හැම ජීවයක්ම පැවැත්ම සඳහා නිරන්තර සටනක් කරනවා. එහිදී සමහර වෙලාවට වෙනත් වර්ග වල ජීවීන් එක්ක ගැටුමක් තිබෙනවා. තවත් සමහර වෙලාවට සහජීවනයක් තිබෙනවා. ඒ වගේම සමහර වෙලාවට තමන්ගේ වර්ගයා එක්කම ගැටුමක් හෝ සහජීවනයක් තිබෙනවා. මේ සටන හෝ සහජීවනය හිතාමතා කරන කටයුත්තක් වෙන්න අවශ්‍ය නැහැ. හිතුවත්, නැතත් පරිණාමයේ නීති අනුව එය කොහොමටත් සිදු වෙනවා. අවසාන වශයෙන් සිදුවෙන්නේ පැවැත්ම සඳහා වඩාත්ම හිතකර දෙයයි. පැවැත්මට බාධා කරන ලක්ෂණයක් හෝ චර්යාවක් දිගුකාලීනව පවතින්නේ නැහැ.
ජීව විද්‍යාත්මක නීති මත පමණක් පරිණාමය වූ කාලයේදී මිනිසාගේ පූර්වජයන්ට අනෙක් බොහෝ ජීවයන්ට වගේම තමන්ගේ පැවැත්මට හිතකර ජාන විකෘතියක් සිදු වන තුරු දිගු කාලයක් බලා ඉන්න සිදු වුනා. මිනිස්සුන්ට වියුක්ත ලෙස හිතන්න පුළුවන්කම ලැබීමෙන් පසුව මේ තත්ත්වය වෙනස් වුනා. ඉන් පසුව ගත වුනු කාලයේදී තමන්ගෙන් බාහිර ලෝකයට වඩාත්ම උචිත ලෙස හැඩ ගැහෙමින් පැවැත්ම සහතික කර ගන්න මිනිසාට තවදුරටත් අහඹු ජාන විකෘතියක් වන තුරු බලා ඉන්න අවශ්‍ය වුනේ නැහැ. උපතෙන් ලැබෙන ජාන කට්ටල ඒ විදිහටම තියාගෙන මිනිස්සු සංස්කෘතික ලෙස පරිණාමය වෙන්න පටන් ගත්තා. එහෙම පරිණාමය වෙලා අනෙක් ජීව විශේෂ පහු කරගෙන ගිහින් සමූහයක් විදිහට පෘථිවියේ ආධිපත්‍යය ලබා ගත්තා.
වියුක්තව හිතන්න බැරි ජීවයකට කළ හැක්කේ තමන්ට "උපතින්" ලැබී තිබෙන ජාන කට්ටල වල තිබෙන ඇල්ගෝරිදම් වලට අනුව බාහිර පරිසරයට ප්‍රතිචාර දක්වන එක පමණයි. ඇල්ගෝරිදම් සුසර වෙන්නේ කාලයත් සමඟ අහම්බෙන් සිදුවන විකෘති හා ස්වභාවික වරණය එක්කයි. වියුක්තව හිතන්න පුළුවන් ජීවයකට මේ ඇල්ගෝරිදම් වල වහලුන්ව නොසිට ඇල්ගෝරිදම් වෙනස් කර ගන්න පුළුවන්. හැබැයි යම් සීමාවක් ඇතුළේ පමණයි.
වියුක්තව හිතන්න පුළුවන් අයෙකුට පවතින තත්ත්වයට අමතරව නොපවතින තත්ත්වයන්ද පරිකල්පනය කළ හැකියි. එහෙත්, මෙය කළ හැක්කේ එක්තරා සීමාවක් තුළ පමණයි. නොපවතින තත්ත්වයන් ගැන පරිකල්පනය කළ හැක්කේ නිරීක්ෂණය කළ හැකි තත්ත්වයන්ගේ මිශ්‍රණයක් හෝ දිගුවක් විදිහටයි.
වසර දසදහස් ගණනක් තිස්සේ මිනිස්සු තමන්ගේ හැඟීම් වලට අනුවම කටයුතු නොකර වෙනස් ආකාර වලින් කටයුතු කරමින් විවිධ පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේ ඇතැම් පරීක්ෂණ සාර්ථක වී තිබෙනවා. සාර්ථක වීම කියන එකෙන් අදහස් කරන්නේ මිනිස් වර්ගයාගේ පැවැත්ම වඩා හොඳින් තහවුරු කිරීම යන්නයි. සංස්කෘතිය කියන්නේ එසේ සාර්ථක වූ පරීක්ෂණ.
