ත කෙටිකාලීන එදාවේල ණය ටික. මම හිතන්නේ ඔය ණය ටිකත් බිලියන හතර හමාරකට කිට්ටුයි. 

රටේ එදිනෙදා භාණ්ඩ හා සේවා ආනයන අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ඩොලර් ටික හොයා ගන්න පුළුවන් මට්ටමක් ඇති වෙන්න ඩොලර් එක රුපියල් 400-450 මට්ටමකට යාම ප්‍රමාණවත් විය හැකි වුවත්, ඔය එදා වේල ණය ටික පියවන්න අවශ්‍ය ඩොලර් වෙළඳපොළෙන් හොයා ගන්න එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. අනෙත් එක දැනට අමතක කර තිබෙන රජයේ ණයත් අවසාන වශයෙන් ගෙවන්න වෙනවා. ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ ණය ගෙවන කාලය දිගු වෙනවා කියන එක පමණයි. ඔය වැඩේ කරන්න පුළුවන් වෙන්නේ IMF ණය ලැබීමෙන් පසුව පමණයි. එතෙක් කල් දැනට තිබෙන එදා වේල ණය ටික එදා වේල ක්‍රමයටම රෝල් කරන්න වෙනවා. එහෙම රෝලක් ගහන්නේ නැතිව ඩොලරයේ මිල මොන විදිහකින්වත් ස්ථාවර කරන්න බැහැ. 

ඔය හැම දෙයක්ම දැනට අපිට යථාර්ථවාදී ලෙස අපේක්ෂා කළ හැකි හොඳම විදිහට වෙනවා කියලා හිතමු. ඒ කියන්නේ මේ වසර අවසන් වෙන්න කලින් IMF එකෙන් ණය ලැබෙනවා. එතකල් රෝලක් ගහගන්න ඉන්දියාවෙන් හරි වෙන කොහෙන් හරි ණය ලැබෙනවා. රෝලක් ගහගන්න කිවුවේ තව තව ආනයන කරන්න නෙමෙයි. බැංකු පද්ධතියේ හදිසි ණය ගෙවන එක කල් දා ගන්න. එහෙම කළත් IMF එකෙන් බොහෝ විට ලැබෙනු ඇත්තේ ඩොලර් බිලියන තුනක පමණ මුදලක්. ලෝක බැංකුව වගේ තවත් තැන් වලින් ටික ටික එකතු කරලා ඔය ප්‍රමාණය ඩොලර් බිලියන හතර හමාරක් කර ගත්තා කියමු. ඒ ටිකෙන් බැංකු පද්ධතියේ ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. හැබැයි රජයේ ණය ගෙවීමේ ප්‍රශ්නය වගේම IMF ණය ගෙවීමේ ප්‍රශ්නයත් තව දුරටත් ඉතිරි වෙනවා.

රජයේ ණය ගෙවීමේ ප්‍රශ්නය හා IMF ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය අපි දැනට පැත්තකින් තියමු. වසර අවසන් වෙද්දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත අහවර වෙලා, IMF එකේ ණයත් ලැබෙනවා කියා කියන්නේ ඔය ප්‍රශ්න දෙකට විසඳුම් මොන විදිහෙන් ලැබිලා කියන එකනේ. තිබෙන ණය ගෙවන්න වැඩි කාලයක් ලබා ගැනීම හා ඒ අනුව පහළ යන ණය වාරික ගෙවන්න අලුතෙන් වෙළඳපොළෙන් ණය ලබා ගැනීම අනිවාර්යයෙන්ම ඔය විසඳුමේ කොටසක් විය යුතුයි. එහෙම නැතුව ඔය තරම් කෙටි කාලයකින් ණය ගෙවන්න අවශ්‍ය තරමට ඩොලර් උපයා ඉතුරු කර ගන්න බැහැ.

සුබවාදීම තත්ත්වයක් යටතේ වුවත් එදිනෙදා වියදම් වලට අවශ්‍ය ඩොලර් ටික රටට එන ඩොලර් ටිකෙන් පියවිය හැකි තරමට ආනයන ඉල්ලුම අඩු විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන තරමට ආනයන මිල ඉහළින් තිබිය යුතුයි. ඒ කියන්නේ, රටේ බොහෝ දෙනෙකුට තමන්ගේ ආදායමෙන් කලින් තිබුණු පරිභෝජන මට්ටම පවත්වා ගන්න නොහැකි විය යුතුයි. 

මේ වගේ තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින් විසින් වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය අරගල කරන්න ඉඩ තිබෙනවා. නමුත්, ප්‍රශ්නය විසඳෙන යාන්ත්‍රනය තිබෙන්නේම රජයේ සේවකයින්ට ජීවත් වෙන එක අමාරු වීම තුළයි. දැනට රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණයි. 2019 මට්ටමට බදු වැඩි කළා කියලත් ඔය ආදායම ඕනෑනම් රුපියල් ට්‍රිලියන 2ක් කර ගන්න පුළුවන් වෙයි. රජයේ වියදම් රුපියල් ට්‍රිලියන 3.5කට වඩා වැඩියි. ප්‍රාග්ධන වියදම් මුළුමනින්ම වගේ කපා හැරියත්, පොලී වියදම් ඉහළ යන නිසා ඔය වියදම ඔය මට්ටමේම වගේ තියෙයි. ඒ කියන්නේ තව රුපියල් ට්‍රිලියන 1.5ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා කියන එකයි. 

බැංකු අංශයෙන් ණය නොගෙන රුපියල් ට්‍රිලියන 1.5ක පමණ අයවැය හිඟයක් පියවන්න බැහැ. ඔය හිඟයෙන්  රුපියල් ට්‍රිලියනයක්වත් ගන්න වෙන්නේ බැංකු අංශයෙන්. ඒ කියන්නේ කොයි තරම් පාලනය කළත් මුදල් සැපයුම තව දුරටත් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක් බවයි. මුදල් සැපයුම තව දුරටත් ඉහළ යනවා කියා කියන්නේ ඩොලරය ඉහළ යද්දී හා ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී වුවත්, එම ආනයන සඳහා ඉල්ලුම විශාල ලෙස අඩු වෙන්නේ නැහැ කියන එකයි. එහෙම වුනොත්, උද්ධමනය හා ඩොලරයක මිල ස්ථාවර නොවී තව තවත් ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වෙළඳපොළ විසින් ඩොලර් ප්‍රශ්නය විසඳනවා වගේම රාජ්‍ය අයවැය ප්‍රශ්නයත් විසඳනවා. ඒක වෙන්නේ මෙහෙමයි. බදු වැඩි නොකළත්, මිල ඉහළ යද්දී බදු ආදායම් ඉහළ යනවා. ඊට සමාන්තරව ඇතැම් රාජ්‍ය වියදම් වැඩි වුනත් රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය ඉහළ යද්දී රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර සිටීමෙන් අයවැය හිඟය අඩු කර ගන්න පුළුවන්. සැලසුම්සහගතව බදු ආදායම් වැඩි කර නොගත්තොත්, ඔය වැඩේ සිදු වෙලා අයවැය හිඟය ස්වභාවිකවම පියවෙන තුරු මිල ගණන් ඉහළ යයි. ඒ කියන්නේ උද්ධමනය යම් කාලයක් ඉහළ මට්ටමක තියෙයි. හැබැයි පවතින අයවැය පරතරය අනුව ප්‍රායෝගිකව මේ වැඩේ වෙන්න කළින් රාජ්‍ය සේවකයින් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්න පටන් ගන්නවා. 

මේ සියල්ල කළමනාකරණය කර ගැනීම දේශපාලනික කරුණක්. එය තමන්ට කළ නොහැකි බව ආණ්ඩුව වගේම විපක්ෂයේ පක්ෂද අවබෝධ කරගෙන ඉන්නවා. නමුත් ඒ කවුරුවත් මේක කෙළින්ම කියන්නේ නැහැ. එහෙම කියන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. ඒක හරියට ලෙඩේට හොඳම ප්‍රතිකාරය බෙහෙතක් නොගෙන සුවවන තුරු හෝ මැරෙන තුරු බලා ඉන්න එක කියලා දොස්තර කෙනෙක් කියනවා වගේ වැඩක්. දොස්තරට පැවැත්මක් තියෙන්නේ තමන්ට ලෙඩේ හොඳ කළ හැකි බව පෙන්විය හැකි වන තුරු පමණයි. තමන් සතුව විසඳුමක් තියෙනවා කියලා කවුරු හරි කියනවානම් ඉදිරි දෙවසර තුළ රාජ්ය අයවැය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඇස්තමේන්තු සමඟ පැහැදිලි කරන්න කියලා කියන්න. 

Wednesday, May 4, 2022

ඩොලරය ආපහු පහළ යයිද?


අද වන විට ඩොලරයක මිල රුපියල් 370 දක්වා ඉහළ ගිහින්. උද්ධමනය 29.8%යි. ආහාර උද්ධමනය 46.6%ක්. රටේ තත්ත්වය පිළිබඳව තවමත් බොහෝ දෙනෙකුට තිබෙන්නේ විශාල අවිනිශ්චිතතාවයක්. අලුත් මහ බැංකු අධිපතිවරයාට අනුව තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙනවා. 

අලුත් මහ බැංකු අධිපතිවරයා සෑහෙන තරම් විවෘතව හා යථාර්ථවාදී ලෙස කතා කරන පුද්ගලයෙක්. එහෙත්, ඕනෑම රටක මහ බැංකු අධිපතිවරයෙකුට යථාර්ථවාදී විය හැකි සීමාවක් තිබෙනවා. ඕනෑම රටක මහ බැංකු අධිපතිවරයෙකුට යම් තරමකට හෝ යථාර්තයෙන් බැහැර වී ශුභවාදී ලෙස කතා කරන්න වෙනවා. මහ බැංකු අධිපතිවරයෙකු අශුභවාදී වීමේ මිල ගොඩක් වැඩියි. 

ආර්ථික විචල්‍යයන් ඒත් අතට වගේම මේත් අතටත් සම්බන්ධ වෙනවා. මහ බැංකුවට ඒත් අතට සම්බන්ධය හදාරා පුරෝකථන කළ හැකියි. ඒ පුරෝකථන නිවැරදි වුවත්, මහ බැංකුවේ පුරෝකථන වලට අනෙකුත් පාර්ශ්ව ප්‍රතිචාර දක්වන නිසා එම පුරෝකථන පිළිබඳව මහ බැංකුව විසින් දැනුම් දුන් වහාම මේත් අතට සම්බන්ධයක් හැදී අපේක්ෂිත ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ හේතුව නිසාම මහ බැංකුවකට හා එහි ඉහළ නිලධාරීන්ට, ඔවුන් ස්වාධීන පුද්ගලයින් වුවද, කට පරිස්සම් කරගන්න වෙනවා. විශේෂයෙන්ම අශුභවාදී පුරෝකථන සම්බන්ධව. මොකද මහ බැංකුව විසින් අශුභවාදී පුරෝකථනයක් කරනවා කියන්නේම එවැන්නක් සිදු වීමට ඉඩ සැලසීමක් විය හැකි නිසා.

මහ බැංකුවට තිබෙන මේ ප්‍රශ්නය මහ බැංකුවට පිටින් සිටින අප වැනි අයට නැහැ. ඒ නිසා, අපට මහ බැංකුවට වඩා යථාර්ථවාදී විය හැකියි. කෙසේ වුවත්, මහ බැංකුව සතු දත්ත සියල්ල අප සතු නැති නිසා අපට නොපෙනෙන පැති මහ බැංකුව දකිනවා විය හැකි බවද කිව යුතුයි.

ලංකාව වැටී සිටින අර්බුදයෙන් ගොඩ යා හැකි කෙටි මාර්ග නැහැ. ආර්ථිකය කඩා වැටෙන්න පෙර පැවති "සෞභාග්‍යය" කරා නැවත යාමට අවුරුදු දහයක් පමණවත් ගත විය හැකියි. එය කරන්න වෙන්නේ පියවරෙන් පියවර. මේ මොහොතේ තිබෙන ප්‍රමුඛ ප්‍රශ්න දෙක ඩොලරයේ ඉහළ මිල යාම පාලනය කර ගැනීම හා උද්ධමනය පාලනය කර ගැනීමයි. මේ දෙකම මහ බැංකුවේ රාජකාරි. මේ අරමුණු කරා මහ බැංකුව කොයි තරම් ලං වෙලාද?