මේ පරීක්ෂණ දිගින් දිගටම සිදු වෙනවා. එහිදී අකාර්යක්ෂම චර්යාවන් වෙනුවට වඩා කාර්යක්ෂම චර්යාවන් ආදේශ වෙනවා. ඒ නිසා, මිනිස් සංස්කෘතිය එක තැන තියෙන්නේ නැහැ. වෙනස් වෙනවා.
සමහර චර්යාවන් හරහා මිනිස්සුන්ට තමන්ගේ අනාගතය වෙනස් කර ගන්න පුළුවන්. එසේ වුවත්, අනාගතය වෙනස් කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ඇතැම් චර්යාවන් නිසා අවසාන වශයෙන් මිනිස් පැවැත්මට බාධා ඇති වී මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා. මෙසේ වීමේ අවදානම නොගෙන මිනිස් සංහතියට ඉදිරියට යන්න බැහැ. අවදානම් ගන්න වෙනවා. හැබැයි එකම වැරැද්ද නැවත නැවත කළොත්නම් ගොඩයාමක් නැහැ.
අපි කරන සමහර දේවල් වල හොඳ ප්‍රතිඵල තිබෙන බවත් තවත් සමහර දේවල් වල නරක ප්‍රතිඵල තිබෙන බවත් ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීම අමාරු නැහැ. ගින්දර ඇල්ලුවොත් අත පිච්චෙනවා. ගින්දරට අල්ලා මස් පිච්චුවොත් මස් මෙලෙක් වී රසවත් වෙනවා.
ගින්දරට අත පිච්චෙන බව අවබෝධ කරගන්න ගින්දර අල්ලලා බලන්න අවශ්‍ය නැහැ. ගින්දර ඇල්ලීමෙන් පසුව සිදු විය හැකි නොපවතින තත්ත්වය ගැන මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්. මස් පිච්චුවහම ඇති විය හැකි නොපවතින තත්ත්වය ගැනත් මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්. අවශ්‍යනම් මේ දෙක පිළිබඳවම පරීක්ෂා කර බලා අවබෝධ කරගන්නත් පුළුවන්.
මිනිස්සු හිතාමතා කරන සමහර දේවල් වලින් ඔවුන්ගේ අනාගත ජීවිතය වඩා සැපවත් කරගන්න පුළුවන් බව පැහැදිලිව පෙනෙන නමුත් අවශ්‍ය තරමට සැපවත් කරගන්න බැහැ. හැබැයි මේ විදිහට අනාගත ජීවිතය යම් තරමකින් සැපවත් කරගන්න පුළුවන් වීම ගැන දිගින් දිගටම හිතුවොත් තමන්ට අවශ්‍ය තරමටම අනාගතය සැපවත් කර ගැනීමේ හැකියාව ගැන මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්.
කාලයක් තිස්සේම මිනිස්සු මේ ගැන හිතා තිබෙනවා. පරීක්ෂාවට ලක් කළ නොහැකි, නිරීක්ෂණය කළ නොහැකි වියුක්ත තත්ත්වයන් තුළ මිනිස්සුන්ගේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් තිබෙන ලෝකයක් මවා ගන්න මිනිස්සුන්ට පුළුවන්. ඉන් පසුව, ඒ තත්ත්වය කරා ළඟා වෙන්න කළ යුතු දේවල් ගැනත් මිනිස්සුන්ට හිතන්න පුළුවන්. දිව්‍ය ලෝකය, පාරාදීසිය, කොමියුනිස්ට් සමාජය වගේ දේවල් ඔය විදිහේ වියුක්ත සංකල්ප.
මේ ආකාරයේ මනෝරාජික තත්ත්වයන් පිළිබඳව පරිකල්පනය කරන එක කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. ඉතාම සාධනීය දෙයක්. ඉන්ද්‍රියයන්ගේ සීමා පැත්තකින් තිබ්බත්, අපට නිරීක්ෂණය කළ හැක්කේ යම් නිශ්චිත කාල-අවකාශයක් පමණයි. එයින් අදහස් වන්නේ වෙනත් ආකාරයන්හි පැවැත්මවල් තිබිය නොහැකි බව නෙමෙයි. තව මාසයකින් කෝවිඩ් පාලනය වෙලා තියෙයිද? දැනටත් වඩා නරක විදිහට ව්‍යාප්ත වී තියෙයිද? මට හරියටම දැන ගන්න විදිහක් නැහැ. හැබැයි ඔය මොකක් හරි තත්ත්වයක් තියෙයි. හරි හෝ වැරදි හෝ මට ඒ තත්ත්වය පරිකල්පනය කරන්න පුළුවන්. මම එවරස්ට් තරණය කරලා නැහැ. නමුත්, එවරස්ට් මුදුන මොන වගේද කියලා මට පරිකල්පනය කරන්න පුළුවන්.