දැනට මහ බැංකුව විසින් පළමු ප්‍රමුඛතාවය සේ සලකන්නේ විදේශ අංශයේ ප්‍රශ්නය විසඳා ගැනීමයි. එය නිවැරදි ප්‍රවේශයක්. ඒ වගේම ඒ වෙනුවෙන් කළ හැකි දේ මහ බැංකුව විසින් කරමින් සිටිනවා. අලුත් අධිපතිවරයාට මේ සම්බන්ධව තිබෙන අත්දැකීම් හා පුහුණුව ඔහු ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා. 

ඩොලරයේ මිල ඉහළ යාම පාලනය කරන එක කොයි තරම් අමාරුද? මම කලින් ලිපි වල සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි 2015-2019 කාලයේදී අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට පැමිණි ඩොලර් ප්‍රමාණය ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. ඩොලර් මදි වුනේ ණය වාරික හා පොලී ගෙවන්නයි. ඒ වෙනුවෙන් අලුතෙන් ණය ගත්තා. අළුතෙන් ණය ගන්න බැරි වූ විට මේ වැඩේ හිර වුනා.

මේ වන විට ණය වාරික හා පොලී ගෙවීම අත් හිටුවා තිබෙනවා. ඒ කියන්නේ, 2015-2019 සමතුලිතතාවට යන්න පුළුවන් විය යුතුයි. එය කළ නොහැකි වී තිබෙන්නේ හේතු දෙකක් නිසා. එකක් සංචාරක ඉපැයීම් අඩු වීම. අනෙක ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම. ඒ කියන්නේ මේ ප්‍රශ්න දෙක විසඳෙනවානම් වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියන එකයි.

සංචාරක ඉපැයීම් වැඩි කර ගන්න එක මහ බැංකුවට කළ හැකි දෙයක් නෙමෙයි. එය තීරණය වන්නේ බාහිර සාධක මත. මේ වන විට සංචාරක ව්‍යාපාරය හිස ඔසොවමින් තිබෙනවා. එහෙත් රටේ තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා සංචාරක ඉපැයීම් "සාමාන්‍ය" තත්ත්වයට පැමිණීමේ ඉඩක් නැහැ. යම් වර්ධනයක් සිදු වුනත්, 2015-2019 කාලයට සාපේක්ෂව 2022දී ලැබෙනු ඇත්තේ අවම වශයෙන් ඩොලර් බිලියනයක්වත් අඩුවෙනුයි. 

ශ්‍රමික ප්‍රේෂණ සම්බන්ධව තිබෙන්නේ තරමක් වෙනස් තත්ත්වයක්. මේ සල්ලි අඩුවෙන් වාර්තා වුනත් එයින් වැඩි කොටසක් ඇත්තටම රටට එනවා. වෙනස බැංකු පද්ධතිය හරහා නොපැමිණීමයි. මේ විදිහට අවිධිමත් මාර්ග හරහා ඩොලර් රටට එන්නේ ඩොලර් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සූදානම් අය රටේ ඉන්න නිසයි. මහ බැංකුව විසින් ඉතාම නිවැරදි ලෙස ඉල්ලුම පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ සඳහා ඉතා ඉක්මණින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග තුනක් ගැන අලුත් අධිපතිවරයා විස්තර කළා.

අධිපතිවරයා විසින් සඳහන් කළ පළමු ක්‍රමය බැංකු පද්ධතිය හරහා මුදල් නොගෙවා ආනයනය කරන භාණ්ඩ රේගුවෙන් නිදහස් නොකිරීමයි. මෙසේ "හොර පාරෙන්" මුදල් ගෙවා සිදු කරන ආනයන ප්‍රමාණය පිළිබඳව මට අදහසක් නැහැ. මහ බැංකුව සතුව සංඛ්‍යාලේඛණ තිබෙනවා විය හැකියි. 

මෙය පවතින තත්ත්වයන් යටතේ හොඳ ක්‍රියාමාර්ගයක්. ඒ හරහා යම් පමණකින් ආනයන පාලනය කර ගන්න ඉඩ ලැබෙයි. ඒ සමඟම අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුමද යම් පමණකින් අඩු වීමට නියමිතයි. එහි ප්‍රතිඵලය වන්නේ අවිධිමත් වෙළඳපොළේ ඩොලරයක මිල හා බැංකු වල මිල අතර පරතරය අඩු වී බැංකු ක්‍රමය හරහා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යාමයි. මේ වැඩෙන් සමස්තයක් ලෙස රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන්නේ නැති වුනත්, එන ඩොලර් ටික අත්‍යවශ්‍ය ආනයන සඳහා වෙන් කිරීමට ඉඩ සැලසෙනවා.

ඔහු විසින් සඳහන් කළ දෙවන ක්‍රියාමාර්ගය අධ්‍යාපන කටයුතු ආදිය සඳහා රටින් පිටට යැවිය යුතු මුදල් බැංකු පද්ධතියෙන් ලබා ගැනීමට ඉඩ සැලසීමයි. රටින් පිට දරුවන් සිටින දෙමවුපියන් ඔවුන්ගේ නඩත්තුව සඳහා කෙසේ හෝ මුදල් යැවිය යුතුයි. මේ සඳහා බැංකු පද්ධතියෙන් මුදල් ලබා ගත නොහැකි වූ විට ඉතිරි වන්නේ කීයට හෝ ඩොලර් මිල දී ගෙන  "හොර පාරෙන්" සල්ලි යැවීමේ විකල්පයයි. නියම ක්‍රමයට ඩොලර් ලැබෙනවානම් හොර පාරෙන් යවන්න අවශ්‍ය වන්නේ නැහැ. 

මේ දෙවන ක්‍රියාමාර්ගය නිසාද අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම අඩු වී එම වෙළඳපොළ හා බැංකු අතර මිල පරතරය අඩු වීමට නියමිතයි. එහිදී බැංකු ක්‍රමය හරහා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන නමුත් ඒ ඩොලර් බැංකු වල නොරැඳෙන නිසා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන්නේ හෝ වෙනත් වැඩකට යොදා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත්, උන්ඩියල් ප්‍රේෂණ අඩු කර ගැනීමට හා එමගින් ඩොලරයේ මිල පාලනය කර ගැනීමට එයින් උදවුවක් ලැබෙනවා. 

අධිපතිවරයා විසින් සඳහන් කළ තෙවන ක්‍රියාමාර්ගය අපනයනකරුවන්ගේ ආදායම් බලහත්කාරයෙන් රුපියල් වලට හැරවීම නැවැත්වීමයි. මෙය ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම්ව ගන්නට යන තරමක් එඩිතර ක්‍රියාමාර්ගයක් කියා කියන්න පුළුවන්. පළමුව, මේ බලහත්කාර මුදල් පරිවර්තනයට හේතු වුනේ අපනයන ආදායම් රටට නොගෙන්වා පිටත තියා ගැනීමට ඇතිව තිබුණු පෙළඹුමයි. අපනයනකරුවන් එසේ කරන්නට පෙළඹුණේ ඩොලරයේ මිල නොවටිනා සීමාවක රඳවා ගෙන සිටි නිසයි. මේ වන විට ඩොලරයේ මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, අපනයනකරුවන් විසින් තමන්ගේ ඩොලර් රටින් පිට තබා ගැනීමක් තවදුරටත් ලොකුවට සිදු නොවනු ඇතැයි මහ බැංකුව සිතන බව පේනවා.

මීටත් වඩා වැදගත් කාරණය මේ ආකාරයෙන් භාණ්ඩ අපනයනය කර උපයන ඩොලර් බලහත්කාරයෙන් රුපියල් කර ගත හැකි වුවත්, සේවා අපනයනය කර උපයන ඩොලර් එසේ ගෙන්වා ගත නොහැකි වීමයි. තමන්ගේ ඩොලර් බලහත්කාරයෙන් රුපියල් කෙරෙන තත්ත්වයක් යටතේ බොහෝ සේවා අපනයනකරුවන් තමන්ගේ ඩොලර් රටට ගෙන නොඒමට පෙළඹී සිටිනවා. ඒ නිසා, අවසාන වශයෙන් මේ තීරණයේ ප්‍රතිඵලය ලෙස සිදුව තිබෙන්නේ රටට එන ඩොලර් ප්‍රමාණය තවත් පහළ යන එකයි. 

මේ ක්‍රියාමාර්ග තුනෙන්ම කවර හෝ සාධනීය ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකි වෙයි. ඒ හරහා උන්ඩියල් වෙළඳපොළේ මිල පාලනය වීමට මෙන්ම පහළ වැටෙන්නට වුවද පුළුවන්. මෙහිදී උපක්‍රමය වන්නේ රට ඇතුළේ ඩොලර් වලට තිබෙන අවිධිමත් ඉල්ලුම අඩු කිරීමයි. ඉල්ලුම නැති වන විට නිසගයෙන්ම සැපයුමද අඩු වෙනවා. මෙය මෙතෙක් මහ බැංකුව විසින් අනුගමනය කළ සැපයුම පාලනය කිරීමේ උපක්‍රම වලට වඩා සාර්ථක වෙයි කියා මම හිතනවා.

කෙසේ වුවත්, මේ වැඩේ නිසා සමස්තයක් ලෙස ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර තිබෙන පරතරය විශාල ලෙස අඩු වන්නේ නැහැ. ඒ සඳහා කළ හැකි එකම දෙය අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනය කිරීමයි. දෙවන හා තුන්වන උපක්‍රම එයට උදවුවක් නොවුනත්, පළමුවැන්න හරහා එම ඉලක්කය යම් තරමකින් සාක්ෂාත් කරගත හැකියි.

පසුගිය ජනවාරි මාසයේදී ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1,959ක් වැය වී තිබුණා. අපනයන ආදායම ඩොලර් මිලියන 1,101යි. ඒ කියන්නේ වෙළඳ ශේෂයේ  ඩොලර් මිලියන 859ක හිඟයක්. ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 259කුත්, සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 148කුත් ලැබී තිබුණා. ඒ කියන්නේ තව ඩොලර් මිලියන 452ක හිඟයක්. 

මාර්තු මාසය වන විට ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 319.4 දක්වාත්, සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 191.5 දක්වාත් ඉහළ ගොස් තිබුණා. මේ තත්ත්වය තවත් ටිකක් හොඳ අතට වෙනස් වෙයි කියා හිතුවත්, අවසාන වශයෙන් මාසයකට ඩොලර් 300ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා. කලින් විස්තර කළ යෝජිත ක්‍රියාමාර්ග වලින් මේ හිඟය කොපමණ දුරකට අඩු කර ගත හැකි වෙයිද?

මගේ අදහසනම් අත්‍යාවශ්‍ය නොවන ආනයන වෙනුවෙන් "හොර පාරෙන්" යවන සල්ලි ප්‍රමාණය වැඩිම වුනොත් ඩොලර් මිලියන 100ක් පමණ වෙයි කියන එකයි. ඒ කියන්නේ, ඔය යෝජිත ක්‍රියාමාර්ග ගත්තත් මාසයකට තවත් ඩොලර් මිලියන 200ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලබා ගන්න අවම වශයෙන් තවත් මාස තුනක් පමණ යා හැකි බවකුයි පේන්න තියෙන්නේ. ඔය කාලය ඇදගන්න වෙන්නේ අතමාරු වලින්. හැබැයි ඒ අතර කලින් අතමාරුවට ගත්ත සල්ලිත් ගෙවන්න වෙනවා. මේ තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබෙන තුරු ඩොලරයක මිල ස්ථාවර වෙයි කියලා හෝ පහළ යයි කියලා කොහොමටවත් හිතන්න අමාරුයි. හැබැයි මිල ඉහළ යන වේගය ටිකෙන් ටික අඩු වෙමින් තිබෙනවා. එයත් ස්ථාවර වීමක් තමයි. 

ඉහත තුන්වන යෝජනාව අනුව අපනයනකරුවන් විසින් රටට ගෙන ආ හැකිව තිබෙන ඩොලර් බලෙන් රුපියල් නොකෙරෙන නමුත් ඒ ඩොලර් බැංකු වල ඉතිරි වන නිසා එයින් බැංකු වලට ඔවුන්ගේ ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳාගන්න වඩා පහසු වෙනවා. එයත් ඩොලරයක මිල ස්ථාවර කර ගැනීමට උදවුවක්. 

සමහර විට මහ බැංකු අධිපතිවරයා විසින් ඩොලරයක මිල පහළ යා හැකියි කියන එකෙන් අදහස් කළේ උන්ඩියල් වෙළඳපොළේ මිල ගැන වෙන්න පුළුවන්. ඒකනම් වෙන්න පුළුවන් දෙයක්. ඊට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණු විට බැංකු ක්‍රමය ඇතුළේ වුනත් ඩොලරයක මිල පහළ යාමට යම් තෙරපුමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. සුඛෝපභෝගී භාණ්ඩ සේ සලකා ඇතැම් ආනයන වලට ඉඩ නොදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙයි කියලා හිතන්න අමාරුයි. සමහර විට වාහන ආනයනයට පවා නැවත ඉඩ දෙන්න සිදු විය හැකියි. මේවා දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදුවන ආකාරය අනුව තීරණය වන දේවල් නිසා නිශ්චිත අනාවැකි කියන්න බැහැ.

ඩොලර් නිකුත් නොකර හෝ සෘජු වාරණ හරහා ආනයන පාලනය කිරීම නොකරනවානම් ආනයන වියදම අඩු කරගත හැකි ක්‍රමය අවශ්‍ය පමණ මිල ඉහළ යන්න ඉඩ සැලසීමයි. මාර්තු මුල් සතියෙන් පසුව දැනටමත් ඩොලරයක මිල 80%කින් පමණ ඉහළ ගොස් තිබෙන පසුබිමක, එම හේතුව නිසාම සැලකිය යුතු ලෙස ආනයන ඉල්ලුම පහළ නොයන්න හේතුවක් නැහැ. මිල වැඩි වීම නිසාම ගෑස්, පැට්‍රෝල් පෝලිම් නැති වෙන්න පුළුවන්. ඒ වගේම, වාහන ආනයනයට නැවත ඉඩ දුන්නට කලින් තරමටම වාහන ආනයන ඉල්ලුමක් ඇති නොවෙන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු වාහන ආයෝජනයක් ලෙසද සලකන නිසා මේක ටිකක් සංකීර්ණ තත්ත්වයක්. මොකක් වෙයිද කියලා හරියටම කියන්න අමාරුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණු විට ඩොලරයක මිල පොඩ්ඩක් පහළ යන්න යම් ඉඩක් තිබෙනවා. එහෙත්, බොහෝ විට එසේ නොවෙන්න පුළුවන්. යම් විදිහකින් මිල පහළ යනවානම් මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන එය වැළැක්විය යුතුයි. ඩොලරය ඉහළ යද්දී ඉහළ යන බඩු මිල ඩොලරය පොඩ්ඩක් පහළ ගියා කියලා අඩු වෙන්නේ නැහැ. 

කොහොමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි ලැබෙන එක ස්ථිර වෙද්දී ඩොලරය ස්ථාවර වෙන බව කාට වුවත් පැහැදිලි වන නිසා ඔය නිවේදනයත් එක්කම එක පාරටම රටින් පිට රඳවාගෙන තිබෙන ඩොලර් රටට එන්න සහ එයින් කොටසක් රුපියල් වෙන්න පුළුවන්. එයින්ද යම් අධිප්‍රමාණ පීඩනයක් එන්න පුළුවන්. ඒ වෙලාවට කළ යුත්තේ පුළුවන් තරමකින් සංචිත ගොඩ නගා ගන්න එකයි. අතමාරු ණය හැමදාම රෝල් කරන්නත් බැහැනේ. ඒවා පියවන්නත් ඩොලර් අවශ්‍ය නිසා කොහොමටත් ඔය වැඩේ කරන්නම වෙනවා.

උද්ධමනය ගැන වෙනම ලිපියකින් කතා කරමු.

Monday, May 2, 2022

වියදම් කැපිය හැක්කේ මොන විදිහටද?

ලංකාවේ රජයේ වියදම් ආදායම් වලට වඩා බොහෝ වැඩි බවත්, වත්මන් අර්බුදයට මූල හේතුව එය බවත් අප ලියන දේ කියවන අය නොදන්නා දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රශ්නය විසඳන්නනම් ආදායම් හා වියදම් ගලපන්න වෙනවා කියන එකයි. මේ සඳහා එක්කෝ බදු වැඩි කළ යුතුයි. නැත්නම් වියදම් කැපිය යුතුයි. දැන් තිබෙන තත්ත්වය අනුව ඔය දෙකම කරන්න වෙනවා. කළ යුත්තේ කොහොමද කියන එක දේශපාලනික කරුණක්.

කොහොම කළත්, මුලින්ම කළ යුත්තේ දැන් පවතින තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීමයි. පසුගිය 2021 වසරේදී ලංකාවේ රාජ්‍ය ආදායම වැය කළේ කොහොමද?

පරිපාලන වියදම් - 13.0%

ආරක්ෂක වියදම් -17.7%

නීතිය හා සාමය - 7.8%

අධ්‍යාපනය - 21.3%

සෞඛ්‍යය - 26.6%

අනෙකුත් සුබසාධන වියදම් - 28.5%

ප්‍රජා සේවා - 3.5%

කෘෂිකර්මය හා වාරිමාර්ග - 10.1%

බලශක්ති හා ජල සැපයුම් - 6.7%

ප්‍රවාහන හා සන්නිවේදන - 21.3%

අනෙකුත් ආර්ථික සේවාවන් - 10.0%

පොලී වියදම් (දේශීය ණය) - 54.6%

පොලී වියදම් (විදේශීය ණය) - 17.4%

වෙනත් - 4.2%

එකතුව - 242.8%


ප්‍රශ්නය "පහසු කරගන්න" තවත් විස්තර ටිකක් එකතු කරන්නම්.


2020 අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 5.03%

2020 අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 6,999.6


2021 අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 8.24%

2021 අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 9,379.5


2022 අප්‍රේල් අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 24.09%

2022 අප්‍රේල් අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 10,730.8


මේ අනුව මේ වසරේදී විදේශීය ණය වල පොලිය සතයක්වත් නොගෙවුවත්, දේශීය ණය ප්‍රමාණය හා පොලී අනුපාතික ඉහළ යාම හේතුවෙන් සමස්ත පොලී වියදම පමණක් සමස්ත රාජ්‍ය අදායම ඉක්මවා යා හැකියි.

අයවැය සමතුලිත කළ යුතු ආකාරය යෝජනා කිරීම ඔබට බාරයි!




Sunday, May 1, 2022

අයවැය බොරුව


සංදර්ශනාත්මක ලෙස වසරකට වරක් ලංකාවේ පාර්ලිමේන්තුවේ අයවැයක් සම්මත කර ගන්නවා. හැබැයි ඒ විදිහට සම්මත කරගන්නා අයවැය කියා කියන්නේ නිකම්ම නිකම් ලේඛණයක් පමණයි. ඔය සම්මත අයවැයේ විදිහට කවදාවත් වැඩ සිදු වෙන්නේ නැහැ. 

ඉදිරි වසරේ ආදායම් හා වියදම් හරියටම සතේටම ඇස්තමේන්තු කරන්න කාටවත් බැහැ. එවැන්නක් අපේක්ෂා කළ යුතුත් නැහැ. නමුත්, අයවැය ඇස්තමේන්තු හා ඇත්ත සංඛ්‍යා වෙනස් වන්නේ පහසුවෙන් හඳුනාගත හැකි පැහැදිලි රටාවකටනම්, මෙහි  තිබෙන්නේ සැලසුම්සහගත බොරුවක් මිසක් ඇස්තමේන්තු කිරීම අසීරු වීමේ ප්‍රශ්නයක් නොවන බව ඉතාම පැහැදිලියි.

පහත කොටස් උපුටා ගත්තේ ආර්ථිකය කඩා වැටෙන්න පෙර ලියා පළ කළ ලිපියකින්.

"ආදායම් වැඩියෙනුත්, වර්තන වියදම් අඩුවෙනුත් ඇස්තමේන්තු කිරීම ලංකාවේ රජය (මුදල් අමාත්‍යංශයේ අදාළ නිලධාරීන්) විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. කවදාවත්ම මේ ඇස්තමේන්තු හරියට හදාගන්න බැරිනම් "අපට මේවා කළ හැකි දක්ෂ නිලධාරීන් ඉන්නවා" කියන කතාව හිස් වචන ටිකක් පමණක් වෙනවා. සමහර විට නිලධාරීන් දක්ෂ ඇති. ඒ දක්ෂතාවය යෙදෙවෙන්නේ මොන විදිහටද? 

රජයේ ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ දැවැන්ත වියදම වසා ගැනීමට යොදා ගන්නා ආවරණයක් පමණයි. අයවැයෙන් ලොකුවට පෙන්වා සම්මත කර ගන්නා ප්‍රාග්ධන ආයෝජන ඇත්තමට ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒ සල්ලි වලින් සැලකිය යුතු කොටසක්ද අවසාන වශයෙන් යොදා ගැනෙන්නේ රජය නඩත්තු කිරීම වෙනුවෙනුයි. ඉතිං කොහොමද වත්කම් හැදෙන්නේ?"

මේ වන විට පසුගිය 2021 වසරේ රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ ඇස්තමේන්තු ඉදිරිපත්ව තිබෙන නිසා, එම සැබෑ සංඛ්‍යාලේඛණ වසර මුල සම්මත කරගත් අයවැය ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි.

ආදායම් හා ප්‍රදාන:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 2,029යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 1,464යි.

මේ අනුව, ආදායම් හා ප්‍රදාන 27.9%කින් පහළ ගොස් තිබෙනවා.

බදු ආදායම්:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,724යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 1,298යි.

මේ අනුව, බදු ආදායම් 24.7%කින් පහළ ගොස් තිබෙනවා.

බදු නොවන ආදායම්:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 227යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 159යි.

මේ අනුව, බදු නොවන ආදායම් 29.9%කින් පහළ ගොස් තිබෙනවා.

ප්‍රදාන:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 10යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 6.7යි.

මේ අනුව, ප්‍රදාන 33%කින් පහළ ගොස් තිබෙනවා.

මෙය කිසිසේත්ම අහම්බයක් නෙමෙයි. ආදායම් ඇස්තමේන්තු වැඩියෙන් පෙන්වීම සෑම වසරකදීම සැලසුම්සහගත ලෙස කරන දෙයක්. 2020 වැනි වසරක් හා අදාළව වසංගතය ගැන කලින් දැන නොසිටි බව වැනි "සමාවට කරුණක්" ඉදිරිපත් කළ හැකි වුවත්, 2021 වසර සඳහා අයවැය ඇස්තමේන්තු හදන විට වසංගතයේ බලපෑම හොඳින්ම දන්නා දෙයක්. ආදායම් වැඩියෙන් පෙන්වන්නේ වැඩියෙන් වියදම් කිරීමේ උපක්‍රමයක් ලෙසයි.

සමස්ත වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 3,594යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 3,522යි.

මේ අනුව, සමස්ත වියදම 2.0%කින් පහළ ගොස් තිබෙනවා.

ආදායම් අඩුවීම හා කිසිසේත්ම නොගැලපෙන නමුත් වියදම්ද මෙලෙස සුළු වශයෙන් අඩු වී තිබුණත්, එසේ අඩු වී තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් කපා හැරීම නිසයි. පුනරාවර්තන වියදම් වැඩියෙන් කිරීමට අවකාශ සලසා ගනිමින් ප්‍රාග්ධන වියදම් වැඩියෙන් ඇස්තමේන්තු කර පසුව කපා හැරීමද සෑම වසරකම මෙන් සැලසුම්සහගත ලෙස කරන දෙයක්. 

ප්‍රාග්ධන වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,070යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 768යි.

මේ අනුව, ප්‍රාග්ධන වියදම 28.3%කින් පහළ ගොස් තිබෙනවා.

පුනරාවර්තන වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 2,534යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 2,748යි.

මේ අනුව, පුනරාවර්තන වියදම 8.4%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ ආකාරයෙන්, ඇස්තමේන්තුව තරමට ආදායම් නොලැබීමේ හා ඇස්තමේන්තුව ඉක්මවා වියදම් කිරීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තුව ඉක්මවා ණය ගන්න සිදු වීමයි.

ණය අවශ්‍යතාවය:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,565යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 2,058යි.

මේ අනුව, ණය අවශ්‍යතාවය 31.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

දැන් පවතින අසීරු තත්ත්වය යටතේ රාජ්‍යමූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා සැලසුම් කිරීමේදී කළ යුතු පළමු දෙය බොරු ඇස්තමේන්තු ඉදිරිපත් නොකළ පවතින යථාර්තය පිළිබිඹු කෙරෙන නිවැරදි ආදායම් ඇස්තමේන්තු මත පදනම්ව වියදම් ගලපා ගැනීමයි.