ජාන විකෘතියක් වැනි අහම්බයක් සිදු වන තුරු බලා නොසිට, පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කර ගන්න අවශ්‍යනම් කවර හෝ වඩා යහපත් තත්ත්වයක් ගැන පරිකල්පනය කළ හැකි වීම අනිවාර්ය කොන්දේසියක්. කළ යුතු හෝ නොකළ යුතු දේවල් ගැන පරිකල්පනය කළ හැක්කේ එයින් පසුවයි. ඒ විකල්ප තත්ත්වය සැබවින්ම පැවතිය හැකි තත්ත්වයක් වෙන්න හෝ නොවෙන්න පුළුවන්.
හැබැයි මොනවා හෝ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ අවදානමක් ගනිමින් මේ විකල්ප තත්ත්වය පැවතිය හැකි තත්ත්වයක් ලෙස සැලකුවොත් පමණයි. සමාජවාදය හරහා ගිහින් කොමියුනිස්ට් ක්‍රමයක් හදාගැනීම කියන අදහසට තේරුමක් එන්නේ විය හැකියාවක් ලෙස කොමියුනිස්ට් ක්‍රමයක් පැවතීම පිළිගැනීමෙන් පසුවයි. දෙව්ලොව යන්න පිං කරන එකට තේරුමක් එන්නේ විය හැකියාවක් ලෙස දෙව්ලොව කියා එකක් පැවතීම පිළිගැනීමෙන් පසුවයි. මේ වගේ සංකල්ප විශ්වාස විදිහට ඉතිරි වී තිබෙන්නේ ඒවායින් මිනිසාගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා කිසියම් සාධනීය කාර්යයක් සිදු වී තිබෙන නිසයි. එවැන්නක් තව දුරටත් සිදු නොවන තත්ත්වයක් යටතේ මේ සංකල්ප වලටත් පැවැත්මක් නැතුව යයි.
කිසියම් මොහොතක අපේ පැවැත්ම තියෙන්නේ නිශ්චිත ස්ථානයක. අපට මේ ස්ථානය වෙනස් කර ගැනීමේ සීමිත හැකියාවක් තිබෙනවා. එසේ වෙනස් කර ගැනීමෙන් පවතින තත්ත්වය වඩා යහපත් සේ වෙනස් කර ගැනීමේ හැකියාවද තිබෙනවා. ඒ වගේම එහෙම කරන්න ගිහින් තත්ත්වය වඩා නරක වෙන අවස්ථාද තිබෙනවා.
අවුරුදු විසිපහකට කලින් මහ බැංකු බෝම්බය පුපුරද්දී එහි සිටි අනූ ගණනක් මිය ගියා. තවත් පිරිසක් ආබාධිතයින් වුනා. සුනාමිය වෙලාවේ මුහුද අයිනේ සිටි දහස් ගණන් පිරිස් මිය ගියා. මහ බැංකුවේ රැකියා කළ ගොඩක් අය ඒ රැකියාව තෝරා ගන්න ඇත්තේ තමන්ගේ ජීවිත වඩා සැපවත් කර ගන්න. සුනාමිය දවසේ මුහුද අයිනේ සංචාරක හෝටලයක නැවතී සිටි බොහෝ අය එසේ යන්න ඇත්තේ වැඩි සතුටක් ලබන්න.
දඩයමේ යන ආදිවාසියෙකුට කොටියෙක් මුහුණට මුහුණ හමු වුනොත් බොහෝ විට කොටියාගේ ගොදුරක් වෙන්න සිදු වෙනවා. කොටි ඉන්න පැති මග හැරීමෙන් මේ අවදානම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මුවෝ, ගෝන්නු නැති පැත්තක දඩයමේ ගියොත් ගෙදර එන්න වෙන්නේ හිස් අතින්. සත්තු වැඩි පැත්තක දඩයමේ ගියොත් ඉක්මණින් දඩයමක් කර ගන්න පුළුවන්. පහළ ආදායම් මට්ටමක ඉන්න රටක ඉඳලා සංවර්ධිත රටකට සංක්‍රමණය වන ගොඩක් අයට තමන්ගේ ජීවිත වඩා සැපවත් කර ගන්න පුළුවන්.