Monday, April 25, 2022

ශ්‍රමික ප්‍රේෂණ 55%කින් ඉහළ යයි!


මාර්තු මාසය තුළ ලංකාවට ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙබරවාරි මාසයට සාපේක්ෂව 55%කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර මුල සිටම ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් පහළ ගියා. ඩොලරයේ මිල ඉහළ යාමට සැලැස්වීමෙන් පසුව මෙම ප්‍රවණතාවයෙහි පැහැදිලි හැරවුමක් පෙනෙන්නට තිබෙනවා. 

පෙබරවාරි මාසයේදී ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 204.9ක් පමණයි. මාර්තු මාසයේදී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 318.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත්, පසුගිය (2021) මාර්තු මාසයේදී ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මේ ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්නයි.

Sunday, April 24, 2022

ආර්ථිකය 3.7%කින් වර්ධනය වෙයි!


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව පසුගිය 2021 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.7%කින් වර්ධනය වී තිබෙනවා. පෙර වසරේදී ලංකාවේ ආර්ථිකය 3.6%කින් හැකිලුණා. මේ අනුව, ලංකාවේ ආර්ථිකය නැවතත් 2019දී පැවති මට්ටම ආසන්නයට ප්‍රසාරණය වී තිබෙනවා.

කෙසේ වුවද, ආර්ථිකයේ කෘෂිකාර්මික හා කාර්මික අංශ තවමත් තිබෙන්නේ 2019දී පැවති මට්ටම් වලට වඩා පහළින්. පසුගිය දෙවසරක කාලය තුළ සමස්තයක් ලෙස කෘෂිකාර්මික අංශය 0.2%කින්ද, කාර්මික අංශය 2.0කින්ද හැකිලී තිබෙන අතර සේවා අංශය පමණක් 2019ට වඩා 1.3%ක ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. 

දෙවසරක සමස්ත ආර්ථික වර්ධනය ශුන්‍ය වුවත් මිල මට්ටම් ඉහළ යාම නිසා 2021 ඒක පුද්ගල ආදායම රුපියල් 758,680 දක්වා ඉහළ ගොස් ඇති අතර පැවති විණිමය අනුපාතය අනුව එය ඩොලර් 3,815ක්. මෙය 2014දී පැවති මට්ටමටත් වඩා මඳක් අඩු මට්ටමක්.

ඇස්තමේන්තු අනුව ආර්ථිකයේ ප්‍රමාණය රුපියල් බිලියන 16,809ක් හෙවත් ඩොලර් බිලියන 84.5ක් වෙනවා.

නිදහසින් පසු, දෙවසරක කාලයක් තුළ සමස්තයක් ලෙස ආර්ථිකය වර්ධනය වී නැති පළමු අවස්ථාව පසු ගිය දෙවසරයි. තෙවසරක සාමාන්‍ය වර්ධනය වන 0.8% මට්ටම සැලකුවද, පස් වසරක සාමාන්‍ය වර්ධනය වන 1.9% මට්ටම සැලකුවද, දැකිය හැක්කේ ඉතිහාසයේ වාර්තාගත පහළම මට්ටමයි. වසර තුළ මිල මට්ටමේ සමස්ත ඉහළ යාම  7.9% ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

වසංගතය හේතුවෙන් 2020 වසර තුළ ලෝකයේ බොහෝ ආර්ථිකයන් සංකෝචනය වුවත්, 2021දී ඒ බොහෝ රටවල් අළු ගසා දමා වේගයෙන් නැගිටිනු දැකිය හැකි වුනා. ඒ අතරින් එක්සත් රාජධානිය, කැනඩාව වැනි ඇතැම් රටවල් තවමත් 2019 සිටි මට්ටමට පැමිණ නැහැ. එහෙත්, 2020දී 3.4%කින් හැකිළුණු ඇමරිකන් ආර්ථිකය 2021දී 5.7%කින් වර්ධනය වූ අතර, 2020දී 1.1%කින් හැකිළුණු ඕස්ට්‍රේලියන් ආර්ථිකය 2021දී 4.2%කින් වර්ධනය වුනා.

Thursday, April 21, 2022

භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාන්නේ කොහොමද?


පසුගිය ලිපියෙන් පසුව ගොඩක් අය භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ හා අදාළ තවත් ප්‍රශ්න ගණනාවකුත් ඇහුවා. ලංකාවේ බොහෝ දෙනෙක් භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි බව දන්නේ නැහැ. දැනගත්තත් එය කරන හැටි දන්නේ නැහැ. එහි වාසිය සුළු පිරිසක් විසින් ගන්නවා.

භාණ්ඩාගාර බිල්පත් කියා කියන්නේ මොනවාද?

සරලව කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් කියන්නෙත් ස්ථිර තැන්පතුවක් වගේ දෙයක්. වෙනස්කම් තිබෙනවා. ස්ථිර තැන්පතුවක් දමද්දී ඔබ කරන්නේ බැංකුවකට ණය දෙන එක. භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරද්දී කරන්නේ රජයට ණය දෙන එක. 

භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන එක අවදානම්ද?

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට මුදල් ආයෝජනය කිරීම සඳහා තිබෙන විකල්ප අතරින් අවදානම අඩුම සේ සැලකෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එකයි. ස්ථිර තැන්පතු ආදියේ සල්ලි දමන එක ඊට වඩා අවදානම්. බැංකුවක් පහසුවෙන්ම බංකොලොත් විය හැකි නමුත් රජයක් ඒ තරම් පහසුවෙන් බංකොලොත් වෙන්නේ නැහැ. 

එහෙමනම් දැන් වෙලා තියෙන්නේ මොකක්ද?

දැන් වෙලා තියෙන්නේ රජය බංකොලොත් වීමක් නෙමෙයි. එය එක විදිහකින් රට බංකොලොත් වීමක් කියා කියන්න පුළුවන්. ඩොලර් නැති නිසා රජය විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරලා තිබෙනවා. නමුත්, රජයේ රුපියල් ණය හා අදාළව මෙවැනි අවදානමක් ඇති වෙන්න තිබෙන ඉඩ ඉතාම අඩුයි. රජයකට බදු වැඩි කිරීම, සල්ලි අච්චු ගැසීම වැනි බැංකුවකට හෝ වෙනත් අයෙකුට නැති විකල්ප හරහා සල්ලි හොයා ගෙන ණය ගෙවන්න පුළුවන්. දැන් වුනත් ලංකාවේ රජයට ඩොලර් ණයට දී තිබෙන අයෙකුට රුපියල් වලින් එම ණය හා පොලිය ආපසු ගන්න පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් ගන්නේ කොහොමද?

මුලින්ම රජය විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ හෝ වෙන්දේසියට පිටින් විකුණන කොට ඒවා කෙළින්ම මිල දී ගන්න පුළුවන් වාණිජ බැංකු, ප්‍රාථමික ගැනුම්කරුවන්, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන කිහිපයකට පමණයි. වෙනත් අයෙකුට මිල දී ගන්න අවශ්‍යනම් වාණිජ බැංකුවක් හෝ ප්‍රාථමික ගැනුම්කරුවකු මාර්ගයෙන් මිල දී ගත යුතුයි. මේ විදිහට "ප්‍රාථමික වෙළඳපොළෙන්"  භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ සැලකිය යුතු මුදලක් ආයෝජනය කළ හැකි අයයි. අනෙක් බොහෝ දෙනෙකු කරන්නේ වාණිජ බැංකුවක් හෝ ප්‍රාථමික ගැනුම්කරුවකු විසින් වෙන්දේසියෙන් මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් ඔවුන්ගෙන් මිල දී ගන්න එකයි. ඒ කියන්නේ "ද්වීතියික වෙළඳපොළෙන්" මිල දී ගන්න එක.

එතකොට මහ බැංකුවේ තිබෙන සම්බන්ධය කුමක්ද?

මේක ටිකක් පැටලිලි සහගත දෙයක්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජයට දෙන ණය මිසක් මහ බැංකුවට දෙන ණය නෙමෙයි. එහෙත්, රජය වෙනුවෙන් වෙන්දේසිකරු ලෙස කටයුතු කරන්නේ මහ බැංකුව. ණයකරුවන්ගේ ගිණුම් නඩත්තු කරන්නෙත් මහ බැංකුව. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයක්. ඇත්තටම මේ වැඩේ මහ බැංකුවක් විසින් කළ යුතු වැඩක් නෙමෙයි. වෙන රටවල මේ වැඩේ කරන්නේ භාණ්ඩාගාරය.

වෙන්දේසිකරු ලෙස කටයුතු කරන අතරම මහ බැංකුවත් මේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා. ඒ කියන්නේ රජයට ණය දෙනවා. මහ බැංකුව සල්ලි අච්චු ගහනවා කියා කියන්නෙත් මේ වැඩේට. (කොහොම වුනත් සල්ලි අච්චු ගැහීම මීට වඩා සංකීර්ණ දෙයක්. කලින් ලිපි බලන්න.)

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න කොපමණ මුදලක් අවශ්‍යද?

අවම වශයෙන් රුපියල් 50,000ක් ආයෝජනය කර ද්වීතියික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකියි. (අවම වශයෙන් රුපියල් 10,000ක් ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා)

භාණ්ඩාගාර බිල්පත් වල කොපමණ කාලයකට ආයෝජනය කළ යුතුද?

මාස තුනකට, හයකට හෝ වසරකට ආයෝජනය කළ හැකියි. (අවම වශයෙන් මාසයකට ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා)

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක අමාරු, සංකීර්ණ වැඩක්ද?

කොහෙත්ම නැහැ. ස්ථිර තැන්පතු දමනවා වගේ තමයි. ලඟම තිබෙන බැංකු ශාඛාවෙන් වැඩේ කරගන්න පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක ස්ථිර තැන්පතු දමන එකට වඩා පාඩුද?

කලින් කිවුවා වගේ භාණ්ඩාගාර බිල්පත් වල අවදානම ස්ථිර තැන්පතු දමන එකේ අවදානමට වඩා අඩුයි. හරිනම් ස්ථිර තැන්පතු දමනවැඩි එකට වැඩි ප්‍රතිලාභයක් ලැබිය යුතු වුවත්, ලංකාවේ තිබෙන විකෘති තත්ත්වය නිසා අවදානම අඩු භාණ්ඩාගාර බිල්පත් වලට වැඩි ප්‍රතිලාභයකුත් ලැබෙනවා. පහත තියෙන්නේ අද (අප්‍රේල් 22) සිට බලපාන සම්පත් බැංකුවේ පොලී අනුපාතික. මේ අනුපාතික රුපියල් 50,000 ආයෝජනයකට. ආයෝජනය වැඩි වෙද්දී මේ අනුපාතික තවත් ටිකක් වැඩි වෙනවා.

මාස 3 - 20.80%

මාස 6 - 20.80%

වසර 1- 21.05%

ඉහත පොලී අනුපාතික සම්පත් බැංකුවේම ස්ථිර තැන්පතු පොලී අනුපාතික සමඟ සසඳා බලන්න.

මාස 3 - 6.25%

මාස 6 - 7.00%

වසර 1- 7.50%

අවම වශයෙන් රුපියල් 10,000ක් ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා කිවුවා නේද? ඒ මොකක්ද?

භාණ්ඩාගාර බිල්පතක් මිල දී නොගෙන බැංකුවට අයිති බිල්පතක කොටසක් යම් කාලයකට "කුලියට ගන්නවා" වගේ වැඩක් කරන්නත් පුළුවන්. මේ ක්‍රමයට මාසයකට මුදල් ආයෝජනය කරන්න වුනත් පුළුවන්. එහිදී බැංකුවට අයිති බිල්පතකින් කොටසක් යම් කාලයකට ඔබට අයිති වෙනවා. ඒ කාලයට අදාළ පොලිය ලැබෙනවා. 

සල්ලි දැම්මට පස්සේ කල් පිරෙන්න කලින් සල්ලි ආපසු ගන්න බැරිද?

පුළුවන්. එහිදී බිල්පත ඒ වන විට එහි වෙළඳපොළ වටිනාකමට විකුණන්න වෙනවා. එය තීරණය වන්නේ ඒ වන විට තිබෙන පොලී අනුපාතය අනුව. බිල්පත ගත්තට පස්සේ පොලී ඉහළ ගිහින්නම් සාමාන්‍යයෙන් පාඩුවක් හෝ ලාබය අඩු වීමක් වෙනවා. පොලිය අඩු වෙලානම් මුලින් බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ලාබයක් ලැබෙනවා.

සල්ලි දැම්මට පස්සේ බැංකුව බන්කොලොත් වුනොත් මොකද වෙන්නේ?

කිසි ප්‍රශ්නයක් නැහැ. භාණ්ඩාගාර බිල්පතක් බැංකුවකින් ගත්තත් ඔබේ නමින් එම බැංකුවේ වගේම මහ බැංකුවේත් ගිණුමක් ආරම්භ වෙනවා. ඔබේ බැංකුවෙන් වගේම මහ බැංකුවෙනුත් ඔබට ගිණුම් ප්‍රකාශ ලැබෙනවා. වක්‍ර ලෙස ඔබේ ගිණුම තිබෙන්නේ මහ බැංකුවේ කියන්නත් පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් ඔය තරම් වාසිදායකනම් හැමෝම භාණ්ඩාගාර බිල්පත් නොගෙන ස්ථිර තැන්පතු දමන්නේ ඇයි?

මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. කෙටි පිළිතුර ලංකාවේ බොහෝ දෙනෙකුට මූල්‍ය සාක්ෂරතාවය නැති වීම. ඇතැම් අය හිතාමතා කියන බොරු වලට වෙනත් ක්ෂේත්‍ර වල විශේෂඥයින් පවා පහසුවෙන් අහුවෙන්නේ ඒකනේ. මිනිස්සු 7% පොලියට බැංකුවේ සල්ලි දානවනම් ඒ සල්ලි අනෙක් පැත්තට 24% පොලියට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා විශාල ලාබයක් ගන්න පුළුවන්කම තියෙද්දී, පොඩි කොමිස් මුදලකට මිනිස්සුන්ට විකුණන්න මහන්සි වෙන්නේ මොකටද? ඒ නිසා, කිසිම බැංකුවක් සක්‍රිය ලෙස භාණ්ඩාගාර බිල්පත් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. කවුරු හරි ගිහින් ඇහුවොත් විතරක් භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාලා දෙනවා. නැත්නම් ස්ථිර තැන්පතුවකට ඒ සල්ලි අරගෙන බැංකුවේ නමට භාණ්ඩාගාර බිල්පත් ගන්නවා. 

Wednesday, April 20, 2022

ගෝටාගෝගම ආර්ථිකය


අධිපති මාරුවෙන් පසුව ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතයේ පාලනය අතට ගනිමින් ඉන්නවා. මතුපිටින් බලන, විණිමය වෙළඳපොළ ගැන හා සාර්ව ආර්ථිකය ගැන පුළුල් අවබෝධයක් නැති කෙනෙකුට සිදුවන වෙනස්කම් ග්‍රහණය කර ගන්න අමාරුයි. එයත් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන තුරුම ගොඩක් අයට එය නොපෙනුනා වගේම දෙයක්. 

අද වන විට සයමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24.77% දක්වාත්, තෙමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 23.21% දක්වාත් ඉහළ යන්නට සලස්වා තිබෙනවා. කැමති අයෙකුට බැංකු වල තිබෙන තමන්ගේ රුපියල්  භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර මේ ඉහළ පොලිය ලබා ගත හැකියි. පොලී අනුපාතික මෙවැනි ඉහළ මට්ටමකට යන්නට ඉඩ සලසමින් හා එහි පීඩාව විඳ ගනිමින් භාණ්ඩාගාර ලේකම් වරයා විසින් මහ බැංකුවට ලබා දී තිබෙන සහයෝගය අගය කළ යුතුයි. මහ බැංකුවේ ඊළඟ මුදල් ප්‍රතිපත්ති තීරණය තුළද පොලී අනුපාතික තව දුරටත් සැලකිය යුතු ලෙස වැඩි කිරීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. මේ අර්බුදයෙන් ගොඩ යාම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික 30% පමණ දක්වාවත් ඉහළ දමන්නට සිදු විය හැකියි.

විණිමය වෙළඳපොළ අසමතුලිතාවන් හා සාර්ව-ආර්ථික අසමතුලිතාවන් මුලින්ම හඳුනාගන්නේ බැංකු පද්ධතියයි. මේ වන විට ආර්ථිකයේ ස්ථාවරත්වය පිලිබඳව බැංකු පද්ධතිය තුළ වූ සැක සංකා දුරු කිරීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. බැංකු අතර සිදුවන තැන් ගනුදෙනු මේ වෙද්දී සුමට හා ස්ථාවර ලෙස සිදු වෙනවා. මේ ස්ථාවරත්වය බැංකු පද්ධතියෙන් ඔබ්බට ගෙන යාම සීරුමාරුවට කළ යුතු වැඩක්. බැංකු පද්ධතිය විසින් මහ බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ වෙළඳපොළෙන් හැකි තාක් ඩොලර් එකතු කර ගනිමින් සිටිනවා. ඩොලරයේ "මිල සංඥාව" තවමත් අහු වී නැතත් ඉතා ඉක්මණින් එය අල්ලා ගත හැකි වනු ඇතැයි සිතිය හැකියි. 

ඩොලරයේ මිල අවශ්‍ය මට්ටම දක්වා ටිකෙන් ටික ඉහළ යවද්දී, ආනයනික භාණ්ඩ මිලද ඉහළ යන අතර එය එසේ ඉහළ යන්නට ඉඩ හරින්නටද වෙනවා. සහන දෙන්න ගියොත් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එය දේශපාලනිකව කෙතරම් ශක්‍යද කියන එක ගැටලුවක්. 

ගෝටාගෝගම ජනපදය පිහිටුවා දැන් සති දෙකකට කිට්ටුයි. ඇතැම් අය එහි කොමියුනිස්ට් සමාජයක ලක්ෂණ දකිනවා. හැමෝගෙම අදහස් වලට ඉඩ ලැබෙන හැකි පමණ දී අවශ්‍ය පමණ ගන්නා සාමූහිකත්වයක් එහි තිබෙනවා. ඇතැම් අය මෙය දකින්නේ කිසිදු නිෂ්පාදනයක් නොකෙරෙන අපූරු කොමියුනිස්ට් සමාජයක් ලෙසයි. 

නලින් ද සිල්වා විසින් ටික දවසකට කලින් කියා තිබුණේ ගෝටාගෝගම නිෂ්පාදනය කරන්නේ ආතල් බවයි. මෙය සමච්චලයට කර තිබෙන ප්‍රකාශයක් විය හැකි වුවත් ඒ ප්‍රකාශය පදනම් කරගෙන ගෝටාගෝගම ආර්ථිකය වගේම ලංකාවේ ආර්ථිකයත් විස්තර කරන්න පුළුවන්. 

ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් සිදු නොවන බව කියන නලින් ද සිල්වාද ඇතුළු අනෙකුත් අය එසේ කියන්නේ ද්‍රව්‍යවාදී, මාක්ස්වාදී අර්ථයකින්. ගෝටාගෝගම කවුරුවත් තක්කාලි වවන්නේ නැහැ. තණ පිඩලි ගලවා මුං වපුරන්නේ නැහැ. අඩු වශයෙන් ළඟම තියෙන මූදට ගොස් මාළු අල්ලන්නේ නැහැ. කොටින්ම ගෝටාගෝගම කිසිදු ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. එහෙත්, සුළු වශයෙන් වුවත්, ද්වීතියික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට පිටි "ආනයනය කරලා" රොටී හදද්දී එතැන නිෂ්පාදනයක් වෙනවා. අගය එකතු කිරීමක් වෙනවා.  

භාණ්ඩ නිෂ්පාදනයක් ලොකුවට සිදු නොවුනත් ගෝටාගෝගම ඇතුළේ සේවා නිෂ්පාදනයක්නම් ලොකුවටම සිදු වෙනවා. ගෝටාගෝගම පුරවැසියන් වෛද්‍ය සේවා, අධ්‍යාපන සේවා, විනෝදාස්වාද සේවා, නීති සේවා, ආහාර බෙදාහැරීමේ සේවා, සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ සේවා, පිරිසිදු කිරීමේ සේවා ආදිය සපයනවා. ඒ කියන්නේ සැලකිය යුතු සේවා නිෂ්පාදනයක් මෙහි සිදු වෙනවා. 

රටක දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ යම් කිසි කාලයක් තුළ ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා වල වටිනාකම. ඒ නිසා, රටක භාණ්ඩ කිසිවක් හැදුවේ නැතත්, ඒ රටේ සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් හා ඒක පුද්ගල ආදායමක් තියෙන්න පුළුවන්. මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ සමාජවාදී ආර්ථික ක්‍රම අනුගමනය කළ රටවල් සේවා නිෂ්පාදන නිෂ්පාදන සේ සැලකුවේ නැහැ. ඔවුන් නිෂ්පාදන සේ සැලකුවේ භාණ්ඩ පමණයි. ඒ නිසා, ඔවුන් දළ දේශීය නිෂ්පාදිතය වෙනුවට ආර්ථික වර්ධනය මැනීම සඳහා යොදා ගත්තේ ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය (Net Material Product -NMP) නම් වූ නිර්ණායකයක්. මේ වන විට මේ නිර්ණායකය භාවිතා කරන්නේ කියුබාව සහ උතුරු කොරියාව පමණයි. 

ගෝටාගෝගම වෙනම ආර්ථික ඒකකයක් සේ සැලකුවොත් එහි ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතයක් නැති තරම්. ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් නැති බව කියන අය එසේ කියන්නේ මාක්ස්-ලෙනින්වාදී පදනමක සිටයි. එහෙත්, එහි සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් තිබෙනවා. 

කිසිදු ද්‍රව්‍යමය නිෂ්පාදනයක් සිදු නොකර රටකට හෝ ආර්ථික කලාපයකට පැවතිය හැකිද?

ඉතා පැහැදිලි ලෙසම පුළුවන්. එසේ කළ නොහැක්කේ අදාළ ආර්ථික කලාපය සංවෘත ආර්ථික කලාපයක්නම් පමණයි. ටිකක් ලොකු ගෝටාගෝගමක් වන සිංගප්පූරුවේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවන තරම්. එහෙත්, සිංගප්පූරුව ලෝකයේ රටවල් අතරින් ආහාර සුරක්ෂිතතාවය වැඩිම රටක්. එහි රහස ලෝකයට විවෘත වීමයි.

ගෝටාගෝගම ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක්. ප්‍රාග්ධනයට හෝ ශ්‍රමයට ගෝටාගෝගමට හෝ එයින් පිටතට යාමට කිසිම බාධාවක් නැහැ. ගෝටාගෝගම පුරවැසියෝ යම් පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ගෝටාගෝගමෙන් පිට රැකියා කරන අය. ඒ අය ගෝටාගෝගමෙන් පිට රැකියා කරලා ගෝටාගෝගමට ශ්‍රමික ප්‍රේෂණ එවනවා. තව ඉන්නවා ගෝටාගෝගමට එන විශාල සංචාරකයෝ පිරිසක්. ඒ අය ගෝටාගෝගමට ඇවිත් තමන්ගේ සල්ලි වියදම් කරනවා. 

නලින් ද සිල්වා කියනවා වගේ ගෝටාගෝගම වැසියන් නිෂ්පාදනය කරන ප්‍රධානම දෙය ආතල්. කොහොමටත්, මොන නමින් තිබුණත්, වෙළඳපොලක හුවමාරු වන්නේ ආතල්. මිනිස්සු ආහාර වෙනුවෙන් මිලක් ගෙවන්නේ ආහාර පරිභෝජනය කිරීමේදී ලැබෙන ආතල් එක නිසා. ඇඳුම් වෙනුවෙන් මිලක් ගෙවන්නේ ඇඳුමක් ඇඳීමෙන් ලැබෙන ආතල් එක නිසා. සිංදුවක් අහන්න හෝ චිත්‍රපටයක් බලන්න මිලක් ගෙවන්නේ එයින් ලැබෙන ආතල් එක නිසා. මොන ස්වරූපයෙන් විකිණුවත් අන්තිමට කවුරු වුනත් විකුණන්නේ ආතල්. භාණ්ඩ නිෂ්පාදනය කරන අය වගේම සේවා නිෂ්පාදනය කරන අයත් කරන්නේ ආතල් නිපදවන එක. ආතල් නිපදවිය නොහැකිනම් කවර නිෂ්පාදනයක වුවත් වෙළඳපොළ වටිනාකමක් නැහැ. 