සරලව කිවුවොත් හොඳ තැන් හා නරක තැන් කියා පැහැදිලිව හඳුනා ගත හැකි තැන් තිබෙනවා. හොඳ තැන් අතර වඩා හොඳ තැන් තිබෙනවා. එවැනි තැන් සොයා යාමෙන් ජීවිතය වඩා සැපවත් කර ගන්න පුළුවන්. මෙය ප්‍රත්‍යක්ෂයෙන් දැන ගත හැකි දෙයක්. එහෙමනම්, මේ විදිහට තැන් මාරු කරමින් දැන් මුහුණ දෙන ප්‍රශ්න සියල්ලම හෝ වැඩි ප්‍රමාණයක් විසඳා ගැනීමේ හැකියාවක් නැද්ද?
මේ විදිහට හිතන කෙනෙකුට මෙහි තර්කානුකූල අවසානය විදිහට දිව්‍යලෝකයක් වගේ තැනක් හමු වෙනවා. එහි එක්කෝ මරණය කියා දෙයක් නැහැ. එහෙම නැත්නම් මරණය දක්වා ගත කළ හැකි ජීවිතය ඉතා දිගුයි. වයසට යාමක් කියා දෙයක්ද නැහැ. හැමදාම තරුණයි. එක්කෝ වැඩ කරන්න අවශ්‍ය නැහැ. නැත්නම් වැඩ ඉතාම අඩුයි. සම්පත් වල සීමාවක් නැහැ. කැමති තරම් පරිභෝජනය කළ හැකියි. ඔය වගේ මනෝරාජික තත්ත්වයක් පරිකල්පනය කළාට පස්සේ දෙවනුව ඒ වගේ තැනකට යන විදිහ ගැන හිතන්න පහසුයි. දිගින් දිගටම ලෝකයේ තත්ත්වය වඩා යහපත් වෙනවා කියා හිතන කෙනෙකුට එම තර්කයේම දිගුවක් විදිහට පවතින ලෝකය අනාගතයේ කිසියම් දවසක මේ මනෝරාජික තත්ත්වය දක්වා පරිණාමය වෙයි කියා පරිකල්පනය කරන්නත් පුළුවන්.
හැබැයි මේ විදිහට වඩා හොඳ තැන් හොයන්න ගිහින් වැඩේ වැරදිලා ඇනගන්න වෙන එකත් ප්‍රත්‍යක්ෂ දැනුමක්. හැම වෙලාවෙම හැමෝටම එහෙම නොවුනත් එක දිගටම වැරදීම් වෙලා තත්ත්වය ගොඩක් නරක තැනකට වැටෙන්න පුළුවන්. එහෙම වැටෙන්න පුළුවන් නරකම තැන කුමක්ද? මේකත් පරිකල්පනය කළ හැකි දෙයක්. අපායවල් වගේ තැන් ඔය වගේ තැන්.
අනෙක් අතට අද මේ තිබෙන අවුල් සහගත ලෝකය මේ වගේ කාලයක් තිස්සේ සිදු වුනු වැරදීම් වල ප්‍රතිඵලයක් වෙන්න බැරිද? එහෙමනම් කාලයකට ඉස්සර හැම දේම ඉතා හොඳින් තිබුණා වෙන්න බැරිද? මේකත් පරිකල්පනය කළ හැකි දෙයක්. බ්‍රහ්මජාල සූත්‍රයේ, උප්පත්ති කතාවේ එහෙම තියෙන්නේ ඔය වගේ වඩා යහපත්ව තිබුණු ලෝකයක් ගැන විස්තරයක්. ආදි කොමියුනිස්ට් සමාජය කියා කියන්නේත් ඔය ආකෘතියේම කතාවක්.
මිනිස්සුන්ට පැවැත්මේ ආරම්භය හා අවසානය, පැවැත්ම තුළ සතුට සොයා යාමේ අවසාන ඉලක්කය, පැවැත්මක් පැවතිය හැකි නරකම ආකාරය ආදී දේවල් ගැන විවිධ ආකාර වලින් පරිකල්පනය කළ හැකියි. එහෙත්, එයින් අදහස් වන්නේ පරිකල්පනය කළ හැකි හැම දෙයක්ම නිවැරදි බව නෙමෙයි.