විනෝදාස්වාද සේවා, අධ්‍යාපන සේවා ආදිය නිපදවමින් ගෝටාගෝගමින් අපනයනය කරන ආතල් ලෝකය පුරාම විකිණෙනවා. ලැබෙන අපනයන ආදායම ගෝටාගෝගම ආනයන වියදමට හොඳටම ප්‍රමාණවත්. ගෝටාගෝගම ආර්ථිකය කඩා නොවැටී දිනෙන් දිනම දියුණු වෙන්නේ ඒ නිසයි. හැබැයි අසල්වැසි රාජ්‍යයක් විසින් ආක්‍රමණය කළොත් හරි ඇතුළේ සිවිල් යුද්ධයක් ඇති වුනොත් හරි ගෝටාගෝගම ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්. 

#ඉකොනොමැට්ටා 

Tuesday, April 19, 2022

සීතා ගීතා මේ බලන්නකෝ...


මේක අලුතෙන් දිවුරුම් දුන්නු රාජ්‍ය ඇමතිනියන් ගැන ලිපියක් නෙමෙයි. ආර්ථිකේ ගැනම දිගටම කතා කරපු නිසා පොඩි වෙනසකටත් එක්ක සිංදුවක් ගැන කතා කරන්න හිතුණා. අවුරුදු දවස් නිසා අවුරුදු සිංදුවක්ම තෝරා ගත්තා.

"සීතා ගීතා මේ බලන්නකෝ 

ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ 

ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ..."

නිරංජලා සරෝජනී සහ ගීතා කාන්ති ජයකොඩි ගායනා කරන හැත්තෑව දශකයේ මුල් කාලයේ ගීයක්. අර හැත්තෑ හතට කලින් සමගි පෙරමුණු ආණ්ඩුව කියලා එකක් තිබුණේ. අන්න ඒ කාලේ. 

ඔය කාලේ ඇඳුමක් ගන්නවා කියන එක මේ දවස් වල ගෑස් සිලින්ඩරයක් ගන්න තරම්වත් ලේසි නැහැ. කොහොමත් ගොඩක් පවුල් වල දරුවන්ට ඇඳුම් කට්ටලයක් ලැබුණේ ඔය අවුරුදු කාලෙට තමයි. හැමදාම හිතේ හැටියට ළමයින්ට ඇඳුම් අරන් දෙන්න තරම් මිනිස්සු අතේ සල්ලි තිබුණේ නැහැ. සල්ලි තිබුණා වුනත් සල්ලි වලට ගන්න බඩු නැහැ. සමුපකාරෙට එන භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි කෑල්ලක් ගන්නත් මැනේජර් මහත්තයා එක්ක හිතවත්කමක් තියෙන්න ඕනෑ. දැන් කිරිපිටි ගන්නවා වගේ.

"ආනේ නීතා කොයින්ද ඔයාට ලැබුණේ...?"

නීතාටනම් කොහොම හරි ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලයක් ලැබිලා. නීතා ගිහින් ඒක සීතාටයි ගීතාටයි පෙන්නනවා. තුන් දෙනාම හිච්චි කෙල්ලෝ. ඔන්න එහෙනම් අහගන්න නීතාට ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ ලැබුණේ කොහොමද කියලා.

"බෝගන්විලා පැළ උදුරාලා 

මමම හැදුව මගෙ තක්කලි කොටුවේ 

පොකුරු පොකුරු හැදුණා හැම නටුවේ 

ඒව විකුණලා කාසි ගෙනැල්ලා 

කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා 

ඇඳුම් කට්ටලේ මහගත්තා"


"පස පෙරළලා ගිනි අවුළාලා 

මමම හැදුව මගෙ පොඩි මුං හේනේ 

කරල් ඇතිවී තිබුණා පැළ ගානේ 

ඒව විකුණා කාසි ගෙනැල්ලා 

කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා 

ඇඳුම් කට්ටලේ මහගත්තා"

කොහොම කට්ටක් කන්න ඇද්ද ඇඳුම ගන්න. ඔය සමගි පෙරමුණු ආණ්ඩුවේ වගා සංග්‍රාම කාලෙනේ. විකුණන එක කොහොම වෙතත් කන්න බොන්න හරි වත්තේ මොනවා හරි වවා ගත්තේ නැත්නම් ඉතිං බඩගින්නේ තමයි.

ඇඟලුම් කර්මාන්තය ප්‍රචලිත වුනේ හැත්තෑ හතෙන් පස්සෙනේ. ඔය කාලයේ ගම් වල තරුණියන්ට කරන්න කියලා රස්සා එහෙමට තිබුණේ නැහැ. හේනේ කුඹුරේ වැඩක් කරගෙන ගෙදර උයන පිහන එක දරු මල්ලෝ බලා ගෙන ඉන්න එක තමයි ඉතිං ගොඩක් තරුණියන්ගේ ඉරණම. දරු මල්ලෝ කිවුවේ බාල සහෝදර සහෝදරියෝ, වැඩිහිටි සහෝදර සහෝදරියන්ගේ දරුවෝ එහෙම.

සමහර අම්මලා ගෑණු දරුවන්ට පොඩි කාලේ ඉඳලම ගෙදර දොරේ වැඩ හුරු කළත්, එහෙම නැතුව දරුවන්ව "මල් වගේ" හදපු අම්මලත් හිටියා. එහෙම ටිකක් "පොෂ්" ගෑණු දරුවෝ මැහුම් පන්ති, කුකරි ක්ලාස්, ටයිපිං ෂෝට් හෑන්ඩ් පංති ආදියට යන අතර ගෙදර ඉන්න වෙලාව මල් වවන්න යොදවනවා. සේපාලිකා, සමන් පිච්ච, දාස් පෙතියා, වතුසුදු වගේ වැඩි මහන්සියක් නැතිව ඔහේ හැදෙන මල් අතරේ ඕකිඩ්, ඇන්තූරියම් වගේ ඒවා ටිකක් පොෂ් මල්. ඒවාට දිනපතා සාත්තු කළ යුතුයි. බෝගන්විලා වලට ඒ තරමටම සාත්තු කළ යුතු නොවුනත් ඒකෙත් පොඩි පොෂ් ගතියක් තිබුණා.

මල් වලට ගෑණු ළමයි සාත්තු කරන්නේ පණ ඇරලා. එහෙම තත්ත්වයක් තියෙද්දී තමයි නීතා තමන්ගේ බෝගන්විලා පැළ ටික උදුරලා තක්කාලි හිටවන්නේ. වත්තේ හැම බිම් අඟලකම කන්න පුළුවන් මොනවා හෝ දෙයක් වගා නොකර බෝගන්විලා වවන එක දරුණු අපරාදයක් වගේ පෙනුණු කාලයක්නේ ඕක. නීතා තමන්ගේ බෝගන්විලා ටික උදුරා දමලා ඒ ඉඩේත් තක්කාලි වවලා සීතාට සහ ගීතාට ආදර්ශයක් දෙනවා. බෝගන්විලා ටික බේරගන්න හිතුවානම් ඇඳුම් නැතුව තමයි ඉන්න වෙන්නේ.

ගෙවතු වගා වැඩේ හොඳයි. අපිත් ඔය වැඩේ කරනවා. ගෙදරට එළවලුත් ලැබෙනවා තමයි. හැබැයි වැඩිපුර තියෙන්නේ සතුට. ආර්ථික පැත්තෙන් බැලුවොත් බෝගන්විලා වවන එකෙයි තක්කාලි වවන එකෙයි වැඩිපුරම තියෙන්නේ රුචිකත්වයන් පිළිබඳ වෙනස. මේවා රටක ආහාර ප්‍රශ්නයට විසඳුම් නෙමෙයි. හැබැයි වෙන විකල්පයක් නැති වුනාම ඔය වගේ දේවල් නොකරම බැරි වෙන්නත් පුළුවන්. 

මේ සිංදුවේ පදමාලාවේ මම ආසම කොටස "කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා" කියන කොටස. සාමාන්‍ය භාවිතයේදී අපි මේ වගේ සන්දර්භයකදී කාසි විකුණලා කියා කියන්නේ නැහැ. සිංදුව ලියා තිබෙන චන්ද්‍රසේන රංගේගේ දේශපාලන අදහස් ගැන මම දන්නේ නැහැ. නමුත් ඔය කාලය ගොඩක් කලාකරුවෝ, ලේඛකයෝ මාක්ස්වාදය එක්ක තදින් බැඳී සිටි කාලයක්. සමහර විට මේ රචකයාත් එවැන්නෙක්ව සිටියා වෙන්න පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන්.

"ඒව විකුණලා කාසි ගෙනැල්ලා- කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා" කියන කොටස ඇහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ දාස් කැපිටාල් පොතේ C-M-C ආකෘතිය. ඕක ඉල්ලුම් සැපයුම් න්‍යාය වැඩි දියුණු වෙන්නත් කලින් යුගයේ යල් පැන ගිය ආකෘතියක් වුවත් දාස් කැපිටාල් ආගමික ග්‍රන්ථයක් විදිහට සලකන සමහර අය තවමත් ඔය ආකෘතිය ගැන කතා කරනවා මම දැකල තියෙනවා. මෙයින් විස්තර කරන්නේ පාරිභෝගික භාණ්ඩයක් මුදල් වෙලා දෙවනුව මුදල් පාරිභෝගික භාණ්ඩයක් වෙන එක. තව M-C-M කියලා එකකුත් තියෙනවා. ඒකෙදී මුදල් පාරිභෝගික භාණ්ඩයක් වෙලා දෙවනුව පාරිභෝගික භාණ්ඩය මුදල් වෙනවා. මාක්ස්වාදයේ ගොඩක් ප්‍රවාද පටන් ගන්නේ ඔය දෙවන ආකෘතියේ ඉඳලා. 

මේ පද පේලි දෙක අපට නූතන සන්දර්භයක පිහිටුවා විග්‍රහ කරන්නත් පුළුවන්. විකුණන එක ජාත්‍යන්තර සන්දර්භයකට ගෙනිහින් කාසි ඩොලර් විදිහට සලකන එකයි කරන්න තියෙන්නේ. දැන් පාරිභෝගික භාණ්ඩය අපනයන භාණ්ඩයක් වෙලා ඩොලර් ගේනවා. දෙවනුව, ඒ ඩොලර් ආනයනික පාරිභෝගික භාණ්ඩයක් වෙනවා. ඊළඟ අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් කට්ටලයක් ගන්නනම් නීතාට වගේම සීතාට හා ගීතාටත් ඩොලර් වලට විකිණිය හැකි දෙයක් නිපදවන්න වෙනවා. සමහර විට ඒ වැඩේට තක්කාලි ගලවලා බෝගන්විලා හිටවන්න වෙන්නත් පුළුවන්. 

#ඉකොනොමැට්ටා 

Monday, April 18, 2022

මහ බැංකුවේ රස්සාව


මේ ලිපිය ලියන්නේ කලින් ලිපිය පළ කිරීමෙන් පසුව අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන්ද වුවත් ඒ හේතුව නිසාම පමණක් නෙමෙයි. දැන් සිදුවන සමස්ත ක්‍රියාවලිය ඇතුළේ බොහෝ දෙනෙකුට තවමත් අපැහැදිලි සේ පෙනෙන දෙයක් පැහැදිලි කිරීමේ අරමුණද ඇතිවයි.

අපි වත්මන් මහජන අරගලයෙන්ම පටන් ගත්තොත් තනි පුද්ගලයින් විශාල පිරිසක් පාරට බැහැලා තමන්ගේ ප්‍රශ්න හඬගා කියන්න පටන් අරන්. ඒ බොහෝ දෙනෙකු සතුව ඒ ප්‍රශ්න වලට විසඳුම් නැහැ. මේක ඒ අයගේ වැරැද්දක් නෙමෙයි. මේ මිනිස්සු පාරට බැහැලා ඉන්නෙම ඒ අය ළඟ ඒ අයගේ ප්‍රශ්න වලට විසඳුම් නැති නිසා. තමන්ට විසඳාගත හැකි ප්‍රශ්න මිනිස්සු මොන විදිහෙන් හරි විසඳා ගන්නවා. 

ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා කියා කියන දේශපාලනඥයින්ට වඩා මේ මිනිස්සු අවංකයි. කළ යුත්තේ කුමක්ද කියා තමන්ට නොතේරෙන බව ගොඩක් තරුණයෝ මයික් ඉදිරිපිට බය නැතුව කියනවා.

"ඒකනම් මට තේරෙන්නේ නැහැ. කවුරු හරි මොනවා හරි කරන්න ඕනෑ!"

ඒ අය කියන්නේ කරන්න පුළුවන් කෙනෙක්ට රට බාර දෙන්න කියලා මිසක් තමන්ට බාර දෙන්න කියලා නෙමෙයි. කරන්න පුළුවන් කෙනෙක් සේ පෙනෙන පුද්ගලයෙක් කෙරෙහි විශ්වාසය තියන්න මේ මිනිස්සු සූදානම්. නන්දලාල් වීරසිංහ මේ විදිහේ මනුස්සයෙක් කියලා ගොඩක් අය හඳුනා ගෙන තියෙනවා. ඒ එක්කම නන්දලාල් වීරයෙක් වෙලා.

වීරයෝ හදන එක භයානකයි. ඒක කාට වුනත් අදාළයි. නන්දලාල් කියා කියන්නෙත් වැරදි කළ හැකි, වැරදීම් විය හැකි සාමාන්‍ය මනුස්සයෙක්. ඒ නිසා, කොයි තනතුරට කවුරු ආවත් මනුස්සයා ගැන විශ්වාසය තියනවාට වඩා කරන දේ ගැන සැලකිල්ලෙන් බලා සිටිය යුතුයි. විශ්වාස නොකරනවා මෙන්ම ඕනෑවට වඩා අවිශ්වාසද නොකළ යුතුයි. සාමාන්‍යයෙන් විශ්වාස කරන්න අමාරු පුද්ගලයෙක් අතින් වුනත් සිදු විය යුතු නිවැරදි දේ සිදු විය හැකියි.

නන්දලාල් කියන පුද්ගලයා පැත්තකින් තිබ්බොත්, මහ බැංකු අධිපතිට හා මහ බැංකුව කියන ආයතනයට කළ හැකි නිශ්චිත දේවල් ටිකක් තියෙනවා. අධිපති සේ කොයි තරම් සුදුසු පුද්ගලයෙක් පත් වුනත්, එතැනින් එහාට දෙයක් කිරීමේ හැකියාවක් මහ බැංකුවට නැහැ. මේ ටික පැහැදිලිව කිව යුත්තේ නන්දලාල් රට ගොඩ දාන තුරු බලා ඉන්න අයගේ අහස් මාලිගා කැඩිලා වීරයා දුෂ්ඨයෙක් වෙන එකත් එක මොහොතකින් වෙන්න පුළුවන් දෙයක් නිසා. IMF එක ගැන කියන්න තියෙන්නෙත් ඔය වගේම දෙයක්.

දැන් මේ රට ගොඩ දැමීම කියන එකෙන් කියන්නේ රටේ ආර්ථිකය ගොඩ දැමීම. රටේ ආර්ථිකය කියන එකත් එක එක්කෙනා තේරුම් ගන්නේ විවිධ ආකාර වලින්. අරගලය හා බද්ධ වී සිටින මධ්‍යම හා ඉහළ ආදායම් ස්ථර වල නාගරිකයන්ට හා අර්ධ නාගරිකයන්ට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය සල්ලි තිබුණත් ඒ සල්ලි වියදම් කර තමන් දෙවසරකට පෙර ගත කළ ජීවිතය ඒ විදිහටම ගත කරන්න බැරි වීම. එතකොට රට ගොඩ යාම කියා කියන්නේ ඒ ජීවිතය නැවත ලැබීම. 

ආර්ථික අර්බුදයේ පරිණාමයට සමාන්තරව මේ තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඉතා ඉක්මණින්ම සල්ලි තිබුණත් ඒ සල්ලි වලින් වැඩක් නැති වීමේ ප්‍රශ්නය සල්ලි නැති වීමේ ප්‍රශ්නයක් බවට පත් වීමට නියමිතයි. මෙය පාරට බැස නැති පහළම ආදායම් ස්ථර වලට මුල සිටම තිබුණු ප්‍රශ්නයක්.

මහ බැංකුව විසින් හා රජය විසින් පාලනය කරන්නේ රටේ සාර්ව ආර්ථිකයයි. සාර්ව ආර්ථික කළමනාකරණ සැලසුම් කොටස් පහක් යටතේ හඳුනාගත හැකියි.

1. මූර්ත අංශය: දළ ජාතික නිෂ්පාදිතය, රැකියා අනුපාතය වැනි දේ 

2. විදේශ අංශය: ආනයන, අපනයන ආදිය 

3. රාජ්‍යමූල්‍ය අංශය: බදු, රාජ්‍ය වියදම් ආදිය 

4. මුදල් අංශය: මුදල් සැපයුම, උද්ධමනය හා පොලී අනුපාතික වැනි දේ 

5. බැංකු අංශය: මෙය අවශ්‍යනම් මුදල් අංශය සමඟ එකතු කර "මුදල් හා බැංකු අංශය" ලෙස හඳුන්වමින් ඉහත බෙදීම කාණ්ඩ හතරකට ලඝු කළ හැකියි.

ඉහත අංශ සියල්ල එකිනෙකට සම්බන්ධයි. එක අංශයක ඇතිවන අස්ථාවර භාවය හෝ කම්පන අනෙකුත් සියලු අංශ කෙරෙහි බලපෑම නොවැලැක්විය හැකියි. මේ අංශ අතරින් ජනජීවිතය කෙරෙහි වැඩිම හා සෘජු බලපෑමක් කරන්නේ මූර්ත අංශයයි. අනෙක් අංශ කොයි තරම් ප්‍රසස්ථ ලෙස ක්‍රියාත්මක වුවත් තමන්ගේ ආදායම් වැඩි වී නැත්නම් රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙන්නේ නැහැ. 

මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණක් තිබෙනවා. ධනවාදී ආර්ථික ක්‍රමයක් යටතේ රටක මූර්ත අංශය කෙරෙහි රජයට හෝ මහ බැංකුවට දීර්ඝකාලීන බලපෑමක් කළ නොහැකියි. ධනවාදී රටක දළ ජාතික නිෂ්පාදිතය හා එහි දිගුකාලීන වර්ධන වේගය තීරණය කරන්නේ පෞද්ගලික අංශයයි. මහ බැංකුවට වගේම රජයටද කළ හැක්කේ ආර්ථිකය වර්ධනය වන පථය චක්‍රීය හා සමමිතික ලෙස සුමට කිරීම පමණයි. 

මෙහි සමමිතික කියන කරුණ ඉතාම වැදගත්. අපි හිතමු පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්වය (කාර්යක්ෂමතාවය වැඩි වීම) මත දිගුකාලීනව රටක ආර්ථිකය 4%ක වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා කියා. එසේ 4% වේගයෙන් වර්ධනය වන අතරම මෙම වේගය 2%-6% අතර දෝලනය විය හැකියි. මේ සංඛ්‍යා උදාහරණ පමණයි. මහ බැංකුවට හා රජයට මැදිහත් වී මේ දෝලනය වීම 3%-5% මට්ටමට සීමා කළ හැකි වුවත්, සෘජු මැදිහත්වීම් හරහා දිගුකාලීන වර්ධන වේගය වෙනස් කළ නොහැකියි. මෙහි සෘජු මැදිහත්වීම් කියන එකෙන් අදහස් කළේ මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති.

ඉහත කී දිගුකාලීන වර්ධන වේගය වැඩි කර ගැනීම සඳහාද රජයට කළ හැකි දේ තිබෙනවා. ඒ මා පෙර කී පරිදි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා ආර්ථික වර්ධනයේ තාවකාලික විචලනයන් පාලනය කිරීම නෙමෙයි. ඒ දේවල් වලින් දිගුකාලීනව වෙනසක් සිදු නොවන බව කලින්ම කිවුවනේ. රජයට කළ හැක්කේ පෞද්ගලික දේපොළ අයිතිය සුරැකීම, ආර්ථික කටයුතු වලදී සියල්ලන්ට සම අවස්ථා ලැබෙන නීතිමය පසුබිමක් සකස් කර පවත්වාගෙන යාම, වෙළඳපොළ ප්‍රවර්ධනයට ඇති බාධා ඉවත් කිරීම, නොකරම බැරි මැදිහත්වීම් වලදී පුළුවන් තරම් සැලකිලිමත් වී තවත් ටිකක් සැලකිලිමත් වීම හා පාරදෘශ්‍ය වීම, මහ බැංකුව සමඟ සහයෝගයෙන් දිගුකාලීන සාර්ව-ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම වගේ දේවල්. 

දැන් ඉහත බෙදීම වෙත නැවත පිවිසෙමු. මේ බෙදීම තුළ, මහ බැංකුවේ රාජකාරිය තියෙන්නේ හතර වන කාණ්ඩය ඇතුළේ. ලෝකයේ කොයි මහ බැංකුව ගත්තත් එහි ප්‍රධානම කාර්යය මිල ස්ථායීතාවය පවත්වා ගැනීම. ටිකක් සරලව කිවුවොත් අඩු හා ස්ථාවර උද්ධමනයක් දිගටම පවත්වා ගැනීම. මෙය මහ බැංකුවේ අනන්‍ය වගකීමක්. රජයේ වගකීමක් නෙමෙයි. 

අනෙක් පැත්තෙන් තුන් වන කාණ්ඩයේ දේවල් කිසිසේත්ම මහ බැංකුවේ වගකීම් නෙමෙයි. රජයේ වගකීම්. ලංකාව ගත්තොත් මුදල් අමාත්‍යාංශයේ හා ඒ යටතේ තිබෙන මහා භාණ්ඩාගාරයේ අනන්‍ය වගකීම්. ඉහත තුන් වන කාණ්ඩය හා හතරවන කාණ්ඩය අතර පැහැදිලි බෙදුම් ඉඩක් තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එකෙන් බොහෝ විට අදහස් වෙන්නෙත් ඒක.

පස් වෙනි කාණ්ඩය යටතේ තිබෙන බැංකු පද්ධතිය නියාමනය කර එහි ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඇතැම් රටවල රජයෙන් බාහිර මහ බැංකුව වැනි වෙනත් ආයතනයක් තිබෙනවා. එහෙත්, තවමත් ලංකාව ඇතුළු බොහොමයක් රටවල මේ වැඩේ කරන්නෙත් මහ බැංකුව විසින්. ඒ නිසා, අපට එක්කෝ හතර හා පහ කාණ්ඩ එකතු කරන්න පුළුවන්. නැත්නම් පස්වන කාණ්ඩයත් මහ බැංකුවේ අනන්‍ය වගකීමක් සේ සලකන්න පුළුවන්.

දැන් ඉතිරි දෙවන කාණ්ඩයනේ. මේකත්, මූර්ත අංශය තරමටම නැතත්, රජයට හෝ මහ බැංකුවට ලොකුවට පාලනය කළ නොහැකි දෙයක්. නමුත්, වක්‍ර ලෙස යම් පාලනයක් කළ හැකියි. දැන් ගොඩක්ම අවුලට ගිහින් තියෙන්නේ රටේ විදේශ අංශය නිසා මේ වගේ කතාවක් කියලා අපට මේ ප්‍රශ්නය මග හැර යන්න බැහැ. නමුත්, මහ බැංකුවට හෝ රජයට විදේශ අංශය පාලනය කළ හැක්කේ ඔවුන්ට පූර්ණ වශයෙන් මෙන් පාලනය කළ හැකි මුදල්, බැංකු හා රාජ්‍යමූල්‍ය අංශ හරහා නිසා අපට විදේශ අංශය ගැන කතා කරන්න වෙන්නෙත් ඒ අංශ වලින් පටන් අරගෙනයි.

අපි මුදල් අංශයෙන් පටන් ගනිමු. මෙය තනිකරම මහ බැංකුවේ වගකීමනේ. මහ බැංකුවක් තියෙන්නෙම ඔය වැඩේට. හැමෝම සල්ලි අච්චු ගහනවා කියලා මහ බැංකුවට බැන්නත් මහ බැංකුවේ රාජකාරියම සල්ලි අච්චු ගහන එක. රටේ මිනිස්සු නිදහසේ ගනුදෙනු කරද්දී ඒ වැඩේ කාර්යක්ෂම ලෙස කරන්න සල්ලි අවශ්‍ය වෙනවා. අවශ්‍ය තරම් සල්ලි නැත්නම් රටේ ආර්ථික ක්‍රියාකාරකම් නැවතී ආර්ථික වර්ධනය අඩාල වෙනවා. එහෙම නොවෙන පරිදි ඉල්ලුමට සරිලන තරම් සල්ලි ආර්ථිකයට පොම්ප කරන එක මහ බැංකුවේ වගකීම. 

හැබැයි මේ වැඩේ ලේසි වැඩක් නෙමෙයි. රටක මුදල් ඉල්ලුම හරියටම පුරෝකථනය කරන එක අමාරු වැඩක්. ඒ නිසා, හැම වෙලාවෙම ඉල්ලුම ඉක්මවා හෝ අඩුවෙන් මුදල් සැපයීමේ අවදානමට මහ බැංකුවට මුහුණ දෙන්න වෙනවා. අඩුවෙන් මුදල් සැපයීමේ අවදානම අඩු කරන එක ලේසියි. පොඩ්ඩක් වැඩියෙන් සල්ලි අච්චු ගහන එකයි කරන්න තියෙන්නේ. නමුත් ඒ එක්කම උද්ධමනය ඉහළ යාමේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා, මහ බැංකුව විසින් ඕනෑවට වඩා සල්ලි අච්චු නොගහන බව සහතික කෙරෙන යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. 

ලෝකයේ බොහොමයක් මහ බැංකු තමන්ගේ ප්‍රධාන  කාර්ය සාධන ඉලක්කය විදිහට උද්ධමනය යම් නිශ්චිත මට්ටමක පවත්වා ගෙන යාම තෝරාගෙන තියෙන්නේ මේ නිසා. ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල මෙම ඉලක්කය 2% මට්ටමයි. ඒ කියන්නේ සෑම වසරකම "අවශ්‍ය ප්‍රමාණයට" වඩා 2%ක් වැඩියෙන් සල්ලි අච්චු ගහනවා කියන එකයි.

අවශ්‍ය ප්‍රමාණයට පමණක් සල්ලි අච්චු නොගසා මේ විදිහට 2%ක් වැඩිපුර සල්ලි අච්චු ගහන්නේ ඇයි? අවශ්‍යනම් මෙයට හේතුව වඩා විස්තරාත්මක ලෙස වෙනම ලිපියකින් පැහැදිලි කළ හැකියි. දැනට කෙටි පිළිතුරක් දෙන්නම්. 

රටේ මුදල් ඉල්ලුම හරියටම පුරෝකථනය කරන්න බැරි බව කලින්ම කිවුවනේ. එහෙම තියෙද්දී හරියටම ටක්කෙටම ඉල්ලුම පුරෝකථනය කරලා ඒ මුදල් ප්‍රමාණය පමණක් සපයලා ඒ ගාණ මදි වුනොත් මොකද වෙන්නේ? රටේ සල්ලි මදි වුණාම සිදුවන දේ ගෑස් නැතිවුණාම වෙන දේට වඩා දරුණුයි. 2%ක් වැඩිපුර සැපයුවහම පුරෝකථනය 2%කින් වැරදිලා තිබුණත් අවුලක් නැහැනේ. 

පුරෝකථනය හරියටම හරි වුනත් මුදල් සැපයුම තීරණය කළාට පස්සේ මුදල් ඉල්ලුම වෙනස් වෙන්නත් පුළුවන්. ආර්ථික විද්‍යාව කියා කියන්නේ භෞතික වස්තු එක්ක කටයුතු කරන ඒක-දෛශික විද්‍යාවක් නෙමෙයි. මුදල් ඉල්ලුම දිහා බලාගෙන මුදල් සැපයුම වෙනස් කරද්දී, මුදල් සැපයුම දිහා බලාගෙන මිනිස්සු ප්‍රතිචාර දක්වනවා. එහිදී මුදල් ඉල්ලුම වෙනස් වෙනවා. ඉල්ලුමට වඩා පොඩ්ඩක් වැඩියෙන් මුදල් සපයන්නේ ඒ නිසා. උද්ධමනය කියා කියන්නේ මේ වෙනුවෙන් ගෙවන්න වෙන මිල. 2% වුනත් උද්ධමනයක්නේ.

බටහිර සංවර්ධිත රටවල් කාලයක් තිස්සේ උද්ධමනය සාර්ථක ලෙස 2% මට්ටමේ නඩත්තු කළත් (එහෙමනම් ඇමරිකාවේ උද්ධමනය 8.5% වෙලා තියෙන්නේ ඇයි කියන එකට උත්තර දෙන්න ගියොත් මේක වෙන පැත්තකට යනවා. අපි ලිපිය හැකි තරම් කෙටි කරමු) ලංකාවට තවමත් එවැනි ඉලක්කයකට යා හැකි වී නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශිත ඉලක්කය උද්ධමනය 4%-6% අතර නඩත්තු කිරීමයි. මෙය මහ බැංකුව විසින්ම පනවා ගත් ඉලක්කයක්. මේ ඉලක්කය ගිලිහෙනවා කියා කියා කියන්නේ මහ බැංකුව අසමත් කියන එකයි.

මේ වෙලාවේ තිබෙන දැවෙන ප්‍රශ්නය ඩොලරය පාලනයක් නැතිව ඉහළ යන එකනේ. දැනටනම් සිහිනයක් වුනත්, අනාගතයේ කවදා හරි දවසක ඩොලරයක මිල ස්ථාවර මට්ට්ටමක තියා ගන්න ලංකාවට පුළුවන් වෙන එකක් නැද්ද? 

පුළුවන්. මෙය කළ හැකි එකම තිරසාර ක්‍රමය ලංකාවේ උද්ධමනයද දිගුකාලීනව 2% මට්ටමේම පවත්වා ගැනීමයි. එය සාමාන්‍ය වශයෙන් 5% මට්ටමේ තියා ගන්නවා කියා කියන්නේ ඩොලරයක මිල වසරකදී 3%කින් ඉහළ යාම භාර ගන්නවා කියන එකයි. මේ ක්‍රමයෙන් මහ බැංකුවට විණිමය අනුපාතයේ දිගුකාලීන හැසිරීමද පාලනය කළ හැකියි. සංචිත යොදා ගෙන විණිමය අනුපාතය පාලනය කිරීම තිරසාර නැති කෙටිකාලීන ක්‍රමයක් පමණයි. ඒ හරහා විණිමය අනුපාතයේ විචලනයන් චක්‍රීය හා සමමිතික ලෙස පාලනය කර ගත හැකියි. ආර්ථික වර්ධනය වගේම තමයි.

මේ වන විට උද්ධමනය කෙරෙහි මහ බැංකුවේ පාලනය ගිලිහී ගොස් තිබෙනවා. මම මේ කියන්නේ දැනට වාර්තා වී තිබෙන 18.7% පමණ උද්ධමනය ගැන හෝ නුදුරු දිනක වාර්තා විය හැකි 25% පමණ මට්ටමක උද්ධමනය ගැන නෙමෙයි. මුදල් සැපයුම ඕනෑවට වඩා වැඩි කිරීම නිසා සැඟවී තිබෙන සැබෑ උද්ධමන පීඩනය ගැන. එය ඉතා භයානකයි. මහ බැංකුවේ වපසරියට යටත් සන්දර්භය තුළ, විනිමය අනුපාතය කෙරෙහි පාලනයක් නොමැති වීමත් ඒ හරහා ඇති වී තිබෙන අනෙකුත් අතුරු ප්‍රශ්නත් මුදල් සැපයුම ඕනෑවට වඩා වැඩි කිරීමේ ප්‍රතිඵලයි. 

මේ තත්වය යටතේ මහ බැංකුවට කළ හැක්කේත්, මහ බැංකුව විසින් කරමින් සිටින්නේත්, මුදල් සැපයුම පාලනය කිරීම හරහා වක්‍ර ලෙස විණිමය අනුපාතය පාලනය කිරීමයි. ඒ සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් සතුව තිබෙන ප්‍රධානම උපකරණය පොලී අනුපාතිකයි. මේ ගැනද වැඩි විස්තර අවශ්‍යනම් වෙනම ලිපියක් ලිවිය හැකියි.

නන්දලාල් වීරසිංහගේ නායකත්වය යටතේ මහ බැංකුවට කළ හැකි රට ගොඩ දැමීම වන්නේ මුදල් සැපයුම සීමා කිරීමෙන් උද්ධමනය පාලනය කර විණිමය අනුපාතය අවප්‍රමාණය වන වේගය අඩු කර ගැනීමයි. හොඳම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යටතේ මහ බැංකුවට උද්ධමනය නැවත 4%-6% මට්ටම දක්වා පහත බස්වා විණිමය අනුපාතය වසරකට 3%කින් පමණ අවප්‍රමාණය වන සමතුලිතතාවයක් වෙත යා හැකි විය යුතුයි. ඒ සඳහා වුවද සැලකිය යුතු කාලයක් (අඩු වශයෙන් වසර තුනක් පමණ) ගත වෙයි. ඒ අතරතුර කෙටිකාලීනව උද්ධමනය මෙන්ම විණිමය අනුපාතයද තවත් ඉහළ යාම නොවැලැක්විය හැකියි.

අවසාන වශයෙන් උද්ධමනය නැවත 4%-6% මට්ටම දක්වා පහත බස්වා විණිමය අනුපාතය වසරකට 3%කින් පමණ අවප්‍රමාණය වන සමතුලිතතාවයක් වෙත යා හැකි වුවහොත් එය සැලකිය හැක්කේ මහ බැංකුව විසින් තමන්ගේ රස්සාව හරියට කිරීමක් ලෙසයි. එය වීරකමක් වන්නේ තමන්ගේ රස්සාව හරියට කරන ඕනෑම කෙනෙකු වීරයෙකු වන අර්ථයෙන් පමණයි. එය සේවයක් වන්නේ තමන්ගේ රස්සාව හරියට කරන ඕනෑම කෙනෙකු සේවයක් කරන්නේය අර්ථයෙන් පමණයි.

මහ බැංකුවට මේ වැඩේ කළ නොහැකි වුවහොත් එය සැලකිය හැක්කේ තමන්ගේ රස්සාව හරියට නොකිරීමක් ලෙසයි. එහි වැරැද්ද රජය මත පැටවිය නොහැකියි. එහෙත් රජයේ බලපෑම් නිසා මහ බැංකුවට ස්වාධීනව කටයුතු කළ නොහැකි වීම මහ බැංකුවේ ඉලක්ක වලට යාමට බාධාවක් විය හැකියි. එය එසේ වන්නේනම් මහ බැංකුව විසින් කළ යුත්තේ ඒ බලපෑම් එළිදරවු කිරීමයි.

ලංකාවේ සන්දර්භයේදී මහ බැංකුව කියා කියන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයයි. මහ බැංකු අධිපති එහි එක් සාමාජිකයෙක්. මහා භාණ්ඩාගාරයේ ලේකම්ද නිල බලයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක්. මේ හරහා මහ බැංකුවේ තීරණ වලට සෘජු ලෙසම හා පවතින නීති රාමුව තුළ නිල වශයෙන්ම රජයේ බලපෑමක් ඇති වෙනවා. මේ දෙදෙනාට අමතරව මුදල් මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු සිටිනවා. මේ පස් දෙනා අතරින් දෛනික පදනමින් මහ බැංකුවේ කටයුතු වලට මැදිහත් වන්නේ මහ බැංකු අධිපතිවරයා පමණයි.

ලංකාවේ මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරය යනු ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් ධුරය වැනි කැබිනට් තනතුරක් නෙමෙයි.  මහා භාණ්ඩාගාරයේ ලේකම් වරයා රාජ්‍ය මූල්‍යනය සම්බන්ධව කටයුතු කළත් ඒවා මෙහෙයුම් කටයුතු. රාජ්‍ය මූල්‍යනය සම්බන්ධව ප්‍රතිපත්ති තීරණ ගන්නේ පාර්ලිමේන්තුවයි. ප්‍රතිපත්ති තීරණ හා සම්බන්ධව මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස මහ බැංකු අධිපතිවරයාට තිබෙන ස්වාධීනත්වය මහා භාණ්ඩාගාරයේ ලේකම් වරයාට නැහැ. ඒ නිසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව වගකිව යුත්තේ පාර්ලිමේන්තුවයි. මහා භාණ්ඩාගාරය හරහා සිදු වන්නේ පාර්ලිමේන්තුවෙහි සම්මත වූ රාජ්‍ය අයවැයෙහි ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමයි. වැඩි විස්තර ඉදිරි ලිපියකට ඉතිරි කරමු.

#ඉකොනොමැට්ටා 


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...